පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, June 24, 2015

සිංහල වඩමාරච්චිය සහ උතුරේ දෙමළකරණය


                             

                     යාපනය ඇතුළු උතුර සහ අලිමංකඩින් මෙපිට වන්නිය දෙමළ ප්‍රදේශ යන ඊනියා හඳුන්වාදීමෙන් කර තිබෙන්නේ ඊලාම්වාදය ශක්තිමත්  කොට නිජ භූමියක අයිතිය හිමිකර දීම පමණකි. නිජභූමි සංකල්පය පදනම්ව ඇරඹි රට බෙදීමේ ව්‍යාපාරය දකුණේ දේශපාලකයන් විසින් ද අද පිළිගනු ලබනහෙයින් බොහෝ දුරට සාර්ථක අඩියට පත්ව තිබේ. නමුත් දෙමළ ආක්‍රමණිකයන් විසින් උතුර අත්පත්කර ගෙන තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව උගතුන් අතර පවා සාර්ථක විමර්ශනයක් මේ වනතෙක්ම සිදුව නොමැත. ඉතිහාසය සැබවින්ම ග්‍රන්ථයන්ට සීමාව තිබේ. නොයෙකුත් අය තමන්ට අවශ්‍ය පරිදි ඒවායේ කොටස් ගෙන ඊලාම් මතවාදය ශක්තිමත් වන පරිදි ප්‍රබන්ධයන් ඇති කර තිබේ. ඇතැම් විට අන්තර්ජාලයේ සැරි සරන්නෙකුට පවා බොහෝවිට හමු වන්නේ මේ විකෘති කරන ලද ඉතිහාස පුවත් පමණකි. උතුරේ දේශපාලන බලය හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන අනුකම්පාව සියල්ල ලැබෙන්නේ මේ නිසයි.

        උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක් තිබුණේද යන්න අසූව දශකයේ පටන් ඉතිහාසඥයන් අතර සාකච්ඡාවට බදුන් වූ කාරණයකි. 1961 වර්ෂයේ දී මහාචාර්ය පරණවිතාන මහාතා ලියූ ඉංග්‍රීසි ලිපියක් පරිවර්තනය කොට  මහාචාර්ය අබය ආර්යසිංහ මහතා පළ කොට තිබූ උතුරුකරයේ  ආර්ය රාජ්‍යය නම් ග්‍රන්ථයේ යාපන රජ පෙළපත පිළබඳව ගැඹුරින් සාකච්ඡා කර ඇත. එසේම මහාචාර්ය විමල විජේසූරිය මහතා මේ සම්බන්ධව දිගින් දිගටම එකළ පුවත්පත වලට ලිපි සැපයූවෙකි. එහෙත් මේ මතවාද තුළින් දෙමල ඊලාම් සංකල්පය දේශපාලනික වශයෙන් පරාජය කිරීමට අසමත් වී තිබේ. කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරන ලද නමුත් ඊලාම් මතවාදයෙන් අන්ධ වූ ජාත්‍යන්තර දේශපාලනයේ මනස් වෙනස් කරගැනීමට මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් දිගින් දිගටම අසමත්ව තිබේ. මේ නිසා අද සිදුව ඇත්තේ නැවතත් උතුර සහ නැගෙනහිර ද දෙමළ ජනතාවට පමණක්ම අයත් භූමි ප්‍රදේශයක්ය යන සංකල්පයට සිර වී පාවා දීම් කිරීමට ඉදිරිපත් වීමයි. එම නිසා දෙමළකරණය ගැන නිවරදි තක්සේරුවක් අප සමාජයට ඇති කරලීමට ගැඹුරු සංවාදයක් අදවන විට අවශ්‍ය ව ඇති බව අපගේ හැඟීමයි. ඒ මන්ද ජාතියක ඉඩම් අයිතිය පොදු දේපළ පිළිබඳ උරුමකම මගින් හිමිකම් ගැන සහතිකයක් ලැබෙන බැවිනි.

         උතුර දෙමළකරණයට බඳුන්වීම පිළිබඳ අවස්ථා තුනක් පෙන්වාදිය හැකිය. පළමුවන තැත ලෙස අපට පෙනී යන්නේ මීට වසර ගණනාවකට පෙර පෘතුගීසි සෙන්පති ෆූටාඩෝ මැඩොන්සා සහ සිංහල කරවයන් අතර  වර්ෂ 1591 දී අත්සන් කරන ලද නල්ලූර් ගිවිසුමයි.1561 වන විට පළමුවන සංකිලි යටත් කොට පෘතුගීසීන් විසින් උතුරේ තෙන්මාරච්චිය පාලනය සියතට ගත් අතර වඩමාරච්චිය හා අනෙක් කොටස් යාපන රජ පවුල් සතුව තිබුණි. නමුත් 1591 දී උතුර අවට මුහුදුකරයේ තිබූ කරවයන්ගේ බලය නිසා රජපවුල පසෙකට කර කරවයන්ගේ බලය ඉස්මතු වන ලෙසට පසුබිම සකස් වුණි. නල්ලූර් ගිවිසුම එහි ප්‍රතිඵලයකි. මෙ ගිවිසුම සම්පූර්ණයෙන්ම සකස්ව තිබෙන්නේ සිංහල භාෂාවෙන් බව අප අසා ඇත. එහෙත් අද එය දක්නට නැත. එස්.ජී.පෙරේරා පියතුමා සිය ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් කර ඇති පරිදි යාපන රජු ගේ පුත්‍රයා සයිමන් පින්තෝ විසින් යටත් කරගැනීමද ( මෙම පුවත සමන්දේවාල ගල් කැටයමේ සටහන්ව තිබේ.) පෘතුගීසීන්ට අවනතව රට පාලනය කරලීම පිණිස පරරාජසේකරන් රජු බවට පත් කිරීමද එකවර සිදුව තිබේ. මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ මෙම පසුබිම තුළය. ඒ අනුව උතුරේ වැසියන් ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට පරංගීන් ගිවිසගෙන ඇති නමුදු පසුව ඇතිවූ සිදුවීම් වලදී සිංහලයන් රාශියක් ඝාතනයට ලක්ව තිබෙන බව පෙනේ.

        දෙමළකරණයට ලක්වූ දෙවනි අවස්ථාව ලන්දේසි යුගයයි.ලන්දේසීන් ගේ ආගමික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම පිණිස ලංකාවට පැමිණි පිලුප්පුස් බල්දෙයස් නම් පූජකයා රචනා කළ(True and exact description of the  great island of Ceylon ) නම් ග්‍රන්ථයේ උතුරේ තිබූ සිංහලගම්මාන  හා ස්වදේශිකයන් වන සිංහලයන් ගේ ක්‍රියාකාරකම් වෙනස් කිරීමට ගත් පියවරයන් දක්වා තිබේ. අච්චුවේලි හි පිහිටා තිබූ විහාරස්ථානය අසලදී පිලිප්පු ඩි ඔලිවේරා විසින් සිංහල හමුදා පරජයට පත්කරන ලද බව මෙම ග්‍රන්ථයේ සඳහන්ය. දැන් දක්නට තිබෙන්නේ එම විහාරයේ නටබුන් සහ විශාල ළිඳ පමණක් බව බල්දෙයස් දක්වා තිබේ. ඊට අමතරව චන්ගානේ  උරේපුට්ටි පරේතිතුරේ මුහමලේ කාටවෙල්ලි යන ස්ථාන වල පිහිටා තිබූ බෞද්ධ විහාර භූමි වල තමන් ගේ රෙපරමාදු පල්ලි පිහිට වූ බව ඔහු පිළි ගෙන තිබේ. එහිදී ඉතිරී වූ ස්ථුපයන්හි නටබුන් එම පොතේ චිත්‍ර සටහන්  වලින් පෙන්නුම් කර තිබේ.උදාහරණයක් වශයෙන්මෙම ග්‍රන්ථයේ 323 පිටුවේ දක්වා ඇති මනිපායිහි ඉඳිකර තිබෙන රෙපරමාදු පල්ලිය ගැන ඔහු දැක්වූ අදහස පෙන්වා දිය හැකිය. මෙම පල්ලිය විශාලය. එකවර 2000 කට පමණ රැඳී සිටිය හැකිය.පල්ලිය ඉඳිකර තිබෙන්නේ තල් අතු සහිත වරිච්චි මැට්ටෙනි. පල්ලිය ඉදිරිපස මනරම් දර්ශනයකින් හෙබි වැවකි. එහ ආසන්නයේ පැගෝඩාවක් (විහාරයක් ) පිහිටා ඇත. මෙහි ජීවත් වන්නේ මඩප්පුලි කුලයට අයත් මිනිසුන්ය.බල්දෙයස් සිංහලයන් ගැන සඳහන් කර හැම විටම ස්වදේශිකයන් ලෙසට හැඳින්වීමටත් දෙමළ අය හැඳින්වීමේදී මලබාර් යන නාමය යෙදීමටත් උත්සුක වීඇති බව මෙහිදී  සඳහන් කළ හැකිය.

           එමෙන්ම නෙදර්ලන්තයේ ( Beeldbank National Archives ) හි තැන්පත් කර තිබූ 1695 වර්ෂයට අයත්  උතුර පිළිබඳ සිතියම් වල වැලිගම නොහොත් වලිකාමම් පළාතේ සිංහල ගම්මාන පණහක් දක්වා තිබේ. ඒ අතර චෙල්ලාලේ තල්වාන පූනාල බටකෝට්ටේ එළුවිල කොට්ටියවත්ත මලලගම තොලිපළ මහමුලන මනිපාය මල්වත්ත සියනෑවත්ත තඹාල අවිස්සන්ගල්ල මැදගල්ල උන්විල තෝඩමලය කොන්ඩාවිල කකුවිල කෝපාය ආදිය දැක්විය හැකිය.හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එම්.එච්.සිරිසෝම මහතා රචනා කළ උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය නම් ග්‍රන්ථයේ මේ ස්ථාන වලින් හමුවූ  බ්‍රාහ්මී අක්ෂර සහ බෞද්ධ පුරාවස්තු ගැන සඳහන් කර ඇත.  පැරණි ලෝහ මුද්‍රාවක් සම්මුඛ වූ ආනකෝට්ටේ ගම්මානය ද සිංහල ගම්මානයකි    .  යාපන අර්ධද්වීපයේ දකුණට වන්නට පිහිටා තිබෙන තෙන්මාරච්චි පළාතේ  සිංහල ගම්මාන පහළොවක් තිබේ. වර්තමාන යාපනයේ තිබෙන එකම සිංහල ගම්මානය වන නාවක්කුලියද ඊට අයත්ය. වඩමරච්චි  පළාතේ සිංහල ගම්මානයන් දහසයක් තිබූ බව සටහන්ව ඇත. වඩමරච්චි පළාතේ අදටත් ටික්කම නමින් ගමක් තිබේ. ටිකාගෝත්‍රය ගැන අභය ගිරි තඹතහඩු ලිපියේද සඳහන්ය. මේ ටිකා ගෝත්‍රයට අයත් අලකේශ්වර පරපුර පල්ලව රාජධානියේ සිය බලය තහවුරු කර ගැනීමෙන් පසු ලංකාවට පැමිණ මානවර්මන් නමින් ලක්දිව රජ බවට පත් බව මහාවංශයේ ඇත. මේ පරපුරේ උග්‍රසිංහ නම් කුමාරයෙකු වඩමාරච්චියට පැමිණ එහි බලය තහවුරු කර ගෙන තිබෙන්නේ නව වන සියවසේදී පමණය. ඊට සමගාමීව දෙවුන්දර තුඩුවේද එම පරපුරේ තවත් කුමාරයෙකු බලය තහවුරු කර ගෙන තිබේ. මාන කුමාරයාගේ නමින් වඩමරච්චියේ මානයි වත්ත යනුවෙන් ගම්මානයක්ද ඇත. මේ ටිකා ගෝත්‍රය ගොඩ නැන්වූ සාගර වෙළෙඳ බලය ටිකා අන්නුරුවාර් නමින් ව්‍යවහාර විය. පසු කාලයේදී මේ සාගර බලය කරවයන් අතටද දෙමළ වානිජයන් අතටද මාරු විය. රාමේශ්වරමේ සිට ලංකාවට ඇති කෙටිම මග සේතුව පාලනය ආරම්භ කලේ සිංහල රජවරුන් නමුත් පසුව දෙමල වානිජයන් විසින් එම බලය උකහාගෙන තිබුණි. පච්චලීපලේ පළාතේ ගම්මාන පහළොවක්ද සඳහන් කර තිබේ. පරංගි ඉතිහාසඥ ක්වේරෝස් පූජකවරයාගේ  ග්‍රන්ථයේ ප්‍රථම වරට ජන සංගණන වාර්තාවක් පළ කර තිබේ. එහිදී හෙළි වන්නේ උතුරේ බහුතරයව සිට ඇත්තේ සිංහළයන් බවයි.කාරදිව නයිනදිව කැස්බදිව  පුළිඟු දිව වැනි යාපන අර්ධද්වීපයට සමීප කුඩා දිවයින් වල පවා බහුතරය සිංහලයන් ලෙසට ඔහු දක්වා තිබේ. ඉන් වැඩිම සිංහල ජනගහනයක් ජීවත්ව සිට ඇත්තේ වර්තමාන කයිට්ස් දූපතේය.   කතෝලිකාගමට හරවා ගැනීමද රෙපරමාදු ආගමට හරවා ගැනීමද නිසා උතුරේ සිංහළයන් ක්‍රමයෙන් වන්නියට හා උඩරටට සංක්‍රමණය වී තිබේ. ලන්දේසීන් ගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ අලි ඇතුන් වෙළෙදාමත් පුවක් වෙළෙඳාමත් දුම්කොළ හා කපු වැවීමත්ය.  ජන ශූන්‍ය වූ උතුරේ සිය සමාගමට අවශ්‍ය ආර්ථික කටයුතු සම්පාදනය කරගැනීම පිණිස ඔවුහු දකුණු ඉන්දියාවේ සිට දෙමළ වහලුන් ගෙන්වීම හා උතුරේ හා වන්නියේ පදිංචි කිරීම  මගින් උතුරේ දෙමළකරණයට මග විවර වූ බව පැහැදිලිව පෙන්වා දිය හැකිය.

         තෙවනි අවස්ථාව නම් ඉංග්‍රීසීන් විසින් තෙසවලාමේ නීතිය පිළිගත් නීති සංග්‍රහයක් බවට පත් කිරීමත් සිය මිනුම්දෝරු සිතියම් වල සිංහලගම් නම් වෙනුවට දෙමළ ගම් නම් ඇතුලත් කිරීමයි. මේවා බොහෝ දුරට සිදු වූයේ එකල මිනුමදෝරු පාටියේ දෙමළ නිළධාරින් නිසා බව කියවේ. උතුරු හා නැගෙනහිර පළාත් වල ද්‍රවීඩීකරණය වූ සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ මේ නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍ර යෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත. ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.

             දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිංහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමළ භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු දෙමළ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික දෙමළ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.දැන් තත්ත්වය දරුණු අතට හැරී තිබේ. ඉන්දීය වුවමනාවට සහ බටහිර වුවමනාවට අවශ්‍ය පරිදි උතුරේ දෙමළකරණයට අවශ්‍ය සහතික සහ දේශපාලන බලය ලබාදීම සිදු වේ. හතරවටින්ම සිංහල ජනතාව කොටු වෙමින් සිටින අතර දෙමළ මුස්ලිම් චන්ද නිසා සිංහල දේශපාලනඥයන් ඔවුන් වෙනුවෙන් ස්වයං කලාප ඇති කිරීමට සූදානම්ය. ඉතිහාස ඔප්පුව ලේඛනාගාර වල සේප්පු වල දමා යතුරු දමා  සිංහලයන් පක්ෂ වලට බෙදී කල්ලතෝනීන්ට රට දීමට සූදානම්ව සිටිති.මෙය සැබවින්ම ඛේදවාචකයක් නොවේද.

 


 

 

Saturday, June 6, 2015

මර උගුල් ජල ප්‍රතිපත්තිය යළිත් කරළියට


                                      

 

                 මෝසම් වර්ෂා කලාප දෙකකින් පෝෂණය වෙමින් දිවයින පුරා ජල උල්පත් මෝදු කරන අපූරූ ක්‍රියාත්මක සැලැස්මක් හිමි රටක වර්තමානය  වන විට ජලය ප්‍රශ්ණයක් බවට පත් වෙමින් ඇත. එයට හේතු ලෙස සැලකිය හැක්කේ අධික ලෙස කෘෂි රසායන භාවිතය කාර්මික අපද්‍රව්‍ය මුදා හැරීම වැනි කාරණාය. එලෙසම නවීන සංවර්ධන ක්‍රියාදාමයන් මගින් ඇතිකරන ලද අහිතකර ප්‍රතිඵලයන්ද ඉතා සූක්ෂම අන්දමින් මේ ජල දූෂණයට බලපාන බව කිව යුතුය.වර්තමානය වන විට පානීය ජලය පිළිබඳ සංකල්පය ඉතා සංකීර්ණ අඩියකට පත් වෙමින් ඇත. නල ජලය මගින් පැන්ලබා දීම රජයේ වගකීමක් ලෙසට සැලකේ. රටපුරාම පානීය ජලව්‍යාපෘති ඇති කිරීමට  විදේශ ආධාර මත විශාල ව්‍යාපෘති ගණනාවක්ම පසුගිය කාලයේ දී ක්‍රියාත්මක කරන ලදී. ඒ වායින් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක නමුදු සමහරක් අතහැර දමා තිබේ. මේ අතහැර දැමීම් වලට හේතුව කිවුල් ජලය මගින් විස වීම හෝ උල්පත් සිඳී යෑමයි.

          රටේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන රජයයන් අළුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබදව ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්‍යාඥයන් ගේ අදහස් සෘජුවම භාවිතා කර නැත. ඒ වෙනුවට විදේශ වල අත්දැකීම් සංවර්ධන ක්‍රියාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද සංකල්ප මත එම ප්‍රතිපත්ති සකස් කර තිබේ.ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව  සමග 2000 වසරේ දී ලෝන් ශ්‍රී  1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා  කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත් කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය.මෙම යෝජනාවට අනුමැකිය හිමි වූයේ 2000 මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්‍ර සංකල්පය මෙහිදී ඉදිරිපත් විය.නමුත් ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්‍රියාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිළධාරීන් ගේ පෙළඹවීම මත 2004 වසරේදී ද මෙම ක්‍රියාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය.එවක ඉදිරිපත් වූ රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම නමින් වූ තවත් පත්‍රිකාවක් මුද්‍රණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කර ක්‍රියාත්මක කෙරේ යන්නයි. අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්‍රතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නාලදී.  එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව හා ජාතික ජල සම්පත් කළමණාකරන අධිකාරිය පිහිටුවීමයි.එවක සිටි නිළධාරීන් බොහොමයක්ම ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්‍රතිපත්ති සකස් කිරීමට විදේශගත ධනය කෙතරම් යෙදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියළුම ගංගා ද්‍රෝණි ආවරණ කරමින් අධිකාරියක් පිහිටුවීමයි.නමුත් මේ ක්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසී වී යෑමේ තර්ජනය මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරි පත්වූ එම යෝජනාව පරාජය කරන ලදී.

         2008 වසරේදී  ද මෙම යෝජනාව හිටපු ජල සම්පත් අමාත්‍ය වරයා වූ චමල් රාජපක්ෂ මහතා විසින් නැවතත් කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන ලදී.1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පණතේ 16 ( 4) (2) වගන්ති අනුව 2008 /07/09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙය ඉදිරිපත් කර තිබුණි. එහි අරමුණ වූයේ ජල සම්පත් පුද්ගලිකකරණය සඳහා රෙගුලාසි පැනවීමයි.හොර ඔප්පු ලීවාට ජලය විකුණන්න බෑ යනුවෙන් මා විසින් 2008 සැප්තැම්බර් 07  ඉරිදා දිවයින පත්‍රයේ මෙම කරුණු පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පළ කරන ලදී. කෙසේ වෙතත් එකල ඇති වූ විරෝධය නිසා රජයට මෙම රෙගුලාසි ද හකුලාගන්නට සිදු විය.

       මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා  යහපාලනයක් තේමා කර ගත් නව රජයක් බිහිවී දැනට දින සීයයක්  ඉකුත් ව ඇත. එහිදී ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු වන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් නැති වී යනු දක්නට ලැබේ. පැරණි එක්සත් ජාතික පක්ෂයට ආවේණික දූෂණයන් සහ බලහත්කාරයන් ඉස්මතු වෙමින් පවතී. ඒ අතර බටහිරයන්ට අවශ්‍ය වූ දැනට ප්‍රමාද වී පවතින න්‍යාය පත්‍ර තුළ පවතින කරුණු ද එකින් එක කරළියට දමමින් ඇත. ජලය විකිණීම සඳහා 2000 වසරේදී ගෙනා යෝජනාව දැන් නව මුහුණුවරකින් වර්තමාන අමත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබේ. වර්තමාන ජල සම්පත් අමත්‍යවරයා වන රවුෆ් හකීම් මහතා එම තනතුරට පත් වී නොබෝ කලකින්ම එනම් 2015 මර්තු මස 28 ඉදිරි පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට  මෙම යෝජනාව ඇතුළත්ව තිබීමම බරපතල කරුණකි.මෙහි මූලික අරමුණ වන්නේ දැනට කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැලි ගොඩ දැමීමෙන් සෝදා පාළුවෙන් සහ නාගරික සංවර්ධනය නිසා දිය බෙත්මයන් තුළ සිදු වන දූෂණයන් වැලැක්විමට නීතිමය ප්‍රතිපාදනයන් සැලැස්වීම යනුවෙන් දක්වා තිබේ. දැනට ගංගා වල වැව් වල හා ජලාශ වල  ජලකළමණාකරණය ඉටු කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියයි. එයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල  වන ජීවී හා වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තු යටතේ පවතින වපසරියන් මත නීතිය ක්‍රියාත්මක වේ. මේ ආයතනයන්හි පරිපාලනයේ අඩු ලුහුළඩුකම් තිබෙන බව සැබෑය. එයට ප්‍රධාන හේතුව වන්නේ කාලාන්තරයක් තිස්සේ  රාජ්‍ය සේවය කඩා වැටීමයි. නැතහොත් පක්ෂ දෙශපාලනයට නතු වීමයි. ඒ අතර අල්ලස හා දූෂණයද පවතී. රජයේ ඉහළින් එන ප්‍රතිපත්ති මත ඇතැම් කාර්මික ව්‍යාපාර ක්‍රියාත්මක වීම මත ග්‍රාමීය ඉඩම් සමූහ වශයෙන් විනාශයට පත්ව තිබේ.කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට සහ අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කරලීමට තාක්ෂණික සංකල්ප සහ නව නිපයුම් හඳුන්වා දී ඇති නමුදු ප්‍රාග්ධන හිමියන් ඒවා ක්‍රියාත්මක කරනුයේ වාර්ෂික බලපත්‍ර ගැනීම පිණිස පමණකිය.ඇතැම් විට පරිසර නිළධාරීන්ට අල්ලස් හෝ සන්තෝෂම් දී ගැටළු යටපත් කර අපද්‍රව්‍ය සෘජුවම ජල මූලාශ්‍ර වලට මුදා හරියි.එවිට ප්‍රශ්ණය පැහැදිලිය. යටත් විජිත යුගයේදී පවා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම උදෙසා කරන ලද කාර්ය භාරයන් අද අකර්මණ්‍ය ව තිබේ. එසේ හෙයින් නව ගංගා ද්‍රෝණි අධිකාරියක් පිහිටුවීමෙන් මේ ප්‍රශ්ණයටන්ට පිළිතුරු ලැබේ යැයි සිතුවහොත් එය මුලාවකි.

           රවුෆ් හකීම් අමත්‍යවරයා විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන ලද  15/0483/6/009  අංක දරන සංකල්ප පත්‍රිකාව  පරිස්සමින් කියවාබලන කල්හි. 2000 වසරේදී ඉදිරිපත් කරනලද ජල විකුණුම් බලාපොරොත්තු සියල්ල මෙහි අන්තර්ගත ව ඇති  බව පැහැදිළි වේ. දැනට වාරිජලය විශාල වශයෙන් පරිහරණය කිරීම ජලාශ නඩත්තු කිරීමට විශාල මුදලක් වැයවීම සහ වාරි ජලය ගොවීන්ට බෙදා දීම සඳහා කිසිම ගාස්තුවක් අය නොකිරීමද මෙම සංකල්ප පත්‍රිකාවෙන් ප්‍රශ්ණ කොට තිබේ. එයට අමතරව ගංගා ද්‍රෝණි අධිකාරිය පිහිටවූ පසු එම අයතනය නඩත්තු කිරීමටද ජල මූලාශ්‍ර පරිහරණය කිරීම උදෙසාද ජල බලපත්‍ර ක්‍රමයක් ඇතිකිරීමට මෙහි යෝජනා කර තිබේ. මෙහි අදහස නම් පවත්නා වාරිමාර්ග අංශයන් ක්‍රමයෙන් බෙලහීන කොට එක් අධිකාරියක් යටතට ගෙන පෞද්ගලික අංශයේ සාභගිත්වයෙන් ජලය පරිහරණය කිරීම උදෙසා නීතිමය හා ආයතනික ප්‍රතිපාදන සැලැස්වීමයි.ඒ සඳහා ලංකාවේ දැනට භාවිතා කරනු ලබන පානීය ජල මූලෘශ්‍රයන් සහ තොග වශයෙන් භාවිතා කරන වාරි ජල මූලාශ්‍රයන් එකම ආයතනික ව්‍යුහයක් යටතට ගෙන එයට අවශ්‍ය ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් සහ විධානයන් සැපයීම සහ ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය සිදු කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද ස්ථාපිත කිරීමද මෙහි අරමුණයි.

        ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය ඉතිහාසයේ යුගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන්  ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන තරම්ය. ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිළධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්‍රියාත්මක කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈතකාලයකදී පිහිටවූ ජාත්‍යන්තර වාරි කළමණාකරණ ආයතනය  මත යෑපීම ආරම්භ වූ දා පටන්ම එය එසේ වෙයි. ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක මහවැලි ව්‍යාපාරය විදිලි උත්පාදන ව්‍යපෘති සියල්ල අද වන  විට පරිසරයට බෙහෙවින්ම තර්ජනයක් බවට පත්ව ඇත්තේය. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදෙස් මත ලංකාවට ආදේශ කරන ලද කෘෂි රසායන හා රසායනික පොහොර නිසා ජල දූෂණය වී රජරට ජනතාව සදාකාලික රෝගීන් කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ තව දුරටත් ජාත්‍යන්තර ආයතන වලින් උපදෙස් ලැබ ගෙන මෙරටේ ජල සම්පත් පරිහරණය වෙළෙඳපළට ගැට ගැසීමට දරන උත්සාහයන් සංකල්පයන් ලෙස භාර ගැනීම කෙතරම් ප්‍රඥාගෝචරද යන්න සලකා බැලිය යුතුය. යහපාලන මුහුණුවර ඉදිරියට දමමින් ජල බූවල්ලන්ට රට වෙලා ගැනීමට ඉඩකඩ සැලැස්වීම මෙන්ම රට අස්ථාවර කිරීම  තේරුම් ගැනීමට කාලය පැමිණි ඇති බවද මෙහි දී අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

 
 

Friday, May 8, 2015

ආණ්ඩුව කුත්තු කර ලබා ගත් විල්පත්තු බල කඳවුර


                               

                                       

                        ලංකාවේ ජාතික වන උයන් අතර මුල් තැනක් හිමිවන විල්පත්තු අභය භූමි සීමාවේ තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනන්තරයෙන් අක්කර 1080 ක ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර නැවත පදිංචි කිරීම් වලට දුන් පුවත වාර්තාවන්නේ පසුගිය අවුරුද්දේ බොදු බල සේනා ව විසින් කරන ලද හෙළිදරව් මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ යුගයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතාට මේ චෝදනාව දැඩි ලෙස එල්ල විය. ඔහු එයට පිළිතුරක් දුන්නේ නැත. දැන ගන්නට තිබෙන පරිදි   රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි රිෂාඩ් බද්යුදීන් මහතා  උතුරු වසන්තය තේමා කොට ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත මුස්ලිම් ජනතාව පදිංචි කොට තිබේ.

        නැවත පදිංචි කිරීම සඳහා පදනම් විය යුත්තේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාවයි.වසර තිහක් තිස්සේ ඇති වූ කලබල වලදී සිංහල මුස්ලිම් සහ දෙමළ යන ජන කොටස් සියල්ල අවතැන් විය.අනාථ කඳවුරු වල කාලයක්ම ගතකරන්නට ඔවුනට සිදු විය.එහෙත් සිංහල ජනතාව අවතැන් විම ආරම්භ වන්නේ විසිවන සියවසේ අසූව දශකයේ සිට නොවේ. එය දහ අට වන සියවස තෙක්ම ඇදී යන ප්‍රශ්ණයකි. ලන්දේසීන් විසින් ඉන්දියාවේ සිට ගෙනා මලබාර් වහලුන් උතුරේ පදිංචි කිරීමත් සිංහල බෞද්ධයන්ගේ විහාරස්ථාන කඩා රෙපරමාදු දේවස්ථාන ඉඳි කිරීමත් යන කාරණා නිසා සිංහලයන් ක්‍රමයෙන් උතුරෙන් අවතැන් වීම පටන් ගත්හ.මන්නාරම් දිස්ත්‍රික්කයේ තත්ත්වයද එසේය. එම පෙදෙසේ පවතින පුරා වස්තු දෙස බලන කල්හි අතීතයේ කෙතරම් විශාල සිංහල ජනගහනයක් වාසය කරන්නට ඇත්දැයි කල්පනා කළ හැකිය. මන්නාරම් දිස්ත්‍රික්යේ සිංහල ජනගහනය 1981 දී 8710 ක් වූ බව සටහන්ව ඇත. මුස්ලිම් ජන ප්‍රමාණය 30079 කි. දෙමළ ජන ප්‍රමාණය 54106 කි.  වසර තිහක කාලයකදී මේ ජන කොටස් තුනම යම්කිසි වර්ධනයක් දැක්විය යුතුය. එහෙත් කොටි ත්‍රස්ත කලබල නිසා විශේෂයෙන්ම සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි විය.ඔවුන් ගේ ජනගහනය 2001  වර්ෂය වන විට 282 දක්වා පහළ බැස තිබුණි.එසේ වූවිට අවතැන් වූවන් පදිංචි කිරීමේදී යම්කිසි විධිමත් ක්‍රමයකට එය කළ යුතුව තිබුණි. නමුත් සිදු වූයේ දෙමළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට පමණක් මුල් තැන් ලැබීමයි. මන්නාරම් දිස්ත්‍රික්යේ වාසය කළ දෙමළ ක්‍රිස්තියානි ජන කොටස් වලට එහිදී විශේෂ අවස්ථාවක් හිමි විය.

           පසුගිය රජයේ කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති රිෂාඩ් බද්යුදීන් මහතා ගේ මැදිහත් වීම මත මුස්ලිම් ජන කොටස් නැවත පදිංචි කිරීම ආරම්භ කොට ඇත්තේ  කටාර් රාජ්‍යයේ නායක ශෙයික්  අහමඩ් බින් ජාසිම් සහ ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා  අතර ඇතිවූ සම්මුතියකට අනුවයි. ඒ අනුව  කටාර් ජනාධිපති අනුග්‍රහය දක්වන බින් ජාසිම් අරමුදලෙන් මෙයට මුදල් ලැබුණි. විල්පත්තු උතුරු සීමාවට වන්නට පිහිටා තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනාන්තරයෙන් මේ සඳහා ඉඩම් ලබා දී තිබේ. ජාතික පාරිසරික පණත අනුව හෙක්ටයාර් 01 කට වැඩි භූමි භාගයක් වනය හෙළි පෙහෙළි කරන කල්හි පාරිසරික අගැයීම් වාර්තාවක් අවශ්‍ය වේ.එසේම පුරාවිද්‍යා හානි අගැයීම් වාර්තාවක් ද අවශ්‍ය වේ. මෙහිදී ඒ කිසිවක් සලකා බලා නොමැත. ඒ වෙනුවට කටාර් රජයේ සම්පූර්ණ අනුග්‍රහය මත රිෂාඩ් බද්යුදීන් අමත්‍යවරයා මේ ව්‍යාපෘතිය මෙහෙයවා ඇත. සාමාන්‍යයෙන් ඉඩම් බෙදා දීම පදිංචි කිරීම් මෙහෙය විය යුත්තේ ඉඩම් අමත්‍යවරයා විසිනි. නමුත් මෙහිදී ආර්ථික සංවර්ධන අම්‍යවරයාද වන ජීවී ඇමතිවරයාද සෘජුවම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වී තිබේ. එසේම පකිස්ථානයේ අවතැන් වූ මුස්ලිම් පිරිස් මෙහි ගෙන්වා පදිංචි කිරීමද නීති විරෝධී මෙන්ම රජ්‍ය ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව නොකිවමනාය.

             2013 වසරේ දී මන්නාරම දිස්ත්‍රික්  ලේකම් වරයාට ලිපියක් යවන වන සංරක්ෂණ ජනරාල් කේ.පී. ආරියදාස මහතා මුස්ලිම් අවතැන් වූවන් ගැන සඳහන්කරයි. කුලන් කුලම් සම්බදාමුසලිකාඩු පණ්ඩාර වෙල්ලි පුදවේලි  මුසලි  පුන්නච්චි කුලම් යන තැන් වල සිට අවතැන් වූවන් සඳහා පුත්තලම සිලාවතුර මාර්ගයේ මරිච්චකඩ්ඩුවේ කි.මී. 23-29 අතර මග දෙපසේ මීටර් 250 ක පළල බිම් තීරුවක් නිදහස් කළ යුතු බව එහිදී සඳහන් කර ඇත.එසේම  අකාති මුරුප්පු පිච්චායි වන්නියා කුලම් වෙප්පන් කුලම් යන ස්ථාන වලින් අවතැන් වූවන් සඳහාද පිච්චායි වනන්නියාකුලම් නම් ස්ථානයෙන්ද විඩතලතිව් හි අනාථ වූවන් සඳහා එම ස්ථානයට යාබද ප්‍රදේශ යෙන්ද ඉඩම් ලබා දෙන මෙන් මෙහිදී ඉල්වා ඇත. ඒ අනුව මන්නාරම් දිස්ත්‍රික්කයෙන් අක්කර 1080 ක්ද මුලතිව් දිස්ත්‍රික්කයෙන් අක්කර 983ක්ද වව්නියා දිස්ත්‍රික්කයෙන් අක්කර 325 ද නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දිය යුතු නම් එම ගම් වලම එය කළ යුතුය. එහෙත් ගැටළුව වන්නේ අවතැන් වූ ස්ථානයෙන් බැහැරව විල්පත්තු අභය භුමියට යාබදව මරිච්චකඩ්ඩුවේ විශාල භුමි භාගයක් ලබා දීමයි. මේ මරිච්චකඩ්ඩුව වනාහි බෙහෙවින් සංවේදී පරිසර කලාපයකි. එසේම පැරණි ඓතිහාසික හා පුරවිද්‍යාත්මක නටබුන් පැතිර පවත්නා විල්ලුවලින් ගහන තෙත්බිම් ප්‍රෙද්ශයකි. රාවනාගේ පරපුරේ කෙනෙකු වූ මරිච නම් නරපතියා මෙන්ම කනශ නම් රජ කෙනෙකු මේ පෙදෙස පාලනය කර ඇත.පැරණි මංගන නගරය  මෙහි මුල්ලි කුලම් ආසන්නයේ පසට යටව තිබෙන බව පුරාවිද්‍යාඥයන් ගේ මතයයි. ඒ අනුව සලකා බැලිය හැක්කේ පූර්ව ඓතිහාසික යුගයේ පටන් විල්පත්තු අවට භූමි භාගය නොහොත් පැරණි උරුවේලාව කෙතරම් වැදගත්ද යන්නයි.

               විල්පත්තුවට සමීපව එහි කෙළවරේ මුහුදු කලාපයේ පිහිටා තිබෙන කුදිරමලේ ඓතිහාසික ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ අතිශය ජනාදරයට පත් භූමියකි.ඓතිහාසික මාන්තොට වරාය අඩංගු මුහුදු බොක්ක මෙයට දර්ශනය වෙයි. මුතු කිමිදීම සඳහාද වෙළෙද බඩු හුවමරුව සඳහාද මෙහි පැමිණි විදෙස් වෙළෙඳුන් මේ මුහුදු තීරයේ ලැගුම් ගෙන සිටි බව සත්‍යයකි. ආර්.එල්.බ්‍රෝහියර් මහතා සිය පුරාතන වාර්මාර්ග කෘතියේ දී පැහැදිලිව සඳහන් කරන පරදි විසිවන සියවස මුල් භාගයේදී මරිච්චිකඩ්ඩුවේ මුහුදු තීරය් පිහිටා තිබී ඇත්තේ මලබාරයෙන් මෝසම් කාලයට සංක්‍රමණය වන ද්‍රවිඩ ධීවරයන්ගේ වාඩි පමණකි. නමුත් ඔහු අවධාරණය කරන පරිදි අරාබි වෙළෙඳුන් කීප විටක්ම මෙහි පැමිණ තිබේ. ඔවුන්ගේ සොහොනක්ද කුදිරමල මහුදු තීරයේ දක්නට තිබෙන්නේ එ නිසාය. කෙසේ වෙතත් විලපත්තුව අවට හෝ මරිච්චකඩ්ඩුවේ කිසිම මුස්ලිම් ජනාවාසයක් විසි එක්වන සියවස ආරම්භය දක්වාම පැවතී නැත. මුස්ලිම් ජන ව්‍යාප්තිය පටන් ගෙන තිබෙන්නේ 1950 දශකයේ සිටන්ය.1946 දී සිලාවතුර අකාති මුරුප්පු විඩතලතිව් යන ස්ථාන වල සිටි මුස්ලිම් ජනගහනය 10410 ක් පමණකි.එසේ නම් බද්යුදීන් අමත්‍යවරයා මේ මරිච්චකඩ්ඩුවේ සංවේදී කලාපය භාවිත කරමින් සිය මුස්ලිම් ජනාවස ඉඳිකරන ලද්දේ ඇයිදැයි යන්නට සාධාරණ සැකයක් මතු වේ.

          ආරම්භයේදී මේ ජනාවාසය තුළ සුන්නි මුස්ලිම්  පවුල් 514 ක් පදිංචි කරන ලැබ ඇත.එය ජාසිම් සිටි ලෙසට නම් කර ඇත. දෙවන අදියරේදී එය පවුල් 1000 ක් දක්වාද තෙවනි අදියරේදී පවුල් 20000 දක්වා ද ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මෙලෙස ආරම්භ කළ පදිංචි කිරීම් කිසිවක් නැවත පදිංචි කිරීම් නොවේ. ඒවා නව පදිංචි කිරීම් ලෙසට පෙන්වා දිය යුතුය. මෙම නව පදිංචි කිරීම් මගින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි වටහා ගත හැක්කේ මෙම ප්‍රදේශය සීමා වන කලාපය නිරීක්ෂණය කළහොත් පමණකි. මෙම පෙදෙස දකුණෙන් සහ නැගෙනහිරෙන් විල්පත්තුව අභය භූමියට වහංගු වී ඇත. බටහිර  කෙළවරක් නැති මහ මුහුදයි. උතුරෙන් සිලාවතුර මාර්ගයයි. මෙම නිවාස තැනීමට ආධාර උපකාර ලබාදුන් අයතන දෙකකි . එකක් නම් කටාර් රාජ්‍යයේ බින් අහමඩ් සංවිධානයයි. අනෙක නම් ඔස්ට්‍රේලියන් ඒඩ් නම් අයතනයයි. කටාරය යනු යූෂුෆ් අල් සර්දාවි නම් ඉස්ලාමීය නායකයාගේ මූලිකත්වයෙන් මතවාදීව පාලනය වන සුන්නි වහාබ්වාදය පතුරුවන රාජ්‍යයකි. මේ උපකාර මත ඉඳිකර ඇති ස්ථානයේ අවතැන් වූ පකිස්ථානුවන්ද පදිංචි කර ඇති බව සැලවේ. එසේ නම් මේ පදිංචි කිරීම් වල සැලසුම නම් අනාගතයේදී රටේ ඉස්ලාම් අන්තවාදය පොෂණය කිරීම උදෙසා ආරක්ෂක කලාපයක් තැනවීමයි. පැතිතුනකින් රටට වහංගුවී ඇති බැවින් එය බල කඳවුරකට සමානය.

       මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල ජන වාර්ගික සංහාරය ආරම්භ වන්නේ පෙර සඳහන් කළ පරිදිම පෘතුගීසි හා ලන්දේසි යුග වලදීය. කැඩී බිඳී ගිය වැව් කොටු ගම්මාන වලට සීමා වී දුක සේ දිවි ගැටගසා ගත් සිංහල ජනතාව සතු ඉඩ කඩම්  සිය මුදල් බලයෙන් අල්වා ගත් මරක්කලයන්  බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ ස්ථීර පදිංචි කරුවන් බවට පත් විය. මන්නාරම් දිස්ත්‍රික්යේ කතෝලික බලයද උපරිම මට්ටමෙන් තිබූ බැවින් දෙමළ පූජක වරුන් ගේ බල කඳවුරක් බවටද පත් විය. කොටි ත්‍රස්තවාදය පැතිරී ගිය සමයේදී අනාථ කඳවුරු වලට ගාල් වූ සිංහලයන් 847 දෙනෙකු නැවත සිය මුල්බිම් අතර වන මුරුන්කන් වලට පැමිණියද ඒ වන විටද ඔවුන් ගේ ඉඩම් පැහැරගෙන තිබුණි. එවකට නැවත පදිංචි කිරීම් අමාත්‍ය වරුන්ව සිටි මෙල්රෝයි ප්‍රනාන්දු සහ බද්යුදීන් යන අමත්‍ය  දෙපළටම සිය අභියාචනා ඉදිරිපත් කළද ප්‍රතිඵලයක් අත් නුවුණි. මුස්ලිම් අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දීම ආරම්භ වන්නේ මේ කාලවකවානුවේදීය. එහිදී සිංහල ජන සමාජය වෙතින් එන විරෝධය මැඩපැවැත්වීමට මුරුන්කන් සිමෙන්ති සංස්ථාව අසල නාරිකාඩු භූමියෙන් යම් කිසි කොටසක් ලබාදීමට යුධ හමුදාව යොදවා ගනු ලැබිණ. එහෙත් මේ පිරිසට නිවාස පහසුකම්  සහ ඉඩම් ඔප්පු කිසිවක් ලැබී නොමැත.  මේ තත්ත්වය තුළ මුස්ලිම් ජනගහන ව්‍යාප්තිය මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉහළ සිට පහළටම ගෙන යෑමට සම්පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. විඩතලතිව් සිට මරිච්ච කඩ්ඩුව දක්වා ක්‍රමානුකූලව පතුරුවා හැරීම එහි අභිප්‍රායයි. අනාගතයේදී  මුස්ලිම් අන්තවාදයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට මන්නාරම පත්වීමට ඇති ඉඩකඩ විශාල බව මේ අත්දැකීම් වලින් සනාථ වේ. නමුත් පක්ෂ දේශපාලනය විසින් දෙකඩ කොට පාලනය වන ලංකාවේ පාලකයන් මේ බිහිසුණු අනාගතය හමු වේ නිවටයන් බිහිරන් බවට පත්වී තිබේ.

         

       

 

Friday, May 1, 2015

ජනපති තනතුර පිළිබඳ ජයවර්ධන මතය


                                   

 

         ශ්‍රීංලංකාවේ ජනාධිපති තනතුර හිසරදයක්ව තිබෙන්නේ කාහටදැයි  දැන් පැහැදිළිය.වේදිකාවේ අප දකින්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අනුර කුමාර දිසානායක මහතා වැනි පිරිසකි.ඔවුහු සිය අරමුණ වෙනුවෙන් ගෙනහැර පාන උපහැරණ බෙහෙවින්ම තර්කානුකූලය. ඒහෙත් එක් දෙයක් නම් ඔවුන් නොදකී. ඒ නම් ජනාධිපති තනතුරු අහෝසි කළපසු රටට වන්නේ කුමක්ද යන්නය.

                  1972 ට පෙර ලංකාවේ සිටියේ බ්‍රිතාන්‍ය ට වගකියන අග්‍රාණ්ඩුකාරයෙකි.1948 පෙර ලංකාව බ්‍රිතාන්‍යට යටත් රාජ්‍යයක් විය.1815 ට පෙර සිංහල රජ වරුන් විසින් පාලනය කරන ස්වාධීන රජ්‍යයක් ලෙසට ලංකාව නොහාත් සිංහලේ පැවතුණි.1978  ව්‍යවස්ථාව මගින් ජේ.ආර්.ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා සම්මත කර ගන්නා ලද්දේ රජකමකට සමාන විධායක ජනාධිපති තනතුරකි. එවැනි තනතුරක් ඇතිකර ගැනීමට ඔහුට ඓතිහාසික හේතු තිබෙන්නට ඇත. එකක් නම් පිය පාර්ශවයෙන් කෙසේ වෙතත්  ඔහුගේ මව් පාර්ශවයෙන් වීදිය බණ්ඩාර පරපුරට නෑකම් කීමයි. අනෙක නම්1948 පෙර සිටම ඔහු සිංහ කොඩිය ජාතික කොඩිය බවට පත් කරගත යුතුය යන මතයේ මෙන්ම සිංහලය රජ්‍ය භාෂාව බවට පත් විය යුතුය යන මතයේ ද සිටි බැවිනි .නමුත් මේ සියළු සාධක වලට වඩා ඔහුට තත්කාලීන දේශපාන වටපිටාව බලපාන්නට ඇත. 1977 වසරේ ඔහු බලයට පත් වන විට කොටි ත්‍රස්තවාදය බලවත් තැනක නොතිබුණි. අනපේක්ෂිත ලෙස යාපනයේ මතු වූ ගැටුම් නිසා විධායක බලයකින් සියල්ල සමෝධානය කළ හැකියයිද ඔහු විශ්වාස කරන්නට ඇත. ජේ.ආර්. විසින් අනුගමනය කළ ඉන්දීය විරෝධී ආර්ථික ප්‍රතිපත්තිය කරණ කොට මේ  ත්‍රස්තවාදය නව මුහුණුවරකින් ශ්‍රී ලංකාව ගිල ගැනීමට මාන බලමින් සිටියේය. ජේ.ආර්.ජයවර්ධන මහතා මේ ප්‍රශ්ණය පැමිණෙන්ටද ප්‍රථම එය වටහා ගත්තෙකි.ඔහුගේ ව්‍යවස්ථාවේ ජනාධිපති තනතුර මහ ඉහළින්ම ඔසවා තැබුනේ එය නිසාවෙනි.

         විධායක ජනපති තනතුර පිහිටුවා 2018 වසරට වසර හතළික් සම්පූර්ණ වෙයි. ලංකාව ලෝකයේ ස්වාධීනතාව දරන ප්‍රබල රජයක් බවට ඒත්තු ගැන්වුනේ වසර තිහක ශාපලත් යුද්ධය මහින්ද රජපක්ෂ ජනාධිපතිවරයා විසින්  පරාජය කිරීම හේතු කොට ගෙනය.එම පෞරුෂය එම අභිමානය අසියාතික කිසිම රටක රාජ්‍ය නායකයෙකු විසින් මෑතකාලීන ඉතිහාසය තුළ අත්පත් කර නොගත්තක් විය.ජේ.ආර්.ජයවධන මහතා විසින් ප්‍රාර්ථනා කරන ලද රජ්‍ය නායකත්වය පරිපූර්ණත්වයට පත් කරන ලද්දේ සැබැවින්ම එතුමා විසිනි. එවැනි මහා පෞරුෂයක් ඉන්දියාව වැනි බලගතු ඊර්ෂ්‍යා සහගත රටකට ඉවසුම් දෙන්නක් නොවේ. තමන්ගේ ජනතාව නියඟයෙන් ගංවතුරෙන් මෙන්ම දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටියදී සාක්ෂරතාව අහිමිව දාස භාවයේ ගැලෙද්දී ඉන්දීය ධනපති පන්තිය බමුණු කුලයක් ලෙසට නැඟි සිට රට න්‍යෂ්ටික බලවතෙක් බවට පත් කල බව සැබෑය. එහෙත් ලංකාව එසේ නොවේ. නිදහස් අධ්‍යාපනයෙන් පරීපූර්ණත්වයට පත් උගතුන් පිරි රටක සැමට එක හා සමාන ලෙස ජීවත් වන්නට නිදහස හිමිය. එලෙසම ආර්ථිකමය වශයෙන් නිදහසේ සැරසරන්නට ඇති නිදහස උදා කර දී තිබේ.

     ජයවර්ධන හිටපු ජනාධිපති වරයා 1977 වසරේ බලයට පත් වූ විගසම සිය ව්‍යවස්ථා සංශෝධනය රටට ඉදරිපත් කලේය.1966 වසරේ දී ඔහු මෙම අදහස ප්‍රථම වරට ඉදිරිපත් කොට ඇත්තේ එම වසරේ දෙසැම්බර් මස 14 දි විද්‍යාභිවර්ධන සංගම් ශාලවේ පැවති රැස්වීමකදීය.මේ එහිදී ඔහු පළ කල අදහසයි. විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිතව ඇති කාලසීමාව මත රඳා පවතින්නේ නැත. එබඳු විධායකයක් ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාවක් සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරා ගෙන ඇති විධායකයක රුචි අරුචිකම්වලට යටත් වන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් තම පාර්ලිමේන්තු කණ්ඩායමෙහි අප්‍රසාදයට පත් වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්ණයන්ට මුහුණ පාන අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට අත්‍යන්තයෙන්ම අවශ්‍යව ඇති බව මගේ විශ්වාසයයි. මේ යෝජනාව ඊට  අවුරුද්දකට පසු ඔහු සාකච්ඡාවට ගත් කල ඩඩ්ලි සේනානායක මහතා ඊට විරුද්ධ විය. නමුත් ආර්.ප්‍රේමදාස මහතා එම යෝජනාව ස්ථීර කළ බව පැවසේ. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතාද සමගි පෙරමුණ කණ්ඩායම මෙහෙයවමින් ඊට විරුද්ධ විය.

       නමුත් 1977 වසරේදී ජයවර්ධන මහතා සිය ජයග්‍රහණයෙන් පසුව ඉතා සීඝ්‍රයෙන් සිය සැලසුම සඳහා කටයුතු සම්පාදනය කොට 1978 පෙබරවාර් 04 වන දා ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ලෙසට වැඩ භාර ගැනීම කරන ලද්දේය.මේ වන විට 1977 වසරේ යාපනයේ සිදු වූ දෙමළ කෝලාහලයට වසරක් සම්පූර්ණ වී තිබුණි.සමානුපාතික නියෝජන ක්‍රමයද ගෙන එමින් ජේ.ආර්. බලාපොරොත්තු වූයේ දෙමළ ජන කණ්ඩායම් වලටද සාධාරණයක් ඉටු කිරීමය. නමුත් මේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දෙමළ සමාජය සුභවාදීව බැලුවේ නැත. ඔවුහු ඉන්දීය සාධකය පෙරට ගෙන එමින් බෙදුම් වාදය ශක්තිමත් කර ගැනීම පිණිස කුමන්ත්‍රණකාරීව කටයුතු කළහ.ජයවර්ධන ජනාධිපතිවරයා 1978 මැයි 31 වන දින ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ පැවැත්වූ උපාධි ප්‍රදානෝත්සවයේදී ඉතා වැදගත් දේශනයක් කරන ලදී. එහි සාරාංශය මෙසේය.

          මම ඡන්දයෙන් තේරුණු පළමුවැනි විධායක ජනාධිපති රාජ්‍ය නායක හා ආණ්ඩු නායකයා මම වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර එහෙයින් වගකීම් සහිත පදවියක්ද වේ. මට පසුව අන්‍යනයන්ද මෙම පදවිය දරණු ඇති  බැවින් මගේ පදවි කාලයේදි අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි. පළමුව මම නිරතුරුවම කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව තුළින් කටයුතු කරන්නෙමි. ඒ සමග පෙර පැවති ලෙස කිසිදු අඩු වීමකින් තොරව පාර්ලිමේන්තු ක්‍රමය සංරක්ෂණය කරන්නෙමි.  ජනාධිපතිවරයාගේ මිනිස්සු හා ගැහැනු යනුවෙන් හැඳින්වෙන පරිදි ජනාධිපතිවරයා කෙරේ බලපාන පුද්ගලයන් කණ්ඩායමක් ගොඩ නොනගමි.ඒ අනුව ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයක් හෝ ප්‍රබල නිළධාරි මණ්ඩලයක් පිහිටුවා ගත්තේ නැත.

        1815 වසරේ දී ලංකාව බ්‍රිතාන්‍යයන්ට ලංකාව පවරා දීමේ ගිවිසුම අත්සන් කල පසු ලංකාවේ පාලකයා  බ්‍රිතාන්‍ය රජතුමා විය.එහෙත් රජු සිටියේ එංගලන්තයේය. ජනතාව රජු නුදුටුවහ. රජෙකුට යටත්ව එම මානසිකතවයට හැඩ ගැසුණු ජනතාවක් ඉන් ඉවත් කලකල්හි රාජ්‍යය පවත්වා ගෙන යෑම අසීරුය. බ්‍රිතාන්‍ය රජය සිය මුල් පරිපාලන කාලයේදී එම ගැටළුවට මුහුණ දුන්නේය. 1817 ජාතික විමුක්ති අරගලයෙන් පසුව රදළයන් ගේ බලයද ශූන්‍ය කළ හෙයින් එය තවත් අසීරු විය. එසේම රාජකාරිය තහනම් කිරීම හේතු කොට ගෙන  මහා වාරිමාර්ග බොහෝ ගණනක නඩත්තු ව ඇණ සිටියේය.ඒ නිසා වර්ෂිකව පැමිණෙන ගංවතුරාවන්ට ඒවා කැඩී බිඳී වල් බිහිව ගොස් මැලේරියා වසංගතයෙන් රජරට ආතුර විය. මේ නිසා පසු කාලයේදී යම් යම් ප්‍රතිසංස්කරණ මගින් රජු හා බැදුණු ජනතාව සම්බන්ධිකරණය කිරීමට යටත් විජිත රජයට සිදු විය. නිදහසින් පසුව ඇති වුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් ග්‍රාමීය ජනතාව  අතර වූ තරුණයන් විශ්ව විද්‍යාලවලටත් රජයේ සේවයටත්  ප්‍රවිෂ්ට වන්නට විය. මෙතෙක් රාජ්‍ය සේවය තුළ ආධිපත්‍ය රැකගෙන සිටි යාපන දෙමළ උගතුන් සුළුතරයක් බවට පත් වීම නොවැලැක්විය හැකිවිය. සිරිමාවෝ රජය ප්‍රමිතිකරණය හඳුන්වා දීම නිසා එය තව දුරටත් සීමා විය. බිහිවූ සිංහල උගතුන් අවාසනාවකට මෙන් රටට හෝ ජාතියට ඇඟෑලිකමින් නොසිටියහ. මාක්ස්වාදය හෝ වෙනත් විදෙස් මතවාදයන් කරපින්නා ගැනීමත් සිංහල බෞද්ධ සංස්කෘතිය සමග තිබූ අක්මුල් නැති කර ගැනීමත් නිසා දෙමළ උගතුන් ගෙන් සිදුවූ හානියට වඩා හානියක් ඔවුන්ගෙන් සිදු විය.

         ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් විධායක ව්‍යවස්ථාව හඳුන්වා දෙන ලද්දේ මෙවැනි සමාජ වටපිටාවකටයි.බ්‍රිතාන්‍ය මහ රැජන හිස් මුදුනින් පිළිගත් ඔවුන්ගේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය බරව කකුලක වැනිව තබා ගත් උගතුන් පිරි රටක එවැනි ප්‍රතිසංස්කරණයක් ඔරොත්තු දුන්නේ නැත. එම යෝජනාව මගින් බොනපාට්වාදය කරා රට ගමන් කරන්නේ යැයි වාමාංශිකයන් ප්‍රකාශ කලේ එහෙයිනි.එවැනි තත්ත්වයක් තුළ විධායකය හා ජනතාව අතර ගොඩනැගියයුතුව තිබූ හෘදයාංගම  සම්බන්ධය වර්ධනය නොවීය. ජේ.ආර්.ජයවර්ධන මහතා කළ වැරදි කීපයක් නිසා තත්ත්වය තවත් දරුණු විය. ප්‍රමිතිකරණය අහෝසි කිරීමත් දෙමළ භාෂාව ජාතික භාෂාවක් බවට පත් කිරීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දෙමළ ජන අයිතිවාසිකම් ශක්තිමත් කිරීමත් නිසා සිංහල ජාතික ව්‍යාපාරය ඔහුගෙන් ඈත් විය. දෙමළ ජන සමාජයට සාධාරණයක් ඉටු වුවද ඔවුන් එය සලකන ලද්දේ ඊළාම් දේශය කරා යන ගමනට ලැබුණු වරදානයක් ලෙසිනි. අවාසනාවකට 1983 දී ඇති වුණු දෙමළ සිංහල කෝලාහලය නිසා ඉන්දියාවේ මැදිහත් වීම මත රටත් රජයත් අස්ථාවර විය. ඒ මගින් සිදු වූයේ අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම සම්මත කරගැනීමත් පළාත් සභා ඔස්සේ ස්වයංපාලන ක්‍රමවේදයකට රට තල්ලුවීම යාමත්ය.නමුත්  පළාත් සභා ක්‍රමය තුළ  විධාකය සතු බලතල හීන නොවීම නිසා රට අස්ථාවර වීම වැලකුණි.

           ඉන්දියාව සහ බටහිර බලවේග විසින් පෝෂණය කරන ලද කොටි ආක්‍රමණය විසින් ලංකාව ගිල ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී මහින්ද රාජ පක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාව දැක්වූ රාජ්‍ය පෞරුෂය රටෙහි ස්වාධීනත්වය ආරක්ෂා කරලීමට සමත්විය.එහෙත් යුද්ධයෙන් පසුව සමාජය තුළ මෙන්ම දේශපාලනය තුළ සිදුවූ පරිහානිය පිළිකාවක් වැනිව වර්ධනය විය. ජේ.ආර්.ජයවර්ධන පලන සමය තුළ ඇති කළ අයහපත් ප්‍රතිසංසකරණ ඊට සෘජුවම බලපෑ බව කිව යුතුය. විධායකය සහ ජනතාව අතර තිබිය යුතු සම්බන්ධය රදළයෙකු සහ දාසයෙකු අතර වන සම්බන්ධයට වඩා පරිණත විය යුතු බව දේශපාලකයන් අවබෝධ කර නොගැනීම ඛෙදවාචයකි.ලංකා ජන සමාජ්‍ය සීඝ්‍රයෙන් මධ්‍යම පන්තික රාමුවකට තල්ලු වී යෑම සිදුවන බැවින් බ්‍රිතාන්‍ය මහ රැජින කෙරෙහි ඇති වන භක්තියට වඩා තම රටේ විධායකයට තිබෙන භක්තිය දෙවනි තැනේ ලා සැලකීම පදුමයක් නොවේ. අද මේ රටේ උගතුන් විධායකය අහෝසි කරන්නට සැමතින්ම පෙළ ගැසී තිබෙන්නේ එහෙයිනි.එහෙත් දෙමල ජන සමාජය සිය ගෝත්‍රික ආශාවන් ගෙන් විනිර්මුක්තව නැත. ඔවුහු බෙදුම් වාදය උදෙසා විධායකය බිඳ වැටීම අපේක්ෂා කරති.දැන් ටිකක් පසුව කවත් ටිකක් යනුවෙන් දෙමළ අභිලාශයන් ඉටු කරගැනීමට ඔවුන්ට හැකියාව තිබේ.වෙනම පාලනයක් ලබාදීම සඳහා කොටි සමග ගිවිසුම් අත්සන් කළ රනිල් වික්‍රමසිංහ මහතා විධායකය සතු බලතල තමන් වෙතට ගෙන යුරෝපයේ සුවචයෙකු ලෙසට සිටින්නට සපථ කර ඇත්තේ ඊනියා දෙමළ ප්‍රදේශ වෙන්කර රටේ ඉතිරි කොටස් ලිබරල් ක්‍රමයකට පාලනය කිරීමටයි.

           පෙර ලංකාවේ පැවති රජකම දශරාජ ධර්මයට යටත්ව තිබිණි.රජු දේශයේ භාරකාරුවා විය. සැබවින්ම යම්කිසි සුළු ශංශෝධනයකට යටත්ව විධායකය පැවතීම මගින් රටේ ඒකීයත්වය සුරැකේ.නමුත් එම තනතුර සහ ජනතාව අතර තිබෙන බැඳියාව ශක්තිමත් නොකළහොත් එය තව දුරටත් රදළ පිළිරුවක් පමණක් වනු ඇත. එම රදළ පිළිරුව ඕනෑම බටහිර බලවතෙකුට මැතිවරණය නමැති බැකෝයන්ත්‍රයක් යොදා ඉවත් කළ හැකිය.පසුගියදා සිදුවූයේ එයයි. තවමත් සිංහල ජන මනස තුළ නොදැනුවත්වම හෝ පැලපදියම්ව පවතින සිංහල රාජ්‍යත්ව නම් බැඳීම නූතනත්වයට ගැලපෙන පරිදි සංවර්ධනය කොට රටේ ඉදිරිගමනට යොදා ගැනීම අප සැමගේ යුතුකමකි.එසේ නොකොට බලය අත්හැරීම සහ ජාතිවාදී වශයෙන් බලය බෙදා හැරීම මගින් සිදු වන්නේ රටේ ස්වාධීනත්වය නැතිවීමයි.


 

Sunday, April 12, 2015

යහ පාලනයට අනුව ගැසූ කූරගල තුරුම්පුව


                                         
                                        

              බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක් වන කූරගල බෞද්ධයන් අතර ජනප්‍රිය ව තිබෙන්නේ බුදුන් වහන්සේ ගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම් නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන් වහන්සේ කූරගලට වැඩම කල බවයි.කූරගල හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල් ලාංඡන කීපයක් ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර තිබෙන  ප්‍රවාද මෙයට සාක්ෂි වශයෙන් දැක්විය හැකිය. එබැවින් කූරගල පුදබිම බෞදධයන්ට ඉතා වැදගත්ය. පුරා විද්‍යාවට වසර එකසිය විසිපහක ඉතිහාසයක් තිබෙන්නේ නම් කූරගල බෞද්ධ උරුමයට වසර දහස් ගණනාවක ඉතිහාසයක් හිමිය. එහෙව් කොට 1971දී මේ පුදබිම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. එහි වරදක් නැත. වර්තමාන නීතියට අනුව රජයේ ඓතිහාසික දේපළ ආරක්ෂා කිරීමටත් සංරක්ෂණය කිරීමටත් තිබෙන ආයතනය වන්නේ මේ දෙපාර්තමේන්තුව බැවිනි.

           එහෙත්  1930 පමණ සිට මෙම ලෙන් සංකීර්ණයට වැද එහි තිබෙන බුදු පිළිම හා සිරිපතුල් කඩා ලෙන් චිත්‍ර මත අරාබි අකුරු කුරුටු ගෑ මරක්කලයන් එයට අයිතිවාසිකම් පවසා එහි ඉඳි කිරීම් කරද්දී පුරාවිද්‍යාවේ ඇත්තෝ නිහඬවම සිටියහ. කූරගල ගල මුදුනේ පිහිටි ඓතිහාසික මාරජී සෑයේ ගඩොල් එකින් එක ගලවා කන්දෙන් පහළට හෙළීම මේ මරක්කලයන් විනෝදාංශයක් කර ගත්තේ අද ඊයේ සිට නොවේ. ඔවුන්ගේ සෑම වන්දනා වාරයකදීම එලෙස සිදුවනවිට පුරා විද්‍යා නිළධාරීන් කලේ චෛත්‍ය වටා  කටුකම්බි ගැසීමය.මරක්කලයන් ගේ තාඩන පීඩන නිසා ගරා වැටුණු මාරජී සෑය යළි පිළිසකර කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීප විටක්ම උත්සාහ දරණ ලදී. එහිදී මෙහි අරක් ගෙන සිටි අබුසාලි ඇතුළු මරක්කලයන් එයට විරුද්ධ විය. මෙහි තිබෙන ලෙන් ලිපි පිටපත් කර ගැනීම සඳහා කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් ඇතුළු පිරිසක් එහි ගිය විට උන්වහන්සේලාට විරුද්ධව බළන්ගොඩ පොලීසියට පැමිණිලි කළ බව ද සඳහන්ය. නමුත් කූරගල වෙනුවෙන් කැප වුණු සිංහල බෞද්ධයන් නිසා දිනෙන් දිනම එහි අයිතිය නැවතත් හෙළි පෙහෙලි වූ බව කිව යුතුය. නමුත් හිටපු පුරා විද්‍යා කොමාසාරිස් වරයකු වූ රාජා ද සිල්වා 1972 සැප්තැම්බර් 13 දින  යැවූ ලිපියක් මගින්  කූරගලට අයිතිවාසිකම් කියන මරක්කලයන් එහි තව දුරටත් ස්ථාවර වූ බව  පැහැදිලිය.

          පසුගිය අප්‍රියෙල්  04 දින  පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ඇතුළු සිංහල රාවය කූරගල පැමිණියේ  බුදු පිළිම වහන්සේ නමක්ද හිස මත තබා ගෙනය. වසර දහස් ගණනක් තිස්සේ බෞද්ධයන් ගේ සදා වන්දනයට පාත්‍ර වූ කූරගල ලෙන් කුටිය මත මහත් ගෞරවයෙන් එය තැන්පත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් බළන්ගොඩට පිවිසෙන බදුල්ල මාර්ගයේ පැල්මඩුල්ලේ සිටම මහ පොලිස් පිරිසක් යොදවා සිංහල රාවයට අවහිර ඇති කළහ. තන්ජන් තැන්න ගමට ප්‍රවිෂ්ට වීමේදී පොලිසිය විසින් එල්ල කරන ලද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් නිසා පැමිණි භික්ෂූන් වහ්නසේලාට උපාසක ඇත්තන්ටද තුවාළ සිදු විය. මෙහි පසුබිම කුමක්ද. කාලයක් තිස්සේම මෙම ස්ථානයේ අනවසර ඉඳිකිරීම් වළක්වාගන්නට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි විය. මෙහි රැඳි සිටි පිරිසට එසේ කරන්නට ඉඩදී එහි කොන්ත්‍රාත් ගත් පුරා විද්‍යා මුරකරුවෙකුද සිටි බව කවුරුත් දනිති. බෞද්ධ සංවිධාන විසින් දිගින් දිගටම මේ අවනඩුව ලිපි මගින් පුරා විද්‍යාවට මෙන්ම අදාල ඇමතිවරුන්ද දැනුවත් කළද කිසිවක් සිදු නොවුණි. පසුව පූජ්‍ය කොළොන්නේ ශාන්ත විජය හිමියන් ගේ මැදිහත් වීමෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට විරුද්ධව මානව හිමිකම් නඩුවක් පැවරීමට කටයුතු සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කූරගල ලැග සිටි මරක්කල වෙළෙන්දන්ට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමයි. එහි තීන්දුව ප්‍රකාරව ඉවත් කළ යුතු අනවසර ඉඳි කිරීම් 19 ක් හඳුනාගන්නා ලදී.ඒවා කඩිනමින් ඉවත්කිරීම සිදු කල යුතු වුවද සෘජු තීරණ නොගැනීම හේතුවෙන් දිනෙන් දිනම කල් පසු විය. පසුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීම නිසා එහි සිවිල් ආරක්ෂක බල ඇණියක්ද නිසිපරිදි ස්ථාපිත වූ අතර අනවසර ඉඳි කිරීම් ක්‍රමානුකූලව ඉවත් කෙරුණි. නමුත් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිළධාරීන් ගේ මනාපය පරිදි පැරණි පිළිම ගෙය පිහිටා තිබූ කොටසේ අටවා තිබූ පල්ලිය ඉවත් කිරීම සිදු නොවුණි. දිගින් දිගටම ඒ පිළිබඳව ඉල්ලීම් ලැබුණද ඒවා මගහරිමින් කටයුතු කිරීම නිසා කෝපයට පත් බෞද්ධයන් කීප වතාවක්ම කූරගලට පැමිණ බල පෑම් කළද බලධාරීන් නොඇසූ කන්ව සිටියහ.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද කීප වතාවක්ම ලිපියොමු කළ නමුත් කිසිවක් සිදු නොවුණි.

          මෙම ප්‍රදේශය බාර කල්තොට පොලිසිය නිරතුරුවම මෙම පල්ලිය ආරක්ෂා කිරීමට උත්සාහ කළ ආයතනයකි. බෞද්ධයන් ගේ පින්කම් සංවිධානය කර තිබූ සෑම අවස්ථාවකදීම කුළු පොළු රැගත් පොලිස් හමුදාවන් සූදානම් කොට තැබීම ඔවුන් ගේ  සිරිතවිය.ගරු ගංගොඩවිල සෝම හිමියන් ගේ අනුස්මරණ පින්කම පැවති අවස්ථාවේදී පොලිස් බල ඇණියක් යොදා ගල්ලෙන් සංකීර්ණයට යෑම පවා වළක්වන ලදී. එහිදී ඔවුන් අනුගමනය කරනු ලැබූයේ  උසාවි වාරණයයි. කූරගල දිවා ගුහා බෞද්ධ සිදධස්ථානාධිපති පූජ්‍ය වටද්දර ඥාණිස්සර හිමියන් ගෙන් ප්‍රකාශයක් ලැබ ගෙන පුරා විද්‍යා නිළධාරීන් ගේද ප්‍රකාශයක් ලබා ගත් බව පෙන්වා මහේස්ත්‍රාත් අධිකරණය මගින් වාරණය ගැනීම සිදු විය. නමුත් මෙහි සිටි පුරාවිද්‍යා නිළධාරිණිය එවැනි කිසිම ප්‍රකාශයක් පොලිසියට ලබා දී නැති බව තහවුරු විය.

        මෙවර පොලිසියේ තුරුම්පුව වෙනස්  විය. සිංහල රාවය සංවිධානය විසින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් දිගින් දිගටම කූරගල ගමන ගැන පුවත් පළකර තිබීම හේතු කොට ගෙන පොලිසිය විසින් අප්‍රියෙල් 02 දින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්ට එරෙහිව වාරණයක් ලබා ගන්නා ලදී.එයට අමතරව ගත් පියවර මෙසේය. තන්ජන්තැන්න එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාරිකයෙකු හා බළන්ගොඩ මුස්ලිම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු මගින් ඔවුහු ජනතාව සංවිධානය කොට පැමිණෙන්නන්ට ගල් ගැසීමට සලස්වා ඇත. මොලමුරේ ප්‍රදේශයේ ගෙවල්ගානේ ගොස් ජනතාව සංවිධානය කලේ පොලිසිය බව ප්‍රදේශ වාසීන් පවසයි. මේ තුරුම්පුව මගින් බලාපොරොත්තු වන්නට ඇත්තේ තන්ජන්තැන්න ගම්වාසීන් මේ පැමිණීමට විරුද්ධ බව කියා පෑමයි. එහෙත් තන්ජන්තැන්න සිංහල බෞද්ධයන් හමුවූකල්හි ඔවුහු අපට ප්‍රකාශ කර සිටියේ වෙනත් කතාවකි. පොලිසිය විසින් කරන ලද නින්දිත ක්‍රියාව ඔවුන් දැඩි ලෙස හෙළා දුටු වහ.

      කූරගල වර්තමාන භාරය පුරා විද්‍යා දෙපාරත්මේන්තුව සතු වෙයි. එම භාරය අනුව එහි ආරක්ෂාවද සංරක්ෂණයද ඉටු කිරීමට ඔවුන් බැඳී සිටී. එහෙත් ඒය ඉටුවී නැත. ඒ වෙනුවට දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ වාර්ෂිකව මරක්කලයන් වෙනුවෙන් අවසර පත් නිකුත් කරලීමටයි. 1990 දී අක්කර විසිහයක භූමිභාගයක් මේ මරක්කලයන් වෙනුවෙන්  ආර්.ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලබා දී ඇත. එයිනුත් හිටුවන්ගල පතන නම් කොටසේ ද ඉපැරණි ගල් ආයුධ හමු වන බව මහාචාර්ය රාජ් සෝම දෙව මහතා ප්‍රකාශ කර තිබේ. මරක්කලයන් මේ විකල්ප ඉඩම්ද රැගෙන කල්මුනේ ප්‍රදේශයෙන් මරක්කලයන් ගෙනවුත් පදිංචි කොට අනවසර ඉඳිකිරීම්ද පවත්වා ගෙන යති. එහෙව් අවස්ථාවක බෞද්ධ සංවිධාන උත්සාහ කොට තිබෙන්නේ සිය නැතිවී ගය අයිතිය යළි තහවුරු කරලනු වස් පුරාවිද්‍යව විසින් නොකරන වැඩකටයුත්තකට අත ගැසීමයි. එය වැරැද්දක් වන්නේ ඇයිදැයි අප විමසමු.

       නමුත් වර්තමාන යහපාලන ආණ්ඩුව සහ එහි නිළධාරීන් විසින් උත්සාහ දරන්නේ සිංහල මුස්ලිම් ගැටුමක් ඇතැයි හුවා දක්වමින් සිංහල බෞද්ධයන් දඩයම් කිරීමට උත්සාහ දැරීමයි. ඓතිහාසික මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යාව සතු අක්කර හැත්තෑ දෙකක භූමි භාගය මරක්කලයන් විසින් ආක්‍රමණය කර පන්සල අක්කර තුනකට සීමා කර ඇත. නීත්‍යානුකූලව එම ඉඩම් යළි පවරා ගැනීමට හැකියාව තිබියදී පුරා විද්‍යාව කිසිවක් නොකරයි. දෙවනගල පුරා විද්‍යා රක්ෂිතය මැන වෙන් කිරීමට මුස්ලිම් පිරිස් බාධා කරද්දී ද පුරා විද්‍යාව නිඬය. එහෙත් අනුරාධපුරයේ මෙන්ම හොරොව්පතානේ ගල්ලෙන් වලසිටි භික්ෂූන් වහන්සේලාට නඩු පැවරීමට පුරා විද්‍යාව පසුබට නොවේ.මෙයට හේතුව සිංහල බෞද්ධයන්ගේ අයිතිය පිළිබඳව ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කළ පුරා විද්‍යා නීතිය යටතේ ප්‍රතිපාදන නොමැති වීමයි. එසේ නම් එය නිවරදි කිරීම අප ඉදිරියේදී තිබෙන අභියෝගයක් නොවේද.

 
            

     

 

 

 

 

Thursday, April 2, 2015

විදුලි කාර් රථය සූදානම් එහෙත් රජය සූදානම් ද


                                      
 


                 විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා මේ වන විට වැදගත් තීරණයක් ගෙන ඇත.. එනම් විදුලියෙන් ක්‍රියා කරන වාහන  වල කෝෂ නැවත පණ ගැන්වීම උදෙසා දිවයින පුරා විදුලි ආරෝපණ ස්ථාන ( charging center ) විවෘත කිරීම ආරම්භයට වැඩ පිළිවෙලක් සකස්කිරීමයි. එහෙත් කණගාටුවට කරුණ නම් මෙවර අය වැය යෝජනා මගින් විදුලියෙන් දිව වෙන මොටර් රථ මත පණවා තිබෙන බද්ද මුදල් අමාත්‍ය වරයා විස්න් අඩු කරනු ලැබීමයි. මේ නිසා බලවත් අසාධාරණයකට ලක්ව ඇත්තේ මෙරට මෝටර් රථ නිෂ්පාදකයෙකි. වාහන ආනයන කරුවෙකු වශයෙන් දීර්ඝකාලීන පළ පුරුද්දක් ලබා සිටින කේ.ටී.කපිල ද සිල්වා මහතා  විසින් නිර්මාණය කොට නිෂ්පාදනය කරනු ලැබූ ලංකාවේ පළමු විදුලි මොටර් රථය මේ ලෙස නිෂ්පාදනය ආරම්භ කිරීමටත් ප්‍රථම රජ්‍ය ප්‍රතිපත්තියක් මගින් පීඩනයකට පත් කර .තිබේ.

       කොළඹ ආනන්ද විදහලේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වන කපිල ද සිල්වා මහතා 1980 දශකයේ  සිටම නිර්මාණ කරණයේ යෙදෙන්නෙකි. එයට හේතුව එකළ පාසල් වල ප්‍රාග් වෘත්තීය නම් විෂයයක් ඉගැන්වීමයි. ඒ තුළින් ඔහු උගෙන ගත්තේ මොටර් කාර්මික ශිල්පයයි.පාසල් දිවියෙන් සමුගත් පසු ජර්මන් තාක්ෂණික ආයතනයට බැඳී මෝටර් කාර්මික ශිල්පය වැඩිදුරටත් ඉගෙන ගත් හෙතෙම එම අධ්‍යාපනයෙක් පසුව තෝරාගත්තේ වාහන ආනයනය කිරීමයි. ඒ එවකට ආරම්භ කෙරුණු විවෘත ආරථික ප්‍රතිපත්තිය කරණ කොට විය හැකිය. කෙසේ වෙතත් එම යුගයේ දී ඔහු අතින්  කෘෂිකර්මයට ගැලපෙන විශේෂයෙන් වී තම්බන කමත් වල වී එක්කාසු කිරීම පහ් කරවන උපකරණයක් නිර්මාණය විය. පසුව 2004 වරෂයේ දී විදුලි බලයෙන් දිවවෙන මොපෙඩ් වර්ගයේ මෝටර් සයිකලයක් සාදා ඔහු ජනාධිපති රන් සම්මානයද දිනා ගත්තේය. අනතුරුව ඔහු අතින් නිර්මාණය වූයේ මේ කියන විදලි කාර් රථයයි.එම නිර්මාණය පිළිබඳව කපිලද සිල්වා මහාත ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසකි.

        විදුලියෙන් පණ ගැන්වෙන වාහන නිපදවීම ලෝකයේ ආරම්භ කර තිබීම සාමාන්‍ය දෙයක් වුවත් ලංකාවේ දී එය කළ හැකි බව මා ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. විදුලි කෝෂ පහකින් ක්‍රියා කරන පණ ගන්වා කී.මී. එකසිය විස්සක් ධාවනය කළ හැකි වන මේ මෝටර් රථය සාදා තිබෙන්නේ ෆයිබර් වීදුරු වලින්. මෙහි විශේෂය තමයි සියයට හැත්තෑපහක්ම ලංකාවේ නිපදවා ගත් දෙයින් නිම කර තිබීම. කිලෝ 670 ක් පමණ බරකින් යුතු මේ වාහනය කිලෝ වොට් පහක විදුලියක් මගින් කි.මී. 70 ක පමණ වේගයෙන් ධාවනය කළ හැකියි. වෙසෙසින්ම කොළඹ වැනි නාගරික ප්‍රදේශයකට අනවශ්‍ය ලෙසට වායු දූෂක වායු පිට නොකරන ශබ්ද දූෂණය සිදු නොකරන බැවින් එය පරිසර හිතකාමී වෙයි. මෙහි වේගය කි.මී. 100 දක්වා වුවද වැඩි කළ හැකි වන්නේ පරිඝණක ගතකිරීමෙන්.මෙහි පවතින බැටරි නැවත පණ ගැන්වීම නිවසේදී වුව කළ හැකියි. ඒ සඳහා වැය වන්නේ විදුලි ඒකක 8-10 ත් අතර ප්‍රමාණයක් පමණයි. කෙසේ වෙතත් මේ දක්වා මට මේ වාහනය නිම කිරීම උදෙසා ලක්ෂ පහළොවක් පමණ වියදම්ව තිබෙනවා. මගේ එකම බලාපොරොත්තුව වූයේ මේ විදුලි කාර් රථය මහත් සාඩම්බරයෙන් මේ රටේ ජනතාවට හඳුන්වා දීමයි. වාහනයක් ලක්ෂ 06 කට පමණ මිළ කොට අඩු මුදලකට එය නිකුත් කිරීමට මහරගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් පවා ආරම්භ කරලීමට දේශීය ආයෝජකයෙකු මට සම්බන්ධ වූවා. ලංකාවේ බැංකුවකින් කිසිම මුදලක් ණයට නොගෙන කරන මෙම ව්‍යාපෘතිය මගින් නවොත්පාදන අර්ථිකයක් ඇරඹීමට මුල පිරීමක් වේ යැයි මම විශ්වාස කරනවා.

       කපිල ද සිල්වා මහතාගේ උදාර බලාපොරොත්තු එසේ වුවද රජයේ ප්‍රතිපත්ති වෙනස් වන්නේ දේශයට හිතකර අන්දමින් නොවේ. කිසිවකුත් බලාපොරොත්තු නොවන පරිදි පසුගිය අයවැයෙන් මෙවැනි දේශීය නිෂ්පාදකයන් අමතක කර ආනයනය මත පමණක් රැකෙන ව්‍යාපාරිකයන්ට අත දී තිබේ. මේ නිසා ආනයනික විදුලි කාර් රථයක බදු මුදල රුපියල් ලක්ෂ අටේ සිට ලක්ෂ එකහමාර දක්වා අඩු වී ඇතැයි කපිල ද සිල්වා මහතා පවසයි. මේ නිසා තම කර්මාන්ත ශාලාවට මුදල් ආයෝජනය කිරීමට සිටි ඒ වැදගත් ව්‍යාපාරිකයා සිය අදහස් වෙනස් කොට තිබේ. මෙය සැබවින්ම නව නිපයුම් කරුවන්ගේත් දේශීය කර්මාන්තකරුවන්ගේත් සිත් වේදනාවට පත් කළ කාරණයකි.  රට පුරාවටම විදුලි කාර්රථ ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය සැරසෙන්නේ කුමකටදැයි යන්න දැන් පහැදිලිය. චීනයෙන් ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම එහි අරමුණයි. කපිල ද සිල්වා මහතා ඉදිරියේ මේ අභියෝගය දිග හැරී තිබුණද ඔහු පසුබසින්නට සූදානම් නැත. ආනයනික මෝටර් රථ අභිබවා යන  පරිදි තම නිර්මාණය වැඩි දියුණු කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි. රේවත විජේවර්ධන පරපුරේ මෙවැනි නිර්මාණ කරුවන් තම හැකියාවන්ගෙන් පමණක් නොව මානසික ශක්තියෙන් ද වර්ධන කිරීම අපගේ යුතු කමයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ඔහුගේ දුර කතන අංකය වන 0714117272 අංකය නිතරම විවෘතව පවතින බැවින් එයට අමතා තොරතුරු දැන ගැනීමත් ඔහු ධෛර්යමත් කිරීමත් සියලු දෙන ගේ යුතුකමක් වන බවද අවසාන වශයෙන් සඳහන් කරමි.

Wednesday, March 18, 2015

සිංහල බහුතර මතයට විරුද්ධව ජාතික කොඩිය සම්මත වෙයි


                                  

 


                   ලංකාව බ්‍රිතාන්‍යයන්ට පවරා දීමට සකස් කරන ලද ගිවිසුම අත්සන් කිරීමට සුළු මොහොතකට පෙර සිංහල රජතුමාගේ රාජකීය කොඩිය යයි නම් දරා තිබූ සිංහ කොඩිය ඉංග්‍රීසි හේවායෙකු විසින් බිම හෙළන ලදහ. නමුත් අස්ගිරි මහා විහාරයේ අනුනායකව වැඩ සිටි වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ වහා මැදිහත්ව එම කොඩිය යලි ඔසවන ලද බව ඉතිහාසයේ සඳහන්ව තිබේ. 1815 වර්ෂයේ දී සිංහල රදළයන් විසින් අත්සන් කරනලද ගිවිසුම අනුව මාර්තු මස 02 දින පටන් එංගලන්තයේ මහ රජු ලංකාවේ රජු බවට පත් විය. ඔහු ලංකාවේ සාම්ප්‍රදායානුකූල ආගම ධර්මයත් සිරිත් විරිත් ආදියත් ආරක්ෂා කළ යුතු වන බවට ගිවිසුම අනුව සහතික විය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මේ වගන්ති වලට අකමැති වුවද භික්ෂූන් වහන්සේලා ගේ දැඩි ඉල්ලීම මත ගිවිසුමට එකඟ වූ බව පැවසෙයි. කෙසේ වෙතත් 1948 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය කිරීටයෙන් යම් තරමකට මිදුණු නිදහසක්  ලංකාවට හිමි විය.

            1945 දී පමණ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ ප්‍රකාශයක් වූයේ ලංකාවට නිදහස ලැබෙන විට  සිංහලේ රාජකීය කොඩිය වශයෙන් තිබූ සිංහ කොඩිය යළි එසැවිය යුතු බවයි. ඒ අනුව1948 ජනවාරි මස 16 දිනදී මඩකලපු මන්ත්‍රීවරයාව සිටි සින්නලෙබ්බේ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට එම යෝජනාව ඉදිරිපත් කර ඇත.එහිදී ඩී.එස්.සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ අවසන් රජු දෙමළ ජන වර්ගයට අයත් නමුත් සිංහ කොඩිය නිල රාජකීය කොඩිය වශයෙන් පිළිගෙන කටයුතු කළ බැවින් එය එසැවීම කාලෝචිත බවයි. නමුත් නිදහස දිනා ගැන්මේදී දෙමළ ජනතාවටද සම තැන ඉල්වා සිටි  ජී.ජී. පොන්නම්බලම් චෙල්වනායගම් ඇතුළු දෙමල නායකයන් මේ කොඩිය එසැවීමට සපුරා විරුද්ධ වූහ.දෙමල ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඔවුහු ආණ්ඩුකාරවරයාට අභියාචනා ඉදිරිපත් කළහ. මේ පිළිබඳ ප්‍රශ්ණය සමහන් කිරීම උදෙසා ඩී.එස් සේනානායක මහතා මේ දෙමළ නායකයන්ට යම් පොරොන්දුවක් විය. ඒ නම් නිදහස් දින උත්සවයෙන් පසුව නව ලංකාවේ නිල කොඩිය නිර්මාණය කිරීමට කොඩි කාරක සභාවක් පත්කරන බවයි. පොරොන්දු වූ ප්‍රකාරව 1948 මාර්තු මස 06 දින එස්.ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වූයේ ජෝන් කොතලාවල ජේ.ආර්.ජයවර්ධන ලලිත රාජපක්ෂ ටී.බී.ජයා සෙනරත් පරණ විතාන ජී.ජී. පොන්නම්බලම් සහ එස්.නඩේසන් යන මහත්වරුය. මෙම කමිටුව 1948 පෙබ 15 ජූනි 12 ජූනි 22 අගෝ 15 හා 23  යන දිනයන්හිදීද 1949 වසරේ මැයි 10 ජූලි 08 නො 22 දෙසැ 9 යන දිනයන්හිදී ද   1950 ජන 20 සහ පෙබ 13 දිනයන් වලදී රැස් වී ඇත.

             එහිදී මහජනතාව වෙත ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කරන ලදී. ලංකාව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලයේ රටක් වශයෙන් ඩොමීනියන් තත්ත්වය ලබා ඇති බැවින් බ්‍රිතාන්‍ය කතිර කොඩියට වෙනස් වූ රටේ අනන්‍යතාව සහතික කරන ජාතික කොඩියක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන් විය. වසර දෙකක් තිස්සේ 227 දෙනෙකු ගෙන් පමණ මේ පිළිබඳව සාක්ෂි ලබා ගෙන තිබුණි. එහිදී 159 දෙනෙකු සිංහල භාෂාවෙන්ද හැට අට දෙනෙකු ඉංග්‍රීසි භාෂාවෙන්ද යෝජනා ඉදිරිපත්කර ඇත. සකස් කරන ලද නූතන කොඩියට විරුද්ධව කොමිටියේ සාමාජික එස්.නඩේසන් මහතා අදහස් ප්‍රකාශ කරන ලද්දේය. ඔහු තර්ක කලේ මෙම කොඩියේ සිංහයාට පිටතින් ගසන ලද පටි දෙක නිසා සිය ජන වර්ගයන් ගේ අනන්‍යතාව බැහැරට දමා ඇති බවයි.  ඔවුන්ගේ ජාතික ජීවිතය සිරගත කිරීම සිදු නොවිය යුතු බව ඔහුගේ  තර්කය විය.( In Our national life We do not Want create Water tight compartments )මෙම කොඩි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් 97 දෙනෙකු ගේ කැමැත්ත වූයේ පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් සම්මත කර ගත යුතු බවයි.ඔවුන් සියල්ල සිංහලයන් වෙති.ටිබෙට් ජාතික එස.මහින්ද හිමියන් ද මේ සිංහ කොඩිය වනා එකල ලියූ කවි පද කීපයක් විය.

දිය නෙත් දහම් රන් පාටින් හෙළිවේය - බිය නැති බවට සිහ රද සළකුණු        වේය

නියමය බලය රන් කඩුවෙන් කිය වේය - මෙය අප සිංහ කොඩියේ තොරතුරු වේය

විජය අබා පැරකුම්බා දෙරජ වරු - නිජය බලෙන් කෙරෙමින් රුපු අඳුරු         දුරු

විජය ලබා නැන්වූවෝ වෙමින් සුරු - දජය මෙන්න නරඹව් තෙපි පපා           ගරු

 

 සිංහල ජනතාව අතරින් කීප දෙනෙකු ශ්‍රීපාද ස්ථානය සහ දළදා කරඬුව කොඩියේ සංකේතය වශයෙන් ගත යුතු බවද  සූර්යා සහ ශ්‍රී පාදය ගත යුතු බවද දක්වා තිබුණි.ඒ. මයාලන් නම් පුද්ගලයෙක් කියා සිට ඇත්තේ කඩුව නැති සිංහයාද වෘෂභ(නන්දි ) රූපයද අඩ සඳ හා තරුවද සහිතව කොඩිය සකස්විය යුතු බවයි. ගරුතර ස්වාමීන් වහන්සේලා ගේ අදහස් කීපයක් ඉදිරිපත් වූ අතර ලංකාව බෞද්ධ රටක් බැවින් බෞද්ධත්වය නිරූපණය වීමක් මෙම කොඩියෙන් සිදු විය යුතු බව අදහස විය. ඇතැම් අය මෙතෙක් පැවති යුනියක් ජැක් කොඩිය සමග සිංහයා යෙදීමටද යේජනා කර තිබුණි. වඩාත්ම වැදගත් කාරණය වශයෙන් සඳහන් කළ හැක්කේ ආනන්ද විදුහලේ ගුරු මග නම් සංවිධානය කියා සිටි මතයයි.ඔවුහු සිංහයා අඩ සඳ තරුව දාගැබ කුරුසිය මෙන්ම කොන් සතරේ පිත්තල පහනද බෝකොළ ද යෝජනා කර තිබුණි. මෙහි අදහස නම් ලංකාව බහුජාතික බහුආගමික රටක් වශයෙන් ඔවුන් පිළිගත් බවයි.

        පසු කාලයක සුන්දරලිංගම් මහතා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ සූර්යා ප්‍රධාන පටි සහිත කොඩිය පිළිබඳ අදහසක් පලුකාමම් සුභ සාධක සංගමය විසින් ඉදි පත් කර තිබුණි.එසේම කාත්තන්කුඩි තරුණ යෝනක සංගමයේ අදහස වූයේ කහ රතු කොළ පසුබිමේ සිංහයා අඩසඳ තරුව සහ වෘෂභ රූපය ඇතුළත් විය යුතු බවයි.හලාවත බිෂොප් වරයා ප්‍රකාශ කර තිබෙන අදහසද ඉතා වැදගත්ය. ඔහු අනෙක් අයට වඩා මේ කොඩියේ ඉතිහාසය සඳහන් කරමින් අගනා ලිපියක් ඉදිරිපත් කර ඇත. එයට අනුව පැරණි සිංහ කොඩිය ඉතිහාසය විසින් ලබා දුන් ජාතික කොඩියක් බවත් නමුත් එය සිංහල කොඩියක් නොවන බවත් කියා තිබුණි.කපුකොටුව දොළපිහිල්ල කැපෙටිපොළ උනම්බුව ආදී උඩරට ප්‍රධානීන් බහුතරයක් සිංහ කොඩියම සම්මත කර ගැනීමට මැලිකමක් දැක්වූහ. ඔවුහු තමන්ගේ උගත් කම දක්වාලමින් සියළු ජන වර්ග නියෝජනයට පටි අවශ්‍ය බව සඳහන් කර තිබීම සැලකිල්ලට ගත යුතුය. මේආකාරයට සාමාන්‍ය සිංහල ජනතාව අතරින් බහුතරයක් පැරණි සිංහල කොඩිය අවශ්‍ය බව ප්‍රකාශ කර සිටි අතර හැට නව දෙනෙකු සිංහයා ඉවත් කර  ජන වර්ග නියෝජනය සඳහා වර්ණ පටි යෙදීම හෝ දම්වැල් මෙන් පටි යෙදීම නිර්දේශ කර ඇත. එයින් 22 දෙදෙනෙකු සිංහලයන් නොවෙති.ඔවුහු සිංහයා යෙදීමට එකහෙලා අකමැති වූහ.මෙයින් තේරුම්ගත යුතුව ඇත්තේ බහුතර සාමාන්‍ය ජනතාවට පවා එදා කොඩිය සකස් කර ගැනීමට තිබූ උනනන්දුවයි. එසේම ඔවුහු තම හෘද සාක්ෂ්‍යට එකඟව සිංහ කොඩිය අනුමත කර තිබුණි. නමුත් සිංහල බහුතරයේ ප්‍රජාතන්ත්‍රීය අදහස් වලට ගරු නොකළ කාරක සබාව සිංහ කොඩියට තැඹිලි වර්ණයෙන් සහ කොළ වර්ණයෙන් යුතු පටි දෙකක් එක්කිරීමට තීරණය කොට සම්මත කර ගෙන ඇත.

                        මෙම කොඩිය පිළිබඳව 1951 මාර්තු මස01 සහ 02 දින පවත්වන්නට යෙදුණු නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසි වාරයේදී කොඩිය වෙනස් කිරීමට එරෙහිව සිංහල මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කතා කළහ. මතුගම මන්ත්‍රීවරයාව සිටි විල්මට් ඒ. පෙරේරා මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය.      ගරු කතා නායක තුමනි සිංහල කොඩිය ගැන වාද කරන අවස්ථාවේහිදී සිංහලයෙකු හැටියට මගේ අදහස්  සිංහලෙන් ප්‍රකාශ කිරීම යෝග්‍ය යයි මම සිතමි. සිංහලයන්ගේ මේ කොඩිය ගැන ඈත අතීතයේ සිට පැවත එන ත්‍රිසිංහල කොඩිය වූද නුවර රාජධානියේ කොඩිය වූද මේ කොඩිය ගැන විවේචනයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් මා නගන එකම ප්‍රශ්ණය නම් විලබාවේ කැප්පෙටිපොළ ආදී ශ්‍රේෂ්ට ජාතික වීරයන් මේ ලාංඡනය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වුණි නම් මෙරට මහ ජනයා වෙනුවෙන් මේ ගරු සභාවෙහි පෙනී සිටින මැති ඇමතිවරුන් ඒ ශ්‍රේෂ්ඨ ලාංඡනය කෙළසන්නට එහි ඉරි අදින්නට මොන හිතකින් අදහස් කරන්නේද මොන හිතකින් එවැන්නක් අනුමතකරන්නේද යන්න සිංහලයෙකු හැටියටමට නම් නොවැටහේ.

          කථානායක තුමනි 1948 ජනවාරි 16 දා මේ කොඩි ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබූ විවාදයේදී මේ රටේ සිටින්නේ සිංහලයන් පමණක් නොවේ සුළු ජාතීන්ද ඇත කියා මම කීවෙමි. එබැවින් ඒ සුළු ජාතීහු අප කොඩියෙහි යම් කිසි ස්ථානයක් වුවමනා යයි ඉල්ලා සිටිත් නම් සියළු දෙනාටම ගෞරව කල හැකි වෙනම කොඩියක් සකස් කර ගැනීමට ඉඩදිය යුතුය කියා මම එදින කීවෙමි. මා එදා කී දෙය අදද අනුමත කරමි.අපේ කොඩිය නොකෙලෙසා එයට ඉඩ නොදී සුලු ජාතීන් ගේ ද අයිතිවාසිකම් රැකෙන පරිදි ඔවුන්ගේද ගෞරවය ලැබෙන පරිදි වෙනම කොඩියක් සකස් කර ගැනීමට ඉඩ තැබිය යුතුය කියා මා එදා කළ ප්‍රකාශය එක වචනයක්වත් වෙනස් කිරීමට මාගේ බලාපොරොත්තුවක් නැත. එසේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති මේ යෝජනාව නම් මොන විදියකින් වත් පිළිගත නොහැක. එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවාත් හැර අප සියලු දෙනාම එය හෙළා දකිමු. මෙතෙක් කල් පිළිගෙන ගෞරව කල ඒ  සිංහ කොඩියෙහි ඉරි ඇඳ ඊට කෑලි එකතු කර එය කෙලසීම ගැන සිංහලයෙකු වශයෙන් මගේ විරුද්ධත්වය ප්‍රකශ කරනාවත් හැර ඔවැනි යෝජනාවක් ගෙනා ආ ආණ්ඩුවද හෙළා දකිමි.

     විල්මට් පෙරේරා මහාතගේ අදහස් දැක්වීමෙන් අනතුරුව කොඩිකාරක සභාවේ සභාපති බණ්ඩාරනායක මහාතා අදහස් දැක්වූ අතර වැලිමඩ මන්ත්‍රී වරයාව සිටි කේ.වී.ඩී. සුගතදාස මහතා ද සිංහල භාෂාවෙන් දැක්වූ ප්‍රකාශය ඉතා වැදගත් යයි සිතමි.

       අවුරුදු 136 කට ප්‍රථම 1815 මාර්ත 02 වැනිදා අද වැනි දිනක මෙරට ඉංග්‍රීස්න්ට යටත් වීමෙන් පසු පහත දමන ලද සිංහ කොඩිය මේ රටේ ජාතික කොඩිය වශයෙන් නැන්විය යුතුය යන්න කල්පනා කිරීම නොහොත් තීරණ කිරීම සඳහා මේ සභාව රැස්ව සිටින බව කවුරුත් දන්නා කාරණයකි. 1948 පෙබරවාරි 04 දින අපට නිදහස ලැබුණි. එම අවස්ථාවේදී සාධාරණ යුක්තියක් ඉෂ්ට නොවේ යයි යන අදහස මෙරට සුළු ජාතීන් අතර ඇති වූ නමුත් මේ රටේ මහ ජාතිය විසින් සුලු ජාතියේ අයිතිවාසිකම් වලට සාධාරණයක් ඉටු කරන බවට එදා පොරෙන්දු විය. සුළු ජාතීන් වෙනුවෙන් යුක්තිය සාධාරණය එදා මෙන්ම අදත් ඉටු කරන බව මේ යෝජනාව ගැන කල්පනා කරන කාහටත් පෙනී යවා ඇත.තවද කතා නායක තුමනි මෙරට ස්ථීර ජනතාවට එනම් සිංහල ජනතාවට සාධාරණය ලැබෙන පරිදි අප කටයුතු කළ නමුත් හැම අවස්ථාවකදීම ඔවුන්ට වඩා මෙරට සුළු ජාතීන්ට යුක්තිය ඉටු වන පරිදි කටයුතු කරන බව ඇත්තකි.මෙරට අධ්‍යාපනය ගෙන බලමු. මේ හැම එකක්ම සුලු ජාතීන්ට අවාසියක් ලැබෙන අයුරින් නොමැත. ඔවුන්ට වාසි වන පරිදි විසඳා තිබෙනවා පෙනී යනවා ඇත. ජාතික කොඩිය සම්බන්ධයෙන්ද එසේමය. මේ රටට ජාතියට කොඩියක් සකස් කිරීමේ දී සුළු ජාතීන් සමග සහයෝගයක් දැක්වීම ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම අවශ්‍ය බැවින් කොඩි කාරක සභාව විසින් යෝජනා කර තිබෙන මේ කොඩිය ගරු අග්‍රාමාත්‍ය තුමා විසින් සභාවට ඉදිරිපත් කර ඇත. එය කර තිබෙන්නේ එතුමාගේ පොරොන්දුවක් ඉටු කිරීම පිණිසය.

        මෙම විවාදයේදී දීර්ඝවශයෙන් කරුණු දැක්වූයේ වවුනියා මන්ත්‍රීවරයාව සිටි සී.සුන්දරලිංගම් මහතාය. 1948 දී සිංහ කොඩිය පිළිබඳ අදහස ඉදිරිපත් වූ අවස්ථාවේ සිට එයට එරෙහිව දෙමළ ජනතාවගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළ ආකාරය ඔහු හෙළි කලේය. ඉංග්‍රීසීන් රට භාර ගන්නා විට ලංකාව කොටස් තුනකට බෙදී ගිය රාජ්‍යයක් වශයෙන් තිබූ බව ඔහු කළ ප්‍රකාශය ජේ.ආර්.ජයවර්ධන මහතා ප්‍රතික්ෂේප කලේය. සුන්දරලිංගම් මහතා දිගින් දිගටම ප්‍රකාශ කලේ සිංහ කොඩියට බැහැරින් සුළු ජාතීන් වෙනුවෙන් පටි යෙදීම ඔවුන්ට කළ මදිපුංචිකමක් ලෙසටය.

  .         නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා ජාතික කොඩිය පිළිබඳ විවාදය ආරම්භ කරමින් මූලිකව පවසා ඇත්තේ අවසන් වඩුග දෙමල රජු පවා සිංහ කොඩිය රාජ්‍යයේ කොඩිය වශයෙන් භාවිතා කර ඇති බවයි. එසේම මහා බ්‍රිතාන්‍ය උදාහරණයට ගනිමින් ඔහු ප්‍රකාශ කර සිටි අදහස් මෙසේය. යුනියන් ජැක් කොඩිය සියළුම ඉංග්‍රීසි  රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී යොදා ගත්තද එංගලන්තයේ වේල්සයේ සහ ස්කොට්ලන්තයේ දී එහි අනන්‍යතාවයන් ප්‍රකට කරවන කතිර කොඩිය මකර රුව සහිත කොඩිය සහ සිංහ රුව සහිත කොඩිය යොදා ගන්නා බවයි. ඒ අනුව අවශ්‍ය නම් මෙහි යෝජනා කරන ලද කොඩිය ලංකාවේ ජාතික කොඩිය වශයෙන් පිළිගෙන සිංහ කොඩිය වෘෂභ කොඩිය සහ අඩසඳ හා තරුව සහිත කොඩිය එසැවීමට ඒ ඒ පළාත් වලදී බාධාවක් නොමැති බවයි.( If for instance in England the king himself can use certain flag on certain occasions .then I say there is northing to prevent  the Muslims for instance , using the green flag with the crescent and the star , or the Tamils using the Nandi  flag or the Sinhalese  If they want to using this flag it self.)

       සිංහල දෙමළ හා මුස්ලිම් ජනතාව මේ කොඩි කාරක සභාව ඉදිරියේ විවිධ යෝජනා ඉදිරSපත් කරනු ලැබුවද ඩොමිනීයන් තත්ත්වය ලැබූ රටක් වශයෙන් යුනියන් ජැක් කොඩිය ඉවත් කර සිංහයා සහිත නව කොඩියක් භාවිතා කිරීමට එකඟ වීම පැසසුම් කටයුතු බව ඔහුගේ අදහස විය. එය කොඩි කාරක සභාවේ සුදුසුතර තීරණයක් ලෙස සලකන බවද ප්‍රකාශ කර සිටියේය.

         ඩී.එස්.සේනානායක මහතා නිදහස් ලංකාවේ අගමැති වීම සඳහා සීතල බල අරගලයක් විය. එයින් ඔහු ජයග්‍රහණය කරනු ලැබුවද ඒ වන විට ලංකා සමසමාජපක්ෂය ජනතාව අතරට ගොස් කල සංවිධාන කටයුතු වලදී එක්සත් ජාතික පක්ෂ රජයට එරෙහිව ජන මතයක් ඇතිකිරීමට සමත් විය. මැතිවරණයේදී මීරිගම ආසනයට තරඟ වැදුණු ඩී.එස්. සේනානායක මහතා ගේ ප්‍රතිවාදියා වූ ඇඩ්මන් සමරක්කොඩි මහතා සමසමාජ පාක්ෂිකයෙකු විය. ඔහු ජනතාව අතරේ වීරයෙකු වූ  බැවින් ඩී.එස්. ට තර්ජනයක් ඇති විය. මේ අවසථාවේදී හේන්පිටගෙදර ඥාණසීහ හිමියන් රත්නපුරයෙන් මීරිගමට වඩම්මවා තම ජයග්‍රහණයට  දායකත්වයක් ලබා ගැනීමට පවා උනන්දු වී ඇත. ජාතික බලවේග ඔහු විසින් භාවිතා කරන ලද්දේ එසේය.එවැනි තත්ත්වයක් යටතේ සිංහ කොඩිය පිළිබඳ තීරණ ගැනීමේදී ඔහු වඩාත් පරිස්සම් වී ඇත. සමසමාජ පාක්ෂිකයන් ජාතික මතයන්ට ගරු නොකළ පිරිසක් බැවින් සියළු දෙනාට එකඟවිය හැකි එකඟතාවයකට පත්වීම ඔහුගේ අදහස් වී යැයි සිතමි. සුදු අධිරාජ්‍යවාදීන් ගෙන් නිදහස ලබා වැඩි කාලයක් ගත නොවී තිබියදී නිදහසේ පරිපූර්ණත්වයට යෑමේ ගමනට කොඩිය බාධාවක් කර නොගැනීමද ඔහුගේ අදහස වී ඇත.

        කෙසේ වෙතත් ඩී.එස්.සේනානායක මහතාගේ හදිසි අභාවයෙන් පසුව සමසමාජ පක්ෂය තවත් බලවත් විය. අධිරාජ්‍ය විරෝධි හැඟීම් ජනතාව අතරින් කුළු ගැන්වෙන්නට විය. මෙය බ්‍රිතාණය ආණුඩුවට පක්ෂපාත දේශීය නියෝජිතයන්ගේ ද සුදු නිළධාරීන්ගේද කනස්සල්ලට හේතු විය.ඔවුහු නිතරම කැබිනට් මණ්ඩලයට තීරණ ගත හැකි වන ලෙස ඡායා කැබිනට්ටුවක් වශයෙන් ක්‍රියා කළහ.සටකපට බ්‍රිතාන්‍ය නිළධාරියෙකු වන අයිවර් ජෙනිංස් ද මෙහි විය. කොතලාවල මහතාද බණ්ඩාරනායක මහතාද මේ ඡායා කැබිනට්ටුව ඉදිරියට කැඳවූ ඔවුහු පවත්නා තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළහ.  එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සිංහලයින් නියෝජනය පිණිස තවත් පකෂයක් සාදා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කරන සැටියට එහිදී කොතලාවලගෙන් ඉල්වා සිටි බව පැවසෙයි. එහිදී තරමක් කේන්ති ගිය කොතලාවල එය ප්‍රතික්ෂේප කළ නමුත් බණ්ඩාරනායක මහතා කොන්දේසි තුනක් ඉදිරිපත් කොට එම ඉල්ලීම භාරගෙන සිය අභිප්‍රාය වන බලය සඳහා යන ගමනට අවතීර්ණ වූ බව පැවසෙයි. ඒ අනුව විපක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  ගොඩ නගා ගත්තේය. මේ සාකච්ඡාව සිදු වන අවස්ථාවේ එහි සිටි පොලිස් නිළධාරියෙකු වූ අගලවත්තේ දයාරත්න රාළහාමි  විසින් කළ  හෙළිදරව්වක් බැවින්  එය සත්‍ය සිද්දියක් ලෙසට කල්පනා කරමි.මෙයින් අප තේරුම් ගතයුත්තේ කොඩි සිද්දියේදී ඉංග්‍රීසින් යමක් අවබෝධ කරගත් ආකාරයයි. ඒ නම් සිංහලයා මතවාදීව බෙදී ගිය පසු ඔහුගේ ශක්තිය හීන වන බවයි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස පක්ෂය යන පක්ෂ දෙක විසින් සිංහලයා දෙකට බෙදා රට පාලනය කිරීම මත එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැන්විණ. කෙසේ වෙතත් මේ කොඩි කාරක සභාවාර්තාව 1953 දී පාර්ලිමේන්තු සැසි වාර්තා කණ්ඩයට ඇතුළත් කර ලංකාවේ නිල ජාතික කොඩිය ලෙසින් භාවිතා කරන්නට වන. 1978 දී එම කොඩිය ව්‍යවස්ථා ගත විය.අද වන විට සිංහල දෙමළ හා මුස්ලිම් යනුවෙන් රට බෙදීමේ තත්ත්වයකට දේශපාලනය සකස්ව තිබේ. එම තත්ත්වය 1951 දී සම්මතකරගත් ජාතික කොඩියෙන් ආරම්භ වූ බව සැලකිය යුතුය.