පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, September 27, 2025

හරිනාරි උඩටගත් මිෂනාරි න්‍යාය පත්‍රය

 

                                     


                එළඹෙන වසරේ සිට පාසලේ හය වසරේ සිට සර්ව ආගමික මොඩියුලයක් ක්‍රියාත්මක කරන බවට අගමැතිනිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර ඇත. එනම් සෑම දරුවෙකුටම සියළුම ආගම් පිළිබඳ උගැන්වීමක් ලබා දීමයි.මෙය මහ බරපතල ප්‍රකාශයකි. ලන්දේසි පල්ලිකුඩම් අධ්‍යාපන ක්‍රමයත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සහ ට්විස්ල්ටන් පූජක තුමාගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් ආදර්ශයට ගෙන උඩටගත් සැලසුම්සහගත න්‍යාය පත්‍රයකි.

         පරංගි අධිපත්‍ය යටතේ ලංකාවේ මුහුදු බඩ පළාත් විදේශ පාලනයට නතු  වූ පසු එම පෙදෙස්වල තිබූ පන්සල් අධ්‍යාපන ආයතන අභාවයට පත් විය. කෝට්ටේ නැතක් පිරිමින් ද ගැහැණුන්ද ක්‍රිස්තියානිය වැළඳ ගැනීම නිසා ඔවුන්ගේ ඉදිරි පරම්පරාවට බයිබලය අනිවාර්ය විය. පරංගින්ගෙන් බලය උදුරාගත්  ලන්දේසීන් ගේ රෙපරමාදු අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව පල්ලි කුඩම් නමින් හඳුන්වන පාසල් රැසක් බිහි විය. ඒවායේ විවාහ උප්පැන්න මරණ ලියාපදිංචි කරන ලදහ.ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබාදෙන ලදී.බ්‍රිතාන්‍ය පාලන සමය එළඹෙන තෙක් මේ පාසල් විසින් සමාජය හසුරුවනු ලැබූහ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් වෙස්ලියන් ,බැප්ටිස් සහ ඇන්ග්ලිකන්  මිෂනාරීන්ට ආගම පතුරුවා හැරීම පිණිස අවස්ථාව ලබා දෙනු ලැබූ අතර ඒ අනුව පල්ලි පාසල් කොළඹ යාපනේ ඇතූලු බොහෝ  ප්‍රදේශ වල ආරම්භ විය.නමුත් දොඩන්දූවේ පියරත්න තිස්ස නා හිමියන් ගේ ආරාධානයෙන් කර්නල් ඔල්කට් තුමාගේ සම්ප්‍රාප්තියත් සමග නැවත බෞද්ධ පාසල් පුනර්ජීවනයක් ඇති විය. ඒ නිසා මිෂනාරි අධ්‍යාපනය විසින් බලාපොරොත්තුවන ලද අරමුණ සාර්ථකව ඉටු කරගනු නෙහැකි විය. අනතුරුව 1945 න් පසු ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග සංවර්ධනය වූ සියලුම බෞද්ධ පාසල්  ජාතික පාසල් පද්ධතියට ඇතුළත් වීමෙන්  ඇතිවූ ප්‍රගමනය කවුරුත් අත් විඳින්නට ඇති බව නිසැකය.1962 දී බෞද්ධ පාසල් සහ මිෂනාරි පාසල් රජයට පවරා ගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ පාසල් ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක විය.මේ ඒකාබද්ධ පාසල් පද්ධතිය නැවත මිෂනාරි ග්‍රහණයට ගැනීම පිණිස මේ වන තුරුත් දරණ උත්සාහයන් රැසක් ඇත.වර්තමානයේ සිදු වන්නේ එයට ක්‍රමානුකූලව රාජ්‍ය අනුග්‍රහය හිමි වීමයි.

            දහඅට වන සියවසේ සහ දහනව වන සියවසේ මිෂනාරි ක්‍රමය විසින් දැඩි ලෙස බෞද්ධ ඉගැන්වීම් වලට සහ සංස්කෘතියට පහර දෙනු ලැබූහ. පානදුරාවාදය අවස්ථාවේ දී පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් මතවාදීව පරාජයට පත් කරන ලද්දේ ඒ මිෂනාරි වෑයමයි. ලංකාවේ පවතින බෞද්ධ සංස්කෘතිය නිදහස් මතධාරී ආර්ථික ක්‍රියාකාරම් වලට බලවත් බාධාවකි. සාර් ධර්ම මත සීමාවන් තබාගෙන මිනුම් දඬු තබාගෙන සිටින සමාප්‍රදායික  ජනතාව ඉන් නිදහස් කර ගැනීම මේ නව මිෂනාරීන් ගේ අරමුණයි. ජාතික අභිමානය ,ජාතික සිරිත් විරිත් තව දුරටත් පවත්වන්නට ඉඩ දීමෙන් ඒ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරගනු නොහැකිය. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසස්කරණ මුවාවෙන් ඒ සැලසුම දැන් උඩට ගෙන තිබේ.

    කොරියාව බෞද්ධ රටකි. අසූව දශකයේ දී ඇති කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව අද එහි බෞද්ධ ජනගහනය සියයට විසිහතකි.කොරියාවේ බහුතරයක් තරුණ තරුණියන් ආගමක් නැති ලෙසට හැසිරෙති.එවිට ආර්ථීක හයියක් තිබෙන ආගමික සංස්ථාවන්හි ජනප්‍රිය උපක්‍රමයන් මගින් විශේෂයෙන්ම නවීන සන්නිවේදන උපක්‍රමයන් මගින් ඒ නිරාගමික කොටස් තමන් වෙත ආකර්ශණය කර ගනිති.කොරියාවේ බෞද්ධ නොවන ජනගහනය වැඩිවී ඇත්තේ ඒ ක්‍රමයෙනි.

        ලංකාවේ බෞද්ධ ජනතාවට ද මේ ඉරණම අත් කර දීමට පළමු බෙදීම් ඇති කළ යුතුය. සිද්ධාර්ථ ගෞතමයන්ගේ උප්පත්තිය ලංකාවේ දී සිදු වී යැයි පවසන අමු කෙප්පය ඇත්තක් ලෙසට ප්‍රවර්ධන කරනු ලැබීමෙන් මේ බෙදීම ඇති කර තිබේ. අනෙක ධර්ම විකෘතියයි.ඒ සංකල්ප මත ඇති වූ ව්‍යාප්තිය වසංගතයක් මෙන්   ඔඩු දුවා ඇත. ඒ මත දරණ වෙනම නිකායක් බිහි කිරීම ද ආරම්භ කර තිබේ.ඉතින් බෞද්ධ සමාජය දෙකඩ කිරීම මගින් ශක්තිමත් සම්ප්‍රදයක් දුර්වල කර තිබේ.වර්තමාන ආණ්ඩුව තුළ සිටින ප්‍රබලතම චරිතයක් වන්නේ අගමැතිනියයි. ඇයට අධ්‍යාපනය භාර දී තිබේ.කන්නන්ගර ශ්‍රී මතාණන් විසින් ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින වර්තමාන වීකෘතිය මත අඩුපාඩු රැසක් ඇති බව සැබෑය. එහෙත් රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කරගත හැකි වන්නේ නවසිය තිස් ගණන් වල දැමූ පදනම තුළ සිට ගෙනය.1944 දී නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුව තුළ විවාද  කරන අතර  මිෂනාරි පාසල් වල උගෙන ගන්නා ළමුන් ගැන   පී .ද .එස්. කුලරත්න මහතා මෙලෙස කියා ඇත. 'ඔවුහු කිසිම ආගමක් නැතිව පාසලෙන් අස්වෙති.ඔවුන්ගේ ආගම විනාශ කර ඇති අතර ඒ වෙනුවට වෙනත් ආගමක් ඔවුනට නැත.එබඳු මිනිසුන් ඉතා භයානකය.ඔවුන් අවිනිශ්චිත තත්වයක පසුවන අතර  ඔවුන්ගේ ආගම බොහෝ විට තීරණය කරනු ලබන්නේ විවාහ වන අවස්ථාවේ දීය.එම ක්‍රිස්තියානි පන්තිය ඉස්ත්‍රියානි යනුවෙන් හැඳින්වේ.ඔවුන්ගේ ආගම භාරයාව මත රඳා පවතී.'

         කුලරත්න මහාතගේ කතාව එදාට සාපේක්ෂව අපට තේරුම්  ගත හැතිය.එය වර්තමානයට ගැලපිය හැක්කේ වර්තමාන අගමැතිනියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳ කතා කරන කල්හිය.මේ වන විට අගමැතිනිය ප්‍රතාශ කර තිබෙන්නේ ලබන වසරේ සිට හය වසරේ දී සර්වආගමික කරුණු අධ්‍යනය කිරිමට මොඩියුලයක් සකස් කර ඇති බවයි. එහෙත් මේ වන තෙක් බුද්ධාගම පෙළපොත මුද්‍රණය කර නැත. කෝවිලෙත් 'පන්සලෙත්, පල්ලියේත් දැල්වෙන්නේ එකම පහනක් ය යන කතාව ඉදිරි පත්කරන ලද්දේ ආර්.ප්‍රේමදාස යුගයේ දීය. එහෙත් ඉන් ගම්‍ය වන සමාන කමක් ආගම් අතර නැත. බෞද්ධයා නිවන ප්‍රාර්ථනා කරමින් එහි උපාසක වත පුරමින් සංසාරය කෙටි කරගැනීමට උත්සාහ කරයි. බෞද්ධ සංස්කෘතිය තුළ  ඔහුට ඒ මග යන්නට  පරිසරය සකස් කර දෙයි. නමුත් ක්‍රිස්තියානි මුස්ලිම් වැනි ආගම් වල අය සංසාරයක් විශ්වාස නොකර අතර ලද ජීවිතය සැපවත් ලෙසට ගතකිරීමේ ආශාවෙන් ගිහි සැප වර්ධනය කරගන්නන් වෙති. බෞද්ධ දෘෂ්ටියෙන් සංසාරය දික් කරගන්නන් වෙති.මිථ්‍යාදෘෂ්ටි යේ එල්බ ගත් බෞද්ධයන්ද සිටින නමුත් බහුතර බෞද්ධයන් සම්‍යදෘෂ්ටියේ  පිහිටමින් නිවන අරමුණු කරගෙන සිටිති. එවිට තරුණ වියට එළඹෙන දරුවෙකුට අනෙකුත් ආගම් පිලිබඳ කියා දෙන්නේ මොනවාද. ඔවුන් ගේ සිරිත් විරිත් ද බයිබලය  ගැනද කුරානය ගැනද මට පෙනෙන ආකාරයට සර්ව ආගම් පිස්සුව ඔලුවට ගැසූ පසුව කුලරත්න මහතා කියූ පරිදිම ඒ දරුවා වැඩිහිටියෙකු බවට පත් වීමෙන් පසු ආගමක් නැති පුද්ගලයෙකු බවට පත් වේ. බුද්ධශාසනය බරපතල ලෙසට පරිහානියට පත්ව ඇති යුගයක සැප ඇති තැන් වලට ඇදෙන්නට තරුණ සිත් කැමතිවන්නේ නම් එය පුදුමයට කරුණක් නොවනු ඇත. මෙහිදී සිදු වන්නේ කොරියාවේ සිදූ වූ දෙයයි. එයට පාර කැපීම සඳහා අගමැතිනිය පමණක් නොව දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරමින් ළමුන්ට තරවටු කරන දෙමව්පියන් සහ ගරුවරුන් හිරගෙට දක්කන්ට වළිකන පෝල්රජ් ඇමතිනියත් සට කපට අන්දමින් කටයුතු කරනු පෙනේ. අවාසනාව නම් මේ සිදු වීම දිහා නොඇසූ කන් ඇතිව සිටීමයි. දෑසින් දුටුවත් අකර්මණ්‍යව සිටීමයි. මහා නායන හිමි වරුන් පවා තමන්ගේ දෙපා මුළට ප්‍රශ්ණය පැමිණෙපතුරු බලා සිටින බව පෙනේ.

මතුගම සෙනෙවිරුවන්

Monday, September 22, 2025

මුදලේ සයිස්එක වඩවන විවෘත ආර් ථික සූදුව අයිස්

 

                                


                  එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය දිනයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති තුමා කළ ප්‍රකාශය මෙම මාතෘකාවට අදාළ වෙයි.සමාජයේ ඕනෑම අයෙකුට හරි හම්බ කර ගැනීමට එජාප රජයක් යටතේ විවෘත ආර්ථික ක්‍රමය ඇති කළ බවද වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පොහොසතෙකු බවට පත්ව තිබෙන්නේ ඒ බල මහිමයෙන් යැයි එහිදී අවධාරණය විය.අමාත්‍යවරයාගේ වත්කම් ප්‍රකාශ ගෙන බලනකල්හි  නම් එම ප්‍රකාශය වර්තමාන තරුණ තරුණයන්ට එකවර තේරුම් ගත නොහැකි වනු ඇත.මන්ද හැත්තෑව දශකයේ හඳුන්වාදෙන ලද විවෘත වෙළඳ පළ ක්‍රමය මේ වන විට ලංකාවේ සමාජය ගිලගෙන අවසන් බැවිනි.

        විවාත වෙළෙඳ පළ ක්‍රමයේ පරාමාර්ථය නම් ආර්ථිකය නිදහස් කරන ලද පරිසරයක ලාභ ඉපැයීමට පසුබිම සකස් කිරීමයි. විදෙස් ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමෙන් රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ දමා ගැනීමයි.එයට සීමා මායිම් නැත. වෙළෙඳ පළ ආර්ථිකයට ගැලපෙන ලෙසට නවීන කළමනාකරණ විධි, තාක්ෂණය, යටිතල පහසුකම් සියල්ල මේ වන විට දියුණුවට පත්ව තිබේ. විවිධ ආහාර සහ ජන ජීවිතයට අවශ්‍ය වන බොහෝ පාරිභෝගික ද්‍රව්‍යයන් රසායනිකව නව මානයකින් නිර්මාණය කරලීමට ද මේ පසුබිමේ උත්සාහ කර තිබේ.උදාහරණයක් වශයෙන් කෘතිම රසකාරක දැක්විය හැකිය.අජිනෝමෝටෝ  වල සිට අයිස් නම් මත්ද්‍රව්‍ය දක්වා මේ රසායනික කර්මාන්තයන් දියුණට පත්ව තිබේ.ඒවා ගෙන්වා නොයෙකුත් කර්මාන්ත සඳහා යොදා ගැනීමට රටේ නීතියෙන් ඇතැම් විට බාධාවක් නැත. තහනම් කළ කෘෂීරසායන පසුගිය කාලේ ගෙන්වා බෙදා හැර තිබෙන්නේ ද තහනම් නොකළ ඒවායේ ආසනික් වැනි තහනම් දේ අඩංගු වූ බව හෙළි වූයේ ද මෙම තත්වයන් යටතේය.ඇතැම් වර්ග බහාලුම් අස්සේ වෙනත් ද්‍රව්‍යයන් සමග කලවම් කොට ගෙන්වන රසායන ද්‍රව්‍යයන්ද තිබෙන බව මෑතකදී තහවුරු විය.හිටපු ඇමතිවරුන්ගේ සහ වත්මන් ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ වලින් සනාථ වන්නේ අඩු වැඩි වශයෙන් මේ වීවෘත ආර්ථික ක්‍රමයෙන් ඔවුන් ඉහළම ඵල ප්‍රයෝජන ලබා ගෙන ඇති බවයි.

     ධනය ඉපැයීම සහ  ධනය අධිපති කොටගෙන සමාජය පාලනය කිරීම අලුත් දෙයක් නොවේ. අතීතයේ දී එය ධන ධාන්‍ය ලෙසට හැඳින්වූහ.ධන්‍ය අස්වන්න වැඩි වශයෙන් ගබඩා කර තබා ගන්නා ධනවතෙකු ලෙසට සලකුම් ලැබීය.එහෙත් පැරණි සිංහල සමාජයේ ධන්‍ය අස්වැන්න පොලී කොට ඒ පොලියෙන් කඨින චීවර මාසයට අරියවංහ දේශනාව කරන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සැපයීමට රජ අණක් විය.බිත්තර වී අටු ,පත්තායම් සහ වී බිහි තිබෙන විහාරස්ථානයන්හි ධාන්‍ය ප්‍රමාණය රටේ ආහාර සුරක්ෂිතතාවයේ පදනම විය. එදා ධනය උපයන්නාට සාර ධර්ම විය. ධනය සතර කොටසට බෙදා එකක් පරිභෝජනයට ද දෙකක් ආයෝජනයට ද අවසන් කොටස ආපාදාවකට යොදා ගත යුතු යැයි කියැවෙන සිඟාල සූත්‍රයේ දේශනාව රජවරු සිටුවරු සහ ජනතාව අනුගමනය කළහ. අයථා පිරිභෝජනය සාර ධර්මයන්ගෙන්ම පාලනයට ලක් කරන ලද්දේය.වර්තමාන වෙළෙඳ පළ ක්‍රමය එසේ නොවේ.රටට සමාජයට නොගැලපෙන ඕනාම ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමට ද අලෙවි කිරීමට ද ලාභ ඉපැයීමට ද අවසර තිබේ. කුඩා දරුවන්ට හෝ තරුණයන් ගේ ජීවිත විනාශ කරන මත් පෙති හෝ මත් ද්‍රව්‍ය කෘතිමව නිෂ්පාදනය කිරීම මේ ක්‍රමය යටතේ අනුමතය. ඒ ඒ රටවල සංස්කෘතිය අනුව ඒවාට නීති පණවා තිබේ. මෙවැනි විෂ රසායන නිෂ්පාදනයන් තහනම් කළ යුතු යැයි යෝජනාවක් මෙතෙක් මෙරට සිටි පාලකයෙක් කිසිම අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කොට නැත.

     විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් පුද්ගලයන් ඒ මගින් රටට වෙන විනාශය  ගැන සැළකිලිමත් නොවූහ.ආනාගතය දැක අහිතකර දේ පාලනය කිරීමට නීති පණවන්නට හදිසි නොවූහ. ඔවුනට අවශ්‍ය වූ එකම දෙය වැඩි වැඩියෙන් විදේශ සංචිත වැඩි කර ගනිමින් රට පොහොසත් කිරීමයි.මුදල් සංසරණය වැඩි කිරීමයි.ඒ මග අනුදත් ඇමතිවරු අයථා ක්‍රම වලින් හෝ සල්ලි මවන තහනම් ආයෝජන ක්‍රම වලින් මුදල් ඉපැයීම ගැන පුදුම වන්නට දෙයක් නැත. සල්ලි දෙවියන්ගේ මල්ලි යැයි කියන්නේ මේ නිසාය. මේ තත්වය තුළ තවත් බරපතල ක්‍රියාවලියක් සිදුව ඇත. ස්වයංපෝෂිත සමාජයක් වශයෙන් තිබුණු රටක වෙලෙඳ පළ ක්‍රමය තුළ වැසියන් බහුතරයක් දුප්පතුන් බවට පත් වීමයි.ඔවුනට ආහාර සුරක්ෂිතතාවයක් නැත. රටට ආහාර ස්වෛරීතාවයක් නැත. වෙළෙඳ පළ වහලුන් බවට පත් වීම නිසා අයාථ පරිභෝජනය ඉහළ ගොස් තිබේ. තමන් උපයන ධාන්‍ය කොටසට සරිලන මිළක් ලැබෙන්නේ නැත.මිළ ඉහළ යන්නේ  නම් රටින් සහල් ගෙන්වන්නේ යැයි ඇමතිවරු තර්ජනය කරනුයේ රටේ ස්වයංපෝෂිතභාවයත් විවෘත ආරථිකයත් අතර ඇති කල යුතු සහ සම්බන්ධය ගැන ඔවුන් නොතකන බැවිනි.

     ලංකා සමසමාජ පක්ෂය බිහි වූයේ 1935 වැනි ඈත කාලයකදීය. 'සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියවු' කියමින් වාමාංශික නායකයන් විසින් කම්කරු පන්තිය තම රැහේ දේශපාලන වැඩට යොදා ගත්හ.එහිදී කම්කරු පන්තිය වෙනුවෙන් දිනා ගත් යම් යම් අයිතීන් තිබුණද කම්කරුවෙකු ධනවතෙකු  වීමට තිබෙන ඉඩකඩ අසුරා තිබුණි.නිදහස් අධ්‍යාපනය නිසා යමෙක් රජයේ රැකියාවක හෝ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරකට ගිය විට දී ඔහු පුද්ගලිකව ධනවතෙකු බවට පත් වෙයි. එහෙත් තමන් ට උප්පත්තිය ලබා දුන් පන්තිය ඉහළට ඔසවා තබන්නට උත්සුක නොවෙයි.සැබවින්ම සියලු දෙනටම රජ විය නොහැකිය. සියලු දෙනටම දෙස්තර හෝ ඉංජිනේරුවරුන් විය නොහැකිය.නමුත් තමන් පය ගසා සිටින ස්ථරය තුළ මනා ජීවන තත්වයක් යටතේ වැජඹෙන්නට ඒ සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබේ.ඒ හැකියාව විවෘත ආර්ථික ක්‍රමය යටතේ  වර්ධනය වුවද  ඒ මගින් සිදු වූයේ මුදල් වීසි කරමින් ධනවත් වීමටත් අයිස් වැනි මත්ද්‍රව්‍ය බෙදාහරිමින් ධනවත් වීමටත් ක්‍රිප්ටෝ කරන්සි, පිරමීඩ වැනි තහනම් ආයෝජන කරමින් ධනවත් වීමට වැඩි ඉඩකඩක් ලබාදෙමිනි.එක්සත් ජාතික පක්ෂ සමුළුවේ දී අවධාරණය කරනු ලැබූයේ මේ සඳහා විවෘත ආර්ථිකය ක්‍රමය තුළ ඉඩක් ලබා දී ඇති බවයි.වර්තමාන අමාත්‍ය මණ්ඩලය ඒ මගින් දියුණු වූවද ජනතාව කල්පනා කළ යුතතේ වාමාංශික නායකයන් ඇති කළ හිඟන මානසිකත්වයෙන් මිදී සාධාරණ ලෙසට යුක්ති සහගත ලෙසට ධනය ඉපැයීමට උත්සාහ කිරීමයි.පුද්ගලයන් විසින් එලෙස ධනය උපයන කල්හි රටක් වශයෙන්ද පොහොසත් භාවයට පත් වේ.රජය විසින් කළ යුත්තේ මේ ගමනට තිබෙන බාධක ඉවත් කිරීමයි.ඒ සඳහා බටහිර ආර්ථික විද්‍යා සංකල්ප අපට අවශ්‍ය නැත.ඒ බැව් මේ ලිපියේ පෙර  පෙන්වා දී ඇත.

මතුගම සෙනෙවිරුවන්

Saturday, September 20, 2025

කදුරුගොඩ කැණීමෙන් වටදාගෙයක අත්තිවාරම මතුවේ

 

                                 


             යාපන අර්ධ ද්වීපයේ ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් වන කන්දරෝඩෙයි නොහොත් පුරාණ කදුරු ගොඩ ස්ථුප සංකීර්ණයේ ජූලි මස කරන ලද කැණීමකින් දැනට තිබෙන චෛත්‍ය අවශේෂයන්ට යටින් වටදාගෙයක පාදමක් මතුව තිබෙන බව පුරාවිද්‍යා ආචාර්ය නිමල් පෙරේරා මහතා දක්වයි.වර්ෂ 1917 දී පී.ඊ.පී. දැරණියගල මහතා විසින් මුල් වරට මෙම ස්ථානය ගවේෂනය කොට ඒ ස්ථානයේ තිබූ බුදු පිළිම සිරිපතුල් ගල් සහ තවත් නටබුන් කීපයක් යාපනයේ කෞතුකාගාරයේ තැන්පත් කිරීමෙන් පසුව 1965 දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් රොලන්ඩ් සිල්වා මහතා විසින් මෙම ස්ථානයේ නටබුන් රැසක් සංරක්ෂණය කොට අවසන් කර ඇත.ඔහුගේ වාර්තාවේ මෙම වටදාගෙය පිළිබඳ මූලික අදහසක් ඉදිරිපත් කර ඇත.

       වංශ කතා තොරතුරු අනුව යාපනය හඳුන්වා දී ඇත්තේ උත්තරපස්සය යනුවෙනි.වල්ලිපුරම් රන් සන්නස අනුව නකදිව යනුවෙන් තිබෙන ව්‍යවහාරය ඉතා වැදගත්ය.නාග ද්වීපයේ බෞද්ධ සමාජය ඇති වීම සම්පන්ධයෙන් දේවානම්පියතිස්ස රජ දවස උදාහරණ වශයෙන් ගත හැතිය. ශ්‍රී මහා බෝධීන්වහන්සේ වැඩම වීමත් සමග සංගමිත්තා තෙරණියන් වහන්සේ අනුදත් ස්ථාන වල බෝධි රෝපණය ද විහාරස්ථාන සකස් කිරීම ආදීය සිදු විය.ජම්බුකෝළ විහාරය තිස්ස විහාරය පාචිනාරාමය වාලුකාරාමය ආදී වශයෙන් මූලිකව විහාරස්ථාන කීපයක් දේවානම් පියතිස්ස රජු විසින් සකස් කළ බව සඳහන්ය.නමුත් කදුරුගොඩ පෙදෙස පූජනීය බවට පත් වන්නේ දෙවනවර  බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට චූලෝදර මහෝදර නා රජුන්ගේ කළහය සන්සිඳුවූ අවස්ථාවේ දී සමහන් සුවයෙන් සිටි ස්ථානයක් වශයෙන්ය. එතැන  කිරිපලු වෘක්ෂයක් රෝපණය කළ බව ද ඒ නිසා රාජයතන චෛත්‍ය යනුවෙන් හැඳින්වූ බවද සඳහන්ය . දේවානම්පියතිස්ස රජ දවස දී මේ පෙදෙස තව දුරටත් පූජනීය බවට පත්විය.ඉන්පසුව  වෝහාර තිස්ස ,අක්බෝ , සතරවන කාශ්‍යප මහා විජයබාහු වැනි නරපතියන්ගේ කාල වකවානුවල දී යාපනය පෙදෙස තුළ ඇතිවූ බෞද්ධ සමාජය ඉතා ශක්තිමත්ය.විහාරස්ථාන තැනීමේ අරමුණු අතර විදෙසින් පැමිණෙන ආක්‍රමණ වළක්වාගැනීම ද විය.යාපනයේ වල්ලිපුර පෙදෙසේ පැරණි ස්ථානයක අත්තිවාරම් කපන විට හමු වූ වල්ලිපුර රන්සන්නසෙහි එන පියගුකතිස නාමය තුළින් කියැවෙනුයේ   පුවඟුදිවයිනෙහි තිස්ස විහාරයක් තැනවූ ආකාරයයි.මෙහි වැඩ සිටි රහතුන් වහන්සේලා හැට නමක් අපවත් වූ බවද පසුව උන්වහන්සේලාගේ භෂ්මාවශේෂ කදුරුගොඩ විහාර බිමෙහි  ස්ථූප හැටක් තනවා තැන්පත් කළ බව ද සඳහන්ය.මේ නිසා යාපන අර්ධ ද්වීපයේ බෞද්ධ සභ්‍යත්වය අප තේරුම් ගත යුත්තේ වෙනස්ම ආකාරකිනි.රහතුන් වහන්සේලා මෙහි වැඩ වසමින් කරුණාව මෛත්‍රීය පැතිරවීම සඳහා කැප වීම මෙහි දී දක්නට ලැබුණු සුවිශේෂී තත්වයයි. උන්වහන්සේලා නිසා විදෙසින් පැමිණෙන සතුරු ආක්‍රමණ වැළකුණි. රටේ සාමය ස්ථාපිත විය.

     යාපනයේ ආර්ය චක්‍රවර්තී පාලන සමයේ අවසාන භාගයේ දී සහ පෘතුගීස් යුගයේ දී කන්දරෝඩෙයි නැතිනම් කඳුරුගොඩ විහාරය  විනාශයට පත් විය.අනතුරුව පෙර දක්වා ඇති පරිදි විසිවන සියවස මුල් භාගයේ දී මෙහි කළ කැණීමකින් පසුව බුදු පිළිම සහ නොයෙකුත් අවශේෂ කොටස් සොයා ගෙන ඇත. අනතුරුව 1971 දී මේ සථානය අක්කර තුනක පුරාවිද්‍යා තහනම් ඉඩමක් බවට පත්කර ඇත. මෙහි ජනාවාස පිළිබඳ මූලික වීධිමත් අධ්‍යනයක් කරන ලද්දේ 2011 වසරේ දී ය.ආචාර්ය නිමල් පෙරේරා සහ පෙන්සෙල්වේනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් එක්ව කරන ලද කැණීම් වලින්  නොයෙකුත් පුරාවස්තු මතු කරගන්නට හැකි වී තිබේ.. මේ කැණීම් වලීන් තහවුරුව ඇත්තේ වීහාල ප්‍රදේශයක නටබුන් විසිර ඇති බවයි.2011 වසරෙන් පසුව 2019 වසරේ දී ඉන්පසු 2023 වසරේ ද කළ කැණීම් වලින් ලැබුණු ප්‍රතිඵල වලින් සනාථ ව  තිබෙන්නේ මෙය බෞද්ධ විහාර සංකීර්ණයක් වශයෙනි.  අවදි කීපයකට අයත්වන අතර මෙහිදී ලැබුණු බුදු පිළිමය ආන්ද්‍රා පෙදෙසේ අමරාවකී පුදබිමේ බුදු පීළිමයන්ට සමාන බව තේරුම් ගත හැකි යැයි පුරාවිද්‍යාඥයන් ගේ අදහසයි.



        සමාන්‍ය ජනප්‍රවාදය අනුව මෙහි දාගැබ් හැටක් තිබී ඇත. මහා චාර්ය නිමල් පෙරේරා මහතා දක්වන්නේ පූර්ව අනුරාධපුර අවදියේ ඉන්දියාවේ දක්නට ලැබෙන ඉඳි කිරීම් වලට සමාන වල පරිදි මෙම පුදබිම ගොඩ නන්වා ඇති ආකාරයයි.පසුව දොලොස්වන සියවස දක්වා වූ කාලය දක්වාම කදුරුගොඩ ප්‍රදේශයේ පැතිරුණු බෞද්ධ සංස්කෘතිය හේතුවෙන් විවිධ ඉඳි කිරීම් මෙයට එක්වී ඇත. 2023 වසරේ දී ස්ථූප ගොඩැල්ලට පරිබහිරව ස්ථාන අටක කැණීම් වලවල් මගින් ලැබුණු තොරතුරු අනුව ක්ෂුදු ශිලා සභ්‍යත්වයක තොරතුරු රැසක් ලැබී ඇත. ඊට අමරතව ක්‍රි.පූ. සත්වන සියවස දක්වා දිවයන ජනාවාස ස්වභාවයක් දකින්නට තිබීම විශේෂය. ක්‍රි.පූ. තෙවන සියවසේ සිට ක්‍රමානුකූලව වැඩී ගිය බෞද්ධ සභ්‍යත්වයක නටබුන් රැසක් ද මේ අතර හමුවෙයි. ඒ අතර බ්‍රාහ්මී අක්ෂර සහිත මැටි බඳුන් කැබලි ,කානීලියන් පබළු, වර්ණාලිප්ත මැටි බඳුන් විශේෂිතය.කදුරුගොඩ විහාර පෙදෙසට පරිබාහිරව දැනට ජනාවාසව පවතින ස්ථාන අට අතරින් හත්වන කොටසින් පළමුවන සියවසට අයත් ලක්ෂඹි කාසි රෝම කාසි වැනි දේ ලැබීම තුළින් ගම්‍ය වන්නේ මේ ස්ථානය සමග පැවති විදේශිය සම්බන්ධයයි.ඊට අමතරව වීදුරු හා මැටි පබළු රාශියක්ද අක්ෂර සංකේත සහිත මැටි බඳුන් කැබලි සහ භාජන මගින් පළ කරන සංස්කෘතිය වෙනමම විග්‍රහ කළ යුතු තත්වයක පවතී.. අනතුරුව එකොලොස්වන සියවසට අයත් අවශේෂයන්ද අටවන කැණීම් වලෙන් හමු වී තිබේ. යාපන අර්ධද්වීපය තුළ මහා විජයබාහු රජු විසින් කළ සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබඳ වංශ කතා වල හමුවන බැවින් මේ හමුවීම් සාධාරණය. පොළොනේනරු කාලය දක්වා මේ ප්‍රදේශයේ බෞද්ධ සමාජ තත්වය වර්ධනය වී ඇති බව පැහැදිලිය. 1971 වසරේ දී කරන ලද  කැණීමකදී දතහපතහ නමින් යුක්ත මැටි බඳුන් කැබැල්ලක් හමුව තිබුණි.එය ක්‍රි.පූ. දෙවන සියවසට අයත් අක්ෂර බවට දක්වා ඇත.අනුරාධපුර ඇතුළු නුවර කැණීම් වලින් හමුවූ උපතිස නම් අක්ෂර ය සහිත වළන් කැබැල්ලට මෙය සමානය.යාපනය පුරාවිද්‍යා සංගමය මගින් ප්‍රකාශයට පත් කර ඇති පුවකලර් නම් සඟරාවට මහචාර්ය කේ. ඉන්ද්‍රපාන් විසින් රචනා කළ ලිපියක මේ ගැන පැහැදිලි විස්තරයක් දක්වා තිබිණ. එසේම කිඹිසි මුහණ සහිත හිරි ගල් ටැම් කැබැල්ලක් මැටි වලින් තනන ලද කරඬුවක් ආදී වශයෙන් කුතුහලය දනවන සුළු ද්‍රව්‍යයන් ලැබී ඇත.එසේම නව වන සියවසට අයත් සතරවන කාශ්‍යප රාජ්‍ය කාලයට අයත්  අත්තාණි කණුවක් සහ ටැම් ලිපියක් දක්නට ලැබීමෙන් සනාථ වන්නේ මේ ස්ථානය අභයගිරි විහාරයට අනුබද්ධ සිද්ධස්ථානයක්ව පවතින්නට ඇති බවයි.2023 කැණීම් මාස තුනක් පුරා අඛණ්ඩව පැවති අතර මේ සඳහා ජර්මනියේ පුරාවිද්‍යා අධ්‍යනෙ ආයතනයේ අරියානි සක්සි ක්‍රිස්ටියන් හාර්ට්ල් ඇතුළු විදේශීය පුරාවිද්‍යාඥයන් ද දේශීය පුරාවිද්‍යඥයන් ද සාභාගි වී ඇත.



     2023 කැණීම් වලදී කරන ලද විශේෂිතම විද්‍යාත්මක පෙළ ගැස්ම නම් කදුරුගොඩ ගුවන් සිතියම් ගත කිරීමයි.ඒ නිසා ඉතාමත් සූක්ෂම භූ රූපන ලබා ගන්නට හැකි වුණි.ඒ භූ රූපන අනුව දැනට ස්ථූප තිස්හතක අවශේෂයන් පැහැදිලිව දර්ශනය වේ.මෙයට ආසන්නයේ ගලා බසින වාලුකී ආරුව නිසා කන්දර ඕඩෙයි යන නාමය මෙයට ව්‍යවහාර වන්නේ යැයි කියති.නම් පොත හෙවත් විහාර අස්නේ දක්වන්නේ කදුරුගොඩ යනුවෙනි.මෙහි පැවති විහාරය පීළිබඳ සහ බුදුන් වහන්සේ ගේ ලංකාගමනය අවස්ථාවේ දී සඳහන් රාජයතන චෛත්‍යය පීළිබඳ අපට හෙළි කර ගත හැක්කේ විධිමක්ව දියත් කරන ලද කැණීමකින් පසුවයි. එයට මුල පිරීමක් වශයෙන් 2025 වර්ෂයේ ජූලි මාසය තුළ සපුරා මාසයක් කදුරුගොඩ විහාර පරිශ්‍රය තුළ පවතින ප්‍රධාන චෛත්‍යක ආසන්නයේ කැණීමක් සිදු කරන ලදහ.ඒ මගින් චෛත්‍යයයේ පාදම සහ මීට කලින් පුරාවිද්‍යාඥන් සඳහන් කරන ලද වටදාගෙයි පාදමේ ස්ථරයන් මතු වීම තුළින් පැහැදිලී වූයේ පෙර නිගමනයන් නිවැරදි බවයි.කදුරුගොඩ දැගැබ් අතර විශාලතම ස්ථූපය විෂ්කම්බයෙන් අඩි විසි තුනකි. කුඩාම ස්ථූපය අඩි හයකි. මෙම විශාල ස්ථූපය අසල මේ වටදාගෙයි පාදම හමු වී ඇත. එනම් මෙම ස්ථානයේ පැවති පුරාණ විහාරය පසු කාලීනව රහතුන් වහන්සේලා ගේ අපවත්වීම මත විශේෂ අදාහන මලුවක් බවට පත් වූ ආකාරය තේරුම් ගත හැකිය.නමුත් මේ පිළිබඳව අවසාන නිගමනයකට පැමිණෙන්නට නම් සම්පූර්ණ භූමිය කැණීමකට ලක් කර කාල වකවානු තීරණය කර විධිමත් වාර්තාවක් නිදහස් කළ යුතු වෙයි. එහෙත් ඊට අවසර නැත.ආචාර්ය නිමල් පෙරේරා මහතා පුරාවිද්‍යා පශ්චාත් උපාධී අධ්‍යන ආයතනයේ දී කරන ලද දේශනයකදී මෙම නව කැණීම පිළිබඳ අදහස් දැක්වීම සිදු කළ අතර සම්පූර්ණ කැණීම නිසි පරිදි සිදු විය යුතු බවට පැවසීය.අපට උතුරේ බෞද්ධ ඉතිහාසය නිවැරදිව හෙළි කරගත හැකි වන පරිදි කදුරුගොඩ කැණීම පිළිබඳව පරිපාලනමය තීරණ ගැනීමට හැකිවේවා යන්න අපගේ පැතුමයි.

මතුගම සෙනෙවිරුවන්