පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, May 31, 2012

ලංකාෙව් රත්තරන් විලිසියානු රත්තරන්

                          
                                                       
        ශ්‍රී ලංකාවේ කාන්තා ආභරණ නිෂ්පාදනයේ දී රත්තරන් සහ රිදී භාවිතා කිරීමේ පුරුද්ද ඉතාමත් දුරාතීතයට අයත්ය. එදත් අදත් රත්තරන් වල මිල ඉතා අධිකය. සියලුම භාණ්ඩ වලට වඩා එහි වටිනාකම ඉහළයයි සම්මතයක් පවතී. රන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රන් කරුවන්ගේ ශ්‍රේණිය මෙන්ම රිදී වැඩ කරුවන් ගේ ශ්‍රේණියද පුරාණයේ කොට්ටල් බද්දට අයත් විය. ඔවුහු අභරණ පට්ටලය නමින් වූ ශ්‍රේණියක වසමින් රජුට රදළවරුන්ට ආභරණ සෑදූහ. දැනුදු ඔවුන්ගේ ශේෂ ගම්වල දක්නට ලැබේ. ඒ අතර ප්‍රකට රිදී කැටයම් කරුවන් වූ නීලවල පරම්පරාව  මෙන්ම අඹන්පොල රන් කරුවන් ගේ පරම්පරාවද ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා දක්වති.
      කැලණි ගඟේ රත්තරන් මතුවීම නිසා මේ දින වල ඒ ප්‍රදේශයට වෙසෙසි අවධානයක් යොමු වී පවතී. රත්තරන් ලෝහය ලංකාවේ පොළවේ එතරම් සුලබ දෙයක් නොවේ. එහෙත් පුරාණ රජවරුන් මෙන්ම රන්කරුවන් ද මෙහි තිබෙන රන් ලෝහය අවශ්‍ය පමණින් ලබා ගෙන වැඩෙහි යොදා ගත්හ. සේරුවිල ප්‍රදේශය ක්‍රි.පූ. සයවැනි සියවසේ දී පවා තඹ වලට ප්‍රසිද්ධ විය. එය තම්බපිට්ඨ නමින් හඳුන්වන ලදී. මේ තඹ නිධිය අභ්‍යන්තරයේ රත්තරන් ද ස්වල්ප වශයෙන් ඇති බව හෙළි වී තිබේ. ඒ අතරේ රුහුණේ නිල්වලා ගඟ ඉස්මත්තේ කතරගම ආසන්නයේ මෙන්ම රම්බොඩ ප්‍රදේශයේ ද හඳුනා ගත් රත්තරන් ඉල්ලම් තිබේ. 1907 දී නිකුත් කරන ලද ඛනිජ දෙපාරතමේන්තුවේ පරිපාලන වාර්තාවේ ජේම්ස් ඩැනියෙල් මහතා රත්තරන් ගැන කරන හෙළි දරව්වක් ඇතුලත්ය.  රත්තරන් අඩංගු යයි සැලකෙන රම්බඩ තිරුවානා නිධිය පිළිබඳව එහි වෙසෙසි අවධානයක් දක්වා ඇත. මොරවක් කෝරළයේ රන්කැටි ඇල ආසන්නයේ ද රත්තරන් පවතින බව එම පැරණි වාර්තාවේ සඳහන්ය.   මේ වාර්තාවේ මෙන්ම නිල් පොතේද මේ රත්තරන් ගැන සඳහන් වන්නේ යයි මහාචාර්ය ඩබ්.එස්. කරුණාරත්න මහතා සිය ලිපියක සඳහන් කර ඇත.  ගංගාවලින් රත්තරන් ගරා ගන්නා හැටි ආනන්ද කුමාරස්වාමි මහතා ඉතා සැකෙවින් එම වාර්තාවේ දක්වා ඇත.

      ‘මෙය සිංහලයින් විසින් ගඟ අදිනවා යනුවෙන් හඳුන්වති. මෙම ක්‍රමය උපයෝගී කරගෙන ගංඟා පතුලේ ඇති මැණීක්  ගරන අතර රන් එක්කාසු වී ඇති පරිසරයක් නම් ඔවුන් විසින් රත්තරන් ගැරීම ද කරනු ලැබේ. මේ සඳහා අඩුම වශයෙන් පුද්ගලයින් හයදෙනෙකු හෝ අට දෙනෙක් යොදා ගනිති. මේ සඳහා යොදා ගන්නා විශේෂ උදලු ගරන උදැල්ල හා පෝරු උදැල්ල යනුවෙන් හැඳින්වේ. මේ උදලු මිටි සැහැල්ලු රිටි වලින් සමන්විත වන අතර කෙටි මිටකින් ආරම්භ කර ගඟෙහි වැලි තමාගේ පාදය අසල තැන්පත් කර ගනු ලැබේ. ගඟේ සැඩ පහරට බර අඩු වැලි ගසා ගෙන යන අතර බර මැණික් සහ බර වැලි පාදය අසල තැන්පත් වේ. ඉන්පසු පුද්ගලයින් එතැනම සිට උදලු මිට රිටි බැඳ ක්‍රම ක්‍රමයෙන් දික් කරනු ලැබේ. මේ ක්‍රමයට සතියක් පමණ කාලයක් ගඟ පතුලේ ඇති වැලි අදිනු ලැබේ. ඉතිරි වී ඇති බර වැලි වන ඉල්මනයිට් සහ මොනසයිට් පොල් කටු මගින් එකුත කර නෑඹිලියකට දමා ගරා එහි රත්තරන් කැබලි ඇත්දැයි බලනු ලැබේ. මෙම ක්‍රමය උපයෝගී කරගෙන ඇලපාත මිනිරන් දෙණිය කුඩා ඇළක රන් සෙවීමේ දී රත්තරන් හමු වුණි. එමෙන්ම ඇල්ල ඒකල තානායම අසල වෙලක අඩි අටක් ගැඹුට හෑරීමෙන් පසු තිරුවානා බොරලු ඇති මාලාව සේදීමෙන් ඉල්මනයිටි ගානට් සහ සර්කොන් වැලි සමග රත්තරන් හමු වූ බව වාර්තා වේ.’
     රන්කරුවෝ මේ මිශ්‍ර රත්තරන් වෙන් කර ගැනීමට ඔවුන්ගේම ගෘහස්ථ පට්ටලය යොද ගත්හ. තඹ රිදී වැලි ආදී කුමන ද්‍රව්‍යයක් තිබුණද ඒවා කොවේ දමා මකවා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ඔවුන් සතු විය. ඖෂධීය ශාක වල ඉස්ම ඛනිජ ද්‍රව්‍ය ආදිය යොදා ගත් මිශ්‍රණයට මිශ්‍ර රත්තරන් හෝ රිදී දමා අවශ්‍ය නම් රිදී ද අවශ්‍ය නම් රත්තරන් ද ගරා ගැනීමට ඔවුහු දක්ෂ වූහ. අනතුරුව එම දියරය අච්චුවේ බහා සිසිල් වෙන්නට  තබා ගෙන රත්තරන් වාත්තුව ගත් බව පෙනේ.මේ සඳහා භාවිතා කළ වට්ටෝරු රාශියකි. පුස්කොළ ලේඛනයන්හි සඳහන් ඒවා ඇතැම් විට කවියෙන් ද වාක්‍ය ඛණ්ඩවලින් ද හමු වේ. ගංඟා වලින් ගරන මිශ්‍ර රත්තරන් වෙන් කර ගැනීමට රසදිය යොදා ගනී. එම මිශ්‍රණය යොදන්නේ ගඟේ දී නොව පට්ටලයේ දීය. නයිට්‍රික් අම්ලය යොදා මුලින් රිදී හා රත්තරන් වෙන් කර අනතුරුව රත්තරන් එක්කාසු වීමට රසදිය යොදති. තඹ හා රන් මිශ්‍ර කර මසුරන් සාදා ගන්නා ආකාරය කියවෙන කවි යුගළයක් මෙසේය.
සුද්ද තඹෙන් සය කළඳක්   අර ගන්න  -       සුද්ද රනින් එක් කළඳක් අරගන්න
තිත්ත අඟුණ කොල මල් ඉස්මේ ලන්න - සත්ත මිටක් කළ රන් මය අට වැන්න
කටහඬ ඇති දෙන්න එක තරමට ගන්න -          සොඳදිය ගන්න මිතුරන් හට එක් වන්න
බැට දෙන ඉන්න තුන් වෙලුමෙන් අඹරන්න  - තඹ සුණු ගින්න වෙයි මසුරන් දැන ගන්න 
     මේ ලෝහ මිශ්‍රණයට දේශියව මසුරන් යයි භාවිතා කළහ.විදේශිකයින් එයට විලිසියානු රත්තරන් යයි කියූවේ විලිසියානුව නමින් කාසියක් ද තිබූ බැවිනි.කෝට්ටේ යුගයේ සිටි ප්‍රකට රණ ශූරයෙකු වූ වීදිය බණ්ඩාර පරංගින් සමග විරසක වී හිර ගෙයක කොටු වී සිටියදී එයට කපන ලද උමගකින් පළා විත් තම රාජධානිය බවට පත් කර ගන්නා ලද පස්යොදුන් කොරළයේ පැලැන්ද නම් ස්ථානයේ අවට යකඩ රිදී හා රත්තරන් ගරා ගන්නා ලද ස්ථාන දැනට ගවේශණය කර ඇත. මගුරු ගඟ රිදී විට ආදී ස්ථාන වල ආචාරීන් නවත්වා යට කී ලෝහ ලබා ගත් බව ජන ප්‍රවාදයේ සඳහන්ය. වීදිය බණ්ඩාර සෙන්පතියාගේ රත්තරන් නළල් පටය මේ රන් වලින් සාදන ලද අගනා කලා නිර්මාණයකි. මැටි මුට්ටියක බහා තිබූ මේ නළල් පටය බදුරලිය කම්මලක් අසලදී 1999 වසරේ දී සොයා ගන්නා ලද අවස්ථාවේ දී එය ඉතා හොඳ තත්වයේ පැවතුණි.  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශය විසින් කරන ලද පර්යේෂණයේ දී තහවුරු වූයේ මේවා කැරට් විසි හතරේ රත්තරන් බවයි. විලිසියානු රත්තරන් යනුවෙන් එකළ හඳුන්වන ලද්දේ මේ රත්තරන්ය.
      යටකී ලෙස ගංගා වලින් ගරා ගන්නා ලද විවිධ මිශ්‍රණවලින් යුක්ත රත්තරන් කොවේ දමා මකවා ප්‍රයෝජනයට ගන්නා ලදී. රිදී ප්‍රමාණය වැඩි නම් රිදී වෙන් කර ගන්නා ලදී. රිදී සෑදිම යනුවෙන් සඳහන් පුස්කොළ ලේඛණයක් දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇත. එහි ඇතුලත් මේ වට්ටෝරු මගින් රත්තරන් හා රිදී වෙන් කර ගන්නා සාම්ප්‍රදායික තාක්ෂණය  පෙන්නුම් කරයි.
      ‘රසදයි කළන් එකයි සාදිලිංගම් කළන් එකයි තුත්තනාගම් කළන් එකයි රත්තරන් පාසානම් කළන් එකයි. මේ දේ කලු අත්තන කොළ යුෂයෙන් අඹරා කෝවක දමා දහයියා වලින් දෙවරක් ගිනියම් කර ඉක්බිති හැර ගෙන තබා කළඳට මංචාඩි හතක බර දමා මකුනු. මෙහි සඳහන් බොහෝ දේ රස වෙදකමට ගැනෙන ඛනිජ ද්‍රව්‍යයන්ය. දහයියා මැදි කර පොල් කටු අඟුරෙන් ගිනියම් කරන ලද කෝවකකට දමා මකවා ගැනීම පැරණි සම්ප්‍රදායයි.’ මේ තවත් වට්ටෝරුවකි. ‘රත්තරන් අල්මාරි දෙකළඳයි රසදිය මංචාඩියයි. එලුමරින්දු ඇතුලේ සාරා දමා නුහුල් පොටකින් වෙනුවැන්න කිරි නෙල්ලි යුෂ තල තෙල් මෙකී දේ මුට්ටියක දමා ලිප තබා මැටි බැඳ ගිනියම් කර නැවත ගෙන කුඩු කර දෙකළඳ මංචාඩි තුන බැගින් ගෙන කෝවේ දමා මකවා ගැනීමෙන් රිදී ලබා ගත හැකිය.’
    මේ ආකාරයට රන් රිදී හා තඹ ආදී ලෝහ මිශ්‍රව පවතින ස්ථාන සොයා බලා අමිශ්‍ර ලෝහ සාදා ගැනීම ලංකාවට විශේෂිත වූවක් යයි සිතමි. නිධි වලින් ගරා ගැනීමට වඩා මෙලෙස සුද්ද කර ගන්නා ලද ලෝහ ඇතැම් විට මිශ්‍රව යෙදීමෙන් බුදු පිළිම වැන අගනා නිර්මාණ රැසක් කරන ලදී.  යටත් විජිත යුගයේ සිට මේ අගනා කර්මාන්තය ගැන තොරතුරු රැසක් ගොනු වී තිබුණද ප්‍රමාණවත් තරම් අවධානයක් මෙතෙක් එයට යොමුව නැත. මෑතකදී කැළණි ගඟෙන් මතුවන්නට පටන් ගත් රත්තරන් කැබලි ද මේ ලෙස රටේ වාසනාවට මතුවීමක් ලෙස කල්පනා කළ හැකිය.  රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. රත්තරන් මතු වූයේ අනුරාධපුරයට ඊශාන දෙසින් තුන්යොදුනක් ගිය තන්හි ආචාරවිට්ටි නම් ගමෙහිය. රිදී විහාරය පිහිටි ලෙනකින් එලෙසම රිදී පහළ වූවායයි කියා තිබේ. මෙලෙස නොයෙකුත් ඛනිජයන් පහළ වීම මැනවින් කලමණාකරනයට ලක් කල හොත් ලංකාවේ අතීත සම්ප්‍රදායට සරිලන පරිදි අගනා කර්මාන්ත රැසක් යළිත් පණ පිහිටුවා ගත හැකිය. එහෙත් මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ වර්තමාන කාර්යභාරය වී තිබෙන්නේ රන් කරුවන් ගෙන් හා ගරන්නන් ගෙන් බලපත්‍ර ගාස්තු ලබා ගැනීම පමණකි. කැලණි ගඟේ රත්තරන් ගැරීමට ද රුපියල් දෙදහක මුදලක් අය කිරීමට තීරණය කර ඇත.  සාම්ප්‍රදායික රන් කරුවන් රාශියක්ම ලංකාවේ විවිධ තැන්වල විසිර සිටී. ඔවුන් ගේ කර්මාන්ත ආරක්ෂා කරලීමට හා දියුණු කරලීමට රජයට විධිමත් වැඩපිළිවෙලක් ද නැත. මීට වසර විස්සකට පණ ප්‍රථම රන්කරුවන්හට රත්තරන් කෝටාවක් ලබාදී ඇත.
     ආත්මාර්ථකාමී චේතනාවන්ගෙන් පිරි දෙශපාලකයින් හා නිළධාරීන් අරක් ගෙන සිටින රජයේ ආයතන වලින් පොදු ජනතා සුභ සිද්දියක් සිදු වේ යයි  වර්තමානයේ නම් විශ්වාශ කළ නොහැකිය. කැළණි ගඟේ රත්තරන් මතුවීමේ සිද්දියෙන්ද මේ ඛේදවාචකය ඉස්මතු වී ඇත.එබැවින් මේ වාසනාව අවාසනාවක් වන්නටද වැඩි කලක් ගත නොවනු ඇත. පෙර රජවරන් තැන්පත් කළ නිදන් වස්තු වලට කරන විනාශය ගැන කල්පනා කළ හොත් මේ කොල්ල කෑමේ තරම වටහා ගත හැකිය.
                                                                                                                                                                                        

No comments:

Post a Comment