පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, September 1, 2021

පොලොන්නරු ධනපති ඇච්චනි වැව් මව් කෙළසීම නවත්වව්

 

 

 


                        

          උපතිස්ස රජු විසින් සතරවන සියවසේ තැනූ තෝපාවැව බැම්මේ අපරාධයක් සිදු වෙමින් පවතී.බැම්මේ අගිස්සේ රළපනාව වෙනස්කරමින් ඇවිදින මංතීරුවක් සාදන්නට නාගරික සංවර්ධන අධිකාරියත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් උත්සාහ දරමින් සිටී.මේ හෝරාව යක්ෂයාගේ හෝරාවයි.වසංගතය පතුරවමින් බිහිකර ඇති ශාපය පරාක්‍රම සමුද්‍රයේ දෙවියන් සක්මන් කරන තැන සිට දෙගුණ තෙගුණ වෙමින් පුළුල් වන්නට ඉඩ කඩ යෙදී තිබේ.මේ බලධාරීන්ට දෙවියන්ගේ හාල් කැවිලා දැයි කෙනෙකු ප්‍රශ්ණ කර තිබේ.සැබවින්මමේ ශාපය තමන්කඩුව හා රජරට හරහා පතිත වුවහොත් ගොවි ජනතාවට සුණු සාල් වත් නොමැති වනු නිසැකය.  කන්තලේ වැව් බැම්ම කඩා දමා එදා 1986 දී ආර්.ප්‍රේමදාස කළ අපරාධය මේ අවස්ථාවේ දී යලි මතක් කරගත යුතුය.

     දෙවන උපතිස්ස රජු තෝපාවැව සකස්කරන ලද්දේ එවකට පැවති නියඟය තුළ තිබූ අභියෝගයන් ජය ගැනීම සඳහාය. පරාක්‍රම සමුද්‍රයේ වඩාත්ම ගැඹුරු ප්‍රදේශය පිහිටා තිබෙන්නේ තෝපා වැවේය.මෙය හුදෙක් ඉංජිනේරුමය කාර්යයක් පමණක් නොවීය.පුලතිසි සෘෂි භාෂිතය අනුව යමින් කළ ආධ්‍යාත්මික මෙහෙයුමක් වන්නට ඇත.ඒ නිසාම හතරවන සියවසේ සිට අද දක්වාම මෙම තෝපා වැව බිඳී ගොස් නැත.බ්‍රිතාන්‍ය පාලන සමයේ දී 1936 දී තෝපා වැව ඔබ්බෙන් තිබූ එරමුදු වැවේ කඩාඬුව පිළිසකර කොට 1944 දී මුල් වරට පරාක්‍රම සමුද්‍රය යළි පුරවන ලද්දේය.මෙහි වැඩ අවසන් කරන ලද්දේ 1948-52 කාලවකවානුව තුළදීය.1978 සුළි සුළඟින් පසු 1979 සිට වැව් බැම්මේ රළපනාව යලි සකස් කරන ලද්දේය.ඒ සඳහා ගල් කියුබ් 45000 ක් යොදවා ගෙන ඇතැයි කියති.උපතිස්ස රජුත් මහා පරාක්‍රම බාහු රජුත් මේ මහා ජලස්කන්ධයෙන් බලාපොරොත්තු වන ලද්දේ හාත්පස පැතිරී ගිය මහා නිම්න භූමිඅස්වද්දා බත සරි කර එවකට පැවති යුද්ධ වලදී අවශ්‍යතාවය වන ආහාර ස්වයංපෝෂිත බව ඇති කරලීමටය.නමුත් නිශ්ශංකමල්ල රජු වැවට සමීපයේ මාළිගයත් රාජ සභාවත්  සෑදීම කරණ කොට එවකට පැවති පොලොන්නරු නගරය නාගරික වශයෙන් පුලුල් කරන ලද්දේය.එහිදීද වැවක තිබෙන නිර්මිතයන්ට කිසි විටක හානි පමුණුවා නැත.ඒ වෙනුවට පරාක්‍රම සමුද්‍රය පිරී ඉතිරී යන විට වැවෙන් රාජසභාව පැත්තට විවර වන තඩාගයක් නිර්මාණය විය.අද එහි සොරොව් සහ නටබුන් දක්නට ඇති නමුත් තඩාගය නැත.මහපාර තැනවීමේ දී එය විනාශ වී තිබේ.

    නිශ්ශංක මල්ල රජු පවා වැවේ නිර්මිතවලට හානි නොකරන්ට ඇත්තේ වැවක ඉහත්තාව නොහාත් තාවුල්ල පැන්නුම රළපනාව වැව් බැම්ම මෙන්ම බිසෝ කොටුවද වැදගත් ස්තානයන් ලෙසට සැලකීමෙනි. ඒවා වෙනස් කරලීමට හෝ විකෘති කරලීමට පැරණියන් කිසිවිටක උත්සාහ නොකළහ.මහ වැව් ඉස්මත්තේ තිබෙන වැව් එල්ලංගා පද්ධතිය ඔවුහු පණ මෙන්ම ආරක්ෂා කරන ලදහ. පරාක්‍රම බාහු සමයේ දී අමුණු 165 ක් ගොඩ නන්වන ලද්දේ යැයි කියති. මේ අමුණු සියල්ල ඉතා සරල තාක්ෂණයෙන් යුක්ත නිර්මතයන් විය.අංගංමැඩිල්ලෙන් හරවන ලද ජලය පරාක්‍රම සමුද්‍රයට ගලා එන්නේ මේ සරල ශිල්පීයාව අපට පසක් කර දෙමිනි.      පොල‌ොන්නරුවේ තෝපා වැව කෙළවරේ පවතින පුලතිසි ප්‍රතිමාව දෙස් විදෙස්හි පතළය.එය අපගේ සෘෂි භාෂිතයේ සංකේතයයි.එතැන බැම්මේ කෙළවර වර්තමාන තානායම දක්වා භූමිය සැබවින්ම ශුද්ධ භූමියකි.වැව් බැම්මේ තිබෙන පත්තිනි දේවාලයත් එහි කරන පූද පූජා අදියත් පරාක්‍රම සයුරෙන් ජලය ලබා ගන්නා ගොවි ජනතාවගේ දෛනික ජීවිතයේ අංගයන් වෙති.

 

 

 

ඇතැමෙක් පවසන පරිදි මේ වැව් බැම්ම දිගේ ඇතම් විට දේවතා එළි ගමන් කරති.එවැනි තවත් ස්ථානයක් වන්නේ තිවංක පිලීමගෙයයි.එහිද මේ වන තෙක්ම දේවතාවුන්ට සැරි සැරිය හැකි පූජනීයත්වයක් තිබේ.මෙවැනි ශුද්ධ වූ පරිසරයක පිහිට තිබෙන වැව් බැම්ම මත සුදු දිසාපතිවරයාගේ නිල නිවස සාදන ලද්දේය.ඉන්පසු එය තානායම බවට පත් විය. මේ නිර්මිත  ප්‍රථම වරට කෙළසන ලද්දේ එලෙස ඉංග්‍රීසීන් විසිනි. ඔවුහුවැව නැවත ප්‍රකෘතිමත් කළද මේ පූජනීය පරිසරය විකෘති කරන ලද්දේය.නමුත් එදා සිට මේ පරිසරය ඊටත් වැඩිමනත්ව විකෘති කිරීමටලක ලක් නොවිණ. නවනගරයත් කදුරුවෙලත් වන්දනා කාරුවන් නිසාම යැපුණි.මේ නගරය නවීන අංගගොපාංගයන්ගෙන් සමන්විතව වැඩි දියුණට පත් කරන ලද්දේ පොලොන්නරු මහජනමන්ත්‍රී වරයා වූ හිටපු ජනපති වරයාගේ අතිනි.හුදකලාව පැවති නව නගරයත් කදුරුවෙලත් යා කරමින් නවීන මාර්ග ආදී යටිතල පහසුකුම් සංවර්ධනය විය.මින්නේරිය වැව් රක්ෂිතයත් එහි පවතින කුලුවැව් පද්ධතියත් විනාශ කරන ලද්දේද මේ දේශපාලනඥයන් විසිනි.එහි පැවති වීර මොර පලු වැනි අගනා ශාක විනාශ කරනු ලැබූ අතර ඒ වෙන්නට තේක්ක සිටුවනු ලදහ.      2012 වර්ෂය වන විට මේ දෙශපාලනඥයන් පරාක්‍රම සමුද්‍රය අවට භූමි භාග තමන්ගේ අත්අඩංගුවට ගන්නට විය.එසේම වැව් හෑරිල්ලට අවශ්‍ය ව්‍යාපෘති සකස් කර ගනිමින් විශාල ‌ඩෝසර සහ ට්‍රැක්ටර යොදා ගනිමින් වැවේ වැලි ඉවත් කර ගන්නා ලදහ.

       වැව් හෑරිමට සහ ඒ අවට දියුණු කරලීමේ අනෙක් අරමුණ නම් වැව් තාවල්ලේ සහ බැම්මේ සංචාරක හොටල් නඩත්තු කරලීමයි. දැනටමත් ගිරිතලේ පරක්‍රම සමුද්‍රය වැනි වැව් වල මෙලෙස හෝටල් ඉඳි කර තිබේ. පරක්‍රම සමුද්‍රයේ එරමුදු වැව ආසන්නයේ එහි කලිඟු බැම්මේ ඉහත්තාවේ සකස් කර තිබූ පැරණි අරලිය හෝටලය වැවේ ගිල්ම දක්වා තවත් පුලුල් කර තිබේ. මේ නිසා වැව පිරුණු කල්හි හෝටලයේ තණ තලාව ජලයෙන් යටවෙයි. මෙහිදී අදාළ හෝටලය හිමි කර ගෙන තිබෙන පුද්ගලයා විසින් ප්‍රදේශයේ වාරිමාර්ග බලධාරීන්ට  දේශපාලන බලපෑම් ඇති කර ජලය අක්කර අඩි විසිදහසක් පමණ අඩුකර ලීමට ක්‍රියා කර තිබුණි. පරාක්‍රම සමුද්‍රයේ වැව් ගිල්ම යටතේ තවත් හෝටලයක් ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් දැනට ඉඳිකර ගෙන යමින් පවතී

            පොලොන්නරුව නාගරික වශයෙන් දියුණු කරලීමට ගත් උත්සාහයේ ප්‍රථිපලය වූයේ මුදල් හා තනතුරු බලය තිබෙන ව්‍යාපාරිකයන්ගේ සහ දේශපලානඥයන්ගේ වෙනම බමුණු කුලයක් බිහි වීමයි. කොළඹ අධ්‍යාපනය ලැබීමෙන් හෝ තම ව්‍යාපාරික බලය පදනම්ව නැගුණු මේ පන්තිය අද ගොවීන් ගේ දරුවන්ට වඩා ඉහළින් වැජඹෙති.කෙතේ කමතේ ට්‍රැක්ටරයේ දහදිය හෙළමින් බත සරිකරලීමට වෙහෙසෙන ගොවි පන්තියේ දරුවන්ට වඩා මේ ඇච්චන්ට ඉහළින් වැජඹෙන්නට අවශ්‍ය වේ.ඒ ඇතැම් විට කොළඹ පුරුද්දටය.නිරුවත් දෛයින් තණ පලසක පවා ගමන් කළ නොහැකි ඔවුන් ජොගින් සූෂ් දමාගෙන ජොගින් ට්‍රැක් වලට දිව යන්නට පුරුදු වී සිටිති.ඒ පස්සේ තුවා වතුර බෝතල් අරන් දුවන ආරක්ෂකයන් ද නැතිවා නොවේ.මේ ඇච්චන්ට දොස් කිව නොහැකිය. උන්ගේ අප්පලා පොලොන්නරු ගොවීන්ගේ සාරය උරාබී තර වූවන්ය..පොලොන්නරුවේ දුප්පත්කම වී වලට නිසි මිලක් නැති කමය.වරක් මේ ගොවීහු වස බීහ.

 

 

 

 

දැන් තෝපාවැව කණ්ඩිය හාරා ඇවිදින මංතීරුවක රුදාව හට ගෙන තිබෙන්නේ ගොවීනට නොව පෙර කී ඇච්චන්ට සහ උන්ගේ අප්පලාටය.ඔවුන්ට මේ මංතීරුව ගොවීන් ගේ කෘෂි පාරකට වඩා වැදගත්ය.මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණද ඔහුද අදාළ සංවර්ධන කමිටු වල සිටින්නට ඇත. රුපියල් මිලියන එකසිය දහනමයක් යනු කජු ඇට කොස් ඇට නොවේ.සැලසුම් කළවුන්ට මෙන්ම කරවන්නනන්ටද හොඳ ඉල්ලමකි.ගෙවල් කීපයක් හදන්නට සිමෙන්ති ද  රැස්කර ගත හැකිව තිබේ.

     එහෙත් අතීයේ සිටි වාරි නිළධාරීන් එසේ නොවේ ඔවුහු තමන්ගේ පුද්ගලික ජීවිතයද කැප කරමින් වැව ආරක්ෂා කළහ. 1936 වකවානුවෙහි එරමුදු කපොල්ල අලුත් වැඩියා කරන විට එය භාරව සිටියේ සමන්තුරේ ඉස්මයිල් නම් මහතෙකි. මේ කාලයේ ඔහු මේ වැඩේ පිළිබඳව දැඩි උනන්දුවකින් කටයුතු කරන ලද්දේය.මේ කාලයේ ඔහුලේ පුත්‍රයා අසනීප වී යැයි ඔහුට පණිවිඩයක් ලැබුණි. ඔහු අලුත්වැඩියාව අතරමග නිවසට නොගියේය.අනතුරුව දරුවා මිය ගිය බවද ආරංචි වුවද වැඩය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් සිටි ඉස්මයිල් මහතා පැය විසිහතරක් ඇතුලත අවසන් කටයුතු සිදුවන බව දැන දැනද පුත්‍රයාගේ අවමගුල සාභාගි වීමට නොගිය බව පැවසේ.ඒ කැප කිරීම නිසා පසු කාලයේ ඔහු වෙනුවෙන් විශේෂ සැමරීමක්ද කර තිබේ. මේ පරාක්‍රම සමුද්‍රයේ මෑත අතීතයයි.අද සිටින නිළධාරීන් එසේ නොව්. ඔවුහු දේශපාලනඥයන්ට ව්‍යපාරිකයන්ට නතු වී තමන්ගේ රාජකාරිය පාවා දෙති.තෝපාවැව වැව්බැම්මේ පූජනීයත්වයට වඩා ඔවුනට ඉංජිනේරුමය කාර්යයන් ඉතා වැදගත්ය.

මතුගම සෙනෙවිරුවන්

 

No comments:

Post a Comment