ආනකෝට්ටේ මුද්‍රාව
දෙමළ ජනාතාවට අනන්‍ය වූ ඓතිහාසික වාස භූමියක් උතුරේ වන්නියේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි තිබී ඇතැයි යන මතය දෙමළ උගත් ජන සමාජය අතර ප්‍රචලිතව පවතින්නේ අද ඊයේ සිට නොවේ. ඇමෙරිකානු මිෂනාරීන් විසින් උතුරේ දෙමළ ප්‍රභූ පන්තියට දෙන ලද අධ්‍යාපනය මගින් උතුරු සංස්කෘතිය අධ්‍යාත්මිකව දකුණෙන් වෙන් කරන ලද අතර ඒ පරතරයම මෙවැනි මතවාද බිහි කරලීමට වෙසෙසි පිටුබලයක් විය.
මෙම දෙමළ ජනතාව ඓතිහාසික කණ්ඩායමක් නොවන බවට එදා සිටි බ්‍රිතාන්‍ය සිවිල් නිළධාරීන් පවා තේරුම් ගෙන තිබුණි. චෝල ආක්‍රමණ සමග උතුරු සහ ඊශාන ප්‍රදේශ දකුණු ඉන්දීය දෙමළ ආධිපත්‍යට යට වී තිබුණ ද දෙමළ ජනතාවගෙන් වැඩි පිරිසක් ලන්දේසීන් සහ ඉංග්‍රීසින් විසින් පදිංචි කරවන ලද්දන් බව ඔවුන් දැන සිටියහ. නමුත් යටත් විජිතය පවත්වාගන යාමේ අභිප්‍රාය මත දෙමළ ජන කණ්ඩායම් ශක්තිමත් කරවීම බ්‍රිතාන්‍ය රජයේ උපාය මාර්ගය විය. දෙමළ උගතුන් ලෙසට සැලකෙන කේ. ඉන්ද්‍රපාලන් පොන්නම්බලම්‚ රඝුපති ආදීන් දෙමල සිංහල විකාශනයේ සමාන බවක් දකිමින් වත්මන් දේශපාලන ගැටුම හුදෙක් වාර්ගික නොසන්සුන්තාවක් ලෙසට දක්වන්නට උත්සාහ කරති. ඒ උත්සාහයේ පරමාර්ථය දෙමළ නිජ භූමි සංකල්පය පොෂණය කිරීමයි. ඒ සඳහා ඔවුහු පුරාවිද්‍යාත්මක සාක්ෂි පවා විකෘති කොට යොදා ගන්නට උත්සාහ දරයි. 1980 වර්ෂයේ දී යාපන විශ්ව විද්‍යාලීය කණ්ඩායමක් විසින් යාපන අර්ධද්වීපයේ බටහිර කොටසේ ආනකෝට්ටේ මෙගලිතික සුසානයේ කරන ලද කැණීම දෙමල වාසභූමි තහවුරු කර ගැනීමට යොදා ගන්නා ප්‍රබල සාධකයෙකි. ඒ අවට තිබෙන කදුරුගොඩ කරෙයිනගරය ආදී ප්‍රදේශ වල තිබෙන ප්‍රාග් ඓතිහාසික සාධක පවා සිංහල ඉතිහාසයට සම්බන්ධ කිරීමට ඔවුහු මැලි වෙති.
විසිවන සියවසේ පුරාවිදු පර්යේෂණයන්ට සාපේක්ෂව වර්තමානයේ සිදු කරන පර්යේෂණ වඩා ඉදිරියෙන් ඇත. ඒ මගින් ලංකා ඉතිහාසයේ සැඟවුණු පැතිකඩක් ආවරණය කර ගැනීමට සමත්වී ඇත. මේ තත්වය මත මහාවංශය විශ්වාශනීය කෘතියක් නොවේ යයි සලකන පිරිසක් ද වෙති. මහා වංශය ලංකාවාසීන්ගේ ඉතිහාසය ලෙසට බොහෝ දෙනා දරන මතය ඒ තරම් සම්පූර්ණ වූවක් නොවේ. එම කෘතියේ දැක්වෙන්නේ ලංකාවේ රාජාවලියට අයත් රජවරුන් විසින් කරන ලද කාර්ය භාරයයි. එසේම ශාසනික ප්‍රවෘත්ති විශේෂ කොට දැක්වීම ඒ මගින් සිදු වී තිබේ. ලංකා ඉතිහාසයේ බොහෝ කරුණූ විග්‍රහ කර ගන්නට ඒ කෘතිය මගින් ලැබෙන පිටිවහල සුලු පටු නොවේ. මේ තත්වය මත මහාවංශය ලඝූ කොට සැලකීමද යුක්ති යුක්ත නොවේ. එම කෘතිය මගින් අපගේ ඉතිහාසයේ ශ්‍රෙෂ්ඨ අභිමානය කියාපායි.
මහාවංශයේ නොමැති තොරතුරු පුරාවිදු පර්යේෂණ මගින් සොයා ගැනීම නිසා එම තොරතුරු ද්‍රවිඩ ඉතිහාසයට සම්බන්ධ කොට කතා කිරීම වර්තමානයේ දක්නට ලැබෙන්නකි. අනුරාධපුරය තිස්සමහාරාමය උතුරේ කදුරු ගොඩ ආනකෝට්ටේ සහ පොම්පරිප්පුව ආදී ස්ථාන වලින් හමු වූ වළං කැබලි වල දක්නට ලැබෙන හඳුනා නොගත් අක්ෂර ද්‍රවිඩ භාෂාවට නෑකම් කියන බව දැක්වීම මගින් ඊළාම් මතවාදයට ලැබෙන ශක්තිය විශාලය. ආනකෝටේ ප්‍රදේශය යාපනයට ඉතා නුදුරු ය. කදුරුගොඩ විහාර සංකීර්ණය පිහිටා තිබෙන්නේ ද මේ කලාපය තුලයි. ක්‍රි.පූ. තෙවන සියවසේ ලාංකික බුද්ධ ශාසනයේ ආරම්භයත් සමග මේ ප්‍රදේශයේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධය දැනට හමු වී ඇති පුරා වසුතු වලින් පැහැදිලි වේ. කන්කසනතුරේ අසල ජම්බුකෝල විහාරයේ හමු වූ සිරිපතුල් ගල ද මේ අතර වැදගත් කමක් ගනී. හුණූගමින්(චුන්නාකම්) හමු වූ බුදු පිළිමය මගින් ද කියා පාන්නේ උත්තර ප්‍රදේශයේ තිබුණූ බෞද්ධ ශිෂ්ඨාචාරයයි.
1980 දී ආනකෝට්ටේ පෙදෙසින් හමු වූ මුද්‍රාව මගින් මේ සියල්ලටම හාත්පසින් වෙනස් සංස්කෘතියක් ක්‍රි.පූ. තෙවන සියවසට එපිටින් උතුරු අර්ධද්වීපයේ තිබුණූ බව හෙළි කරයි. මෙම මුද්‍රාව ලෝහමය නිමාවකින් යුක්තය. එය හුදෙක් මුද්‍රාවක් ලෙසට හඳුනා ගන්නට බොහෝ අය උත්සාහ දැරුවද එහට වඩා වෙනස් භාවිතාවකට එමපුරා වස්තුව යොමු කරගෙන තිබූ බව පෙනේ. මේ මුද්‍රාවේ අක්ෂර මහාචාර්ය ඉන්ද්‍රපාලන් විසින් කියවා ඇත්තේ කොවෙටාන් යනුවෙනි. බ්‍රාහ්මී අකුරෙන් තිබුණද එය දකුණු ඉන්දියාවේ ශිලා ලේඛනයන්හි ඇති කෝඅටන් නමැති දෙමළ වචනයට සමාන කරන්නට ඔහු උත්සාහ කරයි. දෙමළ හා මලයාලි බසින් කෝ යන්න යෙදෙන්නේ රජු වෙනුවෙන් බව ඔහු තර්ක කරයි. නමුත් මේ මුද්‍රාව පිළිබඳව පර්යේෂණයක් යෙදුණූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා මුද්‍රාවේ ඇති බ්‍රාහ්මී අක්ෂර කියවා ඇත්තේ කෙවෙත යනුවෙනි. මුද්‍රාවක් බැවින් මෙම අකුරු පිහිටා තිබෙන්නේ වමේ සිට දකුණටයි. එවිට එහි ඇති අක්ෂර සටහන් වන්නේ දකුණේ සිට වමටයි. ඒ අනුව කො යනුවෙන් අක්ෂරයක් එහි සටහන් නොවේ. එය ‘කෙ’ යන්න බව කරන සඳහන නිවරදිය. බ්‍රාහ්මී අක්ෂර තුනට අමතරව මෙම මුද්‍රාවේ බ්‍රාහ්මී නොවනෙ අක්ෂර තුනක් ද අන්තර්ගතය. ඊනියා ද්‍රවිඩ නිජභූමිය පිළිබඳව මත ඉදිරිපත් කරන දෙමළ වියතුන් මෙම සළකුණු තුන විග්‍රහ කිරීමට ඉදිරිපත් නොවේ. දෙමළ අක්ෂර සමග සංසන්දනය කොට අර්ථයක් ඉදිරිපත් කිරීමට මේ අයට පසුබිමක් නොමැති බව පෙනේ. නමුත් ප්‍රාග් ඓතිහාසික අවදියේ දී ලංකාවේ ජනතාව භාවිතා කළ භාෂාවක් තිබූ බවට මෙය විසින් ඉඟියක් ලබා දෙයි.
තඹුත්තේගම ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන් පතිව සිටි පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් ‘යක්ෂ ගොත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු’ හා‘ යක්ෂ ගොත්‍රික භාෂාව’ යනුවෙන් ග්‍රන්ථ දෙකක් මෑතකදී ලියා පළ කලේය. මෙම ග්‍රන්ථයේ සඳහන් පරිදි යගු කෞරාන මණ්ඨක නොහොත් රාවණ රජුගේ පුත්‍රයා උපේනද්‍රමිණිකයි. ඔහුට දාව රවි ශෛලාශ මණ්ඨක සහ කෙවෙසස්ථාන මණ්ඨක යන කුමාරවරු දෙදෙනෙක් සිටියහ. මේ අතරින් කෙවෙසස්ථාන කුමරු උතුරු අර්ධදවීපය පාලනය භාරව සිට ඇත. එකල උතුරු පෙදෙස යක් ගොත්‍රිකයින් ගේ ප්‍රධාන රාජ්‍යයක් විය.කෙවෙසස්ථාන පදියම ( පෙදෙස) යනුවෙන් එකළ එය හැඳුන්වුණි. කෙවෙසස්ථාන රජු ගෙන් පසුව යක්ෂ ගොත්‍රක පාලකයින් විශාල සංඛ්‍යාවක් මේ පෙදෙස පාලනය කරමින් සිට ඇත. ඔවුහු නාග ගෝත්‍රිකයින් සමග ආවාහ විවාහ කර ගත් බව පැවසේ.
බුද්ධත්වයෙන් පසු බුදුන් වහණසේ උතුරට වැඩම කරන අවස්ථාවේ එහි සිටි මනිභද්‍ර නම් කුමරු බුදුන් වහණ්සේ ගෙන් බණ අසා පැවිදි භූමියට පත් වූ බව පැවසේ. මොවුන් භාවිතා කර තිබෙන්නේ මිනි මිහිල භාෂාවයි. ඒ හා සම්බන්ධ අක්ෂර විශේෂයක් හෙළි දරව් කිරීමට පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් සමත්ව ඇත. ආනකෝට්ටේ මුද්‍රාවෙන් කියැවෙන කෙවෙත කෙවෙතස්ථාන යන්නම බව නිසැකය. ඔහුගේ රාජ්‍ය බලය පෙන්වීමටත් ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු තහවුරු කරලීමටත් මේ මුද්‍රාව යොදා ගත් බව පැහැදිළිය. මුද්‍රාවේ තිබෙන හඳුනානොගත් සංකේත දෙක යක්ෂ ගොත්‍රික භාෂාවේ කවිලාශ පාලී අක්ෂරය ලෙසට පෙන්වා දිය හැකිය. එය මිත්‍රත්වය ප්‍රකාශ කරන සංකේතයකි. අවසානයට සඳහන් වන අක්ෂරය යක්ෂ භාෂාවෙන් බලොජ අක්ෂරයයි. එහ මගින් රජු සංකේතවත් කරයි. රේඛාව මතුපිට බිංදුව යොදමින් සළකුණූ කරන මෙම සංකේත සමගින් බ්‍රාහ්මී අක්ෂර යොදා ගත් මුද්‍රාවෙන් එකල ජාත්‍යන්තර ව පැවති වෙළෙඳ ගනු දෙනු අර්්ථවත් කර ඇතැයි සැලකිය හැකිය. ප්‍රකටව පැවතෙමින් තිබූ ප්‍රාකෘත භාෂාව යොදා ගනිමින් යක්ෂ ගොත්‍රික අනන්‍යතාවය ද දක්වමින් සකස් කර ඇති මේ මුද්‍රාව හෙළ යටගියාව පිළිබඳ ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරන්නකි.
යක්ෂ ගොත්‍රිකයින් බුදුදහම වැළඳ ගැනීමත් නාග ගොත්‍රිකයින් උතුරේ ආධිපත්‍යට පත් වීමත් හේතු කොට ගෙන උතුරේ යක්ෂ පාලනය අවසන් වූ බව පැහැදිළිය. උතුරේ වලිපුර පෙදෙසින් සොයා ගන්නා ලද රන්පත (වල්ලිපුරම් රන්පත) මගින් මේ තත්වය තේරුම් ගත හැකිය. වල්ලි පුරම් රන්පතේ උතුරු අර්ධද්වීපය හඳුන්වනනේ නකදිව නෙහොත් නාගද්වීපය යනුවෙනි. ඒ වසභ රජුලේ පාලන සමයේ දී ය. එහෙත් ප්‍රාග් ඓතිහාසික සමයේ දී මේ ප්‍රදේශය කෙවෙසස්ථ පදියම යනුවෙන් භාවිතා කර තිබේ. රාවණ පරපුර බලයෙන් දුබල වීම නිසා නාග ගෝත්‍රිකයින් එම පෙදෙසේ පාලන බලයට පත් වන්නට ඇතැයි ද කලපනා කළ හැකිය.
විජයාගමනයෙන් පසුව දඹදිව ශාක්‍ය වංශිකයින් සහ නාග ගොත්‍රිකයින් අතර ඇති වූ සංහිඳියාව මත පාලන බලය ශාක්‍ය වංශිකයින්ට හුවමාරු වූ බවද අතර ඒ මගින් යක්ෂ නාග සහ දඹදිව ශාක්‍ය වංශිකයින් ගෙන් සැදුම් ලත් නව සිංහල බෞද්ධ සංස්කෘතියක් රට තුල නිර්මාණය වූ බවද කල්පනා කළ හැකිය. ඒ සංස්කෘතිය තුලට දෙමළ ජන වර්ගයන් ඇතුලු වන්නේ චෝල පාලන සමයෙන් පසුවය. නමුත් ඔවුහු ද සිංහල සංස්කෘතියට කලකදී එකතු විය. ආර්ය චක්‍රවර්තී පාලනයට උතුර නතු වීමෙන් පසු මෙකී සංස්කෘතික සබැඳියාව දෙදරා ගිය අතර එය නැවත ඇති වනන්ට උත්සාහ ගැනෙනුයේ කොට්ටේ යුගයේ දීය. නමුත් පෘතුගීසි ආගමනයෙන් පසුව එය නැවතත් විනාශ විය. මෙම තේරුම් ගැනීම තුලින් අඛණ්ඩ හෙළ සංස්කෘතියක අනන්‍යතාවය හෙළිවෙයි. එබැවින් ලංකාවේ පුරාවිදු සොයා ගැනීම් තව දුරටත් දෙමල ජාතිවාදය පෝෂණය කිරීමට යොදා ගැනීම වළක්වාලිය යුතුය. ඒ සඳහා රාවණා යුගය ගවේෂණයට නිවරදිව ප්‍රවිෂ්ඨ විය යුතු යයි සිතමි.
2010 ඔක්තෝබර් 27 දිවයින බදාදා අතිරේකය
No comments:
Post a Comment