මේ දිනවල ශ්‍රද්ධා භක්තියෙන් යුතුව
බොදු ජනතාව සාභාගිවන මහඟු පින්කමක් වනුයේ දීඝවාපී චෛත්‍ය නැවත ගොඩ නැන්වීමට දායක
වීමයි. දිනපතා මෙහි සැපත් වන සැදැහැවත් පිරිස මෙහි නැවතී ශ්‍රමදාන පවත්වමින් වෙහෙස
නොබලා ස්ථූපය සංරක්ෂණයට දායක වෙති. දීඝවාපි රාජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය
මහඔය සෝභිත ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදය සහිතව මේ සැදැහැවතුන්ට නිතිපතා දන්සැල් පවත්වති. ඒ අතර
ශ්‍රී ලංකා යුධ හමුදාවේ භට පිරිස් ඉතා ඕනෑ කමින් දාගැබ බැඳීමට සිය ශ්‍රමය ලබා දෙති
. දැන් චෛත්‍ය ගර්භයේ අඩක් පමණ අවසන් කර ඇති අතර ගර්භ නිධානයට සූදානම්ය.ගර්භය
ඇතුළත සිතුවම් නිර්මාණය කරනු ලබන්නේ ද ත්‍රිවිධ හමුදා සහ නාවික සොල්දාදුවන්
විසිනි.මේ අපේ ඉතිහාසයේ පැවති සම්ප්‍රදායයි.ජීර්ණ වූ චෛත්‍ය ස්ථාන පෙර රජ දරුවන්
විසින් පිළිසකර කරන ලද්දේ ඒ අයුරිනි.පැරණි ශිලා ලේඛන වල ජින පට සතරිය යනුවෙන්
වදනක් ලියැවී තිබෙන්නේ මේ කාර්යය කරනු ලබන බව ප්‍රකාශ කරන්නටයි.
අම්පාර දිස්ත්‍රික්කයේ දීඝ මණ්ඩලයේ පිහිටා තිබෙන
දීඝවාපී චෛත්‍යය ස්ථානය නොයෙකුත් සතුරු ආක්‍රමණ මධ්‍යයේ ජරාවාසව ගිය කල්හි නිදහස්
ලංකාංවේ ප්‍රථම වරට එහි කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ වන්නේ හැටේ දශකයේ දීය.ඒ
පිළිබඳ වාර්තා රාශියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතී. දීඝවාපී චෛත්‍ය
රාජයාණන් වහන්සේ සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේ සදා වන්දනීය පූජ්‍යස්ථානයකි.බුදුන්
වහන්සේ ලංකාවට වැඩම කොට දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩ සිට නැගෙනහිර පළාතේ දීඝ
මණ්ඩලයට වැඩම කළහ.උන්වහන්සේ එහි භාවනායෝගීව වැඩ සිටි අතර සම්බුද්ධ පරිනිර්වානයෙන්
පසුව ලබාගත් දික්නිය ධාතුව මෙහි තැන්පත්
කොට සත්රියන් උස ඉඳුනිල් මුවා දාගැබක් නිර්මාණය කරන ලදැයි පැවසේ. පසුව දුටුගැමුණු
මහරජුන් ගේ මලණුවන් වූ සද්ධාතිස්ස රජු විසින්
මේ ස්ථූපය විශාල කරවා සාදවා තිබේ.මෙහි දී හමුවන පුරාවස්තු සහ ශිලා ලේඛන
වලින් පැහැදිලි වනුයේ අවස්ථා කීපයකදී මෙම ස්ථූපය ප්‍රතිසංස්කරණයට ලක්ව ඇති
ආකාරයයි.මහනුවර යුගයේ දී කීර්ති ශී රාජ සිංහ රජතුමා 1756 දී පමණ අවසාන වරට මේ සෑය
ප්‍රතිසංස්කරණය කොට පූජ්‍ය නීග්‍රෝධ
ස්වාමීන් වහන්සේ වෙත අමුණු දාහක පමණ භූමි ප්‍රමාණයක් සන්නසක් මගින් සඟසතු කොට පූජා
කර ඇත.
මහනුවර යුගයෙන් පසුව ජරාජීර්ණ තත්වයට පත්
වූ පසු විසිවන සියවසේ අවස්ථා කීපයකදීම ප්‍රතිසංස්කරණයන් ආරම්භ කිරීමට උත්සාහ කළ
නමුදු කොටි ත්‍රස්ත සමයෙන් පසුව ඒ කටයුතු
සියල්ල අඩාල විය. දීඝවාපී සෑයේ පරිවාර
සෑරදුන් හතරක් තිබූ අතර ඉන් ඒක් ස්ථූපයක් මුස්ලිම් අන්තවාදීන් විසින් ඩෝසර කරන ලදහ.දැනට
එක් පරිවාර චෛත්‍යයක් පමණක් සංරක්ෂණයට බඳුන් කර තිබේ. කෙසේ වෙතත් දෙමළ කොටි පරාජය
කරලීමෙන් පසු නැවත 2011 වර්ෂයේ දී නැවත මේ ෙඑතිහාසික ස්ථානයේ වැඩකටයුතු ආරම්භ කරන
ලද්දේය.එහිදී සල පතල මලුවේ කරන ලද කැණීම් වලදී ඉතා වැදගත් ශීලා ලේඛන කීපයක්ද ලැබී
ඇති අතර සිවිල් ආරක්ෂක බලකයේ සහයෝගයෙන් ස්ථූපයේ සංරක්ෂණ කටයුතු ද දිගින් දිගටම ක්‍රියාත්මක
විය. මේ අසිරිමත් පුදබිම වසර දහස් ගණනාවකට පසු නැවත ජීවමානව සුදෝසුදුවන්ව
බැබළෙන්නට නියමිතය.ඒ රජය සම්බුද්ධ ශාසනයේ
චිරස්තිථිය උදෙසා මේ දාගැබ සම්පූර්ණ වශයෙන්ම තහවුරු කරලීමට තීරණය කර තීබිමයි. 2020
වර්ෂයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැගෙනහිර පළාත සඳහා පුරාවිද්‍යා
කාර්ය සාධක බලකායක් පිහිටුවාලීමෙන් පසු වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ
ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධික්ෂණයෙන් යුතුව සංරක්ෂණ කටයුතු
වේගවත් කර තිබේ.මේ සඳහා මුදල් සොයා ගැනීම පිණිස දීඝවාපී සංරක්ෂණ අරමුදලක්ද
පිහිටුවා තිබේ.මේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව අඩි විසි ගණනක්ව තිබූ ගර්භ උස
මේ වන විට අඩි හැත්තෑපහක් පමණ වර්ධනය කිරීමේ හැකියාව ඔවුනට ලැබී තිබේ.දැනට චෛත්‍ය
ගර්භයේ සම්පූරණ විෂ්කම්භය අඩි 212 ක් වන අතර කොත්කැරැල්ල දක්වා අවසන් වන විට චෛත්‍යයේ
උස අඩි 268 ක් වනු ඇත.ඒ අනුව 2024 ජූලි මස 14වන දින දීඝවාපී ධාතුගර්භයේ ස්ථාන
කීපයක රන්කරඬු බුදුපිළීම වහන්සේලා ඇතුලු නිදන් වස්තු පනස් පන්දහසක් පමණ තැන්පත්
කිරීමට නියමිතය. කොළම සම්බෝධි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මේ ධාතුන්
වහන්සේලා සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක් වෙමින් අම්පාරේ දීඝවාපී රාජමහා විහාරය වෙත
විචිත්‍ර පෙරහැකින් වඩම්මවාගෙන ගොස් තිබේ.
මෙම ස්ථානයේ හමුවුණ රන් කරඬු හතරද සර්වඥ
ධාතුන්වහන්සේලාද රන්පත් ඉරු ද මෙහි ගර්භයේ තැන්පත් කිරීමට අවසර ඉල්වා තිබෙන අතර
පුරාවිද්‍යාවේ විද්‍යාව හරස් නොවුණහොත් ඒ මහඟු කටයුත්තද සිදු වනු ඇත..
වර්තමාන කැණීමේ දී හමූ වූ වැදගත්ම සාධකය නම් නිදන් සොරුන් විසින් විනශ කරන
ලද දක්ෂිණ වාහල් කඩ ආසන්නයේ සම්මුඛ වූ ධාතු මංජුසාවයි. මේ සමග ලැබුණු අකුරු කෙටූ
රන්පත් කීපය ඉතා වැදගත්ය. මීට පෙර බටහිර වාහල්කඩ අසල කැණීමේ දීත් මෙවැනි රන්පත්
ඉරුකීපයක් දැක ගන්නට ලැබී තිබේ. මේ පත් ඉරු වල ලේඛන වලට අනුව මලුතිස නොහොත් කණිෂ්ට
තිස්ස නම් රාජ්‍ය කාලයේ එනම් ක්‍රි.වර්ෂයෙන් යට දෙවනි සියවසේ දී මේ ධාතුන්
වහන්සේලා තැන්පත් කරන්නට ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ගේ අදහසයි.ඒ
සමගම නවවන සියවසට අයත් ශිලා ලේඛන මගින් තහවුරු වනුයේ සතපතල මලුවේ සිදු කරන ලද
වෙනස්කම්ය.
දීඝවාපී සෑරදුන් පිහිටා තිබෙන්නේ හාත්පස කුඹුරු වලින්
වටවූ සාමාන්‍ය උස්බිමකය. ගුවනේ සිට නරඹන කල්හි ඒ භූ දර්ශනය අගනා ලෙසට
දිස්වේ.දීඝවාපී චෛත්‍යයේ සල පතල මළුව කැණීමෙන් පසුව මෙහි ප්‍රතිසංස්කරණය භාරව සිටින
පුරාවිද්‍යෘ දෙපාර්තමෙන්තුවේ වාස්තු විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ප්‍රසන්න රත්නායක මහතා
ඇතුළු නිළධාරීන්ට තිබූ ගැටළුව වූයේ භූමියේ පිහිටීම අනුව අඩි 288 ක් දක්වා උස චෛත්‍යයක්
නිර්මාණය වීමේ දී ඒ බර දරා සිටීමට හැකියාව ලැබේද යන්නයි.ඒ තත්වය තහවුරු කර ගනීමට උපදේශක
මණ්ඩලයේ අධික්ෂණය මත පර්යේෂණ කීපයක්ම කිරීමට පුරාවිද්‍යාවේ වාස්තු විද්‍යා අංශයට
සිදු විය.ඉන් ඒක් පර්යේෂණයක් සිදු කිරීමට බිම්
මට්ටමේ කැණීමක් කළ ද එය සාර්ථක නුවුණු කල්හි අංශක හතලිස්පහක ආනතියකින් යුක්තව ඈත
සිට චෛත්‍යයයේ මධ්‍ය ලක්ෂයේ පිහිටිගල කරා විදුම් දෙකක් ඇති කිරීම කොට පරීක්ෂා කොට
ඇත. ඒ අනුව පැහැදිලි ව ඇත්තේ පිහිටි ගලෙන් උඩ තිබෙන දෘඩ ස්වභාවික පිහිටීම මත දාගැබේ
සම්පූර්ණ බර දරා සිටීමට හැකි වන පරිදි සාදා තිබෙන ආකාරයයි.මෙම විසල් ස්ථූපය
සම්පූර්ණ වශයෙන්ම අවසන් කර ගැනීමට ගඩොල් ලක්ෂ තිහක් පමණ අවශ්‍ය වේ යැයි ගණන් බලා
ඇත. දීඝවාපියේ පැරණි ගඩොල් පරීක්ෂා කර බලා ඒ ප්‍රමීතියට නව ගඩොල් නිෂ්පාදනය කිරීම
උදෙසා ආරක්ෂක හමුදාවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් දැඩි පරිශ්‍රමයක් දරා ඇත.
දීඝවාපිය අවට ස්ථාන හතරකින් පස් ලබාගෙන ඒවායින් ගඩොල් සාදා යාන්ත්‍රික පීඩනයකට ලක්
කර ප්‍රමිතිය නිවැරදි බවට තහවුරු කරගෙන මේ වන විට පිඟන් සංස්ථා භූමියේ මැටි යොදා
ගනිමින් තිබේ.බදාම සම්බන්ධයෙන්ද මේ වන විට පරියේෂණ කීපයක් සිදු කරමින් නිවැරදි ප්‍රමිතිය
ලබා ගන්නට උත්සාහ දරමින් සිටී. මන්ද සිමෙන්ති බදාමයෙන් බැඳීමේ දී ඇති වන දෘඩ බව
නිසා පිපිරීම් වලට තිබෙන ඉඩකඩ වැඩි වන බැවිනි.
ලංකාවේ ෙඑතිහාසික උරුමය සුරකින
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා වසර 134 ක් ගත වී තිබේ. සෑම වර්ෂයකම
දෙපාර්තමේන්තුව විසින් එම ආයතනය පිහිටුවා ලූ දිනයේ දී පුරාවිද්‍යා සමුළුවක් පවත්වන
අතර ඔවුන් විසින් සොයා ගන්නා ලද විවිධ පුරාවස්තු සහ ස්මාරකයන් පිළිබඳ ශාස්ත්‍රීය
ඉදිරිපත් කිරීම් කරයි.මෙවර ජූලි මස 08 දින පැවැත්වූ පුරාවිද්‍යා දිනයේ දී ප්‍රමුඛව
කතා බහ කරන ලද්දේ දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණයේ දී ලබන ලද අත්දැකීම් පිළීබඳවයි.මෙම
ලිපියේ පෙර දක්වා ඇති පරිදි ජීර්ණ භාවයට පත් චෛත්‍ය රාජයාණන් වහන්සේලා වරින් වර රජ
වරුන්ගේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණයට බඳුන් කිරීම මෙරට සංස්කෘතික සම්ප්‍රදායකි. ඒ
සඳහා ඉඩම් වලන් කුඹුරු වලින් ලැබෙන ආදායම පෙර සිටන් පූජා කර තිබේ. වර්තමානයේ දී අප
ශ්‍රමදාන පවත්වන්නේ යම් සේද දන්වැට සිදු කිරීමට අවශ්‍ය ජනතා සාභාගිත්වය නොමදව ලබා
ගෙන ඇත.නමුත් පුරාවිද්‍යාවේ විධි නියමයන් සහ තාක්ෂණ ක්‍රමවේදයන් මගින් මග පෙන්වනු
ලබනුයේ ප්‍රතිසංස්කරණයන් පසු ස්මාරක
තත්වයේ තබාගැනීමටයි. .1890 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය සිවිල් සේවකයන් දැරූ ආකල්ප
මත ගොඩ නැගී තිබෙන පුරාවිද්‍යා ආකල්ප අනෙක් සෑම ව්‍යවහාරික විද්‍යාවකටම පදනම්ව තිබෙන
ආකල්ප මෙන්ම නම්‍ය ශීලි නොවේ. .ජරාවාසව තිබූ දීඝවාපි දාගැබ හාරා ගඩොල් සහ ගල්
කණු විවිධ ඉඳි කිරීම් සඳහා ගෙන ගිය
මඩකලපුවේ සුදු දිසාපති තැනගේ ආකල්පයන් මෙන් ශ්‍රද්ධා භක්තියෙන් වියුක්තය. දීඝවාපී
චෛත්‍යට පළන්දන ලද ධජයක් සුළඟේ ගසාගෙන ගොස් කුඹුරක වැටී තිබියදී පොරෝනයක් ලෙසට
පරිහරණය කිරීමේ පාපයෙන් ප්‍රේතයෙක් ලෙසට ඉපැදුණු කෙළෙඹි පුත්‍රයෙකු ගැන බණකතා
සාහිත්‍යයෙහි සඳහන් වෙයි.ඒ ප්‍රේතයාට සුගතිය අත්කර දීමට හැකිවූයේ පතාක දහසක්
දීඝවාපී චෛත්‍යයට පූජා කරලීමෙනි.ශ්‍රද්ධා සම්පන්න ගුණයෙන් හෙබි සිංහල බෞද්ධයන් මේ
හොඳ නරක දෙකම හොඳින් දනී. ඒ නිසා පුරාවිද්‍යාව සැබෑ විද්‍යාවක් ලෙසට හඳුනාගන්නට
උත්සාහ කරන සෑම දෙනෙකුගේම වගකීම විය යුත්තේ සංස්කෘතියෙන් වියුක්ත නොවුණු ආකල්ප මත
එය සංවර්ධනය කර ගැනීමට උත්සාහ කිරීමයි.
මතුගම
සෙනෙවිරුවන්
පුරාවිද්‍යාව, අතීත සංස්කෘතික වටිනාකම් නොනසායි ඉදිරියට යා යුත්තෙ. වටින ලිපියක්.
ReplyDelete