කෝට්ටේ ජයවර්ධන පුර බලකොටුව නිර්මාණය කොට උතුරේ ආර්ය චක්‍ර`වර්තී පාලනයට අභියෝගයක් වූ නිශ්ශංක අලකේශ්වර( ප්‍රභූ රාජ ) සිංහල රජ පෙළපතේ පඩුවස් දෙව් පරම්පරාවට අයත් වේ. දළ සෙන්(දාපුලුසෙන් ගිරි වංශ) ගමු මිගන්තරු(මැණික් ඔටුනු දරන්නා) නම් පල්ලව රටේ අලකේශවර පරම්පරාවේ වීර කේරළ රජුගේ මුණුබුරා වශයෙන් හේ සැලකේ. සතුරන් ට බියෙන් පල්ලව රටට පැන ගොස් එහි සේනාවන්ගේ ද රජුගේ ද සහායෙන් නැවතත් සිය උරුමය වන ලංකාවේ රාජ්‍ය බලය ලබා ගත් මාන නොහාත් මාන වර්මන් රජුගේ පරමිපරාවට මේ අලකේශ්වර පෙළපත අයත්ය. උතුරේ ආර්ය චක්‍රවර්තී බලපෑම නිසා අවතැන් වූ සිංහල රජ පෙළපත ස්ථාවර කිරීමට නිභයව අනලස්ව කටයුතු කළ නරපතියෙකු ලෙසට ඔහු සැලකේ.
මැඩියෙකුට පැරදුනූ නයෙකු පැන යන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් කෝට්ටේ දරගම නම් නියම් ගම ජය භූමියක් යයි නිශ්චය කොට එහි බලකොටුවක් තනවන්නට මේ අලකේශවරයන් කළ උත්සාහය. ඉතිහාසයක් වෙනස් කළේය. ඉන්දියාවේ විජය නගර අධිරාජ්‍යයේ හරිහර මහ රජහු විසින් උතුරේ ආර්ය චක්‍රවර්තීන් යටත් කර ගැනීම නිසා කලින් වීර අලකේශ්වර හා කරන ලද යුද්ධයේ දී කරන ලද පක්ෂපාතී දිවුරුම අහෝසී වූ වායි සලකා නිශ්ශංක අලකේශ්වරයන් ස්වාධීන වන්නට උත්සාහ ගත් බව මහාචාර්ය පරණවිතාන සිය ලිපියකින් අවධාරණය කර ඇත. අලකේශ්වරයන්ගෙන් ලද සංදේශය නිසා කිපුණු මර්තාණ්ඩ ආර්ය චක්‍රවර්තී මහ සේනා දෙකක් මාතලේටත් පානදුර හා කොළඹටත් එවූවත් රයිගම සිටි අලකේශ්වර සොහොයුරු දේව මන්ත්‍රී මේ සේනාව පරාජය කොට නැව් පවා පොඩි පට්ටමි කරන ලද බව පැවසෙයි. මින් පසු විජය නගරේ හරිහර රජුගෙන් ආධාර උපකාර ගත් මර්තාණ්ඩ ආර්ය චත්‍රවර්තී යාපා පටුනට මහසේනාවක් ගෙන්වාගෙන අලකේශ්වර සමග සටනට සූදානම් වන අතර නිශ්ශංක අලකේශ්වර සිය බෑයා සමග සේනා සංවිධාන කොට යාපනයට ගොස් එම සේනාව හා යුද්ධ කොට පරාජයව සෙංකඩගල ශ්‍රී වර්ධන පුරයට විත් කඳවුරු බැඳගෙන සිටියහ. සෙංකඩගල නාථ දේවාලය පුරාණ රජ වරුන්ගේ අභිෂේක ස්ථානය බැවින් අලකේශ්වරයන් එහි පුද පූජා පවත්වමින් තමන් විසින් බුද්ධ ශාසනයට කරන ලද මෙහෙවර සිහිපත් කරමින් සිටිනා එක් දවසක මැදියම් රැය ගත වූ පසු නාථ දෙවියන් නා ගහේ දෙවියනුත් සමග සිහිනෙන් පෙනී සිට යුද්ධය දිනා ගත හැකි ආකාරය කියා දී අතුරුදහන් විය.
මාර්තාණ්ඩ ගේ සේනාව මාතලේ සිට කටුගස්ගොට හරහා මහවැලි ගගෙන් එතරව සෙංකඩගලට ප්‍රවිෂ්ඨ වන්නට එන විට අලකේශ්වරයන් මේ සේනාවට පහර දුන් අතර නැවත මාතලේ කඳවුරට පසුබස්නා ද්‍රවිඩ සේනාවට පිටුපසින් සිට පහර දීමට දේව මන්ත්‍රී සෙන් පතියා ද මේ වන විට මාතලේට පැමිණ සිටියහ. දෙපැත්තකින් පහර කෑ ආර්ය චක්‍රවර්තී සේනාව පරාජයට පත් වූ බව ඉතිහාසයේ සඳහන්ය..
මේ නිශ්ශංක අලකේශ්වර බෙදී බිඳී තිබූ මුලු රටම නැවත එකසේසත් කිරීමට ගත් මහන්සිය ඉතිහාසයේ එතරම් වර්ණනා කර නැත. ඔහු අනුරාධපුර ඇතුලු බෞද්ධ පුරවරයන් නැවත පුනරුත්ථාපනය කොට ගංපළ දී පස්වන බුවනෙකබාහු නමින් ඔටුනු පළන් බවද ඉතිහාසයේ සඳහන්ය. මේ රජු විසින් සිය නව වැනි රාජ්‍ය වර්ෂයේ දී පිහිට වූ පාත හේවා හැට සපුතල සගම සෙල් ලිපිය මෙහි ඉහත සඳහන් කළ පුරාවෘත්තය සනාථ කරවන සටහනක් වෙයි. සිය රාජ්‍ය පාලනයට උදව් උපකාර කළ නාථ දෙවියන් සිහිපත් කිරීමක් මෙහිදී වෙයි.මෙහි සඳහන් වන්නේ එම ලිපියයි.
ශ්‍රී
සුසැදි සිරිවත් නිලිකිත් රිවි කුල තිලක-ත්‍රී සිංහලාධීස්වර නවරත්නාධිපති ශ්‍රී භුවනෙකබාහු රාජෝත්තමයන් හට නව වනු සකල ගුන මණි නිධි ජල නිධි ප්‍රශසතශ කති ධරෂණ මුඛ පරනාරී පරාඩ මුඛ ශ්‍රී බෝධි වඩා සපැමිණි ගණ වැසි කුළ මාතෘ වංශ පීතෘ වංශ මෙණවර කුල මෙ යුගන්ධර දිවාකර නිශාක් ලෙසින් ලො එකලු කළ සිරි නුදුල අලකේශවර දේව මන්ත්‍රීශ්වර දෙබෑයන් මෙලක් දිව් ලො සසුන් වැඩ සදහා කරනා උත්සාහය ට පිහිටැව ස්වප්නයෙන් පෙනී ජය කාරණා දක්වා ශශත්‍රැ පක්ෂ අපර පක්ෂ චන්ද්‍රයා සේ කර මිත්‍ර පක්ෂ පූර්ව පක්ෂ චන්ද්‍රයා සේ කරවමින් මෙසෙදේවතා ප්‍රසාදයෙන් ලංකාව එකත්පත්‍ර පත්‍ර කොට තනා සකළ අභිවෘද්ධි කළ හෙයින් සෙන්කඩගල නාථ ස්වාමීන්ට ත් නාගස දෙවියන්ටත් මෙ අමාතෙනාම දෙදෙනාගෙ නමින් නිරන්තරයෙන් පාබත් පුදන ලෙසට සගම බද සපුතල ගම කුම්බුරු බිජුවට දෙයාළ දසමුණක් මෙහි බද ගම් මුදල ගසකොළ වල්පිට ඇතුලුවූ තැන් ඉර සඳ පමුණු කොට දුන් මෙ ගමට ඉදිරියෙ රජ යුව රජ මහ ඇමති ඇදී තම තමන්ට වැඩ කමත් තැන් විසින් දේවාලයට චිරාත් කාලයක් පවත්වා ලිය යුතු.
නිශ්ශංඛ අලකේශ්වරයන්ට රට එක සේසත් කර ලීමට කරන ලද වෑයම පල දැරීමට අවශ්‍ය වූ ප්‍රධාන සාධක දෙකක් විය. ප්‍රධාන සාධක ය වූයේ දළදා වහණ්සේ ගේ භාරකාරත්වයයි. දෙවැන්න නාථ දෙවියන්ගේ ආශීර්වාදයයි. අලකේශ්වර පරම්පරාවේ බොහෝ ප්‍රභුවරු දශවන සියවසෙන් පසුව ලංකාවට පැමිණ ලංකාවේ රාජ්‍ය බලය හා සමගාමී වන්නට ගත් උත්සාහය ඵල දරන්නේ පෙළොන්නරු යුගයේ දීය.ලක්දිව දකුණු දෙස පාලනයට උරදුන් රක්ඛ කංචුකී නායක ද මේ අලකේශ්වර පරම්පරාවට අයත්ය. මේ අවදියේ රයිගම වීදාගම පෙදෙස පාලනයට ද අලකේශ්වර පරම්පරාවේ මාණ්ඩලිකයෙකු පත් කර තිබී යයි පැවසේ. නිශ්ශංක අලකේශ්වරයන්ගෙන් පසුව දිගින් දිගටම රයිගම පාලනයට මේ අලකේශ්වර රාජකීයන් පෙළඹෙන්නේ එහි මේ පෙළපතට යම් කිසි ස්ථාවරත්වයක් තිබූ හෙයිනැයි සිතිය හැකිය. මේ නිසා රයිගම දළදා වහණ්සේ වැඩමවීමට සුදුසු ස්ථානයන් ද නාථ දේවාලයක් ද පිහිටා තිබුණි.
වර්තමානයේ රයිගම් පුරවරයේ නාථ දේවාල දෙකක් වෙයි. එකක් වීදිය ගොඩ දේවාලය වන අතර අනෙක දාමින් ගමුවේ දේවාල යයි. කොන්ස්තන්තීනු සටනෙන් පසු වල්වැදුනු සිංහල රජ පරපුර වරින් වර වීදිය ගොඩ නාථ දේවාලයට පැමිණ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර ගිය බව එහි ඉතිහාසය දන්නා අය පවසයි. නමුත් දාමින් ගමුවේ නාථ දේවාලය පිළිබඳ එවැනි සමිප්‍රදායක් නොපැවති බව පෙනේ. මෙහි කපු පරපුර හොබවන හඳපාන්ගොඩ ගේ පෙළපතේ ක්‍රිස්තියන් අප්පු නැමැත්තෙක් යටත් විජිත යුගයෙන් පසුව දේවාල භූමියට පැමිණ කටුකොහොල් හෙළි කර එම ස්ථානයේ වාර්ෂික දෙවොල් මඩු ආදිය පවත්වමින් චාරිත්‍ර ඉටු කළ බවක් පෙනේ.
දේවාලය භූමියේ තිබෙන නාගස් විශාල ප්‍රමාණයකි. ඒවායේ ආයුෂ ද කිව නොහැකි තරම්ය. දහ නව වන සිය වසේ දී මෙම ස්ථානයේ තිබෙන පැරණි වරිච්චි දේවාලය කඩා වැටී ජරාවාස ව තිබූ අතර නව දේවාලය තැනීම සඳහා කටයුතු කරමින් සිටින අවස්ථාවේ දී පසට යට වී තිබූ ලෝකඩ නාථ හිටි පිළිමයක් මතු වී ඇත. අඩි එකහ මාරක් පමණ උසින් යුතු එම පිළිමය දකුණතින් අභය මුද්‍රාව ද වමතින් වරද මුද්‍රාව ද දරයි. හින්දු දේව සංකල්පයට නෑකමි කියන මුහුණුවරක් එහි දක්වයි. මෙම පිළිමය දාමින් ගමුවේ දේවාලයේ තැන්පත් කොට තබා පුද පූජා පැවැත්වීමට කටයුතු සැලැස්වුණි. එහෙත් දාමින් ගමුවේ නාථ දේවාලයේ සිදු වූයේ රජකීය චාරිත්‍ර නොව කෝට්ටේ යුගයෙන් පසු කලකදී ඇති වූ පත්තිනි දේව චාරිත්‍ර විදියයි. එම දේවාල භූමියේ තිබූ හාස්කමි ද රාශියෙකි.මෙහි ගං මඩු නටන අවස්ථාවකදී එම ස්ථානයට වන්දනාවට පැමිණි ගැහැණු ළමයෙකු වැඩිවිය පත් වීමෙන් මල් යහන් වලට ගිනිගත් බව පැරණියන් පවසයි. දේවාල වත්ත එළි කරන විට කුඩා නයි පැටියෙකු උදැල්ලට කැපීම නිසා මහ නයි විශාල ප්‍රමාණයක් විත් වත්ත සුද්ද කළ පුද්ගලයා වට කර ගත් බව ද අනතුරුව එකළ කපු තනතුර දැරූ ජේමිස් කපු මහතා දෙවියන් ඉදිරියට පැමිණ ඇස් පේන්නේ නැද්ද මේක වැරදිලා කරපු වැඩක් යයි ප්‍රකාශ කළ බවද ඉන් පසු එම නයි පෙරහැර ඉවත් ව ගිය බව ද පැවසේ. එම නිසා පොදු ජනතාව මෙම ස්ථානයට වෙසෙසි ගෞරවාදරයක් දක්වයි.
නිශ්ශංක අලකේශ්වරයන් විසින් ජය භුමියක් බවට පත් කල කෝට්ටේ රාජධානියට ප්‍රථම රයිගම හෙවත් වීදාගම පෙදෙස ජය භූමියක් ව පැවති බව පෙන්වන්නට තිබෙන හොඳම සාක්ෂිය මෙම නාථ පිළිමයයි. එහි පවත්නා මුද්‍රා ස්වරූපයෙන් එය ලෝකේශවර නාථ පිළිමයක් බවට සනාථ වෙයි. බෞද්ධ නාථ සංකල්පය ශාරි පුත්‍රය නමි වාස්තු විද්‍යා ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.
දවිභූජං ශෙවත වර්‍ණණඤච -අභයං වරදං තථා
අක්ෂ මාලා කිරීටඤච -ශෙවතාඞගං ස්‍යාම වස්ත්‍රකම්
පද්මාසනං තථා වාපී -බෞද්ධ නාථස්‍ය ලක්ෂණම්
පොලොන්නරු යුගය සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරයේ පරාධීන යුගයෙකි. දේව සංකල්පයන්ට එහි බලවත් තැනක් හිමිව පැවතුණි. බොහෝ ප්‍රතිමා ද තනවන ලද්දේ ඒ ආභාෂයෙන්මයි. එකළ නාථ දේව මණඩලයට අදිගෘහිතව සිටි ලෝකේෂවර නාථයන් බෞද්ධ පක්ෂයට වඩා හින්දු පක්ෂයට බර වූ අදහස් ඇති ප්‍රධානියෙකු යයි සඳහන්ය. දාමින්ගමුවෙන් සොයා ගන්නා ලද නාථ පිළිමය ද මේ ලක්ෂණ දක්වන අතර එය වර්තාමාන නාථ පිළිම අතර සුවිශේෂී ප්‍රතිමාවක් බවද කිව යුතුය.
No comments:
Post a Comment