පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, August 30, 2015

කවි කර තැබූ පාරම්පරික සිංහල දැනුම


                                               

 

                  රටක ඉතිහාසය ලියැවෙන විට පරම්පරාවන්හි පැවැත්ම හා විකාශනය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ.මහා වංශය චූල වංශය යනුවෙන් ලංකාවේ ඉතිහාසය ලියැවෙන්නේ එලෙසය. ක්ෂත්‍රිය රාජ පරම්පරාවක අඛණ්ඩ පැවැත්ම එයින් තහවුරුව ඇත.දම්වැලක පුරුක් ලෙසට පරම්පරාවන් පැවතීම මගින් රටක අනන්‍යතාව ශක්තිමත් වේ. සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු වෙමින් සමෘද්ධිමත් රාජ්‍යයක් බිහිවන්නේ එවිටයි. මේ සමෘද්ධිය ඉබේ ඇති වන්නක් නොවේ. ජාතියේ දැනුම් පද්ධතිය ඊට බෙහෙවින් ඉවහල් වන බව දැක්විය යුතුය. මේ දැනුම් පද්ධතිය පරම්පරා ගණනාවක සිට අඛණ්ඩව විකාශනය වෙමින් පැවතීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. රාජ්‍ය පාලනය සේවා සැපයීම වාරිමාර්ග කෘෂිකර්මය ආදී විවිධ ක්ෂේත්‍රයන් සතුව මෙම දැනුම සෙමින් වර්ධනය වූ ආකාරය ඉතිහාසය මගින් හෙළිදරව් කෙරේ. ලංකාවේ පැවති මෙම තත්ත්වය අන් ආසායාතික රටවලින් වෙනස් නොවේ. එහෙත් ලංකාවේ පරිසර පද්ධතියට ගැලපෙන ආකාරයට මේ දැනුම වර්ධනය වී තිබූ බව පෙන්වා දිය හැකිය. එසේම විදේශ සම්බන්ධතා මගින් පරම්පරා දනුම ඔපවත්ව ශක්තිමත් වූ ආකාරයද දැක්විය හැකිය.

        වර්තමානයේ අප භාවිතා කරන මිනුම් ක්‍රමයන් ජාත්‍යන්තර සම්මතයන් වෙති. අධිරාජ්‍ය මිනුම ඉක්මවා ගිය ස්වභාවයත් තිබුණද එම මිනුම් වල ද ස්වාධීන බව දක්නට නැත.එහි පවතින ඒකාකාරී බව විසින් අප වානිජ සම්බන්ධතාවන්ට පමණක් බැඳ තබා තිබේ. නමුත් අතීත ලංකාවේ මිනුම් ක්‍රමයන්ට ජගත් අභාෂය තිබුණද රටට අනන්‍ය වූ ලක්ෂණයන්ද තිබූ බව පෙන්වා දිය හැකිය. උදාහරණයක් වශයෙන් දුර මැනීම සඳහා භාවිතා කළ මිනුම බලන්න. එය සිංහලයන් අතර ව්‍යවහාරව පැවතියේ මිටි රියන වශයෙනි. මාර්ග වැව් පොකුණු ආදිය මැනීමට එය භාවිතා විය.නමුත් වාස්තු විද්‍යාවට භාවිතා වූයේ වඩු රියනයි. එය හතර රියන් පුරුෂයෙකු ගේ බාහුවේ සහ ඇඟිලි ප්‍රමාණයෙන් සකස් කර ගත්තක් විය. එලෙසම කෘෂිකාර්මිකඋපකරණ තැනීමේදී භාවිතා කොට ඇත්තේ පියවර නම් මිනුම් ක්‍රමයකි. මේ ක්‍රමය ඉන්දීය මිනුම් ක්‍රමයන්ට තරමක් වෙනස් වේ. දුර මැනීම සඳහා භාවිතා කළ මේ මිනුම් ක්‍රමය කවියෙන් ලියැවීම සිංහලයන්ට ආවේණික විය.

අබ ඇට දෙකක් නම් තල ඇට එකක් වේ - තල ඇට දෙකක් නම් මුන් ඇට එකක් වේ

මුන් ඇට දෙකක් නම් වියැට එකක්   වේ - වියැට දෙකක් නම් අඟලින් එකක්  වේ

අඟලින් දෙකක් නම් අඟුලින් එකක් වේ - අඟුලින් දෙකක් නම් විග්ගුහු එකක් වේ.

විග්ගුහු දෙකක් නම් වියතින් එකක් වේ - වියතින් දෙකක් නම්  රියනින් එකක් වේ.

රියනින් දෙකක් නම් අඩබින් එකක් වේ - අඩබින් දෙකක් නම් මහ බඹ එකක් වේ

මහ බඹ දෙකක් නම් අඩු දුනු එකක් වේ - අඩ දුනු දෙකක් නම් මහ දුනු එකක් වේ

       දුර මැනීම මෙන්ම බර මැනීමද සිංහලයන්ට අවශ්‍ය වූයේ ශක්තිමත් වෛද්‍ය ශස්ත්‍රයකින් ජන ජීවිතය ආරක්ෂා කල බැවිනි. ඉතාමත් මන බඳිනා සුළු ආකාරයෙන් මෙන්ම ශූර ලෙසටද කවි ලියැවුණේ සිංහල වෙදකමේ වට්ටොරු දැක්වීම පිණිසය. වෛද්‍ය ශිෂ්‍යාට වට්ටෝරු පාඩම් සිටීමට මේ  සිවු පදය බෙහෙවින්ම ඉවහල් විය. ඇතැම් විට වෙද වට්ටෝරුවක් සඟවා කීමට අවශ්‍ය නම් වෙදගැටයක් පැබැඳීමටද ජන කවියා පසුබට නොවීය.මෙහි දැක්වෙන්නේ කෂාය කිරීමට වර්තමානයේ වුවද භාවිත කරන මාන ක්‍රමය ගැන කවියෙන් ලියැවුණු පද කීපයකි.

තල ඇට තුනක් නම් අමු ඇට එකක් වේ -අමු ඇට තුනක් නම් වියටින් එකක් වේ

අට වියටක් නම් මදටින් එකක් වේ- විසි මදටක් නම් කළඳින් එකක් වේ

තුන් කළඳට හුනකැයි පවසන තවෙක-දෙහුනක් ආ කලට පලමක් වෙයි අබෙක

දෙ අඩ පලම නම් පලමින් එකක -දෙපලමකට පවසන්නේ කළුඳුලෙක

දෙකළුඳුලක් ආකල වන්නේ පතක -සතර පතක් නම් නැඩුබෙක් වෙයි එකක

සතර නැඩුබ ලාසෙන් වන්නේ එකෙක-ලාසෙන් හතර නම් වන්නේ ද්‍රෝණයක

කවියෙන් ලියැවීම කට වහරටට ආගන්තුක නොවේ. ලෙහෙසියෙන් මතක සිටින ලෙසට කවි පබැඳීමත් ගැයීමත් පැරණි සිංහලයන් හුරු පුරුදු කළ දෙයක් විය. කෘෂිකාර්මික දිවිපෙවෙතේ මේ පිළිවෙල බෙහෙවින්ම ලගන්නා සුළු වූ බව කිව යුතුය. හේන් ගොවිතැන සාමූහික මෙන්ම මහත් දුෂ්කර තත්ත්වයන් යටතේ කළ යුතු දෙයක් වූයෙන් ජන කවිය එයට හොඳින් ගැලපෙන්නක් වී තිබුණි. කටුසර භෝග මෙන්ම රෙදිපිළි විවීම සඳහා නූල් සකස්  කිරීමට භාවිතා කල කපු ගසද සිංහල ජන කවියාගේ ඇසට ලක් වූවක් විය. ඒ හෙයින් මේ කව් පන්තිය තුළ එහි සුන්දරත්වයත් දැනුමත් ගැබ්ව පැවතිණ.

මූකලන් කොටා කපු ඇට ඉසින්නේ - දෙපෙති වෙලා පැලපත ලොකුව   යන්නේ

සමසක් ගිය කලට මල් බොකල වන්නේ - වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ

කපු පුළුන් වල තිබෙන කපු ඇට වෙන් කර සුද්ද කරනු ලබන්නේ  කපු යන්තරයෙනි.මෙවැනි යන්ත්‍රයක් මහනුවර කෞතුකාගාරය සතුව ඇත.මේ කපු යන්තරය ගැනද ඔවුහු මෙලෙස කවී කීහ.

එරට තිබෙන්නේ වල් විරුදු යන්තරේ- මෙරට තිබෙන්නේ කපුකපන යන්තරේ

ගැරෙන්ඬියට මතුලට අහයිද මන්තරේ - දීපන් ළඳේ නුඹ කපු කපන  යන්තරේ

රොද්දක් ඇන්න නත් අටවා තියා ගෙන- පහනක් ඇන්න කඩතෙල් ලා තියා ගෙන

රෙද්දක් ඇන්න මොට්ටැක්කිලි ලා වසා ගෙන -ගසති පුළුන් රන් ලිය දොර වසා ගෙන

            කවිය සිවුපදයක් විලස සිංහල ජන ජීවිතයට සමීපවෙයි. කෙතේ කමතේ හේනේ පැලේ මෙන්ම මුළුතැන් ගේ වුවද සිවු පදයෙන් රසවත් වන ආකාරය ඇතැම් විට පුදුම එළවන සුළුය. කාෂිකාර්මික පැවැත්ම ඉදිරියට ගෙන යෑමට ජන කවිය කෙතරම් දායක වී ඇත්දැයි සෙවීමට නම් නෙළුම් කවි  කමත් කවි ආදිය පරිශීලනය කළ යුතුය. ගොයමට වැළඳෙන ලෙඩ රෝග ගැන කියවෙන මෙම කවි බලන්න.

අල කොළ රෝගයද ලෙඩක්-කොක්කනාව කියා      ලෙඩක්

උණපතයා තවත් ලෙඩක් -මේ ලෙස ලෙඩ බලා නොයෙක්

රෝග තැනෙනවාද බලා - කෙම් කරුවන්        සපයාලා

ඊට කරන කෙම අසලා -කෙම් කරවති             මීට බලා

පීදී කිරි වදින කලට - කර බුස්නා                 ලෙඩක් ඊට

කිරි කෙම කරවමින් ඊට - කරල් නැවෙයි කිව් එතකොට

ලෙඩ රෝග ගැන කියවෙන විටම ඊට පිලියම්ද පැවසීම පාරම්පරික දැනුම සංරක්ෂණය කිරීමේ ක්‍රම වේදයක් විය.සිංහල වී වර්ගයක් ගැන කියවෙන අවස්ථාවන්ද එමටය.

අකුරම්බඩ වියේ බත් රස දැන ගල්ලා- කුකුලම්පළ පිරිමි ගස් හැර නොබඳිල්ලා

විපරම් කරල කවි සීපද කියපල්ලා -කුකුලම්පළ පිරිමි බිරිඳට            වැඳපල්ලා

            ඒ සෑම අවස්ථාවකදීම ජන කවිය මගින් සිය දැනුම ප්‍රකට කරවන්නට සමත් වෙයි. බලන්න  වැලි තලප හැඳි ගෑම සම්බන්ධව ලියැවුණු සිංදුව.එහි හෙදකමත් වෙදකමත් දෙකම විය.මේ කව වැලි තලප සවුදම යන්වෙන් හඳුන්වා දී තිබෙන්නේ රසවත් ලෙසට ගායනා කිරීමට බෙර තාලයන්ද සම්බන්ධ කර ගත් නිසා විය යුතුය.

කැකුලු සහල් පිටියෙන්ද - වටකර ඕළු ඇට මෙන්ද - තම්බා කඩ පිම්මෙන්ද - සුරැකිව තබා යෙහෙන්

කිතුල් හකුරු පැණියෙන්ද -මදක් සීනි සමගින්ද - සැඳිගා කකාරමින්ද - ලණු වැටෙනා පදමින්

තිවග දෙදුරු සමගින්ද -එක එක පමණ යසින්ද -බැද සුන්කර ගනිමින්ද -එකතුව සෑම දෙයින්

බඳුනෙක ලාසතොසින්ද සමකර යස විලසින්ද -එදවස පසුව ගොසින්ද -ගනිමින් නැවත තොසින්

උදය උදය හැමදාම වළඳා උණු පැන් බීම - සිත සිත් වෙර පිනවාම - මියුරු දෙයකි සුවිපුල්

වැලි තලපය යන නාම - පැවසුව් පෙරදුරු සෑම-වා පිත් සමන කිරීම -කදිමට වේ නිරවුල්

       පුරාණ කාලයේ දී ලංකාවේ රාජ සභාවට සේවය කළ විශිෂ්ඨ ගණිතඥයන්  සිටි බව පැවසෙයි. ජයවර්ධන පුර කෝට්ටේ සමයේදී මෙන්ම සෙංකඩගල රාජ සමයේදීද මෙවැනි ගණිතඥයන්ගෙන් හිඟ නොවීය. තොටගමුවේ විජයබා පිවෙනේ ග්‍රහ ගණිතය ඉගැන්වූ බව ගිරා සංදේශයේ එන මේ පැදියෙන් හෙළි වේ.

සබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ- තබා පෙළින් පෙළ ඇද නිල් පලස මැද

බබා සෙද තැනින් තැන ගහ ගණන් බැද- පබා කර සිදත් සමහරු               ගණිති ඉඳ

ගණිත ප්‍රශ්ණ සිසුවන්ගේ මනස බැද පවතින ආකාරයෙන් දැක්වීමට සංස්කෘත ශ්ලෝක මෙන්ම සිංහල කවිය ද උපයෝගී කර ගෙන ඇත. චමත්කාරයෙන් පිරි එවැනි කවියක් කට පාඩම් වීම මගින් කිසිදා ගණිතය එපා නොකරවයි.

බැතින් රැසක් පියුමන් පුද යෙදුවයි- තුනින් එකක් මෙහෙසුරු වැඳ පිදුවයි

පසින් එකක් ගොවිඳුන් පද සැදුවයි -සයින් එකක් හිරුදෙවි පුද ලදුවයි

සුයින් එකක් ගිරි දුව හට කර පුද - ලදින් සයක් මල් ඉතුරුව එම සඳ

ලුරුන් නොඉක්මැ ම පද වැඳකෙළෙ පුද -ඉතින් කෙතෙක් මල් පළමු තිබුණෙද

         මෙය බුද්ධි ප්‍රශණයකි.ලීලාවතී ගණිතතිලක ගණිත සාර සංග්‍රහ ආදී සංස්කෘත ග්‍රන්ථයන්ගේ සාරය ගෙන සිංහල බසින් කවිකර ලිවීමෙන් බුද්ධි ප්‍රබෝධය ඇති වන බව පැරණියන් දැන සිටියහ. බුද්ධිමතුන් එලෙස කටයුතු කරන කල්හි ගැමියා සුන්දර කවි ලීලාවෙන් ගායනා විලාසයෙන් ගම් සිසාරා යන පරිදි අඬහැරය පායි. ඒ මහා හඬ පසුබිමේ තිබෙන්නේ මහාර්ඝ දැනුම් සම්භාරයෙකි.ගැමි ජීවිතය කෙමෙන් වියැකී යත්ම මේ ජනකවියත් අතුරුදහන් වෙයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙනා දැනුම් පද්ධතියත් අභවයට පත් වෙයි. ඇතැම් විට මෙලෙස විනාශයට පත් වීම අනුදත් අධ්‍යපන ක්‍රමවේදයක්ද පසුගිය අඩ සියවසක කාලය තුල ලංකාව පුරා ක්‍රියාත්මක වුණි. බටහිර දැනුම නොහොත් පරීක්ෂණ නිරීක්ෂන මගින් පෙනවන දැනුම පමණක් නිවරදි යැයි දරන මතයට සමාජයේ මනා පිළිගැනීමක් ඇතිව තිබෙන්නේ එලෙසිනි. එහෙත් සොබා දහමට නිරුතුරු සමීපව සිටි පුද්ගල සම්බන්ධතාවන් ලෙන්ගතුව ස්පර්ශ කළ ජනතාවකට සිංහල දැනුම නොමැතිව අනාගත අභියෝගයන්ට සාර්ථක ලෙසට මුහුණු දිය හැකි දැයි සැකයක් මතු වේ. ස්වාධීන ජාතියක් වන අප ඉදිරියේ එම ප්‍රශ්ණය තියුණු අභියෝගයක් විලස මතු වේ.

Saturday, August 15, 2015

සැබෑව වසන් කළ මහවැලි සංවර්ධනය


                                             


 

              බඩගින්දර මතුව එන විට දුක් ගින්දර දෙගුණ තෙගුණව දැනෙයි. බීමට පැන් පොදක් නොමැතිව වගාවට අහස් වැස්සක් නොමැතිව හූල්ලන මහ පොළවත් කේඩෑරි වූ මිනිස් සමූහයත් දකින්නෙකුට සිහිපත් වනුයේ 1818 වසරේ සිංහලයන් අත්විඳි ප්‍රතිවිපාකයයි. සිංහල ජාතියේ කොඳුනාරටියවන් ජල සම්පාදන ක්‍රම විනාශ කර දමමින් පවුල් පිටින් මහ මූකලාන් වල සැඟවූ කැරලි දෙකකට මුහුණ දුන් ජාතියක ජීව රුධිරය තවමත් කකියයි. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට තිස්නවයක් තෙත් කරනු වස් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරය විසින් මේ දුක් ගින්දර නිවා දැමුවේද. වසර තිහකින් නිම කිරීමට සැලසුම් කළ මහවැලියේ මහිමයෙන් වන්නිකරයේ වියළී ගිය ජිවිත සැපවත් කලේද යන වග අප විමසා බැලිය යුතුව ඇත. ලංකාවේ විශාලතම ගංගාව වන මහවලිය ඇරඹෙන්නේ හැටන් නගරයට ආසන්න කඳුකරයෙනි. සැතපුම් 42 ක් මග ගෙවා ගලන කොත්මලේ ඔයට මේ ගඟ වැටෙන ස්ථානය මහවිල්ල නමින් හදුන්වයි. මහවිල්ලේදී එකට එක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙයට මහවිල්ල ගඟ යනුවෙන් නමක් ඇති වන්නට ඇතැයි සිතිය හැකිය.

       පැරණි රජවරු මේ මහවැලි ගඟ ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරය කල්පනා කළහ. ඒ සඳහා හොඳම නිදසුන හමුවන්නේ මිණිපේ යකුන්දෑව නමැති ස්ථානයෙනි. හඳගනාවේ විසූ පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ද සහාය ඇතිව අමුණක් බැඳ මහවැලි ගඟ වක් වූ තැනක ස්වභාවිකව තිබූ ඇළක් ප්‍රයෝජනයට ගෙන මිණිපේ යෝධ ඇළ නිර්මාණය කරමින් අගමැදිල්ල අමුණ උඩින් අඹන් ගඟ දක්වා ජලය ගෙන ගිය විශ්මිත ජල කර්මාන්තයක් නිමවා තිබේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය දියත් කරලීමේ දී මෙම පැරණි ආදර්ශයන් උපයෝගී කොට ගත්තේද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතු ව ඇත.

             1965 -1968 වසර වල දී සකස් කරන ලද මහවැලි මහ සංවර්ධන සැලැස්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මැදිහත්වීමෙන් යෝජනා කරන ලද්දකි. වියළි කලාපය යයි සැළකෙන භූමි ප්‍රදේශයෙන් සියයට පණස් පහක් පමණ කලාපයක ජල සම්පාදනය කළ හැකි වන පරිදි යෝජනා කරන ලද ඉලක්කයන් අවස්ථා දහතුනකදී සම්පූර්ණ කළ යුතුව තිබුණි. සැබවින්ම යුරෝපීය ආර්ථික විද්වතුන්ට සහ ඉංජිනේරුවන්ට නම් මෙය මහා සංවර්ධන සැලැස්මක් විය. ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර විදේශවලින් ලැබෙන පරිදි සකස් කළ ව්‍යුහයක් ඉදිරිපත් කිරීම ඔවුන් ගේ වෑයම වී තිබුණි. ලෝකයේ පැරණි ගංගාධාර ශිෂ්ඨාචාර සියල්ල කාලයකදී අසාර්ථක විය. ස්වභාවික සම්පත් එලෙසම ප්‍රයෝජනයට ගැනීමේ විපාක නිසා ඇතැම් ජාතීන් වඳව ගියහ. ලංකාවේ ආර්ය ජනපද බිහිවීම තුළ අපට දක්නට ලැබෙන්නේද එම පැරණි ක්‍රියාවලියයි. නමුත් ඒ වන විටත් ලංකාවේ බොහෝ තැන්වල ඉඳි වූ ජල සම්පාදන ක්‍රම වලින් ස්වදේශිකයන් වූ අසුර ගෝත්‍රිකයන් වැඩ ගනිමින් සිටියහ. මේ ආදර්ශයෙන් මනා ලෙස ඵල ප්‍රයෝජන ගත් රජවරු උතුරු දිගතැනිතලාවේ සෑම තන්හිම වැව් ඇති කළහ. ඇතැම් තන්හි ගංගා ඇළ දොළ ප්‍රයෝජනයට ගනිමින්ද ඉඳිකළ වැව් මගින් සපයන ජලයෙන් ගෙවිතැන් කිරීම වඩා විද්‍යාත්මක විය.

         පැරණි යක්ෂ ගෝත්‍රිකයන් විසින් තැනවූ වැව් අතර කඳු වැව් ලදු වැව් මූකලාන් වැව් ආදිය ප්‍රධාන විය. කන්දේ මුදුනතේ තැනූ වැව කඳු වැවයි. ඉහළ ගමන් කරන තෙත බරිත වැහි වළාකුල් ජලය බා ගන්නට සමත්කඳු වැව් මගින් කන්දේ වන මූකලාන ජලයෙන් පෝෂණය කරන ලද්දෙය. වැවෙන් බේරී යන ජලයෙන් තෙත් වන දිය කදුරු වලින් පහළ නිම්නයේ ඇළ දොළද පෝෂණය කරන ලද්දේය. ලන්දේ නොහොත් ලඳු කැලෑවේ ඉඳි කරන ලද ලඳු වැව නිසා ගවයන් සහ වන සතුන්ට අවශ්‍ය ජල පහසුව උදා කෙරේ. ජලයෙන් පිරී ගිය  මේ විල්ලු වල සැරිසරන වන සතුන්ගේ ප්‍රයේජනය ලැබූයේ මිනිසා විසිනි. මූකලාන් නොහොත් මහ කැලයේ ඉදි කරනු ලැබූ මහ වැව මූකලාන් වැවයි. මිනිසාට පමණක් නොව වන සතුන්ටද මහ කැලය අවශය වෙයි. කන්දේ කැලය පෝණය කරමින් පහළ බසින ජලය මූකලාන් වැවේ සහ ලඳු වැවේ රඳවා වන සතුන්ද ගහකොළ ද රැක ගනිමින් මිනිස් ජීවිත ගතකිරීම පැරණියන්ගේ අගනා සිරිතක් විය. ඉන්දියාවෙන් පැමිණි ආර්ය ජනයා මේ අසුරයන්ට අමුත්තන් නොවූහ. දකුණු ඉන්දියාවේ වැඩි භූමි ප්‍රදේශයක් පැතිරී සිටි අසුර ගෝත්‍රකයන් ගේ සොබා දහම පිළිබඳ දැනුම ආර්ය ජනතාවටද ආගන්තුක නොවුණි. එම නිසා මලල ජනපද  බිහි වීමේදී පැරණි අසුරයන්ගේ වැව් ඉඳි කිරීමෙන් ආදර්ශය ලබා ගම් වැව් ඇති කර ගැනීමට උත්සාහ කිරීම තුළින් ඉතා මැනවි සුසංයෝගයක් ඇති විය.

        ගම් වැවේ ප්‍රධාන කාර්යය වූයේ වී ගොවිතැනට ජලය ලබා දීමයි. ඊට අමතරව වර්ෂයකට වැව් අක්කරයකින් ඕළු හාල් බුස්ල් 400 ක් ලැබූ බව පැරණියෝ කියති. කෙකටිය කෑර සේරල ඕළු නෙළුම් ආදී ජලජ පැලෑටි වලට නිවස්නය වූ ගම් වැව මිරිදිය මසුන් ගෙන් පිරී පැවතුණි. ඒ නිසා ගම් වැව විසින් ගැමියාට ලබා දෙන ලද්දේ වී වගාවට අවශ්‍ය ජලය පමණක් නොවේ. එය ආහාර ගබඩාවක් විය. එසේම වැව හිදෙන නිකිණි මාසයේදී වැව් පතුළ කළඹා මඩ සොරොව්වෙන් පිටකර හරින ලද පොහොර කන්දරාව මගින් තෙත් බිම්වලට ගෙනයන ලද්දේ ඉතා අගනා පොහොරකි. චන්ද්‍ර ගණයේ ගස් වලින් පෝෂිත ඉහළ වැව් තාවල්ල මගින් වැවට එක් කරන ලද මේ පොහොර නොමිලයේම කුඹුරුවලට ලබා දුන් සම්පතක් විය.මේ ආකාරයෙන් ලංකාවේ භූමි ප්‍රමානයෙන් සියයට පණස් පහක් නොව සමස්ත භූමි ප්‍රමාණයේම ඉඳි කරන ලද ගම්වැව් ප්‍රමාණය 35000 කට අධික විය. එවිට මුළ වියළි තැනිතලාව පමණක් නොව ඇතැම් විට තෙත් කලාපයද තෙත් කරමින් දිවයිනේ භූගත ජල මට්ටම ඉහළ නන්වන්නට සමත් වූ ගම් වැව තවතවත් පුළුල් කිරීමේ අදහසින් නිවුන් වැව් සහ මහ වැව් ඉදිකරන්නට රජවරු සමත් විය.එක සමාන්තර මට්ටමේ වැව් නිවුන් වැව් විය. ඒවායේ ජලය ගබඩා කරන ලද්දේ අසීරු අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නා ලෙසටයි. එසේම ගංගා හරස් කර ගෙනඑන ලද ජලය මහ වැව් වල සිර කළහ. කලාවැව පරාක්‍රම සමුද්‍රය ආදී මහා වැව් මගින් විශාල ඉඩම් ප්‍රමාණයක් අස්වද්දන්ට යෙදුණි. නමුත් එක ජලය බිඳකුදු වැඩට නොගෙන මුහුදට එක් නොවන වැව් පද්ධති ක්‍රමය එලෙසම ආරක්ෂා වුණි.

      වැව් පද්ධති වල අවසානය වූයේ බේරේ වැවයි. මුහුදින් ගලන කරදියෙන් ගොඩදිය ආරක්ෂා වන පරිද්දෙන්ද ගොඩපස් සෝදා යමින් ගලන ජලය එම පස් රැගෙන මුහුද කරා යාම වළක්වනු පිණිසද පැරණියෝ බේරේ වැව් ඉඳි කළහ. ජයවර්ධන පුරය සහ කොළඹ කුරුඳු වත්ත මැදින් ගලා යන ජලය ඔස්සේ දියවෙන මඩ කන්දරාව වළකාලනු සඳහා ස්වභාවිකව සකස් කරන ලද බේරේ වැව අදද දක්නට ලැබේ. 1818 වර්ෂයේ සිදු වූ උඩරට විමුක්ති අරගලය නිසා කුපිත වූ ඉංග්‍රීසීන් කැරැල්ලට නායකත්වය දුන් රදළයන් ඝාතනය කළහ. ඇතැම් රදළයන් පිටිවහල් කළහ. ගම් නායකයන් පවා විනාශ කළහ. නායකත්වයක් නොමැති ජනතාව වල්වැදුණි. ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තබන ලද්දේය. හරකාබාන විනාශ කොට ගවමස් කෑම ප්‍රචලිත කරන ලද්දේය. ගම් වැව් සියල්ල විනාශ කිරිමට අවශ්‍ය නොවූ නමුත් ගමට නායකත්වය සැපයූ රදළයන් විනාශකර දැමූ විට ජනතාව වල් වැදුණු විට ගම්වැව ඉබේටම වල් වැදුණි. ඒ වැව් කාලයකට පසු පිට්ටනි බවට පත් විය. ඉංග්‍රීසීන් විසින් මහ මාවත් ඉදි කරනු ලබන විට ගම් වැව් සහ නිවුන් වැව් විනාශ වන ලෙසට පාර ලකුණු කරන ලද්දේ වැව මැද්දෙනි. එවැනි දෙකඩවූ වැව් රාශියක් අදත් කුරුණෑගල පුත්තලම් පාරේ දක්නට හැකිය.

      කාලිංග මාඝගේ සහ චෝල අක්‍රමණ වලින් වැව් ශිෂ්ඨාචාරයට එල්ල කරන ලද පහරට වඩා ඉංග්‍රීසීන් විසින් එල්ල කරන ලද පහර දරුණු විය. වන්නිකරයේ පමණක් නොව සියලුම ගොවි බිම් හරහා කුසගින්නේ දුක් ගින්දර පැතිරයන්නේ ඉන් පසුවයි. පිට්ටනි බවට පත් වූ වැව් මිලට ගෙන ඒවා පොල් වතු බවට හරවා වැව් කලාපය පොල් ත්‍රිකෝණයක් කළ යුගයට පසුබිම් වූයේ පහත රටින් සංක්‍රමණය වූ අලුත පොහොසත් වූ සිංහලයන්ය. ධනවත් ඉංග්‍රීසි පෙලැන්තියේ පිහිට ලබා ගෙන ඔවුන් සිටි තැනට නැග ගන්නට ආසාවක් දැක්වූ මේ පිරිස විසින් ඇති කරන ලද පසු පරපුරද සේ විය. අද රට කරවන්නේද මේ පිරිසයි. ඔවුහු ඉංග්‍රීසීන් සමග එකතු වෙමින් රජරට ඇතැම් වැව් පිළිසකර කිරීමට එක් වූයේ ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරය පිලිබඳ දැනීමකින් නොවේ. ගල්ඔය ජනපද ව්‍යාපාරය දෙස බලන කල්හි ඩී.එස්. සේනානායකතුළ තිබූ උදාර අරමුණ අනෙක් පිරිස අතර නොතිබූ බව පැහැදිලිය.1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමල මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය. චෝල ආක්‍රමණ වලදී සිංහලයන්ගෙන් කොල්ලකන ලද උතුරු දිග තැනිතලාවේ ඉඩම් සංවර්ධනය කොට ගෙන සිංහල ජනතාව අභිබවා යෑමේ වුවමනාවක් මේ දෙමල ජාතිවාදීන් තුළ එදා පටන්ම තිබුණි. සමස්ත මහවැලි සංවර්ධන සැලැස්මේ ජේ. කේ. එල්.එම්. යන පළාත් සංවර්ධනය කරන්නට හැකි වූවා නම් තම නිජ භූමිය අහිමි වූ සිහලයන්ට පමණක් නොව දෙමල මුස්ලිම් ජනතාවට පවා සාධාරණයක් ඉටු වන්ට තිබුණි. නමුත් මහවැලි ව්‍යාපාරය මුලසිටම ක්‍රියාත්මක කරන ලද්දේ විදේශ අදිසි හස්තයන්ගේ වුවමනාව පිටය. මහවැලි මහ සංවර්ධන සැලැස්මේ සඳහන්ව තිබෙන පරිදි ප්‍රධාන ඇළ මාර්ග වලින් පමණක් සමස්ත ප්‍රදේශ වලට ජලය සැපයිය යුතුව තිබුණි. ඇතැම් ගම් බිම් මෙම ඇළ මාර්ගයන්හි ජල පිරවුම් ස්ථාන ලෙසට භාවිතා කළ යුතුව තිබුණි.එසේම අනෙකුත් සියළුම ගම්වැව් කපාදැමීම කළ යුතුව තිබුණි. ජනපදිකයන්ට ඉඩම් භාරදීමට පළමු සියලුම් වගා බිම් සුද්ද කළ යුතු අතර සමතලා කොට මට්ටම් කළ යුතුය.(all crop land will be cleared and leveled prior to hand over to the settlers ) මෙහි යෝජනා කරන ලද අනෙකුඒ ක්‍රියාකාරකම් අතර වෙසෙසි දෙයක් විය. ඒ නම් ගුරුත්ව බලයෙන් යුතු ජල සම්පාදනය වෙනුවට පිරිසෙයින් දියයෙදුම ( sprinkler Irigation ) ක්‍රමය යෝජනා කිරීමයි. මේ සඳහා විදේශීය ආයෝජන රැසක් යෙදිය යුතුව තිබෙන බැවින් තාවකාලිකව අත් හැරියද අනාගතයේදී එම ක්‍රමය සලකා බැලිය යුතු යයි නිර්දේශ කර තිබුණි.

       මේ ආකාරයට යෝජනා කරන ලද මහවැලි සැලැස්ම කිසිසේතම අතීතයෙන් ආදර්ශය ගෙන සකස් කරන ලද්දක් නොවීය. දේශීය අත්දැකීම් අතර යහපත් විද්‍යාත්මක පසුබිමක සංවර්ධනය වූ වැව් ඉදි කිරීම තුට්ටුවකට මායිම් නොකොට බොහෝ ගම් වැව් උළුප්පා දමන ලදී.වැව් සහ කුඹුර එක මට්ටමකට සමතලා කරමින් භූවිෂමතා සම කරමින් එහි අඩංගුව තිබූ කැලෑ මූකලාන්ද විනාශ කර දමන ලදී. ඒ ව්‍යාපෘතිය පිටිපස සිටි දැව හොරුන් සහ  කොන්ත්‍රාත්කරුවන්ට මහවැලිය අගනා ඉල්ලමක් විය. 1995 දී පමණ මා විසින් විමසුමට ලක් කරන ලද මහවැලි ප්‍රදේශ වලට අතරින් කණ්ඩලම ව්‍යාපාරය සඳහන් කළ යුතුය. උතුරු මැද පළාතේ කිරලව කෝරළයට අයත් දුනු මදලාඔය තුලානට අයත් මේ පුරාණ ප්‍රදේශයේ කුඹුරු අක්කර 7280 ක් පිහිටා තිබුණි. මහවැලි සංවර්ධන  ව්‍යාපාරය අනුව දකුණු ඉවුර  වශයෙන් බෙදා වෙන් කරන ලද කණ්ඩලම කලාපයේ අලුතින් ඉඩම් අක්කර 17000 ක් වෙන්වී තිබූ අතර ඉන් සියයට 15% ක් ගෙවතු වලටද 22% පළතුරු සහ පොල් වැවිල්ලටද 63% ක් හේන්වලටද වෙන්ව තිබුණි. ඒ ඉඩ කඩම් සියල්ල සමතලා කොට නව සංවර්ධන ව්‍යාපාරයට ඇතුලත් කරගන්නා ලද්දේ 1969 1981 ආදී වර්ෂවල ඉදිරිපත් කරන ලද ඉඩම් සංවර්ධන අණ පණත්වලට අනුව මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා නීතිගත කෙරුණු අණපණත් වලට අනුවයි. සැබවින්ම මේ ප්‍රදේශය පුරා ගම් වැව් 70 කට වැඩියෙන් පිහිටා තිබූ බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. බතලවත්ත බක්මීගහ උල්පත මඩාටුගම හැවැන්තැන්නේගම මුරුංගහිටි කන්ද උඩහිඟුර උඩකොරසගල්ල මහ ඇළ ගමුව ආදී සුන්දර ගම්මාන වලින් යුතු මේ පරිසරයේ ජීවත් වූ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන උරුමක්කාරයන් නිම්නයේ නිජභූමි අයිතිය පමණක් නොව සොබාදහම පිළිබඳ උරුමයද කියාපෑවේ පුරාණ සිරිතට අනුව ජීවත් වීමෙනි. කණ්ඩලම කොටසේ තිබූ වැව් හැත්තෑවෙන් මඩාටුගම සහ මහ ඇළගමුවට වැව්ඉතිරි කර ගත් අතර අනෙකුත් සියළුම වැව් උළුප්පා දමන ලද්දේ නව යටත් විජිත වාදී ව්‍යුහය අනුව ජනපද බිහිකරන්නට බව දැන් වටහා ගත හැකිය.

     අද මහ වැලි ගොවීහු සිය නව නිෂ්පාදන විකුණා ගත නොහැකිව උපවාස කරති. ඇතැම්හු වස පානය කරති.ඒ සිය කාසි වැවිලි වලට සරිලන මිලක් නොලබීමේ හේතුවෙනි. රජරට පුරා පැතිර පවතින් වකුගඩු රෝගය මහවැලි සංවර්ධනයේ අතුරු ප්‍රතිඵලයකි.ලොකු ලූනූ මිරිස් එළවුලූ ආදී ආර්ථික බෝග මගින් ගොවි ජනතාවගේ අතමිට සරු වූ බව ඇත්තකි. එහෙත් මේ ආර්ථික ඉදිරිගමනට දේශීය ජනතාව තල්ලු කරන ලද්දේ සිය නිජ භූමියේ අයිතිය විදේශිකයන්ට උගස් කරලීමෙනි. ගම් වැව් නිවුන් වැව් ආදී වැව් පද්ධති ක්‍රමය තුළ පැවති වරිග සම්මුතිය ආදී ජනතා බැදීම් ඉවත් කරලීමට සැලසුම් කිරීම මහවැලි සැලැස්මේ එක අරමුණක් විය. කෙත් ඇළ මගින් බෙදා හැරෙන ජලයෙන් තෙත් වන ඒකක බිමක් යුනිට් එකක් ලෙසට සැලකීම නවයටත් විජිතකරනය මූළධර්මයකි. පැරණි සමාජ සංවිධාන ක්‍රම සමතලා කොට ඒ මත්තෙහි නව ගොවි සමාගම් බිහිකිරීම මගින් විදේශ ආයෝජන වලට මහවැලියේ දොරටු විවර කරලීම දැන් සිදු වෙයි. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට අයත් බිත්තර වී ගොවිපළවල් බොහොමයක් බහුජාතික සමාගමකට විකුණා දමා අවසන්ය. මහවැලි කලාප තුළ සහ ඉන් පිටත ඇවිළෙන සමස්ත ගොවි අර්බුදය පුපුරා යමින් පවතී.

   ගම් වැව් මගින් සහ නිවුන් වැව් මගින් බිහිකරන ලද ආර්ථික පරිසරයත් වැව් පරිසරයත් මට්ටම් කරන ලද මහවැලිය විසින් තෙත් කරන ලද වපසරිය නැවතත් කළමනාකරණය කොට පුරාණ වැව්ගම් සංස්කෘතිය තුළ නව ආර්ථික පිවිසුමක් කළහොත් මේ විජාතික සැලසුම් පරාජය කළ හැකිය.ලංකාවේ ස්වදේශිකයන් වූ යක්ෂයන්ගේ පරිසර කළමනාකරණය යම් කරමකින් වටහා ගත් ආර්ය ජනතාව උදාර සිහල ආර්ථිකයක් බිහි කරලීමට පදනම සකස් කරගත්තේ යම් සේද අද අවශ්‍යව තිබෙන්නේ නව පිවිසීම් වලට ජාතිකත්වය ආරෝපණය කිරීමයි.

Saturday, July 25, 2015

යාන් ඔය සිංහලයන්ට සිය උරුමය අහිමි වෙයි


                                         

 

         උතුරු මැද පළාත නුවර කලාවිය යයි නම් කර තිබෙන්නේ මහා වාපී තුනක් මගින් සංවර්ධනය කරන බැවිනි. එයිනුත් පදවිය විශේෂ වෙයි. පෙර පදවිය නම් කර තිබුනේ මහා සාගරය යනුවෙනි. එපමණ විශාල ජල ස්කන්ධයක් එහි සිර කර වැඩ ගන්නට යෙදුණි. නමුත් පදවිය ප්‍රතිසංස්කරණයෙන් පසුව වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ අදහස නම් පදවියට ජලය හිඟ බවයි. ඒ වෙනුවට පුල්මුඩේ ප්‍රදේශයෙන් මුහුදට ගලා බසින යාන් ඔය හරස් කර මහා ජලාශයක් බැඳ පදවියට ජලය ගෙය යායුතු යයි ඔවුන් තීරණය කර ඇත. මේ තීරණය ගැනුණේ නවසිය හැත්තෑව දශකයේ දී මහ වැලි මහ සැලැස්ම සකස් කරන විටදීය. එම සැලැස්ම අදටත් වලංගු බව සැලකෙන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය අවදියේදී යාන් ජල ව්‍යාපෘතිය ආරම්භ කළ බැවිනි.

                  මෙම ජලාශ ව්‍යාපෘතිය නිසා  සමස්ත කෘෂිකාර්මික ඉඩම් අක්කර 5589 (හෙක්ටයාර් 2235.83) ක් විනාශ වේ. ඒ අතරින් කුඹූරු ඉඩම් අක්කර 4241.9 ක්   (හෙක්1696.76) ක් හේන් ඉඩම් අක්කර 372.25 (හෙක්ටයාර් 148.79 ) ක් ගෙවතු ඉඩම් අක්කර 975.7 (හෙක්ටයාර් 390.28) ක් විනාශයට පත් වේ. මේ කුඹුරු ඉඩම්වල වාර්ෂික වී නිෂ්පාදනය මෙට්රික් ටොන් 7671.46 කි. හේන් වල වගා කරන බඩ ඉරිඟු කව්පී මුං ඇට උඳු සහ කුරක්කන් පිළිවෙලින් මෙට්රික් ටොන් 253, 14, 09, 06, 27 කි.වාර්ෂික පොල් ගෙඩි448776 ක් ලබන ගස් ද විනාශයට පත් වේ.එසේම අඹ පළතුරු මෙට්රික් ටොන් 2778 ක්ද දෙහි මෙට්රික් ටොන් 14.67 ක්ද දොඩම් මෙට්රික් ටොන් 56746 ක් ද විනාශයට පත් වේ.වනාන්තර හෙක්ටයාර 1438ක් විනාශයට පත් වේ. මේ නිසා දේශීය වෙදකමට අවශ්‍ය වන ඖෂධීය ශාක වන කටුපිල කොරකහ සුදු වෙල්ලන්ගිරිය මූණමල් කුරටිය මයිල නිතුල්ල මාදන් රදලිය රතඹල යකිනාරන් ඇතුළු දේශීය ශාක විශේෂ 70 ක් පමණ වඳ වීමකට ලක් වේ. මෙම හානිය අවම කිරීමේ හැකියාව ද අල්ප වන අතර එම  අවේණික වනාන්තර නැවත ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකිය.බෞද්ධ පුරා වස්තු හැටහතරක් සමග වැව් විසි එකක් සම්පූර්ණයෙන්ම යටවන බැවින් එහි තිබෙන පරිසර පද්ධතිය හා සත්ත්ව විශේෂ ද විනාශයට පත් වේ.පාරම්පරික ගොවිතැන සහ ආහාර සුරක්ෂිතතාවය සඳහා එකිනෙකා සමග වූ බැඳීම් මෙහි සිටි ජනතාව අවතැන් වීමෙන් අභාවයට පත් වේ.

          යාන් ඔය නිම්නයේ පාරම්පරික ජනාවාස සුලු වෙන් තැකිය හැකි නොවේ. එයට හේතුව වසර දහස් ගණනාවක ඉතිහාසයේ ඔවුන්ට හිමි තැනයි. මහසෙන් මහා පරාක්‍රමබාහු වැනි රජ වරුන් විසින් මේ ගොවි ජනතාව වෙත කරන ලද ආයෝජනය නිසා පදවිය හා වාහල්කඩ වැව් මහා සාගර වැනිව  බිහි වූවා මෙන්ම ගොවි ජනතාවද අඛණ්ඩව සිය ඉඩම් අස්වද්දමින් ජාතික ආර්ථිකයට දායකත්වය සපයා ඇත. කාලිංග මාඝ ආදී ආක්‍රමණ හමුවේද  දිගුකාලීන කොටි ත්‍රස්තවාදය හමුවේ  ද මේ ගොවි ජනතාව නොසෙල්වී සිටියහ.වරින් වර අවතැන් වුවද කන්නයක් පාසා සිය ඉඩම් අස්වද්දමින් මේ ප්‍රදේශයේ සිංහල ජනාවාස ආරක්ෂා වූ බව කිව යුතුය. යන් ඔය ව්‍යාපෘතිය නිසා පවුල් 546 ක් අවතැන් වේ. මෙලෙස විතැන් වන්නේ මහා බෞද්ධ ශිෂ්ඨාචාරයක් බව ව්‍යාපෘති සැලසුම් කරන කිසිවෙකුටත් පෙනී ගොස් නැත. උතුර හා නැගෙනහිර ප්‍රදේශ වලින් සිංහලයන් එළවා දමන විට සිංහල ජනාවාසයන් ගෙන් ඉතිරි වූයේ මේ පෙදෙස් පමණකි. ඒ නිසාම කොටි ත්‍රස්වාදීන් නිරන්තරව මේ ගම්මාන විනාශ කරන්නට වලි කෑහ. නමුත් අප අතරින් වෙන්වී ගිය බ්‍රිගේඩියර් ජානක පෙරේරා වැනි රණවිරුවන් ගේ කැප වීම මත මුලතිව් දිස්ත්‍රක්කයට අයත් වැලිඔය ජානක පුර ආදී ගම්මාන යළි බිහි වය. යාන් ඔය නිම්නයේ සිංහල ජනාවාස පවතින්නට ශක්තියක් වූයේ යටකී නැවත පදිංචි කිරීම් බව අවිවාදයෙන් පිළිගත යුතුය.

        කොටි ත්‍රස්තයන්ටත් මුලිනුපුටා දැමිය නොහැකි මේ බෞද්ධ ශෂ්ඨාචාරය යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය නිසා විතැන් කිරීම දැරිය නොහැකි පාඩුවකි. අක්කර දහය පහළොව වශයෙන් කුඹුරු මේ ගොවීන් සතුය. ඒවා සඳහා සින්නක්කර ඔප්පු නොතිබුණද දීර්ඝකාලයක් ගොවිතැන්කිරීම නිසා මේ ඉඩම් සිංහලයන් සතු උරුමයන්  වට පත් වෙති. එහෙත් යාන්ඔය ජලාශ ව්‍යාපෘතිය නිසා අවතැන් වන ගොවි ජනතාවට ලැබෙන්නේ අක්කර එකහමාරක ඉඩම් කැබෙල්ලක් පමණකි. දැනට තිබෙන සින්නක්කර ඉඩම් සඳහා වන්දියක් ලැබෙන නමුත් ඔප්පු නැති කිසිම ඉඩමකට වන්දි ලබා දීම සිදු නොකෙරේ. මේ හේතුව නිසා ඉතා අසරණ භාවයට පත් වන්නේ යාන් ඔය සිංහලන් බව කිව යුතුකාරණයක් නොවේ . නමුත් බලධාරීන්ගේ වුවමනාවන් සැකසී ඇත්තේ අළුත අස්සද්දන ඉඩම් වලින් වැඩි කොටසක් කෙසෙල් හෝ උක් සමාගම් වෙත ලබා දීමයි. යාන් ඔය මූලික සැලසුමේ ද මේ අදහස් අඩංගු වේ. මේ නිසා බියට පත් ජනතාව පසුගිය 07 වන දින හොරොව්පතාන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරියේ රැස්වී සිය විරෝධය පළකළහ. මෙහිදී මේ අවස්ථාවට පැමිණි ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා පවසා සිට ඇත්තේ ලබා දෙන ඉඩම් සම්බන්ධ නිශ්චිතව යමක් කිව නොහැකි බවයි. නමුත් මේ වනවටිත් ඉතා වටිනා ගේ දොර ඉඩම් පවා කොන්ත්‍රාත් සමාගම විසින් ඉවත් කරමින් ඇත.එසේම හොරොව්පතාන වාහලකඩ දැනට තිබෙන මහා මාර්ගය වෙනුවට වාහල් කඩ කන්ද දෑලේ මාරිගය සෑදීමට කරන සැලසුම නිසා වහල්කඩ වැවද අනතුරට පත්ව ඇත. එබැවින් යාන් ඔය සිංහලයන්ගේ ඉරණම ඛේදනීය තත්ත්වකට පත් වී තිබේ.

            යාන් ඔය නිම්නයේ යෝජිත ජලාශය ප්‍රතිඵලදායක නොවන බව පරිසරවේදීන්ගේ මතයයි. පැරණි රජ වරුන් මේ ස්ථාන තෝරා නොගත් එක් කාරණයක් නම් ගංවතුරාවට එකතු වන සාරවත් රොන් මඩ ප්‍රමාණයක් තැන්පත් වීමයි. එවැනි ප්‍රදේශයක් අස්වැදීමට යෙදීම ඇරුණු කොට වැවකට යට කිරීම අපරාධයක් බව ඔවුන් කල්පනා කරන්නට ඇත. ඒ නිසා යාන්ඔය නිම්නයට ඉහළින් වාහල්කඩ තනා මේ කුඹුරු අස්වද්දන ලද බව පැරණියන් ගේ මතයයි.එසේ නම් පැරණියන් ගත් මග නොගෙන වර්තමානයේ කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද. ඒ නම් යාන් ඔය ඉඩම් වලට අයිතිවාසිකම් කියන සිංහලයන්ට සිය උරුමය අහිමි කිරීමයි. යාන් ඔය සැලැස්මේ සඳහන් වන ආකාරයට පදවිය ප්‍රදේශයෙන් මේ අයට ඉඩම ලබා දිය නොහැකිය. දැනටමත් පදවිය ගොවීන්ගේ තෙවනි පරම්පරාවන්ට ඉඩකඩම් සීමා වෙමින් ඇත.එයට අමතරව යාන් ඔය දකුණු ඉවුරේ කජුවත්ත පෙදෙසද නැවත පදිංචි කිරීම් වලට යෝජිතය. එම ඉඩම් ස්වභාවයෙන්ම නිසරුය. යාන්ඔය පිටාර නිම්නයේ මෙන් සරුසාරවත් නැත. එවිට සිංහලයන්ගේ ආර්ථික ශක්තිය ක්‍රමයෙන් දුර්වල වනු නිසැකය.මෙමලිපියේ අඩංගු කර ඇති කාරණා බොහොමයක් ගැන තවමත් මේ ගොවීන් දැනුම්වත් නැත. එය සැබවින්ම ඛේදවාචකයෙකි. සිය උපන්බිමේදීම සිංහලයන් අසරණ කෙරෙන බවට වෙනත් සාක්ෂියක් අවශ්‍ය නැත.

 

 

 

Wednesday, June 24, 2015

සිංහල වඩමාරච්චිය සහ උතුරේ දෙමළකරණය


                             

                     යාපනය ඇතුළු උතුර සහ අලිමංකඩින් මෙපිට වන්නිය දෙමළ ප්‍රදේශ යන ඊනියා හඳුන්වාදීමෙන් කර තිබෙන්නේ ඊලාම්වාදය ශක්තිමත්  කොට නිජ භූමියක අයිතිය හිමිකර දීම පමණකි. නිජභූමි සංකල්පය පදනම්ව ඇරඹි රට බෙදීමේ ව්‍යාපාරය දකුණේ දේශපාලකයන් විසින් ද අද පිළිගනු ලබනහෙයින් බොහෝ දුරට සාර්ථක අඩියට පත්ව තිබේ. නමුත් දෙමළ ආක්‍රමණිකයන් විසින් උතුර අත්පත්කර ගෙන තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව උගතුන් අතර පවා සාර්ථක විමර්ශනයක් මේ වනතෙක්ම සිදුව නොමැත. ඉතිහාසය සැබවින්ම ග්‍රන්ථයන්ට සීමාව තිබේ. නොයෙකුත් අය තමන්ට අවශ්‍ය පරිදි ඒවායේ කොටස් ගෙන ඊලාම් මතවාදය ශක්තිමත් වන පරිදි ප්‍රබන්ධයන් ඇති කර තිබේ. ඇතැම් විට අන්තර්ජාලයේ සැරි සරන්නෙකුට පවා බොහෝවිට හමු වන්නේ මේ විකෘති කරන ලද ඉතිහාස පුවත් පමණකි. උතුරේ දේශපාලන බලය හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ලැබෙන අනුකම්පාව සියල්ල ලැබෙන්නේ මේ නිසයි.

        උතුරේ ද්‍රවිඩ රාජ්‍යයක් තිබුණේද යන්න අසූව දශකයේ පටන් ඉතිහාසඥයන් අතර සාකච්ඡාවට බදුන් වූ කාරණයකි. 1961 වර්ෂයේ දී මහාචාර්ය පරණවිතාන මහාතා ලියූ ඉංග්‍රීසි ලිපියක් පරිවර්තනය කොට  මහාචාර්ය අබය ආර්යසිංහ මහතා පළ කොට තිබූ උතුරුකරයේ  ආර්ය රාජ්‍යය නම් ග්‍රන්ථයේ යාපන රජ පෙළපත පිළබඳව ගැඹුරින් සාකච්ඡා කර ඇත. එසේම මහාචාර්ය විමල විජේසූරිය මහතා මේ සම්බන්ධව දිගින් දිගටම එකළ පුවත්පත වලට ලිපි සැපයූවෙකි. එහෙත් මේ මතවාද තුළින් දෙමල ඊලාම් සංකල්පය දේශපාලනික වශයෙන් පරාජය කිරීමට අසමත් වී තිබේ. කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කරන ලද නමුත් ඊලාම් මතවාදයෙන් අන්ධ වූ ජාත්‍යන්තර දේශපාලනයේ මනස් වෙනස් කරගැනීමට මෙරට රාජ්‍යතාන්ත්‍රිකයන් දිගින් දිගටම අසමත්ව තිබේ. මේ නිසා අද සිදුව ඇත්තේ නැවතත් උතුර සහ නැගෙනහිර ද දෙමළ ජනතාවට පමණක්ම අයත් භූමි ප්‍රදේශයක්ය යන සංකල්පයට සිර වී පාවා දීම් කිරීමට ඉදිරිපත් වීමයි. එම නිසා දෙමළකරණය ගැන නිවරදි තක්සේරුවක් අප සමාජයට ඇති කරලීමට ගැඹුරු සංවාදයක් අදවන විට අවශ්‍ය ව ඇති බව අපගේ හැඟීමයි. ඒ මන්ද ජාතියක ඉඩම් අයිතිය පොදු දේපළ පිළිබඳ උරුමකම මගින් හිමිකම් ගැන සහතිකයක් ලැබෙන බැවිනි.

         උතුර දෙමළකරණයට බඳුන්වීම පිළිබඳ අවස්ථා තුනක් පෙන්වාදිය හැකිය. පළමුවන තැත ලෙස අපට පෙනී යන්නේ මීට වසර ගණනාවකට පෙර පෘතුගීසි සෙන්පති ෆූටාඩෝ මැඩොන්සා සහ සිංහල කරවයන් අතර  වර්ෂ 1591 දී අත්සන් කරන ලද නල්ලූර් ගිවිසුමයි.1561 වන විට පළමුවන සංකිලි යටත් කොට පෘතුගීසීන් විසින් උතුරේ තෙන්මාරච්චිය පාලනය සියතට ගත් අතර වඩමාරච්චිය හා අනෙක් කොටස් යාපන රජ පවුල් සතුව තිබුණි. නමුත් 1591 දී උතුර අවට මුහුදුකරයේ තිබූ කරවයන්ගේ බලය නිසා රජපවුල පසෙකට කර කරවයන්ගේ බලය ඉස්මතු වන ලෙසට පසුබිම සකස් වුණි. නල්ලූර් ගිවිසුම එහි ප්‍රතිඵලයකි. මෙ ගිවිසුම සම්පූර්ණයෙන්ම සකස්ව තිබෙන්නේ සිංහල භාෂාවෙන් බව අප අසා ඇත. එහෙත් අද එය දක්නට නැත. එස්.ජී.පෙරේරා පියතුමා සිය ඉතිහාස ග්‍රන්ථයේ සඳහන් කර ඇති පරිදි යාපන රජු ගේ පුත්‍රයා සයිමන් පින්තෝ විසින් යටත් කරගැනීමද ( මෙම පුවත සමන්දේවාල ගල් කැටයමේ සටහන්ව තිබේ.) පෘතුගීසීන්ට අවනතව රට පාලනය කරලීම පිණිස පරරාජසේකරන් රජු බවට පත් කිරීමද එකවර සිදුව තිබේ. මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ මෙම පසුබිම තුළය. ඒ අනුව උතුරේ වැසියන් ගේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට පරංගීන් ගිවිසගෙන ඇති නමුදු පසුව ඇතිවූ සිදුවීම් වලදී සිංහලයන් රාශියක් ඝාතනයට ලක්ව තිබෙන බව පෙනේ.

        දෙමළකරණයට ලක්වූ දෙවනි අවස්ථාව ලන්දේසි යුගයයි.ලන්දේසීන් ගේ ආගමික ප්‍රතිපත්තිය ක්‍රියාවට නැන්වීම පිණිස ලංකාවට පැමිණි පිලුප්පුස් බල්දෙයස් නම් පූජකයා රචනා කළ(True and exact description of the  great island of Ceylon ) නම් ග්‍රන්ථයේ උතුරේ තිබූ සිංහලගම්මාන  හා ස්වදේශිකයන් වන සිංහලයන් ගේ ක්‍රියාකාරකම් වෙනස් කිරීමට ගත් පියවරයන් දක්වා තිබේ. අච්චුවේලි හි පිහිටා තිබූ විහාරස්ථානය අසලදී පිලිප්පු ඩි ඔලිවේරා විසින් සිංහල හමුදා පරජයට පත්කරන ලද බව මෙම ග්‍රන්ථයේ සඳහන්ය. දැන් දක්නට තිබෙන්නේ එම විහාරයේ නටබුන් සහ විශාල ළිඳ පමණක් බව බල්දෙයස් දක්වා තිබේ. ඊට අමතරව චන්ගානේ  උරේපුට්ටි පරේතිතුරේ මුහමලේ කාටවෙල්ලි යන ස්ථාන වල පිහිටා තිබූ බෞද්ධ විහාර භූමි වල තමන් ගේ රෙපරමාදු පල්ලි පිහිට වූ බව ඔහු පිළි ගෙන තිබේ. එහිදී ඉතිරී වූ ස්ථුපයන්හි නටබුන් එම පොතේ චිත්‍ර සටහන්  වලින් පෙන්නුම් කර තිබේ.උදාහරණයක් වශයෙන්මෙම ග්‍රන්ථයේ 323 පිටුවේ දක්වා ඇති මනිපායිහි ඉඳිකර තිබෙන රෙපරමාදු පල්ලිය ගැන ඔහු දැක්වූ අදහස පෙන්වා දිය හැකිය. මෙම පල්ලිය විශාලය. එකවර 2000 කට පමණ රැඳී සිටිය හැකිය.පල්ලිය ඉඳිකර තිබෙන්නේ තල් අතු සහිත වරිච්චි මැට්ටෙනි. පල්ලිය ඉදිරිපස මනරම් දර්ශනයකින් හෙබි වැවකි. එහ ආසන්නයේ පැගෝඩාවක් (විහාරයක් ) පිහිටා ඇත. මෙහි ජීවත් වන්නේ මඩප්පුලි කුලයට අයත් මිනිසුන්ය.බල්දෙයස් සිංහලයන් ගැන සඳහන් කර හැම විටම ස්වදේශිකයන් ලෙසට හැඳින්වීමටත් දෙමළ අය හැඳින්වීමේදී මලබාර් යන නාමය යෙදීමටත් උත්සුක වීඇති බව මෙහිදී  සඳහන් කළ හැකිය.

           එමෙන්ම නෙදර්ලන්තයේ ( Beeldbank National Archives ) හි තැන්පත් කර තිබූ 1695 වර්ෂයට අයත්  උතුර පිළිබඳ සිතියම් වල වැලිගම නොහොත් වලිකාමම් පළාතේ සිංහල ගම්මාන පණහක් දක්වා තිබේ. ඒ අතර චෙල්ලාලේ තල්වාන පූනාල බටකෝට්ටේ එළුවිල කොට්ටියවත්ත මලලගම තොලිපළ මහමුලන මනිපාය මල්වත්ත සියනෑවත්ත තඹාල අවිස්සන්ගල්ල මැදගල්ල උන්විල තෝඩමලය කොන්ඩාවිල කකුවිල කෝපාය ආදිය දැක්විය හැකිය.හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එම්.එච්.සිරිසෝම මහතා රචනා කළ උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය නම් ග්‍රන්ථයේ මේ ස්ථාන වලින් හමුවූ  බ්‍රාහ්මී අක්ෂර සහ බෞද්ධ පුරාවස්තු ගැන සඳහන් කර ඇත.  පැරණි ලෝහ මුද්‍රාවක් සම්මුඛ වූ ආනකෝට්ටේ ගම්මානය ද සිංහල ගම්මානයකි    .  යාපන අර්ධද්වීපයේ දකුණට වන්නට පිහිටා තිබෙන තෙන්මාරච්චි පළාතේ  සිංහල ගම්මාන පහළොවක් තිබේ. වර්තමාන යාපනයේ තිබෙන එකම සිංහල ගම්මානය වන නාවක්කුලියද ඊට අයත්ය. වඩමරච්චි  පළාතේ සිංහල ගම්මානයන් දහසයක් තිබූ බව සටහන්ව ඇත. වඩමරච්චි පළාතේ අදටත් ටික්කම නමින් ගමක් තිබේ. ටිකාගෝත්‍රය ගැන අභය ගිරි තඹතහඩු ලිපියේද සඳහන්ය. මේ ටිකා ගෝත්‍රයට අයත් අලකේශ්වර පරපුර පල්ලව රාජධානියේ සිය බලය තහවුරු කර ගැනීමෙන් පසු ලංකාවට පැමිණ මානවර්මන් නමින් ලක්දිව රජ බවට පත් බව මහාවංශයේ ඇත. මේ පරපුරේ උග්‍රසිංහ නම් කුමාරයෙකු වඩමාරච්චියට පැමිණ එහි බලය තහවුරු කර ගෙන තිබෙන්නේ නව වන සියවසේදී පමණය. ඊට සමගාමීව දෙවුන්දර තුඩුවේද එම පරපුරේ තවත් කුමාරයෙකු බලය තහවුරු කර ගෙන තිබේ. මාන කුමාරයාගේ නමින් වඩමරච්චියේ මානයි වත්ත යනුවෙන් ගම්මානයක්ද ඇත. මේ ටිකා ගෝත්‍රය ගොඩ නැන්වූ සාගර වෙළෙඳ බලය ටිකා අන්නුරුවාර් නමින් ව්‍යවහාර විය. පසු කාලයේදී මේ සාගර බලය කරවයන් අතටද දෙමළ වානිජයන් අතටද මාරු විය. රාමේශ්වරමේ සිට ලංකාවට ඇති කෙටිම මග සේතුව පාලනය ආරම්භ කලේ සිංහල රජවරුන් නමුත් පසුව දෙමල වානිජයන් විසින් එම බලය උකහාගෙන තිබුණි. පච්චලීපලේ පළාතේ ගම්මාන පහළොවක්ද සඳහන් කර තිබේ. පරංගි ඉතිහාස ක්වේරෝස් පූජකවරයාගේ  ග්‍රන්ථයේ ප්‍රථම වරට ජන සංගණන වාර්තාවක් පළ කර තිබේ. එහිදී හෙළි වන්නේ උතුරේ බහුතරයව සිට ඇත්තේ සිංහළයන් බවයි.කාරදිව නයිනදිව කැස්බදිව  පුළිඟු දිව වැනි යාපන අර්ධද්වීපයට සමීප කුඩා දිවයින් වල පවා බහුතරය සිංහලයන් ලෙසට ඔහු දක්වා තිබේ. ඉන් වැඩිම සිංහල ජනගහනයක් ජීවත්ව සිට ඇත්තේ වර්තමාන කයිට්ස් දූපතේය.   කතෝලිකාගමට හරවා ගැනීමද රෙපරමාදු ආගමට හරවා ගැනීමද නිසා උතුරේ සිංහළයන් ක්‍රමයෙන් වන්නියට හා උඩරටට සංක්‍රමණය වී තිබේ. ලන්දේසීන් ගේ ආර්ථික ප්‍රතිපත්තිය වූයේ අලි ඇතුන් වෙළෙදාමත් පුවක් වෙළෙඳාමත් දුම්කොළ හා කපු වැවීමත්ය.  ජන ශූන්‍ය වූ උතුරේ සිය සමාගමට අවශ්‍ය ආර්ථික කටයුතු සම්පාදනය කරගැනීම පිණිස ඔවුහු දකුණු ඉන්දියාවේ සිට දෙමළ වහලුන් ගෙන්වීම හා උතුරේ හා වන්නියේ පදිංචි කිරීම  මගින් උතුරේ දෙමළකරණයට මග විවර වූ බව පැහැදිලිව පෙන්වා දිය හැකිය.

         තෙවනි අවස්ථාව නම් ඉංග්‍රීසීන් විසින් තෙසවලාමේ නීතිය පිළිගත් නීති සංග්‍රහයක් බවට පත් කිරීමත් සිය මිනුම්දෝරු සිතියම් වල සිංහලගම් නම් වෙනුවට දෙමළ ගම් නම් ඇතුලත් කිරීමයි. මේවා බොහෝ දුරට සිදු වූයේ එකල මිනුමදෝරු පාටියේ දෙමළ නිළධාරින් නිසා බව කියවේ. උතුරු හා නැගෙනහිර පළාත් වල ද්‍රවීඩීකරණය වූ සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ මේ නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍ර යෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත. ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.

             දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිංහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමළ භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු දෙමළ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික දෙමළ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.දැන් තත්ත්වය දරුණු අතට හැරී තිබේ. ඉන්දීය වුවමනාවට සහ බටහිර වුවමනාවට අවශ්‍ය පරිදි උතුරේ දෙමළකරණයට අවශ්‍ය සහතික සහ දේශපාලන බලය ලබාදීම සිදු වේ. හතරවටින්ම සිංහල ජනතාව කොටු වෙමින් සිටින අතර දෙමළ මුස්ලිම් චන්ද නිසා සිංහල දේශපාලනඥයන් ඔවුන් වෙනුවෙන් ස්වයං කලාප ඇති කිරීමට සූදානම්ය. ඉතිහාස ඔප්පුව ලේඛනාගාර වල සේප්පු වල දමා යතුරු දමා  සිංහලයන් පක්ෂ වලට බෙදී කල්ලතෝනීන්ට රට දීමට සූදානම්ව සිටිති.මෙය සැබවින්ම ඛේදවාචකයක් නොවේද.

 


 

 

Saturday, June 6, 2015

මර උගුල් ජල ප්‍රතිපත්තිය යළිත් කරළියට


                                      

 

                 මෝසම් වර්ෂා කලාප දෙකකින් පෝෂණය වෙමින් දිවයින පුරා ජල උල්පත් මෝදු කරන අපූරූ ක්‍රියාත්මක සැලැස්මක් හිමි රටක වර්තමානය  වන විට ජලය ප්‍රශ්ණයක් බවට පත් වෙමින් ඇත. එයට හේතු ලෙස සැලකිය හැක්කේ අධික ලෙස කෘෂි රසායන භාවිතය කාර්මික අපද්‍රව්‍ය මුදා හැරීම වැනි කාරණාය. එලෙසම නවීන සංවර්ධන ක්‍රියාදාමයන් මගින් ඇතිකරන ලද අහිතකර ප්‍රතිඵලයන්ද ඉතා සූක්ෂම අන්දමින් මේ ජල දූෂණයට බලපාන බව කිව යුතුය.වර්තමානය වන විට පානීය ජලය පිළිබඳ සංකල්පය ඉතා සංකීර්ණ අඩියකට පත් වෙමින් ඇත. නල ජලය මගින් පැන්ලබා දීම රජයේ වගකීමක් ලෙසට සැලකේ. රටපුරාම පානීය ජලව්‍යාපෘති ඇති කිරීමට  විදේශ ආධාර මත විශාල ව්‍යාපෘති ගණනාවක්ම පසුගිය කාලයේ දී ක්‍රියාත්මක කරන ලදී. ඒ වායින් ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක නමුදු සමහරක් අතහැර දමා තිබේ. මේ අතහැර දැමීම් වලට හේතුව කිවුල් ජලය මගින් විස වීම හෝ උල්පත් සිඳී යෑමයි.

          රටේ දේශපාලන අධිකාරිය ක්‍රියාත්මක කරන රජයයන් අළුතින් පත් වූ සෑම අවස්ථාවකදීම ජලය පිළිබදව ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී ලංකාවේ විද්‍යාඥයන් ගේ අදහස් සෘජුවම භාවිතා කර නැත. ඒ වෙනුවට විදේශ වල අත්දැකීම් සංවර්ධන ක්‍රියාදාමයන් ආදිය සැලකිල්ලට ගෙන සකස් කරන ලද සංකල්ප මත එම ප්‍රතිපත්ති සකස් කර තිබේ.ලංකාවේ රජය ආසියානු සංවර්ධන බැංකුව  සමග 2000 වසරේ දී ලෝන් ශ්‍රී  1575 යනුවෙන් ගිවිසුමකට එළඹීම නිසා  කැබිනට් අනුමැතිය සහිතව ජාතික ජල සම්පත් කවුන්සලයක් පිහිටුවීමට අනුමැතිය හිමි විය.මෙම යෝජනාවට අනුමැකිය හිමි වූයේ 2000 මාර්තු මාසයේදීය. මුල් වරට ජල හිමිකම් බලපත්‍ර සංකල්පය මෙහිදී ඉදිරිපත් විය.නමුත් ඇතිවූ මහජන විරෝධය හේතුවෙන් එය ක්‍රියාවට නැගීම අසීරු විය. පසුව ජලය විකිණීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟව විදේශ මුදල් ලබා ගත් නිළධාරීන් ගේ පෙළඹවීම මත 2004 වසරේදී ද මෙම ක්‍රියාවලිය නව මුහුණවරකින් එළියට පැමිණියේය.එවක ඉදිරිපත් වූ රට පෙරට ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැති දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක සැලැස්ම නමින් වූ තවත් පත්‍රිකාවක් මුද්‍රණය විය. එහි සඳහන් වූයේ පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ආරම්භ කරන ලද ජාතික ජල කළමනාකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කර ක්‍රියාත්මක කෙරේ යන්නයි. අංක 1349/3 සහ 12.07.2004 දිනැති රට පෙරට ප්‍රතිපත්තිය අනුව අහෝසි කිරීමට පොරොන්දු වූ අන්තර්වාර ජල සම්පත් අධිකාරිය අහෝසි නොකර එවක තිබූ ගංගාධාර හා මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන අමාත්‍යංශය යටතේ පිහිටුවීමට යෝජනා කර ගන්නාලදී.  එහිදී බලාපොරොත්තු වූයේ ජල සම්පත් කළමනාකරණ සභාව හා ජාතික ජල සම්පත් කළමණාකරන අධිකාරිය පිහිටුවීමයි.එවක සිටි නිළධාරීන් බොහොමයක්ම ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනවලට සෘජුවම බැඳී සිටි හෙයින් මේ ප්‍රතිපත්ති සකස් කිරීමට විදේශගත ධනය කෙතරම් යෙදවන්නට ඇත්දැයි සිතා ගත හැකිය. මෙහි අරමුණ වූයේ ජල දූෂණය කළමනාකරණය කර ගැනීම පිණිස සියළුම ගංගා ද්‍රෝණි ආවරණ කරමින් අධිකාරියක් පිහිටුවීමයි.නමුත් මේ ක්‍රමය යටතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසී වී යෑමේ තර්ජනය මතුව ආ හෙයින් වෘත්තීය සමිති විසි නවයක් පෙරමුණු ගෙන ඉදිරි පත්වූ එම යෝජනාව පරාජය කරන ලදී.

         2008 වසරේදී  ද මෙම යෝජනාව හිටපු ජල සම්පත් අමාත්‍ය වරයා වූ චමල් රාජපක්ෂ මහතා විසින් නැවතත් කැබිනෙට්ටුවට ඉදිරිපත් කරන ලදී.1964 අංක 29 දරන ජල සම්පත් මණ්ඩල පණතේ 16 ( 4) (2) වගන්ති අනුව 2008 /07/09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙය ඉදිරිපත් කර තිබුණි. එහි අරමුණ වූයේ ජල සම්පත් පුද්ගලිකකරණය සඳහා රෙගුලාසි පැනවීමයි.හොර ඔප්පු ලීවාට ජලය විකුණන්න බෑ යනුවෙන් මා විසින් 2008 සැප්තැම්බර් 07  ඉරිදා දිවයින පත්‍රයේ මෙම කරුණු පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් පළ කරන ලදී. කෙසේ වෙතත් එකල ඇති වූ විරෝධය නිසා රජයට මෙම රෙගුලාසි ද හකුලාගන්නට සිදු විය.

       මහින්ද රාජපක්ෂ රජය පෙරළා දමා  යහපාලනයක් තේමා කර ගත් නව රජයක් බිහිවී දැනට දින සීයයක්  ඉකුත් ව ඇත. එහිදී ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු වන්නට ඇති ඉඩ කඩ ක්‍රමයෙන් නැති වී යනු දක්නට ලැබේ. පැරණි එක්සත් ජාතික පක්ෂයට ආවේණික දූෂණයන් සහ බලහත්කාරයන් ඉස්මතු වෙමින් පවතී. ඒ අතර බටහිරයන්ට අවශ්‍ය වූ දැනට ප්‍රමාද වී පවතින න්‍යාය පත්‍ර තුළ පවතින කරුණු ද එකින් එක කරළියට දමමින් ඇත. ජලය විකිණීම සඳහා 2000 වසරේදී ගෙනා යෝජනාව දැන් නව මුහුණුවරකින් වර්තමාන අමත්‍ය මණ්ඩලයට ඉදිරිපත්ව තිබේ. වර්තමාන ජල සම්පත් අමත්‍යවරයා වන රවුෆ් හකීම් මහතා එම තනතුරට පත් වී නොබෝ කලකින්ම එනම් 2015 මර්තු මස 28 ඉදිරි පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට  මෙම යෝජනාව ඇතුළත්ව තිබීමම බරපතල කරුණකි.මෙහි මූලික අරමුණ වන්නේ දැනට කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැලි ගොඩ දැමීමෙන් සෝදා පාළුවෙන් සහ නාගරික සංවර්ධනය නිසා දිය බෙත්මයන් තුළ සිදු වන දූෂණයන් වැලැක්විමට නීතිමය ප්‍රතිපාදනයන් සැලැස්වීම යනුවෙන් දක්වා තිබේ. දැනට ගංගා වල වැව් වල හා ජලාශ වල  ජලකළමණාකරණය ඉටු කරන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරියයි. එයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල  වන ජීවී හා වන සංරක්ෂණ යන දෙපාර්තමේන්තු යටතේ පවතින වපසරියන් මත නීතිය ක්‍රියාත්මක වේ. මේ ආයතනයන්හි පරිපාලනයේ අඩු ලුහුළඩුකම් තිබෙන බව සැබෑය. එයට ප්‍රධාන හේතුව වන්නේ කාලාන්තරයක් තිස්සේ  රාජ්‍ය සේවය කඩා වැටීමයි. නැතහොත් පක්ෂ දෙශපාලනයට නතු වීමයි. ඒ අතර අල්ලස හා දූෂණයද පවතී. රජයේ ඉහළින් එන ප්‍රතිපත්ති මත ඇතැම් කාර්මික ව්‍යාපාර ක්‍රියාත්මක වීම මත ග්‍රාමීය ඉඩම් සමූහ වශයෙන් විනාශයට පත්ව තිබේ.කර්මාන්ත ශාලා පවත්වා ගෙන යෑමට සහ අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කරලීමට තාක්ෂණික සංකල්ප සහ නව නිපයුම් හඳුන්වා දී ඇති නමුදු ප්‍රාග්ධන හිමියන් ඒවා ක්‍රියාත්මක කරනුයේ වාර්ෂික බලපත්‍ර ගැනීම පිණිස පමණකිය.ඇතැම් විට පරිසර නිළධාරීන්ට අල්ලස් හෝ සන්තෝෂම් දී ගැටළු යටපත් කර අපද්‍රව්‍ය සෘජුවම ජල මූලාශ්‍ර වලට මුදා හරියි.එවිට ප්‍රශ්ණය පැහැදිලිය. යටත් විජිත යුගයේදී පවා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම උදෙසා කරන ලද කාර්ය භාරයන් අද අකර්මණ්‍ය ව තිබේ. එසේ හෙයින් නව ගංගා ද්‍රෝණි අධිකාරියක් පිහිටුවීමෙන් මේ ප්‍රශ්ණයටන්ට පිළිතුරු ලැබේ යැයි සිතුවහොත් එය මුලාවකි.

           රවුෆ් හකීම් අමත්‍යවරයා විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කරන ලද  15/0483/6/009  අංක දරන සංකල්ප පත්‍රිකාව  පරිස්සමින් කියවාබලන කල්හි. 2000 වසරේදී ඉදිරිපත් කරනලද ජල විකුණුම් බලාපොරොත්තු සියල්ල මෙහි අන්තර්ගත ව ඇති  බව පැහැදිළි වේ. දැනට වාරිජලය විශාල වශයෙන් පරිහරණය කිරීම ජලාශ නඩත්තු කිරීමට විශාල මුදලක් වැයවීම සහ වාරි ජලය ගොවීන්ට බෙදා දීම සඳහා කිසිම ගාස්තුවක් අය නොකිරීමද මෙම සංකල්ප පත්‍රිකාවෙන් ප්‍රශ්ණ කොට තිබේ. එයට අමතරව ගංගා ද්‍රෝණි අධිකාරිය පිහිටවූ පසු එම අයතනය නඩත්තු කිරීමටද ජල මූලාශ්‍ර පරිහරණය කිරීම උදෙසාද ජල බලපත්‍ර ක්‍රමයක් ඇතිකිරීමට මෙහි යෝජනා කර තිබේ. මෙහි අදහස නම් පවත්නා වාරිමාර්ග අංශයන් ක්‍රමයෙන් බෙලහීන කොට එක් අධිකාරියක් යටතට ගෙන පෞද්ගලික අංශයේ සාභගිත්වයෙන් ජලය පරිහරණය කිරීම උදෙසා නීතිමය හා ආයතනික ප්‍රතිපාදන සැලැස්වීමයි.ඒ සඳහා ලංකාවේ දැනට භාවිතා කරනු ලබන පානීය ජල මූලෘශ්‍රයන් සහ තොග වශයෙන් භාවිතා කරන වාරි ජල මූලාශ්‍රයන් එකම ආයතනික ව්‍යුහයක් යටතට ගෙන එයට අවශ්‍ය ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් සහ විධානයන් සැපයීම සහ ඉහළ මට්ටමේ සම්බන්ධීකරණය සිදු කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද ස්ථාපිත කිරීමද මෙහි අරමුණයි.

        ජල පරිහරණය සහ කළමනාකරණය උදෙසා සිය ඉතිහාසයේ යුගණනාවකම අත්දැකීම් හිමි රටක් වශයෙන්  ලෝකයේ කීර්තියක් දිනා සිටියද වර්තමානය වන විට මෙම දැනුම යොදා නොගැනෙන තරම්ය. ඒ වෙනුවට විදේශ ආධාර මුදල් මත යැපෙන නිළධාරීන් සහ දේශපාලනඥයන් විදේශ රටක ක්‍රියාත්මක කරන ලද ජල කළමනාකරණ මූලධර්ම ලංකාවට ආදේශ කරයි. 1985 වැනි ඈතකාලයකදී පිහිටවූ ජාත්‍යන්තර වාරි කළමණාකරණ ආයතනය  මත යෑපීම ආරම්භ වූ දා පටන්ම එය එසේ වෙයි. ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක මහවැලි ව්‍යාපාරය විදිලි උත්පාදන ව්‍යපෘති සියල්ල අද වන  විට පරිසරයට බෙහෙවින්ම තර්ජනයක් බවට පත්ව ඇත්තේය. ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ උපදෙස් මත ලංකාවට ආදේශ කරන ලද කෘෂි රසායන හා රසායනික පොහොර නිසා ජල දූෂණය වී රජරට ජනතාව සදාකාලික රෝගීන් කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ තව දුරටත් ජාත්‍යන්තර ආයතන වලින් උපදෙස් ලැබ ගෙන මෙරටේ ජල සම්පත් පරිහරණය වෙළෙඳපළට ගැට ගැසීමට දරන උත්සාහයන් සංකල්පයන් ලෙස භාර ගැනීම කෙතරම් ප්‍රඥාගෝචරද යන්න සලකා බැලිය යුතුය. යහපාලන මුහුණුවර ඉදිරියට දමමින් ජල බූවල්ලන්ට රට වෙලා ගැනීමට ඉඩකඩ සැලැස්වීම මෙන්ම රට අස්ථාවර කිරීම  තේරුම් ගැනීමට කාලය පැමිණි ඇති බවද මෙහි දී අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

 
 

Friday, May 8, 2015

ආණ්ඩුව කුත්තු කර ලබා ගත් විල්පත්තු බල කඳවුර


                               

                                       

                        ලංකාවේ ජාතික වන උයන් අතර මුල් තැනක් හිමිවන විල්පත්තු අභය භූමි සීමාවේ තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනන්තරයෙන් අක්කර 1080 ක ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර නැවත පදිංචි කිරීම් වලට දුන් පුවත වාර්තාවන්නේ පසුගිය අවුරුද්දේ බොදු බල සේනා ව විසින් කරන ලද හෙළිදරව් මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ යුගයේ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතාට මේ චෝදනාව දැඩි ලෙස එල්ල විය. ඔහු එයට පිළිතුරක් දුන්නේ නැත. දැන ගන්නට තිබෙන පරිදි   රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි රිෂාඩ් බද්යුදීන් මහතා  උතුරු වසන්තය තේමා කොට ජනාධිපති කාර්ය සාධක බලකායේ මැදිහත්වීම මත මුස්ලිම් ජනතාව පදිංචි කොට තිබේ.

        නැවත පදිංචි කිරීම සඳහා පදනම් විය යුත්තේ යුද්ධයෙන් අවතැන් වූ ජනතාවයි.වසර තිහක් තිස්සේ ඇති වූ කලබල වලදී සිංහල මුස්ලිම් සහ දෙමළ යන ජන කොටස් සියල්ල අවතැන් විය.අනාථ කඳවුරු වල කාලයක්ම ගතකරන්නට ඔවුනට සිදු විය.එහෙත් සිංහල ජනතාව අවතැන් විම ආරම්භ වන්නේ විසිවන සියවසේ අසූව දශකයේ සිට නොවේ. එය දහ අට වන සියවස තෙක්ම ඇදී යන ප්‍රශ්ණයකි. ලන්දේසීන් විසින් ඉන්දියාවේ සිට ගෙනා මලබාර් වහලුන් උතුරේ පදිංචි කිරීමත් සිංහල බෞද්ධයන්ගේ විහාරස්ථාන කඩා රෙපරමාදු දේවස්ථාන ඉඳි කිරීමත් යන කාරණා නිසා සිංහලයන් ක්‍රමයෙන් උතුරෙන් අවතැන් වීම පටන් ගත්හ.මන්නාරම් දිස්ත්‍රික්කයේ තත්ත්වයද එසේය. එම පෙදෙසේ පවතින පුරා වස්තු දෙස බලන කල්හි අතීතයේ කෙතරම් විශාල සිංහල ජනගහනයක් වාසය කරන්නට ඇත්දැයි කල්පනා කළ හැකිය. මන්නාරම් දිස්ත්‍රික්යේ සිංහල ජනගහනය 1981 දී 8710 ක් වූ බව සටහන්ව ඇත. මුස්ලිම් ජන ප්‍රමාණය 30079 කි. දෙමළ ජන ප්‍රමාණය 54106 කි.  වසර තිහක කාලයකදී මේ ජන කොටස් තුනම යම්කිසි වර්ධනයක් දැක්විය යුතුය. එහෙත් කොටි ත්‍රස්ත කලබල නිසා විශේෂයෙන්ම සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි විය.ඔවුන් ගේ ජනගහනය 2001  වර්ෂය වන විට 282 දක්වා පහළ බැස තිබුණි.එසේ වූවිට අවතැන් වූවන් පදිංචි කිරීමේදී යම්කිසි විධිමත් ක්‍රමයකට එය කළ යුතුව තිබුණි. නමුත් සිදු වූයේ දෙමළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට පමණක් මුල් තැන් ලැබීමයි. මන්නාරම් දිස්ත්‍රික්යේ වාසය කළ දෙමළ ක්‍රිස්තියානි ජන කොටස් වලට එහිදී විශේෂ අවස්ථාවක් හිමි විය.

           පසුගිය රජයේ කර්මාන්ත හා වානිජ කටයුතු ඇමති රිෂාඩ් බද්යුදීන් මහතා ගේ මැදිහත් වීම මත මුස්ලිම් ජන කොටස් නැවත පදිංචි කිරීම ආරම්භ කොට ඇත්තේ  කටාර් රාජ්‍යයේ නායක ශෙයික්  අහමඩ් බින් ජාසිම් සහ ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා  අතර ඇතිවූ සම්මුතියකට අනුවයි. ඒ අනුව  කටාර් ජනාධිපති අනුග්‍රහය දක්වන බින් ජාසිම් අරමුදලෙන් මෙයට මුදල් ලැබුණි. විල්පත්තු උතුරු සීමාවට වන්නට පිහිටා තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනාන්තරයෙන් මේ සඳහා ඉඩම් ලබා දී තිබේ. ජාතික පාරිසරික පණත අනුව හෙක්ටයාර් 01 කට වැඩි භූමි භාගයක් වනය හෙළි පෙහෙළි කරන කල්හි පාරිසරික අගැයීම් වාර්තාවක් අවශ්‍ය වේ.එසේම පුරාවිද්‍යා හානි අගැයීම් වාර්තාවක් ද අවශ්‍ය වේ. මෙහිදී ඒ කිසිවක් සලකා බලා නොමැත. ඒ වෙනුවට කටාර් රජයේ සම්පූර්ණ අනුග්‍රහය මත රිෂාඩ් බද්යුදීන් අමත්‍යවරයා මේ ව්‍යාපෘතිය මෙහෙයවා ඇත. සාමාන්‍යයෙන් ඉඩම් බෙදා දීම පදිංචි කිරීම් මෙහෙය විය යුත්තේ ඉඩම් අමත්‍යවරයා විසිනි. නමුත් මෙහිදී ආර්ථික සංවර්ධන අම්‍යවරයාද වන ජීවී ඇමතිවරයාද සෘජුවම රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් බව වාර්තා වී තිබේ. එසේම පකිස්ථානයේ අවතැන් වූ මුස්ලිම් පිරිස් මෙහි ගෙන්වා පදිංචි කිරීමද නීති විරෝධී මෙන්ම රජ්‍ය ආරක්ෂාවට බලවත් තර්ජනයක් බව නොකිවමනාය.

             2013 වසරේ දී මන්නාරම දිස්ත්‍රික්  ලේකම් වරයාට ලිපියක් යවන වන සංරක්ෂණ ජනරාල් කේ.පී. ආරියදාස මහතා මුස්ලිම් අවතැන් වූවන් ගැන සඳහන්කරයි. කුලන් කුලම් සම්බදාමුසලිකාඩු පණ්ඩාර වෙල්ලි පුදවේලි  මුසලි  පුන්නච්චි කුලම් යන තැන් වල සිට අවතැන් වූවන් සඳහා පුත්තලම සිලාවතුර මාර්ගයේ මරිච්චකඩ්ඩුවේ කි.මී. 23-29 අතර මග දෙපසේ මීටර් 250 ක පළල බිම් තීරුවක් නිදහස් කළ යුතු බව එහිදී සඳහන් කර ඇත.එසේම  අකාති මුරුප්පු පිච්චායි වන්නියා කුලම් වෙප්පන් කුලම් යන ස්ථාන වලින් අවතැන් වූවන් සඳහාද පිච්චායි වනන්නියාකුලම් නම් ස්ථානයෙන්ද විඩතලතිව් හි අනාථ වූවන් සඳහා එම ස්ථානයට යාබද ප්‍රදේශ යෙන්ද ඉඩම් ලබා දෙන මෙන් මෙහිදී ඉල්වා ඇත. ඒ අනුව මන්නාරම් දිස්ත්‍රික්කයෙන් අක්කර 1080 ක්ද මුලතිව් දිස්ත්‍රික්කයෙන් අක්කර 983ක්ද වව්නියා දිස්ත්‍රික්කයෙන් අක්කර 325 ද නිදහස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දිය යුතු නම් එම ගම් වලම එය කළ යුතුය. එහෙත් ගැටළුව වන්නේ අවතැන් වූ ස්ථානයෙන් බැහැරව විල්පත්තු අභය භුමියට යාබදව මරිච්චකඩ්ඩුවේ විශාල භුමි භාගයක් ලබා දීමයි. මේ මරිච්චකඩ්ඩුව වනාහි බෙහෙවින් සංවේදී පරිසර කලාපයකි. එසේම පැරණි ඓතිහාසික හා පුරවිද්‍යාත්මක නටබුන් පැතිර පවත්නා විල්ලුවලින් ගහන තෙත්බිම් ප්‍රෙද්ශයකි. රාවනාගේ පරපුරේ කෙනෙකු වූ මරිච නම් නරපතියා මෙන්ම කනශ නම් රජ කෙනෙකු මේ පෙදෙස පාලනය කර ඇත.පැරණි මංගන නගරය  මෙහි මුල්ලි කුලම් ආසන්නයේ පසට යටව තිබෙන බව පුරාවිද්‍යාඥයන් ගේ මතයයි. ඒ අනුව සලකා බැලිය හැක්කේ පූර්ව ඓතිහාසික යුගයේ පටන් විල්පත්තු අවට භූමි භාගය නොහොත් පැරණි උරුවේලාව කෙතරම් වැදගත්ද යන්නයි.

               විල්පත්තුවට සමීපව එහි කෙළවරේ මුහුදු කලාපයේ පිහිටා තිබෙන කුදිරමලේ ඓතිහාසික ස්ථානය දෙස් විදෙස් සංචාරකයන්ගේ අතිශය ජනාදරයට පත් භූමියකි.ඓතිහාසික මාන්තොට වරාය අඩංගු මුහුදු බොක්ක මෙයට දර්ශනය වෙයි. මුතු කිමිදීම සඳහාද වෙළෙද බඩු හුවමරුව සඳහාද මෙහි පැමිණි විදෙස් වෙළෙඳුන් මේ මුහුදු තීරයේ ලැගුම් ගෙන සිටි බව සත්‍යයකි. ආර්.එල්.බ්‍රෝහියර් මහතා සිය පුරාතන වාර්මාර්ග කෘතියේ දී පැහැදිලිව සඳහන් කරන පරදි විසිවන සියවස මුල් භාගයේදී මරිච්චිකඩ්ඩුවේ මුහුදු තීරය් පිහිටා තිබී ඇත්තේ මලබාරයෙන් මෝසම් කාලයට සංක්‍රමණය වන ද්‍රවිඩ ධීවරයන්ගේ වාඩි පමණකි. නමුත් ඔහු අවධාරණය කරන පරිදි අරාබි වෙළෙඳුන් කීප විටක්ම මෙහි පැමිණ තිබේ. ඔවුන්ගේ සොහොනක්ද කුදිරමල මහුදු තීරයේ දක්නට තිබෙන්නේ එ නිසාය. කෙසේ වෙතත් විලපත්තුව අවට හෝ මරිච්චකඩ්ඩුවේ කිසිම මුස්ලිම් ජනාවාසයක් විසි එක්වන සියවස ආරම්භය දක්වාම පැවතී නැත. මුස්ලිම් ජන ව්‍යාප්තිය පටන් ගෙන තිබෙන්නේ 1950 දශකයේ සිටන්ය.1946 දී සිලාවතුර අකාති මුරුප්පු විඩතලතිව් යන ස්ථාන වල සිටි මුස්ලිම් ජනගහනය 10410 ක් පමණකි.එසේ නම් බද්යුදීන් අමත්‍යවරයා මේ මරිච්චකඩ්ඩුවේ සංවේදී කලාපය භාවිත කරමින් සිය මුස්ලිම් ජනාවස ඉඳිකරන ලද්දේ ඇයිදැයි යන්නට සාධාරණ සැකයක් මතු වේ.

          ආරම්භයේදී මේ ජනාවාසය තුළ සුන්නි මුස්ලිම්  පවුල් 514 ක් පදිංචි කරන ලැබ ඇත.එය ජාසිම් සිටි ලෙසට නම් කර ඇත. දෙවන අදියරේදී එය පවුල් 1000 ක් දක්වාද තෙවනි අදියරේදී පවුල් 20000 දක්වා ද ව්‍යාප්ත කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මෙලෙස ආරම්භ කළ පදිංචි කිරීම් කිසිවක් නැවත පදිංචි කිරීම් නොවේ. ඒවා නව පදිංචි කිරීම් ලෙසට පෙන්වා දිය යුතුය. මෙම නව පදිංචි කිරීම් මගින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි වටහා ගත හැක්කේ මෙම ප්‍රදේශය සීමා වන කලාපය නිරීක්ෂණය කළහොත් පමණකි. මෙම පෙදෙස දකුණෙන් සහ නැගෙනහිරෙන් විල්පත්තුව අභය භූමියට වහංගු වී ඇත. බටහිර  කෙළවරක් නැති මහ මුහුදයි. උතුරෙන් සිලාවතුර මාර්ගයයි. මෙම නිවාස තැනීමට ආධාර උපකාර ලබාදුන් අයතන දෙකකි . එකක් නම් කටාර් රාජ්‍යයේ බින් අහමඩ් සංවිධානයයි. අනෙක නම් ඔස්ට්‍රේලියන් ඒඩ් නම් අයතනයයි. කටාරය යනු යූෂුෆ් අල් සර්දාවි නම් ඉස්ලාමීය නායකයාගේ මූලිකත්වයෙන් මතවාදීව පාලනය වන සුන්නි වහාබ්වාදය පතුරුවන රාජ්‍යයකි. මේ උපකාර මත ඉඳිකර ඇති ස්ථානයේ අවතැන් වූ පකිස්ථානුවන්ද පදිංචි කර ඇති බව සැලවේ. එසේ නම් මේ පදිංචි කිරීම් වල සැලසුම නම් අනාගතයේදී රටේ ඉස්ලාම් අන්තවාදය පොෂණය කිරීම උදෙසා ආරක්ෂක කලාපයක් තැනවීමයි. පැතිතුනකින් රටට වහංගුවී ඇති බැවින් එය බල කඳවුරකට සමානය.

       මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල ජන වාර්ගික සංහාරය ආරම්භ වන්නේ පෙර සඳහන් කළ පරිදිම පෘතුගීසි හා ලන්දේසි යුග වලදීය. කැඩී බිඳී ගිය වැව් කොටු ගම්මාන වලට සීමා වී දුක සේ දිවි ගැටගසා ගත් සිංහල ජනතාව සතු ඉඩ කඩම්  සිය මුදල් බලයෙන් අල්වා ගත් මරක්කලයන්  බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ ස්ථීර පදිංචි කරුවන් බවට පත් විය. මන්නාරම් දිස්ත්‍රික්යේ කතෝලික බලයද උපරිම මට්ටමෙන් තිබූ බැවින් දෙමළ පූජක වරුන් ගේ බල කඳවුරක් බවටද පත් විය. කොටි ත්‍රස්තවාදය පැතිරී ගිය සමයේදී අනාථ කඳවුරු වලට ගාල් වූ සිංහලයන් 847 දෙනෙකු නැවත සිය මුල්බිම් අතර වන මුරුන්කන් වලට පැමිණියද ඒ වන විටද ඔවුන් ගේ ඉඩම් පැහැරගෙන තිබුණි. එවකට නැවත පදිංචි කිරීම් අමාත්‍ය වරුන්ව සිටි මෙල්රෝයි ප්‍රනාන්දු සහ බද්යුදීන් යන අමත්‍ය  දෙපළටම සිය අභියාචනා ඉදිරිපත් කළද ප්‍රතිඵලයක් අත් නුවුණි. මුස්ලිම් අවතැන් වූවන් සඳහා ඉඩම් ලබා දීම ආරම්භ වන්නේ මේ කාලවකවානුවේදීය. එහිදී සිංහල ජන සමාජය වෙතින් එන විරෝධය මැඩපැවැත්වීමට මුරුන්කන් සිමෙන්ති සංස්ථාව අසල නාරිකාඩු භූමියෙන් යම් කිසි කොටසක් ලබාදීමට යුධ හමුදාව යොදවා ගනු ලැබිණ. එහෙත් මේ පිරිසට නිවාස පහසුකම්  සහ ඉඩම් ඔප්පු කිසිවක් ලැබී නොමැත.  මේ තත්ත්වය තුළ මුස්ලිම් ජනගහන ව්‍යාප්තිය මන්නාරම් දිස්ත්‍රික්කයේ ඉහළ සිට පහළටම ගෙන යෑමට සම්පූර්ණ අනුග්‍රහය ලැබී ඇත. විඩතලතිව් සිට මරිච්ච කඩ්ඩුව දක්වා ක්‍රමානුකූලව පතුරුවා හැරීම එහි අභිප්‍රායයි. අනාගතයේදී  මුස්ලිම් අන්තවාදයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට මන්නාරම පත්වීමට ඇති ඉඩකඩ විශාල බව මේ අත්දැකීම් වලින් සනාථ වේ. නමුත් පක්ෂ දේශපාලනය විසින් දෙකඩ කොට පාලනය වන ලංකාවේ පාලකයන් මේ බිහිසුණු අනාගතය හමු වේ නිවටයන් බිහිරන් බවට පත්වී තිබේ.