පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, May 20, 2023

කිලිනොච්චි බෞද්ධ ස්මාරකය අභිබවා කෝවිලක් මතුවූයේ කෙලෙසකද

 

 


                  

             උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ශිවනගර් නමින් හඳුන්වනු ලබන  ප්‍රදේශයේ ඌරතිපුරම් ගම්මානයේ කෝවිලක් අසබඩ කරන ලද පරීක්ෂණයකදී සිරිපතුල්ගලක් ආදී බෞද්ධ නටබුන් සොයා ගනු ලැබූ බව  මහාචාර්ය පද්මනාදන් මහතා මාධයයට ප්‍රකාශ කරතිබුණි. මේ පුවත පසුගියදා දිවයින පුවත් පතේ පළ ව තිබුණි.නමුත් මෙම ස්ථානයේ ඉතිහාසය පිළිබඳ විමසිල්ලෙන් සිටි  අපට නම් ඒ පුවතේ අලුත් දෙයක් තිබුණේ නැත. වර්තමානයේ ශිවනගර් යනුවෙන් හඳුන්වන ග්‍රාමයේ පැරණි වැවක් අසල තිබී 1956 දී නශ්ඨාවශේෂ රාශියක් හඳුනාගන්නට යෙදුණු ආකාරය පැරණි පුරාවිදු වාර්තා වල දැක්වෙයි. .ඒ අනුව එම පෙදෙස රජයේ ඉඩමක් ලෙසට සිතියම් වලට ඇතුලත් කර ඇත.1958 දී  පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි පී.ඊ.පී. දැරණියගල මහතාගේ පාලන වාර්තාවේ එම කටයුත්ත දක්වා ඇත්තේ මෙසේය.

     'උතුරු පළාතේ උරතිරපුරම් ජනපදයේ තිබෙන දාගැබක් විනාශ කොට ඇති බවට වාර්තා වී තිබේ.උරතිරපුරම් වැව දක්වා මාර්ගයක් තැනවීමේදී කරන ලද සමතලා කිරීම් වලදී මෙම දාගැබ හඳුනාගන්නට යෙදී ඇත.පාර කැපීම වහාම නවත්වන ලදී.දාගැබ අසල ගල්කණු කීපයක්ද හඳුනාගන්නට යෙදී ඇත.නව කෝවිලක් මෙම නටබුන් අසලම දැනට ඉඳි කරමින් ඇත(A modern kovil is under conatruction ).කොවිලේ ගෙඩනැගිල්ල සඳහා අත්තිවාරම් කැපීමේ දී සිංහ හිස සහිත මැටි භාණ්ඩ කීපයක්  සහ පැරණි කාසි හමුව තිබේ.මෙම ස්ථානයේ දේවාලයක් ද තිබෙන්නට ඇතැයි සිතිය හැකිය.' මෙම නටබුන් හඳුනාගන්නට යෙදුණද ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් බවට ගැසට් කරනු ලබන්නේ 2016 වසරේ දීය(අංක 1960/ 2016-03-24 ).ඒ වන විට ප්‍රදේශය ශිවනගර් ලෙසට නාමකරණය වී ඇති හෙයින් එම නමින්ම ගැසට්ටුවට ඇතුලත් වී තිබේ.

        උරතිපුරම් ආසන්නයේ එයට උතුරින් කලපුව ආසන්නයේ සපුමල් කුමරු ගේ ගමන් මාළිගාවක් පිහිටා තිබී ඇත.සපුමල් කුමරු ආර්ය චක්‍රවර්තී රජුන් පරාජයට පත් කිරීම පිණිස යාපනය දෙසට ගමන් කරන ලද්දේ මන්නාරම් මුහුදු තීරයට සාපේක්ෂ පුනරීන් මාර්ගයෙනි. යපනය කලපුවෙන් එගොඩ වී කොඩිකාමම් දක්වා සතුරන් හඹා ගොස් අත්අඩංගුවට පත් කරගෙන ඇත.ඉන්පසු මේ සතුරු ඈඳුත්ත   කෝට්ටේ අග රජු වෙත  ඉදිරිපත් කළ බව ඉතිහාසයේ දක්වයි. මේ ජයග්‍රහණය ලබා ගැනීමට ප්‍රථම පුනරීන් පෙදෙසේ පැවති පැරණි කතරගම දේවාලයක් වන්දනාමනා කර ඇත.වරින් වර උතුරට එල්ල වූ පාණ්ඩ්‍ය ආක්‍රමණ වලින් පසුවද කාලිංග මාඝ ආක්‍රමණ වලින් පසුවද මෙම පෙදෙසේ දේව ඇදහිලි ජනප්‍රිය වී තිබුණි. නමුත් උරතිරපුරම් හි පවතින සිරිපතුල් ගල අපට කියාපාන්නේ ස්තූපයේ පැරණි බවයි.නැගෙනිහිර පළාතේ කන්නියා සපුමල් ගස්කඩ ආදී තැන් වලදී හමුවන ස්තූප වට කොට සිරිපතුල්ගල් තැබීම සිදු කර ඇති බව පැහැදිලිය.ක්‍රි.පූ. සියවස් වල සිට පොලොන්නරු යුගය දක්වා කාලය තුළ වැඩී ගිය බෞද්ධ ශිෂ්ඨාචාරයක් මෙහි පැවති බවට සාක්ෂි තිබේ.



     තිස්ස නම් බෞද්ධ උපාසකයෙකු නාගද්වීපයේ බොහෝ භික්ෂූන් වහන්සේලා සිටී යැයි අසා  පුනරීන් සිට යාපන කලපුවෙන් එගොඩ මෙගොඩ ගිය සැදැහැවතුන් වෙනුවෙන් යාත්‍රා සේවයක් කළ බව ඉතිහාසයේ දැක්වේ. ඒ නිසාම ඔහු ආරියගාල තිස්ස නමින් හැඳින්විණ. යාපා පටුනේ දී පැවැත්වූ මහණ උපසම්පදා කර්මයක් ගැන කෝට්ටේ යුගයේ දී සඳහන්ව ඇතැයි පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් දක්වයි.ඉරණමඩු වැවෙන් පෝෂණය වන සශ්‍රීක වෙල්යායන්ගෙන් සමන් විත මෙම පෙදෙස පැරණි බෞද්ධ ජනපදයකි. මන්නාරම් පැරණි මාර්ගය දෙපස විශාල බෞද්ධ සමාරක රැසක් හමුවන්නේ ඒ නිසාය. උරතිපුරම් විහාරයද එවැනිම වූ වැදගත් සිද්ධස්ථානයකි පරංගින් විසින් යාපන පෙදෙස අත්පත් කර ගැනීමත් කන්ද උඩරට සිංහල පාලනයෙන් ගිලිහී යෑමත් හේතු කොට ගෙන කිලිනොච්චිය නොහොත් වන්නි පෙදෙස ජන ශූන්‍ය වුණි. පසුව ලන්දේසීන් විසින් සිය වහල් සේවය සඳහා ගෙන්වා ගන්නා ලද මලබාර් වහලුන් මේ පෙදෙසේ පදිංචි කරන්නට යෙදුණි. අද අපට දක්නට ලැබෙන දෙමළ ජනගහනය මෙකී වහල් පූර්වගාමීන් ගෙන් පැවතෙන්නවුන්ය.

      සපුමල් කුමරුගේ යාපන ගමනය නිසා මේ පෙදෙසේ පැවති දේවාල සංස්කෘතිය තව දුරටත් වැඩි දියුණු වී තිබේ. මේ කාලයේ දී බුද්ධ මන්දිරය අසළ විෂ්ණු කතරගම වැනි දේවාල සකස් කිරීම බෞද්ධ සංස්කෘතියට අයත්ය. උරතිපුරම් හි පැවති බෞද්ධ ස්මාරකය අසලින් ලැබුනු පුරාවස්තු කීපයක් අදටත් කෝවිල සන්තකව පවතින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වයි. 1958 කාලයේ පටන් උරතිපුරම් දාගැබ විනාශ වන්නට කටයුතු යෙදුණු බවට පුරාවිද්‍යා වාර්තා දක්නට ඇත. මෑත කාලයේ දාගැබ පවතින රජයේ ඉඩම දීමනා පත්‍රයක් මගින් කෝවිලට පවරා දී ඇත.උතුරු පළාතේ පවතින දැනට ශේෂව දක්නට ලැබෙන පුරාවස්තු අතර උරතිරපුරම් දාගැබ සහ නශ්ඨාවශේෂ ඉතා වැදගත් බැවින් ඒවා ආරක්ෂා කර ගැනීමේ අදිටනින් උතුරු පළාත් පුරාවිද්‍යා කාර්යාලය රජයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන්නේ 2020 වසරේ දීය. ඒ අනුව 2021 මාර්තු මාසයේ දී දාගැබ සංරක්ෂණ කටයුතු ආරම්භ කරලීමට කැණීම් කණ්ඩායම් පිටත් කර යැවිණ. නමුත් ‌කෝවිල් පාලක මණ්ඩලය මෙයට විරෝධය දක්වන ලද බැවින් දෙපාර්තමේන්තුවට කැණීම නතර කරන්නට සිදු විය. ඒ සම්බන්ධව කිලිනොච්චි පොලිසියට පැමිණිලි කොට ඇති අතර එම ඉල්ලීම දැනට උසාවියට ඉදිරිපත් කර තිබේ.

      මේ රටේ විවිධ ස්ථානයන්හි විවිධ පුරාවස්තු දක්නට ලැබේ. බොහෝ පුරාවස්තු බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව පවතින අතර ඒ වායේ යම් කැණීමක් හෝ අලුත් වැඩියාවක් කරන කල්හි එයට විරුද්ධව යෑමක් නැත. ඒ ස්ථානවල වැඩ වසන ස්වාමීන් වහන්සේලා ගේ සහයෝගයෙන් එම කැණීම් කරගෙන යනු ලබයි.නමුත් උතුරු සහ කැගෙනහිර පළාත් වල සිංහල නීතියක් බල පැවැත්වෙන්නේ නැත. යම් පැමිණිල්ලක් පුද්ගලයෙකුට විරුද්ධව ඉදිරිපත් කළද ආණ්ඩුවේ නිළධාරීන්ට එරෙහිව ඉදිරිපත් කළද උසාවි වල තීන්දු ලබා දෙන්නේ දෙමළ පාර්ශවයට වාසි සහගත වන ආකාරයෙනි.නෙදුන්කේනි වසමේ වඩුන්නාගල නැතහොත් වෙඩිකිරිනාමලේ බෞද්ධ ලෙන් සංකීරණය මත පැවති දාගැබ  පොලිසිය බලා සිටියදීම  විනාශ කර ඇත.ඒ මත දැන් ශිව ලිංගයක් තබා ඇත.

           උරතිපුරම් කෝවිලට ඉතිහාසයක් නැත. එහි ඉතිහාසයට දෙමළ සම්භවයක් තිබෙන බව ඔප්පු කිරීම ට උතුරේ විශ්ව විද්‍යාල වල මහාචාර්යවරුන් උත්සාහ කරනවා විය හැකිය.උතුරේ සිටි එක් මහාචාර්යවරයෙකු යාපන කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බෞද්ධ නටබුන් හින්දු නටබුන් ලෙස වර්ග කිරීමකට උත්සාහ ගත් බව අපට සැළව තිබේ.මහාචාර්ය පද්මනානන් මහතා ද උත්සාහ ගන්නට ඇත්තේ උරතිරපුරම් කෝවිලට දෙමළ ඉතිහාසයක් සදන්නටයි.එපමණක් නොව මෙම බෞද්ධ පුරාවස්තු දාගැබ අසලින් ඉවත් කර යාපන කෞතුකාගාරයට ගෙන යා යුතු බවටද ඔහු යෝජනා කරයි.නමුත්   මෙවෙර එම විකෘති කිරීම කළ  නොහැකි වුණි.ඊට හේතුව වත්මන් කෝවිලේ තිබී බෞද්ධ පුරාවස්තු හමුවීමයි. අනුරාධපුර යුගයට අයත් ඌරතිපුරම් දාගැබ සහ පිළීමගෙයි ඉතිහාසය විකෘති කිරීමට ඔහුට නොහැකිය. මෙහි තිබූ සිරිපතුල මගින් බෞද්ධ ස්මාරකයේ සැබෑ තත්වය ඉස්මතු වී පෙනේ . දැන් ඔවුන් සංවිධානය වී වර්ෂ 3000 ක් පැරණි කෝවිලක් මෙහි තිබුණේ යැයි ප්‍රකාශ කරති. කෝවිල් පාලක සභාවද අන්තවාදී දෙමළ දේශපාලනඥයන්ද එකතු වී උද්ඝෝෂණ සංවිධාන කරති. ඒ නැති ඉතිහාසයකට පලිප්පු දමන්නටයි. සඳුන්රුක කෙතරම් ගල ගෑවත් සුවඳ මිස ගඳක් නැත. උතුර සහ නැගෙනහිර පළාතේ කැලෑ පීරමින් සෙවුවත් වර්ෂ 150ට වඩා පැරණි කෝවිලක් හමුවන්නේ නැත. බෑලූ සෑම අතකම දක්කට තිබෙන්නේ බෞද්ධ නටබුන්ය.

මතුගම සෙනෙවිරුවන්

1 comment:

  1. මහත්මය නිකම් කුණු ගොඩවල් අවුස්සන්න එපා..
    විජය කියන දාමරික ගන්සියත් අශෝකගේ ආක්‍රමණ කාරී ගැන්සියත් ලංකාවේ හිටපු ස්වාදෙශිකයන්ව විනාශ කරා

    ReplyDelete