කෘෂිකාර්මික
පසුබිමක් සහිතව අනාදිමත් කාලයක සිට සිංහල සංස්කෘතිය හැඩ ගැන්වී ඇත. කෘෂිකර්මයට
පදනම්වන්නේ සූර්ය ශක්තියයි. එසේම චන්ද්‍රයාගේ ආකර්ශණය නිසා වර්ෂාව ඇති වෙයි.මේනිසා
සූර්යයා සහ චන්ද්‍රයා මුල්කරගත් සංස්කෘතියක් වශයෙන් විකාශනයට පත් වී ඇත. සූර්යයා
වටා පෘතුවිය ගමන් කරයි.එම චලිතය වරක් සම්පූර්ණ වීම අවුරුද්දක් ලෙසට සැලකේ.අවුර්
යනු සූර්යයාට නමකි.බක් මාසය (අප්‍රියෙල්) වන විට සූර්යා ලංකා භූමියට මුදුන් වීමට
පටන් ගනී. එම චලිත අවස්ථා වෙනස් වන නමුදු අප්‍රියෙල් පස්වන දා සිට සතිදෙකක පමණ
කාලයක් තුළ සූර්යයා ලංකාවට හරි කෙලින් ඉද්දක් මෙන් සිටී.එනම් සූර්යයා පෘතුවීයට
ඉතාම ආසන්නයෙන් ගමන් කරයි.මේ තත්වය මත අවුර් + සෘතු - අවුරුතු - අවුරුද්ද යනුවෙන් ව්‍යවහාරයට
පත් ව ඇත. සූර්යා සියලුම කෘෂිකාර්මික භෝග වලට ශක්තියක් ලබා දෙන බැවින් සූර්ය
වන්දනාව පෙරදිග ජාතින්ගේ සිරිතක් බවට පත් විය.ඒ තත්වය මත ඉන්දියාව ලංකාව බුරුමය
තායිලන්තය ආදී රටවල ජනතාව තමන්ගේ රටට හිරු මුදුන් වන කල්හි වසන්ත උත්සව පවත්වා සොබාදහමට
කෘත ගුණ දක්වා ප්‍රීති වූහ.ලංකාවේ සූර්ය උත්සවය සිංහල අලුත්අවුරුද්දයි.නමුත් ඒ ප්‍රීති
උත්සවය ආරම්භ වන්නේ නව සඳ බැලීමෙන් සහ මඩු උත්සව පැවැත්වීමෙනි.
1/
නව සඳ බැලීම
බක් මාසය ආරම්භ වන්නේ මැදින් මස (මාර්තු මස )
ගෙවී එළඹෙන අමාවක නැතිනම් මාසපෝය දිනයෙනි.මාසය ගණනය කිරීමේ එම ක්‍රමය අමාන්ත ක්‍රමයයි.මසපෝය
දිනය පූර්ණ වශයෙන් කලුවර වේ.අමාවක දිනයෙන් පසුව එළඹෙනුයේ පෑලවිය දිනයයි. පෑලවිය
දියවක තියවක ජලවක විසේනිය සැටවක සතවක අටවක නවවක දසවක එකොලොස්වක දොලොස්වක තෙලෙස්වක
තුදුස්වක යනුවෙන් චන්ද්‍රයා ගේ ගමන තිථි වලට බෙදා දක්වා ඇත. අමාවක ගෙවී පළමු තිථිය
පෑලවිය තිථියයි.චන්ද්‍රයා කලුවර පක්ෂයෙන් මිදී සඳ ක්‍රමයෙන් මෝදු වෙමින් තිබෙන
අවස්ථාව නැතිනම් ළාසඳ නව සඳ ලෙසට ගැනේ. සිංහල ජනතාව නව සඳ බලා ප්‍රීති උත්සවය
පැවැත්වූහ.මේ බැව් සීගිරි කුරුටු ගී වල පවා සඳහන්ය.
2/
පරණ අවුරුද්ද සඳහා ස්නානය -
සිංහල
අවුරුද්දට ප්‍රථමයෙන් සියලු වැඩ අවසන් කිරීම සිංහලයන්ගේ සිරිත විය.විශේෂයෙන්ම
බක්මාසයෙන් ආරම්භ වන යල කන්නයේ මූලික කෘෂිකාර්මික කටයුතු අවසන් කිරීම ඒ අතර
විය.ඉතා දැඩි අව් රශ්මියක් පතිත වන බක් මාසයේ කුඹුරු වල මහන්සි වී අවුරුද්දට
සූදානම් වීම ඇරඹෙයි.නිවාස සුද්ද පවිත්‍ර කිරීම වැනි කාර්යයන්ද නවකම්ද අවසන් කල
යුතුය.ඒ සියල්ල කළ පසු ජල ස්නානය කර පිරිසිඳු වී අලුත් අවුරුදු වසන්ත උත්සවයට
මුහුණ දිය යුතුය.අවුරුදු දිනයට ප්‍රථම දිනය පරණ අවුරුද්ද ලෙස ගැනේ.ඊට පෙර නා
පිරිසඳු වීමට සිදු වේ.මේ පිළිබඳව ජ්‍යෙතිෂය මතයක්ද පවතී. අවුරුදු සංක්‍රාන්තිය
සිදු වන්නේ සූර්ය මාස ක්‍රමය අනුව මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන අවස්ථාවේ
දීය.මීන රාශිය උදාව තිබියදී පවතින්නේ රේවතී නැකතයි.රේවතී නැකතත් මීන රාශියත් එකට
අවසන්වීම දුර්ලභය. ඒවැනි අවස්ථාවන් ඝණ්ඩාන්තයක් ලෙසට ජ්‍යෙතිෂයේ හඳුන්වයි.එවැනි
අවස්ථා හතරක් පවතී.මේෂ රාශිය තේජෝ රාශියකි.තේජෝ බලයට මුහුණ දිය හැකි වනපරිදි
හොඳින් ජල ස්නානය කළ විට මනුෂ්‍යායගේ ලෙඩ රෝග දුරුවේ.
ඒ
අවස්ථාවට අදාල ශාකයුෂ වලින් නානු සකස් කර හිසේ ගල්වා ස්නානය කිරීමෙන් පරණ
අවුරුද්දේ දොස් දුරු කර ගැනීමට හැකියාවක් ලැබේ යැයි විශ්වාසයක් ඇත.
අලුත්
අවුරුදු උදාව ආහාර පිසීම වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය -
සූර්යයා
මීන රාශීයෙන් මේෂ රාශියට ගමන් කිරීම පෘතුවියේ සිටින අපට සාපේක්ෂව දැනෙන ආකාරය නම්
අධික සූර්ය රශ්මිය සහිත කාල පරිඡේදයයි. මේ රාශි දෙක අතර සූර්ය හුවමාරුව සිදු වන
කාලයට නොනගතය යයි නම් කර තිබේ.පැමිණියාවූත් නොපැමිණියාවූත් කාලය නොනගතයයි.අවුරුදු
නැකත් සියල්ල දක්වා තිබෙන්නේ මේ කාලය තුළය. නැකත් නොමැති කාලයක් ලෙසට ඇතැමුන්
දක්වා තිබුණද පැහැදිලිව ඒ කාලය තුළ නැකැත් පවතී.විශේෂයෙන්ස අවුරුදු උදාවට ප්‍රථම
සියලුම වැඩ නැවැත්වීමත් අවුරුදු උදාවත් සමග තිබෙන කාලය පුණ්‍යකාලය ලෙසට ගැනීමත්
සිරිතකි.පුණ්‍ය කාලය තුළ විහාරස්ථාන සඳහා ගොස් මල් පහන් පූජා කිරීමද භික්ෂූන්
වහන්සේලා හමු වී වැඳ අවසර ගැනීමද සිදු වේ.අවුරුදු උදාවට පෙර ලිප ගිනි දැල්විය
යුතුය.නිවසක සෑම දිනකම ගිනි දැල්වීම ගිනි දෙවියන් පිදීමකි.අවුරුද්ද පුරාවටම එලෙස
උදෑසන නැගිට ගිනි දැල්වීමෙන් නිවසක සෞභග්‍ය උදාවන බවට තිබෙන මතයකි.අවසානයේ අවුරුදු
දිනයට පුණ්‍ය කාලය එළඹෙන්නට ප්‍රථම මේ ගිනි දැල්වීම නතර කිරීම සිදු වේ.ඊට ප්‍රථම
මුලු තැන් ගෙහි දුස්ද පවිත්‍ර කිරීම කොට ගොම මැටි ගා ලිප අලුත් වැඩියා කර තබා
ගනී.එවිට අලුත් අවුරුද්දේ ගිනි දල්වනුයේ ඒ අලුත් පරිසරයක් තුළය. මානසිකව අලුත් වීම
ගිනි දෙවියන් වෙනුවෙන් ගිනි දල්වා නව වසරට කරන ප්‍රාර්ථනය ඒ සියල්ල ඉන්
බලාපොරොත්තු වේ.
ආහාර
පිසීම -
ආහාර පිසීමේ කටයුතු නිවසක භාරව සිටින කාන්තාව
ශ්‍රියා කාන්තාවක් බවට පත් වන්නේ මුලු තැන් ගෙයි කටයුතු නොපිරිහෙලා සිදු කරන
කල්හිය.ගොවිතැන් කොට නිෂ්පාදනය කරන ලබන අස්වැන්න නිවසට රැගෙන පැමිණි පසු පිරිසිදු
කොට වේලා වනේ ලා කොට සහල් හෝ ධාන්‍ය බව
පත් කර ගබඩා කර තබා ගැනීමෙන් පසු සෞඛ්‍යආරක්ෂිතව පිස ගැනීම කාන්තාවගේ යුතුකමකි.බත්
සමග අවුලා යන ව්‍යංඡන සියල්ල ඇය අතින් සකස් වනුවේ සැමියා දරුවන් ඇතුලු මුලු පවුලේම
සෞඛ්‍ය සුරක්ෂිත කරලීම පිණිසය.රසය ගුණය සුරැකෙන පරිදිය.අලුත් අවුරුදු උදාවත් සමග
ලිප ගිනි දල්වා ආහාර පිසීම කරති. ලංකාව පුරා එම චාරිත්‍රය එකවර ඉටු කරන විට ජනිත වන චිත්ත ශක්තය සුලු පටු නොවේ.සෑම
නිවසකම කරන එම කටයුත්ත මගින් රටේ ඒකාග්‍රතාවය ඇති වේ.
වැඩ
ඇල්ලීම -
අනතුරුව
යෙදී තිබෙන්නේ වැඩ ඇල්ලීමයි.ආහාර අනුභවයට පෙර වැඩ ඇල්ලීම සිරිත වේ.මන්ද නිෂ්පාදනයේ
යෙදෙන පුරුෂ පක්ෂය තමන් පරිහරණය කර කැත්ත උදැල්ල යලි සක්‍රීය කිරීම ඒ මගින් සිදු
වේ නිෂ්පාදන වර්ෂයක ආරම්භය සනිටුන් කිරීම
එහි අරමුණයි.ඊළඟ වසරේ රටේ ආහාර නිෂ්පාදනයට රටේ සියලුම ජනතාව මානසිකව ඒකාග්‍රවී
සූදානම් වීම මෙහිදී සිදුවේ. ආහාර අනුභය සඳහා පවුලේ සියලු දෙන ආහාර මේසයට හෝ
පැදුරකට ඒකරාශිවන්නේ ඉන් අනතුරුවයි. පහන්
දල්වා සූදානම් කරගත් මේසය මත සකස් කරන ලද කැවුම් කොකිස් වැලි තලප තල ආදී රස කැවිලි
කෙසෙල්ගෙඩි සමග කිරිබත් අනුභව කිරීම සිංහල ජනතාවගේ සිරිතයි.කිරිබත් සමග අනුභව කරන
රසකැවිල්ලේ තල තිබේ නම් ඊළඟ වසරේ තල අස්වැන්න තව තවත් බෝ කිරීමට මෙහිදී අධිෂ්ඨාන
කෙරේ.අග්ගලා තිබේ නම් සහල් නිෂ්පාදනය පිළිබඳ අරමුණු වලට එළඹීමට හැකිය.
ගනුදෙනු
කිරීම -
අනතුරුව
යෙදී තිබෙන්නේ ගනු දෙනු කිරීමයි.මුල්ම ගනුදෙනුව සිද්ද වනුයේ ළිඳ සමගයි.එයට හේතුව
ජලය ශුද්ධ වස්තුවක් වීමයි.ජලය සුරැකීම. පිරිසිඳුව තබා ගැනීම ජාතියේම යුතුකමක්
විය.නිවස ආසන්නයේ පවතින ළිඳෙන් පෙර වසරේදී ලබා ගන්නා ලද පැන් භාජනය අහවර කොට
අලුත් පැන් භාජනයක් ලබා ගැනීමට නිවසේ කාන්තාව පෙළඹේ.ඉන්පසු ළින් ජලයට අඟුරු තඹ කාසි සහ ඉඟිනි ඇටද එකතු කිරීම සිදු වේ. මෙහි
අරථය නම් ළිඳේ පිරිසිදු බව රැක ගැනීමයි.අවුරුදු චාරිත්‍ර කරන හැම අවස්ථාවකදීම ඒ
දිනයට සහ ග්‍රහයින්ට අදාල වර්ණ සහිත වස්ත්‍රභරණයෙන් සැරසීමද සිංහලයන් ගේ
සිරිතකි.පෙර කල වසන්ත උත්සව සමරන කල්හි මෙලෙස විවිධ වර්ණ සහිත වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්නට ඇත.
හිස
තෙල් ගෑම -
හිස
තෙල් ගෑමේ චාරිත්‍රයෙහි පසුබිම පවතින්නේ ආයුර්වේද සිද්ධාන්ත මතය.නව අවුරුද උදාවත්
සමග නානු ගා තෙල් හිස මත ගැල්වීම නැකතකට සිදු වේ.පයට සහ හිසට ඒ අවස්ථාවේ දී අදාලව
තිබෙන ශාක වර්ග වල පත්‍ර එළා සියලු දෙන එකම මොහොතක හිස තෙල් ගැල්වීම කරති.පළමුව
නානු ගෑමෙන් හිස සිසිල් වේ. දෝෂකෝප තත්වයන් සමනය වේ.මේෂ රාශිය තේජෝ රාශියක් බැවින්
හිස සිසිල් කර නව අවුරුද්දට සූදානම් කිරීම මින් අදහස් වේ. අනතුරුව ඇසට හිසට
හිතකාරී තෙල් වර්ගයක් ආලේපනය සිදු වේ.ජල ස්නානයේ දී ජලයට බැස නෑම මෙහිදී අනුමත ක්‍රමයයි.ඒ
මගින් මුලු ශරීරයම උත්තේජනය වේ. ඇස් රතුවන තුරුම ස්නානය කළ යුතු යැයි පැරණීයන්
කියා ඇත.මේ කාර්යයන් තුළ සියලු දෙන තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන මෙනෙහි කරන්නට අධිෂ්ඨාන
කරති.ආහාර අනුභවය තුලින් කලට වේලාවට වැඩ කිරීම තුලින් ලබා ගත් ජාතිත ඒකාග්‍රතාවය
වඩා ශක්තිමත් කල හැක්කේ ජාතිය නිරෝගී වුවහොත් පමණකි.ඒ නිසා හිස තෙල් ගැලවීමේ
චාරිත්‍රය විවිධ පූජ්‍ය ස්ථානයන් හිදී සිදු කෙරේ. විශෙෂයෙන්ම දළදා මාළිගයේ කරඩුව
වැඩම්මවන හස්තියාගේ සිරසේ තෙල් ගල්වනු ලබනුයේ එම හස්තියාගේ කාර්යභාරය ට ඉහළම
වටිනාකමක් දීමෙනි.හිස තෙල් ගැල්වීමේ චාරිත්‍රයෙන් පසුව දවස් කීපයකින් රැකියා සඳහා
පිටත්ව යෑමටද නැකතක් සූදානම් කෙරේ. විශේෂයෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා පිටත්ව යෑම
ඉන් අපේක්ෂා කොරේ. අවුරුද්දට ප්‍රථම වපුරන ලද කුඹුරු වල ගොයම් පැලපත පරීක්ෂා කිරීම
ලෙඩ රෝග ඇත්නම් කෙම්පහන් කිරීම සිදු කරන්නේ මේ කාලවකවානුව තුළය.මේ අවස්ථාවේ දීද
ගිතෙල් මිශ්‍ර කිරිබත් අනුභව කර සතුටු වී පිටත් වීම සිරිතයි.
නෑ
ගම් යෑම -
සිංහල
ගමක පැවති සහලේ වරිග ඥාතිත්වය සහ ඥාති හිත මිත්‍ර සම්බන්ධය ඉතා ප්‍රබලය. ගමක
නිෂ්පාදන සාමුහිකයේ පැවැත්ම රඳා පවත්නේ ඥාතිත්වය මතය. ගමට නිෂ්පාදනයෙන් සහ සම්බන්ධ
වන ඥාතීන් මෙන්ම ශිල්ප ශ්‍රේණි අලුත් අවුරුද්දේ වැදගත් කොට සලකති.අවුරුද්දට ප්‍රථම
ගමේ කුඹල් කරුවන් වළන් හට්ටි මුට්ටි රැගෙන නිවෙස් වලට පැමිණෙති.ඔවුන් වෙනුවෙන්
වෙන් කොට තබන වී අස්වනු කොටස ලබා දෙති.ඒ අතර පැණි හකුරු සපයන්නන්ද ප්‍රධානය.
අවුරුද්දට රස කැවිලි තැනෙන්නේ ඒවා පදනම් කොට ගෙනයි.ඔවුන්ටද අස්වනු කොටහක් වෙන්
වෙති. රෙදි අපුල්ලන්නන් ගමේ සෑම පවුලක් සමගම ඉතා කිට්ටු සම්බ්ධතාවයක් පවත්වාගෙන
යති.අවුරුද්දට ප්‍රථම අවශ්‍ය අලුත් ඇඳුම් පිරිසිදු කොට ලබාදෙන අතර අස්වනු හුවමාරුව
සිදු වේ. අවුරුදු නැකැත් ගෙවී හිස තෙල්
ගෑමේ දී ගමේ ඥාතින් යලිත් එකිනෙක මුණ ගැසේ.අවුරුදු කෙළි සෙල්ලම් ඇරඹෙති.ඉන්පසු
නෑගම් යෑමේ චාරිත්‍රය ආරම්භ කරති.ගමේ වැඩිහිටියන් හමු වීම ඔවුන්ගේ සුවදුක් බැලීම
අලුත් ඇඳුම් කීපයකින් සංග්‍රහ කිරීම ප්‍රධානය.ඒ අතරට කලින් සූදානම් කරගත් කැවිලි
පෙට්ටි ද ගෙන යෑමට අමතක නොකරති. කැවුම් කොකිස් අතිරස වැලිතලප මුං කැවුම් ආදී
නොයෙකුත් රස කැවිලි අවශ්‍ය කරමට සකස් කොට ඥාති නිවෙස් වලට රැගෙන යෑමට කල් තියා
සූදානම් වීම සිරිතකි.වැඩිහිටියන්ට බුලත් දී නැමදීමද ඉදිරි අවුරුද්දේ කළ යුතු
වැදගත් රාජකාරි කතිකා කර ගැනීම සිරිතකි.කැවිලි හුවමාරු කර ගැනීමද වැදගත් චාරිත්‍රයකි.දුගී
ඥාති කෙනෙකු හමු වීමට යෑමේදී ද මේ චාරිත්‍ර ඉටු කරන නමුත් ඔවුන් වෙත රස කැවිලි වලට
අමතරව වී අස්වනු කොටසක් සහ අලුත් ඇඳුම් රැගෙන යෑමටද අමතක නොකරති. දකුණු පළාතේ මේ
චාරිත්‍ර සහ ආහාර වෙනස් වේ.මාලු ඇඹුල් තියල් කරවල කූරි ආදියද නිවෙසකට රැගෙන යති.ඒ
අතර මුදලින් ගනුදෙනු කිරිම සිදු කරති.ගමෙන් පිට ඥාතීන් හමු වීමේදීද මේ චාරිත්‍ර
සිදුකරන අතර වගා කිරීමට අවශ්‍ය බිත්තර වී ද රැගෙන යෑමේ සිරිතක් පැවති බව පෙනේ.
පරිසරවේදී
මතුගම සෙනෙවිරුවන්