පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, January 23, 2026

තිස්ස මදක් නවතින්න තිස්ස විහාරයට දොස් නොපවරන්න

 

                       


         අනුරාධපුර ශ්‍රී මහා බෝධිය පසුකර උතුරට ගොස් තිස්ස රාජ මහා විහාරයේ සිල් සමාදන් වීම පිළිබදව කොකුවිල් ප්‍රසිද්ධ  වේදිකාවක දී  ජනපතිවරයා කළ ප්‍රකාශය මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් ව තිබේ.ක්‍රි.පූ. තුන්වන සියවසේ දී දේවානම් පියතිස්ස රජතුමා විසින් ජම්බුකෝළ විහාරය තිස්ස විහාරය සහ පාචීන විහාරය යනුවෙන්  උතුරේ විහාර තුනක් කළ බැව් මහාවංශයේ සඳහන්  වන බැවින් මෙකී තිස්ස විහාරය අරභයා ජනපතිවරයාගේ නොකැමැත්ත පළ වීම පුදුම සහගත යැයි කල්පනා කළ හැකිය.මන්ද මෙරට බෞද්ධයන් ගේ ප්‍රධාන චාරිත්‍ර අතර වන්දනාව ප්‍රමුඛ වන බැවිනි. වන්දනා ගමනකදී සිල් සමාදන් වීම ද ඒ මගින් කුසල් රැස්  කර ගැනීම ද සිදු කළ හැකිය.එය ලංකාවේ ඕනෑම සිද්ධස්ථානයක සිට එම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ක්‍රියාවිලියෙහි නිරත විය හැකිය.

          රජ දවසින් පසුව විවිධ සතුරු ආක්‍රමණ හේතුවෙන් යාපන අර්ධ ද්වීපයේ තිබූ බෞද්ධ වෙහෙර විහාරස්ථාන රාශියක් විනාශයට පත් විය.විශේෂයෙන්ම පෘතුගීසීන් විසින් උතුරේ කරන ලද විනාශයට මේ විහාරස්ථාන ලක් විය. අනතුරුව ලන්දේසීන් මෙම භූමිය වගා කරලීම පිණීසත් යුධමය කටයුතු සඳහාත් ඉඩම් වශයෙන් කටිටි කැඩීම සිදු කර ඇත.එම ඉඩම් යාපනයේ සිටි සිංහල ජනතාව සහ මුදලි වරුන් පාලනය කළ ප්‍රදේශයන් විය. ඒවා බලයෙන්ම පැහැර ගැනීමක් සිදු කර තිබේ.ඉන් පසු කට්ටි කරන ලද ඉඩම් වල මලබාරයෙන් ගෙන්වන ලද වහලුන් පදිංචි කළ බව ලන්දේසි යුගය පිළීබඳ ලියන අරසරත්නම් ඉතිහාසඥයා දක්වා ඇත.මේ ඉඩම් පරිහරණය නිසා තිස්ස විහාරය ද  විනාශයට ලත්ව ඇත.

      තිස්ස විහාරය නැවත ගොඩ නැගෙන්නේ විසිවන සියවසේ ආරම්භයේ හතළිහේ දශයේ දකුණේ සිට උතුරේ පාසල් වල ඉගැන්වීම් සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙනි.1939 නාගද්වීප විහරය ද ඒ ආසන්න කාලයේ නාග විහාරය ද කදුරුගොඩ විහාරය ද ජම්බුකෝළ විහාරය ද නැවත ගොඩ නන්වා තිබේ.එහෙත් 1958 දී උතුරේ දේශපාලකයන් ඇවිලවූ ජාතිවාදී කෝළාහලය නිසා නාගද්වීප විහාරය බිමට සමතලා විය. තිස්ස විහාරයේ සහ නාග විහාරයේ සිටි ස්වාමීන් වහන්සේලාට ශාරීරික කරදර සිදු විය.අසූව දශකයේ දී උතුරේ යුද්ධය ආරම්භ වීම නිසා නැවතත් ඒ නරක කල දසාව බෞද්ධ ස්ථාන වලට උදාවිය. නාගවිහාරයේ වැඩ සිටි ඥානරතන නායක හිමියන් වෙඩි පහරකට ද ලක් විය.

    වර්තමානයේ කතාබහවන තිස්සවිහාරය නැවත 2018 සිට ගොඩ නැගෙන්නේ හමුදාවේ  ශ්‍රම දායකත්වය සහිතව රජයේ ආශිර්වාදයෙනි.පෙර රජදරුවන් කළ කී පරිදි සසුන නැන්වීමට දායකත්වය සැපයිණි. පැරණි තිස්ස විහාරය ගොඩ නැන්වීම ගැන ප්‍රදේශයේ දෙමළ ජනතාවද සිටියේ සතුටිනි.එයට එක් හේතුවක් වූයේ යාපනයේ ප්‍රථම දෙමළ දහම් පාසල මෙම විහාරය ආශ්‍රිතව අතීතයේ දී පිහිටුවා තිබීමයි.එසේම වෙසක් ,පොසොන් පොහෝ දින වල උතුරට යනෙන වන්දනා කරුවන් විසින් නිරන්තරව දන්සල් සංවිධානය කිරීම ගැනද ප්‍රදේශයේ දෙමළ ජනතාව සිටියේ බලවත් සතුටිනි.මල්ලාකම් පරාලෙයි හි පිහිටා ඇති පැරණි සංඝමිත්තා බෝධිය අද කෝවිලකි. එහි කාර්ය භාරව සිටින කුරුක්කල් තුමා බෞද්ධ ඉතිහාසය පිළීගන්නෙකි. පැරණි වන්දනා කරුවන් නාග ද්වීපයට යෑමට ප්‍රථම සංඝ මිත්ත බෝධීයට පැමිණි බව ඔහු පවසයි.එහෙත් උතුරේ දකුණේ සමගියක් ගැන නොසිතන එසේම උතුරේ කුලහීන ජනයා යැයි සළකන කණ්ඩායම් නොසලකා හරින දෙමළ දේශපාලඥයන් මේ සමගියට අකමැතිය.පොහෝ දිනට තිස්ස විහාරය අසළට රොක් වී හමුදාවට ද ගරහමින් පන්සල නීත්‍යානුකූල නැතැයි පවසමින් කරන කෝළාහලය ආරම්භ වන්නේ 2023 වසරේ සිටය. එයට හේතුව හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙකු වූ ශිවාශ්‍රී මහතා විසින් හිතුවක්කාර ලෙසට තිස්ස විහාර භූමිය තුළ දෙමළ ජනතාවට ඉඩම් පෙන්වීමයි.අවතැන් අය පදිංචි කිරීමේ මුවාවෙන් තැන් තැන්වල පවතින ඔප්පු වලට අදාල ඉඩම් යැයි දක්වා ඔහු එම කූඨ කාර්යය කර ඇත. මේ පිළීබඳව රජයෙන් තවමත් විමර්ශනයක් කර නැත.

       තිස්ස විහාරයට අයිති ඉඩම පිළීබඳ 1959 වසරේ නිකුත් කරන ලද යාපන අඟලේ සිතියමේ පැහැදිලිව දක්වා තිබේ.එයට හේතුව 1954 වසරේ දී යාපන හිටපු දිසාපති වරයා විසින් එම භූමි පෙදෙස විහාරගම් ඉඩමක් ලෙසට හඳුනා ගැනීමයි.අනතුරුව කලකෝලාහල මත විහාර බිම පරිහරණයෙන් ඉවත් වුණද  1971  දී කන්කසන්තුර නගර සභාවේ ඉල්ලීමෙන් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නගර රේඛා සැලැස්මේ ඒ වන විට පැවති පන්සල් භූමිය ද පැහැදිලිව දක්වා තිබේ. 1971 නගර රේඛා සැලැස්මට අධි ප්‍රක්ෂේපණය කොට 2024/07/02 දින මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් සකස් කර තිබේ. ඒ වාර්තාව අනුව සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 14 ක් සහ පර්චර්ස් 5.97 ක් ඉතිරිව තිබෙන බවට තහවුරු වී තිබේ. එයට අමතරව 1984 වසරේ දී නිකුත් කරන ලද ගුවන් ඡායාරූපයේ ද මෙම පන්සල් භූමියෙහි විහාල වපසරියක් හිස්ව පවතින බව දැක්වේ.යුද්ධය ආරම්භ වූ පසු මෙම ඉඩම අතුළු අක්කර හය දහසක් හමුදාව වෙත පවරා ගෙන තිබේ. ඒ ආරක්ෂක කටයුතු සඳහාය. තිස්ස විහාරය මෙතැන පැවති බව හමුදාව දැන සිටියේ නැත. එබැවින් එතැන කඳවුරක් ඉඳිව තිබුණි.හමුදා නිවස්න තිබුණි.  2009 වසරින් පසුව සිවිල් ජනතාවට ඉඩම් නිදහස් කරලීමේ ක්‍රියාදාමයේ දී පළමු වරට පැරණි තිස්ස විහාර බිම හඳුනාගන්නට යෙදී ඇත්තේ එවකට යාපන රෝහලේ සේවය කළ ඩබ්.ඒ.ලක්මාලි මහත්මියගේ මැදිහත් වීමෙනි.එතැන් සිට අවශ්‍ය තොරතුරු එක් රැස් කිරීමත් භූමිය හඳුනා ගැනීමත් මත පැරණි පන්සල් භුමියෙන් කොටසක විහාරස්ථානය ඉඳිවනුයේ හමුදාවේ සහ රජයේ දායකත්වයෙනි.එය කිසිසේත්ම අනීතික ක්‍රියාවලියක් නොවේ.මෙයට එරෙහිව තර්ක ගොඩ නගන පාර්ශව අතර නාගද්වීප ස්වාමීන් වහන්සේ ද ප්‍රමුඛ වෙති.. 1946 දී ඒබ්‍රහම් පෙරේරා නමැති මහත්මයෙකු තිස්ස විහාරයට වරක්කු විස්සක( අක්කර 1 ¼) සිංහල කලඩ්ඩි නම්  ඉඩමක් පූජා කර ඇත. ඒ කාලයේ සිංහල ජනතාව විශාල ළුහයෙන් කන්කසන්තුරේ ජීවත්ව සිට ඇත. මෙම ඉඩමට අදාල ඔප්පුව යට සඳහන් කළ ශිවා ශ්‍රී මහතා වෙත ඉඳිරිපත් කරලීමෙන් පසුව සිංහල කලඩ්ඩි කොතනකදැයි සොයා ගන්නට බැරි තැන පන්සල පිහිටි බිමේ සළකුණු කර ඇත. මේ අවුල  අද වියවුලක් බවට පත්ව ඇත. යට දක්වා ඇති පරිදි 1958 දී නාගද්වීප විහාරය බිමට සමතලා කරන ලද්දේය. බුරුම පිළිම වහන්සේ ගේ හිස කඩා මුහුදට විසි කරන ලද්දේය.එවකට සිටි පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්තිතිස්ස හිමියන් බේරී ඇත්තේ නාවික  හමුදා පිහිටෙනි.ඒ පීළිබඳ මතකය වර්තමාන නාගද්වීප ස්වාමීන් වහන්සේ වෙත ඇතොත් මෙවැනි වියවුල් ඇති කරන්නට කල්පනා කරනුයේ නැත.



       යාපන දිස්ත්‍රික්කයේ පිහිටි පැරණි බෞද්ධ සිද්ධස්ථාන රාශියකි. ඒවායේ  ප්‍රධානතම ස්ථානය වශයෙන් අද ශේෂව පවතිනනේ කඳුරුගොඩ නටබුන්ය කුඩා චෛත්‍ය හැටකින් විසිතුනක අවශේෂ දැනට ඉතිරිව පවතී. මෑතකදී කළ කැණීම් වලින් මේ පුදබිමේ වටිනාකම තව දුරටත් තහවුරු වී තිබේ. එයට අමතරව ඩෙල්ෆ්ට් දූපතේ වෙහෙර නටබුන් කාරතිවු වෙහෙර පිටිය නටබුන් ආදීය විශේෂිතය. නිලාවරෙයි ළිඳ අසලින් හමු වූ බුදු පිළීම වහන්සේ දැනට කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.මෙම බෞද්ධ ඉතිහාසය ඉස්මතු නොකොට සැඟවීමට මේ වන විට බහුතරයකකට අවශ්‍ය වී තිබෙන බව පෙනේ. කඳුරුගොඩ විහාරයට යන ඉසව්ව දක්වන නාමපුවරුව ප්‍රදේශීය සභාව විසින් ගලවා ඉවත් කරනුයේ ඒ අරමුණිනි. ඉන්පසු උතුරු පළාත් සංචාරක අමාත්‍යංශය මගින් වෙනත් තොරතුරු ඇතුළත් නාම පුවරු සවි කරගෙන යති. සැබවින්ම ඉතිහාසයක් මැකිය හැකි දෙයක් නොවේ විශේෂයෙන්ම බෞද්ධ ඉතිහාසය අතුරුදහන් කළ හැකි නොවේ. මන්ද බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ පසු මේ රට වරින් වර බුද්ධ ශාසනයට පූජා කළ බැවිනි.එම නිසා දකුණේ සිංහල ජනතාව උතුරටත් උතුරේ දෙමළ ජනතාව දකුණේ කතරගමටත් වන්දනා ගමන් යන සම්ප්‍රදාය කිසිවෙකුට නැවැත්වීමට නොහැකිය.

        1981 ජන සංගණනය අනුව කන්කසන්තුර නාගරික බල ප්‍රදේශය තුළ සිංහලයන් 299 දෙනෙකු ජීවත්ව සිට ඇත.එසේම වලිකාමම් උතුර උප දිසාපති කොටසේ බෞද්ධ ජනතාව 453 ක ප්‍රමාණයක් ජීවත්ව සිට ඇත.බෞද්ධයන් සියලු දෙන සිංහලයන් නොවන අතර දෙමළ ජනතාවද බෞද්ධ පිරිසට අයත් වේ.යුද්ධ කාලයේ දී මේ සිංහල ජනතාව අවතැන් වූ අතර සිංහල පවුල් කීපයක් පමණක් දැනට ජීවත් වෙයි.සිංහල ජනතාව නැවත පදිංචි කරලීමට කිසිවෙක් උනන්දු වී නැත.ඒ වෙනුවට සමාන්‍ය දෙමළ ජනතාව සහ දකුණේ සිංහල ජනතාව අතර ගැටුම් ඇති වන පරිදි දේශපාලන නායකයන් විසින් අදහස් ප්‍රකාශ කිරීම අතිශයින් භයංකරය. මන්ද උතුරේ සිටින දෙමළ තරුණයන් ද වර්තමානයේ දී කල්පනා කරනුයේ සවිමත් ආර්ථික ශක්තියක් ඇති කරගෙන දෙයින් නැගී සිටින්නටය.එයට මග අවුරනුයේ අන්තවාදී දෙමළ දේශපාලන නායකයන්ය.වන්දනාවේ යන සැදැහැවත් බෞද්ධයන් එයට සම්බන්ධ නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය.

 මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment