පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, April 27, 2023

උරුමයේ අයිතිකරුවන්ට උරුමය රැක ගන්න ඉඩ දෙන්න

 

 

 


                             

        මෙරට සංස්කෘතික උරුමය යනු සිංහල බෞද්ධ උරුමයයි. වසර 2500 කට එහා ගිය කාල වකවානුව තුළ හැදී වැඩී ඔප් නැන්වුණු මෙම සභ්‍යත්වය දිවයින පුරාම අපට දක්නට හැකිය. වෙසෙසින්ම වෙහෙර විහාර වැනි වාස්තු නිර්මාණ අදටත් ජීවමානව දක්නට ලැබෙන්නේ තවමත් මෙරට බෞද්ධයන්ගේ වන්දනාමානයට ඒවා ලක් වන බැවිනි. 1815 යනු අපගේ ඉතිහාසයේ කඩ ඉමකි. වසර දහස් ගණනක් අදීනව පැවති රාජ්‍යය පරාධීනව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට භාර දීම එ වසරේ දී සිදු විය. එය සිදු වූයේ දෙපාර්ශවය විසින් අත්සන් කරන ලද ගිවිසුමක් මත වුවද  මෙරට වාසීන් වෙනුවෙන් ගිවිසුමේ සඳහන් කළ වගන්ති ක්‍රියාත්මක කරලීමට නව පාලනය මැළි කමක් දැක්වීය.විශේෂයෙන්ම බුද්ධාගම වෙනුවෙන් සටහන් කළ වගන්තිය බලාත්මක නොවීය. මෙම තත්වය මත  පෙර පැවති බෞද්ධ ශිෂ්ඨාචාරය ක්‍රම ක්‍රමයෙන් බිඳ වැටීමකට ලක් විය.ලංකාවට ගෙන්වන ලද ඇමරිකන් චර්ච් මිෂානරීන් විසින් යාපනයේ දී ඇරඹි මිෂනාරි ව්‍යාපාරය මගින් 1819 දී ලංකාව උතුර සහ දකුණ යනුවෙන් බෙදා දක්වන ලදී. ලන්දේසීන් විසින් දුම්කොළ වගාවට ගෙන්වන ලද මලබාර් වැසියන් උතුරේ  පාරම්පරික වැසියන් ලෙසටද සිංහලයන් දකුණේ පාරම්පරික වැසියන් ලෙසටද බෙදා දැක්වීමක් කළහ. මෙම තත්වයට පැමිණීමට ප්‍රථම 1798 දී පමණ ඉංග්‍රීසීන් විසින් යාපන දස්ත්‍රික්කයේ කෝවිල් 300 ක් රජයේ වියදමින් සාදවන ලදී. මේවා සාදවන ලද්දේ පෙර පැවති බෞද්ධ සිද්ධස්ථාන  විනාශ කර දමමිනි.

       අනතුරුව  බ්‍රිරිතාන්‍ය පාලකයන් විසින් හිතාමතාම ගෙන එන ලද නීති රීති අණ පනත් නිසා උරුමයේ අයිතිකරුවන්ට උරුමය අහිමි විය.මුඩුබිම් පනත එහි මූලික පියවරයි. බෞද්ධ විහාරගම් දේවලගම් පනත දෙවැන්නයි. ඉඩම් ආඥා පනත මගින් සිංහලයන් සතු ඉඩ කඩම් අන්‍ය ජන වර්ග වෙත බෙදා දෙන ලදී. 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත ද  එවැනි නීතියකි.1815 ට පෙර පැවති නටබුන්ව ගිය සියලුම වෙහෙර විහාරස්ථාන පුරවිද්‍යා ස්ථාන බවට පත් විය.කෝවිල් බවට හරවන ලද පැරණි බෞද්ධ ස්ථාන සහ ලන්දේසීන් විසින් විනාශ කරන ලද යාපනයේ සහ මන්නාරමේ සිද්ධස්ථාන මෙයට අයත් නොවීය.1815 ට පෙර  මෙරට පවතින පුරාවස්තු වලින් සියයට අනූ අටක්ම බෞද්ධ නටබුන්  ලෙසට වර්ග කළ හැකිය..අද ලෝක උරුමයක් ලෙසට නම් කර ඇති සීගිරියද ඒ අවටද බෞද්ධ ආරාම සංකීර්ණ රාශියක පද්ධතියකි. මඩු පල්ලියද පැරණි බෞද්ධ ස්ථානයකි. පත්තිනි දේවාලයක්ද ඊට අයත් විය.මෙම පනත නිසා නබුන්ව පැවති සෑම ස්ථානයක්ම   පුරාවස්තු බවට පත් විය.යටත් විජිත යුගයේ පසු කාලයේ දී  මෙම ස්ථාන අසල  මහත් වැර වෑයමෙන් තනන ලද  විහාරස්ථාන කීපයක්  විය. රුවන් මැලි සෑය සේරුවාවිල දීඝවාපිය සෝමාවතිය ඉන් කීපයකි. මේවා අසල විහාරස්ථාන කීපයක් ඉඳි කෙරුණද පුරාවස්තු වලට අත ගැසීම තහනම් විය.සෝමාවතිය අසල වැසිකිලි වලක් හෑරූ විහාරාධිපති හිමියන් අත්අඩංගගුවට පත් වූයේ පුරාවස්තු පනතේ බලතල ප්‍රකාරවය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා දැනට වසර 123 ක් ගත වී ඇත.ඔවුන් යටතේ තිබෙන නටබුන්ව ගිය වෙහෙර දාගැබ් පෙති පිළිම ජරාවාසව පෙර තත්වයෙන්ම පවතින අතර බාහිර වශයෙන් විහාරස්ථාන ගොඩ නන්වා ඇති තැන්වල පමණක් ජීවමාන ආගමික පරිසරයක්ද බෞද්ධ ප්‍රබෝධයක්ද දක්නට හැකිය.ඒ සමගම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් හඳුනාගන්නා ලද දැනට ස්මාරක වශයෙන් ගැසට් කරන ලද ස්ථාන අතරින් වසරකට ස්ථාන 250 ක් පමණ නිදන් හොරුන් ගේ විනාශයට ලක් වෙයි. මේ අතර ඉඩම් මංකොල්ල කෑමේ චේතනාවෙන්ද අන්තවාදී වුවමනාවෙන්ද පුරාවස්තු වලට කරන ලද විනශයන්ද ඇතුළත්ය.

       


 

        මෙම ලිපියට අඩංගු කර ඇති පළමු රූපය  හිරුකෝවිල් වල වෙල් යායක් මැද කිබූ දාගැබකි. නිදන් වස්තු ගැනීමේ වුවමනාවෙන් මෙම දාගැබ යම් පිරිසක් ඩෝසරයක් දමා දෙපළු කර තිබුණි. පසුව එම පුද්ගලයන් අත් අඩංගුවට ගැනුණද පුරාවස්තු ආඥා පනත යටතේ නොව සාමාන්‍ය නීතිය යටතේ දඩ ගැසීම් කර නිදහස් කර තිබුණි.මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන 530 ක පුරාවස්තු හඳුනාගෙන තිබුණද ගැසට් නොකිරීම මත උසාවි වලදී ඇති වන අභියෝගයන් මීට හේතු වශයෙන් දැක්විය හැකිය. දෙවැන්න ගෝමරන්කඩවල මයිල වැව තිබෙන පුරාවිද්‍යාව විසින් මෑත කාලයේ දී තහවුරු කරන ලද ස්තූපයකි. පුරාවස්තු ආඥා පනත තිබුණද මෙම නටඹුම අද විනාශ කර ඇත. අසල හමුදා කදවුරක්ද පිහිටා ඇති නමුත් ආරක්ෂාවක් ලැබී නොමැති බව පැහිදිලිය.  උතුරේ මෙවැනි ස්තානයන්ට හමුදාව මැදිහත් නොවිය යුතුයයි ආඥාවක්ද දැනට නිකුත් කර ඇති හෙයින් හමුදා සාභාගිත්වය අවම මට්ටමින් පවතී. තෙවැනි රූපය 1960 ගණන් වලදී යාපහුව පර්වත මස්තකයේ පැවති හතරැස් කොටුව සහ අඩක් ගරා වැටුණු කොත් කැරැල්ල සහිත ස්තූපයයි. වසර පණහකට පමණ පසු ගන්නා ලද එම ස්තූපයම අද පවත්නා තත්වය හතරවන රූපයෙන් පෙන්නුම් කෙරේ . එහි හතරැස් කොටුව හෝ කොත් කැරැල්ල නැත.පුරාවස්තු ආරක්ෂා කිරීමට බැඳි සිටින පුරාවිද්‍යාවට පුරාවස්තු විනාශය පාලනය කිරීමට නොහැකිය.



           විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත්වල ඉඩම් මංකොල්ල කෑමේ මුවාවෙන් කරන පුරාවස්තු විනාශයද අන්තවාදී ක්‍රියා ද පාලනය කිරීමට නොහැකිය. පුරාවස්තු ආඥා පනතේ නීතිය ක්‍රියාත්මක කරලීමට පොලිසිය මැළිකමක් දක්වයි. ඔවුහු ‌අන්තවාදී දේශපාලඥයන්ට යට වී සිටී. වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමා කිසිවිටක තම පනතේ බලතල නීතිය ඉදිරියේ පෙන්වා දීමට උත්සුක නොවේ.මුලතිවු අධිකරණයේ දී විභාග වූ කුරුන්දි  නඩුකරය දිගින් දිගටම ඇදී යමින් පවතින්නේ එහෙයිනි. පුරාවස්තු පනතෙන් තමන්ට පැවැරී ඇති බලතල ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු ගෙන් පුරාවස්තු සුරැකෙන්නේ නැත..නමුත් උරුමය අයිති භික්ෂූන් වහන්සේලා මෙම ස්ථාන වල විහාරස්ථාන ඉදි කරනවාට ඔහු සහමුලින්ම විරුද්ධය. මැදිරිගිරිය පුරාවිද්‍යා භූමියට යාබදව විහාරස්ථානය ඉදි කිරීමට ඉල්ලුම් කළ විට ඒ අවසරය ලැබ දුන්නේ අස්ගිරි අනු නායක ස්වාමීන් වහන්සේ ගේ මැදිහත් වීම නිසාවෙනි. වවුනියා සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය පැරණී බෞද්ධ විහාරයකි.1978 සිට එතැන කෝවිලක් අටවා ගෙන තිබේ. අපි එහිදී යෝජනා කලේ කෝවිල රක්ෂිතයෙන් ඉවත් කර ඉන් පිටත තැනීමටත් විහාරස්ථානද ඒ අසල ඉඳි කිරීමට අවසර දෙන ලෙසටත්ය. මේ පිළිබඳ ඉල්ලීම මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානයේ නායක හිමියන් වන පූජ්‍ය මුවඇටගම ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඉදිරිපත් කල විට එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අතර කෝවිල සංවර්ධනයට අවසර දී තිබේ. දැනට මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.මේ සියලු තත්වයන් හමුවේ  නිෂ්ක්‍රීය ව සිටින අධ්‍යක්ෂ ජනරාල් තුමා   පසුගියද ඉන්දියාවට ගොස්  ලෝක බෞද්ධ සමුලුව ද අමතා තිබේ.  ඉන්දීය මැදිහත් වීම නිසා උතුරේ දේශපාලඥයන් එම පළාත් වල තිබෙන බෞද්ධ ස්ථානයන්ට කරන විනාශය ගැන එහිදී හොඳ පණ්වුඩයක් නිකුත් කිරීමට අවස්ථාව තිබුණි. එහෙත් ඒ සමුලුව ඔහුට පෞද්ලික සංචාරයක් පමණකි.පුරාවස්තු ආඥා පනත යටතේ හුදකලා කරන ලද මෙරට බෞද්ධ උරුමයට දිගින් දිගටම එල්ල වන තර්ජනයන්  තව දුරටත් අපට ඉවසා දරා සිටීමට නොපිළිවන කරුණාකර උරුමය අයිති ප්‍රජාවට උරුමය භාර දෙන්න.ඒ සඳහා පුරාවස්තු සහ උරුම කළමනාකරණ පනතක අවශ්‍යතාවයක් දැඩිව ඉස්මතුව තිබේ.

මතුගම සොනවිරුවන්

 

 

 

 

 

 

 

No comments:

Post a Comment