උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ නැදුන්කර්නි
හි පිහිටි කුරුන්දන් මලේ නම්එෙතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානය 1933 මැයි මස 12
වෙනි දින දී රක්ෂිතයක් ලෙසට රජයේ ගැසට් පත්‍රයේ( අංක 7981 )
පළ කර තිබේ.කුරන්දි අට්ඨ කතාව රචනා කරන ලද ස්ථානය යයි දැක්වෙන හෙයින් කුරුන්දපාසාක
විහාරය යන නාමය එයට ඇති වන්නට අතැයි කියති.ක්‍රි.පූ. 109- 103 රජකල ඛල්ලාට නාග රජු
විසින් මෙම විහාරය කරවා තිබේ. පසුකාලයේ දී මහ ඝන වනයට යටවුණු මෙම ස්ථානය විසිවන
සියවස මුල් භාගයේ දී නැවත සොයා ගන්නට යෙදිණ.මෑත කාලයේ දී මෙම ස්ථානය ප්‍රසිද්ධියට
පත් වූයේ පුරාවිද්‍යා නිළධාරීන් විසින් එහි මුර කුටියක් ස්ථාපනය කිරීමට ගිය අවස්ථාවේ
දීය. පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දී දෙමළ දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි මෙම ස්ථානය මත
කෝවිලක් සංවර්ධනය කරන්නට ගත් උත්සාහය මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.පසුව පූජ්‍ය
රාජගිරියේ ශන්තබෝධි හිමියන්ගේ මූලිකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම
කුරුන්දි විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන්නට යෙදුණි.
කුරුන්දි
විහාරයේ දැනට සිදු කරන ලද කැණීම්වලින් පළමු සහ දෙවැනි සියවස්වලට අයත් පුරාණ ස්ථූපයක
කොටස් ද ශිලාමය ගජස්ථම්භයක් හෙවත් යූප
ගලක් ද මතු කරන ගැනීමට හැකි වී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත. දාගැබේ
උතුරු,
නැගෙනහිර,දකුණු
සහ බටහිර දිශාවන්ට හසුවන සේ අගල් හතරක කැණීම් කටයුතු ආරම්භ කරන්නට යෙදුණි. එම අගල්වල කැණීම් කටයුතු
ඉදිරියට සිදු කරමින් පවතින අතර නැගෙනහිර
දිශාවෙහි කැණීම් කටයුතු පමණක් මේ වනවිට අවසන් කර තිබේ.
නැගෙනහිර අගලේ කැණීම් කටයුතු මඟින් දාගැබේ පුරාණ
ස්වරූපයට අදාල තොරතුරු රැසක් මේ වන විට අනාවරණය
වී තිබේ. තුන්මහල පේසාව මෙහි ඇති වැදගත්ම වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. පේසා වළලු
සමඟ දැනට දාගැබේ සම්පුර්ණ උස මීටර් 03යි සෙන්ටිමීටර් 50ක්
පමණ වන බවට පුරාවිද්‍යා කැණීම් නිළධාරීන්
දක්වති. නැගෙනහිර දිශාවේ කළ කැණීමේ දී මල්
ආසනයක් තබා ඇති බවට තහවුරු වී තිබේ. එය
කැබලී කිහිපයකට පුපුරා හැර තිබේ.ස්ථූපයට අයත් යූප ගලේ කොටසක් නැගෙනහිර අගලේ කැණීම්
ස්ථරයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. . යූප
කෑබැල්ලේ ඉහළ අටපට්ටම් වේ. මේ අතර දකුණු පස අගලේ කැණීම් මඟින් මෙන්ම උතුරුපස අගලේ
කැණීම් මඟින්ද දාගැබේ සලපතල මළුවට අදාළ තොරතුරු ද අනාවරණය වෙමින් පවතී..
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සිය
ලංකාවේ ස්ථූප නම් ග්‍රන්ථයේ දක්වන පරිදි තුන් මහල් පේසාව විශේෂ වාස්තු විද්‍යාත්මක
ලක්ෂණයකි. අනුරාධපුර යුගයේ මෙවැනි මාලක සහිත ස්ථූපයන් කීපයක්ම දැක ගන්නට ඇත.කණ්ඨක
චේතිය මිරිසවැටිය අභයගිරිය උදාහරණ වෙති. මහාවංශයෙහි මෙවැනි මාලක වලට පුප්ඵාධාන නම
යෙදී තිබේ.මල්පියවසා යන්න සිංහල ව්‍යවහාරයයි. එනම් මේ මාලකයන් හි මල් පිදීමට තැනක්
වෙන් කරවා ගෙන තිබේ. කැණීම් වලින් මතුව එන්නේ මෙලෙස මල් පිදීමට යොදා තිබූ මල්
ආසනයයි.යූප ගල ඉන්ද්‍ර කීලය යනුවෙන්ද
ගජස්ථම්භය යනුවෙන් ද දක්වා ඇත. ලක්ෂ්මන් ඇඹූල් දෙණිය විසින් රචිත පෞරාණීක චෛත්‍ය
හා එහි විද්‍යාත්මක පසුබිම නම් කෘතියේ දක්වා ඇති පරිදි ස්ථූපයට ඉහළින් ආරෝපණය වන
අධිවොල්ටීය ධාරාවන් මේ ගජ ස්ථම්භය තුළින්
භූගත වේ. මේ යූපය සඳහා මුල් කාලයේ යොදා ගෙන තිබෙන්නේ දඹ දැවයකි.ගෙරවිලි
ගොරතර විදුලි අකුණු මැද මහ දඹ රුක උනු මගෙ අම්මා යයි ජන කවියා දක්වන්නේ දඹ දැවයේ
විශේෂත්වයයි. යූපය ශිලාමය ව්‍යවහාරක් වූ
පසුව ස්ථූපයන්හි භාවිතයේ පූජනීය බව මෙන්ම
අධ්‍යාත්මික පසුබිමද ක්‍රමයෙන් සංවර්ධනය
වී තිබේ.යූපයේ අට පට්ටම් හැඩය වර්ධනය වී ඇත්තේ යටකී ආරෝපණ ග්‍රහණය කර ගැනීමටයි.
කුරුන්දි විහාරයේ කැණීම් වලින් මතු කර ගත් යූප ගල ශිව ලිංගයක් බවත් මෙහි පවතින්නේ ශිව කෝවිලක් බවටත් තර්ක කරන පිරිසක් මේ වන විට බිහි වී තිබේ.කුරුන්දන්මලේ යනු දෙමළ ජනතාව වැඳුම් පිඳුම් කළ ස්ථානයක් බවත් පුරාවිද්‍යා නිළධාරීන් එම අයිතියට බාධා කරන බවද දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුමන්තිරන් මහතා මූලික අයිතිවාසිකම් නඩුවක් ද පවරා තිබේ.කුරුන්දි විහාරයට බලෙන් ඇතුලු වී එහි පැවති ස්ථූපයට හානි කරමින් කොන්ක්‍රීට් යොදා ත්‍රි ශූලයක් සවි කළ ආකාරය වාර්තාකර ඇත්තේ මීට වසර හතළිකට පමණ පෙරදීය.අසූව දශකයේදී කර්මාන්ත සහ විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිවරයාව සිටි සිරිල් මැතිව් මහතා මෙම විහාරය නැවත ප්‍රකෘතිමත් කිරීමට උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකි. 1980 ජූලි 30 දාතම යටතේ එවකට සංස්කෘතික කටයුතු ඇමතිවරයාව සිටි ඊ.එල්.බී හුරුල්ලේ මහතා වෙත ලියන ලද ලිපියට අදාලව පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සද්ධාමංගල කරුණාරත්න මහතා වෙත 1981 මාර්තු 12 දින යවන ලද ලිපියක්ද රාජ්‍ය සංස්ථා බෞද්ධ සමිති සම්මේලනය විසින් 1981 සැප්තැම්බර් මස 01 දාතමින් යුක්තව නැවත සංස්කෘතික ඇමතිවරයා වෙත යවන ලද ලිපියක්ද 1983 දී යුනෙස්කෝව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ අඩංගු කර ඇත.දෙවනිව කියන ලද ලිපිය ආරම්භයේ දීම මෙම කෝවිල ගැන දක්වා ඇත.ඒ මෙසේය.
' පැරණි නෂ්ඨාවශේෂ ආරක්ෂා කිරීම පිණිස පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව විසින් ක්‍රමානාකූලව ලබා ගන්නා ලද අවසරය පරිදි පුරාවිද්‍යා නිළධාරි
මහතෙකුගේ ප්‍රයෝජනය සඳහාද මහා සංඝයා වහන්සේ නමකගේ වාසය කිරීම සඳහාද අර්ධ තාවකාලික
ගොඩනැගිලි ඉඳි කිරීමට අප සම්මේලනය ක්‍රියාකරගෙන යන කාලය ඇතුලත එම පුරාවිද්‍යා
රක්ෂිත භූමියට ඇතුලත් වූ ද්‍රවිඩ ජාතික පිරිසක් විසින් පැරණි ප්‍රතිමා ගෘහයේ ගල්
කුළුණු මත දැව කඳන් යොදා වහලයක් ඉඳි කොට රට උළු සෙවිලි කොට දේවාලයක් තනා ඇත. එම ප්‍රතිමා
ගෘහය තුළ තිබුණු පත්මාසනය සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ පතුල් කොටස් අතුරුදහන්ව
ඇති අතර එය පිහිටා තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් ලෑල්ලක් ඉඳි කොට ඒ මත ත්‍රිශූලයක් සවි
කොට ත්‍රිශූලය ඉදිරිපිට පැරණි ගල් ආසනයක් තබා ඒ මත පහන් කපුරු දල්වා යූපස්ථම්බයේ
කොටසක් ලෙස සැලකිය හැකි ගල් ටැඹක් මත පොල් ගසා ඒ තුළම ඔප මට්ටම් කරන ලද ගලින්
ලිපක් බැඳ ගිනි මොලවා තිබුණි.එසේම මෙම ස්ථානයට යාබදව තිබුණු නටබුන් චෛත්‍යයයේ ගර්භය
හාරා සමතලා කොට ඒ මත ත්‍රි ශූලයක් සවි කොට තිබේ.'
උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පවතින සියලුම
බෞද්ධ පුරාවස්තු වල ත්‍රී ශූල සවි කරමින් කෝවිල් ඉඳි කරන්නට උත්සාහ කරන ඔවුන්ට න්‍යායත්මක
පසුබිම සලසා දෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්ය වරුන්ය. ඒ
අතර පුරාවිද්‍යා කටයුතු වල යෙදී සිටින එක් පුරාවිද්‍යා මහාචාර්ය වරයෙකුද
සිටී.විශ්ව විද්‍යාලයෙන් බිහිවී යන සිසුන් මේ විද්වතුන් ගේ දෙමළ ජාතිවාදී මත
විශ්වාස කරති. මෑතකදී පුරාවිද්‍යාවට බැඳුණු උපාධිදාරින් ද ඉගෙන ගෙන ඇත්තේ මේ රටේ
සිංහල ඉතිහාසය නොව ඊලාම් ඉතිහාසයයි. එවැනි තත්වයක් යටතේ යූප ගලකට ශිවලිංගයක් යයි
කීමට පෙළඹීඹ පුදුමයට කරුණක් නොවේ. කණගාටුවට කරුණක් වන්නේ මෙරට විශ්ව විද්‍යාල
පද්ධති වල සිටින ඉතිහාස ආචාර්ය මහාචාර්ය වරුන් හෝ පුරාවිද්‍යාඥයන් මෙවැනි දෙමළ
ජාතිවාදී මත වලට ශාස්ත්‍රීයව පහර ගැසීට ඉදිරිපත් නොවීමයි.එම තත්වය තුළ මෙරට පමණක්
නොව ජාත්‍යන්තරව පවා දෙමළ ජාතිවාදී ඉතිහාස මතවාදය හෙවත් ඊලාම් මතවාදය තහවුරු වන්නට
අවස්ථාව සැලසී තිබේ.සුමන්තිරන් වැනි දෙමළ ක්‍රිස්තියානි ජාතිවාදීන් උත්සාහ දරනුයේ
හින්දුත්වය පෙරට දමා බෞද්ධයන්ට පහරගසා මූලධර්මවාදී එවන්ජලිස්ත කල්ලි වලට උතුර
බිලිදීමට ක්‍රියා කිරීමයි.එම ක්‍රියාව මනස්ගාතයකට වඩා එහා යන්නකි.
මතුගම
සෙනෙවිරුවන්
No comments:
Post a Comment