පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, December 16, 2025

ගඟ සිරිපුර වර්ණනා - දිය රකුසට බිලි වුණා

 

                                


            ගඟසිරිපුරය නොහාත් ගම්පළ ලංකාවේ සයවන රාජධානිය ලෙසින් සළකනු ලබයි.සතරවන බුවනෙකබාහු රජුගේ පටන් පස්වන බුවනෙකබාහු දක්වා කාලය (1341-1408) තුළ මෙම රාජධානිය පැවති බව ඉතිහාසයේ සඳහන්ය. ගම්පළ රාජධානිය  අනුරාධපුර යුගයේ සිට ජනාවාසව පැවති සංශ්‍රීක ප්‍රදේශයකි.මහනුවර රාජධානි සමයේ දී  ද ගම්පොළ  විශේෂ පාලන පෙදෙසක් ව පැවති බවට සාධක හමුවේ.මහනුවර සිට කොත්මලේට යනෙන රජ මාවත පිහිටා තිබෙන්නේ ගම්පළ උඩ පළාත හරහාය.තැන තැන පඩිපෙල් සහිතව අම්බලම් සහිතව ශේෂව පවතින මේ මාවත අදටත් දක්නට හැකිය. වඩාත් වැදගත් වන්නේ මේ රජ මාවත දෙපස තිබෙන අතිශයින් පැරණි පාරම්පරික ගම්මාන සමූහයයි.අටබාගේ දොලොස්බාගේ පස් බාගේ නරංවිට  උලපනේ ඇරෑගොඩ ලියන් දෙණිය ලැගුම්දෙණිය පන්විල වත්ත අංගම්මන විඟුලවත්ත බෝවල මාලතිමාල සේල ආදී වීගොවිතැනින් සපිරි පස්ගෝ රසින් අඩුවක් නැති රමණිය කඳු සිඛර වලින් ගැවසී ගත් ගම්පළ තවත් සුන්දර කරමින් මහවැලි ගඟ වක්කලම් ගසමින් ගලා බසී.එයට කොත්මලේ ඔය එකතුවන්නේ කොතනකද එතැන මහවිල්ල විය.

   තුන්වන වික්‍රමබාහු රජ දවසදී කෑගල්ලේ දී අරුම පුදුම සිද්දියක් වාර්තා වෙයි. ඒ නම් බෙලිගෙඩියකින් කුමරියක් ඉපදීමයි.හෙණකඳ බිසෝබණ්ඩාර ලෙසින් නම්ලද මේ කුමරිය රූපශ්‍රීයෙයන් අග තැන්පත් කාන්තාවකි. වර්තමාන ඇම්බැක්ක අසළ ඇය නිතර මල් නෙලන්ට ගිය බව පැවසෙයි. එහිදී කතරගම දෙවිදුන් මේ රූසිරි හෙබි කුමරිය දැක වශීව ඇය ජීවිතක්ෂයට පත් කර දෙවඟනක් බවට පත් කර ඇම්බැක්කට අධිපති කර ගත්තාය. කොත්මලේ සැවැන්දරපිටියේ දී අභාවයට පත් ඇයගේ  දේහය කහට ගහකින් තැනූ බෙනයක බහා භූමදානය කළ බවත් මේ සිද්දියෙන් පසු කෝපයට පත් මහවැලි ගඟ ඉල්පී වතුරාව වැඩි වී කහට ලීයෙන් තැනූ බෙනයත් සමගම ගඟ දිගේ ගසාගෙන ගොස් වර්තමාන ගම්පළ අසල බෝතලපිටිය ඉවුරට ගොඩ ගසා ඇත. රජුට මෙය ආරංචි වී පැමිණ දේහය ආදාහනය කොට භෂ්මාවශේෂ තැන්පත් කළ තැන අද හැඳින්වන්නේ කහටපිටිය යනුවෙනි. එහි හෙණ කද බිසෝබණ්ඩාර වෙනුවෙන් තැනූ කුඩා දේවාලයක් තිබේ.

         කොත්මලේ ඔය හරස් කර මහවැලි බැම්ම බැඳෙන්නේ 1979 වර්ෂයේ දීය. මෙගාවොට් 201 ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරමින්  කොත්මලේ සිටි පාරම්පරික ගොවී පවුල් 3000 ක් මහවැලි ගොවිබිම් කරා සංක්‍රමණය විය.ඒ ජනතාව ඒ කාලයේ ම කොටි ත්‍රස්තවාදයෙන් බැට කමින් ඇතැම් විට ජීවිතද හැර ගියහ. ජාතියට විදුලිය සැපයීම පිණිස තම පාරම්පරික දේපළ අහිමි කරගත්තා පමණක් නොව ජීවිතද අහිමි කරගත් ඒ උතුම් මිනිස් සමූහය පිළීබඳ අදටත් රටේ ගෞරවයක් නැත.දැන් නැවතත් අටබාගේ, උලපනේ, මාවතුර ආදී කොත්මලේ ගම්මාන පිටින් නාය යමින් මහා ව්‍යසනයකට මුහුණ පා සිටින්නේ ද ඔවුන්ගේම නෑසියන්ය.නිදහසේ ගලා ගිය කොත්මලේ ඔයත් මහවැලි ගඟත් හරස් කර බැමි බැඳීමෙන් මේ උඩ පළාත සහමුලින්ම දෙදරා ගොස් තිබේ. කොත්මලේ බැම්ම බඳින්නට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා මාහාචාර් විතානගේ මහතා මේ උඩ පළාතේ භූ පැලුම් ගැන පාලකයන්ට මතක් කර දුන්නේය. වරක් ගාමිණී දිසානායක මහතාගේ මුහුණටම එය ප්‍රකාශ කර තිබේ.1947 වර්ෂයේ ද මහවැලි ගග උතුරා ගියේය. ගම්පළ නගරයද යට විය. ගම්පළ යකඩ පාළම වතුරාවෙන් යට වුණු ඡායාරෘපය අදටත් හුවමාරු වෙයි.  අටබාගේ වැඩ සිටි පූජ්‍ය අටබාගේ ධම්මසිරි නායක ස්වාමීන් වහන්සේ ඒ ගං වතුරත් කඳු නායයාමත් ගැන ප්‍රකාශ කර තිබෙන්නේ මෙලෙසටයි.

'ශ්‍රී ලංකා ද්වීපයේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ  උඩපළාත කඳුකර ඉහළ කොරළයේ අටබාගෙනම් ප්‍රසිද්ධ ග්‍රාමවරය පිහිටා තිබේ.ගමට උතුරු දෙසින් පවුරක් වැනි සිත් කලු කඳු වැටියකි. මේ කඳු වැටිය මැදින් දිවෙන තාර පාර ඇල්පිටිය හන්දියේ සිට පුපුරැස්ස කඩ මන්ඩිය තෙක් වැටී තිබේ.අටබාගේ ඔය  අසබඩ අමුනේමුල්ල නම් රජයේ  මූකළාන ඇත.ගම්මුන්ට අයත් සරුසාර රමණීය වෙල් යායද පිහිටා ඇත්තේ මේ ඔය දෑලේය. ගමේ දකුණු පැත්තේ සීමාව ද කඳු වැටි යකි. මෙය ඉංග්‍රීසි කාරයන් විසින් වවා ඇති අක්කර දහසක පමණ විශාල තේ වත්තකි. සොගමා වත්ත නමින් හඳුන්වන මෙහි එදා ගම් ගම්වැසියෝ හේන් ගොවිතැන සහ හරකුන් එඩේරකම කර තිබේ. නැගෙනහිර පැත්ත පිහිටා ඇත්තේ දුනුකේ උල්ල නම් පිටිසර ගමය. මෙයද කඳු වැටියකින් වෙන්ව ඇත. නැගෙනහිර ගම් කෙළවර කඳු කඩා යාම නායයාම කලක පටන් පවතී. මෙසේ පොළව කැඩීයමින් තිබියදිම එහි ගම්මු ගොවිතැන් කරති.' ( 1972 සාහිත්‍ය කලාපය )

        ගම්පළ රාජධානියේ නශ්ඨාවශේෂ වලින් අද ඉතිරිව පවතින වැදගත් ම ස්ථානය නියම්ගම්පාය විහාරස්ථානයයි. ගඩලදෙණිය ලංකා තිලකය සහ ඇම්බැක්ක ගැන වෙනම කතා කළ හැකිය.ගොඩගම පිහිටි මාළිගයේ නටබුන් කලකට ඉහත තිබුණද දැන් ඒවා නැත. වර්තමාන සිංහපිටියේ මාළිගයේ ශිලාමය සිංහ රූපය තිබී ඇත. අම්බුළුවාව තනිකර නෙල්ලි කැළයකි.ජලධාරා නිරන්තරයෙන් කඳු වැටියෙන් ගලාවිත් තිබී ඇත.උලපතේ අවට ගමන් මාළිගාවක සළකුණුද තිබි ඇත.ඒ ජයමහා ලේනා මාළිගය ලෙසට ජන ප්‍රවාදයේ එයි.ගම්පළ වෙනස්වන්නට ආරම්භ වූයේ අසූව දශකයේ දීය. 83 ජූලි කලබල සමයෙන් පසු විශාල ජනකායක් ගම්පළ ව්‍යාපාරික ස්ථාන අත්පත් කරගෙන පැලපදියම් විය.අස්ගිරි විහාරයට  අයත් ගම්පළ වෙලට ජලය සැපයීමට උලපනේ  අසළ අමුණක් ද විය. එය රජ ඇළයි.ගම්පළ වෙල ගොඩ කර කරන ලද විනාශය නිමක් නැත.හිටපු අමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මේ විනාශයට සෘජුවම ආධාර උපකාර දුන් පුද්ගලයා වෙයි.චන්ද අපේක්ෂාවෙන් කළ චන්ඩාල වැඩ වල විපාකයන් ඒ විනාශයට සම්මාදම් වු පුද්ගලයන්ගේම කරපිටින් ගොස් ඇත.    සාලියාවෙල  විහාරස්ථාන ඉඩ කඩම් ද ගඟේ පිටාර තැන්නේ තිබෙන කුඹූරුද ගොඩ කරමින් නගරය පළල් වන්නට වූ තර කුඩා කඩමණ්ඩියක් ලෙසට පැවති ගෙලිඔය ද පුළුල් නගරයක් බවට පත් වූයේ එක්තරා මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගේ මැදිහත්වීමෙන්ය. නවසිය හතළස් හතේ ගංවතුර අවස්ථාවේ දී දෙගොඩ තලා ගිය වතුර මගින් ගම්පළ නාවලපිටිය පාරේ පාළම යටවුණු හැටි ඡායරූපයට නගා ඇත.එහෙත් මෙවර ගං වතුරට පාළම යට වූයේ නැත..කෙත්මලේ ජලාශය සෑදිමෙන් පසුව  ගංවතුරාව සීමා විය. එය අවසරයක් ලෙසට ගෙන අධි නගරයක් ලෙසට සංවර්ධනය වන කල්හි පැරණි ගඟ සිරි පුරය අභාවයට පත් විය



         දුටුගැමුණු කුමරු සැඟව සිටියේ කොත්මලයේය. කොත්මලයට යන්නට නම් දෙහුදු කඩුල්ලෙන් ඇතුල්වන්නට සිදු වෙයි.කඳු උඩ නිවාස තනාගෙන සිටි ගම්මුන් රජුගේ ගබඩාගම් සහ විහාරගම් වලට අයත් විය. පුසුල් පිටිය එවැනි ගමකි. එහි වි මිටි හත්සීයක් තැන්පත් කළ හැකි වි අටුවකි.ගම්පළ සමයේ සශ්‍රීකත්වය ඉන්ම මැන ගත හැකිය නියම්ගම් දර ද එවැනිම වී අටුවක් තිබුණි. කොත්මලේ ජලාශය වෙනුවෙන් මේ අටුව පිරවූ ජනතාව සිට ඉඩ කඩම් පරිත්‍යාග කර මහවැලි කලාප වලට ගොසින්ය. අද පුසුල් පිටියේ වී අටුව හිස්ය.මේ පැරණි බිම් කඩ යා කරමින් නව මාර්ග ඉඳි වූයේ මහවැලි සංවර්ධනයත් සමගිනි.මේ නිසා උඩ පළාත දෙදරා ගොස් ඇත. කොත්මලේ හදවතේ බැඳි බැම්ම නිසා දරාගත් ජල කඳ මහ පොලවට බර වැඩිය.බහිරවයාට බර වැඩිය.බර වැඩි වැස්සකදී කඳුකරයම හෙල්ලුම් කන්නේ ඒ නිසයි. මෙදා පාර වැටුණු ධාරානිපාත වැස්සෙන් ඉහළ කඳුකරයම තෙත බරියන් විය. උසුලා ගත නොහැකි ජලධාරාවන් නිසා හෙල්ලුම් කා තිබූ පස් තට්ටු මහ රෑම කඩා වැටුණේ ජලාශයේ දොරටු ඉබේ ඇරී ගිය පසුය. ජලයට ජලය ඇදෙන්නේය.අනතුරුව ඒ මහා ජලකඳ පැයක් ඇතුළත ගම්පළ වට කරමින් කඩ සාප්පු යටකරමින් නිවාස යට කරමින් මිනිස් ජීවිත විනාශ කරමින් දෙගොඩ තලා ගලා ගියේය.විපත් දෙගුණ තෙගුණ වූයේය. පේරාදෙණිය ද මහනුවරද සේරුවිල ද අනතුරුව කැලණි ගං මිටියාවතද දිය රකුසාට බිලි වුණු ආකාරය ඇස් පනා පිට දකින්නට සිදු විය.මේ විපතෙන් මිදෙන්නට යළි නොම එන්නට නම් බුද්ධිමතුන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වෙයි. ජනතාවට සහන දී යටිතල පහසුකම් යථාවත් කළ පමණින් රට ඉදිරියට නොයයි.ජලාශය කළමනාකරණය කළ පමණින් විපතට පාලනයක් නැත. එබැව් කියා දුන් පාඩම සිතට ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, December 10, 2025

දොස් දකින මහවැලිය සහ කුස් පිරවූ මහවැලිය

 

                              


           සුළි කුණාටුවත් සමග ඇතිවූ නාය යෑම් සහ ගං වතුරාව නිසා රට තුළ ඇති වූ ව්‍යසනය සුළු පටු නොවේ. 1947 වර්ෂය 1957 සහ 1969 මෙන්ම 1978 වර්ෂ වල ඇති වූ මහා ගං වතුර සහ සුළං තත්වයන්ට වඩා දිට්වා සුළි කුණාටුවෙන් සිදු කළ පීඩාව බිහිසුණුය.මෙම ව්‍යසනයේ පැති කීපයක් ඇත. ඉන් එකක් නම් සුළි කුණාටුව සහ කාල ගුණ වෙනස්කම් පිලීබඳ අනාවැකි කලින් දැනුම් දී තිබිය දී ව්‍යසනය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමයි . එම කාල ගුණ අනාවැකි අනුව අවධානයෙන් සිට ජලාශ වල දොරටු ක්‍රමානුකූලව විවෘත නොකිරීම සහ කල්වේලා ඇතිව දැනුම් නොදීම මේ ව්‍යසනයට හේතු වූ තවත් පැතිකඩකි.පසුගිය දශක පහක කාලයක් තුළ විවෘත ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසට මධ්‍ය කඳු කරයේ බරපතල සංවේදී පෙදෙස් වල ඇති වූ ඔරොත්තු නොදෙන නාගරීකරණය මෙම ව්‍යසනයට තවත් හේතුවක් ලෙසට  උළුප්පා දැක්විය යුතුමය.හැත්තෑව දශකයේ ඇති කළ කඩිනම් මහවැලියේ අනිසි බලපෑම් මේ ව්‍යසනයට හේතු වූ ආකාරය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනතාව දැනටමත් මත පළ කර තිබේ.මේවා සියල්ල මිනිසා ගේ අනිසි මැදිහත් වීම් සහ අනිසි කළමනාකරණය නිසා සිදූ වූවක් ලෙසට ගත හැකිය.එහෙත් මේ පිටුපස තිබෙන අදෘෂමාන යථාර්ථය නම් දිට්වා සුළිය කැරකි කැරකී මධ්‍යම කඳුකරය මත නැවතී නැගෙනහිර දිශාවට ගමන් ගත් ආකාරයයි.එය එක්තරා දේව කෝපයක් යැයි විග්‍රහ කිරීමට ද මේ අවස්ථාවේ උත්සාහ කිරීම දක්නට හැකිය.

        නුවර එළිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ වන ආරවල් කීපයක් එකතුවී කොත්මලයේ දී කොත්මලා ඔය බවට පත් වේ. අනතුරුව එයට පහළින් වූ මාවිල්ලුවේ දී මෙයට මාවිලි ගඟ යනුවෙන් ව්‍යවහාරයක් ලැබේ.එතැන් සිට ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක්ම මහවැලිය විසින් පෝෂණය කරන ගම්බිම් කෙත්වතු අති විශාලය.1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමළ මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය.පසුව 1965 -1968 වසර වල දී සකස් කරන ලද මහවැලි මහ සංවර්ධන සැලැස්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මැදිහත්වීමෙන් යෝජනා කරන ලද්දකි. වියළි කලාපය යයි සැළකෙන භූමි ප්‍රදේශයෙන් සියයට පණස් පහක් පමණ කලාපයක ජල සම්පාදනය කළ හැකි වන පරිදි යෝජනා කරන ලද ඉලක්කයන් අවස්ථා දහතුනකදී සම්පූර්ණ කළ යුතු යැයි එහි දක්වා තිබුණි. මහවැලිය මගින් ඉලක්ක කර ගන්නා ලද්දේ වී ගොවිතැන සඳහා වාර්මාර්ග පහසුකම් සැලසීම පමණක් නොවේ.ඉහළ කඳුකරයේ තනන ලද ජලාශ මගින් ටර්බයින් කරකවා විදුලි උත්පාදනය ද එහි මූලික් අරමුණු අතර තිබුණි.ඒ අනුව උකුවෙල  මෙගවොට් 20 ක් ද බෝවතැන්න මෙ.වො. 40 ක් ද වික්ටෝරියා මෙගා වො.210 ක් ද රන්දෙණිගල මො.වො.121.60 ක්  ද රන්ටැඹේ මො.වො. 50 ක් ද කොත්මලේ මො.වො.201 ක් ද ඉහළ කොත්මලේ මෙ.වොට් 150 ද මෙරගහකන්ද මො.වො. 50 ක් ද වශයෙන් රටේ සමස්ත විදුල් බල පද්ධතියට ජල විදුලි ශක්තිය සියයට විස්සක් පමණ එක් කර තිබේ. එසේම මහවැලි එච් කලාපය තුළ හෙක්ටයාර් 24 700 ක් ද ජී කලාපය තුළ හෙක්ටයාර් 3900 ක් ද සී කලාපය තුළ හෙක්ටයාර් 23700 ද් ද බී කලාපය තුළ හෙක්ටයාර් 25 340 ක ද   උඩවලව වම් ඉවුර හෙක්ටයාර් 13000 ක් ද  උඩවලව දකුණූ ඉවුර 11900 ක් ද එල් කලපය තුළ හෙක්ටයාර් 2500 ක් ද  කෘෂීකාර්මික වගාබිම් අස්වද්දා ඇත. රජරට බිඳ වැටීමෙන් පසු පස් අවුරුද්දක් වැනි කොටි කාලයකින් මේ සා මහා විශාල ඉඩම් ප්‍රමාණයක් අස්වැද්දීමට හැකි වීමද ගොවි පවුල් 80000 ක් පමණ පදිංචි කරවීමට ලැබීම ද සැබවින්ම විශ්ම ජනක ක්‍රියාවලියිකි. ඒ සමගම එම මහවැලි කලාප ආශ්‍රිතව දියණු වු ග්‍රාමීය ප්‍රදේශ සහ නව නගර විශාල ප්‍රමාණයකි. මහා මාවත් මෙන්ම ග්‍රාමීය පාරවල් රැසක්ම දියුණු තාක්ෂණය යටතේ සංවර්ධනය වී තිබේ. මොරගහකන්ද සංවර්ධනය අවසන් කර වැඩි කලක් නැත. මහවැලි බී කලාපයේ මාදුරු ඔය දකුණු ඉවුර පෙදෙස තුළ ඇළමාර්ග තනා මඩකලපුව වාලච්චේන ආදී කලාපයන් සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. මෙම සංවර්ධනය නිසා වී වගාවේ අස්වනු ඉලක්කයන් ඉක්මවා ගියේය. මිරිස් බඩ ඉරිඟු කෙසෙල් ලොකු ලූණු ආදී අතිරේක භෝග සහ එළවළු විහාල ප්‍රමාණයක් වෙළෙඳ පළට පැමිණියහ.ඒ වෙළෙඳ පළ ජය ගැනීම පිණිස ආර්ථික මධ්‍යස්ථාන ගොඩනැගූ අතර ඒ නිසා මහවැලිය පදනම්ව විශේෂ වෙළෙඳ ප්‍රජාවක් මෙන්ම මහා පරිමාණ මොල් හිමියන් රැසක් සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත් විය.මෙම තත්වය රටේ ආර්ථිකයේ ඉදිරිගමනක් ලෙසට දක්වා ලිය හැකිය. වෙළෙඳ පළ ආර්ථික සංකල්ප වල ව්‍යාප්තියත් සමග ඉහළට ඔසවා පෙන්නූ එක පැතිකඩක් ලෙසට ගත් හැකි වුවද එහි අඳුරු පැතිකඩක් ද තිබේ.

     විදේශ ආධාර නිසා නව තාක්ෂණය නව යන්ත්‍ර උපකරණ මහවැලියට ලැබුණි.අධිකාරිමය බලතල ලැබුණි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලද දරුවන් ඉංජිනේරුවන් බවට පත් වී මහවැලි උසස් නිලතල වලට පත්වූහ.කඩිනම් මහවැලිය යටතේ වසර පහකින් එය නිම කිරීමට සැලසුම් කෙරිණ. අනතුරුව සිදු වූයේ කුමක්ද එලිච්චියකගේ ගමන අනුව සමෝච්ච වැටි දිගේ ගලා ගිය කලාවැව යෝධ ඇළ කෙළින් කර ගැඹුරු කළහ.පැරැන්නන්ගේ තාක්ෂණය නොදත් මහවැලි දරුවන් කුඩා වැව් එකින් එක කපා දැමූහ. විදේශිකයයන් කියාදෙන අයුරින් සිය ඉංජිනේරු ශිල්පය මෙහයවූ එක් මහවැලි ඉංජිනේරුවරයෙකු වන මහින්ද පනාපිටිය මහතා මේ කළ විනාශය පිළිබඳ වසර ගණනාවකට පසු සිය පාපෝච්චාරණය ඉදිරිපත් කළේ මෙසේය.

     'හැත්තෑ ගණන් වලදී පැරණි යෝධ ඇළ යටතේ තිබූ ඉඩම් සංවර්ධනය කිරීමේ අප නියැලී සිටි අතර ප්‍රදේශයේ තිබුණු වැව් බොහොමයක් නවීන සැලසුමට අනුව අවශ්‍ය වූ පරිදි විනාශ කිරීමට අපට සිදු විය. ප්‍රදේශයේ සාම්ප්‍රදායික ගම්වල මුල් පදිංචිකරුවන්ගෙන් එල්ල වූ බලපෑම් හේතු කොට ගෙන වඩා විශාල වැව් කීපයක් එසේ විනාශ නොකොට ඉතිරි කිරීමට ද සිදු විය මහවැලි අධිකාරිය විසින් වැව් කඩා බිඳ දැමීම වැළැක්වීමට මහජනතාව විසින් එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාද කැඳවන ලදී. අප තවදුරටත් නිරීක්ෂණය කලේ කපා එළි කොට ගොවි බිම් බවට පත් කිරීමට නියමිතව තිබූ කැලෑ ප්‍රදේශ වල නිම්න හරහා කුඩා වේලි රාශියක් තනා තිබූ බවය. අපේ සැලසුම් නිර්ණායක අනුව එම වේලි අපට පෙනුණේ කිසිසේතම් නොවටිනා දේවල් හැටියටය.ඉඩම් සංවර්ධන මුල් අවදියේ ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු  ලෙස මා කටයුතු කළ ප්‍රදේශයේ ම පුනරුත්ථාපන වැඩ සටහනකට සාභාගි වීමට වසර 30 කට පසු 2003 දී මට අවස්ථාව සැලසුණි. පෙරදින වල සිට මේ ප්‍රදේශයේ සිට ගෙදර යන විට මී පැණි මී කිරි සහ කුරක්කන් මුං ඇට වැනි ධාන්‍ය වර්ග බොහොමයක් මිලදී ගෙන රැගෙන යෑමට පුරුදු වී සිටියෙමි. වර්තමානයේ මේ ප්‍රදේශ වල මී පැණි නැත.මක් නිසාද යත් රසායනික වස විස  යෙදූ ඉඩම් ආශ්‍රිතව  මී මැස්සන් වද නොබදින බැවිනි.  දේශීයව පහසුවෙන් වගා කළ හැකි ධාන්‍ය වෙනුවට ඔවුන් ආනයනය කළ පරිප්පු සහ පාන් පිටි මත යැපෙති. මෙහි මුල් පදිංචි කරුවන් හැම කෙනෙකුම පාහේ ගෙවත්තේ ගවයන් සිටි අතර මේ ගවපට්ටි වලට සිදු වූයේ කුමක්ද ජනතාව තමන්ගේ උදෑසන තේ පානය සඳහා  ආනයනය කළ කිරිපිටි මත යැපෙති.'

     මහවැලි මහ සංවර්ධන සැලැස්මේ සඳහන්ව තිබෙන පරිදි ප්‍රධාන ඇළ මාර්ග වලින් පමණක් සමස්ත ප්‍රදේශ වලට ජලය සැපයිය යුතුව තිබුණි. ඇතැම් ගම් බිම් මෙම ඇළ මාර්ගයන්හි ජල පිරවුම් ස්ථාන ලෙසට භාවිතා කළ යුතුව තිබුණි.එසේම අනෙකුත් සියළුම ගම්වැව් කපාදැමීම කළ යුතුව තිබුණි. ජනපදිකයන්ට ඉඩම් භාරදීමට පළමු සියලුම් වගා බිම් සුද්ද කළ යුතු අතර සමතලා කොට මට්ටම් කළ යුතුය.(all crop land will be cleared and leveled prior to hand over to the settlers ) මෙහි යෝජනා කරන ලදහ.

       මේ ආකාරයට යෝජනා කරන ලද මහවැලි සැලැස්ම කිසිසේතම අතීතයෙන් ආදර්ශය ගෙන සකස් කරන ලද්දක් නොවීය. දේශීය අත්දැකීම් අතර යහපත් විද්‍යාත්මක පසුබිමක සංවර්ධනය වූ වැව් ඉදි කිරීම තුට්ටුවකට මායිම් නොකොට බොහෝ ගම් වැව් උළුප්පා දමන ලදී.වැව් සහ කුඹුර එක මට්ටමකට සමතලා කරමින් භූවිෂමතා සම කරමින් එහි අඩංගුව තිබූ කැලෑ මූකලාන්ද විනාශ කර දමන ලදී. ඒ ව්‍යාපෘතිය පිටිපස සිටි දැව හොරුන් සහ  කොන්ත්‍රාත්කරුවන්ට මහවැලිය අගනා ඉල්ලමක් විය. 1995 දී පමණ මා විසින් විමසුමට ලක් කරන ලද මහවැලි ප්‍රදේශ වලට අතරින් කණ්ඩලම ව්‍යාපාරය සඳහන් කළ යුතුය. උතුරු මැද පළාතේ කිරලව කෝරළයට අයත් දුනු මදලාඔය තුලානට අයත් මේ පුරාණ ප්‍රදේශයේ කුඹුරු අක්කර 7280 ක් පිහිටා තිබුණි. මහවැලි සංවර්ධන  ව්‍යාපාරය අනුව දකුණු ඉවුර  වශයෙන් බෙදා වෙන් කරන ලද කණ්ඩලම කලාපයේ අලුතින් ඉඩම් අක්කර 17000 ක් වෙන්වී තිබූ අතර ඉන් සියයට 15% ක් ගෙවතු වලටද 22% පළතුරු සහ පොල් වැවිල්ලටද 63% ක් හේන්වලටද වෙන්ව තිබුණි. ඒ ඉඩ කඩම් සියල්ල සමතලා කොට නව සංවර්ධන ව්‍යාපාරයට ඇතුලත් කරගන්නා ලද්දේ 1969 1981 ආදී වර්ෂවල ඉදිරිපත් කරන ලද ඉඩම් සංවර්ධන අණ පණත්වලට අනුවයි. සැබවින්ම මේ ප්‍රදේශය පුරා ගම් වැව් 70 කට වැඩියෙන් පිහිටා තිබූ බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. බතලවත්ත බක්මීගහ උල්පත මඩාටුගම හැවැන්තැන්නේගම මුරුංගහිටි කන්ද උඩහිඟුර උඩකොරසගල්ල මහ ඇළ ගමුව ආදී සුන්දර ගම්මාන වලින් යුතු මේ පරිසරයේ ජීවත් වූ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන උරුමක්කාරයන් නිම්නයේ නිජභූමි අයිතිය පමණක් නොව සොබාදහම පිළිබඳ උරුමයද කියාපෑවේ පුරාණ සිරිතට අනුව ජීවත් වීමෙනි. කණ්ඩලම කොටසේ තිබූ වැව් හැත්තෑවෙන් මඩාටුගම සහ මහ ඇළගමුවට වැව්ඉතිරි කර ගත් අතර අනෙකුත් සියළුම වැව් උළුප්පා දමන ලද්දේ නව යටත් විජිත වාදී ව්‍යුහය අනුව ජනපද බිහිකරන්නට බව දැන් වටහා ගත හැකිය.

     අද මහ වැලි ගොවීහු සිය නව නිෂ්පාදන විකුණා ගත නොහැකිව උපවාස කරති. ඇතැම්හු වස පානය කරති.ඒ සිය කාසි වැවිලි වලට සරිලන මිලක් නොලබීමේ හේතුවෙනි. රජරට පුරා පැතිර පවතින් වකුගඩු රෝගය මහවැලි සංවර්ධනයේ අතුරු ප්‍රතිඵලයකි.ලොකු ලූනූ මිරිස් එළවුලූ ආදී ආර්ථික බෝග මගින් ගොවි ජනතාවගේ අතමිට සරු වූ බව ඇත්තකි. එහෙත් මේ ආර්ථික ඉදිරිගමනට දේශීය ජනතාව තල්ලු කරන ලද්දේ සිය නිජ භූමියේ අයිතිය විදේශිකයන්ට උගස් කරලීමෙනි. තම නිජ භූමියෙන් ඉවත් වීමෙනි.ගම් වැව් නිවුන් වැව් ආදී වැව් පද්ධති ක්‍රමය තුළ පැවති වරිග සම්මුතිය ආදී ජනතා බැදීම් ඉවත් කරලීමට සැලසුම් කිරීම මහවැලි සැලැස්මේ එක අරමුණක් විය. කෙත් ඇළ මගින් බෙදා හැරෙන ජලයෙන් තෙත් වන ඒකක බිමක් යුනිට් එකක් ලෙසට සැලකීම නවයටත් විජිතකරණ මූළධර්මයකි. පැරණි සමාජ සංවිධාන ක්‍රම සමතලා කොට ඒ මත්තෙහි නව ගොවි සමාගම් බිහිකිරීම මගින් විදේශ ආයෝජන වලට මහවැලියේ දොරටු විවර කරලීම දැන් සිදු වෙයි. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බිත්තර වී ගොවිපළවල් බොහොමයක් බහුජාතික සමාගමකට විකුණා දමා අවසන්ය. මහවැලි කලාප තුළ සහ ඉන් පිටත ඇවිළෙන සමස්ත ගොවි අර්බුදය පුපුරා යමින් පවතී.

   වර්තමාන ව්‍යසනය තුළින් දකින කොත්මලේ සහ ඉහළ කොත්මලේ ජලාශ විසින් ගම්පොලට සහ  හාත්පස ගම්මාන වලට කරන ලද ව්‍යවසනය පිළිබඳ පූර්ව කථනයක් මහාචාර්ය විතානගේ මහතා විසින් අසූව දශකයේ දී කර තිබුණි. මහනුවර උඩ පළාත සම්පූර්ණ වශයෙන් පිපිරීමකට ලක් වන බව එදා ඔහු පවසා තිබුණි. එය සත්‍යය වී ඇත.  මහවැලි ගඟ වක් වී ගමන් කරන ගම්පොල නගරය කාලයක් තිස්සේ අවිධිමත් නාගරික සංවර්ධනයට බඳුන් වීම තුළින් ද මෙම ව්‍යසනය දෙගුණ තෙගුණ වී ඇත.. තෙවැන්න නම් ගම්පොල අවට කොත්මලේ දක්වා තිබෙන පාරම්පරික ගම්මාන ඉහළ කඳු මුදුන් වල හෝටල් රෙස්ටුරන්ට් සහ නිවාඩු නිකේතන වලට  සහ අවිධිමත් වගාවන්ට පස නිරාවරණය වීමයි. කොත්මලෙන් ක්ෂණිකව පිට කල ජලයට වර්ෂාවෙන් තෙත බරිත වූ මහා උල්පත් සක්‍රීය වී ගඟ කරා ඇදී යෑම සිදුව තිබේ.ජලය විදුලි ශක්තිය උත්පාදනය කරන්නේ නම් එහි චාලක ශක්තිය කෙතරම් බලවත්ද යන්න සිතා ගත හැකිය. ගම් ගලවා ගෙන ඉවුරු කඩාගෙන ආවතුර හා සමානව ඉහල පස් ස්ථරයක් කඩාගෙන ගොස් තිබේ.

    දැන් මහවැලිය වියපත් සංවර්ධන ව්‍යාපාරයකි. එහි බොහෝ දේවල් නැවත හරවා ගත නොහැකිය. එහෙත් ඉදිරියට කළ යුතු මහවැලි කලාප වල දී අපගේ රටේ තිබූ පැරණි තාක්ෂණයත් තිරසර පරිසර හිතකාමී සංවර්ධන ක්‍රියාදාමයත් උපයෝගී කර ගනීමට උත්සාහ කළ යුතුය.විශේෂයෙන් මාදුරු ඔය දකුණු ඉවුර තුළ එය කළ හැකිය.එහෙත් ඒ සැලසුම් වල ඇත්තේ ද එදා යෝජනා කළ විනාශ කාරී ක්‍රියාමාර්ගයන්ය.ජනයා පදිචි කරවීමේ දී නූතන ජනාවාස කරණයේ බටහිර සංකල්ප ඉවත්කර දේශයට උචිත ජනාවාස සංකල්ලප අනුගමනය කළ යුතුය.එසේ නොවුණහොත් අපට සිදු වන්නේ මහවැලියට දොස් කියමින් සිටින්නටවත් ජනතාවක් රටේ ඉතිරි නොවීමයි. එක්කෝ ඔවුන් මිය යනු ඇත. නැතිනම් විදෙස් ගත වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, December 2, 2025

රට උඩු යටි කුරු කළ දිට්වා -සැමට හොඳ පාඩමක් වෙත්වා

                           


         සුනාමි ව්‍යසනය සිදුව වසර විස්සක් ගෙවී ගොස් ඇත.දිට්වා නමින් සුළි සුළඟක් කඩා වැදී තවත් ව්‍යසනයකට රටම ඇද දමා තිබේ.මියගිය ගණන තවමත් නොදනී. හානි වූ ජීවිත, දේපළ, නිවාස පිළීබඳ අසන්නට දකින්නට ලැබෙන කල්හි හද කම්පා වේ.ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක අවට තිබෙන සියලුම සුළං ධාරා එක් කොට ලංකාව මුදුන් කොට මෙලෙස කරකවන ලද්දේ කුමන සුළියක් ද.මේ කාලයට හමන ඊසාන දිග මෝසම් සුළඟක් ලෙසට ගණන් ගත නොහැකිය.එසේ නම් මෙය කුමක්ද සුනාමි ඛෙදවාචකයෙන් පසු නැවතත් රටක් වශයෙන්  මහත් ආගාධයකට වැටී ඇත.මෙකී සමාජ ආර්ථික භූගෝලීය කඩා වැටීම් හමු වේ රටත් වශයෙන් උගත යුතු පාඩම් කුමක්ද යන්න සිහිපත් කළ යුතුව තිබෙන බව මෙහිදී පෙන්නුම් කර ඇත.

          එක්දහස් අටසිය විසිඅටේ දළදා වතුර යයි නම් කළ ව්‍යසනය සහ 1957 මහා ගං වතුර සහ ඉන් පසුව නැගෙනහිර පළාතේ සිදු වූ සුළි සුළං තත්වය සමග සංසන්දනය කර බලන කල්හි ඒවායින් ලද පාඩම් අනුව රට ඉදිරියට ගොස් තිබෙන්නේ ද යන්න පිළිබඳ මේ අවස්ථාවේ දී සළකා බැලිය යුතුය.ලොවම දේශ ගුණික විපර්යාසයන්ට ගොදුරු වී තිබිය දී ලංකාව වැනි කුඩා රටකට ඉන් ගැලවීමක් නැත. පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රය යම් පමණකින් වෙනස් වෙමින් පවතින අතර ඉන්දියන් සාගරයේ භූතැටි කම්පනය වීමෙන් මේ සියල්ලටම බලපෑම් එල්ල කරයි.

         ලංකා භූමියෙන් සියයට පණහකට වඩා ජල තලයෙන් පිරී පවතී. ඒ ස්වභාවික තත්වයක් නොවේ. මිනිසා විසින් සාදන ලද වැව් සහ ජලාශ නිසා ඇති වූ වෙනස් කමකි.මේ ලොකු කුඩා වැව් නිසා රටේ භූගත ජලය ඉහළ මට්ටමක පවතින අතර ඒවා වාෂ්පීකරණය වෙමින් වළාකුළු ගැබ් බර කරමින් කලට වැසි ලබා දේ.මෙවැනි භූගෝලීය තත්වයකට රට ඔරොත්තු දීමට නම් භෞතික ක්‍රියාකාරකම් සහ ගුප්ත ක්‍රියාකාරකම් වල සහාය ලබා ගත යුතුය.කුඩා කුඩා වැව් සාදමින් රටේ ගොවිතැන සශ්‍රීක කළ අතීත මුතුන් මිත්තන් සොබාදහමේ හැසිරීම නිරීක්ෂණය කරමින් එයට අවශ්‍ය දිශානතිය තෝරා ගත්හ. ඔවුන් ගේ විශ්වාසය අනුව ලංකාවේ ජීවත් වූ පරම්පරා වල භූතාත්මයන්ගේ බැල්ම බලය මේවා රැක ගැනීමට උපකාරී වේ.වැව් ආශ්‍රිතව අදටත් මුට්ටි මංගල්ලය, කිරි ඉතුරුම් මංගල්ලය, පනම් බැඳීම වැනි චාරිත්‍ර සිදු වන්නේ වැවේ ආරක්ෂාවට සහ සශ්‍රීකත්වය උදෙසාය. බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසු දළදා වහන්සේට, ශ්‍රී මහා බෝධියට, කතරගම කිරිවෙහෙරට කිරි පිඬු පූජාව ගෙන යන්නට සැදැහැතියන් පෙළ ගැසී සිටිති.ගම්මඩු දෙවොල් මඩු නටා අලුත් බතින් පුද දී කෙත්වතු ආරක්ෂාව සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරති.අතීත රජ දරුවන් මේ චාරිත්‍රයන්ට මුල් තැනක් දුන්හ.රටේ පාලකයා ධාර්මිකව මේ කටයුතු වලට සහාය පළ කරත් නම් දුර්භික්ෂ නැතිව සුභික්ෂ රටක් පවතින බව වැසියන්ගේ විශ්වාසය විය.ශිලා ලේඛනයන්හි 'පෙරසිරිත් ප්‍රකුර් වඩා' යනුවෙන් දක්වා තිබෙන අතර රාජාවලියේ සඳහන් සෑම රජ දරුවෙකුම ඒ නීති රීති අනුගමනය කළහ.

         රට සතුරු ආක්‍රමණ වලින් බැට කන හැම අවස්තාවකදීම මේ පෙර සිරිත කඩ විය. චෝල ,පාණ්ඩ්‍ය, කේරළ ආක්‍රමණ වලදී මෙන්ම කාලිංග මාඝ ආක්‍රමණයේ දී දළදා වහන්සේ සඟවා තබන්නට සිදු විය. දන්ත ධාතුන් වහන්සේට කරන නිසි පුද පිළීවෙත් මග හැරුණි.වලගම්බා සමයේ දී සිදු වූ බැමිණිතියා සාය පීලිබඳ සිහිපත් කළහොත් අපට දැක ගත හැතිවන්නේ රටේ අධර්මය නිසා දෙවියන් කෝප වූ බවයි. ඒ බැව් එම කතාවේ දක්වා තිබෙන්නේ මෙලෙසය. 'අහස උඩ උන් වලාහක දෙව් පුතුගේ ආනුභාවයෙන් තේජස උත්සන්න වූ කල්හි මහා මේඝ නගා ආ කල්හි අන්තරා වෙයි.එසේම අහස උඩ වැස්ස වලාහක දේවත‌ාවගේ අනුහසින් ධාතු  උත්සන්න වූ කල්හි මහා මේඝ හා වැසි ගප් සුළගේ පතිතව එම මුහුදෙහි අන්තැනෙකට දුවන්නේය.එසේම අහස උඩ වැසි මේඝ නගා ආ කල්හි  රාහු අසුරෙන්ද්‍ර තමාගේ  දෙසීයක් යොදුන් පළල අත්ලෙන් ගෙන මුහුදට වන්නේය. එසේම යම් කලෙක වැස්ස වලාහක  දේවතාවෝ  ප්‍රමාදව සඳු ගම් නොවී නම් පස් වනුව යම් කාලෙක... අධර්මිෂ්ටව පැවතීම ලෝකචාර නොකෙරෙන්ට වී නම් මනුෂ්‍යයා අධර්මිෂ්ට වූ කල්හි වැසි නෙවසිනා පරිදි කෙසේද යත්  යම් කලෙක කලියුගයේ හි රජහු අධර්මිෂ්ටව වේ .රජු බලා රාජ පුරුෂයෝ අධර්මිෂ්ට වේ.රාජ පුරුෂයෝ බලා බ්‍රාහ්මණ ගෘහපති අධර්මිෂට වෙති.ඔවුන් බලා ජනපද නියන්ගම වැසි අධර්මිෂ්ට වෙති. ඔවුහු අධර්මිෂ්ට වූ කල් හිරු සඳු දෙදෙනාද විෂම ගමන් ගිය කල්හි නක්ෂත්‍ර තාරකාවෝ විෂම ගමන් යෙයි.ඔවුන් විෂම පවතින කල්හි රෑ දවල් දෙක විෂම වෙයි. රෑ දවල් දෙක විෂම වූ කල්හි මස අමාවක විෂම වෙයි. මාසයන් විෂම වූ කල්හි ඉර්තු විෂම වෙති.ඉර්තු විෂම පෙරලූ කල්හි විෂම වාත හමා යයි. විෂම වාත හැමූ කල්හි දේවතාවෝ බොහෝ සේ කුපිත වෙත්. දේවතාවෝ කුපිත වූ කල්හි කලට වැසි නොවස්නේය.අකලට වැසි ඇති වන්නේය.වාසුළි ඇති වන්නේය. කලට වැසි නොවට කල්හි ගොවිතැන් සෂ්‍ය පලා සමව වැසී ඵල නොදෙයි.විෂම පැසුණු පලයන් අනුභව කරන මනුස්සයෝ අල්ප ආයුෂ වෙති. කය දුබල වෙයි. බොහෝ ආබාධ වෙයි. ලෙඩ හට ගනියි. නුවණ මද වෙයි. සිත්මුලා වෙයි.'

        වර්ෂ 1828 දී සෙංගකගල මහනුවර ජලයෙන් යට කරමින් දළදා වතුර යයි නම් කළ මහා ධාරානිපාතය ඇති වූයේ කාලයක් නොපැවත්වූ දළදා පෙරහැර පැවැත්වීමත් සමගය. ඒ ප්‍රාතිහාර්යක් නොවේ. බ්‍රිතාන්‍ය පාලකයන් අධර්මිෂ්ඨව පෙර සිරිත කඩ කරමින් ගත් තීන්දු තීරණ සහ රදළ වරුන්ගේ වැරදි ක්‍රියාකලාපය නිසාවෙනි.1957 මහා ගංවතුර ආසන්න කාලයේ දීද බුද්ධ ශාසනයට නිග්‍රහ කරමින් තාපස නිකායන් එළි බසිමින් එකල සිටි දේශපාලන ව්‍යාපාරයක් වන සමසමාජ ව්‍යාපාරයන් විසින් එල්ල කළ අභූත චෝදනා නිසාවෙන් විපරීතව ගිය කාලවකවානුවකි.එසේම 1957 වසරේ දී බණ්ඩාරනායක සහ චෙල්වනායගම් අතර ඇති වූ ජාතිවාදී ගිවිසුම නිසා   භික්ෂූන් වහන්සේලා රොස්මීඩි නිවස වට කළ අතර ඒ ගිවිසුම නිසා අගමැති වරයා අප්‍රසාදයට ද පත් විය. සිංහල රාජ්‍ය භාෂෘව කිරීම, බස් ජනසතු කිරීම වැනි ප්‍රගතිශීලි පියවරයන් සමග අගමැතිවරයා සිටියද මෙරට පෙර සිරිත එහිදී අනුගමනය නොවීය. 1957 ව්‍යසනය එහි ප්‍රතිඵලයක් වන්නට ඇත. අවසානයේ පෙඩරල් පක්ෂයේ ජාතිවාදී ක්‍රියා උත්සන්න වී 1959 දී අගමැතිවරයා ඝාතනයට ලක් විය.

         ගෝඨාභය ජනාධිපතිවරයා බලයෙන් පන්නා දමමින් බලයට පත් වූ අරගලයෙන් ආරෝපිත මාලිමා ආණ්ඩුව වර්තමානයේ පාලන බලය උසුලයි.අපේ රටේ පෙර සිරිත කඩ කරමින් ඔවුහු ජය මංගල ගාථා ගායනය ප්‍රතික්ෂේප කළහ.ආණ්ඩු පක්ෂයේ මඩ බලකායන් විසින් ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේලාට නිග්‍රහ කරන අතර ජාතිවාදී අන්තවාදී බෙදුම්වාදීන්ට සහාය පළ කරමින් සිටී.දළදා දැක්ම අව භාවිතයට ගනිමින් සෙංකඩගල අපවිත්‍ර කළහ.දළදා වීදියේ රති කෙළි කරවන සැණකෙළියක් සංවිධානය කළහ. බුදු පිළිම වහන්සේ නමක් පැහැර ගැනීමට ද නොබියවම රාජ්‍ය බලය යොදා ගැනීම නිසා ජනතා අප්‍රසාදයට පත් වී වැඩි දවසක් ගත නොවීය.දිට්වා සුළි කුණාටුව බෙංගාල බොක්ක දෙසට ඇදී නොගොස් ලංකාවේ හරි මැද කැරකී මහා ව්‍යසනයක් සිදු කරන ලද්දේය.පෙර සිරිත විශ්වාස නොකිරීම පිදිය යුත්තන් පිදීම නොසලක හැරීම සොබා දහමේ විපරීතයන්ට හේතුය.

වැව් කරේ ගංකරේ සිරිත දුරුවන් කරේ - කිරිකලේ කිරිබතේ පුදට            අවමන් කරේ

බුදුබණේ සඟ ගනේ හඬට කෙනෙහිලි කරේ - රජකුලේ දම්බලේ කිමද නොතකා කරේ

        මෑත කාලීන ලක් ජනතාව හොඳටත් නරකටත් රැළි වලටම ඇදෙති. රට පුරා සිදු කරන සංවර්ධන ක්‍රියාකාරකම් වලදී තැන නොතැන නොබලා ඉඳි කිරීම් කරනුයේ ඒ නිසාය. අනුරාධපුර නගරය ජලයෙන් යටවන්නේ  ඉංග්‍රීසින් ආරම්භ කරනලද  වැරදි සංවර්ධන ක්‍රියාකාරකම් වත්මන්හි කලු සුද්දන් ද දිගින් දිගටම අනුගමනය කළ හේතුවෙනි. ජල විදිලිය වෙනුවෙන් හෝ කෘෂිකර්මය වෙනුවෙන් මධ්‍යම කඳුකරයේ එදා මහා ජලධාරා සම්පූර්ණයෙන් හරස් කර ජලාශ තැනූයේ නැත.ඒ වෙනුවට ජලය රොද බන්දා( රිදී බැඳි තාක්ෂණය ) අන්තැනකට ගෙන ගොස් කෙත්වතු කුඩා වැව් පෝෂණය කළහ. මිනිපේ ඇළ උදාහරණ වේ. ජලයේ බරට ,ජල ශක්තියේ විපරීත ක්‍රියාකාරිතවයට පොළෝ බහිරවයන් ගේ විරෝධයක් ඇත. කඳු නාය යන්නේ ද ජල රකුසෙක් විලසින් ගම්බිම් ගිල ගන්නේ ද මහ පොළව සුරකින අදෘෂ්‍යමාන බූමාටු  කොට්ඨාශයන් ද කෝප වීමෙනි.සිතුදේ නොමවෙයි නොසිතුදේම වෙයි යන බුදු වදන අනුව තිරසර පැවැත්ම ප්‍රඥාවෙන් යුතුව ඇති කර ගැනීම ට වඩවා ගෙන තිබූ පෙර සිරිත අභාවයට ගොස් ඇත්තේ බටහිර අධ්‍යාපනය කර පින්නා ගැනීමෙනි. දිට්වා සුළි කුණාටුව මගින් ඇස් පනා පිට අපට පෙන්වා දුන් මේ සත්‍යය දේශපාලඥයන්ට පමණක් නොව සමස්ත මහජනතාවටද බරපතල පාඩම් කියා දෙන්නේය.

මතුගම සෙනෙවිරුවන්