පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, July 21, 2012

පාලකයින් යහමග හැරවිය හැකි රාජෝවාද කතා

                                       
                        රජ වරු වේවා ඇමති වරු වේවා වර්තමාන අර්ථයෙන් ගත් කළ ජනාධිපති අගමැති වරු වේවා ඒ තනතුරු ලබන්නේ පෙර පිනින් හා ප්‍රාර්ථනයෙන් යයි සමාජයේ මතයක් පවතී. ජනතාව පාලනය කිරීම හා සේවා සැලසීම ටත් සංසාර පළපුරුද්දක් තිබිය යුතුය. එම පළ පුරුද්ද ඔප වැටී ඔවුහු පරිණත දේශපාලඥයින් බවට පත් වෙයි. මේ සම්ප්‍රදායේ යම් කිසි විකෘතියක් වර්තමානයේ දකින්නට හැකිය.පාලකයින් අහසින් කඩාපාත් වනවා මෙන් වෙයි. බලයට පත් වූ දා සිටම තමන්ගේ සුඛ විහරණය ගැනීම  පමණක් සිතන පාලක පක්ෂය  පසුව බෙහෙවින්ම දූෂිත තත්වයකට පරිවර්තනය වෙති. අතීතයේ දීද යම් යම් කාලවලදී මෙය සිදු වී ඇත. ලෝක සම්පත්ති හා ලෝක විපත්ති දෙක රජ දරුවන්ගේ ධර්මාධර්ම දෙකින් වන්නේ යයි ද පාලකයින් ධර්මයේ පිහිටා සිටි කල්හි දෙවියන් පවා ධර්මිෂ්ඨ වන්නේ යයිද බුත්සරණයේ කියා තිබේ.මේ නිසා තපස් වරුන් සහ භික්ෂූන් වහණ්සේලා රජවරුන්ට අනුශාසනා කරමින් රජය ධර්මයේ පිහිටුවීමට උත්සාහ කළහ.
              රජවරුන්ට කරන ලද අවවාද ඇතුලත් දේශනා කීපයක් ජාතක කතා පොතේ දක්නට ඇත.ඒවා හඳුන්වා දී ඇත්තේ රාජෝවාද කතා යනුවෙනි. රජවරු ද තමන්ගේ පාලනය කෙරෙහි ජනතාව සතුටු දැයි බැලීමට නොයෙකුත් නිරික්ෂණයන් කළහ. ඇතැම් විට වෙස්වලා ගෙන වීථි සැරි සැරූහ. ජාතකට්ඨකථාවෙහි චතුක්ක නිපාතයෙහි දක්වා ඇති රාජෝවාද ජාතකයෙහි මේ පිළිබඳව අපූරු පුවතක් ඇත. එහිදී බරණැස් නුවර  බ්‍රහ්ම දත්ත රජු තමන්ගේ නුගුණ කියන්නන් සොයා වීථි සංචාරය කල හැටි දැක්වෙයි. එසේ නුගුණ කියන්නන් ඇතුලු නුවර නොදැක පිටි නුවර ද සොයා නොදැක මහා හිමයට ගොස් තාපසයෙකුගේ අසපුවක් දැක එයට පිවිසියේය. මේ තාපස තෙම රජුට අසල ගසකින් නුග පත් කඩා පිළිගන්වා  බීමට පැන් ද ලබා දුන්නේය. මේ නුග පත්‍ර මිහිරි රසයෙන් යුක්තය. මෙයට හේතුව කුමක්දැයි රජු තාපසයාගෙන් විමසා සිටියේය. රජවරුන් ධර්මිෂ්ඨව රාජ්‍යපාලනයේ යෙදෙන බැවින්  එලෙස නුගපත් මිහිරි රසින් යුක්ත වන බව පිළිතුර විය. එසේ නම් අධර්මිෂ්ඨ වූ විට තිත්ත රස වන්නේ දැයි රජුගේ පැණයක් විය. එය එසේ වන්නේ යයි තාපසයාගේ පිළීතුර විය.
          ආපසු තම රාජ්‍යය වෙත ගිය රජු මද කලක් ජනතාව පෙළමින් රට පාලනය කොට ආපසු මහ හිමයට ගොස් පෙර පරිදිම තාපසයා සපයා දුන් නුග පත් අනුභව කොට බැලීය. එහිදී නුග පත් තිත්ත රස බැව් පෙනී ගියේය. රජ දරුවන් අධර්මිෂ්ඨ වූ කල්හි පොළව රසයද සරියනක් පාත බැස පොළව ඕජාව නැති වෙන්නේ යයි තාපසයා එහිදී පැවසීය. මේ රාජෝවාද කතා අතර තිබෙන මහා බෝධි ජාතකයෙහි තවත් විස්තර අන්තර්ගතව ඇත. එහිදී උදාහරණ දක්වමින්ම රජුට දෙන අවවාද රාශියක් අන්තර්ගත වී තිබේ.   කසී රට අසූ කෙළක් ධනය ඇති බ්‍රාහ්මණ කුලයක බෝධි නම් කුමරෙකු ලෙසින් ඉපදුනු බෝසතුන් වහණ්සේ පස් කම් සැපත අතහැර පරිබ්‍රාජක පැවිද්දෙක් විලස රජ උයනේ සිටින අතර රජු මේ තාපසයාගේ ශිලය දැක පැහැදී සත්කාර කරන විට රජුගේ ඇමතියන් පස් දෙන මෙයට කිපී රජු තාපසයාගෙන් බිඳුවන්ට උපායන් යෙදීය. එයින් පසු බෝධි තාපසයා නගරයෙන් ඉවත් ව වනයට ගොස් වාසය කරන අතර තුර ඇමතියන්ගේ දුෂ්ඨ ක්‍රියා දුෂ්ඨ උපදෙස්  නිසා රජය අනතුරට පත් වනු දැක ආපිට නුවරට පැමිණ රජුට අවවාද වශයෙන් නිදර්ශණ සහිතව කරුණු දක්වයි. මේ එයින් වර්තමානයට ඉතා වැදගත් වන අවවාද කීපයෙකි.
          රජතෙම වක්ව නොව සෘජුවම යායුත්තේය. ගඟින් එතෙර වන්නට සැරසෙන ගව රැළක් මේ කරුණ පහදා දීමට උපමා කර ඇත.යම් සේ ගඟට බැස යන්නා වූ ගවයින් අතරින් ප්‍රධාන ගවයා ඇදව යේ ද ඔහු ඇදව යන කල්හි ඔහු පස්සේ තොලු තබා පීනන සියල්ලෝද ඇදව යෙයි.එපරිද්දෙන්ම මිනිසුන් අතරින් යමෙක් ශ්‍රේෂ්ඨව සම්මත වේද සතර අගතියෙන් යුතුව අධර්මයෙහි හැසිරේද අවශේෂ සත්වයෝද අධර්මයෙහි හැසිරෙන්නාහ. දූෂණයෙන් හා අපරාධ වලින් වෙලී ඇති පාලක පන්තියක් සහිත වත්මන් ශ්‍රී ලංකාවට මේ නිදර්ශණය තෙරම් අගේට ගැලපෙන්නේද. ඉහළ පාලක ස්ථරය වරදි මග යන්නට යන්නට පාලිතයින්ද ලැජ්ජා බිය අතහැර දුෂ්චරිතයේ යෙදෙන ආකාරය දඬුවම් මගින් පවා වළක්වා ගත නොහැකිය.
        පාලකයා රට වැසියා පෙළා අය බදු නොගත යුතුය. එය මිහිරි ඵලබර අඹ ගසකින් නොපැසුණූ ගෙඩි කඩන්නා සේය. එසේ යම් පාලකයෙක් අමු ගෙඩි කැඩූවේද ඔහු කිසිදාක ඉදුණු අඹ ගෙඩියේ රස නොහඳුන්නේය. එසේම නොමේරූ අඹ ඇටයද නොමැස්පෙන හෙයින් පැල නොවී විනාශ වීයයි. මේ හා සමානව සමෘද්ධිමත් රටකට යමෙක් අධර්මයෙන් අනුශාසනා කරන්නේද ඒ අධර්මානුශාසනා කරන රජ තෙම රටෙහි රස සංඛ්‍යාත ඕජස හෙවත් රසයයි දන්නා ලද දැහැමින් උපදනා අය පඬුරු සම්පත්ති නොදන්නේය.එසේ නොදැන ක්‍රියා කළ කල්හි මිනිස්සු ගම් නියම් ගම් අතහැර ප්‍රත්‍යන්ත රටවලට යන්නාහ. පර්වත විෂම ස්ථාන හෝ භජනය කරන්නාහ. එසේ වූ කල්හි රටේ සියුලු අය මුඛ සිඳී යන්නේය. මේ එහිම තවත් උපදේශයකි.පහර දීමට සුදුසු තැන් දන්නා වූ දුනුවායන්ද යෝධයින්ද විදග්ධ වූ ප්‍රසිද්ධ මහ ඇමතියන් ද යම් රජෙක් තෙමේ හෝ නසයිද අනුන් ලවා නස්වා ද හෙතෙම සේනා බලය හා විරුද්ධ වූයේ නම් වෙයි. තමාට බොහෝ උපකාර කළ  රාජයදායක වූ යෝධයින්ට හා ඇමතියන්ට රජු සලකන්නේ එසෙයින් නම් අප හැමට කුමක් නොකරාදැයි කියා අවශේෂ යෝධාදීහු ද රජු හැර යන්නාහ.                         පාලනය විකෘති වන්නේ ද දූෂිත වන්නා වූ රාජ්‍යයන් චෞර රාජ්‍යයන් වෙති.මෙවැනි රාජ්‍යයන් තුල චෞර දේශපාලනයක් ක්‍රියාත්මක වීම ස්වභාවිකය. මෙයින් ඉවත් වීමට නම් යහ පාලනයක් සමාජය තුල ඇතිවිය යුතුය. මේ සඳහා මානව හිමි කම් සමානාත්මතාවය ආදී යහ ගුණ ධර්මයන් ස්ථාපිත විය යුතු යයි කියති. ලංකාව තුල වර්තමානයේ සිදුවන අයහපත් ක්‍රියාන්විතයෙන් වියුක්ත වීම පිණිස ජාත්‍යන්තරව සම්මත යටකී ගුණ ධර්ම ස්ථාපිත කර ගත යුතු යයි ඇතැමෙක් පවසති. ඒ මගින් මෙරට දේශපාලනය හීලෑ කර ගන්නට හැකි යයි සිතන්නන් ද වෙති.  එහෙත් විශිෂ්ඨ සාරධර්ම සම්ප්‍රදායක් හිමි රටක යහ ගුණ ඉස්මතු කර ගැනීමට ජාත්‍යන්තර සංකල්ප ණයට ගැනීම කළ යුතු දැයි ප්‍රශ්ණයක් මතු වෙයි. රාජෝවාද කථා මගින් කරන මග පෙන්වීම මේ සංකල්ප වලට වඩා පරිපූර්ණ නොවන්නේ දැයි කල්පනා නොකිරීම අභාග්‍යයක් වෙයි.
           වර්තමානයෙහි දෙවියන් පවා මේ රට දෙස නොබලාම විවිධ වූ අපරාධ ක්‍රියාවන්ට ඉඩ දී තිබෙන්නේ දෙවියන් පවා අධර්මිෂ්ඨ වී සිටීම නිසාවෙන් දැයි කල්පනා කළ යුතුය.රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ යුත්තේ මේ රටේ මුර දේවතාවුන් ලෙසට සලකන මහා සංඝරත්නයයි. වෙසෙසින්ම මහා විහාරිය භික්ෂූන් වහණ්සේලාය .රජවරුන් සුමගට ගෙන යාම උදෙසා කළ යුතු රාජෝවාද දේශනාවන් උන්වහණ්සේලා හොඳ හැටි දනිති. උන් වහණ්සේලාද  දේශපාලකයින්ට ආවඩමින්  නිහඬවම සිටීම සමාජයට ඉවසුම් දෙන්නක් නොවේ. එසේ වූ කල්හි නියඟය දුර්භික්ෂය ඇති කරවන දේශගුණික විපර්යාසයන් සිදු වීම පුදුමයට කරුණක් නොවේ. නිම කර ගත නොහැකි ඩෙංගු වැනි වසංගත රෝග පැතිර යන්නේ පාලකයින්ගේ අධර්මයෙන් විනා           සෞඛය අංශ වල අකාරයක්ෂකම බවින් නොවේ. යම් පාලකයෙක් අධර්මයෙන් රට පාලනය කෙරේ ද හෙතෙම සියුලු ඖෂධයෙන් විරුද්ධ වූයේ නම් වෙයි. ඔහුගේ රටේ පොළවේ ඕජස රහිත වන්නේයයි රාජෝවාද දේශනාවේ සඳහන් වන්නේ මේ හෙයිනි.                                                                                                                                                                                                      

Tuesday, July 10, 2012

දළදා වැඩි ගමන් මග කුමක්ද

                                                                                                                                                                                                                                                                                             

උදේනි රජ පුත් දන්ත කුමරු සහ  ගුහසීහ රජ දුවණි ඛේමා (හේමා) කුමරිය යන දෙදෙන ලක්දිව ට පැමිණීමත් ඔවුන්ගේ අනුග්‍රහයෙන් දළදා වහණ්සේ වැඩමවීමත් ලංකා ඉතිහාසයේ අසිරිමත් සිදු වීමක් වෙයි. ඉන්දියාවේ රජවරු මේ මහාර්ඝ වස්තුව අත්පත් කර ගැනීමට යුධ වදින අවස්ථාවකදී එය ලක්දිවට එවන්නට තරම් එකළ දෙරට අතර ගොඩනැගී තිබූ සම්බන්ධය  ද වැදගත් කොට සැලකිය හැකිය. ලංකාවේ දී දන්ත හේමමාලා යුවලට සහ දළදා වහණ්සේ ට ආරක්ෂාව නිසැකයෙන්ම හිමිවේ යයි යන විශ්වාශයද තිබීම එලෙසම වැදගත් විය.  ‘ලක්දිව  තවත් බෙහෝ සර්වඥ ධාතූන් වහණ්සේලා ද බොහෝ භික්ෂූන්  ද වෙසෙන රටකි’. යනුවෙන් ගුහසීව රජුගේ මුවින් පිටවූ වදන් මගින් කියැවෙන්නේ එකළ ලක්දිව කෙරෙහි පැවති ආකල්පයයි.                                                                                                     
                දන්ත හේමා රැගත් යාත්‍රාව ඉන්දීය භූමියෙන් පිටත් වූයේ ත්‍රාමලිප්ත තොටුපළෙනි. එසේ පිටත් වීමට ප්‍රථම නාගයින් විසින් දළදා වහණ්සේ පැහැර ගෙන නාග ලෝකයට රැගෙන යාමත් මහුදු මැදදී සිදු වූ අතුරු අන්තරාවනුත් සලකා බලන කල්හි ලක්දිවට පැමිණිම පිළිබඳව තිබූ අවිනිෂ්චිත ස්වභාවය ද හෙළි වේ.දන්ත හේමමාල යුවළ රැගත් යාත්‍රාව පාවී අවුත් නැංගුරම් ලූයේ ලංකා පට්ටන නම් වරායටයයි සැලකෙයි. දැනට මේ වරාය ලෙසට හඳුනා ගෙන ඇත්තේ ත්‍රිකුණාමලයට පහළින් ඇති ලංකා පටුන කපොල්ලයි. සිට දළදා වහණ්සේ අනුරාධපුරය නගරය දක්වා ගෙන ගිය මාර්ගය කුමක්දැයි පිළිබඳව විද්වතුන් අතර මත භේදයක් ඇත. එයට හේතුව වවුනියා දිශාවේ මඩුකන්ද නම් ස්ථානයේ දළදා විහාරයක් පිහිටා තිබීමයි. මේ ගමනේ අතර මගදී මේ ස්ථානයේ දළදා වහන්සේ වඩා හිඳුවා සත්කාර කළ බවට සැලකෙන පුරා වෘත්තය බැහැර කළ නොහැකිය.කොටි ත්‍රස්තයින් ගේ ආධිපත්‍ය නිසා පසුගිය කාලයේ දී උතුරේ බොහෝ ප්‍රදේශයන්හි පුරාවිද්‍යා ස්ථානයන් ගැන නිවරදි ගවේශණයන් නොවීය. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ රණ විරුවන් ගේ අධීක්ෂණය යටතේ මේ ඇතැම් තැන් පිළිබඳව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් කළ ගවේශණයන් රැසක් වෙයි. එහිදී හෙළි වී ඇත්තේ වවුනියාවට ඊශාන දිණාවෙන් දළදා වහන්සේ වැඩ සිටි තැන් රාශියක්ම දක්නට ලැබෙන බවයි.                                                                          රාජ්‍ය ලේඛණාගාරයේ 5/63/159/53 අංක දරන රඹුක්වැල්ලේ විත්ති පොත තුල මේ වැඩවීම සම්බන්ධව වෙසෙසි විස්තරයක් අඩංගු වෙයි.ඒ මෙසේය. සුගත තථාගත වර ධර්ම චක්‍රවර්තී වූ ජිනේද්‍රඋත්තමයානන් වහණ්සේ ගේ වර්ෂයෙන් සත්සිය තිස්හතට පැමිණි විට දන්ත කුමාරයාත් ඛේමා නම් කුමාරිකාවත් දළදා සාමීන් වැඩමවාගෙන මාවටු පටුනට ගොඩ බැස නාග කෝවිලට ධාතූන් වහණ්සේ වැඩමවා උතුම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ්ජුරුවන්ට පයිඬ යවා සැලකල තැනේදී අනුරාධපුරයට ධාතු වඩම්මාගෙන පැමිණියේය. දළදා සිරිතේ ද සඳහන් වන්නේ මෙසේමය. නමුත් දාඨාවංශය ඇතුලු අනෙකුත් මූලාශ්‍රයන්හි ලංකා පටුන යනුවෙන් දැක්වේ.                                                                                   
        මාවටු පටුන නොහොත් මාතොට වරාය එකළ ජනාකීර්ණ නැවු තොටුපළකි. විදේශිය වෙළෙඳුන් නිති ගැවුසුන ප්‍රසිද්ධ වරායකි. මෙකල මහා විහාරය හා අභය ගිරිය අතර ද ශාසනික මත බේදයක් ද විය. ඒ තත්වය තුල ප්‍රසිද්ධ වරායකින් දළදා වහණ්සේ ලංකාවට වැඩවීම විශ්වාශයට ගත නොහැකි වන බව ඇතැම් විද්වතුන් ගේ මතය වෙයි. මේ නිසා ලංකා පටුන වරාය වශයෙන් වර්තමානයේ හඳුන්වන ස්ථානය පිළිබඳව අවධානය යොමු කිරිමට ද සිදු වේ.නමුත් මේ වරයා පිහිටා තිබෙන්නේ එකළ ව්‍යවහාර වූ ගෝකන්ණ වරායට ද පහළිනි. ඒම ස්ථානයේ සිට නැවත වවුනියා ප්‍රදේශයට ගොඩබිම් මාර්ගයකින් දළදා වහන්සේ වැඩමවා ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ඇතැයි සිතිය නොහැකිය. නැවත උතුරට ගොස් පුහුල් මොටේ ප්‍රදේශයෙන් රට ඇතුලට ගමන් ගැනීම වඩාත් දුෂ්කර කටයුත්තකි. එයට වඩා ලෙහෙසියෙන් සේරුවිල හරහා අනුරාධපුරයට පිවිසිය හැකිය.                                                                                                  
         කොටි ත්‍රස්තයින් සමග අවසාන සටන සිදුවූ වෙලේ මුල්ල මූලදීප කලාපය ද එකළ ප්‍රසිද්ධ තොටමුණකි. වත්මන් කොකිලායි කලපුව ( කොකලෙ ) ආසන්නය තුල මධ්‍යම තරමේ යාත්‍රා නවත්වා සිටිය හැකිය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් ගොඩ බැස්සේ ද මෙයට වඩා මදක් පහළ වරයායකිනි. මේ නිසා මූලදීප පෙදෙස අපගේ අවධානයට ලක් විය යුතුය. ශ්‍රාස්තපති මුවඇට ගම ආනන්ද හිමියන් ගේ ගවේශණය කෙරෙහිද අවධානය යොමු කළ කල්හි මේ ගමන් මග ගැන ඉඟියක් අපට ලබා ගත හැකිය. එය වැටී තිබෙන්නේ කෝකිලායි කලපුව නෙදුන් කර්නි කොච්චයි සමලන් කුලම් කැලෑ බෝගස් වැව අරිය මඩු  රුවන් මඩු පිරපපන් මඩු ඒරුපොතාන තපස් එළිය විමන් ගල මාමඩුව මඩු කන්ද හරහාය. දළදා වහණ්සේ රැගත් දන්ත හේමමාලා යුවළ පිලිගෙන සත්කාර කල පිළන්ද නම් වැද්දෙකු ගැනත් ජන ප්‍රවාදයේ සඳහන් වේ. ලංකා පටුන වරාය අසල මූදුකර වැද්දන්ට අදත් වාසස්ථාන වී ඇත.        එසේම මූලදීප කලාපයේ ද වැද්දන් සිටි බවට සාක්ෂි හමු වේ. ඔවුන් ද වාකරේ වැද්දන් මෙන්ම දෙමළ භාෂා ව්‍යවහාරයන් නිසා ද්‍රවිඩී කරණය වී තිබේ.                                                                                                             
        පසුගිය දා මේ ප්‍ර දේශවල සංචාරය කිරීමට අපට අවස්ථාවක් ලැබුණි. වෙසෙසින්ම  නෙදුන්කර්නි හරහා වව්නියා මර්ගයේ පැමිණ කොච්චයි සමලන් කුලම නමැති ස්ථානයට සපැමිණීමට හැකිවීමු. එය වර්තමානයේ හඳුන්වන්නේ සපුමල් ගස්කඩ යනුවෙනි. කඩාඬු සහිත විශාල බිඳි ගිය වැවක් එහි ඇත. දෙමලෙන් කොච්චයි යනු රාජකීය යන්නයි. මෙම ප්‍රදේශය රාජකීයන්ට වාස භවනය වී තිබූ පෙදෙසක් වශයෙන් එයින් හඳුනා ගත හැකිය. දන්ත හේමමාලා යුවල කළක් මෙහි නැවතී සිටි බවට ද මේ අවශේෂයන් සාධක දක්වති. එයට අමතරව මෙහි ඇත්තේ  නටබුන් සහිත  විශාල  විහාර සංකීරණයකි. එය පවුරකින් වට කර තිබේ. නිදන් හොරුන් විසින් හාරන ලද  මධ්‍යම තරමේ ස්ථූපයක් බුදු මැදුරක් සහ දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ මෙහි ඇත. මෙම ගොඩනැගිල්ල මෙලෙස තනා ඇත්තේ ඇයිදැයි කල්පනා කර බලන කල්හි එහි යම් කිසි අර්ථාන්විත ක්‍රියාවලියක් සිදුවී ඇතැයි සිතේ . දළදා වහන්සේ වැඩ සිටි බොහෝ තැන් වල ගොඩනැගිලි මෙසේය. දෙමහල්ව තනා ඇත. කෝට්ටේ යුගය වනතෙක් ම මෙම සම්ප්‍රදාය අනුගමනය කර ඇතැයි කල්පනා කළ හැකිය. ෙමම කළිගු දා විහාරය විහාරය පසු කරන කල්හි තවත් වැව් දෙකක් හමු වේ. එය එකම වැව් පද්ධතියේ කොටසකි. ඉන් අනතුරුව හමුවන්නේ කැලෑ බෝගස් වැවයි. එය මෑතක් වනතුරුම සිංහල පවුල් කීපයකට වාස භූමි වූ දැනට හමුදා කඳවුරක් ද පිහිට තිබෙන විශේෂ ස්ථානයකි. මෙහිද  දෙමහල් ගොඩනැගිල්ක අවශේෂ දක්නට තිබේ. දළදා වහණ්සේ මෙහි වැඩ සිටින්නට ඇතිවාට නිසැකය.                        
       දළදා වහන්සේ රැගත් දන්ත හේමාවන් දළදා වහන්සේ ගේ පලමු දළදාරක්ෂක තනතුර දැරූහ.දිනපතාම පුද පූජා පවත්වමින් ඇති කර ගත් ශ්‍රද්දාව දුටු ගුහසීව රජු තම දියණිය ද සරණ පාවා දී මේ තනතුර හිමිකර දුන බව සඳහන්ය. මේ දෙදන නගරයෙන් පිටමංව දකුණු දෙසට ගමන් කර මහා ගංගාවක් සමීපයට පැමිණ එහි වැලි දාගැබක් තනවා දළදා වහන්සේ එහි සඟවා තැබූ බව කියැවේ. නා රජු පැමිණ දළදාව පැහැර ලෙන ගියේ මෙම ස්ථානයේ දළදාව තැන්පත් කර තිබෙන විටයි. ලක්දිව සැපත් වූ මේ යුවල රජු විසින් නැවත දළදා රක්ෂක ධූරයට පත්කර බෙලි ගල් කෝරළයේ පදංචි කරවා තිබේ.  වැලි ගොඩක් දාගැබක් තනවා දළදා වහණ්සේ එහි තැන්පත් කර වන්දනා මාන කළ බැවින් ඔවුන් ගේ පරපුර කීරවැලි පරපුර විය. පසුව ඔවුන් ස්ථිරව පදිංචි ස්ථානයද කීරවැලි පත්තුව වී ඇත.මෙම කීරවැල්ලේ පරපුරේ අන්තරාගාමීහු ක්‍රි.ව.1620 වන්තෙක්ම අඛණ්ඩවම දළදා භාරකාරත්වය දැරූහ. රජුට අගබිසෝ වරුන් සපයන ලද්දේ මේ සුලු වංශයෙනි. ඒ හෙයින් දළදා වහණ්සේත් රාජ්‍ය නායකත්වයත් අතර අවියෝජනීය සබඳතාවයක් පැවතිණ.                                                                                                                                 
          1620 න් පසුව ප්‍රධාන රාජකීය පරපුරු සියල්ල ආරක්ෂාව පිණිස වන වැදීම නිසා දළදා භාරකාරත්වය කීරවැල්ලේ මව් පාර්ශවයට හිමිවිය. ඒ විස්තරය මෙසේය.සකල කලා වල්ලභ හා ඔහුගේ කීරවැලි බිසවගේ දුවක් චන්ද්‍ර වංශික ඌවේ  රාළ හා විවාහ වූවාය. ඌවේ මහ රාළ නමින් ඒ දෙපළට මුණුපුරෙකු සිටියේය. වීර වික්‍රම සවුලු රජු ගේ මුණුපුරෙකු වූ දුම්බර දනව්වේ කුමාර බණ්ඩාර ට පත්මහාමි නමින් දුවක් සිටියාය. පත්මහාමි ඌවේ මහ රාළ හා විවාහ විය. ඔවුන් ගේ පුත් මහරාළට රඹුක්වැල්ල ගම ලැබුණි. ඔහුට යාපා රාළ නමින් පුතෙක් සිටියේය. යාපා රාළට ඒකනායක අප්පුහාමි නමින් පුතෙක් සිටියේය. දුම්බර රට ඌවේ දිශාව තනතුර දැරූ ඒකනායක අප්පුහාමි 1627 දී කීරවැලි මිත්තණිය ගේ උරුමය මත දියවඩන නිළයට පත් කෙරින. ඒකනායක අප්පුහාමි ගේ පුත් හාන්තු නායක අප්පහාමි (1642 දී සලු වඩන නිලමේ) ගේ පුත්‍රයා 1697 දී දියවඩන නිලමේ තනතුර දැරූ බව සඳහන්ය. හේ දුනුවිල කුමරියක් හා විවාහ විය. ඔහුගේ දරුවන් 1739 නායක්කර පාලනය නිසා මහවාසල උදහසින් තල්ලුවුනා යයි රඹුක් වැල්ලේ විත්ති පොතේ සඳහන්ය. නායක්කර් යුගයෙන් පසුව ඉංර්‍ගීසි යුගයේ දී විවිධ රදළයින්ට මේ තනතුර හිමි විය. බුද්ධාගමේ භාරකාරත්වය අත්හල ඉංග්‍රීසි පාලකයින් 1853 දී දළදා වහණසේ ගේ භාරකාරත්වය දියවඩන නිලමේට හා මහානායක ස්වාමීන් වහණ්සේලාට දෙනමට පවරා දෙන තෙක්ම දළදා භාරකාරත්වයට හිමිකම් කීවේ මහා සම්මත උරුමක්කාරයෙක් පමණකි.                                                      
          දහනව වන සියවසේ දී මුල් භාගයේ දී මහා නායක පදවිය හෙබවූ අති පූජ්‍ය කොබ්බෑකඩුව සිරිනිවාස නාහිමියෝ තමන් වහණ්සේ ගේ ගුරු පරපුරෙහි ගිහි පරපුර දළදා වහණ්සේ භාරගෙන සුරක්ෂිත කළ සූර්ය වංශික රාජකීයන් බව පෙත්සමක් මාර්ගයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවට දන්වා සිටියහ. කොබ්බෑකඩුව සන්නසේ ඒ පරපුර ගැන මෙසේ සඳහන් වේ. ‘ ශ්‍රී සේනා සම්මත වික්‍රමබාහු රජ දවස .....ශ්‍රීමත් මේණවර රත්න වල්ලිතෙර ස්වාමීන්ට .....වටනා පස දාන කේෂ්ත්‍ර කොට දෙවා වදාල හෙයින් ’සූර්ය වංශික මේණවර පෙලපත මෙරට අගරජ පදවිය හිමි වංශයයි.මේණවර රජුගේ මව හා බිසව දළදාව වැඩමවාගෙන පැමිණි කීරවැලි පරපුරට අයත්ය.ඒ සාධක මත කොබ්බෑකඩුව නාහිමියන් දළදා උරුමය ඉදිරිපත් කළ බව පැහැදිලිය .                                                                                                              

Thursday, June 21, 2012

නූතන මග නැගුමේ පුරෝගාමීයා

                                                        


       එක් දහස් නවසිය පණස් හය වර්ෂය සැලකෙන්නේ ජනතාවාදී බලවේගයන් ජයග්‍රහණය කළ අවස්ථාවක් ලෙසිනි. ප්‍රභූවරුන් නොහොත්  රදළවරුන් සතුව පැවති  නායකත්වය ගැමියන් සමග කරට කර සිටි පාම්පරික ගැමියන්ට ලැබීම මෙහි පෙරළිය විය. මෙහිදී කම්කරුවන් පවා පාර්ලිමේන්තුවට ගියහ. නමුත් යටත්විජිතකරණය නිසා ග්‍රාමීය නායකත්වය අහිමිව සිටි පාරම්පරික සිංහලයින් බොහෝ පිරිසකට මෙහිදී මහජන නියෝජනය හිමි වීමෙන් සුද්දන් පුදන ඔවුන්ගේ සංස්කෘතිය පස්සේ යන කලු සුද්දන් යයි හඳුන්වන මහා බල වේගය දුර්මුඛ විය. මේ සටනේ දී කලුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික පස්යොදුන් කෝරළයෙන් මහා පුරුෂයෙකු ජයග්‍රහණය කරනු ලැබිණ. ශරීරයෙන් කුඩා වුවද ඔහු ක්‍රියාකාරිත්වයෙන් මහා පුරුෂයෙකු විය. දයාසේන ටරනෝලිස් පස්කුවල් නමින් උප්පැන්න සහතිකයේ සඳහන් වුවද හුදී මහ ජනතාව අතර මොහු ජනප්‍රියත්වයට පත් වූයේ දයා ටී පස්කුවල් නමිනි. 1912 වර්ෂයේ උපත ලද දයා  ටී පස්කුවල් මහතා සිය දිවි ගමනේ සියවස සම්පූර්ණ කරන්නේ එළඹෙන ජූනි මාසයේදීය.
        1943 සිට මෙතුමාගේ දේශපාලන ජීවිතය දිග හැරෙයි. ගම් සභිකයෙකු විලසින් ඔහු ජනතාව අතරට පැමිණෙන්නේ එම වර්ෂයේ දීය.ඒ මතුගම ඉද්දගොඩ හොරවල ගම් සභාවේ සාමාජිකයෙකු විලසිනි. එවකට මේ ප්‍රදේශය හැඳින්වීමට භාවිතා කළ නාමය බටහිර පස්යොදුන් කෝරලයයි. ප්‍රාදේශිය ආදායම් පාලක නොහොත් ඩී.ආර්.ඕ. බල ප්‍රදේශයද එයම විය. මේ පාලන බෙදීම් පසුව වෙනස් වී 1972 දී මතුගම උප දිසාපති කොට්ඨාශයක් බිහි විය. නමුත් මතුගම ආසනය එකල කලුතර තොටමුණ දක්වා ද දෙඩන්ගොඩ ප්‍රදේශය දක්වා ද ව්‍යාප්තව පැවතුණි.
      දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ජනප්‍රිය දේශපාලනඥයෙකු බවට පත් වූයේ සමස්ත ලංකා ගම් සභා සමිමේලනය ඔස්සේය. 1925 දෙසැම්බර් 16දින ආතර් වී දියෙස් ඩී.එච්.එස් නානායක්කාර යන දෙපලගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ කරන ලද එම සම්මේලනයේ සභාපතිත්වයට බණ්ඩාරනායක  මහතා පත් වූයේ 1929 වර්ෂයේ දීය. ඒ තුලින් සුවිශාල ග්‍රාමීය නායකයින් පිරිසක් හඳුනාගන්නට එතුමාට හැකිවූයේ පළාත් පාලන ඇමතිවරයාව සිටි අවදියේ දීය. දයා ටී පස්කුවල් මහතා එවැනි පුද්ගලයෙකු විය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයට ගොස් පසුව මහජන එක්සත් පෙරමුණ යටතේ 1956 මැතිවරණයට ඉදිරිපත් වන විට නොපැකිළව දයා ටී පස්කුවල් මහතාට නාම යෝජනා භාරදීමට බණ්ඩාරනායක් මහතා තීරණය කරනු ලබන්නේ එවකට පස්යොදුන් කෝරළය තුල මහජන නියොජිතයෙකු ලෙසින් පස්කුවල් මහතා ලා තිබූ ජනප්‍රියත්වය හේතු කොට ගෙනයි.
        වර්තමානයේ සංවර්ධනය උදෙසා ගම නැගුම යන වචනය බෙහෙවින්ම භාවිතා වෙයි. වෙසෙසින්ම ග්‍රාමීය පාරවල් වැඩිදියුණු කරලීමට මේ වචනය භාවිතා වෙයි. නිදහස ලබන කාලයේ ග්‍රාමීය මංමාවත් වශයෙන් සැලකුණේ වතුපිටි උඩින් ගෙවතු උඩින් අමුණු උඩින් පැන යන අඩි පාරවල් පමණක් විය. මේවා දියුණ කරලීමට ගම් සභිකයින් බෙහෙවින් උනන්දු විය. සුදු පාලකයින්ගෙන් වෙසෙසින්ම රබර් සහ තේ වතු අයිතිකාර සුද්දන්ගේ රැවුම් ගෙරවුම් මධ්‍ය යේ මේ අඩි පාරවල් කපන ලද්දේ ශ්‍රමදානයෙනි. 1932 සිට1952 දක්වා මතුගම ගම්සබාපති වශයෙන් කටයුතු කළ ඩී.එච්. මුණසිංහ මහතා එවැනි නායකත්වයක් දැරූ පුද්ගලයෙකු විය.
        පස්කුවල් මහතා මේ මග ගත්ගේ නව ආරකිනි. එවකට ඔහු මතුගම ගම් සභාවේ සභාපති වරයා විය. මෙම සභාවට එකතු වන බදු මුදල් අතර ඇඟබද්ද කරත්ත බද්ද ආදී සීමිත බදු සංඛ්‍යාවක් විය. ඒවා සියල්ල විශාල වපසරියකින් යුක්ත පස්යොදුන් කොරළය ම සංවර්ධනය සඳහා යෙදවිය යුතු විය. පස්කුවල් මහතාට අවශ්‍ය වූයේ බදු ප්‍රමාණය වැඩිකර ගනිමින් ඒ මාර්ගයෙන් ප්‍රදේශය වැඩි දියුණු කර ගැනීමයි.
        මේ අවදියේ ඇතැම් පළාත් ආයතන නගර සභා බවට උසස් කර තිබුනි. පළාත් පාලන ඇමතිව සිටි බණ්ඩාරනායක මහතා හමු වූ පස්කුවල් මහතා තමන්ගේ සිත තුල පැවති අදහස කියා පෑවේය. ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව විශාල කැක්කුමකින් සිටි එතුමා එකපයින්ම එම යොජනාවට කැමැත්ත පළ කොට අවශ්‍ය පහසු කම් ද සලසා දුන්නේය. ඒ අනුව 1948 අංක 29 දරණ පණතේ බලතල ප්‍රකාරව 1950 ජූනි පළමු වනදින මතුගම සුලු නගර සභාව ගැසට්කොට ප්‍රකාශයට පත් කරන ලදී . ඒ අවස්ථාවේ දී ජාවාකච්චේරිය හා පිළියන්දල ද පිළිවෙලින් සුලු නගර සභා බවට පත්කර ඇත. දැන් මේ නගර සභාවේ නගරාධිපති වරයා බවට පත් වන්නේ දයා ටී. පස්කුවල් මහතාය. ඔහු සිය බලතල ප්‍රකාරව අතුරු ව්‍යවස්ථා තනමින් බදු මුදල් වැඩිකර ගන්නට වෑයම් කළේය. භූමිතෙල් කරවල ආදිය වෙළෙඳාම් කරන්නවුන් මේ බදු ක්‍රමයට අයත් විය. එසේම එවකට තිබූ වල කක්කුස්සි වල කසල බැහැර කරලීම සඳහා කසල බද්දක් ද ප්‍රකාශයට පත් කරන ලදී. පස්කුවල් මහතා සිය මග නැගුම ව්‍යපෘතිය ද ආරම්භ කරන ලද්දේ ද මතුගමිනි. ඒ සඳහා මතුගම බාලිකා පාරත් මද්දෙගෙදර පාරත් සම්බන්ධ කරන ලදී. එය ශ්‍රමදානයෙන් කැප්පවීමට සහාය දක්වන ලද්දේ ගම්සභිකයෙකු වශයෙන් සිටි ජාලිස් විතාන මහතාය. එය ඔහුගේ පළමුවැනි ව්‍යාපෘතිය වූවා සේම මාවතද ෆස්ට් ලෙන් විය. මේ ලෙසින් ඔහු විසින් කප්පවන ලද පාරවල් නිමක් නැතිය. ඒ සියල්ලම වර්තමානයේ තාර දමා සංවර්ධනය වූ පාරවල්ය. ඒ මගින් නගරය සීඝ්‍රයෙන් දියුණට පත් වූ අතර නගර සභාවේ ආදායමද දියුණු විය.
        1960 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය ගත්තේය. දයා ටී පස්කුවල් මහතා පළාත් පාලන උප ඇමති විය.  ඔහුට එදිරිව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සිටියද ඔවනොවුන් ගේ සුහදත්වය මත බොහෝ ගැටුම් නිරාකරණය විය. නමුත් නිරන්තරයෙන්ම එවැනි ගැටුම් නිර්මාණය කර ගැනීමට නූගත් ජනතාව උත්සාහ කළහ. ලැබී තිබුණ මහජන වරම ගැන අවබොධයක් නොතිබුණූ ඇතැම් නූගත් පිරිස් අතරට බලය පැතිරීම නිසා පක්ෂ විපක්ෂ ලාබාලයන් අතර ඉඳහිට ගැටුම් ඇතිවිය. සයිමන් පස්කුල් වෛද්‍යාචාරයවරයා එකල ජනප්‍රිය දේශීය වෙදමහත්මයෙකු විය. එලෙසම මතුගම සුලුනගර සභාවේ සභපති ද විය. එක් දිනක් අලුත්ගම පාරේ එතුමාගේ නිවස අසල කුඩා ගැටුමක් ඇති විය. මේ අවස්ථාවේ දී දයා ටී පස්කුවල් මන්ත්‍රීවරයා ද සිටියේ ඒ අසන්න ස්ථානයකයි. වැලිපැන්න ප්‍රදේශයේ විවාහ මංගල්ලයකට යන අතරවාරයේ කඩයකට ගොඩ වැදී තේ බොමින් සිටි මන්ත්‍රීවරයා සමග එවකට මතුගම ආන්නද ශාස්ත්‍රාලයේ උපගුරුවරයෙකු වශයෙන් සිටි රොබින් පස්කුවල් මහතා ද සුගුනදාස අතුකෝරල මහතා ද විය. යට කී ගැටුම ආරංචියට පත් මේ තිදෙන වහ වහා ස්ථානයට පැමිණුනි. එතැන  මතුගම පොලිස් වාහනය නවතා තිබුණි. එයින් බට ස්ථානාධිපති තිසේරා මහතා සයිමන් පසකුවල් මහතාව බඩ තුරෙන් ගෙන ජීප්රථයට එබීමට සූදානම්ව සිටියේය. පස්කුවල් මන්ත්‍රීවරයා වහා ඉදිරියට දිව විත් ස්ථානාධිපතිවරයා සමග අදාළ කාරණය ගැන කතා කරන්නට උත්සාහ කලේය. ආපිට හැරුණුඕ.අයි.සී. තිසේරා. උඹ තමයි මට අවශ්‍ය මිනිහා( you’re the rascal we want ) යයි කියමින් එකවරම පසකුවල් මන්ත්‍රීවරයාට පහර දීමට පැන්නේය.අත මිට මොලවා ගත් මන්ත්‍රීවරයා පහසුවෙන්ම පහර වළක්වා ගත් නමුත් පහරේ වේගයට ස්ථානාධිපතිවරයා පසෙකට වීසිවී ශරීරයේ සමබරතාවය ගිලිහී පාර මැද ඇද වැටුණි.
          පොලිස් නිළධාරියෙකුට පහර දුන්නේ යයි සලකා වහා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස අත් අඩංගුවට ගැනුණි. නමුත් ජ්‍යෙෂ්ඨ පොලිස් අදිකාරිවරයාගේ නියේගය මත ඔවුන් ඇප පිට නිදහස් කරන ලදී .  මේ සිද්දිය අළලා සියලු දෙනාටම විරුද්ධව නඩු පැවරුණි. මේ නඩුවට පෙනී සිටින ලෙසට එවකට ජනප්‍රිය නීතිඥවරයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතාගෙන් ඉල්වා සිටින ලදී. නමුත් ඔහුගේ නිගමනය වූයේ සැකකරුවන්ට වසර තුනක්වත් සිර දඬුවම් හිමි වන බවයි. මෙහිදී එවකට මතුගම ආනන්ද සාස්ත්‍රාලයේ ගුරුවරයෙකුව සිටි. පසුව කොළඹ නාලන්දේ විදුහල්පතිව පැමිණි සුගුණදාස අතුකෝරළමහාගේ මග පෙන්වීම මත ලංකාවේ ප්‍රසිද්ධ අද්වකාත්වරයෙකුව සිටි ජී.ජී.පොන්නම්බලම් මහතා වෙත මේ නඩුව ඉදිරිපත් කරන ලදී. ඔහු මේ කාරණය පිරික්සා සිටීමට මතුගමට පැමිණියේය.
      මේ නඩුවේ පැමිණිලි පක්ෂයේ ප්‍රධාන සාක්ෂිකරුවා වශයෙන් සිටියේ පසකුවල් මහතාගේම ඥාතිවරයෙකි. මීට පෙර අවස්ථාවක පසකුවල් මහතාගේ පියාණන් හට කරන ලද නිග්‍රයක් නිසා මේ ඥාතිවරයා මන්ත්‍රීවරයාගෙන් ගුටි කා තිබුණි. මේ සිද්දිය පොන්නම්බලම් මහතා හොඳින් අධ්‍යනය කලේය. එසේම එම සාක්ෂිකරුවා සූදු අන්තුවකු වූ අතර ගම්සබා උසාවියකදී දඬුවම් විඳ ඇති වබද සොයා ගන්නා ලදී. මේ කරුණු දෙකම පදනම් කොට මේ ඥාතිවරයාගේ ප්‍රධාන සාක්ෂිය බිඳ වැට්ටවීමට හැකි විය. සාක්ෂි විභාගයේ දී තමා වැදගත් අප්පුහාමි කෙනෙකු බව පුන පුනා පැවසුවද ඔහුගේ වැදගත් කම කුමක්ද යයි  පෙන්වා සිටීමට පොන්නම්බලම් මහතා සමත් විය. මේ නිසා සාක්ෂියේ වලංගු බාවය නැතිවී පස්කුවල් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස නිදොස් කොට නිදහස කර ලදී. එවකට තිබූ විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ උසිගැන්වීමෙන් මේ කලබගෑනිය ඇතිවුවද තිසේරා ස්තානාධිපතිවරයා ප්‍රදේශයෙන් මාරු කර යැවීමට පස්කුවල් මන්ත්‍රීවරය කටයුතු නොකළ බව සඳහන් කළ යුතුය. ප්‍රසිද්ධ උත්සවයක් සඳහා මතුගමට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මේ කාරණය ඔහුගෙන් විමසා සිටියේය. ස්ථානාධීපතිවරයා වෙනත් ස්ථානයකට පිටත් කර හැරියහොත් නැවතත් මෙලෙසම ක්‍රියාකිරීමට උත්සාහ දරනු ඇති බව ද තමන් ගේ බල ප්‍ර දේශය තුල තවත් එවැනි කලබල නොකර සිටීමට මොහු පුරුදු වනු ඇති බවද මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය විය. වර්තමානයේ ජීවත්වන දේශපාලනඥයින්ට වඩා දයා ටී පස්කුවල් මන්ත්‍රීවරයා තෙතරම් වෙනස් පුද්ගලයෙකු දැයි තේරුම් ගැනීමට මේ සිද්දියම ප්‍රමාණවත්ය.
                               

Thursday, May 31, 2012

ලංකාෙව් රත්තරන් විලිසියානු රත්තරන්

                          
                                                       
        ශ්‍රී ලංකාවේ කාන්තා ආභරණ නිෂ්පාදනයේ දී රත්තරන් සහ රිදී භාවිතා කිරීමේ පුරුද්ද ඉතාමත් දුරාතීතයට අයත්ය. එදත් අදත් රත්තරන් වල මිල ඉතා අධිකය. සියලුම භාණ්ඩ වලට වඩා එහි වටිනාකම ඉහළයයි සම්මතයක් පවතී. රන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රන් කරුවන්ගේ ශ්‍රේණිය මෙන්ම රිදී වැඩ කරුවන් ගේ ශ්‍රේණියද පුරාණයේ කොට්ටල් බද්දට අයත් විය. ඔවුහු අභරණ පට්ටලය නමින් වූ ශ්‍රේණියක වසමින් රජුට රදළවරුන්ට ආභරණ සෑදූහ. දැනුදු ඔවුන්ගේ ශේෂ ගම්වල දක්නට ලැබේ. ඒ අතර ප්‍රකට රිදී කැටයම් කරුවන් වූ නීලවල පරම්පරාව  මෙන්ම අඹන්පොල රන් කරුවන් ගේ පරම්පරාවද ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතා දක්වති.
      කැලණි ගඟේ රත්තරන් මතුවීම නිසා මේ දින වල ඒ ප්‍රදේශයට වෙසෙසි අවධානයක් යොමු වී පවතී. රත්තරන් ලෝහය ලංකාවේ පොළවේ එතරම් සුලබ දෙයක් නොවේ. එහෙත් පුරාණ රජවරුන් මෙන්ම රන්කරුවන් ද මෙහි තිබෙන රන් ලෝහය අවශ්‍ය පමණින් ලබා ගෙන වැඩෙහි යොදා ගත්හ. සේරුවිල ප්‍රදේශය ක්‍රි.පූ. සයවැනි සියවසේ දී පවා තඹ වලට ප්‍රසිද්ධ විය. එය තම්බපිට්ඨ නමින් හඳුන්වන ලදී. මේ තඹ නිධිය අභ්‍යන්තරයේ රත්තරන් ද ස්වල්ප වශයෙන් ඇති බව හෙළි වී තිබේ. ඒ අතරේ රුහුණේ නිල්වලා ගඟ ඉස්මත්තේ කතරගම ආසන්නයේ මෙන්ම රම්බොඩ ප්‍රදේශයේ ද හඳුනා ගත් රත්තරන් ඉල්ලම් තිබේ. 1907 දී නිකුත් කරන ලද ඛනිජ දෙපාරතමේන්තුවේ පරිපාලන වාර්තාවේ ජේම්ස් ඩැනියෙල් මහතා රත්තරන් ගැන කරන හෙළි දරව්වක් ඇතුලත්ය.  රත්තරන් අඩංගු යයි සැලකෙන රම්බඩ තිරුවානා නිධිය පිළිබඳව එහි වෙසෙසි අවධානයක් දක්වා ඇත. මොරවක් කෝරළයේ රන්කැටි ඇල ආසන්නයේ ද රත්තරන් පවතින බව එම පැරණි වාර්තාවේ සඳහන්ය.   මේ වාර්තාවේ මෙන්ම නිල් පොතේද මේ රත්තරන් ගැන සඳහන් වන්නේ යයි මහාචාර්ය ඩබ්.එස්. කරුණාරත්න මහතා සිය ලිපියක සඳහන් කර ඇත.  ගංගාවලින් රත්තරන් ගරා ගන්නා හැටි ආනන්ද කුමාරස්වාමි මහතා ඉතා සැකෙවින් එම වාර්තාවේ දක්වා ඇත.

      ‘මෙය සිංහලයින් විසින් ගඟ අදිනවා යනුවෙන් හඳුන්වති. මෙම ක්‍රමය උපයෝගී කරගෙන ගංඟා පතුලේ ඇති මැණීක්  ගරන අතර රන් එක්කාසු වී ඇති පරිසරයක් නම් ඔවුන් විසින් රත්තරන් ගැරීම ද කරනු ලැබේ. මේ සඳහා අඩුම වශයෙන් පුද්ගලයින් හයදෙනෙකු හෝ අට දෙනෙක් යොදා ගනිති. මේ සඳහා යොදා ගන්නා විශේෂ උදලු ගරන උදැල්ල හා පෝරු උදැල්ල යනුවෙන් හැඳින්වේ. මේ උදලු මිටි සැහැල්ලු රිටි වලින් සමන්විත වන අතර කෙටි මිටකින් ආරම්භ කර ගඟෙහි වැලි තමාගේ පාදය අසල තැන්පත් කර ගනු ලැබේ. ගඟේ සැඩ පහරට බර අඩු වැලි ගසා ගෙන යන අතර බර මැණික් සහ බර වැලි පාදය අසල තැන්පත් වේ. ඉන්පසු පුද්ගලයින් එතැනම සිට උදලු මිට රිටි බැඳ ක්‍රම ක්‍රමයෙන් දික් කරනු ලැබේ. මේ ක්‍රමයට සතියක් පමණ කාලයක් ගඟ පතුලේ ඇති වැලි අදිනු ලැබේ. ඉතිරි වී ඇති බර වැලි වන ඉල්මනයිට් සහ මොනසයිට් පොල් කටු මගින් එකුත කර නෑඹිලියකට දමා ගරා එහි රත්තරන් කැබලි ඇත්දැයි බලනු ලැබේ. මෙම ක්‍රමය උපයෝගී කරගෙන ඇලපාත මිනිරන් දෙණිය කුඩා ඇළක රන් සෙවීමේ දී රත්තරන් හමු වුණි. එමෙන්ම ඇල්ල ඒකල තානායම අසල වෙලක අඩි අටක් ගැඹුට හෑරීමෙන් පසු තිරුවානා බොරලු ඇති මාලාව සේදීමෙන් ඉල්මනයිටි ගානට් සහ සර්කොන් වැලි සමග රත්තරන් හමු වූ බව වාර්තා වේ.’
     රන්කරුවෝ මේ මිශ්‍ර රත්තරන් වෙන් කර ගැනීමට ඔවුන්ගේම ගෘහස්ථ පට්ටලය යොද ගත්හ. තඹ රිදී වැලි ආදී කුමන ද්‍රව්‍යයක් තිබුණද ඒවා කොවේ දමා මකවා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ඔවුන් සතු විය. ඖෂධීය ශාක වල ඉස්ම ඛනිජ ද්‍රව්‍ය ආදිය යොදා ගත් මිශ්‍රණයට මිශ්‍ර රත්තරන් හෝ රිදී දමා අවශ්‍ය නම් රිදී ද අවශ්‍ය නම් රත්තරන් ද ගරා ගැනීමට ඔවුහු දක්ෂ වූහ. අනතුරුව එම දියරය අච්චුවේ බහා සිසිල් වෙන්නට  තබා ගෙන රත්තරන් වාත්තුව ගත් බව පෙනේ.මේ සඳහා භාවිතා කළ වට්ටෝරු රාශියකි. පුස්කොළ ලේඛනයන්හි සඳහන් ඒවා ඇතැම් විට කවියෙන් ද වාක්‍ය ඛණ්ඩවලින් ද හමු වේ. ගංඟා වලින් ගරන මිශ්‍ර රත්තරන් වෙන් කර ගැනීමට රසදිය යොදා ගනී. එම මිශ්‍රණය යොදන්නේ ගඟේ දී නොව පට්ටලයේ දීය. නයිට්‍රික් අම්ලය යොදා මුලින් රිදී හා රත්තරන් වෙන් කර අනතුරුව රත්තරන් එක්කාසු වීමට රසදිය යොදති. තඹ හා රන් මිශ්‍ර කර මසුරන් සාදා ගන්නා ආකාරය කියවෙන කවි යුගළයක් මෙසේය.
සුද්ද තඹෙන් සය කළඳක්   අර ගන්න  -       සුද්ද රනින් එක් කළඳක් අරගන්න
තිත්ත අඟුණ කොල මල් ඉස්මේ ලන්න - සත්ත මිටක් කළ රන් මය අට වැන්න
කටහඬ ඇති දෙන්න එක තරමට ගන්න -          සොඳදිය ගන්න මිතුරන් හට එක් වන්න
බැට දෙන ඉන්න තුන් වෙලුමෙන් අඹරන්න  - තඹ සුණු ගින්න වෙයි මසුරන් දැන ගන්න 
     මේ ලෝහ මිශ්‍රණයට දේශියව මසුරන් යයි භාවිතා කළහ.විදේශිකයින් එයට විලිසියානු රත්තරන් යයි කියූවේ විලිසියානුව නමින් කාසියක් ද තිබූ බැවිනි.කෝට්ටේ යුගයේ සිටි ප්‍රකට රණ ශූරයෙකු වූ වීදිය බණ්ඩාර පරංගින් සමග විරසක වී හිර ගෙයක කොටු වී සිටියදී එයට කපන ලද උමගකින් පළා විත් තම රාජධානිය බවට පත් කර ගන්නා ලද පස්යොදුන් කොරළයේ පැලැන්ද නම් ස්ථානයේ අවට යකඩ රිදී හා රත්තරන් ගරා ගන්නා ලද ස්ථාන දැනට ගවේශණය කර ඇත. මගුරු ගඟ රිදී විට ආදී ස්ථාන වල ආචාරීන් නවත්වා යට කී ලෝහ ලබා ගත් බව ජන ප්‍රවාදයේ සඳහන්ය. වීදිය බණ්ඩාර සෙන්පතියාගේ රත්තරන් නළල් පටය මේ රන් වලින් සාදන ලද අගනා කලා නිර්මාණයකි. මැටි මුට්ටියක බහා තිබූ මේ නළල් පටය බදුරලිය කම්මලක් අසලදී 1999 වසරේ දී සොයා ගන්නා ලද අවස්ථාවේ දී එය ඉතා හොඳ තත්වයේ පැවතුණි.  පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ රසායන අංශය විසින් කරන ලද පර්යේෂණයේ දී තහවුරු වූයේ මේවා කැරට් විසි හතරේ රත්තරන් බවයි. විලිසියානු රත්තරන් යනුවෙන් එකළ හඳුන්වන ලද්දේ මේ රත්තරන්ය.
      යටකී ලෙස ගංගා වලින් ගරා ගන්නා ලද විවිධ මිශ්‍රණවලින් යුක්ත රත්තරන් කොවේ දමා මකවා ප්‍රයෝජනයට ගන්නා ලදී. රිදී ප්‍රමාණය වැඩි නම් රිදී වෙන් කර ගන්නා ලදී. රිදී සෑදිම යනුවෙන් සඳහන් පුස්කොළ ලේඛණයක් දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ඇත. එහි ඇතුලත් මේ වට්ටෝරු මගින් රත්තරන් හා රිදී වෙන් කර ගන්නා සාම්ප්‍රදායික තාක්ෂණය  පෙන්නුම් කරයි.
      ‘රසදයි කළන් එකයි සාදිලිංගම් කළන් එකයි තුත්තනාගම් කළන් එකයි රත්තරන් පාසානම් කළන් එකයි. මේ දේ කලු අත්තන කොළ යුෂයෙන් අඹරා කෝවක දමා දහයියා වලින් දෙවරක් ගිනියම් කර ඉක්බිති හැර ගෙන තබා කළඳට මංචාඩි හතක බර දමා මකුනු. මෙහි සඳහන් බොහෝ දේ රස වෙදකමට ගැනෙන ඛනිජ ද්‍රව්‍යයන්ය. දහයියා මැදි කර පොල් කටු අඟුරෙන් ගිනියම් කරන ලද කෝවකකට දමා මකවා ගැනීම පැරණි සම්ප්‍රදායයි.’ මේ තවත් වට්ටෝරුවකි. ‘රත්තරන් අල්මාරි දෙකළඳයි රසදිය මංචාඩියයි. එලුමරින්දු ඇතුලේ සාරා දමා නුහුල් පොටකින් වෙනුවැන්න කිරි නෙල්ලි යුෂ තල තෙල් මෙකී දේ මුට්ටියක දමා ලිප තබා මැටි බැඳ ගිනියම් කර නැවත ගෙන කුඩු කර දෙකළඳ මංචාඩි තුන බැගින් ගෙන කෝවේ දමා මකවා ගැනීමෙන් රිදී ලබා ගත හැකිය.’
    මේ ආකාරයට රන් රිදී හා තඹ ආදී ලෝහ මිශ්‍රව පවතින ස්ථාන සොයා බලා අමිශ්‍ර ලෝහ සාදා ගැනීම ලංකාවට විශේෂිත වූවක් යයි සිතමි. නිධි වලින් ගරා ගැනීමට වඩා මෙලෙස සුද්ද කර ගන්නා ලද ලෝහ ඇතැම් විට මිශ්‍රව යෙදීමෙන් බුදු පිළිම වැන අගනා නිර්මාණ රැසක් කරන ලදී.  යටත් විජිත යුගයේ සිට මේ අගනා කර්මාන්තය ගැන තොරතුරු රැසක් ගොනු වී තිබුණද ප්‍රමාණවත් තරම් අවධානයක් මෙතෙක් එයට යොමුව නැත. මෑතකදී කැළණි ගඟෙන් මතුවන්නට පටන් ගත් රත්තරන් කැබලි ද මේ ලෙස රටේ වාසනාවට මතුවීමක් ලෙස කල්පනා කළ හැකිය.  රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. රත්තරන් මතු වූයේ අනුරාධපුරයට ඊශාන දෙසින් තුන්යොදුනක් ගිය තන්හි ආචාරවිට්ටි නම් ගමෙහිය. රිදී විහාරය පිහිටි ලෙනකින් එලෙසම රිදී පහළ වූවායයි කියා තිබේ. මෙලෙස නොයෙකුත් ඛනිජයන් පහළ වීම මැනවින් කලමණාකරනයට ලක් කල හොත් ලංකාවේ අතීත සම්ප්‍රදායට සරිලන පරිදි අගනා කර්මාන්ත රැසක් යළිත් පණ පිහිටුවා ගත හැකිය. එහෙත් මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ වර්තමාන කාර්යභාරය වී තිබෙන්නේ රන් කරුවන් ගෙන් හා ගරන්නන් ගෙන් බලපත්‍ර ගාස්තු ලබා ගැනීම පමණකි. කැලණි ගඟේ රත්තරන් ගැරීමට ද රුපියල් දෙදහක මුදලක් අය කිරීමට තීරණය කර ඇත.  සාම්ප්‍රදායික රන් කරුවන් රාශියක්ම ලංකාවේ විවිධ තැන්වල විසිර සිටී. ඔවුන් ගේ කර්මාන්ත ආරක්ෂා කරලීමට හා දියුණු කරලීමට රජයට විධිමත් වැඩපිළිවෙලක් ද නැත. මීට වසර විස්සකට පණ ප්‍රථම රන්කරුවන්හට රත්තරන් කෝටාවක් ලබාදී ඇත.
     ආත්මාර්ථකාමී චේතනාවන්ගෙන් පිරි දෙශපාලකයින් හා නිළධාරීන් අරක් ගෙන සිටින රජයේ ආයතන වලින් පොදු ජනතා සුභ සිද්දියක් සිදු වේ යයි  වර්තමානයේ නම් විශ්වාශ කළ නොහැකිය. කැළණි ගඟේ රත්තරන් මතුවීමේ සිද්දියෙන්ද මේ ඛේදවාචකය ඉස්මතු වී ඇත.එබැවින් මේ වාසනාව අවාසනාවක් වන්නටද වැඩි කලක් ගත නොවනු ඇත. පෙර රජවරන් තැන්පත් කළ නිදන් වස්තු වලට කරන විනාශය ගැන කල්පනා කළ හොත් මේ කොල්ල කෑමේ තරම වටහා ගත හැකිය.
                                                                                                                                                                                        

Sunday, May 20, 2012

කපුටන් බල්ලන් වන්නට කැමති නම් නිදන් හාරන්න

                                        පුරාවිද්‍යා දෙපාර්තමේනතුව ප්‍රකාශ කරන පරිදි පසුගිය වර්ෂයේ නිදන් හෑරීම් 1063 ක් වාර්තා වී ඇත.මෙහි උච්චතම සිද්දිය වාර්තා වූයේ මහ විලච්චිය පළාතෙනි. එහි වැව ඉස්මත්තේ බැකෝ යන්ත්‍ර යොදා වලවල් හෑරීමේ නිරත වූ විශේෂ කාර්ය බලකා සෙබලු කණ්ඩායමක් ගම්මුන්ගේ අත්අඩංගුවට පත් වීමෙන් නිදන් හොරකම් ගැන රජයට ද ඇඟිල්ල දික් වූයේය.ඉපැරණි ශිෂ්ඨාරයක් හිමි රටක මෙවැනි තත්වයක් උදාවීම බෙහෙවින්ම ඛේදනීය කරුණකි.
            ලංකාවේ බෙහෝ පළාත්වල පැරණි රාජධානි පිහිටා තිබූ බව ඉතිහාසයේ සදහන්ය. බස්නාහිර තෙත් කලාපයේ පවා වනදුර්ග අතර මෙවැනි බලකොටු පිහිටා තිබී ඇත. නමුත් වැඩි වශයෙන්ම පැරණි රජරට නොහොත් උතුරේද රුහුණේද නැගෙනහිර පළාතේද මෙවැනි රාජධානි දීර්ඝකාලයක් පැවතී ඇත. එසේම මේ පළාත්වල සෑම වැවක් ආසන්නයේද පැරණි සිද්ධස්ථානයක් පිහිටා තිබුණු තරමටම බුද්ධ ශාසනය ලංකාව පුරාම ව්‍යාප්ත වී තිබුණි.මෙවැනි ස්ථාන  දාගැබ් පෙති පිළිම මෙන්ම බොහෝ පුරාවස්තු වලින් ගහනය. සතුරු ආක්‍රමණ වලින් පසුව මේ ස්ථාන නටබුන් වී ගිය පසු ගඩොල් ස්ථර ඇරුණු කොට ඉතිරිව ඇත්තේ ගලින් නෙලන ලද විවිධාකාරයේ පුරා වස්තු පමණකි. ඉතිහාසයේ සඳහන් පරිදි මේ ස්ථානයන් සඟසතු කොට පූජා කරන අවස්ථාවලදී ධාතු නිදානයන් කර ඇත.අැතැම් සැදැහැවත් රජවරු මෙන්ම උපාසක ඇත්තන්ද තමන්ගේ ශ්‍රද්ධාව නිසා තමන් පරිභෝග කළ නොයෙකුත් වස්තූන් ඒවායේ තැන්පත් කළහ. එම නිසා ධාතු නිදාන හා චෛත්‍ය නිදාන යනුවෙන් සඳහන්කළ ක්‍රියාවලියක් තිබූ බව අප පිළි ගත යුතුය. එසේම සිංහල වෛද්‍යවරු තමන් සතුව පාරම්පරිකව පැවත ආ වෙදකම මෙන්ම ප්‍රතිකාර ක්‍රමයන්ද ඇතුලත් පුස්කොළ පොත් මෙන්ම හෙණරාජ තෛලය වැනි බලගතු තෙල් වර්ග යම් යම් ස්ථානයන්හි තැන්පත් කරන ලද්දේ සතුරන් ගෙන් ආරක්ෂා කර ගැනීම පිනිසය. ඒවා හැඳින්වෙන්නේ බෙහෙත් නිදාන ලෙසිනි. මීට අමතරව රජරට වැව් ශිෂ්ඨාචාරය පණ ගැන්වූ රජවරු මධ්‍යම ප්‍රමාණයේ වැව් මෙන්ම මහා වැව්  නඩත්තු කරනු පිණිස වැව් අසබඩ වස්තුව නිදහන් කළ බව පැවසෙයි. මේවා හැඳින්වෙන්නේ වැව් නිදහන් වශයෙනි. මේ සියල්ලටම වඩා වෙනස් නිදන් වර්ගය වස්තු නිදන් යනුවෙන් හැඳින්වේ. රජවරුන් අමාත්‍යවරුන් සතුරු ආක්‍රමණයන් අවස්ථාවලදි පලා යන විට හෝ සැඟවී ගත් විට ඔවුන්ගේ වස්තුව නිදන් කිරීම මෙහිදී සිදුවෙයි. අපවත් වී වදාල පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන් මේ පිළිබඳව වෙසෙසි විමර්ශණයක් කර ඇති බව උන් වහණ්සේ ගේ ලිපි ලේඛන විමසා බැලීමෙන් පෙනේ.
       අනුරාධපුර රාජධානිය වැඩි වර්ධනය වන විට බුද්ධ ශාසනය ට වෙසෙසි රාජ්‍ය අනුග්‍රහයක් හිමි විය.රජවරු ශ්‍රද්ධා භත්තියෙන් විහාරස්ථාන වලට ඉඩකඩම් පූජා කළහ. ඉන් පසු ඒ දීමනාවන් ගැන ජනතාවට දැන ගත හැකිවන පරිදි අත්තාණි කණු පිහිටවූහ. ඇතැම් විට ගල් පර්වත වල සටහන් කර තැබූහ. පසු කාලයේදී බහුලව තඹ සන්නස් මගින් මේ ඉඩ කඩම් පූජා කළහ. මෙවැනි ගල් ටැම්වල දීමනා පාඨ වලින් පසු කපුටා බල්ලා වටාපත ආදී සළකුණු ද කොටා තිබේ. මෙයින් අදහස් කරන්නේ යම්කිසිවෙකු මේ ප්‍රදේශ වල තිබෙන පෙති පිළිම චෛත්‍ය ආදියට හානියක් කරන්නේ නම් එම පුද්ගලයා මරණින් පසු තිරිසන් ආත්ම වල උප්පත්තිය ලබන බවයි. කවුඩු බලු වෙත්වා යන පාඨය මෙහිදී අවධානය කර ඇත. මෙලෙස ශාසනික පරිභෝගික වස්තූන්ට හානි කිරීම බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. වැව් ආශ්‍රිතවද යම් යම් වස්තූන් නිදහන් කරන ලද්දේ වැවේ නඩත්තුව පිණිසයි.  කෙනෙකු එම වස්තුව ගොඩ ගෙන පුද්ගල පරිභෝජනයට ගනී නම් එයද බරපතල පාපකර්මයක් ලෙසට සලකන ලදී. බෞද්ධ ධර්ම දේශනා වල හරය මැනවින් තේරුම් කර ගෙන සිටි පැරණි ජනතාව පවට බිය ඇති පිරිසක් වූහ. එසේම රාජ නීතියටද බිය වූහ. මේ නිසා ඔවුන් අතින් මේ පූජා වස්තු වලට කිසිම හානියක් සිදු නොවූහ. සතුරු ආක්‍රමණ වලදී දාගැබ් බිඳ වස්තුව පැහැර ගත් අවස්ථා රාශියක් වාර්තා වී ඇත. එහිදී වුවද සාමූහිකව එම ස්ථාන ආරක්ෂා කර ගන්නට සටන් වැදුණු ජනතාව ගැන ඉතිහාසයේ ඇත.
      . වස්තු තණ්හාවෙන් සහ රාජ්‍ය ලෝභයෙන් සිටි සිරිනාග නම් බ්‍රාහ්මණ පුත්‍රයෙකු ගැන සද්ධර්මාලංකාර කතා වස්තුවේ තිබේ. ඔහු රජ්‍යත්වය හා බලය ලබා ගැනීම පිණිස අනුරාධපුරයේ දකුණු දාගැබ බිඳවන්නට උත්සාහ කලේය.මේ දාගැබ ආරක්ෂා කරන හෙල්ලොලිය නම් ගමේ ප්‍රධානියා ද අවනත කරගන්නට උත්සාහ කලේය. නමුත් පවට තිබෙන බිය නිසා ඔහු ඊට අකමැති විය. මේ ප්‍රධානියා ඇතුලු පිරිස උල හිඳුවා මරණ ලද අතර සිරි නාග වෙනත් දාගැබ් රාශියක් බිඳවා  වස්තුව එක් රැස් කොට ජන බලය ද ගෙන රජ්‍ය  පැහැර ගත්තේය. නමුත් ඔහුට යහතින් සිටින්ට නොහැකි විය. අවසානයේ දී තමන් කළ අකුසල කර්මයන් පලදී තමන් විසින් තමන්ගේම   බඩ පලා ගෙන නිරයට ගියේය. එහි විපාකයන් සද්ධර්මාලංකාරයේ සඳහන්ව ඇත්තේ මෙසේය. යම් කිසිවෙක් බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතු පිහිටුවා බැඳි දාගැබක් බින්දේ නම් එසේ වූ පව් කළ තැනැත්තන් පාපිෂ්ඨ වූ සිරි නාගයන් පරිද්දෙන් ම අවීචි මහා නරකයේ උපදන්නේමය. තවද යම් කිසි වෙක් බුද්ධ රූපවල අත් පා කන්නසා සිඳ බිඳ නැසූයේ නම් එවැනියන් එපරිද්දෙන්ම මෙම ජාතියෙහි බොහෝ දුක් විඳ නිරයේම උපදනේය. තවද යම් කිසි කෙනෙකුන් සංඝයා වහණ්සේට කිසියම් අපරාධයක් කලාහු වී නම් එසේවූ සත්වයෝ නරක තිර්‍ය්‍යයක් ප්‍රේත අසුර කාය යන සතර අපායෙහිම මහ දුක් විඳිනාහුමය.
     වර්තමානයේදී මේ සියලු පාපකර්මයන් වලට පෙළඹිමක් සමාජය තුල ඇතිවී තිබේ.කොටි ත්‍රස්වාදීන් හෝ යුරෝපීය යටත් විජිතවාදීන් නොකළ තරමේ විනාශයක් රටේ පූජ්‍ය ස්ථාන වල සිදු වේ. ආරක්ෂක අංශවලින් පවා මෙවැනි අපරාධ වලට රුකුල් දීමක් සිදු වන බව වාර්තා වේ. මෙම තත්වය පාලනය කිරීමට පත් කර ඇති පුරාවිද්‍යා දෙපාරත්මේන්තුව කටයුතු කරන ආකාරය දෙස බලන කල්හි අඩුපාඩු රාශියක් ම දක්නට ලැබෙන බව කිව යුතුය. පළවැනි කාරණය නම් පැරණි නිදන් වස්තු පිළිබඳ ඔවුනට තිබෙන අනවබෝධයයි. උදාහරණයක් වශයෙන් යම්කිසි ගල් පර්වතයක් බෝර ගසා එහි තුල තිබෙන යම්කිසි වස්තුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවක දෙපාර්තමේන්තුව නිරුත්තර වේ. ඊට හේතුව සළකුණු සෙල්ලිපි හෝ භෞතික ඉඳිකිරීම් නොමැත්තේ නම් එම ස්ථානය පුරවිද්‍යා ස්ථානයක් ලෙසට ඔවුන් නොපිළිගැනීමයි. නමුත් නවීන ස්කෑන් යන්ත්‍ර පවා ගෙන්වා ගෙන නිදන් කොල්ලකරුවන් ඒ ස්ථාන වල තිබෙන භෞතික වස්තූන් නිරීක්ෂණය කරති. එවැනි ස්ථාන රාශියක් ගැනම දිවයින සෑම තැනින්ම වාර්තා වී ඇත. මේ ස්ථාන ගැන තිබෙන නොතේරුම් කම නිසා ඇතැම් විට නිළධාරීන් විසින්ම මේ ගල් පර්වතයන්හි ගල් වලවල් දැමීමට අවසර පත්‍ර නිකුත් කරති.නිදන්හාරන්නන් මේ මගින් නිදන්හෑරීමට නීතිමය ආවරණයක් ලබා ගනිති.
       යටත් විජිත සමයේ පිහිටුවා ලූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවමත් ක්‍රියා කරන්නේ එම මානසිකත්වය අනුවයි. ඔවුන් ගේ බෙහෝ වාර්තාවන් හෝ සෙල්ලිපි සංග්‍රහයන් සිංහල භාෂාවෙන් පළවන්නේ නැත. මේ නිසා සෙල් ලිපි ගැන හෝ වෙනත් පුරා වස්තු ගැන සාමාන්‍ය ජනතාවට අවබොධයක් නැත. මේ නිසා ටැම් ලිපි රාශියක්ම නිදන් හාරන්නන්ගේ යකුලු පහරට ලක් වී ඇත. කෙසේ වෙතත් පාසල් අවදියේ සිටම මේ පූජනීය වස්තු ගැන වැටහීමක් ලබා දිය යුතුය. පවට බිය ඇති කීරීම මෙන්ම අදාල නීති නිසියාකාරව ක්‍රියාකිරීමද අත්‍යවශ්‍ය කරුණකි. පොළව යට තිබෙන නිධි රජය සතු වුවත් ඒවා දේශපාලකයිනට ලබා ගැනීමට අයිතියක් නැත. මේ පුරා වස්තු විනාශයට ප්‍රධාන හේතුව රජය සිය කාර්යභාරය මග හැර සිටීම යයි කිය යුතුය. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයට දක්වන කුඩම්මාගේ සැලකිල්ලෙන්ම ඒ බැවි සනාථ වේ.
                                               
     

   
      

Sunday, May 6, 2012

වී අර්බුදයට තිබෙන පිලියම් මොනවාද

                                               
          මාස් කන්නයේ වී අස්වනු නෙලමින් පවතින මේ කාල වකවානුවේ යලිත් වී මිල ප්‍රශ්නය කරළියට පැමිණ තිබේ. ඇතැම් පලාත් වල ගොවීන්  සිය දිවි නසා ගැනීමට පවා පෙළඹී ඇතැයි කියැවෙන සිද්දි දඩ මීමා කර ගෙන  දේශපාලන කලබගෑනි ඇති කරලීමේ උත්සාහයන් ද පවතී. මේ වන විට වී ගැණුම් මිල රුපියල් දාසයට බැස  ඇත. රජයේ මිල රුපියල් විසි අටත් තිහත් අතර ප්‍රමාණයක තිබුණද වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නේ සමස්ත වී අස්වැන්නෙන් සියයට දහයකට ආසන්න ප්‍රමාණයක් පමණි.1995 වර්ෂයේ එවකට චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය යුගයේ දී වත්මන් අගමැති වරයා කෘෂිකර්ම ඇමතිව සිටි කාලවකවානුවේ වී අලෙවි මණ්ඩලය අහෝසි කරලීමට කෙටුම් පත් සකස් කළ අතර පසුව එය කළ නොහැකි වූ තැන මණ්ඩලය අක්‍රීය කර නිළධාරීන් කීප දෙනෙකුට පමණක් පඩි ගෙවමින් තාබා ගත්හ. එසේම වී අලෙවි මණ්ඩලය සතු ගබඩා ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවා විකුණා දැමීමට කටයුතු කළහ.(එකසත් ජාතික පක්ෂ රජය කාලයේ සිට එය සිදු විය) එහිදී ඉන් වැඩි ප්‍රතිලාභ ලැබූයේ  බහුජාතික සමාගම්ය.රජය විසින් ගොඩ නගා නඩත්තු කරනු ලැබූ රජ්‍ය සමිපත් වන බිත්තර වී ගොවිපළවල් වල පරම අයිතිය පවා ලබා ගන්නට මේ සමාගමි සමත් විය.
     ලංකාවේ වී නිෂ්පාදනය මෙට්රික් ටොන් දශලකෂ 3.8 ක් පමණ වේ. මේ අස්වැන්නෙන් රජය මිලදී ගන්නා පුමාණය ඉතාමත් සීමිතය. ගබඩා විකුණා දැමූ හෙයින් ඒ සම්පූර්ණ ප්‍රමාණය වුවද දැනට මිලදී ගත නොහැකිය. එම නිසා ගන්නා වී සමූපකාර වල ද ගබඩා කරන්නට දැනට සිදු වී ඇත. රජයේ නියම මිලට වී මිලදී ගැනීම පිණිස කළ යුත්තේ වී ගබඩා ප්‍රමාණය වැඩි කර ගැනීම නොවේ. එය දිගටම  කළ නොහැකි දෙයකි. නමුත් පෞද්ගලික අංශය මිලදී ගන්නා ප්‍රමාණය මගින් ගොවියාට සහන අත් කර දීමේ ක්‍රියාවලියට රජය ට සෘජුව මැදිහත් විය හැකිය. ඉන් එක් ක්‍රමයක් නම් වී සඳහා පාලන මිලක් ඇති කරලීමයි. දැනට රුපියල් විසි අටට තිහට තිබෙන මිල තව වැඩි කිරීමේ යම් කිසි සාධාරණත්වයක් ඇත. එයට හේතුව ඉන්ධන මිල වැඩීවීම හා ශ්‍රමයට ගෙවන මිල වැඩි වීම නිසාය. පොහොර සහනාධරය දුන්නද ඒ මගින් සමස්ත නිෂ්පාදන වියදම අඩු කරලීමට එතරම් බලපෑමක් සිදු වන්නේ නැත.
      දැනටමත් පාරම්පරික දේශීය සහල් වලට රුපියල් පණහේ සිට රුපියල හැට දක්වා ශක්තිමත් මිලක් ලැබෙන අතර එය ස්ථායිව පවතී. ඒ නිසා ඒ සහල් වල් මිලද රුපියල් සියයට වඩා ඉහලින් පවතී. සාමාන්‍ය වී වල මිල රුපියල් තිස් පහේ මට්ටමේ පැවතුනහොත් සහල් මිල රුපියල් හැත්තෑවකට ආසන්නයේ තබා ගත හැකිය. මෙහිදී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයට එයින් ලැබෙන රුකුල සුලු පටු නොවේ. දැනට රජය සිදු කරනුලබන්නේ පිටරටින් ණය ලබා ගෙන ඩොලර් මුදා හැරීමයි. නමුත් ආනයනය සීඝ්‍ර ලෙසට ඉහළ ගොස් ඇති නිසා විශාල වෙළෙඳ ශේෂයක් පවතින බව කිව යුතුය. එවිට  ඩොලර් වලින් රුපියල ස්ථායි ලෙස තබා ගැනීමට  රුපියලේ අගය අඩු කර ගනිති. මෙම ක්‍රියාවලිය ආර්ථික විද්‍යාවේ නරකම පියවරකි.
      නමුත් සැබෑ ලෙසටම කළ යුත්තේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය වැඩි කරලීම උදෙසා ක්‍රියා මාර්ග ගැනීමයි.වී නිෂ්පාදනය ගත හොත් එය කළ හැක්කේ හාල් වශයෙන් රට පැටවීම නොව නිමි ආහාර වශයෙන් රට පැටවීමෙනි. එවිට අපනයනයන් වැඩිවී අපගේ ගිණුම් සංචිතයන් පොහොසත් කර ගත හැකිය. පාරම්පරික සහල් මගින් නිමි ආහාර නිෂ්පාදනය කරන්නේ නම් විශාල අපනයන වෙළෙඳපලක් ඇතිවනවා නිසැකය. 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවාලීමෙන් පසුව මේ අරමුණ උදෙසා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක විය.එහිදී වී තැම්බීමේ ක්‍රියාවලිය පෙන්වා දියහැකිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ  නිර්මාණ කරුවෙකු විසින් සෑදූ එකවර වී තම්බන වියළන යන්ත්‍රය ඒ කාලයේ හැටියට විශාල පරිවර්තනයක් සිදු කලේය. නමුත් ආර්ථික ඝාතක නිළධාරීන් විසින් මේ වැඩසටන කලකදී කඩාකප්පල් කරන ලදී. වී අලෙවි මණ්ඩලයේ පර්යේෂණ අංශයක් විලසට ඇරඹු අනුරාධපුර සහල් සැකසුම් මධ්‍යස්ථානය සහල් ආශ්‍රිත නිෂ්පාදන ඇති කරලීමේ පුරොගාමීන් වෙයි. එම ආයත්නය 1991 වර්ෂයේ දී පමණ නිපද වූ රතු සහ සුදු සහල් පිටි නූඩල්ස් (සියයට සියයක්ම සහල් පිටි ) ලක් ජනතාව අතර ඉතා ඉක්මනින් ජනප්‍රිය විය.එහෙත් මේ නිපයුම් අපනයනය සඳහා යොමු කරලීමට වැඩ සටහනක් ඇති නොවීය. එයට හේතුව වී අලෙවි මණ්ඩලය අක්‍රීය වීම විය හැකිය.
         එසේම චීන ආධාර යටතේ ලැබුණු එහි නිෂ්පාදන යන්ත්‍රයන් එම ආයතනය තුල තවමත් ක්‍රියාත්මක කරනවා විනා ලෝකයේ නව තාක්ෂණයට අනුව වැඩි දියුණූ වී නැත. එහෙත් එම ආයතනය විසින් ඔවුන්ගේ තාක්ෂණය නොයෙකුත් ව්‍යපාර ආයතන වලට ලබා දී තිබේ. සම්පූර්ණ කුරක්කන් යොදවා නූඩල්ස් නිෂ්පාදනය කිරීමටද ඒ තාක්ෂණය රටට දීමට ද ඔවුන් සමත් වතිබේ.      ඒ අනුව දේශිය ධාන්‍ය මත පදනම්ව ආහාර සකස් කරන විවිධ සමාගම් රාශියක් සහල් පිටි ආශ්‍රිතව ආහාර නිපදවීමේ ක්‍රියාවලියට දැනට අවතීර්ණ වි ඇත. නමුත් ලෝකයේ  ඒ සඳහා තිබෙන දියුණු යන්ත්‍ර සූත්‍ර ගෙන්වා ගැනීමේ දී මේ ආයතන දැඩි දුෂ්කරතාවයන් ට මුහුණ දෙති. එයට වග කිව යුත්තේ  බාණ්ඩාගාරයේ ආර්ථික ඝාතක නිළධාරීන්ය. කොමිස් කුට්ටි වලට යටවූ බොහෝ නිළධාරීන් මෙවැනි දේශප්‍රේමී ක්‍රියාවලීන්ට කැමති නොවේ. ඒ නිසා සහල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය තවමත් ලංකාවේ පවතින්නේ ළදරු තත්වයකය.
       අනුරාධපුර සහල් සැකසුම් ආයතනය ඇරුණු කොට කාර්මික තාක්ෂණ ආයතනය හා කාර්මික සංවර්ධන මණ්ඩලය ද මේ නව නිෂ්පාදනයන් ගැන විශාල වැඩ කොටසක් සිදු කර ඇත.ඇඹිලිපිටියේ කැතිරිච් ආයතනය තුලද මේ නිර්මාණ රාශියක් කළ එලි දක්වා තිබේ. ඒ අතර සහල් පිටි පාන් විස්කෝතු ළදරු ආහාර බීම වර්ග ආදී කෑම රාශියක් ඇත. පාරම්පරික සහල් පදනම් කර ගෙන නිෂ්පාදනය කරන ලද වියළි කැඳ චූර්ණය හා කුරුඳු සාරය අඩංගු සහල් බීම වර්ගය මෑතකදී කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ දී නිර්මාණය විය. එකස්කෘඩර් වැනි යන්ත්‍ර භාවිතා කොට මේ ආහාර නිෂ්පාදනය කෙරේ. එහිදී  පීඩනයකට ලක්වූ සහල්  පොරි බවට පත් වී ඉන් පිට වේ.මෙ වැනි ආහාර ශරීරය තුලදී ඉති ඉක්මනින් ජීර්ණයට පත් වන අතර ක්ෂණිකව සාදා දිය හැකිය. කැඳ සකස් කරලීම පිණිස සාදා ඇති චූර්ණය  ද විශේෂත්වයක්ගනී. එය රෝගීන්ටද ඉතා ඉක්මකික් සාදා දිය හැකි ආහාරයකි. මෙම නිර්මාණයන් අපනයනයට යොමු කරලීමේ කර්මාන්ත ඇති කිරීම කාලීන අවශ්‍යතාවයකි. රජය එයට තවමත් සූදානම් නොමැත.
       පාන් සෑදිම උදෙසා සහල් යො දා ගැනීමේ පර්යේෂණයන් ද ආරම්භ කර ඇත්තේ මීට දශක දෙකකට පමණ ඉහත සිටය. තිරිඟු පිටි වලට සහල් පිටි කලවම් කළ හැක්කේ සියයට විසිපහේ සිට පණහ දක්වා ප්‍රමාණයක් පමණි. පාන් නිපදවීමේ ප්‍රචලිත තාක්ෂණයන් වැඩි දියුණු කර එසේ කළ හැකිය.සහල් වල ගලූටන් නොමැති හෙයින්  සියයට සියයක් ම සහල් පිටි යොදා ගැනීම කළ නොහැකි බව ඇතැම් පර්යේෂකයින් ගේ මතයයි. එහෙත් සාම්ප්‍රදායික පාන් ගෙඩිය වෙනුවට පොෂ්‍ය දායි නිමි අහාරයක් හඳුන්වා දන් පුද්ගලයෙකු ගැන ද මේ අවස්ථාවේ මතක් කළ යුතුය. මාතර රීගල් බේක් හවුස් අධිපතිව සිටි වීරසේකර මහතා මේ නිර්මාණ කරුවාය. ඔහු දේශීය ධාන්‍ය වර්ග රාශියක් යොදා බනිස් හා පාන් අහාර වැඩි දියුණු කලේය. එහිදී යොදා ගත් තාක්ෂණයේ දී බහුලව පොල් කිරි යොදාගත් බව සඳහන්ය. අද මේ නිර්මාණ කරුවා ජීවතුන් අතර නැතත් ඔහුගේ වෑයම ආදර්ශයට ගෙන දේශීය පාන් ගෙඩියක් සෑදීමට උත්සාහයන් ගත හැකිය. අවශ්‍ය වන්නේ නව ආරකින් සිතන්නට පෙළඹීමයි. එසේම සුදු පාන් රුචිකත්වය වෙනස් කරලීමේ පරිවර්තන ක්‍රියාමාර්ගයන් ද රටට අවශ්‍ය වේ. වී නිෂ්පාදනය හා පරිභෝජනය සමබර කර ගත හැක්කේ එවිටයි.