පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, October 31, 2021

වසවිස ගොවිතැන පිළිබඳ මගේ අත් දැකීම්

 

 

 


                           

                පොහොර හැදෙන්නෙ පඨවි ධාතුව තුළින්.පංච මහා භුතයන් මගින් එම ක්‍රමවේදය කලමනාකරණය කරන ආකාරය මට තේරුම් ගන්න වසර ගණනාවක්ම ගියා.නවසිය අසූව දශකයේ මුල සිටම පාරම්පරික ගොවීන් ඇසුරු කරමින් පැරණි දැනුම ගැන ගවේශනය කරමින් සිටින විට මෙහි සතය්‍ය ගැන අවබෝධයක් ලැබුණා.හරිස්චන්ද්‍ර කවිරත්න මහතාගෙ උපවන විනෝදය කියල ග්‍රන්ථයක් තිබුණා.එහි තිබෙනවා ගවමුත්‍ර එළකිරි ගිතෙල් ආදිය භාවිතයෙන් විවිධ පොහොර වර්ග සාදා ගන්නා හැටි.මහියංගන පළාතෙ පැරණි ගොවියෙක් ළඟ තිබුණා පලිබෝධ මර්දනය කරගන්න ට ශාකශාර වලින් හැදූ බොහත් වට්ටෝරුවක්.එලු බෙටි සහ ගෙරිකටු පොළවේ වළලා කාලයක් තබලා හදා ගන්න පොහොරක් ගැන තව ගොවියෙකුගෙන් දැන ගන්නට ලැබුණා.

     මේ අතර රසායනික ද්‍රව්‍ය නිසා පස ලෙඩ වන හැටි ගොයමට පලිබෝධකයන් එන හැටි අත්දැකීමෙන්ම දැන ගත්තා.යුරියා මල්ලකට අත දැම්මොත් අත පිච්චෙන තරම්. පසට මේවා වැටුණම පසේ දිවි ගෙවන අපට උදව් වන ගැඩවිල්ලන් රතුපණුවන් කලු පණුවන් ඇසට නොපෙනෙන ජීවින් මැරෙන්නට ගන්න බව මට තේරුම් ගියා. වල් නාශක කෘමිනාශක ආදී කෘෂි රසායන යෙදූ විට ගොවිපලේ සිටින හිතකර සතුන් ද මිය යන ආකාරය නිරීක්ෂණය කරන්නට හැකියි.වරක් අපේ වෙල් යායට කීඩෑ වසංගතය පැමිණියා.ඒ වන විට මගේ කුඹුර මිලදී අරගෙන යන්තම් වසර තුනක් පමණයි( 1995 දී පමණ) ගෙවිලා තිබුණේ.නමුත් කිසි දවසක පලිබෝධ නාශක යෙදුවේ නෑ. අර කීඩෑවන් ඇවිල්ලා මගේ ඉන් නියර ළඟ නැවතුනා. මම ළන් වෙලා බැලුවා ගොයමේ සිටිනවාද කියල. හිටියා. ඒත් උන්ට හානි කරන්නට බැරිවුණා. මොකද කීඩෑවන් ආහාරයට ගන්නා හිතකර සතුන් මගේ කුඹුරේ හිටියා.

    ගොවීන් ගෙන් ලද වැදගත්ම අත්දැකීම තමයි කන්නයට වගා කිරීම යල කන්නයේ නම් සිංහල අවුරුද්දට දවස් තිස්පහක් හෝ දවස් හතක් කලින් වැපිරීමට සූදානම් වීම. ඒ සඳහා අවශ්‍ය වී වර්ග සූදානම් කර ගැනීම ප්‍රධානයි.මහ කන්නයේ නිකිණි මාසයේ දී වැඩිමල් වී වැපිරිය යුතුයි.මාස් කන්නයේ වට වැස්සත් එක්ක ගංවතුර එනවා.එකතුවෙන රොන්මඩකන්දරාව නිසා ගොයම බටගස් වගේ හැදෙනවා.බාලවී නම් උඳුවප් ලබන්නට කලියෙන් වපුරා අවසන් කළ යුතුයි.නැතිනම් උඳු රැත්තට අසුවනවා.මේ මූලධර්ම අනුව  මම කන්නයට වගා කරන්නට පටන් ගත්තා. මේ අත්දැකීම් එකතු කරලා වී වගා කාල සටහනක් සකස් කර ගත්තේ 2001 දී පමණ ඒක සාර්ථක වුණා.බාහිර ගොවීන් සමග මේ දැනුම බෙදා ගත්තා.වරක් කුරුණෑගල කිඹුල්වානා ව්‍යාපාරයේ කන්න රැස්වීමට සාභාගි වුණා.උප දිසාපති තුමා ඉදිරියේ මගේ කාල සටහන ඉදිරිපත් කර ගොවීන් අතර බෙදා හැරියා.ඒ කන්නයේ ඒ ගොවීන් සිංහල අවුරුද්දට කලියෙන් වී වගා කරලා හොඳ අස්වැන්නක් ගත්තා. වැවේ වතුරත් ඉතිරි වුණා.

    පාරම්පරික වී ගොවියා කුඹුර කමත වගේ තැන් වල අනුගමනය කළ සිරිත් විරිත් රැසක් තිබුණා.කුඹුර පිරිතෙන් ආරෝපණය කලා.සකලයන් සහ වන සතුන්ගේ කරදර පාලනය කරගන්නයි ඒදේ කලේ.මේ ක්‍රමය මට අල්ලගන්න ටික කාලයක් ගත වුණා.වල් ඌරන් ගේ කරදරයක් මගේ වෙලට තිබුණා.පස්සෙ කරණය ගැන දැනගෙන ඒ අනුව වී වැපිරීමේ දී සිංහකරණයත් දිවි කරණයත් අනුගමනය කලා. ඒ වෑයම සාර්ථක වුණා. සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවෙන් පැළ වී පිරිත් කරලා වෙලට ඉස්සා.

 


 

උදැල්ලෙන් කොටලා ගොලු මඩට වී වැපිරුවා.දෙමේ කොටන කොට මඩ පිඩැලි අස්සෙන් රතු පණුවන් කලු පණුවන් මතු වන හැටි ආසාවෙන් බලා සිටි හැටි මතකයි. උදැල්ලෙන් කොටන විට ගවයන් යොදා සිංහල නගුලෙන් හාන කොට මේ තත්වය දියුණු වුණා. වපුරන වෙලාවෙ ලියැද්දේ මඩ කරියො මතු වුණා. ඇතැම් කන්න වල රුක්මල් පීදුණ හැටි බලන්න ලස්සණයි.නමුත් ට්‍රැක්ටරයෙන් හාන කොට මේ තත්වය වෙනස් වුණා. මොකද එහි නගුල් පද්ධතිය නොහාත් රොටරිය  මගින් පස විනාශ කරනවා. වැස්සට පස හෝදලා යනවා. අපේ වෙල් යායෙ ගොයම් කැපුවට පස්සෙ මී ගවයින් දානවා. එළ ගවයින් දිගේලි කරනවා.උන් දමන මුත්‍රා වලින් ගොම වලින් පඨවි ධාතුව පෝෂණය වනවා. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය එන්න එන්නම වැඩි වෙනවා.මේ අතර මැල්ලවලාන ප්‍රේමරත්න මහතා කල අත්හදා බැලීම් ගොවිපළට යොදා ගන්නට අමතක කලේ නෑ.ශ්‍රී ක්‍රමය පැරෂුට් ක්‍රමය ඒ සියල්ල වරින් වර අත්හදා බලන්නට හැකිවුණා.

       කන්නෙට කතාවට නැකතට ගොවිතැන් කලාම යායට අරක් ගත් ගම්බාර දෙවියන් සිහිකර කිරි ආහාර පිදුවාම ගොවිපළ සරුවෙනවා.පොහොර සහනාධාරය මම කවදාවත් ගත්තේ නෑ. නමුත් වස විස නැතිව ගොවිතැන් කරන අනෙක් ගොවීන් ගේ අයිතිය වෙනුවෙන් කතා කිරීම නිසා මේ ළඟ දී අවුරුදක කාලයක් කාබනික පොහොර කියලා ජාතියක් මට ලැබුණා.ඒව හදලා තිබුණේ පුන්නක්කු එඩරු ඇට අඟුරු කුකුළු වසුරු ආදී ජාති වලින්. ඒවා වෙලට දැම්මම ගොයම් කරලට කිරි වැදීමට හොඳ බව පෙනුණා.ඉස්සර අපේ ගොවීන් ළඟ හිටිය ගවයන් මරණයට පත් වුණාම පොළවේ වළලලා වසර පහක් දහයක් තරම ගියාම ඇටකටු ගොඩ අරන් ගලක් උඩ කිතුල් කොට වංගෙඩියක් තියලා කටු පොඩි කරලා කුඩු කරලා ගොවිතැනට දානවා. ඒ නිසා කරල සරු වුණා .හොඳින් කිරි වැදුණා.කාබනික කියන වචනය නිකම් බොරු වචනයක්.විද්‍යාඥයන්ගෙ මනස්ගාතයක් මැදඋයන්ගොඩ විමලකිත්ති ස්වාමීන් වහන්සේ නම් කිව්වෙ සිංහල ගොවිතැන කියලයි.සොබා දහම ආශ්‍රය කරනගෙන කරන සිංහල ගොවිතැන තේරුම් කරගතහොත් ඉතාම අවම යෙදවුම් සහිතව ගොවිතැන පවත්වාගෙන යන්නට පිළිවන් හැබැයි.ගව සම්පත අවශ්‍යයි.ගවයා මස් කඩේට දක්කන එක නවත්වන්නට අවශ්‍යයි.

    ආණ්ඩුවේ වත්මන් කාබනික සංග්‍රාමය අසාර්ථක වේගන යන්නෙ රසායනික කෘෂීකර්මය වගේම යෙදවුම් මත යැපීම නිසයි.දශක හයක් පමණ කාලයක් රසායනික වස විස යොදන්නට පුරුදු වුණ ගොවීනට නැවත සිංහල ගොවිතැන කියාදෙන්න යම් කාලයක් අවශ්‍යයි.කැපවීම අවශ්‍යයි.පවට බයවීම නැති සමාජයකට මෙලොව පරලොව ගැන හිතන ගොවිතැනකට යන්න නම් විශාල පරිවර්තනයක් කළ යුතුයි. විශ්ව විද්‍යාල උගතුන් නිළධාරීන් වගේ ඉහල ස්ථරයේ පිරිස තුළත් මානසික පරිවර්තනයක් අවශ්‍යයි.විද්වත් පර්යේෂණ සිදු වන්නේ ඒ මත්තෙයි. .විජ්ජාවල් මවලා සංඛ්‍යා ලේඛන පෙන්නලා පොහොර උඩින් ජාවාරම් කරල රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට බැහැ.

මතුගම සෙනෙවිරුවන්

4 comments:

  1. මේ ලිපිය කියවන කොට ආසයි, එක හුස්මට දිගටම කියවගෙන ගියා.
    නමුත් මට පොඩි ප්‍රශ්නය දෙකක් තියෙනවා. එතකොට ඔබතුමා කියන ආකාරයට සිංහල ක්‍රමයට වී වගා කරන විට ලැබෙන පලදාව රසායනික පොහොර භාවිත කලවිට ලැබෙන ඵලදාව එක්ක සංසන්දනය කළොත් කොයි වගේ ද. ක්‍රම දෙකේ දෙකේදිම එකවගේ ඵලදාවක් ලැබෙනවද?

    සිංහල ක්‍රමයට එලවලු වගාවන් ගැන ඔබතුමාට මොන වගේ දැනුමක් තියෙන්නෙ?

    ReplyDelete
  2. වාණිජ කෘෂිකර්මාන්තය සහ යැපුම් කෘෂි කර්මාන්ත ය කියන්නෙ දෙකක් නෙව. ලංකාවෙ හැමෝටම කුඹුරක් තිබුණ නං මේ සිද්දිය සාර්ථකයි. නමුත් එහෙම නෑනෙ. ගෙඩිය පිටිං අසාර්ථකයි . අනික කාබනික වීම හෝ නොවීම ස්ව කැමැත්තක්. එය බලාත්කාරකමකින් හිස පැටවීම අනුමත කරනවද ???

    ReplyDelete
  3. මහේෂ් මහත්තයගෙ කතාවට එකගයි. අපිට ලංකාවෙ හැමෝම තම තමන්ට වී වගා කරගන්නවා නම් මේ ක්‍රමය ප්‍රශ්නයක් නෑ.

    හැබැයි වෙලඳපොල මුල් කරගෙන වගා කරන්න ගියාම තමයි ප්‍රශ්නෙ.

    ඒ විතරක් නෙමෙයි ජනගහයත් ඉස්සරට වඩා දැන් වැඩි ලෝකෙම.

    ලෝකෙන් සෑහෙන ප්‍රමාණෙකට ඉස්සරහට සෑහෙන ආහාර අර්බුදයක් එන්නත් පුලුවන්
    කියනව ඔන්න....

    ReplyDelete
  4. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete