පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, September 30, 2018

රුපියලට ශක්තිය දිය හැක්කේ ඩොලරයට පමණක්ද


                       
        ලංකාවේ භාවිත සම්මත මුදල අව ප්‍රමාණය වීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙසට කඩා වැටෙමින් ඇත.බොහෝ දේ වෙළෙඳ පලෙන් මිළට ගන්නා ජනතාවට සිය එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්නටවත් අවස්ථාවක් නොදී රුපියල කඩා වැටෙයි. එය පාලනය කිරීමටවත් විකල්පයක් සෙවීමටවත් පාලකයන් උනන්දු නැත. අතීත වර්තමාන සංඛ්‍යා ලේඛන සහ ලෝක ප්‍රවණතා ගැන කතා කරනවා විනා නව අදහසක් කියන්නට සමත් පුද්ගලයෙක් මේ ආර්ථික ක්ෂේත්‍රය තුළන් හමු නොවේ.මෙය කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා සඳහන් කරන්නේ ඉන්දුනීසියා උදාහරණද දක්වමිනි.
        1949 අංක 58 දරණ මුදල් නීති පණතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද්දේ ප්‍රධාන අරමුණු කීපයක් සඳහාය.ලංකා රුපියලේ ස්ථාවර භාවය සුරැකීම ජාත්‍යන්තර ගනු දෙනු සඳහා රුපියල නිදහස් කිරීමට පසුබිම සැලසීම එහි ප්‍රධාන අරමුණු අතර වෙයි.අද රුපියගේ අගය තීරණය කරනු ලබන්නේ ඇමරිකානු ඩොලරයට සාපේකෂකවයි.මහ බැංකුව සතු විදේශ විනිසමය සංචිත ප්‍රමාණයත් දළ ජාතික නිෂ්පාදනයත් පදනම් කර ගෙන ඩොලරයට  සමගාමීව මෙම අගය තීරණය කෙරේ.මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යනුයේ කීප ආකාරයකිනි. විදේශ බැංකුවල තැන්පතු විදේශ රාජ්‍ය බැඳුම්කර විදේශ රාජ්‍ය සහතික කළ සුරුකුම් පත් රත්තරන් සහ ජගත් මූල්‍ය අරමුදල භාවිතා කළ හැකි විශේෂ ගැනුම් හිමිකම් එම අවස්ථාවන්ය.ජාත්‍යන්තර ගනුදෙනු වලදී අතර මැදි මුදල ලෙස භාවිතා කරන ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිළ  සහ විකුණුම් මිළ මහ බැංකුව මගින් තීරණය කරයි.එසේ කරනු ලබන්නේ රුපියලේ පරිවර්ත්‍ය භාවය රැක ගැනීමටත් ලංකාව තුළ ක්‍රමානුකූල විදේශ මුදල් වෙළෙදපළක් ඇති කරලීම සඳහාත්ය.මෙහිදී වානිජ බැංකු ක්‍රමය ඉතා දියුණු නම් මහ බැංකුව මුදල් වෙළෙඳ පලෙන් ඉවත් වී සිටී.
       විදේශ විනිමය කළමනාකරණයේදී විනිමය අනුපාතය  ඉතා වැදගත්ය.මහ බැංකුව විසින්  රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව  මුදල අව ප්‍රමාණ සහ අධිප්‍රමාණ කරනු ලැබේ.අපනයනය වැඩිකර ගැනීම පිණිසත් මුදල අව ප්‍රමාණ කරනු ලැබේ. 1967 දී එවකට පැවති රජය මුදල අව ප්‍රමාණ කරනු ලැබීය පසුව විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුව ස්ථාවර විදේශ විනිමය අනුපාත ක්‍රමය වෙනුවට පාලිත පාවෙන විදේශ විනිමය අනුපාත ක්‍රමය ආදේශ කරන ලදී.මෙතැන් සිට ඇමරිකානු ඩොලරයට සමගාමීව මූලක වශයෙන්ම ණය ගැනීම අරමුණු කොට ගෙන මුදල් වරින් වර අව ප්‍රමාණ කර තිබේ.1977 දී ඩොලරයේ විටිනාකම රුපියල් අටක් විය. විනිමය අනුපාතය පාවෙන්නට සැලැස්වීම නිසා 1978 වන විට එය රුපියල් 15.61 දක්වා වර්ධනය විය.2001 වර්ෂය වන විට එය රුපියල් 89.36 දක්වා ඉහළට එසැවී ගොස් තිබුණි. 2001 වර්ෂයේදී ජගත් මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර 253 ක් ණය වශයෙන් ලබා දීමට තීරණය කරන ලදී.මේ මුදල් ලබා දීමත් සමගම මෙම අරමුදල මගින් රජයට කොන්දේසි ද දමනු ලැබීය . නමුත් ජී.එල්.පීරිස් ඇමති වරයා සහ මහ බැංකු අධිපති ව සිටි ඒ.එස්.ජයවර්ධනත් ප්‍රකාශ කර සිටියේ එවකට පැවති පොදු පෙරමුණ රජයේ ප්‍රතිපත්තිය අනුව 21 වන සියවස සඳහා දර්ශනය නමැති ජනාධිපතිනිය ගේ වැඩපිළීවෙලට මේ මුදල් ලබා දී ඇති බවයි.රුපියල 70 සිට 100 දක්වා වැඩි වූයේ මේ මුදල් ලබාදීමත් සමගමයි. පසුව එය 90 දක්වා අඩු කෙරිණ. රුපියල අව ප්‍රමාණය වීම නිසා අප ගෙවිය යුතු ණය සහ පොළිය ඩොලර වලින් වැඩි වෙන හැටි මේ කාලයේ අත් දකින්නට ලැබුණි.
        මෙයින් සිදු වූයේ කුමක්ද 2001 දී ජගත් මූල්‍ය අරමුදල්  වාර්තාවේ නව වන පිටුවේ සඳහන් පරිදි වෙළෙඳ පළ බලවේගයන්ට ප්‍රතිචාර දැක්වීමට රුපියලට ඉඩ ලබා දෙන පරිදි නම්‍ය ශීලී විනිමය අනුපාතයක් පවාත්වාගෙන යා යුතු බවයි. ඒ අනුව සිදු වූයේ අපනයනයන් අභිබවා ආනයනයන් සීඝ්‍රයෙන් වැඩිවීමයි. ඉඳි කිරීම කර්මාන්තය  සංචාරක කර්මාන්තය ප්‍රවාහනය ආදී තැන්වලට ආනයනයන් බහුලව අවශ්‍ය බැවින් එහි යහපත් පැත්තක් තිබෙන බවට කෙනෙකුට තර්ක කළ හැකි නමුත් ලෝකයේ හදිසි අවස්ථාවකදී රුපියල පාලනය කර ගැනීම ලෙහෙසි පහසු නොවේ. අනෙක දේශීය භාණඩ වලට වඩා විදේශීය භාණ්ඩ කෙරෙහි වැඩි රුචිකත්වයක් නැඹුරුතාවයක් ඇති සමාජයකට සිය ආශාවන් පාලනය කර ගැත හැකි නොවේ. එවිට කෙසේ වත් නවොත්පාදන මගින් දේශීය කර්මාන්ත දියුණට පත් නොවේ.ජගත් විශේෂඥයන් තර්ක කරන පරිදි අපනයනයන්ට වැඩි අවස්ථා මේ මගින් උදා වී නැත.ඒවා ඇතැම් විට සීමා කිරීම් වලට යටත් වේ.දුප්පත් කම අඩු කිරීමේ ව්‍යුහාත්මක යොජනා ඉටු කිරීම පෞද්ගලීකරණය බෙදුම්වාදී යෝජනා වලට රාජ්‍ය ප්‍රතිපත්ති තුළ තැනක් ලබා දීම වැනි කොන්දෙසි වලට රජයට යටක් වීමට සිදු වේ.දැනටමත් අසීමාන්තික ලෙසට යටත් වී ඇත. 1954 දී ජගත් මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමෙන් අප රටක් වශයෙන් විශාල ණය උගුලකට අසුවී ඇති වව පැහැදිලිය.ඇමරිකානු කොටස් වෙළෙඳ පළ ඉහළ නැන්වෙන විට ලංකාවේ සිටින කොටස් හිමියන් මෙහි මුදල් එහි ආයෝජනය කිරීම වැඩි වීමෙන් මෙවර වේගයෙන් රුපියල අව ප්‍රමාණය වී යයි අගමැති පවසයි. එහි තේරුම නම් මහ බැංකුව මැදිහත් වීමක් නොකර බලා සිට ඇති බවයි.දැන් ඒ සඳහා මැදිහත් වන බව මහ බැංකුවේ ඉහළ නිළධාරීන් පැවසුවද විනාශය සිදුව හමාරය. බැඳුම්කර මගඩිය නිසාද පසු ගිය කාලයේදී මෙවැනි තත්ත්වයක් උදා විය.
              ලංකාවේ මුදල් භාවිතයට ඉතා දිගු අතීතයක් ඇත.තඹ රත්තරන් රිදී ආදී ලෝහ වලින් තැනූ මෙරට මුදල් නිකුත් කිරීමේ අධිකාරිය නොයෙක් යුග වල අධිපතියන් බවට පත් වූ රජවරුන් සතු විය.ඔවුන් ගේ නමින්ම ඇතැම් විට මේ කාසි නිකුත් කරන ලදී.පළමුවන විජයබාහු එලෙස කාසි නිකුත් කළ ප්‍රථම නරපතියා වෙයි. එකල මේ ලෝහ වල පැවති සුලභතාවය මත මුදලේ අගය තීරණය කර තිබේ. ලංකාවෙන් හමු වූ රන් සහ තඹ එකල ලෝකයේ වෙනත් රටවලද හමු වුවද ලෝකයට සාපෙක්ෂකව මෙහි හමු වීම් ඉහළ අගයක් ගත්හ. රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. නගරයෙන් ඊසාන දිග තුන් යොදුන් තන්හි ආචාරවිට්ටි නම් ගමෙහි නානාවිධ රත්තරන් පහල විය. එයින් ලොකුම ඒවා වියතක් පමණද කුඩා ඒවා අඟලක් පමණද විය. වරින් දකුණු දිග අම්බට්ටකොල නම් ජනපදයෙහි ලෙනක රිදී පහළ විය.පුරයෙන් නැගෙනහිර දිග සත් යොදුනකින් එපිට ගෙඟන් එතෙර පිහිටි තඹ විට නම් ගමෙහි තඹ ලෝහ පහළ විය. ලංකා පුරා වෘත්ත සහ කඩයිම් පොත් වල දක්නට ඇති පරිදි සතරක් රිදී ආකාර ගම්ද සොළසක් රන් ආකාර ගම්ද සියයක් රුවන් ආකරගම්ද ලංකාව පුරා තිබී ඇත.යටත් විජිත සමයෙන් පසු ප්‍රථම වරට ලංකාවේ ඛනිජ සම්පත් ගවේශණයට ආයතනයක් පිහිටුවන ලදහ. යකඩ රන් රිදී ආදී ලෝහ වර්ග මෙන්ම මැණික් ගැනද ඔවුහු ගවේශණය කළහ.විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණී ජී.ජී.ඩික්සන් නම් රන් ආකර පිළිබඳ විශේෂඥයකු සහ ප්‍රකටගවේශකයෙකු වූ ආනන්ද කුමාරස්වාමී මහතා විසින් මෙම ඛනිජ සම්පත් ගැන වැදගත් වාර්තාවන් පළ කරනු ලැබ ඇත.
            රන් සහ රිදී මිශ‍්‍ර කොට රාජ්‍ය යෙහි මුදල් සඳහා කාසි නිපදවනු ලැබූහ. ඒවා කහවණු අඩ කහවණු සහ මසුරන් යන නමින් හඳුන්වන ලදහ.  පසු කාලයේදී තඹ මස්සටද මසුරන් යන නාමය භාවිත කොට ඇත. පළවන විජයබාහු රජු මේ තඹ මස්ස නිකුත් කිරීම අරඹන ලදී. කලක් ලෝකයේ පිළිගත් මුදල් ඒකකය වූයේ රත්තරන්ය.1914 දක්වාම එය එසේ විය.ඉන් පසු 1971 දක්වාම රන් සම්මතයේ පිළිගැනීම් අඩු වැඩි වශයෙන් තිබුණද දැන් එවැනි සම්මතයක් නොමැත නමුත් බොහෝ රටවල් රන් සංචිත  පවත්වාගෙන යන්නේ තම වත්කම් ප්‍රවර්ධනය කර ගැනීමටයි. ලංකාවේ මහ බැංකුව සතුවද ඩොලර මිලියන 786.60 වටිනා රන් සංචිතයක් තිබෙන බවට වාර්තා වෙයි. ඒවා ක්ෂණිකව මුදල් කළ නොහැකියි. නමුත් රටේ වත්කම් තීරණය කර ගැන්මට එය සාධකයක් වේ. මෙම තත්ත්වය තුළ රන් සංචිත තව දුරටත් වර්ධනය කර ගැනීම මගින් ලෝක ආර්ථික අවපාත  සහ වෙනස්කම්  සිදුවන අවස්ථාවලදී යම් පිළිසරණක් අත් වේ යැයි සිතිය හැකිය.අවාසනාවකට ලංකාවේ සොයා ගෙන තිබෙන රන් සහ මිනිරන් ඉල්ලම් වල අයිතිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් ඔස්ට්‍රේලියා සමාගමකට බදු දී ඇත. ඔවුහු ඒවායේ රන් නොසොයා කොටස් වෙළෙද පළ තුළ ආයෝජනය කරමින් රන් මිශ්‍ර පස් පිටරට පටවන බවටද පසුගියදා වාර්තා විය. කෙසේ වෙතත් ඛනිජ වර්ග රන් සහ වෙනත් භූ සම්පත් වලින් පොහොසත් රටක් වශයෙන් තිබුණද අප අද ලෝක බැංකුවේ හිඟමනේ යයි. මේ ආර්ථික අර්බුදයෙන් සහ ණය උගුලෙන් ගැලවීමට නම් අප ගේ ආර්ථික ආකල්ප සහ ගතානුගතික පුරුදු වෙනස් විය යුතුය.අජිත් නිවාඩ් කබ්රාල් ජී.එල්. පීරිස්ලා පවසන පරිද පාලිත විනිමය අනුපාත ක්‍රමය එකම විසදුම නොවේ.අපනයනය සඳහා විකල්ප සෙවීමත් නවොත්පාදනය පිණිස වැඩි ආයෝජනයක් කිරීමත් දේශීය කර්මාන්ත වලට වැඩි තැනක් ලබා දීමත් තුළින් ආනයනය පාලනය කළ හැකිය.වානිජ බලවේග වලට රිසි සේ හිතුවක්කාර ලෙසට කටයුතු කිරීමට ඉඩ නොදිය යුතුය.එහි අර්ථය  නම් වානිජ බංකු නිරන්තරයෙන් පාලනය කළ යුතු බවයි.ජගත් මූල්‍ය අරමුදලේ කොන්දේසි සහ බලපෑම් අවම කර ගත හැකි දේශීය විසදුමකට යෑම අනිවාර්ය කරුණකි.


1 comment:

  1. අයිස් අම්මා ගුණ්ඩු..
    රුපියල ලස්සනට පාවෙලා පාවෙලා යනවා...

    කියා කියා බයිලා ගහන්න නම් රටකට මහා බැංකුවක් අවශ්‍ය වන්නේ නැත.

    රුපියල පිච්චියටම වැටුනාට පස්සේ නානාප්‍රකාර solution ගෙනැත් ඇද බෑම හරියට අස්සයා හූ කියා කියා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහල දැමීමක් වැනිය.
    ----
    මචෝ, උඹේ ලිපිය එක්ක මාත් එකඟයි...

    ReplyDelete