පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, August 22, 2025

එක මිටට ගොවිබිමට -එහෙත් කෘෂිකර්මය ඉවතට

 

                                    


         මෙවර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් සිදු කරන විෂය මාලා වෙනස් කම් වලදී ඉතිහාසාය, සෞන්දර්ය කලා විෂයයන් පමණක් නොව කෘෂීකර්ම විෂයද ඉවත් කර තිබේ.ඒ විෂය මොඩියුල් වශයෙන් කෘෂී කළමනාකරණය සහ තාක්ෂණය යනුවෙන් වරණීය විෂයයන්ට   ඇතුළත් කර තිබේ. කෘෂිකර්මය යනු මෙරට ජනතාවගේ ජීවිතයට බද්ධව පවතින ආත්මීය සම්බන්ධයක් තිබෙන විෂයක් බව ඕනෑ කමින්ම අමතක කර තිබෙන බව පෙනීයයි.කෘෂිකළමනාකරණය යනු සමාගම් වළට අවශ්‍ය කළමනාකරුවන් බිහි කරන ක්‍රමවේදයයි.කෘෂි තාක්ෂණය යනු කෘෂිකර්මය පහසු කරවන එක් මාර්ගයක් පමණකි.ජීවන පැවැත්මට අවශ්‍ය ආහාර නිපදවීම එනම් ආහාර සුරක්ෂිතතාවය සහ ස්වෛරීත්වය උදෙසා මේ විෂයයන් සිදුවන මෙහෙයක් නැත.

          වර්තමාන රජයේ වගා සංග්‍රාමය සඳහා යොදා ඇති තේමා පාඨය නම් 'එක මිටට ගොවිබිමට' යන්නයි. මෙයට කලින් විවිධ ආණ්ඩු යටතේ මෙවැනි තේමා පාඨ සහිත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වූ බව අප දනිමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරයාගේ වකවානුවේ දී වැව් දහසක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලද්දේ එවකට කෘෂිකර්ම ඇමතිවරයාව සිටි වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා විසිනි.අරමුණ යහපත් වුවද ඒ අවස්ථාවේ දී කිසිම වග විභගයක් නොමැතිව වැව් හාරා යම් විනාශයක් කර තිබුණි.එක මිටට ගොවි  බිමට නමින් වන  වැඩ සටහනද සැබවින්ම යහපත් අරමුණකි. රටේ කෘෂිකාර්මක ඵලදාව නැන්වීම උදෙසා සෑම දෙනම ගොවි බිම් කරා කැන්දන දිරිමත් කරන පාඨයක් සහිත වැඩ සටහනකි. එහෙත් රටේ වී ගොවිතැන වාර්ෂික හා අර්ධ වාරෂික භෝග ආදිය වගා කිරීමේ දී පවතින ශ්‍රම සම්පත ගැන කල්පනා කළ යුතුය.

 නිදහසින් පසු රටේ කෘෂිකර්මයට ලැබුණු වටිනාකම නිසා ගම්වල සිටි තරුණ පිරිස් විශාල උනන්දුවකින් ගොවි බිම් අස්වද්දන්ට යොමු වුණද හැත්තෑවේ දශකයෙන් පසුව ඇති වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් ඒ මත සංවර්ධනය වූ වෙළෙදපළ ආර්ථිකයත් නිසා ඊට සරිලන ලෙසට තරුණ තරුණියන් අධ්‍යාපනය ලබාගෙන ඇත. ඒ තත්වය තුළ ගොවිබිමට නිරන්තරයෙන් එක් වන ශ්‍රමික පිරිස අඩුවී ඇති අතර අර්ධකාලීනව ගොවිබමට එන එනම් ගෙවතු වගා කරන විවේක කාල වලදී ගොවිතැන් කරන ශ්‍රම බලකායද හීන වෙමින් පවතී. එවැනි තත්වයක් යටතේ එක බිමට ගොවි බිමට සාර්ථක කර ගැනීමට නම් ගොවි බිමට බසින ශ්‍රම සම්පත වර්ධනය කරගත යුතුය. එවැනි දිගු කාලීන අරමුණක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් තුළ නැත. ඒ අතර 2025 යල සහ මාස කන්න වල එක විටම ගොවි බිමට බසින්නට කළ ආයාචනය ද පුස්සක් වී තිබේ.

        මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ගොවිජන සේවා කොමසාරිස් රෝහණ රාජපක්ෂ විසින් 2025 අප්‍රියෙල් 09 දින 7/11/60 යනුවෙන් නිකුත් කළ චක්‍ර ලේඛනයක් ඇත.  2000 අංක 46 ගොවිජන සංවර්ධන පනතේ 30(3) වගන්තිය යටතේ කුඹූරු ඉඩමක් වෙනත් භෝග වගාවකට යෙදිය හැකිය. එහෙත් 2020 නිකුත් කරන ලද 2020/1 චක්‍ර ලේඛනයකට අනුව කුඹුරු ඉඩම් A B C යනුවෙන් කොටස් තුනකට වර්ග කර තිබුණි. එහි විද්‍යාත්මක පදනමක්නොමැතිය. ඊට හේතුව රටේ පවතින විවිධ කෘෂිකාර්මක ඉඩම් වලට යොදා ඇති නාමයන්ය. ඒවා ඒ බිමේ භූගෝලීය සාධක අනුව වර්ග කිරීමට පැරණියන් පුරුදුව සිටියහ. කුඹූර, ඕවිට, අස්වැද්දුම, උඩුමුල්ල ,දෙණිය, පිට කට්ටිය , කමත ආදී වශයෙන් ඒ ඉඩම් නම් කර තිබුණි. කුඹුර යනු වී ගොවිතැනට සෘජුවම යොදා ගත් ඉඩම්ය අස්වැද්දුම යනු අලුතෙන් වගා කටයුතු වලට යොදා ගන්නා ලද ඉඩම්ය. ඒවා කුඹූරු විය හැකිය. නැතිනම් ගොඩ භෝග වගා කිරීම සඳහා විය හැකිය.අනෙක් ඉඩම් සියල්ල  කුඹූරු ආශ්‍රිත ගොඩ ඉඩම්ය. බොහෝ විට ජලාශ්‍රිත ඉඩම්ය. ඒ නිසා ජල උල්පත් සහිත පරිසර පද්ධිතියක් ඒවාට තිබේ. ඉහතකී වර්ගීකරණයේ දී සී කාණ්ඩයට වැටෙන්නේ ඒ ඉඩම්ය. නමුත් ඒ චක්‍ර ලේඛනය වගකීමක් සහිතිව ඉඩම් වල නාමයෙන්ම වර්ගීකරණය කර තිබුණා නම් වගාවට පමණක් නොව පරිසර පද්ධතීනට ද සාධාරණයක් ඉටු කරන්නට ඉඩ තිබුණි.

  කෙසේ වෙතත් 2025 නිකු ත් කරන ලද චක්‍ර ලේඛනය මගින් මේ වර්ගීකරණය ද නොසලකා හැර තිබේ. ඕනෑම කුඹුරු ඉඩමක වාර්ෂික හෝ අර්ධ වාර්ෂික භෝග වගා කිරීමට ඒ මගින් අවසර ලබා දිය හැකිය.ලංකාවේ  පවතින භූගෝලීය සාධක අනුව විවිධ පළාත්වල ගොවිතැනේ දී භාවිතා කරන සම්ප්‍රදායන් තිබේ. උඩරට පළාත්වල එක් කන්නයක් එළවලු කරන අතර ඊ ළඟ කන්නය වී ගොවිතැනට යොදා ගනිති.තවත් ප්‍රදේශයක වැව් පද්ධති රැසක් තිබෙන බැවින් වාරි ජලය තිබෙන ප්‍රමාණය අනුව වී ගොවිතැනේ කන්නය තීරණය කරති.මහාවැලි ජලයෙන් වගා කරන කුඹූරු පාස්සවා ගන්නේ මධ්‍යගත වාරි ජල සම්පාදන කාල සටහනකට අනුවයි. ඒවායේ ද ඇතැම් කන්න වල මුං ඇට ,රටකජු වැනි ධාන්‍ය භෝග වගා කරති. බස්නාහිර පළාත දකුණු පළාතේ ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි පවතින ගංගා ද්‍රෝණි ගොවිතැන සහමුලින්ම වෙනස්ය.යල සහ මහ කන්න දෙකේදීම ඒවා වගා නොකරති.ඇතැම් කුඹූරු හරහා ගං වතුරාව ගලන්නේ යල කන්නයට යි. ඇතැම් තැන්වල මාස් කන්නයට ද යල සහ සහ කන්න දෙකටම ගංවතුරාටවට යට වන කුඹුරු ද තිබේ.වගුරු කඩොල් පස තිබෙන බැවින් ඒවා සුදුසු වනුයේ වී ගොවිතැනට පමණකි.

          2025 චක්‍ර ලේඛනය මේ සියලු විවිධ වූ කුඹූරු පද්ධති අරභයා ක්‍රියාත්මක වන්නකි.එහි (111) කාණ්ඩය අනුව කුඹූරු ඉඩම් හි වෙනත් භෝග වගා කිරීමට අවසර ලැබෙන අතර 2020/1 චක්‍ර ලේඛනය අනුව ඒ බී.සී. යනුවෙන් කළ වර්ගීකරණය ගණන් නොගැනේ.ඒ අවසර දීම වසර තුනක් සහ මාස හයක් වැනි කාලයකට ලබා දිය හැකි අතර මේ වන විට බස්නාහිර පළාතේ විවිධ තැන්වල වගුරු කඹූරු සඳහා අවසර ලබා දී තිබේ. මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කරන ලද අධික ශ්‍රම හිඟයක් ද ශ්‍රමය සඳහා ඉහළ මිළක් ද ගෙවිය යුතු සමයක. ගං වතුරාවට යටවන  කුඹූරු වල කාණු කපා පස් කණ්ඩි සාදා එලවළු හෝ කෙසේල්  පළතුර වැවීමට යමෙක් ඉල්ලන්නේ නම් එහි යටි අරමුණක් තිබිය යුතුය.එවැනි වගා මේ පසේ එතරම් සාර්ථක වන්නේ නැත. විශේෂයෙන්ම කඩොල් පසේ පොල් වගාව එතරම් සාර්ථක වන්නේ නැත.වැලි සහිත කඩොල් පසේ නම් එය සාර්ථක කර ගත හැකිය. මෙහිදි සිදු වන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන යම් කොටි කාලයක් වගා කරන බව පෙන්වා ඉඩම ගොඩ කිරීම සඳහා ප්‍රවේශ වීමයි. බස්නාහිර පළාතේ ඉඩම් වල වටිනාකම ඉතා සීග්‍රයෙන් ඉහළ යන වකවානුවක එක මිටට ගොවි බිමට නොව එක මිටට ඉඩම් වෙලෙඳපළ ශක්තිමත් කිරීමට නම් ඒ මාර්ගය සුදුසුය. චක්‍ර ලේඛනය අනුව අවසර ලබාගත් ස්ථානයක යම් පිරවීමක් කළහොත් ගොවිජන ප්‍රාදේශිය නිළධාරීන්ට නඩු පැවරිය හැකිය. එහෙත් ඒ කටයුත්ත ප්‍රායෝගික නැත. කෘෂිකාර්මික ප්‍රශ්ණ සඳහා වෙනම අධිකරණ ක්‍රමයක් නැති තත්වයත වසර ගණනන් ඇදෙන නඩු වලට මුදල් වැය කිරීමට දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත.

       වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුලලේ කොන්දේසි වලට යටත් වී අවසන්ය. වී වගාව පාඩු බව මෑතකදී ලාල් කාන්ත ඇමතිවරයා පවසා ඇත. අවශ්‍ය නම් විදෙස් වලින් හාල් ගෙන්වා පාරිභෝගිකයා වෙත සහල් ලබා දෙන්නට පැකිලෙන්නේ නැති බව ඔහු පවසා ඇත. එවැනි ප්‍රකාශ හමුවේ වී ගොවිතැනට වඩා වෙළඳපළ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා මේ රජයද කටයුතු කරනු නිසැකය. එක මිටට ගොවි බිමට යනු ප්‍රෝඩාවකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව අධ්‍යනය කිරීමෙන් සහ මෙකී චක්‍රෙල්ඛනය කියැවීමෙන් එය පසක් කර හැකිය.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, August 13, 2025

මහ වන මැද රජ මහ වෙහෙරකින් සෙල් ලිපි රැසක් හමුවේ

 

                          


          උතුරු මැද පළාතේ සැඟවුණු පුදබිම් එමටය. චෝල ආක්‍රමණ නිසා මහා වනයට ගොදුරු වුණු මහා ශිෂ්ඨාචාරයක සළකුණු ඇතැම් විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද රක්ෂිත වන ගොමුවක තිබෙන්නට පුලුවන.මහවැලි ව්‍යාපාරය නිසා හෙළි පෙහෙළි වුණු ඇතැම් ප්‍රදේශ වල නම් එවැනි පුදබිම් මේ වන විට දායක පින්වතුන්ගේ පුදපූජා වලට නැවත ලක් වී අවසන්ය.මෙහිදී සඳහක් කරන්නට යෙදෙන ඓතිහාසික පුදබිම ගැමියා විසින් හදුන්වනු ලබනුයේ අශ්වයා බැඳි කන්ද යනුවෙනි.  ගල් කණුවක බැඳි අශ්වයෙකු සහිත  කරත්තයක රූපයක් පර්වතයේ කොටා ඇති නිසා ඒ නාමය ඇති වූ බව ජන ප්‍රවාදයේ පවතින්නකි. ඒ රූපය ඇසින් දුටු ගැමියන් අදත් සිටින නමුත් දැනු ඒ රූපය දකින්නට නොමැති බව ඔවුහු පවසති.රජරට පවතින මහා සාගරයක් බඳු වූ පදවිය වැව් කණ්ඩිය දිගේ ආරම්භව  බිසෝකොටුව ගම කරා ද ඉන්පසු නිකවැව දක්වා යන මාර්ගයේ ගමන් කළහොත් මේ අසිරිමත් වනගත පුදබිමට නිසැකවම ළඟ විය හැකිය. කලකට ඉහත නම් ඒ පුදබිමට යා හැකි වූයේ වන මැදින් පා ගමනිනි. එහෙත් ඒ වන මැද ගල් පර්වතයක් කැඩීම පිණිස අවසර හිමි වූයෙන් වන මැද මාවතක් පුළුල්ව ඉඳි විය. මෙම පුදබිමෙහි වැඩ වාසය කරන පූජ්‍ය පනාමුරේ මෛත්‍රී මූර්ති හිමියන් විසින් 2023 වසරේ දී කළ  දැනුම් දීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන අංශයේ ප්‍රධානී බුද්ධි නාගොඩ විතාන මහතා මෙහෙයවීමෙන්  පුරාවිද්‍යාඥයන් පිරිසක් දින හතරක් පමණ කාලයක් මහන්සි වී එතැන පර්වතය මුදුනේ පැවති ශිලා ලේඛන පහක් පිටපත් කර තිබේ.

       පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන හා නාණක විද්‍යා අංශයේ පුරාවිදු පර්යේෂණ නිළධාරී තනුර දයානන්ද මහතා නිශාන්ත මහතා ඇතුළු සත් දෙනෙකුගේ කණ්ඩායම මේ ස්ථානයට ළඟා වූයේ ඉතා දුෂ්කර ගමනකින් පසුවයි.පර්වතය නැගීමට පඩි පෙළවල් කීපයක් කොටා ඇත.පර්වතය පා මුළ ආරාම සංකීර්ණයක නටබුන් සහ චෛත්‍යයක නටබුන් විසිර පවතී.පසට යටව පවතින බුදු පිළිමයකි.කොරවක් ගල්, මුරගල් ,කුඩුම්බි ගල් තැන තැන විසිර පවතී.පුරාවිද්‍යා අනුරාධපුර කාර්යාලය විසින් මෑතකදී මූලික ගවේශණයක් මේ ස්ථානය අරභයා සිදු කර තිබේ.හිටපු පුරාවිදු කොමසාරිස් එච්.සී.පී.බෙල් මහතා මේ ස්ථානයේ යම් සොයා බැලීමක් සිදු කර තිබෙන අතර ඒ අවදියේ දී සෙල් ලිපි ගැන වාර්තා කිරීමක් සිදු කර නොමැත.පර්වත මුදුනට නැගීම යම් තරමක් දුෂ්කරය. එහෙත් සත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමද ස්වාමීන් වහන්සේ ද ගැමියන් කීප දෙනෙකුද සිටි බැවින් කන්ද මුදුනට ළඟා වීමට එතරම්  කාලයක් ගත නොවිය. පර්වතය ට නැගී කල්හි එක් පැත්තකින් වවුනියා මහ කඳු වැටි දක්නට ලැබේ. කිඹුලෙකුගේ හැඩය ගත් කිඹූලාගල ඒ අතරින් විශේෂිතය. අනෙක් පැත්තෙන් පදවිය ඉස්මත්තේ මාළිගා තැන්න කඳු වැටියයි.අංශක තුන්සිය හැටක කෝණයකින් අවට සිරි නැරඹීමට මේ පර්වතය මුදුනේ සිට හැකි වීම විශේෂයකි.පර්වතය මුදුනේ විශාල චෛත්‍යයක නටබුන්ය. එය ආසන්නයේ පහළින් ශිලා ලේඛන හතරක් දුටු බව ස්වාමීන් වහන්සේ පවසයි. ඒ අනුව දිය සෙවල් වලින් වැසී තිබූ ඒ ලේඛන සොයා ගැනීමට හැකි විය.ගල් පර්වතය තැන තැන සිසිල් ජලය පිරි පොකුණු දෙකකි.එක පොකුණක් පැන් ගැනීමටයි. අනෙක ස්නානනය කිරීමටයි.ඒ පොකුණු වලින් ජලය ලබා ගෙන පළමුව සෙල් ලිපි පිරිසිඳු කිරීම සිදු වෙයි. ඒ අතර තවත් කීප දෙනෙකු පිටපත් කිරීමට අවශ්‍ය කඩදාසි සූදනම් කරති.පිරිසිඳු කරන ලද ගල් තලය මත කඩදාසිය එලා කොහු බුරුසුවකින් තැලීමෙන් ගලේ පවතින අකුරු කඩදාසිය තුළින් මතු වී පැමිණේ. අනතුරුව තීන්ත තැවරූ පොට්ටනියකින් ස්පර්ශ ලාංඡනය ගැනීම සිදු කරයි.මේ ක්‍රියාවලියට සෑහෙන වේලාවක් ගත වෙයි. හිරු රශ්මිය බලවත් නමුත් දැඩි උනන්දුව සහ කැපවීම මත සෙල් ලිපි පිටපත් කිරීම දිගටම සිදු වෙයි.ඒ අතර මතුවන අකුරු සටහන් පොතක ලියා ගැනීමට ද තනුර දයානන්ද මහතා  උත්සුක වන ආකාරය පෙනේ.පර්වතය මුදුනේ සෙල් ලිපි හතර සහ පාමුළ ශිලා ලේඛනය පිටපත් කිරීමට මේ පිරිසට දින තුනක් පමණ ගත වූ අතර ඒ සම්පූර්ණ කාලය තුළ පර්වතය මුදුනේ රළු පොළවේ දුෂ්කර ක්‍රියා කිරීමට මේ පිරිසට සිදු විය.පුද්ගලයෙකු ගසා ගෙන යන තරමට සුළං බලවත්ය.කූඩාරමක් නැත. දැඩි සීතලට නිදා ගැනීම අපහසුය. රාත්‍රී යාමයේ ගිනි දල්වා රොටි පළහා කෑමෙන් සෑහීමකට පත් වීමට සිදු විය.ඒ සියල්ල ආත්ම තෘප්තියකින් යුතුව සිදු වෙයි.



        පදවිය මහ වැව ගැමියන් හඳුන්වනුයේ මහා සාගරය යනුවෙනි. එයට සමීපව තිබෙන වාහල්කඩ වැව බෑන සාගරය යනුවෙන් නම් දරා තිබේ.පදවි වැවට ජලය සැපයීම පිණිස යාන් ඔයෙන් පැණ නැගුණු යෝධ ඇළ මාර්ගයක් තිබුණු බව ගැමියන් පවසයි. එහි නටබුන් අදටත් තැනින් තැන දක්නට තිබේ.යාන් ඔයේ තැනින් තැන ගල් අමුණු බඳවා ජලය යම් පමණකින් සිර කර යෝධ ඇළවල් ඔස්සේ පදවියටත් වාහල් කඩටත් ගෙන ගිය පැරණි ජල මාර්ග ශිල්ප ක්‍රම හඳුනන ගැමියන් තවමත් මේ ගම්වල ජීවත්ව සිටිති.පදවිය නිර්මාණය කරනුයේ මහසෙන් රජුගේ මෙහයවීමෙනි.වංශ කතා වල දැක්වෙන පරිදි මහසෙන් රජු මින්නේරිය ඇතුළු  වැව් රැසක් බඳවා ඇත.ඒ කාලයේ දී රත්මල්කන්ද වාපී යනුවෙන් දක්වන ලද පදවිය මහ වැව පසුව දෙවනි මොග්ගල්ලාන සමයේ දී ධනවාපිය යනුවෙන් දක්වා ඇත.ජන ප්‍රවාදය අනුව පදවිය වැව බැඳ වීමට පැමිණි මහසෙන් රජු එහි වාසය කිරීමට මාළිගයක් තනවා ඒ වෙනුවෙන්ම කැප වී තිබේ.ඒ මාළිගය මාළිගා තැන්න යනුවෙන් හඳුන්වන පර්වතය උඩ තිබෙන බව ගැමියන්ගේ මතයයි.පදවියට මූලිකව ජලය සැපයෙන්නේ මුගුණු ඔයෙනි.උල්පත් බහුල කුංචුට්ටු කෝරළය හරහා ගලා බසින මේ ජල කද පළමුවෙන්ම හරස් කරන්නට ඇත්තේ මුගුණු ඔය ඉස්මත්තෙනි. දූපතක් මෙන් ඔයේ සැදුණු තැනකින් ජලය හරස් කර යෝධ ඇළක් මගින් ඒ ජල කඳ කැබිතිගොල්ලෑව ආසන්නයේ යකා වැවට නෙ එන ලදී. අනතුරුව හල්මිල්ල පොතනාට ද ඉන්පසු වර්තමානයේ නම්බකඩ යනුවෙන් හඳුන්වනු ලබන කැඩී බිඳී ගිය වැවට ද ගෙන එන ලදී.මේ මහසෙන් රජුගේ මුල් ව්‍යායාමයයි. පදිවියට හිඟ ජලය ගබඩා කර ඇත්තේ නම්බකඩ තුළය. එය ජන ප්‍රවාදයේ හඳුනවනු ලැබූයේ මති සාගරය යනුවෙනි. මහසෙන් රජු ගෙන් පසුව දෙවනි මොග්ගල්ලාන , මහා පාරාක්‍රමබාහු සහ නිස්ශංඛමල්ල යන රජවරුන් විසින් පදවිය වැව විශාල කොට බඳවා යාන්ඔයෙන් ද ජලය ගෙන ආහ.



           අශ්වයා බැඳි කන්ද ආරාම සංකීර්ණය ඉඳි වීමට ප්‍රථම භාවනායෝගී යතිවරුන්ටම ඇරණු මහ වන අරණකි. කටාරම් කෙටූ ගල්ලෙන් කීපයක් මෙහි හමුවන්නේ එහෙයිනි.පර්වතය මුදුනෙන් හමුවන එක් ශිලා ලේඛනයක් දෙවන සියවසට අයතිය.පළමුවන ගජබාහු රජුගේ යැයි අනුමාන කෙරේ. මෙම වන අරණ ඔහුගේ නිර්මාණයක් ද යන්න විමසා බැලිය යුතුය. ඉන් පසු පර්වතය පාමුළෙන් හමුවන අනෙක් ගිරි ලිපිය තුන්වන සියවසට අයත්ය. බොහෝවිට මහසෙන් රාජ්‍ය සමයට අයත්ය.එම ලිපියේ  මහන ගිරි රජ මහා විහාරය යනුවෙන් වදනක් සටහන්ව ඇති නමුදු එය තහවුරු කළ හැක්කේ විධිමත් කියැවීමකින් පසුවය. නාම්බකඩ නොහොත් මති සාගරය මේ ආසන්නයේම පවතී.ප්‍රසිද්ධ ආසනඝරයක් සහිත හල්මිල්ල වැටිය පූජ්‍ය ස්තානය ද මේ ආසන්නයේ පවතී.මේ සියළු ආරාමයන් සමග අශ්වයා බැඳි කන්ද ඉතිහාසය  සම්බන්ධ වන්නේ කෙලෙසකදැයි නිගමනය කිරීම පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන්ගේ වගකීමයි. නමුත් මෙම ප්‍රදේශයේ ඉතිහාසය විමර්ශනය කරමින් ඒ ශිලා ලේඛන ගැන සොයා බැලීම වටනේය.ෙකසේ වෙතත් ඉතා දුෂ්කර වෑයමකින් පිටපත් කර ගන්නා ලද ශිලා ලේඛන සිංහල අක්ෂර වල මූලික උරුමයයි.සිංහල නීතියේ ප්‍රකාශනයයි.නමුත් අද වන විට බොහෝ ශිලා ලේඛන නිදන් හොරුන්ගේ , ඉඩම් මංකොල්ලකරුවන්ගේ සහ ගල් කොරිකරුවන්ගේ  ග්‍රහණයට අසුවී විනාහ මුඛයට යමින් පවති.මිහින්තලේ අසළ ආනකොට්ට කන්දේ ශිලා ලිපි සියල්ල මේ වන විට විනාශ කර දමා ඇත්තේ ගල් කොරි කරුවන්ය.මේ වැනසෙන්නේ අපේ උරුමයයි.

මතුගම සෙනෙවිරුවන්

 

Monday, July 28, 2025

චෙම්මනී නැත මිනී - රොක් නොවනු කපුටනී

 

                                     


               එක් දහස් නවසිය අනූ හය වසරේ සිදුවූ අහඹු මනුෂ්‍ය ඝාතනයක සාක්ෂි චෙම්මනී ප්‍රදේශයෙන් හමු වීමෙන් පසු සාපරාධී ක්‍රියා පිළිබඳ උනන්දු වූ ජාත්‍යන්තර සංවිධාන ලංකාවට දිව ආහ.එම සිද්දියට අදාළව නඩුව විසඳා අදාළ හමුදා නිළධාරීන්ට මරණ දඬුවම් නියම කෙරුණු අතර කීප දෙනෙකුට සිරිදඬුවම් නියම කෙරුණි. 2000 වසරේ දී තවත් කීප දෙනෙකු නිදහස් කොට අවසන්ය.2025 වසරේ දී නැවතත් චෙම්මනී මිනී වලේ තිබෙන ඇට සැකිළි පිළිබඳ නව උනන්දුවක් ඇති වී තිබේ.අධීකරණ නියෝග මත මේ වන විට වෝහාරික පුරාවිද්‍යඥයකු වන මහාචාර්ය සෝමදේව මහතා එම මිනී වලේ කැණීම් කටයුතු මෙහෙයවයි.ඒ අතර හදිසියේ ද ලංකාවට පැමිණි ජිනීවා මානව හිමිකම් සංවිධානයේ කොමසාරිස් වෝල්ටර් ටර්ක් චෙම්මනී වෙත ගොස් විනාඩි විස්සක් පමණ එය නිරීක්ෂණය කොට එහි රොක් වුණු රාජ්‍ය නොවන සංවීධාන සමග පමණක් කතා බහ කොට ආණ්ඩුවේ සහ විපක්ෂයේ පාර්ෂව කරුවන් කීප දෙනෙකු ද හමු වී නික්ම ගියේය.නමුත් හමුදාවේ විශ්‍රාම ගිය කපිතාන් දසනායක ඇතුලු රණවිරුවන් මුණ ගැසීම ඔහු ප්‍රතික්ෂේප කර තිබේ.

      යාපනය නගරය ආසන්නයේ චෙම්මනී කුලම් නමැති වැව ආශ්‍රිතව තිබෙන ග්‍රාමයේ මේ මිනී වල තිබේ.නව සිය අසූව දශකයේ දී යාපනයේ සෑහෙන භූමි කොටසක් එල්.ටී.ටී. ඊ. සංවිධානයේ ග්‍රහණයට නතු කරගෙන සිටි බව කවුරුත් දන්නා කරුණකි.නවසිය හැත්තෑව දශකයේ දී යාපන නගාරාධිපතිවරයා ඝාතනය කිරීමෙන් පසු හමුදා සෙබළුන් ඝාතනය කිරීමත් සමගම 1983 ඇවිලුණු කළු ජූලිය මත මෙම කොටි ක්‍රියාකාරකම් වර්ධනය විය.1985 දී තිම්පු සාකච්ඡා වට මේසයට රජයට යෑමට සිදු වූයේ කොටි සංවිධානය බලවත් වීමත් ජාත්‍යන්තර සහාය ඔවුන්ට ලැබීමත් නිසාය.සාකච්ඡා අතර වාරයේ ඔවුහු යාපනය පුරා සිය බලය තැන් තැන් වල තහවුරු කර ගත් අතර 1987 දී වඩමරච්චි මෙහෙයුම සිදු කිරීමට රජය පෙළඹී ගියේ මෙම රාජ්‍ය විරෝධී ක්‍රියා මැඩලීම පිණිසයි. අවසානයේ දී ඉන්දීය බලහත්කාරය නිසා 1987 වඩමරච්චි මෙහෙයුම අතර මග නතර කිරීමට සිදු විය. එසේ නොවුණා නම් කොළඹ බලය අල්ලා ජනාධිපතිවරයා ඇතුළු දේශපාලකයන් අත්අඩංගුවට පත් කර ගැනීමට ඉන්දියාව උත්සාහ ගන්නට හැකියාව තිබුණි. කෙසේ වෙතත් කුඩා කුඩා කඳවුරු මේ සාකච්ඡා නිසා ඉවත් කිරීමට සිදු වීම හේතු කොට ගෙන හමුදාව පලාලි ආරක්ෂක මූලස්ථානයටත් යාපන කොටුව ඇතුළු ස්ථාන කීපයක්ටත් සීමා විය.යාපන කොටුවේ සිර වී සිටි සෙබළුන් බේරා ගැනීමට ලසන්ත වෛද්‍යරත්න සහ අරවින්ද මිරැන්ඩෝ යන දෙදෙන එදා බෙල් හෙලිකොප්ටර් යානාවකින් බැස විනාඩි හතක් ඇතුළත කළ වීර වික්‍රමාන්විත ක්‍රියාව හමුදා ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.එය නම් කරන ලද්දේ රාජාලියා මෙහෙයුම යනුවෙනි. ඉන්පසු 1990 දී බලවේගය මෙහෙයුම මගින් අලිමංකඩ මුදා ගැනීමට කළ සටනද ඉතිහාසයට එක් වෙයි. කෙසේ වෙතත් යාපනයේ දිගින් දිගටම රැඳී සිටින කොටි ත්‍රස්තවාදීන්  එළවා යාපනය මුදා ගැනීමට රජයට අවශ්‍යව තිබුණි. එ සඳහා 1995 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා රිවි රැස 1 සහ 2 වශයෙන් විශාල මෙහෙයුමක් දියත් විය.එයට පෙර චන්ඩමාරුතය ,අකුණු පහර ආදී කුඩා මෙහෙයුම් සිදු කර ඇත.මේ මගින් යාපනයත් වලිකාමම් සහ තෙන්මාරච්චි කොටසත් නිදහස් කිරීමට හැකියාව ලැබුණි.



          මේ සියලු සටන් සිදු වූයේ යාපනය නාගරික ප්‍රදේශ තුළයි.නව සිය හැත්තෑව දශකයේ සිටි හමුදා සෙබළුන් මේ වන විට විවිධ පුහුණු ලබමින් විශේෂයෙන්ම නාගරික සහ ගුවන් සංක්‍රමණික සටන් පුහුණු වෙමින් ශක්තිමත් විනය ගරුක හමුදාවක් බවට පත්ව තිබුණි.බ්‍රිතාන්‍ය යුගයේ තිබූ ඇතැම් අහිතකර ලක්ෂණ බැහැර කරමින් ලංකාවට ගැලපෙන හමුදාවක් වශයෙන් ඔවුහු යම් කීර්තියක් දිනාගනිමින් සිටියහ.යාපනය නාගරික සටන් වලදී නිවාස අසළ කෝවිල අසල ඇතැම් විට මහා මාර්ගයන්හි මේ සටන් සිදු වන බැවින් ප්‍රථමව අත් පත්‍රිකා මගින් සිවිල් වැසියන්ට ඉවත් වීමට දැනුම් දීම සම්ප්‍රදාය විය. මුල් කාලයේ දී මේ ඉවත් වන ජනතාවත් රැගෙන කෝවිල අස්සේ සැඟව සිටිමට කොටි හමුදාව උත්සාහ කළහ. ජනතාව මිනිස් පළිහක් ලෙසට එහිදී යොදා ගත්හ. කෝවිල්වල පහර දීමට හමුදාව උත්සාහ නොකළ අතර නාගරික සටන් වලදී අවම යාන්ත්‍රික අවි භාවිතා කරමින් කොටි සාමාජිකයන් එළවා දැමීම සිදු කරනු ලැබූහ. බංකර් ඉඳි කර ඇති නම් පමණක් කාලතුවක්කු භාවිතා කළහ  මේ සටන් වලදී සිවිල් වැසියන් සමග දිව යන එල්.ටී.ටී.ඊ. සමාජිකයන් ට අත්වන මරණය ඒ සමූහයටම සිදු වීම ස්වභාවිකය.එහෙත් ඒ හානිය ක්‍රමානුකූලව වළක්වාගනු ලැබූයේ මෙතෙක් මිනිස් පළිහක් ලෙසට කොවිල් කරා කැඳවා ගෙන ගිය ජනතාව බලවේගය මෙහෙයුමත් සමගම කොටි මගහැර ආරක්ෂිත ස්ථාන කරා යෑම නිසයි.මේ නිසා රිවි රැස මෙහෙයුම සාර්ථක කොට ගෙන යාපනය මුදවා ගැනීමට රජයට හැකියාව ලැබුණි.

         මෙම මෙහෙයුම් අතිශය බිහිසුණු විය.ඉන්දීය මැදිහත් වීමෙන් පුහුණු කරන ලද කොටි සාමාජිකයන් නොයෙකුත් උපක්‍රම වලින් සන්නද්ධ විය.හමුදාව ද ක්‍රමානුකූලව වර්ධනය වෙමින් ඉතාමත් විනය ගරුක පිරිසක් ලෙසට තම රජකාරිය ඉටු කරමින් සිටියහ.මේ නිසා සිවිල් වැසියන් ඝාතනය කිරීමට හමුදාවට වුවමනාවක් නොබුණු අතර එයට හේතු වූයේ විශේෂයෙන්ම මින් පෙර ලද අත්දැකීම් ඔස්සේය. එනම් 1983 කළු ජූලියත්, 1987 අරන්තලා ඝාතනයත්, ඩොලර් ෆාම් කෙන්ට් ෆාම් ඝාතනයත්, ශ්‍රී මහා බෝධි ඝාතනයත් විශේෂයෙන්ම සිහිපත් කළ හැතිය. එම නිසා වඩාත් සංවරව සාමාන්‍ය වැසියන් දිනා ගැනීමට සටන් කළ හමුදාව සිය යුධ උපක්‍රම භාවිතා කරන ලද්දේ කොටි සාමාජිකයන් මර්දනය කිරීමට පමණකි. එහෙත් සටන් වලදී මිය යන හමුදා සෙබළු ද කොටි සාමාජිකයන් ද මරණයෙන් පසු හුවමාරු කර ගැනීමට හැකියාව නොලද අවස්ථා එමටය. මළ මිනී නරක් වීමත් බට්ටන් වළලා තිබීම නිසා ළඟා වීමට නොහැකි වීමත් යන අසීරූ කාරණා නිසා එම මිනී පසුව සමූහ වශයෙන් එකට ගෙන විශාල වලවල් වල මිහිදන් කළ අවස්ථා තිබුණි. ඇතැම් විට මරණයට පත් වූ හමුදා සෙබළුන් ද කොටි සංමාජිකයන් විසින් ගෙන ගිය අවස්ථා තිබූ බව වාර්තා වෙයි.ඒ නිසා සමූහ මිනී වලවල් හමු වීම තුළ සාපාරාධී ක්‍රියා ඉස්මතු කළ හැකි යැයි සිතීම මුළාවකි.එසේම ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරියගේ ගාතනයත් සමූහ මිනී වලවල් එකට ඇඳා තීරණ ගැනීමත් තුළින් සිදු වන්නේ මුළාවක් පමණි.

       චෙම්මනී මිනී වලේ කැණිම් මේ වන විට තාවකාලිකව නවත්වා ඇත. නැවත ජූලි මස 21 දින ආරම්භ කිරීමට නියමිතය.එයින් ඇටසැකිළි කොටස් 62 ක ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායේ කාල නිර්ණය කරන්නේ ද යන්න තීරණය කරනු ලබන්නේ අධිකරණය විසිනි.මෙහි මූලික අතුරු වාර්තාව මහාචාර්ය සෝමදේව මහතා විසින් මේ වන විට භාර දී තිබෙන අතර එහි කිසිම නිගමනයක් අන්තර්ගත නොවන බව දන්වා ඇත.මේ තත්වය මෙසේ වුවද මානව හිමිකම් කොමසාරිස් වරයා පැමිණීමත් සමගම රජය මේ මිණී වල පිළිබඳ මුනිවත රැකි අතර රාජ්‍ය නොවන සංවිධාන සහ එහි ක්‍රියාකාරීන් මලමීනී සොයා එන කපුටන් සේ එහි රැස් වී පච දහස් ගණනක් ප්‍රචාරය කර හැරියේය.හමුදාව විසින් මරා වළ දැමූ මිනී වල මේ යැයි කියා සිටිමින් කළ රංගනය නිසා යළිත් වරක් ජාත්‍යන්තර මැදිහත් වීමක වුවමනාව මතු වී තිබේ.ඉතාමත් විද්‍යාත්මකව කැණීම් සිදු කර මිනී තැන්පත් කළ දින වකවානු කාබන් නිර්ණය මගින් තීරණය කිරීමට සූදානම් වන අවස්ථාවක මෙවැනි දේශපාලන තීරණ ගැනීම රටට අවාසිදායකය.අතුරුදහන් කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ තත්පරන් මහතාගේ ප්‍රකාශය මගින් පැහැදිලි වනුයේ මෙවැනි කාර්යාල යොදා ගෙන ඔවුහු රටට විරුද්ධ විදේශිය යාන්ත්‍රණ මෙරටට ගෙන එන්නට වළිකන බවයි.තමිල් අරසු කච්චි පක්ෂයේ නායකයන් ද මේ අවස්ථාව දඩමීමා කර ගනිමින් මේ ඉල්ලීම සිදු කරති.විශේෂයෙන්ම ජාත්‍යන්තර අභිචෝදකයන් කැඳවීමට ආණ්ඩුවට බල කිරීම සිදු වෙයි.මේ වන සිදු වන්නේ චෙම්මනී පච මුදා හරිමින් ආණ්ඩුව බියපත් කරමින් අත කරකැවීමයි.



    මීට කලින් ද මුලතිවු සහ මන්නාරමේ සමූහ මිනිවල වල් හාරමින් මෙවැනි කලබගෑනියක් කළහ. මන්නාරමේ දී ලැබුණු කාබන් දින නිසා යම් අවුලක්  නිර්මාණය වූයෙන් ඔවුන්ගේ මූලික න්‍යයා පත්‍රය හකුළා ගන්නට පෙළඹුණි.කෙසේ වෙතත් මේ ලෙස මිනී වලවල් හාරමින් ජනතාවගේ හිත් පාරමින් ලබත හැකි සාමයක් සංහිඳියාවක් නැත. අරන්තලා ඝාතනය ,ශ්‍රී මහා බෝධි ඝාතනය,මෙන්ම පොලිස් භටයන් පන්සීයක් ඝාතනය කොට වළලා දමා අවසන්ය.ඒ පිළීබඳ සිංහල සමාජයෙන් කෝපයක් හෝ වියරුවක් දැන් ප්‍රදර්ශනය වන්නේ නැත. ඒ වෙනුවට උතුර දකුණ යනුවෙන් වෙනසක් නොමැතිව එකට කටයුතු කිරීමට කවුරුත් සූදානම්ය. ඒ අතර සිංහලයන් ගේ උතුරු සහ නැගෙනහිර බෞද්ධ උරුමයන් නැවත ප්‍රතිෂ්ථාපනය කිරීමට විරුද්ධ වන්නේ ද මේ මානව හිමිකම් සංවිධාන බව මතක් කළ යුතුය.මෑතකදී ජගත් මානව හිමිකම් සංවිධානයක නියෝජිතයෙකු වූ තෝමස් ඩේවිඩ් නම් නීතිඥයා ත්‍රිකුණාමලයට ගොස් දෙමළ සහ මුස්ලිම් ජනතාව මුණගැසී හින්දු කෝවිල් උඩ බෞද්ධ ආරාම ඉඳි කරන බවට ව්‍යාජ තොරතුරු එක් රැස් කර ඇති බව වාර්තා වේ.නමුත් බහුතර දෙමළ ජනතාව බෞද්ධයන් සමග එකට එකතු වී ඒ ආගමික හැඟීම් බෙදා ගැනීමට කටයුතු කරන බව පැහැදිලිය.එම නිසා රජයේ නිවට පිළිවෙත පිළීබඳ යම් තීරණයක් අවශ්‍ය වන බව කිව යුතුය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ එහි නියෝජිතයන් හමුවේ දී හොර ගල් ඇහිලීම වෙනුවට රටේ තත්වය පිළීබඳ සැබෑ ස්වරූපය හෙළි දරව් කිරීමට ආණ්ඩුව පසුබට නොවිය යුතුය. එපමණක් නොව විපක්ෂ නායක වරයාද එහිදී දරණ දියාරු පිළිවෙත අගය කළ නොහැකිය. ඔහුද මේ ප්‍රශ්ණය පීළිබඳ කිසිම වැටහීමක් නොමැකිව ජාත්‍යන්තර විනිශ්චයක් ඉල්ලයි.එය මරි මෝඩකමකි. රටට ද්‍රෝහී විමකි.

මතුගම සෙනෙවිරුවන්



Saturday, July 19, 2025

විෂය මාලා ප්‍රතිසංස්කරණය සහ රටට ගැලපෙන අධ්‍යපානය

 

                            


           වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අරභයා මේ දිනවල රට තුළ විවෘත සංවාදයක් ඇතිව තිබේ. ඉතිහාසය විෂය සා.පෙ. විභාගයේ දී තෝරා ගත යුතු විෂයක් වශයෙන් ඇතුළත් කිරීමට රජය තීරණය කිරීම ඊට හේතුවයි.ඉතිහාසය, භාෂාව ,ආගම මෙන්ම තාක්ෂණය අප  උගත  යුත්තේ ඇයි ද යන්න පිළිබදව මූලිකව නිගමනයක් නොතිබීම මෙයට මූලික හේතුව යයැයි කල්පනා කළ හැකිය. ලංකාව වැනි ඓතිහාසික ශිෂ්ඨාචරායක් හිමි රටක් ඉදිරියට පැමිණ ඇත්තේ තමන්ගේ අනන්‍යතාවය මතින් බැවින් තවදුරටත් නූතනත්වය ඔස්සේ වර්ධනය වන්නට නම් අතීත පදනම් මත නැගී සිටිය යුතු බව පැහැදිලිය.ඊට අමතරව ධ්‍යාපනය සහ අධ්‍යාපනය අතර තිබෙන වෙනස තේරුම් ගනිමින් ඓතිහාසික වශයෙන් බුදු දහමෙන් පෝෂණය වූ ශික්ෂණ රටාවක් ප්‍රගුණ කිරීමේ වැදගත් කමද මෙහිදී විශේෂයෙන්ම සිහිපත් කළ යුතුය. නමුත් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරනුයේ ඒ අරමුණින් නොවේ. විදෙස් අරමුදලකින් ලබා ගන්නා මුදල් මත ඒ අය යෝජනා කරන ධාරාවන් අච්චු ලෙසට ගෙන එබ්බවීම මෙහි හැටියයි.ඒ නිසා ඉතිහාසය විශය හෑල්ලු කිරීම පමණක් නොව පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පීලිබඳව ද මෙහිදී යම් සංවාදයක් රට තුළ ඇති විය යුතු බව පැහැදිලිය.

       මෙරට පැරණි අධ්‍යාපනය සකස් වූයේ විහාරස්ථාන ආශ්‍රයෙනි.පිරිවෙන මගින් උසස් අධ්‍යාපනය ලබා දෙන ලදී. අකුරු ශාස්ත්‍රය හැදෑරීම මෙහි මූලික පියවරයි. වැලි පිල්ලේ අකුරු ලියැවීම පුරාණ ක්‍රමය විය. එහිදී ඇඟිලි තුඩු වලට දැනෙන තෙරපීම ක්ෂණිකව පණිවුඩයක් ලෙසට මොලේ කරා යයි. මතක ශක්තිය, මතකය ගබඩා වීම ආදී කරුණු නිසා අධ්‍යත්මිකව පුද්ගලයෙකු සතු ප්‍රාගුණ්‍ය එහිදී හොඳින් ප්‍රකට කරවන බව දැක්විය යුතුය. අකුරු ඉගෙන ගත් දරුවා පොත් වන පොත් කරන අතර ඒ තුළින් ක්‍රමයෙන් භාෂාව, ව්‍යාකරණ, ඉතිහාසය ඉගෙනීමට පටන් ගනී.පංසලේ අකුරු කරවන දරුවා නිවසට ගිය පසු සිය සාම්ප්‍රදායික ජීවන රටාව අනුව තවදුරටත් උගෙන ගන්නට වෑයම් කරයි. විශේෂයෙන්ම ගොවිතැන පීළිබඳව එදිනෙදා ශිල්ප ක්‍රියාකාරකම් විශේෂ තාක්ෂණ පරිචයන් පිළිබඳව දරුවාට දැනෙන්නට පටන් ගනී. ඒ පුද්ගලයා ඒ අතර ජීවත් වන බැවින් ඒ ඉගෙනීම ආගන්තුක නැත. නීරසද නැත.වැඩිහිටියෙකු බවට පත් වන කල්හි පංසලෙන් ලැබූ දැනුමත් සමාජයෙන් ගොවිපලෙන් ගමෙන් ලැබූ දැනුමත් එකතු කරගෙන පොත් පත්ද කියවමින් පරිණත වැඩි හිටියෙකු බවට පත් වෙයි.මේ අධ්‍යාපනය එකල ජන ජීවිතයට ප්‍රමාණවත් විය.

         බ්‍රිතාන්‍ය පාලනයට රට පවරා දෙන කල්හි පිරිවෙන් හය දහසක් පමණ පැවති බව ප්‍රකාශ වේ.එසේම විහාරස්ථාන ආහ්‍රිතව තිබෙන ශාස්ත්‍ර ශාලා විශාල ගණනකි.  පැවති දේශීය අධ්‍යාපනය ක්‍රමය ඉංග්‍රීසීන්ට හිසරදයක් විය. එම නිසා මිෂනාරි පාසල් ආරම්භ කිරීම පිණිස කොලඹ සහ යාපනය තෝරා ගැනුණි. යාපනය ඇමරිකානු මිෂ්නාරීන්ට භාර දුන් අතර දකුණ අනෙකුත් ක්‍රිස්තියානි නිකායන් වෙත ලබා දුන්හ. මෙම මිෂනාරි පාසල් වල අනුගමනය කරනු ලැබූයේ බ්‍රිතාන්‍ය සම්මත අධ්‍යාපන ක්‍රමවේදයයි.ඒ මගින් ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතී සේවකයෙකු බිහි කරගැනීම අභිප්‍රාය විය. එය සාර්ථක විය.මේ අතර පිරිවෙන් පාසල් වල ක්‍රමානුකූල බිඳි වැටීම සමගම විශේෂයෙන් 1818  සහ 1848 විමුක්ති අරගල වලින් පසුව භික්ෂූන් වහන්සේලාට ශක්තිමත්ව නැගී සිටින්නට හැකි වූයේ ධනවත් වයාපාරිකයන්ගේ සහයෝගයෙනි.විශේෂයෙන්ම දකුණේ දොඩන්දූවේ ශෛලබිම්බාරාමයේ දී 1864 දී සරස්වතී මණ්ඩප පිරිවෙන ආරම්භ කරමින් විහාල ආගමික හා ශාස්ත්‍රීය ප්‍ර බෝධයක්  ජනිත විය. රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන මගින් ද මේ කාර්යය වඩාත් පුළූල්ව ඉටු කරන ලදී.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1869 දී පළමු බෞද්ධ පාඨ ශාලාව දොඩන්දූවේ දී බිහි විය.එම පාඨ ශාලාව ජින ලබ්ධි විශෝධක පාසල යනුවෙන් නම් විය. ඒ අගනා කර්තව්‍ය ආරම්භ කරන ලද්දේ දොඩන්දූවේ පියරත්න තිස්ස නාහිමියන් විසිනි.

         පියරත්න තිස්ස නායක හිමියන් ගේ පාසල් ක්‍රමය සහමුලින් ම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් විය. අකුරු ශස්ත්‍රය ඇරුණු කොට උන්වහන්සේගේ විෂය මාලාවට බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක් ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ පළමුවන පාඩම් පොතයි. දෙවනුව බුද්ධ වන්දනාවත් තෙවනුව සරණත්තය දීපනී නම් ග්‍රන්ථයත් සිවුවනුව ජිනධර්ම විකාශිනී නම් ග්‍රන්ථයත් පස්වෙනුව සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථයත් ඇතුළත් වූහ. මෙයින් සරණත්තය දීපනී නම් ග්‍රන්ථයෙන් සරණාගමන ආනිශංස ප්‍රකාශ කිරිමත් ජින ධර්ම විකාශිනීය සරණාගමනේ පටන් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන කර්ම විපාකය දැක්වීමටද සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සතර කර්ම ක්ලේශයන් සතර අගති ආදියද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන් දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර තර තිබුණි. ‍ස්‍යොර්ථ දීපනියෙහි බුද්ධ චරිතය සවිස්තරව ද චතුරාර්ය සත්‍යය ආදී ධර්ම විභාගය ද බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන් මෙලොව පරලොව වැඩ සාදන අයුරුද තුන් සූත්‍රය හා එහි සරල අදහස් අන්තර්ගතව තිබුණි.මේ තත්ත්වය එකල හැටියට බෞද්ධ දරුවෙකු බිහි කිරීමට ප්‍රමාණවත් පරිදිම විය.මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිංහල කියවීමට හා ලිවීමට බෞද්ධ පූජකයන් විසින් වඩාත් හොඳින් උගන්වනු ලැබේ යයි 1833 දී ලංකාවට පැමිණි කොල්බෘක් කැමරන් කමිටුව ඉදිරියේ ආච්ඩිකන් වරයා කළ ප්‍රකාශය මෙහිදී සිහිපත් වේ.බෞද්ධ දරුවන්ට සුදුසු අධ්‍යාපනය කුමක්දැයි දන්නේ උගත් නැණවත් භික්ෂූන් වහන්සේලා පමණකි.දශක කීපයකට පසුව පියරත්න තිස්ස නායක හිමියන් අතින් එය නැවත ප්‍රතිෂ්ඨාපනය විය.

       දොඩන්දූවේ පාසලත් සමග පාණදුර උපාධ්‍යයා පාසලත් අනතුරුව 1881 න් පසු ඔල්කට් තුමාගේ මෙහෙයවීම මත පරම විඥානාර්ථ පාසල් රැසක් රට පුරා ඇති විය.1868 දී ආධාර ලබන පාසල් ලියාපදිංචිය ඇරඹීම මෙම ක්‍රියාවලියට හේතු විය. මෙහීදී මිෂනාරි පාසල් අනුගමනය කරන අධ්‍යාපන ක්‍රමවේදයට නිතැතින්ම මේ පාසල් වලට හුමමාරු වීම සිදු විය.මුල් කාලයේ දී දරුවාට ලබා දුන් බෞද්ධ අධ්‍යාපනය ක්‍රමානුකූලව වෙනස් වී  රජය අනුමත ක්‍රම වේදයකට පරිවර්තනය විය. කෙසේ වෙතත් ඉතිහාසය, භූගෝලය ,සෞඛ්‍ය ආදී වැදගත් විෂයයන් එහිදී ඉගැන්වීම අගය කළ යුතුය.මහාවංශය, දීප වංශය, පූජාවලිය, රාජාවලිය ,බෝධිවංශය, ථූප වංශය පදනම් කරගෙන ඇති කරන ලද ජාතික හා ශාසනික අභිලාශයන් එස්.ජී.පෙරේරා, කොඩ්රින්ටන්,ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වැනි ඉතිහාස ග්‍රන්ථ කල අයගෙන් ඉටු නොවුණු නමුත් පිරිවෙන් වලින් බිහිවූ ශාස්ත්‍රීය උගතුන් නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන පිරිස ඉතිහාස දැනුමන් මනාව සන්නද්ධ විය.

         වර්තමානයේ තිබෙන්නේ නව තාක්ෂණික යුගයකි.එයට සවිමත්ව මුහුණ දීමට දරුවන් පුහුණු කිරීම වැදගත්ය. එහෙත් විශිෂ්ඨ සම්ප්‍රදායක් බිහි කළ ජාතියක අනාගත රැඳි පවතින්නේ සිය ඉතිහාසය සහ සම්ප්‍රදාය මත බව තේරුම් ගැනීම වැදගත්ය. එසේම සාර්ධර්ම මගින් ලැබෙන ශික්ෂණය ඉතා වැදගත්ය. එය අපට ලබා දෙනනේ බුදු දහමෙනි. එය තවත් ආගමක් නොවේ. අධ්‍යාපන අමාත්‍යංශයට එය තවත් ආගමක් වුවද එය ජීවන දහමකි.අනාගත වැඩිහිටියා සිය ශික්ෂණයෙන් යුතු වගකීම ඉටු කරනුයේ කුසලානුකුසල අවබෝධයෙනි. හොරකම්, දූෂණ, මංකොල්කෑම වැඩි සමාජයකට හොඳ නරක තේරුම් ගත් මිනිසෙකු අත්‍යවශ්‍ය වේ. එසේම රටක් වශයෙන් ජාතික අභිමානයක් අවශ්‍ය වේ.ඒ සඳහා තැනින් තැනින් අහුලා ගත් ඉතිහාස කෑලි ටිකක් පුරුද්දා සර්වාගමික පචයක් දරුවාගේ මනසට කාන්දු කරවා සමරිසි සේවනයේ අගය කියාදීමෙන් පලක් නැත. දරුවා හොඳ මානවයෙකු විය යුතුය.ඒ සඳහා යොමු කරන අධ්‍යාපනය සකස් කිරීමට අවශ්‍ය වීශය මාලා තෝරා සිදු කළ යුත්තේ මෙරට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විද්වතුන් විසිනි. විදේශීය මුදල් වලට වහ වැටී මෙරටට නොගැලපෙන උගෙනුම් රටා තව දුරටත් මෙහි පැලපදියම් කිරීමෙන් වනුයේ අදීන මිනිසෙකු බිහි වීමට තිබෙන ඉඩකඩ නැතිවීමයි. ඉතිහාස විශය පිළීබඳ ප්‍රතිසංස්කරණ කරුවන් සිතන ආකාරය අනුව අපට කිව හැක්කේ දේශීය මුල් උදුරා ගත් කලු සුද්දන් රැහැනක් විසින් මෙරට අධ්‍යාපන ක්‍රමවේදය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව සියතට ගෙන ඇති බවයි. ඒ වෑයම පරාජය කළ යුතුයි.

මතුගම සෙනෙවිරුවන්

Friday, July 11, 2025

යළි පුද දිය යුතු නිල්ලක්ගම බෝධිය

 



         කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැගෙනහිර හතලිස්පහ කෝරළයේ ගල්ගමුව නිටලුව හෙට්ටිගම වැව්කණ්ඩිය අසබඩ පිහිටා තිබෙන නිල්ලක්ගම බෝධිඝරය දැනට හොඳ තත්ත්වයෙන් ඉතිරිව පවතින අගනා වාස්තු නිර්මාණයකි.දළදා වහන්සේ රැක ගැනීම උදෙසා රහස් මාර්ග ගෙවා පැමිණි  බ්‍රාහ්මණයෙකු නවාතැන් ගත් ස්ථානයක් වශයෙන් මෙම ස්ථානය ජනප්‍රවාද ගතය. පසුව මෙම ස්ථානයේ බෝධීන්වහන්සේ නමක් රෝපණය කොට ඇති බවත් අනුරාධපුර යුගයේදී විශේෂයෙන්ම වලගම්බා රාජ්‍ය සමයේ දී එම ස්ථානය සංවර්ධනයට බඳුන් වූ බව ජන ප්‍රවාද ගතය.ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ ප්‍රථම අංකුර අටෙන් එකක් රෝපණය කළ ස්ථානයක් නොවුණද ඉන්පසුව යටකී පූජනීය තත්වය හමුවේ රාජ්‍ය ප්‍රසාදය මෙම ස්ථානයට ගැබී ඇති බව තේරුම් ගත හැකිය.දළදා වහන්සේ වැඩ සිටි ස්ථානයක් නම් දළදා මන්දිරයක් ගොඩ නැන්වීමට උත්සුක විය යුතුය. නමුත් මේ ස්ථානයේ බෝධියක් රෝපණය වීම තුළින් මතු කර ගත හැකි ඉතිහාසයක් ඇත. මෙම ස්ථානය පරීක්ෂා කර බලන කල්හි අපට තේරුම් ගත හැකි වන්නේ අනුරාධපුර යුගයටත් ප්‍රථම බුදුන් වහන්සේ ගේ ලංකාගමනය අවස්ථාවේ උන්වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටි ස්ථානයක් ලෙසටය.

     ජය ශ්‍රී මහා බෝධිය හා බැඳුණු සාහිත්‍යයක් මෙන්ම දේශපාලනයක්ද ඇත. වන්දනාවට මෙන්ම ප්‍රදේශ පාලනයට ද බෝධි වන්දනා පරිසරය යොදා ගෙන ඇත. රුහුණේ චන්දනග්‍රාම බෝධි රෝපණය උදාහරණ වශයෙන් දැක්විය හැකිය.මෙම බෝධි ඝරය මෙතැන ඉඳි වන්නේ අට සහ නවවන සියවස් අතර කාලයක බව දැනට පවතින මතයයි. ඊට හේතුව වී ඇත්තේ නවවන සියවසට අයත් ශිලා ලේඛනයක් මෙම බෝධි ඝරයේ බටහිර දොරටුව ආසන්නයේ ප්‍රාකාරයේ දක්නට තිබීමයි. මොනරගල් බුද්මි යනුවෙන් ආරම්භ වී මෙ දස ඇතුන් කරවා මහබො පිදූ පින්හි බෙලෙන් අනුත්තර සම්මා සම්බුදු වෙම්වා යනු මේ කැටයම් වලට දායකත්වය දුන් ජන ප්‍රධානියාගේ ප්‍රර්ථනාව විය.මොනරගල් බුද්ධ නමැත්තා මහ බෝ පුදන්නේ මෙම බෝධියට දායක වීමෙනි. ඔහුගේ පැතුම සම්බෝධියයි.එය දුෂ්කර වුවත් බුදු බව පැතීම සඳහා කළ කැපවීම නිර්මාණයෙන් ප්‍රකාශ වේ.බෝධි රෝපණය සමග එය වටා සංවර්ධනය වූ සිද්ධස්ථානයක ස්වරූපයක් මෙහි නැතද බෝධියේ විශේෂත්වය මහත් ගෞරවයෙන් සැලකූ බව පෙන්වන්නේ මෙම බෝධි ඝරය නිර්මාණයට දක්වන මහන්සිය කැපවීම දුටු විටය.

     මෙම වාස්තු නිර්මාණයේ සම්ප්‍රදාය පිළිබඳ පසුකාලීන මූලධර්ම පැහැදිලි වුවද එහි පසුබිම නම් පූර්ව අනුරාධපුර සම්ප්‍රදායයි. එවැනි සංකල්පයක් මතු කරන්නට හේතුව වශයෙන් දැක්විය හැක්කේ මෙහි ගල්කම් වල දැවැන්ත ආකාරය පධාන ඝරයන්හි දැවැන්ත බවට සමාන කම් දක්වන බැවිනි.ලංකාවේ පධාන ඝර තිබෙන රිටිගල ,මානෑ කන්ද වැනි ස්ථාන දහහතර  පිළිබඳ සාපේක්ෂකව සිතන කල්හි ගල්වැඩ තුළින් මට සිළුටු නිර්මාණයක් කර ගෑනීමට දක්වා ඇති දස්කම් හි ගැඹුර පෙන්නුම් කළ හැකිය. ඒ තුළින්  යම් වෙනස් ඉතිහාසයක් ගැන කල්පනා කළ හැකිය.ගල් පතුරු කිරීමට පර්වතයන්හි  එක පෙළට කුඩුම්බි සාදා ගැඩුබ හෝ වල්ලා පට්ටා ලී කූඤ්ඤ ගසා ජලය වත් කරන බව අප අසා ඇත. එහිදී රැයක් තුළ මෙම කූඤ්ඤ ජලයෙන් ඉදිමී කුඩුම්බි පේළිය දිගේ පැලුම් ඉරක් ගමන් කරයි. ගල් පලුව  ඉන්පසු වෙන් කර ගනු ලබන්නේ සරල ඩබරයක් ආධාරයෙනි. පසුව යම් කිසි අප නොදන්නා ශිල්පයක් භාවිත කොට ගලේ මතුපිට තරමක් මෙළෙක් කොට ගෙන අවශ්‍ය වැඩ දැමීම කළ බව සිතිය හැකිය.මෙවැනි අලංකාර ගල්කම් සහ නිර්මාණ කරන්නට පැරණි හෙළයන්ට තිබූ දැනුම පසුව ක්‍රමයෙන් ගිලිහී ගොස් ඇති බව සිතන්නට හැකිය.



        අනුරාධපුර යුගයේ දේවානම්පියතිස්ස රාජ සමයෙන් පසුව පිලිස්සූ ගඩොල් භාවිතය ජනප්‍රිය විය. එතැකින් ගල් වඩු කම් තාක්ෂණයෙහි යම් පසුබෑමක් ඇති වන්නට ඇත.නිල්ලක්ගම යනු නිල් යක් ගම යනුවෙන් අර්ථ දැක්වීම උචිතය. කැකිරාව ඉපලෝගම තිබෙන නීලගිරි කන්ද (මානෑ කන්ද ) අරක් ගෙන සිටි නිල්ගිරි යක්ෂ සේනාධිපති ගේ අඩවියක් වන මෙම බෝධිඝරය පිහිටි ප්‍රදේශය ගැන තවතවත් විමසා බැලුව හොත් සැබෑ ඉතිහාසය අපට මතු කර ගත හැකි වනු ඇත..1895 වසරේ දී   පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි එච්.සී.පී.බෙල් මහතා විසින් මෙම ස්ථානය මුල් වරට සොයා ගෙන ඇත. මේ ස්ථානය හෙළි පෙහෙළි කිරීමෙන් පසු නිදන් හොරුන් ගේ ග්‍රහණයට ලක් වී ඇත. ගසක අත්තක් කඩා වැටීමෙන් නැගෙනහිර දොරටුව හානියට පත් වී තිබේ. 1895 වසරේ පුරාවිද්‍ය වාර්තාවේ මෙම ස්ථානයේ සුවිශේෂිතත්වය ගැන බෙල් දක්වන කරුණු අනුව ගල් කැටයම් වල වටිනාකමත් වාස්තු විද්‍යා වේ හැඩරුවත් පිලීබඳ අලුතෙන් සිතන්නට පෙළඹීමක් ඇති කර දෙයි.1954 දී මහාචාර්ය සෙනරත් පරණ විතාන මහතා අපිළිවෙලට තිබූ බෝධි ඝරය නැවත සංරක්ෂණයට ලක් කරන ලද්දේය.එහි නියම ස්වරූපය මතු වූයේ ඉන්පසුවයි.ඇතුළත බෝධි ඝරයේ භික්තියේ සිංහ රූප පෙළ අදීන නිර්මාණයකි.සිංහලයාගේ චිහ්නය සිංහ සංකේතයට නව අරුත් සපයමින් මෙම රූප පෙළ පැතලිව නිමවා තිබේ.ලංකාවේ ප්‍රථම බෝධි ඝරය ලෙසට සැළකෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීය මෙන් විශාල පෙදෙසක පැතිරී නොපැවතුණද ඉතා චාම්ව සැකසුණු මෙම බෝධි ඝරය ගල් කැටයම් කලාවේ විශේෂ ස්ථානයක් වෙයි.මෙහි වාස්තු හැඩ තල වල දිග පළල සළකා බැලූ කළ හරි හතරුස් ස්වභාවයක් ගනී. රියන් පමණින් ගැනීමෙන් පැරණි විශ්ව කර්ම වාස්තු ගණිතය සිහිපත් වේ.නැගෙනහිරට සහ බටහිරට දක්වන දොරටු තුළින් ගම්‍ය වනුයේ සූර්ය උදාවත් බැස යැමත් මෙම ස්ථානයේ පාරිශුද්ධත්වයට කෙතරම් ප්‍රයෝජනවත්වී ද යන්නයි.දක්ෂිණාවර්තව පැදකුණු කරන බුද්ධ ශ්‍රාවකයා බෝධි වන්දනයේ පූර්ණත්වයට පත් වන්නේ නැගෙනහිර මල් අසනයේ මල් පිදීමෙන් සහ බටහිර මල් ආසනයෙන් අනිත්‍ය මෙනෙහි කිරීමෙනි.මේ අධ්‍යත්මික සුවය විඳීමට ගල් කැටයම් හෝ වාස්තු නිර්මාණ වැදගත් නොවුවද පුරාවිද්‍යාඥයාට සහ වාස්තු විද්‍යාඥයාට එය වැදගත්ය. ඔහු ඒවා රකින්නට මහන්සි වේ.

එහෙත් කුසලය සහ අකුසලය අතර තර්කන බුද්ධියෙන් දෝලනය වන සැදැහැවත් බෞද්ධයා ලෝභ ද්වේශ මෝහ මග හැර අකුසලය සිත් බැහැර කර කුසලය දෙසට යොමු වන්ට මෙම ආමිසය හේතු පාදක වේ.යමක ප්‍රකරණයේ දක්වන පරිදි කුසලයට මූල වන අවස්ථා ද විවිධය. ඒ පිළිබඳ සිතත්ම තර්කයෙහි එලඹි නිරවුල් වන විට පැහැදිලි කුසල් සිත ඇති කර ගැනිමට බෞද්ධයාට අවස්ථාව එළඹේ. පුරාවිද්‍යා වේ වටිනාකම් වල එය නැත.සංරක්ෂණ මූල ධර්ම සංරක්ෂණ නියෝග සහ ජාත්‍යන්තර සංරක්ෂණ ප්‍රමීතීන් යනුවෙන් මෑතකදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරයා චක්‍ර ලේඛනයක් නිකුත් කර තිබෙන්නේ පුරාවිද්‍යා විෂයට ගෝචර වන වපසරිය සහ නීතිය මතක් කර දෙමිනි. සිංහල බෞධයාට එය වැදගත් වනුයේ ඉතිහාසය දැන ගැනීමට  අධ්‍යනයට සහ ස්මාරකය ආරක්ෂා කිරීමට පමණකි. ඔහු හෝ ඇය ඉන් එපිට ශ්‍රද්ධාවන්තයෙකු විය යුතුය.කෙලෙස් තැවීමට  ප්‍රවේශ වන්නකු විය යුතුය.මෙම නිල්ලක්ගම බෝධි ගරය අපට වැදගත් වන්නේ එහෙයිනි. මොනරගල් බුද්ධ යම් ප්‍රාර්ථනයක් කලේ ද ඔහු ගේ අරමුණ අනුව නිවනට මග හදා ගැනීම ට මෙවැනි නික්ලේශී ස්ථාන ඉතා වැදගත් වේ.මෑත කාලයේ දී 2017 දී පමණ මෙම බෝධි ඝරයේ නැවත කුඩා බෝ පැළයක් රෝපණය කර තිබුණි. දැන් එය වැඩී ඇති වාට නිසැකය. මෙම ස්ථානය අවට පැරණි ස්ථූප ගොඩැල්ලක් හමුවන අතර යම් හාස්කම් පිරි ප්‍රදේශයක් ලෙසට ගැමියන්ගේ පවතින විශ්වාසය නිසා හෙට්ටිගම වැව් කන්ඩියේ ඇති කෝන්ගසට වන්දනා මාන කරන සිරිතක් ද පවතී. මෙම සිරිත් විරිත් ජන ආගමට සම්බන්ධ නමුත් බුදුන් වහන්සේ පිට දුන් ජය ශ්‍රී මහා බෝධියට දක්වන කෙළෙහි ගුණය සහ ඒ මගින් මනුෂ්‍ය ජීවිතයට ලැබෙන ශාන්තිය සුවිශේෂිය. නිල්ලක්ගම බෝධි පරිශ්‍රය යළි මහඟු පුදබිමක් බවට පත් විය යුතු වන්නේ එහෙයිනි.එවිට ශ්‍රද්ධාවත් බෞද්ධයන් අතින් මෙම පරිශ්‍රය සුරැකෙනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

Thursday, June 19, 2025

නතදිව බුජමෙහි බොදු සළකුණු

 

                                          


                  මෙකළ යාපනය ලෙස හඳුන්වන ප්‍රදේශය අතීතයේ දී හඳුන්වන ලද්දේ නාග ද්වීපය යනුවෙනි. වල්ලිපුරමෙන් හමු වූ වසභ රාජ්‍ය සමයට අයත් එනම් දෙවන සියවසට ගැනෙන රන් සන්නසේ සඳහන් නකදිව යනු නාග ද්වීපයයි. 'අමතෙ ඉසිගිරයෙ නකදිව බුජමෙනි' යනුවෙන් එහි දක්වා ඇති අතර පියගුකතිස නම් විහාරයක් කරවා ඇති බව සඳහන්ව ඇත..වර්තමාන වඩමාරච්චි තෙන්මාරච්චි පච්චලේපල්ලේ සහ මලලගම නොහොත් මල්ලාකම් යන ප්‍රදේශ තුන ද ඩෙල්ෆ්ට් කයිට්ස් පුන්ගුඩු දිව් නයිනතිවු කාරතිවු කච්චතිවු ආදී දූපත් සමූහය ද නාග ද්වීපයට අයත්ය.ක්‍රි.වර්ෂයට පෙර වසර හත්දාහකට පමණ පෙර සිදුවූ මුහුදු ගොඩ ගැලීම් සහ ස්වභාවික වෙනස් කම් නිසා වර්තමාන යාපන අර්ධ ද්වීපය මෙවැනි භූ විෂමතා ලක්ෂණ අනුව නිර්මාණය වී ඇත.ටොලමි ගේ සිතියමේ දක්වන නගදිප වර්තමානයට වඩා වෙනස් වන්නේ මෙම වෙනස් කම් නිසා බව පැහැදිලිය.

          නාග ද්වීප නාමය ඇති වන්නේ නාග නම් ජන කොටසක් එහි ජීවත්ව සිටි බැවින් සහ පාලනය කළ නිසා බව කියැවෙන අතර මයියංගනය අසළ ව්‍යවහාර වන නාග ද්වීප නාමය නිසා ඒ සම්බන්ධව මත බේදයක් ද ඇති වී තිබේ.මේ නාගයන් උතුරේ මෙන්ම රුහුණේ ද ජීවත්ව සිටි බැවින් රුහුණු නාග ද්වීප ව්‍යවහාරය පවතින බව විද්වතුන් ගේ මතයයි.මේ මත බේදය නිසා බුදුන් වහන්සේ වැඩම කළ නාග ද්වීපය පිළීබඳව වැරදි අර්ථ කථනයක් ද සමාජ ගතව තිබේ. චූලෝදර මහෝදර නා රජුන් අතර  මිණි පළඟ උදෙසා ඇති වූ  ගැටුම සහ බුදුන්වහන්සේ එය සමනය කිරීමට වැඩම කිරීම යන කාරණා මහා වංශය සහ මහා වංශ ටීකාව වැනි ග්‍රන්ථයන්හි දක්වා තිබේ.මහා වංශ ටීකාවේ 45 වන ගාථාවේ සිට ඒ බැව් විස්තර වේ. බුදුන් වහන්සේ ගේ නාගදීපාගමනය නිසා නාගයන් බෞද්ධයන් වූහ. පර්වතවාසී නාගයන් වූ චූලෝදරයන් මහෝදරගේ බෑනණුවන් වූහ. ඔවුන් ජීවත් වූ ප්‍රදේශය වර්තමාන මුලතිවු දිස්ත්‍රික්කයේ නෙදුන්කර්නි අසල තිබෙන පැරණි බෞද්ධ ආරණ්‍යයක් වූ වඩ්ඩමාන පර්වත ප්‍ර දේශය බව  පී. වීරසිංහ මහතා සිය 'නාගයන්ගේ පා සටහන්' නමැති කෘතියේ පෙන්වා දී තිබේ.පර්වතවාසී නාගයන් අභ්‍යන්තර පරිපාලනයේ යෙදුණු අතර සමුද්‍රවාසී නාගයන් නාවික ගමනාගමනයේ ද යෙදුණු බව විවිධ විද්වතුන් පෙන්වා දී ඇත.මේ නිසා දිවයින වටා තිබෙන මුහුදු තීරයේ පසු කාලයේ ඉඳි කරන ලද විවිධ බෞද්ධ සිද්ධස්ථානයන්ට  මේ සමුද්‍රවාසී නාගයන්ගේ සෘජු අනුග්‍රහය ලැබී ඇතැයි කිව යුතුය. නාවිත වෙළෙදාමේ නිරත වී සිටීම නිසා මේ නාග ජන කොටස  ධනවත් පිරිසක් විය. එම නිසා අනුරාධපුර යුගයේ පසු කාලීන රජවරු නාග අභිධානය යොදා ගෙන තිබේ.ඛල්ලාට නාග චෝරනාග ආදී නම් අපට රාජාවලියේ හමුවන්නේ එම නිසායැයි සිතිය හැකිය.

             උතුරු දඹදිව රාජ්‍ය පාලනයෙහි නියුතු ශාක්‍ය වංශය මුල් සූර්ය වංශයට අයත් ශාඛාවකි. මේ වංශාවලියට අයත් රාජාවලිය බුදුන් ජීවමාන කාලයේ දීම අර්බුදයට පත් විය.විඩූඩභ විසින් ශාක්‍යවංශය විනාශ කිරීමට තැත් කිරීම හේතු කොටගෙන බොහෝ කුමාරවරු ලක්දිවට පැමිණියහ.විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ තිබුණූ තඹ නිධි නිසා එය වටා සංවර්ධනය වූ ආර්ථික තත්වයන් නිසා කුඩා ප්‍රාදේශීය රාජ්‍ය බිහි විය.මේ වන විට අනුරාධපුර කේන්ද්‍ර කොට ගෙන ඇතිව තිබූ බෞද්ධ රාජ්‍යය ව්‍යාප්ත කරලීමට හේතු වූ රාජ්‍ය අනුග්‍රහය වැඩි වර්ධනය වන්නේ පෙර සඳහන් කළ නැගෙනහිර ශාක්‍යවංශිකයන් ගේ ක්‍රියාකාරිත්වයයි.ජය ශ්‍රී මහා බෝධි රෝපණ උළෙලට රහුණෙන් පැමිණි ක්ෂ්ත්‍රියන් චන්දන ග්‍රාම වාසීන් විය.මෙවකට නාගද්වීප වාසි රජවරුන් දීපවාසී කෂ්ත්‍රියන් විය. ජය ශ්‍රී මහා බෝධිය වඩමවා පැමිණි පසු ඒ සමග පැමිණි ක්ෂ්ත්‍රිය කුමාරවරුන් නාග ද්වීපයේ එවක මලලගම පෙදෙසෙහි පදිංචි කරවා ඇත. වර්තමානයේ චුලිපුරම් යනුවෙන් ව්‍යවහාර වන්නේ ඔවුන් ජීවත් වූ කලාපයයි.

          දේවානම් පියතිස්ස රජ දවස දී සිදු වූ මේ පරිවර්තනය නිසා නාගද්වීප ප්‍රදේශයේ විශාල බෞද්ධ සිද්ධස්ථාන රාශියක් බිහි විය. ශ්‍රී මහා බෝධිය පිළිගත් ස්ථානය වන දඹකොළ පටුනේ ජම්බුකෝළ විහාරය ද ප්‍රාචීනාරාමය සහ තිස්ස විහාරය ද තනා පසුව ශ්‍රි මහා බෝධියේ ශාඛාවක් තිස්ස මළුවෙහි ද රෝපණය කරවා ඇත. ක්‍රි.ව. 136 දී මහළුනා රජතුමා අතින් ඇල්ගිරිය විහාරය ද ඒ රජුම තිනවේලි විහාරය ද කණිෂ්ඨතිස්ස රජතුමා රාජායතන ධාතු ගෘහය ද වෝහාර තිස්ස රජතුමා තිස්ස විහාරයේ ඡාතු කර්මය ද ගොළුනා සෙනෙවියා විසින් තිස්ස විහාරයේ ප්‍රාකාරය ද තුන්වන අග්බෝ රජු රාජායතන ධාතු ගෘහයේ ප්‍රතිසංස්කරණයක් ද පළමුවන විජයබාහු රජු ජම්බුකෝල විහාරය ප්‍රතිසංස්කරණය ද කර තිබේ. මේ පිලිබඳ වංශකතා රැසක සඳහන්ය. යාපන අර්ධ ද්වීපයේ පස වැලි මිශ්‍ර හුණූගලින් යුක්තය. ග්‍රැනයිට් පාෂාණ එහි දක්නට නැත. මේ නිසා ඉඳි කිරීම් වලදී බහුලව යොදා ගනු ලබන්නේ හිරිගල්ය. පශ්චිමාරාමය නොහොත් වර්තමාන කදුරුගොඩ විහාරයේ තිබෙන ස්ථූපයන් සකස් තර තිබෙන්නේ මේ හිරිගල් වලිනි. ඒ සමගම සෑම බෞද්ධ සිද්ධස්තානයක් අසලම සෑහෙන ප්‍රමාණයේ පොකුණක් දක්නට ලැබේ.එවා  ඉඳි කිරීමට  හිරිගල් මෙන්ම කළුගල් ද යොදවා ඇත.ලන්දේසි යුගයට අයත් 1719 දී අඳින ලදැයි සැළකෙන තවත් සිතියමක වැලිගම වඩමරච්චි  යන පළාත් වල සකස් කළ පොකුණූ සහ ඒ අසළ පැවති බෝධින් වහන්සේලා පිළිබඳ සටහන් ඇඳ තිබේ.ඉන් එක් තැනකි ජය ශ්‍රී මහා බෝධියේ පළමු අංකුර අටෙන් එකක් රෝපිත චුල්ල පුරය.විශාල වෙල් යායක දූපතක් වැනි ස්ථානයක රෝපිත මෙම බෝධිය අදටත් සශ්‍රීකව පවති.එහි තිබූ ලී කැටයමක රජු ශ්‍රී මහා බෝධිය වඳින ආකාරය දක්වා තිබේ.තිස්ස මෙයට පහළින් චාන්ගනේ නම් නගරයේ පල්ලියක් අසළ ස්ථූපයක නටබුන් ඇත. එයටත් පහළින් කදුරුගොඩයි. රහතුන් වහන්සේලා හැට නමක් අදාහනය කළ තැන වශයෙන් එය සැළකේ.මාවඩිපුරම් හි වර්තමන කෝවිල එකළ කතරගම දේවාලයකි. ඒ අසල විහාරයක් ද තිබී ඇති අතර එහි තිබූ බුදු පිළිම දුම්රිය ස්ථානය කැණීමේ දී සම්මුඛ වී තිබුණි.අතීතයේ දී වැලිගම යනුවෙන් හඳුන්වා ඇති ලන්දේසි සිතියම් වල වැලිගමු යනුවෙන් දක්වා ඇති වර්තමාන වලිකාමම් පෙදෙස තුළ ද විශාල වශයෙන් බොදුනු සළකුණු දක්නට ඇත. එ අතර තයියඩි වසමේ තිස්ස විහාර නටබුන් මයිලඩි වසමේ බෞද්ධ නටබුන් දක්වත හැකිය.කාරදිවයිනේ වෙහෙර පිටිය නම් ස්ථානය බුදුන් වහන්සේ බෝධිසත්ව අවදියේ තොරතුරු දක්වන ස්ථානයක් ලෙසින් ප්‍රකටය.එ තොරතුරු අක්තිති ජාතකයේ විස්තර කර තිබේ.එයට අමතරව ඩෙල්ෆ්ට් දූපතේ බෞද්ධ ස්ථූපයන් විශේෂිතය.

       මෙම ස්ථාන වර්තමානය වන විට විශාල සමාජ සහ දේශපාලන පරිවර්තනයන්ට ලක්ව තිබේ.සංඝමිත්තා බෝධිය තිබූ තැන  පොකුණට යාබදව  කෝවිලක් ඉඳි කර තිබෙන බව දැක්විය හැකිය.වෙහෙරපිටිය බෞද්ධ නටබුන් මත නිවාස ඉඳි කර තිබෙන බැවින් පුරාවිද්‍යා ගවේශණයකට පවා ඉඩකඩ නැතිය. .බ්‍රිතාන්‍ය යුගයට පෙර යාපන අර්ධ ද්වීපයේ පැවතියේ දේවාල පමණකි. නල්ලූර් දේවාලය ද මාවඩිපුරම් දේවාලයද කතරගම දේවාල වෙති.උතුරේ මෙන්ම දකුණේ ද කෝට්ටේ යුගය වන විට දේවාගම සශ්‍රීකව පැවතිණ.දේවාගම ජන ආගම්  ඇදහිලි යාතුකර්ම සහ අභිචාර විධි සමග සම්බන්ධය. උදාහරණයක් දක්වතොත් පත්තිනි සළඹ තැන්පත්ව ඇති දේවාල මුල් කරගෙන සංවිධානය වන මඩු නැටීම දක්වත හැකිය. මේවා කාලයක් තිස්සේ පැවත පැමිණ දේවාල සංස්කෘතියත් සමග සිංහල බෞද්ධ සම්ප්‍රදායට එකතු වී තිබේ.මෙම සම්ප්‍රදාය බිඳ වැටුණේ යටත් විජිතවාදීන් ගේ සැලසුම් නිසාවෙනි.  බෞද්ධ වෙහෙර විහාර උඩ රෙපුරමාදු පල්ලි ඉඳි කිරීම නිසා බෞද්ධ මුදලි වරුන් ඝාතනය කිරීමෙන්ද මිෂනාරි ප්රයත්න සාර්ථක වේ යැයි ලන්දේසින් සිතූහ. බල්දෙයස් පූජක තැනගේ ග්රන්ථයෙන් බැව් පැහැදිලි වේ.  බ්‍රිතාන්‍ය යුගයේ ආරම්භයේ දීම අරුමුගම් නාවලර් මුල් කරගෙන යාපන අර්ධ ද්වීපයේ කෝවිල් 300 ක් සෑදවීමට බ්‍රිතාන්‍ය රජය උත්සුක වී තිබේ.( the indian economic and social History Reviwe –Helman rajanayagam ) මෙයට වියදම් කරන ලද්දේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමයි.බ්‍රිතාන්‍යයන් මේවාට වියදම් කලේ යාපනයේ ක්‍රිස්තියානිකරණය අසාර්ථක වීම නිසාය. පළමුව බෞද්ධ වෙහෙර විහාර ඉවත් කිරීමත් දෙවනුව ක්‍රිස්තියානි අදහිල්ල ප්‍රකට කිරීමත් ලන්දේසි යුගයේ දී යාපනයේ පදිංචි කළ මලබාර් වහලුන් ක්‍රමානුකූලව ක්‍රිස්තියානිකරණයට ලක් කිරීමත් අසාර්ථක වීම නිසා මෙම සැලසුම් ක්‍රියාත්මක විය.උඩරට රාජධානිය බිඳ වැටීමත් සමස්ත දිවයිනම ඉංග්‍රීසීන් ගේ අණසකට යටත් වීමත් නිසා  මේ සඳහා නීති රීති පැණවීමටත් පහසු විය. 1806 දී මලබාර් පදිංචිකරුවන් සඳහා තේසවලාමෙයි නීතිය ගැසට් කරනු ලබනුයේ යාපන දිශාවේ සිංහල බෞද්ධ උරුමය නැවත ඇති නොවනු පිණිසය.එය සාර්ථක වූ අතර බෞද්ධ නටබුන් ගලවා කෝවිල් සෑදවීමටත් යටත් විජිත ගොඩනැගිලි තැනවීමටත් යොදා ගැනීම නිසා උතුරේ බෞද්ධ පරිසරය සහමුලින්ම වෙනස් කර ඇත.

මතුගම සෙනෙවිරුවන්

          

Sunday, May 18, 2025

දා කරඬුවක දැවටුණු පූජනීය සේද සළුවේ යටගියාව

 



          බුද්ධ අදාහන මළුවේ දී ශේෂ වූ ධාතුන් වහන්සේ ලා වැඩිම ප්‍රමාණයක් වර්තමානයේ තැන්පත් කොට තිබෙන්නේ හ්‍රී ලංකාවේ බව සැදැහැවත් බෞද්ධයන් ගේ විශ්වාසයයි.බුදුන් වහන්සේගේ යටි වම් දළදාව සහ දකුණු දළදාව පිළිබඳ උත්තුංග ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන සිංහල බෞද්ධයන්ට විශේෂිත ධාතු කරඬුවක දවටා තිබූ පූජනීය සේද සළුවක් ද වටිනා බව කිව යුතු නොවේ.දේවානම්පියතිස්ස රජ දවස දී ධර්මාශෝක රජුගේ පුත් මහින්ද  මහ රහතන් වහන්සේ මිහින්තලයට වැඩම කොට  සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කොට රජු ලවා යොදුනෙන් යොදුන විහාරස්ථානයන් කරවා ලංකා රාජ්‍යය බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කොට දැනට වසර දෙදහස් තුන්සීයක් පමණ ඉකුත් වී තිබේ. මේ එළඹෙන්නේ බුදු උපතින් දෙදහස් පන්සිය හැටනව වන වසරයි.

    


     අසෝක රජ දියණි සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් රැගෙන උතුරේ දඹකොළ පටුනට පැමිණි කල්හි දේවානම්පියතිස්ස රජු කරවටක් දියට බැස මහත් ශ්‍රද්ධාවෙන් එය පිළිගත් ආකාරය බෝධිවංශයේ දක්වා තිබෙන්නේ ජනතාවට ශ්‍රද්ධාව භක්තිය ඇති වන ආකාරයටයි. ඒ බෝධින් වහන්සේ සමග ශාක්‍ය වංශයට ඥාතීන් වූ හැට හතර කුලයක් ජනතාවද ලක්දිවට පැමිණියහ.ඔවුන් ගම්බිම් වල පදංචි කරවා ගම් ප්‍රධානීනන් බවට පත් කරවා බුද්ධ ශාසනයේ චිරස්තිථිය සලසනුවස් කටයුතු සැලැස්වූහ. විදුරනන්ද බෝධිගුප්ත සුමිත්ත  ආදී ලැමණි කුලයට නෑකම් කියූ දේවානම්පියතිස්ස රජු ගේ බාල සහෝදරයා කීර්ති තිස්ස විය. මේ කුමරු වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පෙදෙස භාරව කටයුතු සිදු කරන ලද්දේය. පදවිගම්වල තිබෙන ශිලා ලේඛනයකින් කියැවෙන තිස කිතස  ලෙනෙ යන නාමය මගින් හඳුන්වන්නේ ඒ කුමරු ගැනයි.

         මිහිඳු මහ රහතන්වහනසේ ගේ අනුශාසනා මත දේවානම් පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන විහාරස්ථාන සෑදවූහ.මේ අනුව කීර්ති තිස්ස කුමරු ගේ පුද්ගලික මැදිහත් වීම අනුව ඉඳි කළ ස්ථූපයක් රඹුක්කන ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයේ දැලිවල පිහිටා තිබේ.  මිහිඳු මහරහතන් වහන්සේ මෙම ස්ථානයට පුද්ගලිකවම වැඩම කොට ගල්ලෙනක වැඩ වාසය කරමින් මෙම ස්තූපය සෑදවීමට උපදෙස් දුන් බව ජන ප්‍රවාදයේ එන්නකි. උන්වහන්සේ වැඩ සිටි ගල්ලෙන මීදුම ගල්ලෙන බව කියැවෙයි. මෙම චෛත්‍යය නිමකරවා තිබෙන්නේ සාංචි ස්ථූපයේ වාස්තු විද්‍යාත්මක හැඩරුව අනුව බව 1957 දි මෙම ස්ථූපය වටා කරන ලද කැණිමකින් හමු වූ කරඬු 168 ක් අතර තිබූ  සුවිශේෂී රන්කරඬු ආකෘතිය  මගින් තහවුරු විය.දැවයෙන් නිම කරන ලද යූපය  සිවු පසට විහිදී ඇති චත්‍ර ආදිය නිසා දැලිවල ස්ථූපය පිළිබඳ මිහිඳු මහ රහතන් වහන්සේ ගේ මැදිහත් වීම පිළීබඳ වෙසෙසින්ම සිතා බැලිය හැකිය.වෙදිසගිරි නැතිනම් සාංචි පෙදෙස සමග මිහිඳු මා හිමියන්ගේ දැඩි සම්බන්ධයක් තිබුණි.

 


    දැලිවල පවතින මෙම ස්ථූපය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ කොටවෙහෙර යනුවෙනි. සාමාන්‍ය පස් කන්දක් ස්ථූපයක හැඩයට කපා ඒ වටා ගඩොලින්  ගර්භය බැඳ නිම කර තිබූ බව මහාචාර්ය පරණවිතාන මහතා තීරණය කර තිබුණි. එයට හේතුව ඔහු කරන ලද බාහිර නිරීක්ෂණයයි.තවත් හේතුවක් වී තිබුණේ  පේසාවේ සිට මදක් ඉහළින් නිදන් වස්තු තැන්පත් කර තිබීමයි.1957 වසරේ දී කළ කැණීමේ දී පෙර දක්වන ලද නිදන් වස්තු සමුවුණ අතර පසුව 1972 සහ 1978 වසර වලද   පසුව 2000-  2001 වර්ෂයන්හි  දී ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කොට ඇත. එවකට පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ වූ ඩබ්.එච්.විජේපාල මහතා විසින් කළ මෙම පර්යේෂණයේ  දී මුට්ටියක බහා තිබු වැදගත් ධාතු කරඬු කීපයක් සොයා ගන්නට යෙදී ඇත.මෙය හමුවූයේ ස්ථූපය මැද ගර්භයේ විශේෂයෙන්ම සකස් කරන ලද කොටසකිනි. එහි තීබූ කැටගල් සහිත ශිලාමය පසුතලය තුළින් ගම්‍ය වූයේ මෙම පූජණිය වස්තු කෙරෙහි දැක්වූ සැළකිල්ලයි.මැටියෙන් කල විශේෂ භාජනයක තැන්පත් කරන ලද රන්තැටියක මෙම පූජනීය වස්තු තැන්පත් කර තිබුණි. එම රන් තැටිය මත සාංචි ස්ථූප හැඩය ගත් කරඬුවක් විය.ඒ වටා සේද සළුවක් ඔතා තිබී ඇත. කැණීමේ දී හමු වන විට රෙදි කඩ දිරාපත්ව කරඬුවටම ඇලී තිබී ඇත.මේ සියල්ල විශේෂයෙන්ම සකස් කළ වීදුරු භාජනයකින් ද වසා තිබුණී. එය නැවත මැටි මුට්ටියකින් වසා තිබූ බව නිරීක්ෂණය වෙයි. මේ අතර තිබූ විශේෂිතම වස්තුව වූයේ සාංචි ස්ථූපයේ හැඩරුවට සමාන වූ ලෝකඩ අනුරුවයි. මෙම කරඬුව වටා පැවති රෙදි කඩ ඔස්ට්‍රේලියාවේ දී විශේෂ පරීක්ෂාවකට ලක් විය. ඒ අනුව සනාථ වූයේ එය  සේද රෙද්දක් බවයි.මීට  වසර 2200 කට ප්‍රථම එම රෙදි කඩ නිෂ්පාදනය වන්නට ඇති බව ද තහවුරු විය.කානීලියන් පබළු වලින් ගෙත්තම් කරන ලද මෙම සේද රෙද්ද විශේෂයෙන්ම නිර්මාණය කරන ලද්දකි. මෙම කරඬුව තුළ තැන්පත් කළ වස්තු වල සුවිශේෂීතාවය නිසා මෙලෙස වස්ත්‍රයකින් ඔතා තිබෙන්නට ඇත.

       සේද රෙදි නිර්මාණය කරන ලද්දේ චීන දේශය තුළය. මෙම රෙදි සේද මාවත ඔස්සේ දඹදිව පර්සියාව සහ රෝමය දක්වා එකල වෙළෙඳ සම්බන්ධකම් යටතේ හුවමාරු වී තිබේ. අසෝක රජු සිය ධර්ම විජය ප්‍රතිපත්තිය මත පදනම්ව කරන ලද විශේෂිත කටයුත්ත නම් එකළ දඹදිව තුළ මෙම සේද රෙදි වර්ණ ගැන්වීමෙන් පසු රාජකීය පරිහරණයට ගැනීමයි.. ඒවා වර්ණ ගැන්වීමෙන් පසු නොයෙකුත් කටයුතු වලට යොදා ගත් අතර විශේෂිත පූජනීය වස්තු ආවරණය කිරීමට  පබළු ආදී ද්‍රව්‍ය වලින් ගෙත්තම් කර ඇත. ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර තිබූ ඥාති සම්බන්ධය සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධය මත මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන ලද අතර ඒ සමග විශේෂිත රාජකීය කකුධ භාණ්ඩයන්ද  පූජා වස්තු රැසක් තෑගි වශයෙන් දූත පිරිස සමග ඒවා ඇති ආකාරය වංශ කතා වල සඳහන් කර තිබේ.දේවානම් පිතතිස්ස රජුගේ සොහොයුරු තිස්ස කීර්ති කුමරු එකල පාලනය කළ කිණිගොඩ කෝරළයේ වල්ගම් පත්තුවේ දැලිවල ප්‍රදේශයේ සාංචි හැඩය සහිත ස්ථුපයක් ඉඳි කරලිමේ අදහස තිරණය කරනු ලබන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ ඒ ඉඳි කිරීම පිළිබඳ පෞද්ගලිකව සොයා බලමින් කීර්ති තිස්ස රජු සමග මේ කර්මාන්තය කල බවට සිතන්නට හැකිය. එයට සාධක වශයෙන් ප්‍රදේශයේ කීප තැනකම ජන ප්‍රවාද රැසක් අදටත් පවතී.

       2001 වර්ෂයේ දී ඩබ්.එච්.විජේපාල මහතා විසින් කරන ලද කැණීමේ දී හමුවූ විශේෂිත පූජනීය වස්තු පිළීබඳ සොයා බැලීම් වල වැදගත්ම වටපිටාව නිර්මාණය වනුයේ 2018 වර්ෂයේ සිටයි. විජේපාල මහතා ගේ කැණීම් අංශයේ සේවය කළ ආචාර්ය නිමල් පෙරේරා මහතා සිය ආචාර්ය උපාධිය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අවදියේ දී එහි ජාතික විශ්ව විද්‍යාලයේ සේවය කළ ජුඩිත් කැමරන් නම් මහත්මියක් හමු වීම මෙහි අහම්බයයි. ක්‍රිස්තියානි භක්තිකයෙකු වු ඇය ජේසු තුමාගේ සොහොනේ තිබූ වස්ත්‍ර ගැන පර්යේෂණ පවත්වමින් සිටි තැනත්තියෙකි.මේ අවස්ථාවේ දී නිමල් පෙරේරා මහතා සමග ඇති වූ විශේෂ කතාබහකින් පසු දැලිවල ස්ථූපයෙ න් හමූ වූ සේද රෙද්ද එතූ විශේෂිත ලෝකඩ කරඬුව පරීක්ෂා කර බැලීමට සහ පර්යේෂණ වශයෙන් සහාය වීමට ඇය ලංකාවට පැමිණියහ.මෙම හමුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම පර්යේෂණයකට දොර කවුළු හැරුණි.කැමරන් මහත්මියගේ අධීක්ෂණය යටතේ දා කරඬුවේ සිට පබළු වැලේ සිට වර්ණ ගැන්වීමේ සිට සෑම අවස්ථාවක් ගැනම විධිමත් සොයා බැලීමක් සිදු කරන ලද්දේය. සේද මාවතේ ඉන්දියාවටත් එතනින් වර්ණ ගැන්වුණු සේද සළුව අසෝක රජුගේ මෙහෙයවීමෙන් පූජනීය දා කරඬුවක ඔතා ලංකාවට සැපත් වීමත් පීළිබඳ ඉතා රසවත් කතාවක් නිර්මාණය කිරීමට මෙම පර්යේෂණය සමත් විය.පුදුමයට කරුණ නම් මේ සේද සළුව වියා තිබුණේ මල්බෙරි පට පනූවන්ගෙන් හෝ වල්ක් පට පණුවන්ගෙන් ලබා ගන්නා නූල් මගින් නොවන බව තහවුරු වීමයි. ඒ සඳහා හණ සහ ඇබකා වැනි විශේෂිත ශාක වර්ග යොදගෙන තිබුණි යැයි පර්යේෂණයේ දී හෙළි විය.. ඇතැම් විට පූජනීය වස්තුවක් ආවරණය කිරීමට පටපණු කෝෂ යොදා නොගැනීම අසෝක රජුගේ චේතනාව වූවා වන්නට පිළීවන. නමුත් එය විශේෂයෙන්ම වියා ගත්තක් ද නොවීය. මන්ද ඒ වන විටත් ශාක යොදා ගත් සේද සළු චීනයේ සකස් කර තිබුණු බැවිනි. කෙසේ වෙතත් මේ සළුවේ සංයුතිය පීලිබඳ වැදගත් සටහනක් තබන්නට ආචාර්ය නිමල් පෙරේරා මහත්මා සහ ජුඩිත් කැමරන් මහත්මිය සමත්ව තිබේ.එය( Journal of IndIan ocean archaeology) සඟරාවේ පළ කර තිබේ.

         දැලිවල කොටවෙහෙර යනු මෙරට බෞද්ධ ඉතිහාසයේ අද්විතීය නිර්මාණයකි. වැඩිම පූජනීය වස්තු ප්‍රමාණයක් එනම් ශිලාමය කරඬු, පබළු කරඬු ,රන් කරඬු ඇතුළු  ධාතු කරඬු 177 ක් පමණ හමුව තිබෙන ස්ථානයකි.මෙවැනි විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් සම්මුඛ වීමට තිබෙන ප්‍රධානතම හේතුව නම් මිහිඳු මහරහතන් වහන්සේගේ සෘජු මැදිහත් වීම ඊට හිමි වූ නිසාවෙනි.අසෝක රජතුමා විසින් සිය දූත මෙහෙවරේ දී ලක් රජුට තෑගි කර එවූ පූජනීය වස්තු රැසක් මේ අතර වෙයි. මෙම ස්ථානයෙන් හමු වුණු පූජනීය වස්තු තැන්පත් කර තැබීමට පුරාවිද්‍යා කෞතුකාගාරයක අවශ්‍ය තාවය විටින් විට මතුව තිබුණු අතර එලෙස කටයුතු කිරීම ප්‍රමාද වීම නිසා විහාරස්ථ දායක සභාවත් විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලාවේ අරියවංශ හිමියන්ගේ මැදිහත්වීමක් මත මෙම ධාතු කරඬු තැන්පත් කිරීමට විශේෂෂ ධාතු මන්දිරයක් ඉඳි කරනු ලැබූහ.නමුත් 2022 වසරේ පෙබරවාරි මාසයේ 04 වන දින දී මෙම ධාතු මන්දිරය විවෘත කොට එහි තීබු ඉතාමත් වටිනාම ධාතු කරඬුව වූ චත්‍ර සහිත රන් කරඬුව ඇතුළු කරඬු කීපයක් සොරාගෙන ගොස් තිබේ. ඒ පිළිබඳ කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නොමැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬය. කිසිම පරීක්ෂණයක් ඉදිරියට ගෙනයන බවක් නොපෙනේ.නමුත් සිදු වූ දේ සිදු වී අවසන්ය. පුරාවිද්‍යාඥයන්ට අනුව ආසියාවේ වටිනාම පුරාවස්තුවක් රටට අහිමි වී තිබේ.බෞද්ධයන් වශයෙන් ධර්මාශෝක රජතුමාගේ වටිනාම තිළිණය අප වෙතින් ගිලීහි ඇත. මේ පීළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධයන් අද විරලය.පුරාවිද්‍යාඥයන් ද මුනිවතරකින්නේ ඇයිද යන්න ප්‍රහේලිකාවකි.

මතුගම සෙනෙවිරුවන්