පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, September 9, 2021

දඹුල්ලේ තලගොයි කථාව

 

 

 


                                               

             රන් ගිරි දඹුල්ලේ ලෙන් ගුහා සංකීර්ණයේ ඇතුලාන්තය දැඩි නිශ්ශබිදතාවයකින් වෙලී ඇත.බිම සවි කරන ලද පහනින් නැගෙන මන්දාලෝකයෙන් ඔප් නැංවෙන සිතුවම් මවන කාන්තිය සිත විනිවිද යන්නේ නැත. ශ්‍රද්ධා බැති සිතින් ඒ සීතල භූමි තලයේ වැතිර නමස්කාර කරමි. සිත එක්තැන් කළ මොහොත භාවනාවට වඩාත් සුදුසුය.  මීට දශක කීපයකට එපිට ඓතිහාසික රන්ගිරි දඹුළු විහාරයේ වැතිර මොහොතක් ලැබූ සැනසීම වර්තමානයේ දී නම්  ලබන්නට නොහැකිය.මහා කලබගෑනියකින් දඹුල්ල නගරය භ්‍රමණය වෙයි. ඉඳහිට වුවද මෙම කලබලය අලකලංචියක් බවට පත් වෙයි. ඒ ක්‍රිකට් තරු උල්කාපාත වලිනි. දඹුල්ලට පැමිණියෙකු ඒ ප්‍රදේශයෙන් පිටත් වන්නේ තල ගොයි මරා ගෙන යයි කථාවක්    ඇත. තලගොයා කෙසේ වුවත් දඹුල්ලේ වෙළෙන්දෝ ගෙවීන්ගෙන් ඉණ ඉහ අත ගා ගන්නට දක්ෂ වෙති. පෙරකී කලබලය රටටම දැනෙන්නට ගන්නේ එලෙසය.

       එහෙත් දඹුල්ලත් ඒ අවට පරිසරයත් මවා පාන්නේ අතිශය සුන්දර දැක්මකි.රජරටට දියවර සපයන ඓතිහාසික කලාවැවට පාත්වන ජල ධාරාව මාතලේ කඳුවැටි අද්දරින් පෙරී දඹුලු ඔයට එකතු වන්නේ මෙම ජනතාවගේ හදවත් තෙත් කරවමිනි. එය පසු ගිය දශක කීපය ඔස්සේ මහවැලියට සින්න වුවද ඉතිහාසය පුරාවටම මෙම හද ගැස්ම මේ ප්‍රදේශයේ නින්නාද වන්නට ඇත. දඹුල්ලේ තලගොයි කථාවේ උත්පත්තිය සිදු වන්නේ ඔවුන්ගේ ලෙන්ගතු කම් ක්‍රමයෙන් වියැකී යන යුගයේ දී වියයුතුය.

        දඹුල්ල කුරුණෑගල පාරේ කිලෝ මීටර් හතරක් පමණ ඉදිරියට ඇදෙන කල්හි ඓතිහාසික ඉබ්බන් කටුව පුරා සොහොන් භූමිය පසු කළ හැකිය. ඉන් අනතුරුව හමුවන්නේ තලකිරියා ගමයි. තල කිරියා ගම නමින් හැඳින්වෙන වැවක් අසබඩ පිහිටි මෙම ගම්මානය සීමා වන්නේ පහළ වැවෙනි. තල ගොයි කථාවට පසුබිමි වන පුවත මෙම ගමෙන් බිහි වූවක් යයි කියැවෙයි. එම නිසා තල කිරියාගම ජීවත් ව සිටින වැඩිහිටි දැනුමැතියන් මුණ ගැසීමේ  බලා පොරොත්තුවෙන් එහි ගියෙමි.   තලකිරියාගම පාර දෙපැත්තේ තිබෙන එළවුළු වෙළෙඳ සල් වලින් කියාපාන්නේ දඹුල්ලේ අභිනව සංස්කෘතියයි. එහෙත් එයට යටින් මේ ජනතාවගේ හද ගැස්ම සහ හෘද සාක්ෂිය නිරන්තරයෙන්ම දකින්නට හැකිය. තලකිරියාගම ජීවත්ව සිටි වයොවෘද්ධතම පුද්ගලයෙකු වූ හිඹුටත්තා නොහොත් කිරිබණ්ඩා මහතා දඹුල්ලේ තල ගොයි කථාවේ පැහැදිළි මූලාශ්‍රයක් විය. මීට වසර පහළොවකට පමණ පෙර මට ඔහු මුණ ගැසුණු අවස්ථාවේ දී කී කතා මෙලෙස සටහන් කරමි.

        තලකිරියාගම ජීවත්වන  මොරගස්පිටිය රාළ නමින් පැවතෙන ප්‍රධාන පරම්පරාව මාතලේ දිශාවේ මොරගස්පිටියෙන් සංක්‍රමණය වූවන්ය. ගමේ නාමය බිහිව තිබෙන්නේ මෙම සංක්‍රමණයත් තල වගා කිරීමත් නිසාවෙනි. කිරිබණ්ඩා මහතාගේ පුරාවෘත්තය ඒ දක්වා දිව යයි.        මොරගස්පිටිය ග්‍රාමය පිහිට තිබෙන්නේ මාතලේ දිස්ත්‍රක්කයේ ගලේවෙල මාර්ගයේ පල්ලෙපොලට නුදුරිනි. මෙම ප්‍රදේශය දේවානම්පියතිසිස රජු දවස දී ඉන්දියාවෙන් සපැමිණි බ්‍රාහ්මණ පෙළපත් වලට වාසභූමි විය.  මාතලේ කඩයිමි පොතේ එය සඳහන් ව ඇත්තේ මෙසේය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා දුන් කල්හි කැටුව ආ මුදලිහුරු සෝමනාද නාග පට්ටලම හිරකර සිටියාය. ශ්‍රී විෂ්ණු බ්‍රාහමණ රාළ අලුවිහාරේ පොරොත්තුව හිටියාය. ශ්‍රී රාම බ්‍රාහ්මණ රාළ රත්වත්තේ පොරොත්තුව හිටියාය. සොලංග්‍රී බ්‍රාහ්මණ රාළ හුලංගමුවේ පොරොත්තුව හිටියාය. කොටුදෙය්‍ය බ්‍රාහ්මණ රාළ කොටුවේ ගෙදර පොරොත්තුව හිටියාය. ශ්‍රී දත්ත බ්‍රාහ්මණරාළ ගෙනා ධාතූන් වහන්සේ දකුණු දිශාවේ දාගැබ කරවා මොනරුවෙල පොරොත්තුව හිටියාය. අකුරන්බොඩ රාළ ගෙනා ධාතූන් වහන්සේ නැගෙනහිර දාගැබ කරවා එම අකුරන්බඩ පොරොත්තුව හිටියාය. කොස්වත්තේ රාළ ගෙනා ධාතූන් වහන්සේ නැගෙනහිර දාගැබ කරවා කොස්වත්තෙ පොරොත්තුව සිටියාය.  මොරගස්පිටිය රාළ මෙහි සඳහන් අකුරන්බඩ රාළ ගේ මස්සිනාය. අකුරණ දේශයෙන් පැමිණ මෙහි වසම ලැබ සිටින කල්හි ගෙනා ධාතූන් වහන්සේලා තැන්පත් කොට කළ අකුරම්බොඩ දාගැබ මෙන් දාගැබ් තුනක් බඳවන්නට මෙම පිරිස කටයුතු කළහ. වර්තමානයේ ඉතිරිව පවතින්නේ කොසොන්පුර රාළ කරවූ මුතු කොළ මුදුන දාගැබ පමණකි.



     ගමිණී අභය නොහොත්  ගැමුණු රජතුමා එළාර රජු ජය ගන්නට මයියංගනයේ සිට විජිතපුර දක්වා යන ගමනේ දී ජය ගත් එක් බලකොටුවක් පිහිටා තිබුණේ අකුරම්බඩය. එය පාළියෙන් අන්තරා සොබ්බ යනුවෙන් ද සද්ධර්මාලංකාරයේ අතුරඹ යනුවෙන් ද දක්වා ඇත. මෙම අතුරඹ බල කොටුව ජය ගත් ගැමුණු රජු එම සටන වස්ථාවේ දී ජීවිතක්ෂයට පත් මහාතුණ්ඩ නමි දෙමළා සිහිවන්ට තුණ්ඩාරාමය යයි විහාරයක් ද කරවූ බවජනප්‍රවාදයේ සඳහන්ය.     දෙවනි රාජසිංහ රජු ලන්දේසීන් සමග කරන යුද්ධයේ දී මෙම ඉතිහාසය සොයා බලා පයියාගල රාළ වැනි රාජ හිතේෂීවන්තයින්ට  මාතලේ දිශාව ලබා දී සේනාව රැස් කරන්නට අණ කරන ලද්දේය. එහෙත් රාජසිංහ රජු උභය කුල පාරිශුද්ධ නොවන බැවින් මෙහි සිටි මුදලි වරු රජුට පක්ෂපාත නොවීය. එසේම පත් කරන ලද දිශාවට  සේනාව රැස් කරන්නට ද ඉඩ නුදුන්නේය. ත්‍රිකුණාමල බලකොටුව ජය ගැනීම පිණිස ගල්ඔය කඳවුරු බැඳගෙන සිටි රජු මෙයින් උදහසට පැමිණ පෙරකී බ්‍රාහ්මණ පරම්පරා වලින් පැවතෙන කිරිඔරුවේ රාළ අකුරම්බඩරාළ රුසිගම රාළ කිනිගම රාළ දඹරාවේ රාළ බෝවත්තේ රාළ ආදී මුදලි වරු පදවි වලින් ඉවත් කොට එම ගම් විෂ්ණු නාථ ආදී දේවාල වල ගබඩාගම් බවට පත් කරන ලද්දේය. අකුරම්බඩ වැව ආසන්නයේ ඔලගම් වත්තේ  විෂ්ණු දේවාලයට අයත් ගබඩාගමේ වී අටුව පිහිටා තිබූ අතර අටුව බාර රාජකාරිය පවරා දී තිබුණේ තලකිරියාවේ පරම්පරාවකටයි. වසමේ රාජකාරියෙන් ඉවත් කොට ඇතැම් විට ජීවිතක්ෂයට පත් කරන ලද මුදලි වරුන් ගේ ඥාතීන් මේ වනවිට රජු හා නොමනාපයෙන් පසු වූහ. එසේම තම වසම් වල ඇතිවූ විපර්යාසය නිසා ගමි වාසීන් ට ඇතිවූ දුක් ගැහැට ද දැන සිටියහ.

     අකුරම්බඩ රාළ ගේ මස්සිනා ගේ පරම්පරාවෙන් පැවතෙන මොරගස්පිටිය එවක එහි සිටි ප්‍රබල රදළයෙකු විය. එම පරම්පරාව ගැන කියැවෙන ජන කවියක එදා එම ප්‍රදේශයේ නිළමේ වරුන් අතර තිබූ සමිබන්ධය  සඳහන් කර ඇත.   ඇහැලේපොළය ගලගම දේදුනු පිටිය-මඩුවන්වෙල ජයබිම මැද්දේ කැටිය-කැප්පෙටිපොල ඒදුම මොරගස්පිටිය-අගුණාවලය වල්ගම යස කෙම්පිටිය. යනුවෙන් කියැවෙන  අතර යථොක්ත මොරගස්පිටිය රාළ එදා   දෙවනි   රාජසිංහ රජුගේ උදහසට පාත්‍ර නොවුනද සිය ඥාතියාට කළ ආරෝව නිසා කෝපයට පත් ව උන්නේය. දිනක් මහ රාත්‍රියේ අකුරම්බඩ ඔලගම වත්තට වැදුණු ඔහු ඇතුළු පිරිස අටුව කඩා වී එළියට ගෙන ඒවා නින්දගමේ ජනතාවට බෙදා දුන්නේය. ඉන් පසු ස්වකීය හිතැසි ඥාතීන් පිරිසක් සමග වල් වැදුණු මොරගස්පිටිය රාළ කිරිඔරුව ඔස්සේ දඹුල්ලට ගොස් එවකට දඹුලු විහාරයේ වැඩහිටි නායක ස්වාමීන් වහන්සේ බැහැ දුටුවහ.   

    නායක ස්වාමීන් වහණ්සේ සමග මාතලේ රදළයින්ට තිබූ ඥාතීත්වය මෙම අවදියේ ඉතා ප්‍රබල විය. රාජද්‍රෝහී වුවද විහාර ස්ථානයකදී කවරෙකුට වුවද අභය ලැබීම සම්ප්‍රදායයි. දඹුලු විහාරයට අයත් රාජකාරි ඉඩම් අතරින් තලකිරියාගම මෙම අනාථ වූවන් සනාථ කරවිය හැකි සශ්‍රීක භූමියක් බව නායක ස්වාමීන් වහන්සේ දැන සිටියහ. එම නිසා රාජකාරියට යටත් කොට මොරගස්පිටිය පරම්පරාවට තලකිරියාගම පදිංචිව සිටීමට අවසර ලැබුණි.

        තලකිරියාගම ගම් වාසීන් තල සිය ප්‍රධාන ආර්ථික භෝගය බවට පත් කර ගත්හ. යල් කන්නයට වැටෙන තල වැස්සෙන් පෙඟෙන ගොඩ කරයේ තල වගා කරමින් ඔවුහු සිය ජීවිකාව සරු කර ගත්හ. තල ගසේ මල් පිපෙන සමය ඔවුන් ගේ ජීවිත වලද වසන්තයයි. බක් මහේ අලුත් අවුරුද්ද ගෙවී වෙසක් මහ ලබන කාලයේ තල මල් රැගෙන දඹුලු විහාරයට ගෙන ගොස් පූජා කිරීම සුලභ දර්ශනයක් විය. දඹුලු විහාරයේ අලුත් සහල් මංගල්ලය ද මෙම රාජකාරි ඉඩම් වල ජීවත් වන ජනතාව එකමුතු කල අවස්ථාවක් විය.  පෙරහැරින් ගම වටා යන කරත්ත කරුවන් දඹුලු විහාරයට වඩම්මවන ලද අපූරු පූජාවක් ද මේ අතර විය. ඒ විශාල තල ගුලියකි .

       බඩ ඉරිගු කුරහන් තල ආදී කටුසර භෝගයන් ගෙන් සශ්‍රීක වූ  තල කිරියාගම විසිවන ශත වර්ෂයේ මුල් භාගය වන විට මහා පරිවර්තනයකට පත් වෙමින් සිටියහ.  දඹුලු විහාරය වන්දනා කිරීමත් වට වන්දනාවේ යාමත් සිංහල බෞද්ධයින් ගේ අගනා සිරිතක් බවට පත් වූයේ එවක ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය හේතු කොට ගෙනයි. ඒ හෙයින් දඹුල්ල කුරුණෑගල පාරේ තලකිරියාගම පාර දෙපැත්තේ කඩ තට්ටු කීපයක් තබා තල කුරහන් මගින් කරන ලද වෙළෙදාම මෙලෙස වට වන්දනාවේ යන පිරිස් අතර ඉතා ජනප්‍රිය විය.  ඔවුහු දඹුලු ගලේ නැගීමට ප්‍රථම පාර අද්දර සිය වාහන නවත්වා තල ගොවීන් ගේ නිෂ්පාදන මිළදී ගැනීමට උත්සුක වූහ. මුදල් භාවිතය සමිබන්ධව එතරම් වටිනාකමකින් කටයුතු නොකළ ඒ යුගයේ ඉතාමත් අඩුලන්සුවකට තල හෝ කුරහන් මිළදී ගන්නට වන්දනා කරුවන්ට හැකි විය.                                                 දඹුලුත් ගොසින් පේවී වැඳලා එන්නේ - තල ගොවියන් මරා රවටා බඩු ගන්නේ යයි ජන වහරට කථාවක් එක් වන්නේ මෙලෙසය. සැබැවින්ම ඓතිහාසික සත්‍ය සිදුවීම් ගණනාවනට මුහුණ දුන් ජනතාවක් තවත් පරම්පරා ගණනාවකට පසු සිය අනන්‍ය වූසංස්කාතික රටාවෙන් බැහැරව දඹුල්ලේ වෙළෙද ප්‍රවාහයට එක්වී සිටින ආකාරය අද දැක බලා ගත හැකිය. ඔවුන් ගේ ජීවන රටාව තුළ ඇති සැබෑ ලෙන් ගතු කම ඉස්මතු කරවිය හැකි හෘදයාංගම සම්බන්ධතාවයක් ඇති නොවන තරම්ය. එවැනි පරිසරයක තම පරම්පරාගත ඉතිහාසය තුලින් හෝ පන්නරය ලැබීමෙන්  ජාතික අභිමානයක් බිහි වුවහොත් සැගවුණු ලෙන්ගතු කම තිගැස්මක් වනු නිසැකය.

                  

                                                            මතුගම සෙනෙවිරුවන්

 

 

 

 

මෙම ලිපියට කරුණු සැපයූ අකුරමිබොඩ බී.එමි සෝමතිලක ආරචිචි මහතාට ස්තූතිය පළ කරමි.

No comments:

Post a Comment