පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, July 17, 2013

බණ මඩුවේ වාස්තු විද්‍යාව

                                                    

            බුදුන් වහන්සේ රජ ගහ නුවර ගිජු කුලු පව්වේ වැඩ  වසන සමයෙහි කථා ප්‍රවෘත්ති ඇතුලත් මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාවට අනුව වජ්ජීන් ලිච්චවීන් ආදී ක්ෂත්‍රියන් ද නුවරුන්ද බුදුන් වහන්සේ බැහැ දුටු  අවස්ථාවන් හිදී ධර්ම ශ්‍රවණය ට තැන්පත් වූයේ කලෙසකදැයි පැණයක් නගී.  එහි සඳහන් කළ තවත් වැකියකින් කියවෙන්නේ අජාසත් රජතුමා ඇමති වරුන් සහ සුනීධ වස්සකාර දෙදෙනා බුදුන් වහන්සේට දානය පිලිගැන්වීම හා ධර්ම දේශනාවට සවන්දී  සිටිය ආකාරයයයි. බුදුන් වහන්සේ පිටව ගිය ද්වාරය ගෞතම ද්වාරය වශයෙන් නම් කළ බව මෙහි සඳහන් කර තිබේ.
         එදා බුදුන් වහන්සේ වැඩ හිඳ ධර්ම දේශනා කල මණ්ඩපය කෙසේ වී දැයි අපට නිශ්චිතව මවා ගත නොහැකි වුවුද දැනට  ගිජ්ජකූඨයේ සහ ජේතවනාරාමයේ ඇති නටබුන් පිරික්සන කල්හි එම ස්ථාන ගැන යම් කිසි අවබෝධයක් ලබා ගැනිම එතරම් අපහසු නැත. එහෙත් ස්ථානීය ලක්ෂණ කෙසේ වුවත් ගිහි පිරිස සහ සංඝයා වහන්සේ ලා උන්වහන්සේ වටේට තැන්පත්ව ධර්ම ශ්‍රවණය කළ බව කරන සඳහන කෙරෙහි අවධානය යොමු කළ යුතුය. සතර වටේ සියලු දිශාවන්හි සෙනග පිරී සිටියද එහි සිටි සැමට උන්වහන්සේ දර්ශනය වූයේ තමන් දෙසට හැරී දහම් දෙසන ආකාරයෙනි. බුදුන් වහන්සේ වැඩ සිටි කේන්ද්‍රස්ථානය දහම් මණ්ඩපය විය. ගිහි පිරිස සහ සංඝයා වහන්සේලා පමණක් නොව දෙවි දේවාතාවුන් වහන්සේලා ද උන් වහ්නසේ වටේට රැස්ව බුද්ධ දේශනාවට සවන් දුන් සැටි බෞද්ධ සාහිත්‍ය යේ දැක්වේ.
         ක්‍රි. පූ. තෙවන සියවසේ ලංකාවේ පිහිට වූ බුද්ධ ශාසනය භික්ෂු භික්ෂුනී උපාසක උපාසිකා යන සතර වැදෑරුම් පිරිස සඳහා විය. භික්ෂූන් වහ්නසේලා ග්‍රාම වාසි සහ ආරණ්‍ය වාසී වශයෙන් දෙකොටසකට බෙදීම ලංකාවේ අනන්‍ය තාවයක් යයි සිතිය හැකිය. ඒ අනුව රජුන්  ඇමති වරුන් මෙන්ම ගැමියන්ද භික්ෂුන් වහන්සේලාට සිවු පසයෙන් උපස්ථාන සැලසීම සඳහා විහාරස්ථාන ඉඳි කළහ. මෙම විහාරස්ථාන යන්හි වෙසෙසි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත ගොඩනැගිලි රැසක් විය. මිහිඳු මා හිමියන් ලංකාවට වැඩම කළ පසු උන්වහන්සේ ඇතුලු මහ රහතන් වහ්නසේලාද පසුකාලීන සංඝයා වහන්සේලාද වැඩ සිටි ස්ථාන දෙස පරීක්ෂා කාරීව බලන් කල්හි මෙකි ලක්ෂණ හඳුනා ගත හැකිය. උපොසථාගාර උප්පන්න ශාලා ධර්මශාලා ධර්ම මණ්ඩප සන්නිපාත ශාලා පධාන ඝර ආදියේ මෙකී වෙසෙසි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගැබ්වී ඇත.
     අනුරාධපුර බෞද්ධ සංස්කෘතිය මහා විහාර සම්ප්‍රදාය සහ අභය ගිරි සම්ප්‍රදාය වශයෙන් වෙන්ව විකාශනය  වූ ගති ගක්ෂණ වලින් සමන් විතය. මහායානිකයින්ගේ බල පෑම නිසා අභය ගිරි සම්ප්‍රදාය තුල විචිත්‍ර ලක්ෂණ දක්නට ලැබේ. මෙකී සම්ප්‍රදාය තුල විදේශීය ලක්ෂණ මෙන්ම ස්වදේශීය අනන්‍යතාවයන්ද ගැබ්ව ඇත. එහි දී ඒ ලක්ෂණ සියල්ල දේශිය කලා සම්ප්‍රදාය මගින් පෝෂණය කොට ගෙන සිංහල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ප්‍රකට කරවන නිර්මාණ ලෙසින් විකාශනය වී තිබේ.මෙකී ගොඩනැගිලි අතර සුවිශේෂී හැඳිනියාවක් ප්‍රකට කරවන ගොඩනැගිලක් ලෙසට ධර්මශාලාව හැඳින්විය හැකිය.හාර පන්සීයකට පහසුවෙන් වාඩිව සිටිය හැකි වන පරිද්දෙන් නිමවා ඇති මෙම ධර්ම ශාලා අනුරාධපුර සංස්කෘතිය තුල දක්නට හැකිය. ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ අංකුර රැගත් ක්ෂ්ත්‍රියන් ලංකාවේ ගම් දනව් වල ට විසිරි ගොස් එම ස්ථාන වල බුද්ධ ශාසනය තහවුරු වූ පසු එහි ද ධර්මශාලා ඉඳි විය. නමුත් අනුරාධපුරයේ මෙන් නොව ඒවා තාවකාලික බණ මඩු විය. ඇතැම් විට දුර බැහැර සිට වැඩම කර ගත් ස්වාමීන් වහන්සේ නමකට වැඩ සිටීමට පහසු වන අකාරයට ධර්මාසනය සකස් කර වා ඒ වටේට පෙති කඩ චිත්‍ර එල්වා ශ්‍රද්ධා භක්තිය ට මුල් තැන් දුන් අකාරය ද සිහිපත් කළ හැකිය.
            මහ රහතන් වහන්සේලා නැතිව ගිය කල්හි ලංකාවේ බුද්ධ ශාසකනය පිරිහීමට පත් විය. විදේශීය සතුරු ආක්‍රමණ නිසා උපසම්පදාව පවා නැති වුණි. නමුත් රජවරුන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා නැවත උපසම්පදාව ඇති කර බුදු සසුන් බබළවන්නට හැකි විය. අද අපට දක්නට ලැබෙන්නේ කෝට්ටේ හෝ මහනුවර යුගයන්හි ඉඳිකළ ධර්මශාලාවන්ය. ග්‍රාම වාසී භික්ෂූන් වහන්සේලා ගේ මූලිකත්වයට පැවරුණු විහාරස්ථානයේ පැවැත්ම සඳහා වාස්තු විද්‍යා ශාස්ත්‍රය උපයෝගී කර ගත් බව පෙනේ. මෙම ධර්ම ශාලාවන්හි ආකෘතිය දකින විට සිහිපත් වන්නේ එදා බුදුන් වහන්සේ වැඩ සිටිආකාරයත් සියලු දෙනාට උන්වහන්සේ දර්ශනය වූ ආකාරයත්ය. ඇතුලේ වාඩිව ධර්ම ශ්‍රවණය කිරීමේ පහසුව මෙන්ම පිටත සිට දහම් අසනු සඳහා ද ධර්ම ශාලාවන්හි ආකෘතිය වැදගත් විය. පොහෝ දින වල දී පිරී ඉතිරි යන සැදැහැවතුන් ධර්ම ශාලාවේ වාඩිවීමට පහසුකම් නොලද විට එහි අවට හාත්පස රැස්ව බණ අසති. ධර්ම කථිකයින් වහන්සේලා ගේ මුවින් පිටවන ශබ්දය මෙහිදී දෝංකාර නොවේ. ඉහළට ගමන් කර කොත් කැරැල්ලේ ඉහළම තැනින් අනන්ත අප්‍රමාණ විශ්වයට ගමන් කරයි.
     පොළොන්නරුව දඹදෙනිය කුරුණෑගල ගම්පල ආදී යුගවලදී ලැබූ විදේශීය ගාහ නිර්මාණ ශිල්පයන්ගේ අභාෂය සිහලයින් ප්‍රතික්ෂේපනොකළහ. ඇතැම් රටවල කලා නිර්මාණ ලක්ෂණ වල සේයාවන් අපේ ගොඩනැගිලි වලද නොමදව දක්නට ලැබේ. මහනුවර යුගය වන විට මේ අභාෂය බෙහෙවින්ම සංකීර්ණ වෙයි. හින්දු සංස්කෘතිය දැඩි ලෙස කළ බලපෑම හේතුවෙන් අපේ කලාකරුවෝ තම නිර්මාණ සම්ප්‍රදාය රැක ගැන්ම සඳහා දැඩි උත්සාහයක් දරා ඇති බව පැහැදිලිය.  අපේ ගම්වල අද දක්නට ලැබෙන ධර්මශාලා පිළිබඳ සම්ප්‍රදාය නුවර යුගයේ සිට විකසනය වූවකි. තුන්මහල් ආකාරයට තැනුණු මේ ගොඩනැගිල්ලේ හාත්පස විවෘතය. දහවලට හොඳ හැටි ආලෝකය ඇත. රෑට ශාලාවට රැස්ව දහම් අසන පිරිස සඳහා පහන් එළි දැල්වේ. ඔවුන් ආශ්වාශ ප්‍රාශ්වාශ කරන වාතය ඉහළම මාලය කරා ගමන් කර ඉන් පිට වේ. දෙවනි මාලයෙන් සහ හාත්පස කවුලු විවර වලින් පිරිසඳු වාතාශ්‍රය ශාලාවට ඇතුලු වේ. මෙම බණ මඩු වල සතර පේරුවේ දායක දායිකාවන්ට ඇතුලු වීමට දොරටු සතරක් තනවා ඇත. සතර වරම් දෙවියන් සතුටු කරවීම සහාද එම දොරටු සතරේ විවරය ප්‍රයෝජනවත් වෙයි. ධර්මශාලාවේ දිග පළළ එක සමාන නොවේ. ඇතැම් විට බැලූ බැල්මට එය එලෙස පෙණුනද වඩු රියන් දෙකකින් පමණ පළල වෙනස් කර තනා ඇත.
            ඇතුලු වන දොරටු සතර දිග හෝ පළල දිශාවන්හි හරි මැද ලක්ෂයේ තැබීම වාස්තු විද්‍යා විරෝධී වෙයි. එම නිසා අඩි එකහමාරකින් පමණ  දොරටුව මධ්‍ය ලක්ෂයෙන් මෑත්ව ඉඳි කරති. ධර්ම මණඩපයද මැද බ්‍රහ්ම පාදයේ ඉඳිකිරීමක් නැත.  නරක පාදවල දොරටු තැබීමෙන් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ගේ ආයුෂ කෙටි වන අතර දායකකාරකාදීන් ට පවා ලෙඩ දුක් ඇති වන  ව සඳහන්ය. එවැනි දෝෂ එක පිට එක සිදු කළ අවස්ථාවන්හිදී විහාරස්ථානය තුල තිබෙන ශාසනික පරිසරය අතුරුදහන් වන අතර මහණ උපසම්පදා වූ ස්වාමීන් වහන්සේලා ද සිවුරු හැර යාමට පටන් ගනී. පන්සල් භුමියේ උසම ස්ථානයේ විහාර මන්දිර දැගැබ් බෝමලු ආදී පූජනීය ස්ථාන ඉඳිකරනු ලැබේ. විහාර භූමියට ඇතුලු වන ස්ථානයට නුදුරින් උතුරට හෝ නැගෙනහිට මුහුණලා බණමඩු නොහොත් ධර්මශාලා ඉදිකරවනු ලැබේ. සංඝාවාස ධර්මශාලා ආදී ගොඩනැගිලි වල පියසි සකස් කරන විට එක් එක් ගොඩනැගිලි වලට විරුද්ධ නොවන පරිද්දෙන් එය සිදු කළ යුතු බව පැරණි වාස්තු විද්‍යාඥයින් පවසති.
      පසුගිය යටත් විජිත දමයේ දී ඇතිවූ යුරොපීය බලපෑම් අපේ විහාරස්ථානවලටද රිංගා ඇත. ඕලන්ද හැඩයේ කුලුණු මෙන්ම යාඥා මධ්‍යස්ථාන වැනි ධර්මශාලා ද ඒ අතර වෙති. මාලක තුනක ආකාරය වෙනුවට බින්දමක් සහිත  අගුව ඇති කළ කළ අට්ටවාල සහිත ධර්මශාලා ද  සංඝාවාස ද දක්නට ලැබේ. ඉංග්‍රීසි යුගයේ ඉඳිවුණු ශ්‍රවණාගාර වැනි ධර්මශාලා කිසි ලෙසකින්වත් බෞදධ හැදියාව නොපෙන්වන බව කිව යුතුය. එය තුල ශබ්දය දොංකාර නගන අතර අලෝකය හා වාතාශ්‍රය නැත. ශ්‍රාවකයාගේ අවධානය බිඳ වැටේ. ශබ්ද විකාශන භාවිතා කළ යුතු අතර නිතර ශබ්ද දූෂණය සිදු වේ. ගමට ගැමියන්ට බරක්  නොවූ පැරණි ධර්ම ශාලා පන්සලෙන් ඉවත්ව යද්දී එම වාස්තු නිර්මාණය ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ශාලාවන් සඳහා උපයෝගී කර ගන්නට උත්සාහ කරන්නේ යුරෝපීය රටවල්ය. ඔවුහු ඉතා සැලකිල්ලෙන් ශ්‍රාවකයා හා කථිකයා අතර ඇති විද්‍යත්මක සම්බන්ධය සමබර කිරිමට ගොඩනැගිලි තැනීමට උත්සාහ දරති.
                 

No comments:

Post a Comment