පරිසරය සහ ප‍්‍රඥාව මත බිහි වූ හරිත රසායනය
රසදිය ලෝහය උග‍්‍ර විෂ සහිතය. එය නවීන විද්‍යාඥයින් භාවිතා කරනු ලබන විවිධ ආකාරය දෙස බැලූ විට නූතන රසායන විද්‍යාවේ චින්තනය පිළිබඳ ඉඟියක් ලැබේ. උණ කටුව සෑදීමට කැඩපත් සෑදීමට ආදී වශයෙන් එය කාර්මික නිෂ්පාදනයන්ට ද භාවිතා වෙයි. රත්තරන් රිදී තුත්තනාගම් ආදිය ද එසේමය. ගෙන්දගම් භාවිතයේ විවිධ අවස්ථා ද ඉතිහාසයෙන් හමු වෙයි. පාෂාණම් නොහොත් ආසනික් ඛනිජය ද දිගු කාලයක් තිස්සේ ලෝකයේ විවිධ රටවල භාවිතා කර ඇත. ලෙඩ් ආසනේට් කොපර් ආර්සනේට් ආදී වශයෙන් රසායනික ද්‍රව්‍ය වශයෙන් යොදා ගැනීමට යුරොපීයන් සමත් වූ බව ඉතිහාසයෙන් පෙනේ.
වස විස දෙවර්ගය එකවිට භාෂා භාවිතයේ යෙදුන ද මෙම ද්‍රව්‍යයන් මනුෂ්‍ය ශරීරයේ ක‍්‍රියා කරනුයේ විවිධාකාරයෙනි. වස වර්ග මනුෂ්‍ය ශරීරයේ දී වහා ක‍්‍රියා කාරී වී සප්ත ධාතු ආක‍්‍රමණය කොට මරණය හිමි කරයි. නමුත් විෂ කි‍්‍රයා කරන්නේ වෙසෙසි ස්ථාන පීඩාවට පත් කිරීමට සහ විනාශයට පත් කිරීමටයි. සර්ප දෂ්ඨයේ දී සිදු වන්නේ පළමුව මාංශය ආක‍්‍රමණය කිරීමයි. කුණකටුවා ගරුඬා ආදී සතුන් දෂ්ඨ කළ කල්හි දෂ්ඨ මුව ආසාදනය වන අතර ඉදිමීම ඇති වෙයි. නයා පොළගා ආදී උග‍්‍ර විෂ සහිත සතුන් දෂ්ඨ කළ කල්හි රස රක්ත මාංශ මේද අස්ථි මජ්ජා ශුක‍්‍රාණු ආදී සප්ත ධාතුව ම ක‍්‍රමයෙන් අක‍්‍රමණය වීමට පටන් ගෙන සාමාන්‍යයෙන් විනාඩි හතලිස් පහක් පමණ ඇතුලත ක‍්‍රියා කොට රෝගියා මරණයට පත්කරලීමට ද සමත්ය. එහෙත් ක්ෂණික ව විෂ ඉරීමෙන් කැඳ කෂාය දීමෙන් නස්න කිරීමෙන් රෝගියා ට සිහි එළවා විෂ පැතිරීම වළක්වා ගැනීමට හැකිය. නමුත් වස වර්ග ශරීර ගත වූ විට මෙම ප‍්‍රතිකාර වලින් රෝගියා ගලවා ගැනීමට නුපුළුවන. වස වර්ග ඉතා ඉක්මනින් ශරීර ගත වෙයි. සප්ත ධාතුවම ආක‍්‍රමණය කරයි. එම අවස්ථා වලදී වමනය කිරීමට සැලැස්වීම
( ක්ෂණිකව) මගින් වස නහර ගත වීම යම් තරමකින් පාලනය කර ගත හැකිය. උණු වතුර කෝප්පයකට අබ කුඩු දමා බොන්න දීමෙන් ද අලු කෙසෙල් අල යුෂ බොන්න දීමෙන් ද වමනය සිදු වේ. පළිබෝධනාශක මෙන්ම නොයෙකුත් ලවණ වර්ග ද පල්මානික්කම් මෙන්ම පාෂාණම් ද ශරීර ගත වීමෙන් අත්පා ශිතල වීම සෙම පිට වීම ඇඟ පණ නැති වීම ආදිය ඇති වේ. එවිට වමනය කොට කෂාය දී රෝගියා සුව පත් කරලීම සිංහල වෙද කමේ ප‍්‍රතිකාර විදියයි.
ස්ත‍්‍රී පුරුෂ සිත් වසඟ කර ගැනීමට අතීතයේ දී ඉනා බෙහෙත් කැවූ බව සඳහන්ය.. එය ශාස්ත‍්‍ර හා මානව විරෝධී කටයුත්තක් ලෙසට සැලකුණි. නමුත් ඇතැම් ගුරුකම් දත්තවුන් කෙස් දත් නිය ලේ ආදියද ඖෂධයන් ද යොදා ඉනා බෙහෙත් තනා දුන්හ. ඒ මගින් හිස රුදාව උණ ඔල්මාද ගතිය පපුවේ දැවිල්ල ද ඇති වේ. මේවායේ විෂ ඉවත් කිරීමට ද නොයෙකුත් ප‍්‍රතිකාර විධි පැවතුණි. එසේම ගිරිජාත විෂ කන්ද විෂ මදවති විෂ යයි උද්භීද විෂයෙහි ප‍්‍රභේද වෙයි. ඔක්කාරය සීතල මත් බව එයින් හට ගන්නා රෝග තත්වයයි. ඒවාට ද කැඳ කෂාය ආදිය නියම කර ඇත.
ප‍්‍රතික‍්‍රියා මගින් රසායන ද්‍රව්‍ය තැනීම ද ඒවා නොයෙකුත් කාර්මික නිෂ්පාදනයන් පිණිස භාවිතා කිරීම ද මගින් නූතන රසායන විද්‍යාව බිහි වූ අතර මේ භාවිතාවට දිගු ඉතිහාසයක් ද පවතී. වස යෙදීමෙන් සතුරන් මර්ධනය කිරීම දඬුවම් නියම කිරීමේ දී වස වර්ග පානය කරන්නට දීම ආදිය දේශපාලනය තුල ජනප‍්‍රිය ක‍්‍රියා කාරකම් විය. ඉන්දියාවේ සහ ලංකාවේ වුවද අතීත දේශපාලනය තුල වස ප‍්‍රධාන භාවිතයන් තිබී ඇත. එයට හේතුව විවිධ යුග වලදී විදෙස් දේශපාලන ක‍්‍රම වේද රාජ්‍ය පාලනය වෙත කාන්දු වීමම්.
පාරමිපරික සිංහල වෛද්‍ය ක‍්‍රමයේ මෙන්ම ආයුර්වේදයේ පවා රෝගීන්ට ප‍්‍රතිකාර කිරිමේ දී පාර්ථිව විස වර්ග යොදා ගත් අවස්ථා බහුලව හමු වෙයි. ඒ අතරින් පාෂාණම් ප‍්‍රමුඛ වේ. ගෞරි පාෂාණම් වෙල්ල පාෂාණම් ගරුඬ පාෂාණම් සිවන්ද පාෂාණම් නාග පාෂාණම් ආදී වශයෙන් පාෂාණම් වර්ග පහක් දේශිය වෛද්‍ය ක‍්‍රමයේ දී භාවිතවෙයි. ඊට අමතරව රත‍්‍රං පාෂාණම් නීල පාෂාණම් පරංගි පාෂාණම් පාල් පාෂාණම් කාල පාෂාණම් කුදිර පාෂාණම් යයි තවත් වර්ග පහක් ද වෙසෙසි අවස්ථාවල භාවිත වෙන බව ද දක්වා ඇත.
මෙම ද්‍රව්‍ය අතරින් පරංගි පාෂාණම් පෘතුගීසි යුගයේ දී මෙරට භාවිතයට පැමිණි බව සිතිය හැකිය. පෘතුගාලයේ දී ස්වභාවිකව හමු වෙන පයිරයිට් නමි ඛනිජය ඊට පදනම් ව ඇත.
සිංහල වෙදකමේ බෙහෙත් වට්ටෝරු වල බහුල ව භාවිතා වී ඇත්තේ ගෞරි පාෂාණමිය. බුද්ධ රාජ කල්කය රත්නාදී ගුලිය ආදී වට්ටෝරු ගණනාවක මෙලෙස පාෂාණම් වර්ග යොදා ගැනීම සිදු වී ඇත.වසූරිය පැතිරෙන අවස්ථාවලදී සාදා ගත් ගුලි වල ප‍්‍රධාන ඖෂධය වී ඇත්තේ පාෂාණම්ය. පාෂාණම් පමණක් නොව නොයෙකුත් ඛනිජ වර්ගයන් යොදමින් සකස් කරන ඖෂධ බහුලව හමු වන්නේ රස වෙදකම තුලය. රස වෙදකමේ ආරම්භකයා ලංකාපති රාවනාය. උග‍්‍ර තපස් වරයෙකු ලෙසට සැලකෙන රාවනා අධ්‍යාත්මික බලයෙන් විවිධ ඖෂධ වටිටෝරු සකස් කර ගෙන ප‍්‍රතිකාර කළ බව ප‍්‍රකටය.
රසදිය රිදී රත්තරන් තුත්තනාගම් ගෙන්දගම් හිරියල් පුස්කර සාදිලිංගම් පල්මානික්කම් මෙන්ම මනෝසීල හා සීනක්කාරම් වැනි ලවණ වර්ග ද ඖෂධ ප‍්‍රයෝගයේ යොදා ගැනීම රස වෙදකමේ සිරිතයි. සාමාන්‍යයෙන් මෙම ද්‍රව්‍ය උග‍්‍ර විෂ සහිතය. ඒ විෂ සහිත බව නිසාම ශරීරයේ ඉතා ඉක්මනින් ක‍්‍රියා කාරී වේ. මෙම ක‍්‍රියා කාරී ගුණය ද ඒ එ ද්‍රව්‍යයන්ට හිමි ප‍්‍රභාවය නොහොත් වෙසෙසි ගුණාංග ද ඉස්මතු කොට ගෙන එම ද්‍රව්‍යයන් ඖෂධයන් බවට පත් කර ගැනීම රස ශාස්ත‍්‍ර‍්‍රයට අයත්ය. මෙම රසායන විද්‍යාව සකස්ව තිබෙන්නේ විවිධ
ඖෂධ ප‍්‍රයෝග කිරීම මගින් ඛනිජ වර්ගයන් හා රස වර්ගයන් ශෝධනය මාරණය කර ගැනීමටයි. මානව වර්ගයාගේ යහපත පිණිස සුව සම්පත රැක ගැනීම පිණිස පමණක් විෂ වර්ග යොදා ගැනීම සිංහල සංස්කෘතියේ වෙසෙසි ලක්ෂණයක්ය.
රසදිය සුද්ද කර ගැනීමට කෝමාරිකා ඉස්මෙන් දෙහි ඇඹුලෙන් අඹරනු ලැබේ. එසේම රුක් අගුණ ඇහැල රත් නිටුල් කළු අත්තන තිපල් යනමේවායින් අඹරා හාල් පාණු වතුරෙන් සෝදා කබලේ බැද කුඩු කරගැනීමෙන් ද රසදිය සුද්ද වේ. මෙහිදී රසදියෙහි විෂ මාරණය වී එහි ප‍්‍රභාව ඉස්මතු වේ. පාෂාණම් සුද්ද කිරීමේ දී කුඩා කැබලි වලට කඩා කරවිල ගෙඩියේ හෝ අත්තන ගෙඩියේ අඩස්සි කොට උනු අලු පල්ලේ දමා තම්බා ගනිති. ගොම වැරටි වලින් පුට දීමද ක‍්‍රමයෙකි. එසේම ඇතැම් විට කරවිල ගෙඩියේ අඩස්සි කර නූලකින් වෙලා එළ කිරෙන් තම්බා උණූ දියෙන් සෝදා ගැනීම කරති. සුදු පාෂාණම් විෂයෙහි එසේ කරන බව දක්වා තිබේ.
කරවිල සඳහා බටු කරවිල ගෙඩිය වඩාත් සදුසු බව මතයයි. එහිදී පාෂාණම් විෂ කරවිල ගෙඩියට උරා ගන්නා අතර උණූ අලු පල්ලේ දැමීමෙන් පාෂාණම් ඛනිජයේ අභ්‍යන්තරයේ පරමාණු වෙනස් කිරීමක් සියුම් ව ඇති කරලීමට සමත් වෙයි. එළකිරේ තම්බා ගැනීමේ දී ද මෙය සිදු වෙයි. අතැම් විට මැටි බැඳ ගොම වැරටි වලින් පුට දීමේ දී ද මෙම ප‍්‍රතික‍්‍රියාව සිදු වේ. කිනම් අවස්ථාවකදී වුවද සිදු වන්නේ විෂ මාරණය වී පාෂාණම් ඛනිජයේ ඖෂධීය ගණය නොහාත් ප‍්‍රභාව මතු වීමයි. මෙම ක‍්‍රියා වලිය හරිත රසායනය ලෙස හඳුන්වා දිය හැකිය.
රිදී සෑදීම නමැති පුස්කොළ ග‍්‍රන්ථයක් පුරාණයේ දී භවිතා කළ අතර එයින් එක් වටිටෝරුවක මෙලෙස
සඳහන් වෙයි. රසදිය කළඳයි සාදිලිංගන් කළඳයි හිරියල් කළඳයි තුත්තන් කළඳයි රත‍්‍රං පාෂාණම් කළඳයි මෙකී දේ කලු අත්තන කොළ යුෂයෙන් අඹරා කෝවක දමා දහයියා වලින් දෙවරක් ගිනි කර ඉක්බිති හැර ගෙන තබා කළදකට මංචාඩි හතක බර දමා මකනු.
මෙහිදී ද ඇති වන රසායනික විපර්යාසය නූතන රසායන විද්‍යාවෙන්ද විග‍්‍රහ කළ හැකි නමුත් රන් රිදී වැඩ කරන්නන් ආභරණ සෑදීමේ දීඅනුගමනය කළ සියුම් රසායනික ක‍්‍රම වේදය විග‍්‍රහ කර ගත හැක්කේ හරිත රසායනය මගින් පමණකි.
අතීතයේ දී කොපර් ආසනේට් ලෙඩ් ආසනේට් ආදී පළිබෝධ නාශක සෑදීමේ දී තඹ ඊයම් ආදී ද්‍රව්‍ය ආසනික් ලෝහය සමග ප‍්‍රතික‍්‍රියා කරන්නට සලස්වා ඇත. ස්වභාවිකව හමු වූ පාෂාණම් වල තිබෙන ආසනික් ලෝහය වෙන් කර ගෙන කළ ක‍්‍රියා වලියෙන් පසු නූතන කෘෂි රසායන විප්ලවය ඇති විය. .පොටෑසියම් ඇසිටේට් සහ ආසනික් ඔක්සයිඩ් ප‍්‍රතික‍්‍රියා වීමෙන් හටගත් මිශ‍්‍රණය ට නූතනයින් ඕගනොමෙටලික් කම්පවුන්ඩ් යයි කියූහ. 1760 දී සකස් කර ගන්නා ලද එම මිශ‍්‍රණය ප‍්‍රථම සින්තෙටික් රසායනය විය. 1874 දී නිෂ්පාදනය කළ ඩී.ඩී.ටී. ප‍්‍රථම සින්තෙටික් කබනික සංයෝගය විය. කාබනික පොස්පේට ලෙසට සැලකෙන්නේ කාබන් හා හයිඩ‍්‍රජන් අණුවලින් සමන්විත කෘෂි රසායනයි.මැලතියන්හා පැරතියොන් ඒ ගණයට අයත්ය. මෙම රසායනික සංයුතිය තුලදී වෙසක් කූඩුව වටා පැටවූ කූඩු තනන්නා සේ කාබන් හයිඩ‍්‍රජන් තඹ ඊයමි ආදී ද්‍රව්‍යයන් එක් කර ඇත. ගෝනුසු අඬුවල විෂ තිබෙන්නා සේ මේ පැටවු කූඩු වල විෂ අන්තර්ගතව තිබේ.නූතන රසායන විද්‍යාවේ දී කෙරෙන්නේ අභ්‍යන්තරය වෙනස් නොකර බාහිර ස්වරූපයට විෂ අන්තර්ගත කිරීමයි. විෂ වර්ධනය කර ගැනීමට කරන ලද මේ උපක‍්‍රමයන් මගින් සත්ව ප‍්‍රජාවට පමණක් නොව මනුෂ්‍ය ප‍්‍රජාවට ද විශාල ව්‍යසනයක් අද අත් වී ඇත.
එහෙත් හරිත රසායනික ක‍්‍රමවේදය මගින් සරල පරිසරික ක‍්‍රම වේද යොදා ගනිමින් විෂ වර්ග වල අභ්‍යන්තරය සියුම්ව වෙනස් කරයි. ඒ මගින් මනුෂය ප‍්‍රජාවට අත් වී ඇති යහපත බොහෝය. යටත් විජිත
ග‍්‍රහණයත් වර්තමාන වෙළෙද පළ ආර්ථිකයත් නිසා මේ වටිනා හරිත රසායනික ශිල්පය නූතන පරපුරෙන් ඉවත් වෙමින් පවතී. ඒ වෙනුවට පරිසරයට මුදා හරින වස පිළිබඳ අධ්‍යාපනය ද සංකල්ප ද වටිනාකම් ද බිහිව තිබේ. මෙම තත්වය වෙනස් කර ගත හැක්කේ ද බුද්ධිමත්ව ප‍්‍රඥාවෙන් කටයුතු කරන පිරිසකට පමණය. ඒ සඳහා දැන් කාලය එළඹ තිබේ යයි සිතමි.
No comments:
Post a Comment