වැටුප් පත ලැබුනහොත් එහි
අඩංගු මුදල වියදම් කර ගැනීමට සැලසුමක් රාජ්‍ය සේවකයාට හෝ පෞද්ගලික අංශයේ සේවකයාට
ඇත. මන්ද නිශ්චිත මුදලක් ඔහු හෝ ඇය අතට ලැබෙන බව දන්නා බැවිනි. නමුත් රටේ ඉන්නා
සියල්ලෝම රාජ්‍ය සේවකයන් නොවෙති. කුලී වැඩ කරන්නන්ට කාර්මිකයන්ට සහ පෙදරේරුවන් වැනි වෘතිකයන්ට ත්
තමන්ගේ මහන්සිය මත වැටුපේ නිශ්චිත බවක් ඇත. එහෙත් මේ තත්වයෙන් බැහැර සාමන්‍ය
ජනතාවට මුදලක් අතට එන්නේ ගොවිතැනෙන් හෝ සේවා ආර්ථිකයකට සම්බන්ධ වීමෙනි.නුමුත් මේ
සියල්ලෝම ආණ්ඩුවට අය බදු ගෙවති.ඒ අයබදු එකතු කර ඒ ලැබෙන මුදල් සංචිතය අනුව ආණ්ඩුව
අය වැයක් හදන්නේ රටේ සංවර්ධනය සඳහා වර්ෂයක් තුළ කළ යුතු වියදම් සැලසුමක් අනුවයි.නමුත්
බදු අදායමෙන් බැහරව ද රජයේ බැංකු විසින් ණය ලබා දීමෙන් උපයන මුදලක් ද ඇත. ප්‍රාදේශීය
සභාවල වරිපනම් වලින් ලැබෙන මුදලක් ද ඇත. පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතු මගින්
එකතු වන බදු ආදායමට අමතරව ඒවුහු ද සංවර්ධනය සාජුව දායක වෙති.සංවර්ධනය සඳහා වන රජයේ
යුතුකම සහ මහජන යුතුකම යනුවෙන් කොටස් දෙකක් පවතී. නමුත් මහජනතාව බලාපොරොත්තු වනුයේ
රජයේ යුතුකම පමණකි.මහජනයා සම්බන්ධ කර නොගන්නා සංවර්ධන ක්‍රියාකාරකම් මගින් මුදල්
නාස්තියක් මිස ඵලදායීතාවයක් ඇති වන්නේ නැත.
( බජට් ස්පීච්) යනු සුද්දන් ගේ ක්‍රමයට හැඩ
ගැසුණු මුදල් ඇමතිවරු මහත් උජාරුවෙන් කරන පාර්ලිමේන්තු කාතාවකි.විශේෂ පෙට්ටියක
හංගා ගෙන එන මේ කතා ප්‍රකාශනය එළියට දැමීම එකල කාගෙත් උනන්දුවක් ඇති කරන සිදු
වීමක් විය. මන්ද බදු අඩු කරලීමහෝ වැඩි කිරීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ අඩු
කිරීම හෝ වැඩි කිරීම නිසා ජනතාවගේ ජීවන වියදම් දර්ශකය වෙනස් වන බැවිනි.පාන් පිටි,
සීනි, පරිප්පු, කඩල ,ලුණු, කරවල, අල සහ මස් මාලු යනු එදිනෙදා අවශ්‍ය වන දේය.ඒවායේ
මිළ වැඩි කිරීමට අත තැබීම ආණ්ඩුවක පැවැත්මට යහපත් නොවේ. ඒ නිසා දේශපාලනයේ දි මේ ක්‍රියාකාරකම්
වලට අත දා අත පුච්චා ගන්නට පාලකයන්ට කැමැත්තක් නැත. වර්තමාන ආණ්ඩුව නොකියා කියන්නේ
මේ තත්වයෙන් වෙනස් විය යුතු බවයි. එහෙත් වෙනස් වන්නට අවශ්‍ය මාර්ගය සොයා ගන්නට
ඔවුනට හැකියාවක් නොමැති බව දැනටමත් පෙන්නුම් කරමින් පවතී. මංමුලා වීම දිගින් දිගටම
සිදු වේ.IMF අනුදත් පරාමිතින් නිසා එය සිදු
වනවා යන්න කාලින ක්‍රියාවලියකි. එය වෙනස් කරන්නට වුවමනා නම් එයට දර්ශනයක් තිබිය
යුතුය. දිශානතියක් මෙන්ම විනිවිද යා හැකි විශ්ලේෂණයක් ද තිබිය යුතුය. ගතානුගතික
භාණ්ඩාගාර ලේකම්ලාට පුලුවන් දේ මෙතෙක් ඔවුන් කර ඇත. ඒ කෙන්සියානු ආර්ථික ක්‍රියවලියේ
අනුසාරයෙනි . ඉන් එපිට ලෝකයක් තිබෙන බව ඔවුහු නොදනිති. දේශපාලකයන්ද එයින් පිට
පනින්නට උත්සාහ නොකරන්නේ පෙර කී ලෙස අත පුච්චා ගන්නට නොකැමති බැවිනි.හර්ෂ සිල්වා
කියන පරිදි රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වාඩි වී සිටි මහින්ද සිරිවර්ධන ලේකම් තුමා
තම රෝද පුටුව අනික් පැත්තට හරවා අනුර දිසානායක දෙසට හැරී රනිල් ගේ අයවැය ලේඛනයේ
කරුණු එහා මෙහා කර ඉදිරිපත් කර ඇත. කාරණය ඇත්තයි. එහෙත් හර්ෂ සිල්වාට ද ඉන් පිට
මාර්ගයක් පෙන්වා දෙන්නට හැකියාවක් නැත. ඔහු සිතන්නේ ද අනුමත කරන්නේ ද මහින්ද
සිරිවර්ධන නන්දලාල් වීරසිංහ අනුදත් මාර්ගයේ වඩාත් ක්‍රියාශීලිව ගමන් කරන්නට පමණකි.
පාර්ලිමේන්තු අයවැය මගින් ආදායම සොයන ආකාරය
පැහැදිලි කර නැති බව විපක්ෂයේ චෝදනාවයි.IMF යෝජනා අනුව බදු වැඩි කර ආදායම
ඉපැයිය යුතුය.ඉන් පිට මාර්ගයකට කල්පනා කර නැත. මෙරට ව්‍යාපාරිකයන් විසින් විදෙස්
වල තැන්පත් කර ඇති අපනයන ආදායමෙන් සියයට හැටක් වත් ලංකාවට ගෙන්වා ගැනීමට යෝජනාවක්
ආවේ නම් අපට සතුටු වන්නට පිළිවන. එකස්ප්‍රස්පර්ල් නැවේ සමුද්‍ර පරිසර විනාශය වෙනුවෙන්
තක්සේරු කරන ලද බිලියන 6.4 ක වන්දි මුදල ලබා ගැනීම උදෙසා පසුගිය රජය ගෙන ගිය ඇල්
මැරුණු ක්‍රියාමාර්ගය ප්‍රාණවත් කර ගැනීම පිණිස හෝ ලංකාවේ නඩු පවරා අය කර ගැනීමට
කිසිම යෝජනාවක් නැත. ලංකාවේ ප්‍රධාන ඛනිජ සම්පත වන මිනිරන් ,ඉල්මනයිට් වැනි අගනා
ද්‍රව්‍යයන් මේ වන විටත් විදෙස් සමාගම්වල ග්‍රහණයට හසුවී තිබේ. පසුගිය රජයේ
අදූරදර්ශී වැඩ පිළිවෙල අනුව ඛනිජ ගොඩ ගෙන අමුද්‍රව්‍ය වශයෙන්ම අපනයනය කිරිමට ගෙනා
නීති අහෝසි කල යුතුය.මෙරට ව්‍යාපරිකයන්ට අවස්ථාව ලබා දී ඛනිජ ගොඩ ගෙන අගය එකතු කළ
කර්මාන්ත ඇති කරලීමට දිරි දිය යුතුය.එවැනි පියවරකට බරක් තබන්නට ආණ්ඩුව බියවන්නේ ජාත්‍යන්තර
මූල්‍ය අරමුදල තරහ කරගන්නට බැරි බැවිනි. මේ තත්වය තුළ 2025 වසරේ අපනයන ඉලක්කය වන
ඩොලර් බිලියන 19 දක්වා යෑමට අවස්ථාවක් නැත.නමුත් උපාය ඥාණය භාවිතා කර එය කළ හැකි වෙයි.
ගෙරම අයවැය හදා ගන්නේ වැටුපෙන් සහ එදිනෙදා
ලැබෙන කුලී ආදායමෙන් පමණක් බවට සිතන නිළධාරීන්ට මතක් කර දිය යුතු වන්නේ ග්‍රාමීය
ආර්ථිකයට ඉන් එහාට මාර්ගයක් තිබෙන බවයි. ගෙවත්තේ වැවෙන, ආහාර කුඹුරෙන් ,හේනෙන් ,කොරටුවෙන්
පොල් ගහෙන්, තැඹිලි ගහෙන් ලැබෙන ආහාර සංචිතය අත්කම් සහ සුළු වෙළෙදාම් වලින් ලැබෙන
ආදායම මේ සියල්ල ශක්තිමත් ආර්ථිකයක පුසබිම සකසන බව හිතාමතාම අමතක කර ඇත. අප කුඩා
කාලයේ දී ගැමියන් තම දරුවන් හට උගන්වනු ලැබූයේ කරුංකා සහ පුවක් විකිණීමෙනි. කිතුල්
හතුරු සහ පැණි විකිණීමෙනි.තල, කුරහන් විකිණීමෙනි.මේවාට තිබුණ වටිනාකම නැතිව ගියේ
වෙළඳ පළ ආර්ථිකයේ නැගීමත් සමගයි.දැනටත් යම් කිසි ප්‍රතිශතයකින් මේ ආර්ථිකය ප්‍රභවයන්
ක්‍රියාත්මක වන නමුත් මහබැංකුවට ඒවායේ සංඛ්‍යා ලේඛන වැදගත් නැත. අතනින් මෙතනින්
අහඹු සංඛ්‍යා ලේඛන එකතු කර දළ ජාතික නිෂ්පාදනය හැදීම ඒ නිළධාරීන් ගේ සිරිතයි.රාජ්‍ය
අය වැය සමබර කර ගැනීමට විදෙස් වලින් ණය ලබා ගැනීම අනිවාර්ය බවට ඔවුහු මතයක් හදා
ඇත.මේ අයවැයෙන් ද ඒ මතය තහවුරු කර ඇත. මහ බැංකුව ස්වාධීන කිරීමෙන් පසු තත්වය තවත්
දරුණු වී ඇත. ආර්ථික පරිවර්තන පණත මගින් රටේ ස්වාධීන තීරණ ගැනීම දුර්වල කර ඇත.
මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියට අනවශ්‍ය සීමා පණවා ඇත.කඩිමුඩියේ ඩිජිටල් කරණයට
යෑමෙන් සාම්ප්‍රදායික මුදල් සංසරණයේ තිබෙන ශක්‍යතාවයන් තව දුරටත් අඩපණ වනු ඇත.පාර්ලිමෙන්තුවේ
දී මේ අයවැය ගැන කියැවෙන පුරසාරම් සහ විවේචන සත පහකට වැඩක් නැත. ජනතාව චූන් වෙමින්
නැවතත් විරෝධතා වලට යෑමෙන් අනවශ්‍ය අරගල රට පුරා නිර්මාණය වීම වැළැක්විය
නොහැකිය.ගෝඨාභයට වූ දේ අනුරට නොවන්නට නම් පළිගැනීම් පුරසාරම් දෙඩීම් අවම කර පක්ෂ
විපක්ෂ සියලු දෙනාගේ සහ මහජනතාවගේ සහයෝගය ගෙන නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ
පුනරුදයක් ඇති කරගත යුතුය. ඉන් එපිට රටේ ඉදිරි ගමනක් නැත.
මතුගම සෙනෙවිරුවන්
No comments:
Post a Comment