පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 20, 2012

කපුටන් බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්න

                                        පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කරන පරිදි පසුගිය වර්ෂයේ නිදන් හෑරීම් 1063 ක් වාර්තා වී ඇත.මෙහි උච්චතම සිද්දිය වාර්තා වූයේ මහ විලච්චිය පළාතෙනි. එහි වැව ඉස්මත්තේ බැකෝ යන්ත්‍ර යොදා වලවල් හෑරීමේ නිරත වූ විශේෂ කාර්ය බලකා සෙබලු කණ්ඩායමක් ගම්මුන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් නිදන් හොරකම් ගැන රජයට ද ඇඟිල්ල දික් වූයේය.ඉපැරණි ශිෂ්ඨාරයක් හිමි රටක මෙවැනි තත්වයක් උදාවීම බෙහෙවින්ම ඛේදනීය කරුණකි.
            ලංකාවේ බෙහෝ පළාත්වල පැරණි රාජධානි පිහිටා තිබූ බව ඉතිහාසයේ සදහන්ය. බස්නාහිර තෙත් කලාපයේ පවා වනදුර්ග අතර මෙවැනි බලකොටු පිහිටා තිබී ඇත. නමුත් වැඩි වශයෙන්ම පැරණි රජරට නොහොත් උතුරේද රුහුණේද නැගෙනහිර පළාතේද මෙවැනි රාජධානි දීර්ඝකාලයක් පැවතී ඇත. එසේම මේ පළාත්වල සෑම වැවක් ආසන්නයේද පැරණි සිද්ධස්ථානයක් පිහිටා තිබුණු තරමටම බුද්ධ ශාසනය ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබුණි.මෙවැනි ස්ථාන  දාගැබ් පෙති පිළිම මෙන්ම බොහෝ පුරාවස්තු වලින් ගහනය. සතුරු ආක්‍රමණ වලින් පසුව මේ ස්ථාන නටබුන් වී ගිය පසු ගඩොල් ස්ථර ඇරුණු කොට ඉතිරිව ඇත්තේ ගලින් නෙලන ලද විවිධාකාරයේ පුරා වස්තු පමණකි. ඉතිහාසයේ සඳහන් පරිදි මේ ස්ථානයන් සඟසතු කොට පූජා කරන අවස්ථාවලදී ධාතු නිදානයන් කර ඇත.අැතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය. එසේම සිංහල වෛද්‍යවරු තමන් සතුව පාරම්පරිකව පැවත ආ වෙදකම මෙන්ම ප්‍රතිකාර ක්‍රමයන්ද ඇතුලත් පුස්කොළ පොත් මෙන්ම හෙණරාජ තෛලය වැනි බලගතු තෙල් වර්ග යම් යම් ස්ථානයන්හි තැන්පත් කරන ලද්දේ සතුරන් ගෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය. ඒවා හැඳින්වෙන්නේ බෙහෙත් නිදාන ලෙසිනි. මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව්  නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ.
       අනුරාධපුර රාජධානිය වැඩි වර්ධනය වන විට බුද්ධ ශාසනය ට වෙසෙසි රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය.රජවරු ශ්‍රද්ධා භත්තියෙන් විහාරස්ථාන වලට ඉඩකඩම් පූජා කළහ. ඉන් පසු ඒ දීමනාවන් ගැන ජනතාවට දැන ගත හැකිවන පරිදි අත්තාණි කණු පිහිටවූහ. ඇතැම් විට ගල් පර්වත වල සටහන් කර තැබූහ. පසු කාලයේදී බහුලව තඹ සන්නස් මගින් මේ ඉඩ කඩම් පූජා කළහ. මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි. කවුඩු බලු වෙත්වා යන පාඨය මෙහිදී අවධානය කර ඇත. මෙලෙස ශාසනික පරිභෝගික වස්තූන්ට හානි කිරීම බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. වැව් ආශ්‍රිතවද යම් යම් වස්තූන් නිදහන් කරන ලද්දේ වැවේ නඩත්තුව පිණිසයි.  කෙනෙකු එම වස්තුව ගොඩ ගෙන පුද්ගල පරිභෝජනයට ගනී නම් එයද බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. බෞද්ධ ධර්ම දේශනා වල හරය මැනවින් තේරුම් කර ගෙන සිටි පැරණි ජනතාව පවට බිය ඇති පිරිසක් වූහ. එසේම රාජ නීතියටද බිය වූහ. මේ නිසා ඔවුන් අතින් මේ පූජා වස්තු වලට කිසිම හානියක් සිදු නොවූහ. සතුරු ආක්‍රමණ වලදී දාගැබ් බිඳ වස්තුව පැහැර ගත් අවස්ථා රාශියක් වාර්තා වී ඇත. එහිදී වුවද සාමූහිකව එම ස්ථාන ආරක්ෂා කර ගන්නට සටන් වැදුණු ජනතාව ගැන ඉතිහාසයේ ඇත.
      . වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය.මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය  පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය. යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බොහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
     වර්තමානයේදී මේ සියලු පාපකර්මයන් වලට පෙළඹිමක් සමාජය තුල ඇතිවී තිබේ.කොටි ත්‍රස්වාදීන් හෝ යුරෝපීය යටත් විජිතවාදීන් නොකළ තරමේ විනාශයක් රටේ පූජ්‍ය ස්ථාන වල සිදු වේ. ආරක්ෂක අංශවලින් පවා මෙවැනි අපරාධ වලට රුකුල් දීමක් සිදු වන බව වාර්තා වේ. මෙම තත්වය පාලනය කිරීමට පත් කර ඇති පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව කටයුතු කරන ආකාරය දෙස බලන කල්හි අඩුපාඩු රාශියක් ම දක්නට ලැබෙන බව කිව යුතුය. පළවැනි කාරණය නම් පැරණි නිදන් වස්තු පිළිබඳ ඔවුනට තිබෙන අනවබෝධයයි. උදාහරණයක් වශයෙන් යම්කිසි ගල් පර්වතයක් බෝර ගසා එහි තුල තිබෙන යම්කිසි වස්තුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දෙපාර්තමේන්තුව නිරුත්තර වේ. ඊට හේතුව සළකුණු සෙල්ලිපි හෝ භෞතික ඉඳිකිරීම් නොමැත්තේ නම් එම ස්ථානය පුරවිද්‍යා ස්ථානයක් ලෙසට ඔවුන් නොපිළිගැනීමයි. නමුත් නවීන ස්කෑන් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන නිදන් කොල්ලකරුවන් ඒ ස්ථාන වල තිබෙන භෞතික වස්තූන් නිරීක්ෂණය කරති. එවැනි ස්ථාන රාශියක් ගැනම දිවයින සෑම තැනින්ම වාර්තා වී ඇත. මේ ස්ථාන ගැන තිබෙන නොතේරුම් කම නිසා ඇතැම් විට නිළධාරීන් විසින්ම මේ ගල් පර්වතයන්හි ගල් වලවල් දැමීමට අවසර පත්‍ර නිකුත් කරති.නිදන්හාරන්නන් මේ මගින් නිදන්හෑරීමට නීතිමය ආවරණයක් ලබා ගනිති.
       යටත් විජිත සමයේ පිහිටුවා ලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් ක්‍රියා කරන්නේ එම මානසිකත්වය අනුවයි. ඔවුන් ගේ බෙහෝ වාර්තාවන් හෝ සෙල්ලිපි සංග්‍රහයන් සිංහල භාෂාවෙන් පළවන්නේ නැත. මේ නිසා සෙල් ලිපි ගැන හෝ වෙනත් පුරා වස්තු ගැන සාමාන්‍ය ජනතාවට අවබොධයක් නැත. මේ නිසා ටැම් ලිපි රාශියක්ම නිදන් හාරන්නන්ගේ යකුලු පහරට ලක් වී ඇත. කෙසේ වෙතත් පාසල් අවදියේ සිටම මේ පූජනීය වස්තු ගැන වැටහීමක් ලබා දිය යුතුය. පවට බිය ඇති කීරීම මෙන්ම අදාල නීති නිසියාකාරව ක්‍රියාකිරීමද අත්‍යවශ්‍ය කරුණකි. පොළව යට තිබෙන නිධි රජය සතු වුවත් ඒවා දේශපාලකයිනට ලබා ගැනීමට අයිතියක් නැත. මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයට දක්වන කුඩම්මාගේ සැලකිල්ලෙන්ම ඒ බැවි සනාථ වේ.
                                               
     

   
      

No comments:

Post a Comment