පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, March 24, 2018

සීමා නිර්ණයට මුවා වී පැතිරෙන ආණ්ඩුවේ ජාතිවාදය


                                     

                    ලංකාවට සර්ව ජන චන්ද බලය ක්‍රියාත්මක කරලීමට නීතිමය තත්වයන් සහතික වූ පසු විවිධ අවස්ථාවලදී  මැතිවරණ කොට්ඨාශ වල සීමාවන් සළකුණු කිරීම සිදු කර තිබේ.එයට පෙර බ්‍රිතාන්‍යයන් සිය පරිපාලන පහසුව පිණිස දිස්ත්‍රික්ක ක්‍රමයත් උප දිසාපති ක්‍රමයත් ඇති කර සීමාවන්ද සලකුණ කළහ. පළාත් සභා පිළිබඳ පණත 1987 දී සම්මත කර තිබුණද එම මැතිවරණ ක්‍රමය ආරම්භයේ සිටම සමානුපාතික පදනමින් ක්‍රියාත්මක වූ බැවින් කොට්ඨාශ නිර්ණයක් සිදු වූ යේ නැත. 2018 පැවති පළාත් පාලන මැතිවරණයට අදාළව කේවල ක්‍රමයට සහ සමානුපාතික නියෝජනයට සරිලන ලෙස මැතිවරණ සංශෝධනයක් සිදු විය. ඒ අනුව 2014 වර්ෂයේදී ජයලත් රවි දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර සීමා නිර්ණ කටයුතු ආරම්භ කරන ලද අතර පසුව එම වාර්තාවද වෙනස් කොට නව කොට්ඨාශ ක්‍රමය ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කර නීති ගත කරන ලදී.පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවයි. ඉන්පසු 2017 සැප්තැම්බර් මස පළාත් සභා සංශොධන පණත  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.  ඒ අනුව පළාත් සභා මැතිවරණයද කොට්ඨාශ ක්‍රමයට සහ සමානුපාතික ක්‍රමයට සිදු කරනු ලැබේ යැයි ප්‍රකාශයට පත් විය.
         මෙම තත්ත්වය උදා වීමට පෙර ඌව සපරගමුව සහ නැගෙනහිර පළාත් සභාවල ධූර කාලය අවසන් විය. එවිට එම මැතිවරණය පැවැත්වීම රජයේ වගකීම විය. එහෙත් ජනතා අප්‍රසාදය තුළ මැතිවරණයකට යෑම ප්‍රශ්ණයක් බවට පත් විය. රජයට අවශ්‍ය වූයේ කෙසේ හෝ මැතිවරණය කල් දමා ගැනීමයි. එම නිසා සියළුම පළාත් සභා එකම දිනයකදී පැවැත්විය යුතු බවට සංශෝධනයක් ඉදිරිපත් විය. පෙර සඳහන් කරන ලද්දේ එම සංශෝධන පණතයි. ජූලි මාසයේ මුල් වරට ඉදිරිපත් කර තිබූ අංක 195 පණතෙහි වූයේ වගන්ති දෙකක් පමණකි. එහි අංකය වෙනස් කරමින් මෙම පළත් සභා සංශෝධන පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. එහිදී  ඒ කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු හතලිස් තුන් දෙනෙකු එයට විරද්ධව චන්දය භාවිත කල අතරඑ.ජා.ප.ය ජ.වි.පේ.  දෙමළ ජාතික සන්ධානය හෙළ උරුමය ඇතුළු සියළු දෙන එකතුව 154 දෙනෙකු පක්ෂව චන්දය භාවිතා කළහ.
        2017 අංක 17 යනුවෙන් සඳහන් මෙම පණතෙහි මූලික අර්ථය නම් පළාත් සභා සියල්ල එකවර පැවැත්වීම වුවද එය යටතේ සීමා නිර්ණ කෙමිසමක් පත් කිරීමට බලය ලබා දෙන ලදී. සුදුසු කම් ලත් පුද්ගලයන් එම කොමිසමේ සාමාජිකයන් ලෙසට පත් කිරීම කළහැකි විය. කොමිසමේ බලතල තෙවැදෑරුම් වෙයි. පළමුව සඳහන් වන්නේ යම් කොට්ඨාශයක් තීරණය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කාරණයයි. එම පණතේ හතරවන වගන්තියේ පළමු ඡේදයේ එය මෙසේ සඳහන්ව තිබේ.යම් පරිපාලන දිස්ත්‍රික්කයක ජීවත් වන වැඩිතර ජනගහනය තුළ ජන වාර්ගික ආගමික  කණ්ඩායමක් විද්‍යාමාන වේ නම් ඔවුහු එක්සත්ව ගෞරවනීය ලෙසට වෙන්ව සලකා බැලීමට කැමැත්තක් ඇත්නම් එම කණ්ඩායමට ගැලපෙන සීමා නිර්ණයක් කළ යුතුය. දෙවැන්න නම් කොට්ඨාශයට යෝග්‍ය පරිදි ජනගහනය සංවිධානය කිරීමයි. තෙවැන්න නම් භුගෝලීය සහ සමාජ විද්‍යාත්මක පසුබිම සලකා බලා කොට්ඨාශ නිර්ණය කිරීමයි.
       නව කොට්ඨාශ නිර්ණයේ දී අතීතයේදී සලකා බලා ඇත්තේ ඉහත සඳහන් යෝජනා අතර තෙවැන්න ප්‍රමුඛත්වයට ගනිමිනි. එයට හේතුව ලංකාව තුළ එවැනි භූගෝලීය තත්ත්වයන් මනාව විද්‍යාමන වන බැවිනි.පැරණි පරිපාලන බෙදීම් වන කෝරළ පත්තු සහ රට යන සීමාවන් තුළ මෙම භූගෝලීය විෂමතා හඳුනාගන්නට හැකි විය. එහිදී එම ප්‍ර දේශයේ ජීවත් වන ජන ගහනය ප්‍රමුඛතාවට නොගැනේ.නමුත් ජීවත් වන ජනගහනයට සාපේක්ෂකව ජනතා නියෝජිතයන් ගණන තීරණය කිරීමට අවස්ථාවක් ලැබේ. විසිවන සියවසේ ඇති කළ  මුල් මැතිවරණ සීමා නිර්ණ සඳහා මෙම තර්කයන්  මැනවින් යොදා ගත්හ. නමුත් වර්තමාන පළත් සභා සීමා නිර්ණයේදී ප්‍රථම වරට ජාතිවාදීව සහ ගෝත්‍රවාදීව සීමා නිර්ණයට සහ ජනගහනයේ බෙදීමට ප්‍රමුඛතාවය හිමිව තිබේ. ජ.වි.පෙ.එ.ජා.ප.දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය ඇරුණු කොට මෙවැනි තත්ත්වයක් මෙරට ජීවත්වන බහුතර ජනතාව හෝ අනෙක් පාර්ලමේන්තු මන්ත්‍රී වරු ඉල්ලා නොසිටියහ. යම් ජන වර්ගයක් විශාල වශයෙන් වෙනම ඒකරාශි වී සිටී නම් එම ප්‍ර දේශය තුළ බහුආසනයක් ඇති කිරීමේ සම්ප්‍රදාය අතීතයේ සිටම පැවතියහ.නමුත් 2017 පළාත් සභා පණත යටතේ මෙවැනි යෝජනාවක් ඇතුල් කරන්නට ඇත්තේ ජන වාර්ගික වශයෙන් රට බෙදා වෙන්කිරීමට යහපාලන ආණ්ඩුවේ තිබෙන කැමැත්ත මතය. විශේෂයෙන්ම අගමැතිවරයාගේ තනි කැමැත්ත මතය. ඒ බැව් තහවුරු කරන තවත් වගන්තියක් මෙම පනතේ ඇත. එනම් එහි දොලොස්වන වගන්තිය ප්‍රකාරව සීමා නිර්ණ වාර්තාව යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ සම්මත නොවුණහොත් විවිධ ජන වර්ග නියෝජනය කරන සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුක්ත සමාලෝචන කොමිසමක් පත් කිරීමට අගමැතිවරයාට බලය දී තිබේ. එහි ප්‍රධානියා වන්නේ ද අගමැතිවරයාම වෙයි. එවිට සීමා නිර්ණ වාර්තාව නැවත සමාලෝචනය කිරීමෙන් යළි ඉහතකී ජනවාර්ගික බෙදීම යලි ඇති කරලීමට රජයට හැකියාව ලැබේ.මෙම තත්ත්වය ගොඩනැගීමට පසුබිම් වූ ප්‍රධානතම එකඟතාවය නම් සිංගප්පූරු ගිවිසුමයි.එම ගිවිසුම විශාල මුදල් කුට්ටි මත තීරණය වූවක් විය.
       මෙම සීමා නිර්ණ වාර්තාව සකස් කරලීමට පත් කර ඇත්තේ කවුරුද කියා මෙහිදී විමසා බැලිය යුතුය. එහි සභාපතිවරයා වන්නේ හිටපු මිනුම්දෝරු අධිකාරිවරයෙකු වන කේ.තවලිංගම් මහතාය. ඊළඟ ප්‍රධාන සාමාජිකාව අගමැතිවරයාගේ ඥාති වරියක වන අනිලා ඩයස් බණ්ඩාරනායක මහත්මියයි. තෙවැන්නා මහාචාර්ය හිස්බුල්ලා මහතාය. මේ තිදෙනාගෙන් දෙදෙනෙකු සෘජුවම කොටි බෙදුම්වාදය සඳහා දායකත්වය සැපයූවන්ය. තෙවැන්නා මුස්ලිම් අන්තවාදය පෝෂණය කරන ඇමතිවරයෙකුට උපදෙස් දෙනේනෙකි. ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාව  මෙම 22 දින පාර්ලිමෙන්තුවේ විවාදයටද ගැනීමටද නියමිත නමුත් මෙතෙක් එම වාර්තාව අන්තර්ජාලයෙහි පළ කර නොමැත..  ඒ නිසා මෙම වාර්තාවට විරෝධතා ඇතිවීම වුවමනාවෙන් වළක්වා තිබේ.
     මෙම වාර්තාවේ සඳහන් පරිදි කලුතර දිස්ත්‍රික්කයේ ආසන බෙදී යෑම ගැන සඳහන් කිරීමෙන් ආණ්ඩුවේ ජාතිවාදය සහ අන්තවාදය පැහැදිලි කරගත හැකිය. පළාත් සභා මන්ත්‍රී වරුන් එකොළොස් දෙනෙකුට සරිලන ලෙස මෙම සීමා නිර්ණය කළ යුතු වූ අතර අපගේ යෝජනාව වූයේ විශාල ආසනයක් වන අගලවත්ත  සහ  මතුගම දෙකට බෙදමින් තවත් ආසන දෙකක් නිර්මාණය කරන ලෙසටය. එහිදී භුගෝලීය වශයෙන් තිබෙන බාධක උදාහරණයක් වශයෙන් ගංගා ඇළදොළ ආදිය  සලැකිල්ලට ගනිමින් එය කළ යුතු බවට යෝජනා කළද සීමා නිර්ණ කොමිසම හිතුවක්කාර ලෙසට අගලවත්ත ආසනය සම්පූර්ණයෙන් ඉවත් කර කිසිම විද්‍යාත්මක හේතුවක් නොමැතිව වාද්දුව සහ මදුරාවල සහ වලල්ලාවිට නමින් ආසන තුනක් නිර්මාණය කර තිබේ. එසේම දොඩන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලීය බල සීමාවේ තිබූ වසම් හතලිස් පහෙන් කීපයක් කඩා මතුගමට එක්කර බේරුවල ප්‍ර දේශීය ලේකම් කොට්ඨාශයෙන් සිංහල බහුතරය එනම් වසම් තිස්පහක් එක් කර වසම් හැට පහක් වන ලෙස දොඩන්ගොඩ නමින් ආසනයක් ඇති කර තිබේ.  දොඩන්ගොඩට ඉතාමත් සමීප තෙබුවන වඩුගම ආදී වසම් සියල්ල මතුගම කලාපයට එක් කර තිබෙන බව මෙහිදී සැලකිල්ලට ගත යුතුය.. මෙම සීමා නිර්ණය පරිදි බේරුවල යනු මුස්ලිම් චන්ද බහුතරයකින් ජයගත හැති ජාතිවාදී ආසනයක් බවට පත් කර තිබේ.බේරුවල සිටි බහුතර සිංහලයන් ඉවත් කර  මුස්ලිම් ජනගහනය ඉස්මතු කරවීම ඊට හේතුවයි.මීට අමතරව මහනුවර දිස්ත්‍රක්කයේ අකුරණ සහ පූජාපිටිය ආසන්නයේ පවතින සිංහල ජනගහනය පවතින වසම් වලට මුස්ලිම් බහුතරය එක් කරමින් තවත් ජාතිවාදී සීමා නිර්ණයක් කර තිබේ.නමුත් සිංහල ජනගහනය තිස්හයදාහකට අධිකව සිටින අඹගමුව ප්‍රා දේශීය ලේකම් බෙල පෙදෙසට ආසනයක් නොදී එම සිංහල ජනගහනය බහුතර දෙමල ජනගහනයක් සිටින මස් කෙළියට ඈඳා කර තිබෙන ජාතිවාදී විගඩමෙන් ගම්‍ය වන්නේ මෙම කොමිසමට සිංහල ජනතාවගෙන් පළි ගැනීමට තිබෙන ආශාවයි.
           මෙම කොමිසම කලුතර දිසත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි දිනය මහජන නියෝජිතයන්ට වසන්ව පැවති ඇතර සාක්ෂි දීම සුලු වශයෙන් සිදුවිය. එහි සාක්ෂි දීමට පැමිණි පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමියන් සෘජුවම පනහට පණහේ ප්‍රතිශතයට විරොධය පෑ අතර  උන්වහන්සේ ගේ නාමය පවා වාර්තාවෙන් ඉවත් කර තිබේ. මේ ආකාරයෙන් බලන කල්හි ඉකාමත් ජාතිවාදී ලෙස පළාත් සභා සීමා නිරණ වාර්තාව සකස් කර තිබෙන බව පෙනේ.ජනතා විමුක්ති පෙරමුන මෙම පණත සම්මත කරලීමට සුවිශේෂී දායකත්වයක් සැපයූහ. ඒ මගින් ඔවුන්ගේද ජාතිවාදී ගෝත්‍රවාදී දේශපාලනය ඉස්මතු වූ බව පැවසිය යුතුය. මෙම ක්‍රමය මැතිවරණයක් පැවැත්වුවහොත් රටේ බෙදීම තවත උග්‍ර වන අතර පළාත් පාළන මැතිවරණයේ දී උදගත වූ තත්ත්වය දෙගුණ තෙගූණ වී බලවත් දෙශපාලන අර්බුදයක් බවට පත් වීමට ඉඩකඩ තිබේ.එම නිසා පණහට පණහේ ප්‍රතිශතය මෙන්ම ජාතිවාදී ලෙස සීමා නිර්ණය කළ හැකි වගන්ති සංශෝධනය කිරීමට මන්ත්‍රීවරුන්ට නුවණ පශළ විය යුතුය.විධායක ජනපති ක්‍රමය අහෝසි කරලීමට වඩා මෙම අර්බුද සමනය කර ගැනීම රටක් වශයෙන් අප සැමට සුභ දායක වෙයි.


Friday, March 16, 2018

පොලිසියේ සිහිය මහජනයා ගැනද දේශපාලකයන් ගැනද


                  
        
                  දිගන ඇතිවූ ගැටුම දේශපාලන අන්තවාදී ප්‍රවණතාවයකි.එහෙත් රජය සහ ඇතැම් මාධ්‍ය මෙම සිදුවීම සිංහල අන්තවාදී ගැටුමක් ලෙසට හුවා දැක්වූහ.එම ප්‍රතිරූපයම ජාත්‍යන්තරයට නිකුත් කිරීමට වගබලා ගත්හ.අවසානයේ  දී යහපාලන රජය සැනසුම් සුසුම් හෙලුවාට සැක නැත.ඒ ඔවුන් ගේ අදක්ෂ අකාර්යක්ෂම හිරිකිත පාලනය පිළිබඳ තිබූ විරෝධය යම් තරමකින් යටපත් වූ බැවිනි.දහනව වන සංශෝධනය මගින් තොරතුරු දැන ගැනීම පිළිබඳ නීති  පැණවූ ආණ්ඩුව විසින්ම තොරතුරු වාරණය කරන්නට යෙදූහ.තොරතුරු පණතට යටත් ඇතැම් රාජ්‍ය ආයතන තොරතුරු නොදීමෙන් මග හැර යන පසුබිමක් ද මේ අතර නිර්මාණයව තිබේ.නමුත් මුස්ලිම් සහ දෙමළ අයට අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලැබේ.එවිට ස්වාධීන කොමිෂන් සභා කුමකටද.ඒවා ජාත්‍යන්තර ට්‍රෝජන් අශ්වයන් නොවේද.
          දිගන සිදුවීම් පාලනය කිරීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මේ වන විට ඉල්ලා අස්වීම කළ යුතුය.එහෙත් මේ සිදුවීම ජගත් තලයට පැතිරුණ කල්හි අගමැතිවරයාගේ ප්‍රතික්‍රියාව වූයේ කැබිනට් සංශෝධනයක් මගින් නීතිය සහ සාමය ඇමති ධූරය රංජිත් මද්දුම බණ්ඩාරට පැවරීමයි.එයින් ගම්‍ය වන්නේ ජනතාවට බය නැති අගමැති ජාත්‍යන්තරයට බය ඇති බව හොඳ හැටි පෙන්වීමයි.
       ලංකාවේ පොලිස් සේවය නිල වශයෙන් පිහිටුවනු ලබන්නේ 1865 පොලිස් ආඥා පණත බල ගැන්වීමත් සමගය. එම දෙපාර්තමේන්තුවට වසර එකසිය පණස් තුනක ආයුකාලයක් ගතව ඇති අතර අත්දැකීම් රාශියකින් එය ජව සම්පන්නව පවතී. පොලිස් (POLICE) නම් ආරක්ෂක සේවය බ්‍රිතාන්‍ය පාලනයේ දායාදයකි.එයට පෙර සිංහල රජ දවසද එවැනිව නීතිය සහ සාමය සුරකින ආරක්ෂක බල මුළුවක් පැවතුණි.එහෙත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුව සැදුණු පොලිසිය ඉන් වෙනස් වේ.පොලිස් නම් වචනය විග්‍රහවන ප්‍රධාන අර්ථ හයක් පවතින බව පැවසෙයි. අචාර සම්පන්නබව( polite) කීකරුභාවය (obedient) රාජපාක්ෂික භාවය(loyalty) බුද්ධිමත්කම (intelligent) ප්‍රණාමය (curtsy) සහ කාර්යක්ෂමභාවයයි.(efficient)  පොලිටියා නම් ප්‍රංශ වචනයේ මූලික අර්ථ මේවා නොවන නමුත් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය විසින් මෙම ආරක්ෂක හමුදාවට අවශ්‍ය ගෞරවය සහ වගකීම ලබා දීමේදී මෙවැනි අර්ථ ගැන්වීමක් කළ බව පැහැදිලිය.
      වසර එකසිය පණස් තුනක් පැරණි මෙම ආරක්ෂක සේවය ඔවුන් ගේම වචන වලින් ගැබ්වන අර්ථ දැක්වීම් අනුව කටයුතු කළ යුතුය.එයට හේතුව අතීත අත්දැකීම් රාශියකින් මෙන්ම විනයානුකූල පසුබිමක්ද එයට තිබෙන නිසයි. පොලිස් දෙපාර්තමේන්තුව පිහිටුවා වසර සීයක් ගත වූ දවසේ ඔවුහු පොලිස් මහජන සම්බන්ධතා අංශයක්ද පිහිටවූහ.එසේම 1974 දී එතෙක් යටත් විජිත යුගයේ පැවති නිල ඇඳුම වෙනස් කොට පොලිස් නිළධාරීන්ට ගෞරවාන්විතව සේවය කිරීමට අවස්ථාව සලසා දුන්හ.පොලිස් දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට පැවරෙන මූලික රාජකාරි අතර කැරලි මර්ධනය විශේෂ වේ. එම දෙපාර්තමේන්තුවේ ආරම්භක අවස්ථාවට ආසන්නව එනම් 1858 දී සරදියෙල් ඇල්ලීමට ගිය අවස්ථාවේදී පොලිස් නිළධාරියෙකු මිය ගියේය.එසේම ආර්.ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාව සිටින විට  කොටි වෙනුවෙන් අවි ආයුධ සැපයීමේ ප්‍රතිඵලයක් ලෙසට  පොලිස් නිළධාරීන් 600 ක් ඝාතනය වූ බව සිහිපත් කළ යුතුය.අතීත පොලිස් සේවයේ අපකීර්තිමත්ම අවස්ථාව වන්නේ අටවන පොලිස්පති වශයෙන් පත්වූ හර්බට් ලෙයාඩ් ඩවුබිගින් මහතා ගේ සේවා කාලයයි.
       විසිවන සියවස මුල් භාගයේ ඇති වූ ජනතා උද්ඝෝෂණ විශේෂයෙන්ම කරත්ත කරුවන් ගේ වැඩ වර්ජනය ඉන්පසු අමද්‍යප ව්‍යාපාරයේ ජනතා ඒක රාශිවීම් ආදිය පාලන කිරීමට පොලිසිය යොදවනු ලැබූහ.ඒවායෙන් ලද අත්දැකීම් හිතකාරී නොවේ.විශේෂයෙන්ම 1870 දී පමණ කොළඹ පොලිස්පති කාර්යාලයට මුස්ලිම් කැලිකරුවන් විසින් පහර දීම නිසා වඩා විධිමත් ආරක්ෂක සේවයක් ඇති කිරීමට ඉංග්‍රීසි ආණ්ඩුවට වුවමනා විය. 1912 දී ප්‍රසිද්ධ සුරා පණත මගින් ඇතිවූ කැළඹීම රට පුරා ව්‍යාප්ත වත්ම ජන විරෝධතා මර්දනය කිරීම ද අවශ්‍ය විය. එසේම 1815 වසරේ ගිවිසුමකින් රට ඉංග්‍රීසීන්ට භාර දීම සිදු වීමෙන් වසර සියයක් ගත වීමද යෙදී තිබුණි. මේ නිසා රටේ ජාතික නිදහස වෙනුවෙන් ජාතික නායකයන් නව  මුහුණුවරකින් පැවති ආණ්ඩුවට එරෙහිව වීදි බැස සිටියහ. මෙම කැළඹීම් මර්දනය කිරීමට 1913 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඩවුබිගින් මහතා පත් කරන්නට යෙදුණහ.
        මේ වන විට 1907 දී  වලහගොඩ දේවාල පෙරහැරට ගම්පොල මරක්කල පල්ලියක් ඉදිරියෙන් යෑමේදී  දැමූ තහංචිය නිසා නොසන්සුන් තාවයක් ඇතිව තිබුණි.එම සිද්දිය උසාවියට යොමු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මරක්කල පාර්ශවයට වාසිදායක තීන්දුවක් දීමෙන් බෞද්ධ ජනතාව කැළඹුණහ. උඩරට ගිවිසුම උල්ලංඝණය කරන ලදැයි ප්‍රකාශ විය. එසේම වෙසක් උත්සවය සඳහා දන්සැල් පැවැත්වීමට මහනුවර නාගරික කොමසාරිස් වරයා ගෙන්  අවසර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කරනු ලැබිණ. එයට හේතුව දන්සැල් නිසා මුස්ලිම් කඩවලට පාඩු සිදුවන බවට ඔවුන් පැමිණිලි කිරීමයි. කෙසේ හේ වෙසක් උත්සව දිනය යෙදුණු මැයි පස් වනදා බෞද්ධ පෙරහරකට පහර දීම නිසා කෝලාහලයක් ඇති වී රට පුරා එය පැතිර ගියේය. රජය යුද්ධ නීතිය පණවා කැරලි කරුවන් පමණක් නොව එවකට නිදහස වෙනුවෙන් හඬ නැගූ සිංහල නාකයන්ද අත් අඩංගුවට ගත්හ. බොරු චෝදනා එල්ල කරමින් ආතර් වී දියෙස් වැනි ජන හිතෛෂී නායකයන් ද මරණීය දණ්ඩනයට යටත් කළහ. එසේම කොළම නගරාක්ෂක බලකායේ හෙන්රි පේද්‍රිස් තරුණයාට යුද්ධ අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර එම දඬුවම ක්‍රියාත්මක කළහ. මේ කෝලාහලය පිළිබඳව අගනා ග්‍රන්ථයක් රචනා කරන මෝර්නින් ලීඩර් පත්‍රයේ කර්තෘ ආමන්ඩ්ද සූසා මහතා කරන විවරණයේදී පැහැදිලි වන්නේ මෙම කෝලාහලයේදී පොලිසිය ක්‍රියාත්මක වූ අමනෝඥ භාවයයි.
         රාජ්‍ය මන්ත්‍රණ සභිකයකු වූ හැරී ක්‍රීසි මහතා ගේ වචනයක් එහි බහා තිබෙන්නේ මේසේය.මේ කලබල අව්සථාවේ දී පොලිස් හමුදාව  මෙහෙයවනු ලැබූවේ කනිෂ්ඨ නිළධාරීන් තිදෙනෙකු විසිනි. ජූනි 1 දින කොල්ල කරුවන් කොල්ල කමින් මිනිසුන් මරමින් කෝලාහල කරද්දී පොලිස් භටයෝ බැටන් පොලු පමණක් ගෙන වීදි සංචාරය කළහ.මිනිසුන් වීදි වල කොල්ල කද්දී ඔවුන් විසිරුවා නොහරින්නේ මක් නිසාදැයි පොලිස් භටයන්ගෙන් මා ඇසූ කල්හි ඔවුන් කීවේ ඒ සඳහා උපදෙස් ලැබී නැති බවයි.
     මෙම කෝලාහලය සම්බන්ධව කුරුණෑගල උසාවියේ පවරා තිබූ අංක 3649 දරණ නඩුව විභාග කළ ජී. ඩබ්. වුඩ්හවුස් මහතා මුස්ලිම් සිංහල දෙපක්ෂය සමගි කරලීමට බැරි වීම පිළිබඳව පොලීසිය හෙලා දැක්කේය .සමගි කරවීම වෙනුවට පොලිසිය කර තිබෙන්නේ නඩු යාමට දෙපක්ෂයම දිරි ගැන්වීමයයි ඔහු සඳහන් කළේය. 1915 දී බලවත් ජීවිත හානි වලට පසුබිම්  වූ මුස්ලිම් කෝලාහලයට ලංකා පොලිසියේ ප‍්‍රතිපත්තියෙහි පැහැදිලි දුර්වල කම හේතු වී ඇති බව ද හේ වැඩි දුරටත් ප‍්‍රකාශ කලේය.
        මෙම සිදු වීමෙන් දැන් වසර සියයක් ගතවී තිබේ. එයට පෙර 1983 වර්ෂයේ ඇතිවූ සිංහල දෙමළ ගැටුම ද මෙලෙසම පාලනය කිරීමට පොලිසිය අසමත් විය. සමාජ ජාලා නොතිබුණු එවැනි කාලයක වේගයෙන් ඕපාදූප හුවමාරු විය. රට ගිනි තැබීමට මෙන්ම මං කොල්ල කෑමට සැරසී සිටි පිරිසට පොලිසියේ ක්‍රියාකාරිත්වය මහත් පිටිවහලක් විය.2013 දී අලුත්ගම දර්ගා නගරයේ ඇතිවූ ගැටුමටද මූලික හේතුව වූයේ පොලිසිය නිසි පරිදි නීතිය සැමට පොදු ලෙස භාවිත නොකිරීමයි. මෙයින් පෙනී යන්නේ පොලිස් නම් මූලික වචනය අර්ථ ගැන්වෙන පරිදි මෙම දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සිහි එළවා නොසිටි බවයි. වසර සියයකට වැඩි කාලයක ඇතිවූ ජාතිවාදී ගැටුම් පිළිබඳ ඉතිහාසය හැදෑරීමට පොලිසිය උනන්දු වී නොමැත. එසේ වී නම් බුද්ධිමත්ව ආචාරශීලී කමින් යුතුව කාර්යක්ෂම සේවයක් ලබා දීමට හැකිව තිබුණි. සැබවින්ම මෙම සේවය තුළ ඉතිරිව පවතින්නේ රාජපාක්ෂික බව පමණකි. ඔවුහු පවතින රජය කුමක් වුවද එයට පක්ෂපාතීව තම මූලික වගකීම් අමතක කරමින් කටයුතු කර තිබේ. දිගන සිද්දියේදී විපතට පත් කුමාරසිරි මහතාගේ පවුලට  සහ ගම් වැසියන්ට අවශ්‍ය වූයේ රැකවරණයයි.ලෙන්ගතු කමින් දුක බෙදා ගැනීමට මූලික වීමයි. මළ ගෙයක් සිදු වූ විට සිංහල බෞද්ධයන් මේ මග අනුගමනය කරති. මහජන සම්බන්ධතා අංශයකින් ශක්තිමත්ව සිටින පොලිසියට එවැනි අවස්ථාවකදී විපතට පත්වූවන් සමග බෙදා ගැනීමට දුකක් නොතිබුණි. ඔවුහු දේශපාලකයන්ගේ කීම පිට සහ ඉහළ නිළධාරීන් සමග තිබෙන ගැටුම් මත රාජකාරිය මගහැර සිටියහ.මුස්ලිම් දේශපාලකයන් මැදිහත් වීම නිසා ඝතකයන්ට ලිහිල්ව නීති ක්‍රියාත්මක කළහ.මුස්ලිම් සහ දෙමළ පුද්ගලයන් සහ සිංහලයන් අතර ඇතිවන ගැටුමකදී මේ පොලිස් නිළධාරීන් වඩාත් පරිස්සම් වෙති. නීතිය ක්‍රියාත්මක කිරීමට ගොස් තමුන්ගේ පටි ගැලවේදැයි බියකින් පසුවෙති.පසුගිය කාලය පුරාවටම උතුරේ මහ ඇමති වරයා ශිවාජිලිංගම් මෙන්ම සම්බන්ධන්ද ජාතිවාදී  ප්‍රකාශ කරමින් සිංහල ජනතාව කුපිත කළහ. මියගිය කොටි සමරමින් රජයට සහ දකුණේ ජනතාවට ඔච්චම් කළහ. මේවාට එරෙහිව පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ නොහැකි විය.
      මෙම තත්ත්වය වඩාත් ඛේදනීය වන්නේ පොලිස් නිළධාරීන් දඩ බල්ලන්ගේ තත්ත්වයට ඇද දමා ඇති විටය. දේශපාලකයන්ගේ අවශ්‍යතා මත හැසිරවෙන ඔවුහු දයාව කරුණාව පැත්තකින් තබා මහජනයාට පීඩා කරති.ඒවා පිළිබඳ නිදර්ශන රාශියක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් මේ අතර අවංක කරුණාබරිත මහජනයාගේ හඬට කන්දෙන බොහෝ පිරිසක්ද සිටින බව අප අමතක නොකළ යුතුය. අවශ්‍ය වන්නේ එවැනි පිරිස් වැඩිකර ගැනීමය. එයට සරිලන මානසික පන්නරයක් ලබාදීමය. පොලිස් නිළධාරියෙකු කලුතර අභ්‍යාස විදුහලේ හෝ වෙනත් තැනක මූලික පුහුණුව ලබන විට රටේ ජාතික ඉතිහාසය ගැන අභිමානයකින් ඉගෙනිය යුතුය.තම මුතුන් මිත්තන් කල සටන් සහ එම යුධ උපක්‍රම දැන සිටිය යුතුය.එසේම කලාව සෞන්දර්ය රසාස්වාදය ගැනද සිත පුහුණු කළ යුතුය. කලකට ඉහත ගාල්ල මහින්ද විදුහලේ ළමා අපචාර සිද්දියේදී අත්අඩංගුවට ගත් වීඩියෝ කැසට් පට අතර  මැක්බත් චිත්‍රපටය ද විය. එම පරීක්ෂණය මෙහෙය වූ පොලිස් ස්ථානාධිපතිවරයා පුවත්පතකට කියා තිබුණේ මැක්බත් නම් අසභ්‍ය වීඩියෝ පටයක් හමු වූ බවයි.
         වර්තමානය වන විට පොලිස් කොමිෂන් සභාවක් බල ගන්වා තිබේ.දේශපාලකයන්ගෙන් ස්වාධීන වීමට මෙම සේවයට හොඳටම අවස්ථාව ඇත. එසේම සිය මූලික වචන වල අර්ථය නිති සිහිකරමින් රාජපාක්ෂිකභාවයට එහා යන යහපත් මහජන ආරක්ෂක සේවයක් බිහිකරලීම මගින් නවීන සංකීර්ණ සමාජය විනය ගරුක සංස්ථාවක් බවට පත් කර ගැනීමට අවස්ථාවක් සැලසේ. එයට මේ කාලය බව සිහිපත් කළ මනාය

        

Monday, March 12, 2018

උගුල් වලට විහින් අහුවන ඒකාබද්ධය


                                      
                 හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පනවා තිබියදී මෙන්ම රටපුරා ජාතිවාදී ගිනිදැල් මතුව තිබෙන අවස්ථාවේදී බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයකින් සම්මත කිරීම සිදුව තිබේ. ජනතාවගේ ඇස් වලට ජාතිවාදී ගිනි දැල් පෙන්නා ඒ අතරේ සමාජ ජාලා වාරණයක්ද ඇති කරමින් කරන ලද මේ කූඨ කුමන්ත්‍රණයට අගමැති කතානායක විදේශ ඇමති ඇතුළු යහපාලන රජයේ මන්ත්‍රී වරුන් පනස් දෙදෙනෙකුද අයත්ය. රථවාහන අනතුරක් නිසා ඇතිවූ කෝලාහලයක් පොලිසිය මගින් මැඩ පැවැත්වීමට මූලික පියවර නොගැනීම මෙවැනි නිර්ලජ්ජිත ක්‍රියාවකට අනුබල දෙන්නක් විය.මේ වන විට කෝලාහලය ජාතිවාදී ප්‍රශ්ණයක් බවට පත් කරගත්තේ යැයි කියන මහසෝන් බලකායේ නායකයා ඇතුළු කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.නමුත් තම දේශපාලන හයිය භාවිත කරමින් සමාජයේ දුර්මත පතුරුවාලූ මුස්ලිම් ඇමතිවරු සහ එක් සිංහල ඇමතිවරයෙකු තවමත් සිංහල බෞද්ධ සමාජය ගර්හාවට ලක් කරමින් සිටී.
          බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ සම්මුතියට ඉන්දියාව පවා මෙතෙක් අත්සන් තබා නොමැත. . 2015 දෙසැම්බර් මස 10 දින බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සම්මුතියට( International conventional for the protection of all persons enforced disappearances ) හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා  අත්සන් තබනුයේ ආමාත්‍ය මණ්ඩලය පවා දැනුම්වත් නොකරමිනි. මෙයට හේතුව ඔහු ජිනීවා මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවලියට සම අනුග්‍රය දැක්වීමයි. එයද කර තිබෙන්නේ සමස්ත පාර්ලිමේන්තුව නොමග යවමිනි.තිස් වසරක් පැවති ජන ඝාතක කොටි පහර දීම් මර්දනය කොට රටට සාමය උදාකර දීමට 2009 දී රජය සහ ත්‍රිවිධ හමුදාව සමත් විය. නමුත් එයින් පසු මෙරටට පැමිණි බෑන් කී මූන්  එවකට පැවති රජය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් යුද්ධයෙන් පසුව ප්‍රතිසන්ධානය ඇති කරන බවට වගවීමක් සඳහා රජය මැදිහත් වන්නේ යැයි ප්‍රකාශයට පත් කලේය. එවකට රජයේ ඇමතිවරයෙකුව සිටි සිටි මහින්ද සමරසිංහ මහතා බ්‍රසීලයේ පැවති මානව හිමිකම් සමුලුවකදී එකඟ වී ඇති කාරණා ද මෙහිදී සිහිපත් කළ යුතුය.
      2015 වසරේ මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත් වීමෙන් පසු නව රජයේ ක්‍රියාකාරිත්වය තුළ දක්නට ලැබුණේ ඉක්මන් කඩිනම් වශයෙන් ලෝක පොලිස් කාරයා හෙවත් මානව හිමිකම් ආයතනයට සවන් දීමයි. ඇතැම් විට මහින්ද රජය පෙරළීම පිණිස ලබා දුන් සහයට පොලිස් කාරයාගෙන් කොන්දේසි ඉදිරිපත් කිරීමක් සිදු කලා විය හැකිය. කෙසේ වෙතත් යහපාලන රජය සංහිඳියා පිළිවෙත නමින් නව වැඩ පිළිවෙලකට අවතීර්ණ විය. ඒ සඳහා විශේෂ යාන්ත්‍රණයක් පිහිටුවීමටද කටයුතු කළහ.ඒ මහින්ද රාජපක්ෂ රජය විසින් පිහිටුවා ලීමට කටයුතු නොකළ යාන්ත්‍රණයයි. එය ආරම්භ වූයේ 2015 දෙසැම්බර් 18 දිනදීය. සංහිඳියා කාර්ය සාධක බලකායක් පිහිටුවීමෙන් එම කටයුතු ආරම්භ විය.   රජය විසින්  සංහිඳියාව යන වදන ඉංගිරිසියෙන් දක්වා තිබෙන්නේ(Reconciliation) යනුවෙනි.මෙම ඉංග්‍රීසි වචනයට පසුගිය රජය  ප්‍රතිසන්ධානය යනුවෙන් අර්ථ ගන්වා සිටියහ. නමුත් ප්‍රතිසංධානය සහ සංහිඳියාව අතර සමාන කමක් නොමැත. ජාතීන් අතර ගැටුම් වලක්වා ගැනීම තේමා කොට වර්තමාන සංහිඳියාව ක්‍රියාත්මක වෙයි.( coexsistions) යන වචනයෙන් එය ප්‍රකාශ වෙයි.එකට එක් කිරීම යන අර්ථය එහි වෙයි.රීකොන්සිලේෂන් යන වචනය සමගි සන්ධානය යනුවෙන් අර්ථ ගැන්විය හැකිය. සමගි සන්ධානය කණ්ඩායම් දෙකක් අතර හෝ රටවල් දෙකක් අතර ඇති වන එකඟතාවයකට සමාන වේ.ප්‍රතිසන්ධානය යනු කෙසේ වෙතත් සිංහල ජනතාවට වඩා සමීප සංහිඳියාව වැනි වචනයක් යොදා ගෙන මෙම වැඩපිළිවෙල අර්ථවත් කිරිමට යහපාලනයට උපදෙස් ලැබුණා විය හැකිය.කෙසේ නමුත් පසුගිය දා රජය විසින් අතුරුදහන් තැනැත්තන් සඳහා කාර්යාලය පිහිටුවන ලද්දේ ලෝක පොලිස් කාරයාට වන වගවීම වඩාත් හොඳින් සහතික කරනු සඳහාය
                  මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කරන ලදේ මෙම කාර්යාල පණතට පසුබිම් වූ ගිවිසුමයි. සමාන්‍යයෙන් ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරන ලද පසු  අපරානුමතිය සඳහා රජයේ ආමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම කළ යුතුය.රජය එය සිදු කලේ නැත. ඒ වෙනුවට පණතක් මගින් කෙලින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කර ඇත. එය නීත්‍යානුකූල නැත.මේ තත්ත්වය මගින් පැහැදිලි වන්නේ ලෝක පොලිස් කාරයාට වගවීමට තිබෙන කඩිනමයි. මේ තත්ත්වය තුළ රටේ ව්‍යවස්ථාව ඉක්මවා යන කාර්යාලයක් ස්ථාපිත කරලීමට යහපාලන රජයට හැකියාව ලැබී තිබේ. මේ ක්‍රියාවලිය මෙතැනින් නොනවතී. ඊළඟ අවස්ථාව නම් සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමයි. ඒ සඳහාද දැනට උතුර සහ නැගෙනහිර ප්‍රදේශ වලින් සාක්ෂි එකතු කරනු ලැබ ඇත.එසේ සාක්ෂි එකතු කළ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ම කාර්යාලයේ කොමසාරිස් වරුන් ලෙස නම් කර තිබේ.( නිමල්කා ප්‍රනාන්දු සහ මීරාක් රහීම් ) මේ කාර්යාලයත් කොමිසමත් විසින් එකතු කරන ලද තොරතුරු මත පදනම්ව දඬුවම් දීමේ ක්‍රියාවලිය තීරණය කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවීම ඊළඟ කාරණයයි. සතර වෙනුව වින්දිතයන්ට සහන සැලසීම සඳහා පිහිටු වන ආයතනයයි. එහිදී එල්.ටී.ටී.. සාමාජිකයන්ටද අතුරුදහන් වූ ගණයේ ලා වන්දි ගෙවීම සිදු කරනු ඇත.
             යුද්ධය ආරම්භ වූ කාලවකවානුවේදී රනිල් වික්‍රමසිංහයන්  එවකට සිටි ඇමරිකන් තානාපති රොබට් ඕ  බ්ලෙක් සහ තවත් තානාපතිවරුන් හමුවේ රටට එරෙහි ප්‍රකාශ රාශියක්ම කර ඇත. මේවා රහස් වාර්තා ලෙසට කේබල් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටත් කර ඇති බව එම විකිලිස් වෙබ් අඩවි වල සඳහන්ව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය ගැන කියූ කේලමක් ඒ ආකාරයෙන්ම විකිලීස් වෙබ් අඩවියේ ඇතුලත් කර තිබේ. මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ යුද්ධමය විසඳුමක් ඉදිරිපත් වුවහොත්  40000 ක් පමණ අතිරේක වශයෙන් මිය යා හැකි බවයි. wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) මේ ප්‍රකාශය යථාර්ථයක් බවට ගෙන  ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ ගොනු කර ඇති  ආකාරය වර්තමානයේදී අපට පැහැදිලි වේ.2015 ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමති මංගල සමරවීර මානව හිමිකම් කොමසාරිස් ගේ වාර්තාවට සම අනුග්‍රහය දක්වමින් එකඟත්වය පළ කර සිටින්නේ 2008 වැනි කාලයක සිට ඇති කරගත් තත්ත්වයන් පදනම් කරගෙනයි.ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් රණ විරුවන් හට බොරු චෝදනා ගොනුකරමින් සිරගත කිරීමද මෙහි එක් ක්‍රියාදාමයකි.ඉදිරියේදී විදෙස් විනිසුරුවන් ඉදිරියේ අපගේ රණවිරුවන්ගේ ඉරණම විසඳෙන්නේද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පාවා දීම හේතුවෙනි.
      මෙම වාර්තාවට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර විදේශ තානාපති නිළධාරීන් අභිමුවෙහිදී රටට එරෙහිව කළ ප්‍රකාශ රාශියක් මේ වෙබ් අඩවි වල සටහන්ව තිබේ. ඉන් එකක් නම් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවයි. මේ ප්‍රකාශන නිකුත් වන්නේ 2007 -2008 වසර ඇතුළතදීය. රටට සිංහල ජනතාවට එරෙහි ක්‍රමන්ත්‍රණය දියත් කිරීමට කෙතරම් කාලයක සිට ඔහු වලිකෑවේද යන්න මෙයින් තේරුම් ගත හැකිය.වර්තමානය වන විට ඔහු බලයට පත් වී තමන් විසින් ඇමරිකානු බලධාරීන් ඉදිරියේ පොරෙන්දු වූ සියළුම දේ ක්‍රියාත්මක කරලීම සිදු කරමින් තිබේ. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ පණත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඇස්වසා සම්මත කරගන්නා ලද්දේ මේ න්‍යාය පත්‍රය සම්පූර්ණ කරලීමේ අදියරක් වශයෙනි.අග්‍රාමාත්‍ය කාර්යාලය මූලික කරගෙන පාක්‍ය සෝති සරවණමුත්තු මහතා ලේකම් වශයෙන් පත්කොට සංහිඳියා බලකායක් පිහිටුවන ලද්දේ මෙයට අවශ්‍ය මතවාදී වාර්තාව සකස් කරලීමටයි. සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව යනුවෙන් දැන් එය නිකුත්ව ඇත.(2016 නොවැම්බර් )එහි විසිතුන් වන  විසිහතරවන සහ විසිපස්වන නිර්දේශ බලන්න.
        (23) ස්වාධීනත්වය හැකියාව ප්‍රවීණත්වය හා විනිවදභාවය සඳහා වන අවශ්‍යතාවය ජාත්‍යන්තර විනිශ්චයකරුවන් අභිචෝදකයන් විමර්ශකයන් හා අධිකරණ යාන්ත්‍රණයේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය තහවුරු කරයි. උතුරේ හා දකුණේ දෙමළ ජාතිකයන්ගේ ඉතා විශාල බහුතරයක් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටින අතරම මෙම යාන්ත්‍රණය තුළ දෙමළ භාෂාව කතා කරන පුද්ගලයන් පැවැතීමේ වැදගත්කමද අවධාරණය කරයි. මෙම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ බහුජන හා බහු ආගම් ස්වභාවය පූර්ණ වශයෙන් දරන්නේ නම් ඒ පිළිබඳ විශිවාසය තහවුරු වන බවට කෙරෙන තර්කයත් සමග මෙම හයිබ්‍රිඩ් මාදිළිය නිසැක ලෙස එමෙන්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තවත් ශක්තිමත් කෙරෙයි.(24) ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය විසින් නිර්දෙශ කරනුයේ දේශීය විනිශ්චයකරුවන් බහුතරයක් හා ප්‍රමාණවත් තරමේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ප්‍රමාණයකින් යුක්ත හයිබ්‍රිඩ් අධිකරණයකි.(25 ) අධිකරණ යාන්ත්‍රණයේ ප්‍රධානතම අධිකරණ කටයුත්ත වන්නේ යුධ අපරාධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා ජාත්‍යන්තර ව්‍යවහාර නීතිය උල්ලංඝනය අභිචෝදනය කිරීමයි. වධදීම ලිංගික ප්‍රඩන්ඩත්වය ඝාතන රොහල් වලට බෝම්බ දැමීම ඖෂධ හා ආහාර සැපයීම ප්‍රතික්ෂේප කිරීම වැනි සිතා මතාම සිවිල් ජනතාව ඉලක්ක කිරීම තහනම් ආයුධ භාවිතා කිරීම හමුදාමය ක්‍රියාකරුවන්ට භාරවූ පුද්ගලයන් අතුරුදහන් වීම බලහත්කාරයෙන් සිවිල් වැසියන් පළවා හැරීම හා දරුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම යනාදිය විමර්ශනයට  ලක් කළ යුතුය .
      පෙර සඳහන් කළ පරිදි මහින්ද රාජපක්ෂ සමයේදී සිදු කළ වගවීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම යහපාලන රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග රාශියකි.පළමුව දහනව වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කරනු ලැබූහ. එයින් බලාපොරොත්තු වූයේ අගමැති වරයාට රජය හැසිරවීමේ බලතල ලබාගැනීමයි.එය ප්‍රජාතන්තුවාදී ලක්ෂණයක් බව පෙන්නුම් කරමින් කළ ප්‍රතිසංස්කරණ ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා පවා දැන නොසිටි බව පෙනේ. එහි විපාකය නම් කෙතරම් විරෝධයක් තිබුණද වර්තාමානය වන විට රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට නොහැකිවීමයි. කෙසේ වෙතත් මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරන විට සරත් වීරසේකර මහතා ඇරුණු කොට කිසිකෙනෙකුත් ඊට විරුද්ධ නොවීය.එම සංශෝධනයේ භයානක බව පෙනෙන්නට තිබුණද එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වරු එම උගුලට පා තැබූහ. දෙවනුව පළත් පාලන මැතිවරණ සංශෝධන ඉදිරිපත් කරන කල්හි කාන්තා නියෝජනය නම් බරවා පාදය ගැන දැනුම්වත් වීමක් ඒකාබද්ධ විපක්ෂයට නොවීය. එසේම ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද වාර්තාව අනුව යෝජිත වූ හැත්තෑව තිහ  පදනම වෙනස් කරමින් හැට හතළිහ පදනම ගැනීමේදී පවා ප්‍රමාණවත් විරෝධයක් එල්ල නොවීය.අඹගමු ප්‍රා දේශීය සභාව තුනකට කැඩීමෙන් පසු එයට විරුද්ධව ගොනු කළ නඩුවට ඉදිරිපත් වීමට සිටි. මනෝහර ද සිල්වා මහතාට ඒකාබද්ධ විපක්ෂයෙන් බලපෑම් එල්ල වූ බව අපි දනිමු.කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය මුලා කර අවස්ථා කීපයකදී යහපාලන රජයේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙ යෑමට හැකිවිය. අවසානයේදී  මෙම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කළ පරිදිම අතුරුදහන් වූවන් සම්බන්ධ ජාත්‍යන්තර පණතද සම්මත කර ගෙන තිබේ. මෙම පණත න්‍යාය පුස්තකයේ තිබෙන බව ඒකාබද්ධය දැන සිටියහ. නමුත් දිනේශ් ගුණවර්ධන මහතා එයට ප්‍රබල විරෝධයක් එල්ල කීරීමට පසුබට වීය.එවිට ඒකාබද්ධයේ දහනව දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටියදී මෙම පණත සම්මත වූ බව කිව යුතුය. මහින්ද රාජපක්ෂ මහතා පවා එහි නොසිටියහ.එයින් ගම්‍යා වන්නේ එකාබද්ධය දිගින් දිගටම යහපාලන රජයේ උගුල් වලට වැටෙමින් රට අනතුරේ හෙළා ඇති බවය. පසුගිය පළාත් පාලන චන්දයේදී අතිමහත් බහුතරයක් පොහොට්ටුවට චන්දය භාවිත කලේ රජයේ නොමනා හිරිකිත පාලනයට විරෝධය දැක්වීමටයි. එහෙත් එම ජන මතය නිවරදි දිශාවට ගෙන යමින් රටට ජාතියට එරෙහි අභියෝග ජය ගැනීමට සරිලන දේශපාලන පරිණත භාවයක් ඒකාබද්ධය ප්‍රදර්ශනය නොකරන බව කණගාටුවෙන් යුතුව කිව යුතුය.පසුගියදා ඇතිවූ ජාතිවාදී සිද්ධි වල එක් හේතුවක් වූයේ  ජනතාවගේ කෝපය පිට කිරීමට අවස්ථාව සැලසීමයි. .ඒකාබද්ධයේ  ඉදිරි බලාපොරොත්තුව ඉදිරි වසර දෙක තුළ යහපාලන රජය පිරිහීමෙන් පසුව බලය ඇල්ලීමයි.එය සිදු විය හැකි නමුත් අබාධිත වූ රටක් විදේශ මැදිහත් වීමෙන් ස්වාධින බව අහිමි කරගත් රටක පාලනය භාර ගැනීමෙන් විශේෂයෙන් නව ව්‍යවස්ථාවක් හරහා කැබලි කරන රටක් භාර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය කුමක් දැයි කල්පනා කිරීමට ඒකාබද්ධයේ නායකයන්  නිහතමානී විය යුතුය.


Wednesday, March 7, 2018

තෙල්දෙණියේ ගින්නට තෙල් දැමීමෙන් සිදු වූයේ කුමක්ද


                                 
                                               
              තෙල් දෙණිය දිගන ආදී නගර තුළ ජාතිවාදී ගින්නක් ඇවිලී ඇත.මුලින් ඇඳිරි නීතියත් පසුව මේ වන විට හදිසිනීතියත් ප්‍රකාශයට පත් වී තිබේ.  පසුගිය සති කීපය තුළ ජාතිවාදී ක්‍රියාවන් කීපයක් වාර්තා වන්නේ අම්පාර සහ මහනුවර අවට ප්‍රදේශ වලින් පමණි.අම්පාර සිද්දිය අහඹු වෙන් පැණ නැගුණක්  වුවද එයට සමාන සිදු වීම් රාශියක් වරින් වර රට පුර වාර්තා වී තිබේ.තෙල්දෙණිය දිගන ප්‍රදේශය තුළ සිදු වූ රථවාහන අනතුරකින් පසු  ඇතිවූ ගැටුම එක් අතකින් නාට්‍යයකට සමාන කළ හැකිය. ලොරි රථයක් පසුපසට ගැනීමේදී ත්‍රි රෝද රථයක පැති කණ්ණාඩියක ගැටී  සිදු වූ අනතුර ගොඩින් බේරා ගැනීමට ගත් උත්සාහයේදී ත්‍රි රෝද රථයේ සිටි තරුණයන් සතර  දෙන එයට එකඟත්වය පළ නොකොට පසුව මග රැක සිට ලොරි රථ රියැදුරුට පහර දීම නිසා මේ විපත සිදු වී ඇත. පසුව අත්අඩංගුවට පත් මුස්ලිම් තරුණයන් ඇප මත නිදහස් කිරීමට උත්සාහ ගැනීමේදී  කුපිත වූ ජනතාව ඒකරාශි වී ඇත. තෙල් දෙණියේ ගින්න ඇවිලෙන්නේ මේ අන්දමටයි.
        මෙවැනි සිදුවීමකදී නීති ප්‍රකාරව අගතියට පත් පාර්ශවය කෝපයට පත් වීම ස්වභාවිකය.තම කෝපය පිට කිරීමට පෙළපාලි යෑම රංචු ගැසීම වාර්තා වන්නේ සිංහල ජන සමාජයෙන් පමණක් නොවේ. යාපනය විද්‍යා සසුවිය ඝාතනයෙන් පසුවද මෙලෙස සිදු විය. එවිට පොලිසිය කළ යුත්තේ උද්ඝෝෂකයන් පාලනය කරමින් ගැටුම් ඇති නොවීමට වගබලා ගැනීමය. අවශ්‍ය නම් හමුදාව කැඳවා තත්ත්වය පාලනය කිරීමටද පිළිවන. එහෙත් දිගන සිද්දියේදී යම් කලබලයක් ඇතිවේ යැයි දැනුම් දී තිබියදීත් පොලිස් ඇඳිරි නීතිය නොයොදා නිවෙස් වලට වී සිටින්න යැයි පොලිසිය කියා ඇත. විශාල පිරිසක් එක්රොක්ව දිගන දෙසට ඇදෙන කල්හි පොලිසිය පැත්ත පළාතක ආවේ නැත. එම ජන ගඟ පාලනය කරගැනීමට හමුදාව කැඳෙව්වේ ද නැත. අවසානයේදී කුපිත වූ පිරිස් අතින් දේපල විනාශ විය.මුහුණ වසා ගත් පිටස්තර පුද්ගලයන්ද මේ පිරිසට එක්ව විනාශය දරුණු කරුනු ලැබීය. එනම් දේපල වලට ගිනි තබනු ලැබීය.මේ බරපතල විනාශයෙන් පසුව ඇඳිරි නීතිය පනවනු ලැබු අතර දැන් හදිසි නීතියද පනවා තිබේ.
       2014 වසරේ අළුත්ගම දර්ගානගරයේ දී ඇතිවූ ගැටුමට මූල හේතුව වූයේ පතිරාජගොඩ විහාරයේ ස්වාමීන් වහන්සේ නමක් ගමන් ගත් වෑන් රථයක් හරස් කර උන්වහන්සේට අඩන්තේට්ටම් කිරීමට මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු උත්සාහ දැරීමෙනි. එයට පෙර විහාරස්ථානය ඉදිරිපිට හරක් ඔලුවක් තබා නොසන්සුන් කමක් ඇති කර තිබුණි. එවිට පොලිසිය කලේ කුමක්ද. අත්අඩංගුවට පත් සැක කරුවන් නිදහස් කිරීමයි.හරක් ඔලු දැමූ අය පිළිබඳ නොසොයා ප්‍රශ්ණය යටපත් කිරීමයි. මේ නිසා කුපිත වූ ජනතාව ඒකරාශි කොට අළුත්ගම නගරයේ ජන රැලියක් පැවැත්වීඹට කටයුතු කරන ලද්දේ චම්පික රණවක ඇමතිවරයා ගේ මෙහෙයවීමෙනි. මෙම ජන රැලියේ දී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පොලිසිය දැඩි ලෙස විවේචනය කරනු ලැබූ අතර පැවති රජයටද එම විවේචන එල්ල විය. ජන රැලිය අවසන් වූ පසු පිරිස විසිර යන්නට පෙර දර්ගා නගරය ආසන්නයේ පොලිස් සහ හමුදා බලඇණි නවත්වා සිටි අතර එහි වූ මුස්ලිම් පල්ලියක විශාල පිරිසක්ද රැස්ව සිටියහ. නමුත් පොලිසිය මෙම පිරිස විසුරුවා හැරීමට උත්සාහ නොකළහ. රැස්වීමෙන් පසු පතිරාජගොඩ විහාරයේ ස්වාමීන් වහන්සේලා ඇරලවීම පිණිස ඥණසාර හිමියන් දර්ගානගරය හරහා ගමන් කිරීම ආරම්භ කරන විට එය වැලැක්වීමට ද පොලිසිය කටයුතු නොයෙදූහ.මෙයින් පසු සිදු වූයේ දර්ගා නගරයේ තට්ටු ගොඩනැගිල්ලක සිටි පිරිසක් නගරය හරහා යන පිරිසට ගල් වලින් ගැසීමය.එයට සමාන්තරව පතිරාජගොඩ විහාරස්ථානය අවට තිබෙන සිංහල ගෙවල් පහකටද පහර දෙනු ලැබිණ.ඉන්පසු ඒවාට ගිනි තැබිණ. මෙයින් කලබලයට පත් වූ ගම් වාසීන් වැටේ වටේ තිබූ ඉනි කෑලි පොලු කැති රැගෙන ගොස් නගරයේ වෙළෙඳ සල් වලට පහර දෙන්නට විය.අවසානයේ දී මේ සියලු පහර හ ගිනිතැබීම්  ඥණසාර හිමියන් වෙත පවරා ගැටුමේ ස්වභාවය රජයට එරෙහි කලකිරවීමක් බවට පත් කර ගත්හ.මෙම සිදු වීමෙන් පසු කුපිත වූ පිරිස් හාත්පස ගම්වල ද විනාශකාරීව හැසිරුණු අතර එම විනාශයන් වන්නට ඉඩදී පොලිසිය නිහඬවම බලා සිටියහ.
       අළුත්ගම සිද්දියත් තෙල්දෙණිය සිද්දියත් අතර සමාන කම් රාශියක් ඇත. මේ ස්ථාන දෙකෙහිදීම ගැටුම් වළක්වාලීමට පොලිසිය කටයුතු නොකළ අතර කුමන්ත්‍රණකාරී පිරිස් වලට අවශ්‍ය විනාශ කාරී පරිසරයක් නිර්මාණය කොට දෙන ලදී.මෙයින්  දර්ගානගරයේ සිද්දියෙන් බලාපොරෙත්තු වූයේ පැවති රජය අපහසුතාවයට පත් කිරීමයි. විදේශ ගතව සිටි මහින්ද රජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු කෙලින්ම පමුණුවන ලද්දේ ගැටුම සිදු වූ ස්ථානයටයි.එය රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එහිදී ඔවුහු  එතුමාව පතිරාජගොඩ ට කැටුව නොයා විනාශකර දමන ලද මුස්ලිම් පල්ලියකට කැඳවා ගෙන යෑමෙන් සිංහල පිරිස අතර තව තවත් කළ කිරීම වර්ධනය කරන ලද.බස්නාහිර පළාතේ විශාල පිරිසක් එදා 2015 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට චන්දය භාවිත නොකලේ මෙම කලකීරීම් නිසාවෙනි.
      තෙල් දෙණිය ප්‍රශ්ණය පැණ නැගුණු අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශාල අපකීර්තියට ලක්ව පළත් පලාන මැතිවරණයෙන්ද පරාජයට පත්ව රජය අස්ථාවරව තිබෙන මොහොතකි. නුගේගොඩ ඒකාබද්ධ විපක්ෂයේ මහා ජනරැලියට සියල්ල සූදානම්ව පැවතිණ.රජයට අවශ්‍ය වූයේ කෙසේ හෝ විශ්වාස භංගය පරජයට පත් කිරීමයි. ඒ සඳහා මන්ත්‍රී වරුන්ට ඩයස් පොරාව හරහා කෝටි ගණන් මුදල්ද සූදානම් කර තිබූ බවට වාර්තා විය. කෙසේ වෙතත් අහම්බෙන් මතුවූ දිගන සිද්දයෙන් පසුව ( ලොරි රථ රියදුර ඝාතනය වන්නේ දින කීපයක් ගත වීමෙනි) ජනතාව කුපිත කර පාරට බැස්සවීමට පරිසරය සදන්නේ පොලිසිය විසිනි. නීතිය හා සාමය අමාත්‍යංශය මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සතුව පැවතීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය.අවසානයේ සියළු විනාශයන් අවසන් වීමෙන් පසුව හදිසි නීතිය මුලු රට පුරාවටම පැණ වෙන්නේ එම නිතියට අදාල නොයෙකුත් බරපතල කොන්දේසි සිහිපත් කරවමිනි.
          මේ වන විට 2015 යහපාලන රජය පත් කරලීමේ මූලික අභිප්‍රායන් රාශියක් ඉෂ්ට සිද්ද වී ඇත. එනම් අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීමට අනුමැතිය ලැබී කොටි ඒජ්තයන්ගේ සාමාජිකත්වයෙන් එය පිහිටුවීම.ජිනීවා වලදී යුධ අපරාධ චෝදනා වලට මංගල සමරවීර විදේශ ඇමිතවරයා සම අනුග්‍රහය දැක්වීම. හමුදා සාමාජිකයන් අත්අඩංගුවට පත් කිරීම. ඇතැමුන්ට දඬුවම් පමුණුවීම . සාලාව අවි ආයුධ ගබඩාව පුපුරුවා හැරීම.තෝරා ගත්  භික්ෂුන් වහන්සේලා විශෘල ගණනක් සිරගෙයි ලැවීම. සංහිඳියා ලේකම් කාර්යාලයක් බිහි කර ඒ මගින් රජයේ සියලුම ආයතනවල ප්‍රකෘති තත්ත්වයන් විකෘති කිරීම. ආදිය දැක්විය හැකිය.උතුර සහ නැගෙනහිර සඳහා ස්වයං පාලනයක් ලබා දීමට යොජිත නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මෙම අරමුණු අතර මුල් තැනේ තිබුණද ජනතා විරෝධය හමු වේ එය තවමත් ප්‍රමාදය. එසේම විදේශ ඇමති විසින් 2015 දෙසැම්බර් මස අත්සන් කරන ලද බලහත්කාරයෙන් අතුරුදහන් වූවන් සඳහා වන ජාත්‍යන්තර සම්මුතිය ලංකා පාර්ලිමේන්තුව තුළ සම්මත කරලීමද තවමත් සිදු කර නොමැත. ඉන්දියාවේ ආර්ථික ආධිපත්‍යට ලංකාව නතු කරලීමට අවශ්‍ය එට්කා ගිවිසුමද තවමත් අත්සන් කර නොමැත්තේ ජනතා විරෝධය හමුවේදීය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මෙම ජනතා විරෝධය ඉතා ඉහළ අන්දමින් ප්‍රකාශයට පත් විය.
       ඇමරිකාව ඇතුළු බටහිර බලවේග වල රූකඩයක් බවට පත්ව සිටින යහපාලන රජය රැක ගැනීමට තනාපතිවරු නිරන්තරයෙන් උපදෙස් දේ. රනිල් වික්‍රමසිංහ මහතා අසීරුවට පත් වූ මේ මෙහොතේ ඔහුව ඉවත් කොකරන ලෙසට ඇමරිකන් තානාපති සහ ඉන්දීය තානාපති ජනාධිපතිවරයාට මහත් සේ බලකර ඇත. ඒ ඔවුන්ගේ රට බෙදීමේ න්‍යාය පත්‍රය සම්පූර්ණ කිරීම ඉතිරිව ඇති නිසාය. සැබවින්ම පොහොට්ටුව විශාල ජයග්‍රහණයක් ලබා තිබුණද එම ජයග්‍රහණය ජාතික ජයග්‍රහණයක් බවට පත් කරලීමට ඔවුන්ට න්‍යාය පත්‍රයක් තිබුණේ නැත. එම නිසා හුදකලාව ඇති වූ ජතිවාදී ගැටුම තම වාසියට හරවා ගැනීමට රජයට පිළීවන් විය. එයින් සිදු වූයේ පහර කෑ සිංහල ජනතාව තව තවත් අසරණ බාවයට පත් වීමයි. එදා දර්ගානගරයේ ගැටුම සිදු වී දිනක් ගතවීමට ප්‍රථම මුස්ලිම් මානව හිමිකම් කණ්ඩායමක් එම ප්‍ර දේශයට පැමිණියහ. ඔවුහු වාර්තාවක් සකස් කොට එය ජාත්‍යන්තරයට ඉදිරිපත් කළහ.කැඩූ කඩවලට වන්දි මුද්ල්ද රක්ෂන මුදල්ද ඔවුනට ලැබිණ. වර්තමානය වන විට මේ අවස්ථාවේ පැවැත්වෙන ජිනීවා සමුලුවට ලංකාවට එරෙහි වන්නට ඕනෑ තරම් කාරණා  ගොඩ ගැසී තිබේ. සුලුතරයට එරෙහිව බහුතරය අන්තවාදී ලෙස කටයුත කර ඇති බව මේ වන විටත් ප්‍රකාශ වී අවසන්ය.රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කතාවේදී ඒ බැව් හොඳින් පැහැදිලි විය.
      සුලු ජන වර්ග පදනම් කර ගත් ජාතිවාදයට දහනම වන සියවසේ මුල් භාගයේ සිට පොහොර දමන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. මුස්ලිම් දේපළ හා විවාහ නීතිය. තේසවලාමේ නීතිය ආදිය සඳහා නව අණ පනත් ඇති කරමින් නැති වරප්‍රසාද එම ජන වර්ග වලට ලබා දෙමින් සිංහල ජනතාවට එරෙහිව එම පිරිස් උසිගැන්වීම වරින් වර කළහ. 1915 මුස්ලිම් කෝලාහලය ඉන් එක අවස්ථාවකි.එහිදී එවකට නිදහස වෙනුවෙන් සටන් කළ සිංහල නායකයන් සියලු දෙන අත් අඩංගුවට පත් විය.දැන් යහපාලන රජයේ ද බලාපොරොත්තුව පවතින්නේ සුලු ජන වර්ග උසිගන්වා ඔවුන් ලවා සිංහල ජනයා ප්‍ර කෝප කර ජාතිවාදී ගැටුම් අවුලුවා හදිසි නීතිය මගින් සිංහල නායකයන් භික්ෂූන් වහන්සේලා අත් අඩංගුවට ගැනීමට පරිසරයක් සකස් කිරීමයි. එම තත්ත්වය අප මැනවින්ම අවබෝධ කර ගත යුත්තේ මෙවැනි ගැටුම් වලට මැදිවූ අයට ඇප පවා ලබා නොදෙන බැවිනි.අවසානයේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කර ෆෙඩරල් පාලනක් ලබා දී එට්කා ගිවිසුම අත්සන් කොට රටේ ආර්ථිකය ඉන්දියාවට භාරදීම සිදු වනු ඇත.මෙවැනි අවාසනාවන්ත සිද්දියක් ඇති වීම වලක්වාගත හැක්කේ සියලුම දෙන සබුද්දිකව සිතමින් දේශපාලන පරිණත භාවයෙන් කටයුතු කළහොත් පමණකි. විහේෂයෙන්ම ජනතා ජයග්‍රහණයෙන් උන්මාද ව සිටින ශ්‍රී ලංකා පෙදු ජන පෙරමුණට ඒ පිළිබඳ විශාල වගකීමක් පැවරී තිබෙන බවද මතක් කළ යුතුය.