පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, May 7, 2014

1818 විමුක්ති අරගලය පරාජය වූයේ මරක්කල ඔත්තුකරුවන් නිසාවෙන් ද


                


                 මොනරවිල කැප්පෙටිපළ අදිකාරම්තුමා ඉංග්‍රීසීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූවේ එක්දහස් අටසිය දහඅටේ ඔක්තෝබර මස විසිඅට වන දා සත් කෝරළයේ පරවහගම වලව්වේදී ය. ඒ උඩරට කැරැල්ලට නායකත්වය දෙමින් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට එරෙහිව යාම නිසාවෙනි. 1815 වසරේ දී ඉංග්‍රීසි කිරීටයට රට භාරදුන් සිංහල රදළවරු පුරාණ සම්ප්‍රදායය අනුව ආණ්ඩුව පවතී යයි සිතූහ. නමුත් එය එසේ සිදු නොවී ය. දිනෙන් දින නිලමේ වරුන්ගේ බලතල අඩු වන්නට විය. එසේම බුද්ධශාසනයට හිමිව තිබූ ස්ථානය ක්‍රමයෙන් දුර්වල වන්නට විය. මෙයින් කෝපයට පත් භික්ෂූන් වහන්සේලා එක් වී නිලමේ වරුන් සංවිධානය කොට ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව රහසිගතව රැස් වූහ. මොනරවිල කැප්පෙටිපොළ අදිකාරම් තුමා ඒ වන විට ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතීව සිට කැරැල්ල මඩින්නට පැමිණියද පසුව තම රට ජාතිය වෙනුවෙන් මේ අරගලයට නායකත්වය ලබා දුන්නේ ය.  ජාතියේ විමුක්තිය වෙනුවෙන් ඉදිරියට පැමිණි දේශප්‍රේමී ජනතාව ගේ මතය නිවරදි යයි කැප්පෙටිපොළ  අදිකාරම් තුමාද විශ්වාස කළ බව පෙනේ. 1817 දී ඇරඹි මේ උඩරට කැරැල්ල සැබවින්ම   කැරැල්ලක් නොව ජාතික විමුක්ති අරගලයක්ම වන්නේ මේ නිසා ය.

           බලගතු ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇති කළ කැරැල්ලක් ලෙසට පෙණුනද මේ අරගලය සන්සිඳවීම ලෙහෙසි පහසු නොවී ය. ඊට ප්‍රබල හේතුවක් වූයේ කැප්පෙටිපොළ අදිකාරම් තුමා ගත් නායකත්වයයි. එහිදී භාවිතා කළ යුද්ධ උපක්‍රම ආදිය නිසා ඉංග්‍රීසි ආණ්ඩුව බියට පත් විය. ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් නිකුත් කළ ආඥා පත්‍ර වල මේ බව සඳහන්ව ඇත. සිංහල නායකයන් මැනවින් සංවිධානය වී අවි ආයුධ තනමින් යුද්ධයට මුහුණ දුන් ආකාරය ගැන සඳහන් කරන විලියම් ඔනීල් නම් නිලධාරියා දක්වන මේ අදහසින් ඒ බැව් තහවුරු වෙයි.´ අද පස්වරු තුනට පමණ පිලිමතලව්වේ සහ කැප්පෙටිපොළ අල්ලා ගත්බව ඔබ තුමන්ට සැළ කල හැකි වීම ප්‍රීතියකි. අද අලුයම හතරට පමණ පුලියන්කුලමෙන් පිටත්ව ගම් හතරක් ඉක්ම ගමන් කිරීමෙන් පසු ගස් රුප්පාවක වූ ඔවුන්ගේ මුරපොල හමු විය.ඉන් පසු මම මුලු භට පිරිස සමග හැකි තරම් නිශ්ශබ්දව කුඹුරු හරහා ගොස් අප උත්සාහයේ පරමාර්ථය ඉෂට කරගත් බව කීමට කැමැත්තෙමි. ඔවුන්ගේ අනුචරයෝ හැම දෙන ම විශිෂ්ට යුද්ධායුධ කම්මල් විස්සක් හා යුද්ධොපකරණ රාශියක් හැරදමා පළා ගියෝය.මේ යුද්ධොපකරණ විනාශ කරනු ලැබේ. කුඩා ගෙන්දගම් මල්ලක් හා යුද්ධායුධ මම ගෙන එන්නෙමි. කැප්පෙටිපොළ පිළිමතලව්වේට එක් වූයේ අද් උදේ බවත් දුම්බරින් පිටත් වූයේ විසි දිනකට පෙර බවත් කියයි.`

             කැප්පෙටිපොළ අල්ලා ගැනීමේ දී ජනතාවගේ සහාය අපේක්ෂා කර ඇත. එහෙත් සිංහල ජනතාවගෙන් ඊට අනුග්‍රහයක් ලැබී නොමැත. කැප්පෙටිපොළ සිටින තැනක් පිළිබඳව ඔත්තුවක් ලබා දුන් කෙනෙකුට ත්‍යාගයන් ලබා දීම ප්‍රකාශයට පත් කලෙන් ඒ මත බලාපොරොත්තු තැබීමට සිදු විය. මේ අවදියේ දී ඉන්දියානු මරක්කලයන්ට විශේෂ වර ප්‍රසාද අයත්ව තිබුණි. 1818 මාර්තු මස 02 දින රොබට් බ්‍රවුන්රිග් ආණුඩකාරවරයා වෙනුවෙන් ජෝ ලුසිනන් ලේකම්වරයා විසන් නිකුත් කරන ලද ආඥා පත්‍රය මගින් මේ වරප්‍රසාද පිරි නමා ඇත. බ්‍රිතාන්‍ය රජයට තිබෙන පක්ෂපාති කමට සහ ලැදියාවට ප්‍රති උපකාර වශයෙන් කන්ද උඩරට පළාත්වල සිටින මරක්කලයන්ට විශේෂයක් කොට සළකන ලද්දේ විය. උඩරට සිංහල ප්‍රධානීන් ගේ බලතල සීමාවෙන් ඔවුන් ඉවත් කර  මරක්කලයන් වෙනුවෙන් නීතිය ක්‍රියා කිරීම ඉංග්‍රීසි නිළධාරීන්ට පවරන ලදහ.මෙතෙක් මඩිගේ දෙපාර්තමේන්තුව යටතේ සිටි මොහොමදිය වරු ද මෙලෙස ඉංග්‍රීසි නිලධාරීන් ගේ බලතල සීමාවට පමණක් යටත් කරන ලදහ.

            ලන්දේසීන් විසින් රටින් පන්නා ගන්නට උත්සාහ කොට තිබූ මේ මරක්කල ජන සමූහය මුහුදු බඩ වෙළෙදාමෙන් වැඩි කොටසක් අත්පත් කර ගෙන් තිබුණි. පුත්තලම වැනි පෙදෙස් වල ඉඩකඩම්ද සන්තක කර ගෙන තිබුණි. නමුත් ඔවුන්ට ලන්දෙසීන් ගෙන් නම් විසුමක් නොවීය. එහෙත් වර්ෂ 1796 දී ඕලන්දයන්ට ලංකාව හැර දමා යෑමට කරුණු සිදු වූයෙන් මේ බල පෑම තවදුරුටත් කළ නොහැකි විය.

          ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරීන් චාටුවෙන් වසඟකරගත් මේ මරක්කලයන් ඔවුන්ගේ විශ්වාසය දින ගැන්මට වැඩි කලක් ගත නොකළේ ය. ඌව වෙල්ලස්ස මුහන්දිරම් තනතුරකට හජ්ජි නම් මරක්කලයෙකු පත් කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව ගත් තීරණය සිංහලයන් කුපිත කරවන්නක් විය. මේ හජ්ජි මුහන්දිරම් ලවා ඔත්තු බැලවීමටත් ඒව වාර්තා කරගැනීමටත් නිළධාරීන්ගේ බලාපොරොත්තුව විය. හජ්ජි එය අකුරටම ඉටු කළේ ය. නමුත් ඔහු වෙල්ලස්සේ පින්නවැල්ලේදී බූටෑවේ රටේ රාළට අසුවී සිරගතකරන ලද්දේ ය. හජ්ජි බේරාගන්නට ගිය බදුල්ලේ දිසාපති විල්සන් හටද මැරුම් කන්නට සිදු විය. මේ නිසා මරක්කල ජනතාව සිංහලයන්ට විරුද්ධව දිගින් දිගටම ක්‍රියා කළ බව පෙනී යයි. මණිබඩු කාරයෙකු ගේ වේශයෙන් ගම් වල සැරිසරමින් කැප්පෙටිපොළ සිටි දිශාවට ඉව අල්ලමින් ගිය එක් මරක්කල ඔත්තු කරුවකුට දිනක්  සත් කෝරළයේ පරවහගම වලව්වේ පැවති රාත්‍රී උත්සවයක් දැක ගන්නට හැකි විය. ඒය ශාන්ති කර්මයක් නොහොත් තොවිලයක් විය. මණිබඩු විකුණන මුවාවෙන් වලව්වට පිවිසෙන ලද නමුත්  වලව්වේ සිටි ගැහැනුන් ගෙන් ඔහුට විසුමක් නොවී ය.  මේනිසා සිදු වන්නේ කුමක්දැයි කියා බැලීමට මේ මරක්කලයා වලව්ව අසල කැලයක සැඟව බලා සිටියේ ය. පරවහගම වලව්වේ සිටි කුමාරිහාමි කැප්පෙටිපොළ අදිකාරම් තුමාට ඥාති සහෝදිරියක් වන මඩහපොළ වලව්වේ කුමරියක් විය.මේ ඔත්තකරු පරවහගම වලව්වට පැමිණියේ ද මේ නිසා ය.  සවස හයහමාරට පමණ කැළයෙන් මතු වූ කණ්ඩායමක් වලව්ව දෙසට පැමිණියේ ය. ඒ අතර රෝගාතුරව සිටි  පිළිමතලව්වේද කැප්පෙටිපොළ ද විය. මණිබඩු ටික පැත්තකින් තැබූ මරක්කලයා ඒ වන විට පුලියන්කුලමට ළඟාව සිටි ලෙෆ්ටිනට් ඔනීල් නම් ඉංග්‍රීසි නිළධාරියා හමුවට පැමිණ කාරණය සැළ කර සිටියේ ය.

                 යුද්ධය අසීරු වන බව කැප්පෙටිපොළ දැන සිටියේය එහෙත් තමන්ට හිතවත් ව සටනට එක්ව සිටින පිරිස අමාරුවේ දැමීමට හෙතෙම කල්පනා නොකළේ ය. ඒ නිසා රටේ විවිධ පළාත්වල ට ගොස් සටනට අවශ්‍ය සේනා සංවිධානය කර ගැනීමට ඔහු උත්සුක විය. ඒ අනුව සත් කෝරළේ මානෑවේ සිටි ඥාතීන් හමුවට ද ඔහු පැමිණියේ ය.එහි රජ ගම් මැද්ද හා මැද ගම්මැද්ද යනුවෙන් ගම් දෙකක් විය. මේඥාතීන් සිටියේ මැදගම්මැද්දේ ය. නමුත් කැප්පෙටිපොළ එහි පැමිණෙන විට ඉංග්‍රීසීන්ට මේ ඉව වැටුණි. කපිතාන් ජේ.ප්‍රෙසර් නම් නිළධාරියා භට සේනාවක් ගෙන මානෑව බලා පැමිණෙන බව කලියෙන්ම දැන ගත් නිසා මානෑවේ සිටි පිරිස පරවහගම වලව්ව තෙක් පසුබසින්නට තීරණය කළහ. කෙසේ වෙතත් මරක්කල වෙළෙන්දා එදා ඔත්තු සැපයීම නිවරදිව නොකලේ නම් කැප්පෙටිපොළ අල්ලා ගැනීම ලේසි නොවන්නට ඉඩ තිබුණි. මෙලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතීව ඔත්තු සැපයීම  නිසා 1820 දී මේ මරක්කලයන්ට හා උඩරට පළාත්වල සිටි මොහොමදිය වෙළෙන්දන්ට පුරවැසි කම ලබා දෙන්නටද ඉංග්‍රීසීන් කටයුතු කළහ. වර්තමාන මුස්ලිම් ව්‍යප්තියේ ඇරඹුම එතැනයි.


 

Friday, April 18, 2014

සන්ධාන රජයේ කණාමුට්ටිය සිංහල ජාතිය ද

                                 

     සන්ධාන රජයේ දේශපාලන උරගෑම පළාත් සභා මැතිවරණයකින් කල නොහැකිය. ඊට හේතුව ඒවා කඩින් කඩ තැබීමයි. නමුත් පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී යම් කිසි ප්‍රමාණයකට ජන මතය ප්‍රකාශ වීමක් සිදුව ඇත. ඉතාමත් පාරිශුද්ධ මැතිවරණයක් තැබීම තමන්ගේ වෑයම බව මැතිවරණ කොමසාරිස් තුමා පැවසුවද ලියාපදිංචි චන්ද සංඛ්‍යාවට වඩා චන්ද පත්‍රිකා ප්‍රමාණයක් මුද්‍රණය කරලීමෙන් ඒ කටයුත්තේ සුජාත බාවය පිලිබඳව ප්‍රශ්ණ කිරීමක් වෙයි. ඒ තත්ත්වය ඔප්පු කිරීම කෙසේ වෙතත් විශාල චන්ද ප්‍රමාණයක් භාවිත නොකිරීමද කටුගා දැමීමද තුළින්ද ආණ්ඩුවට එරෙහි පෙරමුණු කීපයකට විශාල චන්ද සංඛ්‍යාවක් ලැබීමෙන්ද පෙන්නුම් කරන්නේ ජනතාවගෙන් යම්කිසි රතු එලියක් දැල්වී ඇති බවයි.
              සන්ධාන රජය සිංහල අලුත් අවුරුද්දට නෑගම් ගියේ එවැනි පීඩනයක් ගම තුළ පවතින විටයි. දරා ගත නොහැකි බඩු මිළ වස විස මිශ්‍ර කල කෑම බීම සහ නියඟය නිසා පාලු වූ ගොවි බම් වල විලාපය යටි සුළඟේ ගසා ගෙන විත් මහා තාපයක් ජනිත කර ඇත. ඒ බව ජනතාවටත් දැනුනද එතරම් තේරුමක් ඇතැයි නොසිතමි. අවුරුදු උදාවත් සමග ජනිත පොහෝ දිනයත් කුජ වක්‍ර වීමත් රටට එතරම් හිතකර බවක් නොපෙන්වයි. සූර්යයා ඉද්ද ගැසුවා සේ ලංකාවට මුදුන් වන සමය බැවින් ඉන්දියාවට වඩා මේ උත්සව සැණකෙලිය අපට සමීපය. නමුත් මේ අවුරුද්ද සිංහලයන්ට අයිති කර දෙන්නට බොහෝ අය අකමැතිය. එහි උපත පිළිබඳ කෙතරම් පර්යේෂණයන් තිබුණද ආණ්ඩුවේ ඇත්තන්ට නම් එය සිංහල දෙමළ අවුරුද්දක් පමණක්ය. ඒ නිසාම සිංහල ජාතිය කණා මුට්ටියට ගෙන හිතූ හිතූ පරිදි පහර දෙන්නට මේ අවුරුද්දේදී විවිධ පාර්ශව කටයුතු කරනු දක්නට ලැබුණි.මුස්ලිම් කොන්ග්‍රසය වාසුදේව පිළ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව සන්ධාන රජය නියෝජනය කරන ප්‍රධාන මැති ඇමැත්තන්ද මේ කණා මුට්ටි සෙල්ලමට සාභාගී වී සිටිනු පෙනේ. සිංහල ජාතිය නමැති කණා මුට්ටියට තඩි බෑම ඇරඹෙන්නේ මේ විවිධ පාර්ශව වලිනි. එහි පළමු පියවර සිංහලයන්ට අවුරුද්ද අහිමි කිරීමයි.
      විල්පත්තුවේ පරණ මන්නාරම් පාර අසබඩ විශාල ඉඩම් ප්‍රමාණයක මුස්ලිම් වරු පදිංචි කරවීමේ කූඨ සැලැස්මද මෙලෙස තඩි බෑමේ එක් අවස්ථාවකි.බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා එහි පිටිපසින් සිටින්නේ යයි ඤාණසාර හිමියන් කළ ප්‍රකාශය සුලුවෙන් තැකිය හැක්කක් නොවේ.ආර්ථික සංවර්ධනයේ මුවාවෙන් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට සිංහලයන්ගෙන් නැගෙන දායකත්වය මද බැවින් මුස්ලිම් ජනතාව පදිංචි කොට විල්පත්තුවෙන් යම්කිසි නිශ්චිත ප්‍රදේශයක් වෙන්කර ගැනීම මෙහි අරමුණ බව පැහැදිලිය.කොම්පඤ්ඤ වීදියේ සිංහලයන් ඉවත් කර ඒ ඉඩම් පකිස්ථාන් ජාතිකයෙකුට බද්දට දීම එයට සමානය. මේ ප්‍රශ්ණ වලට මැදිහත් වූ බොදු බල සේනාවන්ට නොයෙකුත් දෙස් දෙවොල් තැබීමද කරති. ඒ අතර සිංහල රාවයට තඩි බෑම පිනිස නීතියේ අව නීතිය රැගෙන ඇත. ජිනීවා වලට ගතු කිවූ රවුෆ් හකීම්ට තිබෙන නිදහස සිංහල රාවයේ හිමිවරුන්ට නැත. උන්වහන්සේලාගේ අරගලය දිගේලි කොට තබා ගැනීමෙන් රට කරවන ඇත්තන්ට වාසි සහගත වේ යයි සිතනවා විය හැකිය.
        සිංහලයන් මේ රටේ ප්‍රධාන ජාතික සංරචකයයි. එහි බලය තීරණය වන්නේ සංස්කෘතියෙන් නොව දේශපාලනයෙනි. බ්‍රිතාන්‍යයන් විසින් කප්පාදු කරන ලද මේ දේශපාලන බලය 1948 වර්ෂයේ දී ආපසු ලැබුණා යයි පැවසීම මුසාවකි.එම බලය හුවමාරු ව ඇත්තේ ඉංග්‍රීසින් නියෝජනය කරන මෙරට විදේශ ගැති ලුම්පන පන්තියකටයි. ඔවුහු අවුරුද්ද වැනි ජාතික සංස්කෘතික  අවස්ථාවක් සලකන්නේ ජාතික වටිනාකමකින් නොවේ. වෙළෙන්දන්ට ජාවාරම් කරුවන්ට රිසි සේ බඩ පිණුම් ගැසිය හැකි අවස්ථාවක් ලෙසට මෙය සැලකේ. ලංකාවේ බැංකු ක්ෂේත්‍රයද එයට මැදි වෙමින් හොඳ හැටි ජනතාවගෙන් මුදල් මංකොල්ල කයි. වාසනාවකට පෙහොය දිනය යෙදී තිබූ බැවින් මෙවර එම අවස්ථාව ගිලිහුණි.එම ක්‍රියාවලිය බටහිර නූතනත්වයේ වර්තමාන පිළබිඹුවයි. ජාතිය හා සංස්කෘතිය අලෙවි කිරීමද එසැනින්ම කප්පාදු කිරීමද එහි ස්වභාවයයි. නිදහස් අධ්‍යාපනය මුවාවෙන් බටහිර මත කරපින්නාගත් තකතීරු සිංහලයන්ට මේවා නොතේරේ. තමන්ට විරුද්ධව එන බලවේගයන්ට මුහුණ දීම කෙසේ වෙතත් එය තේරුම් ගැනීමම විකෘතියක් බවට පත් කර ගත් විට. සිංහල ජාතියට ඇහැ තබන්නේ කවුරුන්ද.
     එක්සත් ජාතික පක්ෂ නායකයන් ද අලියාට ඇහැ තබති. ඒ ඔවුන්ගේ පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙනි.එහෙත් සිංහල ජාතියට ඇහැ තබන්නට හැකි කිසිවෙක් ඒ පෙරමුණ තුළින් මතු නොවෙති. එවිට  සිංහලෙන් හා දෙමළෙන් කතා කරන ජනාධිපතිවරයාට එරෙහි විකල්පයක් කිසිදා බිහි නොවේ.  ජාතික බලවේග දිගේලි කර ගැනීම පිටිපස්සේ තිබෙන යථාර්තය මෙයයි.

   

Thursday, April 10, 2014

සූර්ය ඉලක්කය පදනම් කරගත් ලංකාවේ විශ්ව ස්ථාන සහ සිංහල අවුරුද්ද

                        


          දිගු සංස්කෘතික ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජනතාවට තමන්ටම අනන්‍ය වූ අලුත් අවුරුද්දක් ඇත. එය ආරම්භ වන්නේ බක් මාසයෙනි. සූර්යයානය හෙවත් අහස් චක්‍රයේ සූර්යයා ගමන් කරකන්නා වූ මාර්ගය පොළවේ සැබෑ නැගෙනහිරට හා බස්නාහිරට කෙලින් වැටී නැත. ඊට අංශක විසිතුනහමාරක් ඇලව පවතී. මහ පොළව පූර්වාංශ වෙමින් එක් වටයක් සම්පූර්ණ වීමට වසර 25800 ක් ගත වේ.නමුත් මහ පොළව භ්‍රමණය වන බැවින් ඉන් භාගයක් උතුරු පැත්තටත් අනෙක් කොටස දකුණු පැත්තටත් ඇලව පිහිටයි.ඒ අනුව වසරෙන් හය මාසයක් සූර්යයා උතුරෙහිද අනෙක් හය මාසයයෙහි දකුණෙහිද ගමන් කරයි. මේ තත්ත්වය නිසා ලොකයේ සෑම රටකම සෘතු භේදය ඇති වේ. උත්තරායනය හා දක්ෂිණායනය යනුවෙන් අයන දෙකකට බෙදා දක්වා ඇත්තේ එහෙයිනි.
     පෘතුවියට සාපේක්ෂකව   සූර්යයාගේ ගමන් චක්‍රය අනුව  උදාවන උත්තරායන සමයේ සිංහල අලුත් අවුරුදු සමය එළඹේ. මකර රවියේ(ජනවාරි 15) සිට මිථුන රවිය(ජූලි 15) දක්වා කාලය උත්තරායනයයි.කටක රවිය(ජූලි 16) සිට ධනුරවිය(ජනවාරි 14) දක්වා කාලය දක්ෂිණායනයයි.  මාර්තු මස විසි එක් වනදා වන විට ලංකාවට සාපේක්ෂව හිරු මුදුන් වීමට පටන් ගනී. අප්‍රියෙල් මස පස්වන දා පමණ වන විට හිරු දෙවුන්දර තුඩුව අසලින් උදා වේ. සූර්ය දොරටුව යන අර්ථයෙන් එය දෙවුන්දොර වන්නා සේ සූර්යයා ලංකාව හැරයන ලක්ෂය  පැදුම් දොර අර්ථයෙන්  පේදුරු තුඩුව ( පෑ දොර) වේ.    අරීසෙන් අහුබුදු මහතා ඇතුලු හෙළ හවුලේ මතය වන්නේ හිරු මන්නාරමට මුදුන් වන අවස්ථාවේ දී අලුත් අවුරුද්ද උදාවන බවයි. අවුරුද්ද යනු වෙසෙසි අවස්ථාව යෙදෙන දිනය වශයෙන් ඔවුහු අර්ථ දක්වා ඇත. මේ දිනය නම් මහා සම්මත මනු රජු ඔටුණු පළන් දිනයයි. එය සිදුව ඇත්තේ මන්නාරම(මනු+නා+රම) නගරය ආශ්‍රිතව බව වැඩි දුරටත් දක්වා ඇත.
           වර්තමානයේ දී මේ සිංහල අවුරුද්දට සිංහල දෙමළ හෝ සිංහල හින්දු යන ව්‍යවහාරය දක්වමින් විකෘති කර ඇත.එම ව්‍යවහාරය නිවරදි නොවන්නේ ඇයි දැයි පළමුව බලමු. දෙමළ ජනවර්ගයට අයත් සෑම දෙනම හින්දු නොවන්නා සේම හින්දු දහම පිළිගන්නා සෑම දෙනම දෙමළ ද නොවේ. උතුරු ඉන්දියාවේ හින්දූන් තෛයිපොංගල් උත්සවය පවත්වන්නේ ජනවාරි මස 14 වන දිනයේ දීය.  දක්ෂිණායන සමයේ දී උත්තර ධ්‍රැවය ආසන්න පෙදෙස් වල දිවාකාලය කෙටිවී හිරුගේ ශක්තිය දුබල වෙයි.  මේ තත්ත්වය තුළ නැවත සූර්ය බලය ආරම්භ වන උත්තරායන දිනයේ උත්සව පැවැත්වීමත් ආගමික චාරිත්‍ර පැවැත්වීමත් හින්දූන් ගේ සංස්කෘතික පිළිවෙත විය. ඉන්දියාවෙන් පැමිණි දෙමළ ජන වර්ගයටද මෙය අදාළ වන්නේ ඔවුන්ගේ බහුතරයක් හින්දූන් වන බැවිනි.හින්දූන්ගේ දීපාවලී උත්සවය සමරන්නේ ඔක්තෝබර් මාසයේ දීය. හිරු තුලාරාශිගතව හැසිරෙන අවස්ථාවකි.තුලාවේ දී හිරු දුබල වෙයි. පහන් දල්වා දුබල හිරු ශක්තිමත් කිරීම එහි අදහසයි. ඒ නිසා උතුරු වැසි හින්දූන් ට හා දෙමළ ජන වර්ගයන්ට අදාල වන්නේ යටකී උත්සව දෙකයි. එය අනුකරණයෙන් ලංකාවේ දෙමළ ජනයාද මේ උත්සව පවත්වති. එසේම නායක්කර් යුගයේ දී චිත්තර පුන්නාඩු යනුවෙන් වසන්ත උත්සවයක් ද විය. එය අවුරුද්දේ සතර වන මාසයේ දී යෙදෙන්නකි. මේ උත්සව සැමකක්ම හින්දු  සංස්කෘතියේ උරුමයක් ලෙසට මිස ලංකාවට අදාල සංස්කෘතික  හා විද්‍යාත්මක උරුමයක් ලෙසට ගත නොහැකිය.
          නමුත් හෙළයන් විසින් ආරම්භ කරන ලදුව තවමත් පවත්වාගෙන එන අවුරුදු මංගල්ලය වර්තමාන සිංහල ජනතාවගේ සංස්කෘතියේ අභිමානය කියාපාන අතීත උරුමයකි.මෙහි විද්‍යාත්මක කාරණා රාශියක් ගැබ්ව පවතී. මේෂ රාශිය සූර්යයාගේ උච්චතම රාශියයි. මේෂ රාශිය අංශක බිංදුව ලෙසට ගෙන අහස් චක්‍රය පෘතුවියට සාප්ක්ෂව මැන සූර්යයාගේ ගමන් නිර්ණය කිරීම පැරණි හෙළයන්  විසින් හඳුනාගත් ක්‍රමයයි.. එහිදී මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රාන්ති වන අවස්ථාව නොහොත් සූර්ය ගැට්ට තුළ නොනගතය දක්වා( පැමිණියා වූත් නොපැමිණියා වූත් කාලය) අවුරදු චාරිත්‍ර සකස් කර නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීම හුදෙක් ලංකාවට පමණක් ආවේණික සංස්කෘතික පිළිවෙතක් බවට පත් වෙයි.ආහාර පිසීම වැඩ ඇල්ලීම හිස තෙල් ගෑම ආදී චාරිත්‍රයන් තුළ නව ආරක බලාපොරොත්තු මෙන්ම සෞඛ්‍ය පිළිවෙත් ද අඩංගු වෙයි.මෙවැනි අවස්ථාවක් පිළිබඳ අවදියෙන් හා උනන්දුවෙන් බලන කණ්ඩායමක් සිටී නම් එම අවධානය නිසැකයෙන්ම ඇති වන්නේ කෘෂිකර්ම පැවැත්ම උදෙසාය. සියලුම බීජ සහ ගහ කොළ වල ජීවය පවතින්නේ සූර්ය ශක්තිය තුලය. එම ශක්තිය උපරිම වශයෙන් ලබා දෙන අවස්ථාව බක් මාසයේ යෙදෙන බවද මේ කණ්ඩායම තේරුම් ගෙන සිටියහ. මේ නිසා සූර්ය වන්දනාව මෙන්ම විවිධාකාරයෙන් සොබා දහම සතුටු කිරීමටද මේ අවස්ථාව යොදා ගත් බව පෙනේ. අස්වනු කපා පාගාගෙන අවසන් වන මැදින් මාසය මහ දින් (ධාන්‍ය) කාලය ලෙසට ගෙන එය කෘෂීකාර්මික පැවැත්මේ වර්ෂයක් නොහොත් වරුවක අවසානය ලෙසටද සලකන්නට උත්සාහ කළහ. සූර්ය වන්දනාව සිදු කරන අවස්ථාව අනුව ආරම්භ වුවද ගොවි කන්න දෙකක අවසානයේ ඇති වන මේ ඉසිඹුව අවුරුද්දක් ලෙසට සම්මත කර ගන්නට පැරණි ජනතාව උත්සාහ කර තිබේ.
      සූර්ය දිව්‍ය රාජයා ලංකාවට දෙවරක් මුදුන් වෙයි. පෘතුවියේ චලිතයත් සමග ඊට සාපේක්ෂව සිදු වන මෙම ක්‍රියාවලිය අපගේ පැරණි මුතුන් මිත්තන්ගේ අවධානයට ලක් ව තිබුණි. සූර්යයා වටා ගමන් කරන පෘතුවිය මත දේශගුණික විපර්යාස ඇතිවන්නේ අංශක විසිතුනහමාරක ඇලයෙකින් යුක්තව ගමන් කරන බැවිනි. සූර්යයා වසරකට වරක් පෘතුවියට ඉතා ලන් වෙයි. එක් වරක් උතුරට ලන්වද දෙවනි වර දකුණට ලන්ව ද ගමන් කරයි. පැරණියන් ජ්‍යෙතිෂ විද්‍යාව බිහිකොට ගෙන ඇත්තේ මෙම ගමනේ සිද්ධාන්ත මත ගණිත ක්‍රමයන් සංවර්ධනය කිරීමෙනි.
    පැරණි හෙළයන් හිරුට නමස්කාර කළහ. එහි පවතින විශ්ව ශක්තිය මනුෂ්‍යාට ආරෝපණය කර ගත්හ.   ශක්ති පැවැත්මේ මූල හිරු වීම මෙයට හේතුවයි. ඒ නිසා හිරු මුල් කොට සූර්ය සිද්ධාන්තය නමින් මහා ග්‍රන්ථයන්ද බිහි කළහ. එසේම ලංකාවේ වෙසෙසි ස්ථාන තෝරා ගෙන ඒවා විශ්ව ස්ථාන ලෙසට සලකා එහි සිට පියවර මනිමින් නැකැත් ආදිය ගණනය කළහ. පසුව ඒ ස්ථාන  දෙවොල් බවට පත් විය. මේ හිරු දෙවොල් කාලාන්තරයක ඇවෑමෙන් අද විවිධ ආගමික කණ්ඩායම් සතුව ඇත. මෙහිදී උත්සාහ කරනුයේ එවැනි විශ්වස්ථාන කීපයක් ගැන යම් විවරණයක් කිරීමයි. මෙයින් පළමු වැන්න නම් දෙවිනුවර විෂ්ණු උපුල්වන් දේවාලයයි. වර්තමාන විෂ්ණු දේවාලය අටවන සියවසේ දාපුලුසෙන් රජ දවස බිහි වී වර්ධනය වූවකි. එය හිරු දෙවොලක් නොවේ. එහෙත් දෙවුන්දර නගරයට මදක් නැගෙනහිරින් කීලෝමීටරයක් පමණ දුරින් කුඩා කඳු ගැටයක ගල් දෙවාලයක නටබුන් හමුවේ. පුරා විද්‍යා සංරක්ෂිත ස්ථානයක් වන මෙය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඳුන්වා දී ඇත්තේ උපුල්වන්දේවාලය වශයෙනි.තනිකර ගලෙන් සාදා ඇති මෙම දෙවොල ඊශ්වර දේවාලයක් ලෙසටද ඇතැමෙක් හඳුන්වති. මෙහි ප්‍රධාන දොරටුව යොමුව තිබෙන්නේ නැගෙනහිරටයි. දේව රුප දක්නට නැත. පියස්සේ කුඩා සිදුරක් තිබූ බවත් එයින් සූර්යාලෝකය සෘජුව දෙවොලට ඇතුලත් වූ බවත් කියවේ. මෙම වාස්තු නිර්මාණය අටවැනි සියවසට අයත් බව සඳහන්ය. එසේ නම් විෂ්ණු දෙවොල ඇති වන්නට පළමු මෙහි සූර්යයා පිලිබඳ පැරණි සංකල්පය ශක්තිමත් කොට විශ්ව ස්ථානයක් ලෙස භාවිතා කරන්නට ඇතිවාට නිසැකය. විදේශිකයෙකු වූ දාපුලුසෙන් රජු මේ විශ්ව ශක්තියට ආගමික අර්ථයක් ලබා දී උපුල්වන් දෙවොල කරන්නට ඇත. අප්‍රියෙල් මස 04 වන දින වන විට මේ ස්ථානය අසලින් සූර්යයා  මුදුන් වන නමුත් එය දැන් සැබවින්ම මුදුන් වන්නේ අක්ෂාංස හයයි කලා තුනකට අසුවන බූස්ස හා කඹුරුපිටියෙනි.

        දෙවන ස්ථානය දොඩන්දූව හා ගොඩවායයි. දොඩන්දූව කුමාරකන්ද කඳුගැටය පැරණි හෙළයන්ගේ විශ්ව ස්ථානයක් වන අතර සුර අසුර යුද්ධය සිදුවූ තැනක් වශයෙන්ද හඳුනාගත හැකිය. ගොඩවාය පැරණි වරායකි. එහි කඳු ගැටයක පැරණි බෞද්ධ සිද්ධස්ථානයකි.තෙවැන්න කූරගල හා කලුතර බෝධියයි. කූරගල පර්වතයේ තපස් පිළ නැගෙනහිරට මුහුණලා සිටින අතර එහි පෙර ඉසිවරුන් බවුන් වැඩූ බව පැවසේ. සූර්ය නමස්කාරය සිදු කල ස්ථානයකි. කලුතර බෝධිය තිබෙන ස්ථානයෙහි පෙර කුඩා කඳුගැටයක් පැවතී ඇත. සුර අසුර යුද්ධය සිදුවූ ස්ථානයක් වශයෙන් හැඳින්වේ. බුද්ධකාලයේ දී බෝධින් වහන්සේ නමක් රෝපණයකර වැඳුම් පිදුම් කිරීම ආරම්භ කර ඇත. සිවු වැන්න ශ්‍රී පාදයයි.
එය ලංකාවේ අග්‍රතම වන්දනීය ස්ථාන අතරින් එකකි. අතීතයේදී සමන් දෙවියන්ගේ වාස භවනයයි. එහිද හිරු දෙවොලක් මූලිකව පැවතියායයි සිතන්නට හැකිය.අක්ශාංස 06 කලා 48 හි පවතින මෙම ස්ථානයට වර්තමානයේ දී.ද අප්‍රියෙල් 07 වන දින හිරු මුදුන් වේ. බුදුන් වහන්සේ මෙම ස්ථානයේ පැවති විශ්ව බලය තේරුම් ගෙන ශ්‍රී පා සළකුණ තැබුවායයි සිතන්නට පිළිවන.පස් වැන්න වැටෙන්නේ ඒකලට හා හිරුකෝවිල යනුවෙන් අද ව්‍යවහාර වන් ස්ථානයන්ටයි. ඒකල යනු ඉලක්කයයි. හිරු කෝවිල් යනු හිරු දෙවොලයි. සය වැන්න දෙවනගලයි. දෙවුනැගි ගල යනුවෙන්ද එයට ව්‍යවහාර වේ. මේ පර්වතයේ විවිධ කාල වකවානු වලට අයත් වාස්තු නිර්මාණ දක්නට තිබුණද එක් විශේෂ ගල් ගොඩනැගිල්ලක් පිළිබඳව කාගේත් අවධානය යොමු වෙයි. එය හැඩයෙන් දෙවිනුවර ගල් දේවාලයට සමානය. නටබුන් වී යාමෙන් එහි වහළ සුන් වී ඇති නමුත් වාස්තු නිර්මාණයක් වශයෙන් අගයක් ඇත. මෙයට ඉසුරුමුණි පාය යනුවෙන්ද නමකි. ඒ අරුතෙන් ගත්කල මේ ස්ථානයද අතීතයේ විශ්ව ස්ථානයක් වශයෙන් සලකා ඇත. එහි හිරු දෙවොලක් තිබුණේ යයි සලකා බැලිය හැක්කේ පුරා විද්‍යාත්මක නිරික්ෂණයකිනි.
       සත්වන ස්ථානය වශයෙන් ගත හැක්කේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අරන් කැලේ ආරණ්‍ය සේනාසනයයි. එහි ඉතා පැරණි පධාන ඝර නටබුන් සහිත රක්ෂිතයක් පවතී. කුමන ස්ථානයක විශ්ව ඉලක්කයන් තැබුවාදැයි එකවර නිගමනය කිරීම අපහසුය. අටවන ස්ථානය හමුවන්නේ අනුරාධපුරයෙනි. එහි ඉසුරු මුණි විහාරය නමින් තිබෙන ස්ථානය විය හැතිය. රන්මසු උයනේ තිබෙන විශ්ව චක්‍රය මෙයට කදිම නිදසුනකි. නව වන ස්ථානයට ගැනෙන්නේ  කුදිරමලේ කඳුගැටය හා අනෙක් කෙළවරේ පිහිටා තිබෙන කෝනේශ්වර කෝවිලයි. මේ ස්ථාන දෙක උස් භූමියක තිබෙන්නා සේම පුරා වස්තු වලින් ගහනය. පැරණි ගෝකණ්ණ විහාරය තිබුණේ  වර්තමාන කෝනේශ්වර කෝවිල තිබූ ස්ථානයේය.  වෙසෙසින්ම කොටි ත්‍රස්ත සමයේ දී මේ නටබුන් පසටයට කර දමා වර්තමාන කෝවිල ගොඩ නගා ඇත. දසවන ස්ථානයනම් ලංකාවේ අවුරුද්ද පිළිබඳව වැදගත් වන මන්නාරමේ තිරුකේදීශ්වරම් කෝවිලයි. එයට අමතරව හොරොව්පතානේ වෙහෙර බැඳි ගල  නම් ස්ථානයක්ද රාමකන්ද නම් ස්ථානයක්ද පවතී. ඒවා තවමත් නිශ්චිතව හඳුනාගත නොහැකිය. නමුත් අතීතයේ දී එම පෙදෙස යක්ෂ ගෝත්‍රිකයන්ගේ වාසභූමියක්ව පවති බවට සාධක හමුවේ. මන්නාරමේ තිරුකේදීශ්වරම් කෝවිල වර්තමාන හින්දු දෙවොලක් වුවද නිසැකවම එය හිරු දෙවොලකි. 2014 වර්ෂයේ අප්‍රියෙල් 14 දා වන විට සැබවින්ම මන්නාරමට හිරු මුදුන් වන්නේ නැත. එය මුදුන් වන්නේ කච්චතිවු චුන්නාවිල් හා පුදුමාතලන් නම් ස්ථානයන්ටයි. ඒ නම් අක්ශාංස 09 කලා 23 කිනි. නමුත් මන්නාරම ඇත්තේ අක්ශාංස අටයි කලා නමයකිනි. අප්‍රියෙල් 15 වන දා වන විට හිරු අක්ශාංස 09 කලා 45 වන ස්ථානය නොහොත් පැරණි හුණුගම නොහොත් චුන්නාකම් නම් ස්ථානයට මුදුන් වන අතර පේදුරු තුඩුව නම් ස්ථානයට මුදුන් වන්නේ නැත. එහෙත් එය ලංකාවේ අවසන් විශ්ව ස්ථානයයි. එහි අද විෂ්ණු දේවාලයක් පිහිටුවා ඇත.
        මේ ආකාරයෙන් බලන කල්හි සූර්යයා ලංකාවට මුදුන් වීමත් ඒ මගින් ධරණී තලයෙහි ඇති කරන ශක්තියත් පැරණියන් සුලු කොට නොතැකූ බව කිව හැකිය. ඒ මගින් බිහිකරන ලද විද්‍යාව පිළිබඳ ස්පර්ශයන් ඇතද එහි ගැඹුර පිලිබඳ අවබෝධයක් අපට නැත. එය සෙවිය හැක්කේ පුරා විද්‍යාත්මක  සමාජ හා සංස්කෘතික ගවේශණයක් තුළිනි.මේ කරුණු එයට ඉවහල් කර ගතහැකිය.


                   

Thursday, March 13, 2014

ආගමික සංහිඳියාවට තිබෙන බාධක කවරේ ද


                                 

                                             


           ලංකාවේ වාසය කරන විවිධ ජන කොටස් වල විශ්වාසයන් නොහොත් ආගම්  පදනම් කොට ගෙන පසුගිය කාලයේ දී නොයෙකුත් ගැටුම් ඇති වී යයි ඇතැම් අය පවසති. මේ නිසා ජාත්‍යන්තර වශයෙන් ද චෝදනා එල්ල වන්නට පටන් ගෙන ඇත. මෙලෙස එවැනි ගැටුමක් පවතින්නේ යයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ද විශ්වාස කරන බව පෙනේ. එහෙයින් දකුණු ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ කේන්ද්‍රය නම් ජාත්‍යන්තර සංවිධානයක ආධාරයෙන් මේ සම්බන්ධව ඇය යම් පියවරක් තැබීමට සූදානම් වන බව දැන ගන්නට හැකිය. පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ ඇය ඒ සදහා සාකච්ඡා කළ බව මාධ්‍ය වල වාර්තා විය.

          වර්තමාන සමාජයේ ආගමික ගැටුමක්  පවතින්නේ යයි සලකන පිරිස මෙයට මූලික හේතුව සිංහල බෞද්ධයන්ගේ කලහකාරී හැසිරීම් යයි ප්‍රකාශ කරති. මෙය සත්‍යයක් නොවේ. වචනයේ අර්ථයෙන්ම ගතහොත් ආගමික සංහිඳියාවක් ඇතිවිය යුතුවන්නේ කිතුනු ඉස්ලාම් සහ හින්දු භක්තිකයන් අතරය. එය එසේ නොවන්නේ බහුතර සිංහල බෞද්ධයන්ගේ උරුමය ඔවුන් විසින් නොපිළිගන්නා බැවිනි. කිතුනු ඉස්ලාම් හින්දු ආදී ආගමික ජන කණ්ඩායම් බිහිව ඇත්තේ ඉතිහාසයේ යුග ගණනාවක විකාශනයෙනි.ඒවා ඒ ඒ සංස්කෘතීන්ට සාපේක්ෂකව ආගම් වශයෙන් සලකනු ලැබේ. ඇදහිලිවන්තයන් ගෙන් සැදුම් ලත් එවැනි ආගම් වල සුලු පිරිසක් ලංකාවේ ද ජීවත් වෙති. එහෙත් බෞද්ධ ධර්මය ආගමක් නොවේ. බෞද්ධ සංස්කෘතියට ඇදහිලි එකතුව ඇත්තේ හින්දු සම්ප්‍රදායෙනි. ඒ නිසා ඇතැම් අය සමස්ත බෞද්ධ ජනතාවද ආගමික ජන කණ්ඩාමයකට ඇතුලත් කරති.

          ප්‍රභාකරන් ඇතුලු කොටි සංවිධානය උතුරු හා නැගෙනහිර පළාත් වල කරන ලද ත්‍රස්ත ක්‍රියා වෙසෙසින්ම අරන්තලාවේ භික්ෂු ඝාතනය ශ්‍රී දළදා මාළිගාවට බොම්බ තැබීම සහ රට පුරාවටම කරන ලද සංහාරයන් ආගමික සංහිඳියාව බිඳ දැමීමට කරන ලද ක්‍රියා වෙති. ඔවුහු යථොක්ත ප්‍රදේශවල පැවති සිංහල ශිෂ්ඨාචාරය පිළිනෙගනිති. ඒ නිසාම එහි තිබෙන බෞද්ධ පූජනීය ස්ථාන වල කෝවිල් සහ පල්ලි ඉඳිකරමින් ජාත්‍යන්තරයට පෙන්වන්නට උත්සාහ ගෙන ඇත්තේ ස්වකීය නිජබිම සිංහලයන් විසින් ආක්‍රමණය කර ඇති බවයි. 1812 වැනි ඈත කලයක පටන් යාපන අර්ධද්වීපයේ කරන ලද ඇමරිකන් මිෂනාරි කටයතු නිසා එම ප්‍රදේශය දැන් සලකන්නේ දෙමල කතෝලික ප්‍රදේශයක් විලසටය. ඒ බැව් අන්තර්ජාලයේ පවතින ඇතැම් තොරතුරු අනුව සනාථ වේ. ඒ අනුව වර්තමාන නැවත පදිංචි කිරීම්වලදී පවා සිංහල බෞද්ධයන්ට යාපනයේ තැනක් ලැබී නොමැත.එහි තිබූ සිංහලයන්ගේ සින්නක්කර ඉඩම් කොටි මහ විරු පවුල්වලට ලබා දී ඇත. උතුරේ  පැවති පසුගිය යුද්ධ සමයේ දී කතෝලික පල්ලි රාශියකට ගුවනින් බෝම්බ දැමූ බව අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර ඇත. සත්‍යය නම් යුධ හමුදාවට පහර දීමට මේ ස්ථාන වල කොටි කඳවුරු පිහිටුවාගෙන සිටි බවයි. හමුදාව යුධ අපරාධ කළ බවට රායප්පු ජෝශප් පියතුමා පවසන්නේ මේ සාධක පදනම් කර ගෙනයි. මෙවැනි වසල ක්‍රියාවලින් සැබවින්ම ආගමික සංහිඳියාවක් ඇතිවේද.

          ඇමරිකාව කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක වන විවිධ ක්‍රිස්තියානි මූලධර්මවාදී පිරිස් වල මූල්‍ය ආධාරයෙන් පසුගිය දශකයේ දී වේගයෙන්ම ලංකාව පුරා යාඥා මධ්‍යස්තාවන ඉඳි විය. විවිධ ආධාර උපකාර දෙමින් ඇතැම් විට රෝග සුව කරන මුවාවෙන් බෞද්ධයන් පමණක් නොව දෙමළ හින්දූන් ද ක්‍රිස්තියානි නිකායන් වලට බඳවා ගන්නා ලදහ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලන සමයේ දී මේ වැඩ පිලිවෙල සීඝ්‍රෙයන් රටපුරාම ව්‍යාප්ත විය. සියයට සියයක්ම බෞද්ධ පිරිස් ජීවත්වන ගම්මාන වලට මෙන්ම ඇතැම් විට වැදි ජනතාව ජීවත් වන ගම්මාන වලටද ගිය මේ මූලධර්මවාදීන් නිසා ජන සමාජයේ විවිධ කැළඹීම් නිර්මාණය විය. රජයෙන් අවශ්‍ය යුක්තිය සිදු නොවන බැවින් කුපිත වූ පිරිස් මේ යාඥා මඩු විනාශ කළහ. ගරුතර සෝම ස්වාමීන් වහන්සේ අපවත් කරන ලද්දේ මෙලෙස බිහි කරන ලද ආගමික මූලධර්මවාදීන් ගේ කුමන්ත්‍රණයකිනි. බලහත්කාරයෙන් අන්‍යාගම්වලට හරවා ගැනීම නෛතිකව තහනම් කරන ලෙසට ගෙනා පණත් කෙටුම්පත පාර්ලිමේතවේදී පරාජයට පත් කරන ලද්දේ එය සාකච්ඡාවටද නොගනිමිනි. වර්තමාන ජනාධිපතිවරයා මෙම පණත් කෙටුම්පතට කිසිසේත්ම අනුග්‍රහයක් නොදැක්වීය. මේ නිසා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් සමග ජන සමාජයේ ඇතිවූ ගැටුම වුවමනාවෙන්ම ඇති කරන ලද්දක් ලෙසට පෙන්වා දිය හැකිය. එය පාලනය කිරීමට රජයට අවශ්‍යතාවයක් නොමැති බැවින් සංහිඳියාව නැති කිරීමට මුල් වූයේ කවුරුන්දැයි වටහා ගත හැකිය. දැන් මන්නාරමේ රදගුරුවරයා ගේ කේලම් නිසා රජයට එය පාරාවළල්ලක් වී ඇත.

         මෙරට ඉස්මතුව සිටින මුස්ලිම් දේශපාලනඥයන් නිසාවෙන්ද විශාල ප්‍රශ්ණයක් රටතුළ උද්ගතව ඇත. ඔවුහු තමන්ට පමණක් ආවේණික නෛතික බලයක් ගොඩ නගා ගන්නට උත්සාහ දරති. රටක නීතිය අභිබවා ඒසේ කළ විට අනෙකුත් ජන කොටස් සමග ගැටුම් ඇති වීම ස්වභාවිකය.හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වූ ආතාවුද සෙනෙවිරත්න මහතා විසින් රජයේ මුදුල් දශලක්ෂ තිස්අටක් වියදම් කොට  මුස්ලිම් නඩු ශාලා නොහොත් කාති උසාවි පිහිටුවීමට පියවර ගැනීම නිසා මුස්ලිම් ජනතාව සිතන්නේ තමන්ගේ නීතියට ඉහළින් කිසිවෙකුටත් යා නොහැකි බවයි. මේ තත්ත්වය තුළ දිනෙන් දින ක්‍රමක්‍රමයෙන් ඔවුහු මුස්ලිම් නීතය නොහොත් ශරියා නීතිය බලාත්මක කර ගැනීමට උත්සාහ ගනිමින් සිටී. ශරියා නීතිය ඉගැන්වීමට හා සංස්ථාගත කිරීමේ අදහසින් රිල්වා නියියාහ් විදුහල හා අබු හුරෛරාහ් විදුහල නමින් ආයතන දෙකක් පිහිටුවා තිබේ.එය සංස්ථාගත කළ ආකාරය 2013 අප්‍රියෙල් 19 ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙය පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිගත කර ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. තවුපීක් විසිනි.

     මුස්ලිම් ශරියා නීතියේ මූලධර්මය නම් මුස්ලිම් නොවන අය ක්‍රමානුකූලව මර්ධනය කිරීමට පියවරෙන් පියවර ඉදිරියට යාමයි.අධිකරණ අමාත්‍ය වරම ලබාගත් රවුප්හකීම් තම බලය යොදා ගනිමින් ඉටු කරමින් සිටින්නේ එයයි. පසුගියදා හෙළි දරව් වූ හලාල්කරණය තුළ මේ අරමුණු ඉටු කරගන්නේ කෙලෙසකදැයි බලමු. ඔවුහු පළමුව හලාල් ප්‍රමිතිය ජනප්‍රිය කරවති. දෙවනුව හලාල් නොවන භාණ්ඩ කොන් කර ඒවාටද හලාල් වීමට බල කරති. මෙහි අරමුණ මුස්ලිම්වරුන්ගේ මුදල් අන්‍ය අයඅතට පත්වීම වැලැක්වීමයි. එසේම හලාල්කරණය තුළින් මුස්ලිම් අයට රැකියා අවලස්ථා බහුලව ලබා දිය හැකිය. දැනටමත් මුස්ලිම් දරුවන්ට ජාත්‍යන්තර පාසල් හරහා ඉංග්‍රීසි දැනුම ලබා දීමෙන් එම ගමනට අවතීර්ණ වෙමින් ඇත. හලාල්කරණය ශක්තිමත් වූ විට මුස්ලිම් නොවන ව්‍යාපාර වලට බලපෑම් කරමින් ඒවා මුස්ලිම් කිරීමට යත්න දැරීමත් එසේ නැතහොත් කොටස් අත්පත් කර ගැනීමත් කරනු ඇත.  එවිට අයිතිකරුවාද මුස්ලිම් වීමට උත්සාහ කරයි. අවසානයේ මේ ක්‍රියාදාමයට විරුද්ධ වන්නන්ට දැඩි දඩුවම් ලබා දීමට නීති සැකසීම. පිහිටුවා ඇති කාති උසාවි ඒ සඳහා යොදා ගැනෙනවා ඇත. නීති විද්‍යාලයේ වැඩි ඉඩකඩක් මුස්ලිම් සිසුන්ට ලබා දෙන්නේ මෙකී අනාගත අරමුණු උදෙසාය. අවසානයේ සිංහල බෞද්ධයාගේ බෙල්ල දංගෙඩියට යනු නිසැකය.

          සිංහල බෞද්ධයන් ද මස් අනුභව කිරීම පුරුද්දක් වශයෙන් කළද වැඩි පිරිසක් හරක් මස් අනුභව නොකරති. ගවයා රටේ ගොවි ජනතාවගේ මිතුරෙකි. සහාය වන්නෙකි. එමනිසා ගවයා ඝාතනය කිරීමට ඔවුහු විරුද්ධ වෙති. නමුත් ගව ඝාතාකගාර පවත්වාගෙන යාමටද ගම්වලට බලෙන් පැන හරක් හොරකම් කිරීමටද ඒවා උසාවි වලට ඉදිරිපත් වූ විට අල්ලස් මගින් නිදහස් කර ගැනීමටද මුස්ලිම් අයට හැකියාව තිබේ. ඒ අතර ගව ඝාතනය නීත්‍යානුකූල  බව  ඉගැන්වීමට ඔවුහු රජයෙන් අනුමතිය ලබා ගෙන ඇත. අට වසර ඉස්ලාම් පොත කියවන විට මේ බව පසක් වේ.එහි මෙසේ සඳහන් වේ.

උළ්හිය්යා සහ අකීකා වෙනුවෙන් සතුන් කැපිය යුත්තේ ඉස්ලාමීය ශරියා නීතිය අනුවයි.මෙය දබ්හ් යනුවෙන්පවසනු ලැබේ.දබ්හ් කරන පිලිවෙල මෙසේය.ජීවින් සියල්ල අල්ලාහ් ගේ මැවීම වේ.අල්ලාහ් සතුන් මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහාය. සතුන් දබ්හ් කිරීම එක්තරා දානමය ක්‍රියාවකි. සතුන් දබ්හ් කිරීමේ දී අප අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත ඉස්ලාමීය නීති රීති මගින් මනාව දක්වා ඇත.මේ ආකාරයට මුස්ලිම් දරුවන්ට කුඩා කාලයේ සිටම හරක් මස් අනුභව කිරීමට උගන්වති. බහුතර සිංහල බෞද්ධයන් පිරිසක් හා හින්දු භක්තිකයන් සිටින රටක මෙලෙස මූලධර්මවාදී ඉගැන්වීම් ප්‍රචලිත කළ විට ද අන් අයට නැති නීතිරීති අනුව කටයුතු කිරීමට පහසුකම් සැලසීම මගින්ද ඇතිවන ආගමික සංහිඳියාව කුමක්දැයි ආසියානු ප්‍රතිපත්ති හා පර්යේෂණ කේන්ද්‍රයේ වාර්තාවට ඇතුලත් වන්නේ නම් මැනවි.


         

Saturday, February 15, 2014

යාපනය වෙනුවෙන් හෙළන ඇමරිකන් කිඹුල් කඳුළු

                       
          
     ලංකාවේ ජනජීවිතයට ප්‍රබල තර්ජනයක්ව පැවති කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වසර පහකට ආසන්න කාලයක් දැන් ගතව තිබේ. රටේ සංවර්ධනයට අදාළව යටිතල පහසුකම් සැලසීම පිණිස පසුගිය පස්වසරක කාලය මිඩංගුකර ඇතැයි රජය පවසයි. අවතැන්  වූ දෙමළ ජනතාව පදිංචි කරවීමේ සිට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම දක්වා වූ සුවිශේෂී කාර්ය භාරයක් රජය විසින් ඉටුකර ඇකි බව කාගේත් පිළිගැනීමයි.මේ කටයුතු සිංහල ජනතාව උදෙසා නම් සිදු නොවුණද  ඒ පිළිබඳව ප්‍රශ්ණ කිරීමක් ජාත්‍යන්තරයෙන් සිදු නොවේ. එහෙත් උතුරේ ජනතාවගේ මානව හිමිකම් කඩවී ඇතැයි මන්නාරම් හා යාපනයේ රදගුරුවරුන් නගන හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනී තිබේ. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තරය පූර්ව නිගමන සහිතව ලංකා රජයට එරෙහිව  ක්‍රියාත්මක වීමයි. ලෝකයේ පැවති ත්‍රස්ත සංවිධානයක් මුලිනුපුටා දමා රටට සාමය ඇති කල වෙනත් රටක් මෑත යුගයේ දී ලෝකයේ දක්නට නැතිය. එවැනි තත්ත්වයක් තුළ ඇමරිකාව වැනි රටක් ලංකාවට එරෙහිව මානව හිමිකම් අවිය ඔසවා ගෙන සිටින්නේ ඇයි දැයි යන පැණය මතුවේ.
          ඇමරිකාව  ලංකාවට සමීප වන්නේ අද ඊයේ සිටක නොවේ. ඔවුහු 1813 වසරේ දී ගාල්ලෙන් ලංකාවට ගොඩ බැස මෙහි සිය මිෂනාරි ව්‍යාපාරය ආරම්භ කළ පිරිසකි. ඒ අවදියේ දී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවර තැන්පත් රොබට් බ්‍රවුන්රිග් මේ මිෂනාරි ව්‍යාපාරයට ඉඩ දීම ප්‍රතික්ෂේප කළහ. ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර එකල පැවති ඝට්ටනය මීට හේතුවයි. නමුත් ඇමරිකන් මිෂන් දූත පිරිස යාපනයේ තෙලිප්පළ පෙදෙසට විත් එහි ඉඳිවී තිබූ ඕලන්ද රැස්වීම ශාලාවේ නවාතැන් ගත්හ. තමන්ගේ මිෂනාරි ව්‍යාපාරයට යාපනය හොඳ පසුබිමක් යයි සිතූ සැමුවෙල් නිවෙල් පියතුමා යාපන වැසියන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කලේය. එසේම ඔවුන්ට පිහිට විය හැකි මගක් ඇත්කම් ඒ මග නිරන්තරයෙන් අත්හදා බැලීමද කලේය. ඒ අනුව 1816  සැප්තැම්බර් 07 දිනදී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි පාසල තෙලිප්පලේ දී යුනියන්කොලෙජ් නමින්  ආරම්භ කිරිමට ඔහුට හැකි විය. 1848  වන විට ඉංග්‍රීසි පාසල් 105 ක්ද දෙමළ පාසල් 16 ක් ද ආරම්භ කර දියත් කරලීමට මේ මිෂනාරි ව්‍යාපාරයට හැකි විය. 1824 වර්ෂය මේ මිෂනාරීන්ට වැදගත් පියවරක් ඉදිරියට තැබිමට හැකි විය. ඔවුහු ප්‍රථම බාලිකා පාසල වලිකාමම් ප්‍රදේශයේ උඩුවිල් නම් ගමෙහි ආරම්භ කිරීම මෙයට හේතුවයි.
          මිෂනාරි ව්‍යාපාරයක ප්‍රමුඛ අරමුණ වනුයේ ආගම් පැතිරවීමයි.ඒ සඳහා පාසල් තුළින් විශාල වැඩ කොටසක් කළ හැකි විය. කුල බේදය නිසා මුලු ගැන්වී සිටි යාපන ජනතාව පල්ලියට ඒකරාශි කොට භාෂාව ඉගැන්වීමත් ඒ අතර ආගම කියාදීමත්  සිදු විය. මේ කර්තව්‍යයට  ඕලන්දයන්විසින් දමන ලද ආගමික අත්තිවාරම ඉතා වැදගත් විය. එසේම වෛද්‍ය ආධාර ලබා දීමෙන්ද මෙලෙස ජනතාව තමන්ට ලන් කරගත හැකි වන  බව විශ්වාස කළ මේ මිෂනාරීහු 1820 වර්ෂයේ දී උතුරේ ප්‍රථම වෛද්‍ය කඳවුර පන්දිරුප්පු නම් ගම්මානයේ දී දියත් කළහ.1850 දී ඉංග්‍රීසි වෛද්‍ය ග්‍රන්ථයක් දෙමළ බසට පෙරලූ  සැමුවෙල් පික්ස් නම් දේවගැතිවරයා මනිපායිහිදී ග්‍රීන් මෙමොරියල්රෝහලද ආරම්භ කරන්නට කටයුතු කළේය. උසස් අධ්‍යාපනය මේ මිෂනාරීන්ට තහනම් කළද මේ වන විට ලංකාවේ පූර්ණ බලය බ්‍රිතාන්‍යයන් හිමි කර ගෙන තිබූ හෙයින් එයට බාධාවක් නොවීය. ඒ අනුව මනිපායිහදී බටහිර වෛද්‍යවරුන් පුහුණ කිරීමේ පාසලක් ආරම්භ කොට එයින් පළමු වරට සිසුන් හැටදෙනෙකු සේවයට පිටත් කොට හැරිය බවද සඳහන්ය.
        ඇමරිකන් මිෂනාරීන්ට අධ්‍යාපනය හෙද සේවය වැදගත් වූවා සේම ඒ පිළිබඳ ප්‍රචාරයද අතිශයින් වුවමනා විය. ඒ අනුව 1820 වර්ෂයේ දී මුද්‍රණාලයක් ආරම්භ කොට 1841 දී මෝනින් ස්ටාර් නමින් ඉංග්‍රීසි පුවත්පතක් ද නිකුත් කරලීමටද හැකි විය. එය ලංකාවේ ආරම්භ කළ දෙවනි පුවත් පතයි. ඉන්පසු එයට සමගාමීව උටයාතරකයි නමින් දෙමළ පුවත්පතක්ද මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීම අඩ සියවසක් තුළ ඔවුන් ලැබූ ජයග්‍රහණයන් අතර වෙයි.මේ ආකාරයට ( ABCFM)  නම් මිෂනාරි ව්‍යාපාරය යාපන අර්ධද්වීපයේ කරන ලද කටයුතු ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කරලීමට අතිශයින් වැදගත් කාරණයක් බවට පත් වෙයි. යාපනය වෙනමම ප්‍රදේශයක් බවත් එහි උරුමකරුවන් වන්නේ දෙමල ජනතාව බවත් සිංහලයන්ට එහි අයිතිවාසිකමක් නොමැති බවත් තහවුරු කරලීමට මේ පදනම ඉතා වැදගත් විය. ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ස්වාධීන වුවද මේ මිෂනාරි ව්‍යාපාරයන්ට නිදහසේ ක්‍රියාකිරිමට හැකි විය.එහෙත් 1915 වර්ෂය වන විටද උතුරේ ක්‍රිස්තියානි ජනගහනය සියයට එකකට වඩා වැඩි නොවීය. එහෙත් මන්නාරමේ තත්ත්වය එසේ නොවීය. එය සියයට පණහ ඉක්මවා තිබූ බව පෙනෙයි.
          1962 වර්ෂයේ පාසල් රජයට ගැනීමට ඇති කළ පණතින් බලාපොරොත්තු වූයේ මෙලෙස මිෂනාරි කරණයට ලක් වූ ජනතාව ගලවා ගෙන රජය මගින් නොමිලේ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කිරීමයි. නමුත් කතොලික පල්ලියේ අසීමිත බලපෑම් හමුවෙහි එවක පැවති ආණ්ඩු දියාරු ලෙසට ක්‍රියා කිරීම හේතු කොට ගෙන ඇතැම් කතෝලික පාසල් රජයට ගැනීමට නොහැකි විය. ඔවුහු නැවතත් තම තමන් සතු බල ආධිපත්‍ය රිසිසේ නැවත ගොඩ නගා ගත් බවට නිසැක වෙයි. කොටි ත්‍රස්තවාදය වැල්වැටිතුරෙන් ආරම්භ කරන ලද පසු මේ පල්ලි ඔවුන් ගේ තිප්පළවල් විය. පල්ලිය පෙන්වා රැකවරණය ගැනීම මීට හේතුවයි. මෙවැනි පල්ලි රාශියක් යාපන අර්ධද්වීපයේ පවතින අතර යුද්ධ කාලයේ දී ආරක්ෂක හමුදාවන්ට විරුද්ධව සිය කඳවුරු ක්‍රියාත්මක කිරීමට මේ ස්ථාන අතිශයින්ම වැදගත් විය. මේ කොටි කඳවුරු විනාශ කිරීමට ඇතැම් අවස්ථාවන්හිදී ආරක්ෂාක හමුදාවන්ට හැකි වූ අතර සිය ආගමික ස්ථාන වලට ගුවනින් බෝම්බ හෙළන්නේ යයි ලොවට ප්‍රකාශ කර සිටීමට කොටින්ට හැකි විය.
            1995 වර්ෂයේ දී ඇඩිලේඩියා විශ්ව වද්‍යලයේ දයා සෝමසුන්දර නැමැත්තෙකු ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා රජය මේ පල්ලි වලට බෝම්බ හෙළීමෙන් යුධ අපරාධ කර ඇති බවයි. මේ මතය තහවුරු කරලීමට 2004 වන විට අන්තර් ජාලය හරහා සංගණන පවා ඉදිරිපත් කළහ. ඒ අනුව ක්‍රිස්තියානි පල්ලි  299 කින් 93 ක්ම බෝම්බ හෙළිමෙන් සම්පූර්ණයෙන්ම විනාශ්‍යට පත් කර ඇති බව පෙන්වා දෙනු ලැබිණ. අනෙක්වා අර්ධ වශයෙන් හෝ සුලු වශයෙන් විනාශව ගොස් ඇති බවට සාක්ෂි ඉදිරිපත් කෙරුණි. 2009 වර්ෂයේ දී කොටි සමූලඝාතනය කිරීමෙන් පසු මේ මතය දිගින් දිගටම ශක්තිමත් වීමෙන් පසු  ජාත්‍යන්තරය තුළ වඩාත් තහවුරු විය.යුද්ධය ජයග්‍රහණය කොට එහි වාසිය දේශපාලනය සඳහා යොදා ගත් රජය ඉන් පසු කොටි සමග වූ මත වාදී යුද්ධයට මුහුණ දීමෙන් වැලකී සිටියේය. එහි ප්‍රතිඵලය වූයේ දෙමළ ඩයස් පෝරාව හරහා ජගත් තලයේ කොටි මකය තව තවත් ශක්තිමත් වීමයි.
    සිය  මිෂනාරි ව්‍යාපරයේ වැදගත් මධ්‍යස්ථානයක් ලෙස යාපනය සැලකීම ඇමරිකාවට කිසිසේත්ම අමතක කළ නොහැකිය. ඔවුහු ලංකාවේ ක්‍රිස්තියානි මූලධර්මවාදයට උඩගෙඩි දෙමින් දිගින් දිගටම ලංකාවේ එය ව්‍යප්ත කිරීමට කටයුතු කරති. ලංකාවේ දකුණේ එය සාර්ථක තලයකට නොපැමිණෙන්නේ සිංහල බෞද්ධයන් නිසාවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් යාපන අර්ධද්වීපය තුළ එය ශක්තිමත් කරලීමට වෙනත් බාධාවත් නොමැත. ඇත්තේ යුධ හමුදා බාධකය පමණකි.එසේම උතුරුපළාතට පළාත් සභා පූර්ණ බලතල හිමි කර දීම දෙමළ ස්වයංපාලනයකට ඉඩ සලසන බව ඔවුහු හොඳින්ම දනිති. එවිට සිය මූලධර්මවාදී කටයුත කරගෙන යාමට තිබෙන ශක්තිය තව තවත් වර්ධනය වේ. යුධ හමුදා කඳවුරු ඉවත් කිරීමටද පළාත් සභාවලට බලතල ලබා දීමට ද පියවර ගත යුතු බවට ඔවුන් දිගින් දිගටම රජයට බල කර සිටින්නේ මේ නිසයි. ජිනීවා වලදී මානව හිමි කම් දඬු අඬුවේ ගසා රජය මෙල්ල කොට කෙසේ හෝ මේ අදහස ස්ථීර කර ගැනීමට ඇමරිකාව වලි කති. බළලුන් ලවා කොස් ඇට බාවන ඉන්දියාව වරින්වර මෙයට පොහොර දමති.

        රජය මේ සම්බන්ධව කිසිම අවබෝධයක් ඇතිව කටයුතු කරන්නේ යයි මම නොසිතමි. තානාපති සේවාවල සිටින්නේ සිය හිතවතුන් හා ලංකාවේ ආරාජික දේශපාලකයන් වන බැවින් කොටි මතවාද වලට පිළිතුරු දීමට ඔවුන්ට නොහැකිය. ඇමරිකන් මිෂනාරි ව්‍යාපරයේ ඉතිහාසයට 2013 වසර වන විට වසර දෙසීයක් පිරී අවසන්ය. ඔවුන් කිසිසේත්ම යාපනය අතහැර දැමිමට සූදානම් නැත. යාපනය වෙනමම දෙමළ රටක් බවට තිබෙන තහවුරුව ජාත්‍යන්තරය තුළ දිය කර හැරීමට රජය කටයුතු නොකරන්නේ ඇමරිකන් මිෂනාරීන් හා ගනුදෙනු කරන පුද්ගලයන් රජය තුළ සිටින බැවිනි..එදා චන්ද්‍රිකා රජය යටතේ යුද්ධය ආපස්සට හැරවීමට ක්‍රියාකලේද මෙවැනි පාවා දෙන්නන්ය. අන්තර් ජාලය පිරික්සන විටදී මේ දෙමළ ජාතිවාදයේ භයානක ස්වරූපය හොඳාකාරව පැහැදිලි වේ. එය බිඳ හෙලීමට වඩා ජාම් බේරා ගැනීම වඩා වටනේයයි රජය සිතනවා විය හැකිය.
  

         


        

Sunday, January 26, 2014

රසගුණ කියා ලබාගෙන වස වූ කෘතිම රසකාරක


                                    


 

    ආහාර රසකරනය ලංකාවේ ජනතාවට නුහුරු දෙයක් නොවේ. තුනපහේ නොහොත් ලුනු ඇඹුල් හා පස්කුලු බඩු යොදා ගනිමින් කළ මේ රස කරනය නිසා ආහාරයේ සුවඳ මෙන්ම ගුණයද ආරක්ෂා විය. වැඩි වර්ධනය විය. එසේම ජීර්ණයට පහසු කරවිය.  රුචිකත්වය ඇති කිරීමටද විස නැසීමටද ප්‍රධාන වූ කහ මේ කුලු බඩු අතරින් ප්‍රධාන වී යයි කිය හැකිය. වසර දහස් ගණනාවක් තිස්සේ ආහාරයට කරන ලද මේ සාත්තුව නිසා සිංහලයන්ගේ නිරෝගීකම මැනවින් ආරක්ෂා වූහ. මෙයට පදනම් වූයේ ආයුර්වේද ශස්ත්‍රයයි. නමුත් යටත් විජිතකරණයෙන් පසුව ලංකාවට හඳුන්වාදෙනු ලැබූ විවිධ ආහාර වර්ගයන් රසකර ගැනිමට කෘතිම ලවණයන් යෙදීම ජනප්‍රිය වූයේ අසූව දශකයෙන් පමණ පසු බව කිව යුතුය. එයට හේතුව නවීන විද්‍යාවේ ආහාර තාක්ෂණය දියුණු වීමයි. ආහාර නරක් නොවී කල් තබා ගැනීමටද ආහාරයේ පෝෂණ සංගුණකයන් වැඩි වර්ධනය කිරීමටද රසය වැඩි කිරීමටද මේ කෘතිම රසකාරක යොදන බව නවීන් ආහාර තාක්ෂණ වේදීන් පවසයි.  ස්වභාවිකව හමුවන රසකාරක යොදනවාට වඩා කෘතිමව සකස් කර ගන්නා ලද රසකාරක වලට ජනතාව පුරුදු පුහුණු කරවීමෙන් වානිජ ව්‍යාපාර දියුණු කරලීමට හැකි බව ප්‍රබල සමාගම් තේරුම් ගත්හ. ඒ අනුව ඔවුහු රසායන ද්‍රව්‍ය කර්මාන්තය ව්‍යාප්ත කරලීමට මුදල් යෙදවූහ..

           වට්ටානා පරිප්පු හෝ කව්පී ඇතුලු අඩුවැඩිය යොදා සකස් කරන  වඩය දෙමළ මිනිසුන් ගේ රස කෑමකි. එහි අන්තර්ගතයට අද නොයෙකුත් දෑ එකතු කර තිබේ. ස්වභාවිකව ලැබෙන ලුණු වෙනුවට මොනෝ සෝඩියම් ග්ලූටමේට්( MSG) නම් ආහාර රසකාරකයක් මෙයට එකතු කරති. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දි අජිනොමොටෝ වෙයි. ජපානයේ දී 1909  දී කිකුනෙ අකිඩා විසින් නිර්මාණය කරන ලද මේ ලවණය පසුව 1917 දී සුසුකි සමාගමේ මහා පරිමාණ නිෂ්පාදනයක් වශයෙන් එළිදක්වන ලදී. දැන් රටවල් විශාල ප්‍රමාණයක ආහාර රසකාරකයක් ලෙසට මෙය භාවිතා කරමින් ඇත. ලංකාවේ ආහාර පාන වෙලෙඳසල්වලට මේ ලවණය දැන් නැතිවම බැරිව තිබේ. ව්‍යංජන රසකාරකයක් ලෙසට පැටිස් හෝ රෝල්ස් රසකාරකයක් ලෙසට බිස්කට් රසකාරකයක් ලෙසට මෙය විශාල පරිමාණයෙන් භාවිතා කරති.හන්දියේ කඩ මණ්ඩියේ තිබෙන වඩේ කරත්තයට මෙම ලවණය නැතිවම බැරිය. ඊට අමතරව පොල්කුඩු සහ පාන්පිටි ද වඩයට එකතුකරන්නේ රසය වැඩි කරලීමටයි. ඒ සමගම ලාභයට ලබා ගන්නා (ආර්.බී.ඩී.) තෙල් නොහොත් රසායන ද්‍රව්‍ය යොදා සුද්ද කරන ලද ෆාම්තෙල් මගින් මේ වඩය ගැඹුරු තෙලේ බැදෙන්නේ ය.

       අජිනොමොටෝ නිසා මොළයේ ස්නායු ආබාධයට පත් වන බව සොයා ගෙන ඇත. එයට හේතුව මෙම ලවණයට පදනම් වන ග්ලූටමික් අම්ලය මගින් මොළයේ මතකය සම්බන්ධ ස්නායු දැඩි ලෙසට උත්තේජනය කරන බැවිනි. මේ නිසා කාලයක් මේ ලවණයේ ආභාෂය ලබන්නා පාකින්සන් වැනි රෝග වලට නිතැතින් භාජනය වේ. ඊට අමතරව ස්නායු පද්ධතියේ අසමබරතාවය නිසා පිළිකා ශෛල වර්ධනය වීමද මේ මගින් සිදු වේ. සාමාන්‍ය යෙන් ලාංකික ජනතාවට ග්ලූටමික් අම්ලය ලැබෙන ප්‍රධාන ආහාරය වශයෙන් ගැනෙන්නේ බත්ය. වෙසෙසින්ම සිංහල සහල් වල මෙම ග්ලූටමික් අම්ලය අධික වශයෙන් අඩංගු වේ යයි කැලිෆෝනියා විශ්ව විද්‍යලයේ කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත.අපේ අම්මලා කුඩා දරුවන්ට සහල් නිවුඩ්ඩෙන් සෑදූ අග්ගලා කන්නට දුන්නේ මේ නිසාය. සහල් පිටිත් කොහොල්ලෑ හෝ කොස් ඇට පිටිත් එකතු කළ කල්හි වඩේ ලෑල්ලේ තිබෙන රසයට වඩා වැඩි රසයක් ලබා ගත හැකි වඩේ ගෙදරදීම සාදා ගතහැකි යයි බොහෝ අය නොදනිති.ගස්යට කොස්ඇට  වැටී නරක් වී යද්දී අජිනොමොටෝ වලට වහල් වන රටක සෞඛ්‍ය පිළිබඳව ක්‍රියා  මාර්ග ගැනීම ඉතාමත් අසීරුය. වර්තමානයේ බහුල ලෙසට පැතිර තිබෙන ඩෙංගු වෛරස වලට ශරීරය ඔරොත්තු නොදෙන්නේ මේ රසායනික ලවණයන් නිසා බවද පෙන්වා දිය යුතුය. වඩේ ලෑල්ලේ වෙළෙඳාමෙන් පවුලක් නඩත්තු කරන දුප්පත් කම නැතිකරගන්නා පිරිස අපමණ බව අප දනිමු. එහෙත් එය කළ යුත්තේ අප කාගේ කාගේත් සෞඛ්‍ය රැකෙන පරිද්දෙනි.

                  දුප්පතාගේ වෙසෙසින්ම නාගරික දුප්පතාගේ බඩගිනි නිවන පාන් ගෙඩිය හා වෙනත් බේකරි නිෂ්පාදනයන් නිසා ලංකාවේ ගොවියාට සෙතක් නැත. එහෙත් සහල් පරිභෝජනය වැඩි කරලිය හැක්කේ එකවර පාන් බනිස් පරිභෝජනය ඉවත් කිරීමෙන් නොවේ. සහල් ආශ්‍රිත නිෂ්පාදන බේකරි ක්‍රමයට ක්‍රමානුකූලව පරිවර්තනය කරලීමෙන් පමණක් මෙය කළ හැකිය. මීට වසර තිහකට පමණ එපිටදී බේකරි හිමියන් යොදා ගත් අමුද්‍රව්‍ය ඉතාමත් ස්වභාවික දෑ විය. මාගරින් ඊශ්ට් ආදිය පමණක් නොව තිරිඟු පිටිද යම් තරමකින් ස්වභාවික විය. බිස්කට් වලට ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වයද එලෙසම විය. එයට එක් හේතුවක් වූයේ නිෂ්පාදන සමාගම් අතර වැඩි තරඟයක් නොවීමයි. එදා දේශීය කර්මාන්ත වශයෙන් ඇරඹි මැලිබන් හා විලියම්ස් වැනි ආයතන මගින් ජනතාවට සරිලන යහපත් ආහාර සැපයීමට උත්සුක වූ හැටි අපට මතක් වෙයි. නමුත් වර්තමානය එලෙස නොවේ. තරඟකාරිත්වය නිසා එකිනෙකා පරයා තම නිෂ්පාදන වලට ඉහළ ඉල්ලුමක් ලබා ගැනීමට නොයෙකුත් රසායන වර්ග භාවිතා කරන්නට පටන් ගෙන ඇත.

        එහි එක් ද්‍රව්‍යයක් වන්නේ බිස්කට් ඇමෝනියා නොහොත් ඇමෝනියම් හයිඩ්‍රජන් කාබනේට් නම් රසායන ද්‍රව්‍යයි. මෙය බිස්කට් වලට පෙනුමක් ගෙන දෙන්නකි.කරකරස් ගා හැපෙන ගතිය ගෙන දෙන්නකි. මෙහි රසදිය ආසනික් ඊයම් වැනි ලෝහමය දව්‍යයන්ද සුලු ප්‍රමාණයෙන් අන්තර්ගත වන අතර බේකරි හිමියන් මෙන්ම මහා පරිමාණ නිෂ්පාදන සමාගම්ද මේවා යොදා ගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒවායේ ක්‍රියාකාරිත්වය නිසාවෙනි. එයට අමතරව රස ගැන්වීම පිණස භාවිතා කරන රස කාරක විශාල ප්‍රමාණයකි. මේවාද රසායනික ලවණයන්ය. ඇමෝනියම් ලවණ මෙන්ම මෙවැනි රසකාරකයන්ද වැඩිතරම ශරීරයට එක්කාසු වීමෙන් ආමාශයේ ක්‍රියාකාරිත්වය දුර්වල වන අතර ආහාර නොදිරවීමෙන් පටන් ගෙන අම්ල පිත්ත රෝගය හටගැනීම දක්වා එය වර්ධනයය වේ. එයට අමතරව ශරීරයේ ප්‍රතිශක්තිය හින වීම මගින්  බැහැරින් එන රෝගාබාධ වලට නිරන්තරයෙන් ශරීරය ගොදුරු වනවා නියතය.මාගරින් වර්ගද එසේමය. දැනට පාන් නිපදවීමට ගැනෙන මෙවැනි වර්ග සියල්ල ඌරු තෙල් සහ වෙනත් ඉවත්කරන තෙල් වර්ග වලින් සාදා ගන්නා අඩු මිළ ද්‍රව්‍යයන්ය. පාන්ගෙඩියේ පිපීම මෙන්ම අදෙන ගතියද එයින් ශක්තිමත් වෙයි. බටර් හෝ සැබෑ මාගරින් යොදා සාදන බේකරි නිෂ්පාදනයන්හි මිළ අධික බව කිව යුතු නොවේ.

        රසකාරක යෙදීමේ ප්‍රවණතාවය පසුගිය දශක දෙක තුළ දී විශාල වශයෙන් වැඩි වී ඇත. මෙයට තවත් හේතුවක්ව ඇත්තේ ලංකාවේ රාජ්‍ය ආයතන වන කාර්මික සංවර්ධන මණ්ඩලය හා කාර්මික තාක්ෂණ ආයතනයන්හි ආහාර විද්‍යඥයන් පවා මේවා අනුමත කිරීමයි.කෙසේ වෙතත් වර්තමානය වන විට කුඩා දරුවන්ගෙන් විශාල ප්‍රමාණයකට දියවැඩියා රෝගය ඇත.ක්ෂණික නූඩල්ස් වැනි ආහාර නිරන්තර පර්භෝජනය නිසා මේ අයගේ තරබාරුව වැඩිවී තිබේ. ඔවුන් ගෙන් වැඩි පිරිසක් ගණිතය අසමත් වන්නේමේ රසායන උත්තේජනයෙන් මොළයේ සියුම් ස්නායුන්ට සිදුවන ආබාධ හේතුවෙනි.මේ නිසා තර්කානුකූල බුද්ධිය දරුවන්ට අහිමි වී ගොසින්ය. රජරට වකුගඩු රෝගය පිළිබඳව සමාජයේ අවධානය යොමු වීමෙන් දැන් සෞඛය අංශ වලද ඇහැ ඇරී තිබේ. ඒ අනුව පසුගියදා  ඇලොයින් බර්බරරීන් බීටා- ඇසරෝන් සීනමයිල් ඇන්ත්‍රක්සිලේට් කේඩ් ඔයිල් කැලමස් ඔයිල් කොකේන් කුමරීන් ඩයිඑතිලීන් ග්ලයිකෝල් ඩයිඑතිලීන් ග්ලයිකෝල් මොනෝඊතයිල් ඊතර් එස්ට්‍රගෝල් ඉයුජිනයිල් මීතයිල් ඊතර් හයිපරිසීන් නයිට්‍රොබෙන්සීන් පයිරොලිජිනස් ඇසිඩ් සැප්රෝල් සැන්ටොනික් සාසප්‍රස් ඔයිල් තුජෝන් අයිසොතුජොන් ඇල්පා ඒ බීටා තුජෝන් ටොන්කා බීන් ආදී රසකාරක විස්සක් තහනම් කර තිබේ. නමුත් මොනෝසෝඩියම්ග්ලූටොමේට් හෙවත් අජිනෝමෝටෝ ඩයිසෝඩියම් 5 ග්වානිලේට් ඩයිසෝඩියම් 5 ඉනොසිනේට් යන ද්‍රව්‍යයන් තුන තහනම් කර නොමැත. මේ තීරණයන් ගන්නා අතරම යම් රසකාරකයක් ආනයනය කරන්නේ නම් ඒවායේ නිෂ්පාදන රටේ ආහාර සුරක්ෂිතතා සහතිකයක් අවශ්‍ය බවද දන්වා ඇත. මේ  නම් හොරාගේ අම්මාගෙන් පේන ඇහීමකි. මේ කෘතිම රසායනයන් කිසිසේත්ම මනුෂ්‍යයන්ට යෝග්‍ය නොවන බවට  දැනටමත් සමාජය තුළින්ම තහවුරු වී ඇත.වෙනත් සහතික අවශ්‍ය නැත.තහනම් කර ඇති ඩයිඑතිලීන් ග්ලයිකෝල් ආහාර බැඳුම් ද්‍රව්‍යයක් ලෙසය යොදා ගන්නා අතර ඒවා තීන්ත නිෂ්පාදනයටද කෝක් වර්ග නිෂ්පාදනයටද යොදා ගැනේ. මේවා නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදන හටගත හැකිය.තහනම් කර නොමැති අජිනෝමොටෝ නිසා ඇති වන සෞඛ්‍ය අනාරක්ෂිත බව දැනටමත් ඔප්පු වී තිබේ. ඒ නිසා මේ තහනම් කිරීම පිටිපස ඇත්තේ මේවා ගෙන්වන සමාගම් හා සමග ඇති කර ගත් එකඟතාවයන් බව සහතිකය.වසකෑම පිළබඳව සමාජය තුළ ඇතිවී ඇති ආතතිය සමහන් වූ පසු මේවා නැවතත් ගෙන්වීමට අවසර ලැබෙන බව නම් නිසැකය.

Tuesday, January 7, 2014

හුරුලු පළාතේ සංස්කෘතික සංහාරය


                                            


 

      ඓතිහාසික රජරට ශිෂ්ඨාචාරයේ හදවත වන්නේ නුවර කලාවියයි. නුවර වැව කලා වැව හා පදවිය මුල් කර ගත් මේ වාරි සභ්‍යත්වය තුළ හුරුලු වැවද ප්‍රධාන ජල මුලාශ්‍රයක් බවට පත් වේ. එයට හේතුව එය හබරණ කඳු වැටි ආශ්‍රිතව පටන් ගන්නා ප්‍රධාන වැව බවට පත් වීමයි. මේ නිසා එතැන් සිට පදවිය දක්වා වු කලාපය හුරුලු පළාත ලෙසට හැඳින්වෙන්නට විය. කල්පෙ කෝරළයය  මහ පොතාන කෝරළය හා උඩ්ඩියම්කුලම කෝරළය ආදී වශයෙන් වෙන් වූ සශ්‍රීකත්වයෙන් අග තැන්පත්  හුරුලු පළාත පාලනය කිරීමට අවසාන සිංහල රාජ්‍ය කාලයේ දී හුරුලු මුදියන්සේ නමින් තනතුරක් ද ඇති කර තිබුණි. එයට පත් වූයේ වන්නි වරයෙකු වූ ඉලංගසිංහ කුමාරසිංහ වන්නියාය. පොළොන්නරු අවදියෙන් පසුව සතුරු ආක්‍රමණ හමුවේ විවිධ පීඩනයන්ට ලක් වූ මේ ප්‍රදේශය ක්‍රමයෙන් ජන ශූන්‍ය භාවයට පත් වූයේ ඝන කැලෑ හා නටබුන් වු වැව් අතර පැතිර ගිය මැලේරියා වසංගතය නිසාවෙනි. මේ ප්‍රදේශයේ මැනීම් කටයුතු වලට පැමිණි සුදු නිළධාරියෙකු වූ ජේ.බී.එම්. රිඩුට් කියන පරිදි එක් දිනක් වත් එහි වාසය කළහොත් මැලේරියාවට ගොදුරු වීම නියත විය. මේ ප්‍රදේශය පාලනය කළ හුරුලු මුදියන්සේ  මෙන්ම උලගල රටේ මහත්තයාද පූලියද්දේ රටේ මහත්තයාද තමන්ට මනාප පරිදි උඩරටින් සෙනඟ ගෙනවිත් මෙහි පදිංචි කරවා ඇත.ඇතැම් ගම් වල පහතරට වෙළෙන්දන්ද විය.

             අනුරාධපුර යුගයේ දී පදවිය හා වාහල්කඩ මහා වැව් යුගලය තැනවෙන්නට ඇතැයි සිතිය හැකිය. නමුත් එයටත් වඩා ඈත යන ඉතිහසයකට මේ පෙදෙස අයත් ව බවට නිසැකය. එයට හේතු සාධක සපයන වැදගත්ම ලේඛන හමුවන්නේ ලෙන් ලිපි තුළිනි. හොරොව්පතානේ දියතිත්තවැව කන්දේ හමුවූ ලෙන් ලිපියක ඇත්තේ ශතරශ අඩි යනුවෙනි. සාතාගිරි යක්ෂයාගේ අණ යනුවෙන් එය අර්ථ දැක්විය හැකියයි ඇතැම් විද්වතුන් පවසති. එසේම ත්‍රිකුණාමලය හා කුදිරමලේ යාකරන දේශාංශක රේඛාවේ හමු වන රාමාකන්ද ද වැදගත් ස්ථානයකි. විශ්ව බලය ගැබ්ව ඇති එම ස්ථානය පිළිබඳ තවත් පර්යේෂණයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් ඓතිහාසික වැදගත් කම වඩාත් තහවුරු වන්නේ මහින්දාගමනයත් සමග ඇති වූ බෞද්ධ ප්‍රබෝධයෙනි. මහ රහතුන් වහන්සේලා වෙනුවෙන් කළ ලෙන් රාශියක් මෙහි ඇත. ඒවා හමුනොවන තැනක් නැති තරම්ය. එතරම් විශාල සංඛ්‍යාවක් ලෙන් ලිපි මෙහි හමු වන්නේ ඇයි දැයි ඇතැම් විට විමතියක් ඇති වේ. එහෙත් ලංකා ධරණීතලයේ පැවති සුවිශේෂත්වය ඊට හේතු වී යයි එක හෙලා පැවසිය යුතුය.

                 හුරුලු පළාතේ අපට හමුවන අනෙක් විශේෂත්වය නම් පවතින දිය උල්පත් සංඛ්‍යාවයි. වියළි කර්කෂක භාවයක් පෙන්වුවද යටින් ඇදෙන දිය උල්පත් නිසා මේ ප්‍රදේශයට ගෙනෙන වාසනාව සුලු පටු නොවේ. කැබතිගොල්ලෑව කලාපයේ පමණක් දිය උලපත් විසිතුනක් හමු වන්නේ යයි කියති. එයට අමතරව හුරුලු පළාතේ කුකුල් බැදි දිගිලිය වැනි උල්පත් ද දැක්විය හැකිය. මේවා මතු කරගෙන ඇත්තේ මහා සාගරයට යටින් පවතින විශාල මිරිදිය දියවැලකින් බව පැරණියන් පවසති. මේ සත්‍යය සොයා ගැනීමට මෑතකදී විද්‍යඥයන්ද සමත්ව ඇති බව කිව යුතුය.මේ උල්පත් නිසා කාන්තාර ලක්ෂන දක්වන් ස්ථානයන් පවා තෙත්බිම් බවට පත් කර ගත්තේයයි කියති.

         හුරුලු පළාතේ පවතින මෙම සමාජ සංස්කෘතික පැවැත්ම කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවතියේ උතුරු නැගෙනහිර යුද්ධය නිසාවෙනි. මේ ප්‍රදේශවල සිංහල ජනතාව ගම් පිටින් විනාශ වූ අවස්ථාවන්ද බොහෝය. එසේම අවතැන් වූ සංඛ්‍යාවද විශාලය. එහෙත් යුද්ධයෙන් පසුව ඇති වූ සාමකාමි වාතාවරණය නිසා ක්‍රමයෙන් සංවර්ධනය වන හුරුලු පළාතට බලවත්ම තර්ජනය එල්ල ව ඇත්තේ මුද්ලිම් අන්තවාදීන් ගෙනි. මුස්ලිම්වරු මේ පෙදෙසට පැමිණි ඇත්තේ දහනව වන සියවස මුල් භාගයේ දී වෙළදාම් පිණිසය. අකුරණ හා ත්‍රිකුණාමලය වැනි ඈත පළාත්වලින් පැමිණ හොරොව්පතාන වැනි මංසංදි වල කඩපිල් අටවාගෙන පැලපදියම් වූ මොවුන් නවසිය පහළවේ මුස්ලිම් කෝලාහල වලින් පසුව ජන ශූන්‍ය වූ ගම්මාන වල පදිංචි කරවීමට එවකට සිටි රටේ මහත්වරුන් කටයුතු කළහ. වෙසෙසින්ම හරක් පට්ටි රැක බලා ගැනිමට ඔවුන් යොදවා ඇති බව පෙනේ. ත්‍රිකුණාමල වරායට පැමිණෙන බ්‍රිතාන්‍ය නැව් වලට හරක් මස් සැපයීම්වල කොන්ත්‍රාත් ගෙන කටයුතු කළ ඇතැම් රටේ මහත්වරුන් මේ කාර්යයට යොදවා ගෙන ඇත්තේ මුස්ලිම් වරුය. හුරුලු පළාතේ කල්පෙ කෝරළයේ  මුක්කර වැව ආනඔලන්දාව  වීර සෝලේ වැනි ගම්මාන පැරණි සිංහල ගම්මාන වුවද ඒවා එකළ ජන ශූන්‍යව තිබූ හෙයින් මුස්ලිම් වරුනට නිදහසේ ඒවායේ ජීවත් වීමේ අයිතිය හිමි විය.

           මේ ප්‍රදේශයේ සිටින සිංහල ජනතාවද අල්පය. ඒවායේ වැඩි වර්ධනයක් සිදු වූයේ මීට අඩසියවසකට මෙපිටින්ය. මේ නිසා කැලෑවට වැසී ගිය වැව් අලුත් වැඩියා කරමින් ගම්මාන පුලුල් කරගැනීමේ කටයුතු සිදු වූයේ ඉතාමත් හෙමිනි. යුද්ධය නිසා මේ සංවර්ධනය තවත් අඩාල විය. වාහල්කඩ වැනි මහා ජලාශ ව්‍යාපාරයක් වුවද ආරම්භ වූයේ හැත්තෑව දශකයේ දී ය. එබැවින් සාම්ප්‍රදායික සිංහල ගම්මානයන්ට වඩා බලවත්ව නැගී සිටීමට මුස්ලිම් ජනතාවට හැකිවිය. ඔවුහු නැගෙනහිර හා අකුරණ මුස්ලිම් වරු සමග සහසම්බන්ධ වෙමින් හොරෙව්පතාන වැනි නගරයන්හි වෙළෙඳ බලය අත්පත් කර ගත්හ. සිංහලයන් සතු ඉකඩම් වල අනවසරයෙන් පදංචි වීමටද පටන් ගත්හ. මෙම පෙදෙස පාලනය කළ දේශපාලනඥයන්ද මේ පිරිසට කරන ලද උදව් හේතුවෙන් මේ නැගී සිටීම වඩාත් වේගවත් විය.

        යම් ජන කොටසක් සංවර්ධනය වීම හෝ ව්‍යාප්ත වීම සාමාන්‍ය කරුණක් වුවද මෙම මුස්ලිම් වරුන්ගේ ව්‍යාප්තිය සිදුවන්නේ සමාජයට හා සංස්කෘතියට හානිදායක වන අන්දමිනි. මෙම ප්‍රදේශය පුරා පැතිර පවතින පුරා වස්තු විනාශ කරමින් වෙසෙසින්ම නටබුන්වූ සෑම ස්ථූපයක්ද විනාශ කරමින් ඒවායේ නිදන් ගොඩ දැමීම ජයටම කර ඇත්තේ මේ මුස්ලිම් වරුන්ගේ මූලිකත්වයෙනි. මෙහි සෑම කඳුගැටයකම පුරාවස්තු නැති තැනක් නොමැත. ඒවායේ ගල් පුපුරුවා හැර සෙල් ලිපි හා බුදු පිළිම කඩා ආසන වලින් ඉවත් කර නිදන් සෙවීමේ ආශාවෙන් හැසිරුණු ඔවුහු අද වන විට කැලෑ එළි කරමින් ඉඩම් බලහත්කාරයෙන් තම් ග්‍රහණයට නතු කර ගැනීමේ ව්‍යාපාරයක නිරතව සිටී. මෙයට ප්‍රබල සාධකයක් මොටගෝනෑව වන රක්ෂිතයෙන් වාර්තා වේ. නෙලුගොල්ල හා මොටගෝනෑව අතර රක්ෂිතයේ කැලෑ කපමින් එහි වාඩි තනා ගැන්මද බහුලව දකින්නට හැකිය. කීප වාරයක්ම වන සංරක්ෂණ නිළධාරින්ගේ අත් අඩංගුවට පත් වූවද ඉවත් කිරීමේ නියෝග ලැබී නොමැති හෙයින් තවමත් මේපිරිස කැලෑ සංහාරයේ යෙදෙති.

        වීරසෝලේ ගමේ පදංචි මුස්ලිම් වරු තම ව්‍යාප්තියත් සමග සාම්ප්‍රදායික සිංහල ඉඩම් ආක්‍රමණය කරමින් සිටී. ඔවුහු කුංචිකුලම පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ ස්ථූපයක් මෑතකදි ඩෝසර කරන ලදහ. එහි සංඝාරාමය තිබූතැන සම්පූර්ණයෙන්ම ඩොසර් කොට අසල තිබූ පොකුණද වසා දමා ඉඩ ඉරිඟු සිටවූහ. එහෙත් ග්‍රාම නිළධාරින් මේ පිළිබඳව ඉහළට වාර්තා නොකළහ. මුස්ලම්වරු කැලෑ ඉඩම් අත්පත් කරගත්තද සිංහලයන්ට ඉඩම් හෙළි පෙහෙලි කිරීමද පුරාණ වැව් ප්‍රතිසංස්කරණය කොට අස්වැද්දීමද තහනම්ය. ප්‍රාදේශීය ලේකම් වරයාගේ වැඩි නැඹුරුව පවතින්නේ මුස්ලිම් වරුන් විසින් අත්පත් කරගත් ඉඩම් වලට ඔප්පු ලබා දීමටයි. මේ නිසා උපන් බිමේ අනාථයන් බවට පත් ව සිටින සිංහලයන් අනෙක් අතින් අලි ඇතුන්ගෙන්ද පීඩා ලබති. ඊට හේතුව කිසිම වග විභගයක් නොමැතිව මෙහි අටවා ඇති අලිගාල නිසාවෙනි. මෙහි සිටින අලි රංචුවල ගමන් මාර්ග නිරීක්ෂණය නොකර කරන ලද මේ ක්‍රියාවලියේ බරපතල ප්‍රතිවිපාක විඳින්නට සිදුව තිබෙන්නේ අහල පහළ පදිංචි සිංහලයින්ටයි.පරංගියාවාඩියේ ගම්මානයට කඩා වැදුණු අලි රංචු මෑතකදී එහි නිවෙස් කඩා දමා ඇති ආකාරය මෙයට උදාහරණයකි.

       අනුරාධපුර ත්‍රිකුණාමල මාර්ගය දැන් කාපට් කොට වැඩි දියුණු කිරීමට පටන් ගෙන ඇත. මේ සඳහා අවශ්‍ය ගල් ලබා ගැනීමට ද  කඳු කඩා පුපුරුවා දැමීමට පටන් ගෙන ඇත. මෑතකදී  යාන් ඔයට සමීප විශේෂ පුරා විද්‍යා රක්ෂිතයක් වන පන්වැව කන්ද එලෙස ගල් කොරියකට ලබා දෙන්නට පුරා විද්‍යා නිළධාරීන්ගේද අවසරය ලැබී තිබුණි. පසුව වන සංරක්ෂන නිළධාරීන්ගේ මැදිහත් වීම නිසා එම රක්ෂිතය බේරා ගැනීමට හැකිවිය. දැන් වීරසෝලේ රක්ෂිතයද එලෙස ගල් කොරියකට ලබා ගෙන විනාශ කරදමමින් ඇත. එය ලබා ගෙන විනාශ කරන්නේ මුස්ලිම් වරුන්ය.මේ පෙදෙසේ  පවතින දිය උල්පත්ද වර්තමානය වන විට වැඩි වැදගත්කමින් යුක්ත ව තිබේ. එයට හේතුව රජරට පුරා පැතිර පවතින වකුගඩු රෝගයයි. නමුත් මේ උල්පත් ආරක්ෂා කරනු වෙනුවට ඒවා පිහිටා තිබෙන රක්ෂිත හෙළි පෙහෙලි කිරීමටද ප්‍රදේශීය ලේකම් වරුන්ගෙන් අවසර ලැබේ. උදාහරණයක් වශයෙන් කැබිතිගොල්ලෑවේ කුංචුට්ටු උල්පත දැකවිය හැකිය . එයට යාබද ඉඩම බෙදා දීම නිසා දැන් ඩෝසර කරණයට ලක්ව ඇත.ලංකාවේ සමාජ සංස්කෘතිය බරපතල සෝදා පාලුවට ලක් කරන මෙම ක්‍රියා වැරදියයි වටහාගැනීමද බැරි තැන ඉහළ නිළධාරින්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ප්‍රශ්ණයක් පැණ නැගේ. එය අපගේ අධ්‍යපනයේ කඩැ වැටීම පෙන්නුමකරන කැඩපතක් වැනිය.