පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, June 22, 2013

මුහුදු මහා විහාරය රැක ගත්තේ මුස්ලිම් ජාතිකයන් ද

 
               ක්‍රි.ව. පළමු වන  සියවසේ දී මහදැළියමානා නොහොත් මහා දාඨික මහා නාග රජ තුමා විසින් ඉඳිකරන ලදැයි පැවසෙන මුහුදු මහා විහාරය රූණු රජ පෙළපතේ වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයකි. ජනප්‍රවාදයට අනුව කැළණිතිස්ස රජුගේ දූ කුමරිය වන දේවී කුමරිය මුහුද ගොඩගැලීමෙන් හානියට පත් වන සිය රට බේරා ගැනීම පිණිස මුහුදට බිලි වුණද දෛවයේ හාස්කමකින් මෙන් එතුමිය රැගත් යාත්‍රාව සැඩ රළ පහරට අසුව පාවී අවුත් රුහුණේ  තොටමුණකට ගොඩ ගැසූ බව පැවසේ. මේ ස්ථානය කතරගම අසල කිරින්ද යයි පවතින මතයට බැහැරව යමින් මෙම ජන ප්‍රවාදය නිර්මාණය වී තිබේ.පානම් පත්තුවේ සිංහල ජනතාවගේ තුඩ තුඩ පවතින මේ කතාවට අනුව දේවී කුමරිය ගොඩට පාවී අවුත් ඇත්තේ වත්මන් පොතුවිල් අසල මුහුදු මහා විහාර සීමාවටයි. එකල රුහුණු රජය කල කාවන්තිස්ස රජුට මෙම පුවත දැන ගන්නට ලැබී වහා එහි අවුත් දේවී කුමරිය පිළිගෙන තම බිසෝ තනතුරෙහි පිහිටුවා ගත් බව කියවෙන මේ ප්‍රවාදය ලෙහෙසියෙන් බැහැර කල නොහැකිය. ඉන්පසුව මෙහි ලංකා විහාරය නම් වූ මහා සිද්ධස්ථානයක් ඉඳි වූ බවද ජනප්‍රවාදයේ වැඩි දුරටත් සඳහන් වෙයි. එසේ නම් එම  විහාරය කාවන්තිස්ස රජු ගේ නිර්මාණයක් ද යන්න සිතා බැලිය යුතු කාරණයකි.
        පොතුවිල මොනරාගල පාරේ තිබෙන අනෙක් වැදගත් ම සිද්ධස්ථානය මගුල්මහා විහාරයයි. දේවී කුමරියත් රජුත් විවාහප්‍රාප්ත  වූ ස්ථානය වශයෙන් එය ජනප්‍රවාද ගතය. එයට හේතු  වූ කාරණා අතර එම ස්ථානයෙන් හමු වන අභිෂේක මණ්ඩපයක් දැක්විය හැකිය. ඒසේම එහි තිබෙන සෙල් ලිපියක සඳහන්  මෙම පාඨය ද එම මතය ඇති වන්නට හේතු සාධක සපයා ඇත.
       ශ්‍රී සිරි ලක්හි රජ කළ දාසෙන් කැලි රජ දරුවන් දෑ කරවු මේ රූනු මහවෙර මහ වල් වැ තුබුවා දැකැ සොළී සෙනාව මැඩැ රූණු රට රජ කරන පැරකුම්බා දෙබෑ රජ දරුවන් දෙදෙනාට අගමෙහෙසුන් වූ විහාර මහදේවී නම් මා විසින් මුල පිසැ කරවා දරුලම් වටනා පස පරිවාර සහිතවැ බදවස් කොටැ මා විසින් කරවන ලද මෙ සියලු පින්කම් මතු වන රජ යුව රජ ආදිනුත් අනු පැවැත්විය යුතු බැවින් මා නමින් කළ විහාර දේවී පිරිවෙන මෙ වෙර බව දතු යුතු.
         මේ සෙල්ලිපියේ අක්ෂර අනුව එය ගම්පළ යුගයට අයත් යැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා තීරණය කර ඇත. මෙහි සඳහන් දෙබෑ රජ දරුවන් පස්වන පැරකුම්බා සහ හයවන බුවනෙකබා යන දෙසොහොවුරන් බවද හේ පවසයි. මේ ස්ථානයේ පවතින මෙම සෙල් ලිපිය නිසා විහාර මහා දේවියගේ ප්‍රවාදය යම් කිසි  අකාරයකින් ශක්තිමත් වී ඇතිය සිතිය හැකිය.එහෙත් රූණු රට වෙහෙර දේවීන් දෙදෙනෙකුම සිටියායයි තහවුරු වන නිසා ජන ප්‍රවාද සාක්ෂිත් පුරා විද්‍යා සාක්ෂිත් තුලනය කොට බැලීම වඩා යුක්ති යක්තය.එසේම චාර්ල්ස් ගොඩකුඹුර මහතා පුරවිද්‍යා කොමසාරිස් වශයෙන් සිටි අවදියේ කරන ලද සංරක්ෂණ වලදී මෙම මණ්ඩපය බෝධිඝරයක් ලෙසට හඳුනා ගන්නට යෙදී ඇත.
        කෙසේ වෙතත් මුහුදු මහා විහාරය කාලයේ වැලි තලාවෙන් යටව ගියේය. පොතුවිල් මුහුදු තීරය නිරන්තරයෙන්  මුහුදු කෑමට ලක් වීමෙන් විහාරයට අයත් භූමි ප්‍රදේශය මුහුදුට බිලි විය. නටබුන් වසා ගෙන වැලිකඳු ගොඩ ගැසෙන්නට විය. ලංකා රාජ්‍යත්වය  අවසන් වී බ්‍රිතාන්‍යයන් ගේ පාලන සමයේ දී සුදු නිළධාරීන් අතින් පුරා වස්තු සොයා බැලීම් කරන අවස්ථාවේ දී මුහුදු මහා විහාරය යලි සොයා ගැනුණි. එකළ පානම් පත්තුවේ ජීවත් වූයේ ඉතාමත් අල්ප වූ ජන කොට්ඨාශයකි. එය ගණනින්හත් අටසියක් පමණ පිරිසකි මුස්ලිම් වර්ගයට අයත් මට්ටයන්ද සෙනරත් රජුගේ අණින් මෙහි විත් පදිංචි වී සිටි අතර පොතුවිල අවට ද ඔවුන් ගේ ජනාවාස විය.මුහුදු මහා විහාරය අසල ඉඩම් කීපයක්ද මොවුන් සතු කර තිබුණී. නව සිය පණහ දශකයේ දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාත ගවේශණය කරන කල්හි. මුහුදු මහා විහාරය ඇතුලත් බිම් කඩද පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේය. ඒ 1951 වසරේ ජනවාරි 26 ගැසට් පත්‍රයෙන්ය.
            අක්කර හැත්තෑ දෙකකුත් රූඩ් තුනකුත් පර්චර්ස් දහතුනකුත් මේ රක්ෂිතයට අයත් විය. රක්ෂිතය හඳුනා ගැනීමෙන් පසු මෙහි ගවේශණ කටයුතු ද කැණීම් කටයුතු ද ආරම්භ කරන ලද්දේ 1975 වර්ෂයේ දීය.එහෙත් මේ වන විට අක්කර හැත්තෑ දෙකක මූලික හඳුනා ගැනීම් අන්සන්තකව තිබූ බවට සාක්ෂි හමු වෙයි. ඒ නිසා දැනට තිබෙන බිම් කොටස් පමණක් ගෙන 1965 වර්ෂයේ මැයි මස 28 වන දින මුහුද මහා විහාර භූමය නැවත රක්ෂිතයක් ලෙසට ප්‍රකාශයට පත් කොට ඇත. එහි වපසරිය අක්කර තිහකුත්  රූඩ් තුනකුත් පර්ච්ස් දහතුනක් විය.  රාජා ද සිල්වා මහතා පුරාවිදු කොමසාරිස්වරයා වශයෙන් සිටි අවදියේ දී කැණීම් සඳහා මුදල් වෙන් කෙරිණ. එම කැණිම් කටයුතු වලදි අනුරාධපුරයේ පසු භාගයට අයත් පිළිම ගෙයක් සහ මුල් භාගයට අයත් පිළිම ගෙයක් හඳුනා ගන්නට යෙදුණි. එයට අමතරව පොතුවිල මුහුදු තීරයේ වූ වැල්ලෙන් වැසී ගිය නටබුන් වූ දාගැබ් දෙකක් ද හඳුනා ගන්නට යෙදුණි.  රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවක්ද මෛත්‍රිය බෝධිසත්ව පිළිමයක්ද මෙම පිළිම ගේ තුල තිබෙන අතර ඒවා කැණීම් වලින් පසුව සංරක්ෂණය කරන්ට යෙදුණි. බුදු පිළිමයේ හිස කිසියම් පුද්ගලයෙකු විසින් ගලවා ගෙන ගොස් තිබූ අතර එය මෙහි සිටි පුරාවිද්‍යා මුරකරුගේ ගෙයි ලිප් ගලකට ගෙන ඇති බව පසුව සොයා ගැනීමට හැකි විය.1978 වර්ෂය වන විට මෙහි තහවුරු කිරීම අවසන් වූ අතර පිළම ගෙයට යාබද සීමා පවුර ද ලකුණු කොට තිබුණි. මෙම විහාර සීමාවේ තව දුරටත් ගවේශණ කටයුතු  සිදු කර මෙහි අනන්‍යතාය නිවරදිව හඳුනා ගත යුතු නමුත් කොටි ත්‍රස්තකලබල වලින් පසු මෙම ස්ථානය අරාජික විය.
               මෙම විහාරස්ථානයේ වැදගත් කම් වටහා ගත් පූජ්‍ය තංගල්ලේ සිරි සුනන්ද ස්වාමීන් වහන්සේ 1980 වර්ෂයේ දී මෙහි පැමිණ පුරාණ බෝධින් වහන්සේ සමීපයෙහි කුඩා ආවාස ගෙයක් තනවා ලැගුම් ගත් නමුත් පුරාවිද්‍යා මුරකරු ගේ නිරන්තර පීඩනය නිසා වැඩි කලක් උන්වහන්සේට එහි සිටිය නොහැකි විය. අනතුරුව එහි  පූජ්‍ය තංගල්ලේ ජීවානන්ද හා සද්ධා නන්ද යනුවෙන්  ස්වාමීන් වහන්සේලා දෙනමක් වරින් වර වැඩ වාසය කළහ.  ඉන් පසු පූජ්‍ය කතරගම සිරිරතන හිමියන් මුහුදු මහා විහාරයට වැඩම කොට  කොටි ත්‍රස්වාදී කලබල මධ්‍ය යේ ඉතා දුකසේ වැඩ වාසය කරමින් මේ සිද්ධස්ථානය ආරක්ෂා කරමින් සිටි නමුත් පෙර කී මජීඩ් වහාබ් නමැති මුරකරු ගේ නිරන්තර දබරයන්ට  මුහුණ දීමෙන් පීඩාවට පත්ව සිටියේය. මෙයට පිවිසෙන මාවත මුහුද මහා විහාර මාවත ලෙසට නම් කර තිබියදී එම පුවරුව ගලවා මස්ජිතුල් පලාෆ් මාවත යනුවෙන් නාමකරණය කොට වෙනස් කරන ලද්දේ මේ අවට ඉඩම් බලහත්කාරයෙන් අල්වා ගත් මුසුල්මානුවන්ය.එසේම වන්දනාව සඳහා මුහුදු මහා විහාරයට සපැමිණෙන සිංහල බෞද්ධයින් ගේ මග අවුරණු පිණිස පාර දෙපැත්තේ සීමාව කුඩා කිරීමට ද මුසල්මානුවන් ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලය වූයේ වන්දනා කරුවන්ද ස්වාමීන් වහන්සේ ද නිරන්තර පීඩාවට පත් වීමයි.
        පුරා විද්‍යා රක්ෂිතය භාරව සිටින මුස්ලිම් මුරකරු වරක් කතරගම සිරිරතන හිමියන්ට අඩන්තෙට්ටම් කිරීම සඳහා මුස්ලිම් පිරිසක් උසිගන්වන ලදහ. මේ අකාරයට කොටි ත්‍රස්තවාදී සමයේ හුදකලාවූ මුහුදු මහා විහාරය සතු ඉඩ කඩම් වලින් අක්කර හතක් ජය භූමි පැවරුම් මගින් මුස්ලිම් වරු සන්තක කිරීමටද ප්‍රාදේශීය ලේකම් වරයා ගත් පියවරට එරෙහිව කිසිවෙක් ක්‍රියා නොකළහ . කතරගම සිර රතන හිමියන් ගෙන් පසුව මෙහි විහාරාධිපති ධූරයට පත් පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ මුහුදු මහා විහාරයේ දියුණව උදෙසා වර්තමානය වන විට විශාල වැඩ කොටසක් ආරම්භ කරමින් ඇත. ඒ අතර 2012 වර්ෂයේ දී දිනක් මුස්ලිම් වරු මෙහි පැමිණ වැල්ලට යටව තිබූ පැරණි චෛත්‍ය ඩෝසර කිරීම නිසා මහත් කලබගෑනියක් ඇති විය. මේ තත්වය තුල රජයට තවත් කරබා ගෙන සිටිය නොහැකි විය. අම්පාර දැයට කිරුළ උත්සවයට සමගාමීව මුහුදු මහා විහාරය සංවර්ධනය ආරම්භ කරන ලද අතර අභිනවයෙන් බුදු මැදුරක් ද එයට ප්‍රවිශ්ඨ විය හැකි නව මාවතක්ද විවෘත කරන ලදහ.මෙයින් කෝපයට පත් මුසල්මානුවන් යළිත් වරක් සංවිධානය වී ආවාස ගෙයට ගිනි තබන ලද්දේය.මේ නිසා අද මේ විහාරය ආරක්ෂා කරලීමට සිවිල් ආරක්ෂක බල ඇණියකගේ සේවය ලබා ගැනීමට සිදුව ඇත.
        මේ තත්වය මෙසේ තිබියදී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ගේ නාපාවල සුමංගලාරාම විහාරයේ අභිනව ගොඩනැගිල්ලක් විවෘත කිරිමට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී පවසා සිටියේ මුහුදු මහා විහාරය ආරක්ෂා කරන ලද්දේ මුස්ලිම් ජාතිකයෙකු බවයි.  මෙම ස්ථානයේ ඉතිහාසය දත් කෙනෙකුට එම ප්‍රකාශය අනුමත කළ නොහැකි වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. එදා කාවන්තිස්ස රජ සමයෙන් පසු මේ ප්‍රදේශය තුල ඇති වූ බෞද්ධ ප්‍රබෝධය මෙම කලාපයේ තිබෙන සෙල් ලිපි දාගැබ් ආදියෙන් ප්‍රකට වේ. ඒවා නිසි පරිදි ගවේශණය කිරීම හා තහවුරු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමයි. මුහුදු මහා විහාරය සතු ඉතිහාසය වරින් වර යටපත් කර ඇත්තේ මේ වගකීම  පැහැර ඇර ඇති බැවිනි.එය ජාතිය මුහුණ දී තිබෙන මහා ඛේදවාචකයක් ලෙසින් මෙලෙස සටහන් කර තබමි.
            

1 comment:

  1. ape lokka gas musalayeki. avasi de sidu novei.ke gasada palak natha.rathupaswala wage vedi thaba damai.

    ReplyDelete