පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, October 30, 2013

රනිල් ට කුරහන් සාටකය අන්දවා කළ කැසිනෝ විවාහය


                             

 

           රට බෙදීමට සහ විදේශිකයන් උදෙසා රට අනවශ්‍ය පරිදි නිදහස් කිරීමට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය ගත් උත්සාහයන් නිසා විශාල  ජනතා කළ කිරීමක් ඇති විය. මෙයින් ජනිත වූ විරෝධය හමුවේ  ඇතිවූ පෙරළිය නිසා මහින්ද රාජපක්ෂ මහතාට බලයට පත් වීමට හැකි විය. කොටි ත්‍රස්තවාදය අබිමුවේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් තිබුණේම නැත. කොටි උදෙසා අන්තර් පාලනයක් දීම  රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකායන බලාපොරොත්තුව විය.2002 ජූනි 5-6 දෙදින තුළ ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන සමුලුව නමින් වාර්ෂික රැස්වීමක් ප්‍රථම වතාවට ලංකාවේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ දිළිදු භාවය අඩු කිරීම සඳහා උපාය මාර්ගයක්: වර්ධනය සමග සම්බන්ධ කිරීම යනුවෙන් වාර්තාවක් ඉදිරිපත් විය. අනතුරුව එම වාර්තාව මත පදනම්ව එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා  2002 දෙසැම්බර් මාසයේ දී  ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද යලි පුබුදමු ශ්‍රී ලංකා( Regaining srilanka) උපාය මාර්ගික සැලැස්ම මගින් විශාල ණය මුදලක් අපේක්ෂා කෙරුණි. මේ ව්‍යාපෘතිය යටතේ ලංකාවේ යටිතල පහසුකම් වල විශාල වෙනසක් ද  අභිනව රැකියා දශලක්ෂයක්ද බලාපොරොත්තු විය. කොළඹ නගරය දියුණු කිරීමට එහි වෙසෙසි තැනක් හිමිව තිබුණි. පළාත් සභා ක්‍රමය යටතේ සහ කොටින්ට ලබා දිය හැකි ස්වයං පාලනය ක්‍රියාත්මක වීමෙන් පසු කොළඹ හා ජයවර්ධන පුරය වෙනමම සංවර්ධනය කරලීමට සැලසුමක් විය. කොළඹ  දකුණු ආසියාවේ විනෝදාත්මක නගරය ලෙසින් සංවර්ධනය කිරීමට නියමිත විය. එසේම නව සංචාරක නීතියක්ද ස්ථාපිත කිරීම  අරමුණු අතර විය. කොළඹ නගරය කේන්ද්‍ර කර ගෙන සුපිරි හෝටල් ව්‍යාපෘති දෙකක් ද එයට අදාලව සූදු ස්ථාන දෙකක්ද  ස්ථාපිත කිරීමටද මෙම සැලසුම් වලදී සාකච්ඡා වී තිබුණි.( permit 2 five star hotels in colombo operate gaming facilities by auctioning licenses Page 208)

           රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයත් නව රජය කෙරෙහි ජනතාවගේ ඇති වූ බලාපොරොත්තුව නිසාත් ජනතා රජයකට නව අත්තිවාරමක් වැටුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරන ලද්දේය.යුද්ධයෙන් පසුව ජනතා අපේක්ෂා වන්ට මුල්තැන් ලැබී ජාතික ආර්ථිකයක් ගොඩනැන්වීමට හැකි වේ යයිද විශාල ප්‍රාර්ථනාවක් ජාතික බලවේග තුළ තිබුණි.  නමුත් පළාත් සභා ක්‍රමය අහෝසි නොකරන ලද අතර ස්වයං පාලන අරමුණු තවත් වටයකින් ඉදිරියට පැමිණියේය. ඉන්දියාවේ බල පෑම පිට උතුරු පළාත් සභාව පිහිටුවා එහි නායකත්වය කොටි හිතවාදි විග්නේශ්වරන් මහතාට දීමට සිදු වූයේය.  රජය වෙනස් වුවද මහා භාන්ඩාගාරයේ නිළධාරින් ගේ වෙනසක් ඇති නොවීම මෙහි ද සැලකිය යුතු කරුණක් ලෙසට සඳහන් කළ යුතුය. වෙසෙසින්ම පීබී. ජයසුන්දර මහතා නව ජනාධිපතවරයාට ලන් වූයේ කිසිවෙක් අපේක්ෂා නොකළ පරිද්දෙනි. මේ නිසා 2002 වර්ෂයේ දී බලාපොරොත්තු වූ ලෝක බැංකු ණය ලංකාවට  ලබා ගැනීමට පුලුවන් විය. එහිදී ඒ සඳහා ඉටු කළ යුතු කොන්දේසි කීපයක් විය. එකක් නම් කොළඹ නගරය පෙන්වා දී ඇති පරිදි සංවර්ධනය කිරීමයි. යලි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘති සැලසුම් වලට අනුව දැන් කොළඹ නගරය නව ආරකින් සංවර්ධනය කරනු ලබයි. පැරණි යටත් විජිත ගොඩනැගිලි සියල්ලම සංචාරක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා අලුත්වැඩියා කරන්නේ පෙර කී සැලසුම් වලට අනුවයි. එසේම විදේශිකයන් බදු වලින් නිදහස් කිරීම. කොළඹ ඉඩම් විදේශකයන්ට බදු දීම පෙන්වා දිය හැකිය.සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා  මෙම සැලසුම් වලට අනුව පෙර සඳහන් කළ මහා පරිමාණ හෝටල් දෙකද ඉඳි කළ යුතු වෙයි. ක්‍රමෝපාය සංවර්ධන පණත මගින් ආවරණය වන පරිදි බදු සහන ද ලබා දෙමින් ඩී.ආර්.විජයවර්ධන මාවතේ සහ ගංගාරාමය ඉදිරිපිට ඉඳි කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම සැලැස්මට අදාල හෝටල් දෙකයි.එහි කැසිනෝ සූදු ක්‍රීඩාව සඳහා බලපත්‍ර නිකුත් නොකළද සමස්ත ව්‍යාපෘතිය යටතේ සූදුව ට අවශ්‍ය ගිවිසුම් දැනටමත් සකස්ව ඇත.

          කොටියා පරාජයට පත් කළද බෙදුම්වාදයත් නව යටත් විජිතවාදයත් ක්‍රියාත්මක වන්නේ මේ අයුරිනි. වර්තමාන රජයේ මෙම සංවර්ධන ක්‍රියාවලියෙන් වැඩියත්ම සතුටු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු ජනාධිපතිවරයා නුවුණද ඔහුගේ අරමුණු එකින් එක ඉටු කිරීමට සන්ධාන රජයට සිදු වී තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සන්ධාන රජයට එක් වුණු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය නිදහසද ලබාදී තිබේ යයි කිව හැකිය. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වන ලක්ෂ්මන් යාපා  මහතා එක් පයින්ම කැසිනෝ වලට උර දෙන්නේ මේ නිසාය.යලි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය  ප්‍රාණවත් වන්නේ මේ ආකාරයෙන් පමණක් නොවේ. උතුරු කරයේ සංවර්ධන කාර්යයේ ද එය නව මුහුණුවරකින් කරළියට පැමිණි තිබේ. උතුරේ සිංහළයන් පදිංචි නොකිරීමේ එක් හේතුවක් වන්නේද මෙයයි. මේ අධාර ලබා දෙන්නේ උතුරේ දෙමළ ජනතාවට පමණකි. එහෙත් හමුදාවේ මැදිහත් වීම නිසා දැන් ඒවා සිංහල ගම්මානයන්ටද ලැබෙමින් පවතී.එහිදී එම ව්‍යාපෘති නාමයන්හි සෘජුව සඳහන් වන්නේ යලි පුබුදමු ව්‍යාපෘතිය යනුවෙනි.

      දීර්ඝ කාලයක් තිස්සේ විදේශීය ණය ගැනීමත් ආයෝජන  විවෘත කරගැනීමත් නිසා රට සංවර්ධනය වීනම් රුපියලේ අගය වැඩි වීමට  ඉඩ තිබුණි. දුප්පත් කම අඩු වීමට ඉඩ තිබුණි. එහෙත් එසේ වී නොමැත.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තව දුරටත් පහත වැටෙමින්ඇත.නිෂ්පාදන ආර්ථිකයේ පසුබෑම් මධ්‍යයේ සේවා ආර්ථිකය පණ ලබා ඇත. ලෝකය පුරා හිඟමනේ යන රටක් වශයෙන් ලංකාව දැන් කීර්තියක් උසුලයි. මෙලෙස රටේ සංස්කෘතියද උගසට තබමින් කරන සංවර්ධනය වැරදි බවට ජනතාව එදා දුන් තීරණය ගැන අල්ප මාත්‍ර වැටහීමක් නොමැති ව අද  වර්තමාන රජය ගමන් ගන්නා මාර්ගය අතිශයින් අවදානම් සහිතය. ඒ මන්ද නිෂ්පාදන ආර්ථිකයෙන් ක්‍රමයෙන් රට ඈත්ව යාමයි.දිවි නැගුම හරහා මෙම අඩුව පිරවීමට බලාපොරොත්තු වුවද එයද ගැට ගැසී ඇත්තේ බහුජාතික සමාගම් පොහොසත් කරලීමේ රැහැනකටයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ශ්‍රම පසුබෑම ඉතා තදින් දක්නට හැකිය. එයට හේතුව අධ්‍යාපනයෙන් බැහැර වන වැඩි ප්‍රතිශතයක් සේවා ආර්ථිකයට බද්ධ වීමයි.නව තාක්ෂණික පාසල් මගින් මෙයට විකල්පයක් සෙවීමට අදහස් කර ඇත. නමුත් එහි විෂය මාලාවන් දෙස බලන කල්හි රටේ ප්‍රධාන නිෂ්පාදන ආර්ථිකය වන වී ගොවිතැනට හිමි වී ඇත්තේ ඉතා අඩු වටිනාකමක් බව පෙනී යයි.

       රනිල් වික්‍රමසිංහ මහාතා ඇතුලු විජාතික බලවේග  තුළ තිබූ අභිලාශයන් යථාවත් කිරීමට සන්ධාන රජය උර දීමේ ඛේදවාචකය තුල ජාතික බලවේගයන්ද අසීරුවට පත්ව තිබේ. ඒකීය රටක් පිළිබඳව සන්ධාන රජය ගන්නා පියවර අනුවද මහින්ද චින්තනය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව මතද ජාතික බලවේග රජය සමග සිටින්නේ යයි කියවෙයි. එහෙත් දැනටමත් ඒකීය සංකල්පය රජය විසින් බිඳ දමා තිබේ. මහින්ද චින්තනයේ සඳහන් වැදගත් අපේක්ෂාවන් වෙනුවට යලි පුබුදමු ශ්‍රි ලංකා නම් වූ රනිල් චින්තනය කරළියට පැමිණ තිබේ. එය හරියට මහින්ද චින්තනය උරච්චි කිරීමෙන් මතුවූවක් වැන්න. අවසානයේ මේ උරච්චි කිරීමෙන් තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞරුෂය නොව රනිල් වික්‍රමසිංහයන් ගේ  ආගමනයි.රජය තුළ සිටින ආර්ථික ඝාතකයන් ඉටු කරන්නේ මේ කොන්ත්‍රාත්තුව යයි මේ රජයට නොදැනෙන්නේද.?

                         

    

        

No comments:

Post a Comment