පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, August 27, 2022

ඩොලර් නැතිව වෙළෙදාමේ ගිය දොඩන්දූ වෙළෙන්දෝ

 

 

 


                              

            පරෙවි තිසර සහ කෝකිල සංදේශ කව්‍යයන්හි සඳහන් උඩුගල්පිටිය නොහොත් දොඩන්දූව ප්‍රසිද්ධව පවතින කාරණා කීපයක්ම අපට වැදගත්ය. එනම් රාවණා යුගයේ සිට පැවතෙන කඳසුරිඳු හා බැඳි පුරාවෘත්තයන්ය. දෙවැන්න දොඩන්දූව ශෛලබ්ම්බාරාම පුරාණ විහාරයයි. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් මූලික අධ්‍යාපනය ලැබ තිබෙන්නේ මෙම විහාරස්ථාන සරස්වතී මණ්ඩප පිරිවෙනෙනි. අනෙක් වැදගත්ම කාරණය මෙම පිරිවෙන සමීපයේ පිහිටි ලෝ ප්‍රසිද්ධ වෙළෙඳ වරායයි.වර්ෂ 1836 දී එවකට දෙගල්ලේ විහාරය ලෙසින් ප්‍රකටව තිබූ වත්මන් ශෛලබිම්බාරාම විහාරයේ වැඩ සිටි කොග්ගල  ධම්මසාර නම් ස්වාමීන් වහන්සේ දෙඩන්දූ වරායෙන් නැව් නැගී බුරුමයට යන ගමනේදී දකුණු ඉන්දියාවේ කාවේරි ගඟ අසන්නයේ ස්ථාන කීපයකට ගමන් කරන කල්හි ගම් වැසියෙකු පවසා ඇත්තේ උන් වහන්සේ වැනි තාපසයෙකු කැලේ  වාසය කරන බවයි. උන්වහන්සේ එතැනට ගොස් බලන කල්හි ගලින් නෙලූ විශාල බුද්ධ ප්‍රතිමාවක් දැක ඇත. මෙයින් බලවත් සේ සතුටට පත් වූ ධම්මසාර හිමියන් ඒ ප්‍රතිමාව කෙසේ හෝ මුහුදු තොටුපළට ගෙන එන්නට උත්සාහ කර තිබේ. නමුත් ගම්වාසීන් ඊට අකමැති විය.පසුව ඉහළ පාලන අධිකාරියට කරුණු සැළ කර බුද්ධ ප්‍රතිමාවක් බව ඔප්පු කර පෙන්වා නැව් තොටුපළ අසලට ගෙනවුත් නැවේ නන්ගා ගෙන යලි දෙඩන්දූ වරායට පැමිණ ගම්වාසීන් ලවා පන්සල තෙක් ඇලක් කප්පවා ප්‍රතිමාව මිල්ලකොටන් උඩ විහාරයට වඩම්ම වා තිබේ  පසුව එවකට තිබූ කුඩා විහාරය විශාල කොට සාදවා නව විහාර ගෙයි මෙම ප්‍රතිමාව තැන්පත් කර තිබේ. එතැන් සිට මෙම විහාරස්තානය ශෛලබිම්මාරාමය යන නමින් ප්‍රසිද්ධයට පත් වී තිබේ.

        බුද්ධ ප්‍රතිමාව විහාරස්ථානය කරා ගෙන ගිය රත්ගන් කලපුව අද නැත. අතීතයේ දී කුමාරකන්ද අසලින් සහ වර්තමාන පියරතන විද්‍යාලය අසලින් රත්ගම් කලපුවේ ජලය ගලා බැස ගියහ. දොඩන්ගෙඩියක  හැඩයකින් යුතු දූපතක් ඉතිරිකරමින් නිර්මාණය වූ මෝයවල් ගොඩ කර නවමෝයක් ඉඳි කල බ්‍රිතාන්‍ය පාලනය ගාලු කොළඹ  මහා මාර්ගය සාදවා ඇත.ඒ නිසා පැරණි දොඩන්දූ වරායේ විශාලත්වය සහ විචිත්‍රවත් දර්ශනය අද නොපෙනී ගොස් තිබේ. ඉංග්‍රීසි පාලන සමයට පෙරදී මේ පළාත් පාලනය කරන ලද්දේ ලන්දේසීන් විසිනි.එවකට මේ තොටුපල ස්වාධීන වරායක් ලෙසට භාවිතා කළ බවට සාධක හමු වන්නේ ලන්දේසි කාසි බොහෝ පැරණි නිවාස වලින් හමුවන බැවිනි.හත්වන සියවසෙන් පසුව පල්ලව දේශයත් ලංකාවත් අතර දැඩි සම්බන්ධයක් බිහි වූ බවට ඉතිහාස සාධක ඇත. දෙවනි කාශ්‍යප රජුගේ පුත් මානක කුමරු පල්ලව දේශයට පැන ගොස් එහි රාජ සභාවේ සේවය කොට පසුව විශාල හමුදාවක් සමග පැමිණ ද්‍රවිඩ සතුරන් පරාජයට පත් කර මානවර්මන් නම් අභිධානයෙන් යුක්තව ලංකා රාජාවලියට එකතු වී තිබේ. ඉන් පසුව ඔහුගේ දරුපරපුරේ කුමාරවරුන් කීප දෙනෙකුම පල්ලව දේශයේ වාසාය කරතිබේ.වනිග්වංශ සිඛාමණී අලකේශ්වර පරම්පරාව යනුවෙන් ඔවුන් හඳුන්වා තිබේ.පල්ලව දේශයත් ලංකාවත් අතර දැඩි වෙළෙඳ සබඳකම් ඇති වන්නේ මේ යුගයේ දීය. නාවික කටයුතු දියුණු වෙමින් වෙළෙඳ සමාගම් පවා ඇති වූ ආකාරය ඉතිහාසය පැහැදිලි කරයි. වත්මන් දොඩන්දූ වරාය සක්‍රීය වන්නේ මේ යුගයේදී බව පැහැදලිය. රන්කාසි මසුරන් ආදී මුදල් ඒකක වලින් ගනුදෙනු කල එකල වෙළෙඳ ප්‍රජාව පසුකාලයේ දී බලයෙන් ඉවත් වීම නිසා ද්‍රවිඩ සහ මුස්ලිම් වෙළෙඳ ආධිපත්‍යක් ඇති විය. මේ ආධිපත්‍ය විනාශ කර දමන ලද්දේ ලන්දේසීනි විසිනි.       

      උඩරට රාජධානිය ගිවිසුමකින් ඉංග්‍රීසීන් හට භාරදීමෙන් පසු එවකට ලන්දේසීන් විසින් භාවිත කළ රික්ස්ඩොලරය ඉවත් කර 1825 දී රන් පවුම හඳුන්වා දෙන ලදී. ඒ අනුව රන් පවුමක් රික්ස් ඩොලර් 1   ක් විය. ඉන්පසු 1836 වසරේ දී ඉන්දියානු රුපියල ලංකාවේ භාවිතයට හඳුන්වා දී ඇත. එයට හේතුව 1796 සිට 1798 දක්වා කාලය තුළ මදුරාසි නීතිය යටතේ සමින්දාර් පරිපාලනයක් බිහි කිරීමයි.එසේම පවුම් සිලිං සහ පැන්ස ආදී බ්‍රිතානය සම්මත මුදල් භාවිතයන්ද හදුන්වාදී ඇත.සිලිං දෙකක් රුපියලක් වශයෙනි.එසේම රුපියල් දහයක් පවුමක් ලෙසටද සැළකුණි.ඉන්පසු ලංකා බැංකුව 1844 දී පිහිටුවීමෙන් පසුව භාණ්ඩාගාර බිල්පත් සහ බැංකු විනිමය පත් නිකුත් කිරීම අරඹන ලදී.1869 දී ඉන්දියන් රුපියල සීමාවකින් තොර ටෙන්ඩර ක්‍රියාවලිය සඳහා උපයෝගී කර ගත් අතර 1871 වන විට රුපියලක් යනු ශත 100 ක් බවට නිර්වචනය කර ඇත. ඉන්පසු ලංකා රුපියල නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර රුපියල යනු සිළිං 2 පැන්ස හයක් ලෙසට නිර්වනය කර තිබේ.දොඩන් දූ වෙලෙන්දන් එදා ගනුදෙනු කරන ලද්දේ ලන්දෙසි මුදල් එකක වලිනි. පසුව පවුම් සහ සිලිං වලට මාරු වුණ කල්හි වෙළෙඳාමේ වෙනසක් සිදු නොවීය.දෙඩන්දූ වරායත් දකුණු ඉන්දියාවේ කොචින් මල්පේ ඇතුලු වරායන් හතරක්   සමග සම්බන්ධකම් දියුණු පවුණු වී එහි සිට රටඋලු සහ ජාඩි පමණක් නොව චීන රෙදි පිළිද ආනයනය වන්නට විය. ජාඩි අසුරන ලද්දේ කිලෝ හාරසීයක් පමණ පැටවිය හැකි ලී පීප්ප තුළය.අදටත් ලංකාවේ පැරණි නිවසයන්හි කොචින් සිට ගෙන පැමිණි 1865  වර්ෂය කෙටූ කැලිකට් රටඋලු වර්ග දක්නට ඇත.දොඩන්දූ වරායේ ගැඹුරු මුහුදේ නැංගුරම්ලන නැව් වල පැටවූ පීප්ප ගොඩ දක්වා ප්‍රවාහනය කරන ලද්දේ පිලාඔරු යනුවෙනි හඳුන්වන ලද කුඩා ඔරු විශේෂ වලිනි. බදු අය කර ගැනීමට රේගු ගොඩනැගිල්ලක්ද නිළධාරියෙකුද විය.ලංකාවේ නිපදවූ කොහු ලණු කඹ පුවක් කරාබු නැටි කුරුඳු ගම්මිරිස් ඇත්දල භාණ්ඩ ඇතුළු වෙළෙඳ ද්‍රව්‍යයන් ඉන්දියාවට මෙන්ම බුරුමය තායිලන්තය ආදී රටවලට පැටවෙන්නට විය.පෙර සඳහන් කළ ආකාරයට දොඩන්දූවෙන් නැව් නැගී ගිය භික්ෂූන් වහන්සේ නමකට කාවේරිය අසල බුද්ධ ප්‍රතිමාව හමුවන්නේ මේ දියුණු නාවික කටයුතු නිසාවෙනි..



    දොඩන්දූ වරාය ප්‍රසිද්ධව පැවතියේ විදේශ වෙළඳම ගැන පමණක් නොවේ. දොඩන්දූ ධනවත් වෙළෙන්දෝ කොල්ලෑ සහිත නැව් වල පටවා ගත් පුවක් ජාඩි සහ රට උලු රැගෙන උතුරුකරයේ පේදුරුතුඩුව දක්වා යාත්‍රා කළහ.ජාඩි සාදන ලද්දේ කුම්බලා සාවාල ආදි මාලු වලිනි.මේ වෙළදාම නිසා පේදුරු තුඩුව මුතූර් කල්මුනේ හේරාඔරුව (එරාවුර්) පුලියන්දූව (මඩකලපුව ) අක්කරපත්තුව වැනි වෙළඳ නගරවල සිංහල ජනතාවගේ වෙළෙඳ සල් ආරම්භ විය ගාල්ලගේ උදාරිස් සිල්වා .සහ ගාල්ලගේ එලියස් අප්පු දොඩන්දූ වරායේ සිටි ප්‍රබල ධනවතුන්  විය. කල්මුනේ ආරම්භ වූ වෙළෙඳ සලේ සිට දොඩන්දූවට 1901 දී තැපැල් කළ ලියමනක හුරුල්ලන් මාලු පීප්ප ගැන සඳහන් කරතිබේ. එසේම දොඩන්දූවේ මෝදර පටුවත ගාමිණි ගාල්ලගේ මහතාගේ නිවසේ තිබී හමුවූ මුදල් ගනුදෙනු පොතක පිටුවක සඳහන් විස්තරයන් දකින විට එකල හුවමාරු වූ බඩු භාණ්ඩ ගැන තොරතුරු සොයා ගත හැකිය.සේරුවිල මංගල මහා චෛත්‍ය රාජයානන් වහන්සේ සොයා ගෙන එය ප්‍රතිසංස්කරණයට මුල්වූ පූජ්‍ය දඹගස්ආරේ මේධංකර නාහිමියන් මුතුර් වලට වැඩම කරන ලද්දේ දොඩන්දූ වරායෙනි.1987 දී ඇති වූ ත්‍රස්තවාදී කෝලාහලයන් ගෙන් පසුව පේදුරු තුඩුව දක්වා වූ ස්ථාන වල වෙළදාම කල සිංහලයන්ගේ කඩ වෙළෙදාම නැතිභංගස්ථාන විය.දොඩන්දූ වරායෙන් පිටත්ව ගිය අවසාන රුවල් නැව ගැන අපට තොරතුරු හමුවන්නේ 1930 වකවානුවේදීය. මෙම නැව  ලුණු පැටවීම සඳහා හම්බන්තොට ගිය යාත්‍රාවකි.

 එය කුණාටුවකට අසුවී   මුහුදු බත් වී තිබේ. එහි සිටි නැවියන් මාලදිවයින් යාත්‍රාවක් නිසා පණ බේරාගෙන මාස තුනකට පසුව ස්වකීය ගම්රටවල් බලා පැමිණි බව දැන ගන්නට ඇත.රට අභ්‍යන්තරයේ ගමනාගමනය දියුණු වීමත් සමග සහ සමස්ත වරායන් සියල්ල වරාය අධිකාරිය යටතට පත් වීමත් සමගම දොඩන්දූ වරායට තිබූ ප්‍රධානත්වය අහෝසි විය.පසුව දොඩන්දූව වෙළෙඳ වරාය ධීවර වරායක් බවට පත්විය. මේ කාලයේ ධීවරයන් දෙපිරිසක් අතර ඇති වූ කෝලාහල සන්සිඳ වීමට සමත් වූ ප්‍රභූවරයෙකු ගැනද සඳහන් ව තිබේ.ඩාර්ලිස් අබේවීර ගුණවර්ධන නමින් ඒ ප්‍රභූවරයා ප්‍රසිද්ධව සිට ඇත. දොඩන්දූ වරායේ නවතා තිබූ පැරණි නැවක ආකෘතියක් දැනට ගාල්ල සමුද්‍රීය කෞතුකාගාරයේ තැන්පත් කරතිබේ.

මතුගම සෙනෙවිරුවන්

        

 

Sunday, August 14, 2022

පලිබෝධ මර්ධනයට අදාල දේශීය දැනුම පිළිබඳ විමර්ශනයක්

 

 

 

                              


           

හැඳින්වීම -

        භෝග වගාවකට  පලිබෝධකයන් පැමිණීම සිදු වීම ස්වභාවික සංසිද්ධියකි. පරිසරයේ වෙසෙන විවිධ කෘමීන් සුහුඹුලන් ඇතැම් විට කරල් සහ ගෙඩි වල යුෂ උරා බොති.පත්‍ර වල ට පැමිණෙන පණුවන් ඩැහැ ගැනීමට පක්ෂීන් වගාවට එති. එවිට කරල් ගොදුරු කර ගැනීමද සිදු වේ. මේ නිසා වගාවේ පලිබෝධ යනු කෘමීන් පමණක් නොවන බව සිහිපත් කළ යුතුය.ගොවීන් විසින් මේ තත්වය වටහා ගන්නා අතර වගාව ආරක්ෂා කර ගැනීමට වගාව ආරම්භයේ සිටම විවිධ කෙම් පහන් භාවිතා කිරීමට පෙළඹෙති. කෙම් පහන් යන වචනය පොදුවේ දේශීය දැනුම තුළ පලිබෝධ මර්දනය හැඳින්වීමට යොදා ගැනේ.මේ පලිබෝධ මර්දනයේදී  ක්ෂේම කර්ම නොහොත් කෙම් මෙන්ම භෞතික උපක්‍රමයන්ද භාවිතා කිරීමට ගොවීන් සූදානම්ව සිටිති.  පලිබෝධ මර්දනය සඳහා පාරම්පරිකව යොදා ගත් අභිචාර විධි සහ භෞතික ක්‍රියා කාරකම් ලංකාවේ ජෛව විවිධත්වයට අනුව පළාතෙන් පළාතට වෙනස්  ව තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය.මෙම ලිපියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ කෙම්පහන් පිළිබඳ විවිධත්වය සහ එහි විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳවයි.

 

ක්ෂේම කර්ම නොහොත් කෙම් ක්‍රමයන්හි යෝග්‍යතාවය -

 

වගාවක පලිබෝධයන් ලෙසට කෘමි සතුන් පැමිණෙන කල්හි විවිධ කෙම් ක්‍රම මගින් පාලනය  කිරීමට සිදු වේ. සතුන් ගේ මුඛ බැඳිම මගින් ගොවිපලෙන් පළවා හැරීම එක් ක්‍රමයකි. මෙයට උපයෝගී කර ගන්නේ මැතිරීම් ක්‍රමයන්ය.මැතිරීම යනු යම් විධිමත් ආකාරයකට ශබ්ද විද්‍යානුකූලව ගලපා ගත් වචන මාත්‍රා මුදා හැරීමකි.මුඛබැඳීම නම් ක්‍රමය එක්තරා විදියකින්  හිංසාකාරී වෙයි. වී වගාවට හානි කරන ගොයම් මැස්සා එහි ඉලක්කයයි. ගොයම් මැස්සෙකු අල්ලා ඇඹුල් දොඩම් ගෙඩියක අඩස්සි කර වක්කඩේ වැලලීම මගින් ද ගොයම් මැස්සන් තිදෙනකු කුඹුරේ තුන් පළකින් අල්ලා නමෝ කරක්කෙස්වාහං යනුවෙන් මතුරා  පිටත් කර හැරීම ද කළ විට අනෙක් මැස්සන් ගේ පැමිණිම අඩු වේ යයි විශ්වාසයක් ඇත. මේ සතුනට ආවේණික ගන්ධයක් පවතින අතර උන් අතරට මේ මැස්සන් ගේ පීඩාකාරී සංනිවේදනය ඇති කිරීම මෙහි උපක්‍රමය වෙයි.වගාවට හානි කරන රිලවෙකු හෝ වඳුරෙකු අල්ලා උගේ ඇඟ පුරා දැලි හෝ සායම් තවරා සුදු තිත් තබා ආපසු උන්ගේ ම රැළට පිටත් කර හැරීම ද එක් ක්‍රමයෙකි. මේවායේ ද යම් කිසි හිංසනයක් පවතී. සිංහල බෞද්ධ සමාජයක මෙවැනි දේ සිදු විණිදැයි සැකයක් ඇති වුණ ද ඉතිහාසයේ යුග ගණනාවක් ම විවිධ සංස්කෘතින් ගේ අභාෂයන් අප ලැබූ බවද  මෙහිදී මෙනෙහි කළ යුතුය.

   සිංහල සංස්කෘතියට සාපේක්ෂ මැතිරීම් ක්‍රම අතර තෙල් මතුරා බෝමලුවේ පහන් දැල්වීම පෙන්වා දිය හැකිය. බෝ මලුව පිරිසිඳු කර බෝධි පූජාවකට මෙන් අවශ්‍ය වතාවත් කර සිත එකඟකර ගෙන තම ගොවිපලේ නම සිහිකරමින් පහන් දල්වන අතර දී එක් පහනකට එළඟි තෙල් දමා එම පහනේ තෙලට නමෝ අත්තතිය භවවාතිය සිධ බුද්ධාතිය ඉටි මිටි ඒස්වාහං යනුවෙන් එකසිය අට වරක් මතුරමින් බෝධි වන්දනා ගාථාවන් ද කියමින් අවසාන වශයෙන් දෙවියන්ට පින්දී පැමිණීමෙන්  ගොයම් මැස්සන් කුඹුරෙන් ඉවත් කිරීමට හැකිය.

      කෙම් ක්‍රමයන්හිදී යන්ත්‍ර මන්ත්‍ර යන දෙවදනම භාවිතා වෙයි. මේ තුලින් කියැවෙන පණිවුඩය ගොවි ජනතාව තරම් වටහා ගත් පිරිසක් තවත් නොවීය. ඔවුහු සැම කටයුත්තකදීම මේ ශාස්ත්‍රයන් භාවිතා කළහ. වෙසෙසින්ම යන්ත්‍ර භාවිතයෙහි කෙළ පැමිණ සිටියහ.යන්ත්‍රය යනු තඹපත්‍රයක සටහන් කරගත් අක්ෂර ක්‍රමවේදයකි. යන්ත්‍රය සකස් කර ගන්නා විට ඒ සඳහා තල්පතක තඹ පතක පේ කර ගැනීම කළ යුතුය.පේ කර ගැනීම යනු පිරිසිඳු කර ගැනීමයි.නැතිනම්යම් කිල්ලක් හෝ ගුප්ත බලවේගයක ඇති බලපෑම අවම කර ගැනීමට සැලැස්වීමයි. යන්ත්‍රය තල්පතේ හෝ තඹ පතේ ඇඳ මල් බුලත් තටුවක තබා පේ කර ගැනීම සිරිතයි. සබ්බ පාපස්සඅකරණං ගාථාවෙන් මතුරන මේ යන්ත්‍රය ගොවිපලේ එල්ලා තැබීම ජනප්‍රිය ක්‍රමයෙකි.

 

 

 

මෙහි ලියා තිබෙන අක්ෂරයන්හි බලය ඇති වන්නේ කෙලෙසකදැයි විස්තර කරන පුරාණ දැනුම් සම්ප්‍රදාය දැන් අභාවයට ගොසිනි. එහෙත් මැතිරීමේ දී අත්දකින සත්‍යය මෙතනදීද වලංගුය. අවශ්‍ය වන්නේ යන්ත්‍රය නිවරදි ආකාරයට ජීවම් කර ගැනීම පමණකි.

      ඌරන් වැනි සතුන් ගොවිපළකට පැමිණීම වළක්වන පිණිස භාවිතා වූ සාර්ථක මන්ත්‍ර ක්‍රමයක් මෙහි සඳහන් කිරීම උචිතයයි සිතමි. එයට භාවිතා කරන්නේ දිවි කදුරු කෝටු අටකි. දිවි කදුරු ශාඛය සර්ප වෙදකමේ දී ඖෂධයක් විලස බහුල ලෙසට යොදා ගනී. දිවි කදුරු ගසකින් මේරීමට පත් වූ කෝටු අටක් කපා ගෙන පළමුවෙන් එය ජීවම් කර ගත යුතුය. ඒ සඳහා මල් බුලත් තටුවක් තනා අවශ්‍ය කළමනා සම්පූර්ණ කොට කදුරු කෝටු අට මල් බුලත් තටුවේ තබා සබ්බ පාපස්ස අකරණං යන ගාථාවෙන් දහස් වාරයක් ජීවම් කළ යුතුය. ඉන්පසු දිවි කරණ ඇති දිනයක (මෙම දිනය උදා වන්නේ සඳේ වක්‍ර වීම අනුවයි) ගොවිපළට ගොස් එහි අට කොනේ සිටු විය යුතුය. මෙය කළ යුත්තේ පාන්දර පමණ යෙදෙන වේලාවටයි. මෙය එක්තරා විදියක සීමා බැඳීමකි.දිවි කදුරු කෝටු ගැනීම දිවි කරණය යොදා ගැනීම ඌරා නමැති සතා විකර්ශණය කරන ක්‍රමයකි. දිවිකරණයෙන් වැට බැඳීමෙන්ද සතුන් ගෙන් ගොවිපළ ආරක්ෂා කර ගත හැකිය.

       ගොවිපළකට මීයන් ගෙන් කරදර හානි ඇති වටකදී මීයන් ගොදුරු කර ගන්නා සර්පයින් ගේ පැමිණිම ඇති කර ගත යුතුය. සර්පයින් අතරින් ගැරඬියන් ට වඩා නාගයා බලවත්ය. එහිදී මීයා ගොදුරු කරගන්නා නාගයා ගේ රූපයක් තඹ තහඩුවක ඇඳ එයට ගුරු දිනයක් උදාවෙන අවස්ථාව බලා ගුරු හෝරාවෙන් එම තඹ පත්‍ර හතර ගොවිපලේ වැලලීම කරති. මෙහිදී ගුරු හොරාවේ බලය ගැන තේරුම් ගත යුතුය. එය සතුන් ඇති කිරීමට යොදා ගන්නා හෝරාවකි. නාගයා ගෙවිපළට කැන්දන හෝරාවක් ද වේ. නමුත් මෙයින් මනුෂ්‍යාට හානියක් සිදු නොවේ.

    මීයන් කා දමන ගොයම් ගස් එකතු කොට සාදන ලද දරණුවක් මතට උතුරන බත් හැලියක් බෑමෙන් මීයන් ගේ උවදුරු වළකන අපූරු කෙමක් ඇත. එසේම අළුයම් හතරට පමණ නැගිට මී ගසක පොතු හතරක් උඩ සිට පහතට ගලවාලෙන  වංගෙඩිය යටට දමා තබා රාත්‍රි හතට පමණ එම පොතු තුඹුරට ගොස් තැබීම ද කරති. එසේම වංගොඩියේ කෙටූ වී සහල් කොට කිරිබතක් උයා දෙවියන්ට ඔප්පු කිරීමද කරති.මේ ක්‍රම දෙකේම පවතින්නේ මීයා පළවා හැරීමට කරන අහිංසක උපක්‍රමයන්ය.කපා සපා ගෙනවුත් තබා තිබූ ගොයම් ගස් කැබලි කෙරෙහි පවතින ආශාව මීයන්ගේ වුවද නැති වන්නේ නැත. ඒ මත ගිනි රශ්ණය ගෑවුණු බත් හැලිය දැවටීමෙන් මීයාට යම් සංජායනයක් ඇති විය යුතුය. බත බුද්ධ භෝගයකි.එයට හානි කරන මීයා දෙවියන්ගේ වාහනයකි. මේ කෙම මගින් මීයන් ඉවත් කිරීමට දෙවියන්ට ඉඟියක් ලබා දේ. එසේම මී ගසේ පොතු තබන්නේ වංගෙඩිය යටයි. වංගෙඩියේ නිතරම වී කොටනු ලබයි. එසේත් නැති නම් සහල් පිටි කරයි.මේ කෙම මගින්ද දෙවියන්ට යම් පණිවුඩයක් ලබා දෙයි.එය සංනිවේදකය කරනුයේ මී පොතු මගිනි.

     මීයා එළවීමේ භෞතික උපක්‍රමයක්ද ගොවියා සතුය. බළල් වසුරු වරා කිරි බළල් වලිගයේ ලොම් හිරියල් සමග අනා නියරවල් මත තැබීම ද හාල් මැස්සන් කුඩු කර ඒවා පොල් කුඩු වල මිශ්‍ර කර පිටි තරමට හීන් වන සේ කොටා ගත් ජාපාල ඇට( විෂ සහිත ඖෂධයක්)  මුසු කොට වියළා මීයන් එන මාර්ගයේ තැබීමද කරති.මෑත වකවානුවේ දී ව්‍යාප්ත වූ ගිනිසීරියා මල් සහ ටූනා මල් තැබීමද තවත් ක්‍රමයකි.     

 

පූජා විධි ඇතුලත් කෙම් ක්‍රම -

 

යන්ත්‍ර මන්ත්‍ර නොහොත් අභිචාර විධි වලට අමතරව ලංකාවේ ඇතැම් පළාත් වල පූජා චාරිත්‍ර සමග කෙම් ක්‍රමද අනුගමනය කරති.විවිධ වසංගතයන් ගොයමට වැළඳුන කල්හි විශේෂයෙන්ම මෙම ක්‍රම අනුගමනය කරති.එවැනි අවස්ථාවලදී ගොයම සහිත වෙල් යාය ප්‍රදේශීය දෙවිවරුන්ට භාර දීම කරති. පහන් පැළක් සකස් කර පහන් දල්වා දෙවියන්ට ආරාධනා කර ගොයම භාරදී පසුව අස්වනු කපා පාගා ගැනීමෙන් පසු කිරි උතුරුවා දානය දී භාරය නිදහස් කර ගැනීම සිරිතකි.

 

 

 

ගොඩවෙල්ලන් වැනි පණු උවදුරක්  දරුණු ලෙසට ඇති වූ විට උන් අල්ලා මුට්ටියක දමා රුහුණු කතරගම දේවාලයට ගොස් භාරදී පොර පොල් පිටියක් පැවැත්වීම කොට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම කරති.මෙම පූජා චාරිත්‍රයන්හි විද්‍යාත්මක ස්වභාවයන් සලකා බැලීමට නොහැකිය.නුමුත් ගොවි සමූහයක් විසින් කරන මෙවැනි ආයාචනා  ප්‍රත්‍යක්ෂ කෙම් ක්‍රමයන් ලෙසට දීර්ඝ කාලයක් තිස්සේ පැවත පැමිණ ඇත.

 

ශාකසාර සහ විවිධ ඖෂධ පදනම් කරගත් කෙම් ක්‍රම -

 

      පරිසරයේ දක්නට ලැබෙන විවිධ ඖෂධ පැලෑටි වල තිබෙන රසායනික සංයෝග කෘමි මර්දනයට ඉතා අගනා බව අත්දැකීමෙන්ම දීර්ඝ කාලයක් පසක් කරගෙන සිටි බව පෙනේ.කතුරු මුරුංගා කෙම පරගෙඩි කෙම දලුක්තැලීම කුකුරුමාන් කෙම නව නිල්ල කෙම ඒ අතරින් කීපයකි. කතුරු මුරුංගා කෙමෙ කරනු ලබන්නේ ගොයම පැළ අවදියේ දීය. ගොයම් කහ පැහැ ගැහී වර්ධනය බාල වන විට එයට හේතුව ගොවියා සොයා ගනී. කතුරු පණුවා නිසා ඇතිවන පණු රෝගය නිසා මෙලෙස සිදු වන බව ඔහු වටහා ගනී. මේ පණු උවදුරු මර්දනය කිරීමට වල් කතුරු මුරුංගා මුල් සපයා ගෙන කොටා යුෂ ගෙන ජලය මුසු කර ඉසීම මගින් රෝගය දුරුවන් වේ.

     දලුක් තැලීම සිදු කරනු ලබන්නේ පණු උවදුර මර්දනයටයි.ගොයම පැළපත අවදියේ දී පත්‍ර මත ඇතිවන සුදු කොළ පුල්ලි රෝගය මර්දනයට දලුක් පිති කපා ලියැද්දේ තැන තැන දැමීම කරති. දලුක් කිරි ජලයට මුසු වන අතර මෙම රෝගයට හේතු වන පණුවා මර්දනය වේ.ගොයමට අල කොළ රෝගය වැළඳුණ කල්හි නව නිල්ල නම් කෙම කළ යුතුය.මෙම කෙම කිරීම සඳහා නිල් පැහැ කෙළ නවයක් උණදඬුනවයක් ගොක් කොළ නවයක් සහ කෙසෙල් කොළයක් අවහ්‍ය වේ.මෙමඅතු නවය කපු මහතෙකු ගේ මාර්ගයෙන් ජීවම් කළ යුතුය. අනතුරුව කෙතේ ස්ථාන නවයක සිටුවිය යුතුය. සිවුරු කැබලි උපයෝගී කර ගත් පන්දම් මගින් කෘමි සතුන් ආකර්ෂණය කර ගැනීම ද පළවා හැරීම ද සිදු කරන ලදී.යන්ත්‍ර මන්ත්‍ර ආදී  අභිචාර විධි අනුගමනය කරන කල්හි වුවද යමිකිසි සමාන බවක් දක්නට ලැබුණද පළාතෙන් පළාතට අනුගමනය කරන ලද ක්‍රම වේද වෙනස් බව පෙනේ. පලිබෝධකයින් පමණක් නොව ඇතැම් විට යමි කිසි දිලීර හානියක්  ඇති වූ අවස්ථාවලදීද වගාව හානියට පත්වීම වලක්වා ගැනීමට  අභිචාර විධි අනුගමනය කර ඇත. මඩ ගොවිතැන පිළිබඳ සලකා බැළුවහොත් එයට හානි කරන පලිබෝධකයින් සිටින්නේ අතලොස්සකි. ගොයමට හිත මිතුරු සතුන් රාශියෙකි. කෘෂි රසායන යෙදීමෙන් මිතුරු සතුන් ද වැනසෙති. එම නිසා පලිබෝධකයින් පමණක් පලවා හැරීමට කරන ගොවිතැන සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක විධි ක්‍රමයක් බව පෙන්වා දිය යුතුය..

       පලිබෝධකයින් වගාවක සැරිසැරීම සිදු වන්නේ යම් කිසි කාලවකවානුවකදීය. උන්ගේ ජීවන රටාව තේරුම් ගැනීමෙන් මේ බව අවබෝධකට ගතහැකිය. ගොයම් මැස්සා පියාසර කරන සතෙකි. උන්ගේ බෝ වීම සඳහා කෙරෙන එක් වීම නිරීක්ෂණය කළහොත් මේ සතා පළවා හැරීම ට කෙරෙන විධි ක්‍රමය නිගමනය කළ හැකිය.පැරණියන් මණ්ඩේ ගැසීම නම් විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරන ලද්දේ මේ එක් වීම ට බාධා කිරීමටයි.එය සවස් වරුවේ කරන ලද්දකි. විශාල වශයෙන් පැතිරෙන දුඹුරු පැළ කීඩෑවා ගේද බෝ වීම මෙලෙස වලක්වා ගත හැකි බව දශක කීපයකට ඉහතදී පවා ගොවියන් සිය ප්‍රඥාව මගින් තේරුම් ගත්හ. ඒ සඳහා ඔවුහු  වේගයෙන් සුළඟට සෙලවෙන පොල් අත්තක් යොදා ගන්නා ලදී . එහි එල්ලන ලද උදළු තැටිලි මේ සෙලවීමට ඝණ්ඨා හඬ නන්වයි. එය ද සාමාන්‍යයෙන් සතුන් එක්වීම සිදු වන සවස් කාලයේ අටවා තබන ලද්දකි. උදලු තැටිල්ලෙන් ප්‍රතිරාව නිසා ගොයම් මැස්සන් ගේ බෝවීම වැළැක්වෙයි. ඒ අතරවාරයේ චන්ද්‍රයාගේ ගමන කලුවර පක්ෂයට හැරේ. එවිට ක්‍රමානුකූලව මැසි උවදුර පාලනයට ලක් වේ.

මතුගම සෙනෙවිරුවන්

 

ආශ්‍රිත ග්‍රන්ථ - කෙතක මහිම කෙම් පහන් - පියසේන කහඳගමගේ -1995

Saturday, August 6, 2022

වෙහෙරපිටියේ වෙහෙර විත්තිය පුරාවිද්‍යාවට වැදගත් නොවේවිද

 

 


 

                            

                  ලංකා ඉතිහාසයේ අප නොදත් තොරතුරු බොහොමයක් පවතී. වෙසෙසින්ම පූර්ව බෞද්ධ යුගයේ මෙරට තත්වය පිළිබඳ කරුණු හෙළිව පවතින්නේ ඉතාමත් ස්වල්පයකි. බුදුන් වහන්සේ තෙවරක්ම ලංකාවට වැඩම කර තිබේ.එය මහාවංශටීකාවද සනාථ කරතිබේ..ඒ යුගයේ මෙරට දිවි ගෙවූ යක්ෂ ගෝත්‍රිකයන් ගෙන් පිරිසක් දමනය කරලීමට ද උන් වහන්සේට සිදු විය.යක්ෂයන් පමණක් නොව නාගයන් සහ රාක්ෂයන්ද මෙරට වාසීන් බව ජනප්‍රවාදයේ පවතී.නමුත් සිද්ධාර්ථ කුමරු උප්පත්තිය ලැබූ අවදියේ දඹදිවත් ලංකාවත් අතර පැවති සම්බන්ධය පිළිබඳ පවතින තොරතුරු මෙතෙක් ගැඹුරෙන් සාකච්ඡාවට ලක් වී නොමැති යයි කල්පනා කළ හැකිය.

   පන්සිය පනස් ජාතක පොත් වහන්සේ තුල පවතින කතා වස්තූන් අතර මෙවැනි තොරතුරු අඩංගු ජාතක කතා හිඟ නොවේ.බුද්ධත්වයට පත් වීමට පෙර භවයන්හිදී බෝසතුන් මෙරටට වැඩම කල බව දැක්වෙන ජාතකයකි අක්කිති ජාතකය නොහොත් අකීර්ති ජාතකය. පෙර බ්‍රහ්මදත්ත රජ සමයේ දී ප්‍රසිද්ධ බමුණු කුලයක අකීර්ති නමින් උපන් බෝසාණෝ පිරවර සම්පත්තියෙහිද ලාභ සත්කාරයන්හිද කළකිරී   නිවසින් පිටත් වී දකුණු දඹදිව කාවේරි ගඟ අසළ තපස් සුවෙන් සිට  පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිය වැඩූහ.මේ බෝසතාණෝ ගේ ශීලය දුටු ජනතාව එතුමා දකින්නට නිතොර පැමිණෙන්ට වන. සපිරිවරත් ලාභ සත්කාරත් නොමදව ලබමින් සිටි නමුත් ඉන්ද වෙහෙසට පත් අකීර්ති තාපස තෙමේ  හුදකලාව විසීම වටනේ යැයි සිතා ආකාශ තරණය කරමින් නාගද්වීපය අසල  කාර දිවයිනට බැස එම දිවයිනේ කරගසක් ඇසුරු කොට පන්සලක් තනාගෙන වාසය කළ බව ජාතක කතාවේ දැක්වෙයි.එකල කාර දිවයින අභිදීප නම් වී යැයි දක්වා ඇත.

     බෝසතුන් වත්මන් කාරදිවයිනට නොහොත් යාපන අර්ධද්වීපය අසලම තිබෙන දූපතකට වැඩියේ කුමන කලකදැයි පැහැදිලි නැත. එහෙත් දඹදිව රජුන් ගේ ඥාතීන්ට සම්බන්ධ බොහෝ පිරිසක් ලක්දිව වාසය කළ කාලයක් යැයි සැක හැර කිව හැකිය.

     සිද්ධාර්ථ කුමරු උපන් ශාක්‍ය වංශයට දිගු ඉතිහාසයක් ඇත.ඒ සම්බන්ධව මහා භාරත කතාවේ දක්වන ප්‍රවෘතීන්ට අමතරව අපට විවිධ මූලාශ්‍රයන් සපයන තොරතුරුද භාවිතා කළ හැකිය.දඹදිව රජුන් ගැන සඳහන්  කරකණ්ඩු රජු ගේ මූලාශ්‍ර මීට උදාහරණයකි. කරකණ්ඩු රජු කාලිංග පෙළපතට අයත්ය.ලංකාවේ සෙල් ලිපි වල නිබඳව සඳහන් වන ඔකාවස් රජ පරපුරෙන් බට් යන යෙදුම යෙදිය හැකි එක් පෙළපතක් වන්නේ කාලිංග රජ පරපුරයි.පසුකාලයක වාම දන්ත ධාතූන් වහන්සේ සමග ලංකාවට සැපත් හේමමාලා කුමරිය  කාලිංග පෙළපතට අයත්ය.කරකණ්ඩු රජු ගේ එක් බිසවක් වූයේ රිතිවේගා කුමරියයි. මූලාශ්‍රයන්ට අනුව මේ බිසව ලංකාවේ රජ පෙළපතකට අයත්ය.බුද්ධ කාලයට පසුව ක්‍රි.පූ. දෙවන සියවසේදී රාජ්‍ය පාලනය කල ඛාරවේල රජු දකුණු ඉන්දීය දෙමළ බලය සුන් කර ඇත.එසේම යාපන අර්ධද්වීපයේ සිය චන්ද්‍රවංශ පෙළපතට වාසභූමියක් ලෙස සකස් කරන්නට උත්සාහ ගෙන ඇත.කාලිංග   පෙළපත විශේෂයෙන්ම හඳුන්වා දෙන නාමයක් වන්නේ මහාමේඝවන්න නාමයයි.දන්ත හේමමාලා යුවල ලංකාවට සැපත්වන අවදියේ මෙරට රජ කලේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාය.මේඝවණ්න නාමයෙන් මේ සම්බන්ධය ඉතා පැහැදිලි වේ.

          


 

 

       වර්තමාන කාරදිවයිනේ උතුරු අන්තය කෙළවර ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් පිහිටා තිබේ.එය හඳුන්වන්නේ වෙහෙරපිට්ටි යනුවෙනි. අක්කර පහක පමණ භූමි භාගයක පැතිර පවතින නටබුන් සහිත ප්‍රදේශය මේ වන විට විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගෙන තිබේ.වෙහෙරපිට්ටි යනු වෙහෙර නොහොත් ස්තූප කීපයක් තිබෙන පූජා භූමියකි. යපනයේ වලිකාමම් හි පවතින කදුරුගොඩ චෛත්‍ය සංකීර්ණයේද මෙලෙස කුඩා කුඩා ස්ථූප ගණනාවක් පවතී.ජාවා බොරෝ බුදූර් ආභාෂයෙන් තැනූ මේ ස්ථූපයන් මෙරට ඉතිහාසයේ වැදගත්ම බෞද්ධ ස්මාරකයන් ලෙසට හඳුන්වාලිය හැකිය. බෝසතුන් වහන්සේ කාරදිවයිනට වැඩම කර වාසය කල ස්ථානය වෙහෙර පිටිය දැයි අප සොයා බැලිය යුතුය.ජාතක පොතේ සඳහන් ඒ සිද්ධිය ඇසුරු කොට වෙහෙරපිටිය බෞද්ධ සිද්ධස්ථානය ගොඩ නන්වනන්ට ඇතැයි වෛද්‍ය  අර්ජුන වීරසිංහ මහතා දක්වා ඇත. පන්සිය පනස් ජාතක පොතේ 472 කතා වස්තුවේ පුස්කොළ ලියවිල්ලක් එතුමාට එංගලන්තයේ රාජකීය ආසායාතික සමිතියේ පුස්තකාලයේ තිබී දකින්නට ලැබී තිබේ. මෙරට ජාතක කතා මාලාවේ යටකී ජාතකයේ දක්වා නොමැති වක්‍ය කීපයක් එම පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් යැයි එතුමා පවසයි.

          2016 වර්ෂයේ දී පුරාවිද්‍යා නිළධාරීන් පිරිසක් සමග එම ස්ථානයට පැමිණි වෛද්‍ය අර්ජුන වීරසිංහ මහතා එම ප්‍රදෙශයේ පූර්ණ ගවේශනයක් සිදු කර ඇත. ඊට පෙර මහාචාර්ය පෙන්නම්බලම් රඝුපති මහතාගේ ගවේශනයේ දී වෙහෙරපිටිය පුරාවිද්‍යා ස්ථානය ගැන වෙසෙසින්ම සඳහන් කරතිබේ. ලන්දේසීන් විසින් හැමන් හිල් බලකොටුව සකස් කරන කල්හි මෙම වෙහෙරපිටිය විහාරස්ථානයේ තිබූ හුණු ගල් ගලවා ගෙන ගිය බව එහිදී දක්වා තිබේ. කෙසේ වෙතත් අද වන විට මෙම වෙහෙරපිටිය විහාස්ථානයට හිමි ව පවතින්නේ ඉතා කුඩා භූමි භාගයකි.එහි තිබෙන ස්ථූපයේ එක් කොටසක් හාරා විනාශ කර තිබේ. ඒ අසලින් ගෙවල් තනා ඇති අතර ස්ථූප තුළින් හමු වූ හිරිගල් කරඬුවක් එම නිවසක තිබී පසුව දැනට යාපනයේ පුරාවිද්‍යා කෞතුකාගාරයට ලබාගෙන තිබේ.විශාල පාදම් ගල් අනුරාධපුර යුගයට අයත් උලුකැට මෙහි බහුලය.හිරිගිලින් තැනූ ගොඩ නැගිලි අවශේෂ විශේෂයෙන්ම අත්තිවාරම් විශාල ප්‍රදේශයක් පැතිර පවතී.රෝමකාසි සහ අරාබි කාසි රතුකලු මැටි බඳුන් කැබලි ආදීන් ගෙන් සනාථ වන්නේ විහාරස්ථානයත් සමග පැවති ජනාවාසයක ස්වභාවයයි.

   වෛද්‍ය අර්ජුන වීරසිංහ මහතා විසින්2016 දී පුරාවිදයා දෙපාර්තමේන්තුව වෙත කරන ලද ඉල්ලීමට අනුව මෙම ස්ථානයේ ගවේශන රැසක් කර ඇත. නමුත් මෙම ඉඩම් අල්ලා ගෙන සිටි ජනතාව ස්ථානය මැනීමට කීප වරක්ම ඉඩ නොදීම නිසා පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදයට පත් වී තිබේ. විධුර වික්‍රමනායක ජාතික උරුම අමාත්‍යවරයා සහ අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා එම ස්ථානයට ගිය අවස්ථාවේ දීද ආක්‍රමණික පිරිස කරන ලද බාධා කිරීම් නිසා නිළධාරින් යලිත් පසුබට වී ඇතැයි දැනගන්නට තිබේ. ඒහෙත් යාපනය භාර සහකාර අධ්‍යක්ෂවරයා විසින් කොළමට එවන ලද පුරාවිද්‍යා වාර්තාවට අනුව මේ වන විට මෙම ස්ථානය බෞද්ධ ස්මාරකයක් ලෙසට ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍යංශයට යොමු කර තිබේ. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහතා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සිටි කාලයේ යවනලද මෙම ස්මාරක ලැයිස්තුව එතුමා ධූරයෙන් ඉවත්වන තෙක්ම අත්සන් කර නොමැති බව දැන ගන්නට ඇත.. පසුව වර්තමාන අමාත්‍යවරයා යටතේ නැවත ගැසට් කිරීම සඳහා යොමු කර ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේශන අංශ භාර නිළධාරීන් දන්වා ඇත.

 


 

 බෝසතුන් වහන්සේ වැඩ විසූ තැනක් වශයෙන් අනුමාන කළ හැකි ඉතා වටිනා බෞද්ධ පූජා භූමියක ඉඩම් නීත්‍යානුකුල කර කැණීම් සංරක්ෂන කටයුතු කිරීම පුරාවිද්‍යෘ දෙපාර්තමේන්තුවේ පූර්ණ වගකීමයි.අසල් වැසි ඉන්දියාවේ දේශපාලන ග්‍රහණය නිසා හෝ වෙනයම් හේතුවක් මත හෝ මෙවැනි තැන් විනාශ වී යෑමට ඉඩ දී බලා සිටීම බලවත් අපරාධයකි.වෛද්‍ය අර්ජුන වීරසිංහ මහතා වැනි පුරාවිද්‍යා සංරක්ෂණයට ලැදි පිරිස අනන්ත අපමණ පිරිසක් විදේශ වල ජීවත් වේ. ඔවුන් ගෙන් උදව් උපකාර ලබා ගැනීමට කටයුතු කිරීම අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ යුතුකම යැයි සිතමි.එසේත් නොමැතිව ඊනියා දෙමල ඩයස්පෝරාවෙන් හෝ .යාපන අර්ධද්වීපය ගොදුරු කර ගැනීමට බලා සිටින ඉන්දීය ව්‍යාප්ත වාදීන් ගෙන් උදව් ගැනීමට සිතන්නේ නම් එය මෙරට ‌ෙඑතිහාසික උරුමය පාවාදීමක් ලෙසට සැලකිය හැකිය.

මතුගම සෙනෙවිරුවන්