පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, December 22, 2014

විජාතික බලවේග සහ ජාතික බලවේග අතර සටන කුමක් වේවිද


                         

 

          වත්මන් ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන බල අරගලය ගැන පැහැදිලි කරන මනා අවස්ථාවක් ලෙසට සැලකිය හැකිය. යටත් විජිත සමයට පෙරාතුව පවා මෙවැනි බල අරගල ලංකා දේශපාලන තලයේ දකින්ට තිබුණි.අපේ රට 1815 දී බ්‍රිතාන්‍යයන් සතු වූයේ එවැනි බල අරගලයක උච්චතම අවස්ථාවේදීය. න්‍යෂ්ටියේ සිදු වන මේ බල අරගලයන් සාමාන්‍ය දෙයක් වුවද රටක ඉදිරිගමන ඒ මගින් වළක්වාලන්නේ නම් ඒ පිළිබඳව සබුද්ධිතව කල්පනාකිරීම සැමගේ යුතුකමකි. යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතනවා මෙන්ම සමස්ත රටේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයන් වඩා ඥානාන්විතව හසුරුවා ගැනීමට උත්සාහ දැරීම වටනේය.

             වත්මන් රජය කොටි  ත්‍රස්තවාදය පරාජයට පත්කොට සාමය ස්ථාපිත කරන ලද ආකාරය රට වැසි සියළු දෙන අනුමත කරන ලද්දකි. එහෙත් මේ කොටි ත්‍රස්තවාදය සහ ඊලාම් අරමුණින් රට බෙදීමට කරන ලද වෑයමට බොහෝ අයගේ විරුද්ධත්වය ප්‍රකාශ නොවුණි. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමාජවාදී පක්ෂ තුළ සිටින ඇතැම් පිරිස් ඊලාම් අරමුණු අනුමත කිරීමයි. උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් තිබී යයි දෙමළ ජාතිවාදීන් විසින් පතුරුවන ලද මතවාදය මේ සැම පිළිගනිති. ඒ මතවාදයේ සත්‍යතාව ලොව පිළිගත් බැවින් ඔවුන් වෙත ස්වයංපාලනයක් දියයුතුය යන අදහසේ මේ බහුතරය සිටි බව නොරහසකි. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් වරුන් ගේ අත්පොතේ පවා මේ ඊලාම් අරමුණු සාධාරණ යයි සලකන කියමන් ඇතුලත්ව තිබේ. නමුත් ලංකාවේ බහුතර දෙනා මේ මතය පිළිනොගනිති. සිංහල දෙමල ජනයා දකුණේත් උතුරේත් එකට වාසය කරමින් වෙළ හෙළදාම් කරමින් ජීවත් විය යුතුය යන මතය අදහන ඔවුහු බෙදුම්වාදය කිසිලෙසකින්වත් අනුමත නොකරති.මෙහිදී විජාතික බලවේග නියෝජනය කරන ලද්දේ පෙරදී බේදුම් වාදය අනුමත කරන ලද පිරිසමයි. සාමාන්‍ය ජනතාව එහිදී ජාතික බලවේග නියෝජනය කළහ. එයට දේශපාලන නායකත්වය දුන් පිරිස ගෙන් ඇතෙමෙක් ජනතාවගේ මතයට කන්දී යුද්ධයට නායකත්වය දී කොටි සටන පරාජයට පත් කළහ.

     පශ්චාත් යුධ සමයේදී නැවත බෙදුම්වාදී අදහස මතු වී පැමිණියහ. ඒ නිසා උතුරේ හා නැගෙනහිර දී සිංහළයන් පදිංචි කිරීමට අවස්ථාවක් දුන්නේ නම් ඒ කලාතුරකිනි.දෙමළ ත්‍රස්තවාදය පරාජයට පත් කරන ලද හේතුව නිවැරදිව ජාත්‍යන්තර වශයෙන් සංනිවේදනය නොකර යුධ සමයේදී කරන ලද ක්‍රියාකාරකම් විමර්ශනයට  උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කළහ. ඒ මගින් සිදු වූයේ යම් වැරැද්දක් රජය අතින් සිදු විණි යැයි යන පණිවිඩයක් ලෝකයට පිටත් කර හැරීමයි.මේ තත්ත්වය විමර්ශනය කරන කල්හි අපට තේරුම් යන්නේ මේ අවස්ථාවේදී රජය විජාතික බලවේග  නියෝජනය කරන ලද ආකාරයයි.

         ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයන් හි සැලසුම් වලට සංකල්ප පැමිණෙන්නේ ද විදේශ වලිනි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුවේ අවශ්‍යතා මත පුහුණ කරන ලද නිළධාරීන් යළි ලංකාවට පැමිණි පසු ඒ අවශ්‍යතාවය ගෙඩි පිටින්ම ගෙන වාර්තාවන් සකස් කරති. 2002 වර්ෂයේ දී ඉදිරිපත් වූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහන එවැනි ක්‍රියාදාමයකි. එම වාර්තාව සකස් කිරීමට  නිළධාරීන් රාශියක් සාභාගි වන්නට ඇත. එහෙත් එය ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. වර්තමානයේදී වැඩියෙන්ම කතාබටහට ලක් වූ කැසිනෝ ක්‍රීඩා සහිත හෝටල් දෙක ඉදිකිරීම පිළිබඳව මූලික සංකල්පය මෙම වාර්තාවේ 208 වන පිටුවේ ඇත.(Permit 2 Five star hotels in Colombo to operate gaming facilities by auctioning licenses ) එසේම වර්තමානයේ කොළම නගරයේ සිදු වන සංවර්ධන ක්‍රියාදාමය විශේෂයෙන්ම යටත් විජිත ගොඩනැගිලි යලි ප්‍රතිසංස්කරණය ගතහොත්  එයද මේ වාර්තාවේ 208 පිටුවේ දක්වා දී තිබේ.( Transform Colombo city into an interesting tourism venue by restoration and conversion of historically important buildings into entertainment venues such as restoration of the Dutch hospital Art and cultural center project ) මෙම ව්‍යාපෘති වලට අනුමැතිය දී තිබෙන්නේ කොළඹ නගරය ආසියාවේ විනොදාත්මක නගරය බවට පත් කිරීමටයි. ඒ සඳහා ඕනෑම බදු සහනයක් දීමටද වාර්තාව නිර්දේශ කර තිබේ.  මේ සැලසුම් ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීම සිදු වී ඇති අතර දේශපාලකයන් මාරු වුනද මේ වාර්තා සකස් කල නිළිධාරීන් දිගින් දිගටම රජයේ රැඳී සිටිම නිසා අඛණ්ඩව ඒ සැලසුම් ක්‍රියාත්මක මට්ටමේ ඇත. වත්මන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉටු කරනු ලබන්නේ මේ ව්‍යාපෘති බව පෙනේ.

        මොරගහකන්ද හා යාන් ඔය ජලාශ ව්‍යාපෘති දෙකම මුල් මහවැලි සැලැස්මේ අන්තර්ගත ව තිබුණකි. එම ජලාශ දෙකින් ලැබෙන ප්‍රතිඵලයන්හි යම්කිසි වාසිදායක තත්ත්වයක් තිබුණද නිළධාරීන් ඒවා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත්තේ කිසිම වෙනස් කමක් නොකරමිනි. ලංකාවේ පුරාණ වාරිමාර්ග පද්ධතිය හෝ දේශීය දැනුම හෝ සලකා බැලීම එහිදී සහමුලින්ම ප්‍රතික්ෂේප කර කිබුණි. ඒ වෙනුවට කොන්ත්‍රාත් ගන්නා සමාගම් සතුව පවතින යන්ත්‍ර සූත්‍ර ලංකාවේ දී භාවිත කිරීමටත් ලැබෙන ණය ඒවා මිලදී ගැනීමට යෙදවීමත් සිදු ව තිබේ. මාතර කොළඹ අධිවේග මාර්ගය ගැන සලකා බලුවහොත් එම ව්‍යපෘති යෝජනාවලිය ද ඉහතකී යළි පුබුදමු ශ්‍රී ලංකා  වාර්තාවේ 187 පිටුවේ අඩංගු වන්නකි. එහිදී කටුනායක කොළඹ කොට්ටාව අධිවේගය සඳහා ගණන් බලා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 552 කි. ආසියානු මාර්ග ජාල පද්ධතියට සම්බන්ධ මේ සැලසුම් සකස්ව තිබෙන්නේ විදේශවලට අවශ්‍ය වෙළෙඳ වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීමටයි. ඒවා දිගූ කාලීණ යටත් විජිත වුවමනාවන් බව නොකිවමනාය.මෑතකදී ඇමෙරිකානු ඩෝල් සමාගමට කෙසෙල් වැවීම සඳහා සෝමාවතී රක්ෂිතයෙන් සහ තණමල්විලෙන් ඉඩම් ලබා දී තිබෙන අතර එම නිෂ්පාදන නිදහසේ මේ අධිවේග මාර්ග හරහා ප්‍රවාහනයටද සැලසුම් කර තිබේ.වර්තමානය වන විට මේ අධිවේග මාර්ගයන්හි එක් කිලෝමීටරයක් ඉඳි කිරීමට වැයවෙන මුදල් ඇස්තමේන්තු වල වටිනාකම දහදොළොස් ගුණයකින් ඉහළ දමා ගෙන ඇත. විජාතික වුවමනාවන් මත සැලසුම් සකස් වන්නට වන්නට පාදඩ ධනපතියන්ගේ හොද්ද බොර වන බව මෙයින් පැහැදිලිය. මේවා සැලසුම් කරන අය මෙන්ම ඒවාට මුදල් දෙන පිරිසද දන්නා එක් දෙයක් තිබේ. ඒ නම් ආසියාතික රටවලදී මේ මුදල් දේශපාලකයන් හා නිළධාරීන් විසින් ගසාකන බවයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒවා නැවැත්වීමට නොව තම අරමුණු හා ඉලක්ක සඳහා පාලකයන් මෙහෙයවීමයි. එහෙත් සීමාව ඉක්මවා යම් අයෙක් එම වංචාවල යෙදෙත් නම් එම පුද්ගලයා ඉවත් කිරීමට අවශ්‍ය කුමන්ත්‍රණය කිරීමටද ඔවුන් පසුබට වන්නේ නැත.

           වර්තමාන දේශපාලන තලයේ ප්‍රධාන පක්ෂ දෙක විජාතික හා ජාතික වශයෙන් වෙන්කර ගෙන තිබුණද මේ කොටස් දෙකේම විජාතික හා ජාතික යන අදහස් දෙකම සම්මිශ්‍රණයව තිබෙන බව කවුරුත් කල්පනා කරන්නේ නැත. ගොවි කම්කරු බලවේග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කලද ඔවුන් බොහෝ දෙනෙකු  මත වාදීව සිටින්නේ විජාතික බලවේග සමග බව නොරහසිකි. එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය නියෝජනය කරන පක්ෂයක් ආකාරයටයි. ඉඩම් හිමි ධනපති පන්තිය හෝ කර්මාන්ත අයිති ධනපති පන්තිය අත තිබූ බලය අද ක්‍රමයෙන් වෙනත් පුද්ගලයන්ට මාරු වී තිබේ.ඇතැම් විට  ගොවි කම්කරු  පන්තිය තුළින් ඉහළට නැග නොයෙක් සටකපටකම් වලින් ධනය රැස්කරගෙන ධනවත් වූවන් බොහොමයක් අද සමාජයේ සිටිති. සූදුව සුරාව මෙන්ම මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදා හරින පාදඩ ධනපති පන්තියක් අද නිර්මාණයව තිබේ. ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නියෝජනය කරමින් සිටිති. වාමාංශික පක්ෂ වල බහුතරයක් පිරිසද මාක්සවාදය ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීමට උත්සාහ කරන මූලධර්මවාදීන් පිරිසකි. මාක්ස්වාදී අදහස් එලෙසම ලංකාවට ගැලපෙන්නේ නැත. මාක්ස්ගේ කියවීම ලංකාව වැනි බෞද්ධ රටකට ආදේශ කිරීමේදී යම් වැරදීම් සිදු වේ. එබැවින් ඔවුන් කල යුතුව තිබුණේ සමාජවාදී සංකල්ප ලංකාවට ගැලපෙන ආකාරයෙන් ආදේශ කරලීමයි. ඒහෙත් එය සිදු නොවීය.එහි ප්‍රතිඵලය වූයේ ඊලාම් මතවාදය සමග එක පෙළට සිට ගන්නට  පෙළඹවීමයි.ආචාර්ය වික්‍රමබාහු වැන්නන් එළිපිටම කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්හ. මේ නිසා මාක්ස්වාදී ව්‍යාපාරයද විජාතික බලවේගයක් ලෙසට හිතන්නට අපට සිදුව තිබේ.

               වත්මන් දේශපාලන ව්‍යාපාරය තුළ තිබෙන්නේ යම් පෞරුෂයන් ගෙඩනගා ගත් චරිත පමණකි. ඔවුහු පක්ෂ නියෝජනය කළද බලවේග නියෝජනය කරන්නේ නැත. එහෙත් ඇතැම් විට විජාතික බලවේග වල නියෝජිතයන් ලෙසට ක්‍රියාකරන අවස්ථා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාද චන්ද්‍රිකා මැතිණියද එලෙස විජාතික බලවේග වල ඉත්තන් බවට පත්වූ අවස්ථා පසුගිය කාලයේදී දක්නට තිබුණි. 2002 වර්ෂයේ දී රනිල් ගේ රජය විසින් ගෙනා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන නැවත ක්‍රියාත්මක කරලීමට තම රජය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ මහතාද ඒ අතින් විජාතික බලවේග වල නියෝජිතයෙක් ලෙසට ක්‍රියා කර තිබේ. නමුත් කොටි පැරදවීමේදී ඔහු ජාතික මතය පිලිගෙන එය ජයග්‍රහණය කරන්නට කැප වූ බවද අපට අමතක කළ නොහේ. සිංහල දේශපාලකයන් මෙලෙස ක්‍රියාකරන අතරවාරයේ මුස්ලිම් සහ දෙමළ නායකයන් තමන්ගේ ආගමින් හෝ මතවාදයෙන් උගන්වනු ලබන මූලධර්මවාදී අදහස් පෝෂණය කරමින් අරාබියේ හෝ තමිල්නාඩුවේ බලවේගවලට ලංකාව තුළ වැඩෙන්නට ඉඩ හැර ඇත. මුස්ලිම් හා දෙමල ජනයාට තමන් අදහන ආගම තුළ සිටගෙන සිංහල සංස්කෘතියට එක් වන්නට තිබෙන ඉඩ ප්‍රස්ථා ඉන් අහුරති. මේවාට උඩගෙඩි දෙන සිංහල දේශපාලකයන්ද මේ විජාතික බලවේගයන් නියෝජනය කරමින් මූලධර්මවාදය ස්ථාපිත කිරීමට කැමැත්තක් දැක්වූවන් වෙති. එලෙසින් කල්පනා කර බලන කල්හි ලංකාවේ පවතින්නේ විජාතික හා ජාතික බලවේග අතර සටනක් බව පැහැදිලිය.

         වත්මන් රජයට අභියෝග කළ හැකි කිසිවෙක් හෝ පක්ෂයක් නොසිටි බව ඒත්තු ගනිමින් සිටියදී හදිසියේම නොසිතූ ආකාරයෙන් විරුද්ධ බලවේගයක් ශක්තිමත් විය. දොස්පරොස් සහිත සන්ධානයට හොඳ හැටි බඩ එළිය යන්නට යස කෂායක් දී ඇති බව පැහැදිළිය.එහෙත් ප්‍රතිවාප සඳහා සහිඳලුණු වෙනුවට ජාපාල ඇට දමා දී තිබෙන බව පෙනෙන්ට තිබේ. එයින් සිදුව ඇත්තේ කුමක්ද පක්ෂ විපක්ෂ සැමට අතීසාරය ඇති වීමයි. එපමණක් නොව එහි සුවඳ ආග්‍රාණය කළ ජාතික ව්‍යාපාරයටද හොඳ හැටි බඩ එළිය ගොස් තිබේ. ජාතික වලවේග යටයමින් විජාතික බලවේගයන්හි අක්මුල් එළියට එන්නට පටන්ගෙන ඇත්තේ එහෙයිනි.  එහෙත් මේ වැදගත් කරුණ ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට එකිනෙකාට මඩ ගසා ගැනීම සිදු වෙති. 1815 වසරේදී අප පරාජයට පත් වී නිදහස අහිමි ව ගියේ මෙලෙස විජාතික බලවේග වල කුමන්ත්‍රණයන් හිස ඔසවා එයට ජාතික බලවේග ගොදුරුකර ගැනීමෙනි. වසර 200 කට පසුව වුවද 2015 දී ඉතිහාසයේ ඒ අඳුරු රේඛා යළිත් මතු වෙන්නට පටන් ගන්නේ යයි සිතන්නට ඉඩතිබේ.  ප්‍රධාන අපේක්ෂකයන් අතරින් කවුරුන් දිණුවද ඔවුන් වෙලා ගෙන තිබෙන විජාතික මනස් ප්‍රතිසංස්කරණයකට බඳුන් නොවුවහොත් යළිත් අප රටට නිදහස අහිමිවන්නට තිබෙන ඉඩකඩ බොහෝ වෙතැයි කියන්නට සිදුව තිබේ.

         

No comments:

Post a Comment