පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, January 4, 2026

සියම් උපසම්පදාව සමග බැඳුණු විශේෂිත ස්මාරක

 

                                     .


          දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයක් ඇති සිංහල රාජවාලියේ අසිරිමත්ම සිදු වීම වනුයේ මහින්දාගමනයට රාජ්‍ය අනුග්‍රහය හිමි වීමයි. ලක් බුදු සසුන පිහිටුවීම ත් එතැන් පටන් සිංහල නරපතියන් විසින් මෙම ශාසනය දිවි දෙවනි කොට ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමත් නිසා ආසියාකරයේ ථෙරවාදී භික්ෂූන් ගේ කේන්ද්‍රස්ථානය ලෙසට ලංකාව පත් විය. වර්ෂ 1505 වන තෙක් නොයෙකුත් සතුරු ආක්‍රමණ හමුවුවේ වුවද අඛණ්ඩව අවිච්ඡින්නව පැවති සම්බුද්ධ ශාසනය  පරංගින් ලංකාවට  සැපත් වීමෙන් පසු බලවත් සේ දුර්වල විය. සිංහල කුමාරවරු සහ රදළයන් පර සමය ගැන්වීමද විහාරස්ථාන සුණු විසූණු කර දැමීම ද  මිෂනාරීන් විසින් ආගම පැතිරවීමෙන් ද ශාසනයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ක්‍රමානුකූලව ඉවත් විය. කෝට්ටේ යුගයේ අවසාන සමයේ සීතාවක රාජසිංහයන් ශිව සමයේ පිහිටීම නිසා භික්ෂූන් විශාල පිරිසක් ඝාතනයට ලක් විය. දළදා වහන්සේ පරංගින් ගෙන් බේරා ගැනීමට සපරගමුවේ දෙල්ගමුවට වැඩම වන්නට සිදු විය. මේ තත්වය මත හුදකලා වු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වාර්ෂික උපසම්පදා කර්මය සිදු කිරීමේ බලවත් බාධා එල්ල වන්නට ඇත. පළමු වන විමල ධර්ම සූරිය රජු විසින් නව රාජධානියක් උඩරට ඇති කර ගත් පසු නැවත උපසම්පදාව පිහිටු වීමට කටයුතු කළද එය වැඩි කළක් නොපැවතියේ රටේ සතුරු ආක්‍රමණ බලවත් වූ හෙයිනි. අනතුරුව දෙවන විමලධර්ම සූරිය රජු ද රක්ඛංග දේශයෙන් උපසම්පදාව ලබා ගැනීමට දොඩම්වල මුදියනන්සේ ගේ නායකත්වයෙන් දූත කණ්ඩායමක් පිටත් කර හැරියහ. ඔවුනට දැන ගැන්මට හැකි වූයේ එහි උපසම්පදාව පවතින බව පමණකි.අනතුරුව විජයරාජසිංහ රාජ්‍ය කාලය තුල දොරණෑගම මුහන්දිරම් රාළ සහ මාතර රාළ ඇතූල කණ්ඩායමක් පිටත් කර හැරිය නමුදු නැව මුහුදු බත් වූයෙන් වෑයම අසාර්ථක විය..මේ කාලයේ ශාසනය ආරක්ෂා කරගනිමින් විහාරස්ථාන වල වැඩ වාසය කරන ලද්දේ ගණින්නාන්සේ නමින් දක්වන  පිරිසකි.

         කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයේ දී සිල්වත් සමාගම යනුවෙන් ප්‍රසිද්ධව සිටි භික්ෂූ පිරිසක් සැබෑ ධර්මය පිළීබඳ අවදියෙන් තැන තැන දේශනා පවත්වමින් සිටි සමයේ රජුගේ හිත දිනාගැනීමට සමත් විය. එහි ප්‍රධානත්වය ගත් වැලිවිට සරණංකර නම් භික්ෂුවක් නිලමේ වරු මෙහෙයවා සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒමට වෑයමක් දැරීය. විල්බාගෙදර රාළ පට්ටපොළ මොහොට්ටාල ඇල්ලෙපොළ මොහොට්ටාල  ආයිත්තා ලිද්දේ මුහන්දිරම් ඊරියගම මුහුන්දිරම් යන මේ පිරිස ත්‍රිකුණාමල වරායෙන් නැව් නැගී සියම් දේශයට පිටත්ව ගියහ. ඔවුහු  බලවත් පරිශ්‍රමයක් යොදා ලන්දෙසි නැවකින් සියමට ළඟා විය. සියමත් ලංකාවත් අතර දීර්ඝ කාලයක් තිස්සේ බලවත් සම්බන්ධයක් තිබුණි. සියම් කුමරුවෙකුට කීරවැල්ලේ පරපුරෙන් කුමාරියක පවා සරණ පාවා දුන් බව ජන ප්‍රවාදයේ සඳහන්ය. මෙකල සිටි සියම් රජු ශ්‍රද්ධාවන්තයෙකි. ඔහු මේ දූත පිරිස ආදරයෙන් පිළිගෙන නවාතැන් සලස්වා එරට වැදගත් සිද්ධස්ථානයක් වන සච්චබද්ධ පර්වතය පාමොත් ප්‍රභාත් විහාරය ඇතුළු සිද්ධස්ථාන කීපයක්ම වන්දනා කිරීමට අවස්ථාව සලසා දුන්නේය.

අනතුරුව සියම් රජු විසින් සපයා දුන්  නැව ගඟ දිගේ යාත්‍රාකොට  සියම් වරායට සේන්දු වූ නමුත් නැව දුර්වල විය.  නැවේ දුරුවලතා හේතු කොට ගෙන දූත පිරිසද සියම් භික්ෂුන්ද අධෛර්ය වූ බව පැවසෙයි. කෙසේ වුවත් විල්බාගෙදර රාළ ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ලන්දෙසීන් සමග කතිකා කොට යළි නැවක් ලබා ගත් නමුදු එයද අබලන් විය. කෙසේ හෝ නැවතත් උත්සාහ වන්ත වී ලන්දේසීන් සතු මස්කාබෙල් නම් විශාල නැවකට ගොඩ වීමට ඔවුන්ට අවස්ථාව හිමි විය.  

 

     සියම් දේශයෙන් පිටත් වූ උපසම්පදා භික්ෂූන් අතර සියම් උපාලිථෙර, ආර්ය මුණි ථෙර ,ඉන්ද්‍රසුවණ්න ථෙර ඇතූළු භික්ෂූන්වහන්සේලා විසිඑක් නමක් ද සාමණේරයන් වහන්සේලා හත් නමක්ද උපාසකයෙකුද විය.එසේම ප්‍රසුදන්ත මේස්ත්‍රී ඇතූළු ඇමතියන් පස් දෙනෙකුද මේ ගමනට එක් වී තිබුණි.මේ ගමන පිටත් වීමේ දී බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ සියම් රජු සතූටු කදුළු වැගිරවූ බව දැක්වෙයි. සියමෙන් පිටත් වූවන් අතර වූ  පට්ටිපොළ මොහොට්ටාල අතරමගදී  මරණයට පත් විය.ඉන්පසු සින්න පට්ටනමට පැමිණි කල්හි විහාල සුළි කුණාටුවක් නිසා නැවු ගණනාවකට අලාභ හානි විය. කෙසේ වෙතත් මේ කිසිම විපතික් අධෛර්ය නොවූ විල්බාගෙදර රළ ලන්දෙසි කොටුවට ගොස් නිරන්තරයෙන් සාකච්ඡා වට කීපයක් පවත්වා එකඟතාවකට පැමිණියේය. පෙර කී පරිදි මස්කාබෙල් නම් නැවෙන් පිටත් වීමට ප්‍රථම  විල්බා ගෙදර රාළ සීනයක් දුටුවේය. මේ සීනය තෙරුම් කර ගැනීමෙන් පසු ඔහු සතුටු වූයේ තමන්ගේ කාර්යය ඒකාන්ත වශයෙන් සඵල වන බව  ඒ සීනයෙන් පෙන්වා දුන් බැවිනි.  මේ කාලයේ මුහුදු ගමන් අතිශයින් භයංකර විය. වීහාල නෞකාවකට ඇරෙන්නට කුඩා යාග්‍රා සුළි කණාටු වලට ඔරෙත්තු නොදුන්නේය. ඒ නිසා ලන්දේසීන් සපයා දුන් විහාල නෞකාව ගමනට පිරිමැසුණේය.බෙතාවියෙන් පිටත් වූ දූත පිරිස නොයෙකුත් වරායන් වල නවත්වා  දීර්ඝ  මුහුදු ගමනකින් පසු වර්ෂ 1753 මැයි මසයේ 14 දින දී ත්‍රිකුණාමල වරායට සැපත් විය.ත්‍රිකුණාමලයට වාරකන් ලබන්නේ වසර අවසාන වන විටය.එවිට ගෝකණ්න තිත්ථ උතුරු වරායට යාත්‍රා ගොඩ බැස්සවිය නොහැකිය. මැයි මාසය වන විට මුහුද සන්සුන්ය. ඒ නිසා මේ භික්ෂු පිරිස ගෝකණ්න තිත්ථ දකුණු වරායා නොහොත් වර්තමාන ලන්දේසි බොක්ක වෙත පැමිණියහ.

          මේ කාලයේ  මහ අදිකාරම් ධූරය දැරූවේ ඇහැලේ පොළ අදිකාරම්ය. නැව නිරුපද්‍රිතව ත්‍රිකුණාමලයට ගොඩ බට බව ආරංචි වූ කීර්ති ශ්‍රී රාජසිංහයන් ඇහැලේ පොළ අදිකාරම ප්‍රමුඛ ඉහළ නිළධාරින් පිරිසක් ත්‍රිකුණාමලයට පිටත් කර හැරීය. ඔවුහු එහි පැමිණ නැවේ සිටි භික්ෂුන් ඇතුළු සිංහල දූත පිරිස පොරොත්තුව ගෝකණ්න තිත්ථයේ මුහුදු ගල් පරය අසළ බලා සිටියහ. නැව වරාය බොක්කේ ගැඹුරු හරියේ නවත්වන ලද අතර භික්ෂූන් වහන්සේලා වරින් වර ගල් පරය අසලින් වැල්ලට ගොඩ විය. ඉන්පසු සන්සුන් ගමනින් ත්‍රිකුණාමලය වරාය අසල සිට ඉතා නුදුරු ව තිබූ වන ගොමුවකින් ගැවසී ගත් නමුත් එළි පෙහෙළි වූ තිබූ රම්‍ය භූමියකට සැපත් විය. තාවකාලික ව කූඩාරම් ගසා  ඒ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට විවේක ගැනීමට සලස්වා තිබුණි. සියම් උපාලි ථෙර ඇතළු විසි එක් නමද රාජ්‍ය දූත පිරිසද ඉතාමත් ගෞරවයෙන් පිළිගත් අහැලේපොළ මහ අදිකාරම දාන මනාදියෙන්ද රස මසුවුලෙන්ද සතප්පවා භික්ෂූන් වහන්සේලාගෙන් පිරිත් දේශනා සහිත ආශිර්වාද ලබා ගත්හ. මේ අවස්ථාවෙන් පසුව මෙම පුණ්‍ය භූමිය වටා බෝධීන් වහන්සේලා සතර නමක් රෝපණය කර අතැයි දැක්වේ.අනතුරුව මේ භික්ෂූහු පා ගමනින්ම සෙංකඩගල මහනුවර බලා පිටත් වූහ.සියම් මහ රජු විසින් ලබා දුන් ධර්ම ග්‍රන්ථ හිස උඩ තබා මහත් ගෞරවයෙන් වඩම්මන ලදහ.තෑගි භෝග දළදා වහන්සේට පූජා දි සත්කාර ඇතූළු සියල්ලම මෙසේ ගෙන යන ලදහ. ඒ ගමන් අතරමග විවේක  ගැනීමටද නවාතැන් සපයා දීමටද ඇරණු පිරිසක් ඒ වින විටද සූදානම් කර තිබුණි.සතිදෙකතුනකින්  පසු මහනුවර මල්වතු මහා විහාරයට පැමීණි භික්ෂූන් වහ්නසේලා එහි නවාතැන් ගත්හ.රාජ්‍ය දූත පිරිස බෝගම්බර නවාතැන් ගත්හ. ඉන්පසු ඇසළ මාසයේ දී සිංහල භික්ෂූන් වහන්සේලා ගේ උපසම්පදා කටයුතු ආරම්භ කළ බව දැක්වෙයි.       

 

 

       

 

      ත්‍රිකුණාමලයේ වර්තමාන ලන්දේසි බොක්කේ ගල් පරය අසළ වරාය මේ රටේ බෞද්ධයන්ට ඉතා වැදගත් ස්ථානයකි.ලන්දේසි කොටුව පැවති යුගයේ දී මෙම ගල්පරයට වැලි වැටිය දිගේ ඇවිද යා හැකි විය.ඒ බවට සිතියම් සාක්ෂි වෙයි. ඒ නිසාම සියම් උපසම්පදාවෙන් පසුව ගල් පරය පෙනෙන තෙක් මානයේ බෝ අංකුරයක් රෝපණය කර බෝධිඝරයක් ද සාදවා සියම් බුදු පිළිමයක් තැන්පත් කර තිබෙන බව ජනප්‍රවාද ගතය.වර්ෂ 1951 වර්ෂයේ දී මෙම බෝධිය අසළ පොල් අතු සෙවිලි කළ  ගොඩනැගිල්ලක් ස්ථාපිත කොට ත්‍රිකුණාමලයේ පළමු දහම් පාසල බිහි කිරීමට අමරපුර නිකායේ මූල වංශික පාර්ශවයේ පූජ්‍ය බලපිටියේ ශාන්ත හිමියන් කටයුතු කර ඇත. බලපිටියේ ශාන්ත හිමියන් ගේශිෂ්‍ය පූජ්‍ය මිහිඳුපුර මහිනිදවංශ හිමියන් සහ වෙල්ගම් විහාරයේ විහාරාධිපති අම්පිටියේ ශිලවංශ තිස්ස හිමි දෙපළ උපසම්පදා කරන ලද්දේ 1974 වර්ෂයේ අගෝස්තු 01 දා පෙර සඳහන් කළ ගල් පරය මස්ථකයේ දීය. එතැන් පටන්  උපසම්පදා කර්මය සහ පොහෝ කර්ම කිරීම උදෙසා මෙම ගල් පරය වෙත ප්‍රවිශ්ඨ වීමට එම භික්ෂූන් වහන්සේලා කටයුතු කර තිබේ.1987 වර්ෂයේ දී ඉන්දියන් හමුදාව කඳුවුරු බැඳි කල්හි දහම් පාසල් ගොඩනැගිල්ල ද බලෙන්ම ඔවුන් සතු කරගෙන ඇත. ඉන්පසු දහම් පාසල පැවැත්වීම නතර විය.අනතුරුව 2004 වර්ෂයේ දී ඇතිවූ සුනාමි ව්‍යසනයේ දී දහම් පාසල් ගොඩනැගිල්ල බිමට සමතලා වී විනාශ වී තිබේ.නමුත් බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වෙරළාසන්නයේ වැඩ සිටින අතර සෑම බෞද්ධයෙකුම එහි පැමිණ වන්දනාමාන කරමින් ආහිර්වාදය ලබා ගනිති.. 2009 වර්ෂයේ  මාර්තු මස 13 වන දින දී බෝගස් හතර පුණ්‍ය භූමියෙහි වැදගත් කම සලකා  1593 අංකය යටතේ ගැසට් පත්‍රයකින් පුරාවිද්‍යා රක්ෂිතයක් කර ඇති අතර වැල්ලේ බෝධින් වහන්සේ සහ බෝගස් හතර සියම් උපසම්පදාව පිළිබද වැදගත් ස්මාරකයන් විලසට ජනාදරයට පත් වී තිබේ.බෝ ගස් හතරත් වැල්ලේ බෝධීරාජ විහාරයත් අතර භූමියෙහි පැවති ජනාවාස ලක්ෂණයන් මත වළන් කටු පබළු චීන මැටි බඳුන් රැසක් පසුගිය කාලයේ සම්මුඛ වී ඇත. මේවායේ  පුරාවිද්‍යා ගවේශණ ගැඹුරට සිදු නොකළ තරම්ය. කෙසේ වෙතත් දහ අට වන සියවසේ සිදු වූ උපසම්පදා කර්මය හා බැඳුණු වැදගත් පුරාවෘත්ත සමගින් මේ කලාපය ත්‍රිකුණාමල වාසී බෞද්යන්ගේ හදවත් වල වැජඹෙයි.එය ඔප් නැන්වීම සැමදෙනගේම වගකීමයි.

මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment