පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, January 27, 2022

කූරගල අරගලයට පන්නරය ලැබුණු හැටි

 

 

 


                                

             සපරගමු පළාතේ මැද කෝරලයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන තන්ජන්තැන්න කඩ මණ්ඩිය ළඟින් හැරී කී.මීටරයක් පමණ ගමන් කරන විට හමුවන කුරගල පර්වතය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පුදබිමකි.කටාරම් කොටූ ගිරිලෙන් දහතුනකින් පමන සමන්විත මෙම පර්වතය හිටුවන්ගල කූරගල ලැගුම්ගල සහ ඉබ්බන්ගල යනුවෙන් පර්වත සිඛර හතරකින් සමන්විතය.මෙම ගල්ලෙන්වල කටාරමට යටින් තිබූ ලෙන ලිපි තුනක් අපට හමුවෙයි.සද්ධර්මාලංකාර කතා වස්තුවේ එන වත්ථුල පබ්බත  කතා වස්තුවේ හැටියට බැමිණිතියා සාය සමයේ කුහරගල විසූ එක් සැදැහැවත් උපාසකයෙකු සහ උපාසිකාවක විසින් කරකොල සකසා දානය දීමට කළ අධිෂ්ඨානයෙන් පසු කරගස පණුවන්ගේ හානියට ලක් වීමෙන් කළ හැකි දෙයක් නැති තැන ශරීර මාංස කපා දානය දෙන්නට උත්සාහ කරන ලද්දේය.මේ අධිෂ්ඨානය සහ මොවුන්ගේ පින් බලයෙන් සක්‍රයා විසින් දානය සඳහා රත්හැල් සහ ගිතෙල් සපයන ලද්දේය.ඒ දානය පිළි ගැන්වීමේ ආනිසංසයෙන් උපාසක දෙපළ දෙව්ලොව ජනිත වූ බව සද්ධර්මාලංකාර කතාවේ දැක්වේ..

      කූරගල පර්වතය මුදුනේ තපස් පිලක් වෙයි. පෙර තපස්වරුන් බවුන් වැඩූ මේ ස්ථානයේ සිට පබ්බත පාමුළට ගමන් කළ හැකි උමං මගක් තිබුණේ යැයි කියැවේ.මේ කුහරය නිසා කූහරේගල කූරගල යන නාමය ඇති වූයේ යැයි ජන ප්‍රවාදයේ පවතී.‌ෙඑතිහාසික ජනප්‍රවාදයන් අනුව කූරගල  ගල මූදුනට බුදුන් වහන්සේ වැඩම කර තිබේ. සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල ගල මතුපිට මැණික් ගලක ශ්‍රීපාද සටහන තැබීමෙන් පසු සමන් දෙවියන් ගේ වාසභවන ලෙස සැලකෙන කුරගල පව්වට වැඩම කරන ලද්දේ පැරණි චන්ද්‍රගිරි රාජධානිය නොහොත් තන්ජම මෙහි පැවතුණු බැවිනි.පසුකාලයේ දී කූරගලත් කල්තොට නිම්නයේ පවතින බුදුගලත් යාවෙන පබ්බත ආරාම සංකීර්ණයක් ගොඩනැන්වී තිබේ. කූරගල පර්වත දිගන්තයේ දක්නට ලැබෙන කටාරම් කෙටූ ගිරිගුහා ආරණ්‍ය මගින් ද බුදුගල දක්නට ලැබෙන පධානඝර සංකීර්ණයේ නශ්ඨාවශේෂ මෙන්ම ගල්ටැම්යායේ පංචාවාස ගොඩනැගිලි මගින්ද  කියාපාන්නේ මේ ‌ෙඑතිහාසික කතන්දරයයි.

       කූරගල ‌ෙඑතිහාසික ආරණ්‍ය දහනව වන සියවස වන විට වනගතව තිබූ හුදකලා භූමියක් විය. අලි ඇතුන් කොටි වලසුන් ගේ අභය භූමියක් විය.නමුත් රුහුණේ සිට පැමිණෙන ප්‍රධාන ගමන් මාර්ගයක සමීපයේ පිහිටි බැවින් කූරගල කන්ද නැග බළන්ගොඩ ට පැමිණීමට පුරුදු වූ වෙළහෙලදාම් වල නියුතු පිරිසක් වූහ. ඔවුනතර තැනින් තැන රෙදි පිළි සහ මැණික් වෙළෙදාමේ නියුක්ත මරක්කල පිරිසක් ද වූහ.බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූ මෙරටේ විශේෂ වරප්‍රසාද ලත් පිරිසක් බවට පත් වූ බැවින් නීති විරෝධී වැඩ කිරීමටද ඔවුහු පසුබට නොවූහ. කංසා තිප්පලක් බවට පත් කරන ලද කූරගල පර්වත මුදුනේ ඔවුනගේ පැලක් අටවෙන්නේ මේ නීති විරෝධී කටයුතු පිණිසමය.වනසතුන් ගෙන් පිරි මේ අඩවියට මුලෑදෑනීන්ගේ පැමිණීම සීමා සහිත විය. නමුත් මේ අනවසර පැළ ගැන ආරංචිය ලත් මුල්ගම කෝරාළ විසින් එය කඩා ඉවත් කර ලෙස 1923 දී පමණ  කල්තොට ආරච්චිට  නියෝග කරන ලද්දේය.පසුව 1930 දී මේ අනවසර මධ්‍යස්ථානය ගැන ඇතිවූ ආරවුලකින් පසු බළන්ගොඩ වාසය කල මරක්කලයන් විසින් මේ ස්ථානයේ ගල්ලෙනක් ආසන්නයේ යාඥා මඩුවක් අටවන ලද්දේ එහිදී මිය ගිය පුද්ගලයෙකු ගේ සොහොනක් ද ඇතිවය.

 කෙසේ වෙතත් එතැන් සිට මේ ‌ෙඑතිහාසික සිද්ධස්ථානය අන්‍යාගමිකයන්ගේ ප්‍රධාන කඳවුරක් බවට පත් විය. ඓතිහාසික කූරගල ලෙන් විහාර සංකීර්ණය අත්පත් කර ගෙන එහි පැවති බුදු පිළිම සඳකඩ පහන් මෙන්ම ශ්‍රී පතුල් ද කඩා බිඳ දැමීම ආරම්භ වන්නේ ඉන් පසුවයි..1939 වර්ෂයේ දී මුල් වරට පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් එහි වැඩම කළ අවස්ථාවේ දී තිබූ තත්වය සබරගමුවේ පැරණි ලියවිලි සංග්‍රහයේ ඇතුලත් කර ඇත. පසුව සපරගමු දර්ශන කෘතියේ ද වැඩි විස්තර වශයෙන් සඳහන් කර තිබේ.මෙම ස්ථානය අන්‍යාගමිකයින්ගෙන් බේරා ගැනීමට උන්වහන්සේ උත්සාහ ගන්නා අවස්ථාවේ දී මුස්ලිම් පක්ෂය විසින් කළ එදිරිවාදුකම් පැහැදිලිව එහි දක්වා තිබේ. පුරාවිද්‍යා නිළධාරීන් සමග සෙල්ලිපි පිටපත් කිරීමට ගිය අවස්ථාවේ දී එයට ඉඩ නොදුන් ආකාරයද උන්වහන්සේට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ආකාරයද එහි ඇතුලත්ව ඇත.ප්‍රදේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ප්‍රභූවරුන් ගේ කැපවීම නිසා කාලයකට පසු  මේ ‌ෙඑතිහාසික භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේ 1971 වර්ෂයේ දීය.නමුත්  1977 වර්ෂයෙන් පසු පළාතේ දේශපාලන අධිකාරියද මුස්ලිම් පක්ෂය නියෝජනය කළ බැවින් කූරගල පර්වතය නැවත බෞද්ධයන් වෙත නිදහස් කිරීම සිදු නොවීය. ඒ වෙනුවට සෑම වර්ෂයකම මේ ස්ථානයේ විශාල සත්ව ඝාතනයක් සිදු වෙමින් අන්‍යාගමික උත්සව පැවැත්වීම නම් සිදු විය.එයට අමතරව දේශපාලන අධිකාරියේ මැදිහත් වීමෙන් කල්මුණේ වැසි පුද්ගලයන් රැසක් මෙහි පැමිණ  අවට ගම්මානයක් පවා අටවා ගන්නට කටයුතු සිදු කර ඇත.

    මෙලෙස දිනෙන් දින අන්‍යාගමික බලය පැතිරෙන කල්හි පූජ්‍ය වටද්දර ඥාණිස්සර ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයට පැමිණ ගල්ලෙන් ආශ්‍රිතව වැඩ වාසය කරන්නට වීම මේ අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් විය.අසූව දශකයේ දී මේ ස්ථානය නිදහස් කර ගැනීමේ සටන තවත් තීව්‍ර විය. සාකච්ඡා වට ගණනාවකින් පසු ආර්.ප්‍රේමදාස ජනපතිවරයා ගේ කාලයේ දි මුස්ලිම් පක්ෂය වෙත විකල්ප ඉඩම් ප්‍රදානය කරමින් කූරගල නිදහස් කර ගැනීමේ එකඟතාවක් ඇති විය ඒ අනුව 1990 වසරේ මාර්තු මාසයේ දී හිටුවන්ගල පර්වත පාමුළ  අක්කර විසිගණනක් භූමියක්  තිස්අවුරුදු බදු පදනමින් ඔවුනට හිමි වූ නමුත් ගල්ලෙන් ආශ්‍රිතව සිදු වූ ඉඳිකිරීම් කටයුතු නොනවත්වා සිදු විය. එයට හේතු වූයේ මෙම ස්ථානය රැකවල් කළ පුරාවිද්‍යා මුර කරුවන් විසින් මුස්ලිම් පක්ෂයට උදව් උපකාර කිරීමයි.කූරගල පර්වත නිම්නයේ කඩපිල් මෙන්ම  ගල්ලෙන් වල බැඳි මුලු තැන් ගෙවල් ගව ඝාතකාගාර සියල්ල ඉඳිවන්නේ මේ සමයේ දීය.

     මුස්ලිම් පක්ෂයට අක්කර විස්සක භූමියක් ලැබෙන විට පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන්ටද අක්කර දහයක භූමියක් පර්වත පාමුළින් හිමි විය.ඒ ස්ථානයේ විහාරස්ථානයක් ඉඳි වුවද එ සංවර්ධනය වීමට මේ මුස්ලිම් ආක්‍රමණය බාධාවක් විය.අනතුරුව අනූව දශකයේ දී මේ කූරගල අරගලය උච්චස්ථානයකට පත් වීමෙන් පසුව නන් දෙසින් පැමිණි බෞද්ධ සැදැහැවතුන් කූරගල පර්වත මස්තකයේ පින්කම් කිරීම ආරම්භ කරන ලදී. අස්ගිරි විහාරයේ වර්තමාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රමුඛ පිරිසක් වටද්දර නාහිමියන් සමග සාකච්ඡා පවත්වා මෙම ස්ථානය බෞද්ධයන් වෙක නිදහස් කර ගැනීමේ අරගලය ආරම්භ වීමෙන් පසු මැදපෙරදිග හෙළ බිම සංවිධානයේ ආධාර උපකර සහිතව පහළ පන්සල ආශ්‍රිතව 2003 වර්ෂයේ දී නව විහාරස්ථානයක් ඉඳි විය.ආචාර්ය දයානන්ද බිනරගම රංජිත් අමරතුංග හෙළවංශ වැනි දායකයන්ගේ අප්‍රතිහත ධෛර්ය ඊට හේතු විය.එම විහාරස්ථානය ඉඳි කිරීමේ දී බළන්ගොඩ සිටි සිංහල දේශපාලකයන්ගේ  ගෙරවීම් වලට පවා ලක් වීමට සිදු විය. ඉන්පසු මෙම අරගලය දිගින් දිගටම ඇවිලී ගිය අතර ලක්වාසී බෞද්ධ සංවිදාන රැසක් මේ පර්වතය මස්තකය වෙත පැමිණි බව සිහිපත් කළ යුතුය.

 

සිංහල රාවය බොදු බලසේනා සංවිධානය  ජාතික හෙළ උරුමය රාවනා සවිය වැනි සංවිධාන එහි ප්‍රමුඛ විය.සිංහලරාවය සමග කල්තොට පොලිසිය ඇති කර ගත් ගැටුම් නිමක් නැති විය. පොලිසිය මුස්ලිම් පක්ෂයට සහාය පළ කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට තහනම් නියෝග පවා ගත් බව මෙහිදී සිහිපත් කළ යුතුය. මේ කාලයේ දී පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන් ගේ ශිෂ්‍යයෙකු බවට පත් වූ කොළොන්නේ ශාන්තවිජය ස්වාමීන් වහන්සේ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිසමේ ඉදිරියේ පවරන ලද නඩුව නිසා හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් මුස්ලිම් පක්ෂයට එරෙහිව බළන්ගොඩ උසාවියේ නඩු පවරන ලද්දේය.මෙම නඩුවේ තීන්දුව වූයේ පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි අනවසර ඉඳිකිරිම් සියල්ල ඉවත් කල යුතු බවයි. නමුත් එවක තිබූ දේශපාලන බලපෑම් නිසා මේ කටයුත්ත නිසි පරිදි සිදු නොවීය. මේ කාලයේ ආරක්ෂක ලේකම් ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා වරක් මෙම ස්ථානයට පැමිණියේය. ඔහුගේ නියෝගය වූයේ නඩු තීන්දුව ප්‍රකාරව අනවසර ඉඳි කිරීම් සියල්ල කඩා ඉවත් කරන ලෙසයි. ඒ අනුව සිවිල් ආරක්ෂක බලකායේද සහායෙන් අනවසර ඉඳි කිරීම් දාහතක් ඉවත් කරනු ලැබීය. කූරගල පර්වතය අවට සත්ව ඝාතනයද අන්‍යාගමික බලපෑම්ද තුනීව යන්නේ ඉන් අනතුරවයි. නමුත් 1930 දී පමණ ඉඳි කරන්නට යෙදුණු ප්‍රධාන මුස්ලිම් යාඥා මඩුව තවමත් ඉවත් වී නොමැත. එහි අවට පුරාවිද්‍යාත්මක කැණීමකින් පසුව වසර අටදාහක් පමණ පැරණි මානව ඇටසැකිල්ලක් සොයා ගැනීමට හැකි විය.මරක්කලයන්ගේ ව්‍යාජ ඉතිහාසය සිඳ බිඳ දමන්නට මේ සොයා ගැනීම් මෙන්ම කූරගල අවට සිදු කරන ලද ගවේශනයන්ද අතිශයින් ඉවහල් වූ බව කිව යුතුය.

     මෙලෙස කූරගල නිදහස් කර ගැනීමේ අරගලය සිදු වෙමින් පැවති සමයේ පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ඇතිව අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරත්න හිමියන්ට කූරගල ශ්‍රී පාද දිවගුහා රජමහා විහාරයේ භාරකාරත්වය පවරා දෙන ලද්දේය.වර්තමාන සංවර්ධනය ඇරඹෙන්නේ එතැන් සිටයි.අන්‍යාගමික ඉඳි කිරීම් වලින් නිදහස් කර ගත් කූරගල පර්වත මුදුනේ විශාල චෙත්‍යක් ඉඳි කිරීම ආරම්භ කරන ලද්දේ 2021 වසරේ දීය. පෙරදී මුස්ලිම් පක්ෂය විසින් කූරගලට නැගීම සඳහා ගල්පඩිකපා මුස්ලිම් හැඩයට තොරණක් පවා ඉඳි කර තිබුණි. එය මග හැර හිටුවන් ගල ආසන්යටම මාර්ග පහසුකම් සලසා මේ සංවර්ධන කටයුතු ඇරඹෙන අතර.2022 ජනවාරි 16 දින ශාක්‍ය සිංහ අසදිස සුගත මහා සෑයේ ධාතු තැන්පත් කිරීම සිදු වන්නේ  වත්මන් ජනපති තුමන් අතිනි.වන්දනා කරුවන් ගෙන් පිරීගිය කූරගල පර්වතය එදින බුදුරැසින් බබළන්නට විය.විශාළ පිරිසකට රැඳි සිටිය හැකි ධර්ම ශාලාවක් වන්දනා කරුවන්ට පහසුවෙන් කන්ද තරණය කිරීමට මාර්ග සහ දැවැන්ත සිංහ රූපයක් මේ වන විට එහි ඉඳි වෙයි.සැබවින්ම එදා කූරගල ‌ෙඑතිහාසික පුදබිම අන්‍යාගමිකයනගෙන් බේරා ගැනීමට සිටියේ අතලොස්සක් දෙනෙකි.සිංහල ජාතිවාදීන් ලෙස හංවඩුගසා මේ අරගලය දියාරු කිරීමට උත්සාහ කල විද්‍යුත් මාධ්‍ය අද කූරගල මහ පින්කම තමන්ගේ මාධ්‍ය තුළ වාර්තා කරනුයේ මහත් ඉහළිනි. එදා කූරගල සටනට සිටියේ දිවයින පත්‍රය පමණකි.කෙසේවෙතත් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ට මේ පුදබිම සංවර්ධනය කරලීමට ශක්තිය ලබා දුන් හමුදාපති තුමා ඇතුළු සිවිල් ආරක්ෂක බලකාය යුගයේ අති වශාල මෙහෙවරක් සිදු කරන බව කිව යුතුය. උතුරේ ඉඳිවන පුදබිම් මෙන්ම නැගෙනහිර දීඝවාපියටද මේ සහාය නොමදව පළවෙයි. තවමත් ඒ සහාය නොලැබී ඇත්තේ මුහුදු මහා විහාරයට පමණි.කෙසේ වෙතත් වර්තමානයේ කොතෙක් ප්‍රශ්ණ ගැටළු තිබුණත් සිංහල බෞද්ධයන්ට සතුටු විය හැකි උදම් ඇණිය හැකි මහත් පින්කමක් වේ නම් ඒ කූරගල ආශ්චර්යන් බව කිවමනාය.ඒ අරගලය පිටිපස සිටි පිරිස අද ඉදිරියේ නොදැක්කද ඔවුන් සදා ජීවමාන වෙත්.

මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment