පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, November 29, 2013

පුරා විද්‍යාව නොදත් පුරා විද්‍යාව හා ගල් පර්වත වල වටිනාකම


                                පොලොන්නරුවේ එගොඩ පත්තුවේ නුවර ගල රූස්සමලේ කන්දේකරන ලද පුරාවස්තු සංහාරය ගැන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව අන්ද මන්ද වී සිටින ආකාරය පසු ගියදා දැක ගන්නට ලැබුණි. 2004 වසරේ දී හඳුනා ගන්නට යෙදුණු පුරා විද්‍යා භූමියක් ගල් කොරියකට ලබා දීමට දෙපාර්තමේන්තුවේ අවසරය ලැබී ඇත. නමුත් අවසරය දුන කෙනෙකු තම වගකීම බාර ගත් බවද පෙනෙන්ට නැත. ඒසේ කළ පුද්ගලයන් සොයා ගැනීමටද නොහැකි වීතිබෙන බවද පෙනේ. කෙසේ වෙතත් පුරා විද්‍යා විෂය පථයට පරිබාහිරෙන් වන පුලුල් විෂය ක්ෂේත්‍රයක් මින් අනාවරණය වූ බවද මෙහිදී හෙළිදරව් කළ යුතුය.

            පුරා විද්‍යාවට විෂය වන්නට නම් පුරා වස්තු ස්මාරක හෝ සෙල් ලිපි වැනි යමක් තිබිය යුතු යයි සම්මතයකි. ලංකාවේ එවැනි ස්ථාන රාශියක් දැක ගන්නට හැකිය. පුරා වස්තු ආඥා පණත යටතේ සිදු කරන්නේ මෙම ස්ථාන සංරක්ෂණය කිරීමටත් ආරක්ෂා කර ගැනීමටත් කටයුතු කිරිමයි.ලංකාවේ  නිධන් තිබෙන්නේ යයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විශ්වාස නොකරයි. එහෙත් ස්ථුපයක ධාතු ගර්භයක් ඇතැයි ද එහි යම් යම් නිධන් වස්තු තැන්පත් කර ඇතැයිද නිගමනය කර තිබේ. නමුත් ගල් පර්වතයක් යට නොපෙනෙන්නට යම් කිසි පැරණි දෙයක් තිබේ නම් ඒ පිළිබඳව හැදෑරීමක් හෝ ගවේශණයක් අදාළ ආයතනය යටතේ සිදු කෙරන්නේ නැත. පසු ගිය කාලයේ දී වනයට යටව තිබූ ස්ථූප රාශියක් විනාශ කරමින් ඒවායේ ඇති නිධන් සොයා ගිය පාදඩයන් ගැන අපට අසන්නට ලැබුණි. ඒ තත්ත්වය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඔවුන් අත් අඩංගුවට ගැනීමට වෙනම පොලිස් ඒකකයක් ද පිහිටුවා කටයුතු කළහ. නමුත් ගල් පර්වත බෝර දමා හෝ බැකෝ යොදා හෑරීමට තැත් කිරීමේ දී යම් නිහඬ පිළිවෙතක් දෙපාර්තමේන්තුව පැත්තෙන් අනුගමනය විය. ඇතැම් විට අල්ලා ගත් පුද්ගලයන් සතුව පූජා ද්‍රව්‍ය  අයුධ ආදිය තිබුණහොත් ඔවුන්ට විරුද්ධව නඩු පැවරූ අවස්ථා තිබුනි. නමුත් සමස්තයක් වශයෙන් ගල් පර්වත තුළ නිධන් නැතිය යන පූර්ව නිගමනය යටතේ සිටින දෙපාර්තමේන්තුව ඒ පස්සේ ගවේශණය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

           සුගලා දේවියගේ යයි කියන මමිය හමු වූවා යයි කට කතාවක් ඇති වන්නේ මේ අවස්ථාවේ දීය.  දිරා පත් නොවන පරිදි ශරීරයක් දීර්ඝ කාලයක් තබා ගන්නට නොහැකි යයි මෙහිදී අධ්‍යක්ෂ තුමා සඳහන් කර තිබුණි. එහෙත් වර්තමානයේ අප දකින තාක්ෂණයට වඩා වෙනස් පැති කඩක් පැරණි දැනුම තුළින් ගවේශණය කළහැකි බව මෙහිදී සඳහන් කළ යුතුය. එකක් නම් ගල් පෑස්සීමේ තාක්ෂණයයි. දෙවැන්න නම් ගල් කපා ගැනීම සදහා භාවිතා කළ තාක්ෂණයයි. සෙල් ලිපි කෙටවීම පිණිස කටාරම් සෑදිමේ දී මෙම තාක්ෂණය භාවිතා කරන්නට ඇත. තෙවැන්න නම් ගල් හෑරීමේ තාක්ෂණයයි. ඒ ගැන ද උදාහරණ දැක්විය හැකිය. සිවු වැන්න නම් ගල් කුඩු වලින් නිර්මාණ ඇති කිරීමේ තාක්ෂණයයි. මෙම ශිල්පීය ක්‍රමයන් මිථ්‍යාවක් බව පුරා විද්‍යා බලධාරීන් ප්‍රකාශ කරති. එහෙත් ගල් පෑස්සූ තැන් ගල් භාජන හමු වූ අවස්ථා ගැන මෙහිදී සඳහන් කළ යුතුය.

          පොළව යට රත්තරන් වැනි නිධන් වස්තු තැන්පත් කිරීම බොරුවක් බවද  එවැනි තැන් සොයා යාම මුලාවේ වැටීමක් බවද බලධාරීන් පවසති. නිධන් වදුල මිථ්‍යාවක් බවද වැඩි දුරටත් ප්‍රකාශ කරති. එහෙත් ඔයා මඩුව සහ අනුරාධපුරයේ විවිධ තැන් වලින් ලැබෙන ආරංචි අනුව නම් එවැනි තැන් තිබී ඇත. ඒවා දඩයම් කිරිමට දේශපාලකයන්ද ආරක්ෂක අංශ ද කරන ලද උත්සාහයන්ද ප්‍රකටව කැපී පෙනුණි. ප්‍රාදේශීය දේශපාලකයන් හිටි හැටියේ පෝසතුන් වූයේ මෙලෙස නිධන් ගොඩ ගැනීමෙන් යයි ද සඳහන් වේ. එසේම එලෙස ධාතු පෙති පිළිම විනාශ කොට නිධන් ගොඩ දැමූ අයට අත්වූ ඉරණම ගැනද කටකතා අසන්නට ලැබේ. කෙසේ වෙතත් මමිය ගැන කතාව අලුත් කතාවකි. එය එලෙස ගොඩ ගෙන විනාශ කලේ යයි ගැමියන් පවසන අතර බලධාරීන් එයට මිථ්‍යාවක් යයි පවසයි. නමුත් ආරංචියේ හැටියට මමියක් හමු වූ පළමු අවස්ථාව මෙය පමණක් නොවේ. ඇඹිලිපිටිය පැත්තනේද එලෙස බෙහෙත් ගල්වන ලද කාන්තා ශරීරයක් හමු වී විනාශ කළ බව කටකතාවක් පැතිරුනේ මීට වසරකට පමණ එපිටදීය. තොටගමුවේ රාහුල හිමියන්ගේ දේහය තවමත් ගෝවේ පවතින බවද මෙහිදී අපට අමතක කළ නොහැකි  කාරණයකි.මෙම සිද්දි මාලාවෙන් අපට පැහැදිලි වන්නේ පුරා විද්‍යාව නොදත් පුරා විද්‍යාවක් ලක් ඉතිහාසය තුල සැඟව ඇති බවයි. එසේනම් මේ ඉතිහාසය සොයා යාමද පැරණියන් භාවිතා කළ ශිල්පීය විධි ක්‍රමයන් යළි මතු කර ගැනීමද අද දවසේ විද්වතුන්ගේ කාර්ය භාරය වෙයි. එහෙත් ඒ සඳහා මේ නව ප්‍රවණතාවය පිළිබඳව විශ්වාශයක් ජනිත විය යුතුය. නමුත් එසේ වන ආකාරයක් දක්නට නොමැතිය. නවීන ස්කෑන් යන්ත්‍ර ලබා ගත හැකි වන අද දවසේ පුරා විද්‍යා විධි ක්‍රමයන්ද නව ඉසව්වකින් ඉදිරියට යායුතු බව සඳහන් කළ යුතුය.

               අනෙක් කාරණය තුළින් කියවෙන්නේ පුරා විද්‍යා ස්මාරක හෝ සෙල් ලිපි නොමැති තැන් වල ගල් කොරි දමා ගැනීමට බල පත්‍ර දීමේ වැඩපිලිවෙලක් අරඹන බවයි. රට පුරා මාවත් වලකාපට් දමන තරමට පාර වල් අලුතින් කපා තාර දමන තරමට ගල් අවශ්‍ය බව සැබෑවකි. එසේම රටේ ගොඩනැගිලි හැදෙන සීඝ්‍රතාවය අනුවද කලු ගල් අවශ්‍යතාවය වෙන කවරදාටවත් වැඩියෙන් දැනී තිබෙන බව සත්‍යයකි. එහෙත් කලු ගල් අවශ්‍ය වූ පමණින් යාපහුව හෝ දෙවනගල  බෝර දමා කැඩීමට අවසර දෙන්නට තීරණය කරන්නේ නම් එතැන ඇත්තේ මේ රටේ සංස්කෘතිය නොදත් එසේම පරිසර පද්ධතිය ගැන හරි හැටි අවබෝධයක් නොමැති ඇත්තන් ගේ අමන ප්‍රතිපත්තියකි.

        කලුගලක් ආරක්ෂා කර ගත යුත්තේ පුරා වස්තුවක් තිබීම නිසා පමණක් නොවේ. ලාංකාව පුරා විහිදී යන කඳු පංති හා එහි භූවිෂමතාවයන් දෙස බැලුවහොත් මේ කඳුකරය විසින් පරිසරයට ඇති කරන බල පෑම සුලු පටු නොවේ. ලංකාවේ පිට කොන්ද ලෙසට සැලකිය හැක්කේ මධ්‍යම කඳුකරයෙන් ඇරඹී  උතුරට නැගෙනහිරට හා වයඹට විහිදී යන කඳු පන්තියයි. ඒවා ක්‍රමානුකූලව තුනීව ගොස් වන්නියේ දී අවසන් වේ. මේ කඳු පන්ති විශේෂ වැදගත් කමකින් යුක්තය. ඒවා සමහරක් සුදු කඳු පන්ති වලට අයත්ය. මේ කඳු වල තිබෙන ස්වභාවික පැලුම් වල වැඩී තිබෙන ගස් වැල් ද රාශියකි. වර්ෂා කාලයට මේ ගල් පැලුම් ඔස්සේ ගල් තුළට ජලය කාන්දු වන අතර ඒවා එහි තැන්පත් වේ. අනතුරුව මේ කඳු වල වැවී තිබෙන වීර මයිල වැනි ශාක වල අතු පතර මගින් හෙමින් හෙමින් මේ ජලය   නිදහස් කරන අතර ගල්තුළ ඇති ජලය උල්පත් බවට හැරී පරිසරය තෙත් කිරීමට උත්සාහ ගනී. කුංචුට්ටු කෝරළය මෙයට හොඳම උදාහරණයකි. කැබිතිගොල්ලෑවේ ඇති ජල උල්පත් දාසය පැන නැගෙන්නේ මෙලෙස කඳුකරයෙන් ඇදෙන ජල මූලාශ්‍රයන් හේතු කොට ගෙනයි. ඒ නිසා රජ රට වියළි පරිසරය තෙත් කරන අතර ස්වභාවික වනාන්තරයන් ද ආරක්ෂා කරයි.

           අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි එවැනි ස්ථාන ගණනාවක්  යුද්ධයෙන් පසු කාලවකුවානුව තුළ විනාශ කිරීමට ඇතැම් දේශපාලකයන් කටයුතු කළහ. නිධන් ගැනීමේ වුවමනාවෙන්ම ගල් කොරි දැමූ අවස්ථා දැක ගන්නට හැකි විය. එයටඅමතරව මුස්ලිම් ව්‍යපාරිකයන්ට මේ ස්ථාන බදු දීමට අවසර ලබා දුන් පුරා විද්‍යා ව ගැන ද සඳහන් කළ හැකිය. මේ තත්ත්වය නිසා හොරොව්පතාන කුංචි කුලමේ පුරා විද්‍යා ස්ථානයක් සම්පූර්ණයෙන්ම ඩොසර් කරන ලද්දේය.  මේ පිළිබඳ වාර්තාවක් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමාට ඉදිරිපත් කිරීමටද කටයුතු කළෙමි. එහිදී මේ ගල් පර්වත වල වටිනාකම හා පරිසරයට තිබෙන සබැඳියාව ගැනද සඳහන් කරන්නට අමතක නොකෙළෙමි. කිසිසේතම මේ අගනා පරිසර පද්ධති විනාශ කිරීමට බල පත්‍ර නොදිය යුතු බවට එහිදී අවධාරණය කළෙමි. එහෙත් පාරිසරික පුරා විද්‍යාව ගැන නොදත් නිළධාරීන් සිටින රටක එවැනි රක්ෂාවරණයක් ලැබීමට නොහැකි වූ බව මෙහි ලියා තැබිය යුතුය. බ්‍රිතාන්‍යයන් ගෙන් උගත් පුරා විද්‍යාව කර පින්නා ගෙන එම නීති රීති වලට කොටුවී තව කෙතෙක් දුරට ලංකාවේ ජාතික උරුමයන් ආරක්ෂා කර ගත හැකි වේ ද යන්න අද අප ඉදිරියේ පවතින ප්‍රශ්ණයකි. සුගලා දේවියගේ යයි කියවෙන මමිය පිළිබද කතාවෙන් මතු කළ යුත්තේ මෙම සංවාදයයි.

       

           

Monday, November 11, 2013

උතුරු මැද අලි ගාල නිසා ගම්වලට අලි කරදර


                           
 
          

 

         අලි ඇතුන් නිසා අපිට හරි කරදරයි. අපගේ වගාවන් විනාශ කරනවා. මිනිස්සු මරනවා. ඉතින් අපි වෙඩි බඳිනවා. මෙහෙම කියන්නේ අලි කරදර නිසා හෙම්බත්වුණු ජනතාවයි. අලි කරදර නිසා වන ජීවී එකටත් හරිම කාර්ය බහුලයි. අලි නිර්වින්දනය කොට වෙනත් පළාතකට ගෙනයාම හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. එහෙත් කලට වේලාවට ඒවා නොකලහොත් ගම්මුන්ගෙන් විතරක් නොවෙයි. දේශපාලකයන්ගෙනුත් බැණුම් අහන්න වෙනවා සිකුරුයි. මේ නිසා අලි කරදරේ කියන්නේ අලි ජරමර වැඩක්.

        උතුරු මැද පළාතේ හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉහළ දිවුල් වැව කියලා ගමක් තිබෙන බව කවුරුත් දන්න කාරණයක්. වාහල් කඩ මහා වැව ඉස්මත්තේ තිබෙන පාරම්පරික ගම්මාන අතරින් ඉහළ දිවුල් වැව කපුගොල්ලෑව තාමර වැව දුටු වැව අලියා කඩ වාගොල්ලා කඩ  තවලම් හල් මිල්ලෑව වැනි ගම් විශේෂයි. ඒ මන්ද කොටි කලබල තිබෙන කාලෙදිත් මේ ගම්වල මිනිසුන් තමන්ගේ ගොවිතැනක් බතක් කර ගෙන ජීවිකාව ගෙනගිය නිසයි. සමහර ගමක් දෙකක් කොටි ත්‍රස්තයන් අතින් කැති ගෑවුණත් කිසි කෙනෙක් තමන්ගේ මුල් ගම් බිම් දාලා ගියේ නැත්තේ ඒ ප්‍රදේශය රත්තරන් පොළොවක් නිසයි. මේ කාලයක් තිස්සේ වහන් වෙලා තිබූ ගම්මාන නිසා  වාහල්කඩ වැව්  ඉස්මත්තේ ඇත්තේ ඝන කැලයක්. යාන් ඔයත් තවලම් හල් මිල්ලෑව ඔයත් මොර ඔයත් සීමා වන කලාපයේ තිබෙන ලොකු කුඩා වැව් සියල්ලම ආවරණය වන පරිදි මේ කැලෑ බූටෑව පැතිරී පවතිනවා. මේ නිසා මේ රටේ වතුර බොහොම පිරිසිදුයි. වකුගඩු රෝගීන් හිටියත් ඇත්තේ කලාතුරකින්. උල්පත් වතුරත් බොහොමයි. මේ පරිසරයේ සතා සීපාවත් බොහොමයි. කැලේ ඉන්න අලි ඇතුන් කැලේට වහන් වෙලා හිටියත් කාලයකට ගමට එනවා. ඒ හේන් භෝග ජාති තිබෙන කාලයටයි. ඉතින් ඒ කාලයට ගම්මු පැල් රකින්නට යනවා. කපුගොල්ලෑවේ සිටින පාරම්පරික වෙදහත්මයෙක් වන මුදලිනායක මහතා අලි ඇතුන් ගැන කිව්ව කතාවක් මෙහි ලියා තබතහොත් යසයි කියා කල්පනාවට පැමිණියා. ඒ කතාව මෙහෙමයි.

        එක් දවසක් මං ගොයම් කපලා මිටි බැඳලා ගෙදර ගියා. එදා රෑ පැල් රකින්න යන්න බැරි වුණා.  පහුවෙන්දා බැලින්නම් කොලේ අලි කාලා. කරන්නම්කො යස වැඩක් කියලා මං ගෙදර ආවා. එදා රෑ හෙනේ පැල් රකින්නට ගියා. අටවක හඳ තියන නිසා යාන්තමට වට පිට පේනවා නොපේන ගානයි. ඈත හේනේ බඩ ඉරිඟු හැදිලා දිලිසෙනවා පේනවා. මේ දවස්වල අලියා ගම් වදින නිසා වට පිට විපරන් කලේ පරිස්සමින්. දැන් දෙගොඩ ජාමෙත් පහුවෙලා. පාන් තිස් පැය ගෙවී යනවා. නිදමතක් ආවත් ඇහැ පියවන්නට නම් හිත දුන්නේම නෑ.  එක පාරටම අලියෙක් කුඹුරේ ලියැද්දට පය තැබෙව්වා. මම  ලෑස්තිවෙලයි සිටියේ. මැතිරුවා. බොහොම සීරුවෙන්ම  දැප මන්තරේ මැතිරුවා. වැඩි වේලාවක්  ගියේ නෑ. අලියා සිටි තැනම  ගල් වෙච්චි.පුරු පුරු ගෑවිල්ලේ ඌට මහ දිය යනවා. මගේ මන්තරේ වැඩ කරලා වගෙයි. ඔහේ හිටියා තවත් ටික වේලාවක්. දැන් පාන්දරට ළඟයි. අලියාට කර කියා ගන්න දෙයක් නෑ.පය උස්සන්න බෑ. හොඬවැලත් උස්සන්න බෑ වගෙයි. අනිත් අතට ආයේ පාරක් මැතිරුවා. අලියා ගල් හිටවපු එකෙන් නිදහස් වුණා. ඌ නොවෙයි අයෙත් කුඹුර දිහා බැලුවේ. එක් පිම්මට බැද්දට දිව්වා.

             උතරු මැද පළාතේ ගොවීන් එදා අලි එලෙව්වේ මෙහෙමයි. උන්ට හිංසාවක් කලේ නෑ . ගිනි බින්දේ නෑ. පොඩි දඬුවමක් දුන්නා විතරයි. එක දවසක් මෙහෙම කලාම කාලයකට ආයෙ තනි අලියා එන්නේ නැති බව ගොවීන් දැන සිටියා. මෙහෙව් රටේ තොටේ තමයි අලි ගාලක් හදන්න හිටපු වන ජීවි ඇමති තුමා 2012 වසරේදී මුල් ගල් තැබෙව්වෙ. ඊට ඉස්සරින් රණවිරු ගම්මානයක් හදන්න කියලා කපුගොල්ලෑව පාරේ එක් කොටසක් වෙන් කරලා ඒකේ තිබෙන වීර ගස් එහෙම කපා ගෙන ගිය බව කවුරුත් දන්නවා.  හැඳුණ රණ විරු ගම්මානයක් නෑ. ඊට ප්‍රති විරුද්ධ දිශාවෙන් තමයි දැන් අලිගාල හදන්න සේරොම මට්ටම කරන්නේ කියලයි ගම්මුන්ගේ අදහස. ඒක ඇස් මට්ටට පේනවා කැටපිලර් ගෙනල්ලා ගස් පෙරලලා පාරත් හලා තියෙයි. වැටත් ගහනවා. අලි සේරොම ටික පන්නලා .මෙතැන හිටවපු දැන්වීම් පුවරුවේ නම් තිබෙන්නේ අලි මිනිස් ගැටුම නැති කිරීමේ අදහසින් කරන අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් සහ හරිත උද්‍යානයක් කියලයි. ඒත් දැන් අලි ඇතුන් අනාථ වෙලා ගම් වදිනවා. වෙනදට කුඹුරු හේන් පැහෙන කාලයට ගම් වදින අලි දැන් මේ කාලයටත් ගම් වදින්ටට පටන් අරගෙන කියලයි පෙනෙන්නෙ. මේ ප්‍රදේශයේ ඉන්න අලි රංචුව හරි සාමකාමියි. මිනිසුන්ට ජීවිත තර්ජන නෑ. උන් නිදහසේ දිනකට හැතපුම් දාසයක් පමණ ගමන් කරන බවයි ගම්මුන්ගේ අදහස. ඒ කියන්නේ නවරියන් ගෙයකට අවශ්‍ය ගස් වැල් දවසකට කනවා කියන එකයි. මේ අලි මංකඩේ තමයි මේ අලිගාල තනා ඇත්තේ. දැන් අලි බය වෙලා ඒ මදිවාට  දුනුවත්තේගම  වැව ඉස්මත්තේ ගල් ක්‍රෂරයක් සවි කරලා දවල් රෑ නොබලා වැඩ . පළාතටම සද්දේ ඇහෙනවා. අලි තවත් බය වෙලා . දැන් සී සී කඩ වෙලා. මේ ළඟදී මේ ලෙස අනාථ වෙච්ච අලි කීප දෙනෛක් පරංගියාවාඩිය පැත්තට ගිහින් කේන්තියට ගම්මුන්ගේ ගෙවල් කඩලා. එක ජරමරයයි. මෙයින් කුපිත වුණු මිනිස්සු මේ සතුන්ට හක්ක පටස් තියන්න පටන් අරන්. අනේ අපොයි. තරමක අලි පැටවෙක් මේ උගුලට අහුවෙලා වැවක මැරී හිටියේ නොවැම්බර් මාසයේ මුල් සතිය තුළයි.

       මේ අලි ගාලට අක්කර තුන්දහස් දෙසීයක් අයත් වෙනව කියල තමයි සඳහන් වෙන්නෙ. ඉහළ දිවුල් වැවත් තවලම් හල්මිල්ලෑව වන රක්ෂිතය තුළත් තිබෙන ප්‍රදේශය මෙයට අයත් වෙනවා. මේ අඩවියේ දුර්ලභ පැරණි නාඋයන් දෙකක් හමු වන අතර වලස්කුණු වැව නමැති ගල්ලෙන් තපෝවන ආරණය සේනාසනයත් හමු වෙන බව කිව යුතුයි.  මෙහි පැරණි ලෙන් ලිපි හතක් තිබෙනවා. තාම පිටපත් කරලත් නෑ. දැන් මේ සියල්ල අහු වන ලෙසට වටේට පාරත් කපලා ගස් ටික මෝලට පටවලත් ඉවරයි. ඒ අතර එක් පැත්තක සිට අලි වැට ඉඳි කරන්නට පටන් අරන්. මේ නිසා තමයි අලි මංකඩ අවහිර වෙලා අලි අනාථ වෙලා තිබෙන්නේ.මේ අලි රැඳවුම් මධ්‍යස්ථානය නිශ්ඵල වැඩක් කියල මොළය තිබෙනව නම් තේරුම් ගන්නට අපහසු නැහැ. එයට හේතුව අලි ඇතුන් එහෙම එක තැන ගාල් කරල තියා ගන්නට බැරි නිසයි. මේ ජරමරේ මදිවාට අලි ගාලට ප්‍රවිශ්ඨ වන තැන තිබෙන වැව හාරලා ජලචර යාත්‍රා බස්සන්න සැලැස්මකුත් තිබෙයි කියලා වාර්තා වනවා. දැනටමත් වැව පතුලේ වලවල් හාරලා විනාශ කරලා ඉවරයි.බලනකොට මේක අලි සංරක්ෂණ මධ්‍යස්ථායක් නොවෙයි. පනාමුරේ ඇත් ගාල වගේ අලි හිරගෙදරක්. විදේශිකයන්ගේ හිත සුව පහසුව පිණිස අටවා ගන්නා  සංචාරක නිකේතනයක්. මේ මර උගුල නිසා අලි ඇතුන් ගේ ජීවිත තර්ජනයට ලක් වෙනවා වගේම ගම්මුන්ගේ දේපළත් විනාශයි කියල තමයි අවසාන වශයෙන් සඳහන් කරන්නට තියෙන්නේ.

                    

Wednesday, October 30, 2013

රනිල් ට කුරහන් සාටකය අන්දවා කළ කැසිනෝ විවාහය


                             

 

           රට බෙදීමට සහ විදේශිකයන් උදෙසා රට අනවශ්‍ය පරිදි නිදහස් කිරීමට පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය ගත් උත්සාහයන් නිසා විශාල  ජනතා කළ කිරීමක් ඇති විය. මෙයින් ජනිත වූ විරෝධය හමුවේ  ඇතිවූ පෙරළිය නිසා මහින්ද රාජපක්ෂ මහතාට බලයට පත් වීමට හැකි විය. කොටි ත්‍රස්තවාදය අබිමුවේ එක්සත් ජාතික පක්ෂයට විකල්පයක් තිබුණේම නැත. කොටි උදෙසා අන්තර් පාලනයක් දීම  රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒකායන බලාපොරොත්තුව විය.2002 ජූනි 5-6 දෙදින තුළ ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන සමුලුව නමින් වාර්ෂික රැස්වීමක් ප්‍රථම වතාවට ලංකාවේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන ලදී. එහිදී ශ්‍රී ලංකාවේ දිළිදු භාවය අඩු කිරීම සඳහා උපාය මාර්ගයක්: වර්ධනය සමග සම්බන්ධ කිරීම යනුවෙන් වාර්තාවක් ඉදිරිපත් විය. අනතුරුව එම වාර්තාව මත පදනම්ව එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා  2002 දෙසැම්බර් මාසයේ දී  ලෝක බැංකුව වෙත ඉදිරිපත් කරන ලද යලි පුබුදමු ශ්‍රී ලංකා( Regaining srilanka) උපාය මාර්ගික සැලැස්ම මගින් විශාල ණය මුදලක් අපේක්ෂා කෙරුණි. මේ ව්‍යාපෘතිය යටතේ ලංකාවේ යටිතල පහසුකම් වල විශාල වෙනසක් ද  අභිනව රැකියා දශලක්ෂයක්ද බලාපොරොත්තු විය. කොළඹ නගරය දියුණු කිරීමට එහි වෙසෙසි තැනක් හිමිව තිබුණි. පළාත් සභා ක්‍රමය යටතේ සහ කොටින්ට ලබා දිය හැකි ස්වයං පාලනය ක්‍රියාත්මක වීමෙන් පසු කොළඹ හා ජයවර්ධන පුරය වෙනමම සංවර්ධනය කරලීමට සැලසුමක් විය. කොළඹ  දකුණු ආසියාවේ විනෝදාත්මක නගරය ලෙසින් සංවර්ධනය කිරීමට නියමිත විය. එසේම නව සංචාරක නීතියක්ද ස්ථාපිත කිරීම  අරමුණු අතර විය. කොළඹ නගරය කේන්ද්‍ර කර ගෙන සුපිරි හෝටල් ව්‍යාපෘති දෙකක් ද එයට අදාලව සූදු ස්ථාන දෙකක්ද  ස්ථාපිත කිරීමටද මෙම සැලසුම් වලදී සාකච්ඡා වී තිබුණි.( permit 2 five star hotels in colombo operate gaming facilities by auctioning licenses Page 208)

           රනිල් වික්‍රමසිංහ මහතාගේ පරාජයත් නව රජය කෙරෙහි ජනතාවගේ ඇති වූ බලාපොරොත්තුව නිසාත් ජනතා රජයකට නව අත්තිවාරමක් වැටුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරන ලද්දේය.යුද්ධයෙන් පසුව ජනතා අපේක්ෂා වන්ට මුල්තැන් ලැබී ජාතික ආර්ථිකයක් ගොඩනැන්වීමට හැකි වේ යයිද විශාල ප්‍රාර්ථනාවක් ජාතික බලවේග තුළ තිබුණි.  නමුත් පළාත් සභා ක්‍රමය අහෝසි නොකරන ලද අතර ස්වයං පාලන අරමුණු තවත් වටයකින් ඉදිරියට පැමිණියේය. ඉන්දියාවේ බල පෑම පිට උතුරු පළාත් සභාව පිහිටුවා එහි නායකත්වය කොටි හිතවාදි විග්නේශ්වරන් මහතාට දීමට සිදු වූයේය.  රජය වෙනස් වුවද මහා භාන්ඩාගාරයේ නිළධාරින් ගේ වෙනසක් ඇති නොවීම මෙහි ද සැලකිය යුතු කරුණක් ලෙසට සඳහන් කළ යුතුය. වෙසෙසින්ම පීබී. ජයසුන්දර මහතා නව ජනාධිපතවරයාට ලන් වූයේ කිසිවෙක් අපේක්ෂා නොකළ පරිද්දෙනි. මේ නිසා 2002 වර්ෂයේ දී බලාපොරොත්තු වූ ලෝක බැංකු ණය ලංකාවට  ලබා ගැනීමට පුලුවන් විය. එහිදී ඒ සඳහා ඉටු කළ යුතු කොන්දේසි කීපයක් විය. එකක් නම් කොළඹ නගරය පෙන්වා දී ඇති පරිදි සංවර්ධනය කිරීමයි. යලි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘති සැලසුම් වලට අනුව දැන් කොළඹ නගරය නව ආරකින් සංවර්ධනය කරනු ලබයි. පැරණි යටත් විජිත ගොඩනැගිලි සියල්ලම සංචාරක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා අලුත්වැඩියා කරන්නේ පෙර කී සැලසුම් වලට අනුවයි. එසේම විදේශිකයන් බදු වලින් නිදහස් කිරීම. කොළඹ ඉඩම් විදේශකයන්ට බදු දීම පෙන්වා දිය හැකිය.සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය උදෙසා  මෙම සැලසුම් වලට අනුව පෙර සඳහන් කළ මහා පරිමාණ හෝටල් දෙකද ඉඳි කළ යුතු වෙයි. ක්‍රමෝපාය සංවර්ධන පණත මගින් ආවරණය වන පරිදි බදු සහන ද ලබා දෙමින් ඩී.ආර්.විජයවර්ධන මාවතේ සහ ගංගාරාමය ඉදිරිපිට ඉඳි කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම සැලැස්මට අදාල හෝටල් දෙකයි.එහි කැසිනෝ සූදු ක්‍රීඩාව සඳහා බලපත්‍ර නිකුත් නොකළද සමස්ත ව්‍යාපෘතිය යටතේ සූදුව ට අවශ්‍ය ගිවිසුම් දැනටමත් සකස්ව ඇත.

          කොටියා පරාජයට පත් කළද බෙදුම්වාදයත් නව යටත් විජිතවාදයත් ක්‍රියාත්මක වන්නේ මේ අයුරිනි. වර්තමාන රජයේ මෙම සංවර්ධන ක්‍රියාවලියෙන් වැඩියත්ම සතුටු වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඔහු ජනාධිපතිවරයා නුවුණද ඔහුගේ අරමුණු එකින් එක ඉටු කිරීමට සන්ධාන රජයට සිදු වී තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් සන්ධාන රජයට එක් වුණු මන්ත්‍රී වරුන්ට අවශ්‍ය නිදහසද ලබාදී තිබේ යයි කිව හැකිය. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වන ලක්ෂ්මන් යාපා  මහතා එක් පයින්ම කැසිනෝ වලට උර දෙන්නේ මේ නිසාය.යලි පුබුදමු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය  ප්‍රාණවත් වන්නේ මේ ආකාරයෙන් පමණක් නොවේ. උතුරු කරයේ සංවර්ධන කාර්යයේ ද එය නව මුහුණුවරකින් කරළියට පැමිණි තිබේ. උතුරේ සිංහළයන් පදිංචි නොකිරීමේ එක් හේතුවක් වන්නේද මෙයයි. මේ අධාර ලබා දෙන්නේ උතුරේ දෙමළ ජනතාවට පමණකි. එහෙත් හමුදාවේ මැදිහත් වීම නිසා දැන් ඒවා සිංහල ගම්මානයන්ටද ලැබෙමින් පවතී.එහිදී එම ව්‍යාපෘති නාමයන්හි සෘජුව සඳහන් වන්නේ යලි පුබුදමු ව්‍යාපෘතිය යනුවෙනි.

      දීර්ඝ කාලයක් තිස්සේ විදේශීය ණය ගැනීමත් ආයෝජන  විවෘත කරගැනීමත් නිසා රට සංවර්ධනය වීනම් රුපියලේ අගය වැඩි වීමට  ඉඩ තිබුණි. දුප්පත් කම අඩු වීමට ඉඩ තිබුණි. එහෙත් එසේ වී නොමැත.ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තව දුරටත් පහත වැටෙමින්ඇත.නිෂ්පාදන ආර්ථිකයේ පසුබෑම් මධ්‍යයේ සේවා ආර්ථිකය පණ ලබා ඇත. ලෝකය පුරා හිඟමනේ යන රටක් වශයෙන් ලංකාව දැන් කීර්තියක් උසුලයි. මෙලෙස රටේ සංස්කෘතියද උගසට තබමින් කරන සංවර්ධනය වැරදි බවට ජනතාව එදා දුන් තීරණය ගැන අල්ප මාත්‍ර වැටහීමක් නොමැති ව අද  වර්තමාන රජය ගමන් ගන්නා මාර්ගය අතිශයින් අවදානම් සහිතය. ඒ මන්ද නිෂ්පාදන ආර්ථිකයෙන් ක්‍රමයෙන් රට ඈත්ව යාමයි.දිවි නැගුම හරහා මෙම අඩුව පිරවීමට බලාපොරොත්තු වුවද එයද ගැට ගැසී ඇත්තේ බහුජාතික සමාගම් පොහොසත් කරලීමේ රැහැනකටයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ශ්‍රම පසුබෑම ඉතා තදින් දක්නට හැකිය. එයට හේතුව අධ්‍යාපනයෙන් බැහැර වන වැඩි ප්‍රතිශතයක් සේවා ආර්ථිකයට බද්ධ වීමයි.නව තාක්ෂණික පාසල් මගින් මෙයට විකල්පයක් සෙවීමට අදහස් කර ඇත. නමුත් එහි විෂය මාලාවන් දෙස බලන කල්හි රටේ ප්‍රධාන නිෂ්පාදන ආර්ථිකය වන වී ගොවිතැනට හිමි වී ඇත්තේ ඉතා අඩු වටිනාකමක් බව පෙනී යයි.

       රනිල් වික්‍රමසිංහ මහාතා ඇතුලු විජාතික බලවේග  තුළ තිබූ අභිලාශයන් යථාවත් කිරීමට සන්ධාන රජය උර දීමේ ඛේදවාචකය තුල ජාතික බලවේගයන්ද අසීරුවට පත්ව තිබේ. ඒකීය රටක් පිළිබඳව සන්ධාන රජය ගන්නා පියවර අනුවද මහින්ද චින්තනය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව මතද ජාතික බලවේග රජය සමග සිටින්නේ යයි කියවෙයි. එහෙත් දැනටමත් ඒකීය සංකල්පය රජය විසින් බිඳ දමා තිබේ. මහින්ද චින්තනයේ සඳහන් වැදගත් අපේක්ෂාවන් වෙනුවට යලි පුබුදමු ශ්‍රි ලංකා නම් වූ රනිල් චින්තනය කරළියට පැමිණ තිබේ. එය හරියට මහින්ද චින්තනය උරච්චි කිරීමෙන් මතුවූවක් වැන්න. අවසානයේ මේ උරච්චි කිරීමෙන් තහවුරු වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පෞරුෂය නොව රනිල් වික්‍රමසිංහයන් ගේ  ආගමනයි.රජය තුළ සිටින ආර්ථික ඝාතකයන් ඉටු කරන්නේ මේ කොන්ත්‍රාත්තුව යයි මේ රජයට නොදැනෙන්නේද.?

                         

    

        

Sunday, October 20, 2013

මී උණ කියන්නේ බොරුවක්-ප්‍රතිජීවක ගන්නේ බලාගෙනයි


                            

 

       මීයන්ගේ මුත්‍රා වලින් පිටවන බැක්ටීරියාවක් නිසා ගොවීන් හට උණ වැළඳී මරුමුවට පත් වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ විසින් වරින් වර වාර්තා කිරීම නිසා දැන් ගොවි ජනතාව සිටින්නේ බියකිනි. රජරට ප්‍රදේශ වල ඇතිව තිබෙන වකුගඩු රෝගය නිසාවෙන්ද  ගොවි ජනතාව සිටින්නේ මර බියකිනි.මෙම මීඋණ රෝගය ලංකාවේ හඳුනාගන්නා ලද්දේ 1952 වැනි ඈත කාලයකදීය. ඒ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ලෝකයේ එය පළමු වරට වාර්තා වන්නේ 1907 වර්ෂයේ දීය. දින හතේ උණ කැනි කෝලා උණ යනුවෙන් හඳුන්වනු ලැබූවද ලංකාවේ එය හඳුන්වන ලද්දේ බෙලෙක් උණ යනුවෙනි.. ලෙප්ටෝස්පයිරා නම් බැක්ටීරියාවක් නිසා මෙම රෝගය වැළඳෙන්නේ යයි විද්‍යාඥයන් විසින් නිගමනය කර ඇත. බල්ලන්  මීයන් වැනි සතුන්ගේ මුත්‍රා මාර්ගයෙන් වගුරු ජලයට මිශ්‍ර වීමෙන් මෙම බැක්ටීරියාව මනුෂ්‍යයාගේ සිරුර ආක්‍රමණයකරන බව පැවසෙයි. ඒ නිසා ලංකාවේ කුඹුරු වල නියර තුළ ජීවත් වන මීයන් මෙයට හේතුවක් ලෙසට සලකා ඇත.

      කුඹුරු වල විවිධ සත්ත්වයන් ජීවත් වන අතර උන් සියල්ල එහි පරිසර පද්ධතියේ කොටස් ලෙසට සැලකේ. කුඹුරට ඇදෙන ගැරඬියා නාගයා වැනි සතුන් ගේ ප්‍රියතම ආහාරය වන්නේ මීයන්ය.මේ බටු මීයන් නිසා කුඹුරේ වසන විවිධ කෘමි සතුන්ද මර්ධනය වේ.කක්කුටු ගුල් වලට රිංගන මීයාගෙන් ඇතැම් විට ගොයමට හානි සිදු වන අතර ගොවීන් විවිධ උපක්‍රම හා කෙම් ක්‍රම යොදා ගනිමින් මේ මී ගහනය පාලනය කර ගනිති. කොහොමටත් කුඹුරු සකස් කරන කාලයේ දී නියර කෙටීමද නියර පිට දැමීමද සිදු වන බැවින් මීයන්ට හෝ කක්කුට්ටන්ට වැඩි කලක් තමන්ගේ ගුල් පද්ධතිය තුල සිටීමට අවකාශ ලැබෙන්නේ නැත. ඒ සමගම වනාත් කෙටීමද පුලුස්සා දැමීම නිසා ද මී ගහනය බොහෝ දුරට පාලනය වේ.

   මෙවැනි තත්ත්වයක් යටතේ විශාල මීයන් සංඛ්‍යවක් කුඹුරු ආශ්‍රිතව ජීවත් වීමද උන් මගින් ගොවියාට ආසාදන ඇති වීමද බලාපොරොත්තු නොවිය හැක්කකි. එහෙත් රෝහල් වලට වාර්තා වන උණ රෝගීන් ලෙප්ටෝස් පයිරොසිස්  ආසාදිතයන්  ලෙසට වාර්තා කිරීමට සෞඛ්‍ය අංශ උත්සාහ දරති. මෙය ඇත්තක් විය හැකි දැයි පරීක්ෂා කොට බැලූ කිසිවෙක් නැත. රජරට වකුගඩු රෝගය  සෞඛ්‍ය අංශ වලට හඳුනා ගන්නට බැරි වීම නිසා එය හඳුනා නොගත් යනුවෙන් වර්ග කොට ඇත. නමුත් වගුරු ආශ්‍රිතව මීයන් ගේ මුත්‍රා පැතිරිම නිසා ඇතිවන රෝගයක් ලෙස  දක්වා තිබීම ද එයින් මනුෂ්‍යාට ඇති වන උණ මීඋණ යනුවෙන් වර්ග කර තිබීම ද නිසා එම හඳුනා ගැනීම ලංකාවට ද ආදේශ කර ඇත.

      ලංකාවේ කුඹුරු වස විස වලින් නෑවීම කරනු ලබන්නේ හැත්තෑව දශකයේ සිටයි. වෙසසෙසින්ම වල් නාශක නොගසන කුඹුරු සොයා ගැනීම අද එතරම් පහසු නැත.ට්‍රැක්ටර් වැනි යන්ත්‍ර සූත්‍ර දියුණු කර තිබුණද වල් නාශක නොගසා කුඹුරු සකස් කිරිමට සහ ගොයම් හදා ගැනීමට ගොවියා දන්නේ නැත. පැරකට් ග්ලයිෆසෙට් වැනි වල් නාශක වර්ග උග්‍ර විස කාණ්ඩයන්ට අයත් බව දැන දැනම ඒවා මේ රටේ භාවිතා කරති. වකුගඩු රෝගය ගැන පරීක්ෂා කොට බැලූ කැලණිය විශ්ව විද්‍යාල කණ්ඩායමේ දත්ත අනුවද රේගුව විසින්ද කරන ලද පරීක්ෂණයේ දී ලැබූ දත්ත අනුව ද ලංකාවට ගෙන්වීම තහනම් වූ ආසනික් මූල ද්‍රව්‍ය  මෙම වල් නාශක වල යහමින් තිබූ බවට ඔප්පු වී ඇත. ඒවා බාහිර වශයෙන් කලවම් කරමින් අයතා පරිහරණයක් කළ බවට දැන් තහවුරුව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලින්ද ඒ ගැන කළ හෙළිදරව්ව නිසාය. මෙම උග්‍ර වල්නාශක නිසා තෙත් කලාපයේ වගුරු පස දූෂණය ව ඇති බව නොරහසකි. වල්නාශක ගසා ඉතා ඉක්මනින් සී සෑම් මැඩවීම් කටයුතු කිරිමට ගොවීන් පෙළඹී සිටීම නිසා කුඹුරට බසින ගොවියාගේ හමේ සීරිමක් ඇති විටදී වුවද එම රසායන ද්‍රව්‍ය ශරීර ගත වීමට තිබෙන ඉඩ කඩ බොහෝය. වර්තමානයේ මී උණ යයි හඳුන්වන භයානක රෝගය ඇති වීමට හේතුව මෙම පරිසර තත්ත්වය විය නොහැකිද. සෞඛ්‍ය අංශ මේ වන තෙක් මේ පිළිබඳව කිසිදු පර්යේෂණයක් සිදු කර නොමැත. වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ කිරිමේ දීද මේ පලිබෝධනාශක ගැන සොයා බැලීමක් ආරම්භයේ දි සිදු නොකෙරුණි. එයට හේතුව බලගතු පලිබෝධනාශක සමාගම් වල ග්‍රහණයට බහුතරයක් නිළධාරින් අසුව සිටීමයි.

           වසර විසිපහක් පුරා වල් නාශක නොමැතිව කෘමි නාශක හෝ දිලීර නාශක නොමැතිව ගොවිතැන් කිරිමට උත්සාහ දැරිම නිසා කුඹුරේ වස විස තත්ත්වයන් ගැන මා හට හොඳ අත්දැකීමක් ඇත. කුඹුරකට බහින ගොවියාට සොබා දහමට අධිගෘහිත දෙවි දේවතාවුන් ගෙන් ලැබෙන ආශිර්වාදය මිල කළ නොහැක්කකි. ඒ සඳහා පරිසර හිතකාමීව කල් යල් බලා ගොවිතැන් කිරීමත් කන්නය අවසානයේ පුද පූජා සත්කාර කිරිමත් ප්‍රමාණවත්ය. නිර්මාංශව සිටිම වඩාත් ප්‍රයෝජනවත්ය. බක් මාසයෙන් පසු අප්‍රියල් මාසයේ දී  සහ බිනර මාසයෙන් පසු ඔක්තෝබර මාසයේ කුඹුරේ වැඩ ආරම්භ කිරිමත් ගොවියාට සුදුසු නොවන බව මාගේ අත්දැකීමයි. ගොවියා දුර්වල වන්නේද ලෙඩ රෝග වැළඳීමට  ඉඩකඩ ඇති වන්නේද මෙලෙස අකලට ගොවිතැන් පටන් ගැනීමෙනි. මාසයක් පමණ කාලයක් දැඩි අව් රශ්මිය යටතේ ජලයට බැස කටයුතු කිරිමෙන් සෙම් රෝග බහුලව වැළඳෙන අතර වාත කෝපය උත්සන්න වී උණ සෙම්ප්‍රතිශයාව ඇති  වී ශරීරය අප්‍රාණික බවට පැමිණෙයි. මෙවැනි අවස්ථාවලදී ශරීර ප්‍රතිශක්තිය හීන වන අතර බැහැරින් එන ආගන්තුක විෂබීජ වලට ශරීරය තුළ ක්‍රියාකාරී වීමට තිබෙන ඉඩකඩ වැඩිවේ. වර්තමාන සෞඛ්‍ය අංශ වල නිර්දේශය නම් ඩොක්සිසයික්ලින් නම් ප්‍රතිජීවකය ගෙන කුඹුරුවලට බැහීම පරිස්සම් සහගත බවයි.

      ඩොක්සිසයික්ලීන් යනු බැක්ටීරියා ආසාදන තත්ත්වයට දෙන බටහිර ඖෂධයකි.වෙසෙසින්ම ලෙප්ටොස් පයිරොසියාවට එය නිර්දේශ කර ඇත. මුත්‍රා ආසාදන අවස්ථාවලදී ඒවා පරිහරණයට නිර්දේශ කර තිබේ. නමුත් මෙම ඖෂධය නිසා බාහිර උපද්‍රව ඇති වන බවද ඒවා වසර අටෙන් පහළ ළමුන්ට නිර්දෙශ නොකරන බවද දක්වා දී තිබේ. මෙම ඖෂධය ඇතැම් අයට අසාත්ම්‍ය වන අතර ගැබිණි මව් වරු මෙය භාවිතා කල හොත් මළ දරු උපත් ඇති වන බවටද කරන සඳහන පිලිබඳව දැනුවත් විය යුතුය. දරුවන් ගබ්සා කිරීමටද මෙම ඖෂධය ඇතැම් අය යොදා ගන්නා බව ප්‍රකටය. මෙම ඖෂධය නිසා ලේ සහිත අතීසාරය ඇති විය හැකි බවද වකුගඩු අක්‍රීය විය හැකි බවද දක්වා තිබේ.සාමාන්‍ය උණ රෝග වලදී මෙය භාවිතා නොකළ යුතු බවද දක්වා තිබේ. එම නිසා මෙම ඖෂධය භාවිතා කල යුත්තේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මතයි. එම ඖෂධය ගන්නා විට සම්පූර්ණ වතුර වීදුරුවක් සමග ගැනීම ආරක්ෂා කාරී බවද වැඩි දුරටත් දක්වා තිබේ.

      මේ ඖෂධයේ තත්ත්වය මෙසේ වුවද සෞඛ්‍ය අංශ වල නිර්දේශය නම්  අනිවාර්යයෙන්ම මේ ප්‍රතිජිවකය ගෙන කුඹුරට බැසිය යුතු බවයි. කිසිම වග විභාගයක් නැති මෙම ප්‍රකාශ හා දැන්වීම්  නිසා මේ රටේ ගොවි ජනතාවගේ සෞඛ්‍ය අනතුරේ හෙළා ඇති බව පැවසිය යුතුය. එසේම පාසල් කුඹුරු වලට ළමුන් බැසීමේ දී  මේ පෙති නිර්දේශ කිරීම සිදු වේ. එවිට වසර අටෙන් පහළ ළමුන්ට නොදිය යුතුය යන ප්‍රමිතිය ගැන සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නේද යන්න ප්‍රශ්ණ කළ යුතුය. කෙසේ වෙතත් පාසල් ගොවි බිම් වලට ළමුන් සම්බන්ධ කිරීම නතර කිරීමටත් ගොවිතැනින් ක්‍රමානුකූලව ජනතාව ඈත් කිරීමටත් මේ ඊනියා මීඋණ කතන්දරය හේතුව ඇති බව දැක්විය යුතුය. එයට වග කිව යුතු වන්නේ විදේශීය උපදෙස් ගෙඩි පිටින් ගෙන ලංකාවට ආදේශ කරන සෞඛ්‍ය අංශයන්ය.

         සෞඛ්‍ය යනු නිරෝගීතාවයට අවශ්‍ය පරිසරය සකස් කිරිම මිස රෝගයක් හැඳුණු පසු ප්‍රතිකාර කිරිම නොවේ. අපගේ පැරණි වෛද්‍ය වරුන් නිරෝගීතාවය පිළිබඳව සමාජයට උපදෙස් දුන් අතර දෙමව්පියන් ගෙන් ආභාෂය ලබා පරම්පරාවෙන් පරම්පරාවට එම දැනුම සංසරණය විය. ගොවිපලේ බර වැඩ කරන ගොවීන් අසාදන වලට ලක්වන අවස්ථාවලදී භාවිතා කළ හැකි වටිනා අත් බෙහෙතක් කෑගල්ලේ කරඬුපන පදිංචිව සිටි නිශ්ශංක ආරච්චි වෙද මහතා  මීට වසර විසිපහකට පමණ පෙරදී  මා හට ලබා දුන්නේ පොදු ජන හිත සුව පිණිසමය. මෙහි අඩංගු සංයෝග අතර සුදු ලූනු හා මුරුංගා පොතු ප්‍රධාන වේ. එයට අමතරව තොටිල පොතු හා අමු ඉඟුරු ද ලබා ගැනේ. මේ සියල්ල එක පමණ ගෙන ලුණු කැටයක්ද එකතු කර සිහින් වන්නට ගුලියක් සේ  මිරිස් ගලේ දමා අඹරා ගැනීම මෙහි පළමු පියවරයි. දින තුනක් පමණ මෙම ගුලිය කල් තබා ගත හැකි වන අතර කෙසෙල් කොළයක ඔතා තැබිය හැකිය. කුඹුරු වැඩ කරන කාලයට මෙම ගුලිය සකස් කොට තබා ගෙන සවස් වරුවේදී නටන උණු වතුර කෝප්පයකට මෙම ගුලියෙන් කොටසක් කඩා දමා පැහෙන්නට ඇර රොඩුත් සමග පානය කළ යුතුය. ඇඟ පතේ වේදනාව සෙම් කෝපය මෙන්ම මද උණක් ඇත්නම් මේ ඖෂධය මගින් එම වෙනස් කම් සමබර කරනු ඇත. මුරුංගා පොතු විස නාශකයක් වන අතර සුදු ලූනු ද එසේමය. එහි අඩංගු  ඇලිල් ප්‍රොපයිල්ඩිසල්ෆයිඩ් නම් තෙල සූක්ෂම ගුණයෙන් යුක්තය.මෙම ගුණය සිරුරේ සියුම් ස්‍රෝතස් තුළ ගමන් කරයි. එසේ වන විටදී සියලුම දේහ පරමාණුන් ඇසුරු කරන බව පැවසෙයි.( සුදු ලුනු හා මී පැණි- වෛද්‍ය ඩී.එම්.ජයසිංහ) ඉන්පසු වෘක්ක ශ්වාශමාර්ග හා හම ඇසුරු කර ගනිමින් විස බැහැරවීම සිදු කරයි. රෝග කාරක ජීවාණු නසා සිරුරේ නන්වැදෑරුම් විෂමතා දුරු කොට බැහැර කරයි.සුදු ලූනු විසින් සිරුරට හානි කරන ජීවාණු මරා දමන නමුත් අන්ත්‍ර ආදී ඉන්ද්‍රිය තුළ සිටින ආරක්ෂාකාරී ජීවාණු මරා දැමීමට උත්සාහ නොගනියි. නමුත් බටහිර ඖෂධ මගින් සියලුම ජීවාණු වලට පහර දී විනාශ කරයි. ඒ නිසාම ඒවා අතුරු උපද්‍රව ගෙන දෙයි. තොටිල පොතුද බලගතු ඖෂධයකි. ඒ මගින් ආමය නැති කරන අතර මස් පිඬුවල වේදනා පහ කරනු ලබයි. ගොවියාට බලගතු ආරක්ෂාවක් සපයන මෙම බෙහෙත කිසිම වියදමක් නොමැතිව සදා ගැනීමට හැකි වන බැවින් මේ දැනුම ලබා දුන් මුතුන් මිත්තන්ට පුණ්‍යානුමෝදනා කළ යුතුය.

          මෙලෙස ඩොක්සිසයික්ලින් වලට වඩා ආරක්ෂා කාරී දේශීය බෙහෙත් තිබියදී මිනිස් සිරුරට  අහිතකර වස විස නිර්දේශ කරලීම දිගින් දිගටම සිදු කරන්නේ වස විස වෙළෙඳාමත් ඖෂධ වෙළෙඳාමත් එක මග යනෙන නිසාය. රෝහල් වලට වාර්තා කරන බොහෝ රෝගීන් මී උණ රෝගීන් ලෙසට වර්ග කරමින් ඖෂධ මාෆියාවට තැන දෙන මේ ත්‍රස්තවාදයද ඉතා ඉක්මනින් ලංකාවෙන් තුරන් කළ යුතු බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

        

Sunday, September 29, 2013

උතුරු පළාත ෙදමළ ජාතිවාදයට පාවාදීම


                                 
        

     දෙමළ ජාති වාදයේ තවත් පියවරක් සාර්ථක ලෙසට ඉදිරියට පැමිණ ඇත. මේ සඳහා සම්පූර්ණ ආශිර්වාදය සපයන ලද්දේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවයි. උතුරු පළාතේ සිංහළයන් පදිංචි කරවීමෙන් තොරව චන්දය පැවැත්වීමෙන් වන අනතුර ගැන කල්තියා මේ රටේ සංවාදයක් ඇති විය. එම සංවාදයේ දී පළාත් සභා සතු ඉඩම් බලතල හා පොලිස් බලතල ඉවත් කළයුතු යයි ද ඉන්දියාවේ ද නැති ඇතැම් බලතල කප්පාදු කළ යුතු යයිද මතයක් ඇති විය. එහිදී මෙම බලතල ඉවත් කිරිම පිණිස යෝජනාවක් කැබිනට්ටුවට ඉදිරිපත් වුවද පසුව එය හකුළා ගැනුණි. තේරීම් කාරක සභාවක් පත් කළද සැප්තැම්බර් විසි එක් වන දිනට ප්‍රථම  එහි නිර්දෙශ ලබා නොදීමට ආණ්ඩුවෙන්ම කටයුතු යෙදුණි.

         උතුර හා නැගෙනහිර පළාත් ඓතිහාසිකව ගත් කළ සිංහල  බෞද්ධ ජනතාවගේ උරුමයකි. ඒ බැව් එහි ඇති පුරාවස්තුවලින් සනාථ වේ. මෑතකදී යුධ හමුදාව විසින් සොයා දැන ගෙන ඇති සිද්ධස්ථාන ගැන සලකා බැලූ කල්හි මේ බව සැකයකින් තොරව තහවුරු වේ. එසේම ඒ පළාත් වල කිසිම ආකාරයකින් ද්‍රවිඩ නිජභූමියක් නොපැවති බවටද හොඳින්ම සනාථ වේ. නමුත් වාර්ගික පවිත්‍රකරණය නිසා කාලයක පටන්ම උතුර හා නැගෙනහිර පළාත් වල සිංහල ජනතාව ජීවත් වන්නේ ඇත. කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම වෙනුවෙන් සිය ලේ කඳුලු දහදිය හෙලූ සිංහල ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ට සිදු වූ ඓතිහාසික අසාධාරණයන් වෙනුවෙන් රජය ඉදිරිපත්වනු ඇතැයි කියාය. ඒ සඳහා සිය වාස භූමි වල නැවත පදිංචිකිරීම සිදුවනු ඇතැයි උදක්ම ප්‍රාර්ථනා කළහ.  එසේම මූදු මහා විහාරය වැනි සිද්ධස්ථාන වලට අයත් සඟ සතු ඉඩ කඩම් නිරවුල් කර දේ යයිද බලාපොරොත්තු විය.නමුත් සිදුව ඇත්තේ  වෙනත් දෙයකි.  ඉන්දීය රජයේ අවශ්‍යතාවය මත කටයුතු කළ රජය  සිංහලයන් පදිංචි කිරිමට මැළි කමක් දැක්වීය. හමුදා කඳවුරු මේ ප්‍රදේශ වල තිබීම පවා ජාත්‍යන්තරව විවේචනයට ලක් වී ඇති අතර සිංහල ජනතාව වෙනුවෙන් රජය කිසිම ආකාරයකින් හඬක් මේ වනතුරු නගා නොමැත. සිංහලයින් නැවත පදංචි කරලීමේ දී නොයෙකුත් නීති රීති වලට යටත් කොට ඔවුන් අධෛර්ය කිරීම දිගින් දිගටම සිදු විය. උදාහරණයක් ගත හොත් පුල් මුඩේ දහතුනේ කණුව අසල සිංහල ගම්මාන සැලකිය හැකිය. වසර එකසිය පණහකට පමණ ප්‍රථම ඝන වල් කලෑවකට පැමිණ මෙහි ගොවිතැන් බත් කර ගනිමින් ජීවත් වූ සිංහලයන් යුද්ධයේ දී අවතැන් වූ අතර පසුව නැවත පදිංචි කෙරිණ. නමුත් මේ වන තෙක්ම රජයෙන් මේ පවුල් සඳහා ඉඩම් බලපත්‍රයන් ලබා දී නොමැත. එහෙත් පැරණි සිංහල ගම්මානයන් අල්ලා ගෙන  පදිංචි වන මුස්ලිම්වරුන්ට ක්ෂණයකින් ඉඩම් බලපත්‍ර ලබා දීමට  කටයුතු කෙරෙති.සිංහල ප්‍රාදේශිය ලේකම් වරුන් ද මේ අයට පුද්ගලික වාසා සඳහා උදවි කරන බව පැහැදිළිය. මේ ප්‍රදේශයේ වැව් අටක් පමණ නටබුන්ව තිබෙන නමුත් ඒවා පිලිසකර කර ගෙන යලි පදිංචි වීමට වන සංරක්ෂණ දේපාර්තමේන්තුවද ඉඩ ලබා දෙන්නේ නැත.

        යාපනයේ ජීවත් වූ විසිදහසකට අධික සිංහල ජනතාව නැවත පදිංචි කරලීමට රජය කිසිම සම්මාදමක් දැක්වූයේ නැත. සිංහල පවුල් එකසිය අසූවක් පමණ සිය ඉඩම් සොයා යාපනයට ගිය අවස්ථාවේ දී ඔවුන් ගේ ඉඩම්  දෙමළ පුද්ගලයන් අල්ලා ගෙන සිටි බව පැහැදිලි විය. අනතුරුව නාවක්කුලිය ප්‍රදේශයේ පොල් වත්තක මේ පිරිස බලහත්කාරයෙන්ම පදිංචි වූ අතර මේ අයට සිංහල සංවිධාන වලින් මිස රජයෙන්  උදව් ලැබුණේ නැත. තමන්ගේ අවසරයකින් තොරව පැමිණියායි සැලකූ මේ පිරිස ගැන උතුරු ආණ්ඩුකාරවරයා අල්ප මාත්‍ර සොයා බැලීමක් නොකලේය. මේ ආකාරයට අදත් ඔවුන්ට කිසිම පහසුකමක් රජයෙන් නොලැබේ. ඒ අතර පසුගියදා මෙහි ඉඳි කරන ලැබූ ප්‍රජා ශාලාව ගිනි තැබීමට කිසියම් පිරිසක් උත්සාහ කළහ. මේ අකාරයට මන්නාරමේ හා මුලතිව්  දිස්ත්‍රික්ක වල තත්ත්වයන් ද බෙහෙවින්ම ඛේදජනකය.

        පදවිය වාහල්කඩ වැනි ප්‍රදේශ  වල හා මැද රට කඳුකරයේ ද ඉඩම් නැති විශාල පිරිසක් සිටින බව පැහැදිළිය. රජය කළ යුත්තේ ජන අනුපාතය අනුව උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල මේ ජනතාව පදිංචි කරවීමයි. නමුත් එවැනි සාධනීය පියවරකට රජය නොඑළඹුණ බව කවුරුත් දන්නා කරුණකි. මෙහිදී අපට ඇතිවන සාධාරණ සැකයක් තිබේ. රජය අවංකවම සිංහල ජනතාව වෙනුවෙන් යුද්ධය මෙහෙවූවා දැයි  යන්නය. මාවිල් ආරු සොරොව්ව වැසූ අවස්ථාවේ දී වත්මන් ජනාධිපතිවරයා සිය ඇමතිවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා උතුරුට පිටත් කර කොටි සමග සාකච්ඡා කිරීමට පිඹුරු පත් සැකසුවේය. ඔහුට එදා මේ යුද්දය ගැන අවංක වුවමනාවක්ද නොවීය. භික්ෂූන් වහන්සේලා ගේ මෙහෙයවීමෙන් සහ හමුදාවේ උනන්දුව නිසා උතුර හා නැගෙනහිර නිදහස් කරලීමට සටන් ආරම්භ වූ අතර රජය කලේ ඊට නායකත්වය දීම පමණි. එහිදී මහින්ද රාජපක්ෂ රජය සෘජුවම ඉන්දියාව සමහ රහස් ගිවිසුමකට යන්නට  ඇතැයි යන සැකය දැන් මතු වී තිබේ. ප්‍රභාකරන් පරාජය කරලීමට ඉන්දියාවෙන්  උදව් ඉල්ලීම පිණිස මේ එකඟතාවය ඇති කරගන්නට ඇතිය යන සැකය දැන් අප ඉදිරියේ පවතී. එහිදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරිමෙන්  පසුව දහතුන් වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම හමුදා කඳවුරු ක්‍රමානුකූලව ඉවත් කිරීම  උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඉන්දීය ආයෝජනයන් ඇති කිරිම වැනි එකඟතාවයන් ඇති වන්නට ඇත. සාම්පූර් බලාගාරය ඉන්දියාවට ලබා දෙන්නේ මේ නිසාය . උතුරු දුම්රිය මාර්ගය ඉන්දියාවට ලබා දෙන්නේ මේ නිසාය.

         යුද්ධය පරාජය කිරීමෙන්  පසු උතුරේ සිංහල ජනතාව පදිංචි කරවීමට රජය මැලි වූයේ මේ නිසයි.නැවත පදිංචි කරවීමේ අමාත්‍යංශය යටතේ සිංහල ජනතාවට ප්‍රමුඛත්වය දී කටයුතු නොකිරීමත් ඇතැම් පදිංචි කිරීම් හමුදාව ලවා රහසේ සිදුකිරීමත් සිදු වූයේ මේ නිසයි.හමුදාවේ පණස්හය වන සේනාංකයේ මැදිහත් වීමෙන් වවුනියා දිස්ත්‍රික්කයේ කැලෑ බෝගස්වැව ප්‍රදේශයේ පවුල් දෙදහස් යහසීයක් නැවත පදිංචි කරන ලද අතර ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සලස්වන ලද්දේ හමුදාව විසිනි. විදුලිය යෝජනා ක්‍රමය සඳහා ජනාධිපති උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ගේ මැදිහත් වීම මත එවකට විදුලිබල ඇමති චම්පක රණවක මහතා විසින් රුපියල් දශලක්ෂ සියයක් වෙන්කරන ලද අතර දැන් ඒ විදුලි රැහැන්ද ඇද අවසන් කර තිබේ.එහෙත් මේ අවතැන් වූ පවුල් චන්ද හිමි නාම ලේඛන යටතේ ලියාපදිංචි කරලීමේ වැඩ පිළිවෙල වුවමනාවෙන්ම අසාර්ථක කිරීමට මැතිවරණ නිළධාරීන් කටයුතු කර තිබේ. ඒ නිසා පසුගිය චන්දයට හිමිකම් ලබා ඇත්තේ පවුල් දෙසිය විසිපහක් පමණකි. මේ තත්ත්වය තුළ සිංහල ජනතාවගේ මානව හිමිකම් කඩවීමක් සිදුව ඇත. මෙලෙස චන්ද ලියාපදිංචිය නොකරන ලද්දේ ඉහළ නියෝගයකින් බව ද දැන ගන්නට ඇත. නමුත් මේ නීති රීති මුස්ලිම් හෝ දෙමල අයට බලපා නොමැති අතර ඔවුහු නිදහසේ චන්දය භාවිතා කරමින් දෙමළ හා මුස්ලිම් පිරිස බලයට පත් කර තිබේ.

       පොලිස් හා ඉඩම් බලතල හිමිව ඇත්තේ මධ්‍යම ආණ්ඩුවට බව අධිකරණය මගින් තීන්දු කරලීමද මේ අතර සිදු තිබේ. මෙම ක්‍රියා මාර්ගයද සිංහල ජනතාව රැවටීමකි. මේ වන විටත් වෙනම දෙමල රටක් ඇති කරලීමට පිඹුරුපත් උතුරේ දිග හැරෙන  අතර ඉන්දියාව අකමැති කිසිවක්ද උතුරේ සිදු නොවනු ඇත.  ඉන්දියාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ඇති කර ගත් ගිවිසුම යලි මතක් කර දෙමින්  කළ බලපෑම හමුවේ සිංහල ජනතාව ගේ ඔලුව අත ගා කොකා පෙන්වා උතුරු පාවා දීමට කටයුතු සම්පාදනය වී ඇති බව පැහැදිළිය. ඒ අතින් බලන කල්හි පසුගිය මැතිවරණයෙ දී උතුරේ සිදු වූයේ ඉතිහාසයේ කළ මහා පාවාදීමකි.

Sunday, September 15, 2013

දඹුලුත් ගොසින් සිත තුළ අභිමන් බැන්දා


                                       
             

      නිශ්ශංකමල්ල රජු ස්වර්ණගිරි ගුහා යයි නම් තැබූ රංගිරි දඹුලු රජ මහා විහාර ලෙන් සංකීර්ණය උයන්වත්ත පංසලට ඉහළින් දිස් වෙයි. බුලාගල පල්ලෙගම කිරිබණ්ඩා පොතුවිල නම් අව්‍යාජ ගැමියාගේ මං පුංචිකාලේ කෘතිය දොරට වැඩීමේ උත්සවයක් පසුගියදා මේ උයන්වත්ත රජමහා විහාර ශ්‍රවණාගාරයේ දී  පැවැත්විණ. දඹුලු පාර්ශවයේ මහනායක පූජ්‍ය ඉනාමලුවේ සුමංගල මාහිමියන් මූලාසනයේ වැඩ සිටියහ. පේරාදෙණිය සරසවියේ මහාචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ගේ හරබර දෙසුමක්ද විය.  අවසානයේ  මාතලේ දිශාවේ සිටින වයොවෘද්ධ අව්‍යාජ ගැමි සාහිත්‍ය කරුවන් හා මදක් සතුටු සාමිචියෙහි යෙදෙන්නට ද ඉඩප්‍රස්ථා ලැබුණි. මේ හමුවීම භාග්‍යකි. දනිමි හැඳින්නෙමි යයි කීවොත් නිවරදිය. ගමනේ ඵල ප්‍රයෝජනයක් තිබුණු බව සිතට දැනෙන්ට විය.

        දඹුලු ලෙන් විහාරයට තිබෙන රජ මාවත. මිට වසර එකසිය හැටපහකට ප්‍රථම1848 ජූලි 26 දින ගිරාණේගම ශ්‍රී ඉන්ද්‍රජෝති මහා නායක හිමියන් අතින් ගොංගාලේගොඩ බණ්ඩාට ඔටුණු පැලන්දවූයේ මෙම රජ මාවතට ප්‍රවිශ්ට වන ස්ථානයේ තිබෙන පෝය ගෙයි සිටයි.දැනට දඹලු ලෙන් සංකීරණයට උයන්වත්ත විහාර මාර්ගයේ නොව මේ ස්ථානය දැක බලා ගැනිමට දඹුලු පර්වතයේ බස්නාහිර පාර්ශවයේ තිබෙන වලගම්බා පිරිවෙන් භූමියට යායුතුය. මෙහි දැනට වැඩ වසන්නේ පූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන්ය. ආවාස ගෙයට දකුණු දෙසින් පෝය ගෙයයි. එයට යාබදව ගල් ලෙනයි.මේ පෝය ගෙය දැනට මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පිළිසකර කරගෙන යනු ලබයි. එදා බ්‍රිතාන්‍යයන් තමන්ගේ වතු වගාවට අවශ්‍ය මාර්ග තැනීමට  ධනය සොයා ගැනීමට බදු දෙතිසක් පැන වූයේය. මෙවායින් බලවත් සේ පීඩාවට පත් ජනතාව මේ සිද්දියනිසා කැරලි කෝලාහල ඇති කරගත්තේය. කොළඹින් පටන් ගත් උද්ඝෝෂණ පසුව උඩරටට පැතිර ගියේය. බ්‍රිතාන්‍ය ආණ්ඩුව සිහළයන්ට කරන කෙණහිලිකම් වලට විරොධය පෑමටද මේ අවස්ථාව යොදාගත්තේය. මේ අවනඩුව මහා සංඝරත්නය වෙත සැළ කර සිටියේ ඉන් පසුවයි. භික්ෂූන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් පුරන් අප්පු හා ගොංගාලේගොඩබණ්ඩාගේ ප්‍රධානත්වයෙන් මාතලේ කැරැල්ල යි නම් තබා ඇති ජාතික විමුක්ති සටන ඇරඹෙන්නේ ඒ ලෙසිනි. එය සැබෑ ලෙසින්ම මාතලේ සිට නොව නාලන්දෙන් ආරම්භව දඹුල්ල කේන්ද්‍ර කරගෙන ශක්තිමත් වූ සටනක් විය.

        මහානායක හිමියන් සතු වූ සාම්ප්‍රදායික කාර්යය අනුව ගොංගාලේ ගොඩ බණ්ඩා රාජ අභිෂේකයට පත් කළ බව ගිරාණේගම ශ්‍රී ඉන්ද්‍රජෝති හිමියන් පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුවට ප්‍රකාශ කර සිටියේය.එය එකල අනුදත් පිලිවෙත විය. කෙසේ වෙතත් දඹුලුගල ට ප්‍රවිශ්ඨ වන රජ මාවත ඇරඹෙන්නේ ද මේ පෝයගෙය ආසන්නයෙනි. සමන් මල් පිරුණු ආරක්කුවක් යටින් වැටීතිබූ  ගල් පඩි පේළිය බෙහෙවින් හුදකලා වී ඇත.කිසිවෙකුත් ඒ මාර්ගය  තරණයට සූදානම් නොවන්නේ යයි සිතමි. උදෑසන අරුණැල්ල ගස් අතරින් එබී බලමින් පඩි පෙලේ ඇති කරන අව් සෙවණැලි පීඩා කාරී නැත. එදා රජ දරුවන් විසින් රෝපණය කරන ලද අරලිය කුසුම් උයන සිසාර පැතිර පවතියි. මෑත යුගයේ දී මේ දඹුලු විහාරය සොයා වන වැදි උල්පතේගම ශ්‍රී ඉන්ද්‍රජෝති උන්නාන්සේ නැවතී සිටි ගල් ගෙය පඩි පෙළ දිගේ මදක් පියමන් කරන විටදී හමුවෙයි. ඉතා දුෂ්කරව එහි දිවි ගෙවු උන්වහන්සේ නැවත දඹුලු විහාර සංඝ පරම්පරාව ආරම්භ කරන ලද්දේය.ඉතා සෙමින් සෙමින් උස්ව යන පඩිපේළිය කාලයකින් සුද්ද පවිත්‍ර කර නැත. පඩි පේළිය ඉස්මත්තේ තිබෙන කැලෑව ගල්පඩි ආක්‍රමණය කමින් සිටී. සංචාරකයන් විසින් භාවිතා කරන ලද හිස් වතුර බෝතල් සිය ගණනක් පර්වත බෑවුමේ කසල ගොඩට එක්කාසු වී පඩිපෙළ දෙසට පෙරළි ඇවිත් තිබේ.

      දඹුලු ලෙන්වලට ප්‍රවිශ්ට වීමට ආසන්නයේ ගලේ කපා ඇති පඩි කීපයකි. ඒ පඩි කැපූ බව කියා ලියා ඇති සෙල් ලිපි අටක්ද එක පෙළට දක්නට ලැබේ. ඒවා විවිධ යුග වලට අයත්ය. කූඨකණ්න අභය යුගයට අයත් එක් ලිපියක මේ පඩි පෙළ වල් කැපීම ගැන විස්තරාත්මකව ලියා ඇත. මෙහි ඇති ඇතැම් සෙල් ලිපි විනාශ මුඛයට යන්නට ඉඩහැර තිබීම ඛේදජනකය. මෑතකදී විහාරය ප්‍රතිසංස්කරණයට ගෙනා බදාම පහළට වීසි කරලිම නිසා මේ ලිපි වසා ගෙන සවි වී ඇත. රජ මාවත පාලුවට ගොස් ඇති බැවින් මේවා සොයා බලන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට අවශ්‍ය නැතිවා මෙන්ය.

          දඹුලු ගලේ පැරණි නාමය චාත පබ්බතය බව වලගම්බා පිරිවෙනට ප්‍රවිශ්ට වන මාර්ගයේ තිබෙන අනුරාධපුර යුගයට අයත් ස්ථුපය ආසන්නයේ ලෙනක පවතින සෙල් ලිපිය සාක්ෂි දරයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් මේ පිළිබඳව දිග හරින ලද මතය කෙසේ වුවත් දේවානම්පියතිස්ස යුගයේ පටන් මේ ස්ථානය භික්ෂූන් වහන්සේලාට වාසස්ථානය ව ඇති බව සිතා ගත හැකිය.දඹලු පර්වතය වටා තිබෙන සෙල්ලිපි හතළිහකට අධික සංඛ්‍යාව ඊට සාක්ෂි දරයි. චාත පබ්බතයේ ශාන්ත රමණිය ස්වභාවය බවුන් වඩන රහතුන් වහන්සේලාට ඉතා ප්‍රියංකර විය. සසර දුකින් එතෙර වීමට වෙනත් මගක් නැත. බුදුන් වහන්සේ අනුදැන වදාළ මාර්ගයේ යායුතුමය. ඇතැම් අය සිතන පරිදි මේ විහාර ලෙන් මුල් කාලයේ අති දුෂ්කරව තිබෙන්නට නැත.  එයට හේතුව රාවණ යුගයේ පටන් දිග හැරෙන සභ්‍යත්වයක් මේ ප්‍රදේශය හරහා පැතිර ඇති නිසයි. නාඋල බිබිල ආසන්නයේ හමුවන යකඩ උදුන් ද ඉබ්බන්කටුව සුසාන භූමියද මීට සාක්ෂි සපයයි. ගල්ලෙන් වල කටාරම් කොටවා තමන්ගේ සනුහරේ තපස් වීන්ට  බවුන් වැඩීමට පූජා කල ලෙන් පසු කාලයේ දී වඩා දියුණුකර භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලද්දේය. අනුරාධපුර යුගයේ විවිධ රජවරුන් අතින් දඹුලු ලෙන් විහාරය පිළිසකර වන්නේ මේ පූජා සම්ප්‍රදාය නිසාය. නමුත් වට්ටගාමිණි අභය නොහොත් වලගම්බා එයට වෙනස්ය. ඔහු යක්ෂ රාක්ෂ ගෝත්‍රිකයින්ට සමීපය. සොමා දේවියගේ අභරණ නිදන් කොට දඹුලු ලෙනක දාගැබක් ද නිර්මාණය වන්නේය.දඹුල විහාර තුඩපතේ ද සඳහන් සැබෑ සෝමාවතී දාගෑබ කුමක් දැයි කිසිවෙක් අනාවරණය කරගත් හොත් මෙහි ඉතිහාසය අලුතෙන් ලිය වෙනවා නිසැකය.

         කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පිළිසකර කරන ලද  විහාර ත්‍රීත්වයට ප්‍රවිෂ්ට වූයෙමි. බලවත්වල සිල්වත් තැන විසින් නිර්මාණය කරන ලද මාර පරාජය මෙන්ම අනෝතත්තවිල සිත්තම් පදනම් කොට ගෙන ලංකාවේ සිතුවම් කලාව ගැන ලෝකයට කියන්නට කිසිවෙක් උනන්දු වී දැයි මට සැකයක් සිතේ. දඹුලු සිත්තර පරම්පරාවේ ජීවන් නයිදේ දක්වා මේ ඛේදවාචකය දිග ඇදී ඇවිදින් ඇත.. මේ සිත්තරුන් වානිජ වටිනාකම් පස්සේ හඹා ගිය වුන් නොවේ. බලවත්වල සිල්වත් තැන එකල තිබූ කුල සම්ප්‍රදාය අනුව  පැවිද්ද නොලැබුවද බුදුන් කෙරෙහි වූ අනන්ත ශ්‍රද්ධාවෙන් සකස්වුණු සිතුවිලි පරම්පරාවන් විසින් හැඩගැස්වුණු තෙලි තුඩකට පණ දෙන්නේ කුමන ආවේශයකින් දැයි කල්පනාවට ගත නොහැකිය. වර්තමානිකයින් මෙය දකින්නට වෑයම් නොකරති. එයට එක් හේතුවක් වන්නේ අපගේ සිල්වත් පරම්පරාවන් ගැන අධ්‍යනයට පාසල් තුල ඉඩකඩක නොමැති බැවිනි. දෙවැන්න දඹුලු විහාරය සංචාරකයන් ගේ ආකර්ශණයට පමණක් අද වෙන්ව තිබීමයි.පූජනීය වන්දනාවෙන් පසක් කර ගන්නා නිවීම කෙරෙහි සිංහල බෞද්ධයින්ට යොමු කරවීමට තිබෙන අවස්ථාව ඉන් ගිලිහීයන්නේ යයි කිව යුතුය.කෙසේ වෙතත් වසර එකසිය හැටපහකට ප්‍රථම සිංහලේ රාජාවලියට අභිෂේකය සැපයූ මේ පින්බිමේ නුදුටු තැන් දකින්නට වන්දනා කරුවන්ගේ සිත් නෙත් පහල වේවායයි කරන අදිටනින් යුතුව දඹුලු ලෙන් අතරින් නැවතත් රජ මාවතට පිවිසියෙමි. ලංකාවේ දිගම කන්ද කහල්ල රක්ෂිතය ඈතින් දර්ශණය වේ.  මේ තෙරක් නොපෙනෙන ඉම දඹුලු විහාරයට පූජාකරන්නට සිත් වූයේ කුමන් බලවේගයකින්ද. එය නැවත අවදි කරගැන්මට අපට තවමත් නොහැකිව ඇත්තේ ඇයිද යයි මොහොතකට කල්පනාවට නැගේ.

                                              
 

Sunday, September 1, 2013

සිංහල බෞද්ධයාට එරෙහි මහින්ද චින්තනය


                               
 


       වර්තමාන සන්ධාන රජය බලයට පත් කිරීමට මූලිකව ක්‍රියාකරන ලද්දේ මේ රටේ සිංහල බෞද්ධ බලවේගයන් විසිනි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය රට බේදීමේ ක්‍රියාවලිය හරහා ලංකාව දෙමල ක්‍රිස්තියානි රටක් බවට පරිවර්තනය කරලීමේ ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වරයා වශයෙන් පත් කර ජනාධිපති තනතුර දක්වා ගෙන යාමටත් අනතුරුව කොටි සමග වූ යුද්ධයේ දී ඔහුට සම්පූර්ණ සහයෝගය ලබා දීමටත් රට නිදහස් කිරීමටත් ජාතික බලවේග ගත් උත්සාහයන් කිසිවෙකුටත් අවතක්සේරු කල නොහැකිය. නමුත් බලයට පත් වූ පසු  මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් පියවරයන් දෙස බලන කල්හි තමන්ට ශක්තියක් වූ සිංහල බෞද්ධයන්ට නිසි පරිදි කළ ගුණ සලකා ඇත්දැයි සැකයක් ඇති වේ. මෙහි පහත පළ වන්නේ ඔහු විසින් සිංහල බෞද්ධයන්ට එරෙහිව එමෙන්ම සිංහල ජාතිය ශූන්‍ය කිරීමට ගත් ක්‍රියාමාර්ගයි.

1/ ජාතික භාෂා හා ඒකාබද්ධ අමාත්‍යංශයක් පිහිටු වීම. ඒ මගින් සිංහල භාෂාවට මේ රටේ හිමි විය යුතු ප්‍රධාන ස්ථානය අහෝසි කිරීම.ලංකාවේ ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි භාෂාව ලෙසට නැවතත් පත් කිරීම.

2/ මේ රටේ මහ ජාතියක් නැතැයි ප්‍රකාශ කිරීම සහ දෙමල මුස්ලිම් ජන වර්ගයන් ජාතීන් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම.

3/ ආගමික කටයුතු අමාත්‍යංශ යටතේ ක්‍රිස්තියානි හා මුස්ලිම් පල්ලි වලට විශේෂ වරප්‍රසාද ලබා දීම. බහුතර සිංහල බෞද්ධයන් ගෙන් එකතු වන මුදල් පල්ලි සෑදීමට වෙන් කිරීම.මුස්ලිම් වරුන් ගෙන් යැපෙන දි.මු. ජයරත්න වැනි පුද්ගලයෙකු බුද්ධශසන හා අගමික අමාත්‍යවරයා ලෙසට පත් කිරීම.

4/ මුස්ලිම් ආගමික නීති තව දුරටත් රටේ ස්ථාපිත කිරීමට සහාය පළ කිරීම .හලාල් ක්‍රමට  රට පුරා ව්‍යාප්ත කිරීම නැවැත්වීමට පියවර නොගැනීම. ශරියා නීතිය ඉගැන්වීම සඳහා නැගෙනහිර විශ්වවිද්‍යාලය තුළ ඉඩකඩ ලබා දීම.

5/ සිංහල බෞද්ධ හඬ ජන මාධ්‍ය තුළ යටපත් කිරීමට උපදෙස් දීම. සිංහල බෞද්ධ යන්ට සිදු වන අසාධාරණ කම් පිලිබඳව ලියවෙන ලිපි වාරණය කිරීමට නිල නොවන ක්‍රියාමාර්ග ගැනීම.

6/ ඉතිහාසය විෂයට අදාළව පාසල් පෙළ පොත් සැකැස්මේ දී සිංහල බෞද්ධ අනන්‍යතාවය ඉස්මතු නොවන ආකාරයට ත් අන්‍ය ආගම් හා ජන වර්ග ගැන වෙසෙසියාවක් දැක්වීමටත් කටයුතු කළ යුතු බවටත් උපදෙස් දීම.

7/ කූරගල දෙවනගල මුහුදු මහාවිහාරය මොට්ටාගල වැනි ඓතිහාසික ස්ථාන මුස්ලිම් වරුන් බලහත්කාරයෙන් අයිති කොට ගෙන ඒවායේ පැවති බුදු පිළිම සෙල් ලිපි ආදිය විනාශ කළ විට එයට විරුද්ධව පෙළ ගැසුණු සිංහල බෞද්ධ සංවිධාන හා පුද්ගලයන් මර්දනයට කිරීමට හමුදාව සහ පොලිසිය යෙදවීම.

8/ උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල සිංහල බෞද්ධයාට පදිංචි විමට ඉඩකඩ ලබා නොදීම. මඩකලපුවේ  මන්නාරමේ  සහ යාපනයේ අවතැන්ව සිටි සිංහලයන්ට නීත්‍යානුකූලව ඉඩම් ලබා නොදීම. ඔවුන්ට එරෙහිව නීතිය උසි ගැන්වීම.

9/ බෙදුම් වාදයට උඩගෙඩි දෙන රායප්පු ජෝශෆ් වැනි පූජකයන් හට මන්නාරම ප්‍රදේශයේ සියලුම පහසු කම් ලබා දිම. පාරම්පරික සිංහල ඉඩම් වල ක්‍රිස්තියානි පල්ලි හා මුස්ලිම් ජනපද ඇති කිරීමට ඉඩ දී බලා සිටීම.

10/ බහුජාතික සමාගම් වල මෙහෙයවීමෙන් පලිබෝධනාශක වලට ආසනික් හා රසදිය ද කිරිපිටි වලට මෙලමයින් හා ඩයිසයනමයිඩ් ද එක් කර සිංහලයා වඳ කිරීමට උපක්‍රම යෙදූ කුමන්ත්‍රණය හෙළි වූ විට ඒවා යට ගැසීම. මෙම සමාගම් වලට එරෙහිව නීත්‍යානුකූලව පියවර නොගැනීම සහ ඔවුන් සමග ගිවිසුම් අත්සන් කිරීමට සැරසීම. තව දුරටත් සිංහලයා රැවටීම උදෙසා රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය වැනි රාජ්‍ය මාධය ආයතන වලට දැන්විම් ලබා ගැනීම.

11/ සියලුම ආගම් වලට හා ජාතීන්ට එක සමානව සලකන්නනේය යන ඉංග්‍රීසි නීතිය පුන පුනා ප්‍රකාශ කිරීම හා සිංහල ජාතියට වඩා මුස්ලිම් වරුන්ට හා දෙමල ජනතාවට වැඩි වැඩියෙන් සැලකීම.

12/ සිංහල සංස්කෘතිය විසින් දුරාචාරයයයි හඳුන්වනු ලබන සූදුව ගණිකා සේවය සංචාරක ව්‍යාපාරය හරහා ප්‍රචලිත කිරීමට සියලුම පහසුකම් සැලසීම.

13/ නිදහස් අධ්‍යාපනය කප්පාදු කොට පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම හා එම පහසුකම් මුස්ලිම් වර්ගයාට හා ක්‍රිස්තියානි පල්ලියට ලබා දීම.

14/ ඇමති වරුන් මන්ත්‍රී වරු විසින් කරනු ලබන අපරාධ අල්ලස් දූෂණ කටයුතු වසන් කිරීම. ඒ පුද්ගලයන් හට වටිනාකම් ලබා දීම.

15/ රටේ සාම්ප්‍රදායික අනුශාසක වරුන් වූ මහනායක හිමිවරුන් ගේ අවවාද අනුශාසනා පිළි නොගැනීම. ඒ වෙනුවට අගරදගුරු හා මවුලවි වරුන්ගේ  උපදෙස් ඉහළින්ම පිළිගැනීම.