ලංකාවේ පස්වන රාජධානිය වශයෙන් සැලකෙනුයේ කුරුණෑගල නොහොත් ඇතුගල් පුරයයි.මහා
පර්වත තුනක් ආශ්‍රයෙන් ගොඩ නැගුණු කුරුණැගල රාජධානිය නිල වශයෙන් ආරම්භ වනුයේ
වත්හිමි බුවනෙකබාහු නොහොත් දෙවන බුවනෙකබාහු රජුගේ මූලිකත්වයෙනි.පොළොන්රු රාජධානිය
බිඳ වැටීමෙන් පසු කාලිංග මාඝ ආක්‍රමණ වලට මුහුණ දී ගත නොහී දළදා වහන්සේ කොත්මලේ
පුසුල්පිටියේ සඟවා තැබූ කාලවකවානුවක තුන්වන විජයබාහු නොහොත් වත්හිමි විජයබාහු රජු
විසින් දඹදෙණීය සිය රාජධානි කොට ගෙන ඇති කළ නවයුගය ලංකාවේ අනාගතයට බෙහෙවින්ම
වැඩදායක විය. නමුත් ඉතා කෙටි කලක් දඹදෙණිය රාජධානිය පැවතුණි. ඉන්පසු යාපහුව බලකොටු
නගරයේ ආරක්ෂක රැකවල් මැද සිටි අතර දලදා වහන්සේ පවා පැහැර ගන්නට යෙදිණ.පසුව මේ
සියලු සතුරු කරදර ඉවත් කොට ගෙන නැවත දළදා වහන්සේ කුරණෑගලට වැඩමවා නව රාජධානියක්
ස්ථාපිත කරන ලද්දේය.දළදා වහන්සේ කුරුණැගලට වැඩමවන අතරවාරයේ නගරයට ආසන්නයේ
රත්කැරැව්වේ අනුරාධපුර යුගයට අයත් පැරණි පුදබිමකදී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑම
කුරුණෑගල ස්වර්ණයමය යුගය ගැන කියාපෑමක් විය. කුරුණෑගල ජනාවාසයට ඈත අතීතයක් තිබෙන
බව නගරය අසල විල්බා දනව් පුවත් වලින් පැහැදිලිය.පර්වතයන්ගෙන් ලැබෙන ආරක්ෂාව
හාත්පසින් ගලන සිසිල් දියදහරාවන් ගෙන් ඒවා හරස් කර බඳවාලූ වැව් සහ කුඹුර වල සශ්‍රීකත්වය
මනරම් වන උයන් දැක සැනහුණූ ජනී ජනයා හට නායකත්වය දුන් ප්‍රභූ දනන් නිසා කුරුණැගල
රාජධානිය ඉතිහාසයේ යම් සන්ධිස්ථානයක් බඳු විය.මේ රාජධානියේ පිහිටීම සහ සේවාවන් ගැන
ලියැවුණු පැරණිතම විස්තරයක් වනුයේ කුරුණෑගල විස්තරයයි.මේ එහි දක්වා සිටින තොරතුරු
සමුදායයි.
හිරු නමස්කාර කරණ ගල පිට පහුරු සතරක් හා ගල උඩ
මාලිගා සතරක් හා ගල පහළ පහුරු සතරක් නුවරට ආධාර බැම්මක් හා කුරුමිණියාගලට පහතින්
අසූරියන් මහ ගබඩාවක් හා සැතපෙන මාලිගාවෙ සිට ඉබ්බාගලට පන්තිස් බඹයක් හා සැතපෙන
මාලිගාවෙ සිට බස්නා අතට තිබෙන මහගල් තාප්පෙ විසි බඹයක් හා සැතපෙන මාලිගාවේ සිට දකුණු
දිහාවට තිබෙන නිරාවිය දොලොස් බඹයක් හා ඌරාලින් තුන්සියයක් හා මහබල ඇමතියන්ගෙ ගෙවල්
පන්සීයක් හා නළු නාටක ස්ත්‍රීන් වසන ගෙවල් පන්සීයක් හා රදා ගෙවල් අට සීයක් හා
තුන්සියයක් බෙරවා ගෙවල් හා අටසීයක් බඩහැල ගෙවල් හා සත්සීයක් දඬුබඩු ගෙවල් හා
නවසීයක් නවන්දන්න වූ ආචාරි ගෙවල් හා අස්පන්ති හතරක් හා ඇති පන්ති තුනක් හා දඩ
මීගොන් පන්ති දෙකක් හා කුරුල්ලන් මඩුවක් හා කුක්කන් මඩුවක් මහවල කඩු හරමයන් සියයක්
හා හස්තයට ගත් නෙලුම්මල සෙ නුවර සතර වීදි තැනී තිබෙන්නේය.
දකුණු දිසාවට තිබෙන නිරාවියට පහලින් ගල් බැඳි ළිඳද උල්පැන් ළිඳද සැතපෙන
මාලිගාවෙ සිට බස්නා අතට මහ දුනු සියයක් ගි තැන විල් තෙරක්ද ඒ විල වට සපු දුනුකෙ නා
පනා සිහිනිද්ද බෝලිද්ද සමන් බදුවද පෙතන් ගිනිහිරිය කොබෝලීල කටරොලු පිච්චමල් ගැවසුනාය.මෙසේ
මහදුනු සියයක් ගිය තැන දළදා මාළිගාවද ඒතැන සිට නැගෙනහිරට නව බඹයක් ගිය තැන කලු
ගලෙන් සත් රියනක් කොටා විසි එක් දහසක් මසුරන් තබා උඳු බිඳක් පමණ බිදලු ශරීර ධාතූන් වහන්සේද එතැන සිට
අගලින් එගොඩ මහා දේවාලේද ඊට බස්නා අතින් හැට බඹයක් ගිය තැන නාථ දේවාලේද ඊට හැට
බඹයක් ගිය තැන කතරගම දේවාලේද උඩවහල වත්තෙ ආරාධනා මලුවය.
පල්ලෙ
වාහල වත්තෙ වී ගුලය. උඩගන් පල්ලෙ ගන් පහ කටුබුරුල්ලෙ ගන් දහයද එ හස්ති පුර නුවර
බස්නා අත බමුණු වීදියද උතුරු දිගට මහ වීදියද එ නුවරට පර්වත තුනක් ආධාරව තිබෙන්නාය.
බස්නා අතින් අඟංගලය. නැගෙනහිරෙන් ලුනු කැටියා ගලය උතුර දිගින් ආඳාගලය. එනුවරට
දකුණු දිගින් වීරබාහු ගමය.නැගෙනහිරට මිල්ලව යන ගමය. උතුරු දිගට කටගමුව යන ගමය.
බස්නා අතින් තිත්තවැල් ගමය.එනුවර වැව් හතරක් ආධාරව තිබෙන්නේය බස්නා අතින් විල්ගොඩ
වැවට හැතැක්මෙක්ද දකුණු දිග වෑනරුවැව හැතැක්ම දෙකක්ද බස්නා අතින් තිත්වැල්ලෙ වැව
හැතැක්ම දෙකක්ද උඩවත්තෙ වැව නුවරට සමීපවය.කිඹුල් කොටුවට පහලින් ගල්පාලමද සැතපෙන
මාලිගවෙ සිට දකුණු දිගට තිබෙන නීරා දොලසේ භාගයද ඊට බස්නාතින් ගල් බැඳි ළිඳද ඇතුගල
පිට ගල බැඳි පොකුණද හුනු පලට මෙපිටින් ගල් බැඳි ළිඳද මෙතැන උනුපැන් පනිවුඩ
තැනය.කරල්යාවලට පහළින් කයිකාවල කඩවත පීලිකඩ කඩවතද මරලුවාවෙ කඩවත ඌරුපාකඩේ කඩවතද කලහොගෙදර
කඩවතද වදාකඩෙ කඩවතද තිබෙන්නේය.
මෙම විස්තරයේ සඳහන් බොහෝ නම් ගම් අද මැකී ගොසින්ය. එයට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍ය
රජය විසින් ක්‍රමානුකූලව නගරයේ පවතින ඉඩම් වෙන්දේසි කිරීමයි.එසේම ඔවුන්ගේ පරිපාලන
මධ්‍යස්ථානයක් වශයෙන් නගරය දියුණු කිරීමද කොළඹ අනුරාධපුර මාර්ගයත් දඹුලු මාර්ගය
තැනවීමත් හේතු කොට ගෙන මෙය සිදු විය.ඉහතකී කුරුණෑගල විස්තරය අනුව රජුගේ මාළිගය
පිහිටා තිබී ඇත්තේ ඇතුගල මුදුනේය.මාළිගා සතරක් ගැන මෙහි සඳහන්ය. නමුත් මාළිගාවන්හි
නටබුන් ප්‍රමාණවත් පරිදි අද දක්නට නොහැකිය.මෙම විස්තරයේ සැතපෙන මාළිගය යනුවෙන්
දැක්වෙන ස්ථානය ගල පාමුළ දැනට පැරණි කච්චේරිය පිහිටා තිබෙන භූමිය වන බවට නිසැකය.
පැරණී බ්‍රිතාන්‍ය නිළධාරීන් ගේ සටහන් අනුව එය අපට තේරුම් ගත හැකිය.එම මාළිගයේ නටබුන්
පදනම් භාවිත කොට කච්චේරි ගොඩනැගිල්ල තනවා
ඇති බව පැහැදිලිය.මාළිගයට නුදුරින් මහදුනු සියයක් ගිය තැන දළදා මාළිගය පවතින බව
කියා තිබේ. 2011 දී දළදා මාළිගය යයි දැන් හඳුන්වන වයඹ පළාත් සභා ගොඩනැගිල්ල අසල
තිබෙන ගල් උලුවස්ස වටා ගඩොල් බැමි විය. දැන් එය නැත. පඩිපෙළ වෙනම පවතී. මේ උලුවස්ස
දළදා මාළිගයක කොටසක්ද යන්න තවදුරටත් විමර්ශනය කළ යුතුය.මෙම ස්ථානයට නුදුරින්වූ ගල්තලාව මත කැපූ කුඩුම්බි වලවල් කීපයකි. ගල්පඩි
කීපයකි.පැරණි මිනුම් ක්‍රම අනුව මහදුන්නක් යනු මහබඹ හතරකි. බඹයකට අඩි හයකි.එවිට
මහදුනු සියයක් යනු අඩි හයසීයකි. මේවා පිළීබඳ ගවේශණාත්මක විමර්ශනයක් කිරීමට මේ
මිනුම් ප්‍රයෝජනතවත්ය.දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගල් උලුවස්ස සමීප
භූමියේ කැණීම් ආරම්භ කර තිබේ.
සතරවන
පරාක්‍රමබාහු සමයේ දී කුරුණෑගලට සතුරු ආක්‍රමණයක් එල්ලවූ බව නාරන්බැද්ද සෙල්
ලිපියෙන් දතහැකිය .එම අවස්ථාවේදී බොහෝ තැන් විනාශ වන්නට ඇත. අනතුරුව ගම්පළට රාජධානිය
ගෙනයෑමෙන් පසු කුරුණැගල ශ්‍රී විභූතිය අවසන් වන්නට ඇත. පසුව බ්‍රිතාන්‍ය පාලන සමයේ
දී උඩරට වැසියන් සහ සත් කෝරලේ වැසියන් ඉංග්‍රීසි ආණ්ඩුවට එදිරිව කල අරගලයේ දී ඒ
කැරලි වලට මුහුණ දීමට බ්‍රිතාන්‍ය හමුදාව සිය වාසස්ථාන වශයෙන් කුරුණැගල නගරය තෝරා
ගෙන තිබේ. අනතුරව දහනවවන සියවසේ අග භාගයේ දී විශේෂයෙන්ම පළාත් පාලන ආයතන එනම්
නගරසභා සහ ලෝකල්බෝඩ් නම් පාලන ආයතන වර්ෂ 1892 දී ඉංග්‍රීසින් විසින් බිහි කරන
ලද්දේ නගරවල සනීපාරක්ෂක කටයුතු විධිමත් කරලීමටයි.ඒ අනුව කුරුණෑගල නගරයේ වරින් වර
වැඩි දියුණු කිරීම් වලට ඉංග්‍රීසින් අත ගසා තිබේ. විශේෂයෙන්ම ඔවුන්ගේ පරිපාලන
ගොඩනැගිලි සංවර්ධනය ට මුල් තැන ලැබී ඇත. රජුගේ සැතපෙන මාළිගයේ කොටස් ගලවා දමා ඒ අසල කච්චේරි ගොඩනැගිල්ල තැනූ බව
පැහැදිලි වන සාක්ෂි එමටය.එසේම පැරණී ගොඩ නැගිලි වල ගල් ගලවා නගරයේ කාණු පද්ධතිය
සකස් කළ බවට හැඟවෙන ලියවිලි කීපයක් ලෝකල් බෝර්ඩ් වාර්තා වල දක්නට ඇත.
ඉන්පසු නගරයට
ජලය සැපයීම ගැන ඔවුන් උනන්දු වී තිබේ. ගල මුදුනේ සිට ගලන සිසිල් දිය ඇළි ගල පහළට
දිය ඇල්ලක් මෙන් වැටී ගලා ගිය මනරම් පරිසරයක් කුරුණැගලට තිබුණි. හතරවටේ වැව්
හතරකි.වේනරු වැවත් උඩවත්ත වැවත් තිත්ත වැල්ලවැවත්(සාරගම) අදටත් ජීවමානව තිබේ.
නමුත් වීල් ගොඩ වැව මැදමීගහවැව මෙන්ම කොකටියාව යන වැව් විනාශ වී ඒ මත ගොඩ නැගිලි
ඉඳිවී තිබෙන ආකාරය දැකිය හැකිය .විල්ගොඩ වැව සෑදී ඇත්තේ විල් පහක් එකතු වීමෙනි.වේනරු
වැව ගැන අගනා පුරාවෘතයක් බ්‍රොහියර් මහතා දක්වා තිබේ. ඒ මෙසේය.පුරාණයේ එක් නියන්
සමයක වැව් සියල්ල හිඳි ගිය නමුත් වේනරු වැව පමණක් ජලයෙන් පිරී තිබුණි. මේ නිසා අලි
ඇතුන් සහ වන සීපාවුන් විශාල ප්‍රමාණයක් වතුර බීමට පැමිණෙන්නට පටන් ගෙන
ඇත.මිනිසුන්ට වතුර හිඟ වන්නට පටන් ගැණුන හෙයින් එක්තරා මහලු කාන්තාවක් විසින් කොළ
පැලැල්ලක් වියා වැව ආවරණය කරන ලදී. නමුත් මේ පැලැල්ලත් කඩා ගෙන පැමිණි අලි ඇතුන්
නිසා කෝපයට පත් කාන්තාව ශාපයක් කලේලු. ඒ ශාපය නිසා අලි ඇතුන් ගල් වී ඇතුගල සැදුණු
බවද කියයි. කොළ පැලැල්ලෙන් ආවරණය වූ ප්‍රදේශයේ පිහිට කන්ද අදටත් කොළ පැලලි කන්ද
ලෙසට ව්‍යවහාර වෙයි.
වර්තමාන
කුරුණැගල නගරයේ පිහිටි වැව උඩවත්ත වැව ලෙසට කුරුණෑගල විස්තරයේ දක්වා තිබේ. පසු
කාලයේ එයට රන්තලියේ වැව යයි කීවේ. වත්හිමි කුමරු ගේ කාලයේ දී රන්තලියක් මතුවීම
නිසාවෙනි. මෑත කාලයේ මෙම වැව පිළිසකර කරන විට වසර 900 ක් පමණ පැරණි යැයි සැලකෙන අඩි
32 ක් දිග කුඹුක් දැවමය විශාල ඔරුවක් මතුවී ඇත. එය දැනට පුරාවිද්‍යා කාර්යාලය අසල තැන්පත්
කර තිබේ.වැවේ වාන පිහිටා තිබී ඇත්තේ යන්තම්පලාව පැත්තෙනි. වානවීදිය යයි නාමයක්
තවමත් දක්නට ඇත. පුරාණ රජපිහිල්ල රජුන් ස්නානය කළ තැනයි.එම ස්ථානයේද ඇත් කඳ විහාරය
අසලද පැරණි ළින් දෙකක් තිබී ඇත. 1883 දී මෙය අලුත්වැඩියා කර ඇත. ඊට අමතරව 1895 දී
අධිකරණ කාර්යාලය භූමියේ තිබූ ළිඳක් ඉංග්‍රීසීන් විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ.එසේම
වසංගත රෝහල් භූමියේ තිබූ ළිඳක් ද පිළිසකර කර තිබේ.කුරුණැගල විස්තරයේ සඳහන් පැරණි
ළින් රාශිය ගැන සාක්ෂි අදවන විට ඉතා අවමය.
උඩවත්ත වැවෙන් ගලන ඇළ වාන් ඇළ වශයෙන්ද වේනරුවෙන්
ගලන ඇළ බූ ඇළ වශයෙන් ද හඳුන්වන අතර ඒ ඇළවල් දෙකම එක්වී මගුරු ඔයට වැටේ.මල්කඩුවාව
යයි ව්‍යවහාර වන පෙදෙස පැරණි විලකි.රජුට මල් නෙලා ගත් මේ විල දැන් දක්නට නැත.
කොකටියාවත් මැදමීගහවැවත් මේ ආසන්නයෙ තිබෙන්නට ඇත. හකුරුකැටියාව නමින් වූ තවත්
වැවක් තීබී පවතින බවට සක්ෂි හමුවෙයි.පැරණි නගරයට පිවිසෙන කඩවත් අතරින් නුවර පාරේ
ඇළ ආසන්නයේ පවතින පීලිකඩ කඩවත මරලුවාවේ කඩවත සහ වදාකඩෙ පමණක් අද නාමික වශයෙන් ජීවමානය. නුවර පැත්තට
යන්නවුන් පිළී උනා ඇලෙන් එගොඩ වූයේ පිළී කඩවතේ දීය.
1890
සිටම ඉංග්‍රීසීන් නගරය ගොඩ නැන් වීමට බොහෝ දේ කර ඇත. ඉඩම් වෙන්දේසි වලින් වැඩි ප්‍රමාණයක්
මිලදී ගෙන ඇත්තේ මුස්ලිම් වානිජයන්ය. ඔවුහු පසු කාලයේ ලෝකල් බෝඩ් වල ප්‍රධාන
සාමාජිකයන් වූහ.මෑතකදී කාඩා බිඳ දමන ලද පැරණි නගර ශාලා ගොඩනැගිල්ල ගැන අගනා
ලිපියක් මීට පෙර ධනේෂ් වෙසුම්පෙරුම මහතා විසින් දිවයින බදාදා අතිරේකයට සපයා
තිබුණි.
මේ
ගොඩනැගිල්ල ආසන්නයේ දඹුලු මාර්ගය පුලුල් කිරීමේ දී දැමූ කොන්ක්‍රීට් කාණුව
හෑරීමේදී පැරණි ගල් කාණුවක කොටස් අසු විය.මේවා පැරණි ගල් තලාඳ බව පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.1892 සිට කළ නගර සංවර්ධන කටයූ වලදී ඉංග්‍රීසීන්
සාදවන ලද කාණු පද්ධතියේ කොටසක් ලෙසට මෙය හැඳින්විය හැකිය. මෙවැනි කාණු රාශියක්
නරගය පුරා 1907 දක්වා ම සාදවන ලද බව ලෝකල් බෝඩ් වාර්තා මෙන්ම කුරුණෑගල කච්චේරි
වාර්තා විසින් පැහැදිලි කරදෙනු ලබයි. විශාල ඉතිහාසයක් තිබෙන නගරයක පැරණි ශ්‍රී
විභූතිය මෙන්ම එහි නටබුන් වූ කොටස් ගැන විධිමත ගවේශනයක් මෙතෙක් සිදු කර නොතීබීම
ඛේදජනකය.මෙම ලිපිය එවැනි විමර්ශනයකට මග පෙන්වීමක් වේවා.
මතුගම සෙනෙවිරුවන්
මූලාශ්‍ර -
(1). සැසි
වාර්තා අංක -1878
(2). PF 1106
ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)
(3). Administration Report
of Kurunegala Local Board, 1890
-1907
(4).
PF 2007
ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)
(5) Ancient Irrigation Works
in Ceylon –part 3 –R.L.Brohier
(6) හස්තිගිරිනගරය
හෙවත් කුරුණෑගල් නුවර - රංගන කුරුවිට
(7)
කුරුණැගල විස්තරය -පුෂ්පදේව හිමි -(ජාතික පුස්තකාලය අංක 15460)
No comments:
Post a Comment