පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 17, 2020

මුහුදු මහා විහාරයට සාධාරණය ඉටු කරමු




        සෑහෙන කාලවකවානුවක් තිස්සේ පොතුවිල් මුහුදු මහා විහාරය ට මුස්ලිම් අන්තවාදීන් ගෙන් වන ගැහැට පිළීබඳ ජන මාධ්‍ය ඔස්සේ එළි දක්වනු ලැබූ පුවත් රාශියකි.මාගේ මතකයේ හැටියට අවස්ථා පහකදී පමණ මා විසින්ද ලියන ලද ලිපි කීපයක්ම පුවත්පත් වල පළ විය. නමුත් එහි පවතින මුස්ලිම් ආක්‍රමණය පාලනය කරලීමට පාලකයන්ට හැකි නොවීය. පසුගිය යහපාලන සමයේ දී පොතුවිල් පමණක් නොව නැගෙනහිර සහ උතුරේ සියලු බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයන්ට මුස්ලිම් සහ දෙමළ අන්තවාදීන් ගෙන් බලවත් පීඩාවන් ඇති විය.සැබවින්ම මුස්ලිම් අන්තවාදීන් බෙහෙවින්ම බලවත් වන්නට ආරම්භ වූයේ ආර්. ප්‍රේමදාස සහ චන්ද්‍රිකා මැතිණීය ජනපති පදවිය දැරූ අවදියේ දීය. ඉන් පසු සෑම ආණ්ඩුවකදීම ඔවුන්ට වෙසෙසි සැලකිලි හිමි විය.වෙසෙසි ඇමති පට්ටම් හිමි විය. ඒවා පදනම් කොට ගෙන අන්තවාදී ක්‍රියාවන්ට නීත්‍යානුකූල බව හිමි විය.
          1951 දී මුහුදු මහා විහාරය අවට තිබූ පුරා වස්තු හඳුනා ගෙන එම භූමිය අක්කර 72 රූඩ් 03 පර්චර්ස් 13 ක් වශයෙන් ගැසට් කරනු ලැබිණ. පුරා විද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පවසන පරිදි එම ස්ථානය පිළීබඳව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාට දැනුම් දී ඇත්තේ උන්වහන්සේ විසිනි.ඉන් පසුව 1964 දී මෙම භූමිය නැවත මැනීමකට ලක් කොට අක්කර 30 රූඩ් 03 පර්චර්ස් 02 ක් වශයෙන් හඳුනාගෙන ගැසට් කර තිබේ. 1951 මැනුමේ දී බිම් සැලැස්මක් දැනට දක්නට නොලැබුණද දෙවනි මැනුමේ බිම් සැලැස්ම අනුව අක්කර 30 රූඩ් 03 පර්චර්ස් 02 යනු නව පුරාවිද්‍යා ආරක්ෂිත බිමයි. අක්කර 33 රූඩ් 03 පර්චර්ස් 14 ක් (විසරමුනෙයි කොටස - හේන් ) ගමකට වෙන් කරනු ලැබ ඇත. ඉතිරි අක්කර 09 රූඩ් 01 පර්චර්ස් 21 වෙරළ ට වෙන් කර ඇත.
       1951 දී වෙන් කරන ලද පුරාවිද්‍යා රක්ෂිතයේ හඳුනා ගැනීම නිවැරදිය. එහි සැම තැනකම මතුපිට පුරාවස්තු තිබෙන්නට ඇත. නමුත් පොතුවිල් පාලනය කළ මුස්ලිම් උප දිසාපතිවරු මෙම ඉඩම් නොයෙකුත් ආකාරයෙන් නීති විරෝධී ලෙස මුස්ලිම් ජනතාවට බැහැර කරන්නට ඇත.විසඳුමක් නැති කළ 1965 දී නැවත ගැසට් කරන්නට යෙදුණේ එලෙස බැහැර කරන්නට යෙදුණු භූමිය අත්හැර බව පැහැදිලිය. එසේම එහි එම භුමිය ගම්මානයකට වෙන් කරන ලද බවද දක්වා ඇත.මුල් ගැසට්ටුව පළ කරන අවදියේ එවැනි තීරණයක් ගෙන තිබුණේ නම් එම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් කරන්නේ නැත. කෙසේවෙතත් 1965 න් පසු චන්ද්‍රිකා මැතිණියගේ යුගයේ දී නැවතත් පෙර කී අක්කර 30 රූඩ් 03 පර්චර්ස් 02 ( වෙල්ලාඩුවක්කඩු -වනය )ක පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් ගණනාවක් නැවත ජය භූමි ඔප්පු මගින් මුස්ලිම් ජනතාවට බෙදා දී ඇත.නමුත් ඒ සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හෝ එකල සිටි සංස්කෘතික ඇමතිවරුන් විසින් විරෝධය පළ කර නොමැත.1975 වර්ෂයේ දී මෙම ස්ථානයේ පුරාවිදු කැණීම්ද ආරම්භ කොට එහි දැනට තිබෙන පිළීම ගෙය මතුකොට සංරක්ෂණය කළ අතර ස්ථූප දෙකක්ද හඳුනාගෙන ඇත.නමුත් එම කැණීම් 1978 දී නවතා දමා ඇත. කොටි ත්‍රස්තවාදයේ නැගීම ඊට හේතු වන්නට ඇත.
        මුහුදු මහා විහාරයේ නටබුන් ආසන්නයේ 1980 දී නව විහාරස්ථානයක් ඉඳි විය.මෙම පුරාවිදු රක්ෂිතයේ ඉඩම් භුක්ති විඳින මුස්ලිම් ජනතාව සහ පන්සල අතර ගැටුම් ආරම්භ වන්නේ ඉන්පසුවයි.පුරාවිද්‍යා වැඩ බිම භාරව මජීඩ් නම් මුස්ලිම් මුරකරුවකු පත් කිරීම නිසා සොයා ගත් පුරාවස්තු නිවෙස් වල ලිප්ගල් වලට ද යොදා ගත් බව පැවසේ. ඒ තත්වය මත පුරා විද්‍යා බලධාරීන්ගෙන් සහ පාලකයෙන් ගෙන් විසඳුමක් නොලැබුණු අතර 2006 වසරේදී මෙම ස්ථානය නැවත මැනීමකට ලක් කර පුරාවිද්‍යා රක්ෂිතයට අක්කර 59 රූඩ් 03 පර්චර්ස් 19 ක්ද පන්සලට රූඩ් 03 පර්චර්ස් 04 ක්ද වෙන් කරන ලදී.ඒ මතුපිට භූමියේ කළ හැදෑරීමකට අනුවයි. සියලුම බිම් ප්‍රමාණය අක්කර 60 රූඩ් 02 පර්චර්ස් 22.69 ක් විය.නමුත් මෙම මැනීමේ දී 1951 දි සහ 1964 දී හඳුනා ගත් ස්ථාන බැහැර කරවා ඇති බව පෙනේ. මෙම ගැසට් දෙක සම්බන්ධව හිටපු වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මණ්ඩාවල මහතා නීතිපතිට දන්වනු ලදුව ඔහු විසින් එවන ලද ලිපියද මෙහි දක්වා ඇත. එහි සඳහන් කර ඇති ආකාරයට 1951 ගැසට්ටුව අවලංගු කර නැත.නමුත් ඔහු සඳහන් කර ඇත්තේ පවත්නා නීතිය අනුව දෙවනි ගැසට්ටුව වලංගු වන බවයි. රජයේ ඉඩම් සම්බන්ධව නීතිමය තත්වය එලෙස වුවත් පුරාවස්තු සහිත භුමියක් එලෙස වර්ග කිරීම ප්‍රායෝගික නැත. එයට හේතුව කලින් ගැසට් කළ භූමියේ පුරාවස්තු තිබිය හැකි නිසයි.

      දැන් මේ මාතෘකාව යළිත් කළ එළි බැස ඇත. දෙශපාලකයන් මෙහිදී රඟනු දැකිය හැකිය. මහින්ද රාජපක්ෂ අගමැති වරයා සංස්කෘතික ඇමති වශයෙන් මුහුදු මහා විහාරය සතු භූමිය නැවත ගැසට් කිරීමට උත්සාහ කරන බව දක්වා ඇත.නමුත් ඒ 2006 මැනීම අනුව බව පෙනේ.ඉහත සඳහන් භූමි වල නම් බලන්න.( වෙල්ලාඩුවක්ඩ්ඩු -
B) යනු විහාරය අවට තිබෙන හේන් සහිත උස්බිමයි.(විසරමුනෙයි -A-C) යනු හේන් වලයටව තිබුණු   පහත්බිම් කැළයයි. විහාරය අසල වැවක්ද ඇත. පසුකාලයේ දී නැගෙනහිර මුස්ලිම් ව්‍යාප්තිය අනුව මේ හේන් භූමි ජනාවාස වන්නට ඇත. පොල් වගා කළ බව ඡායාරූප වලින් පැහැදිලිය. එසේම 2014 දී කළ ගවේශනයකින්සහ කැණීමකින් වෙරළ ආසන්නයේ තවත් පුරාවස්තු රාශීයක් හඳුනාගන්නට යෙදී ඇත.
    කෙසේ වෙතත් ආණ්ඩුව යළිත් මේ ගැටළුව අනා ගන්නට නොගොස් 1951 දී වෙන් කරන ලද භූමියන් හි සහ අලුතින් හඳුනාගන්නට යෙදුණු පුරාවස්තු සහිත භූමි වල පූර්ණ ගවේශනයක් කොට පුරාවිද්‍යාවට සහ විහාරයට ඉඩම් නිවැරදිව හඳුනාගෙන  නිදහස් කල යුතුය.ඒ  සඳහා මතුපිට ගවේශණයක් පමණක් නොව පර්යේෂණ කැණීම් වලවල්ද හෑරීම සුදුසුය. එසේම මුහුදු කෑම නිසා මුහුදේ යටව තිබෙන පුරාවස්තුද හඳුනාගත යුතුය. අනතුරුව වෙරළ සංරක්ෂණය පිණිස පනාබැමි යොදා වැලි ගොඩබිමට ඒම වැළැක්වීමද කළ යුතුය. රජයේ සන්තකය ආපසු පවරා ගැනීමේ නීතිය යටතේ මුස්ලිම් අන්තවාදීන් විසින් අල්වා ගත් භූමි නිදහස් කොට ඔවුනට විකල්ප ඉඩම් ලබා දීම කළ හැකිය. මුස්ලිම් අන්තවාදය පාලනය කොට සාධාරණය ඉටු කර දිය යුත්තේ එලෙසයි.එසේ නැතිව දෙමල සන්ධානයට අක්කර 500 ක් නිදහස් කර අතර වාරයේ සිංහල බෞද්ධයන් චූන් කිරීමට පෙට්ටගම් අස්සේ ඇති මැනුම් සැලසුම් ඉදිරියට දමා ඒ මත තීරණ ගෙන ප්‍රශ්ණය යට ගැසීම සුදුසු වන්නේ නැත.




Sunday, May 10, 2020

ලංකා මුදල් ඒකකය ශක්තිමත් කිරීමට වෙනසක් අවශ්‍යයි


                     
        ලංකාවේ භාවිත සම්මත මුදල කාලයක් තිස්සේ අව ප්‍රමාණය වීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙසට කඩා වැටී ඇත.වර්තමාන වසංගත තත්වය හමුවේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතය ගණනය කළ නොහැකි තරම්ය.බොහෝ දේ වෙළෙඳ පලෙන් මිළට ගන්නා ජනතාවට සිය එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්නටවත් අවස්ථාවක් නොදී රුපියල කඩා වැටෙයි.වසංගත තත්වය මර්දනය කර ගැනීමෙන් පසුව  රුපියල පාලනය කිරීමටවත් විකල්පයක් සෙවීමට පාලකයන් උනන්දු වේ දැයි සිතන්නට නොහැකිය. අතීත වර්තමාන සංඛ්‍යා ලේඛන සහ ලෝක ප්‍රවණතා ගැන කතා කරනවා විනා නව අදහසක් කියන්නට සමත් පුද්ගලයෙක් මේ ආර්ථික ක්ෂේත්‍රය තුළින් හමු නොවේ.නමුත් වර්තමාන  අමාතය බන්දුල ගණවර්ධන මහතා වසංගත තත්වය හමුවේ පවතින අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදී ඩොලරයෙන් වෙන්වීම පිළිබඳ අදහසක් පැවසූ බව මෙහිදී මතක් කරන්නට හැකිය.
        1949 අංක 58 දරණ මුදල් නීති පණතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන ලද්දේ ප්‍රධාන අරමුණු කීපයක් සඳහාය.ලංකා රුපියලේ ස්ථාවර භාවය සුරැකීම ජාත්‍යන්තර ගනු දෙනු සඳහා රුපියල නිදහස් කිරීමට පසුබිම සැලසීම එහි ප්‍රධාන අරමුණු අතර වෙයි.අද රුපියලේ අගය තීරණය කරනු ලබන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂකවයි.මහ බැංකුව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණයත් දළ ජාතික නිෂ්පාදනයත් පදනම් කර ගෙන ඩොලරයට  සමගාමීව මෙම අගය තීරණය කෙරේ.මහ බැංකුව විසින් විදේශ සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යනුයේ කීප ආකාරයකිනි. විදේශ බැංකුවල තැන්පතු විදේශ රාජ්‍ය බැඳුම්කර විදේශ රාජ්‍ය සහතික කළ සුරුකුම් පත් රත්තරන් සහ ජගත් මූල්‍ය අරමුදල භාවිතා කළ හැකි විශේෂ ගැනුම් හිමිකම් එම අවස්ථාවන්ය.ජාත්‍යන්තර ගනුදෙනු වලදී අතර මැදි මුදල ලෙස භාවිතා කරන ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිළ  සහ විකුණුම් මිළ මහ බැංකුව මගින් තීරණය කරයි.එසේ කරනු ලබන්නේ රුපියලේ පරිවර්ත්‍ය භාවය රැක ගැනීමටත් ලංකාව තුළ ක්‍රමානුකූල විදේශ මුදල් වෙළෙදපළක් ඇති කරලීම සඳහාත්ය.මෙහිදී වානිජ බැංකු ක්‍රමය ඉතා දියුණු නම් මහ බැංකුව මුදල් වෙළෙඳ පලෙන් ඉවත් වී සිටී.
       විදේශ විනිමය කළමනාකරණයේදී විනිමය අනුපාතය  ඉතා වැදගත්ය.මහ බැංකුව විසින්  රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව  මුදල අව ප්‍රමාණ සහ අධිප්‍රමාණ කරනු ලැබේ.අපනයනය වැඩිකර ගැනීම පිණිසත් මුදල අව ප්‍රමාණ කරනු ලැබේ. 1967 දී එවකට පැවති රජය මුදල අව ප්‍රමාණ කරනු ලැබීය පසුව විවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුව ස්ථාවර විදේශ විනිමය අනුපාත ක්‍රමය වෙනුවට පාලිත පාවෙන විදේශ විනිමය අනුපාත ක්‍රමය ආදේශ කරන ලදී.මෙතැන් සිට ඇමරිකානු ඩොලරයට සමගාමීව මූලක වශයෙන්ම ණය ගැනීම අරමුණු කොට ගෙන මුදල් වරින් වර අව ප්‍රමාණ කර තිබේ.1977 දී ඩොලරයේ විටිනාකම රුපියල් අටක් විය. විනිමය අනුපාතය පාවෙන්නට සැලැස්වීම නිසා 1978 වන විට එය රුපියල් 15.61 දක්වා වර්ධනය විය.2001 වර්ෂය වන විට එය රුපියල් 89.36 දක්වා ඉහළට එසැවී ගොස් තිබුණි. 2001 වර්ෂයේදී ජගත් මූල්‍ය අරමුදල මගින් ඇමරිකානු ඩොලර 253 ක් ණය වශයෙන් ලබා දීමට තීරණය කරන ලදී.මේ මුදල් ලබා දීමත් සමගම මෙම අරමුදල මගින් රජයට කොන්දේසි ද දමනු ලැබීය . නමුත් ජී.එල්.පීරිස් ඇමති වරයා සහ මහ බැංකු අධිපති ව සිටි ඒ.එස්.ජයවර්ධනත් ප්‍රකාශ කර සිටියේ එවකට පැවති පොදු පෙරමුණ රජයේ ප්‍රතිපත්තිය අනුව 21 වන සියවස සඳහා දර්ශනය නමැති ජනාධිපතිනිය ගේ වැඩපිළීවෙලට මේ මුදල් ලබා දී ඇති බවයි.රුපියල 70 සිට 100 දක්වා වැඩි වූයේ මේ මුදල් ලබාදීමත් සමගමයි. පසුව එය 90 දක්වා අඩු කෙරිණ. රුපියල අව ප්‍රමාණය වීම නිසා අප ගෙවිය යුතු ණය සහ පොළිය ඩොලර වලින් වැඩි වෙන හැටි මේ කාලයේ අත් දකින්නට ලැබුණි.
        මෙයින් සිදු වූයේ කුමක්ද 2001 දී ජගත් මූල්‍ය අරමුදල්  වාර්තාවේ නව වන පිටුවේ සඳහන් පරිදි වෙළෙඳ පළ බලවේගයන්ට ප්‍රතිචාර දැක්වීමට රුපියලට ඉඩ ලබා දෙන පරිදි නම්‍ය ශීලී විනිමය අනුපාතයක් පවාත්වාගෙන යා යුතු බවයි. ඒ අනුව සිදු වූයේ අපනයනයන් අභිබවා ආනයනයන් සීඝ්‍රයෙන් වැඩිවීමයි. ඉඳි කිරීම් කර්මාන්තය  සංචාරක කර්මාන්තය ප්‍රවාහනය ආදී තැන්වලට ආනයනයන් බහුලව අවශ්‍ය බැවින් එහි යහපත් පැත්තක් තිබෙන බවට කෙනෙකුට තර්ක කළ හැකි නමුත් ලෝකයේ හදිසි අවස්ථාවකදී රුපියල පාලනය කර ගැනීම ලෙහෙසි පහසු නොවේ. අනෙක දේශීය භාණ්ඩ වලට වඩා විදේශීය භාණ්ඩ කෙරෙහි වැඩි රුචිකත්වයක් නැඹුරුතාවයක් ඇති සමාජයකට සිය ආශාවන් පාලනය කර ගත හැකි නොවේ. එවිට කෙසේ වත් නවොත්පාදන මගින් දේශීය කර්මාන්ත දියුණට පත් නොවේ.ජගත් විශේෂඥයන් තර්ක කරන පරිදි අපනයනයන්ට වැඩි අවස්ථා මේ මගින් උදා වී නැත.ඒවා ඇතැම් විට සීමා කිරීම් වලට යටත් වේ.දුප්පත් කම අඩු කිරීමේ ව්‍යුහාත්මක යොජනා ඉටු කිරීම පෞද්ගලීකරණය බෙදුම්වාදී යෝජනා වලට රාජ්‍ය ප්‍රතිපත්ති තුළ තැනක් ලබා දීම වැනි කොන්දෙසි වලට රජයට යටක් වීමට සිදු වේ.දැනටමත් අසීමාන්තික ලෙසට යටත් වී ඇත. 1954 දී ජගත් මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමෙන් අප රටක් වශයෙන් විශාල ණය උගුලකට අසුවී ඇති වව පැහැදිලිය.ඇමරිකානු කොටස් වෙළෙඳ පළ ඉහළ නැන්වෙන විට ලංකාවේ සිටින කොටස් හිමියන් මෙහි මුදල් එහි ආයෝජනය කිරීම වැඩි වීමෙන් මෙවර වේගයෙන් රුපියල අව ප්‍රමාණය වී යයි හිටපු  අගමැති පවසා ඇත. එහි තේරුම නම් මහ බැංකුව මැදිහත් වීමක් නොකර බලා සිට ඇති බවයි.දැන් ඒ සඳහා මැදිහත් වන බව මහ බැංකුවේ ඉහළ නිළධාරීන් පැවසුවද විනාශය සිදුව හමාරය. බැඳුම්කර මගඩිය නිසාද පසු ගිය කාලයේදී මෙවැනි තත්ත්වයක් උදා විය.
              ලංකාවේ මුදල් භාවිතයට ඉතා දිගු අතීතයක් ඇත.ක්‍රි.පූ. දෙවන සියවසේ පමණ සිට ලංකාවෙන් හමුවන හස් එබූ කාසි ඊට නිදසුන්ය.සැබවින්ම හස් එබූ කාසි වල උප්පත්තිය ඉන්දු දේශයෙහි සිදුව ඇත්තේ ක්‍රි.පූ. හයවන සියවසේ දී පමණය. ග්‍රික කාසි නිසා ඉන්දු කාසියෙහි ප්‍රවර්ධනයක් සිදුව ඇති බව පැහැදිලිය.වෙළෙඳ සමාගම් සිය වත්කම් පෙන්වීම පිණිස මේ කාසි භාවිත කළහ. වෙසෙසින්ම  විදේශීය ගනුදෙනු වලදී මෙම කාසි භාවිතයේ පැතිරීම නිසා ලංකාවෙන්ද මේ කාසි හමුවන්නට ඇත. එහෙත් ලංකාව වෙළෙඳ ගනුදෙනු සිදු කරන්නට ඇත්තේ පූර්ව ‌ෙඒතිහාසික යුගයේ පටන් බව නිසැකය. රට තුළ ගනුදෙනු වලදී භාණ්ඩ හුවමාරුකම් සිදු වුවද දූපතක් වශයෙන් මෙන්ම ජනප්‍රිය තොටමුණු බහුල රටක් වශයෙන් වෙළඳ ගනුදෙනු වලට ඉඩකඩ රාශියක් විය.යාපන අර්ධද්වීපයේ ආනකොට්ටේ කැනීම් වලින් සොයා ගත් මුද්‍රාව එවැන්නකට භාවිත කරන ලද්දකි.ඒ අතර යම් මැටි කැබලි භාවිත කර සලාක මගින් ගනුදෙනු කිරීමක්ද සිදුව ඇත.
       පසු කාලයේ දී තඹ රත්තරන් රිදී ආදී ලෝහ වලින් තැනූ මෙරට මුදල් නිකුත් කිරීමේ අධිකාරිය නොයෙක් යුග වල අධිපතියන් බවට පත් වූ රජවරුන් සතු විය.ඔවුන් ගේ නමින්ම ඇතැම් විට මේ කාසි නිකුත් කරන ලදී.පළමුවන විජයබාහු එලෙස කාසි නිකුත් කළ  නරපතියෙකි. එකල මේ ලෝහ වල පැවති බර සහ සුලභතාවය මත මුදලේ අගය තීරණය කර තිබේ. ලංකාවෙන් හමු වූ රන් සහ තඹ එකල ලෝකයේ වෙනත් රටවලද හමු වුවද ලෝකයට සාපේක්ෂකව මෙහි හමු වීම් ඉහළ අගයක් ගත්හ. රුවන් මැලි සෑය ගොඩ නගන අවදියේ දී  ඒ උතුම් කාර්යයේ ශ්‍රද්ධා භක්තිය නිසා රටේ විවිධ ප්‍රදේශ වලින් රන් රිදී මැණික් මතු වූ හැටි මහා වංශයේ ඇතුලත්ව තිබේ. නගරයෙන් ඊසාන දිග තුන් යොදුන් තන්හි ආචාරවිට්ටි නම් ගමෙහි නානාවිධ රත්තරන් පහල විය. එයින් ලොකුම ඒවා වියතක් පමණද කුඩා ඒවා අඟලක් පමණද විය. වරින් දකුණු දිග අම්බට්ටකොල නම් ජනපදයෙහි ලෙනක රිදී පහළ විය.පුරයෙන් නැගෙනහිර දිග සත් යොදුනකින් එපිට ගෙඟන් එතෙර පිහිටි තඹ විට නම් ගමෙහි තඹ ලෝහ පහළ විය. ලංකා පුරා වෘත්ත සහ කඩයිම් පොත් වල දක්නට ඇති පරිදි සතරක් රිදී ආකාර ගම්ද සොළසක් රන් ආකාර ගම්ද සියයක් රුවන් ආකරගම්ද ලංකාව පුරා තිබී ඇත.යටත් විජිත සමයෙන් පසු ප්‍රථම වරට ලංකාවේ ඛනිජ සම්පත් ගවේශණයට ආයතනයක් පිහිටුවන ලදහ. යකඩ රන් රිදී ආදී ලෝහ වර්ග මෙන්ම මැණික් ගැනද ඔවුහු ගවේශණය කළහ.විසිවන සියවසේ මුල් භාගයේදී ලංකාවට පැමිණී ජී.ජී.ඩික්සන් නම් රන් ආකර පිළිබඳ විශේෂඥයකු සහ ප්‍රකට ගවේශකයෙකු වූ ආනන්ද කුමාරස්වාමී මහතා විසින් මෙම ඛනිජ සම්පත් ගැන වැදගත් වාර්තාවන් පළ කරනු ලැබ ඇත.මෙම ඉතිහාසයෙන් අපට පැහැදිලි වන්නේ විදේශ වෙළඳාම මත කාසි භාවිතය දියුණූ වූ ආකාරයත් රට තුළ පවතින භාණ්ඩ වල වටිනාකම් තීරණය කරලීමට වෙළෙඳම හේතු සාධක වූ බවත්ය. රන් සහ රිදී මිශ‍්‍ර කොට ද රාජ්‍ය යෙහි මුදල් සඳහා කාසි නිපදවනු ලැබූහ. ඒවා කහවණු අඩ කහවණු සහ මසුරන් යන නමින් හඳුන්වන ලදහ.          පසු කාලයේදී තඹ මස්සටද මසුරන් යන නාමය භාවිත කොට ඇත. පළවන විජයබාහු රජු මේ තඹ මස්ස නිකුත් කිරීම අරඹන ලදී. සහස්ස මල් රජු විසින් නිකුත් කළ කාසි රටේ නොයෙකුත් තැන්වලනි හමුවේ. එයට හේතුව කාසි පිළිබඳ වෙනසක් කරලීමට එතුමාට තිබූ අවශ්‍යතාවයයි.කාසි බහුල කිරීම් මත අභ්‍යන්තර වෙළෙඳාමද දියුණු කරලීමට හැකියාව ලැබෙනු ඇති බවට කල්පනාවක් එහිදී ඇති වන්නට ඇත. උඩරට රාජධානිය ගිවිසුමකින් ඉංග්‍රීසීන් හට භාරදීමෙන් පසු එවකට ලන්දේසීන් විසින් භාවිත කළ රික්ස්ඩොලරය ඉවත් කර 1825 දී රන් පවුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව රන් පවුමක් රික්ස් ඩොලර් 1   ක් විය. ඉන්පසු 1836 වසරේ දී ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතයට හඳුන්වා දී ඇත. එසේම පවුම් සිලිං සහ පැන්ස ආදී බ්‍රිතානය සම්මත මුදල් භාවිතයන්ද හදුන්වාදී ඇත.සිලිං දෙකක් රුපියලක් වශයෙනි. එසේම රුපියල් දහයක් පවුමක් ලෙසටද සැළකුණි.ඉන්පසු ලංකා බැංකුව 1844 දී පිහිටුවීමෙන් පසුව භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු විනිමය පත් නිකුත් කිරීම අරඹන ලදී.1869 දී ඉන්දියන් රුපියල සීමාවකින් තොර ටෙන්ඩර ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගත අතර 1871 වන විට රුපියලක් යනු ශත 100 ක් බවට නිර්වචනය කර ඇත. ඉන්පසු ලංකා රුපියල නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර රුපියල යනු සිළිං 2 පැන්ස හයක් ලෙසට නිර්වනය කර තිබේ.
     වර්ෂ 1815 ට පෙර ලංකාව යටත් විජිතක් නොවේ. එ නිසා විදේශිකයන් විසින් ලංකාවේ මුදල ගැන තීරණ නොගත්හ. නමුත් පරංගින් සහ ලන්දේසීන් ගේ කාලයේ ලංකාවේ මුහුදු බඩ පළාත් ඔවුන් ගේ පාලනය යටතේ තිබූ බැවින් ඔවුන් ගේ මුදල් ඒකක වලින් ගනුදෙනු කරනු ලැබිණ.මහනුවර රාජ්‍ය භාණ්ඩාගාරය වෙතද ඔවුන් ගේ මුදල් සංස්සරණය වූයේ එම නිසාය.පෙර සඳහන් කළ පරිදි 1827 න් පසු බ්‍රිතාන්‍ය පාලන විසින් ලංකාවට ස්ථීර මුදල් ඒකකයක් හඳුන්වා දී රන් පවුම සමග ගලප්පා ලීම නිසා රටේ ආර්ථික ස්ථාවරත්වයද වෙනස් විය. විසිවන සියවසේ අග භාගය වන විට රන් පවුම වෙනුවට ඇමරිකන් ඩොලරය මුල් තැන් ගනු ලැබූවේ ඇමරිකාව ආර්ථික බලවතා බවට පත් වීමෙනි.මේ තත්වය මත ලෝකයේ කුඩා රටවලට  ආර්ථික  ස්වාධීනත්වය ළඟා කර ගැනීම ඉතාමත් අසීරු වේ.ආනයනයන් දිනෙන් දින වැඩි කිරීම මීට හේතුවකි. ආනයනය යම් ආකාරයකට පාලනය කර ගැන්මට අපට මේ වසංගත තත්වය යටතේ අවස්ථාව ලැබී තිබේ.ඒසේ නම් අපනයනය දිරිමත් කරමින් ලංකාවේ මුදල් ඒකකය ශක්තිමත කරලීමේ අදියරකට අප පැමිණීය යුතුය.
            කලක් ලෝකයේ පිළිගත් මුදල් ඒකකය වූයේ රත්තරන්ය.1914 දක්වාම එය එසේ විය.ඉන් පසු 1971 දක්වාම රන් සම්මතයේ පිළිගැනීම් අඩු වැඩි වශයෙන් තිබුණද දැන් එවැනි සම්මතයක් නොමැත. නමුත් බොහෝ රටවල් රන් සංචිත  පවත්වාගෙන යන්නේ තම වත්කම් ප්‍රවර්ධනය කර ගැනීමටයි. ලංකාවේ මහ බැංකුව සතුවද ඩොලර මිලියන 786.60 වටිනා රන් සංචිතයක් තිබෙන බවට වාර්තා වෙයි. ඒවා ක්ෂණිකව මුදල් කළ නොහැකියි. නමුත් රටේ වත්කම් තීරණය කර ගැන්මට එය සාධකයක් වේ. මෙම තත්ත්වය තුළ රන් සංචිත තව දුරටත් වර්ධනය කර ගැනීම මගින් ලෝක ආර්ථික අවපාත  සහ වෙනස්කම්  සිදුවන අවස්ථාවලදී යම් පිළිසරණක් අත් වේ යැයි සිතිය හැකිය.අවාසනාවකට ලංකාවේ සොයා ගෙන තිබෙන රන් සහ මිනිරන් ඉල්ලම් වල අයිතිය භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් ඔස්ට්‍රේලියා සමාගමකට බදු දී ඇත. ඔවුහු ඒවායේ රන් නොසොයා කොටස් වෙළෙද පළ තුළ ආයෝජනය කරමින් රන් මිශ්‍ර පස් පිටරට පටවන බවටද පසුගියදා වාර්තා විය. කෙසේ වෙතත් ඛනිජ වර්ග රන් සහ වෙනත් භූ සම්පත් වලින් පොහොසත් රටක් වශයෙන් තිබුණද අප අද ලෝක බැංකුවේ හිඟමනේ යයි. මේ ආර්ථික අර්බුදයෙන් සහ ණය උගුලෙන් ගැලවීමට නම් අප ගේ ආර්ථික ආකල්ප සහ ගතානුගතික පුරුදු වෙනස් විය  යුතුය.අපගේ රන් ඉල්ලම් වලින් රතතරන් ගොඩ ගෙන ඒවා වලින් අපට නැවතත් මසුරන් කාසිය නිෂ්පාදනය කර ගත හැකිය. මේ මසුරන් කාසියේ වටිනාකම තීරණය කර ගත හැක්කේ රට තුළ සිදුවන නිෂ්පාදනයන් අනුවයි.රත්තරන් වල බරට ලැබෙන මිලත් රයේ දේශිය නිෂ්පාදනයන්හි මිලත් එක්කාසු කරන විට මසුරන් කාසියේ මිළී තීරණ කළ හැකිය. දේශීය නිෂ්පාදන වලින් ලැබෙන අගය කර්මාන්ත මෙන්ම කෘෂීකර්මයෙන් ලැබෙන වටිනාකම්ද මත තීරණය කරන්නක් විය යුතුය.සෑම පුද්ගලයෙකුම නිෂ්පාදනය කරන ආහාර ගෙවත්තක තිබෙන ගස් වලින් ලැබෙන ආදායම් ආදී සියල්ල මෙයට ඇතුල් විය යුතුය. එවිට නිවරදිව රටේ වත් පොහොසත් කම් තීරණය කරගත හැකිය.රජය විසින් නිකුත් කරන ලද  මසුරන් කාසිය විදේශ බැංකු වල තැන්පත් කිරීමෙන් විදේශ සංචිත යම් පමණකින් ඉහල නංවාගත හැකිය.ඉන්පසු විශේෂ ගනුදෙනු වලදී හුවමාර කර ගැනීමෙන් ලංකා මුදලේ අව ප්‍රමාණය වීම් පාලනය කර ගැනීමට අවස්ථාව ලැබේ.මෙහිදී වැදගත්ම කරණය වන්නේ අපනයනය වැඩි කර ආනයනය පාලනය කර ගැනීමයි.


Sunday, May 3, 2020

පාර්ලිමේන්තු ගිය කුරහන් තොණ්ඩුව වෙනුවෙන් ගොවියා ගේ රණ්ඩුව


                    
             දකුණු ඇමරිකාව නිජබිම කරගත් දුම්කොළය බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ ශරීර උණුසුම් කරන ටයිපටියක්  වූයේ ස්වදේශිකයන් ගේ ඉඩම් සහ දේපළද සින්නකර ගනිමිනි. රතු ඉන්දියානුවන්ගේ ශිෂ්ඨාචාර සුන්නත් දූලිකරමින් තක්කඩි සුද්දන් ඔවුන්ගේ ඉඩම් කොල්ල කෑ ඉතිහාසය මානව හිමිකම් තුට්ටුවකට මායිම් නොකළ ඉතිහාසයයි. මේ පරිවර්තනය තුළ පීරූ වැසියන්ගේ  අලභෝගය අර්ත්ඇපල් ලෙසින් ඒංගලන්තයේ රැජිනගේ කෑම මේසයට පැමිණියේය. රැජින ගේ රාජ භෝජන අනුකරණයට ගොස් නුවරඑළීයේ සහ වැලිමඩ අර්තාපල් සංස්කෘතිය විසින් සිංහලයන් බිලිගෙන ඇත. බෝ නොවන රෝග ලෙසින් දක්වන බොහෝ රෝග උත්පාදනයට මේ අර්තාපල් හේතු වී ඇතිවාට නිසැකය.
           පැරණි සිහළයාගේ ප්‍රධාන ආහාර භෝගයන් වූයේ වී සහ කුරහන්ය. වීබිස්සක් නැති කුරහන් අටුවක් නැති සාම්ප්‍රදායික නිවසක් එකළ නුවූයේය.කාලිංග ඹාඝ ගේ පටන් රොබට් බ්‍රවුන්රිග් ලා දක්වා වූ මහා ඝාතකයන් විසින් විනාශ කරන ලද සශ්‍රීක ගොවීබිම්හි පවා අක් වැස්සට ඉබේම  කුරහන් පැළවුණි. කුරහන් වලින් ශක්තිමත් වූ යකඩ දෑත් වලින් අස්වැද්දිය නොහැකි මහ පොළවක්ද එදා නුවූයේය. එහෙත් සුද්දාගේ යකඩ සපත්තුවට පෑගී සිටි සිංහලයා දිගේලි කොට නිදහස දුන් දා පටන් හේන් යායෙන් නැගුණු කුරහන් සීපදයත් වෙල් එළීයේ ගොවි අඩහැරයත් අකා මකා ගියේය. විසි එක්වන ශත වර්ෂයේ ආරම්භය වන විට කුරහන් රටින් ගෙන්වන ප්‍රධාන භෝගයක් බවට පත් වී ඇත. කුරහන් මාලය නැතහොත් සාටකය පාර්ලිමේන්තු තොණ්ඩුවක් වී ඇත.
           සුළඟට ලාලිත්‍ය දෙමින් වැඩෙන පඳුරු කුරහන් අතර රෑන් ඇදී යමින් දිවෙන වට්ටක්කා වැළක  හැංගුණු නාඹර පුලුලුකුලකට තට්ටු කරන්නට නොකැමති ගොවියෙකු වන්නි කරයේ එදා සිටියේ නැති තරම්ය.බඩ ඉරුං ගස් මණ්ඩි ඔස්සේ දකින තියඹරා ගෙඩියක කැඳවුම ද ඒ තරමටම මිහිරිය. හේනේ වනස්පති වෘක්ෂයේ මහ පැළට වී පාලුවේ සිටින්නෙකුට තමන්ගේ හේනේ සිරියාව විවිධාකාරයෙන් අත් විඳිය හැක්කේ එලෙසය. පාලු නිකින්නියේ වල් බැදි කපමින් හෙලූ දහදිය ට මිහිමවගෙන් ලැබෙන තෑග්ගක් බඳු හේන් භෝග හේඩාව එකින් එක අස්වනු දී සෙමින් සෙමින් තුනී වන විට ගොවි ගෙදර අටුව සරි බර වෙයි. කුරහන් බඩ ඉරුං මෑ බටු මිරිස් තක්කාලි අසමෝදගම් තම්පලා ආදී නොයෙකුත් භෝගයන්ට ක්ෂේම භුමියක්ව තිබූ හේන ඉන්පසු කැලෑවට යයි.මේ ළඳු කැලෑවෙන් ද තිබ්බටු එළබටු පමණක් නොව නොයෙකුත් ඖෂධයන්ද ගැමියන්ට ලබා දෙන ලද්දේ ස්වභාව ධර්මයේ කරුණාව මෙතැකැයි කියමිනි.සිංහල ගොවි සංස්කෘතියේ සශ්‍රීකත්වය එයයි.
         මූකලන් හේන් වල සිරියාවත් සමෘද්ධියත් ගමෙන් ඉවතට ඇදී ගොසින්ය.  හේන් හේඩාව වෙනුවට ගමම හේ බා ගොසිනි. සිදාදියේ අරුමෝසම් කෑම වලින් කඩපිල් පිරිලාය. වකුගඩු රෝගයෙන් ද පිළිකාවෙන්ද මැරෙන ගම්මුන් ගේ විලාපය සුළං අතට හැරී හෝ හෝ ගා ගත් ගමන්ය.කුරහන් නැති රටට පැසිපික් රම්බෝ වැනි දෙමුහුන් බඩ ඉරිඟු පැමිණිලාය. මේ බඩ ඉරිඟු වත්තේ මුරකරුවා වන්නේ රජරට ගොවියාය. කෘෂි රසායන ටැංකිය පිටේ බැඳ ගත් ගමන් සිටින මේ ගොවියාට ත් සෙක්කුවේ බැඳ සිටින හරකාටත් නිදහසක් නම් නැත.
           බ්‍රිතාන්‍යයන් විසින්1840 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද මුඩුබිම් පණත් වල ප්‍රතිඵලයක් වශයෙන් හේන් ගොවිතැනට අවශ්‍ය වූ මූකලාන් සහ කනතු සිංහලයින්ට අහිමි විය. ඒ ඉඩම් කෝපි වැවිල්ලට යටකරන ලදී. වන්නිය හා නැගෙනහිර ප්‍රදේශ වල පමණක් හේන් ගොවිතැනේ ශේෂ දක්නට ලැබුණි. අනතුරුව ඉඩම් භුක්ති ක්‍රමයේ විකාශනය නිසාම ගොවීහු විනාශකාරී හේන් ගෙවිතැන් ක්‍රම අනුගමනයට පටන් ගත්හ. ඉංග්‍රීසින් ඇතැම් විට මේ ක්‍රමය තහනමට ලක් කරනු ලැබූහ. එහෙත් මාස් කන්නයට පමණක් වැසි ලැබෙන පළාත් වල වැසියන් තමන්ට ආයාසයකින් තොරව ලබා ගත හැකි ධාන්‍ය වර්ග සඳහා හේන අත් නොහළහ.වී වගාවට ජලය නොලැබෙන කල්හි ගොවීහු හේන් වලට සංක්‍රමණය වෙති. මාස් කන්නයේ වුවද නියන් ලකුණු දුටු කල්හි ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ හේන් කෙටීමටයි. කුරහන් එහි ප්‍රධාන භෝගයයි.
               හේන් ගොවිතැන අභාවයට යත්ම කුරහන් ගොවිතැන ද අභාවයට ගියේය. වෙසෙසින්ම මහවැලි ව්‍යාපාර සංවර්ධනයත් සමග හේනට තහංචි පැනවුණි. මෙම ආහාරයට තිබෙන ප්‍රිය මනාප භාවය නිසාම අතරින් පතර කුරහන් වගාව කළද ඒ සාම්ප්‍රදායික ක්‍රමයට නොවේ. 1980 සිට 1994 දක්වා කුරහන් වගාවේ සංඛ්‍යා ලේඛන ගත හොත් මෙම වගාවේ පරිහානිය තේරුම් ගත හැකිය. 1981 වර්ෂයේ දී හෙක්ටයාර් 19600 ක මෙම වගාව පැතිර තිබුණි. 1982 දී එය හෙක්ටයාර් 20 400 විය. ඒ තත්වය ක්‍රමයෙන් වෙනස් වී 1994 වන විට එය හෙක්ටයාර් 7474 ක් දක්වා  අඩුවුණි.2008 වර්ෂය වන විට මේ වගාව හෙක්ටයාර් 2000 කට පල්ලම් බැස තිබුණි.වර්තමානය වන විට කුරහන් ඉන්දියාවෙන්  වයට්නාමයෙන් සහ මැලේසියාවෙන් ගෙන්වන ප්‍රධාන ආහාරයකි.
      කුරහන් ශක්ති ජනක ආහාරයකි. ආහාරයක් වශයෙන් එහි අඩංගු කැලරි ප්‍රමාණයෙන් ඒ බැව් තේරුම් ගත හැකිය. මාංශ ජනක ධාතු  කැල්සියම්  විටමින් බී වැනි පෝෂ්‍ය ගුණ එහි යහමින් අඩංගු වන බව නවීන පර්යේෂකයින් පෙන්වා දී තිබේ.මහ මොර ගල් මොර කලු ගැටයා මෙන්ම නර මානෙල් නමින් තිබූ පැරණි සාම්ප්‍රදායික කුරහන් වර්ග දැන් අභාවයට ගොසිනි. මාස් කන්නයට හේනට පිරිමහින ප්‍රධාන ගොවිතැනක් වූ කුරහන් යල් කන්නයේ ද සරුවට වැඩුණි. කුරහන්  සකස් කරගන්නට නිවසක තිබූ කුරහන් ගල අපූරු උපකරණයකි. එහි අත් ගලේ මැද හිලට දැමූ කුරහන් ඇට ඇඹරෙමින් ගල දෙපැත්තෙන් බිමට වැටෙන්නේ වන්නිකරයේ ගොවියාගේ අව්‍යාජ සිනාව මතක් කර දෙමිනි. මේ කුරහන් පිටි ඉක්මනින් ආහාරයක් ලෙසට සකස් කර ගන්නට ගෙවිලිය දනී.  වතුර මුට්ටියක් ලිපේ තබන ඇය වතුර නටා ගෙන එන කල්හි ඉන් වතුර භාගයක් පමණ වෙනත් බඳුනකට අයින් කර ගනී. අනතුරුව කුරහන් පිටි අවශ්‍ය පමණ දමමින් පත්තෙන් පතු ගාන්නේ කවි දෙපදයක්ද කියමිනි.නටන උණු ජලයේ තිබෙන ගුප්ත තාපයෙන් කුරහන් හොඳ හැටි තැම්බෙන අතර වෙන්කර ගත් වතුර මට්ටියේ උණු ජලය වරින් වර දැමීම නිසා කුරහන් පිටි අහුර තලපයක් බවට පත් වෙයි. මේ තලපය කටේ  අලවා නොගෙන ගිලීමට සමත් හොද්දක් හෝ ආනමක් දැන් අවශ්‍ය වේ. ඒ සඳහා කොල්ලු ආනම අගේට ගැලපේ. රටේ විවිධ පළාත්වලට එයට ගැලපී යන ආනම් දකින්නට හැකිය.
      කුරහන් දියවැඩියාව සමනයට අගනා ආහාරයක් යයි පැරණියන් අතර තිබූ මතය බිඳ හෙලන්නට විවිධ විශේෂඥයන් වරින් වර නොයෙකුත් මත ඉදිරිපත් කළහ. එවිට  ආහාරයක් සකස් කර ගන්නට නොදත් සමාජයක් නිතරම පැකිලේ. විචිකිච්චාවට පත් වේ. කුරහන් ගැඹුරු උණුදියේ තම්බන්නට ඕනෑය කීවේ ඒ නිසයි. කුරහන් කැඳ මෝරු සමග බීම දියවැඩියා රෝගීන්ට පත්‍ය ආහාරයකි. කුරහන් පිට්ටුවටද කෙට්ටුව මට්ටු කර ලිය හැකි බව පැරණි කවුරුත් දැන සිටියහ. එයට ගැලපී යන හොද්දක් ඇඹුලක් ද තිබිය යුතුය. කුරහන් රොටිය  ඉතා දුගී ආහාරයක් වුවද උණු අලු පල්ලේ දමා තම්බා ගත් කුරහන් ගිනිපූ නමින් වූ සාම්ප්‍රදායික රොටිය රසවත් කමින්ද ගුණයෙන්ද ඉහළය. එයට හාල් මැස්සන් රතු ලූණු කරපිංචා ආදිය එක් කර කෙසෙල් කොලයක ඔතා උණු අලු පල්ලක දමා තම්බා ගැනීම නිසා ක්ෂණයකින් ලේ ධාතු ගත වන අගනා ශක්ති ජනක ආහාරයක් ලැබේ. ඇතැම් හේන් ගොවීන් හේනේ ගල් තලාවක් හොඳ හැටි පිරිසිඳු කර ඒ මත රොටිය වඩවා තබා දහවල් වන තුරු වැඩ කර එතැනට යළිත් පැමිණෙන්නේ පදමට අව්වෙන් තැම්බී ඇති රොටිය ආහාරයට එක් කර ගැනුමටයි.මේ සෑම ආහාරයක්ම තැනේ හැටියට වැඩයේ හැටියට පිරිමහින දේවල්ය. ශිත කාමර වල සිටින දහදිය නොදක්වන හීල් වැඩ කරුවන්ට පෙර සඳහන් කළ කුරහන් තලපය තරම් අගනා ආහාරයක් තවත් නැතිය. සෙම මේද වාත නසන එසේම බඩේ ආමය නිසි ලෙස සකස් කරන තව දුරටත් මුත්‍රා ගල් දියකරවන කොල්ලු ආනමත් එක් වූ විට එයින් ඇති කරවන ප්‍රතිශක්තිය මෙන්ම රුධිර සීනි සමබර තාවය විශිෂ්ඨය. මේ සියුම් තැන් නොදන්නා බටහිරයන් තම වියුක්ත දැනුමේ පිහිටා සිටිමින් කුරහන් වලට අවමන් කරති. නමුත් සත්‍යය දන්නේ කුරහන් නිසා දිවි ගැට ගන්නා රජරට රුහුණු ගොවියාම පමණකි. මී මල් පිපෙන කාලයට ඒවා අහුලා රේණු තලා වේලා කුරහන් පිටි සමග එක් කර කිතුල් පැණි මුසු කර සාදා ගන්නා මී මල් හැලපය වාතය නසන මිහිරිතම අතුරු පසකි.කුරහන් හේනේ හේඩාවට ගොවියා දෑත් එක් කර වඳින්නේ ඒ නිසයි.
           ගිරුවා පත්තුවේ බුද්ධියාගම විදාන ආරච්ච් ගේ පුත් දොන් මැතිව්ස් රාජපක්ෂ මහතා එදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැලුනු පෑගුණු ගොවි ජනතාවගේ නායකයා විය. ඔහු 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව ට ඉදිරිපත් වූයේ එවක එම පෙදෙස පාලනය කළ මුදලි වරු කෝරාළ වරු අතරින් පැන නැගුණු රදල මාන්නාධික පාලනය බිඳ හෙලන්නටයි. ඔහු නාම යෝජනා දෙන දිනයේ තිරික්කල  පෙරහරකින් දිසාපති කන්තෝරුවට පැමිණියේ ගොවීන් පිරිවරා ගෙනයි. දිසපති වූ පී .ජේ. හඩ්සන් මහතා රාජපක්ෂ මහතාට අවශ්‍ය පාට කුමක්දැයි විමසිය. තමන් පිරිවරා සිටි ගොවි ජනතාව දෙස බැලූ විට ඔහුගේ නෙත් එක්වරම ඇදී ගියේ කුරහන් ගල් පොත්තයායේ හෙන්ද්‍රික් අප්පුහාමි මහතාගේ කුරහන් පාට තුවායයි. එම තුවාය අතට ගත් රාජපක්ෂ මහතා තමන්ගේ පාට මෙලෙස විය යුතු යයි ප්‍රකාශ කර සිටියේය. මෙයින් කිපුණු හඩ්සන් දිසපති වරයා මදක් නැමී දෙපයින් සපත්තුව ගලවා මේකත් ඔය පාටම නේදැයි උපහාසයෙන්  විමසා සිටියේලු . ඒ එදා සුද්දන් ගේ කාලයේ දේශපාලනයේ රඟ සොබාවයයි. ගොවීන් ගේකර පිටින් ගිය මේ රාපක්ෂ වරු සැබවින්ම ඔවුන් ගේ නියොජිතයින් වූහ. කුරහන් සාටකය පළඳා ගෙන ගමේ දුක් විඳින ජනතාවගේ එදිනෙදා ප්‍රශ්ණ විසඳාලන්නට ඔවුන් කළ කැපකීරීම් අනන්තය. බණ්ඩාරනායක මහතා විරුද්ධ පක්ෂයට යන විට අවදානම නොතකා ඩී.ඒ.රාජපක්ෂ මහතා ඔහු පසු පස ගියේ පොදු ජන යුගයක් උදා කිරීමේ පවිත්‍ර චේතනාවෙන් බව පැහැදිලිය.
                   දශක ගණනාවක් ගෙවී ගොස්  ගිරුවායට නව ප්‍රවේශයක්  හිමි වී ඇත. හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ අධිවේගී මාර්ග වලින් ළඟා වීම ඇරුණු කොට කාපට් කරන ලද ග්‍රාමීය පාරවල් නිසා ගිරුවායේ ජනතාවට කුරහන් පාට දැන් අමතකව ගොසිනි.ඔවුහු බලාන සිටිනුයේ ගිරුවාය බදුගත් විදේශිකයන්ගේ දෑත් වලින් වැටෙන සල්ලි අහුලා ගන්නටයි බුද්ධියාගම විදානේ ආරච්චිගේ තවත් මී මුණුපුරෙක් දැන් මේ රටේ ජනාධිපතිවරයා වෙයි. ඔහු මෙවර කුරහන් තොණ්ඩුව ඉවතට ලා දුම්කොළ ටයිපටිය අතට ගෙන සිටී.   වසංගතයට බියෙන් මුලු රටම වසා තබා ඇති මොහොතක යළීත් ගොවියාගේ හිස මත කුරහන් මාලය පළඳවන්ට ඔහු සමත් වේද යන්න තවමත් අපට විචිකිච්චාවක් වන්නේ එහෙයිනි..
         කුරහන් ලංකාවට පිරිමහින ආහාරයකි. ගොවිතැනකි. ඉතා අඩු වියදමින් යෙදවුම් නොමැතිව කළ හැකි මේ භෝගය සරල පහසු ක්‍රමයන් මගින් ආහාරයට සකස් කර ගත හැකිය. අවුරුද්දක් පමණ බීජ කල් තබා ගත හැකි වන අතර වසර තුනත් පහත් අතර කාලයක් වුවද කරල් පිටින් අටුවේ කල් තබා ගෙන ආහාරයට ගත හැකිය. ඒ අතින් බලන කල්හි ආහාර සුරක්ෂිතතාවයට කුරහන් වැනි ශක්ති ජනක ආහාරයක තිබෙන වටිනාකම් වඩාත් ඉහළය.ස්වාධින ලංකාවකට අවශ්‍ය වන්නේ මේ සරල සංකල්ප හා වටිනාකම්ය.එළවලු භෝග වගාවෙන් අතරමං වී සිටින ගොවි රජවරුන් ඒ මග ගත යුතුය. එපමණක් නොව  කුරහන් සාටකයෙන් වසා සිටින දේශපාලන රඟපෑම් ඉවරකරන්නටද සුද්දාගේ දුම්කොළය එල්ලා ගෙන කරන දේශපාලන තක්කඩි කම්ද අවසන් කරන්නටද ඔවුන් පෙරමුණට පැමිණිය යුතුය.
  
        

Sunday, April 26, 2020

කැස්ස හෙම්බිරිස්සාවට බිය විය යුතුද


                                             
            මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී  සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන් ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව  මේ බැව්  දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ ලියැවී තිබෙන මේ ස්වභාවය මේ රටේ කීයෙන් කීදෙනෙකු අධ්‍යනය කලාදැයි මම නොදනිමි. නමුත් ජ්‍යෙතිෂය පෙරදැරිව වෙදකම් කරන වෛද්‍යවරයෙකු නම් අදාළ රෝගියාගේ හඳහනද පරීක්ෂා කොට බලා ප්‍රතිකාර නියම කරලීම සිරිත වෙයි. වාත පිත්ත සහ සෙම යනුවෙන් පවතින මේ ප්‍රකෘතිය කෝප වීම නිසා දොස් කෝප තත්වයන් ජනිත වෙයි. මෙවැනි කෝප ලක්ෂණ ඇතිවූ කල්හි පුරුෂයෙකු ගේ නම් දකුණු අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද කාන්තාවකගේ නම් වම් අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද දැන ගත හැකිය. ඇතැම් විට වා සෙම් හෝ පිත් සෙම් රෝග ලක්ෂණද ජනිත වීම ස්වභාවිකය. පැරණි වෙද මහතුන් සියලු දෙන නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කරනුයේ මේ දොස් කෝප තත්වය නිවරදිව විමසා බලා ප්‍රතිකාර නියම කරලීමටයි.එහෙත් අවාසනාවකට වර්තමාන ආයුර්වේද වෛද්‍යවරුන් පවා මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර නැත. ඒ වෙනුවට ඔවුන්ද බටහිර වෛද්‍යවරුන් මෙන් වෙද නලාව භාවිතා කරති. මෙයින් ගත හැකි සහාය අල්පය.
        සෙම කෝප වීම නිසා ශරීරයේ දියර ස්වභාවය වෙනස් වේ.සෙම්ප්‍රතිශ්‍යාව යනුවෙන් දක්වන්නේ එයයි. ඇතැම් විට නහයෙන් සොටු දියර ගැලීමට පටන් ගනී. වාත ප්‍රකෘතිකයෙකු නම් වාතය බලවත් වී සෙම නොයෙකුත් තැන් වල ට ගමන් කරමින් ඒ තැන් ආසාදනයට ලක් කරයි. උගුරේ වේදනාව හට ගන්නේ මෙවැනි විටකය. උගුරේ වියළී ගතිය මස් දලු ඉදිමීම රතුවීම ආදී කරුණු නිසා කැස්ස ඇති වීමට පටන් ගනී. සෙම්ප්‍රතිශ්‍යාවක්  ඇතැම් විට කෙනෙකුගෙන් බෝවන්නක් විය හැකිය. එවිට සෙම් කෝප වී පෙර සඳහන් කළ තත්වයම විවිධ අන්දමින් ඇති විය හැකිය.වෛද්‍යවරයා රෝගියා පරීක්ෂා කොට පවතින දොස් කෝප තත්වයන් සලකා බලා ප්‍රතිකාර නියම කරයි.වාතය සහ සෙම සමබර වූ වහාම මේ හෙම්බිරිස්සාව හෝ එයින් හට ගන්නා උණ බැසයයි. තරුණ ජවරයකදී (උණකදී ) උපවාසය කොට ලුණු කැඳ ලබා දීමෙන්ම ආමය පැසවීම කොට රෝගියාට සුවය සලසා දිය හැකිය.නමුත් සෙමත් සමග  විශේෂයෙන්ම පිතත් සෙමත් සමග ඇතිවන සෙම් කෝප තත්වයකදී වමනය අතීසාරය ආහාර අරුචිය කැස්ස සහ උණ දරුණුවට ඇති වීමට තිබෙන අවස්ථා බොහෝය. වා පිත් සෙම් තුනම කෝප කර තත්වයකදී සන්නිපාත ලක්ෂණ පවා ඇති විය හැකිය.අතැම් පාරම්පරික වෙද පොත්වල කෝලේගාය යනුවෙන් දක්වා ඇත්තේ මෙවැනි අවස්ථාවන්ය.
       ගොවිතැනෙහි නියැලී සිටින ගොවියන් නිතර සෙම් රෝග වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ බොහෝය.සහජ පීනස් ලක්ෂණද එවැනි විටකදී මතු විය හැකිය.එවැනි අවස්ථාවලදී පැරණි ගොවීහු සෙම් කෝප වීම වාතය විමාර්ග ගත සහ ඇඟ පත රුදාව වළක්වා ගැනීමට තොටිල පොතු මුරුංගා පොතු අමු ඉඟුරු සහ සුදු ලූණූ අඩංගු ඖෂධයක් භාවිතා කළහ.එසේම  කුප්පමේනිය ඔළිඳ කොළ ඉඟුරු ඇඹුල් දොඩම් ආදිය ඇතුලත් ඖෂධයක් භාවිතා කළහ.සාමන්‍ය සෙම් කෝප අවස්ථාවලදී බුද්ධ රාජ කල්කය යොදා ගැනීම ගැමියන් ගේ ප්‍රශස්ථ ප්‍රතිකාර විදියක් විය.එහි අනුපාන වශයෙන් ගැනෙන ශාක ඔසු විවිධය.විශේෂයෙන්ම ආඩතෝඩ නික ඇඹුල් දොඩම් කිරි අඟුන දළුවල යුෂ අනුපාන සහිතව ගැනිණ.වා සෙම්  ප්‍රධාන ව හට ගැනෙන ස්වාශ  උණ සහ සන්නිපාත අවස්ථාවලදී  වලදී කුඹූරු දළු අමුඉඟුරු යකිනාරන් දළු යකවනස්ස දළු දෙහි දළු නික දළු සහ සුදු ළුනු යොදමින් කල්කය ලබා දුන්හ.මැදින් මාසය ගෙවී බක් මාසය උදාවන සමයේ දී වසංගත තත්වයන් ඇති වෙයි. එවිට සෙම කෝප වීම සිදු වෙයි.බෝවන රෝග පැතිරීම සිදු වෙයි.ඒ නිසා පත්තිනි මෑනියන්ට පුද සත්කාර කිරීමද ගම්මඩු නටා ආශිර්වාද සපයා ගැනීමද සිදු කළහ.විපත් රෝග උපත්‍රායාදී යස කීර්ති තේජසං පත්තිනි දේවි සමින්දා පාද පත්මා බි වන්දේ යනුවෙන් පත්තිනි මෑනියන් වන්දනා මාන කලේ එනිසාවෙනි.දෙයියන්ගේ ලෙඩ වැළඳුන කල්හි බෙලි කොළ කොහොඹ කොළ නික කොළ ආදීයෙන් තම්බා ගත් දියෙන් සේදීමද පැපිළිය කටුවැල්බටු තැම්බුම ලබා දීමත් සිදු විය.මේ අතර ශරීර ප්‍රතිශක්තිය ජනිත වන ආහාර ගැනීම අනිවාර්ය විය.ජනවාරි පෙබරවාරි කාලයේ ලබා ගන්නා ලද වැල් අල අස්වැන්න තුළින් සිරුර ශක්තිමත් කරන අතර බක් මාසයේ වට වැස්සත් සමග දලුලන විවිධ කොළ වර්ග ආහාරයට ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිය තවදුරටත් වර්ධනය වේ.(නව දලු ඇඹුල )කුඹූරු වැඩ වල නිරත ගොවීන් සිංහල අවුරුද්දට ප්‍රථම වපුරා අවසන් කරනුයේ බක් මාසය තුළ මඩේ බැස වැඩ කිරීමෙන් ගවයන් සහ ගොවියන් දෙපිරිසම රෝගී වන බැවිනි.එසේම වන පළතුරු සියඹලා දන් සහ දිවුල්  ආහාරයට ගැනීමට රජරට ගැමියන් ට ලැබීමද මෙහිදී දැක්විය හැකි මහඟු නිදර්ශනයකි..
       සෙම් රෝග නැසීමට භාවිත වන ප්‍රධාන ඖෂධ අතර පාවට්ටා නොහොත් ආඩතෝඩා ප්‍රධානය. එයට වෛද්‍ය මාතා යයි ද කියති. පෙර දැක්වූ පරිදි මෙහි දලු අනුපානය සමග ඉඟුරු සුදු ලූනු සමග ගුලි කල්ක යෙදීම තුළින් සෙම නිසා ඇතිවන විවිධ සංකූලතා නැතිකරගත හැකිය. විශේෂයෙන්ම සෙම නිසා ඇති වූ උගුරේ ලෙඩ වලට පිළීයම් කර ගැනීම පිණීස කණ්ඩමාල කල්කය නමින් අගනා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෛද්‍යවරුන් සකස් කරගෙන තිබුණී.උගුර ඉදිමීම උගුරේ ගෙඩි සෙම වියළීම නාසය ඇසිරීම ගිලීමට අපහසුව ගොළුවීම වැනි උත්සන්න අවස්ථාවලදී හිඟුරුපට ඉස්මෙන් කුකුරුමාන් ගෙඩි ඉස්මෙන් මෙන්ම දෙමට ගෙඩි ඉස්මෙන් කල්ක ලබා දීමෙන් අසීරු අවස්ථා මගහරවා ගනිති.අඩතෝඩා තිප්පිලි කුප්පමේනියා ඉඟුරු ඉරිවේරිය අරත්ත කලාඳුරු එලබටු යකිනාරන් කුඹූරු කරපිංචා ඔළීඳ වැල්මී නික යකිනාරන් යක වනස්ස සහ පිටවක්කා වැනි ඖෂධ ගෙවත්තේ වවා ගත හැකි අගනා ඔසු ශාක වෙති.අතැම් ශාක ඉබේ වැවෙන බව අප සිහිපත් කල යුතුය.මේ ඖෂධ මනා ලෙසට ප්‍රයෝග කර ගැන්මේ දැනුමක් අපගේ පැරණීයන්ට පිහිටා තිබුණි. එයට හේතුව ගමේ සිටි පාරම්පරික වෛද්‍යවරයා ගමේ ප්‍රධානියෙකු ද වීමයි. ඔහු දෙන උපදෙස් මත කටයුතු කිරීම සැම තැනකදීම දක්නට හැකි තත්වයක් විය. දෙයියන්ගේ ලෙඩක් හැදුණු විටදී එනිවෙස කිළීහරණයට ලක් කරන ලදී. ගමෙන් වෙන් කරන ලදී. නමුත් එම රොගීන් අරභයා ප්‍රතිකාර කිරීම ගමේ වෙදනාවන් ගේ උපදෙස් මත කිරීම සිදු විය
      කැස්ස හෙම්බිරිස්සාව දරුණූ රෝගයක් බවට පත් කරන්නට වර්තමාන නවීන සමාජය උත්සාහ කොට ඇත. වර්තමාන වසංගත තත්වය හමුවේ කිළිහරණය පැත්තකින් තබා නිරෝධානයට යොමු වී ඇත. සමාජ දුරස්ථකරණයට යොමු ව ඇත.කිළිහරණයට ඖෂධ ප්‍රතිකාරයන්ද ඇතුලත්ය එහෙත් නිරෝධානයට එය නැත. එහි දැක්වෙන්නේ මහජනතාව පාලනය කිරීමට අවශ්‍ය නීති රීති පමණකි.මෙය මහත්ම වූ දුක්ඛිත තත්වයකි. වසර දෙදහස් පන්සීයක් තිස්සේ අප වඩා ගත් පුරුෂාර්ථ පසෙක ලා රෝගයකට බිය වී ජන ජීවිතය අඩාල කර ගැනීම ඉතාම දුක්ඛිත තත්වයකි. නිදහස් අධ්‍යාපනයේ වැරදි සහගත ප්‍රවේශයක් මගින් ඇති කළ මොළ සේදීම නිසා අද වන විට දේශීය ඖෂධ ගැන දැන හැදිනීමක් ජනතාවට නැත. යට කියන ලද ඖෂධ වලින් ගෙදර වවා ගන්නේ ඉඟුරු පඳුරක් කහ පඳුරක්  සහ කරපිංචා ගහක්  පමණකි එයද කුලු බඩු වලට අවශ්‍ය බැවිනි. නමුත් අප‌ගේ මුතුන් මිත්තන් විසින් යටකී ඔසු වර්ග රාශියක්ම ගෙවත්තේ වගා කොට ගෙන තිබුණි.අවශ්‍ය අවස්ථාවක දලු මිටක් කඩාගෙන ගුලියක් දියකර දී ලෙඩක් සනීප කරගන්නට මනා හැකියාවක් ඔවුනට තිබුණි.නමුත් අද වන විට සුලු හෙම්බිරිස්සා තත්වයකදී වුවත් දොස්තරවරයෙකු චැනල් කොට රෝගියා පෙන්වීමේ මෝස්තරතයක් ඇති වීම කණගාටුදායකය. මේ වසංගත තත්වයට නිවරදිව මුහුණ දෙන්නට නොහැකි වී ඇත්තේ මෙවැනි නොදැනුවත්කම් බිය ගුලු කම් සහ පරගැතිකම් නිසාවෙනි.



Thursday, April 9, 2020

සිංහල වෙදකමට එරෙහි අනුකාරකයන් ගේ නැගීම


                                   
                 කොරෝනා වසංගත තත්වය තුළ වර්තමාන දේශපාලනය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක්ද කරන්නට හැකිව තිබේ. රුවන්වැලි මහා සෑය ඉදිරිපස දිව්රුම් දුන් ජනපතිවරයෙකු මෑත කාලීන දේශපාලනයේ දක්නට ලැබීමේ ආශ්වාදයෙන් සිටි මෙරට බහුතර ජනතාව බලාපොරොත්තු කඩ වේ දෝ යන බියකින් පසුවෙති.සිංහල බෞද්ධ චන්ද බහුතරය යනු පරම්පරා ගණණාවක සිට ශක්තිමත් වුණු සිංහල ජාතිකත්වයේ අපේක්ෂාවන්ය. තමන්ගේ ජීවන රටාව නිදහසේ කර ගෙන යෑමට සහ තමන්ගේ ජාතික උරුමය ආරක්ෂා කර ගනිමින් ඒ තුළ අනාගතය උදෙසා ශක්තිමත්ව නැගී සිටීම මේ අපේක්ෂා අභිලාශයන් අතර විය. රට පුරා වසංගතයක තත්වය ඇතිවන කල්හි වැඩි කලබලයක් නොමැතිව මේ බහුතරය නිවාස අඩස්සියට පත් වූහ. ඔවුහු යලි පාර්ලිමේන්තුව කැඳවන්නට හෝ මැතිවරණයක් විගැහින් තබන්නට උද්ඝෝෂණ නොකළහ.රටේ ජනනායකයාට දී තිබූ   විශාල ජනමතය කෙරෙහි ඔවුහු විශ්වාසය තැබූහ. විශේෂයෙන්ම තිස් වසරක යුද්ධයෙන් රට මුදවා ගත් හමුදාව කෙරෙහිද විශ්වාසය තැබූහ.
       රාජ ධම්මෝ ප්‍රජා රක්ඛා යනුවෙන් පැරණි පොත පතේ සඳහන්ව තිබෙන්නේ රජෙකුගේ නැතිනම් පාලකකයෙකු ගේ යුතුකම් පහදවා ලීම පිණිසය. රාජ ධර්මයෙහි හැසිරීම ලෙහෙසි පහසු නැත. මනා පුහුණුවක් දැඩි තීරණ ගැනීමේ හැකියාවක් සහ කාරුණික හදවතක් නොහොත් බෝසත් චර්යාවක් පාලකයෙකුට පිහිටා තිබිය යුතුය. චන්දයෙන් පත්වන බෙහෝ පාලකයන් හට මෙවැනි ගතිගුණ එකක් හෝ පිහිටන්නේ නම් කලාතුරකිනි. හේතුව එම පුද්ගලයා ප්‍රජා පාලනය පිළිබඳ මනා අන්තර්ඥානයකින් පුහුණුවූවකු නොවන බැවිනි. නමුත් වාසනා ගුණය හෝ පැවති දේශපාලන බලය මත පත්වන ජනප්‍රිය දේශපාලකයා සැබවින්ම ජනතාවගෙන් දුරස්තරව කටයුතු කිරීම ස්වභාවිකය.
          ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් අතර ආහාර සහ බෙහෙත් මුල් තැනේ ලා සැලකිය හැකිය. ආහාර නිපදවා ගනිමින් යම් ආනයනික ආහාර ද පරිභෝජනය කරලීම මේ රටේ ජීවන චර්යාව විය. නමුත් විවෘත ආර්ථිකයෙන් පසු ආහාර සුරක්ෂිතතාවය ගැන සැලකිල්ලක් යොමු නොකරමින් ආනයනික ආහාර ගැන පමණක් ප්‍රවර්ධනය කර තැබීමට රජය කටයුතු කළහ. ජනතාවගේ බඩ ගින්න නිවීම සඳහා හොඳම විකල්පය රටින් ආහාර ගෙන්වීම යැයි මේ දේශපාලකයන් කල්පනා කරන්නට ඇත. නමුත් පසුගිය කාලයේ දී ඇති වූ සුනාමිය ගං වතුර වැනි ආපදා සම්පන්න අවස්ථාවලදී ආහාර සුරක්ෂිතතාවයේ වටිනාකම යලි යලි මතක් කර දුන් බව පැවසිය යුතුය. එහෙත් ආණ්ඩු කරනවුන් මේ තත්වය තේරුම් නොගත්හ.එසේත් නැතිනම් රටින් ගෙන්වන භාණ්ඩ වලින් ලැබෙන කොමිස් මුදලට ගිජුව සිටියහ.වර්තමාන වංසගත තත්වය හමුවේ නැවත එම යථාර්තය දැඩිව පෙන්වා දෙමින් පවතී.
         නිරෝගීව ජීවත් වීම උදෙසා බෙහෙත් හේත් සපයා ගැනීමට නිදහස තිබිය යුතුය. තමන් රුචිකරන විශ්වාස කරන වෙද හෙදකම් ලබා ගැනීම හැකි විය යුතුය. සිංහල බහුතරය අතීතයේ පටන් ස්වභාවික වෙදකම් තුළින් තමන් ට වැළඳෙන ලෙඩ රෝග සුව කරගත් පිරිසක් විය.එයට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ගම්බදව ජීවත්වි සිටියහ. ලන්දේසීන් සහ ඉංග්‍රීසිහු මෙම ජීවන රටාව වෙනස් කළහ. ඔවුහු ඒ කාලයේ පැතිරුණු වසංගත රෝගීන් ගාල් කරලීම පිණිස රෝහල් සහ කඳවුරු තනා මේ රටට ආගන්තුක බෙහෙත් වර්ග ලබා දුන්හ. මැලේරියාවට ක්වීනීන් ලබා දීම උදාහරණයකට ගත හැකිය. නමුත් බෙහෝ රෝග වලට දිව්‍ය ඖෂධයක් වන ත්‍රයිලෝක විජය පත්‍ර නොහොත් කංසා පැළැටිය වගා කරලීම තහනම් කළහ. සිංහල වෙද මහත්වරුන් ගේ ග්‍රමීය නායකත්වය අහෝසි කරලීම පිණීස ගම්වල ඇපොතිකරිවරු පිටත් කර හැරියහ.එසේම පොලිස් කාරයන් මෙන් හැඳ පැළඳ ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නොහොත් සැන්ටිපෝට් වරු  සනීපාරක්ෂක නීතිය ක්‍රියාත්මක කරලීමට යෙදවූහ.වසංගත වලින් හෙම්බත්ව අසරණව සිටි ගැමියන් අතරට ක්‍රිස්තියානි මිෂනාරීන්ද පැමිණීම සුලභ දර්ශනයක් විය.
     එහෙත් මදක් අතීතයට ගොස් බලන කල්හි සිංහලයන් ගේ සෞඛ්‍ය පිළිවෙත් වල වටිනාකම අවබෝධ කරගත හැකිය. වසංගත ඔවුන් හැඳින්වූයේ අම්මාවරුන් ගේ ලෙඩ සහ දෙයියන් ගේ ලෙඩ වශයෙනි. මේ ලෙඩ වලින් මග හැරීමට පත්තිනි මෑනියන්ට මෙන්ම අවලොකිතේශවර නාථ දෙවියන්ට භාරහාර වූහ. ගම්මඩු දෙවොල් මඩු නැටූහ. මළ ගෙදරකට ගොස් පැමිණි විට නා පිරිසිදු වී ඒමට පොදු ළිඳක් වෙත ගියහ.කිළිහරණය උදෙසා විවිධ තහංචි අනුගමනය කළහ. ගමේ වෙදනා සහ පන්සලේ ස්වාමීන් වහන්සේ එකට එකතු වී වදකහ ඉඟුරු සුදුලූණු කොහොඹ කොළ වන්ඩුවේ තම්බා කොටා මිරිකා පෙරුන්කායම් අනුපාන කොට දමා (ගැබිණියන්ට මී පැණි) ගමේ සියලු දෙනට කෝප්ප කාල බැගින් බොන්නට සැලැස්වූහ.අම්මාවරුන්ගේ ලෙඩ සෑදී ඇති නිවෙස් වල කොහොඹ අත්තක් එල්ලා තැබූහ.අදටත් ඒ සිරිත් වලින් සමහරක්  ජන සමාජය අතර ජීවමානව පවතී. පැරණි සිංහල ගෙදරක වැසිකිලිය පිහිටා තිබූයේ නිවසට මදක් ඈතිනි.නිවස තුළම එය පිහිටා තිබුණහොත් වාස්තු දෝෂ ඇති වන බවද විශ්වාස කළහ.මේවා නූතන සමාජයට විහිලුවට කාරණයක් විය. ඒ උපහාසය නූතනයන් තුළට පැමිණෙන්නේ සුද්දන් ගේ අධ්‍යාපනය හරහා බව සිහිපත් කළ යුතුය.
      කොරෝනාව(Sars-Cov-2RNA) ලෝකයට අලුත් දෙයක් නොවන බව විද්‍යාඥයන් දනී. ඔවුහු තමන්ගේ බල අවශ්‍යතාවයන් පිණිස මෙම වෛරස නඩත්තු කරති. වසූරිය වසංගත කාරකය පවා තවමත් විද්‍යාගාර වල සුරක්ෂිතව පවතින බව දක්වා ඇත. වරින් වර විවිධ එන්නත් හඳුන්වා දෙමින් ලෝක සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය පැතිරවීම කරන අතර ගෝලීය තත්වයකට හැඩ ගැසීමේ හේතුවෙන් බෙහෝ රටවල් මේ සම්මුතීන් හට හිස නමති. නමුත් 2008 බීජිං නුවර දී මුලු දුන් සෞඛ්‍ය සමුලුවකදී ගත් තීරණ අතර වැදගත් එකඟතාවයක් විය. එනම් ඒ ඒ රටවල පවතින දේශීය වෙදකම් සෞඛ්‍ය සංරක්ෂණය සඳහා යොදා ගැනීමේ පහසුකම් ඇති කිරීමට පියවර ගත යුතු ආකාරයයි. චීනුන් මේ සම්මුතිය අකුරටම පිළීපදින අතර එහි රෝහල් වල දේශීය වෛද්‍ය ක්‍රම වලින් ප්‍රතිකාර ලබාගන්නන් හට පහසුකම් සලසා දීතිබේ.ඔවුන් වූහාන් වල කොරෝනා මර්දනයට මේ වෙදකම් මැනවින් දායක කරගත්හ.
    ලංකාවේ තත්වය මෙය නොවේ. හැට ගණන් වලින් පසුව මේ රටේ දක්ෂ වෙද පරම්පරාවන් අභාවයට ගියහ. 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය. ඒ අනුව අද ආයුර්වේද රෝහල් වල වෙදකම් කරන්නේ වෛද්‍ය වරු නොවේ. දොස්තරලාය. නාඩි පරීක්ෂාව වෙනුවට ඔවුහු ලෙඩ නලාව භාවිත කරති. ටයිපටි පළඳිති. බටහිර වෛද්‍යවරු මෙන් සිවිල් බලය ලබා ගැනීමට සහ ධනය ඉපැයීම මූලික අරමුණ කොට ගනිති. දහනව වන සියවසේ වසූරිය හා මැලේරියා (කැලෑ උණ ) එන විට නව බෙහෙත් සොයා ගත් සිංහල වෙදපරම්පරාවේ දක්ෂතාවයන් මොවුන්ට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප්‍රකාශ කරන සියලුම දේ යහපත් යැයි පිළිගනිමින් තමන් සතුව තිබෙන අගනා මූල ධර්ම නොසලකා හරිති. අද කොරොනා සඳහා බෙහෙතක් නොමැතිව බටහිර වෙදකම් අසරණව සිටින අවස්ථාවක සාර්ථක ප්‍රතිකාර පන්තියක් ඉදිරිපත් කොට රෝගීන් සුවපත් කරලීමට මේ අනුකාරකයන් ඉදිරිපත් නොවෙති.ඒ වෙනුවට ටයිපටි පැළඳ ගත් බටහිර වෛද්‍ය නිළධාරී සංගමයේ අතැමුන් වාෂ්ප මුට්ටිය (වේදුව ) ගැන කතා කරති. නමුත් සිංහල ප්‍රතිකාර පන්තිය මත සිට පර්යේෂණ ඇරඹීමට  මැලිවෙති . සිංහල වෙදකම ගැන කතා නොකරන ඔවුහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ  මිනී වළලන ක්‍රමවේදය අනුමත කරති. මේ ලිපිය අවසන් කරලිමට ප්‍රථම මැදමුලනේ කතාවක් කිව යුතුව තිබේ. ඒ මෙසේය.
       පනස් ගණන්වල බණ්ඩාරනායක මහතා සමග විපක්ෂයට ගිය ඩී.ඒ.රාජපක්ෂ මහතා ‌ගේ පුතුන් සිවුදෙනෙක්ම ජනප්‍රිය ‌දේශපාලනඥයන් වූහ.‌ ‌දෙදෙනෙක්ම ජනාධිපති තනතුරුට පත් විය.‌මේ සහෝදරයන් සිවුදෙනා හැට ගණන් වලදී ‌කොළඹ විද්‍යාල වල ඉගෙනුම ලබන කළ සති අන්තවල ‌දී ඩී.ඒ.රාජපක්ෂ මහතා සමග මැදමුලනට පිටත්ව යන අතර මාතර ‌වෙද මහත්මයෙක් හමුවී යන බව පැවසේ. ‌මේ ‌වෙද මහත්මයා   කලු ‌වෙදමහත්මයා යන නමින් ප්‍රසිද්ධ විය.  රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග තිබෙන හිතවත් කම නිසා ඔහුගේ ළමුන් ‌හොඳට පරීක්ෂා කර ‌විරේක ‌බෙහෙත් කෂාය එහෙම නියම කරයි.සිංහල කමට සිංහල ආහාර වලින් ‌පෝෂිතව සිංහල ‌වෙදකමෙන් නිරෝගී වූ ළමුන් සිවු ‌දෙනෙකු එලෙස පසුකලකදී රටේ ‌දේශපාලනයෙහි මූලිකත්වය ගත්හ.
බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයට පැමිණි අවස්ථාවක ‌වෛද්‍යවරු ඉදිරපිට ‌මේ කතාව ප්‍රකාශ කරන ලද බව ආයුර්වේද වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා දක්වා ඇත..කලු ‌වෙද මහත්මයගෙ තිත්ත ‌බේත් බිව්ව එක තිත්ත ‌වෙච්ච හැටියි ඔහු සඳහන් කලේ. අද ‌වෙන ‌කොට ‌මේ සහෝදරයන්ට සිංහල ‌වෙදකම තිත්ත ‌බේත් වගේ තිත්ත ‌වී ඇති බව පෙනේ.සිංහල කම ‌හොඳට ඇගේ තියෙන මහින්දට ‌මේ වටිනාකම් ඉඳහිට මතක් වුණත් ඒවා ස්ථාවර කරන්න ‌වෙහෙසෙන්නේ නැහැ.‌මේ ‌කොරෝනා කාලෙ වත් සිංහල ‌වෙදකම මතක් වුණොත් රටේ ‌රෝබිය දුරු කරගන්න පිළිවන් ‌වෙන බව නිසැකයි.නමුත් අනුරුද්ධ පාදෙණිය මහතා විශ්වාස කරන වාෂ්ප මුට්ටියට එහා ගොස් පැරණි වට්ටෝරු වලින් ප්‍රත්‍යක්ෂ බෙහෙතක් සොයා ගැනීම තුළින් පමණයි ඉදිරි වසංගත තත්වයන්ට පවා මුහුණ දීමට හැකිවන්නේ.දැනටමත් රට තොට පතල වෙද මහත්වරු කීප දෙනෙකුම එවැනි බෙහෙත් සාදා තිබේ. ඔවුන් කැඳවා සිංහල බෙහෙතට තැනක් ලබා දිය යුතුයි.


Saturday, April 4, 2020

සම්ප්‍රදාය ඔස්සේ අභියෝග ජය ගනිමු


                                             

              ශත වර්ෂයකට ඉහත වසූරිය වංසගතයෙන් පීඩා විඳි මෙරට ජනතාව නැවතත් වරක් ඒ තුන් බියෙන් වෙලී සිටී.රටම එක කලාපයක් ලෙසට ගෙන අඳුරු නීතිය දමා වරින් වර වසා දැමීම හේතු කොට ගෙන සියලු මානව ක්‍රියාකාරකම් අකර්මණ්‍ය ව ඇත. අතීතයේ දී නම් මෙවැනි වසංගත තත්වයකදී හෝ ආපදා පන්න අවස්ථාවන්හිදී ගම් දහයක එකමුතුවකින් සැදි සභාවකින් ( ගම් අඩවි යුත් අටදෙනා) පෙදෙස් පාලනයකරමින් අභියෝග ජයගත් බව ඉතිහාසයෙන් පෙනේ. තමන්ගේ රටේ ඉතිහාසය මත පදනම්ව තීරණ ගැනීමට හුරුව නැති පාලනයක් තුළින් මෙවැනි දේ අපට බලාපොරොත්තු විය නොහැකිය. එසේ කලා නම් මේ තරමට ජනතාව අසීරු තාවයකට පත් වන්නේ නැත. ලංකාව කුඩා රටක් වුවද තනි මධ්‍ය ගත මෙහෙයවීමකින් ආර්ථික ක්‍රියාකාරකම් හැසිරීම ලෙහෙසි පහසු නොවේ. කෙසේ වෙතත් නිවෙස් වලට කොටුව සිටින ජනතාව යළිත් තම අතීතයට එබිකම් කරමින් මහ පොළව සමග පොර බදන්නට පටන් ගෙන ඇත. මිරිස් පැළයක් බටු පැළයක් මයියොක්කා දණ්ඩක් වැල් අලයක් මහ පොළවට දැමිය යුතු කාලය මෙයයි ඉවකින් මෙන් කියා දී ඇත. ආණ්ඩුව ඒවාට පිවිසෙන්නට ප්‍රථම මේ ජානමය හැකියාව ඔවුහු උරගා බලන්නට පටන් ගත්හ.ජනතාවගේ ආහාර ඇඳුම් පැළදුම් බෙහෙත් සහ නිවෙස් යන මූලික අවශ්‍යතාවන් සඳහා ස්වයංපෝෂිත බව ලබා ගැනීම ට අවශ්‍ය සම්පත් රට තුළ පිහිටා තිබේ.පසුගිය දශක කීපය තුළදී විවෘත ආර්ථක සංකල්පයන් මත මේ ස්වයංපෝෂිත භාවය යටපත් කොට තැබූහ.මේ නිසා ජනතාව වේගයෙන් ඇදී ගියේ තොරොම්බල් විච්චූරණ මත යැපෙන ආර්ථිකයකටයි. අද එහි ප්‍රතිවිපාක ඇස් පනා පිට දකින්නට ඇත.තවත් මාසයක් රටම වසා තැබුවහොත් අනිවාර්යයෙන්ම විශාල දුර්භික්ෂයක් පැමිණෙනු නිසැකය. රාජ ධම්මො ප්‍රජා රක්ඛා යයි පෙර සිරිත කියා දෙයි. එහි ගැඹුර දන්නෝ අවංක බෝසත් පාලකයන්ය.
       වසංගත වලින් බේරීමට මූඛ වාඩම් දැමිය යුතු යැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙති. එහෙත් රෙදි කැබැල්ලේ මුඛවාඩම පවා ගෙන එන්නට පිරටට යැපෙන්නට සිදුව ඇත. රෝහල් වල භාවිත කරන පුළුන් ටික ගෝස් ටික පවා වැඩි වශයෙන් පිටරටින් ගෙන්වති. ගමේ තිබූ පෙහෙකම් හල් වසා දමා ඇඟ ලුම්කම්හල් වලට දක්කන ලද ගැමි තරුණියන් අද අනාථව ගම් රටවල් වලට දිව යති. ඇමරිකාවෙන් ලැබෙන හිඟන කෝටාවෙන් නඩත්තු කළ මේ ඇඟලුම් කම්හල් දේශිය අවශ්‍යතාවන් සඳහා යොදා ගත්තේ නම් කෙතරම් ආඩම්බරයක්ද.පේෂකර්මය පිළිබඳ නිපුණතාවයන් අපේ මූන් මිත්තන් අතර තිබුණේ කුවේණි ගේ කාලයේ සිට බව ඇත්තකි. එහෙත් එදා සිට වර්තමානය දක්වා එම ශිල්පයන් පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන පැමිණි පිරසට අද ඇත්තේ ලොකු වටිනාකමක් නම් නොවේ. මෙවැනි එක පරම්පරාවක් තමයි. උඩුදුම්බර තලගුණේ කියන ගම්මානයේ ජීවත් වුණේ.රෙදි වියන්න පමණක් නොවෙයි  හැඩට වැඩට රටා දමන්නත් ඔවුන්ට දක්ෂතාවයක් තිබුණා. ඔවුන් ගේ මුල් පරම්පරාවන් ගමේ කපු වවල නූල් කැටීම කරලයි. නූල් හදා ගත්තෙ.
         විසිවන සියවස මුල් කාලය වන විට මේ පාරම්පරික ශිල්පීන් ගැන උනන්දුවක් ඇතිවී උඩරට කලා සංගමය බිහිවූ බව පැවසෙයි. මේ සංගමයත් සමග කටයුතු කළ ආනන්ද කුමාරස්වාමි මහතා තලගුණේ ගම්මානයට ගොස් තොරතුරු එකතු කොට ඔහුගේ මධ්‍යකාලීන සිංහල කලා නම් ග්‍රන්ථයට ඇතුලත් කර තිබේ.වර්තමානයේ එම පරම්පරාවේ සාමාජිකයන් ඒ අතීතය ගැන මෙසේ පවසා සිටිති.
     ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල් හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයක්ම තේරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්තමානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.

          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මෙහි සඳහන් කරනු වටී.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.
මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ
රටින් ගෙනා වද විරුදු යන්තරේ - මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ
ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ
අඳුරු නීතියට හිරවී සිටින සමයක අපේ ග්‍රාමීය ආර්ථකය ක්‍රමයෙන් ක්ෂය වී යන බව පැහැදිලියි. පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය පමණක් නොව රෙදි පිළි පවා ඉදිරියේ දි හිඟ වේවි. එ නිසා ගමේ තිබෙන පේෂ කර්ම ශාලාවලට නැවත පණ දී රෙදි පිළි වියාගතහොත් අපගේ මූලික අවශ්‍යථා වලින් එකක් පිරිමහගන්න පිළිවන් වේවිි.



Wednesday, April 1, 2020

ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අර්බුදය ගැන රජය සැලකිලිමත්ද


                    
              ලංකාවේ ජීවත් වන බහුතර ජනතාවගේ ජීවනෝපායන මාර්ගය වන්නේ ගොවිතැනයි.ගොවි තැනට සාපේක්ෂකව එයට සේවා සපයනබොහෝ පිරිසක්ද එම ආර්ථිකයට ඇතුලත්ය.එසේම අනෙකුත් සියලුම දෙන  ජීවත් වීම පිණිස විවිධ ‌ජීවනෝපායන මාර්ගයන් අනුගමනය කරති..රැකියාවන්හි නිරත අය ව්‍යපාරයන්හි නිරත අය මාසයක නිමාවේදී වැටුපක් අතට ගන්නා අතර ව්‍යාපාරිකයන් තමන් ‌ගේ බැංකු ගිණුම් තර කර ගනිති. නමුත් බහුතර පිරිසක් ගමේ තිබෙන ‌දේ වැඩි වර්ධනය කර ගනිමින් ඒවාට ‌සේවා සපයමින් යැපේ.මේ තත්වය සම්බන්ධ නිවරදි වාර්තා ජන සංගණනයන් තුළ යම් තරමකින් හමු වුවද ඒවා සම්පූර්ණ නැති බව තේරුම් යන්නේ රට ආපදා අවස්ථාවකට පත් වූ විටය.වර්තමාන වසංගත තත්වයන් හමුවේ එවැනි නිවැරදි සංඛ්‍යාලේඛන මත රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම අඛණ්ඩ ඇඳිරි නීතියක් ක්‍රියාතමක කරන කල්හි. සේවා ආරථිකය බිඳ වැටෙන බැවින් ජන ජීවිතය අඩාල නොවන පරිදි පවත්වාගෙන යෑමට නිවරදි සංඛ්‍යාලේඛන මත රජය සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුය.
පහත දැක්වෙන්නේ ලංකාවේ ජනතාව ග්‍රාමීය වශයෙන් සිදු කරන ආරථික ක්‍රියාවන් කීපයකි. මේවා ඒකිනෙකට බැඳී පවතින අතර එකක් බිද වැටෙන කලිහ් අනෙකටද පැවතිය නොහැකිය.
1/
පුවක් ඒකතු කිරීම -පුවක් ‌තොග අපනයනය
2/
කුඹුරු ‌ගොවිතැන් කිරීම - වී ‌කෙටීම -සහල් පිටි කර්මාන්තය
3/
එළවලු ‌ගොවිතැන - එළවලු ‌තොග රැස් කිරීම ප්‍රවාහනය
4/
‌පොල් වගාව - ‌පොල් ‌තොග රැස් කිරීම -‌කොප්පරා කර්මාන්තය - ‌තෙල් සිඳීම
5/
කුලුබඩු ‌බෝග වගා කිරීම -කුලු බඩු එකතු කිරීම - අපනයනය
6/
පළතුරු වගාව - පළතුරු ‌තොග රැස් කිරීම
7/
මල් වගාව -මල් ‌තොග වශයෙන් සැපයීම
8/
කටුසර ‌භෝග වගාව - ධන්‍ය වලින් පිටි සකස් කරවිකිණීම
9/
මැටි වළන් නිෂ්පාදනය
10/
කම්මල් වැඩ - ‌වෙල්ඩින් වැඩ
11/
‌පොල් කැඩීම - ගස් කැපීම -‌පොල් ලී පැලීම
12/
දැව භාණ්ඩ නිෂ්පාදනය
13/
විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය
14/
‌දේශීය ඖෂධ එකතු කිරීම -සිංහල ‌බෙහෙත් සල් පවත්වාගෙන යෑම
15/
‌පෙදරේරු වැඩ
16/ පොල් ලෙලි වලින් කොහු සකස් කිරීම -කොහු ඉදල් නිෂ්පාදනය-අපනයනය
17/ ජ්‍යෙතිෂ සේවා සැපයීම
18/ පේෂකර්මාන්තය
19/ කුඩා තේවතු වගාව - තේ දලු නෙලීම
20/ රබර් වගාව -කිරි කැපීම - කිරි සහ රබර් ෂීට් එකතු කිරීම

මෙහි සඳහන් වන්නේආර්ථික ක්‍රියාකාරකම් කීපයක් පමණකි. මෙම ක්‍රියාකාරකම් තුළින් ආහාර සුරක්ෂිතතාවය ඇතිවන අතර හදිසි ව්‍යසනයකදී වුව ගමේ ජනතාව කිසිවෙකුටත් අත පෑමක් නොමැතිව සිය දිවි ගමනේ  යෙදෙති.නමුත් නාගරික ජනතාව එසේ නොවේ. ඔවහු වෙළෙඳ කටයුතු වල යෙදී සිටින අතර විවිධ ආයතනයන්හි රැකියාවලද යෙදී සිටිති. මාසික වැටුපක් ලබන පිරිසමධ්‍යම පන්තියට අයත්ය. දෛනික වැටුපක් ලබන පිරිස ඉතා විශාලය.නාගරය තුල ආහාර සුරක්ෂිතතාවය පවතින්නේ සිල්ලර වෙළෙඳ සල් සහ සුපරි වෙළෙඳ සල් ජාලයෙහි ශක්තියෙනි.මේවා යම් හෙයකින් බිඳ වැටුනහොත් දෛනික වැටුප් ලබන්නන් විහාල පිරිසක් අනාත වේ.ගමට මෙම තත්වය දරා ගැනීමට හැකි කාල සීමාව ඉහළය. නමුත් පෙර සඳහන් කළ ගමේ සේවා ආර්ථිකය බිඳ වැටුණ හොත් ආහාර සුරක්ෂිතතාවය තිබුනද ඒවා සපයා ගැනීමට තිබෙන අවස්ථාවන් නැතිවේ. නාගරික ජනතාව සිය මූලික ආර්ථික ක්‍රියාකාරකම් වලට  අමතරව නවීන තාකෂණයෙන් යුතු සේවා ආර්ථිකයකින්ද යැපේ. .නගරයක තිබෙන සංනිවේදන ආයතනයේ සිට විවිධ තාක්ෂණික සේවා සපයන්නන් මේ වන විට ජනතාවගේ අවශ්‍යතාවයන් මත ශක්තිමත්ව පවතී. ‌‌මෙම ආර්ථිකය මගින් ජනතාව ජීවත් කරවීමට කරන ‌සේවයද සුලුපටු ‌නොවේ.‌
       ග්‍රාමීයආර්ථිකය මගින් ලංකාවේ රුපියලේ අගය වැඩි කරලීමට උපකාරි විය යුතු නමුත් මහ බැංකු වාර්තා අනුව එය සිදු වන්නේ අල්ප වශයෙනි.එහෙත් ඒ මගින් ජනතාව ජීවත් කරවයි. කන්කෙඳිරියක් නොමැතිව රට පාලනය කර ගැනීමට පාලකයන් හට  හැකිවන්නේ සාම්ප්‍රදායික ආර්ථිකයේ බලයෙනි. ‌මෙම ආර්ථිකය බිඳ වැටීමක් සිදු වන කල්හි සමස්ත ආර්ථිකයම ශූන්‍ය කරලීමට බලපෑම් ඇති කරයි. වර්තමානයේ ඇතිව තිබෙන වසංගත තත්වය හමුව ආණ්ඩුව ඇඳිරි නීතිය දීර්ඝ වශයෙන් තබා ගැනීමෙන් ඉහතකී ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරකම් සියල්ල බිඳ වැටී ඇත. එම නිසා නිවෙස් වලට ආහාර සැපයීමේ සිට විවිධ සේවා සපයන්නට පාලකයන්ට සිදු තිබේ.මෙය මහත් අසීරු කාරණයකි. ජනතාව තූළ පවතින අවශ්‍යතාවයන් එකිනෙකට වෙනස් බැවින් ඒවා අඩුපාඩුවක් නොමැතිව සැපයීම ලෙහෙසි පහසු කරුණක් නොවේ.  උදාහරණයක් වශයෙන් වට්ස්ඇප් සහ වයිබර්  මගින් ඉංග්‍රීසි බෙහෙත් වර්ග ගෙන්වා ගැනීම යෝජනා කිරීමයි. එම නවීන තාක්ෂණය ‌කෙරෙහි විශ්වාසය තබා සිටින අය කල්පනා කළ යුතු ‌දෙයක් නම් අන්තර්ජාලය හරහා ‌ද ‌‌වෛරස ගමන් කල හැකි බවයි.එසේම මෙම බෙහෙත් වර්ග වරින් වර දොස්තර වරුන් විසින් වෙනස් කරන අවස්ථා තිබේ. දොස්තරවරයෙකු මුණ ගැසීමට අවස්ථාවක් නැති සමයක එම බෙහෙත. දිගටම ගැනීම තුලින් ඇති වන බියකරු තත්වයට. අප මුහුණ දෙන්නේ කෙසේද.
    එම නිසා සමාජ සම්බන්ධතා විශාල වශයෙන් දුරස්තර ‌නොකර අදාල වසංගත ‌රෝග වලට නිවරදි ඔසු ‌සොයා ගත යුතුය.ජපානය විසින් එයට ඔසුවක් සොයා ගෙන ඇතැයි කියන අතර එය කඩිනමින් ගෙන්වා ගැනීමට රජය කල්පනා කරයි. නමුත් මේ රටේ තිබෙන පාරම්පරික ඔසු වට්ටෝරු පදනම් කොට නව බෙහෙත් සොයා ගැනීමටද හැකිය. ඒයටද  අවශ්‍ය රාජ්‍ය යාන්ත්‍රණයක්ද තිබේ.විශේෂයෙන්ම ‌දේශීය ‌වෛද්‍ය වරුන් ද සාභාගි කරවා ගැනීමෙන් දැනට සිටින ‌රෝගීන් සුවපත් කරගත යුතුය.බොරැල්ල ආයුර්වේදය මෙන්ම නාවින්න ආයුර්වේදය  සතුව එවැනි පහසුකම් රාශියක් තිබෙන අතර ඒවායින් වැඩ ගැනීම සෞඛ්‍ය ඇමතිතුමියගේ වගකීමකි. ග්‍රාමීය ආර්ථිකය තවදුරටත් බිද වැටීමට සැලැස්වීම රටට ඉතා අහිකකර ප්‍රතිඵල ළඟා කරදෙන්නකි. එම නිසා රොගීන් ඉතා ඉක්මනින් සුවපත් කර ගැනීමට බටහිරි වෛද්‍යවරුන් සහ දේශීය වෛද්‍යවරුන් ගෙන් සමන්විත ඒකාබද්ධ යන්ත්‍රණයක් සකස් කරන අතරතුර ග්‍රාමීය අංශයේ යටිතල පහසුකම් ඉතා ඉක්මනින් යථා තත්වයට පත් කළ යුතුය.එසේ ‌නොමැති වුවහොත් රට පුරා දුර්භික්ෂයක් ඇති වීම වැලැක්විය ‌නොහැකිය.