පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, July 22, 2018

ගම් පෙරළියෙන් තව පිම්මක් වැව් ඝාතනය ජනතාව අතට


                      

           මාර්ටින් වික්‍රමසිංහ මහතා ගම් පෙරළිය නව කතාව ලියන ලද්දේ විසිවන සියවස මුල් භාගයේ දකුණු පළාතේ ගමක සිදුවූ සමාජ පෙරළිය පාඨකයා වෙත සංනිවේදනය කිරීමටයි.ඔහු ඉන්පසු කලියුගය සහ යුගාන්තය රචනා කරමින් නව ලිබරල් ධනවාදී පෙලැන්තියක් විසින් ගමේ මෙන්ම නගරයේද බලය ලබා ගන්නා හැටි  විවරණය කරයි. මෙරට වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ගම් පෙරළිය ආරම්භ කිරීමට නිකවැරටිය ප්‍ර දේශයේ මඩත්තව වැවේ දී ප්‍රථම පස් පිඩැල්ල කපන ලද්දේය. එහි පැවති උත්සවයේ දී සිය කතාව පවත්වමින් ඔහු කියන්නට උත්සාහ කලේ කුමක්ද. මෙතෙක් කල් වැව් වල මඩ සහ වැලි ඉවත් කළ කොන්ත්‍රාත් කරුවන් අතට ගිය මුදල් ගමේ ගොවි සංවිධානයට ජනතාව අතට ලබා දෙන බවයි.
        මෙරට ජීවමානව පැවති වැව් තිස් දහසකට අධික බව පැරණියන් කියති. එයින් තවමත් පහලොස් දාහකට අධික සංඛ්‍යාවක් ජීවමානව ක්‍රියාත්මක වෙයි.වැවක මූලික අරමුණ කුඹුරට ජලය සැපයීම යන්නෙන් අර්ථ කථනයක් තිබුණද. එය ප්‍රථම අරමුණ නොවේ. වැවේ මූලික අරමුණ වනුයේ පොළවේ පවතින භූගත ජලය ඉහළට ඔසවා හාත්පස පරිසරය තෙත්ව තබා ගැනීමයි. අහස් වැව් මූකලන් වැව් වැනි  වැව් බඳවන ලද්දේ ජල සම්පත මැනවින් ලබා ගෙන භූගත උල්පත් ආරක්ෂා කරමින් වන සතුන්ටද ඉන් ප්‍රයෝජනයක් ලැබෙන පරිද්දෙනි. මහ වැව් නිර්මාණය කළ පසු එවාට දිවෙන අගාර පාරවල් හරස් කර කුළු වැව් බඳවන ලද්දේ මහ වැව් රොන් මඩ වලින් පිරී යෑම වළක්වාලීමටයි. එම කුළු වැව් පද්ධතියද වන සතුන්ට බෙහෙවින් ප්‍ර යෝජනවත් වූ බව පැවසිය යුතුය.වැව ආහාර ගබඩාවකි. වැව සමග තිබෙන ගම්ගොඩ ස්වයං පෝෂිතආර්ථකයකි.වැව අයිති ගමේ සංස්කෘතියටයි. එම නිසා වැව මවක් මෙන් රැක ගැනීමට වැව් භාර මුතුන් මිත්තන් ගේ අදිටන විය.
      නමුත් යටත් විජිත සමයේ ඉංග්‍රීසීන් ගේ මුල් වෑයම වූයේ වැවෙන් ගම ඈත් කොට රාජකාරිය තහනම් කොට ස්වයං පෝෂිත භාවය නැති කිරීමයි. වැව් දෙකඩ කොට ඒ උඩින් මහා මාර්ග ගමන් ගත්තේ ඓහෙයිනි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙරට පිහිට වූ පසු කුඩා වැව් සලකන ලද්දේ පොල් කටු වැව් විලසිනි.  කාර්යක්ෂමතාවයක් නැති කුඩා දිය කඩිති වැනි කුඩා වැව් තිබීමෙන් පලක් නෙවන බැව් කී වාර්මාර්ග අධයක්ෂ වරුන්ද එකල සිටියහ. මහවැලි ව්‍යාපාරය දියත් කළ පසු ග්‍රාමීය වැව් රාශියක් ඝාතනයට ලක් විය. මහවැලි එච්.කලාපයේ පමණක් වැව් හැත්තෑවකට අධික සංඛ්‍යාවක් ඩෝසර කොට උලුප්පන ලද්දේය. මින්නේරිය මහ වැවේ තිබූ කුලු වැව් පද්ධතිය විනාශ කර කොට ඉහත්තාවේ තේක්ක වගාව ප්‍රචලිත කරවීය. සමහරක් වැව් එහි අගය නොසලකා කුඹුරු අස්වැද්දුමට යොදවා ගැණුනි.අදටත් උතුර දිග තැනිතලා ප්‍ර දේශ වල තනිවුණු වැව් එල්ලංගා පද්ධති රාශියක් පවතී. ඒවා පෝෂණය කළ මහ වනය ඝාතනට ලක් වීමෙන් විශේෂයෙන්ම අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිවිපාක වශයෙන් ඉස්මතු වූ වල් නාශක සහිත හේන් ගොවිතැන නිසා මහා වනස්පති මෙන්ම කටු පඳුරු ළඳු කැලෑ පැවති පරිසරයම මුඩු බිම් බවට පත් වී තිබේ. විල්පත්තු වන විනාශයේ දී ඝාතනය වූ කුඩා වැව් සංඛ්‍යාව ගැන තවමත් ගණන් තබා නොමැත.
           වැවත් සමග ගැමි දිවියේ සාමූහිකතවය ප්‍රකට වූ බව පැරණියන් දනිති. ගම් සභාව හෝ වරිග සභාව රැස් වූ කල්හි වැව ගැන ගම ගැන තීරණ දෙන්නට ඔවුහු සමත් වූහ. වෙල් විදානේ විල්ලඹු ආතා නැකැත් රාළ ගමරාළ ආදී ගමේ වැඩිහිටියන් අතින් වැවත් කුඹුරත් හේනත් පරිසරයත් වන සතුන් ආදී අපා දෙපා සතුන් සමග තිබූ සහ ජීවනයත් ආරක්ෂා කර ගන්නා ලද්දේය. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පිහිටුවා ලීමෙන් පසුව මෙරට ගොවි සංවිධාන ඇති විය. ඒ හා සමගාමීව ගමේ ශ්‍රමදාන සංගම් ඇති වී ගමේ වැඩිහිටයන් අතින් ගමේ නායකත්වය ගිලිහිණ. ගමේ අමුණ ගමේ වැව ඇළ දොළ ප්‍රතිසංස්කරණයට කොන්ත්‍රාත් ගැනීම ඇරඹීණ. කොන්ත්‍රාත් ගැනීම යනු ගොවි සංවිධානයේ අරමුදල තර කර ගැනීමට කරන වැඩ කටයුත්තකි. ශ්‍රමදානය මගින් ගමට දේශපාලන පක්ෂ වල ආධිපත්‍ය කැන්දාන පැමිණියහ.වැව ඝාතනය ඇරඹුණේ එලෙසයි. නමුත් විසිවන සියවසේ අග භාගය පමණ වන තෙක් පැරණි වැඩිහිටයන් ගම් වල ජීවත්ව සිටි හෙයින් වැව් ඝාතනයට රිසි සේ අවසර නොලැබුණි.එදා වැව් වල රොන් මඩ ඉවත් කෙරුණේ කට්ටි කැපීමෙනි. මහා වැව් වලට රොන් මඩ පැමිණීම හැකිතාක් වළක්වනු ලැබිණ. ඒ සඳහා ඉස්වැටි පෝටා වැටි යොදා ගත්හ. නියන් කාල වලදී කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරගන්නා ලද අතර උලපත් ජලය බහුල එම පරිසරය පුරාන වාරි සම්ප්‍රදාය ආරක්ෂා කර ගත්හ.
       පස් ලෝඩර් සහ ඩොසර් ලංකාවට බහුල වශයෙන් ගෙන්වන ලද්දේ ඉතාමක් මෑතකදීය. මේ යන්ත්‍ර සූත්‍ර නිසා සංවර්ධනයේ විශාල විපිරියාසයක් සිදු විය. මහා කඳු පොළවට සමතලා වූ අතර වගුරු ගොඩ වුණි. තෙතමනය සිඳී ගිය අතර වැව් කපා දැමිණ. හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ගේ  සමයේ දී වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතියක් ඇරඹිණ. එහිදී වූ යේ වැව් වල රොන් මඩ ඉවත් කිරීමයි. මේ සඳහා යොදවා ගන්නා ලද මහ යන්ත්‍ර සූත්‍ර නිසා විශාල විනාශයක් සිදු වූ බව මගේ විශ්වාසයයි. ඉඳි කිරීම් ක්ෂේත්‍රය පුලුල් වී යෑමත් සමග වැලි සැපයීම මහා ජාවාරමක් බවට පත් විය. ගංගා ඇළ දොළ වල වැලි හිඟ වීමත් සමග වැව් තාවුලු වල වැලි කැපීම ඇරඹිණ. මේ වෑයමට මුල් කාලයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පරිසර අංශ වලින් විරෝධය පළ විණ. එහෙත් පසුව  මේ කටයුත්ත ඉතා වේගයෙන් සීඝ්‍රයෙන් ව්‍යාප්තව ගියේය. එහි උච්ච ප්‍රාපතිය යාන් ඔය වැලි නිධිය හෑරීමයි. යාන් ඔය පිටාර නිම්නය තුළ ගොවිතැන් කරමින් සිටි ජනතාව ඉන් පළවා හැරීම මුලින්ම සිදු වූ අතර ඔවුනට රිසි සේ වන්දි ගෙවීමක් පවා නොකළහ. අනතුරුව මේ වැලි කොන්ත්‍රාත්තුව දේශපාලකයන් ගේ ගජ මිතුරන් අතට හුවමාරු විය. විශේෂයෙන්ම යහ පාලන  ආණ්ඩුව බලයට පත් වූ පසු එවකට සිටි වාර්මාර්ග ඇමැති ගේ ගෝල බාලයන් මෙයට වහ වැටිණ.  අද එය මහා පරිමාන වැලි මංකොල්ල කෑමකි.
       ගොවිතැනත් බතත් සමග ගමත් වැවත් තවමත් හැල්මේ  ගමන් කරති.නව ලිබරල් ආර්ථික ප්‍රවණතා කුමක් තිබුණද ග්‍රාමීය ආර්ථිකය තමන්ට අවශ්‍ය පරිදි සංස්කෘතියට පරිසරයට ගැලපෙන පරිදි හැසිරවෙයි.හම්බන්තොට වරාය මත්තල තුවන් තොටුපළ ආදී ජාතික සම්පත් පිටරට විකිණෙන අවස්ථාවක ගමට හුදකලාව සිය අනන්‍යතාවය රැක ගෙන පැවතීම ලිබරල් ව්‍යවසායකත්වයට බාධාවකි.යහපලනයේ අධර්මිෂ්ට බව නිසාම රටට වැහි නැත. කන්න හයක් දැන් රජරට වැසි නැතිව ගොවිතැන් කර නෙමැත. කෘෂීරසායන යන්ත්‍ර සූත්‍ර ගමට ගෙනවුත් අලෙවි කරමින් ඇති කළ පෙරළිය. තව දුරටත් ඉදිරියට ගෙනියන්නට නම් ගම සහමුලින්ම විවෘත විය යුතුය. වැව ගැන ගම්ගොඩ ගැන ගැමියාගේ තීබූ පහන් හැඟම් මාතෘත්වය ඉවත් විය යුතුය. වැව් හාරා වැලි පැටවීම ගමට භාර දෙන්නට යහපාලනයට අවශ්‍ය තිබෙන්නේ මේ නිසයි. බිලියන අසූවක් ගම්මාන වලට මුදා හැරි පසු වැවත් ගමත් ඝාතනය වනු නියතය. මුදල් ඉදිරියේ  ගම කළඹවන්නට මෙන්ම ඒ මගින් චන්ද කුට්ටිය කඩා ගන්නටද දේශපාලකයන් දක්ෂය.එවිට.ගමේ ඇති කළ හැකි නවීන සංවර්ධනය ඉඳි කිරීම් ගැන කතා කරන්නට ප්‍රමුඛත්වය ගන්නට ගමට නොහැකිය. එයට මැදිහත් වීමට චීනා හෝ ඉන්දියන් දෙමළා ගම වදිනු නිසැකය. ඉක්ටා මෙන්ම සිංගප්පූර් වෙළෙඳ ගිවිසුම් වල තිබෙන භයානක සැලසුම් ගැමියන් ලවාම ක්‍රියාත්මක කරලීමට ඇරඹි ගම් පෙරළිය රනිල් වික්‍රමසිංහ  ගේ ගම් පෙරළිය බව අප තේරුම් ගත යුත්තේ එහෙයිනි.


1 comment: