පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, February 25, 2012

බුදු ගල සිරිපතුල මගින් හෙළිවන කූරගල ඉතිහාසය

                                           කූරගල නොහොත් කුහරේගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශණයක් දක්නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මෙම  ස්ථානයට ජනී ජනයා ඇළුමි කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්තොට ජනපද ව්‍යාපාරය ලෙසට හැදින්වේ. එකම තැනිතලාවක් ලෙසින් දිස්වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැවි ද පිළිවෙලකට එලා ඇති ලියැදු සහ වන රොදවල් ද දකින්නෙකු ඉන් වශී වෙයි.
         දහනම වන ශත වර්ෂය ආරමිභයේ දී මේ කූරගල පර්වතය අවට පිහිටා තිබුනේ වනගත ගමිමාන කීපයක් පමණකි. කූරගල අසළම පිහිටියේ තන්ජමයි.දුරාතීතයේ දී භික්ෂූන් වහණ්සේලාගේ තපෝවනයක් ව පැවති මේ ලෙන් සංකීර්ණය වන ගහනයට මැදිව හුදකලා වූයේය. ඒ යටත් විජිත ග‍්‍රහණය නිසාවෙන් යයි සිතිය හැකිය.
              මේ වන ගහනයට මැදිව හේන් ගොවිතැනෙන් යැපුණු දුප්පත් ගොවි පවුල් කීපයක් සිටි අතර කල්තොට බින්තැන්නේ කුඩා වැව් වලින් ජලය ගෙන ගොවිතැන් කරන සුලු පිරිසක් ද විය. මොවුහු අස්වනු කපා පාගා ගෙන අලුත් සහල් මංගල්ල්‍ය සදහා කිරි ආහාර පූජා කිරීමට පැමිණියේ කූරගල පර්වතයටයි. ඒ එහි හාස්කම් පවතින බැවිනි. මංගර දෙවියන්ගේ බැල්ම සහ සමන් දෙවියන්ගේ බැල්ම මෙහි පවතින්නේ යයි ගැමියන් තුල විශ්වාශයක් පවතී. කල්තොට මැද බැද්ද බුදුගල වැලිපොතයාය ආදී ගම්මාන වලින් පිටත්ව බුදුගල පුරාණ ආරාම සංකීරණයේ නටබුන් දැක බලා ගෙන කූරගල පර්වතය තරණය කිරීම මේ ගම්මුන් ගේ සිරිත වූ බව කියති. අලි ඇතුන් ගේ වාස භූමියක්ව පැවති නමුත් මේ වන්දනා සමූහයට එහිදී කිසි අනතුරක් නොවුණු බව ගම්මුන් පවසන්නේ මේ දෙවියන් කෙරෙහි පැවති විශ්වාශය නිසාවෙනි.
         මේ වන්දනා පිරිස බුදුගල කන්ද නැග කූරගල පර්වතයට පිවිසෙන පඩිපෙළට අවතීර්ණ වෙති. පඩිපෙළ අවසාන වන්නේ ලුණු දිය පොකුණ ආසන්නයෙනි. එහි දියෙන් සැනහී පිරිසිඳුවී මේ වන්දනා නඩ හිටුවන් ගල හා කූරගල තරණය කරති. ප‍්‍රථමයෙන් හමු වන්නේ දත්ත සුමන හා ලක්ෂ්මන විසින් රහතුන් වහණ්සේලාට පූජා කරන ලද කටාරමි කෙටූ ගල්ලෙන් කීපයයි. එහි පිහිටුවා තිබෙන සමාධි පිළිම වහණ්සේ වැඳ පුදා ගෙන තමන් පැමිණි ප‍්‍රධාන කාර්යය වන අලුත් සහල් මංගල්ල්‍යට ලක ලෑස්ති වෙති.
        කූරගල පර්වතයට තාණ්ඩුල්‍යෙය පබ්බතය යයි ව්‍යවහාර වන්නේ මේ සිරිත් විරිත් නිසාවෙනි. කුහරගල මුදුනේ පෙර තපස් ඉසි වරුන් බවුන් වැඩූ තපස් පිළයි. එයින් මතුවන කුහරය අවසන් වන්නේ ගල පාමුල තිබෙන ලංකා පබ්බතය නොහොත් ශෝන ගල් ගේ ට පිවිසෙන උමං මාර්ගයකට බව පැරණියන් පවසති. නමුත් මේ කියන කාල වකවානුවේ දී එම උමග වැසී තිබුණි. වන්දනා නඩ හිටුවන්ගල මුදුනේ තිබූ ශී‍්‍ර පතුල් ලකුණ වැඳ පුදා ගෙන කිරි ආහාර පූජාව ද නිම කොට ආපසු ගම් රටවක් බලා පිටත්ව ගියහ.
       දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේ දී 1716 වර්ෂයේ දී කූරගල ඇතුළු තන්ජම ප‍්‍රදේශය වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේ ට පරිපාලනය පිණිස පවරා දී තිබුණි. ඉංග‍්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්තෝබර් 07 වන දා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.
       මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉඳිවී බළන්ගොඩ කඩමණ්ඩිය දියුණු වෙමින් පැවතුණි. වෙළෙඳ ව්‍යාපාර බලය මුස්ලිම් වරු අත් පත් කර ගෙන සිටියහ. දුම්කළ නැට්ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයින් ලබා ගත් බව සඳහන්ය.  මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලවිවේය. ඒ ඉංග‍්‍රීසි ආණ්ඩුවේ තානාන්තරයක් දරමිනි.    නිතර නිතර රත්නපුර කච්චේරියට යාමිඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසූ දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක් අවශ්‍ය විය.    මරික්කාර් නම් මුස්ලිමි වෙළෙන්දෙකු සතුව තිබූ මනරම් භූමි භාගයක් රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගේ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශි‍්‍රත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලවිව ඉඳි වන්නේ මේ භූමිභාගයේ ය.   මුස්ලිම් වරු දහඅට වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස් කංසා වෙළෙඳාම හා දඩමස් වෙළෙඳාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය.
 මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්වා අලි කොටි වලස් ආදී වන සතුන් බහුලව ගැවසුනු අතර මොලමුරේ දක්වාම එය එසේ විය. බළන්ගොඩ සිට යෑම සඳහා එකම මග වූයේ බෝවත්ත දක්වා වැටී තිබූ තරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම්සභා පාරෙන් යායුතු විය. එකල මස්තම් නමි මුස්ලිම් භක්තිකයෙක් කූරගලට ගොස් හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප‍්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස් විකුණමින් සිටියේය.
    නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්ලිම් වරු කූරගල ගල්ගෙවල් වල ස්ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදෑනිවරු මේ ප‍්‍රදේශයේ සැරිසරන කල්හි මුස්ලිම් වරු ගල්ලෙන් වල තිබූ බුදු පිළිම කඩා බිද දමමින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය. මේ පිලිබඳ එමි. ජී. බ‍්‍රාහ්මණහාමි නමැති ආරච්චි වරයා ඉහළට රපෝර්තු කලේය. එහි    ප‍්‍රථිඵලයක් වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි.එම ප‍්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්වා ඇත්තේ මෙලෙසය.          
 ‘ කල්තොට ආරචිචි නමටයි..... අලි මස්තාන් විසින් කූරගල අළුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කල බව රපෝර්තු කරනු. ’
    දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්ලිම් වරුන්ට    කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ‍්‍රි පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු විය. ප‍්‍රධාන ශ‍්‍රීපාද ස්ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්ථානය වැදගත්  මුස්ලිම් සිද්ධස්ථානයක් ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැළ ඉවත් කර ගැනීමට සිදුවුවද 1930 පමණ වන විට මුස්ලිම් පල්ලියක් මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්ගහමඩ  පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ. 1968-07-15 දින නිකුත් කරන ලද දෆ්තර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත‍්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්ලිම් දේවස්ථානයක් බවට පත් වී ඇත්තේ එකොලොස්වන ශත වර්ශයේදීය.10 වන සියවසේ අරාබි අක්ෂර මෙම ස්ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්තාන් වැනි සාන්තුවරයින්  ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයා ද මෙහි හිඳ භාවනා කල බව මේ ඊනියා ප‍්‍රකාශනයේ සඳහන් වේ.
      හිටුවන්ගල පතන හිටුවන්ගල වත්ත කූරගල පතන නම් ලත් අක්කර 33 පර්චස් 23 ක් වූ මේ ගල්ලෙන් සංකීර්ණය 1971 අගෝස්තු 11 දින පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ප‍්‍රකාශයට පත් කරන ලදී. ක‍්‍රි.පූ.දෙවනි සියවසට අයත් බ‍්‍රාහ්මී සෙල්ලිපි සහිත මෙම පූජ්‍ය ස්ථානය රහතුන් වහණ්සේලා වැඩ සිටි තපෝ භූමියක් වශයෙන් හඳුනා ගන්නා ලද්දේ පූජ්‍ය විකිළියේ නාරද පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල  පූජ්‍ය වටද්දර ඥාණ්ස්සර හිමි යන නායක හිමි වරුන් ගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාවෙනි. චාර්ල්ස් ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස් තුමා මෙම නිගමනයන් ස්ථීර කරන ලද්දේ වුවද මිථ්‍යා ඉතිහාසයකින් රැවටීමට පත් දේශපාලකයින් ගේ මැදිහත් වීම මත මෙහි අනවසර ඉදිකිරීම් දිගටම සිදුවුණි.
        කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය යයි ආරාම සංකීර්ණ රාශියක් දුරාතීතයේ සිටම මේ   ප‍්‍රදේශයේ පිහිටා තිබුණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්කේ ගල්ටැම් යායයි. පලුගහවැව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක් ඔස්සේ කූරගල  දෙසටත් පාරක් තිබූ බව පැරැණ්නන් කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉඳිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක් පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්නට ඇත.මේ සියලු සිද්ස්ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව   කෝටිටේ යුගයේ දී එකම ආරාම සංකීර්ණයක් බවට පත්වුණ ආකාරය අධ්‍යනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේ දී මේ ස්ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.
           මෙම ආරාම සංකීරණයේ පැරණිතම ස්ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක‍්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධසථානයක් වශයෙන් එය ස්ථාපිතව ඇත්තේ බුදුන් වහණ්සේගේ ලංකාගමනය සිදුවූ අවස්ථාවේදී බවට සාධක පවතී.  බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේ දී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්තකයේ ශ‍්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබදව සඳහන් වන නමුත් ජන ප‍්‍රවාදයන්ට අනුව මහියංගනයට පැමිණීමට ද ප‍්‍රථම බුදුන් වහණ්සේ මුහුදු යාත‍්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්කම නම් ස්ථානයේ ප‍්‍රථම ශ‍්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්ෂ ගෝත‍්‍රිකයින්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ‍්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.
     කූරගල ද රාක්ෂ ගෝති‍්‍රකයින්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යෑමෙන් පසුව එහි ගල්ලෙන්  භාවනායෝගී රහතුන් වහණ්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක් ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ‍්‍රීත ජන ප‍්‍රවාද ජන කවි වල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහණ්සේ වැඩිය ගමනේ දී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක් දිනා තිබේ.
     අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප‍්‍රවාද තහවුරු කරන සළකුණු කීපයක් ඇත.ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත්  රූපයක් ද ගුවන් යානාවක හැඩයක්ගත් රූපයක් ද එහි ඇත. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිත් දෙකෙන් කියැවෙන්නේ සිරිපතුල් දෙකක් ඇති බවයි. තුන් වැන්න සවස්තිකයයි. එය රාක්ෂ ගොත‍්‍රිකයින්ගේ ගෝරා පසලම නමි සංකේතයයි. පළමු සළකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත‍්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වුවද කූරගල ජන කවි අතර ඇති එක් කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.  
 ‘තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ’  යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ  දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
       සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ‍්‍රද්ධා භක්තියෙන් පිරී ඉතිරී ගොස් සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්ම වූ සාධු පිළිවෙතයි. අන්‍යාගමිකයින්ගේ යකුලු පහරකට හෝ මිථ්‍යා මතවාදයකට එම හැදියාව වෙනස් කළ නොහැකි බව ඉතිහාසය විසින් අපට පසක් කොට දී තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.
                                          
                                   

1 comment:

  1. මේ තරම් ඉතිහාසයක් පැහැදිලිව තිබිලත් ඇයි කූරගල බෞද්දයන්ට අහිමි ....

    ReplyDelete