පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, November 17, 2012

දියවැඩියාවට වැලි කොස් ඇට

                             
              අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇති-ඒකිගෙ බඩේ දරු තුන්සිය හැටක් ඇති යනුවෙන් ප්‍රචලිතව පවතින තේරවිල්ල ගැමි කට වහරට අයත්ය. මේ කතාව කොස් ගැනය. අත්තක්උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවා ගෙන කිවුවත් කොස් ගැනමය. හෙරලිය කියන්නේ ද කොස් වලටමය. එය වටා තිබෙන ජන කතාවක් ද ඇත. කොස් තම්බා කෑමට හපන් අපේ ගැමියන් ගැට කොස් ද වං කොස් ද බත් පොලොස්ද දඩු පොලොස්ද පිටොස් ද කොස් ඉරි ද සිවිඩිද ආදී වශයෙන් කොස් වහල්ල ඇරුණු කොට අන් සියල්ලම ආහාරයට ගනිති. මේ කොයිවත් ආහාරයට මෙන්ම නිරෝගී තාවයටද ඉතා උතුම් යයි කියවෙතත් මේ අතරින් බෙහෙත් වශයෙන්ම ගන්නා පස්පංගුවක් ඇත. ඒවා අතරින් මුල් තැන් ගන්නේ පොලොස් ගෙඩියයි. මව් වරුන්ට කිර එරෙන්නට ද පෙලොස් තම්බා දීම  කරති.අතීසාර රොගීන්ට ග්‍රහණි රොගීන්ට ඉතා ගුණ දායක ආහාරයක් වන පොලොස් උණු අලු පල්ලේ දමා කෑමෙන් වඩා ගුණ ලැබෙන බවද කියති. නින්ද නොයන අයට ගුණ දායක පනා මල ද දියවැඩියා රෝගීන්ට හිතවත් වැලි කොස් ඇටද ඉදුණු කොස් කොළයද කොස් මුලද මේ පස්පංගුවට අයත්ය.
        පාලින්ද නුවර යකුපිටියේ පදිංචි කොහිලමුල්ල ආරච්චිගේ විජේරත්න  වෙද මහතා මාලේවන ආයුර්වේද විදුහලේ ආචාර්ය වරයෙකි. එසේම විද්‍යා ගුරුවරයෙකි. සාම්ප්‍රදායික ආයුර්වේද බෙහෙත් භාවිතා කරනවාට වඩා දේශිය ආහාර හා ඖෂධ ගැන වැඩි නැඹුරුවකින් කටයුතු කරන බැවින් කොස් ගහේ පංචාංගය සිය රෝගීන්ට නියම කරන්නෙකි. මේ පංචාංගය අතරන් වැලි කොස් ඇට ගැන හෙතෙම වැඩි මනාපයක් දක්වයි. එයට හේතුව වෛද්‍ය තුමා ගේ නිවස අසල ගැමි ගෙවල් වල මුලුතැන් ගෙයි කොස් ඇට මුල්ලක් නොවරදින හෙයිනි. වැලි කොස් ඇට ගැන ප්‍රසිද්ධ ජන කවියක් මෙසේය.
අහේනියට වැලි මුල්ලේ ලූ සංගා - කෑවිට වාත වේගන පාතින්        රිංගා
කෑ අට වේල උතුරන මුත්තර ගංගා - වේලී යාවී සදහට නොකරන් ඩුංගා
කොස් ඇටය වැලි කොස් ඇටය බවට පරිවර්තනය වීමද ඉන් ඇති වන ඖෂධීය විපර්යාසයද විජේරත්න වෙද මහතා පැහැදිලි කර දුන්නේ මෙසේය.  හොඳට පැසුණු කොස් ගෙඩියේ තිබෙන කොස් ඇටය බරයි. ඒ කියන්නේ දිරවන්න ටිකක් අපහසුයි. නමුත් මේ ඇට වැලි හා මැටි කොටස් සමග එකට එක් කර තබන විට කොස් ඇටය වියළී නොගොස් සෛලීය ස්වශනයකට ලක් වනවා. මේ නිසා පිෂ්ඨය  ශක්තිය   බවට පත් ව කොටසක් ඉවත්ව යනවා. ඒ නිසා බර ආහාරය ලඝු නැත්නම් සැහැල්ලු ආහාරයක් බවට පත් වෙනවා. ඒ සමගම මැටි හා වැලි වල තිබෙන පඨවි භූතය මගින්  ග්‍රාහී ගුණය( වැගිරෙන බව නවතාලන ගුණය ) ඇටයට ඇතුලත් වෙනවා. එයට වෙද මූල ධර්ම වල පදාර්ථ විඥාණයේ දී කියන්නේ සමවාය ගුණය කියලයි. උදැල්ලේ මිට ගොරෝසු නිසයි අතේ කරගැට එන්නේ. ගොරෝසු කම අත්ලට එනවා. එය ස්වභාව ධර්මයේ සංසිද්ධියක් .මේ විදියට වැලි කොස් ඇටයේ සිදු වන ශක්ති විපර්යාසය නිසා ප්‍රමේහ රෝග වලට ඉතා ගුණයි. වැඩියත්ම දියවැඩියා නොහොත් බහුමුත්‍රතාවය නවත්වාලන බව කියවෙනවා. කොස් ඇටයේ තිබෙන පොටෑසියම් ප්‍රමාණය ඉතා අධිකයි. පොස්පරස් හා කැල්සියම්ද යහමින් තිබෙනවා. මේ නිසා නිරෝගීව සිටින්නට වැලි කොස් ඇට හොඳ ආහාරයක්. නමුත් වර්තමානයේ වැලි කොස් ඇට දමන්නේ පොලිතීන් මලුවලයි. ඒ අර සමවාය ගුණය නොදැනයි. පැරණි අය එය දැන සිටියා. මේ නිසා කොස් වාරයට අපතේ නොහැරම කොස් ඇට පිරිවැස්සක වැලි හා පස් සමග දැමීම කාටත් ප්‍රයෝජනවත් වේවි.
         කොස් ඇට වගේම පනා මල්ද බෙහෙතට ගැනේ. නින්ද නොයන රොගීන්ට මේවා ගුණදායකයයි පැවසේ. මෙම කරුණ විජේරත්න වෙද මහතා විග්‍රහ කරන්නේ මෙසේය. පනාමල් කියන්නේ ගෙඩිය එන්නට පළමු හටගන්නා නොපෙනෙන මල් කොටසයි.  මේවා රාත්‍රියට මලවා කෑමෙන් නින්ද නොයන අයට නිදි සුව ලබන්නට හැකිවන බව කියැවෙන්නට හේතු කීපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නින්ද නොයන අයගේ පිත් කෝප ගතිය වැඩියි. හිත කලබලයි. පිත ඉහළට ගැසීම( උර්ධවගාමී වීම) මේකට හේතුවයි. පනා මල් වල තිබෙන කසට රසය නිසා පිත්ත ශාමක ගුණය අන්තර්ගත වනවා. එහිදී වාතයත් අනුලෝමනය වෙලා පිත ඉහළට යාමට ඉඩ නොදී රෝගියා සන්සුන් කරනවා. මෙය පැරණි ගැමියන් ගේ අත්දුටු ප්‍රතිකාරයක්.       1935 දී   කොස් ගැන පර්යේෂණ වල යෙදුණු බර්කිල් නම් විද්‍යාඥයා මේ ඖෂධ ගුණයන් මැනවින් පෙන්වා දී තිබේ.වෙසෙසින්ම කොස් කොළ කොස් ගහේ මුල් බීජ කොහොල්ලෑ ආදියෙහි ඇති විශේෂතා මේ පර්යේෂණ මගින් හෙළි දරවු කොට තිබේ.1961 වසරේ දී ක්‍රිෂ්ණ මූර්ති  1965 වසරේ දී මෝටන් වැනි විද්‍යාඥයින්ද ප්‍රංශයේ පැවේරෝ නම් විද්වතෙක්ද මේ කොස් ගුණ ගැන මැනවින් දක්වා තිබේ. පැවේරෝ දක්නා විදියට කොස් ඒඩ්ස් රෝගයට මහඟු ඔසුවක් වනවා.
          ආතර වී දියෙස් මහතා කොස් පැළ වැවීමටත් ඒවා රටේ බත් ගස ලෙසට ජනප්‍රිය කරවීමටත් වෙහෙස මහන්සි වූයේ මේ ගුණ පණ පාරම්පරිකව අත්දුටුව නිසයි.මේ ජන කවියේ සඳහන් වන්නේ එම අත් දැකීමයි.
වැස්සට පින්නකට නොතෙමා මනා කොට -පස් යට කර තබා කොස් නැති අවාරෙට
නිස්සට පොල් ගා තම්බා   දවාලට - කොස් ඇට වැනි රසයක් කෝ             හැබෑවට
 මෑතකදී දියෙස් මහතාගේ පුත් නන්ද ඩයස් මහතා සහ කොස් සංවර්ධන පදනම මූලික වී යලිත් පැළ සිටුවීමේ ව්‍යපාරයක් ආම්භකර තිබෙන අතර එහදී එක් අවස්ථාවකදී කල්‍යාණි දිසානායක පාසල් සිසුවිය විසින් මේ කොස් ආහාර හා ජන සමාජය ගැන ඇඳි චිත්‍රයක් ද මෙම ලිපිය සමග පළ කරන්නට යෙදෙනුයේ වර්තමානයේ වුවද ජාතියේ නිරෝගී තාවයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයටත් කොස් ගහේ අමිල සේවාව අවශ්‍ය නිසයි. වෛද්‍ය විජේරත්න මහතා සම්බන්ධකර ගැනීමට අවශ්‍ය නම් 0718393889  අංකය යොදා ගත යුතු බව අවසාන වශයෙන් සඳහන් කරමි.
                             

No comments:

Post a Comment