පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 3, 2020

පාර්ලිමේන්තු ගිය කුරහන් තොණ්ඩුව වෙනුවෙන් ගොවියා ගේ රණ්ඩුව


                    
             දකුණු ඇමරිකාව නිජබිම කරගත් දුම්කොළය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ ශරීර උණුසුම් කරන ටයිපටියක්  වූයේ ස්වදේශිකයන් ගේ ඉඩම් සහ දේපළද සින්නකර ගනිමිනි. රතු ඉන්දියානුවන්ගේ ශිෂ්ඨාචාර සුන්නත් දූලිකරමින් තක්කඩි සුද්දන් ඔවුන්ගේ ඉඩම් කොල්ල කෑ ඉතිහාසය මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකළ ඉතිහාසයයි. මේ පරිවර්තනය තුළ පීරූ වැසියන්ගේ  අලභෝගය අර්ත්ඇපල් ලෙසින් ඒංගලන්තයේ රැජිනගේ කෑම මේසයට පැමිණියේය. රැජින ගේ රාජ භෝජන අනුකරණයට ගොස් නුවරඑළීයේ සහ වැලිමඩ අර්තාපල් සංස්කෘතිය විසින් සිංහලයන් බිලිගෙන ඇත. බෝ නොවන රෝග ලෙසින් දක්වන බොහෝ රෝග උත්පාදනයට මේ අර්තාපල් හේතු වී ඇතිවාට නිසැකය.
           පැරණි සිහළයාගේ ප්‍රධාන ආහාර භෝගයන් වූයේ වී සහ කුරහන්ය. වීබිස්සක් නැති කුරහන් අටුවක් නැති සාම්ප්‍රදායික නිවසක් එකළ නුවූයේය.කාලිංග ඹාඝ ගේ පටන් රොබට් බ්‍රවුන්රිග් ලා දක්වා වූ මහා ඝාතකයන් විසින් විනාශ කරන ලද සශ්‍රීක ගොවීබිම්හි පවා අක් වැස්සට ඉබේම  කුරහන් පැළවුණි. කුරහන් වලින් ශක්තිමත් වූ යකඩ දෑත් වලින් අස්වැද්දිය නොහැකි මහ පොළවක්ද එදා නුවූයේය. එහෙත් සුද්දාගේ යකඩ සපත්තුවට පෑගී සිටි සිංහලයා දිගේලි කොට නිදහස දුන් දා පටන් හේන් යායෙන් නැගුණු කුරහන් සීපදයත් වෙල් එළීයේ ගොවි අඩහැරයත් අකා මකා ගියේය. විසි එක්වන ශත වර්ෂයේ ආරම්භය වන විට කුරහන් රටින් ගෙන්වන ප්‍රධාන භෝගයක් බවට පත් වී ඇත. කුරහන් මාලය නැතහොත් සාටකය පාර්ලිමේන්තු තොණ්ඩුවක් වී ඇත.
           සුළඟට ලාලිත්‍ය දෙමින් වැඩෙන පඳුරු කුරහන් අතර රෑන් ඇදී යමින් දිවෙන වට්ටක්කා වැළක  හැංගුණු නාඹර පුලුලුකුලකට තට්ටු කරන්නට නොකැමති ගොවියෙකු වන්නි කරයේ එදා සිටියේ නැති තරම්ය.බඩ ඉරුං ගස් මණ්ඩි ඔස්සේ දකින තියඹරා ගෙඩියක කැඳවුම ද ඒ තරමටම මිහිරිය. හේනේ වනස්පති වෘක්ෂයේ මහ පැළට වී පාලුවේ සිටින්නෙකුට තමන්ගේ හේනේ සිරියාව විවිධාකාරයෙන් අත් විඳිය හැක්කේ එලෙසය. පාලු නිකින්නියේ වල් බැදි කපමින් හෙලූ දහදිය ට මිහිමවගෙන් ලැබෙන තෑග්ගක් බඳු හේන් භෝග හේඩාව එකින් එක අස්වනු දී සෙමින් සෙමින් තුනී වන විට ගොවි ගෙදර අටුව සරි බර වෙයි. කුරහන් බඩ ඉරුං මෑ බටු මිරිස් තක්කාලි අසමෝදගම් තම්පලා ආදී නොයෙකුත් භෝගයන්ට ක්ෂේම භුමියක්ව තිබූ හේන ඉන්පසු කැලෑවට යයි.මේ ළඳු කැලෑවෙන් ද තිබ්බටු එළබටු පමණක් නොව නොයෙකුත් ඖෂධයන්ද ගැමියන්ට ලබා දෙන ලද්දේ ස්වභාව ධර්මයේ කරුණාව මෙතැකැයි කියමිනි.සිංහල ගොවි සංස්කෘතියේ සශ්‍රීකත්වය එයයි.
         මූකලන් හේන් වල සිරියාවත් සමෘද්ධියත් ගමෙන් ඉවතට ඇදී ගොසින්ය.  හේන් හේඩාව වෙනුවට ගමම හේ බා ගොසිනි. සිදාදියේ අරුමෝසම් කෑම වලින් කඩපිල් පිරිලාය. වකුගඩු රෝගයෙන් ද පිළිකාවෙන්ද මැරෙන ගම්මුන් ගේ විලාපය සුළං අතට හැරී හෝ හෝ ගා ගත් ගමන්ය.කුරහන් නැති රටට පැසිපික් රම්බෝ වැනි දෙමුහුන් බඩ ඉරිඟු පැමිණිලාය. මේ බඩ ඉරිඟු වත්තේ මුරකරුවා වන්නේ රජරට ගොවියාය. කෘෂි රසායන ටැංකිය පිටේ බැඳ ගත් ගමන් සිටින මේ ගොවියාට ත් සෙක්කුවේ බැඳ සිටින හරකාටත් නිදහසක් නම් නැත.
           බ්‍රිතාන්‍යයන් විසින්1840 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද මුඩුබිම් පණත් වල ප්‍රතිඵලයක් වශයෙන් හේන් ගොවිතැනට අවශ්‍ය වූ මූකලාන් සහ කනතු සිංහලයින්ට අහිමි විය. ඒ ඉඩම් කෝපි වැවිල්ලට යටකරන ලදී. වන්නිය හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් හේන් ගොවිතැනේ ශේෂ දක්නට ලැබුණි. අනතුරුව ඉඩම් භුක්ති ක්‍රමයේ විකාශනය නිසාම ගොවීහු විනාශකාරී හේන් ගෙවිතැන් ක්‍රම අනුගමනයට පටන් ගත්හ. ඉංග්‍රීසින් ඇතැම් විට මේ ක්‍රමය තහනමට ලක් කරනු ලැබූහ. එහෙත් මාස් කන්නයට පමණක් වැසි ලැබෙන පළාත් වල වැසියන් තමන්ට ආයාසයකින් තොරව ලබා ගත හැකි ධාන්‍ය වර්ග සඳහා හේන අත් නොහළහ.වී වගාවට ජලය නොලැබෙන කල්හි ගොවීහු හේන් වලට සංක්‍රමණය වෙති. මාස් කන්නයේ වුවද නියන් ලකුණු දුටු කල්හි ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ හේන් කෙටීමටයි. කුරහන් එහි ප්‍රධාන භෝගයයි.
               හේන් ගොවිතැන අභාවයට යත්ම කුරහන් ගොවිතැන ද අභාවයට ගියේය. වෙසෙසින්ම මහවැලි ව්‍යාපාර සංවර්ධනයත් සමග හේනට තහංචි පැනවුණි. මෙම ආහාරයට තිබෙන ප්‍රිය මනාප භාවය නිසාම අතරින් පතර කුරහන් වගාව කළද ඒ සාම්ප්‍රදායික ක්‍රමයට නොවේ. 1980 සිට 1994 දක්වා කුරහන් වගාවේ සංඛ්‍යා ලේඛන ගත හොත් මෙම වගාවේ පරිහානිය තේරුම් ගත හැකිය. 1981 වර්ෂයේ දී හෙක්ටයාර් 19600 ක මෙම වගාව පැතිර තිබුණි. 1982 දී එය හෙක්ටයාර් 20 400 විය. ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වී 1994 වන විට එය හෙක්ටයාර් 7474 ක් දක්වා  අඩුවුණි.2008 වර්ෂය වන විට මේ වගාව හෙක්ටයාර් 2000 කට පල්ලම් බැස තිබුණි.වර්තමානය වන විට කුරහන් ඉන්දියාවෙන්  වයට්නාමයෙන් සහ මැලේසියාවෙන් ගෙන්වන ප්‍රධාන ආහාරයකි.
      කුරහන් ශක්ති ජනක ආහාරයකි. ආහාරයක් වශයෙන් එහි අඩංගු කැලරි ප්‍රමාණයෙන් ඒ බැව් තේරුම් ගත හැකිය. මාංශ ජනක ධාතු  කැල්සියම්  විටමින් බී වැනි පෝෂ්‍ය ගුණ එහි යහමින් අඩංගු වන බව නවීන පර්යේෂකයින් පෙන්වා දී තිබේ.මහ මොර ගල් මොර කලු ගැටයා මෙන්ම නර මානෙල් නමින් තිබූ පැරණි සාම්ප්‍රදායික කුරහන් වර්ග දැන් අභාවයට ගොසිනි. මාස් කන්නයට හේනට පිරිමහින ප්‍රධාන ගොවිතැනක් වූ කුරහන් යල් කන්නයේ ද සරුවට වැඩුණි. කුරහන්  සකස් කරගන්නට නිවසක තිබූ කුරහන් ගල අපූරු උපකරණයකි. එහි අත් ගලේ මැද හිලට දැමූ කුරහන් ඇට ඇඹරෙමින් ගල දෙපැත්තෙන් බිමට වැටෙන්නේ වන්නිකරයේ ගොවියාගේ අව්‍යාජ සිනාව මතක් කර දෙමිනි. මේ කුරහන් පිටි ඉක්මනින් ආහාරයක් ලෙසට සකස් කර ගන්නට ගෙවිලිය දනී.  වතුර මුට්ටියක් ලිපේ තබන ඇය වතුර නටා ගෙන එන කල්හි ඉන් වතුර භාගයක් පමණ වෙනත් බඳුනකට අයින් කර ගනී. අනතුරුව කුරහන් පිටි අවශ්‍ය පමණ දමමින් පත්තෙන් පතු ගාන්නේ කවි දෙපදයක්ද කියමිනි.නටන උණු ජලයේ තිබෙන ගුප්ත තාපයෙන් කුරහන් හොඳ හැටි තැම්බෙන අතර වෙන්කර ගත් වතුර මට්ටියේ උණු ජලය වරින් වර දැමීම නිසා කුරහන් පිටි අහුර තලපයක් බවට පත් වෙයි. මේ තලපය කටේ  අලවා නොගෙන ගිලීමට සමත් හොද්දක් හෝ ආනමක් දැන් අවශ්‍ය වේ. ඒ සඳහා කොල්ලු ආනම අගේට ගැලපේ. රටේ විවිධ පළාත්වලට එයට ගැලපී යන ආනම් දකින්නට හැකිය.
      කුරහන් දියවැඩියාව සමනයට අගනා ආහාරයක් යයි පැරණියන් අතර තිබූ මතය බිඳ හෙලන්නට විවිධ විශේෂඥයන් වරින් වර නොයෙකුත් මත ඉදිරිපත් කළහ. එවිට  ආහාරයක් සකස් කර ගන්නට නොදත් සමාජයක් නිතරම පැකිලේ. විචිකිච්චාවට පත් වේ. කුරහන් ගැඹුරු උණුදියේ තම්බන්නට ඕනෑය කීවේ ඒ නිසයි. කුරහන් කැඳ මෝරු සමග බීම දියවැඩියා රෝගීන්ට පත්‍ය ආහාරයකි. කුරහන් පිට්ටුවටද කෙට්ටුව මට්ටු කර ලිය හැකි බව පැරණි කවුරුත් දැන සිටියහ. එයට ගැලපී යන හොද්දක් ඇඹුලක් ද තිබිය යුතුය. කුරහන් රොටිය  ඉතා දුගී ආහාරයක් වුවද උණු අලු පල්ලේ දමා තම්බා ගත් කුරහන් ගිනිපූ නමින් වූ සාම්ප්‍රදායික රොටිය රසවත් කමින්ද ගුණයෙන්ද ඉහළය. එයට හාල් මැස්සන් රතු ලූණු කරපිංචා ආදිය එක් කර කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලක දමා තම්බා ගැනීම නිසා ක්ෂණයකින් ලේ ධාතු ගත වන අගනා ශක්ති ජනක ආහාරයක් ලැබේ. ඇතැම් හේන් ගොවීන් හේනේ ගල් තලාවක් හොඳ හැටි පිරිසිඳු කර ඒ මත රොටිය වඩවා තබා දහවල් වන තුරු වැඩ කර එතැනට යළිත් පැමිණෙන්නේ පදමට අව්වෙන් තැම්බී ඇති රොටිය ආහාරයට එක් කර ගැනුමටයි.මේ සෑම ආහාරයක්ම තැනේ හැටියට වැඩයේ හැටියට පිරිමහින දේවල්ය. ශිත කාමර වල සිටින දහදිය නොදක්වන හීල් වැඩ කරුවන්ට පෙර සඳහන් කළ කුරහන් තලපය තරම් අගනා ආහාරයක් තවත් නැතිය. සෙම මේද වාත නසන එසේම බඩේ ආමය නිසි ලෙස සකස් කරන තව දුරටත් මුත්‍රා ගල් දියකරවන කොල්ලු ආනමත් එක් වූ විට එයින් ඇති කරවන ප්‍රතිශක්තිය මෙන්ම රුධිර සීනි සමබර තාවය විශිෂ්ඨය. මේ සියුම් තැන් නොදන්නා බටහිරයන් තම වියුක්ත දැනුමේ පිහිටා සිටිමින් කුරහන් වලට අවමන් කරති. නමුත් සත්‍යය දන්නේ කුරහන් නිසා දිවි ගැට ගන්නා රජරට රුහුණු ගොවියාම පමණකි. මී මල් පිපෙන කාලයට ඒවා අහුලා රේණු තලා වේලා කුරහන් පිටි සමග එක් කර කිතුල් පැණි මුසු කර සාදා ගන්නා මී මල් හැලපය වාතය නසන මිහිරිතම අතුරු පසකි.කුරහන් හේනේ හේඩාවට ගොවියා දෑත් එක් කර වඳින්නේ ඒ නිසයි.
           ගිරුවා පත්තුවේ බුද්ධියාගම විදාන ආරච්ච් ගේ පුත් දොන් මැතිව්ස් රාජපක්ෂ මහතා එදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැලුනු පෑගුණු ගොවි ජනතාවගේ නායකයා විය. ඔහු 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව ට ඉදිරිපත් වූයේ එවක එම පෙදෙස පාලනය කළ මුදලි වරු කෝරාළ වරු අතරින් පැන නැගුණු රදල මාන්නාධික පාලනය බිඳ හෙලන්නටයි. ඔහු නාම යෝජනා දෙන දිනයේ තිරික්කල  පෙරහරකින් දිසාපති කන්තෝරුවට පැමිණියේ ගොවීන් පිරිවරා ගෙනයි. දිසපති වූ පී .ජේ. හඩ්සන් මහතා රාජපක්ෂ මහතාට අවශ්‍ය පාට කුමක්දැයි විමසිය. තමන් පිරිවරා සිටි ගොවි ජනතාව දෙස බැලූ විට ඔහුගේ නෙත් එක්වරම ඇදී ගියේ කුරහන් ගල් පොත්තයායේ හෙන්ද්‍රික් අප්පුහාමි මහතාගේ කුරහන් පාට තුවායයි. එම තුවාය අතට ගත් රාජපක්ෂ මහතා තමන්ගේ පාට මෙලෙස විය යුතු යයි ප්‍රකාශ කර සිටියේය. මෙයින් කිපුණු හඩ්සන් දිසපති වරයා මදක් නැමී දෙපයින් සපත්තුව ගලවා මේකත් ඔය පාටම නේදැයි උපහාසයෙන්  විමසා සිටියේලු . ඒ එදා සුද්දන් ගේ කාලයේ දේශපාලනයේ රඟ සොබාවයයි. ගොවීන් ගේකර පිටින් ගිය මේ රාපක්ෂ වරු සැබවින්ම ඔවුන් ගේ නියොජිතයින් වූහ. කුරහන් සාටකය පළඳා ගෙන ගමේ දුක් විඳින ජනතාවගේ එදිනෙදා ප්‍රශ්ණ විසඳාලන්නට ඔවුන් කළ කැපකීරීම් අනන්තය. බණ්ඩාරනායක මහතා විරුද්ධ පක්ෂයට යන විට අවදානම නොතකා ඩී.ඒ.රාජපක්ෂ මහතා ඔහු පසු පස ගියේ පොදු ජන යුගයක් උදා කිරීමේ පවිත්‍ර චේතනාවෙන් බව පැහැදිලිය.
                   දශක ගණනාවක් ගෙවී ගොස්  ගිරුවායට නව ප්‍රවේශයක්  හිමි වී ඇත. හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ අධිවේගී මාර්ග වලින් ළඟා වීම ඇරුණු කොට කාපට් කරන ලද ග්‍රාමීය පාරවල් නිසා ගිරුවායේ ජනතාවට කුරහන් පාට දැන් අමතකව ගොසිනි.ඔවුහු බලාන සිටිනුයේ ගිරුවාය බදුගත් විදේශිකයන්ගේ දෑත් වලින් වැටෙන සල්ලි අහුලා ගන්නටයි බුද්ධියාගම විදානේ ආරච්චිගේ තවත් මී මුණුපුරෙක් දැන් මේ රටේ ජනාධිපතිවරයා වෙයි. ඔහු මෙවර කුරහන් තොණ්ඩුව ඉවතට ලා දුම්කොළ ටයිපටිය අතට ගෙන සිටී.   වසංගතයට බියෙන් මුලු රටම වසා තබා ඇති මොහොතක යළීත් ගොවියාගේ හිස මත කුරහන් මාලය පළඳවන්ට ඔහු සමත් වේද යන්න තවමත් අපට විචිකිච්චාවක් වන්නේ එහෙයිනි..
         කුරහන් ලංකාවට පිරිමහින ආහාරයකි. ගොවිතැනකි. ඉතා අඩු වියදමින් යෙදවුම් නොමැතිව කළ හැකි මේ භෝගය සරල පහසු ක්‍රමයන් මගින් ආහාරයට සකස් කර ගත හැකිය. අවුරුද්දක් පමණ බීජ කල් තබා ගත හැකි වන අතර වසර තුනත් පහත් අතර කාලයක් වුවද කරල් පිටින් අටුවේ කල් තබා ගෙන ආහාරයට ගත හැකිය. ඒ අතින් බලන කල්හි ආහාර සුරක්ෂිතතාවයට කුරහන් වැනි ශක්ති ජනක ආහාරයක තිබෙන වටිනාකම් වඩාත් ඉහළය.ස්වාධින ලංකාවකට අවශ්‍ය වන්නේ මේ සරල සංකල්ප හා වටිනාකම්ය.එළවලු භෝග වගාවෙන් අතරමං වී සිටින ගොවි රජවරුන් ඒ මග ගත යුතුය. එපමණක් නොව  කුරහන් සාටකයෙන් වසා සිටින දේශපාලන රඟපෑම් ඉවරකරන්නටද සුද්දාගේ දුම්කොළය එල්ලා ගෙන කරන දේශපාලන තක්කඩි කම්ද අවසන් කරන්නටද ඔවුන් පෙරමුණට පැමිණිය යුතුය.
  
        

Sunday, April 26, 2020

කැස්ස හෙම්බිරිස්සාවට බිය විය යුතුද


                                             
            මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී  සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන් ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව  මේ බැව්  දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ ලියැවී තිබෙන මේ ස්වභාවය මේ රටේ කීයෙන් කීදෙනෙකු අධ්‍යනය කලාදැයි මම නොදනිමි. නමුත් ජ්‍යෙතිෂය පෙරදැරිව වෙදකම් කරන වෛද්‍යවරයෙකු නම් අදාළ රෝගියාගේ හඳහනද පරීක්ෂා කොට බලා ප්‍රතිකාර නියම කරලීම සිරිත වෙයි. වාත පිත්ත සහ සෙම යනුවෙන් පවතින මේ ප්‍රකෘතිය කෝප වීම නිසා දොස් කෝප තත්වයන් ජනිත වෙයි. මෙවැනි කෝප ලක්ෂණ ඇතිවූ කල්හි පුරුෂයෙකු ගේ නම් දකුණු අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද කාන්තාවකගේ නම් වම් අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද දැන ගත හැකිය. ඇතැම් විට වා සෙම් හෝ පිත් සෙම් රෝග ලක්ෂණද ජනිත වීම ස්වභාවිකය. පැරණි වෙද මහතුන් සියලු දෙන නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කරනුයේ මේ දොස් කෝප තත්වය නිවරදිව විමසා බලා ප්‍රතිකාර නියම කරලීමටයි.එහෙත් අවාසනාවකට වර්තමාන ආයුර්වේද වෛද්‍යවරුන් පවා මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර නැත. ඒ වෙනුවට ඔවුන්ද බටහිර වෛද්‍යවරුන් මෙන් වෙද නලාව භාවිතා කරති. මෙයින් ගත හැකි සහාය අල්පය.
        සෙම කෝප වීම නිසා ශරීරයේ දියර ස්වභාවය වෙනස් වේ.සෙම්ප්‍රතිශ්‍යාව යනුවෙන් දක්වන්නේ එයයි. ඇතැම් විට නහයෙන් සොටු දියර ගැලීමට පටන් ගනී. වාත ප්‍රකෘතිකයෙකු නම් වාතය බලවත් වී සෙම නොයෙකුත් තැන් වල ට ගමන් කරමින් ඒ තැන් ආසාදනයට ලක් කරයි. උගුරේ වේදනාව හට ගන්නේ මෙවැනි විටකය. උගුරේ වියළී ගතිය මස් දලු ඉදිමීම රතුවීම ආදී කරුණු නිසා කැස්ස ඇති වීමට පටන් ගනී. සෙම්ප්‍රතිශ්‍යාවක්  ඇතැම් විට කෙනෙකුගෙන් බෝවන්නක් විය හැකිය. එවිට සෙම් කෝප වී පෙර සඳහන් කළ තත්වයම විවිධ අන්දමින් ඇති විය හැකිය.වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කොට පවතින දොස් කෝප තත්වයන් සලකා බලා ප්‍රතිකාර නියම කරයි.වාතය සහ සෙම සමබර වූ වහාම මේ හෙම්බිරිස්සාව හෝ එයින් හට ගන්නා උණ බැසයයි. තරුණ ජවරයකදී (උණකදී ) උපවාසය කොට ලුණු කැඳ ලබා දීමෙන්ම ආමය පැසවීම කොට රෝගියාට සුවය සලසා දිය හැකිය.නමුත් සෙමත් සමග  විශේෂයෙන්ම පිතත් සෙමත් සමග ඇතිවන සෙම් කෝප තත්වයකදී වමනය අතීසාරය ආහාර අරුචිය කැස්ස සහ උණ දරුණුවට ඇති වීමට තිබෙන අවස්ථා බොහෝය. වා පිත් සෙම් තුනම කෝප කර තත්වයකදී සන්නිපාත ලක්ෂණ පවා ඇති විය හැකිය.අතැම් පාරම්පරික වෙද පොත්වල කෝලේගාය යනුවෙන් දක්වා ඇත්තේ මෙවැනි අවස්ථාවන්ය.
       ගොවිතැනෙහි නියැලී සිටින ගොවියන් නිතර සෙම් රෝග වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ බොහෝය.සහජ පීනස් ලක්ෂණද එවැනි විටකදී මතු විය හැකිය.එවැනි අවස්ථාවලදී පැරණි ගොවීහු සෙම් කෝප වීම වාතය විමාර්ග ගත සහ ඇඟ පත රුදාව වළක්වා ගැනීමට තොටිල පොතු මුරුංගා පොතු අමු ඉඟුරු සහ සුදු ලූණූ අඩංගු ඖෂධයක් භාවිතා කළහ.එසේම  කුප්පමේනිය ඔළිඳ කොළ ඉඟුරු ඇඹුල් දොඩම් ආදිය ඇතුලත් ඖෂධයක් භාවිතා කළහ.සාමන්‍ය සෙම් කෝප අවස්ථාවලදී බුද්ධ රාජ කල්කය යොදා ගැනීම ගැමියන් ගේ ප්‍රශස්ථ ප්‍රතිකාර විදියක් විය.එහි අනුපාන වශයෙන් ගැනෙන ශාක ඔසු විවිධය.විශේෂයෙන්ම ආඩතෝඩ නික ඇඹුල් දොඩම් කිරි අඟුන දළුවල යුෂ අනුපාන සහිතව ගැනිණ.වා සෙම්  ප්‍රධාන ව හට ගැනෙන ස්වාශ  උණ සහ සන්නිපාත අවස්ථාවලදී  වලදී කුඹූරු දළු අමුඉඟුරු යකිනාරන් දළු යකවනස්ස දළු දෙහි දළු නික දළු සහ සුදු ළුනු යොදමින් කල්කය ලබා දුන්හ.මැදින් මාසය ගෙවී බක් මාසය උදාවන සමයේ දී වසංගත තත්වයන් ඇති වෙයි. එවිට සෙම කෝප වීම සිදු වෙයි.බෝවන රෝග පැතිරීම සිදු වෙයි.ඒ නිසා පත්තිනි මෑනියන්ට පුද සත්කාර කිරීමද ගම්මඩු නටා ආශිර්වාද සපයා ගැනීමද සිදු කළහ.විපත් රෝග උපත්‍රායාදී යස කීර්ති තේජසං පත්තිනි දේවි සමින්දා පාද පත්මා බි වන්දේ යනුවෙන් පත්තිනි මෑනියන් වන්දනා මාන කලේ එනිසාවෙනි.දෙයියන්ගේ ලෙඩ වැළඳුන කල්හි බෙලි කොළ කොහොඹ කොළ නික කොළ ආදීයෙන් තම්බා ගත් දියෙන් සේදීමද පැපිළිය කටුවැල්බටු තැම්බුම ලබා දීමත් සිදු විය.මේ අතර ශරීර ප්‍රතිශක්තිය ජනිත වන ආහාර ගැනීම අනිවාර්ය විය.ජනවාරි පෙබරවාරි කාලයේ ලබා ගන්නා ලද වැල් අල අස්වැන්න තුළින් සිරුර ශක්තිමත් කරන අතර බක් මාසයේ වට වැස්සත් සමග දලුලන විවිධ කොළ වර්ග ආහාරයට ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිය තවදුරටත් වර්ධනය වේ.(නව දලු ඇඹුල )කුඹූරු වැඩ වල නිරත ගොවීන් සිංහල අවුරුද්දට ප්‍රථම වපුරා අවසන් කරනුයේ බක් මාසය තුළ මඩේ බැස වැඩ කිරීමෙන් ගවයන් සහ ගොවියන් දෙපිරිසම රෝගී වන බැවිනි.එසේම වන පළතුරු සියඹලා දන් සහ දිවුල්  ආහාරයට ගැනීමට රජරට ගැමියන් ට ලැබීමද මෙහිදී දැක්විය හැකි මහඟු නිදර්ශනයකි..
       සෙම් රෝග නැසීමට භාවිත වන ප්‍රධාන ඖෂධ අතර පාවට්ටා නොහොත් ආඩතෝඩා ප්‍රධානය. එයට වෛද්‍ය මාතා යයි ද කියති. පෙර දැක්වූ පරිදි මෙහි දලු අනුපානය සමග ඉඟුරු සුදු ලූනු සමග ගුලි කල්ක යෙදීම තුළින් සෙම නිසා ඇතිවන විවිධ සංකූලතා නැතිකරගත හැකිය. විශේෂයෙන්ම සෙම නිසා ඇති වූ උගුරේ ලෙඩ වලට පිළීයම් කර ගැනීම පිණීස කණ්ඩමාල කල්කය නමින් අගනා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෛද්‍යවරුන් සකස් කරගෙන තිබුණී.උගුර ඉදිමීම උගුරේ ගෙඩි සෙම වියළීම නාසය ඇසිරීම ගිලීමට අපහසුව ගොළුවීම වැනි උත්සන්න අවස්ථාවලදී හිඟුරුපට ඉස්මෙන් කුකුරුමාන් ගෙඩි ඉස්මෙන් මෙන්ම දෙමට ගෙඩි ඉස්මෙන් කල්ක ලබා දීමෙන් අසීරු අවස්ථා මගහරවා ගනිති.අඩතෝඩා තිප්පිලි කුප්පමේනියා ඉඟුරු ඉරිවේරිය අරත්ත කලාඳුරු එලබටු යකිනාරන් කුඹූරු කරපිංචා ඔළීඳ වැල්මී නික යකිනාරන් යක වනස්ස සහ පිටවක්කා වැනි ඖෂධ ගෙවත්තේ වවා ගත හැකි අගනා ඔසු ශාක වෙති.අතැම් ශාක ඉබේ වැවෙන බව අප සිහිපත් කල යුතුය.මේ ඖෂධ මනා ලෙසට ප්‍රයෝග කර ගැන්මේ දැනුමක් අපගේ පැරණීයන්ට පිහිටා තිබුණි. එයට හේතුව ගමේ සිටි පාරම්පරික වෛද්‍යවරයා ගමේ ප්‍රධානියෙකු ද වීමයි. ඔහු දෙන උපදෙස් මත කටයුතු කිරීම සැම තැනකදීම දක්නට හැකි තත්වයක් විය. දෙයියන්ගේ ලෙඩක් හැදුණු විටදී එනිවෙස කිළීහරණයට ලක් කරන ලදී. ගමෙන් වෙන් කරන ලදී. නමුත් එම රොගීන් අරභයා ප්‍රතිකාර කිරීම ගමේ වෙදනාවන් ගේ උපදෙස් මත කිරීම සිදු විය
      කැස්ස හෙම්බිරිස්සාව දරුණූ රෝගයක් බවට පත් කරන්නට වර්තමාන නවීන සමාජය උත්සාහ කොට ඇත. වර්තමාන වසංගත තත්වය හමුවේ කිළිහරණය පැත්තකින් තබා නිරෝධානයට යොමු වී ඇත. සමාජ දුරස්ථකරණයට යොමු ව ඇත.කිළිහරණයට ඖෂධ ප්‍රතිකාරයන්ද ඇතුලත්ය එහෙත් නිරෝධානයට එය නැත. එහි දැක්වෙන්නේ මහජනතාව පාලනය කිරීමට අවශ්‍ය නීති රීති පමණකි.මෙය මහත්ම වූ දුක්ඛිත තත්වයකි. වසර දෙදහස් පන්සීයක් තිස්සේ අප වඩා ගත් පුරුෂාර්ථ පසෙක ලා රෝගයකට බිය වී ජන ජීවිතය අඩාල කර ගැනීම ඉතාම දුක්ඛිත තත්වයකි. නිදහස් අධ්‍යාපනයේ වැරදි සහගත ප්‍රවේශයක් මගින් ඇති කළ මොළ සේදීම නිසා අද වන විට දේශීය ඖෂධ ගැන දැන හැදිනීමක් ජනතාවට නැත. යට කියන ලද ඖෂධ වලින් ගෙදර වවා ගන්නේ ඉඟුරු පඳුරක් කහ පඳුරක්  සහ කරපිංචා ගහක්  පමණකි එයද කුලු බඩු වලට අවශ්‍ය බැවිනි. නමුත් අප‌ගේ මුතුන් මිත්තන් විසින් යටකී ඔසු වර්ග රාශියක්ම ගෙවත්තේ වගා කොට ගෙන තිබුණි.අවශ්‍ය අවස්ථාවක දලු මිටක් කඩාගෙන ගුලියක් දියකර දී ලෙඩක් සනීප කරගන්නට මනා හැකියාවක් ඔවුනට තිබුණි.නමුත් අද වන විට සුලු හෙම්බිරිස්සා තත්වයකදී වුවත් දොස්තරවරයෙකු චැනල් කොට රෝගියා පෙන්වීමේ මෝස්තරතයක් ඇති වීම කණගාටුදායකය. මේ වසංගත තත්වයට නිවරදිව මුහුණ දෙන්නට නොහැකි වී ඇත්තේ මෙවැනි නොදැනුවත්කම් බිය ගුලු කම් සහ පරගැතිකම් නිසාවෙනි.



Thursday, April 9, 2020

සිංහල වෙදකමට එරෙහි අනුකාරකයන් ගේ නැගීම


                                   
                 කොරෝනා වසංගත තත්වය තුළ වර්තමාන දේශපාලනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද කරන්නට හැකිව තිබේ. රුවන්වැලි මහා සෑය ඉදිරිපස දිව්රුම් දුන් ජනපතිවරයෙකු මෑත කාලීන දේශපාලනයේ දක්නට ලැබීමේ ආශ්වාදයෙන් සිටි මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු කඩ වේ දෝ යන බියකින් පසුවෙති.සිංහල බෞද්ධ චන්ද බහුතරය යනු පරම්පරා ගණණාවක සිට ශක්තිමත් වුණු සිංහල ජාතිකත්වයේ අපේක්ෂාවන්ය. තමන්ගේ ජීවන රටාව නිදහසේ කර ගෙන යෑමට සහ තමන්ගේ ජාතික උරුමය ආරක්ෂා කර ගනිමින් ඒ තුළ අනාගතය උදෙසා ශක්තිමත්ව නැගී සිටීම මේ අපේක්ෂා අභිලාශයන් අතර විය. රට පුරා වසංගතයක තත්වය ඇතිවන කල්හි වැඩි කලබලයක් නොමැතිව මේ බහුතරය නිවාස අඩස්සියට පත් වූහ. ඔවුහු යලි පාර්ලිමේන්තුව කැඳවන්නට හෝ මැතිවරණයක් විගැහින් තබන්නට උද්ඝෝෂණ නොකළහ.රටේ ජනනායකයාට දී තිබූ   විශාල ජනමතය කෙරෙහි ඔවුහු විශ්වාසය තැබූහ. විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් රට මුදවා ගත් හමුදාව කෙරෙහිද විශ්වාසය තැබූහ.
       රාජ ධම්මෝ ප්‍රජා රක්ඛා යනුවෙන් පැරණි පොත පතේ සඳහන්ව තිබෙන්නේ රජෙකුගේ නැතිනම් පාලකකයෙකු ගේ යුතුකම් පහදවා ලීම පිණිසය. රාජ ධර්මයෙහි හැසිරීම ලෙහෙසි පහසු නැත. මනා පුහුණුවක් දැඩි තීරණ ගැනීමේ හැකියාවක් සහ කාරුණික හදවතක් නොහොත් බෝසත් චර්යාවක් පාලකයෙකුට පිහිටා තිබිය යුතුය. චන්දයෙන් පත්වන බෙහෝ පාලකයන් හට මෙවැනි ගතිගුණ එකක් හෝ පිහිටන්නේ නම් කලාතුරකිනි. හේතුව එම පුද්ගලයා ප්‍රජා පාලනය පිළිබඳ මනා අන්තර්ඥානයකින් පුහුණුවූවකු නොවන බැවිනි. නමුත් වාසනා ගුණය හෝ පැවති දේශපාලන බලය මත පත්වන ජනප්‍රිය දේශපාලකයා සැබවින්ම ජනතාවගෙන් දුරස්තරව කටයුතු කිරීම ස්වභාවිකය.
          ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් අතර ආහාර සහ බෙහෙත් මුල් තැනේ ලා සැලකිය හැකිය. ආහාර නිපදවා ගනිමින් යම් ආනයනික ආහාර ද පරිභෝජනය කරලීම මේ රටේ ජීවන චර්යාව විය. නමුත් විවෘත ආර්ථිකයෙන් පසු ආහාර සුරක්ෂිතතාවය ගැන සැලකිල්ලක් යොමු නොකරමින් ආනයනික ආහාර ගැන පමණක් ප්‍රවර්ධනය කර තැබීමට රජය කටයුතු කළහ. ජනතාවගේ බඩ ගින්න නිවීම සඳහා හොඳම විකල්පය රටින් ආහාර ගෙන්වීම යැයි මේ දේශපාලකයන් කල්පනා කරන්නට ඇත. නමුත් පසුගිය කාලයේ දී ඇති වූ සුනාමිය ගං වතුර වැනි ආපදා සම්පන්න අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවයේ වටිනාකම යලි යලි මතක් කර දුන් බව පැවසිය යුතුය. එහෙත් ආණ්ඩු කරනවුන් මේ තත්වය තේරුම් නොගත්හ.එසේත් නැතිනම් රටින් ගෙන්වන භාණ්ඩ වලින් ලැබෙන කොමිස් මුදලට ගිජුව සිටියහ.වර්තමාන වංසගත තත්වය හමුවේ නැවත එම යථාර්තය දැඩිව පෙන්වා දෙමින් පවතී.
         නිරෝගීව ජීවත් වීම උදෙසා බෙහෙත් හේත් සපයා ගැනීමට නිදහස තිබිය යුතුය. තමන් රුචිකරන විශ්වාස කරන වෙද හෙදකම් ලබා ගැනීම හැකි විය යුතුය. සිංහල බහුතරය අතීතයේ පටන් ස්වභාවික වෙදකම් තුළින් තමන් ට වැළඳෙන ලෙඩ රෝග සුව කරගත් පිරිසක් විය.එයට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ගම්බදව ජීවත්වි සිටියහ. ලන්දේසීන් සහ ඉංග්‍රීසිහු මෙම ජීවන රටාව වෙනස් කළහ. ඔවුහු ඒ කාලයේ පැතිරුණු වසංගත රෝගීන් ගාල් කරලීම පිණිස රෝහල් සහ කඳවුරු තනා මේ රටට ආගන්තුක බෙහෙත් වර්ග ලබා දුන්හ. මැලේරියාවට ක්වීනීන් ලබා දීම උදාහරණයකට ගත හැකිය. නමුත් බෙහෝ රෝග වලට දිව්‍ය ඖෂධයක් වන ත්‍රයිලෝක විජය පත්‍ර නොහොත් කංසා පැළැටිය වගා කරලීම තහනම් කළහ. සිංහල වෙද මහත්වරුන් ගේ ග්‍රමීය නායකත්වය අහෝසි කරලීම පිණීස ගම්වල ඇපොතිකරිවරු පිටත් කර හැරියහ.එසේම පොලිස් කාරයන් මෙන් හැඳ පැළඳ ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නොහොත් සැන්ටිපෝට් වරු  සනීපාරක්ෂක නීතිය ක්‍රියාත්මක කරලීමට යෙදවූහ.වසංගත වලින් හෙම්බත්ව අසරණව සිටි ගැමියන් අතරට ක්‍රිස්තියානි මිෂනාරීන්ද පැමිණීම සුලභ දර්ශනයක් විය.
     එහෙත් මදක් අතීතයට ගොස් බලන කල්හි සිංහලයන් ගේ සෞඛ්‍ය පිළිවෙත් වල වටිනාකම අවබෝධ කරගත හැකිය. වසංගත ඔවුන් හැඳින්වූයේ අම්මාවරුන් ගේ ලෙඩ සහ දෙයියන් ගේ ලෙඩ වශයෙනි. මේ ලෙඩ වලින් මග හැරීමට පත්තිනි මෑනියන්ට මෙන්ම අවලොකිතේශවර නාථ දෙවියන්ට භාරහාර වූහ. ගම්මඩු දෙවොල් මඩු නැටූහ. මළ ගෙදරකට ගොස් පැමිණි විට නා පිරිසිදු වී ඒමට පොදු ළිඳක් වෙත ගියහ.කිළිහරණය උදෙසා විවිධ තහංචි අනුගමනය කළහ. ගමේ වෙදනා සහ පන්සලේ ස්වාමීන් වහන්සේ එකට එකතු වී වදකහ ඉඟුරු සුදුලූණු කොහොඹ කොළ වන්ඩුවේ තම්බා කොටා මිරිකා පෙරුන්කායම් අනුපාන කොට දමා (ගැබිණියන්ට මී පැණි) ගමේ සියලු දෙනට කෝප්ප කාල බැගින් බොන්නට සැලැස්වූහ.අම්මාවරුන්ගේ ලෙඩ සෑදී ඇති නිවෙස් වල කොහොඹ අත්තක් එල්ලා තැබූහ.අදටත් ඒ සිරිත් වලින් සමහරක්  ජන සමාජය අතර ජීවමානව පවතී. පැරණි සිංහල ගෙදරක වැසිකිලිය පිහිටා තිබූයේ නිවසට මදක් ඈතිනි.නිවස තුළම එය පිහිටා තිබුණහොත් වාස්තු දෝෂ ඇති වන බවද විශ්වාස කළහ.මේවා නූතන සමාජයට විහිලුවට කාරණයක් විය. ඒ උපහාසය නූතනයන් තුළට පැමිණෙන්නේ සුද්දන් ගේ අධ්‍යාපනය හරහා බව සිහිපත් කළ යුතුය.
      කොරෝනාව(Sars-Cov-2RNA) ලෝකයට අලුත් දෙයක් නොවන බව විද්‍යාඥයන් දනී. ඔවුහු තමන්ගේ බල අවශ්‍යතාවයන් පිණිස මෙම වෛරස නඩත්තු කරති. වසූරිය වසංගත කාරකය පවා තවමත් විද්‍යාගාර වල සුරක්ෂිතව පවතින බව දක්වා ඇත. වරින් වර විවිධ එන්නත් හඳුන්වා දෙමින් ලෝක සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය පැතිරවීම කරන අතර ගෝලීය තත්වයකට හැඩ ගැසීමේ හේතුවෙන් බෙහෝ රටවල් මේ සම්මුතීන් හට හිස නමති. නමුත් 2008 බීජිං නුවර දී මුලු දුන් සෞඛ්‍ය සමුලුවකදී ගත් තීරණ අතර වැදගත් එකඟතාවයක් විය. එනම් ඒ ඒ රටවල පවතින දේශීය වෙදකම් සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදා ගැනීමේ පහසුකම් ඇති කිරීමට පියවර ගත යුතු ආකාරයයි. චීනුන් මේ සම්මුතිය අකුරටම පිළීපදින අතර එහි රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රම වලින් ප්‍රතිකාර ලබාගන්නන් හට පහසුකම් සලසා දීතිබේ.ඔවුන් වූහාන් වල කොරෝනා මර්දනයට මේ වෙදකම් මැනවින් දායක කරගත්හ.
    ලංකාවේ තත්වය මෙය නොවේ. හැට ගණන් වලින් පසුව මේ රටේ දක්ෂ වෙද පරම්පරාවන් අභාවයට ගියහ. 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය. ඒ අනුව අද ආයුර්වේද රෝහල් වල වෙදකම් කරන්නේ වෛද්‍ය වරු නොවේ. දොස්තරලාය. නාඩි පරීක්ෂාව වෙනුවට ඔවුහු ලෙඩ නලාව භාවිත කරති. ටයිපටි පළඳිති. බටහිර වෛද්‍යවරු මෙන් සිවිල් බලය ලබා ගැනීමට සහ ධනය ඉපැයීම මූලික අරමුණ කොට ගනිති. දහනව වන සියවසේ වසූරිය හා මැලේරියා (කැලෑ උණ ) එන විට නව බෙහෙත් සොයා ගත් සිංහල වෙදපරම්පරාවේ දක්ෂතාවයන් මොවුන්ට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන සියලුම දේ යහපත් යැයි පිළිගනිමින් තමන් සතුව තිබෙන අගනා මූල ධර්ම නොසලකා හරිති. අද කොරොනා සඳහා බෙහෙතක් නොමැතිව බටහිර වෙදකම් අසරණව සිටින අවස්ථාවක සාර්ථක ප්‍රතිකාර පන්තියක් ඉදිරිපත් කොට රෝගීන් සුවපත් කරලීමට මේ අනුකාරකයන් ඉදිරිපත් නොවෙති.ඒ වෙනුවට ටයිපටි පැළඳ ගත් බටහිර වෛද්‍ය නිළධාරී සංගමයේ අතැමුන් වාෂ්ප මුට්ටිය (වේදුව ) ගැන කතා කරති. නමුත් සිංහල ප්‍රතිකාර පන්තිය මත සිට පර්යේෂණ ඇරඹීමට  මැලිවෙති . සිංහල වෙදකම ගැන කතා නොකරන ඔවුහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මිනී වළලන ක්‍රමවේදය අනුමත කරති. මේ ලිපිය අවසන් කරලිමට ප්‍රථම මැදමුලනේ කතාවක් කිව යුතුව තිබේ. ඒ මෙසේය.
       පනස් ගණන්වල බණ්ඩාරනායක මහතා සමග විපක්ෂයට ගිය ඩී.ඒ.රාජපක්ෂ මහතා ‌ගේ පුතුන් සිවුදෙනෙක්ම ජනප්‍රිය ‌දේශපාලනඥයන් වූහ.‌ ‌දෙදෙනෙක්ම ජනාධිපති තනතුරුට පත් විය.‌මේ සහෝදරයන් සිවුදෙනා හැට ගණන් වලදී ‌කොළඹ විද්‍යාල වල ඉගෙනුම ලබන කළ සති අන්තවල ‌දී ඩී.ඒ.රාජපක්ෂ මහතා සමග මැදමුලනට පිටත්ව යන අතර මාතර ‌වෙද මහත්මයෙක් හමුවී යන බව පැවසේ. ‌මේ ‌වෙද මහත්මයා   කලු ‌වෙදමහත්මයා යන නමින් ප්‍රසිද්ධ විය.  රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග තිබෙන හිතවත් කම නිසා ඔහුගේ ළමුන් ‌හොඳට පරීක්ෂා කර ‌විරේක ‌බෙහෙත් කෂාය එහෙම නියම කරයි.සිංහල කමට සිංහල ආහාර වලින් ‌පෝෂිතව සිංහල ‌වෙදකමෙන් නිරෝගී වූ ළමුන් සිවු ‌දෙනෙකු එලෙස පසුකලකදී රටේ ‌දේශපාලනයෙහි මූලිකත්වය ගත්හ.
බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයට පැමිණි අවස්ථාවක ‌වෛද්‍යවරු ඉදිරපිට ‌මේ කතාව ප්‍රකාශ කරන ලද බව ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා දක්වා ඇත..කලු ‌වෙද මහත්මයගෙ තිත්ත ‌බේත් බිව්ව එක තිත්ත ‌වෙච්ච හැටියි ඔහු සඳහන් කලේ. අද ‌වෙන ‌කොට ‌මේ සහෝදරයන්ට සිංහල ‌වෙදකම තිත්ත ‌බේත් වගේ තිත්ත ‌වී ඇති බව පෙනේ.සිංහල කම ‌හොඳට ඇගේ තියෙන මහින්දට ‌මේ වටිනාකම් ඉඳහිට මතක් වුණත් ඒවා ස්ථාවර කරන්න ‌වෙහෙසෙන්නේ නැහැ.‌මේ ‌කොරෝනා කාලෙ වත් සිංහල ‌වෙදකම මතක් වුණොත් රටේ ‌රෝබිය දුරු කරගන්න පිළිවන් ‌වෙන බව නිසැකයි.නමුත් අනුරුද්ධ පාදෙණිය මහතා විශ්වාස කරන වාෂ්ප මුට්ටියට එහා ගොස් පැරණි වට්ටෝරු වලින් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් සොයා ගැනීම තුළින් පමණයි ඉදිරි වසංගත තත්වයන්ට පවා මුහුණ දීමට හැකිවන්නේ.දැනටමත් රට තොට පතල වෙද මහත්වරු කීප දෙනෙකුම එවැනි බෙහෙත් සාදා තිබේ. ඔවුන් කැඳවා සිංහල බෙහෙතට තැනක් ලබා දිය යුතුයි.


Saturday, April 4, 2020

සම්ප්‍රදාය ඔස්සේ අභියෝග ජය ගනිමු


                                             

              ශත වර්ෂයකට ඉහත වසූරිය වංසගතයෙන් පීඩා විඳි මෙරට ජනතාව නැවතත් වරක් ඒ තුන් බියෙන් වෙලී සිටී.රටම එක කලාපයක් ලෙසට ගෙන අඳුරු නීතිය දමා වරින් වර වසා දැමීම හේතු කොට ගෙන සියලු මානව ක්‍රියාකාරකම් අකර්මණ්‍ය ව ඇත. අතීතයේ දී නම් මෙවැනි වසංගත තත්වයකදී හෝ ආපදා පන්න අවස්ථාවන්හිදී ගම් දහයක එකමුතුවකින් සැදි සභාවකින් ( ගම් අඩවි යුත් අටදෙනා) පෙදෙස් පාලනයකරමින් අභියෝග ජයගත් බව ඉතිහාසයෙන් පෙනේ. තමන්ගේ රටේ ඉතිහාසය මත පදනම්ව තීරණ ගැනීමට හුරුව නැති පාලනයක් තුළින් මෙවැනි දේ අපට බලාපොරොත්තු විය නොහැකිය. එසේ කලා නම් මේ තරමට ජනතාව අසීරු තාවයකට පත් වන්නේ නැත. ලංකාව කුඩා රටක් වුවද තනි මධ්‍ය ගත මෙහෙයවීමකින් ආර්ථික ක්‍රියාකාරකම් හැසිරීම ලෙහෙසි පහසු නොවේ. කෙසේ වෙතත් නිවෙස් වලට කොටුව සිටින ජනතාව යළිත් තම අතීතයට එබිකම් කරමින් මහ පොළව සමග පොර බදන්නට පටන් ගෙන ඇත. මිරිස් පැළයක් බටු පැළයක් මයියොක්කා දණ්ඩක් වැල් අලයක් මහ පොළවට දැමිය යුතු කාලය මෙයයි ඉවකින් මෙන් කියා දී ඇත. ආණ්ඩුව ඒවාට පිවිසෙන්නට ප්‍රථම මේ ජානමය හැකියාව ඔවුහු උරගා බලන්නට පටන් ගත්හ.ජනතාවගේ ආහාර ඇඳුම් පැළදුම් බෙහෙත් සහ නිවෙස් යන මූලික අවශ්‍යතාවන් සඳහා ස්වයංපෝෂිත බව ලබා ගැනීම ට අවශ්‍ය සම්පත් රට තුළ පිහිටා තිබේ.පසුගිය දශක කීපය තුළදී විවෘත ආර්ථක සංකල්පයන් මත මේ ස්වයංපෝෂිත භාවය යටපත් කොට තැබූහ.මේ නිසා ජනතාව වේගයෙන් ඇදී ගියේ තොරොම්බල් විච්චූරණ මත යැපෙන ආර්ථිකයකටයි. අද එහි ප්‍රතිවිපාක ඇස් පනා පිට දකින්නට ඇත.තවත් මාසයක් රටම වසා තැබුවහොත් අනිවාර්යයෙන්ම විශාල දුර්භික්ෂයක් පැමිණෙනු නිසැකය. රාජ ධම්මො ප්‍රජා රක්ඛා යයි පෙර සිරිත කියා දෙයි. එහි ගැඹුර දන්නෝ අවංක බෝසත් පාලකයන්ය.
       වසංගත වලින් බේරීමට මූඛ වාඩම් දැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙති. එහෙත් රෙදි කැබැල්ලේ මුඛවාඩම පවා ගෙන එන්නට පිරටට යැපෙන්නට සිදුව ඇත. රෝහල් වල භාවිත කරන පුළුන් ටික ගෝස් ටික පවා වැඩි වශයෙන් පිටරටින් ගෙන්වති. ගමේ තිබූ පෙහෙකම් හල් වසා දමා ඇඟ ලුම්කම්හල් වලට දක්කන ලද ගැමි තරුණියන් අද අනාථව ගම් රටවල් වලට දිව යති. ඇමරිකාවෙන් ලැබෙන හිඟන කෝටාවෙන් නඩත්තු කළ මේ ඇඟලුම් කම්හල් දේශිය අවශ්‍යතාවන් සඳහා යොදා ගත්තේ නම් කෙතරම් ආඩම්බරයක්ද.පේෂකර්මය පිළිබඳ නිපුණතාවයන් අපේ මූන් මිත්තන් අතර තිබුණේ කුවේණි ගේ කාලයේ සිට බව ඇත්තකි. එහෙත් එදා සිට වර්තමානය දක්වා එම ශිල්පයන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන පැමිණි පිරසට අද ඇත්තේ ලොකු වටිනාකමක් නම් නොවේ. මෙවැනි එක පරම්පරාවක් තමයි. උඩුදුම්බර තලගුණේ කියන ගම්මානයේ ජීවත් වුණේ.රෙදි වියන්න පමණක් නොවෙයි  හැඩට වැඩට රටා දමන්නත් ඔවුන්ට දක්ෂතාවයක් තිබුණා. ඔවුන් ගේ මුල් පරම්පරාවන් ගමේ කපු වවල නූල් කැටීම කරලයි. නූල් හදා ගත්තෙ.
         විසිවන සියවස මුල් කාලය වන විට මේ පාරම්පරික ශිල්පීන් ගැන උනන්දුවක් ඇතිවී උඩරට කලා සංගමය බිහිවූ බව පැවසෙයි. මේ සංගමයත් සමග කටයුතු කළ ආනන්ද කුමාරස්වාමි මහතා තලගුණේ ගම්මානයට ගොස් තොරතුරු එකතු කොට ඔහුගේ මධ්‍යකාලීන සිංහල කලා නම් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.වර්තමානයේ එම පරම්පරාවේ සාමාජිකයන් ඒ අතීතය ගැන මෙසේ පවසා සිටිති.
     ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල් හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයක්ම තේරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්තමානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.

          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මෙහි සඳහන් කරනු වටී.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.
මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ
රටින් ගෙනා වද විරුදු යන්තරේ - මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ
ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ
අඳුරු නීතියට හිරවී සිටින සමයක අපේ ග්‍රාමීය ආර්ථකය ක්‍රමයෙන් ක්ෂය වී යන බව පැහැදිලියි. පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය පමණක් නොව රෙදි පිළි පවා ඉදිරියේ දි හිඟ වේවි. එ නිසා ගමේ තිබෙන පේෂ කර්ම ශාලාවලට නැවත පණ දී රෙදි පිළි වියාගතහොත් අපගේ මූලික අවශ්‍යථා වලින් එකක් පිරිමහගන්න පිළිවන් වේවිි.



Wednesday, April 1, 2020

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අර්බුදය ගැන රජය සැලකිලිමත්ද


                    
              ලංකාවේ ජීවත් වන බහුතර ජනතාවගේ ජීවනෝපායන මාර්ගය වන්නේ ගොවිතැනයි.ගොවි තැනට සාපේක්ෂකව එයට සේවා සපයනබොහෝ පිරිසක්ද එම ආර්ථිකයට ඇතුලත්ය.එසේම අනෙකුත් සියලුම දෙන  ජීවත් වීම පිණිස විවිධ ‌ජීවනෝපායන මාර්ගයන් අනුගමනය කරති..රැකියාවන්හි නිරත අය ව්‍යපාරයන්හි නිරත අය මාසයක නිමාවේදී වැටුපක් අතට ගන්නා අතර ව්‍යාපාරිකයන් තමන් ‌ගේ බැංකු ගිණුම් තර කර ගනිති. නමුත් බහුතර පිරිසක් ගමේ තිබෙන ‌දේ වැඩි වර්ධනය කර ගනිමින් ඒවාට ‌සේවා සපයමින් යැපේ.මේ තත්වය සම්බන්ධ නිවරදි වාර්තා ජන සංගණනයන් තුළ යම් තරමකින් හමු වුවද ඒවා සම්පූර්ණ නැති බව තේරුම් යන්නේ රට ආපදා අවස්ථාවකට පත් වූ විටය.වර්තමාන වසංගත තත්වයන් හමුවේ එවැනි නිවැරදි සංඛ්‍යාලේඛන මත රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම අඛණ්ඩ ඇඳිරි නීතියක් ක්‍රියාතමක කරන කල්හි. සේවා ආරථිකය බිඳ වැටෙන බැවින් ජන ජීවිතය අඩාල නොවන පරිදි පවත්වාගෙන යෑමට නිවරදි සංඛ්‍යාලේඛන මත රජය සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය.
පහත දැක්වෙන්නේ ලංකාවේ ජනතාව ග්‍රාමීය වශයෙන් සිදු කරන ආරථික ක්‍රියාවන් කීපයකි. මේවා ඒකිනෙකට බැඳී පවතින අතර එකක් බිද වැටෙන කලිහ් අනෙකටද පැවතිය නොහැකිය.
1/
පුවක් ඒකතු කිරීම -පුවක් ‌තොග අපනයනය
2/
කුඹුරු ‌ගොවිතැන් කිරීම - වී ‌කෙටීම -සහල් පිටි කර්මාන්තය
3/
එළවලු ‌ගොවිතැන - එළවලු ‌තොග රැස් කිරීම ප්‍රවාහනය
4/
‌පොල් වගාව - ‌පොල් ‌තොග රැස් කිරීම -‌කොප්පරා කර්මාන්තය - ‌තෙල් සිඳීම
5/
කුලුබඩු ‌බෝග වගා කිරීම -කුලු බඩු එකතු කිරීම - අපනයනය
6/
පළතුරු වගාව - පළතුරු ‌තොග රැස් කිරීම
7/
මල් වගාව -මල් ‌තොග වශයෙන් සැපයීම
8/
කටුසර ‌භෝග වගාව - ධන්‍ය වලින් පිටි සකස් කරවිකිණීම
9/
මැටි වළන් නිෂ්පාදනය
10/
කම්මල් වැඩ - ‌වෙල්ඩින් වැඩ
11/
‌පොල් කැඩීම - ගස් කැපීම -‌පොල් ලී පැලීම
12/
දැව භාණ්ඩ නිෂ්පාදනය
13/
විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය
14/
‌දේශීය ඖෂධ එකතු කිරීම -සිංහල ‌බෙහෙත් සල් පවත්වාගෙන යෑම
15/
‌පෙදරේරු වැඩ
16/ පොල් ලෙලි වලින් කොහු සකස් කිරීම -කොහු ඉදල් නිෂ්පාදනය-අපනයනය
17/ ජ්‍යෙතිෂ සේවා සැපයීම
18/ පේෂකර්මාන්තය
19/ කුඩා තේවතු වගාව - තේ දලු නෙලීම
20/ රබර් වගාව -කිරි කැපීම - කිරි සහ රබර් ෂීට් එකතු කිරීම

මෙහි සඳහන් වන්නේආර්ථික ක්‍රියාකාරකම් කීපයක් පමණකි. මෙම ක්‍රියාකාරකම් තුළින් ආහාර සුරක්ෂිතතාවය ඇතිවන අතර හදිසි ව්‍යසනයකදී වුව ගමේ ජනතාව කිසිවෙකුටත් අත පෑමක් නොමැතිව සිය දිවි ගමනේ  යෙදෙති.නමුත් නාගරික ජනතාව එසේ නොවේ. ඔවහු වෙළෙඳ කටයුතු වල යෙදී සිටින අතර විවිධ ආයතනයන්හි රැකියාවලද යෙදී සිටිති. මාසික වැටුපක් ලබන පිරිසමධ්‍යම පන්තියට අයත්ය. දෛනික වැටුපක් ලබන පිරිස ඉතා විශාලය.නාගරය තුල ආහාර සුරක්ෂිතතාවය පවතින්නේ සිල්ලර වෙළෙඳ සල් සහ සුපරි වෙළෙඳ සල් ජාලයෙහි ශක්තියෙනි.මේවා යම් හෙයකින් බිඳ වැටුනහොත් දෛනික වැටුප් ලබන්නන් විහාල පිරිසක් අනාත වේ.ගමට මෙම තත්වය දරා ගැනීමට හැකි කාල සීමාව ඉහළය. නමුත් පෙර සඳහන් කළ ගමේ සේවා ආර්ථිකය බිඳ වැටුණ හොත් ආහාර සුරක්ෂිතතාවය තිබුනද ඒවා සපයා ගැනීමට තිබෙන අවස්ථාවන් නැතිවේ. නාගරික ජනතාව සිය මූලික ආර්ථික ක්‍රියාකාරකම් වලට  අමතරව නවීන තාකෂණයෙන් යුතු සේවා ආර්ථිකයකින්ද යැපේ. .නගරයක තිබෙන සංනිවේදන ආයතනයේ සිට විවිධ තාක්ෂණික සේවා සපයන්නන් මේ වන විට ජනතාවගේ අවශ්‍යතාවයන් මත ශක්තිමත්ව පවතී. ‌‌මෙම ආර්ථිකය මගින් ජනතාව ජීවත් කරවීමට කරන ‌සේවයද සුලුපටු ‌නොවේ.‌
       ග්‍රාමීයආර්ථිකය මගින් ලංකාවේ රුපියලේ අගය වැඩි කරලීමට උපකාරි විය යුතු නමුත් මහ බැංකු වාර්තා අනුව එය සිදු වන්නේ අල්ප වශයෙනි.එහෙත් ඒ මගින් ජනතාව ජීවත් කරවයි. කන්කෙඳිරියක් නොමැතිව රට පාලනය කර ගැනීමට පාලකයන් හට  හැකිවන්නේ සාම්ප්‍රදායික ආර්ථිකයේ බලයෙනි. ‌මෙම ආර්ථිකය බිඳ වැටීමක් සිදු වන කල්හි සමස්ත ආර්ථිකයම ශූන්‍ය කරලීමට බලපෑම් ඇති කරයි. වර්තමානයේ ඇතිව තිබෙන වසංගත තත්වය හමුව ආණ්ඩුව ඇඳිරි නීතිය දීර්ඝ වශයෙන් තබා ගැනීමෙන් ඉහතකී ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරකම් සියල්ල බිඳ වැටී ඇත. එම නිසා නිවෙස් වලට ආහාර සැපයීමේ සිට විවිධ සේවා සපයන්නට පාලකයන්ට සිදු තිබේ.මෙය මහත් අසීරු කාරණයකි. ජනතාව තූළ පවතින අවශ්‍යතාවයන් එකිනෙකට වෙනස් බැවින් ඒවා අඩුපාඩුවක් නොමැතිව සැපයීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.  උදාහරණයක් වශයෙන් වට්ස්ඇප් සහ වයිබර්  මගින් ඉංග්‍රීසි බෙහෙත් වර්ග ගෙන්වා ගැනීම යෝජනා කිරීමයි. එම නවීන තාක්ෂණය ‌කෙරෙහි විශ්වාසය තබා සිටින අය කල්පනා කළ යුතු ‌දෙයක් නම් අන්තර්ජාලය හරහා ‌ද ‌‌වෛරස ගමන් කල හැකි බවයි.එසේම මෙම බෙහෙත් වර්ග වරින් වර දොස්තර වරුන් විසින් වෙනස් කරන අවස්ථා තිබේ. දොස්තරවරයෙකු මුණ ගැසීමට අවස්ථාවක් නැති සමයක එම බෙහෙත. දිගටම ගැනීම තුලින් ඇති වන බියකරු තත්වයට. අප මුහුණ දෙන්නේ කෙසේද.
    එම නිසා සමාජ සම්බන්ධතා විශාල වශයෙන් දුරස්තර ‌නොකර අදාල වසංගත ‌රෝග වලට නිවරදි ඔසු ‌සොයා ගත යුතුය.ජපානය විසින් එයට ඔසුවක් සොයා ගෙන ඇතැයි කියන අතර එය කඩිනමින් ගෙන්වා ගැනීමට රජය කල්පනා කරයි. නමුත් මේ රටේ තිබෙන පාරම්පරික ඔසු වට්ටෝරු පදනම් කොට නව බෙහෙත් සොයා ගැනීමටද හැකිය. ඒයටද  අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයක්ද තිබේ.විශේෂයෙන්ම ‌දේශීය ‌වෛද්‍ය වරුන් ද සාභාගි කරවා ගැනීමෙන් දැනට සිටින ‌රෝගීන් සුවපත් කරගත යුතුය.බොරැල්ල ආයුර්වේදය මෙන්ම නාවින්න ආයුර්වේදය  සතුව එවැනි පහසුකම් රාශියක් තිබෙන අතර ඒවායින් වැඩ ගැනීම සෞඛ්‍ය ඇමතිතුමියගේ වගකීමකි. ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් බිද වැටීමට සැලැස්වීම රටට ඉතා අහිකකර ප්‍රතිඵල ළඟා කරදෙන්නකි. එම නිසා රොගීන් ඉතා ඉක්මනින් සුවපත් කර ගැනීමට බටහිරි වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍යවරුන් ගෙන් සමන්විත ඒකාබද්ධ යන්ත්‍රණයක් සකස් කරන අතරතුර ග්‍රාමීය අංශයේ යටිතල පහසුකම් ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කළ යුතුය.එසේ ‌නොමැති වුවහොත් රට පුරා දුර්භික්ෂයක් ඇති වීම වැලැක්විය ‌නොහැකිය.


Sunday, March 29, 2020

බෝවන ‌රෝග ගැන අතීත අත්දැකීම්


                                  
                පෘතුගීසීන් ලංකාවට පැමිණ සිංහල රාජධානිය තමන් සන්තක කර ගැනීමට යුද්ධ කරන කල්හි.ඒවාට ‌නොබියවම මුහුණ ‌දීමට අපේ මුතුන් මිත්තන්ට හැකිවුණා.මේ කාලෙ තමයි 1580 දී පමණ ලංකාවට වසූරිය බෝ වුණේ. මන්නාරම් කොටුවේ පරංගීන් ගේ රැකවරණය යටතේ සිටි කරලියද්දේ බණ්ඩාර සහ බිසව මේ වසූරිය රෝගය නිසා මිය ගිය බව ඉතිහාසයේ සඳහන්ය. ලංකාවෙ මුහුදු කරය විදේශිකයන් ‌ගේ ආධිපත්‍යට නතුවන්නට ඉඩ හැර සිංහල රජුන්ට උඩරට දුර්ග වල සිය රාජධානි පිහිටුවාගන්නට සිදු වූයේ රජ පවුල තුල ඇති වූ බල අරගල නිසාවෙනි.පසුව 1766 දී මුහුදේ සිට ගව්වක ප්‍රමාණයක් ලන්දේසි කොම්පඤ්ඤයට පවරා දීමට ගිවිසුම් ගැසීම නිසා ස්ථීරවම මුහුදුකරය අහිමි වුණා..‌මේ කාලෙදි රට ආර්ථික වශයෙන් ‌බොහොම දුර්වල වන්නට ආරම්භ වුණා.ලුණු ලේයාවල් වල තිබෙන ලුණු පවා උඩරටට ලැබුණේ නැහැ.තොතරම් දුෂ්කර තත්වයක් යටතේ වුවත් සිංහල රාජ්‍යය රැක ගත්තද විදේශිකයන් ගේ පැමිණීම වලක්වන්නට හැකිවූයේ නැත.  මේ කාලයේ මුහුදුකරයේ පළාත් වල ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරන ලද්දේ ලින්දේසීන් විසිනි. දකුණු ඉන්දියාවෙ මේ වෙන කොට වසූරිය රෝගය දරුණුවටයි තිබුණේ. මේ ලෙඩත් අරන් රෝගීන් ලංකාවට පැමිණියා.
‌     1697 දී පමණ දෙවන විමලධර්මසූරිය රජුට සිය මාළිගාව හැර යන්නට පවා සිදු වුණා.මේ යුගයේ මන්නාරමට ගෙනත් පදිංචි කරන ලද කේරළ වැසියන් නිසා නැවතත් වසූරිය උඩරට රාජධානියට පැතිරුණු බව විශ්වාස කළ හැකිය.වසූරිය පිටිපස්සෙන් පැමිණි ජුසේ වාස් නම් කොන්ගානි ජාතික ක්‍රිස්තියානි පූජකයෙකු උඩරට වැසියන් ක්‍රිස්තියානියට හරවා ගන්නට මේ රෝගය සුව කරන දේව මෙහෙයන් පවත්වනු ලැබූ බව දැක්වේ. ඔහුද ඒම රෝගයෙන් පීඩා විඳි නමුත් මිෂනාරි ව්‍යාපරය දිගින් දිගටම පවත්වාගෙන යමින් රෝගීන්ට උවටැන් කොට තිබෙ.මේ නිසා රජු ඔහුට විශේෂ වරප්‍රසාද ලබා දී තිබේ.
           වර්ෂ 1796 න් පසු ලන්දේසීන් සතු පළාත් ඉංග්‍රීසීන්  භාරගත් පසු විහාල වශයෙන් දකුණු ඉන්දියාවෙන් ජනයා ගෙනත් පදිංචි කරතිබේ.මේ ජනයා සමග වසූරිය සහ කොළරා වසංගත පැමිණි බවට වාර්තා රාශියක් ඇත.ඉන්පසු 1815 න් පසු උඩරට රාජධානියද ඉංග්‍රීසීන් ට භාරවුණි. අනතුරුව ඇති කළ ප්‍රතිසංස්කරණ නිසා රටේ සමාජය දුර්වල වී තිබේ. ‌සේවා සැපයීම අඩාල වුණි.‌මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසූරිය ‌මෙන්ම මැලේරියාවත් වේගයෙන් ගම්වල පැතිරුණු බව දක්වා තිබෙනවා.මෙවැනි වසංගත දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වා එම රෝගීන් සමාජයෙන් දුරස්තර කරලීමට ජනය පෙළඹුණා. කැලේ පැලක් සාදා රෝගියා ඒහි ගොස් තැබූ බවයි සඳහන් වන්නේ.
    1805 දී වසූරිය වසංගතය නැවතත් උග්‍ර වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහයන්ටත් මේ රෝගය වැළඳී තිබෙන බව සඳහන්ය. නමුත් රජුගේ වෙදනාවන් එයට ප්‍රතිකාර කොට ඔහු සුවපත් කර ඇත.ඒ කාලෙ ගම්වල සිංහල ‌වෙදකම ‌බොහොම සාර්ථකව ක්‍රියාත්මවුණා. ‌බෝ වන ‌රෝග ‌නොහොත් ‌දෙයියන්ගෙ ‌ලෙඩ පාලනය කරගන්න ‌වෙද මහත්වරු තමන් දන්න දැනුමින් අලුත් ඖෂධ ‌හොයා ගත්තා.ඉන් එක ඖෂධයක් තමයි දිව්‍ය රාජ ගුලිය. ‌මේ ගුලිය තමන්ගේ හිණ බැඳ යෑමෙන් ‌ලෙඩ ‌රෝග ‌බෝවන්නේ නෑ.‌ගෙයි උඩලිපතේ තැබීමෙන් නිවසට ‌‌රෝගය පැමිණීම වලක්වනවා. ගමේ හතර ‌කොණ ‌මේ ගුලිය වළ ලෑමෙන් ගමට පැමිණීම වළක්වනවා.මාතර පැත්තේ දෙවිනුවර රාජගුරු මුදියන්සේ රාළහාමි නම් වෛද්‍යවරයෙකු  ද්‍රව්‍ය ගුණ විඥාණය පිළිබඳ සිය දැනුම භාවිත කොට පීත කරෝසන ගුලිය නමින් ඖෂධයක් සාදා වසූරිය ලෙඩුන්ට ලබා දී තිබේ.මෙම ඖෂධයන්හි බෙහෙවින්ම රස බෙහෙත් අඩංගු බවයි පෙනෙන්නේ.රසදිය සාදිලිංගම් පාසානම් වගේ සැර බෙහෙත් සමග දේශීය ශාක ඔසු යොදා ගනිමින් කල පර්යේෂණ බොහොමයි.මේ ගුලි මීපැණියෙන් මෙන්ම විෂ්ණු ක්‍රාන්ති යුෂයෙන්ද අඹරනු ලැබුවා.මෙහි තිබෙන වැදගත් ම අංගය නම් ඔවුන් ගේ රෝග විනිශ්චයයි.
       දොස් දෙකින් ත්‍රිදෝෂයෙන් හා ආගන්තුක වශයෙන් වසූරිය නවයක් වූ බව දක්වා ඇත.උණ ගැනීමය. ලේ වැසීමය.ඇඟ වියළීමය.සන්ධි ඇරීමය ඇඟ ලොමු ඩැහැ ගැන්මය ඇසේ ඉසේ ලෙඩ ප්‍රතිශ්‍යා යන්න මෙහි පූර්වරූපයන් බව දක්වා තිබේ.වාතයෙන් වූ කල්හි  ඇඟ රුජා ද පිතින් වුව දාහ ඇති වී වහා පැසීමද කඵයෙන් නොහොත් සෙමෙන් වුව ඉක්මනින් පැසෙයි. කඩුචි සහිත වෙයි. මෙම අවස්ථාවන් සාද්‍ය වෙයි. සුව කල හැකිය. ත්‍රි දෝෂයෙන් වූ කල්හි බලවත් වේදනා ඇතිවෙයි. අසාධ්‍ය වෙන බවද දක්වා තිබේ.ආගන්තුක වූ කල්හි ත්‍රිදෝෂයෙන් වූ ලක්ෂණම ඇති වෙයි.සියලු වසූරිකාවට සෙම් පිත් විරේක කරවීමද ලේනහර විද ලේ හැරීමද වමන කරවීමද සිදු කළ යුතු යැයි දක්වා තිබේ.ඉන්පසු විවිධ කෂාය මගින් යටකී වසූරිකා ගුලි ලබා දීම කරති.එයින් කෂාය දෙකක් මෙසේය.
වැල්මී කොහොඹ පොතු කකාරා පෙවීම
ත්‍රස්තවාලු සුණු මී පැණියෙන් දී විරේක කිරීම
ඉ ගුරු තිප්පිලි කොහොඹ දුම්මැල්ල කොට්ටන් කොත්තමල්ලි නෙල්ලි කසාය කර මී පැණියෙන් දීමෙන් වසූරි අටක් ගූන දෙන බවද මෙම වට්ටෝරු වල දක්වා තිබේ.

‌          දහනව වන සියවසේ මුල් භාගයේ සිට ඇරඹි මෙවැනි උත්සාහයන් ඉංග්‍රීසි ආණ්ඩුව වුවමනාවෙන්ම වළක්වන ලද බවද සැළකිය යුතුය.ඒ යම් යම් තහංචි ඇති කිරීමෙන්. කංසා තහනම ඉන් එක් අවස්තාවක්..වර්ෂ 1798  එඩ්වඩ් ජෙනර් ගව වසූරිය ( සැර බාල කරන ලද චීන ගව වසූරිය වෛරසයක්) ලබා දීමෙන් රෝගියාට ප්‍රතිශක්තිකරණය ඇතිවීමේ අවස්තාවක් ලබා දෙන ලදී. 1886 දී ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රතිශක්තිකරණ පනත මගින් සෑම දෙනෙකුටම ඒන්නත් ලබා දීමට නියෝග කර ඇත. ඉන් පසු 1949 දී ක්ෂය රෝග එන්නතද  1961 දී ගල පටල එන්නතද  1962 දී මුඛ පෝලියෝ එන්නතද 1963 දී නවජ දරුවන්ට බී.සී.ජී. ඒන්නත ආදී වශයෙන් ඒන්නත් රාශියක්ම හඳුන්වා දී ඇත. සරම්ප සහ රුබෙල්ලා වැනි රෝග සඳහා ද එන්නත් ලබා දීමෙන් මනුෂ්‍යා සදා සුරක්ෂිතයයි යන හැඟිමක් මේ මගින් ලෝකය පුරාවටම  ඇති කර තිබේ. ඇමරිකාවේ කරන ලද නොයෙකුත් අත්හදා බැලීම් නිසා ජානමය එන්නත් පවා අද නිෂ්පාදනය වෙයි. එම නිසා ඇමරිකාවේ චීනයේ සහ රුසියාවේ විද්‍යාගාර පැරණි වෛරස ක්ෂුද්‍ර ජීවින් ගබඩා කොට නෙයෙකුත් අත්හදා බැලීම් සිදු වෙයි. කෙරෝනා යනුවෙන් අද පිටවී ඇතිතේ එම විද්‍යාගාර වලින් නිකුත් වූවක්ය යන්න දැන් කතාබහට ලක් වී ඇත. කෙසේ වුවත් ඒ මගින් ලෝකයම අද අනතුරට පත් කොට තිබෙන්නේ එන්නත් මගින් ඇති කරන ලද ප්‍රතිශක්තිකරණය මිත්‍යාවක් ලෙස බැහැර කරලමිනි.
          ‌ජෙනර් ‌ගේ එන්නත ලංකාවේ මිනිසුන්ට විදින්නට පටන් ගෙන ඇත්තේ රජයේ නියෝග මගිනි. ඉන් පසු පාසලකට ඇතුල් වන විට එම එන්නත අනිවාර්ය කරන ලදී. අපේ සිරුරේ තිබෙන ස්වභාවික ප්‍රතිශක්තිකරණය කුමක්දැයි වැටහීමක් බටහිර සෞඛ්‍ය අංහ වලට නොමැති බව පසක් වී තිබේ.ත විවිධ රස කාරක කෘතිම ආහාර නිසා සීඝ්‍රයෙන් මේ ප්‍රතිශක්තිකරණය අහිමි වී යමින් පවතින බව නිසැකය.
නමුත් අදටත් එදා මෙන්ම අපේ සිංහල ‌වෙද මහත්වරු ‌මේ වන විටත් පාරම්පරික වට්ටෝරු වලින් නව ‌බෙහෙත් ‌මෙන්ම පැරණී ‌බෙහතේ අත්හදා බලමින් සිටින බව දැක්වේ. ඉන්  එක ප්‍රතිකාරයක් තමයි ඔසු වැරටිය යෙදීම.මින් ශ්වශන අපහසුතා මගහැරේ.නියුමෝනියා තත්වයන් පාලනය වේ. ජනාධිපති තුමාගේ කාර්ය සාධක බලකාය ‌මේ වෑයම් ඉදිරියට ‌ගෙන යෑම වලක්වන බව පෙනේ. ‌වෛද්‍ය නිළධාරි සංගමය ජාතික වාදීන් අතර ‌හොඳ මුහුණක් ‌පෙන්වමින් පරිපාලනයේ දී සිංහල කමට විරුද්ධව වැඩ කරමින් තිබේ..අපේ පාලකයන් අතීත අත්දැකීම් ගැන කියවා නැත.. කියවන්ට වුවමනාවක් ද නැත.  එම නිසා  හැමදාම කුමන්ත්‍රණ කරුවන්ගේ උගුල් වලට අහුවන බවඇත්තක්..ඉඟුරු කොත්තමල්ලි වලින් විෂ්ණු ක්‍රාන්තිය පත්පාඩගම් වලින් රටේම ජනතාව තුළ ප්‍රතිහක්තිකරණය ඇති කරන්නට හැකියි. ඒ සමගම කළ යුත්තේ හඳුනා ගත් රෝගීන් ඉතා ඉක්මනින් සුවපත් කරලීමයි. එයට දේශීය මෙන්ම බටහිර ප්‍රතිකාරද එකවර යෙදීමෙන් සාර්තක ප්‍රතිපල අත් කර ගත හැකිය. ජනතාව බලවත් සේ බියට පත් නොකර  මේ පියවරයන් වෙත යා යුතු වනවා නිසැකයි.


Friday, March 6, 2020

මිනිරන් සමග අනාගතයක් තිබෙන රටක් නොරටුන් ට කඹුරන් නේ ඇයි



       දහනව වන සියවසේ ලෝකයේ පැවති වෙළෙඳ ඉල්ලුමේ තරඟකාරී අමුද්‍රව්‍යක් බවට පත් වූයේ මිනිරන්ය.සිංහල රජ කාලයේ මෙන්ම ලන්දේසි සමයේ බොහෝ සුලු වශයෙන්  මිනිරන් ගොඩ ගැනීම සිදු කළද පසුව 1830 පමණ සිට ඉංග්‍රීසීන් විසින් මිනිරන් කර්මාන්තය  දියුණු පමුණු කරන ලදින් ඒ මගින් මහා ධනස්කන්ධයක් උපයීමට හැකි වුණි.දහනව වන සියවසේ අග භාගය වන විට මේ මිනිරන් ගොඩ ගැනීමට දේශීය ව්‍යාපාරිකයන් රාශියක්ද එක් ව සිටියහ. ඉංග්‍රීසීන් ගේ අරක්කු රේන්දය මගින් පොහොසත් වූ අතැමුන් මේ මිනිරන් වෙළෙඳාමට මෙන්ම පතල් කැපීමටද එක් වූහ. ආටිගල සහ සේනානායක පරපුර මේ අතරින් ප්‍රධාන වෙයි.ඔවුන් ගේ මිනිරන් පතල් දෙඩන්ගස්ලන්ද ආසන්නයේ විය.ඊට අමතරව කලුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පෙදෙසේ රුක්මල් ගහහේන නමින් පතලක් ද විය.මේ පතල් කර්මාන්තය නිසා පසුකලක දේශපාලන පොරපිටියේ නායකයන් බවට පත් වන්නට මේ ධනවතුන්ට හැකි විය. සේනානායක පරපුරේ මිනිරන් බූදලයෙන් හරි අඩක් පරිහරණය කර ගැනීමට කොතලාවල පරපුරටද හැකි වූයේ එෆ්. ආර්. සේනානායක මහතා නිසාවෙනි. කෙසේ වෙතත් අනගාරික ධර්මපාල ශ්‍රී මතාණන් මේකාලයේ ඇති කළ බෞද්ධ ප්‍රබෝධය හේතු කොට ගෙන මේ ධනවතුන් රට නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයකටද අවතීර්ණ විය. 1914 දී පමණ ඇවිල ගිය මුස්ලිම් කෝලාහල නිසා මේ ජාතික ව්‍යාපාරයේ නායකයන්ට නරක කලදශාවක් උදාවිය. 1915 දී යුද්ධ නීතිය පැණවීමෙන් මේ නායකයන් බහුතරයක් අත් අඩංගුවට පත් කරන ලදහ. අතැමෙක් මරා දමන ලදහ. කොළඹ නගාරාරක්ෂක සේවයේ නිරතව සිටි හෙන්රි ප්‍රේද්‍රිස් නම් තරුණයෙකුද ඒ අතර විය. ඔහුට එල්ල කළ චෝදනාව නම් කලබල සංසිදවීම වෙනුවට කැරලිකරුවන්ට උදව් උපකාර කිරිමයි.මේ හෙන්රි ප්‍රේද්‍රිස් ප්‍රසිද්ධ මිනිරන් ව්‍යාපාරිකයෙකු වූ ඩීසන් ප්‍රේද්‍රිස් ගේ පුත්‍රයා විය.
    වර්ෂ 1888 දී කළුතර දිස්ත්‍රික්කයේ පැලවත්ත ආසන්නයේ අන්නාසිගලහේන නම් ඉඩමේ ආරම්භ කරන ලද පතල ඔහු විසින් මුල පුරන ලද්දකි. පොළවේ සිට අඩි පන්සීයක් පමණ යටට කැණ මිනිරන් ඉල්ලම පාදා ගෙන සේවකයන් තිහක් පමණ යොදවා ගෙන වැඩ කළ මේ ප්‍රේද්‍රිස් ව්‍යාපාරිකයා නිසා පැලවත්ත පෙදෙස එකල මහා නගරයක සිරි ඉසිලීය. මිනිරන් වෙළෙදාමෙන් පමණක් නොව ඒවාට යනෙන වෙළෙදුන් හට සේවකයන් හට ආහාර ද්‍රව්‍ය නිවෙස් වලට අවශ්‍ය උපකරණ වෙළෙදාමෙන් ගම්මුන්ද පොහොසත් විය.ඩීසන් ප්‍රේද්‍රිස් ගේ අන්නාසිගල පතලට යාබද පතල වූ පෙර සඳහන් කළ ඩී.එස්. සේනානායකට අයත් රුක්මල්ගහහේන පතලයයි. එයද කැණීමට ලක් කෙරු‌ණේ සේනානායක මහතා දේශපාලන වැඩ සටහනකට සාභාගිවීමට මීගහතැන්නට පැමිණීම නිසාවෙනි.
         ශාක කොටස් ඝනීභවනය නිසා වර්ෂ මිලියන ගණනාවක් තිස්සේ සැකසුන මිනිරන් එදා කර්මාන්ත ගණනාවකටම අමුද්‍රව්‍ය වශයෙන් භාවිතා විය. දහනව වන සියවසේ අග භාගය වන විට මිනිරන් ටොන් එකක් පවුම් අටකට ලෝක වෙළෙඳ පලේ අලෙවි විය. මේ නිසා ඉක්මනින් ධනවත් වීමට හැකි පතල් කර්මාන්තයට ආයෝජනය කරලීමට දේශීය ව්‍යාපාරිකයන් රාශියක් උනන්දු විය.පෙර සඳහන් කළ අන්නාසිගල හේන පතලේ මිනිරන් තුළ සියයට අනූනවයි දශම පහක ප්‍රමාණයකට කාබන් අඩංගු වීම නිසා එය ලෝ පතල විය.වර්ෂ 1900 න් පසු වැඩිම මිනිරන් අලෙවියක් ලෝක වෙළෙඳ පලේ සටහන් වෙයි.ඒ 1909 වසර වන විටය.ඒය  මෙට්රික් ටොන් 273538 ක් විය.මේ කාලයේ දිවයින පුරා මිනිරන් පතල් 770 ක් ක්‍රියාත්මක වී තිබුණී. කලුතර දිස්ත්‍රික්කයේ තිබූ මිනිරන් පතල් අතර පෙරකී පතල් දෙකත් බෝතලමානාන අලු කැටිය සහ බොරලුකැටිය යන පතල් ඒදා ප්‍රසිද්ධීයට  පත්ව තිබුණී.ඩීසන් ප්‍රේද්‍රිස් ගේ පතල  වසර තිස්එකක් තිස්සේ හාරා ඇත. පසුව දෙවන ලෝක යුද්ධ සමයේ මිනිරන් මිල පහත වැටීමත් සමග ඩීසන් ප්‍රෙද්‍රස් විසින් එම පතල දියෙස් ගුණසිංහ නම්  මහ‌‌තෙකුට විකුණා දමා තිබේ. එහෙත් ඔහුට එම පතල කර ගැනීමට නොහැකි විය. පසුව මීගහතැන්න පෙදෙසේම සමනල වත්ත නම් ඉඩමේ පතලයක් ඔහුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුවද ලෝක යුධ තත්වය යටතේ එයද අභාවයට පත් විය. ලංකාවට නිදහස ලැබීමෙන් පසුව ලෝකයේ මිනිරන් මිල ක්‍රමයෙන් යලි වැඩි වුවද ඉංග්‍රීසි පාලන සමයේ මෙන් එම පතල් කර්මාන්තය දියුණු නොවීය. එසේම නවසිය හැත්තෑවේ පත් වූ රජය පෞද්ගලික අංශයේ සම්පත් ක්‍රමයෙන් රජයට ගැනීමේ ප්‍රතිපත්තිය මත කහට ගහ බෝගල වැනි පතල් රජයේ ව්‍යවසායක් බවට පත් කරන ලදී . 1972 දී පමණ රාජ්‍ය මිනිරන් සංස්ථාව පිහිටුවන ලද්දේ මිනිරන් කර්මාන්තය  නගා සිටුවීමටයි. එම තත්වය මත  1979 වන විට අපනයනය කරන ලද මිනිරන් ටොන් ප්‍රමාණය 83303 දක්වා  වැඩි කර ගැනීමට රජයට හැකි විය.
            මිනිරන් සංස්ථාවේ වැඩ කටයුතු ක්‍රමයෙන් සංවර්ධනය වූ නමුත් 1977 පත් වූ රජයේ විවෘත වෙළෙඳ පළ ප්‍රතිපත්තිය මත රජයේ බොහෝ සම්පත් විකුණා දමමින් පෞද්ගලික අංශය සතු කරන ලදී. මිනිරන් පතල් ද පෞද්ගලීකරණය කරන ලදහ. කහටගහ සහ බෝගල ග්‍රැෆයිට් නම් සමාගම බිහිවූයේ එලෙසය. බෝගල පතල තුළ රජයේ දායකත්වය සියයට 49 ක් පමණක් විය. ඒහෙත් අතීතයේ දී මෙන් පෞද්ගලික අංශය මෙම කර්මාන්තය වැඩි දියණු කරලීමට වැඩි දායකත්වයක් නොදක්වන ලදී. වර්ෂ 1990 වන විට බෝගල කහටගහ සහ කොලොන්ගහ යන් පතල් වලින් අපනයනනය කරන ලද මිනිරන් ප්‍රමාණය ටොන් 4765 දක්වා අඩුව තිබේ.වර්තමානය වන විට මෙම ප්‍රමාණය යන්තමින් මෙට්රික් ටොන් 5000 ක සීමාවේ රැඳී පවතී.අතීතයේ දී මිනිරන් අවශ්‍යතාවය ඉතා සීමිත විය. ලිහිසි ද්‍රව්‍ය නිපදවීම පැන්සල් කර්මාන්තය මෝටර වාහන වල අමතර කොටස් ආදී සීමිත පරාසයක ඒවා භාවිත විය.නමුත් වර්ෂ 2000 කාල වකවානුවෙන් පසු ඇති වූ කාර්මික විප්ලවයේ නව සන්ධිස්ථාන නිසා මිනිරන් වල අවශ්‍යතාවය පුලුල් විය.හයිබ්‍රිඩ් වාහන වල බැටරි නිර්මාණයට මෙන්ම නොයෙකුත් නවීන කර්මාන්ත අමුද්‍රව්‍යයක් වශයෙන් ඒවා භාවිත වන්නට විය. 2010 වසර වන විට මිනිරන් වලින් ග්‍රැෆේන් නිපදවීමට සමත් ව ඇත.  අද ලෝක වෙළදෙ පලේ මිනිරන් මෙට්රික් ටොන් ඒකක මිල ඩොලර් 2000-2500 අතර දෝලනය වෙයි.නමුත් ග්‍රැෆේන් වෙළෙඳ පළ ඉල්ලුම අනුව කිලෝවක මිළ ‌ඩොලර් 5000 ඉක්මවන බව දක්වයි.  තත්වය සැලකිල්ලට ගත් මැණික් අපනයන කරුවෙකු වූ කීර්ති වික්‍රමරත්න මහතා මැල්සිරිපුර රාගෙදර පතල යලි ආරම්භ කරනලද්දේ 2010 වසරේ දීය. 1993 වසරේ දී භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය පිහිටුවීමෙන් පසු මෙලෙස පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට කැණීම් බලපත්‍රයක් නිකුත් කරන ලද්දේ රා ගෙදර පතල සඳහාය.
             බෝගල පතල් අද වන  විට සම්පූර්ණයෙන්ම විදේශිකයන් ග්‍රහණයේ පවතින බව කිව යුතුය.අලුතෙන් ආරම්භ කරන ලද කරස්නාගල පතලද විදේශිකයන් සතු කරගෙන තිබේ. කහටගහ පතල රජය සතු වුවද බෝගල පතල හසුරුවන විදේශීය සමාගමේ අවශ්‍යතාවය මත ඒහි කැණීම් සිදු වනු දැකිය හැකිය. හැත්තෑව දශකයෙන් පසු කාලයේ කළ භූවිද්‍යා සමීක්ෂණ වාර්තා සැලකිල්ලට ගැනීමට රජය උනන්දු වී නොමැත. ඒ වෙනුවට විදේශීය සමාගම් කීපයක්ම ලංකාවේ මිනිරන් පතල් ගැන මේ වන විට දැඩි උනන්දුවකින් කටයුතු කරයි. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු සමාගමක් මෙහි මුල් තැන් ගෙන සිටී. ඔවුහු ලංකාවේ නියෝජියන්ද සම්බන්ධ කරගෙන ගුවන් සමීක්ෂණයක් දියත් කොට මේ වන විට වාර්තාවක් ලබා ගෙන තිබේ. මෙම ගවේෂණ බලපත්‍රයට කළුතර රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්ද හසුවී තිබේ. ඒ අතර පසුගිය කාලයේ කර්මාන්ත අමාත්‍යංශය පාලනය කළ මුස්ලිම් අමාත්‍යවරයෙකු මේ මිනිරන් ඉල්ලුම ගැන විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. දැනට හඳුනාගනෙ තිබෙන ඒසේම කලකදී අතහැර දමන ලද කිසිම මිනිරන් පතලක් දේශීය ව්‍යාපාරිකයන් කර්මාන්ත කරුවන් හට ලබා ගත නොහැකි වන ලෙස මේ මාෆියාව විසින් ආවරණය කරගෙන ඇත. 2012 වසරෙන් පසු කහටගහ මිනිරන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය මුස්ලිම් නියෝජනයක් දක්වන්නේ පෙර කී ඇමතිවරයාගේ බලපෑමෙනි.. හෙට වන විට මේ රටේ ග්‍රැෆේන් වෙලෙඳ පල අත්පත් කර ගැනීමට පවා ඔවුහු මුදල් ආයෝජනය කරලීමට ඉඩ ඇත.2013 කාල වකවානුවේ දී රා ගෙදර පතල ආරම්භ කිරීමට උත්සාහ ගත් අවස්ථාවේ දී ඒහි අයිතිකරු කීප වතාවක්ම කැබිනට්ටුව හමුවට ගෙන ගොස් ඒම පතල කර ගෙන යෑමට බාධා ඒල්ල කරන ලද්දේ පෙර කී  මුස්ලිම් ඇමතිවරයා විසිනි.ඒයට හේතුව දේශීය ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම සිංහල කර්මාන්ත කරුවන් මිනිරන් මගින් ශක්තිමත් වීම අඩාල කිරීම ඒම අන්තවාදීන් ගේ බලාපොරොත්තුව වීමයි. කෙසේ වෙතත් අවාසනාවකට මේ රටේ නිළධාරීන් විශේෂයෙන්ම භූ විද්‍යා අංශ දේශීය කර්මාන්ත කරුවන්ට වඩා විදේශිය හාම්පුතුන් කෙරේ විශ්වාසය තබා තිබෙන බව පෙනී යයි.ඒසේම මේ රටේ මූල්‍ය වෙළෙඳ පළ හසුරුවන සමාගම් මිනිරන් ගොඩ ගැනීම සඳහා සුදුස්සන් ලෙසට සලකයි.ඔවුන් ගේ අද විශාලම අදායම් මාර්ගය වී ඇත්තේ වැලි සහ ගල් බලපත්‍ර ලබා දීමයි.ඒ මගින් දූෂිත නිළධාරි තන්ත්‍රයක් පවත්වාගෙන යෑමයි. නමුත් ඔවුහු අමතකකරන කාරණය නම් 1880 ගණන් වල සිට 1957 කාලය දක්වා මේ රටේ මිනිරන් කර්මාන්තයේ ස්වර්ණමය අවධිය සනිටුහන් කරන ලද්දේ දේශීය කර්මාන්තකරුවන් බවයි.
            වර්තමානය වන විට  විදේශ වලට ඩොලර් බිලියන හැටතුනක් පමණ රජය ණය වී තිබේ. මේ ණය ගෙවා ගැනීමට තවත් ණය ලබා ගැනීම රජයේ පුරුද්දකි. මේ නීසා අනවශ්‍ය ආකාරයට ඇමරිකාව ඇතුලු බලවත් රටවලට කඹුරන්නට සිදු තිබේ. ඒ මදිවාට ඔවුන් ගේ කොන්දෙසි නිසා රටේ ජාතික උරුමයන් සහ සම්පත් වැනසෙන ගිවිසුම් වලට පවා අත්සන් කර ලීමට සිදුව තිබේ. මේ තත්වය වෙනස් කළ හැකි ඒක් මාර්ගයක් නම් මිනිරන් කර්මාන්තය යළි නගා සිටුවීමයි. මේ මගින් ලැබෙන රාජ්‍ය භාගය සුලු පටු නොවේ. වාර්ෂිකව දැනට අපනයනය කරන මෙට්ට්‍රික් ටොන් 5000 -20000 දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ලබෙන්නට නම් දේශීය පතල් ප්‍රමාණය වර්ධන කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලැබිය යුතුය.ඒවාට ආයෝජනය කරන දේශීය කර්මාන්ත කරුවන් දිරිමත් කළ යුතුය.මත්ද්‍රව්‍ය වලින් ලැබෙන කලු සල්ලි මෙවැනි කර්මාන්ත වලට ආයෝජනය කිරීම නැවැත්වීමත් විදේශිකයන් ගේ අනවශ්‍ය ග්‍රහණයත් ඉවත් කළ යුතුය.දැනටමත් ඉහතකී විදේශීය  සමාගම තමන් විසින් පැවැත්වූ ගුවන් සමීක්ෂණ තොරතුරු කොටස් වෙළෙද පලේ අලෙවි කරමින් සිටී. ඒවැනි ක්‍රියා වලින් දේශීය මිනිරන් කර්මාන්තය නැන්විය නොහැකිය.අවසාන වශයෙන් කිව යුත්තේ අවම පරිසර හානියක් තිබෙන මෙම පතල් කර්මාන්තය ශක්තිමත් කරලීමෙන් ඇතිවන ප්‍රතිඵලයයි. ඒනම්  මේ රටේ සිදු කරන මහා බලවතුන් ගේ ඊනියා කාර්මික සංවර්ධනය නවතා ලීමට පසුබිම විවර වීමයි.