පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, March 4, 2025

රාජ්‍යත්වය සමග බැඳි දළදා දැකුම් මංගල්‍යය

 


                                         

              බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව බුද්ධ අදාහන මළුවේ දී ධාතු කොටස් දෙකක් වශයෙන් විසිර ගිය බව දැක්වේ.ඒ භින්න ධාතු සහ අභින්න ධාතු වශයෙනි.මේ ධාතු කොටස් ද්‍රෝණ නම් බමුණා විසින් රජ දරුවන් වෙත බෙදා දෙන ලදහ. අභින්න  ධාතුන් වහන්සේලා අතර   දළදා වහන්සේ සතර නමක් ගැන සඳහන් වෙයි. පරිනිබ්බනා සූත්‍රයේ මෙලෙස එම කරුණ දැක්වේ.

ඒකාහි දාඨාතිදිවෙහි පූජිතා -ඒකා පන ගාන්ධාර පුරෙ මහීයති

කලිංග රඤ්ඤො විජිතෙ පුනෙකං -ඒක පුන නාග රාජාමයන්ති

මෙම සතර දළදා වහන්සේ අතරින් නාග ලෝකයේ වැඩ සිටි දකුණු දළදා වහන්සේ දෙවනපෑ තිස් යුගයේ දී ලංකාවට වැඩම කොට සෝමනුවර චෛත්‍ය ස්ථානයේ නිදන් කරන ලද අතර  කාලිංගයේ වැඩ සිටි යටි වම් දළදා වහන්සේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේ (ක්‍රි.ව.330-331) ලංකාවට වැඩම කරවීමට දායකත්වය සපයන ලද්දේ කාලිංගයේ උදෙනිපුර දන්තකුමරු සහ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරියයි.උදේනි රාජ පුත්‍ර දන්ත කුමරු දළදා වහන්සේට ගරු සත්කාර කිරීමේ අරමුණින් ගුහසීව රජවාසලට පැමිණී ඇත. ඒ බැව් මෙලෙස දළදා සිරිතේ දක්වා ඇත.

'එකල්හි උදේනි රට උදේනි රජුගේ පුත්‍ර වූ සුචරත්‍ර මිත්‍ර වූ දන්තෙන්ද්‍රිය ඇති සුදන්ත දන්ත නම් රාජ කුමාරයෙක් දළදා වහන්සේට පූජා කිරීමෙන් සඟමොක් සුව සාධා ගන්නා කැමතිව කළිඟුරටට අවුත් ගුහසීව රජහු දැක සිරිත්විරිත් ගුණෙන් ඒ රජහු පහදවා රෑ දෙවෙහි පූජා සත්කාරයෙහි නොපමාව විසීය. පසුව කල් යෑමෙන් කළිඟු රජු දන්තකුමාරයන්ගේ ගුණයන් විමසා තමන්ගේ හේමමාලාභරණ විභූෂිත වූ හේමමාලා නම් දියණියන් රුසිරු මහරු වූ සිරිසර ඉසුරු හා සමග ඕ හට පාවාදී ඉසුරු විඳිමින් සිටින සඳ.'...මෙම වාක්‍ය අනුව දන්ත කුමරු ගේ ශ්‍රද්ධාවත් පුරුෂයෙකු රජුගේ විශ්වාසය දිනාගෙන ඇති බව  පැහැදිලි වේ.

    කාලිංගයේ රජවරු දළදාවහන්සේ හිමිකරගැනීමට කරන ලද යුද්ධ හේතු කොට ගෙන දළදාව ලංකාවට වැඩම කරන ලද බව දක්වා ඇත. කාලිංගයේ සිටි මේ රජවරු කවුරුද යන්න ඉතිහාසයෙන් සාක්ෂි එළවිය හැකිය.මහා භාරත කතාවේ මෙන්ම බුදුන් වහන්සේගේ ඥාති පරම්පරාව ගැන විස්තර කරන වංශකතා වල චේතිය නම් රජෙක් ගැන සඳහන්ය. ආකාශචාරී මේඝවණ්න යනු  ඔහුගේ වංශනාමයයි..දඹදිව සිටි රජ දරුවන් රාජධානි පහකට වෙන් වී ගිය බව දක්වා තිබේ. ඉන් බ්‍රහ්මදත්ත පරම්පරාව පැවත එන්නේ කාලිංග දේශයේය.චේතිය රජුගේ පුතණුවන් වූයේ ආකාශචාරී  දධිවාහනයි. ඔහුගේ පුතණුවන් වූ ආකාශචාරී චක්‍රවර්තී කරකණ්ඩු රජු විවාහ වන්නේ  ලංකාවේ කුමරියක් වන රිතිවේගා කුමරිය සමගයි.මේ දෙදෙනාට වාසුපාල නම් පුතණුවෙක් විය.ඉන්පසු සිටි බ්‍රහ්මදත්ත රජු බුද්ධ කාලයේ සිටි රජකෙනෙකි. බ්‍රහ්මදත්ත රජුගෙන් පසුව කාසි නම් රජ කෙනෙක්ද ඉන්පසු ඛාරවේල නම් රජ කෙනෙක් ද අනතුරුව සුදන්ත නම් රජ කෙනෙක්ද විය.මේ පරපුරේ ගුහසීව රජු දවසදී  කිඩාර නම් මැද පෙරදිග ආක්‍රමණයක් ඇති විය.මේ යුද්ධයට යෑමට පෙර දන්ත ධාතුන් වහන්සේ දන්ත කුමරුට සහ හේමමාලා කුමරියට භාරදී තම මව් පස ඥාතීන් සමීපයට යන ලෙසට දැන්වීය.මෙම යුද්ධයේ දී ගුහසීව රජු මරණයට පත් වූ අතර හේමමාලාවෝ සහ දන්ත කුමරුවන් රහසේම ලංකාව බලා පිටත් විය.කාලිංග රජ වාසල සමග තිබූ ඥාති සම්බන්ධය නිසා කිත්සිරිමෙවන් රජුද හැඳින්වූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණාභය යනුවෙනි. මහසෙන් රජුගේ නැගණිය  දන්ත කුමරුගේ මව වන සාගරිකා බිසවයි.හව් පස ඥාතීන් වෙතට යා යුතු බව දැක්වූයේ මේ සම්බන්ධය උඩයි. තමන්ගේ ඥාති පරම්පරාවේ රජුන් හමුවේ දන්ත ධාතුන් වහන්සේ සුරක්ෂිත වන බව ගුහසීව රජු විශ්වාස කරන්නට ඇත.

         ලංකාවට සැපත් වූ  දළදා වහන්සේ අනුරාධපුරය දක්වා වැඩමවා මහමෙව්නා උයනේ ධම්මචක්ක පවත්නා ගෘහයේ වඩා හිඳුවා  පසුව මේඝගිරි විහාරයෙත් වැඩ සිටීමට සැලැස්වූ බව දැක්වේ. අනතුරුව විසිතුරු දළදා ගෙයක් කරවා එහි තැන්පත් කරන ලද බවද ඉතිහාසයේ දැක්වේ.කිත්සිරි මේඝ රජු දළදා වහන්සේ පිදීම සඳහා චාරිත්‍ර ලේඛනයක් සකස් කළ බව දාඨා වංශයේ 67 වන ගාථාවේ සඳහන් වේ.ඒසේම නව ලක්ෂයක් ධනය වියදම් කොට දිනපතා දළදා වහන්සේ පිදීම චාරිත්‍රයක් කර ගත් බව දක්වා තිබේ.දළදා වහන්සේ තමන්ගේ සිංහාසනය මත තබා ලංකා රාජ්‍යය දළදා වහන්සේට පූජා කරන ලද්දේ ප්‍රාතිහාර්යයත් ආශ්චර්යත් හේතු කොට ගෙනය.එතැන් සිට රජවරු දළදා වහන්සේ මූලික කර ගත් බෞද්ධ රාජ්‍යයක් පාලනය කිරීම සඳහා සපථ කළහ.දන්ත හේමමාලා පරපුරේ අයට දාඨා රක්ඛාධිකාරී තනතුර හිමි කර දී දළදාව භාරකොට ජාතිග්‍රාමයෙහි පදිංචි කරවන ලදී. මෙම කීරවැල්ල පරපුරේ මව් පස ඥාතිත්වය පවතින භික්ෂූන් වහන්සේලාට දළදා තේවාව පිණිස කාර්යය පැවරූහ.සෙනරත් රජුට කීරවැල්ල බිසවක් ලබා නොදුන් බැවින් ඔහු විසින් දළදා භාරකාරිත්වයට මේ මව් පස ඥාතිත්වය හිමි භික්ෂූන්වහන්සේලා පත් කළ බව පූජ්‍ය කිරිඇල්ලේ ඥාන විමල හිමියන් දක්වා ඇත.සකල කලා වල්ලභ රජුගේ කීරවැලි බිසවගේ දුවණිය ඌවේ මහ රාළට විවාහ කරදුන් අතර එම පරපුරට රඹුක්වැල්ලේ ගම ලැබුණි. කීරවැලි මිත්තණියගේ මව්පස ඥාතිත්වය හිමි රඹුක්වැල්ලේ පරපුරේ දරුවන් මහණ කර දළදා තේවාව බාර කර ඇත. ඉන්පසු දුනුමාලේ, කොටිකාපොළ කොබ්බෑකඩුව ආදී කීරවැල්ලේ මව් පස ඥාතීන් දළදා තේවාව භාරව සිටියහ.වාරියපොළ සුමංගල නා හිමියන්    එම මව් පස ඥාතිත්වයට හිමි කම් කියයි.

        බුදුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා අතර ජීවමානව මහජනතාව වෙනුවෙන් පවතින ප්‍රධාන ධාතුකොටස  යටි වම් දළදා වහන්සේය.රාජ්‍යත්වයේ හිමිකාරිත්වය ලැබිමට නම් දළදා වහන්සේ එම රජුට අයත් විය යුතුය. රජු කීරවැල්ල පරපුරෙන් කුමරියක් අවාහ විවාහ කර ගත යුතුය. මේ සිරිත දඹදෙණි යුගයේ සිට වඩාත් දැඩිව අනුගමනය කර ඇත.දඹදෙණි යුගයේ ලියැවුණු දළදා සිරිතේ දැක්වෙන පරිදි රජු විසින් දළදාවහන්සේ වෙනුවෙන් නිතිපතා චාරිත්‍ර ඉටු කළ යුතුය.දාඨාරක්ඛාධිකාරී නොහොත් දිවන රාළ(දිව්‍යාමය සම්බන්ධය ඇති ) සමග පංච ඖෂධයෙන් ස්නානය කර දළදා මාළිගයට ප්‍රවිශ්ඨව තනිවම එම මාළිගය මුස්නෙන් පිරිසිඳු කිරීම් කොට අනතුරව දළදා වන්දනය කළ යුතු බව මෙසේ දැක්වේ.   ' 'සිරිලක රජ පැමිණී දැහැමින් යුතු මහ රජුන් විසින් දවසට විටත් දළදා ගෙට ගොස් වඳිනා කල නියමු පිරිවර පිට. රඳවා පිරිසිදු ආදර බුහුමන් ඇතිව ගෙට වැද මුහුන් ගෙන ගෙය ඇමද අත්දෙව රුවන් හා මල් ආදිය පුදා නව අරහාදී බුදුගුණ සිහි කර   පන්සිල් සමාදන් විය යුතුය.'දළදා වහන්සේට ලැබෙන එක කහවණුවක්වත් රජු වියදම් නොකළ යුතු බවද මේ දළදා සිරිතේ තව දුරටත් දක්වා තිබේ.


     මේ ආකාරයෙන් බලන කල්හි දශ රාජ ධර්මයෙන් රට පාලනය කරන රජෙකු ජීවමාන බුදුන් වහන්සේට සලකන ආකාරයෙන් දළදාවහන්සේට සත්කාර කොට දැක්විය යුතුබව පැහැදිලිය.සෙංකඩගල රාජධානිය තුළ රජ බවට පැමිණි කොනප්පු බණ්ඩාර කුමරු ට සිය රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට කුසුමාසන දේවිය විවාහ කර ගැනීමට සිදු වූයේ කීරවැල්ල පරපුර හා සමග ඇයට තිබූ ඥාති සම්බන්ධය නිසාවෙනි.ඉන්පසු ද්‍රවිඩ නායක්කර් යුගයේ දී මේ සම්ප්‍රදාය අභාවයට ගිය අතර සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ සංකල්පයන් යටපත් විය. අවලොකිතේශ්වර නාථ සංකල්පය මුල් බැස ගන්නා ලද්දේ සත්වන සියවසේ දීය. ඉන්පසු රජු අභිෂේක කරලීමේ දී නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.දළදා වහන්සේ මූලික කරගත් දළදා වහන්සේට වග කියන රජෙකු අභිෂේක කරන ලද්දේ නාථ දෙවියන් ඉදිරියේ දීය.අතීතයේ දී දන්ත ධාතුන් වහන්සේ රජුගේ හිස මත තබා ස්වර්ණාභිෂේකය කළ යුතු යැයි චාරිත්‍රයක් විය.එය කළ හැකි වූයේ දිවන රාළට පමණි. ඒ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට රජුට තිබෙන  වගකීම පිළිබඳ සපථ කරමින්ය.

     1815 උඩරට ගිවිසුම අත්සන් කරන ලද රදළ සමූහය ඒ වන විට නායක්කර් පෙළපතට විරුද්ධව පෙළ ගැසී සිටියහ. වාරියපොල සුමංගල හිමියන් ගේ උපදෙස් පරිදි ගිවිසුමට බුද්ධශාසනය හා දේවාගම රැක ගත් යුතු බවට ප්‍රතිපාදනයක් ඇති කළහ.නමුත් 1817 ඇති වූ විමුක්ති අරගලයේ දී සුමංගල හිමියන් ඉංග්‍රීසීන්ට විරුද්ධව වැඩ කිරීම හේතු කොට ගෙන උන්වහන්සේ කයිකාවල මුරපලේ දී අත් අඩංගුවට ගෙන නඩු අසා  යාපනේ  සිරගත කළ බව දැක්වේ.එතනින් පසු දළදා පෙරහැරක් හෝ දැකුම් මංගල්‍යයක් නොතිබුණු අතර රටේ ඇති වූ දුර්භික්ෂය හේතු කොට ගෙන වසර දහයකට පමණ පසු 1828 දී දළදා ප්‍රදර්ශනයක් එනම් මහජනතාවට දැක බලා ගනීමට සැලැස්වීමක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සිදු කරන ලද්දේය.පුරාණ සිරිත වූයේ දළදා දැකුම් මංගල්‍යයයි.රජු තම සිත පහදවා ජීවමාන බුදුන් වහන්සේට මෙන් දළදා වහන්සේට සත්කාර කර දශරාජ ධර්මයට පිවිසෙන අතර මහජනතාව සිය ශ්‍රද්ධාව භක්තිය වර්ධනය කර ගනිමින් රජු සමග ඒකාත්මික වෙයි.මේ දැකුම් මංගල්‍යය සිදු කිරීමේ අරුත එයයි.නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව සිරිත් ප්‍රකාරව දළදා වහන්සේට ගෞරව නොකිරීම නිසා සුළි කුණාටු සහිත මහා වර්ෂාවක් ඇද හැලී මහනුවර වැව උතුරා මහා විනාශයක් සිදු විය. එය දළදා වතුර නමින් ඉතිහාස ගත වී තිබේ.දන්ත ධාතුන් වහන්සේ සමග මේඝවර්ණ දෙවිඳුන්ගේ සම්බන්ධයක් ඇත. ඉසුරුමුනි විහාරය එකල මේඝ ගිරි විහාරය නමින් හදුන්වන ලදදේ ඒ නිසාය. නුවර යුගය අවසාන කාලයේ දන්ත ධාතුන් වහන්සේ සඟවා තැබූ පුසුල් පිටිය රාජ මහා විහාරයේ ද මේඝවර්ණ දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් ඇත.ඒ විශ්වාසය ගොඩ නැගී පවතින්නේ දළදා භාර පරපුරු සමග පෙර පටන් පැවති දිව්‍යමය සම්බන්ධය හේතු කොටගෙනය.

මතුගම සෙනෙවිරුවන්

 

 

Saturday, February 22, 2025

ගෙදර අය වැය නොදන්න පාර්ලිමේන්තු අය වැය

 

                                




                     වැටුප් පත ලැබුනහොත් එහි අඩංගු මුදල වියදම් කර ගැනීමට සැලසුමක් රාජ්‍ය සේවකයාට හෝ පෞද්ගලික අංශයේ සේවකයාට ඇත. මන්ද නිශ්චිත මුදලක් ඔහු හෝ ඇය අතට ලැබෙන බව දන්නා බැවිනි. නමුත් රටේ ඉන්නා සියල්ලෝම රාජ්‍ය සේවකයන් නොවෙති. කුලී වැඩ කරන්නන්ට  කාර්මිකයන්ට සහ පෙදරේරුවන් වැනි වෘතිකයන්ට ත් තමන්ගේ මහන්සිය මත වැටුපේ නිශ්චිත බවක් ඇත. එහෙත් මේ තත්වයෙන් බැහැර සාමන්‍ය ජනතාවට මුදලක් අතට එන්නේ ගොවිතැනෙන් හෝ සේවා ආර්ථිකයකට සම්බන්ධ වීමෙනි.නුමුත් මේ සියල්ලෝම ආණ්ඩුවට අය බදු ගෙවති.ඒ අයබදු එකතු කර ඒ ලැබෙන මුදල් සංචිතය අනුව ආණ්ඩුව අය වැයක් හදන්නේ රටේ සංවර්ධනය සඳහා වර්ෂයක් තුළ කළ යුතු වියදම් සැලසුමක් අනුවයි.නමුත් බදු අදායමෙන් බැහරව ද රජයේ බැංකු විසින් ණය ලබා දීමෙන් උපයන මුදලක් ද ඇත. ප්‍රාදේශීය සභාවල වරිපනම් වලින් ලැබෙන මුදලක් ද ඇත. පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතු මගින් එකතු වන බදු ආදායමට අමතරව ඒවුහු ද සංවර්ධනය සාජුව දායක වෙති.සංවර්ධනය සඳහා වන රජයේ යුතුකම සහ මහජන යුතුකම යනුවෙන් කොටස් දෙකක් පවතී. නමුත් මහජනතාව බලාපොරොත්තු වනුයේ රජයේ යුතුකම පමණකි.මහජනයා සම්බන්ධ කර නොගන්නා සංවර්ධන ක්‍රියාකාරකම් මගින් මුදල් නාස්තියක් මිස ඵලදායීතාවයක් ඇති වන්නේ නැත.

      ( බජට් ස්පීච්) යනු සුද්දන් ගේ ක්‍රමයට හැඩ ගැසුණු මුදල් ඇමතිවරු මහත් උජාරුවෙන් කරන පාර්ලිමේන්තු කාතාවකි.විශේෂ පෙට්ටියක හංගා ගෙන එන මේ කතා ප්‍රකාශනය එළියට දැමීම එකල කාගෙත් උනන්දුවක් ඇති කරන සිදු වීමක් විය. මන්ද බදු අඩු කරලීමහෝ වැඩි කිරීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ අඩු කිරීම හෝ වැඩි කිරීම නිසා ජනතාවගේ ජීවන වියදම් දර්ශකය වෙනස් වන බැවිනි.පාන් පිටි, සීනි, පරිප්පු, කඩල ,ලුණු, කරවල, අල සහ මස් මාලු යනු එදිනෙදා අවශ්‍ය වන දේය.ඒවායේ මිළ වැඩි කිරීමට අත තැබීම ආණ්ඩුවක පැවැත්මට යහපත් නොවේ. ඒ නිසා දේශපාලනයේ දි මේ ක්‍රියාකාරකම් වලට අත දා අත පුච්චා ගන්නට පාලකයන්ට කැමැත්තක් නැත. වර්තමාන ආණ්ඩුව නොකියා කියන්නේ මේ තත්වයෙන් වෙනස් විය යුතු බවයි. එහෙත් වෙනස් වන්නට අවශ්‍ය මාර්ගය සොයා ගන්නට ඔවුනට හැකියාවක් නොමැති බව දැනටමත් පෙන්නුම් කරමින් පවතී. මංමුලා වීම දිගින් දිගටම සිදු වේ.IMF අනුදත් පරාමිතින් නිසා එය සිදු වනවා යන්න කාලින ක්‍රියාවලියකි. එය වෙනස් කරන්නට වුවමනා නම් එයට දර්ශනයක් තිබිය යුතුය. දිශානතියක් මෙන්ම විනිවිද යා හැකි විශ්ලේෂණයක් ද තිබිය යුතුය. ගතානුගතික භාණ්ඩාගාර ලේකම්ලාට පුලුවන් දේ මෙතෙක් ඔවුන් කර ඇත. ඒ කෙන්සියානු ආර්ථික ක්‍රියවලියේ අනුසාරයෙනි . ඉන් එපිට ලෝකයක් තිබෙන බව ඔවුහු නොදනිති. දේශපාලකයන්ද එයින් පිට පනින්නට උත්සාහ නොකරන්නේ පෙර කී ලෙස අත පුච්චා ගන්නට නොකැමති බැවිනි.හර්ෂ සිල්වා කියන පරිදි රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වාඩි වී සිටි මහින්ද සිරිවර්ධන ලේකම් තුමා තම රෝද පුටුව අනික් පැත්තට හරවා අනුර දිසානායක දෙසට හැරී රනිල් ගේ අයවැය ලේඛනයේ කරුණු එහා මෙහා කර ඉදිරිපත් කර ඇත. කාරණය ඇත්තයි. එහෙත් හර්ෂ සිල්වාට ද ඉන් පිට මාර්ගයක් පෙන්වා දෙන්නට හැකියාවක් නැත. ඔහු සිතන්නේ ද අනුමත කරන්නේ ද මහින්ද සිරිවර්ධන නන්දලාල් වීරසිංහ අනුදත් මාර්ගයේ වඩාත් ක්‍රියාශීලිව ගමන් කරන්නට පමණකි.

     පාර්ලිමේන්තු අයවැය මගින් ආදායම සොයන ආකාරය පැහැදිලි කර නැති බව විපක්ෂයේ චෝදනාවයි.IMF යෝජනා අනුව බදු වැඩි කර ආදායම ඉපැයිය යුතුය.ඉන් පිට මාර්ගයකට කල්පනා කර නැත. මෙරට ව්‍යාපාරිකයන් විසින් විදෙස් වල තැන්පත් කර ඇති අපනයන ආදායමෙන් සියයට හැටක් වත් ලංකාවට ගෙන්වා ගැනීමට යෝජනාවක් ආවේ නම් අපට සතුටු වන්නට පිළිවන. එකස්ප්‍රස්පර්ල් නැවේ සමුද්‍ර පරිසර විනාශය වෙනුවෙන් තක්සේරු කරන ලද බිලියන 6.4 ක වන්දි මුදල ලබා ගැනීම උදෙසා පසුගිය රජය ගෙන ගිය ඇල් මැරුණු ක්‍රියාමාර්ගය ප්‍රාණවත් කර ගැනීම පිණිස හෝ ලංකාවේ නඩු පවරා අය කර ගැනීමට කිසිම යෝජනාවක් නැත. ලංකාවේ ප්‍රධාන ඛනිජ සම්පත වන මිනිරන් ,ඉල්මනයිට් වැනි අගනා ද්‍රව්‍යයන් මේ වන විටත් විදෙස් සමාගම්වල ග්‍රහණයට හසුවී තිබේ. පසුගිය රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙල අනුව ඛනිජ ගොඩ ගෙන අමුද්‍රව්‍ය වශයෙන්ම අපනයනය කිරිමට ගෙනා නීති අහෝසි කල යුතුය.මෙරට ව්‍යාපරිකයන්ට අවස්ථාව ලබා දී ඛනිජ ගොඩ ගෙන අගය එකතු කළ කර්මාන්ත ඇති කරලීමට දිරි දිය යුතුය.එවැනි පියවරකට බරක් තබන්නට ආණ්ඩුව බියවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තරහ කරගන්නට බැරි බැවිනි. මේ තත්වය තුළ 2025 වසරේ අපනයන ඉලක්කය වන ඩොලර් බිලියන 19 දක්වා යෑමට අවස්ථාවක් නැත.නමුත් උපාය ඥාණය භාවිතා කර එය කළ හැකි වෙයි.

     ගෙරම අයවැය හදා ගන්නේ වැටුපෙන් සහ එදිනෙදා ලැබෙන කුලී ආදායමෙන් පමණක් බවට සිතන නිළධාරීන්ට මතක් කර දිය යුතු වන්නේ ග්‍රාමීය ආර්ථිකයට ඉන් එහාට මාර්ගයක් තිබෙන බවයි. ගෙවත්තේ වැවෙන, ආහාර කුඹුරෙන් ,හේනෙන් ,කොරටුවෙන් පොල් ගහෙන්, තැඹිලි ගහෙන් ලැබෙන ආහාර සංචිතය අත්කම් සහ සුළු වෙළෙදාම් වලින් ලැබෙන ආදායම මේ සියල්ල ශක්තිමත් ආර්ථිකයක පුසබිම සකසන බව හිතාමතාම අමතක කර ඇත. අප කුඩා කාලයේ දී ගැමියන් තම දරුවන් හට උගන්වනු ලැබූයේ කරුංකා සහ පුවක් විකිණීමෙනි. කිතුල් හතුරු සහ පැණි විකිණීමෙනි.තල, කුරහන් විකිණීමෙනි.මේවාට තිබුණ වටිනාකම නැතිව ගියේ වෙළඳ පළ ආර්ථිකයේ නැගීමත් සමගයි.දැනටත් යම් කිසි ප්‍රතිශතයකින් මේ ආර්ථිකය ප්‍රභවයන් ක්‍රියාත්මක වන නමුත් මහබැංකුවට ඒවායේ සංඛ්‍යා ලේඛන වැදගත් නැත. අතනින් මෙතනින් අහඹු සංඛ්‍යා ලේඛන එකතු කර දළ ජාතික නිෂ්පාදනය හැදීම ඒ නිළධාරීන් ගේ සිරිතයි.රාජ්‍ය අය වැය සමබර කර ගැනීමට විදෙස් වලින් ණය ලබා ගැනීම අනිවාර්ය බවට ඔවුහු මතයක් හදා ඇත.මේ අයවැයෙන් ද ඒ මතය තහවුරු කර ඇත. මහ බැංකුව ස්වාධීන කිරීමෙන් පසු තත්වය තවත් දරුණු වී ඇත. ආර්ථික පරිවර්තන පණත මගින් රටේ ස්වාධීන තීරණ ගැනීම දුර්වල කර ඇත. මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියට අනවශ්‍ය සීමා පණවා ඇත.කඩිමුඩියේ ඩිජිටල් කරණයට යෑමෙන් සාම්ප්‍රදායික මුදල් සංසරණයේ තිබෙන ශක්‍යතාවයන් තව දුරටත් අඩපණ වනු ඇත.පාර්ලිමෙන්තුවේ දී මේ අයවැය ගැන කියැවෙන පුරසාරම් සහ විවේචන සත පහකට වැඩක් නැත. ජනතාව චූන් වෙමින් නැවතත් විරෝධතා වලට යෑමෙන් අනවශ්‍ය අරගල රට පුරා නිර්මාණය වීම වැළැක්විය නොහැකිය.ගෝඨාභයට වූ දේ අනුරට නොවන්නට නම් පළිගැනීම් පුරසාරම් දෙඩීම් අවම කර පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහ මහජනතාවගේ සහයෝගය ගෙන නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කරගත යුතුය. ඉන් එපිට රටේ ඉදිරි ගමනක් නැත.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, February 19, 2025

ලංකාවේ උසම ගමේ සුන්දර සංචාරක දසුනේ ඇත්ත කතාව

 


                           

               සිරිලක උසම කඳු වැටිය ලෙසින් සැළකෙන පිදුරුතලාගල කන්ද ආසන්නයේ තවත් විශේෂ ස්තානයක් ඇත. ශාන්තිපුරය යනුවෙන් හඳුන්වන එය සැළකෙන්නේ ලංකාවේ උසම ගම්මානය ලෙසිනි.මහුදු මට්ටමේ සිට අඩි හත්දහසක් ඇත.මෙම ගම්මානය අසල සුවිශේෂි ස්ථානයක සංචාරක සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් ඊගල්ස් වීව් පොයින්ට් නමින්  දක්වන සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත විය.මේ ස්ථානයේ සිට නුවර එළිය හාත්පස බලන කල්හි පිදුරුතලාගල කන්ද , කිකිළියාමන කඳු ගැටය., ග්‍රෙගරි වැව ,කලුකැලේ ආදී දර්ශනීය තැන්  සුන්දරත්වයෙන් යුතුව  අංශක තුන්සිය හැටක කෝණයකින් නැරඹිය හැකිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට පැමිණි අවස්ථාවේ දී මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන  යැමට ගුවන් හමුදාවට භාර දී ඇති අතර දැන් එය අවසන් කර පසුගියදා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා විසින් විවෘත කර ඇත.මේ වත්මන් කතාවයි. නමුත් මෙයට අතීත කතාවක් ඇත.ඒ කතාව නම් එතරම් සුන්දර නොවේ.

             නුවර ඒළියේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ නගරාධිපතිවරයෙකු වශයෙන් නම් දැරූ විලියම් ප්‍රනාන්දු මහතා ගේ මග පෙන්වීම මත රජයේ අනුග්‍රහයෙන් ඉහතකී  ශාන්තිපුර ගම්මානය 1959  වසරේ බඹරකැලේ දී ඉඳි වන්නේ බ්‍රිතාන්‍ය වතුවැවිලි කරුවෙකු වූ මැන්ඩ්‍රා ,වන සංරක්ෂණ නිළධාරී කෝල් මේයර් සහ එවකට නුවර එළියේ දේශපාලන බල අධිකාරිය හොබවා සිටි දේශපාලනඥයන්ගේ  බලවත් විරෝධතා මධ්‍යයේ බව සිහිපත් කළ යුතුයි.ඒ සඳහා ඉඩම් වෙන් කර දීමට එවකට අගමැතිව සිටි බණ්ඩාරනායකගේ සහයෝගය නොමදව ලැබුණි. 1818  උඩරට විමුක්ති අරගලය නිහීන ලෙසට මර්දනය කොට සිංහල ජනතාවට අයත් ඉඩම් වතු වැවිල්ලට යටකර ජනතාව අනාථ බවට පත් කිරීම එදා  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අරමුණ විය. විලියම් ප්‍රනාන්දු මහතාගේ අදිටන වූයේ එලෙස අවතැන් ජනතාව වෙනුවෙන් නුවර එළියේ උසම තැන ගම්මානයක් ඉඳි කර දීමයි. එදා සුදු ආණ්ඩුකාරයාගේ නිල නිවසට ඉහළින්  මේ ගම්මානය ඉඳි කිරීම ඔහුගේ අරමුණ විය.ඒ ප්‍රයත්නය ජය ගැනීමට ඔහු කළ දුෂ්කර ක්‍රියාවන් නිසා සුදු අධිරාජ්‍යවාදීන් ගේ පුංචි එංගලන්තය නැවත සිංහල ජනතාව සතු විය.

       විලියම් ප්‍රනාන්දු මහාතා සිංහල ජනපද බිහි කිරීමෙන් සිය සේවාවන් අවසන් නොකරන ලදී. එයට හේතුව ජනපද වාසීන්ට අවශ්‍ය නිත්‍ය රැකියා සහ ගොවිතැනට අවශ්‍ය පරිසරය බිහි කළ යුතුව තිබූ බැවිනි.එක් පුද්ගලයෙකුට අක්කර කාල බැගින් වෙන් කරන ලද අතර එම ඉඩම් වල අර්තපල් කැරට් ලීක්ස් ගෝවා ආදී උඩරට එළවුළු වගා කරවීමට සලස්වන ලදී. නුවරඑළියේ මාගස්තොට ඉඳි කරන ලද බලවේග කම්හල ඒ යුගයේ හැටියට නුවර එළියට විශාල කර්මාන්තයක් විය.එහි සේවකයන් ගණන පන්සීය ඉක්ම විය.මේ බලවේග කම්හල එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශි ක්‍රියා නිසා පසුව වැසී ගිය අතර මෙම කම්හල නිසා  ජීවිතය ජයගත් ප්‍රදේශ වාසී තරුණ තරුණියන් අදත් එය සිහිපත් කරන්නේ මහත් උද්දාමයෙනි.  එයට අමතරව සංචාරකයන් අද්දවා ගැනීමට ශාන්තිපුරයට යාබදව ඉඳි කරන ලද කලාපුරයද දැක්විය හැකිය. නර්තන  හැකියාවන්ගෙන් සහ සංගීත හැකියාවන්ගෙන් සමන්විත කලාකරුවන්ට ඉඩම් ලබා දී පදිංචි කොට  සංචාරකයන්ට අවශ්‍ය සේවා සැපයීම ඔහුගේ අභිප්‍රාය විය. මේ කලාපුරය සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ අතින්  විවෘත විය.ඒ අවස්ථාවේ දී සිරිමා මැතිණිය පළ කළ අදහස් මෙලෙස විය.' කන්ද උඩරට ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අනාගතය අන්ධකාරවීමට තරම් හේතු වූයේ එම ප්‍රදේශයේ ඉඩකඩම් වැඩි හරියක් විදේශිකයන් අත්පත් කොට සිටි බැවිනි. එහෙත් එම භයානක උවදුරෙන් උඩරට ප්‍රදේශය ගලවා ගැනීමට නුවරඑළිය මහජන මන්ත්‍රී ටී.විලියම් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරන්නට යෙදුනු සිංහල ගොවි ජනපද ව්‍යාපාරය සමත්වන බව අද ශාන්තිපුර උත්සවයට සාභාගි වූ මගේ එකම හැඟීමයි. මේ වෙනුවෙන් සෑම සිංහල දේශප්‍රේමියෙකුගේම සහය නොඅඩුව ලැබෙනු ඇතැයි මාගේ එකම බලාපොරොත්තුවයි'.

.      අනතුරුව විලියම් මහතාගේ අභිප්‍රාය වූ උඩරට ගැමියන් අතර සිටි පාරම්පරික කලා කරුවන්  සහ නුවර එළියට පැමිණෙන සංචරකයන් අතර මනා සබඳතාවයක් ගොඩ නගා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමයි. 'ඉහතින් ආරම්භ කරන්නට යෙදුණු කලාපුරයේ සංචාරකයන්ට ප්‍රයෝජනයට තැනීමට අදහස් කරන සංචාරක කලා නිකේතන ගොඩනැගිල්ලට 1975 අප්‍රියෙල් මස පහලොස්වන දින සුභ මොහොතින් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් මුල් ගල තබන ලදී' යනුවෙන්  විලියම් ප්‍රනාන්දු මහතාගේම අත් අකුරින් ලියන ලද වැකියක  සඳහන් වෙයි.  .මේ අවස්ථාවට එවකට වරාය සහ ගුවන්සේවා ඇමතිව සිටි පී.බී..ජී. කලුගල්ල මහතා සාභාගි වූ අතර මෙම කලා නිකේතනය නොබෝ දිනකින්ම විවෘත කිරීම සහ කලාකරුවන් වෙත ඉඩම් ප්‍රදානය කිරීම බලාපොරොත්තුව විය.. එහෙත් පසුකාලීනව නුවර එලිය ප්‍රදේශයේ ඇතිවූ දේශපාලන විපර්යාසයන් මත විලියම් ප්‍රනාන්දු මහතා දුර දක්නා නුවණින් ක්‍රියාත්මක කළ බොහෝ ව්‍යාපෘති අතරමග නතර වූ අතර විවෘත ආර්ථික සැඩ පහරට අසුවී බවේග පෙහෙකම්හලද අඩපණ විය.කලාකරුවන්ට වෙන්කරන ලද කලාපුරයේ ඉඩම් දේශපලන හිතවතුන් අතර බෙදා ගන්නා ලද අතර සංචාරක නිකේතනයේ අරමුණු ඉටු නොවීය.



     හරියටම වසර පනහකට පසු 2025 වසරේ ජනවාරි මස දී සංචාරක කලා නිකේතනය විවෘත වන්නේ ඊගල්ස් වීව් පොයින්ට් යනුවෙනි.එදා විලියම් ප්‍රනාන්දු මහතා ඔහු කළ සෑම වැඩකටම මනරම් සිංහල වචන යොදන ලද්දේය. ගාමිණි පුර ,සේන පුර, සිරිසඟබෝපුර ,අභය පුර  ආදී වශයෙන් ගම්මන රැසක් නම් කරන ලද්දේය.කාලය විසින් විශාල පරිවර්තනයක් සිදු කර ඇත.ශාන්ති පුරයේ නව පරපුර විලියම් මහතා ගැන දන්නේ දැයි මම නොදනිමි. නමුත් මේ සංචාරක දසුන යලි පුනර්ජීවනයට පත් කළ ඇත්තන් මෙහි ආරම්භකයන් ගැන කෘතවේදී වුවා නම් කලාපුරයේ සහ ශාන්තිපුරයේ ඇත්ත කතාව ගැන සමස්ත ශ්‍රීලංකා වාසී ජනතාවටම දැනෙන පරිදි කියන්නට ඉඩ තිබුණි.මන්ද බ්‍රිතාන්‍යයන් විසින් සකස් කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ සිටින මහජන නියෝජතයෙකු ගේ පරිවර්තනයක් බලාපොරොත්තු නොවූ අවදියක විලියම් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කෑම වට්ටොරුවට සිංහල කෑම ආදේශ කරන්නට ද බලවත් සටනක් කළ බව බොහෝ දෙනෙකුට අමතක වී ගොස් ඇති බැවිනි. එහෙව් විප්ලවයක් කළ පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක ක්‍රියාවලියකින් පුනරුදය ලබන විට මුලු  නුවර එළිය ජනතාවටම සතුටු වන්නට තිබුණු අවස්ථාව මග හැරී ගිය බව සංවේගයෙන් සිහිපත් කළ මනාය.

මතුගම සෙනෙවිරුවන්

 

Sunday, February 16, 2025

බත් කන මිනිසුන්ට සාධාරණ විසඳුමක් දෙමු

 

                                   


                බත සහ බරත යනුවෙන් දෙකොටසක ජනතාවක් අතීතයේ දී සිටි බව අපේ ශිලා ලේඛන වලින් පැහැදිලිය.කුරහන් ඇතුළු කටුසර ධාන්‍ය වලින් යැපුණු ලංකාවේ ජනතාව බත්කෑම ප්‍රධාන බවට පත් කර ගන්නට ඇත්තේ බත වරුන් ගේ පැමිණීමත් සමග බවට සිතන්නට හැකිය. නිවසේ දී බත් කනවා යැයි කියන මිනිසුන් කුඹුරේ කමතේ දි ඉතාමත් ගෞරවයෙන් ඒවාට බැත යයි කිවූහ. බැත ගෙදරට ගෙන ආයේ දෙවියන්ට කොටසක් වෙන් කරමිනි. නැතිනම් කමතේම බැත සුද්ද කර වී කොටා සහල් වලින් අලුත් බත් දානයක් දීමෙන් පසුවයි.බත් සමග සංස්කෘතියක් බිහි වීම මෙරට ජනතාවගේ සභ්‍යත්වය පුළුල් කරන්නට සමත් විය. වර්තමානය වන විට ලංකාව පුරා ජනතාව බත් ප්‍රධානතම ආහාරය වශයෙන් සලකති. ඒ නිසා බත් නිසා සහල් නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ගැටුම් ඇති කර ගැනීම අපට නොහොබිනේය.ඒ අපගේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියට ඉන් අවැඩක් සිදු වන බැවිනි.

       කෙසේ වෙතත් මේ වන විට බත් කන මිනිසුන්ට පොදුවේ මහත් ගැහැටක් විඳින්නට පසුබිම සැලසී තිබේ.රටේ සහල් හිඟයක් කෘතිමව නිර්මාණය වී තිබීම මීට හේතුවයි. රතු කැකුළු සහල් සහ සුදු කැකැළු සහල් විශේෂයෙන්ම හිඟ වී තිබේ.නාඩු යනුවෙන් ව්‍යවහාරයක් වෙළෙඳුන් අතර තිබුණද අතීතයේ දී ගොවි ජනතාව භාවිතා කල වචන අතර තිබුණේ කැකුළු සහ තැම්බූ සහල් සහ සම්බා සහල් යනුවෙනි. ඉන් තැම්බූ සහල් බහුලව භාවිකා වූ අතර සම්බා පරිභෝජනය රජ වාසල සහ සිටු වරුන්ට සීමා වී තිබුණි. සම්පන් යාත්‍රා මගින් ඉන්දියාවේ සිට සහ අනෙකුත් රටවලින් ගෙන්වා ගත් බැවින් සම්බා යනුවෙන් ව්‍යවහාරයක් ඇති වූ බව දැක්වේ.කයිවර සම්බා ,මුතු සම්බා, කොත්තමල්ලි සම්බා ආදී නම් අතීතයේ අපට අසන්නට පිළිවන් විය. හරිත විප්ලව ක්‍රියාවලිය සහ වී අභිජනන සංවර්ධනය නිසා සම්බා භාවිතය සහ සුදු සහල් දෙන වී වර්ගයන් ජනතාව අතර වැඩි වැඩියෙන් ප්‍රචලිත කරනු ලැබීය. රතු සහල් භාවිතය ක්‍රමයෙන් අඩු කිරීමට මේ වෑයම හේතු විය. විශේෂයෙන්ම ආපන ශාලා වල සහ හෝටල් වල ප්‍රයිඩ් රයිස් භාවිතයේ වර්ධනය නිසා විශේෂ සම්බා වර්ග අවශ්‍යතාවය වර්ධනය විය.මේ තත්වය මත මහා වාරි කලාප වල සහ මහවැලි කලාප වල සම්බා වර්ග වැඩි වැඩියෙන් වගා කිරීම තේරුම් ගත හැකිය.ඒ කලාප වල ගොවීන් යැපුම් මට්ටමේ සිට වානිජ මට්ටමට පරිවර්තනය වීම මෙයට හේතුවයි.

        ගොවියා, කම්කරුවා, ඉංජිනේරුවා, වෛද්‍යවරයා ඇතුළු සමස්ත ජනතාව ම පාරිභෝගිකයන් වෙති. ඒ සැම දෙනටම අත්‍යවශ්‍ය ආහාර මෙන්ම විවිධ භාණ්ඩ ලබා ගැනීමට සිදු වේ.ඩොලර්යේ උච්චාවචනය අනුව ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යන අතර රුපියලේ මිළ උච්චාවචනය අනුව දේශීය භාණ්ඩ වල මිළ ඉහළ පහළ යයි.ගොවිතැන අතහැර පාරි‌භෝගිකයන් බවට පත් වූ ජනතාවට මේ කාරණය තදින්ම බලපායි. ඒ නිසා වැටුප් වැඩි කර ගැනීමට ඔවුහු සටන් වදී.පහසුකම් ඇති කර ගැනීමට පෙළ ගැසෙති. මධ්‍යම පන්තියේ වර්ධනය නිසා චන්දයකින් පත්වන රජයකට නිතරම පාරිභෝගිකයාට හිස නමන්නට සිදු වේ. හඳෙන් හාල් ගෙනවිත් දෙන පොරොන්දුව සහ ධාන්‍ය රාත්තල් අටේ කතාව චන්ද වේදිකාවේ රැව් දුන්නේ මේ තත්වය නිසාය.වෙළඳ පළ ආර්ථිකය වර්ධනය නිසා මේ ගැටළුව තවත් සංකීර්ණ වී තිබේ. විපක්ෂයේ සිට පැවති ආණ්ඩු විවේචනය කරමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බලයට පැමිණීමෙන් පසු මහත් අර්බුදයකට පත් වූයේ ප්‍රායෝගික තත්වය අත් දකින්නට වූ බැවිනි.එම නිසා වර්තමානයේ පවතින වී අර්බුදයට නිසි පිළියමක් සෙවීම සඳහා දේශපාලන පක්ෂ කෝණයෙන් බැහැරව කටයුතු කිරීම සඳහා බලධාරීන් උනන්දු විය යුතුය.

         ස්වයංපෝෂිත ආර්ථිකයක සිටි ගොවියා පාරිභොගික භාණ්ඩ පරිහරණය කරන ලද්දේ අල්ප වශයෙනි. ඒවා මිළදී ගැනීමට ඔවුහු තල මුං කුරහන් ඇතුළු ධාන්‍ය වර්ගද කිතුල් පැණි සහ හකුරුද පුවක් ද අලෙවි කළහ.අනෙකුත් සියළුම ආහාර ඔවුහු ගමෙන්ම සපයා ගත්හ. 1977 න් පසු සිදු වූ ආර්ථික පෙරළියෙන් පසු සීඝ්‍ර ලෙස මේ තත්වය වෙනස් විය. 1972 දී වී අලෙවි මණ්ඩලය පිහිටුවනු ලැබූයේ එවකට විශාල වශයෙන් වී අස්වනු රැස් කරගත් ගොවියාට වෙලඳ පළ තුළ යම් සහතික මිළක් ලබා දීමට සහ සහල් හිඟ කාලයට පාරිභෝගිකයා ආරක්ෂා කරලීම සඳහා ආරක්ෂත තොග රැස් කිරිමටත්ය. නමුත් වෙළදපළ ආර්ථිකය වර්ධනය වීමත් සමගම රජය ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්ව වෙළඳ පළ හැසිරීමට ඉඩ සැලැස්විය යුතුය යන මතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් ලෙසට පැමිණියහ. එහි ප්‍රතිඵලය වූයේ වී අලෙවි මණ්ඩලය වසා දැමීමට තීරණය කිරීමය. එහි ගබඩා විකුණා දැමීමට කටයුතු කිරීමය. ඉන්පසු වෙළඳ පළ වාසිය ලබා ගනිමින් වී මොල් කරුවන් දිවයින පුරාම වර්ධනය විය. ඔවුහු තම ලාභය උපරිම කර ගැනීමට ද කර්මාන්තයක් ලෙසට පවත්වා ගෙන යෑමට ද නවීන තාක්ෂණය සමග ඒකාබද්ධව ඉදිරියට ගියහ. ඒ මගින් ආර්ථිකයට ලබා දෙන දායකත්වය අති මහත්ය.නමුත් ගොවියාගේ පැත්තෙන් බලන කල්හි ඔවුන් ගේ ජීවන තත්වයේ වර්ධනයක් සිදු නොවීය. පූර්ණ කාලිනව ගොවිතැන් කොට කන්නය අවසානයේ අතට ලාභයක් ගැනීමට සිටින පිරිසට වෙනත් රැකියා සොයා යන්නට සිදු විය. එයට හේතුව ලැබෙන ආදායම ජීවත් වීමට ප්‍රමාණවත් නොවන බැවිනි.මෙම තත්වය තවදුරටත් වර්ධනය නොවිය යුත්තකි.ගොවිතැන් කරන මිනිසුන් ගේ සමෘද්ධිය සහ පාරිභෝගිකයා ගේ යහපත සැලසීම රජයේ යුතුකමකි. නමුත් තවමත් වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරුන් අඳුරේ අතපත ගාමීන් සිටී.ආහාර ස්වෛරී භාවය සහ වෙළඳ පළ ආර්ථිකය අතර සාම්‍යයක් ඇති කිරීමට ඔවුන් අසමත් වී තිබේ.මහජන ආණ්ඩුවක වගකීම ඔවුහු පැහැර හරිමින් සිටී.

     සැබවින්ම මෙම වී සහල් ගැටළුවට සරල විසඳුමක් අපට යෝජනා කළ හැකිය.නූතන වෙළඳ පළ බලවේග තුළ ගොවියා රැක ගැනීම සහ ආර්ථිකයට දක්වන දායකත්වය ප්‍රතිශතයක් ලෙසට ගණනය කිරීමට සැලස්වීම මෙහි අරමුණයි.වර්තමාන රජය වී වලට නිකුත් කල සහතික මිළ රුපියල් එක සිය විස්සකි. සහල් වල පාලන මිළ රුපියල් දෙසිය තිහකි.එවිට ප්‍රතිශතයක් වශයෙන් ගොවියාට ලැබෙන්නේ සියයට පණස් තුනකට ආසන්න ගණනකි..අනෙක් සියළුම ආදායම මොල් කරුවන් ට ,ප්‍රවාහනයට ,තොග වෙළන්දන්ට, සිල්ලර වෙළන්දන්නට ,ඇසුරුම් නිෂ්පාදකයන් ඇතුලු වෙළඳපළට බෙදී යයි. එයට අමතරව මොල් කරුවන්ට සමාජ ආරක්ෂණ බද්දක් ද වැට් එකක් ද ගෙවීමට බල කර තිබේ. එය සියයට විස්සකි.ඒ සියල්ලම සහල් කිලෝවට එකතු වේ.මෙය කිසිසේත්ම සාධාරණ නැත.

      වර්ෂ 1837 දී කොළඹ තේ වෙන්දේසිය ආරම්භ කරනු ලැබිණ.තේ වතු වලට ලැබිය යුතු ලාභාංශ ප්‍රතිශතය ඒ තේ වෙන්දේසියේ දී ගණනය වේ.වර්තමානය වන විට තේ දළු සඳහා සියයට 68 ක්ද තේ නිෂ්පාදකයන්ට සියයට 32 ක් ද වශයෙන් ප්‍රතිශතය තීරණය කරනු ලබයි.වෙන්දේසියේ ලබන මිළ අනුව තේ වතු හිමියන්ට සහ කුඩා තේ වතු හිමියන්ට ආදායම ලැබේ.තේ වතු වල තේ කම්හල මගින් වියළන ලද තේ කිලෝවක් එළියට එන විට සියළුම වියදම් වල ප්‍රතිශතයන් ගිණුම් ගත වේ.තේ වත්තද අතැම් විට පුද්ගලික තේ කම්හලද පවත්වාගෙන යනු ලබන්නේ ඉහත සඳහන් ප්‍රතිශතය අනුවයි.තේමණ්ඩලයේ නීති රීති අනුව වරින් වර මෙම ප්‍රතිශතය පිළිබඳ තීරණ ගනු ලබයි.

      දේශීයව සකස් කරන සහල් යම් තරමකින් අපනයනය කළද එය අපනයන මූලික කරගත් භාණ්ඩයක් නොවේ.එය දේශීය පාරිභෝගික භාණ්ඩයකි.පාරිභෝගිකයාට සහල් සපයනුයේ වෙළන්දන්ය. එතනදී වෙළඳ පල බලවේගයන්ට අවශ්‍ය ප්‍රතිශතය තිරණය නොවේ.වී සහතික මිළ මගින් ප්‍රතිශතයක් පිළිබඳ දැනුම් නොදෙන අතර ව්‍යාපාරිකයාට අවශ්‍ය ආකාරයට සහල් සහ වී මිළ තීරණය කරනු ලබයි.තේ නිෂ්පාදනයේ දී භාවිතා කරන ප්‍රතිශත ක්‍රමය වී වෙළඳ පළටත් ආදේශ කලහොත් යහපත් ප්‍රතිඵල ලැබිය හැකි බව මාගේ විශ්වාසයයි. පහත සඳහන් වගුව පරිශීලනය කරන විට දැනට ගොවියාට සහ වෙළඳ පළ බලවේග වලට ලැබෙන ආදායම් ප්‍රතිශතය පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකිය.සහල් පාලන මිළ රුපියල් 230 ක් ලෙසට සළකා සහ අක්කරයක අස්වැන්න(මධ්‍යන අගය ) කිලෝ 2000 ක් ලෙසට සළකා මෙම වගුව සකස් කර ඇත.එසේම අක්කරයක නිෂ්පාදන වියදම ලක්ෂ 02 ක් බව ( අම්පාර පොලොන්නරුව මඩ කලපුව  අනුරාධපුර ) දැනට තහවුරු වී තිබෙන අතර ඒ වියදම අනුව ලාභය ගණනය කර ඇත.

සහල්පාලන මිළ (සහල් කිලෝ 01)

ප්‍රතිශතය (ගොවියාට සහ වෙලෙඳපළට )

ගොවියාගේ තීරුව

වෙළෙඳ පළ තිරුව

ගොවියාගේ ආදායම

ගොවියාගේ ශුද්ධ ආදායම

 

රුපියල් 230

52% -48%

රු- 119.6

රු -110.4

රු -2,39200

රු -39200

   එම

55% -45%

රු- 126.5

රු -103.5

රු -2,53000

රු-53000

    එම

58% -42%

රු -133.4

රු -96.6

රු- 2,66800

රු-66800

    එම

60% -40%

රු -138

 රු-92

රු- 2,76000

රු -76000

 

පූර්ණ කාලීනව ගොවිතැන් කරන ගොවියෙකුට ලැබෙන ඉහතකී ලාභය ජීවත් වීම සඳහා ප්‍රමාණවත් නොවන අතර අර්ධ කාලීනව ගොවිතැන් කොට වෙනත් රැකියාවක ද නිරත වන ගොවියෙකුට එය ප්‍රමාණවත්ය.එහෙත් ගොවියා ගොවිතැනෙහි රැඳී සිටීම ට ඉන් පෙළඹීමක් නැත. ව්‍යාපාරිකයා සිය වෙළඳ පළ තීරුව අනුව උපරිම ලාභයක් ලබා ගන්නා අතර සේවක පිරිසක් ද නඩත්තු කරමින් රජයට බදු ආදායමක් ද ලබා දෙයි.තේ නිෂ්පාදනයේ ප්‍රතිශතයන් තීරණය කරන පරිදිම සහල් වෙළෙඳ පලේ ප්‍රතිශතයන් තීරණය කළහොත් යම් සාධාරණ තත්වයක් රටේ නිර්මාණය වනවා නිසැකය.දැනට සහල් නිෂ්පාදනය මත පටවා තිබෙන අධික වැට් බදු සමාජ ආරක්ෂණ බදු ආදිය අඩු කිරීම මගින් ව්‍යාපාරිකයා ශක්තිමත් වන අතර රසායනික පොහොර භාවිතය ක්‍රමානුකූලව අඩු කර ගනිමින් කෘෂි රසායන භාවිකය ද ඉතාමත් අවම කරමින් නිෂ්පාදන වියදම සමබර කර ගැනීම ගොවියාගේ යුතුකමකි.ස්වයං බිත්තර වී නිෂ්පාදනය ද අත්‍යවශ්‍ය වේ. එසේම ඩීසල් මිළ අඩු කළහොත් සීසෑමට ගොයම් කැපීමට යන වියදම අඩු කරගත හැකිය.ගොවියාගේ පැත්තෙන් වී වෙනුවට සහල් වෙළඳ පළක් නිර්මාණය කර ගැනීමද ලාභ ඉපැයිය හැකි ප්‍රවේශයකි.වර්තමාන ආණ්ඩුවේ දළ දඩු පිළිවෙත සහ අදූර්දර්ශී ප්‍රකාශ නිසා ගොවියා සහ ව්‍යාපාරිකයා අතර ගැටුමක් නිර්මාණය කිරීම ද වී ගොවිතැනෙහි තිරසාර බවට බලවත් අනතුරකි. දැන් විපක්ෂ දේශපාලනය කරන කාලය නොවේ. රට හැදීම සඳහා යහපත් කළමනාකරණයක් සකස් කිරීමේ කාලයයි. ඒ බැව් දේශපාලකයන් මැනවින් තේරුම් ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

 

 

Thursday, January 30, 2025

ලුණු ගැන මුනු මුනුව ඇත්තක් ද බොරුවක් ද

 

                              


                ලුණු මෙට්රික් ටොන් තිස්දාහක ප්‍රමාණයක් විදෙස් වලින් ගෙන්වීමට මේ වන විට අමාත්‍ය මණ්ඩලයෙන් අවසර ලැබී තිබේ.ඒ මේ රටේ ලුණු අවශ්‍යතාවයෙන් හතරෙන් එක් කොටසකි.සාමාන්‍යයෙන් ලංකාවේ පවතින ලුණු ලේවා වලින් දැනට මෙට්රික් ටොන් 228000 ක් පමණ නිෂ්පාදනය වන අතර වාර්ෂික අවශ්‍යතාවය වන්නේ මෙට්රික් ටොන් 120000 කි. එවැනි තත්වයක් යටතේ 2024 අවසන් මාසයේ දී හදිසි ලුණු අවශ්‍යතාවයක් මතු වුණේ කෙලෙසකද. සුළි කුණාටුව නිසා ලුණු ලේවායන්හි ලුණු දිය වී ගියේ ද . එසේත් නැතිනම් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රසාරණය වී ලුණු අවශ්‍යතාවය තවත් වැඩි වූයේ ද.මේ බැව් දන්නේ ලංකා ලුණු සමාගමත් මාන්තායි වැනි රජයට අයත් ලුණු සමාගම් වල තිබෙන ලුණු ප්‍රමාණයේ තත්වය මතයි.

     ලේවා ලුණු සවිඳ ලුණු සුවස ලුණු උද්භීද ලුණු සහ බළල් ලුණු යනුවෙන් පංච වර්ගයක ලුණු භාවිතයට ගැණුනු බව ආයුර්වේද ග්‍රන්ථයන්හි දක්වා ඇත. ආහාර රුචිකත්වය ඇතිකරන ද්‍රව්‍යයක් සහ විස හරණ ද්‍රව්‍යයක් වශයෙන් ප්‍රධාන වශයෙන් ජනතාවට අවශ්‍ය වනුයේ ලේවා ලුණු වර්ගයයි.ඊට අමතරව සබන් නිෂ්පාදනය, සෝඩියම් හයිඩ්රොක්සයිඩ් නිපදවීම ,සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් කාබනේට් නිපදවීමටද පොහොර නිපදවීමට ද ලුණු භාවිත කෙරේ. 1997 වර්ෂයේ දී ලුණු අයඩීනිකෘත වීම නිසා අයඩින් ලුණු නිපදවන සමාගම් කීපයක් ද කර්මාන්තයට එකතු වී තිබේ.මුහුදෙන් වටවූ දූපතක් බැවින් ස්වභාවිකව ලුණු මිදෙන කලපු කිපයක් ලංකාව වටේම පවතී. අතීත රජවරුන් රජ වාසලට ලුණු සැපයීම පිණිස වෙනමම කාර්යංශයක් සකස් කර තිබුණි.විශේෂයෙන්ම පුත්තලම කලපුවත් හම්බන්තොට කලපුවත්  අතර මිදෙන ‌විහාල ලුණු නිධියක් පවතී. කරගන්ලේවාය , පලටු පාන ලේවාය, බූන්දල ලේවාය කොහොලන්කල සහ මහා ලේවාය ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ලුණු ලැබෙන ලේවායන් වෙති. ඊට අමතරව තවත් ලුණු ලේවායන් අටක් ලංකාව වටේම දැනට ක්‍රියාත්මක වෙයි.අසූව දශකයෙන් පසු අලිමංකඩ, මන්තායි සහ යාපන  ලේවා ක්‍රියාත්මක වූයේ නැත.නමුත් 2016 න් පසු සහ 2023 වසරේ දී අලිමංකඩ ලේවාය නැවත සක්‍රීය කරවීමට රජය ක්‍රියාමාර්ගයන් කීපයක්ම අනුගමනය කර තිබුණි.

           ලන්දේසීන් ලංකාවේ  රජු සහ රදළයන් රවටා මුහුදු බඩ තීරය අත්පත් කරගත් පසු උඩරට රාජ ධානියට ලුණු සැපයීම අඩාල කළහ.ලුණු නොමැතිව ආහාර පිසිනු නොහැකි වු සිංහලයන් උද්භීද ලුණු වශයෙන් සැළකෙන ශාඛ වලින් ගන්නා ලවණ පරිභෝජනය කරමින් එකල දුෂ්කර දිවියක් ගත කළ බව දැක්වේ. නමුත් රජු යටත් වූයේ නැත.ලන්දේසීන් පළවා හැර ඉංග්‍රීසින්ට රට භාර කළහ.ඉංග්‍රීසින් ගේ යුගයේ දී ලුණු නිපදවීම වැඩි දියුණූ කළහ. විසිවන සියවස ආරම්භය වන විට ලංකාවේ ලුණු ලේවායන් 20 ක් ක්‍රියාත්මක වී තිබුණි. ඒවා අතර හම්බන්තොට ප්‍රදෙශයේ ලේවා හතක් පුත්තලම ආශ්‍රිතව ලේවා හයක් යාපන අර්ධ ද්වීපයේ දෙකක්  අලිමංකඩ  තුනක් ද නිලාවේලි සහ මන්නාරමේ එක බැගින් ද වූහ.  චිවියත්තේරු ,කරනාවයි, නිලාවේලි ,  කරියල්වායිල්  සහ පල්ම්නත්තාලම් යන කුඩා ලේවා ක්‍රියාත්මක නොවේ.   1937 වර්ෂයේ ආරම්භ වූ ලංකා ලුණු දෙපාර්තමේන්තුව යටතේ වූ මේ සෑම ලේවායකින්ම 1956 වන විට  උපරිම ලුණු අස්වැන්න වන ටොන් 106 562 ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි.1961 දී  සුල්තාන් බාවා කොමිටිය පත් කරන ලද්දේ ලුණු නිෂ්පාදනය වැඩි කිරීම පිණිස නිර්දේශ ලබා ගැනීමටයි. ඉන්පසු 1963 ද කොමිසමක් ද පත් කරන ලදී. 1964 දී ලංකා ලුණු සංස්ථාව පිහිටුවීම මේ සංවර්ධනයේ මහඟු පියවරක් විය.පෙර සඳහන් කළ කොමිටි වාර්තා සහ කොමිෂන් නිර්දේශ  මත  හම්බන්තොට කලාපයේ ලේවායන්  වැඩි දියුණු කිරීමට ලුණු සංස්ථාව කටයුතු  කළහ. ඒ  අනුව හම්බන්තොට වෙන වෙනම පැවති ලේවායන් ඒකාබද්ධ කොට ගංවතුර වළක්වා හැරීමට බැමි බැඳ ලුණූ නිෂ්පාදනය වර්ධනය කළහ.1990 දී ශ්‍රී ලංකා  ලුණු සමාගම ආරම්භ වී රජයට අයත් සමාගමක් වශයෙන් ක්‍රියාත්මක විය.  මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ ලුණු සමාගමට සේවා නියුක්තිකයන්ගේ  භාරකාර අරමුදල මගින් ආයෝජනය කරනු ලැබ සමාගමක් බවට පත් කිරීම යහපත් පියවරක් විය. ඒ නිසා භාර කාර අරමුදලද ලුණු සමාගමද ලාභ ලැබීය.

     ලුණු නිපදවීමේ  අවස්ථා තුනකි. පළමු අවස්ථාව මුහුදු වතුර ලියැදි වලට එක් රැස් කර ගැනීමයි. දෙවනි අවස්ථාව වාෂ්පීකරණය වූ පසු  සාන්ද්‍රණය ඉහළ ගිය ද්‍රාවණය ඊළඟ ලියැදි වලට පුරවා ගැනීමයි.මේවා කාරම් ජලය ලෙසට හැඳින්වේ.අවසාන අදියරේ දී මිදෙන ලුණු කඩා ගැනීමට සූදානම්ය. ගොවිතැන් කරනවා සේම ලුණු අස්වැන්න ලබා ගැනීමට ද කන්න ක්‍රමය යොදා ගැනේ. මාස හයක් පුරාවට හම්බන්තොට පුත්තලම අලිමංකඩ ආදී ලේවා ප්‍රදේශයන්හි තිබෙන වියළි කාලගුණ තත්වය නිසා වාෂ්පීකරණය බලවත්ය. රැස් කරගත් කාරම් ජලය වාෂ්පීකරණය කොට ලුණු මුදවා ගනු ලබයි. මෙය සියයට සියයක්ම කාබනික ක්‍රියාවලියකි. මෙසේ එකු රැස් වන ලුණු අට්ටි ගසා පොල් අතු වලින් වසා තවත් කාලයක් තබන විට අපද්‍රව්‍ය ඉවත් වන බව කියති. අනතුරුව මූලික වශයෙන් ආහාරමය ලුණු වශයෙන් ප්‍රමාණයක් නිදහස් කරන අතර අනෙක්වා කර්මාන්ත ක්ෂේත්‍රයට මුදා හැරේ.ජිප්සම්, ප්ලාස්ටර් පැරිස් මෙන්ම බොරැක්ස් යවකාර ලුණු ආදිය අතුරු නිෂ්පාදන විලස ලියැදි වලින් රැස් කරගනු ලබයි. මේ තත්වය මත ලංකාවේ අතිරික්ත ලුණු නිෂ්පාදනයක් සිදු කරන බව පැහැදිලිය. ඉහත සඳහන් කරන ලද සමස්ත ලේවා පද්ධතිය තුළම ලුණු නිෂ්පාදනය කරන්නේ නම් ලංකාවෙන් විදෙස් වලට ලුණු අපනයනය කිරීමට අපහසු නැත. ලුණු සංස්ථාව පිහිටුවීමෙන් පසු ලුණූ වලින් රට ස්වයංපෝෂිත වී අපනයනය සඳහාද අතිරික්තයක් ඉතිරි විය.මෙට්රික් ටොන් ලක්ෂ පහක් දක්වා අස්වැන්න වැඩි කර ගෑනිමට ද ඉලක්කයක් විය.

     1957 ගංවතුර තත්වය යටතේ කාරම් ජලය පිරි ලියැදු හානියට පත් විය. 1958 සහ 1959 වර්ෂ වල ලුණූ නිෂ්පාදනය අඩාල වන්නට එය හේතුවක් විය.මෙවැනි ස්වභාවික විපත් වලදී ලුණු නිෂ්පාදනය ආරක්ෂා කර ගැනීමටත් වැඩි දියුණු කර ගැනීමටත් පසු ගිය කාලය පුරාවටම උත්සාහ දරා තිබේ. ප්‍රශ්ණය තිබෙන්නේ මේ කර්මාන්තය රජයට අයත් සමාගමක් වශයෙන් ක්‍රියාත්මක වීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ඉන්දියානු සමාගම් මෙම ක්‍රියාවලියට කැමැත්තක් නැත. රජය ව්‍යාපාර වගින් ඉවත් විය යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බල කර සිටින විට. ඉන්දියාව සහ පකිස්තානය වැනි ලුණු අපනයන කරන රටවල් ලංකාවේ ලුණු නිෂ්පාදනය අඩාල කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගනී. තිස්වසරක යුද්ධය නිසා උතුරේ ලේවායන් ක්‍රියාත්මක නොවීම ඔවුනට වාසි දායක විය. එවිට ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට රජයට සිදු විය.

    මේ වන විට සහල් හිඟයක් මවා පා තිබේ. රට තුළ ප්‍රමාණවත් තරම් වී තොග පැවතියද රටින් සහල් ගෙන්වීමට රජය අවසානයේ ඒකඟ විය. පොල් අස්වැන්න බිඳ වැටීමට හේතු ගණනාවක් ඇති අතර එයට පොල් පර්යේෂණායතනය සෘජුව වගකිව යුතුය. මේ අතර ඒ ආයතනයම පොල් පිටරටින් ගෙන්නීම පිණිස නිර්දේශ ලබා දෙයි. මෙම ක්‍රියාවලියේ සැඟවුණු අර්ථයක් ඇත.එසේම හදිසියේ ලුණු හිඟයක් පිළීබඳව මාධ්‍ය විසින් කරන ලද හෙළිදරව්වක් නිසා පාරිභෝගික ජනතාව බිය වී ලුණු රැස් කිරීමට පටන් ගත්හ. එවිට ලුණු හිඟයක් රට තුල ඇති වෙයි. එවිටම ලුණු ආනයනය කිරීමට රජය පොළඹවා ගැනිමට කරන ලද උත්සාහය සාර්ථක වී ඇත.පසුගිය කාල පරිඡේදය පුරාවටම ලංකාවේ ලුණු නිෂ්පාදනය වැඩි වී තිබෙන විට හදිසි ආපදා තත්වයකදී ක්‍රියා කරන ආකාරය පිළිබඳ සමාගම දැන නොසිටින්නට බැරිය. මේ වන විටත් තුන්වන අදියරේ මිදුන ලුණු ලියැදු වල තිබෙන්නට හැකිය. ගංවතුරාව නිසා හානියට පත් වන්නේ කාරම් ජලයයි. ඒ විනාශය ගැන හරිහැටි සමීක්ෂණයක් නොකර ලුණූ ආනයනයට අවසර දීම ප්‍රශ්ණ කාරීය.ලුණු ආනයනයට විදෙස් සංචිත අවශ්‍ය වේ. ලංකාවේ රසායනික කර්මාන්ත වලට ලුණු සැපයෙන බැවින් ඒ සමාගම් වල ලාභය සහ ඒ මගින් රජයට එක්වන බදු වලින් මේ විදෙස් සංචිත ආවරණය වන්නේ නම් ගැටළුවක් නැත. එසේ නොමැතිව හදිසි තීරණ ගැනීම කාලෝචිත නොවේ. මේවා පිටුපස තිබෙන යාන්ත්‍රණය කිසිවෙකුට මතුපිටින් තේරුම් ගත නොහැතිය.  මාධ්‍ය  සදාචාරය ද පසෙකින් දමා විද්‍යුත් මාධ්‍ය හැසිරෙන්නේ තමන්ගේ රේටින්ස් වැඩි කර ගැනීමටයි. පුවත් මවා පෙන්වීමෙන් ජනතාවද රජයද අමරුවට පත් වෙයි. මේ නිසා ලුණු ගැන මුනු  මුනුව ඇත්තක් ද බොරුවක් ද යන වග හරි හැටි තේරුම් ගැනීම වැදගත්ය. නැතිනම්  රටේ ජාතික සම්පත් වලින් ප්‍රයෝජන ගැණීමට රජයටත් ජනතාවටත් නොහැකි වනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්