පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, July 9, 2021

වැව් මව් පහස නොලැබූවන්ගේ වැව් හෑරිල්ල ගැරිල්ලක් පමණයි

 

      


                         

      වැව යනු පැරණි සිංහලයාගේ අනන්‍යතාවය පෙන්වන මහා ව්‍යායාමයකි.. වැවක් ඇති තැන බතක් ඉදෙන අතර රටක් සවිමත් කරන්නට වැව් සවිය පමණක්ම ඇතැයි ඒ පැරණියන් ගේ විශ්වාසය විය.ලංකාවේ පැරණිම වැව ගැන මහාවංශයේ සඳහන් වන්නේ පණ්ඩුකාභය අවදිය ගැන විස්තර කිරීමේදීය. නමුත් පැරණි සිංහලයන් කඳු උඩ ජීවත් වෙමින්  පසුව අනුක්‍රමයෙන් පහළට විත් ගම් අටවා ගෙන සාරවත් භූමි වල ගොවිතැන් බත් කිරීමට පටන් ගත් පසු ගම්වැව් ඇති කළ බව සොයා ගත හැකිය..  නියන් කාලයට ජලය ලබා ගැනීමට මෙන්ම කඳුරු පෝෂණයටත් අවශ්‍ය ලෙස ගම් වැව් තාක්ෂණය දියුණු කර ගත් ආකාරය නිරීක්ෂණය කරගත හැකිය.ඔවුන්ගේ මුල් වැව් හැදෙන්නේ කඳුඋඩය. අනතුරුව කන්දෙන් පහළ මූකලානේ වැව් ඇටවෙයි.මේ වැව් පසු කලෙක කුළු වැව් වශයෙන් හැඳින්වූහ.කුලුවැව් වලින් ඇදී ගෙන එන ජලය ගම් වැවට පාත් වෙයි.

      ගම් වැවේ අංගෝපංග රාශියකි. එහි පළමු  මෙන්ම වැදගත්ම අංගය වන්නේ වෑකන්දයි. ඉතා කෙටි වෑ කඳු මෙන්ම දිගු වෑ කඳු වලින්ද ගම් වැවට ඇදී එන ජලය රඳවා තබා ගනී. සුදුසු වැටි දෙකක් යොදා ගෙන ඇතැම් විට සමෝච්ච රේඛා දිගේ මේ වැව් බැමි ඉඳි කරනු ලබයි.  හලන ලද පස් දමා තලා ගවයින් ලවා පාගවා  බැම්ම ශක්තිමත් කරනු ලබති. වෑ කන්දට පහළින් වැව පැත්තට වන්නට සොරෙව්ව සෑදීම කරත්. සොරොව් වර්ග කීපයකි. මහ කොටුව යනුවෙන් පැරණියන් වහරට ගත්තේ මහ වැව් වල බිසෝකොටුවයි. හීරු කොටුව යනු මඩ හොරොව්වයි.කැට සොරොව් ගම් වැව් වලටයි. වැව් පතුළ තෙක් ජලය හිඳුණු පසු ගවයන් ලවා වැව මඩ කරවා රොන් මඩ කන්දරාව වෙල් කරා ගෙන යෑමට මේ සොරෙව්ව සාදා ඇත. තෙවැන්න නම් බූටිය නම් සොරොව්වයි. තුංගය නමින් භාවිතා කරන පැරණි සොරොව් වර්ගයක් තිබී ඇත. එය රහසිගතය. එය පොළව අභ්‍යන්තරයේ පවතී. වැව වාන් දමන්නට ආසන්නයේ මේ තුංගයෙන් පිටවන ජලය නිසා ආසන්නයේ තිබෙන පතහ උතුරන්නට පටන් ගනී. එවිට වැව රැක ගන්නට කළමනා යුතුකම් වලට පෙළ ගැසේ.

        ආඬියා යනුවෙන් කියවෙන උල්පත් ආගාරය ගල් ආගාරය ඖෂධ ආගාරය ගෙඹි ආගාරය රැස් ආගාරය පෙණ ආගාරය කුඩුම්බා ආගාරය භූමිටු ආගාරය යනුවෙන් වැවට ජලය ගලන උල්පත් ගැන සඳහන් කළ හැකිය. ගල් ආගාරය ජල පෙරනයකි. බෙහෙත් ආගාරය ඖෂධ පැලෑටි සංරක්ෂණය සඳහාය. ගෙඹී ආගාරය ජලජ ජීවින් ගේ පැවැත්මටයි. රැස් ආගාරයෙන් කෙරෙන්නේ ජලය ජලය ගැටීමෙන් ඇති වන ශක්තිය ප්‍රයෝජනයට ගැනීමයි. පෙණ ආගාරය මගින් ජලයේ පිරිසිඳු බව තීරණය කෙරේ.කුඩුම්බා ආගාරය මගින් ජලය පිට කිරීම පාලනය කරයි. භූමිටු ආගාරය යනු උල්පත් පෝෂණයට උදව් දෙන ස්ථානයකි.      වෑකන්ද නිසා පිරෙන ජලයෙන් වැවේ උපරිම ජල ප්‍රමාණය අල්ලා වැවේ ගිල්ම ගසයි. ජල තාවා දිය නිසා වැවේ තාවල්ල ඇති වේ. ආතේඩය යනු තාවල්ලට තවත් නමකි. තාවල්ලට ඉහළින් පෝටා වැටි ඇත. ඉහත්තාවෙන් එන ජලයේ රොන් මඩ නවතා ලන්නට මේ පෝටා වැටි උපකාරී වේ. වැව් ඉහත්තාව ළඳු කැළෑ වලින් යුතු පෝෂණිය පෙදෙසකි.කුඹුක් මයිල පළු වීර නැබඩ බක්මී  වැනි වනස්පතීන් ඇත.මේවා චන්ද්‍ර ගණයේ ශාක ලෙසට හැඳින්වේ.වැව් දිය තුළ කැරැන් වැනි ශාක පැතිර පවතින්නේ වාෂ්පීකරණය අඩු කිරිමටයි.එසේම ලවණතාවය පාලනය කිරීමටයි.. වැවේ පතුල දීගතය යනුවෙන් හඳුන්වයි. සෝලමය ඡවිත්‍රය රුසිය යනුවෙන්ද නම් ඇත. වැව් බැඳීමේදී වැව් පතුලේ ඇති පාෂාණ නිධි භූගත උලපත් ආදිය ගැන උනන්දුවක් ඇති කර ගත යුතුය.

 


 

වැවක සඳහන් කළ යුතු වැදගත් තැන් අතර රළපනාවද දැක්විය හැකිය. සෙමින් වුවත් වැව දිය පතුලේ ඇතිවන චලනය රැළි වශ‍යෙන් මතුපිටට විත් විහිදී යෑමේදී නිරන්තරෙයන් වෑකන්දේ හැපේ. කාලාන්තරයක් තිස්සේ දිය රැළි හැපීම කරන කොට වෑ කන්ද සේදීමකට ලක් වේ මෙය වැලැක්වීම පිණිස වෑකන්දේ වෑවට නිරාවණය වන කොටසේ කළු ගල් ඇතිරීම කළහ. විශාල වැව් වල විශාල කැපූ ගල් කුටට්ටි ඇතිරීම දක්නට තිබේ.

        වැවකින් ජලය පිට කිරීමට සොරොව්ව භාවිතා කරනවා සේම එයට අවශ්‍ය ඇළ මාර්ග තැනීමද කරති. එයින් එකක් නම් කුටීර ඇළයි. එය කිසි දිනක හිඳෙන්නේ නොවේ. අනෙක් ඇළ නම් මඩහොරෙව්වෙන් පිට කරන ඇළයි. වැවක වතුර පරිහරණයේදී තොට යන වචනය යෙදේ. එහිදී පෙයිය තොට යනු වැවේ කුඹුක් ගස් මණ්ඩියක තිබෙන පිරිසිදු වතුර කඩයි. එහි දිය නෑම සතුන් සේදීම තහනම්ය. අනෙක නම් නාන තොටයි. එහි කරන්නේ දිය නෑම පමණකි. වැවට බැසීම සදහා ඇතැම් විට ගලින් පඩි තනා තිබේ. භික්ෂූන් වහන්සේලාට දිය නෑම පිණිසද වෙනමම නාන තොටක් පරිහරණය කිරීම පැරණියන් ගේ සිරිත විය. සතුන් සේදීමටද එසේමය. මෑතක් වන තුරුම පෙයිය තොට මගින් ගත් ජලය නිවෙස් වල පරිහරණයට ගැනිම සිරිත විය. එයට හේතුව වැවේ මතුපිට ජලය මෙන්ම කුඹුක් වැනි ශාක වලින් පෙරෙන ඖෂධ ජලය බීමට සුදුසු වීමයි.රජරට අයට එදා වකුගඩු රෝග නොසෑදෙන්නට එක් හේතුවකි එම පිළිවෙත.

      ගම් වැවක අංග මෙසේ වන අතර ගම් වැවට සමානතරව නිවුන් වැව් පිහිටීමක්ද විය. ගම් වැව් පිහිටා තිබෙන්නේ එකක් යටිවත එකක් පිහිටා තිබෙන ආකාරයටයි. මෙය වැව් එල්ලංගාව ලෙසට හැදින්වෙයි. එල්ලංගාව සැම තැනකම තිබූයේ නොවේ. පිහිටි රටට එය වඩාත් ආවේණික විය.නිවුන් වැව් යොදා ගන්නේ දැඩි නියන් කාලයක ප්‍රයෝජනයට ගන්නටයි. මේ නිවුන් වැව් කීපයක් එක්කර තැනූ පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුවේ මහා සාගරය ලෙස හැඳින්වෙයි.වැව ගැන ලියා ලැබූ පුස්කොළ ග්‍රන්ථයක් පැරණියන් අතර තිබී එය තමාද දුටු බව   මුදියන්සේ තෙන්නකෝන් මහතා පවසයි.එය නම් කර තිබුණේ ජල බිංදු ජල ප්‍රමාණ ජල දීපිකා යනුවෙනි. එවැනි තවත් ග්‍රන්ථයක් මල්වතු මහානායකව සිටි පුරිජ්ජල සරණංකර මහානායක හිමිපාණන් සන්තකයේ තිබී සුදු දිසාපතිවරයෙකු රැගෙන ගිය කතාවක් ද අසා තිබේ. කෙසේ වෙතත් මේ ශිල්පියාව ගැන සටහන් වූ අගනා දැනුම් සම්භාරයක් අද අප අතරින් ගිලිහී ගොස් ඇත.නමුත් පෙර සිටි අප මුතුන් මිත්තන් ගේ ශක්තිය මත ඒ දැනුම යලි යලි මතුවෙයි.එය සැඟවිය නොහැකිය.

   මෑතකදී වැව ගැන නව සාකච්ඡාවක් ඇති වී තිබේ. දකුණු පළාතේ තිබෙන ‌ෙඑතිහාසික වැවක වූ තිස්ස වැව ඉහත්තාව හාරා රොන්මඩ ඉවත් කර වැලි ගැරීමට චීන සමාගමක් පැමිණීම ඊට හේතුවයි. රුහුණු මාගම රාජධානියේ කිරිඳි ඔය නිම්නයේ පවතින වීරවිල වැව දෙබරවැව යෝධකණ්ඩිය සහ තිස්ස වැව සියවස් ගණනාවක සිට විකාශනය වෙමින් පැවති  වාරි සභ්‍යත්වයක කොටසකි. ඌව කඳුකරයෙන් නිරන්තරයෙන් ගලා බසින උල්පත් කඳුරු පෝෂණය කරගනිමින් කුලුවැව් සහ ගම් වැව් සාදා ගනිමින් ආරම්භ වූ මේ වාරි පැතිරියාව මාගම රාජධානිය බිහිවීමත් සමග වේගවත් පිම්මකින් සංවර්ධනය විය. ඉහත්තාවේ තිබුණු කුලු වැව් සහ ගම් වැව් නිසා තිස්ස වැව රොන්මඩ වලින් නොපිරුණු බව පැරණියන් දනිති.

        වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් වරයෙකු ව සිටි ඒ.ජේ.බී. පොන්රාජ් නම් මහතමයෙකු 1988 දී සකස් කළ (Technical Guide lines Irrigation Department) නම් ග්‍රන්ථයේ හැටියට 1900 -1988 දක්වා වූ කාලයේ වැව් වල රොන් මඩ ඉවත් කිරීමක් සිදුව නැත. එවැනි ක්‍රියාවක් සිදුකලා නම් මෙම ග්‍රන්ථයේ එයට අවශ්‍ය මාර්ග උපදේශ දැක්විය යුතුව තිබුණි.  කෙසේ වෙතත් අසූව දශකයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ යුගයේ දී ආරම්භ වූ වැව් දසදහසේ ව්‍යාපෘතිය යට‌තේ වැව් හෑරීමක් සිදු වී තිබේ. මේ හෑරීම නිසා යම් විනාශයක් සිදු වුවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු වීම නිසා විනාශය යම් තරමකින් වළක්වා ගත හැකි විය. 2008 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් කීපයක රොන් මඩ ඉවත් කිරීම සඳහා එවකට කුරුණෑගල භාරව සිටි ඉංජිනේරු වරුන් අවසර දී තිබුණි. මෙම ක්‍රියාව රොන් මඩ ඉවත් කිරීමක් පමණක් නොව වැලි ගැරිල්ලක් ද විය. විශේෂයෙන්ම බතලගොඩ වැව එසේ හෑරීමට උත්සාහ කරන ලදී. ලලිත්කොතලාවල මහතාට අයත් සමාගමක් විසින් කළ මෙම මැදිහත් වීම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ පරිසර අංශයේ මැදිහත් වීම මත නවතා දමන ලද්දේ ඉන් වැව් වලට වන විනාශය සලකා බැලීමෙනි. අද වන විට නැවත මතුව තිබෙන්නේ ඒ පැරණි උත්සාහයයි. චීනයෙන් ආනයනය කරන ලද යන්ත්‍ර භාවිතා කර ඔවුන්ගේ ද උපදෙස් මත තිස්ස වැව හාරා වැලි ගැරීම එහි අරමුණයි. මෙම ලිපියේ කලින් සඳහන් කළ පරිදි වැව ඉතා සංවේදී ප්‍රදේශයකි. ‌ෙඑතිහාසික වැවක් නම් වැව් බැම්ම ආසන්නයේ පමණක් නොව වැව් ඉහත්තාවේ මෙන්ම අවටත් පුරාවස්තු සැඟව තිබෙන්නට පිළිවන.තිස්ස වැවත් වීරවිල වැවත් අවට පරිසරය අභය භූමියක් බවටද ප්‍රකාශයට පත් කර තිබේ. එවැනි තත්වයක් යටතේ හිතූමතයට වැව් හෑරිල්ල සිදු කළ නොහැකිය.රොන්මඩ ඉවත් කිරීම වාරිමාර්ගයේ අධීක්ෂණය යටතේ කළ හැකි වුවද වැලි ගැරිල්ල සම්පූර්ණයෙන්ම නීති විරෝධීය.යන්ත්‍ර මගින් වේගයෙන් ඇදගන්නා රොන්මඩ හා ජලය නිසා වැව් පතුලටද ඉහත්තාවටද සිදු විය හැකි හානිය විශාලය.වැව් යට තවමත් සැඟය තිබෙන පැරණි වැව් ක්‍රමවේදයන්ද මේ නිසා සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය හැකිය. එම නිසා වැව ගැන දැනුම්වත් වෙමින් සංවර්ධන ව්‍යාපෘතීන්ට අත ගැසීමට රජයට වගකීමක් තිබෙන බව මෙහිදී මතක් කර දිය යුතුය..

මතුගම සෙනෙවිරුවන්

 

1 comment:

  1. ඉතා වටිනා ලිපියක්. රළපනාව පිලිබඳ මටත් යමක් ලියන්න හිතුනා. ජලාශයක සුලන් හමන දිශාවට ඇති වැඩිම දුර "fetch" එක ලෙස හඳුන්වනවා. මෙහි සිංහල වදන මම දන්නේ නෑ. කෙසේ වෙතත් fetch එකේ දිග වැඩිනම් රල ඇතිවීම වැඩියි. රලේ තරංග විස්තාරය වැඩිවෙනවා. එමගින් ජලාශයේ බැම්ම මත සිදුකරන ඛාදනය වැඩිකරනවා. රළපනාව මේ සඳහා හොඳම විසඳුමයි. අතීතයේ ජලාශ නිර්මාණයේදී fetch එක අඩු කරගැනීමට විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා. සුළං හමන දිශාව අනුව ජලාශය සැලසුම් කිරීම, ජලාශයේ මැද දුපත් පිහිටන ලෙස නිර්මාණය කිරීම වගේ දේවල්.

    මේ වගේ රහසේ සැඟවුණු වටිනා දැනුම අපේ අනාගත පරපුරේ ජීවිත වලට සමීප කල යුතුයි. විභාග පාස් වීමට පමණක් මේ දැනුම සීමා නොවිය යුතුයි. එවන් කාලයක ඔබගේ මෙම ලිපිය ඉතා වටිනවා.

    ReplyDelete