පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, March 30, 2012

killing the Wewas to build reservoirs

By   mathugama seneviruwan

The government claims it has set aside just over one million rupees for development work in the irrigation sector. These include the Kiwul Oya reservoir in Welioya, Nakkala reservoir in Kumbakkan Oya, Morana Wewa in Mahiyanganaya, Pahala Malwathu Oya reservoir in Mannar, and Kalugal Oya reservoir in Ampara. The Chinese government has provided financial aid for some of these projects, while the Sri Lankan government expects to obtain financial aid and loans for the other projects.

The irrigation system in Sri Lanka has still not been completely reconstructed. The irrigation system in Rajarata, which suffered at the hands of foreign invaders for over 500 years, needs to be rebuilt exactly as it was. The irrigation system in Ruhuna and other provinces in the country are also in urgent need of repairs.

The Wewa is an indigenous creation. Legend has it that the local Raksha people possessed a book titled ‘Jala Bindu, Jala Pramana, and Jala Beethika’ which consisted of detailed techniques on Wewa construction. Another book titled ‘Jala Nandanaya’, which was in the possession of the late Chief Prelate of the Malwattha Chapter, Ven. Purijjila Saranankara Thera, is said to have gone missing after it was obtained by a British divisional secretary during colonial times. While we do not know much about the contents of these books, it is a fact that village elders still use some of the old techniques that were probably included in them to repair Wewas in their villages.

A Wewa cannot be likened to a lake filled with water. From the day it is constructed, it becomes a part of the local ecosystem. It facilitates an environment where animals on both land and water can live comfortably. It is also an environment where water based plants thrive. It has always helped bring a bountiful harvest to the farmers. After independence, governments made it a priority to rebuild these Wewas and also to establish new agricultural communities. This has been of great service to the country. Nevertheless, it has to be acknowledged that certain massive irrigation projects constructed without either knowing or deliberately ignoring ancient irrigation techniques have ended in failure. Even projects like the Mahaweli Rapid Development Scheme implemented without any knowledge of Wewa construction and the services they render to the environment. This has led to severe water shortages during droughts and wastage during the rainy season as sluice gates are opened to let out excess water which then flows into the sea.

It seems that politicians and officials who have been in charge of this country for the past few decades don’t know anything about the Wewa. The construction of large reservoirs, which serve both to generate electricity and facilitate agriculture, have made the Wewa become neglected in the villages. For example, many village Wewas in the Kala Oya region have been obliterated by the Mahaweli scheme, while many small Wewas that existed downstream from the Padaviya Wewa have been filled in. This results in much damage being sustained during the rainy season, while trees and plants are being destroyed during drought periods. In the end, a Wewa becomes just one physical object, rejected by all other ecosystems.

The sports minister recently made a statement in Parliament that he intended to build a sports city in the Meegaha Pandura, which would require the destruction of six Wewas in the area. This statement clearly illustrates the status afforded to the Wewa in the current political context.

It is sad to note that since the end of the war, authorities have decided to ignore people’s sentiments and gone ahead with irrigation plans that are both outdated and impractical. These include the Moragahakanda, Yan Oya, and Uma Oya projects. If one carries on building reservoirs under the Mahaweli scheme by destroying Wewas, it will cause severe and long term water shortages to animals in the area, as well as the people who will be settled under such schemes. The proposed Yan Oya reservoir is also to be built in a highly sensitive area. If the bund of this reservoir is built in the Pangurugaswewa area downstream from the Wahalkada Wewa, it will result in the destruction of 21 small and medium sized Wewas. It will also result in an agriculturally productive valley being completely flooded.

It is astounding that no one in charge has taken the time to think whether the Mahaweli scheme, plans for which were drawn up over 50 years ago, is actually practical today. There are also reports that the Wewa will also be used as seaplane landing sites for tourism. All these acts will make the Wewa obsolete, and will make it possible for international corporations to spread their tentacles further across our agricultural sector.
The nation 2012 - Feb 19

Saturday, March 24, 2012

චෞර දේශපාලනය හා ලංකාවේ අනාගතය


                                                    තිස් වසරක යුද්ධය නිමා වී සාමය උදා වී ඇති මොහොතක රටට විරුද්ධව ජගත් මානව හිමිකම් සැසියේ දී සම්මත කර ගෙන ඇති යෝජනාව  අනුව ඉතා ඉක්මනින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ රජය විසින් ඉටු කළ යුතුය. ඒ අනුව පළාත් සභා ව්‍යුහය ඉක්මවා යන බලය බෙදීමකට රජය ප්‍රවිශ්ඨ විය යුතුය. එසේ නොවුණහොත් ඊළග පියවරක දී රජයට එරෙහිව සමිබාධක පැනවීමට හෝ ආරක්ෂක මණ්ඩලය ඉදිරියේ යෝජනාවක් සම්මත කර ගැනීමට වුවද පිළිවන. මේ තත්වය සුලු වෙන් තැකිය හැකි නොවේ. මේ අවස්ථාවේ දී සිහිපත්වන්නේ දහනම වන සියවසේ මුල් භාගයේ දී උඩරට ඇති වුන දේශපාලන පරිසරයයි.  ශ්‍රී වික්‍රම රාජසිංහයන්  ජනතාවට එපාවන තරමට අප්‍රසාදයට පත්ව සිටියහ.  1912 දී සුද්දන්ට පහර පිට පහර දී උඩරටින් එළවා රට බේරා ගන්නට ඉදිරිපත්වූයේ ද මේ රජුය. නමුත් ඔහුගේ හිතුවක් කාරී කියා පිළිවෙත නිසා රදළයින් රජුගෙන්  ඈත් විය. නිරපරාදේ රදළයින් සහ භික්ෂූන් වහණ්සේලා ඝාතනය කරලීමට අණ දීම නිසා රජු කෙරෙහි වෛරයක් ජනිත විය. 1815 වසරෙ දී  මැද මහනුවර දී රජු අන්ත අසරණයෙකු ලෙසට ඉංග්‍රීසීන්ට කොටු වන්නේ මේ පසු බිම දිනෙන් දින වර්ධනය වී මෝරා යාමෙනි.
     වත්මන් ජනාධිපතිවරයා කොටින්ට එරෙහිව යුද්ධයට නායකත්වය දෙමින් බටහිර න්‍යය පත්‍රය පවා වෙනස් කළ පුද්ගලයෙකි. එවක ජනතාව සිටි ස්ථාවරත්වයට ඔහුට නිරායාසයෙන්ම පැමිණෙන්නට සිදු විය. ඔහු කළ විශිෂ්ඨතම සේවය නම් ජනතාව විසින් ( ජාතික බල වේග) ගොඩ නැන් වූ යුධ පෙරමුණ ශක්තිමත්ව ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාමයි. නමුත් වසර තුනකට පසුව මේ ජයග්‍රාහී දේශපාලනය අවතීර්ණ වී ඇත්තේ කොතනකටදැයි සිතන විට නැවතත් මතක් වන්නේ 1912න් පසුව උඩරට රාජධානියේ ඇති වූ සිද්ධි සමූහයයි. වත්මන් ඇමති වරු නොහොත් රදළ වරු ක්‍රමයෙන් අන්ත දූෂිත තත්වයකට ඇද වැටී ඇත. ඔවුන් ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ මත් ද්‍රව්‍ය වෙළෙඳාමයි.. රජයේ කොන්ත්‍රාත් මෙන්ම විවිධ තනතුරු ද සිය හිතවතුන් සන්තකයේ තබා ගන්නා අතර අල්ලස් ගැනීම් කප්පම් ගැනීම් වශයෙන් විවිධ දූෂිත ක්‍රියා වල ද නියැලෙති. කහවත්තේ ද්වීත්ව ඝාතනයෙන් පසු මේ සියල්ල පැහැදිළි විය. රජයේ ඉහළ පුටුවල සිටින්නන් ගේ දූෂිත ක්‍රියා ආදර්ශයට ගන්නා ප්‍රාදේශීය දේශපාලකයින් නායකයින්ටත් වඩා හොඳට ඒ සියල්ල සංවර්ධනය කරති. ඒ අතර දේශපාලකයින්හට රජ වීමට තිබෙන ආශාව වඩාත් කැපී පෙනේ. කටු ගේ කඩා අසිපත් හා මුදු සොරකම් කිරීම භික්ෂූන් වහණ්සේලා ඝාතනය කොට අසිපත් සෙවීම උතුරු මැද පළාතේ පතස් පොකුණූ හාරමින් දාගැබ් බිඳවමින් ඔටුනු හා වෙනත් රාජ කකුධ භාන්ඩ සෙවීම දිනෙන් දින වර්ධනය වන අපරාධයන්ය.
      ලක් රාජාවලිය අභිමානවත් පරපුරක ඉතිහාසය ගෙන හැර දක්වන්නකි. එහි මිණි මුතු වැල් මෙන්ම බොරලු කැට ද හමුවෙයි. ලංකාව කුඩා දිවයිනක් වුවද එයට සරිලන ශිෂ්ඨාචාරයක් මෙන්ම ආර්ථික සමෘධියක් ද ළගා කර ගන්නට  රජ වරු සමත් ව සිටියහ. එකල ඉන්දියාව හා සහ සම්බන්ධව ගොඩ නගා ගත් ඥාති බැඳීම මේ සමෘද්ධියට එක් හේතුවක් විය. දඹදිව නෙහොත් ඉන්දියාවේ සූර්ය වංශයේ ශාඛාවක් ලෙසින් නමුත් වෙනම අනන්‍යතාවයකින් යුක්තව ගොඩනැගුණූ මහාවංශයක් මෙරටට හිමි විය. පසුකලක උභය කුලපාරිශුද්ධතාවය නැතිව  ගොස්  සුලුවංශයකින් ද රට පාලනය විය.  
    ලංකාවේ රාජ්‍ය පාලනයට පදනම් වූයේ දශ රාජ ධර්මයයි. මෙහි අවසන් රජතුමා සිංහලයෙකු නොවේ. ඔහු නායක්කර් වංශිකයෙකු විය. දාහත් වන සියවසෙන් පසුව ලක් රජාවලියේ  බිඳ වැටීම නිසා මෙලෛස වඩුගයින් බලයට පත් වුවද රාජකීය සම්ප්‍රදායන් ආරක්ෂා කරලීමට රජු ගිවිස සිටියහ.  උඩරට බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට පෙර ලන්දේසි ආණ්ඩකාරවරයෙකුව සිටි විලෙම්  ෆැල්ක් විසින් මහනුවර මල්වතු විහාරයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්ණ මාලාවකට මල්වතු විහාර සංඝසභාව විසින් 1769 වර්ෂයේ දී දෙන ලද පිළිතුරු ලංකාවේ රජ සිරිත් හා ලෝක චාරිත්‍ර නම් ග්‍රන්ථයේ ඇතුලත් ව ඇත.   මේ රජ සිරිත් අනුව ලංකාවේ රජ කෙනෙකු හිතුවක් කාර පාලකයෙකු නොවීමට බලපාන ප්‍රධාන කරුණු රැසක් පෙන්වා දී තිබේ. ඒ අතර දන්දීමය සිල් රැකීමය තෑගි දීමය සෘජු භාවය මැදහත් භාවය තපස් ඇති බවය ක්‍රෝධ නොකිරීමය හිංසා නොකිරීමය ක්ෂමා වීමය අවිරුද්ධ බවය යන දශ වැදෑරුම් සාරධර්මයන් වෙති. මේ අනුව රටක් පාලනය කරන්නා රටෙහි සුඛිත මුදිත භාවය කෙරෙහි සිත යොමුකරමින් කරන සේවය රට වැසියා අගය කළහ. ඔවුන් රජු දෙවියෙකු විලස අගයන්නේ එහෙයිනි. එසේම රජුගේ ධාර්මික පාලනයට නාථ දෙවියන් ගේ අවේශය ඉවහල් වන්නේ යයි මධ්‍ය කාලීන රාජ්‍ය සංස්ථාව දැඩි ලෙසට විශ්වාස කළහ. එම නිසා රජුගේ අභිශේක මංගල්ලය සිදුකරන ලද්දේද නාථ දෙවාලය ඉදරිපිටදීය .පාලකයා දශරාජධර්මයෙන් රට පාලනය නොකරන්නේනම් ඔහු නිරයට ගමන් කරන්නෙක් බව ප්‍රකාශ වී ඇත. මේනිසා රජවරු වුවද පවට බිය වූහ. එතුමන්ලා භික්ෂූන් වහණ්සේලා ගේ අවවාද අනුශාසනා අනුව රට පාලනය කළහ. ජන සම්මතවාදය නොමැති යුගයක පවා රටෙහි සාමය පැවතියේ ද රට දියුණූ වූයේ ද මෙලෙස රජකම පාලනයකට යටත් වූ බැවිනි. නමුත් මේ සම්ප්‍රදාය සැම විටම එක විලස ක්‍රියාත්මක වූයේ නැත. විවිධ සතුරු ආක්‍රමණ හමුවේ ඇති වූ බල පෑම් මධ්‍යයේ රට ආරාජික වූ විට බලවත් පාලකයෙකු ගේ නැගීම ඇති වීය මහා පරාක්‍රම බාහු විජය බාහු ආදීන් ගේ බල ප්‍රාප්තිය සිදුවූ යේ එලෙසය.ඔවුන් සියල්ලම රාජ වංශිකයින් බවට සහතිකයක්ද විය.
     රජ කෙනෙකුට කුමාරවරු කීපදෙනෙකු ඇත්නම් කෙසේද යන්න මල්වතු හිමියන් ගෙන් විමසූ විට උන්වහණ්සේ දුන් පිලිතුර මෙසේය. රාජ කුමාරවරුගෙන් ගෙන් වැඩි මහලු බාල පිළිවෙල රජ කමට නියමයක් නොවෙයි. රජ කමට නියමය නම් ගුණ නුවණ පින් ඇති බව ය. රජ්ජුරුවන් වහණ්සේ කෙනෙකු හැසිරෙන්ට ඕනෑ වූ අඥාවලුත් අද්ද යන වග විමසූ විට දුන් පිළතුර මෙසේය. රාජ්‍යස්‍ය මූලංඉන්ද්‍රියං ජයං කියා නීති ශාස්ත්‍රයෙහි මුලටම දැක්වූ හෙයින් රට ආණ්ඩු කිරීමට මුල් වූයේ පංචේන්ද්‍රියන් ජය ගැන්මය. පංචේන්ද්‍රිය නම් ඇසය කණය නාසය දිවය ඇඟය යන මේ පසයි. මොවුන් ගේ ජය ගැන්ම නම් ඇසින් දුටු අන් සතු ස්ත්‍රීන් ආදී වස්තුවටද කනින් අසන කේලාම් ආදී නපුරු තෙපුල් වලටද මෙකී දේට නො ඇල්මය. නොකීපීමය. නාසය දැනෙන ගන්ධයට ද දිවට දැනෙන රසයටද ඇඟට දැනෙන සැපයටද වඩාත්  නොඇලීමය. .
    මේ ආකාරයෙන් බලන කල්හි අසිපතක් හෝ වෙනත් රාජ කකුධ භාණ්ඩයක් ගෙන කෙනෙකුට රජ වන්නට  පුලුවන් නම් එය රජ්‍යයක විනාශයේ ආරම්භය වෙයි. වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය. මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය  පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය.
      යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බෙහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
     අපේ බණ පොත් වල මෙසේ අකුසලයෙහි අදීනවයන් පෙන්වා දදෙන ලද්දේ ජනතාව මෙන්ම රජවරු ද සාර ධර්මයන් කෙරෙහි පිහිටුවීමටය. ධාර්මිකව රට කරවීමට නම් රටේ පාලකයා මෙන්ම ඇමතිවරුද ආදර්ශමත් විය යුත්තේය. දැන් සිදු වන්නේ එහි අනෙක් පැත්තය. ඇමතිවරු සහ ප්‍රාදේශිය දේශපාලකයින් දූෂිත ක්‍රියා වල යෙදෙන විට එම පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට රජය ඉදිරිපත් වේ. මෙහිදී රට වැසියා මෙය තේරුම් ගන්නේ තමන්ට ලැබුණු අවස්ථාවක් ලෙසටය. එවිට පවට බිය වීම පැත්තකින් තබා මංකොල්ල කෑම් වල හා විවිධ අපරාධ වල යෙදෙන්නට පෙළඹිමක් ඇති වේ. බොර දියේ මාලු බෑමට බලා සිටින විදෙස් බල වේගවලට ද මෙය හොඳ අවස්ථාවකි.  රජය ජාත්‍යන්තරයට ඇට වූ උගත් පාඩම් උගුලේ දැන් රජය ම හිරවී ඇත. ලංකාව බිත්තියට හේත්තුකර ඇත. දෙදහස් දොළහ වර්ෂය ද ගෙවී යමින් පවතී. විදේශ ආධිපත්‍ය නිසා රටට නිදහස අහිමි වී දෙදහස් පහළොව වසරට වසර දෙසීය සම්පූර්ණ වෙයි. නිදහස ද යටත් වීමද යන්න තෝරා ගැනීමට තිබෙන හොඳම අවස්ථාව මෙයයි.  
                                                                              

Wednesday, March 21, 2012

පළාබත්ගල පිරිවෙන ගැන කියැවෙන මැටි මුද්‍රිකාව

                                      
            ශ්‍රී පාද ස්ථානය සිංහල බෞද්ධ යින්ගේ ගෞරවාදරයට ත් වූ අතිශයින් වැදගත් සිද්ධස්ථානයකි. තුනුරුවන් ගේ ආඥාව ශ්‍රී ලංකා ද්වීපයේ පිහිටවීම පිළිබඳ සංකේතයක් ලෙසට ද මෙය සැලකේ. වේදේහ මාහිමියන් විසින් රචිත යයි සැලකෙන සමන්ත කූඨ වර්ණනා නම් පාලි ග්‍රන්ථයේ හත්සිය අසූ එක්වන පැදියේ පරිදි බුදු සිරි පතුල මැණික් ගලේ ඔබ්බන ලද්දකි. නැතහොත් තෙරපීමෙන් සළකුණූ කරන ලද්දකි. එහිදී එම පැදියේ දී මෙය සඳහන් කිරීමට ඛත්තිය මුදද්දිකාය යන වදන භාවිතා කොට ඇත.
    රාක්ෂ ගෝත්‍ර භාෂාවෙන් සළකුණට ව්‍යවහාර වන්නේ මක්කමාම යනුවෙනි. බුදුන් වහණ්සේ ප්‍රථම වරට ලංකාගමනයේ දී මාන් තොට වරායෙන් ගොඩ බැස කල්පිටියට නුදුරු තැනකදී සිරි පද සළකුණක් තබා( ඇත්තල මක්කම) පොම්පරිප්පුව අසළ වත්මන්  වැලිවෙහෙරේ දී ධර්ම දේශනා කළ බව යක්ෂ ගොත්‍රිකයින්ගේ අප්‍රකට තොරතුරු ග්‍රක්ථයේසඳහන් කර ඇත. මේ සිරිපද සලකුණ යටට එබී ගිය එකකි. ඉන්පසු ඒ හැඩයේ සළකුණු රාශියක් විල්පත්තුව අවට විහාරස්ථාන වලත් අනුරාධපුරය දක්වා විහාරස්ථාන වලත් හමුවන්නේ ඒ ආභාෂයෙන් යයි කියැවේ.
                 ශ්‍රී පාද ස්ථානයට පිවිසීම පිණිස වර්තමානෙය් මාර්ග රාශියක් තිබුණද ඒහි ප්‍රධානතම පිවිසුම් මාර්ගය ‍ලෙසට  සැලකෙන්නේ රජවරුන් විසින් භාවිතා කල ගිලීමලේ රජ මාවතයි. මෙම රජ මාවතතේ තිබෙන වැදගත්ම ස්ථානයන් දෙකකි. එකක් පළමුවන විජය බාහු රජු විසින් පිහිටුවාලන ලද ගිලීමලේ සෙල්ලිපිය පිහිටා තිබෙන ගිලීමලේ රජ මහා විහාර මාවතයි. අනෙක් ස්ථානය පලාබත්ගල වනවාස පිවිසුම් මාරගයයි. මෙයින් පළමු වැන්න වන ඉලුක් වත්ත අම්බලමෙන් පටන් ගත් ගිලීමලේ රජ මාවත අද අභාවයට ගොස් තිබුණද පළාබත්ගල සිට රජ මාවත නැවතත් සක්‍රීය තත්වයට පත් ව ඇත. වෙසෙසින්ම යුධ හමුදාවේ මූලිකත්වයෙන් එහි පඩි සකස් කොට තිබීම වන්දනා කරුවන්ට පහසුවක් වී තිබේ.
  පැරණි පළාබත්ගල වනවාසය වර්තමානයේ දකනට නොමැත. එහි අභිනව විහාරස්ථානයක් ඉඳිවී ඇත. මෙම වනවාසයේ ආරම්භය දඹදෙණි යුගයයි. පූජාවලියේ සඳහන් පරිදි දෙවනි පරාක්‍රමබාහු රජු ගේ අනුමැතිය පරිදි ප්‍රතිපත්ති ගරුක භික්ෂූණ් වහණ්සේලා කැඳවා ගම් වාසයෙන් දෙවිසි නමක් ද වනවාසයෙන් දෙවිසි නමක් ද තෝරා ගෙන පළාබත්ගල ප්‍රදේශයේ අභිනව පරිවේණස්ථානක්  ඉඳිකරවා ඇත. ගල්ලෙන් බහුල වට මාර්ගයක් ව පැවති ශ්‍රීපාද රජ මාවත අලි ඇතුන් ගේ වාසය නිසා පවනැල්ලේ සිට මෑතකදී වෙනස්ව ගමන් ගනී. එම නිසා පුරාණ වනවාසයට අයත් ගල්ලෙන් රාශියක් දැනට  ගමන් මාර්ගයෙන් බැහැරව පවතී. මේ ගල්ලෙන් අතීත රහතුන් වහණ්සේලා භාවනායෝගීව සිටි ස්ථාන වෙති.
       පළාබත්ගල වනවාසය මෙන්ම පළාබත් ගල පිරිවෙන ද එකල දසදෙස පූජිත විය. එයට හේතුව පළාබත් ගල ධර්ම කීර්ති පරම්පරාවයි. මෙම සඝ පරම්පරාවේ කීර්තිමත් යතිවරයින් සිවු දෙනෙකි. දිඹුලාගල දීපංකර ස්වාමීන්ද්‍රයන් වහණ්සේගේ අතවැසි පළාබත්ගල ධර්ම කීර්ති මහ නාහිමි ඉන් පළමු යතිවරයින් වහණ්සේය. යාපහුවේ වලස්ගල නෙහොත් අච්චගිරි සේනාසනයේ අධිපති තනතුරට පත් උන් වහණ්සේ  පළාබත් ගල නාමයෙන් ද ශාසනික සේවයෙන් ද ලෝ පූජිත විය. උන් වහණෟසේ ගේ අති ජාත ශිෂ්‍ය රත්නය වූ සීලවංශ ධම්මකීර්ති මහාසාමිවරයා ගම්පළ අවදියේ ගඩලාදෙණි විහාරයේ වැඩසිටියහ. ගඩලාදෙණියේ සද්ධර්මතිලන විහාරය කරවූයේ උන්වහණ්සේ විසිනි. පාරමී ශතකය ජනානුරාග චරිතය ආදී ග්‍රන්ථ රචනා කළ උන් වහණ්සේ සිරි ලක පතළ කීර්තිමත් පඬිවරයෙකු විය.
     සීලවංශ ධර්ම කීර්ති පරම්පරාවේ ඊළඟ පුරුක සද්ධර්මාලංකාර කතුවර දේවරක්ෂිත ජය බාහු ධම්මකිත්ති මහ නාහිමිය. වීරබාහු රජ විසින් රන ලද ශාසන ශෝධනයේ දී මුලසුන ගත්තේ උන් වහණ්සේය. උන් වහණ්සේ එකළ සඝ රජ ධූරය ද දැරීය.  කොට්ටේ ජයවර්ධන පුරයේ සයව‍න පරාක්‍රමබාහු සමයේ ඒ රජු ගේ අනුමැතියෙන් සද්ධර්ම රත්නාකරය රචනා කළ සිද්ධත්ථ ධම්මදින්නාචාර්ය විමල කිත්ති මහ නාහිමි ද පළාබත්ගල ධම්මකිත්ති පරම්පරාවට සම්බන්ධ බව මහාචාර්ය මැන්දිස් රෝහණ දීර මහතා සිය ලිපි වල පෙන්වා දී ඇත.
        ධර්මකීර්ති පරම්පරාවේ සියුලු ස්වාමීන් වහණ්සේලාට මුල් වූ තෙර නමක් ගැන මෙහිදී සදහන් කළ යුතුය. දෙවනි පරාක්‍රමබාහු අවදියේ මෙරටට වැඩම වූ තාඹුලිංගමු රට (තම්බරට්ඨ) ධම්මකිත්ති නාහිමි මේ මහා නායක හිමියන් වෙයි. තාඹුලිංගමුවේ නොහොත් තායිලන්තයේ වසන දොලොස් දහසක් භික්ෂූන් වහණ්සේලා අතරින් තේරස ධුතාංගාදී විදර්ශණා පුහුණු කල ධම්මකිත්ති හිමියන් යන එන මග දෙපස පෙරමග පියුම් පත් නැංගා යයි අසා උන්වහණ්සේට මහත් ගෞරවයෙන් වඩම්මවාගන අවුත්  එකළට අවශ්‍ය භික්ෂූන් වහණ්සේලා පුහුණු කිරීම උන් වහණ්සේට භාර දෙන්නට ඇති බව කල්පනා කළ හැකිය.
       පළාබත් ගල වනවාසය හා පිරිවෙන ආරම්භ වූයේ මේ සඳහාය. කාලිංග මාඝයන්ගේ ආක්‍රමණයෙන් පසු රට වැල් වැදී ගිය කල්හි රටේ සංවර්ධනයද ජනයාගේ සාරධර්මයන් ද අභාවයට ගියේය. බුද්ධ ශාසනය පරහානියට පත් වූයේය. රජු ශාසනික සංවර්ධනය ගැන උනන්දුවක් නොදැක්වීය. මේ බව දත් මයුරපාද පරිවේණාධිපති බුද්දපුත්‍ර ස්ථවීරයන් වහණ්සේ පූජාවලිය රචනා කොට රජුට පිලිගැනවීය. එයින් සතුටටත් ප්‍රීතියටත් පත් රජු ශාසන ශෝධනයක් කොට සැදැහැවත් සිල්වත් මෙන්ම බහුශ්‍රැත භික්ෂූන් වහණ්සේලා පිරිසක් රටට දායක කරනු වස් පලාබත් ගල පිරිවෙන ආරම්භ නලේය. පලාබත්ගල පරිවේනස්ථානයේ සද්ධර්ම ආලෝක කදම්භය සියවස් ගණනාවක් පැවතියේ නිවරදිව එයට අඩිතාලමක් දැමූ බැවිනි.
    පලාබත්ගල පිරිවෙන සියවස් ගණනාවක් තුල ශාස්ත්‍රීය ආලෝකය පතුරුවාලමින් වැජඹුණද අනිත්‍ය යළිත් වරක් මෙනෙහි කරමින් ජරාවාසව ගියේය. බ්‍රිතාන්‍ය සමය වන විට එම ප්‍රදේශය වල් වැදී ඉඩකඩම් පවා අන් සන්තක වුණි. පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල හිමිපාණන් පළාබත්ගල කරන ලද ගවේශණයේ දී හෙළි වූයේ මේ පිරිවෙන් භූමිය තේවත්තකට යටව ඇති ආකාරයයි. එහි අයිතිකරු මෙහි තිබූ පුරා වස්තු සියල්ල එක් රැස් කොට වලක් කපා වල දැමූ බව පැරණියන් පවසති. ඉතිරී වී තිබූ ගල් කණු අභිනව විහාරස්ථානය සෑදීමට භාවිතා කර ඇති අතර ශ්‍රීපාද ගමන් මාර්ගයේ ද ගල් කණු කීපයක් ඉතිරිව ඇත්තේය. පිරිවෙන් භූමියේ තිබූ පතහ සහ ගොඩනැගිලි කිසිවක් ඉතිරි කර නොතබාම මේ කීර්තිමත් ස්ථානය පසින් යටවී තිබේ.
    ඉතිහාසය වෙනස් කළ හැකි දෙයක් නොවේ. වෙසෙසින්ම ප්‍රභාමත් ස්ථානයක් සැඟව ගොස් තිබුණද යලි මතු වෙයි. පලබත්ගල පැරණි පිරිවෙන් භූමියෙන් යලි හමු වූයේ පිරිවෙනේ අනන්‍යතාවය කියාපාන මැටි මුද්‍රිකාවකි.(SEAL) දෙමහල් පිරිවෙන විහාරස්ථානය මෙන්ම ඉන් විහිදුනු ශාස්ත්‍රාලෝකය සංකේතවත් කරන මෙම මුද්‍රිකාව සම්මුඛ වී තිබෙන්නේ පලාබත්ගල වාසය කරන ඩී.තිලකසිරි මහතාටය. යම් කිසි කටයුත්තක්  සඳහා එම භූමියෙන් රැගෙන ආ පස් අතර තිබී මේ වටිනා පුරා වස්තුව හමු වී ඇත.
      ලංකාවේ පැරණි පුරාවස්තු අතර මෙවැනි මුද්‍රිකා රාශියක් හමු වේ. වෙසෙසින්ම කාසි මුද්‍රණ ශිල්යේ දී මෙවැනි අච්චු භාවිතා කරලීමේ පුරුද්දක් තිබුණි. අනුරාධපුර අබය ගිරි කැණීමෙන් හමු වූ පුරා වස්තු අතර කාසි අච්චු රාශියෙකි. කාසි අච්චු තැනීමේ දී ප්‍රථමයෙන් මැටි අච්චු වල හෝ දැලි පොතු වල අච්චු මුද්‍රාව සකස්කර ගන්නේ යයි කියති. මැටි අච්චු වල සළකුණු ලබා ගන්නේ මුද්‍රාවක් එබ්බවීමෙනි. මෙරට භාවිත වූ පැරණි තම කාසි වර්ගය හස් එබූ කහපණයි. එයද මැටි මුද්‍රිකාවකින් සකස් කර ඇත. රජ වරුන් පාලන අධිකාරය පෙන්වීමටද මුද්‍රා තැබූහ.ආනකෝට්ටේ මුද්‍රාව ද එවැන්නකි. වෙසෙසින්ම මුදල් ගනුදෙනු වලදී එම මුද්‍රාව වැදගත්වෙයි. නාගරික සභ්‍යත්වය වැඩීම පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා තිස්සමහාරාමයේ කළ ගවේශණයේ දී හා කැණීම් වලින් හමු වී ඇති මුද්‍රා විශේෂය තුල සවස්තිකය සළකුණූ කර ඇත. අනුරාධපුර ගෙඩි ගේ කැණීම් වලදී ද මෙවැනිම මුද්‍රා විශේෂ හමු වේ.  පළාබත් ගල පැරණි පුරාවස්තු භූමියෙන් හමු වී ඇති මැටි මුද්‍රිකාව ද එසේමය. එම පිරිවෙනේ වැඩ සිටි භික්ෂූන්වහණ්සේලා සිය අධ්‍යාපනය අවසන් කර ගමන් ආරම්භ කරන අවස්ථාවේ දී දුන් උපාධිය සහතික කරවනු වස් මේ මුද්‍රිකාව භාවිතා කර ඇත. එහි මැද පවතින අලෝක වෘක්ෂයෙන් මේ උපාධිය සංකේතවත් කරන්නේ යයිසිතිය හැකිය. දෙපස තිබෙන සංකේත මගින් කියාපාන්නේ පිරිවෙන ආශ්‍රයේ පැවති  ගොඩනැගිලි වල වාස්තු විද්‍යා ස්වරූපයයි. සියුම් මැට්ටෙන් තනන ලද මෙම මුද්‍රිකාව නිසැකයෙන්ම දඹදෙණි අවධියට අයත්ය. මෙම මුද්‍රිකාව මගින් කඩදාසියක තල්පතක හො මැටි පුවරුවක හෝ තබන ලද මුද්‍රාව එදා එතනනින් පිටවූ ධම්ම කිත්ති පරම්පරාවේ භික්ෂූන් වහණ්සේලා  ගේ කිර්ති නාමය සනිටුහන් කරවන්නක් වන්නට ඇත.
      මැටි මද්‍රිකාව මගින් පළබත්ගල පිරිවෙනේ අනන්‍යතාවය හෙලි වුවද මේ ස්ථානය තවමත් පුරාවිද්‍යා භූමියක් බවට පත්ව නොමැත. මෑතකදී පළබත්ගල අබිනව විහාරස්ථානය අම්බලම හා ඒඅවට ප්‍රදේශය පූජා නගරයක් කරන සැලැස්මට පවා මේ වැදගත් පැරණි නටබුන් කලාපය අයත්කරගෙන නැත. එම නිසා මෙම ඓතිහාසික ස්ථානයේ වැදගත්කම සදහටම පසට යට වන්නට ඉඩ ඇත. පැරණි පළාබත්ගල පිරිවෙන යනු කුඩා ප්‍රදේශයක් නොව ශ්‍රී පාද වට මාර්ගයද අයත් ගල්ලෙන් ද සහිත විශාල ආරණ්‍ය සේනාසනයක් බව මෙහිදී මතක් කර දියු යුතුව තිබේ.
                                                          

Monday, March 12, 2012

දහ තුන කරට ගෙන පිටරට පඩි කෑම-විසඳුම ලෙසින් නොලැබේ දෝ ගුටිකෑම


                           

              උතුරේ කොටි ත‍්‍රස්තවාදීන් ගේ සහ දෙමළ ජන නායකයින් ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වන බලය බෙදීම හෙවත් ස්වයං පාලනය සඳහා අවශ්‍ය නීතිමය රාමුව ලංකාව කෙරෙහි බලහත්කාරයෙන් පටවන ලද්දකි.ඉන්දු ලංකා ගිවිසුම  හරහා ද පසුව කොටි සමග ඇති කර ගත් එකඟතාවය පදනම් කොට ගෙන ද සාමය සඳහා බලය බෙදීම නම් වූ විසඳුම් පෙන්වා දෙන ලද්දේය. නමුත් කොටි දිගින් දිගටම ජන ඝාතක ක‍්‍රියා වල යෙදීම නිසා ද දකුණේ ජන ජීවිතය අඩාල වීම නිසාද කොටි පරජය කරලීමේ සටනකට යාමට රජයට සිදු විය. මේ තීරණය ගැනීමට ප‍්‍රථම අවසාන මොහොතේ පවා රජය උත්සාහ කළේ මාවිල් ආරු සොරොව්ව සාකච්ඡා මගින් විවර කර ගනිමින් බලය බෙදා හැරීමේ තීරණයකට අවතීර්ණ වීමටය. නමුත් ජාතික බල වේගයන්හි  ඉදිරිපත් වීම මත කොටින්ට එදිරිව යුද්ධයකට යා නොහැකි තත්වයක් රජයට ඇති විය. ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්ගේ උපදෙස්ද ඊට බලපෑවේය.
       ත‍්‍රස්තවාදයට එරෙහි සටන හමුදාව විසින් ජයග‍්‍රහණය කරන ලද්දේ වෙනත් කිසිම රටකට නොමැති ජන ප‍්‍රසාදයක් සහ බලයක් ඇති කරවමිනි. එහෙත් බලය පිළිබඳව නිවරදි  තක්සේරුවක් රජයට තිබූ බවක් නොපෙණුනි. රජය සමග එකතු වූ ජාතික බලවේගයන්හි එකම ඉල්ලීම වූයේ ඒකීය රාජ්‍යය රැක ගැනීමට කටයුතු කරන ලෙසය. බලය යොදා ගත යුත්තේ ඒ සඳහාය. නමුත් බලය යොදා ගත්තේ විරුද්ධ වාදීන් මර්දනය කිරීම පිණිස පමණි.
      උතුර හා නැගෙනහිර ප‍්‍රදේශ සැලකිය යුත්තේ ඒකීය රාජ්‍යයක කොටසක් ලෙසටය. නමුත් එම පළාත් වල පරිපාලනය ක්‍රියාත්මක වනුයේ දකුණට වඩා හාත්පසින් වෙනස් ආකාරයටයි. එහි ප‍්‍රධාන භාෂාව දෙමල වන අතර රජයේ ත්‍රෛයි භාෂා සංකල්පය එහිදී කිසිසේත්ම පණ ගන්වා නැත. රජයේ නාම පුවරු වලදී පමණක් භාෂා තුනෙන්ම දැන්වීම් සටහන් වන නමුදු සිංහල භාෂාවට ඇත්තේ දෙවනි තැනයි.  1981 ජන සංගණනයේ දී යාපනයේ සිංහලයින් 4615 ක් ද මන්නාරමේ 8710 ක් ද  මඩ කලපුවේ 10646 ක් ද ත‍්‍රිකුණාමලයේ 86341 ක් ද විය.  1953 වසරේ දී යාපනයේ 4724 ක් ද මඩකලපුවේ 17751 ක් ද සිටි බව මතක් කළ යුතුය.යාපනය හා කිලිනොච්චියේ වත්මන් සිංහල ජතගහනය 844 ක් බව සංගණනයෙන් තහවුරු වී ඇත.අතීත සිංහලයින්   පරිහරණය කළ ඉඩම් ද රාශියක් තිබුණි. එහෙත් උතුරේ දේශපාලකයින් සහ රජයේ නිළධාරීන් මේ පිරිසට නැවත පදිංචි වීමට ඉඩ පහසුකම් සලසන්නේ නැත. තේසවලාමේ නීතිය තවමත් ක‍්‍රියාත්මකය. දකුණෙන් විශාල වන්දනා කරුවන් රැසක් දිනපතාම මේ ප‍්‍රදේශ වලට යනෙන අතර ඔවුන් හට විශ‍්‍රාම ශාල පහසුකම් සැලසීමට හෝ රජය මෙතෙක් පියවර ගෙන නොමැත. අතීතයේ දී නම් බෞද්ධ සැදැහැවතුන් ගේ නොමසුරු සහයෝගයෙන් මෙවැනි දේ සිදු විය.
     මෙහිදී යාපනයේ පිහිටුවා තිබෙන ඉන්දීය කොන්සල් කාර්යාලය නිරන්තරයෙන් හරහට සිටී. උතුරේ සිංහලයින් මැදිහත්ව සිදු වන ඕනෑම ක‍්‍රියාවලියක් නැවැත්වීමට මේ පිරිසට හැකිය. ඇතැමි විට හමුදාව අතින් සහ පොලීසිය අතින් කෙරෙන පරිපාලනය නැවැත්වීමට ද මේ අය පෙළ‍ඹේ උතුරේ දූපතක පිහිටා තිබූ නාවික හමුදා කඳවුරක් මේ ළඟකදී ඉවත් කරන ලද්දේ එක දිනක් ඇතුලතය. මෙය අවාසනාවන්ත තත්වයකි.     ලංකාවේ දෙමළ ජනතාව අතරින් බහුතරයක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලය. මේ ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික යුගයේ දී කෙවෙතස්ථ පදියම ලෙසට ද ඉන්පසු නාග ද්වීපය ලෙසට ද ව්‍යවහාරයේ තිබුණි. මහාචාර්ය රාජ් සෝමදේව විසින් නිවරදි ලෙස කියවන ලද ආනකෝට්ටේ ලෝහ මුද්‍රාවෙන් මෙම පළමු ව්‍යවහාරය තහවුරු වෙයි.( 2005 ජූනි 05 ඉරිදා දිවයින) දෙවැන්න වල්ලිපුරම් රන්පත් ඉරුවේ තිබෙන නකදිව යන්නෙන් හෙළි වෙයි. ක‍්‍රි.පූ. අටවන සියවසේ සිට විජයා ගමනය දක්වා කාලය තුලදී  මේ ප‍්‍රදේශ සමස්ත සිංහල රාජධානියේ කොටසක් බවට පත් විය. ඒ තත්වය තුල යක්ෂ ගෝත‍්‍රිකයින් මෙන්ම නාග ගෝත‍්‍රිකයින් ද සිංහල ජාතියට එකතු වූහ. කාලිංග මාඝ චන්ද්‍ර බානු ආක‍්‍රමණ සහ දොලොස් වන ශත වර්ෂයෙන් පසු උතුරේ ඇති වූ විදේශ ආර්ය පාලනය නිසා එහි සිටි සිංහල ජනතාව ක‍්‍රමයෙන් දකුණට සංක‍්‍රමණය විය. එහි රැඳී සිටි පිරිස ද කලක් යන විට විදේශිකයින් ගේ අත වැසියන් බවට පත් වූහ. දෙමළ බස එහි වානිජ ව්‍යවහාරය වූ බැවින් සිංහල අය තුලින් ද සිංහල භාවිතය තුරන් ව ගියේය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ගේ ආගමනයෙන් පසුව උතුර යටත් වී එහි සිටි සියළු ජන කොටස් දෙමළ ගණයේ ලා සලකන්නට පෙළඹුණි. ඒ අතර දුම් කළ වගාවට ද වී වගාවට ද මලබාරයෙන් ගෙනා ලන්දේසි කොම්පඤ්ඤයේ වහලුන් පිරිස නිසා ( ලංකාවේ ලන්දේසි බලය-අරසරත්නම් ) දෙමළ මලබාර් ජනගහනය වර්ධනය විය. ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ජන ගහන අනුපාතය සිය ලේඛන වල ඇතුලත් කර තිබෙන්නේ දිවයිනේ අනෙක් පළාත් වල තිබූ පොදු ව්‍යවහාරය නොසලකා හරිමිනි. පෙර ලංකාව ඒකීය රටක් ව පැවතුණ බව ද විදේශීය ආක‍්‍රමණ නිසා එම ඒකීය බාවය බිඳී ගිය බව ද වූ යථාර්ථය ඉතිහාසයට පමණක් සීමා විය. පෙර ලංකාවට පැමිණි දෙමළ යවන ජාවක විදෙස් ජනයින් ගෙන් ඇතැමෙක් මෙහි පදිංචිව සිංහල සංස්කෘතියට එකතුව කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් අපට දත හැකිය. එම ස්භාවික සූත‍්‍රය යුරෝපීය පාලන සමයෙන් පසු ක‍්‍රියාත්මක නොවීම ද්‍රවිඩකරණයට මූලික හේතුවයි.
        මෙලෙස ද්‍රවිඩකරණයට පත් ප‍්‍රදේශ තමන්ගේ ප‍්‍රාන්තයක් ලෙසට සැලකීම ඉන්දියාවේ වත්මන් වුවමනාවයි.   මේ ප‍්‍රදේශ දෙමළ අයගේ පමණක් නිජ භුමි නොවන බවට රට  තුල කතිකාවතක් ගොඩ නැගී තිබුණද එය ජාත්‍යන්තරව සංනිවේදනය කරලීමට රජය අසමත් වී ඇත. එයට හේතුව බහුතරයක් දේශපාලකයින් සහ නිළධාරීන් දෙමළ පාළාත් නම් ව්‍යුහය පිළිගන්නා බැවිනි. ඊට අමතරව මේ රටේ නිළධාරි තන්ත‍්‍රය විදේශ වලින් නිරන්තරයෙන් පඩි කෑම අනෙක් හේතුවයි.  ලෝක බංකුව වේවා ආසියානු සංවර්ධන බැංකුව වේවා ඒ ආයතන තුල වැජඹෙන ලාංකීය නිළධාරීන් කටයුතු කරන්නේ රටට හිතවත් ආකාරයට නොවේ.   දැන් කලක පටන් ඉන්දීය ගැති නිළධාරීන් පිරිසක් ද ඉන්දීය වුවමනාවන් ඉටුකර දීමට සැදී පැහැදී සිටිති. සීපා ගිවිසුම හා ඉන් පසු පස පැමිණි වෙළෙඳ ගිවිසුම් සකස් කර ඉන්දියාවට වාසි දායක ලෙසට සියල්ල පිළිවෙල කර දීමට මේ පිරිසට හැකියාව හා බලය හිමි කර දී තිබේ. එසේම වමේ දේශපාලකයින්ද ජවිපෙ කැරලි කණ්ඩායම් ද අඩු වැඩි වශයෙන් ඉන්දියාවෙන් යැපෙන්නන් වෙති. ඉන්දීය රහස් ඔත්තු සේවා විසින් මේවා සූක්ෂම ලෙසට කළමණාකරණයට ලක්කරති.
      පළාත් සභා වලට ඉඩම් හා පොලිස් බලතල ලබා දීමෙන් ස්වයං පාලනයකට දොර විවර වන බවද අනතුරුව ඉන්දීය ගැති වෙනමම පළාතක් හෝ ප‍්‍රාන්තයක් ලෙසට එය පාලනය කළ හැකි බවට තක්සේරුවක් තිබේ. හිටපු ඉන්දීය අගමැති වරයෙකු  වන නේරු ගේ පවා එවැනි අදහසක් පිහිටා තිබුණි. දැනටමත් ලංකාවේ අනෙකුත් පළාත්සභා තුල ක‍්‍රියාත්මක වන බලය ඉක්මවා යන ක‍්‍රියාකාරකම් කවුරුත් හොඳින් දනිති. ඒවායේ පළාත් මහ ඇමතිවරුන් ගේ අත්තනෝමතික පාලනයන් සහ රාජ්‍ය දේපළ අනිසි පරිහරණයන් රටකට ඔරොත්තු නොදෙන තරම්ය.  ඊනියා දෙමළ පළාත් වල මේවා ක‍්‍රියාත්මක වන්නට පටන් ගත් විට තත්වය තවත් දරුණු වෙනවා නිසැකය. වෙසෙසින්ම පොලිස් බලතල මත පළාත් ත‍්‍රස්තවාදයක් ඉන්දීය ආශිර්වාදයෙන්ම ඇති වනවා නිසැකය.
      මේ සමගම උතුරේ ක‍්‍රියාත්මක නව ක‍්‍රිසතියානිකරණය  ගැන ද කිව යුතුය. පැරණි පුරාවිද්‍යා ස්ථානයන් ආශි‍්‍රතව විහාරස්ථාන ඇති කිරීමට සිංහලයින්ට ඉඩ නොදෙන අතර ඇමෙරිකන් ගැති දේව සභාවලට ඒ සඳහා ඕනෑ තරම් ඉඩ කඩ විවරව ඇත. දැනටමත් කුරුස ගසා ඉඩම් ද වෙන්කර ගෙන ඇත. ඒ 9 මාර්ගයේ මාන් කුලම් වල සිට පල්ලි විසි පහක් පමණ දක්නට ලැබෙන බව කිව යුතුය. බලය බෙදා ගැනීමේ වුවමනාව සහ යටි අරමුණු මෙයින් හොඳ හැටි පිළිබිඹු වේ.ජිනීවා උගුල ඇටවීහ පිණිස පල්ලියේ පූජක තුමන්ලා දරන ලද දායකත්වය මෑතකදී හොඳින්ම පෙන්නුම් විය. රජය මේ පුදගලයින්ට අවනත් වී සිටී.
      රජය හා ජාතික බල වේග එක මතයකට පැමිණියේ ඒකීය රාජ්‍යයක් ඇති කරලීමේ පොරොන්දුව මතය. යුද්ධයට නායකත්වය ලබා දී වත්මන් ජනාධිපතිවරයා එය ඉටුකර ඇත. දැන් ඇත්තේ එම ඒකීය ජාතික රාජ්‍යය තුල සියලු ජන වර්ග අතර එක්සත් බාවය ඇති කරලීමයි. එහිදී මේ රටේ භුමි පුත‍්‍රයින් වන සිංහලයින් වෙනුවෙන් කළ යුතු යුතුකම් රාශියක් රජයට ඉතිරි වී තිබේ. වෙසෙසින්ම බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශේෂි යුතුකම් කොටසක් ඉටුකළ යුතුව ඇත.  තමන්ගේ රට තුල සාමයෙන් විසීමටද දේශිය සංස්කෘතිය හා බද්ධ වීමටද අනෙකුත් ජන වර්ගයන්ට අවස්ථාව සලසා දිය යුතුය. එහිදී ඔවුන්ගේ ඉන්දීය ගැති මානසිකත්වය ඉවත් කිරීමටද කටයුතු කිරීම සඳහා ද වැඩ පිළිවෙලක් තිබිය යුතු යයි සිතමි. එසේ නොවුණහොත් එක් පැත්තකින් උතුරේ දෙමළ නායකයින් ගේ උසි ගැන්වීම මත දෙමළ ජනතාව නැවතත් රජයට එරෙහිව ඉදිරියට පැමිණීම නොවැලැක්විය හැකිය. එසේම ජාතික බල වේග රජයෙන් ඈත් වී කලකින් උදා වූ ස්වර්ණමය අවස්ථාව විනාශ වී යනු නියතය.

2012 -03-11 දිවමිණ

                                                                        

        
     

Wednesday, March 7, 2012

යාන් ඔයේ ජල කඳ මුහුදට නැමුණූ-පාත් වෙන්න හැදුවේ වැව් හොය අමුණූ


                  පදවිය සහ වාහල් කඩ වැව් යුගලය ලංකාවේ මහා වාරි සමිප‍්‍රදායට අයත් විශ්මිත නිර්මාණ වෙති. එයට අමතරව මේ වැව් දෙකට වඩා කුඩා නමුත් ප‍්‍රමාණයෙන් විශාල තවත් මහා වැවක් පදවිය වම් ඇළයේ තිබූ බව ද පැවසේ. මේසා මහා දිය රඳනයන් උදෙසා පිළිවෙලින් මහා සාගරය බෑන සාගරය සහ මති සාගරය යන නාමයන් යෙදී තිබුණේ යැයි පුරාතන වාරි මාර්ග ග‍්‍රන්ථයේ සඳහන් වෙයි. පදවිය පිළිබඳ ඉතිහාසය විමසීමේ දී එහි ආරම්භය මහ සෙන් සමය දක්වා දිව යන බව පැවසෙයි. රත්මල් කන්ද නමින් සටහන්ව ඇති වැව මෙය යයි මතයෙකි. නමුත් ලංකා විශ්ව විද්‍යාලීය ලංකා ඉතිහාස කෘතියේ සඳහන් ව පවතින්නේ එය දෙවනි මොග්ගල්ලාන( ක‍්‍රි.ව. 535-555) සමයේ දී ඉඳි කරන ලද්දක් බවයි. එය කලින් ධන වාපී නමින් සිටි බවද එහි ඇතුලත් ව ඇත.
     පදවිය වැව අක්කර හැත්තෑ දෙදහස් පන්සීයක් පමණ ප‍්‍රමාණයක පැතිරී තිබෙන අතර කුඹුරු අක්කර 13000 ක් පමණ ඉන් අස්වැද්දීම කෙරෙයි. පදවිය වැවට පහළින් තිබෙන  මොරගොඩ ගමේ තිබෙන දහ වන සියවසට අයත් ටැම් ලිපියක පදොන් නරු කුළිය යයි මේ වැව හඳුන්වා දී තිබේ. පදවියට ඉහළින් ගලා එන මොර ඔය සහ මුගණු ඔය තිබෙන්නේ කුංචුට්ටු කෝරළය බදවයි. වාහල් කඩ ට ජලය සපයන තවලම් හල්මිල්ලෑව ඔය පිහිටා තිබෙන්නේ හුරුලු පළාතේ මහ පොතානේය. මේ ජල මූලාශ‍්‍ර සියල්ල නියන් කාලයේ දී සිඳී යයි. 
    වාහල් කඩ වැව පදවියට හාත්පසින්ම වෙනස්ය. එය පිහිටුවා තිබෙන්නේ හල්මිල්ලෑව ඔය ගලා යන නිමිනයේ තිබෙන කඳු වැටි කීපයක් එකට යා කරමිනි. මේ නිසා වැව් බැමි දෙකක් මෙහි පිහිටා තිබේ. ඒවා දිගින් විශාල නැත. පුරාණ කාලයේ දී වැව් බැමි දෙකට අදාලව සොරොව් දෙකක් පිහිටා තිබෙන්නට ඇතැයි ආර.එල්. බ්‍රෝහියර් මහතා සඳහන් කරයි. මේ වැව ලංකාවේ පිහිටා තිබෙන රමණිය දර්ශණයන් ගෙන් හෙබි එක් වැවකි. මෛත‍්‍රීපාල සේනානායක මහතා විසින් 1973 දී මේ වැව නැවත පිළිසකර කරන කල්හි මින් එක් බිසෝ කොටුවක් ක‍්‍රියාත්මක කරලීම පසුවට කල්තබා තිබුණි. ඒ නිසා එක් ප‍්‍රදේශයකට වාරි ජලය තවමත් සැපයෙන්නේ නැත.
      වාහල් කඩ වාන්දමන කල්හි එහි ජලය පැන්නුමකින් පිට නොගොස් ආපසු මොර ඔයට එකතු වී පදවිය වැවට පාත් වූ බව පැරණියන් පවසති. මොර ඔය හරස් කර නැබඩ වැව ආසන්නයේ දී අමුණක් බැඳ ඔයේ ජලය වාහල් කඩට ගෙන ගොස් තිබුණි. මෙය යෝධ ඇළකි. මේ අමුණ අසළ ඉරිපින්නියාව නමැති ගමේ තිබෙන දෙවන සේන රජු ගේ කාලයේ දී සිටුවන ලද ටැම් ලිපියක මේ අමුණ ගැන කියැවී ඇත. එහිදී මේ ප‍්‍රදේශය හඳුන්වා දී ඇත්තේ සුළින්නරුගම යනුවෙනි. පදොන්නරු හා සුළින්නරු යනනාම දෙක අනුව මහා සාගරය හා බෑන සාගරය යන්නෙහි සත්‍යතාවයක් ඇතැයි කල්පනා කළ හැකිය. එහිදී සුළින්නරු යනුවෙන් යොදා ඇත්තේ වාහල්කඩ වැවට බව නිසැකය.පෙර සිරිත් සකුර් වඩා හොය කොඩැ බද්බන්දවන්නට්යනුවෙන් සඳහන් සෙල් ලිපි වැකිය මගින් තේරුම් කර දී ඇත්තේ පසු කාලයකදී රජ වරු මේ වාරි මාර්ග නැවත බන්දවන කල්හි පෙර සිරිතටම අනුව කළ බවයි.
         මති සාගරය යනුවෙන් සඳහන් කළ හැකි වැවක් අද දක්නට නොතිබුණද වවුනියාවට මෑතින් තිබූ විශාල වාරි මාර්ග ව්‍යාපාරයක් පිළිබඳ සටහනක් සිතියම් වල අන්තර්ගතය. පදවිය වැවේ වම් ඇළයේ එය පිහිටා තිබුණි යයි සිතිය හැකිය. මෙය නම්බකඩ වැව යයි බ්‍රෝහියර් මහතා හඳුනා ගෙන ඇත. මුගුණු ඔය ඉස්මත්තේ  ඉඳි ගොල්ලෑවෙන් හරස් කර අමුණු බඳවා යෝධ ඇළක් මගින් මෙයට ජලය ගෙන ගොස් ඇති ආකාරය සිතියම් වල දක්නට හැකිය. මේ නිසා වවුනියාවේ විහාරස්ථානයන්හි භික්ෂූන් වහණ්සේලා මේ සාගර තුනේ ජලයෙන් සිය පාත‍්‍රා සෝදා ගත්තා යැයි කියැවෙන ජනප‍්‍රවාදයේ සත්‍යතාවයක් ඇතැයි සිතිය හැකිය.
      හුරුලු පළාත හරහා ගලා යන ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය යාන් ඔයයි. හබරණ රිටිගල කඳු වැටි ආශි‍්‍රිතව පටන් ගෙන පුහුල්මොටේ දක්වා දිවයන මේ ඔය හරස් කර  මහා වැව් තනවා තිබී ඇත්තේ ස්ථාන දෙකකින් පමණි. එකක් හුරුල්ල නොහොත් හුරුලු වැවයි. එය මෑත කාලයේ දී පිළිසකර කර ඇත. අනෙක හම්බාරයාගම වැවයි. එය පිහිටා තිබෙන්නේ හොරොව්පතාන ආසන්නයේ ය. එය දැනට වල්වැදී තිබේ. නමුත් වාහල් කඩ වැනි ප‍්‍රධාන මහා වැවක් පවා සාදා තිබෙන්නේ තවලම් හල් මිල්ලෑව නමැති කුඩා ඔයක් හරස් කරලීමෙනි. මෙයට හේතු භූත වූ රහසක් තිබිය යුතුය.
        යාන් ඔය වසරේ අවස්ථා ගණනාවකදීම ගං වතුරාවට පිරී ඉතිරී පිටාර ගලයි. එහිදී යාන් ඔය පහළ නිම්නය  සැමවිටම පිටාර තැනිතලා බවට පත් වෙයි. සෝදා එන රොන් මඩ සාරවත් පස ආදිය මේවායේ තැන්පත් වෙයි. මේ නිසා මේ පිටාර තැනි මග හැර මහා වැව් තැනවීමේ ශිල්පයක් මෙන්ම සාරවත් ප‍්‍රදේශ පසු බිම් කර ගෙන මහා ගොවි ගම්මාන පිහිටුවාලීමේ බලවත් වුවුමනාවක් පැරණියන්ට තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. පදවිය වැව ඉස්මත්ගේ තිබෙන සමස්ත වැව් කලාපයම ගත් කල්හි  උල්පත් වලින් පෝෂණය වන්නකි. පුංචි උල්පත් නොහොත් කුංචුට්ටු නමින් කෝරළය නම් කර තිබෙන්නේ මේ නිසාය. ඒ අනුව කුඩා වැව් විශාල සංඛ්‍යාවක් මේ පදවියට ජල පෝෂක ප‍්‍රදේශ බවට පත් වෙයි. පදවියට පහළින් වුවද තිබී ඇත්තේ ද මෙවැනිම වූ වැව් රාශියෙකි. මේවා පිරී ඉතිරී ගිය පසු පදවියට පහළින් ඇති මා ඔයට ඔයට පාත් වන අතර වන්නචිචි අමුණ( රිදී බැදිල්ල) මගින් නැවත ජලය  රඳවා උතුරු දෙස තන්නි මුරුප්පු කුළම ට ජලය ගෙන යාමේ ක‍්‍රමයක් පණ ගන්වා තිබිණ.
      යාන් ඔය පහළට ගලා බස්නා කල්හි ඒවායේ දිය දහර ද නොයෙකුත් අකාරයෙන් හරවා ගෙන ගෙස් ඇත. වෙසෙසින්ම හොරොව්පතාන ඉස්මත්තේ තිබෙන වැව් පද්ධතියට ජලය පුරවා ගැනීම ද ඒ ජලය ක‍්‍රමයෙන් පාත්කරමින් යෝධ ඇළ වල් ඔස්සේ වාහල් කඩ සහ පදවිය දක්වා ගෙන යාමද පෙන්වා දිය හැකිය. මේ සඳහා යාන් ඔය දිගටම සාදා ඇති අමුණු රාශියෙකි. කොක් එබේ සිට ම මේ අමුණු වල නටබුන් දක්නට හැකිය.  වාහල්කඩ දක්වා ජලය ගෙන යන ජල මාර්ගය ආරම්භ වන්නේ වඩිගවැව ආසන්නයෙනි. මෙහිදී බැඳි අමුණ ක් ආශ‍්‍රයෙන් ජලය ගෙන වඩිග වැව තිරප්පන් කඩවල මරදන් කඩ වල සිට රළපනාව වැව දක්වා ද ඉන් අනතුරුව ගමන් ගත් යෝධ ඇළ නබඩ වැව පසුකර අඹ ගස් වැව ට වැටේ. අඹ ගස් වැව සිට මූකලාන හරහා කපු ගොල්ලෑව වැවට වැටෙන ජලය එම වැව ඉස්මත්තේ තිබෙන පැන්නුමකින් පසු පත්තෑව ඔස්සේ තාමර වැවට ගමන් ගනී. තාමර වැව පුරාණ විහාර ගමකි. එලෙසම ගබඩා වැවකි. එය පිහිටා තිබෙන්නේ වාහල් කඩ වැවේ ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය වන තවලම් හල් මිල්ලෑව ඉස්මත්තේය. එවිට මෙසේ යෝධ ඇළ දිගේ ඇදී එන ජලයට වාහල් කඩට පාත් වන්නට ඉතා පහසුවෙන් ඉඩ හසර ලැබේ. එසේම ඉන් පසුව ආඬියා වැව මාවත වැව හරහා පදවියට යන්නට ද බාධාවක් නැත.
        මේ ඇළ මාර්ගය ගමන් ගන්නා අතර තුර යට සඳහන් කළ වැව් වලට අමතරව ඒ ප‍්‍රදේශයේ නොයෙකුත් කුඩා වැව් පෝෂණයට මේ ජලය උපකාරි වේ. කුඩා වැවක් යනු පොල්කටුවක් වැනි ජල ගොට්ටක් යයි වර්තමාන වාරි මාර්ග නිළධාරීන් කල්පනා කළහ. ඒ නිසා ඔවුන් නිරන්තරයෙන් පැවසූයේ මේ වැව් උලුප්පා මහා ජලාශයන් පමණක් ඉඳි කරන ලෙසය. නමුත් වැවක පෝෂක ප‍්‍රදේශය ජල උල්පත් ආදිය සලකා බලන කල්හි මේ වැවි වල ජීවමාන ස්වරූපයත් වටිනාකමත් තේරුම් ගත හැකිය. දැනට මේ පළාතේ පානීය ජලය සපයා ගැනීමට ඉතිරී වී තිබෙන එකම ජලාශය වාහල්කඩ වැව බවට පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබේ. කෘෂි රසායන භාවිතය සීඝ‍්‍ර ලෙසට වර්ධනය වුවද ඉස්මත්තේ පවතින මේ කුඩා වැව් වල ජල පෙරහනය නොහොත් කැලෑ සමූහය නිසා මේ සුවිශේෂී තතවය උදා වී තිබේ.
     වාහල් කඩ දකුණු ඉවුරේ පැරණි සොරොව්වෙන් පටන් ගත් ඇළ මාර්ගය යාන් ඔය නිමිනයේ පහළ කොටස අස්වද්දා ඇත. ඊට අමතරව එබේ ඇළ හා යාන් ඔය එකට හමු වන දෙමෝදරට පහළින් තිබෙන තවත් අමුණු දෙකකින් ජලය නැවතත් නිම්නයට ලබා ගෙන කුඹුරු අස්වද්දා තිබෙන බව පෙනේ. මේ අමුණු ලංකාවේ විශිෂ්ඨ වාරි ශිල්පය විදහා දක්වන නිර්මාණයන්ය. ඒවා තවමත් සංරක්ෂණය කොට නැත. යාන් ඔය ඉහළ නිම්නයේ හොරොව්පතාන ආසන්නයේ සෙල්ලිගෙ ඔය හරස් කර තනවා තිබෙන හම්බාරයාගම වැව අද නටබුන් ව තිබුණ ද එයද ගබඩා වැවක් වශයෙන් තිබෙන්නට ඇතැයි සිතිය හැකිය. එසේම දුටු වැව ආසන්නයෙන්  සාදා තිබූ අමුණ ක් නිසා ඉස්සෙන ජලය යාන් ඔය පහළ නිම්නයේ දකුණු ප‍්‍රදේශයට ගෙන යන්නට ඇතැයි ද කල්පනා කළ හැකිය. මේ සියල්ල ඉතා සූක්ෂම ලෙසට සංවිධානය කර තිබෙන්නට ඇත්තේ සාරවත් නිම්නයන් තුල කුඹුරු අස්වැද්දීමෙන් ලබත හැකි ප‍්‍රතිඵල ගැන කල්පනා කොට විය හැකිය. වර්තමාන සංවර්ධන ක‍්‍රියා දාමයන් තුල දී මේ මූල ධර්මයන් නොසලකා හැර ඇත. යාන් ඔය පහළ නිම්නයට යෝජිත ජලාශය පවා සැලසුම් කර තිබෙන්නේ මේ පෙර සිරිත් නොසලකා හරිමිනි. ඒ මගින් පෙර සඳහන් කළ කුඩා වැව් විසි එකකට වඩා වැඩි සංඛ්‍යාවක් උළුප්පා දැමීමට නියමිතය. මෙහිදී පැරණි අමුණූ ශිල්පයත් වැව් පද්ධති ක‍්‍රමයක් නැවතත් පණ ගැන්වූයේ නම් දැනට වන ගතව තිබෙන වැව් දෙසිය හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක්  පණ ගන්වා ලමින් පුහුල් මොටේ දක්වා වූ මහා සංවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හැකිවනවා නියතය.ඒ සඳහා අවශ්‍ය වන්නේ දේශීය දැනුමත් වුවමනාවත් පමණි.