පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, May 25, 2021

සිංහල බෞද්ධයාගේ වෙසක් මහ පින්කම්

 

                                            

 


                තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ උප්පත්තිය බුද්ධත්වය හා පරිනිර්වාණය සිදුවූයේ වෙසක් මස පුර පසලොස්වක දිනයේ බව සිංහල බෞද්ධයන් ගේ විශ්වාසයයි.බුද්ධගයා කෞතුකාගාරයේ මේ තෙමගුල ගැන කළ මූර්තියක් ඇත.සිංහල මාස ක්‍රමයට අනුව වෙසක් මාසය අවුරුද්දේ දෙවනි මාසයයි. අමාන්ත ක්‍රමයට( අමාවක සිට අමාවක දක්වා) නම් වෙසක් මාසය ඇරඹෙන්නේ බක් මස අවසානයේ අමාවක දිනයෙන් පසු එළඹෙන පෑලවිය දිනයෙනි.  පූර්ණිමාන්ත ක්‍රමයට අනුව පසලොස්වක දා සිට එය ඇරඹේ. නමුත් සිංහල බෞද්ධයා අමාන්ත ක්‍රමයටම මාසය නිශ්චය කරති.එම නිසා වර්තමාන ව්‍යවහාර මාස ක්‍රමයට අනුව අප්‍රියෙල් මාසයේදී වෙසක් මාසය ඇරඹෙයි. එම මාසයේ උච්චතම අවස්ථාව වෙසක් පුර පසලොස්වක දිනයයි.

         සිංහල බෞද්ධයන් පසලොස්වක දිනය දෛනික වැඩවලදී අත්හළහ. නැකැත් ගැනීමාදිය නොකර සිටියහ. ඊට හේතුව රවි චන්ද්‍ර සප්තම දෘෂ්ටිය වැටී සිටීමයි. නමුත් පුර පසලොස්වක යෙදුණු ගුරුදිනයත් කිවි දිනයත් යම් යම් වැඩවලදී යොදා ගත්හ. එසේම පසලොස්වක දින සූර්ය උදාවත් සමග දෙහි ගස් සිටුවීමට යොදා ගත්හ.කෙසේ වෙතත් අනාදිමත් කාලයක පටන්ම පස්ලොස්වක දිනය වැඩෙහිදී අත්හලේ එම දිනය තුළ බොහෝ පින්කම් වල යෙදිය යුතු බැවිනි. මෙවැනි පුරුද්දක් ඇති වීමට හේතුව නම් පුරාණ රජ දරුවන් වෙසක් දිනය පූජා උත්සව දිනයක් ලෙසට පැවැත් වීමයි.දුටු ගැමුණු රජතුමා සිය මරණ මඤ්චකයේ දී රුවන්මැලි සෑ රජුන් අභියස වැතිර සිටින අවස්ථාවේදී ථෙරපුත්තාභය මහ තෙරුන්වහන්සේ පින්පොත ගෙන්වා කියන්නට ලියන්නා මෙහෙයවීය.ඒ අසා සිටි රජතුමා තමා විසින් වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ බව සඳහන් කලේය. වෙහෙර පෙළහැර සතියෙහිද එසේම ප්‍රසාද පූජා සතියෙහිද මහා සෑය ආරම්භ සතියෙහිද ධාතු නිධානයෙහිද සතර දිගින් වැඩියා වූ මහත්වූ උභතෝ මහා සංඝයාට මා විසින් මාහැඟි වූ අවිශේෂ මහා දානය පවත්වන ලද්දේය. සූවිස්සක් මහත් වෙසක් පූජා ද කරවීමි යයි පැවසීය. මහා වංශයේ තිස්දෙවනි පරිච්ඡේදයේ එසේ සඳහන්ය.

         දේවානම් පියතිස්ස මහ රජතුමා දෙවන වරට අභිෂේකයට පත් වූයේ ක්‍රි.පූ. 250-210 වෙසක් පුන් පොහෝ දිනයේදීය. දුටු ගැමුණු රජු මහා ථූපය නොහොත් රුවන් මැලි සෑය කරවීම ආරම්භ කරන ලද්දේ වෙසක් පුන් පොහෝ දින විසා නැකතිනි.ක්‍රි .පූ. 20 සිට ක්‍රි.ව. 9 දක්වා රජකල භාතිකාභය රජු වෙසක් පූජා විසි අටක් පවත්වන ලෙසට නියෝග කර තිබේ. වසභ රජු ද වෙසක් පූජා හතලිස් හතරක් පවත්වා තිබේ. ක්‍රි.ව. 214-236 දක්වා රජකල වෝහාර තිස්ස රජතුමා මහා වෙසක් පින්කම් පවත්වා ලක්දිව සියළු භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පිළිගැන්වූ බව ඉතිහාසයේ සඳහන්ය.ගෝඨභය රජතුමාද වර්ෂයක් පාසා වෙසක් පූජා කරවමින් අවුරුදු පතාම භික්ෂූන් වහන්සේලාට ෂට් චීවර දානය කළ බව පැවසේ. එසේම දෙටු තිස් රජතුමාද එම මග ගනිමින් වෙසක් පූජා පවත්වමින් ෂට් චීවර පූජාව උසස් අන්දමින් කර තිබේ.තෙවන මොග්ගල්ලාන රජතුමාද දෙවන සේන රජුතුමාද මෙලෙසම වෙසක් පූජා මහ ඉහළන් පැවැත්වූ නරපතියන් වෙති. එහිදී දෙවන සේන රජු දුප්පතුන්ට අහාර පාන හා වස්ත්‍ර  දීමෙන් සහ ඔවුන් සමග ගැවසීමෙන් වෙසක් උත්සව කාලය තුළ වැදගත් ආගමික පරිසරයක් ඇති කළ බව සඳහන්ය.පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාද පොලොන්නරු අවදියේදී වෙසක් කෙළි පැවැත්වූ බව සුළු රාජාවලියෙහි සඳහන්ව තිබේ.

      රජවරුන්  ගත් මග ගනිමින් සිටු වරුන් සහ ඇමැත්තන්ද සිය ධනය වෙසක් සමයෙදී දුප්පතුන් වෙනුවෙන්ද මහා සංඝයා වෙනුවෙන්ද කැප කොට පින් රැස් කර ගත් බව පැවසිය යුතුය. වෙසෙසින්ම දන්සැල් පැවැත්වීමේ සිරිත මේ සමගම ආරම්භ වී තිබේ. රජවරුන් වන්දනාමාන කළ දළදා වහන්සේ වැදපුදා ගැනීමට මහජනයාට විවෘත කිරීමත් ඒ යන මග දෙපෙස දන්සැල් පැවැත්වීමත් සිරිතක් වශයෙන් ආරම්භ වී ඇත්තේ අනුරාධපුර යුගයේදී බව පැහැදිලිය. එම සිරිත අනුකරණය කරමින් ගම් වාසී ප්‍රභූවරුන්ද සිය ධන ධාන්‍ය දුප්පතුන් අතර බෙදා හැරිය බවත් දන් සැල් පැවැත්වූ බවත් පිළිගත හැතිය.මේ කාලයේදී පූජනීය ස්ථාන හුණු පිරියම් කිරීමද අලංකාර කිරීම ද කළහ. දීප පූජා යනුවෙන් සඳහන් කර ඇති පහන් පූජා වලින් නගරය බැබළීම රජවරුන් ගේ වාර්ෂික පුරුද්දක් විය. අනුරාධපුරය අතහැර පොලොන්නරු නගරය අග නගරය වූ කල්හි සතුරන් විසින් විනාශ කළ අනුරාධපුරයේ සිද්ධස්ථාන අළුත් වැඩියා කරමින් එහි දීප පූජා පැවැත්වීම සිදු කර ඇත.වෙසක් කූඩු භාවිතය පැතිරෙන්නට ඇත්තේ සයවන පරාක්‍රමබාහු රජදවස දීය. චීනය සමග සෘජු සම්බන්ධතා වර්ධනය වීම නිසා ගිනිකෙළි සංදර්ශනයන් ගෙන් නුවර අලංකාර විය.චීන වෙසක් කූඩු වලින් රජමැදුර ප්‍රදීපාලෝක විය.

         යුරෝපා අක්‍රමණ වලින් පසු සිංහල බෞද්ධයන් සිය වත් පිළිවෙත් සංගා ගත්හ. වෙසෙසින්ම මුහුදු බඩ පළාත් වල සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානිකාර බෞද්ධ ඇදහිලිවන්තයෝ විලස හඳුන්වන ලදහ. ඔවුහු කතෝලික සිරිත් අභාෂයෙන් බැතිගී කියමින් පහන් කූඩු තනිමින් සිය නිවෙස් අලකාර කර ගත්හ. නමුත් පල්ලියේදී සිය විවාහ චාරිත්‍ර ඉටු කර ගත්හ. මේ සංස්කෘතික විපර්යාසය නිසා අද දක්වා පැවැත්වෙන වෙසක් උත්සවයට විවිධ අංගයන් එක් රැස් වී තිබෙන  බව පෙන්නුම් කළ හැකිය.තොරණ සිංහළ කලාශිල්ප අතර උසස් අංගයකි. ගෙඩි තොරණ ඒ අතර විශේෂිතය. ඒ ආශ්‍රයෙන් විදුලි ආලෝක කරන ලද තොරණ් සාදා ඇති බව පෙනේ. තොරණ් බැලීමට කොළඹ නගරයට ඇදී එන සිංහල බෞද්ධයන් ගේ නිරාමිස ප්‍රීතිය වඩවනු රිසියෙන් ධනවත්හු එක් රැස් වී මේ තොරණ් ඉඳි කළහ. සාමාන්‍ය ජනතාව මුදල් සම්මාදම කොට දන්සැල් පැවැත්වූහ. වෙසක් සමයේදී බොහෝ හෝටල් ආපන ශාලා වසා ඇති බැවින් මේ දන්සැල් සේවය ගැමියාට බොහෝ සේ ප්‍රයෝජනවත් විය.

        භාග්‍යවතුන් වහන්සේ හැර අන්කිසිවෙක් වාසනා සහිත කෙලෙසුන් නැසීමට සමත් නෙවේ. එවැනි අසම සම ශ්‍රේෂ්ට උත්තමයෙකුගේ උප්පත්තියත් බුද්ධත්වය ලැබීමත් පිරිනිවීමත් සිදුවූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් පවත්වන වෙසක් උත්සවය පෙර රජුන් කලා සේම රජ්‍ය උත්සවයක් බවට පත් විය යුත්තේමය. මහත් භාග්‍ය ඇති බවද පස්මරුන් බිඳි හෙයින්ද රාගාදී කෙලෙස් නැති කළ හෙයින්ද උසස් ලොව්තුරු ගුණ භජනය කළ හෙයින්ද තුන් භවයෙහිම ගමන් කිරීම නැති කළ හෙයින්ද සියළු ධර්මයන් නාම රූප වශයෙන් දේශනා කළ හෙයින්ද බුදු රාජා ණන් වහන්සේ බගවත් වන සේක. උන්වහන්සේ ගේ එම ගුණයන් සිහිපත් කරමින් මෙවර වෙසක් උත්සවය සැමරිම අපගේ යුතුකමයි. ඒ මන්ද බලගතු දේශගණ විපත් සතුරු විපත් ආදියෙන් රට දැය සමය අනාරක්ෂිත වී ඇති හෙයින්ය.බුද්ධ ශාසනය අනතුරේ ඇති හෙයින්ය.

මතුගම සෙනෙවිරුවන්

Saturday, May 22, 2021

හොරුන්ට ගිය රට චීනත් සමග පෙරට

 

 

 



ලංකාවට නිදහස ලබන විට රත්තරන් පවුමත් වී බුසලත් එකම මිලක් නොහොත් රුපියල් විස්සකට තිබුණි යැයි කතාවක් තිබේ.හැටේ දශකය වන විට එම මිල රුපියල් දෙසීයකට නැග තිබුණි.2000 වර්ෂය පමණ වන විට රුපියල් 2000 ආසන්නයේ තිබුණි යැයි දැන ගන්නට ඇත.අද වන විට වීබුසලක මිල රුපියල්  දහස කි. රන්පවුමක මිල රුපියල් එක්ලක්ෂ අටදාහකි.මෙය සිදු වූයේ කෙලෙසකද .ඒ පිළිබඳ මනා විශ්ලේෂණයක් කෙරී තිබේද.සැබවින්ම ස්වදේශික දේශපාලකයන් විසින් භාරගත් රට දීර්ඝ අරගලයකින් පසුව 1972 දී පූර්ණ නිදහසක් අත්පත් කර ගත්තේය.පූරණ නිදහසක් නම් ආර්ථික නිදහසත් ඇතුලත් විය යුතුය .ඒ සඳහා යම් උත්සාහයක් සිරිමා මැතිණිය විසින් ගන්නා ලද නමුත් 70 -77 කාලයේ දී ආණ්ඩුව තුළ ඇතිවූ අර්බුදයන් නිසා ඒ වෑයම සාර්ථක කර ගැනීමට නොහැකි විය

.එහි අවසාන ප්‍රතිපලය වූයේ ජයවර්ධන රජය විශාල චන්ද පදනමකින් බලයට පත් වීමයි..ඉන්පසු විවෘත ආර්ථික සංකල්ප මගින් රට පාරාදීසයක් කිරීමට දොරටුවක් විවෘත වී යැයි පාරම්බාන ලදහ.අවසානයේදී සිදු වූයේ ලංකාවේ මූල්‍ය ඒකකය විශාල වශයෙන් පරිහානියට පත් වීම ඇරඹීමයි 1978 දී මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවා රට විශාල ආර්ථික පිම්මක් පැන්නීමට ගත් උත්සාහය බලාපොරොත්තු වූ තරම් සාර්ථක නුවුණු බව අද අපට තේරුම් යා යුතුය. සිරිමා මැතිණියගේ ආර්ථික මොඩලය වූයේ ස්වයංපෝෂිත බව තුළින් සමෘද්ධියයි. එහෙත් 1977 සිට ස්වයංපෝෂී රාජ්‍යය විසින් ගොඩනගාගෙන තිබූ රාජ්‍ය සම්පත් ප්‍රමාණයක් කුණු කොල්ලයට විකුණා දමන ලදහ. අවසානයේ සිදු වූයේ හැකි තරම් ආනයනය කරමින් අපනයනයට වැඩි මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට රුපියල බාල්දු කරමින් ගත කළ කාල පරිඡේදයයි. 1980 -2000 කාල වකවානුව තුළ ඇති වූ කොටි ත්‍රස්ත මෙහෙයුම නිසා ඇති වූ ආර්ථික පරිහානියද දේශපාලන අස්ථාවරත්වයද   සුලු පටු නොවේ.සිරිමා මැතිණියගෙන් පසු බිහිවූ සෑම පාලකෙයෙකුම විදෙස් ආයෝජන පතා ලොව පුරා හිඟා ගියහ.ලැබුණු ණය කන්දරාවට හිලවු වශයෙන් රටේ සම්පත්ද ප්‍රතිපත්තිද පාවා දෙන්නට සිදු විය. විදෙස් ආයෝජන සමග බිහිවූ කොමිස් කුට්ටි සහ අල්ලස් නිසා පාදඩ ධනපති පන්තියක ආරම්භයක් ඇති විය. ඔවුහු දේශපාලනයටද පිවිසියහ.

 රටේ අහිංසක ජනතාව යම් නිෂ්පාදනයක් කර්මාන්තයක් හෝ වෙළෙඳාමක් කරමින්  හම්බ කරන මුදලින් රජයට අය විය යුතු බදු මුදල අය වැය පියවීමට ප්‍රමාණවත් නැත. අය වැය හිඟය පියවීමට තවත් ණය වීම සෑම අවස්ථාවකදීම සිදු වෙයි. ලංකාව සහලින් සවයංපෝෂිත රටකි. නමුත් තවමත් තිරිඟු පිටි මෙට්රික් ටොන් 15000 පමණ ලංකාවට ගෙන්වති. වියදම ඩොලර් මිලියන 385ක් පමණ වේ. ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කිලෝ 65 ක් දක්වා වැඩි වී තිබේ. රටේ සමස්ත ආහාර ආනයන වියදම ඩොලර් මිලියන එක්දහස් පන්සිය පනහකි..තිරිඟු පිටි සීනි පරිප්පු  සහ අනෙකුත් ආහාර එයට ඇතුලත් වේ.සැබවින්ම අප ණය ලබා  ලබාගන්නේ රටේ නිපදවිය හැකි දේ ආනයනය කර ගැන්මටයි.රටේ වී නිෂ්පාදනයට මිලක් ලබා දෙන්නේ නැති බව ද රුපියලේ අගය වැඩි කර ගැනීමට එය කිසිසේත්ම ප්‍ර යෝජනවත් නොවන බවද ඒත්තු ගන්වා තිබේ. එවැනි මගඩි ආර්ථිකයක් තිබෙන රටකට ආයෝජන කොතෙක් පැමිණියද වැඩක් නොවේ. හිල් කල ගෙඩිකට වතුර වක්කරන්නා මෙන්ය.

   


 චීනා ලංකාව සමග ගනුදෙනු කිරීමේ ඉතිහාසය ක්‍රි.ව.පස්වන සියවස දක්වා ඈතට දිව යයි.ඔවුහු වැඩි වශයෙන්ම මෙරටට පැමිණෙන ලද්දේ ලංකාව සුපිරිසිඳු ථෙරවාද බෞද්ධ රටක් බැවිනි.ලංකාවේ නිෂ්පාදනය කල හරිත පාෂාණ(නිල්දණ්ඩාහීන්න) බුදු පිළීමයක් වරක් චීනයට තෑගි කොට යැවිණ.කෝට්ටේ යුගයේ දී චෙන්හෝ නම් සෙනවියෙකු ලංකාවේ පාණදුර වරායට පැමිණ මෙරට ආක්‍රමණික මුස්ලිම් වානිජයන් පළවා හැරියහ. රට මුස්ලිම් වීම වැලකුණි.අනතුරුව මුස්ලිම් අයට උදව් කළ රයිගම සිටි අලකේශ්වර රජුව අත් අඩංගුවට ගෙන චීනයට ගෙන ගියේය. අවසානයේ සයවන පරාක්‍රමබාහු රජ දවස දී චීනය සම දැඩි මිත්‍ර සම්බන්ධකමක් ගොඩනැගුණේ චීන අධිරාජ්‍ය සමග ගනුදෙනු කිරීම නිසයි. ඒ මගින් රටේ ආර්ථික සමෘද්ධිය ඇති විය.රජුගේ පුත්‍රයා දූත ගමනක් ගිය අවස්ථාවක චීන රජ කුමරියක් සමග විවාහ වුණු බවද  අද ඒ දරු පරපුර පවතීන බවද තොරතුරු වාර්තා වේ..එවැනි ඉතිහාසයක් ලංකාවත් චීනයත් අතර පවතී.   චීනයේ නිෂ්පාදිත පිඟන් දහනව වන සියවසේ දී පමණ ලංකාවට ලැබුණි.ඒ එංගලන්තය හරහාය.ඒ නිසාම චීන මුදල්ද මෙහි සංසරණය විය.චීනාට අවශ්‍ය වූයේ ලංකාව ස්වකීය වෙළඳ පළක් බවට පත් කර ගැනීමයි.නමුත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ සිටි බැවින් ඉන් එපිට ගනුදෙනුවක් සිදු නොවීය.චීනයේ සංස්කෘතික විප්ලවයෙන් පසු චීන සාම්ප්‍රදායික සිතුවිලි බැහැර වන්නට වූ බව නොරහසකි. කොමියුනිස්ට් පාලනයත් නිළධාරිවාදයත් නිසා චීනවැසියන් සංස්කාතික බැමි බිඳ හෙලා ඇමරිකානුවන් අනුගමනය කරමින් ලොව ධනවත් ව්‍යාපාරිකයන් බවට අද පත් වී තිබේ.මෙරට සිටින ඇතැම් ජාතිකවාදීන් යයි කියා ගන්නා මාකස්වාදී පිරිස් චීනා පැමිණීම අගය කරන්නේ චීන කොමියුනිස්ට් බලපෑම මගින් ලංකාවේ ජාතිකත්වය දියකර හැරීමට අවස්තාවක් ලැබෙන බැවිනි.

    කොළඹ වරාය අතීතයේ දී මෙන්ම අදත් ආක්‍රමණිකයන් ගේ තිප්පලකි.ගෙරිහම්කඩක ප්‍රමාණයෙන් වූ භූමියක් පෘතුගීසින්ට දීම නිසා කෝට්ටේ රජුට සදාකාලික ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදු විය.නමුත් පරංගින් ගේ පැමිණීමත් සමග මුස්ලිම් ආක්‍රමණ අවම වූ බවද සිහිපත් කළ මනාය. කොළඹ වරායට නුදුරින් වරාය නගරයක් මුල් වරට යෝජනා වූයේ 2002 රීගේනින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේය. පසුව රනිල් ගේ ආණ්ඩුවේ අදහස මහින්ද රජපක්ෂ ණයට ගත්තේය.ඒ ඔහු නිතරම රනිල්ව අනුගමනය කල බැවිනි.චීනයේ නව සේද මාර්ගය ට මෙම වරාය නගර ව්‍යාපෘතිය   ගලප්පා ව්‍යාපාර ගනුදෙනුවක් කිරීමට මහින්ද රාජපක්ෂ පොළඹවන ලද්දේ ඔහුගේ ආර්ථික උපදේශකයන් විසිනි. මහා දැවැන්ත ව්‍යාපෘති කිරීමත් ශෝබනය ප්‍රදර්ශනය කිරීමත් එම ව්‍යාපෘති වලින් කොමිස් ගැසීමත් මහින්ද වටා සිටි හොරු රැලට නැතිවම බැරිය.නෙලුම්කුළුණක් අටවා ගත්තේ මේ සඳහාය.කිසිම පරිසර අගැයීමක් නොකළ වරාය ව්‍යාපෘතිය දේශපාලන හයියෙන් ඉදිරියට පැමිණුනි. වරාය බිම්කඩ වැලි මගින් පිරෙව්වද මායිමට මෙන්ම ගොඩනැගිලි සෑදීමටද කලුගල් අවශ්‍ය වෙයි. කලුගල් ගෙනෙන්නේ කොන්ත්‍රාත්කරුවන් යයි ඇමතිවරයෙක් පවසා ඇත. නමුත් ගල් කඩන්නේ රට අභ්‍යන්තරයෙනි. දැනටමත් කලුතර දිස්ත්‍රික්කය තුළ ගල් කොරි රැසක්ම මේ සඳහා වෙන් කර ගෙන තිබේ.කඳුකර වැසි වනාන්තර බිහි කරන කඳු පන්ති බිමට සමතලා කිරීමෙන් පසු දිය උල්පත් හිඳෙන බව මේ කොන්ත්‍රාත්කරුවන් දන්නේ නැත. හොරණ තිබ්බටුගොඩ ගල් වල නිසා කුඹුරු වලට ජලය සපයන දිය කඳුරු දෙකක් සිඳී ගොස් තිබේ. වරාය නගරයෙන් එන අතුරු ප්‍රතිඵල මේවාය.

1977 සිට මේ දක්වා කරන ලද විදෙස් ආයෝජන ගත් කල්හි ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල සම තත්වයක හෝ ආසන්න තත්වයක තිබෙන්නට අවශ්‍යය. නමුත් එසේ සිදු වූයේ නැත.භෞතික සංවර්ධනය වන අධිවේග මාර්ග තට්ටු ගොඩනැගිලි ජන සංනිවේදන පහසුකම් මෙන්ම විදුලිබල පහසුකම් දියුණු වී ඇත. එහෙත් අපගේ විදේශ සංචිත හිඳී ගොස් ඇත.උපයන දේ මිල කොට රුපියලේ අගය වැඩි කර ගැනීමෙට අපට හැකියාවක් නැත.එකම විසඳුම වී ඇත්තේ ණය ගැනීමෙන් ඩොලරය සමබර කර ගැනීමයි. ඉදිරියේ දී චීන හෝ ඇමරිකානු ආයෝජන මත ද එසේම වනවා හැර වෙන යමක් සිදු වන්නේද නැත. ඊට හේතුව චීනා මෙන්ම ඇමරිකානුවාද ලංකාවේ මේ දේශපාලන ඩීල් කරුවන් හෝරුන් බව දන්නා හෙයිනි.

මේ හොරු රැළ පෝෂණය කරමින් ඔවුන් සතු දේශපාලන බලයට හයියක් වෙමින් ඉදිරියට යනවා හැරෙන්නට වෙනත් යමක් අපට ඉතිරිවන්නේ නැත. ලෝකයේ රටවල් පණස් ගණනක මෙවැනි මූල්‍ය නගර තිබුණද ඒ සැම සාර්ථක වී තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වය මගිනි.පක්ෂ දේශපාලනය විසින්ද දූෂිත ධනපති පන්තිය නිසාද බෙදුම්වාදය නිසාද වර්තමාන ලංකාව අස්ථාවර රටකි.මුස්ලිම් අන්තවාදය සහ ඇමරිකන් බලපෑම මේ ව්‍යාපෘතිය මගින් යම් තරමකට පාලනය කර ගැනීමට හැකිවන්නට පුළුවන.එහෙත් දෙවනි රාජසිංහයන් පරංගීන් විනාශ කර සිය හස්තය දිගු කරන ලද්දේ ලන්දේසීන් වෙතයි. ඉන් වැඩක් වූයේ නැත. අවසානයේ 1766 දී ලංකාවේ මුහුදුබඩ පළාත් වලින් ගව්වක ප්‍රමාණයක් ලන්දේසි කොම්පඤ්ඤයට ගිවිසුමකින් පවරා දීම සිදු විය.ඒ පැවති දේශපාලන අස්ථාවරත්වය නිසයි. වර්තමානයේ සිදු වන්නට ඉඩ තිබෙන්නේ ද එයයි. චීන කොම්පඤ්ඤයට අවශ්‍ය පරිදි රට නැටවීමත් තවත් පසෙකින් ඇමරිකන් ණය උගුල තීව්ර වීමත් තුළ කිසිම  ගැලවීමක් ජාතියට ලැබෙන්නේ නැත.

   ඒ මහා භෞතික සංවර්ධනය අගය කිරීම මෙන්ම ඉන්රස විඳීමට මෙරට මධ්‍යම  පන්තිය උත්සාහ දරනවා නිසැකය. ඒ අධිවේගී මාර්ගයේ ගමන් යන එනවා මෙන්ය. නමුත් රටේ සම්පත් වන ගහනය දිය උල්පත් මෙන්ම ස්වදේහිකයන්ගේ ඉඩම්ද ඔවුන් පැහැර ගන්නවා ඇත.ඉදිරියේ බිහි වන සැබෑ නායකයෙකුට පවා රට නිවැරදි දිශාවකට ගෙන යෑම මහත් අභියෝගයක් වනු ඇත.පවතින දේශපාලනය තුළ නැගී තිබෙන දූෂිත බල අධීකාරිත්වය චීන කොම්පඤ්ඤය සමග එක්ව ඇති කළ හැකි කුමන්ත්‍රණ කුමන ස්වරූපයක් ගන්නේ දැයි පවා පැහැදිලි කරලීමට හැකි වන්නේ නැත.

මතුගම සෙනෙවිරුවන්

Friday, May 21, 2021

යාපහු නුවර පුරාණ විස්තරය

 

 


 

                                               

          ලංකාවේ රාජධානි අතර සිවුවැනි රාජධානිය යාපහුවයි. පොලොන්නරු රාජධානිය බිඳ වැටීමත් සමග ඇති වන සතුරු ආක්‍රමණ හමුවේ  සිංහල රාජ්‍යත්වය තවදුරටත් දුර්වල වී යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් වඩා ශක්තිමත් බලකොටු නගරයක් පිහුටවනු ලබන්නේ දඹදෙණියේ දීය. තෙවන විජයබාහු රජු  දළදා වහන්සේ නැවත බෙලිගලට වඩම්මවා සිංහල රාජ්‍යත්වයේ ස්ථාවරත්වය නැවත ශක්තිමත් කරලීමත් සමග දඹදෙණියේ බලකොටු රාජධානිය ඇරඹෙයි.ඉන්පසු ඔහුගේ පුත් දෙවන පරාක්‍රමබාහු රජු කාලිංග මාඝ පරදවා දඹදෙණිය සශ්‍රීක නගරයක් බවට පත් කළ බව පැහැදිලිය.ඔහුට පුත්‍රයන් දෙදෙනෙකි.සතරවන බෝසත් විජයබාහු ලෙසින් දඹදෙණියේ රජ වූයේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයාය.නමුත් වසර දෙකක් ඉකුත්වූ පසු මිත්‍ර නම් සෙනෙවියෙකු අතින් රජු මරණයට පත් විය. මේ වන විට රජුගේ සොහොයුරු බුවනෙකබාහු කුමරු ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් යාපහුවේ නැවතී සිටියහ.සතරවන විජයබාහු ගේ ඇවෑමෙන් බුවනෙකබාහු කුමරු පළමුවන බුවනෙකබා ලෙසින් දඹදෙණියේ දී රජ විය. නමුත් මේ අවදියේ දිගින් දිගටම ජාවකයන් ගේ ආක්‍රමණ වලට මුහුණ දෙන්නට සිදුවිය.ජාවක චන්ද්‍රභානු පළවා හැරීමට බුවනෙකබා රජුට හැකිවූයේ   දඹදෙණියට වඩා යාපහු ගිරි දුර්ගය ශක්තිමත් බලකොටුවක් වූ බැවිනි.

    යාපහුව ක්‍රි.පූ. සියවස් ගණනාවක සිට ජනාවාස භූමියකි.යාපහු පර්වත මුදුනේ ගල්ලෙන් 40 ක් පමණ පිහිටා තිබේ.ගල්ලෙන් විසිපහක පමණ කටාරම් කොටවා ඇත. ඉන් ගල් ලෙන් තුනක ලෙන් ලිපි ඇත.පර්වත මස්තකයේ පවතින බෝධිඝරය පැරණිය.දෙතිස්ඵල බෝධින්වහන්සේ නමක් වැඩම වූ බව සිංහල බෝධිවංශ ටීකාව දක්වා ඇත. එකල මෙම පර්වතය හඳුන්වන ලද්දේ සුන්දරගිරි පව්ව යනුවෙනි. යාපහු ගිරි දුර්ගය පොළොන්නරු අවදියේ සුභ නම් සෙනෙවියෙකුට වාසස්ථානය වී ඇත.එකල එය සුභවාල සුභගිරි යනුවෙන් දක්වා ඇත. කාලිංග මාඝ ආක්‍රමණයෙන් බේරෙනු වස් ඇති කළ මේ බලකොටුව වටා මුර කපොලු රාශියක් ද විය.වලස්ගල ඉන් එකකි. අච්චගිරිය යයි ප්‍රසිද්ධ වළස්ගල ආසන්නයේ ආරණ්‍ය සේනානසනයක් ද විය.දඹදෙණි රාජධානි සමයේ දී පළමුවන බුවනෙකබා නිරිඳු මේ සුභ පර්වතය අංග සම්පූර්ණ බලකොටු නගරයක් බවට පත් කරන ලද්දේය.එලෙස සිදු වූ පරිවර්තනයට අවදි කීපයක් ගත වන්නට ඇතැයි කල්පනා කළ හැකිය.මුල් ප්‍රාග් ‌ෙඑතිහාසික ජනාවාස. පසුව අනුරාධපුර යුගයේ පූජ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය විය. පව්ව මතු පිට ගරාවැටුණු ස්ථූපයක් දක්නට ඇත්තේ එබැවිනි. අනතුරුව බලකොටුවක් වශයෙන් ගොඩනැගීම  නිසා මාළිගා ප්‍රාකාර අටලු ආදියෙන් සම්පූර්ණ විය...මෙම නුවර ගොඩ නැගූ ආකාරය දනවන අගනා පැරණි විස්තරයක් වෙයි.දෙවන පරාක්‍රමබාහු රජ දවස විසූ පූජ්‍ය ඉහළගම සංඝරක්ඛිත නායක හිමියන් විසින් රචිත යාපහු නුවර විස්තරය යනු එම අගනා ලේඛනයයි.එහි මෙසේ දැක්වේ.

    ඒ පළමුවන බුවනෙකබාහු මහරජතුමා අනුරාධපුරයෙන් අටගව්වක් ගිය තැන ඈපා මාපා ඇමතියන් පිරිවරා යාපා නමින් නුවරක් කරවන්ට පටන්ගත්තේය.විසිදාහක් පමණ ගල් වඩුවන් හා ඒ සීයක් මූලාචාරීන්  හා දෙසිය පණසක් සංගලියන් හා තුන්දහසක් සිත්තරුන් හා හතර දාහක් ගල්ගෙනෙන්නන්ද යන මේ ආදීහු අධිකාරි නිලමේ ගේ අණ පරිදි සමහරෙක් සිංහ රූප නෙලති. සමහරෙක් ව්‍යාඝ රූ නෙලති සමහරකේ හංස රූ නෙලති සමහරක් දේවරූප නෙලති සමහරෙක් බහිරව රූප නෙලති.

 


 

 

 සමහරෙක් ඉරහඳ ඡායාරූප නෙලති සමහරෙක් තෝලක්කාර රූප නෙලති සමහරෙක් දළදා ආසන නෙලති.සමහරෙක් දළදා කරඬු නෙලති. සමහරෙක් දළදා පෙරහර නෙලති. සමහරෙක් ගල් උලුවහු නෙලති.සමහරෙක් ගල්කණු කපති.සමහරෙක් ලියපත් වැල් නෙලති.සමහරෙක් ගල් පඩි කපති.සිත්තරු සිතියම් කරති.මෙකී මේ සියල්ලක්ම ගල් වැඩයි.      මෙසේ මේ සේනාව නව මහලින් යුත් මාළිගා හතරක් හා උඩුමහල්නවයක් හා බිම් මහල් නවයක් හා ඒවාට කුළු ගෙවල් පන්සීයක් හා අසූ රියන් මහ ගබඩාවක් හා පිට වාසල ගෙවල්ද නිමවා සෙලොස් රියන් උස ගල් පහුරක්ද ලෝකඩ කෝෂ්ටයක්ද රන් තොරන් දහසක්ද රිදී තොරන් දහසක්ද මෙ පරිද්දෙන් බුවනෙකබාහු නරදේවයන්වහන්සේ සියලු කටයුතු සම්පාදනය කොට නුවර මධ්‍යයෙහි කලු වැල්ල පියවා සුදු වැල්ල අතුරවා ලද පස්මල් ඉස්වා පුංකලස් තබ්බවා මාරුප්මල් කදලි තොරණාදීන් මොනවට සරසවා සඟ දහසක් රැස්කොට මහ දන්දී අනික් පිරිස තිසරණ පංචශීලයෙහි පිහිටුවා.ලීය.

     රජතුමා සොක්කන් වඩක්කන් වීරක්කන් කිලා මුක්කන් කාරික්කන් පටකඩ පට්ටෝලි දෙවාංගං දේවගිර කුජරාති  කම්බාතික මාරුපි වලිංගාදියං කංශපට සුදුපට රටපට ජිනපට කොජා සලු දීන සලු දිවයින් සලු නිල්මිණි සවඩි රන්මිනි සවඩි කේයුරාභරණ ඌරුජාල  ඉන සැද උදර බන්දන මකර බන්දන නලල්පට පාදසංකාරා පාදාභරණ පාද ජාලා කිංකිණක ජාලා පාදංගුලි පාද ජංගල් පත්‍රාවලලු සාදං මුතුදං රංදං රිදී දං මුත්හර අවුල්හර යනාදී සිව්සැට ආභරණයෙන් සැරසී සිද්ධ ඔටුණු රන් ඔටුණු මිණි ඔටුණු සත්රුවන් ඔටුණු යනාදී ඔටුණු වලින් ඔටුන්නක් ගෙන පැලඳ මගුල් කඩුව අතට ගෙන ‌ෙඑරාවතානන් හස්ති රාජයා ප්‍රධාන ඇතුන් හාරසිය අසූ නව දෙනෙක් හා අසුන් හාරසිය අසූනව දෙනෙක් හා මහත් පෙරහරින් දඹදෙණි පුරයට  පැමිණ එහි තිබුණ  දන්ත ධාතුන් වහන්සේ වැඩමවා ගෙන සමහරක් රන් කොණ්ඩි ගනිති.සමහරෙක් රිදී කොන්ඩි ගනිති.සමහරෙක් රන් සින්නන් ගනිති. සමහරෙක් රිදී සින්නන් ගනිති. සමහරෙක් රන් චාමර ගනිති.සමහරෙක් රිදී චාමර ගනිති. අහෝ සාදු අහෝ සාදු කියා මහත් පෙරහරින් යාපවු පුරවරයට පැමිණ යාපහු පුරයෙහි සත්මහල් ප්‍රාසාදයෙහි දන්තධාතුන් වහන්සේ වඩා හිඳුවා උදයට හාල් සේරු සියයක බත් වෑංජන සීයක් වර්ගයක් හා කැවිලි සීයක් වර්ගයකින් බුද්ධ පූජාව පවත්වා දහවල් දානයට හාල් සේරු පන්සියයක බත් හා වෑංජන් පන්සිය වර්ගයක් හා කැවිලි පන්සිය වර්ගයකින් බුද්ධ පූජාව පවත්වා සවස අෂ්ට විධ පාන වර්ගයෙන් ගිලන් පස බුද්ධ පූජාව පවත්වා  උදේට එක නම් ඇති මල් වර්ගයකින් මල් ලක්ෂයක් පූජා කරවීම.

    අමු කපුරෙන් පහන් ලක්ෂයයි.එළඟි තෙලෙන් පහන් ලක්ෂයයි. මෙසේ දන්තධාතූන් වහන්සේට නිසි පතා පූජා කොට. අතාවුදයෝ සළු වඩන්නෝ බුලත් වඩන්නෝ තෙල් වඩන්නෝ නානු වඩන්නෝ කපුරු වඩන්නෝ ඡත්‍ර වඩන්නෝ පවන් වඩන්නෝ කපුවෝය.කිලිංගයෝය. නැකැත්වොරුය වෙදවරුය බැට්ටවරුය පුලවරුය ගබඩා නායක බණ්ඩාරනායක රට නායක අර්ථනායක ගජනායක බදු නායක මුදලිගෙයි බාලයන් රහස්ගෙයි බාලයන් තටුගෙයි බාලයන් සවරිබාලයන් මේරු බාලයන් මල්ලවයන් අට භාගයේ මුර පිරිස් කොත්මලේ අට පෙට්ටියේ වැද්දන් මස් වැද්දන් ඔටුණු පඬිවරුන් සුද්දචාරීන් බඩාලුන් දඬුවඩුවන් ඊ වඩුවන් කුලු පොතුවන් කලල් ගසන්නන් රදවුන් ඇම්බැට්ටයන් බලි පතුවන් කාලි නටන්නන් යන මේ ආදීන් හා නුවර අවට සෙට්ටි වීථිය අගංපඩි වීථිය පරිවාර වීථිය උතුරු මධ්‍යම වීථිය යන මේ වීථි සාදවා උඩු වහල පල්ලෙ වහල උඩගම්පහ පල්ලේ ගම්පහ දිසා අදිකාරම් රැස් කරවා

 

 

 

දන්ත ධාතූන් වහන්සේ ට නැගෙනහිරින් මාහෝ හා දකුණු දිගින් ගමගොඩ හා බස්නාහිරින් රත්වෑ මියර හා උතුරු දිගින් වෑ මියර හිම්කොට කවුඩා බල්ලා කෙස්ස වටහපත ඉරහඳ කොටා දන්ත ධාතුන් වහන්සේට ගම් නියම්ගම් රාජධානි පිළිවෙලින් පූජා කොට මැඩියා වැව බඳවා යාපහු වැව බඳවා සැස්සේරුවේ ගල් පිළිමය නෙලා සීයයට විස්සක් අඩු විහර කරවා දැහැමින්  රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් වෙසක් මස පුර පසලොස්වක් පොහෝ දින බ්‍රහස්පතින්දා විසා නැකතින් රජතුමා ස්වර්ගස්ථ වූහ.

      පළමුවන බුවනෙකුබාහු රජු දෙවනපරාක්‍රමබාහු ගේ දෙවන පුත්‍රයා වෙයි.පරාක්‍රමබාහු රජුගේ මව් බිසව වූ සෝමමාලා දේවිය දළදා වැඩමවූ කීරවැල්ලේ පරපුරේ කුමරියකි. පියා කාලිංග වංශික දළදා පරපුරට සම්බන්ධ වෙයි.මේ නිසා කොත්මලේ සඟවා තිබූ දන්තධාතුන් වහන්සේ බෙලිගලට වැඩම්මවීමත් පසුව දඹදෙණියේ තැන්පත් කරවීමත් සිදු වූයේ දළදා වහන්සේ කෙරෙහි පැවති අසීමිත භක්ත්‍යාධරයෙනි.දළදා වහන්සේ දඹදෙණියේ වත්මන් විජයසුන්දරාරාම වෙහෙර ඉදීරිපසදී රජු අභියස ප්‍රතිහාර්ය පෑ බව සඳහන්ය.මේ නිසා දළදා වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් භක්තියක් ඒ පරපුරේ රජුන්ට තිබුණි.     මෙම පුස්කොළ ලේඛනයේ තිබෙන විශේෂතා කීපයකි . ඉන් එකක් නම් දළදා වහන්සේට කල බුද්ධ පූජාවයි.මෙම ලිපිය රචනා කරන ලද භික්ෂූන් වහන්සේ  සඳහන් කරන ආකාරයට  උදෑසනව ට හාල් සේරු සීයක් වෑංජන සීයක් කැවිලි සීයක් සූදානම් කරති. දහවල් දානයට හාල් සේරු පන්සීයක් වෑංජන පන්සීයක් සහ කැවිලි පන්සීයක් වෙති.යාපහුව දළදා මාළිගය සත් මහල් ප්‍රාසාදයකි.යාපහුව බලකොටුවේ රමණීය පියගැට පෙල කරණය කර කෙළින්ම ප්‍රවිෂ්ට වනුයේ මෙම දළදා මන්දිරයටයි.ඉතා දැඩි ආනතියකින් යුක්තව මේ පඩිපෙළ තනා තිබෙන්නේ සතුරන්ට ලෙහෙසියෙන් තරණය කළ නොහැකි වන ලෙසටය. මෙකී දළදා මන්දිරයේ විශාල ප්‍රමාණයක බුද්ධ පූජාවක් සකස් කරන්නට ඇත්තේ කුමක් නිසාදැයි පැනයක් නගී. වර්තමාන දළදා පූජාවට නම් ගැනෙන්නේ හාල් සේරු තිස් දෙකක් පමණි. දළදා භාර පැරණියන් පවසන පරිදි යාපහු රාජධානියේ මහා සංඝ රත්නය දළදා පූජාවට වැඩම වීම මෙහිදී සිදු කර ඇත. සැස්සේරුව ඇතුලු වෙහෙර විහාර අසූවක් පළමුවන බුවනෙකබාහු රජු විසින් තැනවීම කොට ඇත.ඒවායේ වැඩ වසන මහා සංඝරත්නය මෙන්ම දළදා තේවාවන්ට සම්බන්ධ සියලුම පුද්ගලයන් මෙම අවස්ථාවන්ට සාභාගි වී තිබේ. බුද්ධ පූජාව අවසානයේ මහ දන් පවත්වා බුද්ධ ශාසනයේ චිරස්තිථියට ආශිර්වාද කර තිබේ.

     යාපහුව නගරය පිට නගරය හා ඇතුල් නගරය යනුවෙන් දෙකට වෙන් කරනුයේ මහා ප්‍රාකාරයකිනි.මෙම ලේඛනයේ සඳහන් පරිදි ඒ කර්මාන්තය කරලීමට ගල් වඩුවන් විසිදහසක් පමණ සේවයේ යොදවා තිබුණි.එතරම් ආශ්චර්යක් සිදු වූයේ කෙලෙසකද.රජු විදෙස් සම්බන්ධ කම් පවත්වා තිබේ.චීන කාසි අඩංගු මුට්ටියක් යාපහුවෙන් ලැබී තිබෛන බව මෙහිදී දැක්විය හැකිය .වර්තමානය වන විට මේ ගල් වැඩ වල නටබුන් අප දකින්නේ බෙහෙවින් හුදකලාබවකිනි.පිට නගරයේ පවතින යාපහු මහ වැවත් මහව නගරයේ පවතින මැඩියා වැවත් රජුගේ නිර්මාණයන්ය.නැගෙනහිරෙන් මහව නගරයත් බස්නාහිරෙන් රත්වෑ මියරත් ( ප්‍රාකාරයත් ) දකුණෙන් ගම්වාසීන්ට නියමිත ගමගොඩත් උතුරෙන් යාපහු වෑ මියරත් අඩංගු සීමාව දළදා වහන්සේ වෙත පූජා කරවා තිබේ.

       බුවනෙකබාහු රජු ගේ රාජකීය වාස්ත්‍රාභරණ පිළීබඳවද ඔහුගේ නිළධාරීන් පිළිබඳවද මෙහි තිබෙන විස්තරය කුහුල දනවන සුලුය.යාපහු පුරවරය ගොඩනැන්වීමට ශිල්පීන් විසින් කරන ලද සමත්කම් අද අප දකින්නේ ඉස්තරම් කලාකෘති ලෙසිනි. බුවනෙකබාහු රජුගේ අභාවයෙන් පසුව ආර්යචක්‍රවර්තී ප්‍රධාන පාණඩ්‍ය හමුදාවක් පැමිණ  දළදා පාත්‍රා ධාතූන් වහන්සේ පැහැර ගෙන ගොස් තිබේ.නමුත් මේ කතාව පිළිබඳ දළදා භාර පරපුර පවසන්නේ මෙවැනි දෙයකි. මේ යුගයේ දළදා භාරව සිටියේ කලුගමුවේ නිලමේ නොහොත් කීරවැල්ලේ බෝපිටියේ දිව නිලමේ වරයාය. මේ දිව නිලමේ වරුන් සතුව සැම විටම දළදා අනුරුවක් තිබී ඇත.. පාණ්ඩ්‍ය ආක්‍රමණ හමුවේ බෝපිටියේ නිලමේ වරයා දළදා අනුරුව මන්දිරයේ තබා සැබෑ දළදා වහන්සේ රැගෙන සැඟවුණි.වසන් වී ගොස් දරාණේ ලෙන නම් ස්ථානයේ තැන්පත් කොට තබා තිබී ඇත. කුරුණෑගල රාජධානි සමයේ දී සතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ සිට දළදා අනුරව වඩම්මවා  පැමිණි අතර කුරූණැගල රත්කැරැව්වේ දී නැවතී සිටි තැන දී සැබෑ දළදා වහන්සේ අහසට නැගී සපු ගසක් මස්තකයේ දී  ප්‍රාතිහාර්ය පාන ලද්දේය.යාපහු රාජධානියෙන් පසුව කුරුණෑගල ශ්‍රී විභූතිය ඇරඹෙන්නේ එතැන් සිටයි.

මතුගම සෙනෙවිරුවන්

     

   

Saturday, May 8, 2021

රබර් ගසෙන් හදන අඟුරු - පස සරු කර නසයි අතුරු

 

                                   


        කාර්මික විප්ලවයේ වත්මන් ක්‍රියාකාරීත්වය අති වේගවත්ය. කර්මාන්ත ශාලා වලින් පිටකරන නොයෙකුත් විෂ වායූන් නිසා ජෛව ගෝලය විශාල විපර්යාසයකට ලක් ව ඇත. කාබන්ඩයොක්සයිඩ්  වැනි වායු විමෝචනය සීඝ්‍ර වීම ගෝලීය උණුසුම වැඩි කිරීමට විශාල පිටුවහලක් සපයයි. ජෛව ගෝලයේ මේ විෂ වායු තත්වයන් සමහන් කරන්නේ ශාඛයන් විසිනි. වෙසෙසින්ම කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගනිමින් ඔක්සිජන් වායුව පරිසරයට මුදාහරින්ට ඒවා සමත් වේ. ශාඛයක ජීව කාලය තුලදී මෙලෙස ජීව ප්‍රතික්‍රියා සිදු කරමින් තැන්පත් කර ගන්නා කාබන් ප්‍රමාණය එහි අභාවයත් සමගම ක්ෂය වීමට පටන් ගනී. මහ පොළවේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය මීට හේතු වේ. එවිට පරිසරයෙන් ලබා ගත් සියලු කාබන් ප්‍රමාණයන් නැවතත් පරිසරයටම මුදා හැරීමකට ලක් වේ යයි කිව හැකිය.

      දෙදාහ වසරේදී ඇමෙරිකන් විද්‍යාඥයින් කණ්ඩායමකට ඇමසන් වන්යේ දී අපූරු පස් ස්ථරයක් දක්නට ලැබුණි. එහි විශාල අඟුරු ප්‍රමාණයක් තැන්පත්ව තිබුණි. විමර්ශනය කිරීමේ හෙළි වූයේ මෙම වනයේ ජීවත් වූ වෙසෙසි ජන කොට්ඨාශයක් විසින් සිය කෘෂිකර්ම හා ජීවන කටයුතු වලදී භාවිතා කළ අඟුරු මෙලෙස තැන්පත්ව තිබූ බවයි. මේවා වසර හත්දහසක් පමණ පැරණි අඟුරු බවට  සොයා ගෙන ඇත. මේ නිසා2004 වසර වන විට විද්‍යාඥයින් ගේ අවධානය මීට යොමු වී පර්යේෂණ ආරම්භ විය. ශාඛයක  ජීවිත කාලය තුලදී තැන්පත් වන කාබන් වලින් සියයට පණහක් පමණ  ක්ෂය නොවී ජීව අඟුරු වශයෙන් ස්ථායිව  රැස් කරතබා ගත හැකි බව මෙහිදී සොයා ගන්නා ලදී.

     අගලවත්තේ ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ ශාක පෝෂණ හා පාංශු විද්‍යා අංශය විසින් මේ පිළිබඳව පර්යේෂණ ආරම්භ කරන්නේ 2005 වර්ෂයේ දී පමණය. එහි ප්‍රධාන පර්යේෂණ නිළධාරී සමන් ධර්මකීර්ති මහතා බතීගම විදුහලෙන්  දික්වැල්ල විජිත මහ විදුහලෙන් හා මාතර රාහුල විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාංශු විද්‍යාව පිළිබඳව ගෞරව උපාධිය ලබා ගන්නේ 1991 වසරේ දීය.එම වසරේම රබර් පර්යේෂණායතනයට සම්බන්ධ වී 2002 වසර වන විට සිය ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ගැනීමට සමත් වන්නේ පාංශු විද්‍යාව පදනම් කොට ගෙනයි. සමන් ධරමකීර්ති මහතා රබර් පර්යේෂණායතනයට ඇතුලත් වන යුගය එහි ස්වර්ණමය අවධියෙකි. එහි අධ්‍යක්ෂ වරුන් වශයෙන් සිටි ආචාර්ය තිලකරත්න හා ආචාර්ය නුගවෙල යන මහත්වරුන් ගේ මග පෙන්වීම යටතේ රබර් වගා කේෂ්ත්‍රයේ වෙසෙසි පර්යේෂණ කටයුතු දියත්ව තිබුණි.නව නිපයුම් රැසක් ම එකළ බිහිවූ බව කිව යුතුය. ඒ පසුබිම යටතේ සිය නව පර්යේෂණ දියත් කිරීමට ධර්මකීර්ති මහතාට හැකිවිය. පාංශු පෝෂණයට මෙන්ම ගෝලීය උණුසුම අඩු කිරීමට ජීව අගුරු වල දායකත්වය ලබා ගත හැකි බව ලොව පුරා කරන ලද පර්යේෂණ රබර් වගා කේෂ්ත්‍රයේ අත්හදා බැලීම ඔහුගේ බලාපොරොත්තුව විය.

        දහනව වන සියවසේ රබර්වගාව ලංකාවට හඳන්වාදීමත් සමගම ලංකාවේ කෘෂීකර්මයේ සිදු වූ විප්ලවය රටේ කාර්මික කේෂත්‍රයේ ද මහා පරිවර්තනයකට මග පෑදීය. රබර් වගාව තෙත් වනාන්තර පරසරයට ගැලපී යාම නිසා එහි දිගුකාලීන ප්‍රයෝජන රැසක් දක්නට හැකි විය.    වනාන්තරයක තිබෙන ස්වභාවික ශක්තිය මගින් කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගැනීම නිරන්තරයෙන් සිදු වේ. වනාන්තර වැඩි වශයෙන් තිබෙන ඝර්මකලාපීය රටවල් වලට මේ සඳහා කාර්මික රටවලින් ගෙවීමක් කිරීමට නීති රීති සැකසී ඇත. රබර් ද වැසි වනාන්තරයක් බැවින් අනාගතයේ දී එය පැතිර පවතින රටවලටද එම හිමිකම ලැබිය හැකිය. සමන් ධරමකීර්ති මහතාගේ පර්යේෂණ කේෂ්ත්‍රය පුලුල් කිරීමට මේ සංකල්පය ද ඉවහල් විය. රබර් ගස සිය ජීවිත කාලය පුරාවට උරා ගන්නා කාබන් ප්‍රමාණය දර වශයෙන් අලු බවට පත් වීමෙන් හෝ දිරාපත් වීමෙන් ශුන්‍ය වීම පාලනය කරන්නට නම් ජීව අඟුරු භාවිතය දිරි ගැන්විය යුතු බව ඔහුගේ අදහස විය.

   වසර තිහක පමණ ආයු කාලයකින් පසු රබර් ගස දර වශයෙන් ප්‍රයෝජනයට ගැනෙයි. රබර් කම්හල් වල බේකරි වල තේ කම්හල් වල ප්‍රධාන ඉන්ධනය වන්නේ රබර්මුල් හා දර කොටන්ය. රබර් පර්යේෂණායතනයේ රබර් කම්හලේ පෝරණුව තුල මේ පර්යේෂණ මගින් අඟුරු නිර්මාණයට කුටීරයක් තැනුණි. සෙන්ටිග්‍රේඩ් 600 ට පමණ උෂ්ණත්වය ඉහළ නැගීමක් සිදු වන කල්හි රබර් කම්හලට අවශ්‍ය තාපය ජනිත වෙයි. ඒ සමගම මේ නිර්වායු කුටීරය තුල සියයට විසිපහක පමණ ප්‍රමාණයක් ජීව අගුරු ඉතිරි වෙයි. සමන් ධර්මකීර්ති මහතාගේ නව නිර්මාණය වන්නේ මෙම ජීව අඟුරු තිර කරලීමේ තාක්ෂණයයි. ජීව අඟුරු සකස් කරලීමට ප්‍රශස්ථ උෂ්ණත්වය වන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 450 කි. එයට අඩු උෂ්ණත්වයක දී වුවද ජීව අගුරු සෑදිය හැකිය. දහයියා ලීකුඩු හා පරිසරයේ තිබෙන ශාක කොටස් රාශියක්ම මෙලෙස ජීව අඟුරු නිෂ්පාදනයට යොදා ගත හැකි බවට ධර්මකීර්ති මහතාගේ පර්යේෂණ වලින්  ඔප්පු වී ඇත.

  වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින්  2010 වසරේ දී පවත්වනු ලැබූ වැවිලි භෝග සම්මණ්ත්‍රණයේ දී රබර් වැවිලි කේෂ්ත්‍රයේ හොඳම පර්යේෂණය ලෙසට මෙය සම්මානයට පාත්‍ර විය. රබර් තවාන් සඳහා මෙන්ම රබර් පැළ සඳහා පාංශු පෝෂක ද්‍රව්‍යයක් ලෙසට යොදා ගැනීමට තිබෙන හැකියාව විශාල බව මෙම පර්යේෂණය තුලින් තව දුරටත් සනාථ වී තිබේ. වසර දෙකක් පමණ වැඩුණු පැළයකට කිලෝ දෙකක් පමණ යෙදිය හැකිය. මෙම ජීව අඟුරු යෙදීමෙන් පොස්පරස් පොටෑසියම් මැග්නීසියම් කැල්සියම් යන පෝෂක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රබර් ගසකට ලබා ගත හැකි බව මූලික පර්යේෂණ වලින් තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.ඒ අනුව පොස්පරස් හා  පොටෑසියම් යෙදීම සියයට සියයකින්ම අඩු කර ගත හැකි වේ. එම දායකත්වය නිසා මෙම පර්යේෂණය රබර්වගා කරුවන් අතර ද කම්හල් හිමියන් අතර ද ඉක්මනින් ජනප්‍රිය වේ යයි විශ්වාශයක් ඇත

                             මතුගම සෙනෙවිරුවන්

   

 

 

Wednesday, April 28, 2021

වාන් ඇළ සිංහලයන්ට එදා කොටි ගැහුවා අද පොලිසිය ගහනවා

 

 

 


                           

            2021 මාර්තු මස 02 දින කන්තලේ වාන්ඇළ විහාරගල ගම්මානයට කඩා වැදුණු පොලිස් බල ඇණියක් සහ වන සංරක්ෂණ නිළධාරීන් ගම්මුන් ගේ ගෙවල් පොඩි පට්ටම් කොට ජනයා පළවා හරිනු ලැබූහ.නිවාස වල තිබූ බුදු පිළිම පොලේ ගසා ලීමට මෙහි පැමිණි ඇතැම් වන නිළධාරීන් කටයුතු කල ආකාරය ගැන ගම්මු මහත් සංවේගයෙන් කතා කරති. ගෙවල් විනාශ කරලීමෙන් නොනැවතුණු පොලිසිය ගම්වාසීන් 28 දෙනෙකුට විරුද්ධව කන්තලේ උසාවියේ නඩු පවරා තිබේ. ඒ වෙන කිසිවකට නොව නිළධාරීන්ට බාධා කිරීම පොලිසිය ඉදිරිපස  රැස් වී බලපෑම් කිරීම ආදී කරුණු ඉදිරිපත් කරමිනි.ගමේ පන්සලේ විහාරාධිපති හිමියන්ට සහ කන්තලේ බෞද්ධ සංගමයේ නීල් මහතාට සිතාසි එවා ඇත්තේ ජනයා පදිංචි කිරීමට පෙළඹවීම හේතු කොටගෙනයි.

              කොට්ටියාර් පත්තුව නොහොත් පැරණි කොටසර ජනපදය තුළ පිහිටි විශාලතම වැව ගංතලාවයි.දෙවන අග්බෝ රජු විසින් කරවන ලද මෙම වැව මහා වැවක් කොට බඳවන ලද්දේ මහා පරාක්‍රමබාහු රජු විසිනි.සිංහල රජ යුගයෙන් පසුව ලන්දේසි සමයේ ද පසුව 1880 වර්ෂය වන විට ඉංග්‍රීසි යුගයේද මෙම වැව යලි ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. ඉන්පසු නව සොරොව්වක් සමග මෙම මහා වාපිය.නැවත නිර්මාණය කොට ගොවි ජනපද ආරම්භ කරන ලද්දේ 1950 දහකයේ දීය.ඒ වන විට ගංතාලාව මහා වැව කන්තලේ නමින් හැඳින්විණ.වවුනියා පාර්ලිමෙන්තු මන්ත්‍රී වූ වන්නියාසිංහම් ගේ ව්‍යවහාරයක් වූ මේ නාමය භාවිතයට එවකට පාර්ලිමේන්තුව පවා විරුද්ධ නොවුණි.කන්තලේ මෙන්ම සේරුවිල අවට තිබෙන ඇල්ලෙ මහ වැවද මෙලෙසම ප්‍රතිසංස්කරණයට ලක් විය. ඒ නිසා මේ ප්‍ර දේශයේ නවතම ගොවිජනපදයන් හඳුන්වන ලද්දේ ඇල්ල කන්තලේ ව්‍යාපාරය යනුවෙනි.

    වර්ෂ 1815 දී සිංහල රාජ්‍යය ගිවිසුමකින් බ්‍රිතාන්‍යට පවරා දීමේ කාලවකවානුව වන විට මෙම  ප්‍ර දේශ ඝන කැළයට යටව තිබුණි. පොළොන්නරුව මැදිරිගිරිය මෙන්ම ත්‍රිකුණාමලය අවට ජනපද කරණය සිදු වන විට මෙම ප්‍රදේශය චුන්ඩන්කාඩු රක්ෂිතය ලෙසට 1940 දී ගැසට් කරන ලද්දක් විය.ඒ මුඩුබිම් පණත් මගින් ඉංග්‍රීසි ආණ්ඩුව පවරාගත් භූමියයි. මහ වැලි ගඟ මුහුදට වැටෙන්නේ ත්‍රිකුණාමාලයෙනි.මහවැලි ගඟින් උතුරු පෙදෙස එනම් අක්කර 41381 ක වපසරිය මෙම නාමයෙන් මිනුම්දෝරු සිතියම්වලට ඇතුලත් ව තිබේ.නමුත් කන්තලේ ගොවි ජනපද බිහිකරන කල්හි මෙම රක්ෂිතයෙන් ඉඩම් රාශියක් බැහැර කොට නව ගම්මාන ඇති කරන ලදහ. මේවා නව ජනපද ලෙසට සැළකුවද රක්ෂිතය ලෙසට නම් කළ සෑම කොටසකම දක්නට ලැබුණේ ‌ෙඑතිහාසික සිද්ධථානයන්හි නටබුන්ය. මේ නිසා පණහේ දශකයේ දී මෙම පළාතට වැඩම කළ අස්ගිරි පාර්ශවයේ පූජ්‍ය උදළුමඩ ගුණරතන ස්වාමීන් වහන්සේ ගේ මූලිකත්වයෙන් සිංහල ගම්බිම් යළි බිහි වන්නට විය.සේරුවිල මෙන්ම ත්‍රිකුණාමල ප්‍ර දේශය තුළද අති විශාල සිංහල ජනගහනයක් ස්ථාපිත වන්නේ පැරණි උරුමයන් සොයා පැමිණි භූමිපුත්‍රයන් නිසාවෙනි.මහවැලි ගඟෙන් උතුරට පවතින සියලුම විහාරස්ථාන අස්ගිරියටත් මහවැලි ගඟ‌ින් දකණට පවතින සියලුම විහාරස්ථාන මල්වත්තටත් අයිති බව ඉංග්‍රීසීන් පීළිගත් බවද මෙහිදී සඳහන් කල යුතුය.එම ප්‍රකාශය ලෝරි ගැසට්ටුවේ සඳහන්ය.ගංතලාව වැව සහ එයට සමාන්තරව තිබෙන නිවුන් වැව වූ වෙන්ඩ්‍රාසන් කුලමට අමතරව මෙම වාරි ද්‍රෝණියේ තිබෙන අනෙක් විශාලම වැව වන්නේ වාන් ඇළ මහ වැවයි.මෙම වැව් තුනට අමතරව මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම කුඩා වැව් රාශියක්ම මෙහි පිහිටා තිබේ.

 


 

1961 වර්ෂයෙන් පසු මින්නේරිය කන්තලේ යෝධ ඇළ නැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අසූව දශකය වන තෙක්ම කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය වරින් වර පුළුල් විය.කන්තලේ ත්‍රිකුණමල මාර්ගය අවට විශාල ගම්මාන රාශියක් ඇති වූ බව මෙහිදී කිව යුතුය.1964 දී වාන් ඇළ සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර එම කටයුත්තට අදාලව ජනතාව පදිංචි කිරීම් 1968 දක්වා සිදු වී තිබේ.ඒ අනුව වාන් ඇළ ගොවි ජනපදයත් ඊට අමතරව මීගස්වැව සහ විහාරගල යන වැව්ගම්මානයන්ද සංවර්ධනයට ලක් වී 1980 දක්වා දිවෙන කාල පරාසය තුළයි..මින් විහාරගල වැව අසල අනුරාධාපුර යුගයට අයත් සෙල් ලිපි සහිත ලෙන් විහාරයක් පිහිටා තිබේ.    අතීත මුතුන් මිත්තන් විසින් ගොඩ නැගුණු සිංහල ශිෂ්ඨාචාරය නැවත අදියරෙන් අදියර නැවත පණ නැන්වෙන කල්හි අවාසානාවන්ත කාල පරිඡේදයක් උදාවිය.එනම් උතුරෙන් පටන් ගත් දෙමළ කොටි ව්‍යාපාරයයි. දෙමළ ඊළම වෙනුවෙන් සටන් වැදුණු කොටි ත්‍රස්තයන් උතුර සහ නැගෙනහිර දෙමළ නිජ භූමි වශයෙන් මිථ්‍යා ප්‍රබන්ධයන් ඔස්සේ යමින් අවි ආයුධ සන්නද්ධ ත්‍රස්ත ව්‍යාපරයකට අවතීර්ණ විය.යාපනයේ දොරේඅප්පා ඝාතනයේ සිට වරින් වර මනුෂ්‍ය ඝාතන කරමින් විශේෂයෙන්ම සිංහල ගම්බ්ම් වල සිටි අහිංසක වැසියන් ඝාතනය කරමින් ඊනියා දෙමළ නිජභූමිය තුළ වාර්ගික පවිත්‍රකරණයක් සිදු කළහ.නැගෙනහිර පළාතේ වැලිඔය ත්‍රිකුණාමලය මඩකලපුව මෙන්ම පෙලොන්නරුවත් මේ ත්‍රස්ත ප්‍රහාරයන්ට නතු වූහ. ඊනියා සටන් විරාම ගිවිසුම නිසා කන්තලේ ගොවිජනපද ව්‍යාපාරයටත් මේ කලබල ඇති විය. 1990 ජූලි 25 දින වාන් ඇළ විහාරගල ගම්මානයට කඩා පීනූ මේ කොටි ත්‍රස්තයන් ගම් වැසියන් එකොලෙස් දෙනෙකු කපා කොටා ඝාතනය කළහ.මෙම ප්‍රහාරයෙන් සිවු දෙනෙකු තුවාළ ලබා ජීවිත රැක ගත්හ. මේ භීෂණය නිසා සිංහලයන් සිය ගම්බිම් හැර දමා කන්තලේ නගරාසන්නයට සහ හබරණ පොලෙන්නරුවට සංක්‍රමණය වූහ.

     කොටි සමග සිදු කළ අනවරත සටන් නිමාවට පත් වූයේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හාමුදාව වීරෝධාර ලෙසට ඔවුන් හඹා  ගොස් වටකර පහර දීමෙනි. අවසානයේ නන්දි කඩාල් කලපුවේ දී ප්‍රභකරන් ඝාතනය වීමත් සමග මේ ආක්‍රමණය අවසන් විය.අනතුරුව රජය ඉදිරියේ පැවතීයේ නටබුන් වූ යුධ කලාපය නැවත යථා තත්වයට පත් කර ගැනීමයි.ඒ සමගම අවතැන් වූ ජනී ජනයා පදිංචි කිරීම සිදු කල යුතුව තිබුණි. නමුත් අවාසනාවකට මේ කටයුත්ත නිසි පරිදි සිදු නොවීය.ඒ සමගම රජය පත් කළ කොමිසම් නිසා යුධ ජයග්‍රහණය විසින් අත්පක් කර දුන් මානසිකත්වය බෙලහීන විය.ඉන්දීය රජයේ බලපෑම් මධ්‍ය යේ උතුරේ සිංහලයන් නැවත පදිංචි කිරීම සිදු නොවීය. යාපන නාවක්කුලියේ සිංහල ගම්මානය සෑදුණේ බලයෙන් මෙනි.ත්‍රිකුණාමල මඩකලපු දිස්ත්‍රික්කයේ  තත්වය ඉතාමත් ශෝචනීය විය.සිංහලයන්ට ලැබුණු කුඩම්මාගේ සැළකිල්ල මේ වන විට කවුරුත් අත් දැක ඇත. මේ නිසා 1990 දී අවතැන් වූ වාන් ඇළ විහාරගල ජනතාවටත් සාධාරණයක් ඉටු නොවීය. මහින්ද රජපක්ෂ රජය 2015 දී පරාජයට පත් වූ පසු තත්වය තවත් නරක අතට පත් විය. සිංහලයන් කෙසේ වෙතත් මුස්ලිම් සහ දෙමළ ජනයා බලහත්කාරයෙන් මෙන් උතුරේ සහ නැගෙනහිර කැලෑ කපමින් පදිංචිවන්නට විය. ඇතැම් තැන් වල තමන්ගේ වර්ගයාගේ දේශපාලකයන් ගේ නොමද සහයෝගය ලැබූ මුස්ලිම් පිරිස් කැලෑ බිම් වලට ප්‍රකාශන ඔප්පු සාදා ගනිමින් ආක්‍රමණය කරමින් උන්හ. යහපාලන රජය බලයෙන් පහ වූ අනතුරුව ජනයා සුසුම් හෙළමින් තමන්ගේ කමට තැනක් ලැබුණි යැයි උදම් ඇණූහ. ඒ අනුව වන් ඇළ විහාරගල පැරණි ගම්මානයේ නැවත පදිංචි වීම් ආරම්භ වනුයේ 2020 අවසාන භාගයේ ය. විහාරගල නව විහාරස්ථානයක් ඇරඹෙමින් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කිරීම සිදු වීම මීට ආසන්නතම හේතුව විය.

    


 

.

     දැන් විහාරගල ගම්වාසීන් නැවතත් අවතැන් වී සිටී.පොලිසිය විසින් කළ අඩන්තේට්ටම් වලින් පසු ඔවුහු විහාරගල විහාරස්ථානයේ කඳවුරු ගසාගෙන තාවකාලිකව පදිංචි වී සිටී.මේ අවනඩුව දැන් ඉංග්‍රීසි නීතිය ඉදිරියේ විභාග වෙමින් තිබේ. 1940 ඉංග්‍රීසින් විසින් ගැසට් කරන ලද චුන්ඩන්කාඩු නම් වන රක්ෂිතයට විහාරගල ගම  අයත් යැයි වන නිළධාරීන් පවසති.සැබෑය. එවැනි රක්ෂිතයක් තිබී ඇත. නමුත් 1950 සිට 1980 දක්වා වූ කාලයේ දී ගොවි ජනපද ආරම්භ කරන කල්හි මේ ඝන කැළෑවට යටවූ භූමිය නැවත ජනයාට පවරා දී තිබේ.නමුත් රජයේ යම් අතපසුවීමක් නිසා මෙලෙස ඉවත් කරන ලද ගම්බිම් රක්ෂිතයෙන් ඉවත් කර නැත.දැන් නව ගැසට්ටුවක් මගින් චුන්ඩන්කාඩුව අලුත් සැලැස්මකට සළකුණු කර තිබේ.එයට විහාරගල පමණක් නොව වාන් ඇළ මහාවාරි ව්‍යාපාරයත් අයත්ය.සැබවින්ම ලංකාවේ මහ වනය දේශපාලකයන් විසින්ද අතැම් නිළධාරීන් ගේ අතයට ගනුදෙනු නිසාද විනයක් නොමැති සාමාන්‍ය ජනයා නිසාද විනාශ වෙමින් ඇත. මේ වනය තවදුරටත් ආරක්ෂා නොවුණහොත් ජල සම්පත ලබා ගැනීම උගහට වනු ඇත. මේ නිසා පදිංචි වීම් ගොවිතැන් කටයුතු සිදු කරන භූමි වෙන් කර ගැනීමත් ඒවා පරිසර හිතකාමී ලෙසට සකස් කර ගැනීමත් කළ යුතුය. විශේෂයෙන්ම රජයේ වන රක්ෂිත ආසන්නයේ පවතින ගම්මාන වන ගම්මාන ලෙසට සකස්කර ගැනීම වඩාත් කාලෝචිතය.වාන් ඇළ රජයේ රක්ෂිතයට කොටු කර ජනයා පලවා හැරීම නොව වන රක්ෂිතය රකින වන ගම්මානයක් කරවීම මගින් මේ ගැටළුවට විසඳුම් ලැබෙනු නිසැකය.ඩවුබිගින් පන්නයේ පොලිසියත් ඉංග්‍රීසි නීතියත් වඩා මානුෂීය වන්නේ නම් මේ දුරදිග රැගෙන යා යුතු ප්‍රශ්ණයක් වන්නේ නැත. ප්‍රදේශයේ දේශපාලඥයන්ටද නැගෙනහිරභාර ආණ්ඩුකාරවරියටද මෙහිදී විශාල වගකීමක් පැවරෙනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

Saturday, April 10, 2021

මරණ පරීක්ෂක(මුස්ලිම් ) තනතුර සහ ආණ්ඩුවේ වර්ගවාදය

 

 

 


                            

         හදිසි මරණ පරීක්ෂකවරු සඳහා තනතුරු බිහි කිරීම සිදු වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වගන්තිය අනුවයි. සිවිල් පුරවැසියන්ගෙන් තෝරාගත් උගත් බුද්ධිමත් පුද්ගලයන්  සීමිත පොලිස් බලතල සහිතව මෙම තනතුරට  පත්කිරීමට  අධිකරණ ඇමතිවරයාට බලය හිමිවී තිබේ.මෙම තනතුර සඳහා පඩිනඩි සැපයීමක් සිදු නොවන අතර හදිසි මරණයකදී කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ලබා දෙන වාර්තාව උදෙසා යම් දීමනාවක් ගෙවනු ලබයි. ඒ අනුව මෙම තනතුරු ගරු කටයුතුය.බුහුමන් ලබන්නකි.වගකීමක් ඇති බැවින් තනතුර හොබවන පුද්ගලයා සමාජයේ පිළිගත් තැනැත්තෙකු බවට තක්සේරුවක් තිබිය යුතුය. මරණ පරීක්ෂණයකදී යම් තැනැත්තෙකුගෙන් සාක්ෂියක් ලබා ගැනීමට බලය පාවිච්චි කිරීමටද එලෙස සාක්ෂි දීම පැහැර හරින්නකුට විරුද්ධව වරෙන්තුවක් නිකුත් කරලීමටද මෙම මරණ පරීක්ෂක වරයාට හැකිය.

      වර්තමානයේ පවතින කොවිඩ් තත්වය හේතුවෙන් මෙම හදිසි මරණ පරීක්ෂක වරුන්ට කාර්ය බහුල වී තිබේ.මරණයට පත් වූ රෝගියෙකු පරීක්ෂා කොට පී.සී.ආර්. කොට මිනිය නිදහස් කරලීමේ භාරධූර කටයුත්තේ කොටසක් ඔවුන් වෙත පැවරී තිබේ. අධිකරණ අමාත්‍යංශය පවසන පරිදි දිවයිනේ කොට්ඨාශ ගණනාවකම මෙම තනතුර සඳහා පුරප්පාඩු 297 ක් ඇතිව තිබේ. මේ නිසා පුරප්පාඩු පිරවීමට අමාත්‍යංශයේ ලේකම් වරයා‌ගේ අත්සනින් යුතුව 2021 පෙබරවාරි 01 දාතම යටතේ අයැදුම්පත් කැඳවීමක් අන්තර්ජාලය තුළ පළ කර තිබේ.මෙම අයැදුම්පත් කැඳවීම අනුව හදිසි මරණ පරීක්ෂක වරයෙකු වීමට සුදුසුකම් හයක් සම්පූර්ණ කළ යුතුය.ඉන් වගන්ති පහකම කියැවෙන්නේ සාමාන්‍ය වශයෙන් තනතුරක් හෙබවීමට පළ කරන පොදු සුදුසුකම්ය.නමුත් සයවන වගන්තිය තුළ කියැවෙන්නේ හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර සඳහා සුදුසුකමක් වශයෙන් දෙමළ භාෂාව කතාකිරීම හා ලිවීම අවශ්‍ය බවයි. මෙම ප්‍රකාශනයෙන් කාරණා දෙකක් ගම්‍ය වෙයි. එකක් නම් පොදුවේ හදිසි මරණ පරීක්ෂක තනතුරු වලට අමතරව මුස්ලිම් ජනතාවට ආවේණික මරණ පරීක්ෂක තනතුරක්ද ඇති බවයි.එසේම මෙම අපේක්ෂකයාට දෙමළ භාෂාව ලිවීම හා කතා කිරීමටද හැකියාව තිබිය  යුතුබව කියැවෙයි.සැබවින්ම මෙම පළ කිරීම තුළින් ආණ්ඩුවේ අමාත්‍යංශයක වර්ගවාදය එළියට පැමිණ තිබේ.පොදුවේ සිංහල ජනතාවට මේ මගින් වෙනස්කමක් සිදු කර ඇති අතර දෙමළ භාෂාව ස්වකීය භාෂාව වශයෙන් භාවිතා කරන දෙමළ පුද්ගලයන්ටද වෙනස් කමක් ඇති කර තිබේ.මරණ පරීක්ෂක (මුස්ලිම් ) තනතුර නිසා ඔවුන්ටද මේ තනතුරට ඉල්ලීම් කල නොහැකිය.මෙලෙස මරණ පරීක්ෂකවරුන් පත්කිරීම සම්බන්ධව ජනතාවගේ බලවත් විරෝධය පසුගිය කාලයේ එල්ල විය. අනතුරුව අධිකරණ අමත්‍යංශයේ මාධ්‍ය ලේකම් වරයා මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරන ලද්දේය. එහි සඳහන්ව තිබුණේ 2018  දී එවකට සිටි අධිකරණ අමාත්‍යවරිය විසින් කමිටුවක් පත්කරන ලද අතර එහි නිර්දේශ මත මෙය සිදු කළ බවත්ය.මෙම තනතුර අලුතින් ඇතිකරන ලද්දක් නොවන බවද එහි දක්වා තිබේ.



    1979 න් පසු දිවයින පුරාම පත්කරන ලද හදිසි මරණ පරීක්ෂක වරු සමාජයට පොදු කාර්ය භාරයක් ඉටු කරන ලදහ.මුස්ලිම් ජනගහනය වැඩි පෙදෙස් වල පවා ඔවුහු අගනා කාර්යයක් ඉෂ්ඨ කර ඇත. ඔවුන් ගේ සාමාජිකයන් ගෙන් සැදුම් ලත් මරණ පරීක්ෂක සංගමක් තිබෙන අතර එහි ලේකම්වරයා මුස්ලිම් පුද්ගලයෙකු බව මෙහිදී සඳහන් කළ යුතුය.

සාමාන්‍යයෙන් මුස්ලිම් ජන සමාජය තුළ තිබෙන මත කීපයක් මෙහිදී ගෙනහැර දැක්වීම කාලෝචිතය. පුද්ගලයෙකු මරණයට පත් වූ විට පැය විසිහතරක් ඇතුලත භූමදාන කටයුතු කළ යුතු බවට ඔවුන් ගේ ආගාමික සංස්කෘතික නීතියයි.එසේම මිය ගිය පුද්ගලයා කතා බහ නොකළද ඇසි පිය නොගැසුවද මෘත ශරීරයට සියලු දැනීම් ඇති බවටද විශ්වාසයක් ඇත. මේ තත්වය තුළ මුස්ලිම් පුද්ගලයෙකු හදිසි මරණයකට පත් වූ පසු මරණ පරීක්ෂණ පැවැත්වීමත් මිනිය කැපීමත් නොකළ යුතු බවට දැඩි මතයක සිටී.මේ නිසා යම් මරණ පරීක්ෂකවරයෙකු එලෙස කිරීමට තැත්කළ විට එයට දැඩි විරෝධය පළ කොට කෙසේ හෝ එය වැළැක්වීම ට උත්සාහ දරති.බේරුවල ප්‍රදේශයේ 19 හැවිරිදි මුස්ලිම් ගැහැණ ළමයෙකු හදිසියේ මිය ගියේය. මරණයට ආසන්නම සිද්දිය වූයේ ඇයගේ මාමා විසින් ලබා දුන් තල කැරැල්ලකි.මෙහිදී මෙම මරණය සැක සහිත බැවින් මරණ පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්යයනේම සිදු විය යුතු විය.එසේ නැතහොත් දැරියගේ මාමා සහ තල කැරලි විකුණූ වෙළෙන්දාද නිෂ්පාදකයාද චූදිතයන් බවට පත් වේ. මෙහි තර්කානූකූල බව එසේ වුවත් දැරියගේ ඥාතීන් මිනිය කැපීමට දැඩි ලෙසට විරුද්ධ විය.නමුත් මරණ පරීක්ෂක වරයාගේ සෘජු තීන්දුව මත මිනිය විවර කොට බැලුණි.එහිදී  අධිකරණ වෛද්‍යවරයා ගේ නිගමනය වූයේ දැරිය හදිසි හෘද්‍යාබාධයකින් මිය ගිය බවයි. මෙහිදී දැරියගේ මාමා මෙන්ම අනෙකුත් චූදිතයන් දෙදෙනාම සැකයකින් තොරව නිදහස් විය.නමුත් මුස්ලිම් සමාජය මෙම තර්කානූකූල බව පිළිගන්නේ නැත. අතැම් මරණ පරීක්ෂක වරු මුස්ලිම් පුද්ගලයන් හදිසි මරණයකට පත් වූ කල්හි අල්ලස් ලබාගෙන මිනිය නිදහස් කරන අවස්ථා නැත්තේ නොවේ. නමුත් බහුතරයක් මරණ පරීක්ෂක වරු එලෙස කරන්නේ නැත. එයට හේතුව මෙම තනතුර වගකීම් සහිත ගෞරවනීය තනතුරක් වීමයි.

           2018 දී හිටපු අධිකරණ අමාත්‍යවරිය විසින් පත් කරන ලද කමිටුව ඉදිරියේ සාකච්ඡා කරන්නට යෙදී ඇත්තේ මෙවැනි ප්‍රායෝගික කරුණුය.හදිසි මරණ පරීක්ෂක සංගමයේ ලේකම් වරයාද මුස්ලිම් පුද්ගලයෙකු බැවින් මුස්ලිම ජන සමාජයේ ඉල්ලීම් වලට වැඩි බරක් ලැබෙන්නට ඇත. නමුත් වගකිව යුතු රජයක් ඇමතිවරයෙකු සහ ලේකම් වරයෙකු ගේ කාර්ය භාරය විය යුත්තේ යම් ජන සමාජයක පවතින පිළිගත නොහැකි අන්තවාදී ඉල්ලීම් වලට ඉඩ දීම නොවේ.මරණ පරීක්ෂකවරු පොදුවේ පත් කරන කල්හි. සියලුම ජන කොටස් වලට ගැලපෙන පරිදි එම තනතුර සකස් කිරීම ඔවුන්ගේ වගකීමයි.මෙලෙස එක් වර්ගයක ජන කොටසකට ආවේණික පුද්ගලයන් පත් කිරීමෙන් සිදු වන අනර්ථය මෙම වගකිව යුත්තන් හට තේරී නොමැත. එකක් නම් මුස්ලිම් පුද්ගලයෙකු අන්‍යජාතික කාන්තාවක් විවාහ කරගෙන ඇති අවස්ථාවක ඔහුගේ අඩන්තේට්ටම නිසා ඇය මිය ගිය හොත් මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට ක්‍රියාකිරීමට මේ පසුබිම මත හැකිවීමයි.එසේම යම් මුස්ලිම් කාන්තාවක් අන්‍ය ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන විට ඇය ශරියා නීතය අනුව මරණයට පත් කොට මරණ පරීක්ෂණයක් සිදු නොකරම වළ දැමීමට තිබෙන ඉඩකඩයි. ලංකාවේ පමණක් නොව ඇමරිකාවේ පවා මුස්ලිම් තරුණියන් අනාරක්ෂිත බව පැවසෙන්නේ මෙම ශරියා නීතියේ බලපුලුවන්කාරකම නිසාය.දැනටමත් කාති උසාවි හරහා මුස්ලිම් කාන්තාවන්ට විශාල අසාධාරණයක් සිදු වේ.ග්‍රාම නිළධාරී කොට්ඨාශයක මුස්ලිම් ජනගහනය 5000 කට වැඩි නම් මුස්ලිම් මරණ පරීක්ෂක වරයෙකු පත් කල යුතු බවට ද යම් යෝජනාවක් පැමිණ තිබෙන බවද දැන ගන්නට ඇත.මෙය  භයානක තත්වයකි. මේ මගින් දිවයින පුරා ම ආවරණය වන පරිදි මුස්ලිම් ජන කොටස් වෙනම අනන්‍යතාවක් සහිත පුද්ගලයන් ලෙසට වර්ග වේ. මෙම පියවර  සහාරාන්ලා බිහි කිරීමට පසුබිම සලසන වර්ග වාදයකි.

  වර්ෂ 1806 සිට මුස්ලිම් විවාහ දේපළ නීතය ස්ථාපිත කොට ගෙන පැමිණි මුස්ලිම් විශේෂ නීති පිළිබඳ ක්‍රියාකාරිත්වය නිදහසින් පසු ස්වදේශික ආණ්ඩු විසින් තවදුරටත් පෝෂණය කර ඇත. මෙරට අධිකරණ පද්ධතියට මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙකුම පත් විය. ඒ අවස්ථා දෙකෙහෙදීම සිදු වූයේ බහුතර සිංහල ජනතාගේ වරප්‍රසාද කප්පාදු කරමින් ඔවුන් ගේ ජන වර්ගයට සාධාරණයක් ඉටු කර ගැනීමයි.නීති විදයාලයේ සිංහල බසින් ඉගෙනීමටත් විභාගයට ලිවීමත් යන දෙකම මෙම ඇමතිවරු දෙපළ විසින් අවලංගු කර ඇත.වර්තමාන අධිකරණ ඇමතිවරයා තමන්ගේ බල පරාසය තුළ ඉතා සූක්ෂමව කටයුතු කරනු පෙනෙන්නට තිබේ.එක් අතකින් මුස්ලිම් පිරිසට රැකියා සපයා දීමට අවස්ථාව සලසන අතර ඒ මගින් මුස්ලිම් වැඩි පිරිසක් සිටින ගම්වල ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අනුබල දෙයි.පාස්කු ප්‍රහාරයෙන් සිංහල දේශපාලකයන් ඉගෙන නොගත් පාඩම නම් මුස්ලිම් දේශපාලකයන් හුරතල් කිරීමේ අනර්ථයයි.එය විසින් සමස්ත සමාජයම අනතුරකට පත් කර තිබේ.

 මතුගම සෙනෙවිරුවන්

Sunday, April 4, 2021

තෙල් වර්ග පිරිසිඳු කිරීම පිළිබඳ පාරම්පරික දැනුම

 



              ආහාරයට ලබා ගන්නා තෙල් වර්ග රාශියක් පිළිබඳ පාරම්පරික සූප ශාස්ත්‍ර ක්‍රමයන්හි දක්නට ලැබේ. ඒඅතර මී තෙල් තලතෙල් අබ තෙල් එළඟි තෙල් මෙන්ම පොල් තෙල් ප්‍රධාන වේ.මීගස් බහුල රජරට ප්‍රදේශයන්හි මී තෙල් සහ තල තෙල්ද පොල් ගස් බහුල පහත රට ප්‍රදේශයන්හි පොල් තෙලද භාවිතා වී ඇති බව පැහැදිලිය පස්ගෝ රස අතරට ගැනෙන එළඟි තෙල් දිවයින පුරාම ජනතාව අතර ආහාර සංස්කරණයේ දී මෙන්ම ඖෂධ සංයෝජනයේ දී ද භාවිතා වී ඇත. ගිතෙල් සහ දුන්තෙල් යනුවෙන් එහි ප්‍රභේද දෙකකි.ගිතෙල එළගවයාගේ කිරි වලින් ලබා ගන්නා අතර දුන්තෙල මී ගවයාගේ කිරි ලබා ගනී.මීතෙල් සහ තල තෙල සිඳ ගත්තේ පැහැ භාවිතයෙනි. වෙළෙඳාම සඳහා සෙක්කුව මගින් සිඳ ගනු ලැබිණ.පොල් තෙල සකස් කර ගත් ක්‍රම අතර අත් තෙල් සිඳ ගැනීම ගෘහස්ථවද සෙක්කුවෙන් හිඳ ගැනීම නාගරික පොදු භාවිතයටද සිදු කරනු ලැබිණ.අත්තෙල මෙන්ම සෙක්කු තෙලද ඉතාමත් පිරිසිඳු විය.රත් වීම අවම බැවින් තෙලේ පවතික පෝෂක කොටස් හානි නොවිණ.

          මී තෙල් සිඳ ගැනීමට මී ඇට කොටා කුල්ලෙන් පොලා ගත යුතු විය.පසුව වන්ඩුවේ තම්බා ගනී. අනතුරුව පැහැ භාවිතා කොට ලී දඬු දෙකක් ආධාරයෙන් තෙල් සිඳ ගැනීම කරති.මී තෙල ආහාරයට යොදා ගැනීමට ප්‍රථම  තෙල ලිප තබා බත් ගුලියක් එකතු කර නැවත සිඳ ගැනීමට ගෘහිණියන් උත්සාහ කර තිබේ. මෙවිට තෙලේ පවතින අමු ගතියත් යම් විස ගතියක් තිබේ නම් එයත් ඉවත් වේ. තෙල් භාවිතය ගැන මහනුවර රජ ගෙදර සූප ශාස්ත්‍ර නම් ග්‍රන්ථයේ 97 කවියේ මෙලෙස සඳහන් වේ.

සේවන කළහොත් තලතෙල -වා සෙම් සමනය වෙයි බල

වා පිත් දෙක නාස ගිතෙල -මී පිත් සෙම් නසාලු බල

( තලතෙල සේවනය කළහොත් බලවඩයි. වා සෙම් සමනය වේ.ගිතෙල් වා පිත් දෙක නසයි.මී තෙල් පිත සෙම් දෙක නසාලයි. )

පොල් බහුල පෙදෙස් වල පොල් තෙල් ආහාරයට එක්කර ගැනීම පුරුද්දකි.සාමාන්‍ය පොල් ගෙඩි පහකින්  තෙල් බෝතලයක් පමණ සින්ඳවා ගත හැකිය.ගෘහිණියන් නිවසේදීම අත්තෙල් සාදා ගනිති.සිංහල අවුරුද්ද ලංවෙත්ම පොල් ගෙඩි පහළොවක පමණ තෙල් සිඳ ගන්නේ රස කැවිලි සාදා ගැනීමට ඒවා උපයෝගී වන බැවිනි.ගා ගත් පොල් පළමුව තම්බා හොඳින් මිරිකා ගැනීම පළමු පියවරයි.දෙවනුව ඉතිරි වූ පොල් රොඩු වට ජලය එක් කොට නැවත කිරි මිරිකා ගනිති.ඉන්පසු පොල් හොඳින් තම්බා ගැනීම කරති.අනතුරුව විවෘත අප්පල්ලයක බහා තෙල් සිඳ ගැනීම ආරම්භ කරති. යම් වේලාවක් ගත වූ විට තෙල් පෑදීමට පටන් ගන්නා අතර කිරි කොටස යටට ගමන් ගනී.අප්පල්ලයේ මතු වූ තෙල හැන්දකින් ඉවත් කරගන්නා අතර අවසානයේ ඉතිරි වූ කිරි සහිත තෙල මත්තේ හිල් සහිත පොල් කටුවක්  ගිල්වති. එහිදී කිරි කොටස පොල් කටුවට පැමිණෙන අතර තෙල් කොටස වෙන්වේ.කිරි කොටස කිරි කැඳ සඳහා භාවිතවේ.කිරිපණු අමාරුව සමනයට ඉතා ප්‍රත්‍යක්ෂ වේ.

සිඳ ගත් තෙල් නැවත අප්පල්ලයක බහා පදමට කකාරා ගන්නා අතර එහිදී තෙලේ අමු ගතිය ඉවත් වේ. අතැම් ගෘහිණියන් තෙල රත්කරන විට කරපිංචා එකතු කරති.මීතෙල සකස් කරන විට යොදා ගන්නා බත් ගුලියද යොදා ගන්නා ගෘහිණීයන් සිටිති. ඒසේම බුලත්කොළ දමා සිඳ ගැනීමද කරති.මෙලෙස සිඳ ගත් තෙල මුඩු වන්නේ නැත.පොල් තෙල් ආහාරය සඳහා භාවිත කරන්නේ බැදුම් කාරකයක් වශයෙනි. බැදීමෙන් ආහාරයට රසයක් එකතුවන අතර කල් තබා ගැනීමටද හැකිවේ. පොල් තෙල් වලින් බැදීමෙන් රුධිරය කැටි ගැසීම වළක්වන අතර වකුගඩු සහ මුත්‍ර රෝග වලක්වාලයි. පොල් තෙල් වල කාබනික අයඩින් ප්‍රතිශතයක් ඇති නිසා ගල ගණ්ඩය සෑදීමේ ප්‍රතිශතය අවම කරයි. ආමාශයේ සහ අන්ත්‍ර වල තුවාළ සුව කිරීමේ හැකියාවක් පවතී. සමේ පවතින දිලීර විනාශ කරලීමටද එයට හැකිය. මල බද්ධයද වළක්වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. මේ නිසා පොල් තෙල් ස්වල්පයකින් තෙමේපරාදු කර ගත් ලූණු කරපිංචා සමග ව්‍යංඡනය රසවත් කරගැනීමට උත්සාහ ගනී.පිරිසිඳු පොල් තෙල් ලබා ගත හැක්තේ පිරිසිදු කොප්පරා වලින් පමණකි. නිවසේ අත් තෙල් සාදා ගැනීමද සෙක්කුවෙන් තෙල් ගැනීමද විද්‍යාත්මකය. එහිදී විටමින් වර්ග හිඳී යන්නේ නැත.

තෙල් වර්ග  මූර්චජනය -

ගිතෙල අබතෙල තලතෙල මී තෙල මෙන්ම පොල් තෙලද ඖෂධ පිණිස බහුලව යොදා ගනී. තැඹිලි තෙල හිස ගෑමට යොදා ගනී.මෙවැනි තෙල් වර්ග මුඩු බවට පත් වීම සුදුසු නැත. ඖෂධ පිණිස යොදා ගන්නා බැවින් ඒවායේ අමු ගතිය මග හරවා ගත යුතුය. මේ නිසා තෙල් මූර්ජා කිරීමක් සිදු කරන බව දේශීය වෛද්‍ය ග්‍රන්ථ වල දක්වා තිබේ.තලතෙල් මූර්චජනයේ දී පළමුව කළ යුත්තේ තෙල කල්දේරමක බහා  මදගින්නේ පෙණ රහිත වන තුරු හැඳි ගෑමයි.ඉන්පසු වැල්මදට කහ කලාඳුරු අල අවරිය නෙල්ලි බුලු අරලු වැටකේ මුල් නුග අරලු ඉරිවේරිය ආදිය එක් කොට තෙල නැවත සින්දවා ගත යුතුය. මෙහිදී වැල් මදට තෙල මෙන් භාගයක්ද සෙසු ද්‍රව්‍ය වැල් මදට ප්‍රමාණයෙන් කාලක්ද එක් කර ගැනීම නියමයයි.

අබතෙල් මූර්චජනයේ දිද පලමුව තෙලේ පෙණ පහව යනතෙක් උණුකර නෙල්ලි කහ කලාඳුරු ඉරිවේරිය සැවන්දරා බුලු කලන් 03බගින් ද වැල් මදට කලන් දෙකක් ද යොදා සින්දවා ගත යූතුය ගිතෙල නැත්නම් එළඟි තෙල් මූර්චජනය විශේෂිතය.ගිතෙල සාදා ගන්නේ එළදෙනුන් ගෙන් ලැබෙන කිරි උණුකිරීමේදී මතුවන යොදය භාවිතා කරමිනි. අවශ්‍ය පමණට යොදය එක්කාසු කරගත් පසු එය ලිප තබා මත ගාන කල්හි තෙල වෙන් වේ.තෙල වෙන්වූ පසු ඉතිරි කොටස මෝරුය එයද ඔෂධ පිණිස යොදා ගනී.ගිතෙල හා දුන්තෙල ගෘහස්ථ පරිභෝජනයට යොදා ගන්නා අතර එහිදී  මුරුංගා කොළ එකතු කර සින්ඳවා ගනී.   අත්තික්කා ගෙඩි මාලුව සකස් කරන කල්හි ගිතෙල බෙහෙවින් ප්‍රයෝජනවත්ය.ඖෂධ පිණිස ගැනීමේ දී අරලු බුලු නෙල්ලි කළාඳුරු වියළි කහ පලම බැගින්ගෙන චූර්ණ කර ඇඹුල් දොඩම් යුෂින් අඹරා දමා ඊටම ජලය නැලි අටක්ද බහා පෙර කී අයුරින්ම සිඳ ගැනීම නියමයයි.

  තෙල් මුඩු වීම සිදු වන්නේ තෙල් වලට ගැනෙන අමුද්‍රව්‍ය මත පුස් බැඳීමෙනි.විශේෂයෙන්ම කොප්පරා නිසි පරිදි වේලා නොගතහොත් ඇපලොටොක්සීන් නම් රසායනිකය ඇතිවේ.මේවා ආහාරයට මෙන්ම ඖෂධයටද විස කාරකය.පාරම්පරිකව තෙල් සිඳ ගත් ආකාරයට මෙන්ම මූර්ජා විදි වලින් මේ මුඩු ගතියත් අමු ගතියත් විස ගතියත්  මග හැරේ.එය අපගේ ආහාර සංස්කෘතිය සතු විශිෂ්ට දැනුම් සම්භාරයෙන් අල්ප මාත්‍රයකි.

මතුගම සෙනෙවිරුවන්