පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, April 5, 2022

අලුත් අවුරුද්දට දෙමුහුන් උදුනකට තැන දෙමු

 

                                       


          ඛනිජ තෙල් නිෂ්පාදනයක් වන එල්.පී. ගෑස් නිවසක අත්‍යවශ්‍ය බල ශක්තියක් වී ඇත. දැලි බැඳෙන කුස්සියට ආයුබෝවන් කියූ නවීන සිංහලයන් යුරෝපීය පන්නයට ගැලපෙන ආකාරයට පැන්ට්‍රියක් නිර්මාණය කරගත්හ.ඒ මත දිලිහෙන ගෑස් උදුනක් තබා ගත් විට මධ්‍යම පන්තික වටපිටාවක් නිර්මාණය වේ.නිවෙස් හිමියාගේ තත්වය මැනීමට මෙවැනි නවීන මුලුතැන් ගෙවල් අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් කරන ලද්දේ පාරිභෝගික කරුණු වලට මුල් තැනක් දුන් විවෘත ආර්ථික ක්‍රමය පසුබිම් කොට ගෙනයි.මේ ක්‍රමයට රට හැඩ ගැසී දැන් වසර හතළිහක් පමණ ගත වී තිබේ.විදුලිය පොසිල ඉන්ධන සහ ගෑස් නොමැතිව මෙම මධ්‍යම පන්තික සමාජය නඩත්තු  කළ නොහැකි තත්වයට පත්ව තිබේ.පොසිල ඉන්ධන යම් දවසක හිඟ වන බව දැන සිටියද පාරිභෝගික සමාජය මෙයට ඇලී ගැලී අවසන්ය.වර්තමාන බලශක්ති අර්බුදයත් සමග මෙම යටිතල පහසුකම් සියල්ල අහිමි වී ගොසින්ය.ජනතාව ගෑස් පෝලිම් වල කාලය නාස්ති කරන අතර ආණ්ඩුව බරපතල දේශපාලන ගැටළුවකට මුහුණ පා සිටී.

          වෙළෙඳ පළ ආර්ථ ක්‍රමයක් පවත්වාගෙන යන රටක් සහමුලින්ම ස්වයංපෝෂිත ආර්ථිකය අමතක කර දැමීම ඛෙදවාචකයකි. එදිනෙදා ආහාර අවශ්‍යතාවයට පිරිමහින වී සහල් ටික නිපදවා ගැනීම බලශක්ති වුවමනාවන් සඳහා රැස් කරගත හැකි දර පොල් කොළ අඩුක්කු කර ගැනීම පා පැදියෙන් ගමන් යෑම ලැජ්ජාවට කාරණයක් නොවේ.කුහුඹුවන් පේළි ගැසී ආහාර එක් රැස් කරගන්නේ වැහි කාලයට ප්‍රයෝජනයට ගන්නටයි. නමුත් පළ ගැටියා එසේ නොවේ. ගී ගයමින් විනෝද වන මේ සතා වැහි කාලයට අර්බුදයකට මුහුණ පායි. වර්තමාන සිංහලයාද එසේය.වසර දෙදහස් පන්සීයක පමණ කාලයක් තිස්සේ අනුගමනය කළ පුරුදු අතහැර ඔවුහු නවීන පන්නය පමණක් බදා ගත්හ.යම් ගමකට විදුලි රැහැන් ඇද විදුලිය ලබා දුන් පසු මුලින්ම ගමට යන්නේ විදුලි උපකරණ වෙළෙන්දන්ය.ගමට මධ්‍යම පන්තික ආකල්ප යන්නේ එලෙසය.මූල්‍ය ආයතන වලට ණය වී ගමේ කාන්තාවන් සිය ජීවිත අවුල් කරගැනීමට පෙළඹෙන්නේ මෙම ආකල්ප නිසාය.නමුත්  ගෑස් ලිප් රයිස් කුකර් වෙළෙඳ පලේ විකිණෙන්නට පටන් ගත් පසු ඉදිරියේදී එන අභියෝගය දුටු විද්‍යාඥයන් සිටියහ. ඔවුහු අනාගතය දෙස බලමින් යම් යම් නිර්මාණ බිහි කර ජනතාවට හඳුන්වා දුන්හ.නමුත් ගැටළුව වන්නේ ජනතාව ඒ නිර්මාණ භාර නොගැනීමයි.කාර්යක්ෂම දර උදුන් නව නිර්මාණ තරඟ වල ජයග්‍රාහී තැන් ලබා ගත් ඒවා පමණක් විය.ජීව වායු ඒකක මුලින්ම නිර්මාණය කරන ලද්දේ නර්ඩ් ආයතනයයි. ඒ නිර්මාණ ප්‍රදර්ශන වලට පමණක් කොටු කරලීමට පැවති ආණ්ඩු කටයුතු කළහ.

      මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ එවැනි විකල්ප නිර්මාණයයක් පිළිබඳවයි.අද කාලයට ගැලපෙන මෙම නිර්මාණයට 2012 වසරේ දී විශේෂ පිළිගැනුමක් හිමි විය. නමුත් එවකට සිටි ආණ්ඩුව මේ නිර්මාණය වෙළෙඳ පළට ඉදිරිපත් කිරීමට දහිරිය ලබා නුදුන් බව පැවසේ.රත්නපුරේ ගෝනකුඹුරේ පදිංචි නිහාල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ  නව දෙමුහුන් උදුන අද කාලයට ගැලපෙන ඉතා සාර්ථක බලශක්ති විසඳුමක් බව පෙන්වා දිය හැකිය.  හොරණ රාජකීය විදුහලෙන් මූලික අධ්‍යපනය  නිමා කල නිහාල් රාජපක්ෂ පසුව වැඩිදුර අධ්‍යාපනය පිණිස රත්නපුර කාර්මික විදුහලට ඇතුලත් වන්නේ සිය පියා ගේ රැකියා ස්ථානය රත්නපුරයේ පිහිටා තිබීම හේතු කොටගෙනය. ඉන් පසුව කාර්මික ශිල්පියෙකු ලෙස රත්නපුරයේ ගෝනකුඹුර ප්‍රදේශයේ සෑහෙන කලක් කටයුතු කළ හෙතෙම මැණික් පතල් කරුවන් ගේ වර්තමාන ප්‍රශ්ණයන්ට කාර්මික අංශයෙන් පිළිතුරු සෙවූවෙකු විය.            

           ඔහු වර්තමාන ගෑස් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට නවීන තම දෙමුහුන් උදුනක් හඳුන්වා දී තිබේ. දිනක් කාර්ය  බහුල අවස්ථාවක නිවසෙන් පිට දර ලිපක් සාදා දෙන්න යයි ඔහුගේ බිරිඳ  හදිස්සියේම කල ඉල්ලීම නිසා  අපහසුතාවටයට පත් ඔහු ගෑස් ලිප උඩ විදුලි පංකාවක කවරය මුනින් අතට නවා එය මත දර කීපයක් තබා ලිපක් සාදා දුන්නේය.හදිසියේ මතු වූ එම උදුන පසුව ඔහු අතින්  වඩා කාර්යක්ෂම දර ගෑස් දෙමුහුන් උදුනක් බවට පත් වීමට වැඩි කලක් ගියේ නැත.එහි විශේෂතාවය වන්නේ ගෑස් වලින් දල්වා දර මගින් පවත්වා ගෙන යාමයි. සාමාන්‍ය කාර්යක්ෂම දර උදුන් වල තිබෙන දුර්වලතා අධ්‍යනය කළ හෙතෙම ගෑස් උදුනට ඉහලින් දර දැමීමට හැකි කුටීරයක් වාත්තු ක්‍රමයට නිර්මාණය කලේය. 2012 වර්ෂයේ දී පරණ ගෑස් ටැංකියක් කපා සැදූ මෙම උදුන පසුව ඇලුමිනියම් වලින් වාත්තු කොට නිමා කරන ලද්දේය.

      අඟල් අටත් එකොළහත් අතර ප්‍රමාණයක උසක් පවතින මෙම දර කුටීරයට දර පොල් කටු ආදිය දැමූ පසු ගෑස් වලින් දැල්විය යුතුය. පැරණියන් දර දැල්වූ එක් අමුද්‍රව්‍යයක් වන්නේ ඔට්ටපාලුය.ඒවා ලිප දැල්වීමට ආරම්භයක් දුන්නේය.නිහාල් ගේ කල්පනාව මෙයට යොමු විය.. ඔට්ටපාලු වෙනුවට ගෑස් ලිප මෙයට යොදා ගත්හ.ගෑස් දැල්ල මගින් දර දැල්වීමෙන් පසුව ගෑස් උදුන නිමා දැමිය යුතුය. ඉන්පසු පහළින් ඇද ගන්නා අම්ලකර වායුව මගින් නොකඩවා දර දැල් වේ. කාර්යක්ෂමාවය නිසා අලු හා අඟුරු ද ඉතිරි නොවේ. නමුත් තෙත දර හෝ පොල් ලෙලි දැමූවිට පමණක් දුමක් නැගෙන බව ඔහු පවසයි. මෙම උදුන කොටස් දෙකකි. එකක් ගෑස් සිලින්ඩරයට සවි කරන ලද කොටස වන අතර එයට ඉහළින් දර ලිප පිහිටා ඇත. අවශ්‍ය විටකදී දර ලිප අංශක අනූවකින් කරකවා පැත්තකට කළ හැකි වන අතර ගෑස් ලිප වෙනමම දැල්විය හැකි වේ.  මාසයකින් අවසන් වන ගෑස් සිලිනඩරයක්  මෙම ක්‍රමයට භාවිතයට ගැනීමේ දී මාස හතක් අවුරුද්දක් පමණ පාවිච්චි කළ හැකිය. ඇලුමිනියම් වලින් වාත්තු කොට සාදා ඇති බැවින් මෙම උදුන මල නො බැඳේ. එසේම ගින්නට පිලිස්සී නොයයි.මෙම උදුන නිපදවීමට දැනට රුපියල් අටදාහක පමණ  මිළක් එකතු වී ඇත. නිහාල් රාජපක්ෂ මහතා විසින් මීට වසර දහයකට පමණ පෙරදී නිමවන ලද දෙමුහුන් උදුන තවමත් ඔහුගේ නිවසේ සාර්ථකව ක්‍රියාත්මක වේ.

මතුගම සෙනෙවිරුවන්

(නිහාල් රාජපක්ෂ මහතාගේ අංකය - 0776035707 )

No comments:

Post a Comment