ජනතාවගේ ආහාරයට පොල් හිඟවීමත් සමග
වනසතුන් විසින් වගාවන්ට කරන හානි පිළිබඳ මාතෘකව යළිත් කරළියට පැමිණ තිබේ.මෙය අලුත්
ප්‍රශ්ණයක් නොවේ.වඳුරන් ,රිලවුන් ,වන අලි, ඉත්තෑවන්,මොනරුන් සහ දඬුලේනුන් වැනි වන සතුන් ගෙන් මනුෂ්‍ය සමාජයට
සිදු වන බලපෑම ගැන මීට කලින්ද කතිකාවන් වූ අවස්ථාවලදී ඇති තරම් විසඳුම් ඉදිරිපත්
වී තිබේ.ප්‍රශ්ණය තිබෙන්නේ මේ විසඳුම් පිළිබඳ නිවැරදි තක්සේරුවක් සිදු කර නොමැති
වීමයි. වන ජීවින් සම්බන්ධව කටයුතු කරන නිළධාරීන් සහ වන සතුන්ගේ වාස භූමි පිළිබඳ
කටයුතු කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වැඩ කරන ගතානුගතික රාමුව තුළ
මෙවැනි ප්‍රශ්ණ මතුවෙමින් යළි යට යමින් තිබෙන බව නිරීක්ෂණය වේ. වඳුරාගේ චර්යාවන්
සහ රිලවා ගේ චර්යාවන් වෙනස්ය. උන් බුදින ආහාරයන්හි රුචිකත්වයන් ගැනද වෙනස් කම්
දක්නට හැකිය. දඬුලේනා ගිරවා ඉත්තෑවා සහ මොනරා වැනි සතුන් පිළිබඳ අධ්‍යනය කරන කල්හි
උන්ගේ වාසස්ථාන සහ අහාර සංස්කෘතිය පිළිබඳ නිවැරදි අධ්‍යනයක් කර නැති තරම්ය. වන
අලියා ගැන සැමදාම කතා කරමු.උන්ගේ ගහනයන් කොටු කිරීමට හෝ විදුලි වැටවල් ගැසීම
පිළිබඳ ගත් ක්‍රියාමාර්ග සාර්ථක වූ අවස්ථාවන්ද අසාර්ථක වූ අවස්ථාවන්ද බහුලය. වන
අලි සංගණනය සහ උන්ගේ වාසස්ථාන ගැන සහ දිනකට උන්ගමන් කරන මාර්ග ගැන විද්‍යාත්මක
දත්ත වර්තමානයට අවශ්‍ය වේ.
වඳුරාගේ ආහාර අතර දළු සහ කොළ විශේෂිතය.කරාබු ගස්
වල දළු උන්ගේ විශේෂිත ආහාරයකි.රිලවා එසේ නොවේ. රිලවා අනුකරණයට දක්ෂ සත්වයෙකි.උන් ජීවත් වන රූස්ස ගස්
මණ්ඩි අතහැර මනුෂ්‍ය වාසයට පැමිණෙන්නට හේතු කීපයක් බලපායි. එකක් නම් උන් ජීවත් වූ
පරිසර පද්ධතියේ විනාශයයි. වන ගඩා ගෙඩි හිඟ වීම ප්‍රධානය.වැව් පෝෂක ප්‍රදේශයන්හි
තිබෙන වන ගහනයන් උන්ට සුවිශේසි තැන්ය. රිලවාට වින කටින දිවියා සහ කොටියා කැලෑවලින්
ක්‍රමයෙන් වඳවෙමින් පවති.මීට අවුරුදු හැට හැත්තෑවකට පෙරද පැරණි ගම්වල දඩයක්කරුවන්
සිටියහ. ඔවුන් අවුරුද්දේ එක කාලයකට මහ කැලේ යෑම කළහ. දඩයමක් සපයා ගත්හ. මී පැණි
ලබු කබල් කීපයක් රැස් කර ගත්හ. ගමේ කොළු ගැටවු බීමත්වීමට තැබෑරුම් ගානේ රස්තියාදු
නොවූහ. ඒ වෙනුවට රංචු වට එක් වී කැලෑ බූටෑවට වැදී තල ගොයින්, ඉත්තෑවන් ,වඳුරන්
දඩයම් කොට කලෑ ආහාර සමග ඒවා පලහා කා විනෝද වූහ.ඒවා ඉඳහිට කළ දේවල්ය.සතුන් අතර
මනුෂ්‍යයාද ආහාර දාමයේ පුරුකක් ලෙසට ගණන් ගත හැකිය. මනුෂ්‍යයා දැන් නාගරීක
ජීවිතයකට හැඩ ගැසී අවසන්ය. රැකියාවට යයි. මස් පිණිස සතුන් ඇති කරයි. වල් ඌරන් වැනි
සතුන් ඔවුන්ට ලැබෙන්නේ රජරට ගමකට ගොස් පාටි දමනා විටය.මොනර මස් ප්‍රණීතය. කුකුළු
මස් වලට වඩා රසවත්ය. මොනරා දඩයම් කොට කෑම වෙනම රටාවකි.මොනර ගහනය වැඩි වන්නට
නරියාගේ වඳවීම බලපා ඇත. නරියා මොනර බිත්තර වලට රුචිකත්වයක් දක්වයි.කෘෂීරසායන නිසා
විනාශ වී තිබෙන කුඹුරු වලට දැන් කක්කුට්ටන් කෑමට නරියා නොපැමිණේ.නරි හූවක් ගමකින්
දැන් ඇසෙන්නේ කලා තුරකිනි. කිඹුලාද දඩයම් කළහ. උගේ මස දුමේ දමා වේලා තබා ගත්හ.ඒ
මස් ඇස් වල පෙනීම වර්ධනය කර ගැනීමට ඉතා අගනා බව කියති.වන අලියාට වාසස්ථාන තිබුණි.
අලි පාරවල් තිබුණි. උන් ඒවා දිගේ දිනකට සැතපුම් අට දහය ගමන් කරති. වැව් තණ පිටි වල
උන්ට කන්නට තණ කොළ තිබුණි.ගංගා අසබඩ පිටාර තැනිතලා වල මේ තණ කොළ ඉතා යස රඟට
වැවුණි. අලි රංජු නිතර මේවායේ දක්නට තිබුණි. ගම් ආසන්නයේ දිවුල් කැලෑවල් තිබුණි.
ඇති පදමට දිවුල් කාලයට දිවුල් ඇහිදින්නට මිනිසාට ඉඩකඩ ලැබුණු තරමට අලියාටද ඒ
අවස්ථාව ලැබුණි.
සියළුම දිවුල් කැලෑවන් ගඩොල් පෝරණු සඳහා කපා
පිටමං කර ඇත. ගමක සිටින කොලු ගැටවු ආස කළ දිවුල් ඇහිදීම අද කළ නොහැකිය. අලියා
දිවුල් කැලෙන් මෑත්වී ගමට එයි. අනුරාධපුර ප්‍රදේශයේ තිබූ මහා ගංගා අතර යාන් ඔය ප්‍රධානය.
යාන් ඔය ඉහත්තාවේ හුරුලු වැව දකින්නට
ලැබේ. හුරුලු වැව සහ මින්නේරිය වැවට උඩින් මූකලන් වැව් නැතිනම් ඉස්වැටි රැසක්
තිබුණි. අලි ඒ වැව් ගිල්මේ නිතර සෙල්ලම් කරනු දැක ඇති පැරණියන් අද දුලබය. දැන්
ඉස්වැටි ඩෝසර කර ඇත. නැතිනම් කුඩා වැව් තනා ඇත. යාන්ඔය නිම්නයේ වාහල්කඩට පහළින්
යාන් ඔය ජලාශය තනවා ඇත. ඒ නිම්නයේ තැන්පත්ව තිබූ විශාල වැලි නිධිය දේශපාලකයන් සහ ඔවුන්ගේ
චක් ගෝලයන් රැගෙන ගොස් පොහොසත් වූහ. යාන් ඔය නිම්නයේ අද රසවත් තණකොල නැත. වසර
දෙකකට වරක් ඇතින්න පැටවු දමන්නේ යැයි කියති. ඉතින් කන්න නැතත් අලි ගහනය වැඩිවී ඇත.
මිනිසා විසින් අලින්ගේ තණ බිම් විනාශ කර ඇත.අලි ඇතුන් දැන් මිනිසා විසින් ඉවත් කරන
කුණු කන්නට සහ ගෙවතු වල තිබෙන වගාවන් කන්නට වැඩි රුචිකත්වයක් දක්වති.
අනුරාධපුර පූජා නගරය අවට සිටි රිලවු රංචුව
වන්දනා කරුවන්ට කරදරයක් බැවින් හිටපු වන ජීවි ඇමතිවරයෙකු මැදිහත්ව උන් කූඩු වල පටවා
හුරුලු පත්තුවේ කැලෑවලට අතහැරියහ.දැන් ගම් අවට රිලවු ගහනය වැඩිව ගොසින්ය. නගරයේ
වන්දනා කරුවන්ගේ කෑමට රස වැටී සිටින රිලවා ගමට වැදී නිවෙස් වලට වැදී ආහාර කොල්ල
කයි. නැතිනම් ගෙවත්තේ තිබෙන කෙසෙල් කැනකට හානි කරයි. පොල් ගසක් තිබුණහොත් ගොබළු
ගෙඩියක් කඩාගෙන වතුර වී ගහ පාමුළ ගොඩ ගසයි. මිනිසා කැමති ආහාර වලට රිලවාද මහත් සේ
රුචි කරයි. මිනිසා දෙස බලා සිට ඔහු අනුගමනය කිරීමට ඌ දක්ෂය. සමහරක් රටවල පොල් කැඩීමට
පවා රිලවුන් යොදා ගනිති. රිලවා කපටි
සතෙකි. නුවණක්කාරය මිනිසාටද පාඩම් උගන්වන්නට දක්ෂය. දුක කියන්නටද දක්ෂය. වරක්
නිවසක ගෙහිමියෙකු වායු තුවක්කුවකින් රිලවෙකුට වෙඩි තැබුවේය. රිලවා ගේ බඩ තුවාල
විය. ලේද ගලා ගියේය. රිලවා ගෙමිදුලට පැමිණ තුවාලය පෙන්වමින් ලේ ඇඟිල්ලේ ගා
පෙන්වමින් තම දුක කියා පෑවේය. කාන්තාවන්ගේ අදාරය දිනා ගැනීමටද රිලවා දක්ෂය. ගෙවත්ට
පැමිණ ඒ ඇත්තියන් රවටා ගෙතුලට පැන ආහාර සොරකමේ යෙදෙන්නේ ඒ නිසාය. රිලවු සහ වඳුරන්
දින තුනකට වඩා එකම ගම් මණ්ඩි වල නොසිටිති. උන්ගේ බල ප්‍රදේශයන්හි තැනින් තැන සංක්‍රමණය
වීම පුරුද්දක් කරගෙන සිටී.රැඳී සිටින කාලය තුළ උපරිමව ආහාර සපයා ගැනීම උන්ගේ අරමුණයි.මිනිසා
පරිණාමය වන විට රිලාව ඇතුළු වන සතුන්ද ක්‍රමානුකූලව පරිණාමය වී ඇත. ආහාර දාමය තුළ
සිටි මිනිසා වන සතුන් ගෙන් ඈත්වී සුපිරි සත්වයෙකු වී සාහසික වී ඇත.රජරට තත්වය මෙසේ
වන අතර දිවයිනේ අනෙක් ප්‍රදේශයන්හි තත්වය නොයෙකුත් වෙනස් කම් සහිතව පවතී. රබර්
වතුවල ඌරන්ගේ ගහනයද කටුපොල් වතුවල මොනර ගහනයද වර්ධනය වී ඇති ආකාරය නිරීක්ෂණය කල
හැකිය.
මෙකී වන සතුන් සහ මිනිසා අතර වන ගැටුමට
විසඳුම් ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. එහෙත් වගාවන් වනසා දැමීම. ගෙවල්
කඩා දැමීම . මිනිසුන් ඝාතනය කිරීම වැනි කරුණු බරපතල තත්වයකට පත්ව තිබේ.ඒවාට කෙටි
කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍ය වෙයි. විදුලි අලි වැට සහ තල් ගස් වලින් සපිරි
අලි වැට සහ මී මැසි ගහන සහිත ප්‍රදේශ ඇති කිරීම වැනි විසඳුම් මේ වන විටත් අත්හදා
බලමින් තිබේ.සතුන් පලවා හැරීමට සමත් ශබ්ද සහ තරංග ඇති කරන උපකරණ නිපදවා ඇත.රිලවුන්
විදේශ ගත කිරීම සහ ව්‍යන්ධීකරණයට ලක් කිරීම ගැන කතා බහක් මේ වන විටත් ඇරඹී ඇත. මේ
සියල්ල කරණුයේ මිනිසා පරිසර පද්ධතියෙන් වියුක්ත පුද්ගලයෙකු ලෙසට මෙන්ම සුපිරි
මානවයෙකු ලෙසට වර්ධනය වෙමින් ය. ලංකාව වැනි රටක නූතන දියුණුවත් සමග යන අගක් මුලක්
නැති ප්‍රජාවක් බිහිවීම හානිකර වී ඇත. මේ සියල්ල පිළීබඳවම සංවාදයක් ඇති වීමද
විද්වතුන් සහ නව නිපැයුම් කරුවන් සමග විසඳුම් පිළීබඳ තීරණ ගැනීමද ඉතා වැදගත් වෙයි.
ජනතාව උද්ඝෝෂණය කිරීම නිසා දේශපාලන තීරණ නොගත යුතුයි. විද්‍යුත් මාධයන්ටද මේ
සම්බන්ධව බලවත් වගකීමක් ඉටු කළ හැකිය. ප්‍රවෘත්ති තොරොම්බල් කිරීම නොකළ යුතු
දෙයකි. සමාජය තුළ හැඟීම් අවුස්සා පටු දේශපාලන වාසි හෝ රේටින්ස් වැඩි කර ගැනීමෙන්
වන්නේ කිසිදාක මේ ප්‍රශ්ණයන් නිරාකරණය නොවීමයි. ඒ සමගම වටිනා පරිසර පද්ධතීන් අප
අතරින් සදහටම තුරන් වනවා නිසැකය.
මතුගම සෙනෙවිරුවන්
මෙම ලිපියට කරුණු සැපයූ ප්‍රසාද්
ප්‍රේමරත්න මහතාට ස්තූතිය පළ කරමි.
No comments:
Post a Comment