පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, August 9, 2013

ෙද්ශපාලකයන්ට පඩි - රතුපස්වලට ෙවඩි


                                       

 

         අපගේ මුතුන් මිත්තන් මහ පොළොව ට මිහිකත යන ව්‍යවහාරය කරන ලද්දේ ඇය මවක් ලෙසට සැලකුම් ලැබූ නිසාවෙනි. මේ නිසා ජල මාර්ග වලට මුත්‍රා කිරීම බරපතල පාපයක් ලෙසට පෙන්වා දෙන ලදී. ඉහළට වීසි නොකර උණු වතුර පොදක් පවා මහ පොළවට නොදැමීමට වග බලා ගන්නා ලදී. මිහිකත මිහි මවක් විලසින් සැලකූ මේ දයාබර මිනිසුන්ගේ සිත් සතන් දූෂණය කිරීම ආරම්භ කරන ලද්දේ යුරෝපීයන් විසින් බව පැවසීම මුසාවක් නොවේ. යටත් විජිත සමයේ දී ඇරඹුණු රසායනික ගොවිතැන නිසාවෙන් මහ පොළව දූෂණය කිරීම ආරම්භ කරන ලද්දේ වුවද ඒ බව නිවරදිව වටහා ගැනීමට ස්වදෙශිකයන්ට නොහැකි වුණි. ඊට හේතුව බ්‍රිතාන්‍යයන් විසින් අපට දෙන ලද අධ්‍යාපනයයි. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංසකරණ යටතේ රට නිදහසේ ඉගැන්වීමේ ක්‍රියාවලියකට පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ස්වදේශික දුප්පත් පොහොසත් සියලු දෙනාට එකලෙස එකම ක්‍රියාවලියේ අධ්‍යාපනයක් ලැබීමේ වරම් හිමිවුණි. මෙය වඩාත් ප්‍රගතිශීලී පියවරක් වුවද අධ්‍යාපන ප්‍රතිපත්ති දේශීය කරණය නොවීම නිසා  මුලුමනින්ම රටට අහිතකර ඉගැන්වීමේ මූලධර්ම රටතුළ ව්‍යාප්ත විය.  රසායනික ගොවිතැන පුරුදු පහුණුකිරීමේ විෂය මාලාව අධ්‍යාපනයට ඇතුලත් වීම එක් උදහරණයක් පමණකි. යටත් විජිත සමයේ දී යම් තරමකින් හෝ රසායනික ගොවිතැනෙන් මිදීම පිණිස යම් උත්සාහයක් ගැණුනද නිදහසෙන් පසු වෙසෙසින්ම හරිත විපල්වය නිසා එම බලාපොරොත්තු සුන් වී ගිය බව පැවසිය යුතුය.

      අසූව දශකයේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ රටට  නිදහසේ පැමිණි ප්‍රාග්ධන හිමි කරුවන් ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප වල අයෝජනය කිලීමේ ප්‍රතිඵලයක් වශයෙන් විසල් කර්මාන්ත ශාලා ඇති විය. ඇඟලුම් කර්මාන්තයේ පටන් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත දක්වා ව්‍යාප්තව ගිය මේ ආයෝජනයන් ගෙන් රටට විදේශ විනිමය ලැබුණද ඒවා නිසි පරිදි ප්‍රමිතිගත නොකිරීමේ වරද මුල පටන්ම දකින්නට හැකි විය. පරිසර අගැයීම්සිදු කරලීම හා පිරිපහදු ක්‍රම ගැන මුල පටන්මවෙසෙසි අවධානයක් නොවුණි. රටේ ධනපති පන්තිය විශේෂයෙන්ම අලුත පොහොසත් වූ රාජ්‍ය හිතැතැතියන් ගේ මැදිහත් විම් නිසා විධිමත් කර්මාන්ත ක්‍රියාවලියකට අවතීර්ණ වීමේ ඉඩකඩ ඇහිර ගියේය. මුදල් හරි හම්බ කිරීම එකම් අරමුණ කරගත් මේ පිරිස විවිධ බදු සහන ලබා ගනිමින් ආණ්ඩුවේ සහයෝගය ඇතිව ඉඩම් බදු ගනිමින් අත්පත් කර ගනිමින් කර්මාන්ත ඇරඹුහ. මෙම කම්හල් වල කිසිම ප්‍රමිතයක් ඇති කර ගත් බවක් නොපෙනුණි. මේ ඇරුණු කොට පලිබෝධනාශක ගෙන්වන සමාගම් රාශියක් රටේ දේශපාලකයන් සමග අත්වැල් බැඳගෙන උන්හ. දේශපාලකයන්ගේ දේශපාලන පොරපිටිය වැඩි වර්ධනය කර ගැනිමට මේ රසායනික ද්‍රව්‍ය ගෙන්වන සමාගම් ලබා දෙන දායකත්වය විශාල විය. එලෙසම රටේ කෘෂිකර්ම හා සෞඛ්‍ය අංශ වල ආයතන වල මුල් පුටු හොබවන නිළධාරින්ද මේ සමාගම් වල වහල් භාවයට පත් කර ගෙන ඇත. විවිධ වරදාන ප්‍රදනය කර ගනිමින් ඉතා සූක්ෂමව මේ ව්‍යායාමයෙහි නිරත වීමට ඔවුන් වගා බලාගෙන ඇත. පසුගිය කාලයේ දී පලිබෝධනාශක රෙජිස්ටාරවරයා හැසිරුණු අකාරයත් පලිබෝධනාශක වල ආසනික් හා රසදිය බහුල ලෙසට අන්තර්ගතයයි ඔප්පු කර පෙන්වා දුන් විටදී රටේ ප්‍රධානියා හා අනෙක් දේශපලකයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් තුළ දක්නට ලැබුණේ තමන්ගේ ජාම බේරා ගැනිම පිණිස ජනතාවගේ සෞඛ්‍ය බිල්ලට දුන් බවයි. රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන් ලක්ෂයක් පමණ හඳුනාගෙන තිබියදී මේ දේශපලාකයන් අදාල සමාගම්වලට නඩු නොපවරා නිහඬ වූ  ආකාරය පසුගිය කාලයේ දී ප්‍රදර්ශනය විය.

         රතුපස්වල පිහිටා තිබෙන හේලීස් ආයතනයට අනුබද්ධ විනිග්‍රොස් කම්හල ආශ්‍රිතව ඇතිවූ ගැටලුව ද මෙවැන්නකි. රබර් අත්වැසුම් සකස් කිරීම සඳහා බිහි කරන ලද මේ ආයතනය දශක දෙකකට ප්‍රථම ආරම්භ කරන ලද්දකි.  එහි ආරම්භයේ දී මෙන්ම වර්තමානයේ දීත්  කම්හලට අදාළ පිරිපහදු ක්‍රම සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මකවී නැත. රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමේදී එයට අනුගමනය කළ යුතු පිරිපහදු ක්‍රම හා ප්‍රමීතීන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දක්වා තිබේ. ඇතැම් විට රසායනික ද්‍රව්‍ය වල ස්වභාවය අනුව එම ප්‍රමිතීන්ද සුදුසු නොවන අවස්ථා ද ඇති වේ. එවිට කළ යුත්තේ එම කම්හලට ආවේණික ලෙසට නැවත ප්‍රමිතීන් නිර්මාණය කොට නිරන්තර අධීක්ෂණයට ලක් කිරීමයි. මේ සඳහා නිරත කළ හැකි  පරිසර නිළධාරීන් රාශියක් ම සිටින බව පෙන්වා දිය හැකිය. නමුත් මෙතෙක් ඔවුන් කොට ඇත්තේ ප්‍රශ්ණයක් ඇති වූ විට පමණක් කම්හලකට ගොස් පරීක්ෂා කරලීම පමණකි. රතුපස්වල විනිග්‍රොස් සමාගම සම්මත පිරිපහදු ක්‍රම අනුගමනය නොකර නිළධාරීන් සතුටු කරමින් පමණක් පවත්වා ගෙන ගිය  ආයතනයකි. මේ නිසා කලක් තිස්සේ පරිසරයට අපද්‍රව්‍ය එකතු වෙමින් තිබි ඇත. මෙහි සමාගමේ කොටස් වලින් සියයට 48 ක් ධම්මික පෙරේරා මහතාට හිමියව ඇති බැවින් නිළධාරීන් ද මෙම පරිසර විනාශය නවත්වාලීමට කටයුතු නොකළ බව පෙන්වා දිය හැකිය.

              වර්තමානයේ දී මතුව ඇති කිරිපිටි ගැටලුවද මෙවැන්නකි. කාලයක් තිස්සේ විදේශවලින් ආනයනය කරනු ලබන කිරිපිටි වල මෙලමයින් සත්ත්ව තෙල් ඇතුලු නීත්‍යානුකළ නොවන දේ අඩංගු බව පෙන්වා දි ඇත. නමුත් ෆොන්ටේරා සමාගම සහ අනෙකුත් කිරි පිටිගෙන්වන්නන් ලංකාවේ ජනතාවගේ ඇස් වලට වැලි ගසමින් මේ ප්‍රෝඩාව දිගින් දිගටම කර ගෙන විත් තිබේ. ඔවුන්ගේ අලුත්ම ප්‍රෝඩාව නම් ස්වභාවික කිරි වල පවතින ප්‍රොටීන් කොටස් ඉවත් කොට එම අඩුව සපුරාලීමට ඩයිසයනමයිඩ් නම් රසායනිකය එකතු කිරීමයි. ඒවා තණ පිට්ටනි වලින් එන බව පැවසුවද එය මුසාවකි. මෙම එකතු කිරීම ඔවුන් සාපාරාධී ලෙස කරන ලද්දකි. මේ අපරාධයන් වසන් කරලීමටද ඒවාට ආවරණය ලබා දීමටද සෞඛ්‍ය අමාත්‍යංශය අතුලු රාජ්‍ය ආයතන වල නිළධාරින් සැදී පැහැදි සිටිති. ඔවුන් ගේ දෛනික ජීවිතයේ යම් යම් වියදම් පියවා ගැනීමට මෙම සමාගම් උදව් කරන බැවින් මේ අපරාධයන් වසන් කරලිමට හැකි සියුලු දේ කරති. ඩයිසයනමයිඩ් කථාව යට යන පරිදි වේ ප්‍රොටීන් ප්‍රශ්නය කරළියට ගෙන ඇත්තේ එබැවිනි. සැබැවින් රජය මෙහිදී කළ යුත්තේ මේ ගැන විධිමත් පරික්ෂණයක් කොට අදාළ තොග තහනම් කොට සමාගමට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමයි. රජය එසේ නොකරන බව පැහැදිළිය. රජයට දේශපාලකයන්ට  මැතිවරණ කිරීමට අවශ්‍ය මුදල් ලබා දීමට මෙම සමාගම් සැමද සැදී පැහැදී සිටින බව නොරහසිකි. එම නිසා තම තමන්ගේ ජාම බේරා ගැනීමට  දේශපාලකයන්ට ද සිදු ව ඇත. මේ සියල්ල පසු පස්සේ තිබෙන්නේ මුදල්ය. රතු පස්වලදී සාමාන්‍ය වැසියන් තිදෙනෙකුගේ ජීවිත අහිමි වූයේ මේ ලොකු ලොක්කන් බිත්තියට හේතු කළ බැවිනි.මෙම පූර්වාදර්ශය මගින් පෙන්වන්නේ ලංකාවේ අනාගතය ගැන භයානක පෙරනිමිත්තකි.අපගේ ආදරණීය මව්බිමේ ඉරණම එක් පැත්තකින් ඉන්දීය ප්‍රාග්ධන හිමිකරුවන්ට පාවා දී ඇත. අනෙක් පැත්තෙන් දේශපාලනය නිසා අලුත පොහොසත්ව සිටින දාමරිකයන්ට කෙළි සෙල්ලම් කිරීමේ පොර පිටියක්  බවට පත් කර ඇත.මෙය තිරස්චීන ධනවාදයක ආරම්භය බව සනිටුහන් කර තැබිය යුතුය.

                                                   

No comments:

Post a Comment