පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, December 5, 2018

ඌව වෙල්ලස්ස සටනේ පාඩම් මගින් මේ පෙරළිය කියැවිය හැකිද


                         
        ඉංග්‍රීසීන් විසින් පිහිටුවන ලද අධිකරණ පද්ධතිය නමැති ගහලයා භාවිතා කොට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ශීර්ෂය ඡේදනය කර ඇත. කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි ගත් මෙම අධිකරණ තීරණය රටේ ඉරණම කෙරෙහි බරපතල අන්දමින් විශාල අභියෝගයක් එල්ල කොට තිබේ.එක් පැත්තකින් රට දේශපාලන වශයෙන් අස්ථාවරය. තවත් පැත්තකින් ආර්ථික වශයෙන් බිංදුවට වැටී තිබේ.අනෙක් පැත්තකින් රට බෙදීමේ බලවේග සියල්ල සිය සූක්ෂම ඥානයෙන් එක මිටට ගන්නට සුමන්තිරන් නම් ඒජන්තයා සමත් ව සිටී. අහෝ අපගේ ලංකා මාතාව අතිශයින් දුක් වන කාලයක් නැවතත් උදාවූයේ කෙලෙසකද.මේ ගැන තේරුම් ගන්නට තිබෙන හොඳම ඉතිහාස සාක්ෂිය 1818 ජාතික විමුක්ති අරගලයයි.අප රටේ දේශපාලන අධිකාරිය වසර දෙසීයක් තිස්සේ එම අරගලයේ සුවිශේෂී සිදුවීම් අධ්‍යනය නොකර අන්ධයන් සේ කටයුතු කිරීමේ විපාක අපගේ කරමත කඩා වැටී තිබෙනවා නොවේද.
       එක් දහස් අටසිය දාහත වර්ෂයේ  දී ඉංග්‍රීසීන්ට විරුද්ධව සිංහලයන් විසින් ආරම්බ කරන ලද ජාතික විමුක්ති   අරගලයට හේතු වූයේ 1815 වසරේදී අත්සන් කරන ලද සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුම ඉංග්‍රීසීන් විසින් ඒකපාක්ෂිකව කඩ කිරීමයි.වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ගේ ක්‍රෑර පාලනයට එරෙහිව නැගී සිටි ඇහැලේපොළ නිලමේ ඉංග්‍රීසින් වෙතට පැන ගොස් කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසට උඩරට ස්වාධීන කාලපය තමන් සන්තක කර ගැනීමට ඉංග්‍රීසීන් විවිධ කුමන්ත්‍රණ දියත් කළහ. සපරගමුව භාරව පැමිණි ඇහැලේපොළ මහ අදිකාරම ප්‍රබල රදළ පරපුරකින් පැවත එන එසේම සුවිශේෂී   ඥාති  බලයක් ‍ගොඩනගා ගෙන සිටියෙකි. රජ වාසලේ පළමුවන අධිකාරම වූ පිළිමතලව්වේ මෙන්ම දෙවන අධිකාරම වූ ඇහැලේපොළද රජුට යටි සිතින් ද්වේශ කලේය.ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගේ රාජ්‍ය පාලනය ලංකාවේ අතිශයින්ම තීරණාත්මක අවදියක් බවට පත් වන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් විසින් මේ රජු සහ පාලනය තම සියතට ගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටි බැවින්ය.තරුණ කන්නසාමි මේ බැව් මුලින් දැන නොසිටියද පසුව සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම පිණිස රදළවරුන් ගේ බලය අඩු කරලීමට පියවර ගත්තේය.වඩුග පාලනය පිළබඳව නොසතුටෙන් සිටි භික්ෂූන් වහන්සේලා මේ අවදියේදී කළ කුමන්ත්‍රණ ගැනද ඉතිහාසයේ සඳහන්ය. සංඝරාජ හිමියන් භික්ෂු සමාජය කෙරෙහි ඇති කරන ලද බලපෑම නිසා ඒ වන විට උපසම්පදා භික්ෂූන් රාශියක් ලංකාවේ තැන තැන ශක්තිමත් වෙමින් සිටියහ. රජු මේ බැව් දුටුවේය. සිය වඩුග  නෑ පිරිස් වලට රජ වාසලේ ඉහළතනතුරු ප්‍රධානය කළ ඔහු ඉන්දියාවේදී අහිමි වූ නායක්කර් පාලනය ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියේය.
                 ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනප්‍රාප්ත වූයේ 1798 දීය. ඒ වන විට රජ වාසල අරක්ගෙන සිටි නායක්කර් වඩුගයන් ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය අත්පත් කර ගෙන උන්හ.ආනයන අපනයන වෙළෙඳාම සහමුලින්ම වඩුගයන් කීප දෙනෙකු අතර විය. රදළවරුන්ට අල්ලස් දීමෙන්ද වැදගත් ඨානාන්තර පිරිනැමීමෙන්ද තම අණසකට ගැනීම නිසා සිංහල නිලමේලා බලවත් වුවද කළ හැකි කිසි දෙයක් නොවීය. ආන්ද්‍ර බස රජ වාසලේ ප්‍රධාන බස බවට පත් විය. සිංහල නිළමේලා වුවද සිය මුද්‍රාව තැබූවේ ආන්ද්‍ර අක්ෂර වලිනි.පිළමතලව්වේ අධිකාරම විසින් කන්නසාමි සිංහාසනයේ තැබෙව්වේ මේ තර්ජනයන්ට මුහුණ දීම පිණිසය. තමන්ට ගැති රූකඩ රජෙකු මගින් සිය අභිප්‍රායන් ඉටු කර ගැනීම එහි බලාපොරොත්තුව විය. ඒ සඳහා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ඔහු ක්‍රියාකලේ 1800 දී පමණය. පිලිමතලව්වේ ගේ අනුග්‍රය ගැන සැලකිලිමත් වූ ඉංග්‍රීසීහු කලින් සකසන ලද ගිවිසුමක් ද අතැතිව කනකමය මංජුසාවක් සහ අශ්ව රථයක් ඇතුළු පඬුරු රැගෙන 1800 මාර්තු 2 දා කොළඹන් පිටත් විය. ගිවිසුම මෙසේය. රජු ගේ ආරක්ෂාව පිණිස කොළඹ ආණ්ඩුකාරයාගේ මෙහෙයවීමෙන් හත්සීයක පමණ ඉංග්‍රීසි හමුදාවක් උඩරට නැවැත්වීම. මේ පිරිසගේ වියදම සිංහලගේ රජු විසින් දැරිය යුතුවීම.අවශ්‍යතාව මත  ඉදිරියේ දී එම සෙබළු ප්‍රමාණය වැඩිකිරීම ආදි වශයෙන් විය. වගන්ති නවයකින් සමන්විත මේ ගිවිසුමට රජු එකඟ නොවීය. මේ ගිවිසුම රැගෙන උඩරටට පැමිණි සෙන්පතියා වූයේ මැක්ඩොවල්ය.  මේ ගිවිසුම අසාර්ථක වූවායින්  පසු 1803 දී නෝර්ත් අණුඩුකාරයාගේ ඇණවීමෙන් මැක්ඩොවල් උඩරට ආක්‍රමණය කලේය. සෙන්කඩගලට පැමිණි විට ශ්‍රී වික්‍රම හෝ කිසිවෙක් එහි නොවූයෙන් මුත්තුසාමි එහි රජ කොට ගිවිසුම පරිදි ආරක්ෂාව සැපයීමට ඉංග්‍රීසි ආණ්ඩුව එකඟවිය. ඒ සමගම කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් මාවතක් ඉඳිකරනු වස් බිම් තීරුවක් දීමටද සත් කෝරළයේ පලනය ඉංග්‍රීසීන් වෙත පවරා දීමද කළ යුතු විය. නමුත් පිලිමතලව්වේගේ හමුදාව නුවරට පැමිණි ඉංග්‍රීසින් පළවා හැරියෙන් ගිවිසුම ඵල රහිත විය.
         මුත්තුසාමි සමග පසුබසිමින් සිටි මැක්ඩොවල් සෙනවි මේ අතරවාරයේ පිලිමතලව්වේ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. රජු නෙරපා හැර පිළමතලව්වේට රට භාරවන පරිදි මේ ගිවිසුම සකස් විය.  මීගස්තැන්නේ අදිකාරමත්  මුත්තුසාමිත් මැක්ඩොවල් සෙනවියාත්  මේ ගිවිසුමට අත්සන් කළ බව පැවසේ. මේ තුන් හවුල් ගිවිසුම අනුව කලින් මුත්තුසාමි සමග වූ එකඟතා අළුත්කර ගන්නටත් මුත්තුසාමි වෙනුවෙන්  උතුම් වූ කුමාරයා යන නමින් සිංහලේරටවල් පාලනය පිලිමතලව්වේට ලබාදීමටත් ඉංග්‍රීසීන් ගෙන් පතාග 30000 ක් ලබා යාපනයේ සිට රජ කිරීමටත් එකඟතාවය විය. මෙම ගිවිසුමෙන් පසු හමුදා භට පිරිසක් මහනුවර නවත්වා මැක්ඩොවල් කොළඹ බලා පිටත් විය. එහෙත් සැඟවී සිට ශ්‍රී වික්‍රම රජුගේ දසදහසකට වැඩිතර සෙනග ඉංග්‍රීසීන් වටලා ඔවුන් සමූලඝාතනය කොට මහනුවර යළි අල්වාගෙන පිළමතලව්වේ සහ මුත්තුසාමි ඇතුළු රාජ ද්‍රෝහීනට දඬුවම් ලබා දුන්නේය.
                 ඇහැලේපොළ  මහ අධිකාරම සපරගමුවට යැවෙන්නේ ඔහුට විරුද්ධව රජුට ගතු කියූ පිලමතලව්වේ ගේ මෙහෙයවීමෙනි.මේ අතරවාරයේ අධිකාරම් නිලයට තෙවැන්නෙකුද පත් විය. ඒ මොල්ලිගොඩයි.රජුගේ අරමුණ වූයේ රදළයන් ගේ බලය ක්‍රමයෙන් අඩු කරලීම බව පෙනේ.කෙසේ වුවත් සපරගමුවට වන් මහ නිලමේ එහි වැව් අමුණු සදවා වෙල් අස්වද්දවා රජයට ලැබෙන ආදායම තර කලෙන් රාජ ප්‍රසාදයද ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මෙයට ඉරිසියා කළ මහනුවර නිලමේලා ඇහැලේපොළට විරුද්ධවරජුට ගතු කීහ. රජු විසින් පිළමතලව්වේ මැරවූයේ 1811 වර්ෂයේ මාර්තු 26 වනදාය. ඉන්පසු මහ අදිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළය. නමුත් පෙර කී කුමන්ත්‍රණ මධ්‍යයේ  සපරගමුව කරමින් සිටි ඇහැලේපොළ බිඳ වීමට මොල්ලිගොඩ විසින් එවන ලද ලිපියක් හේතු වී යැයි පැවසේ. රජු ඇහැලේපොළ කැඳවූයේ වෙනත් කරුණකටය. එහෙත්  වෙනත් ලිපියක් මගින් ඔහුට දැනුම් දී තිබුණේ රජු උදහස් වී ඇති බවත් නුවර නොපැමිණිය යුතු බවත්ය. එම නිසා රජු කෝප විය. ඇහැලේපොළ ඉංග්‍රීසීන් වෙතට පැණ යන්නේ යැයි රජුට කේලාම් බස් පැවසිණ. මේ වන විටද ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා සමග ඇහැලේපොළ සම්බන්ධකම් පවත්වමින් සිටියේය.  කල හැකි දෙයක් නොවූ කළ කළුගඟදිගේ අඟුලක් මගින් පහළට ආ ඇහැලේපොළ පාණදුරයට පැමිණ ඉංග්‍රීසි හමුදාවේ සහායෙන් කොළඹ කොටුවට සැපත් වී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සම්මුඛ විය. කන්නසාමි පැන්නවීමට ඉංග්‍රීසින් සමග ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එතැන් සිටයි.
        වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම සිංහල සම්ප්‍රදාය ඉක්මවා දශරාජ ධර්මය කඩකොට රට පාලනය කළ තැනැත්තෙකි. සියවස් ගණනාවක් තිස්සේ රාජඅභිෂේකයේදී ලක් රජවරු නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ දැහැමි පාලකයෙක් වන බවට සපථ කරමින්ය. නමුත් උද්දච්ච පුද්ගලයෙකු වූ ශ්‍රී වික්‍රම රාජ සිංහ නාථ දේවල භූමියෙන් නාථ දේවාලය ඉවත් කිරීමට පවා සැලසුම් කලේය. ඒ යුගයේදී නාථ දෙවියන් වෙනුවට පිටියේ දෙවියන් බලවත්ව සිටියේ යයි සැලකෙන්නේඒ නිසාය. කෙසේ වෙතත් එක දිගට රදළවරු සමග ඇති වූ විරසකයන් නිසා 1815 වර්ෂයට ආසන්න කාල වකවානුවේදී ඝාතන රැසක් සිදු විය. අවසාන වශයෙන් ඇහැලේ පෙළ නිළමේ ගේ භාර්යාව කුමාරිහාමි සහ දරුවන් විනාශ කිරීමට අණදී ඒය මහත් අභිරුචියෙන් බලා සිටි ආකාරය ඉතිහාසයේ සඳහන්ය. මෙයට හේතුව නම් ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා උඩරට රාජධානිය සියතට ගැනීම පිණිස කළ මෙහෙයුමයි. මෙහිදී රදළවරුන්ට හා රජුට උසස් වර්ගයේ මධ්‍යසාර ගෙන්වා පිළිගන්වා සිහිවිකල් තත්ත්වයට පත් කළ ආකාරය සඳහන්ය.මහාචාර්ය තෙන්නකෝන් වමලානන්ද මහතා ජෝන් ඩොයිලි ගැන සඳහන් කරන්නේ මෙසේය.
       ඩොයිලි අවික්ෂප්තව සන්සුන්ව හා ජයග්‍රහණය පිළිබඳව අධිෂ්ඨානයෙන් යුතුව තම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන වේදිකාවක් නිර්මාණය කළේය. මේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන නළුවෝ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රොබට් බ්‍රවුන්රිග් ඇහැලේපොල මහ නිළමේ මොල්ලිගොඩ මහ නිළමේ ජේම්ස් සදර්ලන්ඩ් එඩ්වඩ් ගිෆර්ඩ් කොබ්බෑකඩුව මල්වත්තේ මහානායක හිමියන් අස්ගිරි විහාරයේ යටවත්තේ මහානායක හිමියන් දුනුවිල දිසාවේ කපුලියද්දේ දෙවෙනි අදිකාරම් තම්බි මුදියන්සේ මැලේ මුහන්දිරම් ඉලංගකෝන් මුදලි සේරම් මුදලි හා තල්ගම උන්නාන්සේ වූහ. මේ හැම දෙන ඩොයිලි ගැසූ තාලයට නැටූහ. මේ සියලු දෙනාගේ නිසැක භක්තිය හා විශ්වාසය දිනාගත් අතරම ඔවුන්ගේ ප්‍රකාශනයන්හි සත්‍යාසත්‍ය භාවය වගවිභාගකරන ක්‍රමයද ඩොයිලි සතු විය.
         ඩොයිල් අවසාන වශයෙන් තම අභිමතාර්ථ සාධනයෙහි යොදා ගත් ඇහැලේපොළ මහ නිලමේ දක්ෂ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් අවංකව රජුට සේවය කළ තැනැත්තෙකි. එහෙත් අවසාන කාලයේදී රදළවරුන්ගේ උසිගැන්වීම් මත රජු ඔහු හා විරසක වුණි. ඉන්පසු ඔහුට ඕනෑ වූයේ රජු පාවා දී ඉංග්‍රීසින් ගේ සහායෙන් සිහසුන් ගැනීමයි. මෙහි මුල් අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද ඉංග්‍රීසින් සිය අභිලාෂය මත සිංහල ජාතික බලවේගය යටපත් කර ගත්තේය. සිංහල බෞද්ධයන්ට ඉතිරිවූයේ උඩරට ගිවිසුමේ පස්වන වග වගන්තිය පමණකි. නූතන ඩොයිලිලා එක්නැලිගොඩලා එක්ව මේ පසවන් වගන්තියෙන් කියැවෙන රටේ  ශාසනික උරුමය ඉවත් කර රට අනාගමික කරන්නටද කෑලී කෑලි වලට කඩා දක්වන්නටද කැසකවති. සිරිසේන ජනාධිපතිවරයා තාවකාලිකව හෝ පරාජයට පත් කරන ලද්දේ මේ පියවරයි. එහෙත් එම පියවර ආපස්සට හැරවීමට විදෙස් බලවේග සියල්ල ඒකාරාශී වී ඇත.රනිල් බලවත්ය.1817-18 සටනේ රජු වූ දොරේසාමි මෙන් ජනාධිපතිවරයා දුර්වල කර තිබේ. දැන් වන විට නූතන කැප්පෙටිපොළ දේශපාලනික වශයෙන් ඝාතනය කර තිබේ. එහෙත් ජනතාවගේ ආදාරයට පත් මහින්ද රාජපක්ෂ ඝාතනයට ලක්ව නොමැත. ඔහු නැවතත් ජයග්‍රහණය කරා යන්නේ මහා මැතිවරණයකින්ම පමණි. නූතන නිදහස් අරගලයේ නව ආරම්භය මේ මගින් සනිටුහන් කරවීමට සිතින් කයින් මෙන්ම අධ්‍යත්මික වශයෙන්ද කැප වීම අප සැමගේ යුතුකමයි.




No comments:

Post a Comment