පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, January 23, 2026

තිස්ස මදක් නවතින්න තිස්ස විහාරයට දොස් නොපවරන්න

 

                       


         අනුරාධපුර ශ්‍රී මහා බෝධිය පසුකර උතුරට ගොස් තිස්ස රාජ මහා විහාරයේ සිල් සමාදන් වීම පිළිබදව කොකුවිල් ප්‍රසිද්ධ  වේදිකාවක දී  ජනපතිවරයා කළ ප්‍රකාශය මේ වන විට මහත් ආන්දෝලනයකට ලක් ව තිබේ.ක්‍රි.පූ. තුන්වන සියවසේ දී දේවානම් පියතිස්ස රජතුමා විසින් ජම්බුකෝළ විහාරය තිස්ස විහාරය සහ පාචීන විහාරය යනුවෙන්  උතුරේ විහාර තුනක් කළ බැව් මහාවංශයේ සඳහන්  වන බැවින් මෙකී තිස්ස විහාරය අරභයා ජනපතිවරයාගේ නොකැමැත්ත පළ වීම පුදුම සහගත යැයි කල්පනා කළ හැකිය.මන්ද මෙරට බෞද්ධයන් ගේ ප්‍රධාන චාරිත්‍ර අතර වන්දනාව ප්‍රමුඛ වන බැවිනි. වන්දනා ගමනකදී සිල් සමාදන් වීම ද ඒ මගින් කුසල් රැස්  කර ගැනීම ද සිදු කළ හැකිය.එය ලංකාවේ ඕනෑම සිද්ධස්ථානයක සිට එම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ක්‍රියාවිලියෙහි නිරත විය හැකිය.

          රජ දවසින් පසුව විවිධ සතුරු ආක්‍රමණ හේතුවෙන් යාපන අර්ධ ද්වීපයේ තිබූ බෞද්ධ වෙහෙර විහාරස්ථාන රාශියක් විනාශයට පත් විය.විශේෂයෙන්ම පෘතුගීසීන් විසින් උතුරේ කරන ලද විනාශයට මේ විහාරස්ථාන ලක් විය. අනතුරුව ලන්දේසීන් මෙම භූමිය වගා කරලීම පිණීසත් යුධමය කටයුතු සඳහාත් ඉඩම් වශයෙන් කටිටි කැඩීම සිදු කර ඇත.එම ඉඩම් යාපනයේ සිටි සිංහල ජනතාව සහ මුදලි වරුන් පාලනය කළ ප්‍රදේශයන් විය. ඒවා බලයෙන්ම පැහැර ගැනීමක් සිදු කර තිබේ.ඉන් පසු කට්ටි කරන ලද ඉඩම් වල මලබාරයෙන් ගෙන්වන ලද වහලුන් පදිංචි කළ බව ලන්දේසි යුගය පිළීබඳ ලියන අරසරත්නම් ඉතිහාසඥයා දක්වා ඇත.මේ ඉඩම් පරිහරණය නිසා තිස්ස විහාරය ද  විනාශයට ලත්ව ඇත.

      තිස්ස විහාරය නැවත ගොඩ නැගෙන්නේ විසිවන සියවසේ ආරම්භයේ හතළිහේ දශයේ දකුණේ සිට උතුරේ පාසල් වල ඉගැන්වීම් සඳහා වැඩම කළ ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයෙනි.1939 නාගද්වීප විහරය ද ඒ ආසන්න කාලයේ නාග විහාරය ද කදුරුගොඩ විහාරය ද ජම්බුකෝළ විහාරය ද නැවත ගොඩ නන්වා තිබේ.එහෙත් 1958 දී උතුරේ දේශපාලකයන් ඇවිලවූ ජාතිවාදී කෝළාහලය නිසා නාගද්වීප විහාරය බිමට සමතලා විය. තිස්ස විහාරයේ සහ නාග විහාරයේ සිටි ස්වාමීන් වහන්සේලාට ශාරීරික කරදර සිදු විය.අසූව දශකයේ දී උතුරේ යුද්ධය ආරම්භ වීම නිසා නැවතත් ඒ නරක කල දසාව බෞද්ධ ස්ථාන වලට උදාවිය. නාගවිහාරයේ වැඩ සිටි ඥානරතන නායක හිමියන් වෙඩි පහරකට ද ලක් විය.

    වර්තමානයේ කතාබහවන තිස්සවිහාරය නැවත 2018 සිට ගොඩ නැගෙන්නේ හමුදාවේ  ශ්‍රම දායකත්වය සහිතව රජයේ ආශිර්වාදයෙනි.පෙර රජදරුවන් කළ කී පරිදි සසුන නැන්වීමට දායකත්වය සැපයිණි. පැරණි තිස්ස විහාරය ගොඩ නැන්වීම ගැන ප්‍රදේශයේ දෙමළ ජනතාවද සිටියේ සතුටිනි.එයට එක් හේතුවක් වූයේ යාපනයේ ප්‍රථම දෙමළ දහම් පාසල මෙම විහාරය ආශ්‍රිතව අතීතයේ දී පිහිටුවා තිබීමයි.එසේම වෙසක් ,පොසොන් පොහෝ දින වල උතුරට යනෙන වන්දනා කරුවන් විසින් නිරන්තරව දන්සල් සංවිධානය කිරීම ගැනද ප්‍රදේශයේ දෙමළ ජනතාව සිටියේ බලවත් සතුටිනි.මල්ලාකම් පරාලෙයි හි පිහිටා ඇති පැරණි සංඝමිත්තා බෝධිය අද කෝවිලකි. එහි කාර්ය භාරව සිටින කුරුක්කල් තුමා බෞද්ධ ඉතිහාසය පිළීගන්නෙකි. පැරණි වන්දනා කරුවන් නාග ද්වීපයට යෑමට ප්‍රථම සංඝ මිත්ත බෝධීයට පැමිණි බව ඔහු පවසයි.එහෙත් උතුරේ දකුණේ සමගියක් ගැන නොසිතන එසේම උතුරේ කුලහීන ජනයා යැයි සළකන කණ්ඩායම් නොසලකා හරින දෙමළ දේශපාලඥයන් මේ සමගියට අකමැතිය.පොහෝ දිනට තිස්ස විහාරය අසළට රොක් වී හමුදාවට ද ගරහමින් පන්සල නීත්‍යානුකූල නැතැයි පවසමින් කරන කෝළාහලය ආරම්භ වන්නේ 2023 වසරේ සිටය. එයට හේතුව හිටපු ප්‍රාදේශීය ලේකම් වරයෙකු වූ ශිවාශ්‍රී මහතා විසින් හිතුවක්කාර ලෙසට තිස්ස විහාර භූමිය තුළ දෙමළ ජනතාවට ඉඩම් පෙන්වීමයි.අවතැන් අය පදිංචි කිරීමේ මුවාවෙන් තැන් තැන්වල පවතින ඔප්පු වලට අදාල ඉඩම් යැයි දක්වා ඔහු එම කූඨ කාර්යය කර ඇත. මේ පිළීබඳව රජයෙන් තවමත් විමර්ශනයක් කර නැත.

       තිස්ස විහාරයට අයිති ඉඩම පිළීබඳ 1959 වසරේ නිකුත් කරන ලද යාපන අඟලේ සිතියමේ පැහැදිලිව දක්වා තිබේ.එයට හේතුව 1954 වසරේ දී යාපන හිටපු දිසාපති වරයා විසින් එම භූමි පෙදෙස විහාරගම් ඉඩමක් ලෙසට හඳුනා ගැනීමයි.අනතුරුව කලකෝලාහල මත විහාර බිම පරිහරණයෙන් ඉවත් වුණද  1971  දී කන්කසන්තුර නගර සභාවේ ඉල්ලීමෙන් මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද නගර රේඛා සැලැස්මේ ඒ වන විට පැවති පන්සල් භූමිය ද පැහැදිලිව දක්වා තිබේ. 1971 නගර රේඛා සැලැස්මට අධි ප්‍රක්ෂේපණය කොට 2024/07/02 දින මිනුම්දෝරු දෙපාර්තමේන්තුව විසින් වාර්තාවක් සකස් කර තිබේ. ඒ වාර්තාව අනුව සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය අක්කර 14 ක් සහ පර්චර්ස් 5.97 ක් ඉතිරිව තිබෙන බවට තහවුරු වී තිබේ. එයට අමතරව 1984 වසරේ දී නිකුත් කරන ලද ගුවන් ඡායාරූපයේ ද මෙම පන්සල් භූමියෙහි විහාල වපසරියක් හිස්ව පවතින බව දැක්වේ.යුද්ධය ආරම්භ වූ පසු මෙම ඉඩම අතුළු අක්කර හය දහසක් හමුදාව වෙත පවරා ගෙන තිබේ. ඒ ආරක්ෂක කටයුතු සඳහාය. තිස්ස විහාරය මෙතැන පැවති බව හමුදාව දැන සිටියේ නැත. එබැවින් එතැන කඳවුරක් ඉඳිව තිබුණි.හමුදා නිවස්න තිබුණි.  2009 වසරින් පසුව සිවිල් ජනතාවට ඉඩම් නිදහස් කරලීමේ ක්‍රියාදාමයේ දී පළමු වරට පැරණි තිස්ස විහාර බිම හඳුනාගන්නට යෙදී ඇත්තේ එවකට යාපන රෝහලේ සේවය කළ ඩබ්.ඒ.ලක්මාලි මහත්මියගේ මැදිහත් වීමෙනි.එතැන් සිට අවශ්‍ය තොරතුරු එක් රැස් කිරීමත් භූමිය හඳුනා ගැනීමත් මත පැරණි පන්සල් භුමියෙන් කොටසක විහාරස්ථානය ඉඳිවනුයේ හමුදාවේ සහ රජයේ දායකත්වයෙනි.එය කිසිසේත්ම අනීතික ක්‍රියාවලියක් නොවේ.මෙයට එරෙහිව තර්ක ගොඩ නගන පාර්ශව අතර නාගද්වීප ස්වාමීන් වහන්සේ ද ප්‍රමුඛ වෙති.. 1946 දී ඒබ්‍රහම් පෙරේරා නමැති මහත්මයෙකු තිස්ස විහාරයට වරක්කු විස්සක( අක්කර 1 ¼) සිංහල කලඩ්ඩි නම්  ඉඩමක් පූජා කර ඇත. ඒ කාලයේ සිංහල ජනතාව විශාල ළුහයෙන් කන්කසන්තුරේ ජීවත්ව සිට ඇත. මෙම ඉඩමට අදාල ඔප්පුව යට සඳහන් කළ ශිවා ශ්‍රී මහතා වෙත ඉඳිරිපත් කරලීමෙන් පසුව සිංහල කලඩ්ඩි කොතනකදැයි සොයා ගන්නට බැරි තැන පන්සල පිහිටි බිමේ සළකුණු කර ඇත. මේ අවුල  අද වියවුලක් බවට පත්ව ඇත. යට දක්වා ඇති පරිදි 1958 දී නාගද්වීප විහාරය බිමට සමතලා කරන ලද්දේය. බුරුම පිළිම වහන්සේ ගේ හිස කඩා මුහුදට විසි කරන ලද්දේය.එවකට සිටි පූජ්‍ය බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්තිතිස්ස හිමියන් බේරී ඇත්තේ නාවික  හමුදා පිහිටෙනි.ඒ පීළිබඳ මතකය වර්තමාන නාගද්වීප ස්වාමීන් වහන්සේ වෙත ඇතොත් මෙවැනි වියවුල් ඇති කරන්නට කල්පනා කරනුයේ නැත.



       යාපන දිස්ත්‍රික්කයේ පිහිටි පැරණි බෞද්ධ සිද්ධස්ථාන රාශියකි. ඒවායේ  ප්‍රධානතම ස්ථානය වශයෙන් අද ශේෂව පවතිනනේ කඳුරුගොඩ නටබුන්ය කුඩා චෛත්‍ය හැටකින් විසිතුනක අවශේෂ දැනට ඉතිරිව පවතී. මෑතකදී කළ කැණීම් වලින් මේ පුදබිමේ වටිනාකම තව දුරටත් තහවුරු වී තිබේ. එයට අමතරව ඩෙල්ෆ්ට් දූපතේ වෙහෙර නටබුන් කාරතිවු වෙහෙර පිටිය නටබුන් ආදීය විශේෂිතය. නිලාවරෙයි ළිඳ අසලින් හමු වූ බුදු පිළීම වහන්සේ දැනට කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.මෙම බෞද්ධ ඉතිහාසය ඉස්මතු නොකොට සැඟවීමට මේ වන විට බහුතරයකකට අවශ්‍ය වී තිබෙන බව පෙනේ. කඳුරුගොඩ විහාරයට යන ඉසව්ව දක්වන නාමපුවරුව ප්‍රදේශීය සභාව විසින් ගලවා ඉවත් කරනුයේ ඒ අරමුණිනි. ඉන්පසු උතුරු පළාත් සංචාරක අමාත්‍යංශය මගින් වෙනත් තොරතුරු ඇතුළත් නාම පුවරු සවි කරගෙන යති. සැබවින්ම ඉතිහාසයක් මැකිය හැකි දෙයක් නොවේ විශේෂයෙන්ම බෞද්ධ ඉතිහාසය අතුරුදහන් කළ හැකි නොවේ. මන්ද බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ පසු මේ රට වරින් වර බුද්ධ ශාසනයට පූජා කළ බැවිනි.එම නිසා දකුණේ සිංහල ජනතාව උතුරටත් උතුරේ දෙමළ ජනතාව දකුණේ කතරගමටත් වන්දනා ගමන් යන සම්ප්‍රදාය කිසිවෙකුට නැවැත්වීමට නොහැකිය.

        1981 ජන සංගණනය අනුව කන්කසන්තුර නාගරික බල ප්‍රදේශය තුළ සිංහලයන් 299 දෙනෙකු ජීවත්ව සිට ඇත.එසේම වලිකාමම් උතුර උප දිසාපති කොටසේ බෞද්ධ ජනතාව 453 ක ප්‍රමාණයක් ජීවත්ව සිට ඇත.බෞද්ධයන් සියලු දෙන සිංහලයන් නොවන අතර දෙමළ ජනතාවද බෞද්ධ පිරිසට අයත් වේ.යුද්ධ කාලයේ දී මේ සිංහල ජනතාව අවතැන් වූ අතර සිංහල පවුල් කීපයක් පමණක් දැනට ජීවත් වෙයි.සිංහල ජනතාව නැවත පදිංචි කරලීමට කිසිවෙක් උනන්දු වී නැත.ඒ වෙනුවට සමාන්‍ය දෙමළ ජනතාව සහ දකුණේ සිංහල ජනතාව අතර ගැටුම් ඇති වන පරිදි දේශපාලන නායකයන් විසින් අදහස් ප්‍රකාශ කිරීම අතිශයින් භයංකරය. මන්ද උතුරේ සිටින දෙමළ තරුණයන් ද වර්තමානයේ දී කල්පනා කරනුයේ සවිමත් ආර්ථික ශක්තියක් ඇති කරගෙන දෙයින් නැගී සිටින්නටය.එයට මග අවුරනුයේ අන්තවාදී දෙමළ දේශපාලන නායකයන්ය.වන්දනාවේ යන සැදැහැවත් බෞද්ධයන් එයට සම්බන්ධ නොවන බව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුය.

 මතුගම සෙනෙවිරුවන්

Tuesday, January 13, 2026

මිෂනාරි අධ්‍යාපනය සහ ස්වභාෂා අධ්‍යාපන විෂය මාලා

 

                                    


           භික්ෂූන් වහන්සේලා ගේ ඇසුර ලබමින් පෝෂණය වූ පිරිවෙන් ආශ්‍රිත අධ්‍යාපන රටාව මගින් බිහි කරන ලද උගතුන් වියතුන් මෙන්ම මහා පිරිවෙන් රැසකි.ගමේ පන්සලේ වැලි පිලේ අකුරු කරමින් ගමට පළාතට අවශ්‍ය සංවර්ධනයට දායක වූ ගැමියන් ගේ නැණ නුවණ පොත පතින් මෙන්ම සොබාදහමේ අභාෂය ලබමින් හැඩ ගැස්වුණි.මෙරට විහාරස්ථාන සතුව තිබූ පුස්කොළ ග්‍රන්ථ රාශියක් ලන්දේසින් මෙන්ම ඉංග්‍රීසීන් ද සිට රටවලට ගෙන ගොස් ඇත. ඉතිරිව තිබූ ග්‍රන්ථයන් පරිශීලනය කරන විටද පැහැදිලි වනුයේ විහාරස්ථාන ආශ්‍රිතව තිබූ අධ්‍යාපනයේ වටිනාකමයි.මෙරටට ආවේණික වූ මෙම ක්‍රමය අභාවයට ගොස් ඇත.ඒ වෙනුවට මිෂනාරි අච්චුවට සකස් වුණු අධ්‍යාපන ක්‍රමයක් අද දක්වාම පැවතෙමින් පැමිණ ඇත.

        මෙරටට එල්ල වූ සතුරු ආක්‍රමණ රැසක් තිබුණද යුරෝපීය ආක්‍රමණ තරම් සූක්ෂමව ඒවා ක්‍රියාක්මක වූයේ නැත.පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් නොයෙකුත් වෙළඳ අරමුණු වලින් මෙරටට පැමිණ ලංකාවේ මුහුදු තීරයේ තොටුපළවල් අල්වා ගෙන බලකොටු තනා ආර්ථිකය පාලනය කරන අතරවාරයේ පූර්ණ දේශපාලන යටත් කිරීමකට සූදානම් විය. එය සාර්ථක වූයේ වර්ෂ 1815 දීය. එයද යටක් වීමකට වඩා ගිවිසුමකින් පවරා දීමක් විය.මේ පවරා ගැනීම සාර්ථක කර ගැනීමට භාවිතා කළ පළමු උපක්‍රමය නම් මිෂනාරි අධ්‍යාපනයයි.ලන්දේසි සමයේ ඇති කළ මීසම් (පැරිෂ්) පාසල් ක්‍රමයේ මූලික අරමුණ වූයේම ජනතාව ප්‍රොතස්තන්ත ලබ්ධියට හරවා ගැනීමයි.එය ලන්දේසි කොම්පඤ්ඤයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක විය. වර්ෂ 1798 දී  මුහුදු බඩ පළාත් වල පාලකයා බවට පත් වූ නෝර්ත් මේ පැරිෂ් පාසල් වලට අනුග්‍රහ දක්වමින් පෝෂණය කරන ලදී. අනතුරව පැමිණි බ්‍රිතාන්‍ය ආණුඩකාරවරුන් අතරින් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා නොයෙකුත් ආගමික නිකායන් වල නියෝජිතයන්ට ලංකාවට පැමිණීමට අනුග්‍රහය දැක්වීය. ඉන්පසු  එම රටවල ආගමික නිකායන් විසින් ආගම ප්‍රචාරය කිරීමට අමතරව අධ්‍යාපනය හැසිරවීමට ද පටන් ගත්හ. ලන්දේසි පල්ලි කුඩම් නැතිනම් පල්ලි පාසල් බ්‍රිතාන්‍ය සමයේ දී ක්‍රමානුකළ බ්‍රිතාන්‍ය රජයේ පාසල් බවට පත් විය.මේ සමයේ දී එනම්  1820 දී පමණ ආණ්ඩුවේ පාසල් 97 ක් ද මිෂනාරි පාසල්  236 ක්ද රෝමානු කතෝලික පසල් 60 ක ද පෞද්ගලික පාසල් 600ක් ද පන්සල් පාසල් 1000 ක් ද ක්‍රියාත්මක වී ඇත.

      වර්ෂ 1834 දී පමණ ආර්ච් ඩිකන් ජේ.එම්.එස්.ක්ලේනිගේ සභාපතිත්වයෙන් මූල්ම ස්කෝල කොමිසම පත් කර ඇත.මෙම කොමිසමේ පරමාර්ථය වූයේ මධ්‍යගතව සියලුම පාසල් පාලනය කිරීමට අවශ්‍ය නීති රීති හඳුන්වා දීම විය. 1841 දී මැකන්සි ආණ්ඩුකාරයා විසින් මෙම් කොමිසම අහෝසි කොට නැවතත් මධ්‍යගත පාසල් කොමිසමක් පත් කරන ලද අතර ස්වභාෂා පාසල් අහෝසි කරන ලදී. මේ ක්‍රමයට වසර ගණනාවක් ඉංග්‍රීසි මාධ්‍ය තුළින් මිෂනාරි අධ්‍යාපනය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රයත්න දරණ ලද අතර මේ ක්‍රමයේ අසාර්ථකත්වය මගින් ස්වභාෂාවෙන් ඉගෙනීම ලබන දරුවන් කොන් වී ගිය හැටි අනාවරණය වීය. මේ නිසා වර්ෂ 1862 දී ව්‍යවස්ථාදායක සභාව විසින් මුල් වර්ට අධ්‍යාපන කමිටුවක් පත් කර වාර්තාවක් සකස් කර තිබේ. මෙම වාර්තාව වර්ෂ 1867 දී නිකුත් විය.ඉන්පසු ව්‍යවස්ථාදායක සභාව විසින් පාසල් සඳහා වන මෝර්ගන් කමිටු වාර්තාව අනුව 1868 දී ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තෙම්න්තුව පිහිටුවා ඇත.මෙම තත්වය මත මධ්‍යගතව පාලනය වන යන්ත්‍රණයක් මගින් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන නිර්දේශ නිකුත් කර ඇත. එසේම බෞද්ධයන් සහ හින්දූන් විසින් පවත්වාගෙන යනු ලබන පාසල් සඳහා ආධාර ක්‍රමයක් ද  අනුමත කර ඇත.

     මෙම වාර්තාව අනුව ආණ්ඩුවේ සෙකරතාරිස් වන ජේ.එෆ්. ඩික්සන් මහතා විසින් ස්වභාෂාව උගන්වන අක්ෂර ශාලාවල ගුරුවරුන් විසින් දැනගැනීම පිණිසත්, ක්‍රියා කරනු පිණිසත් ඉැගැන්වීම් ක්‍රමයන්හි නිර්ණායක අඩංගු ආකෘති පත්‍රයක් නිකුත් කර ඇත.එහි මුල්ම විෂය ආගම ඉගැන්වීමයි.මුල් මාස හයේ ආගම ගැන කිසිත් නැත. ඉන්පසු දොලොස්මාසයක් ශුද්ධවූ ලියැවිලි ගැන ඉගැන්වීම ද තවත් දොලොස් මාසයක් අළුත් ගිවිසුමේ හතරෙන් එකක් ඉගැන්වීම ද තවත් දොලොස් මාසයක් යෝසුවා ගේ මරණය දක්වා වන පැරණි තෙස්තමෙන්තුවේ කතාන්තරය ඉගැන්වීම ද සිදු කළ යුතු යැයි දන්වා ඇත. ස්වභාෂා පාඨ ශාලා වලට ඇතුළත් වූ සිංහල දෙමළ සෑම දෙනෙකුටම මේ මූලික ආගමික පාඨමාලාව අනිවාර්ය විය. ආගමට අනතුරුව සිංහල කියැවීම වාක්‍ය රචනා ලියැවීම කතාන්තර නොහොත් ඉතිහාසය තුළ ප්‍රතිකාල්, ලන්දෙසි සහ ලංකාවේ කතාන්තරය නොහොත් ඉතිහාසය ඉගැන්වීමට ද යොමු කර ඇත.ඊළඟට වැදගත්ම ඉගැන්වීම වූයේ භූමි ශාස්ත්‍රයත් ගණිත ශාස්ත්‍රයත්ය.මේ විෂයයන් සියල්ල වසර තුනහමාරක් තිස්සේ මාසයක්, දෙමාසායක් ,තුන්මාසයක් සහ දොලොස්මාස තුනක් වශයෙන් ඉගැන්වීම ස්වභාෂා පාඨශාලාවල පිළිවෙල විය යුතු බව සෙකරතාරිස් තැන දැනුම් දී ඇත.



           ස්වභාෂා අධ්‍යාපනය දියුණු වත්ම ඉග්‍රීසි බසින් අධ්‍යාපනය දෙන මිෂනාරි පාසල් වල තත්වය වඩා උසස් කොට පවත්වාගෙන ගොස් ඇත. ඔවුන්ගේ විෂය මාලාව පුළුල් විය.ගමේ අයට අකුරු ශාස්ත්‍ර දැනුම සිංහල කියැවීම ලිවීම එකතු කිරීම අඩු කිරීම ආදී සරළ පරාසයක අධ්‍යාපනයක් ලබා දෙන ගමන් පාලකයන් පුහුණු කරන මිෂනාරි පාසල් වල එංගලන්ත අධ්‍යාපනයට සමාන විෂය මාලා පිහිටුවා ලමින් එම ශිෂ්‍යයන් ශක්තිමත් කරන්නට විය.ස්වභාෂා පාඨමාලාවල සිදු වූ එකම වෙනස නම් කුසජාතක කාව්‍යය ,රාජාවලිය , දම්පියාව සහ අත්තනගලු වංශය වැනි  කෘති පරිශීලනයට අවස්ථාව ලබා දීමයි. රජය විසින් පවත්වාගෙන ගිය ස්වභාෂා අධ්‍යාපනය එසේ වූ අතර භික්ෂූන් වහන්සේලා තමන්ට සහ ජාතියට පැමිණි අභියෝගයට වෙනස්ම ආකාරයෙන් සූදානම් වුණි.

       මෙහි ප්‍රතිඵලයක් ලෙසට  1839 දී රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන බිහිවීය. පසුව එයට සමගාමීව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනද පිහිටුවන ලදී. මේ අභාෂයෙන් පණ කැවී දොඩන්දූව ශෛල බිම්බාරාමය ආශ්‍රිතව 1856 දී පමණ පිරිවෙනක් ආරම්භ විය . එහි නායකත්වය ගන්නා ලද්දේ පූජ්‍ය උඩුගල්පිටියේ සිරි සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ධූරය දැරූ දොඩන්දූවේ පියරත්න තිස්ස නායක ස්වාමීන් වහන්සේ මේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ඇති වූ ප්‍රබෝධයත් දොඩන්දූවේ වෙළෙඳ ප්‍රජාවෙන් ලැබුණු සහයෝගයත් හේතු කොට ගෙන බෞද්ධ දරුවන් විෂයෙහි පාඨශාලාවක් පිහිටුවීම කෙරෙහි උනන්දු විය. පෙර දක්වා ඇති පරිදි ආධාර ලබා දීමට රජය ගත් තීරණය එයට බලපා ඇත. පියරත්න තිස්ස  නායක හිමියන් ගේ ද බලාපොරොත්තුව වූයේ මෙලෙස රජයේ ආධාර ලබන බෞද්ධ පාසල් ආරම්භ කිරීම විය හැකිය.

             මේ අවදියේ දී දෙඩන්දූව කුමාර කන්ද විහාරයේ පුස්කොල ලිවිම පිණිස පැමිණි සිට දාවිත් නම් තරුණයෙක් එහිම පැවැදි වී මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් ප්‍රකටව ක්‍රිස්තියානි මිෂනාරි වැඩ කටයුතු වලට එරෙහිව සටනට බැස සිටියේය. 1865 දී ක්‍රිස්තියානීන් සමග බද්දෙගම හා වරාගොඩ හා  පාණදුරේ දී ඇති වූ ප්‍රසිද්ධ වාදයකින් පසුව භික්ෂූන් වහන්සේලා අතර විශාල පිබිදීමක් ඇති විය.මේ ප්‍රබෝධයෙන් ප්‍රයෝජනය ගත් ශෛලබිම්බාරාම විහාරාධිපති පියරත්න තිස්ස නායක ස්වාමීන්වහන්සේ 1869 දී ජින ලබ්ධි විශෝදක  නමින් ප්‍රථම බෞද්ධ පාඨශාලාව  දොඩන්දූව සිය විහාරස්ථානය ආශ්‍රිතව ආරම්භ කරන ලදී. ඉන්පසු 1869 දෙසැම්බර් මාසයේ දී පාණදුර උපාධ්‍යා නමින් තවත් පාසලක් ආරම්භ කල නමුදු ආණ්ඩුව මගින් ඒවා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. මින් පසු නොබැස උපක්‍රමශීළීව කටයුතු කල පියරත්න තිස්ස නායක හිමියන් රොබින්සන්  ආණ්ඩුකාර තැන දොඩන්දූවට කැඳවා පාසල පෙන්වා අනුග්‍රහය ලැබ ගෙන ලියාපදිංචිය නිම කිරීමට කටයුතු කලේය.ඉන්පසු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ කතළුවේ හා අහංගම දී තවත් පාසල් තුනක් විවෘතත කළේය. එහෙත් ආණ්ඩුවේ වාර්තා අනුව 1880 වන විටත් ආධාර ලබන පාසල් වශයෙන් ක්‍රියාත්මකව තිබුණේ කොරතොට හෝමාගම හඳපාන්ගොඩ වලහේපිටිය නම් පාසල් හතර පමණකි.ඒ අනුව බලන කල්හි පෙනෙන්නේ ප්‍රථම බෞද්ධ පාසල බෞද්ධ වීම නිසාවෙන්ම ලියාපදිංචිය ප්‍රමාදව තිබූ බවයි.     

       පියරත්න තිස්ස නායක හිමියන් ගේ පාසල් ක්‍රමය සහමුලින් ම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් විය. අකුරු ශස්ත්‍රය ඇරණු කොට උන්වහන්සේගේ විෂය මාලාවට බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක් ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ පළමුවන පාඩම් පොතයි. දෙවනුව බුද්ධ වන්දනාවත් තෙවනුව සරණත්තය දීපනී නම් ග්‍රන්ථයත් සිවුවනුව ජිනධර්ම විකාශිනී නම් ග්‍රන්ථයත් පස්වෙනුව සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථයත් ඇතුළත් වූහ. මෙයින් සරණත්තය දීපනී නම් ග්‍රන්ථයෙන් සරණාගමන ආනිශංස ප්‍රකාශ කිරිමත් ජින ධර්ම විකාශිනීය සරණාගමනේ පටන් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන කර්ම විපාකය දැක්වීමටද සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සතර කර්ම ක්ලේශයන් සතර අගති ආදියද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන් දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර තර තිබුණි. ‍ස්‍යොර්ථ දීපනියෙහි බුද්ධ චරිතය සවිස්තරව ද චතුරාර්ය සත්‍යය ආදී ධර්ම විභාගය ද බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන් මෙලොව පරලොව වැඩ සාදන අයුරුද තුන් සූත්‍රය හා එහි සරල අදහස් අන්තර්ගතව තිබුණි.මේ තත්ත්වය එකල හැටියට බෞද්ධ දරුවෙකු බිහි කිරීමට ප්‍රමාණවත් පරිදිම විය.මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිංහල කියවීමට හා ලිවීමට බෞද්ධ පූජකයන් විසින් වඩාත් හොඳින් උගන්වනු ලැබේ යයි 1833 දී ලංකාවට පැමිණි කොල්බෘක් කැමරන් කමිටුව ඉදිරියේ ආච්ඩිකන් වරයා කළ ප්‍රකාශය මෙහිදී සිහිපත් වේ.බෞද්ධ දරුවන්ට සුදුසු අධ්‍යාපනය කුමක්දැයි දන්නේ උගත් නැණවත් භික්ෂූන් වහන්සේලා පමණකි.දශක කීපයකට පසුව පියරත්න තිස්ස නායක හිමියන් අතින් එය නැවත ප්‍රතිෂ්ඨාපනය විය.එය එසේ වුවද කර්නල් ඔල්කට් තුමා පැමිණීමත් සමග මෙකී බෞද්ධ පාසල් ක්‍රමය වෙනස් වී පරමවිඥාණාර්ථ පාසල් ක්‍රමයක් ස්ථාපිත විය. ඒ ක්‍රමය රජයේ අධ්‍යාපන ක්‍රමය අනුගමනය කළ අතර ස්වභාෂා අධ්‍යාපනය තුළ පැවති විෂයමාලා ක්‍රමානුකූලව රටේ පාලන පැලැන්තියට අවශ්‍ය ලිපිකරුවන් සහ වෙනත් වෘතිකයන් තනන ව්‍යුහයක් බවට පත් විය.කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය තුළ ඇති කළ පරිවර්තනය වනාහි ඉන් මිදීමට ගත් උත්සාහයකි. නමුත් එය අසාර්ථක විය.වර්තමානයේ දී සහමුලින්ම කණපිට හරවන්නට සූදානම්ව සිටින්නේ මෙම ක්‍රමය වුවද ඉන් ජනිත වන්නේ ද විදේශීය අච්චුවක  ඉගැන්වීම් ක්‍රමයක් බව පැහැදිලිය.

මතුගම සෙනෙවිරුවන්

Sunday, January 4, 2026

සියම් උපසම්පදාව සමග බැඳුණු විශේෂිත ස්මාරක

 

                                     .


          දෙදහස් පන්සීයක ලිඛිත ඉතිහාසයක් ඇති සිංහල රාජවාලියේ අසිරිමත්ම සිදු වීම වනුයේ මහින්දාගමනයට රාජ්‍ය අනුග්‍රහය හිමි වීමයි. ලක් බුදු සසුන පිහිටුවීම ත් එතැන් පටන් සිංහල නරපතියන් විසින් මෙම ශාසනය දිවි දෙවනි කොට ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීමත් නිසා ආසියාකරයේ ථෙරවාදී භික්ෂූන් ගේ කේන්ද්‍රස්ථානය ලෙසට ලංකාව පත් විය. වර්ෂ 1505 වන තෙක් නොයෙකුත් සතුරු ආක්‍රමණ හමුවුවේ වුවද අඛණ්ඩව අවිච්ඡින්නව පැවති සම්බුද්ධ ශාසනය  පරංගින් ලංකාවට  සැපත් වීමෙන් පසු බලවත් සේ දුර්වල විය. සිංහල කුමාරවරු සහ රදළයන් පර සමය ගැන්වීමද විහාරස්ථාන සුණු විසූණු කර දැමීම ද  මිෂනාරීන් විසින් ආගම පැතිරවීමෙන් ද ශාසනයට ලැබුණු රාජ්‍ය අනුග්‍රහය ක්‍රමානුකූලව ඉවත් විය. කෝට්ටේ යුගයේ අවසාන සමයේ සීතාවක රාජසිංහයන් ශිව සමයේ පිහිටීම නිසා භික්ෂූන් විශාල පිරිසක් ඝාතනයට ලක් විය. දළදා වහන්සේ පරංගින් ගෙන් බේරා ගැනීමට සපරගමුවේ දෙල්ගමුවට වැඩම වන්නට සිදු විය. මේ තත්වය මත හුදකලා වු භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් වාර්ෂික උපසම්පදා කර්මය සිදු කිරීමේ බලවත් බාධා එල්ල වන්නට ඇත. පළමු වන විමල ධර්ම සූරිය රජු විසින් නව රාජධානියක් උඩරට ඇති කර ගත් පසු නැවත උපසම්පදාව පිහිටු වීමට කටයුතු කළද එය වැඩි කළක් නොපැවතියේ රටේ සතුරු ආක්‍රමණ බලවත් වූ හෙයිනි. අනතුරුව දෙවන විමලධර්ම සූරිය රජු ද රක්ඛංග දේශයෙන් උපසම්පදාව ලබා ගැනීමට දොඩම්වල මුදියනන්සේ ගේ නායකත්වයෙන් දූත කණ්ඩායමක් පිටත් කර හැරියහ. ඔවුනට දැන ගැන්මට හැකි වූයේ එහි උපසම්පදාව පවතින බව පමණකි.අනතුරුව විජයරාජසිංහ රාජ්‍ය කාලය තුල දොරණෑගම මුහන්දිරම් රාළ සහ මාතර රාළ ඇතූල කණ්ඩායමක් පිටත් කර හැරිය නමුදු නැව මුහුදු බත් වූයෙන් වෑයම අසාර්ථක විය..මේ කාලයේ ශාසනය ආරක්ෂා කරගනිමින් විහාරස්ථාන වල වැඩ වාසය කරන ලද්දේ ගණින්නාන්සේ නමින් දක්වන  පිරිසකි.

         කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයේ දී සිල්වත් සමාගම යනුවෙන් ප්‍රසිද්ධව සිටි භික්ෂූ පිරිසක් සැබෑ ධර්මය පිළීබඳ අවදියෙන් තැන තැන දේශනා පවත්වමින් සිටි සමයේ රජුගේ හිත දිනාගැනීමට සමත් විය. එහි ප්‍රධානත්වය ගත් වැලිවිට සරණංකර නම් භික්ෂුවක් නිලමේ වරු මෙහෙයවා සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒමට වෑයමක් දැරීය. විල්බාගෙදර රාළ පට්ටපොළ මොහොට්ටාල ඇල්ලෙපොළ මොහොට්ටාල  ආයිත්තා ලිද්දේ මුහන්දිරම් ඊරියගම මුහුන්දිරම් යන මේ පිරිස ත්‍රිකුණාමල වරායෙන් නැව් නැගී සියම් දේශයට පිටත්ව ගියහ. ඔවුහු  බලවත් පරිශ්‍රමයක් යොදා ලන්දෙසි නැවකින් සියමට ළඟා විය. සියමත් ලංකාවත් අතර දීර්ඝ කාලයක් තිස්සේ බලවත් සම්බන්ධයක් තිබුණි. සියම් කුමරුවෙකුට කීරවැල්ලේ පරපුරෙන් කුමාරියක පවා සරණ පාවා දුන් බව ජන ප්‍රවාදයේ සඳහන්ය. මෙකල සිටි සියම් රජු ශ්‍රද්ධාවන්තයෙකි. ඔහු මේ දූත පිරිස ආදරයෙන් පිළිගෙන නවාතැන් සලස්වා එරට වැදගත් සිද්ධස්ථානයක් වන සච්චබද්ධ පර්වතය පාමොත් ප්‍රභාත් විහාරය ඇතුළු සිද්ධස්ථාන කීපයක්ම වන්දනා කිරීමට අවස්ථාව සලසා දුන්නේය.

අනතුරුව සියම් රජු විසින් සපයා දුන්  නැව ගඟ දිගේ යාත්‍රාකොට  සියම් වරායට සේන්දු වූ නමුත් නැව දුර්වල විය.  නැවේ දුරුවලතා හේතු කොට ගෙන දූත පිරිසද සියම් භික්ෂුන්ද අධෛර්ය වූ බව පැවසෙයි. කෙසේ වුවත් විල්බාගෙදර රාළ ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ලන්දෙසීන් සමග කතිකා කොට යළි නැවක් ලබා ගත් නමුදු එයද අබලන් විය. කෙසේ හෝ නැවතත් උත්සාහ වන්ත වී ලන්දේසීන් සතු මස්කාබෙල් නම් විශාල නැවකට ගොඩ වීමට ඔවුන්ට අවස්ථාව හිමි විය.  

 

     සියම් දේශයෙන් පිටත් වූ උපසම්පදා භික්ෂූන් අතර සියම් උපාලිථෙර, ආර්ය මුණි ථෙර ,ඉන්ද්‍රසුවණ්න ථෙර ඇතූළු භික්ෂූන්වහන්සේලා විසිඑක් නමක් ද සාමණේරයන් වහන්සේලා හත් නමක්ද උපාසකයෙකුද විය.එසේම ප්‍රසුදන්ත මේස්ත්‍රී ඇතූළු ඇමතියන් පස් දෙනෙකුද මේ ගමනට එක් වී තිබුණි.මේ ගමන පිටත් වීමේ දී බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ සියම් රජු සතූටු කදුළු වැගිරවූ බව දැක්වෙයි. සියමෙන් පිටත් වූවන් අතර වූ  පට්ටිපොළ මොහොට්ටාල අතරමගදී  මරණයට පත් විය.ඉන්පසු සින්න පට්ටනමට පැමිණි කල්හි විහාල සුළි කුණාටුවක් නිසා නැවු ගණනාවකට අලාභ හානි විය. කෙසේ වෙතත් මේ කිසිම විපතික් අධෛර්ය නොවූ විල්බාගෙදර රළ ලන්දෙසි කොටුවට ගොස් නිරන්තරයෙන් සාකච්ඡා වට කීපයක් පවත්වා එකඟතාවකට පැමිණියේය. පෙර කී පරිදි මස්කාබෙල් නම් නැවෙන් පිටත් වීමට ප්‍රථම  විල්බා ගෙදර රාළ සීනයක් දුටුවේය. මේ සීනය තෙරුම් කර ගැනීමෙන් පසු ඔහු සතුටු වූයේ තමන්ගේ කාර්යය ඒකාන්ත වශයෙන් සඵල වන බව  ඒ සීනයෙන් පෙන්වා දුන් බැවිනි.  මේ කාලයේ මුහුදු ගමන් අතිශයින් භයංකර විය. වීහාල නෞකාවකට ඇරෙන්නට කුඩා යාග්‍රා සුළි කණාටු වලට ඔරෙත්තු නොදුන්නේය. ඒ නිසා ලන්දේසීන් සපයා දුන් විහාල නෞකාව ගමනට පිරිමැසුණේය.බෙතාවියෙන් පිටත් වූ දූත පිරිස නොයෙකුත් වරායන් වල නවත්වා  දීර්ඝ  මුහුදු ගමනකින් පසු වර්ෂ 1753 මැයි මසයේ 14 දින දී ත්‍රිකුණාමල වරායට සැපත් විය.ත්‍රිකුණාමලයට වාරකන් ලබන්නේ වසර අවසාන වන විටය.එවිට ගෝකණ්න තිත්ථ උතුරු වරායට යාත්‍රා ගොඩ බැස්සවිය නොහැකිය. මැයි මාසය වන විට මුහුද සන්සුන්ය. ඒ නිසා මේ භික්ෂු පිරිස ගෝකණ්න තිත්ථ දකුණු වරායා නොහොත් වර්තමාන ලන්දේසි බොක්ක වෙත පැමිණියහ.

          මේ කාලයේ  මහ අදිකාරම් ධූරය දැරූවේ ඇහැලේ පොළ අදිකාරම්ය. නැව නිරුපද්‍රිතව ත්‍රිකුණාමලයට ගොඩ බට බව ආරංචි වූ කීර්ති ශ්‍රී රාජසිංහයන් ඇහැලේ පොළ අදිකාරම ප්‍රමුඛ ඉහළ නිළධාරින් පිරිසක් ත්‍රිකුණාමලයට පිටත් කර හැරීය. ඔවුහු එහි පැමිණ නැවේ සිටි භික්ෂුන් ඇතුළු සිංහල දූත පිරිස පොරොත්තුව ගෝකණ්න තිත්ථයේ මුහුදු ගල් පරය අසළ බලා සිටියහ. නැව වරාය බොක්කේ ගැඹුරු හරියේ නවත්වන ලද අතර භික්ෂූන් වහන්සේලා වරින් වර ගල් පරය අසලින් වැල්ලට ගොඩ විය. ඉන්පසු සන්සුන් ගමනින් ත්‍රිකුණාමලය වරාය අසල සිට ඉතා නුදුරු ව තිබූ වන ගොමුවකින් ගැවසී ගත් නමුත් එළි පෙහෙළි වූ තිබූ රම්‍ය භූමියකට සැපත් විය. තාවකාලික ව කූඩාරම් ගසා  ඒ ස්ථානයේ භික්ෂූන් වහන්සේලාට විවේක ගැනීමට සලස්වා තිබුණි. සියම් උපාලි ථෙර ඇතළු විසි එක් නමද රාජ්‍ය දූත පිරිසද ඉතාමත් ගෞරවයෙන් පිළිගත් අහැලේපොළ මහ අදිකාරම දාන මනාදියෙන්ද රස මසුවුලෙන්ද සතප්පවා භික්ෂූන් වහන්සේලාගෙන් පිරිත් දේශනා සහිත ආශිර්වාද ලබා ගත්හ. මේ අවස්ථාවෙන් පසුව මෙම පුණ්‍ය භූමිය වටා බෝධීන් වහන්සේලා සතර නමක් රෝපණය කර අතැයි දැක්වේ.අනතුරුව මේ භික්ෂූහු පා ගමනින්ම සෙංකඩගල මහනුවර බලා පිටත් වූහ.සියම් මහ රජු විසින් ලබා දුන් ධර්ම ග්‍රන්ථ හිස උඩ තබා මහත් ගෞරවයෙන් වඩම්මන ලදහ.තෑගි භෝග දළදා වහන්සේට පූජා දි සත්කාර ඇතූළු සියල්ලම මෙසේ ගෙන යන ලදහ. ඒ ගමන් අතරමග විවේක  ගැනීමටද නවාතැන් සපයා දීමටද ඇරණු පිරිසක් ඒ වින විටද සූදානම් කර තිබුණි.සතිදෙකතුනකින්  පසු මහනුවර මල්වතු මහා විහාරයට පැමීණි භික්ෂූන් වහ්නසේලා එහි නවාතැන් ගත්හ.රාජ්‍ය දූත පිරිස බෝගම්බර නවාතැන් ගත්හ. ඉන්පසු ඇසළ මාසයේ දී සිංහල භික්ෂූන් වහන්සේලා ගේ උපසම්පදා කටයුතු ආරම්භ කළ බව දැක්වෙයි.       

 

 

       

 

      ත්‍රිකුණාමලයේ වර්තමාන ලන්දේසි බොක්කේ ගල් පරය අසළ වරාය මේ රටේ බෞද්ධයන්ට ඉතා වැදගත් ස්ථානයකි.ලන්දේසි කොටුව පැවති යුගයේ දී මෙම ගල්පරයට වැලි වැටිය දිගේ ඇවිද යා හැකි විය.ඒ බවට සිතියම් සාක්ෂි වෙයි. ඒ නිසාම සියම් උපසම්පදාවෙන් පසුව ගල් පරය පෙනෙන තෙක් මානයේ බෝ අංකුරයක් රෝපණය කර බෝධිඝරයක් ද සාදවා සියම් බුදු පිළිමයක් තැන්පත් කර තිබෙන බව ජනප්‍රවාද ගතය.වර්ෂ 1951 වර්ෂයේ දී මෙම බෝධිය අසළ පොල් අතු සෙවිලි කළ  ගොඩනැගිල්ලක් ස්ථාපිත කොට ත්‍රිකුණාමලයේ පළමු දහම් පාසල බිහි කිරීමට අමරපුර නිකායේ මූල වංශික පාර්ශවයේ පූජ්‍ය බලපිටියේ ශාන්ත හිමියන් කටයුතු කර ඇත. බලපිටියේ ශාන්ත හිමියන් ගේශිෂ්‍ය පූජ්‍ය මිහිඳුපුර මහිනිදවංශ හිමියන් සහ වෙල්ගම් විහාරයේ විහාරාධිපති අම්පිටියේ ශිලවංශ තිස්ස හිමි දෙපළ උපසම්පදා කරන ලද්දේ 1974 වර්ෂයේ අගෝස්තු 01 දා පෙර සඳහන් කළ ගල් පරය මස්ථකයේ දීය. එතැන් පටන්  උපසම්පදා කර්මය සහ පොහෝ කර්ම කිරීම උදෙසා මෙම ගල් පරය වෙත ප්‍රවිශ්ඨ වීමට එම භික්ෂූන් වහන්සේලා කටයුතු කර තිබේ.1987 වර්ෂයේ දී ඉන්දියන් හමුදාව කඳුවුරු බැඳි කල්හි දහම් පාසල් ගොඩනැගිල්ල ද බලෙන්ම ඔවුන් සතු කරගෙන ඇත. ඉන්පසු දහම් පාසල පැවැත්වීම නතර විය.අනතුරුව 2004 වර්ෂයේ දී ඇතිවූ සුනාමි ව්‍යසනයේ දී දහම් පාසල් ගොඩනැගිල්ල බිමට සමතලා වී විනාශ වී තිබේ.නමුත් බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වෙරළාසන්නයේ වැඩ සිටින අතර සෑම බෞද්ධයෙකුම එහි පැමිණ වන්දනාමාන කරමින් ආහිර්වාදය ලබා ගනිති.. 2009 වර්ෂයේ  මාර්තු මස 13 වන දින දී බෝගස් හතර පුණ්‍ය භූමියෙහි වැදගත් කම සලකා  1593 අංකය යටතේ ගැසට් පත්‍රයකින් පුරාවිද්‍යා රක්ෂිතයක් කර ඇති අතර වැල්ලේ බෝධින් වහන්සේ සහ බෝගස් හතර සියම් උපසම්පදාව පිළිබද වැදගත් ස්මාරකයන් විලසට ජනාදරයට පත් වී තිබේ.බෝ ගස් හතරත් වැල්ලේ බෝධීරාජ විහාරයත් අතර භූමියෙහි පැවති ජනාවාස ලක්ෂණයන් මත වළන් කටු පබළු චීන මැටි බඳුන් රැසක් පසුගිය කාලයේ සම්මුඛ වී ඇත. මේවායේ  පුරාවිද්‍යා ගවේශණ ගැඹුරට සිදු නොකළ තරම්ය. කෙසේ වෙතත් දහ අට වන සියවසේ සිදු වූ උපසම්පදා කර්මය හා බැඳුණු වැදගත් පුරාවෘත්ත සමගින් මේ කලාපය ත්‍රිකුණාමල වාසී බෞද්යන්ගේ හදවත් වල වැජඹෙයි.එය ඔප් නැන්වීම සැමදෙනගේම වගකීමයි.

මතුගම සෙනෙවිරුවන්