පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, February 9, 2015

යහපාලනය තුළ හට ගැනෙන ස්වයං පාලන පිළිකාව


                             


 

                    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියාදා ඉන්දියාවේ කරන ලද සංචාරයක් අතරතුරදී ජන වාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් වශයෙන් 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ. එසේම විදෙස් මාධ්‍යවේදීන් අමතා ඇති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන්නේ යුද අපරාධ සම්බන්ධව  ජාත්‍යන්තරයට පිරමහින පරීක්ෂණයක් කරන බවයි. මේ ප්‍රකාශ දෙකින්ම කියැවෙන්නේ කුමක්ද. ලංකා දේශපාලය තුළ පසුගිය අඩ සියවස තුළ ඇතිවූ බෙදුම්වාදී ප්‍රවණාතාවයන් මර්දනය කරලීම පිනිස ගත් නිවට ක්‍රියාමාර්ගයන්හි ස්වභාවයයි. පළාත්සභා ක්‍රමය ඇතුළත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම තුළ ප්‍රකාශ වන්නේ උතුරු හා නැගෙනහිර සිටින ජනතාවට ස්වයං පාලනය කර ගෙන යෑමට ඉඩ දිය යුතු  බවයි. එයට ඉඩම් බලතල පොලිස් බලතල ආදිය ද ඇතුළත් විය යුතු බව පිළිගෙන තිබේ. උතුරට හා නැගෙනහිරට පමණක් මේ ක්‍රමය ක්‍රියාත්මක කල නොහැකි බැවින් එය සමස්ත පළාත් නවයටම ආදේශ කර තිබේ. පළාත්සභා ක්‍රමය ප්‍රභාකරන් ඇතුළුකොටි සංවිධානය පිළි නොගත්හ. ඒ වෙනුවට පූර්ණ සවයං පාලනයක් සඳහා තව දුරටත් ත්‍රස්ත ක්‍රියා කරමින් රජයට එරෙහිව ක්‍රියා කළහ. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ආරක්ෂකහමුදා විසින් මේ ත්‍රස්තවාදී සංවිධානය යුධබිමේදී පරාජයට පත් කිරීමයි. මේ ක්‍රියාවලිය වැරදි බවත් ඒ මගින් ද්‍රවිඩ ජනතාවගේ මානව අයිතීන් කඩ කළ බවත් දැන් ජගත් සංවිධාන හඬ නගයි. එහෙත් රට පුරා ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වන විට ඔවුහු කොටි සංවිධානයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේ නැත.

        පසුගිය ජනාධිපතිවරණයේ දී  දෙමළජනතාවගෙන් විශාල පිරිසක් මහින්ද රජපක්ෂ මහතාට එරෙහිව චන්දය භාවිතා කළහ. ඒ මහින්ද ගේ රජය විසින් උතුරේ දෙමළ ජනතාව අරභයා විශාල සංවර්ධන වැඩ කොටසක් ඉටුකළ පසුබිමක් යටතේය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත  පදංචි කිරීම ඇතුළු සිවිල් වැඩ කටයුතු අති සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක කළ අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ වෙනත් දෙපාර්තමේන්තුවකින් ඉටු නොවූ කාර්යක්ෂම සේවයක් සැලසූ බව අවිවාදිතය. උතුරු වැසියන් ගේ ඉඩම් සමාගම් වලට පවරා දීම ඇතැම් තැන්වල දේශපාලකයන්ගේ ගෝල බාලයන්ගේ සංචාරක හෝටල් ඉඳිකිරීම ආදී ක්‍රියා සිදු වුණද යුධ හමුදාවට පූර්ණ වශයෙන් චෝදනා කිරීම සුදුසු නොවේ. ඒ මන්ද දේශපාලකයන්ගේ නියොගයන්ට අවනතව ක්‍රියාකිරීම ඔවුන්ගේ වගකීම වූ නිසයි.කෙසේ වෙතත් උතුරේ  ජීවත් වන දෙමළ ජනතාව සිතන පතන ආකාරය තවම වෙනස් වී නොමැත. ඔවුන්ගේ නිජ බිම තුළ ශ්‍රී ලංකා යුධ හමුදාව බලයෙන්ම රැඳී සිටින්නේ යැයි කියති. මේ දේමළ ඊළාම් වාදීන් දශකපහක් පමණ තිස්සේ කැවූ ජාතිවාදී අදහසකි. මෙය සත්‍යයක් බව දෙමළ දේශපාලකයන් පිළිගනිති. දකුණේ සිටින දෙමළ ප්‍රජාවද පිළිගනිති. එසේම සිංහල දේශපාලකයන්ද පිළිගනිති. මේ නිසා මහින්ද රාජපක්ෂ පමණක් නොව පසුගිය කාලයේ රට ආණ්ඩු කළ දේශපාලකයන් සියල්ලම උතුරේ හා නැගෙනහිර සිංහලයන්ගේ අයිතිවාසිකිම් පිළිබඳ ප්‍රශ්ණය නොතකා හරින ලදහ.

        දහතුන් වන සියවසේ සිට පැවති ආර්ය චක්‍රවර්තී පාලනය මගින් ද්‍රවිඩ රාජ්‍යයක් උතුරේ පැවතුණා යැයි කියන මිත්‍යාව මේ සැම පිළිගැනීම මීට හේතුවයි. උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල වාසය කරන්නන් සහමුලින්ම ද්‍රවිඩයින් නොවේ . ඒ අතර සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ ලන්දේසීන් විසින් පැණවූ තේසවලාමෙයි නම් නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍රයෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත.( මෙසේ තිබියදීත් උතුරේ හා නැගෙනහිර ඇතැම් තැන්වල වතු දෙමළ ජනතාව පදිංචිකරවන ලදහ. මේවා කරන ලද්දේ රෙඩ්බානා සංවිධානය විසිනි.) ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.

             දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමල භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු ද්‍රවිඩ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික ද්‍රවිඩ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.

       උතුරේ සිටි සිංහලයන් පළවා හැරීම ආරම්භ වූයේ වික්‍රමසිංහආර්යන් රජු කලයේදී බව යාල්පාන වෛපමාලය ග්‍රන්ථය දක්වා ඇත. ඉන්දියාවෙන් ගෙනා ද්‍රවිඩයන් සහ සිංහල බෞද්ධයන් අතර වූ ගැටුමක් හේතුවෙන් පුංචිබණ්ඩා ඇතුළු සිංහල නායකයන් දාහත් දෙනෙකු ඝාතනය වී යැයි පැවසේ. යාපනය බෙහෝ දුරාතීතයේ  සිටම රාක්ෂ ගෝත්‍රිකයන් ගේ වාස භූමියක්ව තිබුණි.එය කෙවෙතස්ථලාභ යනුවෙන් හඳුන්වනලදී. ආනකොට්ටෙන් ලැබූ වෙළෙඳ මුද්‍රාව මත මේ කෙවෙත යන නාමය සටහන්ව පවතී. ඔවුහු නාගගෝත්‍රිකයන් සමග වෙළෙඳාම් කළහ.පසුව නාගයන් සහ කේරළයේ රාජ්‍ය පාලකයන් අතර වූ සම්බන්ධතාවය මත ඔවුන්ගේ බලය වර්ධනය විය. එකල යාපනය නාගද්වීපය නමින් පරසිදු විය. අටවන සියවසේ දී ලංකාවේ සිහසුන ද්‍රවිඩයන් උදුරා ගැනීම නිසා හතරවන කාශ්‍යප රජුගේ පුත් මාන කුමරු දකුණු ඉන්දියාව පාමුළ දූපත් අතර බලය තහවුරු කරගෙන පොරොත්තුව පසුවිය. වත්මන් ඩෙල්ෆ්ට් දූපතේ ඔහු විසින් ඉඳිකරන ලද බලකොටුව තවමත් දක්නට ඇත. පසුව පල්ලව රටට පැනගිය මාන කුමරු එහි වර්මන් රජවරුන්ට සේවය කරමින් සිට බලය ශක්තිමත් කර සිට සිහසුන යළි ලබා ගත්තේය. මේ මාන කුමරු ගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහ නම් කුමාරයෙකු යාපනයට පැමිණ සිය බලය තහවුරු කරගන්නේ නව වන සියවසේදීය. ඔහුගේ නමින්ම ටික්කම නම් රාජධානියක් බිහිවූ අතර අද ව්‍යවහාරයේ පවතින මානතිඩල් ටික්කම සෙංකණ්ඩි ආදී නම් ඒ ඉතිහාසයේ ශේෂයන්ය.

        මාන කුමරුගේ දරු පරපුර කේරළයේ බලය තහවුරු කරගනිමින් අලකඊශ්වර නමින් පරසිදු විය. ඔවුහු ද්‍රවිඩබලයට මුහුණ දෙමින් යාපනයේ ද දකුණේ දෙවුන්දර තුඩුවේද ආධිපත්‍ය දැරූහ. නමුත් පසු කාලයේදී චෝල ආක්‍රමණටන්ට මුහුණ දීමට නොහැකිව මේ ආධිපත්‍ය ගිලිහී ගිය බව පෙනේ.නිශ්ශංක අලකේශ්වර ශ්‍රී ජයවර්ධනපුර බලකොටුව තනන්නේමේ විදේශඅක්‍රුමණයන්ට මුහුණ දීමටයි. කෙසේ වෙතත් වික්‍රමසිංහආර්යයන් කාලයේදී ඇතිවූ ගැටුම යනු ද්‍රවිඩයන්ගේ බලය ක්‍රමයෙන් පැතිරී යන අවස්ථාවකි. මේ ද්‍රවිඩයන් මන්නාරම අවට සේතුව පාලනය කරමින් මුතු වෙළෙඳාමද සියතට ගත්හ. පසුව පහලොස් වන සියවසේ දී සපුමල් කුමරු විසින් වන්නියේ උතරු කොණේ පිහිටි. නෙල්ලිඌර් ප්‍රදේශය අත්පත් කරගෙන ද්‍රවිඩයන් මර්දනය කරන අතර එහි බලකොටු සහ දේවාල සාදා ඇත.පසුව වඩමාරච්චි තෙන්මාරච්චි සහ පච්චලේ පල්ලෙයි යන තැන් අත්පත් කර ගත් සපුමල් කුමරු කෝට්ටේ නගරයට යටත් ප්‍රදේශයක් බවට උතුර නැවතත් පත්කළ බව ඉතිහාසයෙන් පෙනේ. මේ සම්පූර්ණ කාලය තුළම ද්‍රවිඩපාලනයක් උතුරේ නොතිබූ අතර මාන කුමරුගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහගෙන් පැවත එන පිරිස් සහ ගංගා බ්‍රාහ්මණ පෙළපත් අතර ඇතිවූ විවාහයෙන් ජනිත ආර්ය චක්‍රවර්තී වරු යාපනය පාලනය කළහ. පරංගීන් ගේ පාලන සමයේදී මේ ආර්ය චක්‍රවර්තී බලය ශූන්‍ය වෙයි. සංකිලි මැරුම් කන අතර යාපන රජ පෙළපත වන්නියට පැනවිත් පසුව මාතලේපදිංචිව දිවි ගලවාගත් බව ජනප්‍රවාද ගත සාක්ෂිවලින් පැහැදිලි කළහැකිය.

      ලන්දේසි සමයේදී ඉන්දියාවෙන් ආනයනය කළ වහලුන් යාපනයේ හා වන්නියේ පදිංචි කළහ. ඔවුන්ට ඇතිකළ නීති සංග්‍රහය තේසවලාමෙයි වෙයි. යාපනයේ ඉතිරිව සිටි සිංහලයන් සහ වැද්දන් ක්‍රමයෙන් ද්‍රවිඩීකරණය වූ අතර ඉංග්‍රීසීන් ගේ යුගයේදී නැවත වෙළෙඳාම  බේකරි කර්මාන්තය සදහා සිංහලයන් උතුරට යන් තෙක්ම සිංහල ජනගහනය ව්‍යාප්ත නොවීය. කොටි ත්‍රස්තක්‍රියා නිසාවෙන් නැවතත් අවතැන් වූ සිංහලයන් උතුරෙන් බැහැරවූහ. ඒ ප්‍රමාණය 45000 ක් පමණ වෙයි. මේ ද්‍රවීඩිකරණය පිළිගත් අය අද ද්‍රවිඩ ඊළමට අවශ්‍ය මතවාද සකස්කරන අතර සිංහලයගේඋරුමය පසෙකලා දෙමළ ක්‍රිස්තියානි රජ්‍යයක් ඇතිකිරීමට ස්වයංපාලනයක් යෝජනා කරති. ද්‍රවිඩ නිජබිම් මිත්‍යාව සහ බෙදුම්වාදය අප පරාජයට පත් කළ යුත්තේ යුගගණනාවක්තුළදීම යාපනයේ ද්‍රවිඩරාජ්‍යයක් නොතිබූ බැවිනි. මහාචාර්ය විමල විජේසූරිය අභය ආර්යිංහ යන විද්වතුන් ඇරුණු කොට විශ්ව විද්‍යාල උගතුන් මේ ද්‍රවිඩ නිජබිම් මිත්‍යාවට පහුර නුදුන්හ. ඒ වෙනුවට දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය මතවාද සකස් කරමින් පෞද්ගලික වාසි සලසා ගත්හ.වාමාංශිකපක්ෂ ස්ව්‍යංනිර්ණ අයිතියක් ගැන කතාකරන්නේ බොරු ද්‍රවිඩ නිජබිමක්  මතපදනම්වයි. දකුණේ සිටින කිසිම සිංහල දේශපාලකයෙකුට මේ බෙදුම් වාදය නීතිගතකිරීමට අවසරය ඉතිහාසය විසින් පවරා දී නොමැති බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.එය රනිල් වික්‍රමසිංහයන්ටද මෛත්‍රීපාල සිරිසේන මහතාටද පොදු බව කිව යුතුය.


 

       

No comments:

Post a Comment