පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, November 28, 2016

තලගුණේ පෙහෙකරුවන්ගේ ලෝකය

                                         


                    විජය කුමරු සත්සීයයක් පිරිස සමග තම්මැන්නාවට ගොඩ බසින විට කපු කටිමින් සිටි කාන්තාව නමින් කුවණ්නා විය.  කපු කටිමින් නූල් සාදා ගනිමින් රෙදි වියාගන්නට සමත් කම් දැක්වූවා නම් කුවණ්නා ගේ පරපුරේ ඇත්තන්ගේ ශිෂ්ඨාචාරය කෙලෙසක වී දැයි අපට සිතා ගත හැකිය. කුවණ්නා ගේ පරපුරේ හෙළයන් අදටත් ජීවත්ව සිටීද. මේ මාගේ සිත තුළ නැගුන පැණයකි. මධ්‍යකාලීන සිංහල කලා යන නමින් අගනා ග්‍රන්ථයක් කළ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම පැණයට පිළිතුරක් සපයා ඇත. ඔහු ගේ ග්‍රන්ථයේ සිංහල පේෂකාරයන් ගැන සඳහනක් ඇත.  දකුණු ඉන්දියාවෙන් ලංකාවට සැපත් ද්‍රවිඩ පේෂකාරයන්ගෙන් මේ පිරිස වෙනස් බව ඔහු තව දුරටත් සඳහන් කර තිබේ. සැබවින්ම මොවුන් පිළිබඳ මට මහත් කුතුහලයක් දැනුණි. ඔවුන් ගේ වත්මන් ජීවන පිළිවෙත කෙසේ වීද.යන්න දැක බලා ගැනීම මාගේ ආශාව විය.
          සිංහල පෙහෙකරුවන් ගේ නිජ භූමිය කන්ද උඩරට උඩුදුම්බර තලගුණේ ගම්මානයයි. උඩුදුම්බරින් හැරී කි.මී. තුනක් පමණ පහළට මෝටර් රථ මාර්ගයක ගමන් කළ පසු මේ පෙහෙකරුවන් ගේ පාරම්පරික නිවාස හමු වෙයි. ඔවුන් සොයා එක් හිමිදිරි උදයක මගේ සංචාරය පිළියෙල විය. උඩුදුම්බර සිට කළුගලට බසයක් තිබෙන්නේ යැයි කියැවුණද බසය නොමැති වූයෙන් පරිසරය දැක බලා ගනු රිසියෙන් පයින්ම  මග තරණය කරන්නට ඉටා ගතිමි. උදෑසන පිනි තවත් වේලී නොමැත. උඩුදුම්බරට ආවේණික කුරු වනාන්තර පද්ධතිය පාර දෙපස රූස්සව නැගී සිටී. මේ වනය අතරින් පතර  හෙළි පෙහෙළි කොට තැනූ එළවුළු කොරටුය. තලගුණේ විහාරස්ථානයට හැරෙන කඩමණ්ඩියේ සිට මහ නියරක් දිගේ පියමං කළ විට මේ පෙහෙකරුවන්ගේ නිවාස හමු වෙයි. ආනන්ද කුමාරස්වාමි මහතා මෙම ස්ථානයට පැමිණෙන්නට ඇත්තේ එක්දහස්අටසිය ගණන් වල අවසාන භාගයේදීය.ඒ දැනට වසර සියයකට පමණ පෙරදීය. එදා ඒ නිවසේ සිටි පෙහෙකාර කාන්තාවක් විය. ඇය නමින් ටිකිරාති විය. ඇයගේ චායාරූපයක් මධ්‍ය කාලීන සිංහල කලා පොතේ පිටු අතර ඇත.කාලය වෙනස් වී ඇත. ටිකිරාති ගේ පරම්පරාවේ පිරිමි දරුවා රාජපක්ෂ පංචනාදයාලෑ යක්දෙස්සලාගේ ගෙදර සිල්පා නම් විය.ඔහු 1921 සිට 1941 දක්වාත් ඔහුගේ පුත් උක්කුවා 1972 දක්වාත් ඉන්පසු   යක්දෙස්සලාගේ ගෙදර රන්කිරා අසූව දශකය දක්වාත් මේ ශිල්පය රැගෙන විත් තිබේ.. මා දැන් පැමිණි සිටින්නේ රන්කිරා විසූ ඔහුගේ පාරම්පරික නිවසටයි. රන්කිරා මෙන්ම රන්කිරා ගේ පුත්‍රයා වූ පද්ම සිරි ද මීට කලකට ඉහත අප අතරින් සදහට සමු ගෙන ගොසින්ය. දැන් වත්මන් පරපුරේ පෙහෙකම් දක්ෂයා වශයෙන් සිටින්නේ අශෝක පද්ම සිරි මහතාය.
                    ආනන්ද කුමාරස්වාමි මහතා උඩරට කලා සංගමය ඇතිකොට මේ පාරම්පරික ශිල්පීන්ට වර්තමාන සමාජය විවෘත කොට දුන්නේය. ඉන්පසු දුම්බර පෙහෙකම් රටාවෙන් සැරසෙන්නට නිවෙස් අලංකාර කරන්නට කැමැත්තක් දක්වන විශාල මධ්‍යම පන්තික පිරිසක් බිහිවිය. නවසිය හැට ගණන් වලදී මේ අත්යන්ත්‍ර පෙහෙකම් ශිල්පය ගැමි කාන්තාවන්ට යලි උගන්වනු රිසියෙන් රජය මැදිහත්ව කටයුතු කල ආකාරය මෙහිදී මතකයට නැගේ. නමුත් විවෘත ආර්ථික සංකල්ප රට පුරා පැතිරීයන්නට වූයෙන් අත්කම්  පෙහෙකම් සියල්ල නැවතත් සමාජයෙන් මුලු ගැන්විණි. එහෙත් දුම්බර රටාවන් නම් තවමත් කොළඹ සමාජයට නැතිවම බැරිය. නවසිය අසූ ගණන් වලදී ෆෙයා ෆුට් අයතනය මගින් දුම්බර රෙදි පිළි වලට හොඳ වෙළෙද පළක් අත්පත් කර දුන්හ.රන්කිරා ගේ බෑනාවරයෙකු වූ තලගුණේ ඒ.කේ.ටී සෝමවංශ පෙහෙකම් ශිල්පියා අදටත් මේ වෙළෙඳ පළට රෙදි පිලි සපයයි.ඔහු ගේ කලා ලෝකය ගැන අද ඔහු පවසන්නේ මෙසේය.
        
ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්න කාලෙ ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයම තොරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්මානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.
           ටිකිරාති පරපුරේ රන්කිරා ඇත්තා ගේ මුණුබුරු අශෝක පද්මසිරි කියන්නේ මෙහෙම කතාවක්. කොළඹ කොම්පැණියකට අවශ්‍ය විදියට තමයි රෙදි පිළි වියල දෙන්නේ මේ දින වල සාරි ඕඩරයක් අරගෙන වැඩ කරනවා. සාරියත් හැට්ටයට අවශ්‍ය රෙද්දත් වියන්න දින දෙකහමාරක් විතර යනවා. අපේ මුත්ත වැඩ කල අලුව  දැන් වැඩ කරන්නෙ නැහැ. නමුත් රජයෙන් දුන්නු අළුත් පෙහෙකම් යන්ත්‍රවල පරණ විදයට රටා දාල හදන දුම්බර රෙදි පිළි වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.බිත්ති සැරසිලි දොර රෙදි මේ කොයිවත් ජනප්‍රියයි. මංගල සාරි වුණත් හදන්න පුළුවන්. මේ සාරි වියමනට අවශ්‍ය අසූවෙන් දෙකේ නූල් කිලෝවක් අපිට ගන්න සිද්ද වෙලා තියෙන්නේ එක්දහස් පන්සීයකට. සාරියක් වියල ගැනුම් කරුවන්ට දීල අත ඉතිරි වෙන්නෙ රුපියල් පන්සීයක් පමණයි. නමුත් මම විශ්වාස කරනව අපි එකතු වුණොත් අපේ පාරම්පරික කර්මාන්තය ලෝකයේ පිළිගත්ත ශිල්පයක් විදියට ඉදිරියට ගෙනයන්න හැකි වේ කියල.
          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මේ සටහන අවසන් කරමි.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.
මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ
රටින් ගෙනා වද විරුදු යන්තරේ - මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ
ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ

No comments:

Post a Comment