පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, July 10, 2024

මහා පාත්‍රා වෘතය පිළිබඳ චාරිත්‍රය ඇති කළ පාත්‍රා ධාතුව

 

                                


               බුදුන් වහන්සේ විසින් පරිභෝග කරන ලද  වස්තූන් අතර පාත්‍රය, සැරයටිය ,පොරෝනා සිවුර, ඇතිරිල්ල සහ අඳනා සිවුර වී යැයි සළකන අතර බෞද්ධ සැදැහැවතුන් විශ්වාස කරන පරිදි ඒ පාරිභෝගික වස්තූන්.පිදිය යුත්තේය. දන් වැළදීම පිණිස බුදුන් වහන්සේ නිරන්තරයෙන්ම භාවිත කළ පාත්‍රයන් අතර වූ  මුල්ම පාත්‍රය.සුජාතා සිටු දුව විසින් පූජා කරන ලද බව සඳහන්ය. එතුමිය විසින් කිරිපිඩු දානය පූජා කළ පසු ඒ පාත්‍රය උඩුගං බලා පා කර හැර  නාග ලෝකය සන්තක වූ බැවින් බුද්ධත්වයෙන් අවසාන සතියේ දී තපස්සූ භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් පිළිගැන්වූ විළඳ මී පැණි පූජාව බහා ලීමට දෙවි බඹුන් පාත්‍රා සතරක් දුන් බව සඳහන්ය. අධිෂ්ඨාන කිරීමෙන් පසු ඒ සතර එක් පාත්‍රයක් බවට පත් වී යයි කියති. බුදුන් වහන්සේ පිරිනිවන් පෑම දක්වා දන් වැළඳීම සඳහා භාවිත කරන ලද්දේ ඒ පාත්‍රයයි.මෙය ශිලාමය පාත්‍රයක් යයි සඳහන්ය.

           දෙවන පෑ තිස් රජ සමයේ දී මේ පාත්‍රා ධාතුව ලංකාවට වැඩම කරවන ලද්දේය.ධර්මාශෝක රජු සන්තකව තිබූ සර්වඥ ධාතුන් වහන්සේලා මේ පාත්‍රයෙහි පුරවා සුමන සාමණේරයන් අත ලංකාවට වැඩමවූ බව සඳහන්ය.  එතැන් සිට පාත්‍රා ධාතුන් වහන්සේ මෙරට ජනතාවගේ මහත් වන්දනීය බවට පත් වූ මහාර්ඝ වස්තුවක් විය.මහසෙන් රජුගේ පුතණුවන් වූ කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජු ගේ කාලයේ දී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කළ පසු දළදා පාදා යනුවෙන් මේ දෙ ධාතුවටම පුද සත්කාර කිරීමේ පිළිවෙතක් ඇති විය.දළදා වහන්සේ වැඩමවා ලූ දන්ත හේමමාලා පරපුර සතර කෝරලේ නවත්වා දළදා රැකීම ඔවුන්ට පවරා දුන් සේම පාත්‍රා ධාතුවේ වගකීමද එලෙස පවරන්නට ඇතැයි සිතිය හැකිය.මන්ද කාලිංග මාඝ සමයේ දී දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටියේ සඟවා තැබීමෙන් පසුව පාත්‍රා ධාතුවද ඒ සමග වී යි දැක්වෙන බැවිනි.

     තුන්වන විජයබාහු රජු දඹදෙනියේ සිය අභිෂේකය කිරීමට ප්‍රථම පුසුල්පිටියට ගොස් දළදා පාද රැගෙන පැමිණි බව සඳහන්ය. අනතුරුව ඒවා කෙරෙහි මහත් භක්තියෙන් පුදසත්කාර කරමින් සිටි අතර පාත්‍රා ධාතුන් වහන්සේ බෙලිගල පවතින කුඩා ස්ථූපයේ තැන්පත් කල බව සඳහන්ය.ඇතැම්හු පවසනුයේ දළදා වහන්සේ කෝට්ටේ නුවරින් කන්ද උඩරටට වඩම්මවන කල්හි පාත්‍රා ධාතුවද එහි වැඩැම්ම වූ බවයි. දැනට නාථ දේවාල භූමියේ තිබෙන කුඩා චෛත්‍ය තුළ එය නිදන් ගතව තිබෙන්නේ යැයි කියති. එහෙත් ඒ බැව් සනාථ කිරීමට මූලාශ්‍ර නැත. ඒ නිසා අපට විශ්වාස කල හැකි වන්නේ දළදා වහන්සේ රාජධානි අතරේ වඩම්මවන ලද නමුත් පාත්‍රා ධාතුන් වහන්සේ එලෙස ගමන් නොකළ බවයි.කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට ඉතා වටිනා පූජා වස්තුවක් වූ පාත්‍රා ධාතුන් වහන්සේ රටේ සශ්‍රීකත්වයට ඉතා වැදගත් වූ බව සඳහන් කල යුතුය.



          බුදුන් වහන්සේ පිරිනිවීමෙන් පසු පාත්‍රා ධාතුන් වහන්සේ මධුරාවේ තිබූ අතර පසුව එය දඹදිව දේවපුත්‍ර නුවර වී යයි සද්ධර්මාලාංකා කතා වස්තුවේ නන්දි රාජ වර්ගයේ එන කඤචනදේවී කතා වස්තුවේ දැක්වෙයි.ඒ නුවර රජු හා  වැසියන් එක්ව  පත්‍රමහ නම් පූජා සහිත උත්සවයක් සත්දවසක් පුරා සිදු කර තිබේ.ධර්මාශෝක රජු විසින් දෙන ලද  පාත්‍රා ධාතුව සුමන සාමණේරයන් විසින් ලංකාවට වඩම්මවන ලද පසු ද එවැනි චාරිත්‍ර විධි මෙහිද අනුගමනය කරන ලද්දේ යැයි සැළකෙන බවට තිබෙන ඉතා වැදගත්ම සාක්ෂියක් දක්නට ලැබෙන්නේ අලව්ව ගොරොක්ගස්දෙණිය විහාරය අසළ පෞද්ගලික ඉඩමක තිබෙන ශිලා ලේඛනයක් මගිනි.අලව්ව දුම්රිය හරස් මාර්ගය අසළින් හැරී යන මාවතේ ගමන් කර මෙම ස්ථානයට ළඟා විය හැකිය.අතීතයේ දී මෙම පෙදෙස දඹදෙණිය රාජධානියට අයත්ව තිබුණු සිරිවර්ධන පුරය ‌ෙලසින් හඳුන්වා ඇත.  මෙම ලිපිය කීර්ති ශ්‍රී මේඝ වර්ණාභය රජුගේ කාලයේ ප්‍රකාශයට පත් කරන ලද්දකි. එම ලිපියේ මෙලෙස සඳහන් වේ.



සිරිමෙකවනබය මහරජහ අපයහ ච - නගරහි දකිණි පසහි මකරක හය ගමහි පසලකය

පලයෙත මහ පය සතක පහයෙ මහපය ......සව - ය කියහි කරිසක තුබහ ....කිර මහපය වටහ දිණි

සිරිමේඝවර්නාභය ආරියපාදයානන් නගරයෙහි දකුණු පාර්ශවයෙහි වූ මකරක නම් ස්ථානයට අයත් හය නම් ගමේ මහා පාත්‍රාව සන්තක ප්‍රාසාදයට දෙන ලද කරිසයක කුඹුර මහා පාත්‍රා ව වෙනුවෙන් කරන පාත්‍රා වෘතයට නොහොත් අලුත් සාල් මංගල්ලය වෙනුවෙන් ප්‍රදානය කර ඇත.

මෙම ලිපිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අභිලේඛන සංග්‍රහය දෙවන වෙලුමේ ඇත.මෙම ලිපිය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ පුරාවිද්‍යා පර්යේෂණ නිළධාරී නාමලී කන්නන්ගර මහත්මිය විසිනි.ඉහත දක්වන ලද්දේ එම ලිපිය සම්බන්ධව ප්‍රකාශිත පෙළයි.මහ පය නොහොත් මහා පාත්‍රය පිළිබඳ මෙම ලිපියේ දෙතැනක සඳහන් කර ඇති අතර මුල් සඳහනේ තිබෙන්නේ පාත්‍රා ධාතුවට අයත් ප්‍රාසාදයක් ගැනය.ඉන් සනාථ වන්නේ පාත්‍රා ධාතුව ආරක්ෂා කළ පරම්පරාවක් එහි සිටි බවයි. දෙවැනිව සඳහන් කරන තැන මගින් කියැවෙන්නේ පාත්‍රා ධාතුව හා සමානව සකස් කරන ලද මහා පාත්‍රයක් තබා   සංශ්‍රීකත්වය උදෙසා කරන ලද පාත්‍රා වෘතය(වත් පිළිවෙත්) නොහොත් අලුත් සහල් මංගල්ලය ගැනයි.උත්කෘෂ්ඨ පාත්‍රය ,මධ්‍යම පාත්‍රය සහ අවමක පාත්‍රය යනුවෙන් පාත්‍රා තුන් වර්ගයක් ගැන දක්වන බැවින් අලුත් සහල මංගල්ලයට භාවිත කරන්නට ඇත්තේ උත්කෘෂ්ඨ පාත්‍රය විය හැකිය.සිංහල ජනතාව කිරිබඩ පාත්‍රය යයි ව්‍යවහාර කරන්නේ එයට යයි සිතිය හැකිය.

       දළදා වහන්සේ මෙරටට වැඩම කරවන ලද්දේ කීර්ති ශ්‍රී මේඝවර්නාභය රාජ්‍ය කාලයේ දීය. ඔහුගේ පියා වූ මහසෙන් රජුගේ නැගණිය වූ සාගරිකා උදේනි රජුගේ මෙහෙසිය විය. උදේනි රජුත් ගුහසීව රජුත් ඥාතීන් වූහ. එසේ හෙයින් දන්ත කුමරුට  හේමමාලා කුමරිය විවාහ කර දී දන්ත කුමරුට දාඨා රක්ඛාධිකාරි තනතුර දී   දන්ත ධාතුන් වහන්සේ ගේ ආරක්ෂාව පිණිස ලංකාදීවීපයට වැඩම කරවන ලද්දේ ය.ඒ මහර්ඝ ධාතුන් වහන්සේ ඉසුරුමුණි විහාරයේ තැන්පත් කර නිති පූජා සත්කාර කර ඇත. ඒ සමගම දේවානම් පියතිස්ස රජ සමයේ දී මෙරටට වැඩම කරවන ලද පාත්‍රා ධාතුවද එලෙසම පූජා සත්කාර සහිතව රජවරු විසින් වන්දනාමානයට ලක් කර තිබෙන බව පෙනේ. දේවානම් පියතිස්ස සමයෙන් පසුව වළගම්බා  මහ රජ තුමා දෙමළ ආක්‍රමණ නිසා  පැරදී පලායන කල්හි පාත්‍රාධාතුව ගෙන යන්නට නොහැකි වූයේ යැයි ශෝක භරිත වී ඇත. පාත්‍රා ධාතුව වෙස්සගිරි වනයේ සඟවා තබා තිබී එක් දෙමළ සෙන්පතියෙකු විසින් සොයා ගන්නා ලදුව එතෙරට ගෙන ගොස් තිබේ. අනතුරුව ගජබාහු රජ දවස දී දොලොස්දහසක් සිංහල සෙනග ගෙන ඒමට දකුණු ඉන්දියාවට ගිය කල්හි නැවත පාත්‍රා ධාතුව මෙරටට ගෙන ඒමට  කටයුතු කර තිබේ.

     ගජබාහු රජ දවස එලෙස වඩම්මවන ලද පාත්‍රා ධාතුව බුද්ධදාස රජගේ පුත් පළමුවන උපතිස්ස රාජ්‍ය කාලයේ දී උත්කර්ෂවත් ලෙස වන්දනාවට පාත්‍ර කරන ලද බව දැක්වේ.මේ කාලයේ දී ඇති වූ නියන් දුර්භික්ෂ නැතිකරලනු වස් මහා පාත්‍රාවට පැන් පුරවා පිරිත් පුරමින් නගරය වටා පැදකුණු කරමින් පිරිත් පැන් ඉසිමින් ගංගා රෝහණ නම් පූජාවක් සිදු කර ඇත. ඒ පෙර විශාලා මහනුවර කළ ගංගා රෝහණ පූජාව අනුව යමිනි.මේ සමය වැටෙන්නේ ක්‍රි.වර්ෂයෙන් යට 365 ත් 405 ත් අතර කාලයටය. උපතිස්ස රජු කීර්ති ශ්‍රී මේඝවර්නාභය රජුගේ මුණුපුරාය. මේ වන විට දළදා වහන්සේට මෙන්ම පාත්‍රා ධාතුන් වහන්සේටද රජුන්ගේ නොමද ගෞරවය හිමිවෙමින් පූජා සත්කාර විධි පැතිරෙන සමයක් යයි සිතිය හැකිය.බුදුන් වහන්සේ දන් වැළඳූ ශිලාමය පාත්‍රයට  වඩා විශාල පාත්‍රයන් තන්හි තන්හි තබ්බවමින් අස්වනු කපා පාගා ගෙට ගත් පසු ඒ පාත්‍රා සහල් වලින් පුරවා අලුත් සහල් මංගල්ලය කළ බව පැහැදිලිය. මේ අලුත් සහල් මංගල්ලය ඉටු කරලීමට කරිසයක කුඹුරක් කීර්ති ශ්‍රී මේගවර්ණාභය රජු වෙන් කළ ආකාරය යටකී ශිලා ලේඛනයේ දැක්වේ.සිරිවර්ධන පුර නමින් හැඳින් වූ දඹදෙණි රාජධානියට අයත් මෙම ප්‍රදේශය අනුරාධපුර යුගයේ සිටම දළදාව සහ පාත්‍රාව ආරක්ෂා කළ පරපුරු වලට හිමිව තිබී ඇතැයි කල්පනා කළ හැකිය.පාත්‍රාවෘතය නම් සිරිත  වර්තමානය වන තෙක්ම අඛණ්ඩව අවිච්ඡින්නව පැවතෙයි. එය මහා විහාර සම්ප්‍රදායේ වෘතයකි. කිරිබඩ පාත්‍රය සහල් වලින් පිරවීම අනුදත් වත් පිළිවෙතකි.ඒ මගින් රටේ සශ්‍රීකත්වය ඇති වන බව සැමදෙනම විශ්වාස කළහ.වී ගොවිතැනෙන් ලබන අස්වැන්නට බුද්ධ භෝගය යයි නාමයක් ඇති වන්නට ද මෙය හේතු වන්නට ඇත.අලව්ව ගොරොක්ගස්දෙණිය විහාරස්ථානය අසළ පාත්‍රා ධාතුන් වහන්සේ වෙනුවෙන් පූජා කළ ඉඩම් අසළ  තිබෙන යටකී ශිලා ලිපියෙන් ඉතා වැදගත් සම්ප්‍රදායක් හෙළි කර ගත හැකි වනුයේ ඒ නිසාය.

     පුසුල් පිටිය රාජ මහා විහාරයේ සිට දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුන් වහන්සේ බෙලිගලට වැඩම්මවන ලද පසු  සෑම රාජධානියක් කරාම දළදා වහන්සේ නැවත රැගෙන ගිය නමුදු බෙලිගලින් පසුව පාත්‍රා ධාතුව රැගෙන ගිය බවක් නොපෙනේ. එම නිසා දළදා වහන්සේ හා සමානව රජුන්ගේ නොමද සත්කාරයට ලක් වූ පාත්‍රා ධාතුන් වහන්සේ කොහි පවතීද යන්න සොයා බැලිය යුතුය. ආර්ථික අහේනියෙන් පරිපීඩිතව සිටින වර්තමාන සමයේ වුවද මහා පාත්‍රය ට පුද සත්කාර කරමින් විශාල කිරි බඩ පාත්‍ර පුරවමින් අලුත් සහල් මංගල්ලය කරන කල්හි  මුලු රටටම සශ්‍රීකත්වයත් සමෘද්ධියත් ළඟ කර ගත හැකි යයි ඒකාන්ත වශයෙන් බෞද්ධ සැදැහැවතුන් විසින් විශ්වාස කරනු නියතය.

මතුගම සෙනෙවිරුවන්

1 comment: